My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, September 26, 2012

කළු දොදොල් තමයි බං රහ

අතේ ඉතුරු වුනේ රුපියල් පහයි. ඉතින් බස් එකේ ආපහු එන්න සල්ලි මදි හින්දා දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගත්ත. රුපියල් පහ දෙනකොට බස් එකේ එද්දී ඉතුරු වෙනුවට කොන්දා දුන්න ටොපි තුනෙන් එකක් දිලුට දුන්නාම එයා ඒක ගත්ත විදිහට බඩපපුව හෝස් ගාල පත්තු වෙලා ගියා. දිලූ ගැන මගේ හිතේ ආදරේ දෝර ගලායද්දී අපි වෙන් වුනේ ආයේ හම්බෙන්න පොරොන්දු වෙලා.


"පරිස්සමෙන් යන්න රයිටර්...ඊගාවට හම්බෙනකොට පොඩ්ඩක්හරි
මහත් වෙලා  ඉන්නකෝ....., ඔයාගේ කැපවීම තමයි හැමදේටම"


"ඇඃ...ලබන සතිය වෙද්දී මහත් වෙයිද....කිරිවලට දාලා දියකරලා බොන්නම බැරිනම් මම රොටී හරි හදාගෙන කන්නම්කො"


"පිස්සුද රයිටර්...රොටී හදාගෙන කන්නද මම මේවා අරන් දුන්නේ,"


දිලුගේ මුණ ෂඩාශ්‍රය වගේ වෙද්දී මං කියපු මෝඩ කතාව ගැන මම පසුතැවුනා.


"හරි හරි මම මගේ උපරිමෙන්ම කැපවෙන්නම්කො"


"හ්ම්....ම් හොඳ රයිටර්" දත් දහතුනක් විතර එලියට දාලා එහෙම කීවම මට තැන නොතැන ගානක් නැතුව ගියා.  මම අමන්දානන්දයට පත්වුණා. පපුව අස්සෙන් ආදරේ වෑහෙනවා වෑහෙනවා වගේ දැනුනා, හිත කීරිගැහුනා. ඒ ඒක කීරක් පපුවේ අභ්‍යන්තර පටකයක ඇනිලාද කොහෙද මම ආපහු පියවි ලෝකෙට ආවා.


බස් හෝල්ට් එකට වෙලා ගමටම හාල්පොත වගේ තියන බස් ඒක එනකම් පැයක් හමාරක් නිරපරාදේ කාලේ කනකොට, මේ අපතේ යන කාලේ ගැන මම පසුතැවිලි වුනේ හදවතින්මයි. කරන්න වැඩකුත් නැතුව, ගෙදෙට්ට වෙලා කවියක් කතාවක් ලියනවා ඇරෙන්න කික් එකක් එන වැඩක් ඇත්තෙම නැද්ද අම්මපා, සමාජෙට බැහැලා කරන්න. ලොවෙත් නැති කල්පනා සාගරේක, රදනක දත ගාවට ගිලිලා හිටපු මට පියවි ලෝකය ගැන නිච්චියක් නැතුවම ගියා. ඒ අස්සේ දිලුගේ හිනාව, සික්ස් පැක්, "මාස් බෝතලේ" මට සැරින් සැරේ මතක් වුනා. එකපාරටම කන ගාව ගහපු බ්රේක් පාරටයි හෝන් සද්දෙටයි, කල්පනා සාගරේ වතුර පෙවිලා මැරෙන්න ගියපු මට යාන්තමට නිනව්වක් ආවේ. පැයක් විතර තොන්තුවාවෙන් කල්පනාකරපුහාම නිච්චියක් නැතුව යනවා, හයියෙන් හුස්මක් අරගෙන මම බස් ඒක දිහා බැලුවේ ඔද්දල් වෙච්ච හිතෙන්.


"අඩෝ මල්ලි, නැගපන් බස් එකට, මොනවද ඩෝ බලන් ඉන්නේ, යකෝ මල්ලියේ අගය කරපන් මේවගේ බස්, ලඟට ඇවිත් නතර කරලා දාගෙන යන්නේ, අපේ අමාරුවට,  රටේ සංවිධානය කරන උපහාර උළෙලවල් වලින් සම්මාන දෙන්න ඕනේ අපිට.. හා නැද්ද මං අහන්නේ ? "


