My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, June 26, 2012

මාරාවේශය

අතු පතර විහිදී ගිය රූස්ස ගස් කොලන් වලින් හෙබි නුපුරුදු අඳුරු වීදිය මතින් ඔහු ඉක්මනින් පය තැබුවේ මලානික අඳුරත්, හරි හැටි නමක් නොදන්නා කුරුල්ලන්ගේ  කන්දොස්කිරියාවත් ඔහුගේ මනසට තවත් විඩාව පමණක්ම එක්කල නිසාවෙනි. කපුටු, වවුල් වසුරු ගඳ මෙන්ම තැන්  තැන්  වලින් වහනය වූ දැඩි මුත්‍රා ගඳ ඔහුට ඔක්කාරය ගෙන දෙන්නට වූ අතර හුරුපුරුදු වද වේදනාවලින් මතකය නැවත අවුළුවන්නටද ඒ පරිසරයට හැකි විය.  ගත පෙලනු ලැබූ විඩාවත් පියවෙන්නට වෙර දරන රත් පැහැ දෙනෙත් යුග්මයත් ඔහු කෙරෙහි පැවති විඩාබර ස්වරුපය තවත් වැඩි කරන්නට සමත් විය. පපුව තුලින් නැගෙන උණුසුම් වායු දහරා සුසුම් සමග මිශ්‍ර වී දෙතොල් පට අග දිලිසෙන දහදිය බින්දු තව තවත් උණුසුම් කළේය. සිරුරට ඇලී ගිය කමිසය නිසා මුළු ගතම උණුසුම් වී තිබුණි. ඊට අමතරව ආත්මය පුරා අනසක පතුරවා සිටි තනිකමින් හා පාලුවෙන් මෙන්ම පසුතැවීමකින් ඔහු හෙම්බත් වී සිටියේය. ඉවසාගත නොහැකි බඩගින්න ඔහුට ඔහු කෙරෙහිම මතත් ආත්මානුකම්පාවක් ඇති කළේය. තවත් මොහොතක් හෝ හදවත තුල රැඳුනි නම් හදවත පවා දවා හලුවන තරමේ උෂ්ණ වූ සුසුමක් වාතලයට මුදා හැර ලය සැහැල්ලු කර ගත් ඔහු මොහොතකින් අඳුරු වීදිය පසු කොට කුඩා තේ කඩයකට ගොඩ වැදුණි.


කුසතුලින් බුර බුරා නැගෙන බඩගින්න නම් වූ ගිනිදැල් අඩපන කිරීමට ඔහු පාන් රාත්තල් තුන්කාලක් එක හුස්මට හොදි සමග ගිල දමා අත සෝදා බිල නොගෙවා හැකි වේගයෙන් දිවගියේ කඩේ දෙසින් ඇසුන අමු තිත්ත කුණුහරුප කනකටවත් නොගෙන ආපසුවත් නොබලාමය. ටික දුරක් පස්සෙන් පන්නගෙන ආ වේටර්ද උත්සාහය අතහරිනු දුටු හෙයින් පාර පැන අතුරු පාරකට හැරී වේගය අඩුකර මාවත අයිනේ තිබුණු සිමෙන්ති බංකුවක් මත හිඳ ගත් ඔහුගේ මුහුණේ තිබුනේ ජයග්‍රාහී හැඟීමකට වඩා කළකිරීමක එමෙන්ම පසුතැවීමක හැඟීමක්ය. කඩකාරයාගේ අතට හසුවිණි නම් ගුටිකන්නට හෝ පොලිස් කුඩුවේ ලගින්නට සිදුවන බව ඔහු දන්නා නමුදු ඉකුත් සිව් වසර තුල බන්ධනාගාරයේ විඳි අත්දැකීමෙන් ලැබූ පරිචය නිසාවෙන් එවැනි වරදක් කර හසු වුනොත් නැවත මුහුණ දෙන්නට ලැබෙන ප්‍රතිපලය පිළිඹද ඔහු දෙවරක් සිතුවේ නැත.


