My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, May 23, 2012

නිරුවතින් අතුගෑම

බේරේ වැව ඉස්මත්තෙන් කොහොදෝ ඉඳන් හමාගෙන ආ සුලන් රැල්ලක් වෝක්ෂෝල් වීදියේ  පිහිටි බෝගසේ පත් නටවමින් අලුත් බෝඩිමේ ජනේලය තුලින් ඇතුළු වුයේ බෝ ගස අසල දල්වන ලද හඳුන්කුරු වල සුවඳත් මුඩුක්කු නිවාස පිහිටි දෙසින් රැගෙන ආ අපුල් දුර්ගන්දයත් සමගය. අපි පිළිකුලෙන් නහය හකුලාගත්තේ අනාගතයේ විඳිය යුතු දුකක මුල් පරිච්චේදය පිළිබද හෝඩුවාවක් ලැබුණු නිසාවෙනි. මමත් ලහිරුවත්, ලක්ෂ්මන් අයියාත්, බණ්ඩාර අයියාත්,  අරුනුත්, ගිහානුත්  ඇතුළු අපි සය දෙනාට කලින් සිටි බෝඩිමෙන් ද්වේශ සහගත ලෙස එලියට බැසීමට සිදුවූ නිසාවෙනි අලුත් බෝඩිමක් සොයාගන්නට වුයේ. පුරුවේ කල කරුමයක් ගෙවීමට සිදුවුවා සේ අපිරිසිදු වීදියක තැනු ගොඩනැගිල්ලක තෙවන මහලේ කුඩා කාමරයක් අපි අපේ බෝඩින් නිවාසය ලෙස තෝරා ගතිමු.

 පසුගිය සඳුදා දින මමත් ලක්ෂ්මන් අයියා මෙන්ම බණ්ඩාර අයියාද  නිවාඩුවක් දමා පරණ බෝඩිමේ සියලුම අඩුම කුඩුම අලුත් බෝඩිමට ගෙනෙන්ට වුයේ පරණ බෝඩිමෙන් ඉක්මනටම යායුතු බව බෝඩිම අයිතිකාර මනුස්සයා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කල නිසාවෙනි. හම්පඩ වූ කොට කලිසමකුත් ලක්ෂ්මන් අයියගෙන් ඉල්ලාගත් ටීෂර්ට් කඩමාල්ලකුත් ඇඳගත් මම පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙත අඩුම කුඩුම ප්‍රවාහනය කලේ ලක්ෂ්මන් අයියාත් සමග බණ්ඩාර අයියගේ තුන්සක රියේ පිහිටෙනි. කාර්ය බහුල කොළඹ වීදි අතරෙන් අතින් කටින් බෑග් මලු එල්ලගෙන වරින් වර පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙතත් යන අප ගැන බොහෝ දෙනෙක්ට වගක් නැති වුනත් අපි දෙස ඕනෙකමින් බැලු කීපදෙනෙක් හෝ සිටියානම් ඔවුන් අපි දවසේ පඩියට එදා වේල හම්බකරන් කන කුලීකාරයින් සේ සිතන්නට ඇත. වරදක් නැත.  අපි සියලු දෙනාගේ බාහිර ස්වරුපය එපරිද්දෙන් පෙනෙන නිසා ඔවුන්ගේ සිතුවිල්ල සර්ව සාධාරණය.