"උපහාර උළෙලක්.....!" හප්පට සුර ගල්බනිස් කිව්වලු,  අයිය නම් දෙයියෙක් යකෝ මේ තියෙන්නේ අයිඩියාවක් මගේ හිත කෑගහල මටම කිව්වා, ඇඟේ  ලේ පයින්ට් හතරක් පහක් සන්තෝසෙට පිරිසිදුවෙද්දී මම සාක්කුවට අත දාලා රුපියල් පහේ කාසි දෙකයි රුපියලේ ටොපි දෙකයි උගේ අතේ තිබ්බා  "දොළහේ එකක්..!" කියලා ස්ක්‍රිප්ට් එකේ විදිහටම. කොන්දාගේ ඇස් දෙක නළල ගාවට ගියා, කට කන ගාවට පළල් වුනා.  "කාපන් කටුව බළලෝ....."  කියන්නේ ඔව්වට තමයි කියල කොන්දා උටම කියාගනිද්දී  "ස්...ස්...ඌරගේ කැවුතු ඌරගේ පිටම තියල කපනවා කියන්නෙත් ඔකටමයි අයියේ" කියල ඇහෙන නොඇහෙන ගානට කියල සීට් එකක් හොයල ඉඳගත්තේ ඉහවහා ගියපු සන්තෝසෙන්.


"ස්..ස්..ස්" "ස්...ස්...ස්"


කවුද බොලේ සුස් සුස් ගාන්නේ කියල බෙල්ල අංශක එකසිය හැත්තෑපහට විතර කරකවලා පිටිපස්ස  බලද්දී හප්පට සුර, රම්බා මට පිටිපස්සේ සීට් එකට පිටිපස්සේ  සීට් එකේ ඉන්නවා. ඊටම ඉස්සරහ සීට් එකේ,...සීවරන් දෙයියනේ සකුන්තලා නංගි.  මට රම්බාගේ ලයින් එක වැටහෙනවත් එක්කම එහා හෝල්ට් එකෙන් සකුන්තලා බැහැලා ගියා. රම්බත් සට පට ගාල නැගිටලා බස් එකෙන් බහින්න හදද්දී මම උගේ කමිසේ කරෙන් අල්ලලා නවත්ත ගත්තා  "හදිස්සි වෙන්න එපා යකෝ" කියලා.


"මොනවද බං පිවිතුරු පරම ආදරේට අකුල් හෙලන්නේ, තොටනම් හොඳක් වෙන්නේ නෑ, ඒකි මට හා කිව්වා  බං"


"ඇඃ...හා කිව්වා.. අම්මපා කියපන්"

"ඔව් යකෝ මුත්තපල්ලා....හා කිව්වා, පන්ති ඇරිලා එනකොට එයත් එක්ක බස් එකේ ආවට කමක්නැද්ද කියලා අහපුවාම හා කිව්වා"

"නෙදකින් තෝ නම්.. මම හිතුව ඒකි උඹට බහ දුන්න කියල," 

"බහ දෙන්නෙත් ඔහොම තමයි බං, බලපන්කො, සත්‍ය ප්‍රේමය කවද හරි ලෝකේ දිනනවා,"

"ඔහෙප්පලයන්, උඹ දන්න දේවල්, උඹට හරි ගියා කියන්නේ මට හරි ගියා වගේ තමයි බං"

"මගුලක් කතාකරන්ඩ එන්ඩ එපා, එකට කෑවට කෙල්ල වෙනස්........හරිරිරිරිරි ....!, ඕනේ දෙයක් බෙදාගන්නම් හැබැයි සකුන්තලා ගැන නො වර්ඩ්ස් හරි....!"

"ශිකේ.....බං උඹේ ඇස් ආදරෙන් අන්ධ වෙලා, උඹට යාළුවා පෙන්නේ නෑ, අම්ම තාත්තා පෙන්නේ නෑ,  උඹ හිතනවද මම උඹට එහෙම කරයි කියල, ආ කියපන්... රම්බා..කියපන්."

"හරි හරි රයිටර් ඔව්ව අමතක කරපන්, උඹ කියන කතාව හරි රයිටර් මම ආදරෙන් අන්ධ වෙලා මන රන්ජිත වෙලා කුජීත වෙලා ඉන්නේ"


හෝල්ට් එකෙන්  බැහැලා අපි දෙන්න ඇවිදගෙන යනකොට ගෙජ්ජි සද්දයක් පස්සෙන් ඇහෙන්න ගත්තා,

"හප්පට සුර කවුද බං මේ හඳෙන් බැහැපු දිව්‍යාන්ගනාව"


"ශික් බං උඹට කෙල්ලෙක්ට බැල්ම දානවා නේද රම්බා..... ඇයි උඹ අර සකුන්තලා නංගිට මෙහෙම ද්‍රෝහී වෙන්නේ, ඔව්ව කැත වැඩ රම්බා, අනික බලපන් කළුවට කලුවේ, මේකිගේ හැටි, අව්වට හම  පිච්චිලාද කොහෙද"