ඉවසාගත නොහැකි ලෙස රිදුම් දෙන දෙපා කකියන නිසාම බොහෝ වෙලාවක් බංකුවේ හාන්සි වී සිටියේය. තරමක් නිහඬතාවයෙන් යුතුවූ වීදියේ ඉඳහිට ගමන් ගන්නා පුද්ගලයින් කීපදෙනෙකුගේ කතා බහක් හැරුණුවිට එය මුළුමනින්ම නිස්කලංක විය.  ඊට අමතරව ඈතින් ඇසෙන වාහන වල නලා හඬත් වෙලාවක් අවේලාවක් නොමැතිව එලියට බට මදුරුවන්ගේ "කී.....න්"  හඬත් පමණක් නිහඬතාවයට තරඟකාරීත්වයක් එක්කරන්නට සමත් විය. ගණ හිරු රැස් ඇහිරු තුරු වියන හිසට සෙවනක් විය. මදි නොකියන්නට හමා ආ මුහුදු සුළන් රැල්ලත් ගතේ විඩාව නිවාදැමීමට නිහඬවම ඔහුට උපකාරී විය. හිස් බැල්මකින් ඈත නලියන මිරිඟුව දෙස බලමින් කුමක් කෙලෙස කොතන කාට වැරදුනාදැයි නිශ්චිතවම සොයා ගැන්මට නොහැකිව ලත වුයේය.   එම වේදනාව පපුවට කොතරම් බරක්වුවා දැයි  කියතොත් ඔහු එවලේ තම පපුව අතකින් අල්ලා ගත්තේය. අයාලේ පාවෙන හිත තෙරක් නැති මතකයන් අතර සැරිසරමින් අතීතයට යන්නට වෙර දැරුවේය. අතීතය සමග ගනුදෙනුව ආත්මයට තවත් දුකක් මිසක සතුටක් එක්නොකරනු බව ඔහු දනී. එහෙයින් අතීතය වලදමා වර්තමානය තුල නැගී සිටින්නට ඔහු පිඹුරුපත් සැකසීය. ඒ සඳහා "සමදරා" සොයා යායුතුද නැතිනම් ඇයට ඇගේ ලෝකයතුල ජීවත් වෙන්නට ඉඩ දී තමුන් තමාගේ ලෝකය තුල ජීවත් විය යුතුද යන්න දැඩිව තීරණයක් ගත යුතුව ඇත. කිසිදා නොවෙනස් වේ යයි පැවසු සමදරාගේ ආලය තවමත් එලෙසම තමන් වෙනුවෙන් ඇත්ද.  ඇගේ සිතෙහි සෑම බිම් අඟලකම තමන්ගේ මතකයන් තවමත් නොනැසී සැරිසරනු ඇත්ද. නැතිනම් තමන් ඇගේ ජීවිතයට තුන්වැන්නෙක් පමණක් වේද, යන සිතුවිලි ඔහුගේ මග ඇහිරීය. 


සිරගත වූ  සිව් වසරක් තුල ගෙවී ගිය දින අතර ඔහු ඇය දුටුවේ දෙවතාවකි. ඒ හමුවූ දෙවතාවේම ඇය ඔහුට තවමත් ආදරය කරන බව පැවසුවාය. නමුදු  පසුගිය දෙවසර තුල හිටි හැටියේ නොපැමිණි ඇය මේ වන විට  කිනම් ලෙසක කෙලෙස ජීවත් වෙනවාද යන්න ඔහුට දැඩි ප්‍රශ්නාර්ථයක් විය. අගේ සිතතුළ තවමත් ආදරයක් ඇති සම්බාවිතාවට වඩා නොමැති සම්බාවිතාව වැඩි නිසා ඔහුගේ සිත තව තවත් දුර්වල කළේය. එහෙත් සියල්ල පරයා නැගෙන අධ්‍යාත්මික සන්තානගත සිතුවිලි ඔහුගේ දුර්වල සිත ප්‍රාණවත් කළේය. නව බලාපොරොත්තු ජීවිතයට ආලෝකයක් වන්නා සේම, තමන්ගේ නව බලාපොරොත්තු නිසා ඔහුගේ ජීවිතය ආලෝකමත් වනු ඇති සිතු ඔහුගේ මුවේ කොනක ජයග්‍රාහි සිනාවක් රැඳුනි. 