එදා ඉරිදා දිනයකි. එනම් ඉහත කී සඳුදාට පෙර දිනයයි. දහවල් කාර්යාලයේ වැඩ කරන විට ආ ඇමතුමෙන් කියවුනේ බෝඩිමේ අඩක් කඩා බිඳ දමා ඇති බවකි. ඇමතුම ලබා දුන් බණ්ඩාර අයියගේ මැදිහත් වීම නොවන්නට ඔවුන් විසින් බෝඩිම බිමට සමතලා කර දමා තවත් බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබිණි. ඒවා සිත ගැනීමටවත් අපහසු කාරණා විය හැක.  රාත්‍රී දහයට වැඩමුරය අවසන්වී බෝඩිම වෙත පියමැන්නේ විඩාවෙන් මඩිනු ලැබූ මගේ ගතේ වෙහෙස නිවා ගැනීමට හොඳ නින්දක් දමා පාන්දර අවදිවීමේ බලාපොරොත්තුව ඇතුවය. නමුත් බෝඩිම වෙත කිට්ටු වෙන විට ආ පිලිස්සු පරණ ගඩොල් වල සුවඳත් දුවිලි වල සුවඳත් මගේ සුපුරුදු ගමන් වේගය මදකට බාල කළේය.  කඩා හෙලනු ලැබූ බිත්තියක කොටසකුත් පහල කාමරයේ තිබුණු ඇඳන් දෙක වෙනුවට හිස් බිම් කඩ පමණකුත් ඉතිරි වී ඇති බව නෙත ගැටුණු මගේ ගතම හිරිවැටී ගියේය.  පපුව තුල යමක් හිරවෙන්නක් මෙන් හා දෙතොල් පට වෙව්ලන සෙයක් මට දැනුනි. හනිකට ලී තරප්පු පෙළ නැග ඉහල කාමරයට සේන්දු වුයේ එහි අපේ කවුරුන් හෝ සිටිනවාදැයි දැන ගැනීම පිණිසත් සිදුව ඇති නස්පැත්තිය සැක හැර දැන ගැනීමත් සඳහාය. නෙත් අදහාගත නොහැකිව දසත බලද්දී මගෙත් අරුන්ගේත් බණ්ඩාර අයියගෙත් වචන ගොළු විය. පෙර දින නිදා ගත් යකඩ ඇඳ වෙනුවට සී සීකඩ කරන ලද ඉහල කාමරයේ මෙට්ට කීපයත් කාඩ්බෝඩ් කැබලිත් ඇඳුම් සපත්තු, පොත්පත් ඇතුළු මා සන්තක සියල්ලත් මගේ සගයන් සතු සියල්ලත් කාමරයේ තැන තැන විසිරී තිබෙනු දැක ගන්නට ලැබුණි. කේන්තිය පාලනය කල ගත නොහැකිව මගේ මුවින් තරහව පිට දමන්නට විය. ඒත් සමගම අරුනුත් බණ්ඩාර අයියාත් මට හූමිටි තියන්නට පටන් ගත්හ.


බෝඩිම විකුණන කතාවක් මීට පෙර දැනගන්නට ලැබුනත් එය මේ තරම් කල් ඇතුව සිදු වෙතයි අපි කිසිවිටකවත් නොසිතුවෙමු. එසේ නොසිතන්නට බෝඩිම අයිතිකරුගේ වචනය මෙන්ම කුහක චේතනාව හේතු වන්නට ඇත, මන්ද ගතවන අවසාන තප්පරය වෙන තුරුත් මුදල් ලබාගැනීමේ පටු අරමුණ පමණක් පෙරදැරිකොටගෙන බෝඩිම විකුණා මුදල් අතට ගන්නා තුරු ඔහුගේ කටින් වචනයක් ලබා ගැනීමට අපි අපොහොසත් වුනෙමු. විකුණා දින කීපයකට පසු අපි දිනපතා රාත්‍රියේ කොළඹ අඳුරු වීදි අතරේ මෙන්ම අලෝකමත්වූ සුවිසල් මන්දිර අතරින්ද නවාතැනක් සොයාගැනීම සඳහා වෙහෙසුනෙමු. අවසානයේ වොක්ෂෝල් වීදියේ අවන්හලක ඉහල මාලය බදු දීමට ඇති බව දැනගන්නට ලැබිණි. තරමක් හොඳ මට්ටමක පැවති  කාමරය තත්වයකට ගැනීමට අපිට දවසක්ම ගත විය.  පෙලට තැබූ මෙට්ට රහිත ඩබල් ඇඳන් යුගලයත් සිංගල් ඇඳන් යුගලයත් අපි සය දෙනාගේ නින්ද සඳහා පිළියෙළ විනි. මතු පිටට කාඩ්බෝඩ් අතුරා ඊට උඩින් ඇඳ රෙදි එලා සුවපහසු යහනාවක් තනා ගත්තේ ඇඩ්වාන්ස් මුදලත් ගෙවා ඇති නිසා වෙන කල හැක්කක් නොමැති කම නිසාවෙනි. 