"අනේ පලයන් බං යන්න කළු දොදොල් තමයි රහ"

Friday, September 21, 2012

නන්නාඳුනන ආගන්තුකයා

දෙනෙත් පවා රතුවී පුපුරු ගසන ගිනි කාෂ්ටක අව්වෙන් හෙම්බත්වුන කාපට් පාර තව තවත් ඔපේට දිලිසෙන්නට විය. ගහක් කොලයක් හෝ දකින්නටවත් නොමැති නිරුදක කතරක ඇති උණුහුමක් වාතලය පුරා පැතිරී තිබිණි. වරෙක සුවිසල් වූ අහස සිඹින ගොඩනැගිලි අතරින් පතර හමාගිය සුළඟ පවා ගෙන ආවේ දැඩි කටුක බවක් මිසක සිහිලසක් නොවේ. ජනාකීර්ණ වීදි මතින් ඇවිද යද්දී තියුණු  හී පහරවල් සේ මදෙසට යොමුවෙන නන්නාදුනන මිනිසුන්ගේ නොමනා නෙත්සරය මගේ හදවත අභ්‍යන්තරයටම කිඳා බැස්සේ ලේ නහර පවා හිරිවට්ටමිනි. කෘතීම නගරය තුල ගොඩනැගිලි මංමාවත් අතර  ජීවිතය සොයන්නන්, ජීවිතය යදින්නත් අතරේ ජීවත්වන්නවුන් සොයා මා බොහෝ දුරක් ඇවිද ගියේ අත වූ වේවැල් මල්ලේ තිබුණු බත්පැකට් කීපය නගරයේ හිඟන්නන් කීපදෙනෙක් අතරේ බෙදා දීමටය.  ඒ නිහාල්ගේ මරණයෙන් පසු අද දිනට හරියටම වසරක් සපිරෙන නිසාවෙනි. නිවසට හිමිනමක් වඩම්මවා සඟසතු දානයක් දී නිහාල්ට පින් අනුමෝදන් කිරීමට නොහැකි වීම පිලිබඳ සිතේ කැකෑරුනේ කනස්සල්ල මුසු හැඟීමකි. එහේතුවෙනි  මා මෙසේ බත් පැකට් කීපයක් මහමග හිඟමන් යන්දින්නන් අතර බෙදා දී නිහාල් වෙනුවෙන් පින් අනුමෝදම් කිරීමට ඉටා ගත්තේ. එමගින් සිතට දැනුනු තරමක හෝ සැනසිල්ල මට මහත් අස්වැසිල්ලක් විය.


බොහෝ වයස්ගත වූ අපිරිසිදු සිරුරින් වහැරීගිය සිඟමන් යදින්නන් දුටු මගේ හිත ඔවුන් කෙරේ මහත් අනුකම්පාවකින් පිරි ගියේය. ගෙනා බත්මුල් පහලවෙන් දාහතරක්ම බෙදා දී අවසානයේ අත ඉතුරු වූ බත් මුල බෙදා දීම සඳහා අයෙක් සොයනු පිණිස මා බොහෝ වෙලාවක් වෙහෙසුනමුත් අසාර්ථක වීමි.. එහේතුවෙන් අසල සිටි  පදික වෙළෙන්දෙකුට  එය දී එන්නට සිතුවේ නිහාල් වෙනුවෙන් හවස පන්සලේ පැවැත්වීමට සිතා සිටින බෝධිපුජවට සහභාගී වීම සඳහා සුදානම් විය යුතු නිසාවෙනි. හිස් වූ වේවැල් මල්ල දුටු කල  සිතට දැනුනු සැනලිසිදායක හැඟීම මා වින්දේ යටි සිතින් නිහාල්ට ඒ සියලු පින් අනුමෝදන් කරමිනි. දෙනෙතට නැගුනු කඳුලත් මුවගට නැගුනු සියුම් මදහසත් එලෙසම මොහොතක් ඒ අකාරයෙන්ම පැවතියේත් මා මොහොතක් ගල් ගැසුනෙත්  ලොතරැයි කුඩුව අසල සිටි පුද්ගලයා නෙත ගැටුණු නිසාවෙන්ය.  මැදිවයසේ පසු වූ ඔහු කිළුටු සරමක්ද දුර්වර්ණ වූ බැනියමක්ද හැඳ සිටි අතර ඔහුගේ දෙනෙත්වල  කිසියම් හුරුපුරුදු බවක් දැනුනත් එබවක් නොතකා මා හදවතින් සන්තාප වුයේ අවසන් බත් මුල හෝ  මොහුට ලබාදෙන්නට නොහැකි වීම හේතුවෙන්ය. වමත රැඳී කිහිලි කරු යුගලය දකිත්ම මා දෑස නතර වුයේ ඔහුගේ දෙපා  අසලය. ඇවිලීගිය හදවත, නොදන්නා හැඟීමකින් සසල වුයේ හුරු පුරුදු දෙනෙත් වලට උරුමකම් කියන්නා අබ්බගාතයෙක් වූ නිසාවෙන්ද නැතිනම් කුමක් නිසාද යන්න පැනයට නිවැරදි පිළිතුරක් මා සතු නොවුනි. නන්නාදුනන මහ මග සිඟාකන්නෙකු පිලිබඳ මා හද ලතැවෙන්නේ කුමක් අරබයාද යන්න යන පැනය මා හද විසින්ම මගේ හෘද ශාක්ෂිය වෙත ඍජුවම යොමු කරද්දී  ඒ නිර්නාමික සිතුවිලි වලින් අපමණ වෙහෙසට පත්වීමි.  ඔහු වෙනුවෙන් හද කම්පා වන්නේ බත් මුලක් ඔහු අත තැබීමට නොහැකි වූ නිසාමද යන පැනය පමණක් අවසානයේ මා අත ඉතිරි විය. මාගේ අහේතුක සිතුවිලි මගහැර යාමට නම් ඔහු මග හැර යායුතුය. එබැවින් ආපසු ඒමට ඉදිරියට පියවර තැබූ නමුදු  මා දෙපා ගල් ගැසී ඇති බවක් හැඟුනි, ආගන්තුකයාහට මුදලින් හෝ උපකාරයක් කලයුතුයි මා අවසානයේ තීරණය කලේ ආයාසයෙන් මැඩගත් හදවතිනි.