මසක් ඇතුලත විටක ගැටකපන්නෙක් ලෙසද, නාට්ටමියෙක් ලෙසද, මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් ලෙසද චරිත රඟපෑ ඔහු ගමට යාමට ප්‍රමනාවත් මුදල් සොයා ගැනීමට හැකි විය. කටෝර කර්කෂක අනුකම්පා විරහිත සමාජයෙන් පිටමන් වී අතීතය තුල පෙරදා විඳි සුන්දරත්වය නැවත විඳීමට ගමට යාමට ඔහුගේ බලාපොරොත්තු ඔහුට පෙරම සුදානම් විය. හිමිදිරි පාන්දරක අගනුවරින් ගම රට බලා යන බස් රථයක නැගී හෙතම කාගේත් නිහඬ අවධානයට යොමුවිය. දිගට වැවුණු තඹල පැහැති කෙස් වැටියත් මුහුණ පුරා වැවුණු රැවුලත් ඒවාට හේතු සාධක සැපයිය. සිතුවිලි සමග ඔට්ටු වී දීර්ඝ ගමනකට පසු බසයෙන් බැස ඔහු පයින්ම ගම ඇතුලට ගියේය. තමන් ගමේ නැතිව සිව්වසරක් වැනි සුළු කාලයක් ගත වුවද ගමට සැලකිය යුතු වෙනසක් සිදුව තිබිණි. තැන තැන දිගටම කුකුල් ෆාම්ද, උස් ගොඩනැගිලිද, ගොඩ ඉඩම් වී ඇති මඩ ඉඩම්ද, අඩක් දුරට කොන්ක්‍රීට් වී ඇති ගුරුපාරද ගම එහෙම පිටින්ම කන පිට ගැසී ඇති බවක  සලකුණු දැක ගන්නට ලැබුණි. තවමත් කොන්ක්‍රීට් නොකළ  ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගොස්  නිවසක කඩුල්ලක් ළඟ නතර වී ඔහු මොහොතක් කල්පනා කළේය. වෙනදාට වඩා සිව්ගුනයකින් හදවත ගැහෙන්නාක් මෙන් ඔහුට දැනුනි. නොයිවසුම් සිතුවිලි විසින් මෙහෙය වූ ඔහු උණ බට කඩුල්ල පන්නා දමා නිවස දෙසට සෙමින් පියවර තැබීය. නිවස දෙසින් සමදරාගේ කට හඬ ඇසී මොහොතකින් ඇගේ රුපය ඔහු ඉදිරියේ මැවුනි.


"ස...මදරා.."


බිරාන්ත වූ ඇය වෙව්ලන කටහඬින් යුතුව


"ධ....ධ...ම්මික...." යයි කිවේ එක අතකින් මුව වසාගෙනය.  


එත් සමගම නිවස දෙසින් 


"සමදරා" යි පිරිමි කටහඬකින් ඇය අමතනු ඔහුට ඇසුණි.


කඩා වැටෙන්නට සැරසෙන අඳුරු අහසක මැවෙන අඳුර ඔහුගේ මුහුණ මත මැවෙන්නට විය. සිහින් වූ ඇගේ දෙනෙතත් ඔහුගේ දෙනෙතත් එකම රේඛාවක හමු වූ නිසාවෙන් ඔවුනොවුන් අසරණ වී සිටියහ. ඔහු ඇගේ දෙනෙත් වල පටලැවී තිබුණු පසුතැවිල්ලක අසම්පුර්ණ හැඟීම් ඇහිඳින්නට විය. 


"මං...මං... එන්නම්"


 යයි කීමට අමාරුවෙන් වචන ගලාපා ගත්  ඔහුට  ඇයගේ දෙනෙත් හීසර වලින් මිදෙන්නට අපහසු විය. නමුදු යා යුතුව ඇති බැවින් ආපසු හැරී පියවරක් තැබීය. 


"ධම්මික, උඹ කවද්ද හිරෙන් නිදහස් වෙලා ආවෙ. ආපු ගමන් යන්නේ. කහට උගුරක්වත් බීල පලයන්."


දෙසවන් පලානැගුනු ඒ හඬට පිළිතුරු වශයෙන් "අවැසි වන්නේ කහට නොවේ, දිවි තොර කර ගැන්මට වසක් විසක්" බව පැවසිය යුතු වුනත්  ඔහු ආයාසයෙන් එම වචන මැඩ ගත්තේය.