රාත්‍රියේ ඇඳට වැටුන අපි බොහෝ දේ කතා කළෙමු. නමුත් අපේ හිත් වල විශේෂයෙන් සඳහන් කල යුතු විශාල දුකක් නම් ගෑවිලාවත් තුබුණේ නැති බව නම් සහතිකය. මක් නිසාදයත් කොතරම් කටුක බවින් යුක්ත වුනත් එවන් අඩුලුහුඬුකම් වලින් යුතුව ගෙවන ජීවිතයේ යම්කිසි රසයක් අපි විඳින නිසාවෙනි. විශාල පියන් පත් යුග්මයකින් තැනුණු ඉහල මාලයේ කවුළුවට බර වූ මමත් ලහිරුවත් ලක්ෂ්මන් අයියත් නැගිට ඇඳේ සිටම කාර්යබහුල වොක්ෂෝල් විදිය දෙස නෙත් යොමා බැලුවෙමු.  විවිධාකාරි මිනිසුන්ගෙන් පිරි වොක්ෂෝල් වීදිය කුඩු කාරයින්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන්  අඩුවක් නැති බව දැකගන්නට මෙන්ම දැනගන්නට ලැබුණි. සමහර විට ඔවුන් එසේ නොවුනත්  ඔවුන්ගේ බාහිර ස්වරුපය අපිට එසේ සිතීමට කරුණු කාරණා සැපයිය. පදික වේදිකාවේ සිට රාත්‍රී අහාර ගෙන එහිම නිදාගන්නා පිරිසක්ද, මුල්ලකට වී දුම් උරණ පිරිසක්ද හැරුණු කොට නිරුවතින් සිට මුඩුක්කු නිවාසයේ පොදු වැසිකිලිය හා ජලකරාමය අසල අතුගාමින් සිටින මැදිවියේ දෙදෙනෙකුත් දැකගන්නට ලැබුණි. ඔවුන් සිටියේ ඔවුන්ගේ රාජකාරියේ විය යුතුය. නමුත් ඔවුන් දෙනෙනා සිටියේ අමු නිර්වස්ත්‍රයෙන් බව විදුලි පහන් වල ආලෝකයෙන් අපට පැහැදිලිව දැකගත හැකි විය. ඇඳුමක් ඇඳ ගැනීමට ඔව්නට අවශ්‍ය නැත්තේ මන්දැයි මා නොදනිමි. නමුත් බෝඩිමේ අපිට එය එක්තරා අකාරයකට බොහෝ වෙලාවක් බඩ අල්ලාගෙන සිනාසීමට තරම් කාරණයක් විය. ඒ ඔවුන් අතු ගානවා වෙනුවට පොඩි එවුන් සේ සෙල්ලම් කරන සෙයක්ද දැකගන්නට ලැබුණි. එකෙක් අනිකාගේ ඇඟේ හැප්පි අනිකාව පෙරලන්න උත්සාහ කරන හැටි අපේ සිනහව තවත් වැඩි කළේය.  තරමක් ඉහල කාමරයේ සිටින අපට ඔවුන් පෙනෙන බව ඔවුන් නොසිතන්නට ඇති. එසේ පෙනෙනවා යයි සිතුනත් ඔවුන්ට එය වගක් නොවන්නට ඇති. නැතහොත් තව හේතු කාරනා තිබිය හැක. අපි ඒවා නොදනිමු.


සිනහව මැඩලාගෙන  කාමරයේ විදුලිපහන නිවා දමා අපි නිදන්නට වීමු. පහල හෝටලයෙන් ඇසෙන කොත්තු දමන සද්දෙත් තුන්කාන්දෙන් දමන දාඩියත් නුහුරු නුපුරුදු ගතියත් රාත්‍රියේ බොහෝ වෙලාවත් අපිව අවදි කරවා තබන්නට සමත් විය.


අවසානයට පෙර ලියමි.

ඉහත සඳහන් කතාව ලියන ලද්දේ මා විසින් නොබෝ දිනකට ඉහත ලබාගත් සත්‍ය අත්දැකීම් කීපයක් පදනම් කොටගෙනය. නමුත් එය ලියන ලද්දේ  කියවන ඔබ සැමගෙන් මා හට අනුකම්පාව ලබාගැනීමටවත් එවන් මුඩුක්කු ජීවිත ගත කරන්නවුන්ට ගැරහීමටවත් නොවන බව බුද්ධිමත් ඔබ සැම වටහා ගනු ඇති විශ්වාස කරමි.


අතරින් පතර මගහැරුණු රසකතා කීපයක් නොලියා ඉතුරු කර ගත්තේ තව පොස්ට් කීපයක් සඳහා වවාගෙන කෑමට බවත් ඔබ දැනගත යුතුය.  