ආපසු එන අතර තුර බස් රියේ දෙදරන වීදුරු කවුළුවට මා හිස තබා ගත්තේ එයින් නැගුනු ශබ්දය කන්දොස්කිරියාවක් වූ නිසාත් එය වලක්වනු පිණිසත් අපමණ සිතින්ද ගතින්ද වෙහෙසට පත් වී සිටි නිසාත්ය. නමුදු සිදු වුයේ අනෙකකි, වීදුරුවෙන් නැගුනු ශබ්ධය බොල් වී ඇසුණ නමුදු මගේ හිසත් වීදුරුව සමග දෙදරීමට පටන් ගත් අතර සවන් පත් අගින් හටගත් සිහින් දෙදරීමක් සර්වාංගය පුරාම පැතිරෙන්නට විය. මිනිසුන් ගැවසෙන පෙදසක වුවද හුදකලාව සිටීමට මා සෑම විටම ප්‍රිය කලේ බොහෝ විට නිහාල්ගේ ඇවෑමෙන් පසුවය. කාලයෙන් කාලයට ජීවිතය විසින් කීයාදෙන පාඩම් සිත නමැති පිටුවල සටහන් වෙන්නේ දෛවයේ අක්ෂර ලෙස කිසිදා නොවෙනස් කළහැකි ලෙසින් බව මට වැටහුනේ මෑතකදීය. ඒද නිහාල් අවාසනාවන්ත ලෙස මෙලොව හැරාගියාට පසුවය.   කිසිදින කිසිවෙකුට වෙනස් කළනොහැකි දෛවය ජීවිතවලට බොහෝ දේ එක් කරන්නේ නිතැතිනි. ජීවිතය පිළිබද යථාර්තය තේරුම් ගනිමින් සිටින අවධියක දැන් මා පසුවන බව මගේ දිනෙන් දින  මුහුකුරා යන අදහස් නිබඳවම පසක් කළේය. විවිධප්‍රකාර සිතුවිලි අතරේ කැළඹෙමින් තිබුණු හුරුපුරුදු ඇස් ඇති නන්නාදුනන්නාගේ අපැහැදිලි චායාව හිත පුරා අනවසරයෙන් සක්මන් කරන්නට වූයෙන් මා සතු වටිනා දෙයක් මහමග දමා ආවා සේ සිතුවිල්ලක් හතවතින් පැන නැග  එය මට නැවත නැවත වදදෙන්නට විය. යලිත් වරක් ඔහුව දැකීමට හා ඔහු සමග වචන කීපයක් හෝ කතා කිරීමට අවැසි වූ මැඩගත නොහැකි ආශාවකින් මගේ හදවත හදිසියේ පෙළෙන්නට විය. අහඹුවකින් දුටු  නන්නාදුනන්නෙක්ගේ හුරුපුරුදු බව කෙලෙසින් කෙලෙස හදවත ඇතුළු පටක ස්පර්ශ කරන්නේද යන්න මා බොහෝ වෙලා කල්පනා කලෙමි. ඔහු ගැන සිතිවිල්ල අවසානයේ නතර වුයේ මා පිළිබඳවම බරපතල වරදකාරී හැඟීමකිනි. නමුදු එය සාධාරණීයකරණය කරන්නට මා සිතුවිලි සමග තනිවම සටන් කලෙමි.  නිහාල් මෙලොව හැර ගියද ඔහු තවමත් මාගේ නීත්‍යානුකුල සැමියා බව නොදන්නවා නොවුනද, නන්නාදුනන්නාගේ හුරුපුරුදු බව කෙරේ මා සිත චංචල වුයේ  ඔහු කෙරේ හටගත් ආදරයකින් නොව, විසඳාගත නොහැකි, වටහාගත නොහැකි සංක්ෂිප්ත කාරනාවක් නිසා බව වටහා ගන්නට මට පුළුවන් විය.