"මේ ලඟදි බන්දු ආවේ, මං ගිහින් එන්නම්"


නමුත් තවත් වරක් හැරී සමදරා දෙස බලා කිසිත් නොකියාම ආපසු යන්නට විය. නිවස දෙසින් ඇසුණු කසු කුසුව ඈතට යද්දීම නොඇසී ගියේය. ගිනිගෙන දැවෙන යකඩයකින් පහර දෙන්නාක් මෙන්  හදවත වේදනා දෙන්නට විය. එමින් අතර මගදී ඔහු කල්පනා කලේ, මීට සිව් වසරකට පෙර තමා නොකළ සොරකමකට සිරබත් කෑවේ,  සමදරා තමන්ගෙන් උදුරා ගැනීමට සිදුකල කුමන්ත්‍රණයක මුල් පියවර වශෙයන් බන්දු විසින් අටවන ලද උගුලක ප්‍රතිපලයක් නිසා නේදෝයි සිතමිනි.


කඩාවැටුණු ජීවිතයේ නටඹුන් නැවත එකලස් කර පලක් නැති බව ඔහු කල්පනා කළේය. සමදරා නොවෙනස්ව හිටියානම් බන්දුට දිනුම හිමි වෙන්නේ නැත. මොනදේ අහිමි වුනත් ඇයගේ ආදරය ශක්තිමත්ව ඔහු සතුවේ තිබුණි නම් ජයග්‍රාහකයා තමන්ය. නමුත් සියල්ල නොසිතුව ලෙසක නැවත විසඳාගත නොහැකි ලෙස වෙනස් වී තිබුණි. එම නොවෙනස් කල හැකි අතීතයට ඔහු  වෛර කරන්නට පටන්ගත්තේය. ඔහුගේ වෛරය නතර වුයේ සමදරා පිළිබද පෙර පැවති ආදරයද වෛරයේ ගිනි දළුවලින් වෙලාගත් පසුවය.  දුහුවිලි අවුස්සවමින් ඉදිරියට පය තැබූ ඔහු ආපසු  තැබුවේ ඉනේ සඟවා සිටි කිනිස්ස මාරාවේශයෙන් අමෝරා ගෙනය.

Friday, June 8, 2012

අඳුනනවද බලන්න



සීතල මීදුම අතරින්
අත් පටලා ඇවිද යන්න
ඔබ එනවද මටත් කලින්
පමා නොවී දැන් කියන්න

ඇස් අහකට නොගෙන ඉන්න
මගේ තනියට ළඟම ඉන්න
 නුඹ වෙනුවෙන් පෙරුම් පුරපු
මේ ඇස් අඳුනනවද බලන්න

හෙමින් සැරේ උර මත හිස තියා ගන්න
සුළන් සරේ නුඹ රහසෙන් එපා එන්න
සිතුම් වැලේ පැටලීගෙන බලා ඉන්න
 සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න.




ග්‍රැෆික් චිත්‍රෙ කාලෙකට උඩදී මම ඇඳපු එකක්.  කවියත් එහෙමයි.
ඔරිජිනල් ෆොටෝ එක ගුගල් එකෙන් හොයාගත්තේ.


Wednesday, June 6, 2012

නොදනිමි එය කුමක් කියා







අතීතය වර්තමානය තුල හොල්මන් කරන්නට පටන් ගත්තෙන් ලිපිය මකා දමන්නට සිදුවිය

Friday, June 1, 2012

පලයන් අහකට





එක පාරක් කීවම අහපන්
එපා ඔහොම බලන්න
මං දිහා
මට දුක හිතෙනවා මං ගැනම
උඹේ ඔය එලිය දකිනකොට

ඉර බැහැල ගියාම
උඹ එනවා
මහ ලොකුවට
ලොකුකම පෙන්නන්න
දන්නේ නැද්ද
මං දැන් තනියම කියල


කවි ලියන්න
ඔය එලිය 
ඕනේ කරපු කාලයක් තිබුන
එත් දැන් එපා
කිව්වම අහල 
දෑහැටම නොපෙනී
පලයන් අහකට
.......



ග්‍රැෆික් චිත්‍ර අඳින්න මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇඳපු එකක්. තවමත් මේනියාව තියනවා. පොඩ්ඩක් යටපත් වෙලා තිබුනට.