එක දිගට කෙටි කතා ලියමින් බ්ලොග් එක ඒකාකාරී කර නොගන්නා ලෙස බොහෝ දෙනෙක්ගෙන් ලැබුණු උපදෙස් හේතුවෙන් අත්දැකීමක් මෙසේ යුනිකෝඩ් කලේ සුපුරුදු භාෂා රටාවෙනි. නිදහස් ආරෙන් ලියන විට  මට කිසි දෙයක් ගැලප ගනු නොහැකිය. එසේ නිදහස් ආරකින් ලියා පල කරන ලද "මට ගලපා ගන්න බැරි ගැලපීම" නම් පොස්ටුව ඩිලීට් කලෙත් එය මෙලෝ රහක් නැති බව වැටහුණු නිසාවෙනි.


අලුත් නවාතැනේ අලුත් අලුත් සිද්දි සමග අද ඉඳන් ලියවෙන "බෝඩිම" නම් ලේබලය ඇතුලත් කතා අතර පළමු කතාව මෙසේ පබ්ලිෂ් වුන වගයි. 

"නිරුවතින් අතුගෑම" ලෙස පොස්ට් එකට නම යොදා එතරම් කික් එකක් ඇති දෙයක් අන්තර්ගතය තුල නැති වුනත්, මා එය එසේ කලේ එක්තරා  පරීක්ෂණයක් බවත් සලකනු මැනවි. ඒ පිළිඹදව තොරතුරු යථාකාලයේ දැනගන්නට සලස්වමි.

Thursday, May 3, 2012

මුතු මැණිකා

ඔහු හදිස්සියේ මතක් වුවා වැනි හැඟීමකින් යුතුව පසෙකින් තිබුණු හම් බෑගය තුල සුරක්ෂිතව පොලිතින් මල්ලකින් ආවරණය කරන ලද දශක දෙකකටත් වඩා පැරණි සීවලී දින පොත දිග හැර යමක් සොයන්නට විය. කීප සැරයක් අපරික්ෂාකාරීව එහාටත් මෙහාටත් පිටු පෙරලූ ඔහු නැවතත් සෙමින් මහත් ඕනෑකමකින් බලා යමක් ගෙන දිග හරින්නට විය. ඒ සමගම ඔහුගේ මුවේ නාඹර ගැටයකුගේ දෙතොලකට නැගෙන  සිනහවකට සමාන සිනාවක් සටහන් විය. මොහොතකට පෙර මිනිත්තු කීපයක් වෙහෙසී සොයා ගන්නා ලද එය හතරට පහට නවන ලද හසුනකි. ඔහු එය දිග හැර දෑතින්ම ගෙන මුහුණට ලංකරගෙන සිපගත්තේය. කඩදාසියක් පරණ වූ කල දැනෙන පුස් ගඳත් තීන්තවල සුවඳත් අතරින් ඔහුට ඇයගේ හදවතේ සුවඳ, ආදරයේ සුවඳ දැනෙන්නට ඇතැයි අපි අනුමාන කරමු.  ඇගේ වටකුරු අත්අකුරු වලින් ලියන ලද හසුන නාඹර ඉලන්දාරියෙකුට කුලුඳුලේ ගැටිස්සියකගෙන් ලැබුණු මුල්ම හසුන සේ මෙන්ම එය ජීවිතේ පලවෙනි වතාවට කියවන්නාක් මෙන් ආසාවකින් හැඟීමකින් ඔහු කියවන්නට විය. වරින්වර කට කොනකින් නැගුනු සිනහවත්, විටෙක රැලි වූ නළල් තලයත්, සිහින් වූ දෑසත් ඔහු නිමග්නව සිටි කල්පනාවේ ශාක්ෂි දරන්නට විය.