  
බසයෙන් බැසගත් මා ඉක්මනින් නිවස දෙසට පියනැගුවේ චංචල වූ හදවතිනි. පදනමක් නොමැති, හරයක් නොමැති අහේතුක සිතුවිලිවලින් හෙම්බත්වී ගිය කල ගතද නිරායාසයෙන් විඩාවට පත්විය. ගෙට ඇතුළුවත්ම වම්පස බිත්තියේ රාමුකොට මල්මාලයක් දමා ඇති නිහාල්ගේ පින්තුරය නෙත ගැටුණු විට පපු කුහරයතුල හටගත්තේ  අකුණක් පුපුරා ගිය කල්හි ඇතිවන වේදනාවක්ය. දෙනෙතින් පැනනැගුනු කඳුළු කැට නොනවත්වා ගෙබිම මත පතිත වන්නට විය. බොඳව ගිය දෙනෙත් අතරින් නිහාල්ගේ දෙනෙතත් නන්නාදුනන්නාගේ දෙනෙතත් මැවී මැවී පෙනෙන්නට විය. මේ ආගන්තුකයාගේ හැඩහුරුකම මෙතෙක් වෙලා යන තුරුත් මාහට තේරුම් ගන්නට නොහැකි වීම පිලිබඳ කලකිරීමක්ද ඇතිවුයේ, නිහාල් මෙලොව  හැරගොස් වසරක් යන්නටත් මත්තෙන් ඔහුගේ අධ්‍යාත්මය මසිතෙන් බැහැර වූ නිසාදැයි යන සිතිවිල්ල ඉස්මතුවී නැගුනු නිසාවෙනි. නන්නාදුනන්නෙක්ගේ හුරුපුරුදු බව මෙතරම් සිතට කුහුලක් වුයේ මන්දැයි අවසානයේ මා තේරුම් ගත්තෙමි. ඒ නිහාල්ගේ ප්‍රතිරූපය දෙස බලාගෙන නැවත ඒ ඇස් කිසිදිනක අමතක වන්නට ඉඩ නොතබන බව තරයේ මා හටම ප්‍රතිඥාවක් දෙමිනි. 

Wednesday, September 12, 2012

සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!!

හීතලට ගුලි වෙලා සරම ඔලුවේ ඉඳන් පොරෝගෙන ගොරෝ ගොරෝ හිටපු රයිටර් දැක දැක හිටපු හීනේ සුන් බුන් චකබ්ලාස් වෙලා ගියේ අර දවසක් කීව අක්කගේ ඔරලෝසුවේ එලාම් සද්දෙට. අත්දෙක බෙල්ල වටේ කරකවලා ඇඟ අඹරලා හිරි ඇරලා ඇඳෙන් බහිනකොටයි මතක් වුනේ අද ඉරිදා කියලා. කන්නාඩිය ඉස්සරහට ගිහින් මුණ බැලුවේ පුරුද්දට වගේ වුනත් හැමදාම ඇස් දෙක නතර වෙන්නේ කනට පල්ලෙනුයි නිකට වටෙයි දළුලා වැඩෙන රැවුල් කොට ගාව. "ෂාහ්....! අමාරුවෙන් මාසයක් විතර වවාගත්ත රැවුල පීදෙගෙන එන ලස්සන......"කවියක්, කතාවක්  ලියල කවුරු හරි ලස්සනයි කිව්වම හිතට දැනෙන අහිංසක අභිමානය වගේ හැඟීමකට ලඟින් යන හැඟීමක්  එවලෙත් මට දැනුණා. මගේ හිත ඔද්දල් වෙන්න ගත්තා මං ගැනම. පැයක් විතර මුණම හෝදලා කෝකටත් තෛලය වගේ තියන  ස්ලිම්ෆ්ට් ඩෙනිම අතට ගත්තේ ඩෙනිම් කලිසම හොයාගත්ත මනුස්සයට පින් දිදී. දවසක් රයිටර්ගේ උපන්දිනේට දිලූ දුන්න ලා නිල්පාට ස්ලිම්ෆිට් ෂර්ට් එක ඇන්දේ වෙන අඳින්න එකක් නොතිබුන හන්ද නෙමෙයි, ආදරේ දළුලා වැඩෙන්න ඒවගේ පුංචි සිද්ධියක් වුනත් හොඳටම ඇති කියලා ලඟදි කියවපු පොතක තිබුන හන්දා. දිලුගේ ආදරේ පොඩ්ඩක් හරි වැඩි වුනොත් කාටද.. මටනේ...!