මිනිත්තු විස්සක් පමණ ගත වන විට ඔහු හසුන දෙතුන් සැරයක් කියවා අවසන්ය. ඔහුගේ මුහුණේ හා ඉරියව්වල පෙර තිබුණු උද්යෝගකාරි ස්වරුපය දැන් පහව ගොස් ඊට හාත්පසින්ම වෙනස්වූ ස්වරුපයක් ආරුඨ වී ඇති සෙයකි. බැසයන හිරුගේ මලානික රශ්මි කදම්භයකින් ඔපවත් වූ ආලෝක ධාරාවකින් ඔහුගේ දෙනෙත් කොන දිදුලමින් තිබුණු කඳුළු කැට එකින් එක දිරාගිය හම් සපත්තුවටත් දෑත මත රැඳී හසුන මතටත් වැටුණි. ආයාසයකින් වැටෙන කඳුළු කැට මැඩ නොගත් නිසා ලැබුණු අවරසරයෙන් තවත් කඳුළු කැට කීපයක් හසුනේ සටහන් වූ ඇගේ වටකුරු අකුරු පෙළක් බොඳ කළේය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගැන්මේ වුවමනාවක් ඔහු සතු වුවත් දැල්වෙන අතීතය විසින් හදවත පසාරු කරන වේදනාව ඔහු ඉවසා දරාගෙන සිටියේ අතීතයට කරන්නාවූ සරදමක් ලෙසිනි. තමා සමග වියපත් වූ හදවත, වියපත් නොවූ මෙන්ම කෙදිනකවත් වියපත් නොවන අතීත සේයාවන් වලින් පෝෂිත වී ඇති බැව් ඔහුට ඒත්තු ගියේ මීට බොහෝ කාලයකට පෙරය.  ඒ මෙතරම් කලක් ගත වුවත් මුතු මැණිකා හෙවත් "මුතු" පිලිබඳ දිනෙන් දින මුවහත් වූ වේදනාකාරී මතකය විසින් හදවත අභ්‍යන්තර පටක වරින් වර වේදනාවට පත් කරන්නේ අදක ඊයෙක පටන් පමණක් නොවන බැවිනි.

 
ඔහු අපරිමිත ලබැඳියාවකින් තවත් වරක් සිපගත් හසුන සුරුවමට නමා දිනපොතේ පිටු අතර රැඳවීය.හිඳ උන් බංකුවෙන් මදක් ඉදිරියට වී පිටුපස ඇන්දට සුවපහසු ලෙස ඇලවූ ඔහු තම සිත අතීතය වෙත පාකර හැරියේ සෙමින් ජලාශයක් මත ගමන් කරන්නාවූ පාරුවක් සේය. අතීතය වෙත යාත්‍රා කරන්නාවූ සිත ජීවිතය නමැති ජලාශයේ දෙපස පිපි නෙලුම් මානෙල් මල් සුගන්ධය නම් වූ අතීතය තුලින් විහිදෙන සුවඳ ඔහු මනසින් තරුණයෙක් කළේය. සැන්දෑ අඳුරෙන් කාන්තිමත් වූ උද්‍යානයේ තුරුහිස් වලට ඔහු සිනාසුනි.

මීට බොහෝ කාලයකට පෙර මෙවැනිම සැන්දෑවක මහවැලි ගඟ ඉස්මත්තේ රූස්ස ගසකට හේත්තු වී සිටි ඔහුගේ සිත පිරි තිබුනේ මුතු මැණිකා පිළිබද දහසකුත් බලාපොරොත්තු වලින්ය. ඇය සිනාවෙන විට වලගැසෙන දෙකම්මුලත්, පමණට වඩා සිනාසුන ඇස්වලින් මතුවන කඳුළු කැටත් ඇයගේ දීප්තිමත් නෙතු සඟලත් ඔහුගේ සිතේ සෑම බිම් අඟලක්ම බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටි යුගයක ඔහු පෙම්වතෙකි.

තම ජීවිතය ඇගේ දෑස තුලින් දුටු ඔහු ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ඇය වෙනුවෙන් පොදි බඳින්නට විය. කාලාන්තරයක් පෙරුම් පුරා ඔහුගේ සිතේ රජවූ මුතු මැණිකාට ඔහු ආදරය කලේ සංසාරික බැඳීමකින් බව ඔහුට සිතේ. තම දෑස් හරහා බැඳුනු සීතල දෑතක පහසක් ඔහුව කල්පනා ලෝකයෙන් ඔබ්බට ගෙනාවේය. ඒ මුතු මැණිකාය.