ලාච්චුවට අතදාලා පීරලා පීරලා  රුපියල් විස්සේ කොළ කෑල්ලක්  හොයාගත්තේ ගමන් වියදමට හරියන්න. එනකොට දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගන්නවා කියල හිතාගෙන.  යකෝ රටේ උද්ධමනේ මටත් සෑහෙන්න බලපාල වගේ. අන්තර්ජාතික ණය ආධාරයක්වත්  ඉල්ලගන්න හිටියේ අක්කා විතරයි. ඒත් රයිටර්ගේ යම් යම් පෙර වැරදි වලින් අන්තර්ජාතික නියෝජිතයින්ගේ විශ්වාසය පලුදු වෙලා තියන හන්දා මේ දවස් වල සැලසුම් සහගත රොබරියකින් ඇරෙන්න ආධාරයක් බලාපොරොත්තු වෙනවා බොරු. "බලමු බලමු ඉස්සරහට කරන දෙයක් කරමුකෝ" කියල හිතාගෙන  ශාරුක් අයියා ගාන ක්‍රීම් එකයි, ජෝන් ඒබ්‍රහම් ලොක්කා ගාන ක්‍රීම් එකයි දෙකම කලවම් කරගෙන මුනත්තහඩුවේ උලාගත්තේ මලපෙරේත පාට ටිකක් හරි යන්න.

"හෙලෝ දිලූ පැට්ටෝ....ගුඩ් මොර්නින්ග්..........! ඔන්න මම එනවා......!"


"හෙලෝ හෙලෝ රයිටර් පැට්ටෝ...ගුඩ් මොර්නින්ග් ....ම්.......ම් හොඳ....ළමයා අද කලින් එනවා නේද, හැබැයි වෙන කොහේ හරි රස්තියාදුවක ගිහින් එන්නහෙම පරක්කු වුනොත් හපනවා හොඳේ ...........කන කෑලි කෑලි වලට"


දකුණු කකුලේ සුළඟිල්ලෙන් ඇතිවෙච්ච හිරිවැටිල්ලක් මගේ වම් කන් පෙත්ත හරහාම ගියා.. එක අතකින් කන අල්ලාගෙන ෆෝන් එකත් කනේ ගහගෙනම අද්දන බස් එකේ දොරට පැන්නේ පරක්කු වුනොත් ගෙදර එන්න වෙන්නේ කන නැතුවනේ කියන බයට.


"මල්ලි තෝ  මැරෙන්න හදනවද ගස් ඌරෝ. දුවන බස් එකේ එල්ලෙන්නේ.....තොට මදන කුලප්පුව ඔලුවට ගහලද.....තෝ මලානම් තෝ සැතපෙයි පෙට්ටියේ...අපි එපැයි ගස් යන්ඩ, මොකද තෝ වලෙන් බැහැල ඇවිත් අපිව බේරාගන්නවා කියලද...මැරෙනවනම් මැරියන් කෝච්චියට පැනලා නැත්තම් බෙල්ලේ ගලක් ගැටගහගෙන ලිඳකට පැනලා.......බොලාගේ වරිගේ එවුන් තොගේ පෙට්ටිය තියාගෙන පාරවල් හරස් කරලා කෙලින පිස්සු පෙන්නන්න එවුන් ඉන්නවනේ...... රටේ මිනිස්සු ඉන්නවනේ ටීවී එක ඉස්සරහට වෙලා කට ඇරන් අනේ හපොයි කියන්න......අනේ මුන්ට .*&^&%$@#.... "


ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලො රංචුවගේ ඇස් කන ගාවට ගියේ කට බෙල්ල ගාවට ඇරෙද්දීමයි. උන් ටික මං දිහා බැලුවේ ආත්ම අනුකම්පාවෙන් කියල මට තේරුණා.
මම ලාමක ළපටි හිනාවක් පෑවේ උන්ගේ අවිහිංසාව දරාගන්න බැරුව.


"මල්ලි ඔය පොල්ල අතැරලා පස්සට යන්න, ඔය අක්කා අයියට හේත්තු වෙන්නේ නැතුව ඉස්සරට වෙන්න...මැද පොල්ල අල්ලාගෙන ඉන්න කට්ටිය කතා කරලා ඉස්සරහට වෙන්න..සල්ලි ගන්න...ටිකට් ගන්න..අනේ අක්කේ අක්කගේ ඔය ඩිකිය පොඩ්ඩක් ඇතුලට දාගන්න....කවුරු හරි මේ නංගිව වඩාගෙන ඉන්න අයියට  සීට් එකක් දෙන්න....! ඔය නංගි ගාව සීට් එක අල්ලන් ඉන්න මල්ලි සල්ලි ගන්න..මාරු සල්ලි ගන්න. ..මාරු දෙන්න.......පස්සෙන් බහිනවා...පස්සෙන් බහිනවා..ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. ඉස්සරහින් නැග්ගද...හරි හරේ යං ?


"ඔය ෆෝන් එක කනේ ගහන් ඉන්න මල්ලි ටිකට් ගන්න" කොන්දා අයියා මං ගාවට ආවා...
"දොළහේ එකක්"


"මල්ලි ඉතුරු ගන්න....පේරද, ඇපල්ද, දිවුල්ද ?"


"ඇඃ....මොකක්..මුකුත් එපා අයියේ දැන් බෑ....ඉතුරු දියන්කෝ "


"ඉතුරු දෙන්න මාරු නෑ ඉඳා ඒවාට හරි යන්න මේ ටොෆි ගනින්"  


"අයියේ ගස්ලබු නැද්ද" පිටිපස්සෙන් හිටපු එළ කොල්ලෙක් කියනවා ඇහුණා, කෙල්ලෝ ටික කිචි බිචි ගෑවා දෙමලිච්චෝ රංචුවක් වගේ.... කොන්දට මල පැනලා අංශක විසි තුන හමාරයි පොයින්ට් දෙකයි කාලකට විතර.   කොන්දා මගේ අතේ රුපියල් පහක් එක්ක ජාති තුනෙන් ටොෆි තුනක් මිටමෙලෙව්වා ගස්ලබු ඉල්ලපු එකාට රවාගෙනම.


----------------------------------------------


කියපු වෙලාවට තත්පර 80ක් විතර තියලා මම දිලූ ගාවට ගියා.
පාට පාට හීන වල අතරමන් වෙච්ච අන්ධ වූ ආදරවන්තයෝ ආදරවන්තියෝ මැදින් මමත් දිලුගේ අත අල්ලාගෙන පාක් එක ඇතුලට ගියේ පාට පාට ලෝකෙක අතරමං වෙන්න හිතාගෙන...


"අනේ රයිටර් බලන්නකෝ ඔයාගේ ඇඟේ හැටි, ඔයා හරි කෙට්ටුයිනේ...හුළඟක් ආවොත් ගහගෙනත් යාවි..එහෙම නෙමෙයි රයිටර්....කොල්ලෙක් වුනාම සික්ස් පැක් තියෙන්න ඕනේ, ආම්ස් දෙක තියෙන්න ඕනේ ෂර්ට් එක ඇන්දාම  කිටි කිටියේ හිරවෙන්න. ෆෝර්ආම්ස් තියෙන්න ඕනේ කැපිලා පෙන්න. කෝ
ඔයාගේ සික්ස් පැක් තියද කියන්න"

"ආ... ඔව් ඔව් තියනවා සික්ස් පැක්...තියනවා හයක් නෑ හැබැයි.....ඊට වැඩියි"


"කෝ එහෙනම් කීයක් තියද..පෙන්නන්න බලන්න?"


මම ගැඹුරු හුස්මක් අරං බඩ අකුලන් එකේ ඉඳන් 12 ට ගැනලාම මගේ පපුව පෙන්නුවා

"පිස්සුද අනේ ඔය ඉල ඇට කුඩුවනේ. සික්ස් පැක් එන්නේ බඩේනේ හලෝ... ම්....ම්...ම්.... හරි හරි ....කමක් නෑ හොඳ ළමය වගේ මං දෙන මේ පිටි එක අරං ගිහින් බීලා ජිම් එකක් හොයාගෙන යන්න. ආ...මේ තව ඔය මල්ලේ සීඩී එකක් ඇති එක්සසයිස් කරන විදිහ.. ඒක බලල ඒ විදිහට කරන්න හොඳේ...කොහොමද රයිටර් ජෝන් ඒබ්‍රහම් වගේ වෙලා ආවම.....කාටද ආඩම්බර...? ඔයාගේ දිලුටනේ..හා නැද්ද හා...?"