එදා සිතේ උපන් කුතුහලය පිරි සෙනෙහස මෙදිනත් ඔහු කෙරෙන් දිස්වුනත් ඒ  උද්‍යානය හරහා හමා ගිය සිහින් පොදක් බැවින් ඔහුගේ අනුමානික සිතුවිල්ල පිළිබද ඔහු පසුතැවෙන්නට විය.  දසත හමාගිය සිසිල් සුලන් රැල්ලත් ඔහුගේ ගතේ හිරිගඩු නැංවීය. විගසින් බෑගය අතටගත් ඔහු නවාතැන වෙත පියමැන්නේ කෙදිනකවත් සම්පුර්ණ කරගත නොහැකි සිතුවිලි සමුදායක් සමගිනි.

ගිනියම් වූ බොයිලේරුවක් පපුව මධ්‍යයේ සිරවී ඇති සෙයක් ඔහුට දැනිණි. කාර්ය බහුල වීදි අතරින් ඇවිද යද්දී වාහන වල ලාම්පු වල දීප්තිමත් ආලෝකයත් ඝෝෂාකාරී නලා හඬත් ඔහුගේ විඩාව තව තවත් වැඩි කළේය. ඉක්මන් පාගමනනික් පසු සුපුරුදු පරිදි අවන්හලට ගොඩවැදුණු ඔහු බීර බඳුනක් ඇණවුම් කළේය. අඳුරු මුල්ලක හිස්ව තිබු මේසයක් තෝරාගත් ඔහු ඇණවුම් කල බීර බඳුන ලැබෙන තුරු මේසයේ හිස ගසාගත්තේය. පසුබිමින් ඇසෙන සංගීත රාවයත් කවුළුව එපිටින් ඇසෙන ලොතරැයි කුඩුවේ වෙළෙන්දාගේ ගොරහැඩි හඬත් ඔහුගේ මනස තවත් අවුල් කළේය. ව්‍යාකුලත්වය අතරින් මුතු මැණිකාගේ රුව ඔහුගේ මනසේ හොල්මන් කරන්නට විය.
අවන්හල් සේවකයාගේ පැමිණීමෙන් ඔහු හිස එසවීය.


"සර් අද හවස හතරට විතර බාර් එකට ආපු මනුස්සයෙක් මේ ලියමන මහත්තයට දෙන්න කියල ගියා.
මතක ඇතුව දෙන්න කියල කීප සැරයක්ම කියල ගියා.  අපිළිවෙලට හිටපු ඒ මනුස්සය හිටියේ ටිකක් බයෙන් වගේ. මං....මං හිතන්නේ සර් හැමදාම බාර් එකට එනවා කියල හොඳටම දන්නා මනුස්සයෙක් වෙන්න ඕනේ."


"ම් ලියුමක්....? කෝ දෙනවා බලන්ඩ... තමුසෙට හොඳට විශ්වාසද මේක මටම දෙන්ඩයි කිව්වේ කියල. අනික් පාර වෙන මිනිස්සුන්ගේ ලියුම් කඩලා මම වැරදිකාරයෙක් වේවි."

"නෑ.....නෑ.....රත්නසිරි මහත්තයටම දෙන්ඩයි කියල තමයි කිව්වේ. මහත්තයාගේ හැඩ හුරුකමත් හරියටම කිව්වා."


ඔහු අතට ගත් ලියුම කඩා කියවන්ට විය. තවමත් අවහන්හල් සේවකයා ඔහු අසල රැඳී සිටි දුටු ඔහු සේවකයා දෙස යැටසින් බලා ඔහුට එතනින් යන ලෙස හිසෙන් පැවසුවේය.


ආදරණීය රත්නේ,

ඔයා කවදාවත් හිතන්න නැතුව ඇති මගෙන් මේවගේ ලියුමක් ඔයාට හම්බෙවී කියල. එත් මට හිතට එකඟ වෙලා මේ අදහස යටපත් කර ගන්න බෑ.
මම දන්නවා ඔයා තවමත් තනිකඩයෙක් කියල. මම මේ කරන දේ වැරදි කියල මම දන්නවා. එත් එකම එක සැරයක් මට ඔයාව හම්බෙන්න ඕනේ.
පුලුවන්නම් හෙට උදේ නමයට ඔරලෝසු කනුව ළඟට එන්න. ඔයා ඒවි කියල මම හිතනවා.
මීට
මුතු

කියවන ලද කතාවක් නැවත කියවන්නා සේත්, හුරුපුරුදු හැඟුමක් සිතේ දැවටෙන්නා සේත් ඔහුගේ හිතේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් සක්මන් කරන්නට විය. අඩක් අවසන් වූ බීර බඳුන එසේම තිබෙද්දී ඔහු බිල ගෙවා නවාතැන වෙත ගියේ  සිත යට කැකෑරෙමීන් තිබුණු සිතුවිලි සමග බොහෝ වෙලාවක් ඔට්ටු වීමෙනි.  රාත්‍රියේ වරින් වර ඇහැරුණු ඔහුට හරිහැටි නින්ද ගියේ නැත.  ලැබුවේ කඩින් කඩ නින්දකි. පසුදින ගමන සඳහා යාමට ඔහුට ලෑස්ති වීමට වෙනදාට වඩා බොහෝ වෙලාවක් ගතවිය. කමිස කීපයක් වරින් වර හැඳ කණ්ණාඩිය ඉදිරියට ගොස් බැලුවේ එය මුහුණේ පාටට  ගැලපේද නැද්ද යන්නයි. අවසානයේ ලා නිල් පැහැති කමිසයකින් හා කළු පැහැති කලිසමිකින් සැරසුන ඔහු දාඩිය දමතැයි අඩිය තැබුවේ වෙනදාට වඩා සෙමිනි. ඔරලෝසු කනුව අසලට අට හමාර වන විට පැමිණීමට ඔහුට හැකි විය. ඔහු පාර පැන බාබර් සාප්පුව වෙත ගියේ තම අවුල් වූ හිසකෙස් සදා ගැනීමටය. කොණ්ඩය කපනු විනා අන් කිසිම හේතුවකට මීට පෙර මෙහි ගොඩ වැදී නැති බව ඔහුට මතක් විය.  කණ්ණාඩියට සිනාසුන ඔහු  එතනින් පැමිණ ඔරලෝසු කණුවට නුදුරින් පිහිටි දුරකථන කුටියක් අසල පඩියක හිඳ  සිටියේ ලැබුණු පණිවිඩයේ අවිනිශ්චිත බවකුත් ඇති නිසාවෙනි.


ඔහු ඇගේ සිනාසෙන විට වල ගැසෙන කම්මුල් හා ඇයගේ දීප්තිමත් ඇස් මෙන්ම ඇයටම අවේනික ගමන සිතින් මවා ගත්තේය. ඇත්තටම ඒ හිනාව තවත් ඇය සතුව ඇත්ද, එමෙන්ම කතා කරනවිට තාලයට සිහින් වන දෑස ඔහුගේ සිත මහා ලෝබ කමකින් පුරවන්නට විය.  මිනිත්තු පහලවක් පමණ ගත වන විට ඔරලෝසු කනුව අසලට පැමිණි කාන්තාවක් කවුරු හෝ වෙනුවෙන් රැඳී සිටිනු දැකගත හැකි විය. හිත පතුලෙන් හටගත් වේදනාවක් ඔහු සතු පැරණි මතක පාරවන්නට විය. වේගයෙන් ගැහුන හදවත නිසා ගත දහදියෙන් තෙත් විය. හුස්ම ගන්නට අපහසු බවක් හා කෙලින් සිට ගන්නට පවා නොහැකිව ඔහු නැවතත් පඩියට වාරු විය.


මිනිත්තු කීපයකින් තම සිතටම දොස් පවරා සන්සුන් වූ ඔහු නැවතත් තම ආදරණීය පෙම්බරිය වෙත යාමට නැගී සිටියේය. නමුත් කිසියම් වරදකාරී හැඟීමකින් ඔහු පෙලනු ලැබුවේය. ඒ කුමක්දැයි ඔහුට තේරුම්ගන්නට අවැසි නොවුනි.  පසුව  ඔහු පියවර කීපයක් ඉදිරියට තබා ඇවිද ගියේය. ඇය හමුවීමට සිත ගන්නා උත්සාහයට පරයා පෙරකී වරදකාරී හැඟීම ඉස්මතු වෙන්නක් මෙන් ඔහුට දැනුනි.


නැවතත් පියවට කීපයක් ඉදිරියට ගියේය.

නමුත්......


දෙගොඩ තලා ගලා ගිය ගංගාවක් හදිසියේ සිඳුනාක් මෙන් ඔහුගේ සිත තුල හදිසියේ මතුවූ වරදකාරී හැඟීම ප්‍රබලව ඉස්මතුවීම නිසා  නිසා ඔහු ආපසු හැරී කලබලෙන් නවාතැන වෙත පියමනිනු දැකගත හැකිවිය.