දිලුගේ මුනේ තිබ්බේ බලාපොරොත්තු සහගත බැල්මක්. එක අතකට දිලූ කියන්නේ ඇත්ත තමයි. දිලූ කියන විදිහට කරලා බලන්න ඕනේ.  මගේ හිතත් බලාපොරොත්තු වලින් ගොජ ගොජ ගාල පිරෙන්න ගත්තා.


"ජිම්...?....එක්සසයිස්....?....පිටි.....? සික්ස් පැක්....? කොහෙන්ද වස්තු ඔයා මෙව්වා හොයා ගත්තේ."
"නෑ අනේ මං ජෝන් ඒබ්‍රහම් ඉන්න අලුත් ෆිල්ම් එකක් බැලුවා. මටත් හිතුනා මගේ රයිටර්වත් ඒ විදිහට හදල ගන්න ඕනේ කියලා....ඉතින් මම අපේ අයියගේ සුට් කේස් එකේ තිබ්බ පිටි එකේ නම ලියාගෙන ඔයාට එකක් අරං දුන්නේ. අපේ අයියත් ජිම් යනවනේ.  එයා ගන්නෙත් ඔය "මාස්" එකමයි. ජිම් එකේ මාස්ටර් කියල තියෙන්නේ ඒ ජාතිය හොඳයි කියල....හොඳ ළමයා වගේ කුක්කු ටින් එකම බොන්න හොඳේ.  


"ම්.ම්ම් එතකොට මේක කීයක්ද"


"ඒවා වැඩක් නෑ ඔයා බොන්නකෝ..ගාන වැඩක් නෑ"


"නෑ නෑ කියන්නකෝ....ප්ලීස්...!"


"කිලෝ එකම හයදාහක්"



Friday, September 7, 2012

වියරුව

දෙකේ ලැයිම් කාමර පේලිය දෙසින් බොහෝ වෙලාවක සිට ඇසෙන කන්දොස්කිරියාව දැන්ම නවතින පාටක් නැත. තියුනුව ඇසුණු එකෙකුගේ කටහඬ පරයා එතන සිටියායැයි විශ්වාස කළහැකි පිරිසකගේ කාලගෝට්ටිය ඇසෙන්නට විය. මේ විරසකයට හේතුව හරිහැටි මා නොදැන හිටියත් නිසැකවම එය එතරම් තැකිය යුතු එකක් නොවන බව ඉඳුරාම පැවසිය හැකිය. මන්දයත්  දිනකට කීපවරක්ම කිසිදු වැදගැම්මකට නැති මෙවන්  සිදුවීම් අනන්තවත් මේ ලැයිම් වත්තේ සිදුවන නිසාවෙනි. පටු මාවත දෙපස අක්‍රමවත්ව හා ඉතා අපිරිසිදුව පිහිටියාවූ මුඩුක්කු කාමරවල සිටිනවුන්ට ගම්මානය සුරපුරයක් විය. ඔවුන් ඇදහුයේ මින් එහාට ලෝකයක් ඔවුන්ට නොමැතිබවය. පල්වී කුණු ගඳ ගසන කානුවෙන් එපිට ලෝකය කිසිදා ඔවුනට උරුම නැතැයි  ඇදහුවන්හට මා සාප කලද මේ නරාවලෙන් ගොඩයාමට වලිකන්නන් අතර සිටින්නේ මා පමණක්ම විය යුතුය. අරුණැල්ලේ උදාවෙන හිරුරැස් පවා මේ වපසරිය නොසලකා හරින බවක් මට හැඟේ. එහෙයින් දවසේ බොහෝ වෙලාවක් අඳුරුව ගියාවූ පටු මාවත දැඩි කාලකන්නි බවක් නිතැතින්ම ඉසිලීය. ඉඳහිට ගහක පිපෙන මලකින් වුවද හමන්නේ කුණු ගඳ මිසක වෙනකක් නොවන බව මට සිතුන වාර අනන්තවත් ඇත.  පියඹා ඇදෙන සමනලුන්ගේ වුවද දිස්න දෙන වර්ණවත් පිහාටු මා දැක ඇත්තේ කලාතුරකින්ය, බොහෝ විට මා දකින්නේ ඒවා කළුපාටට හුරු අඳුරු  මුසල පාටකින් යුක්ත බවකිනි. විටෙක පාන්දර නිවස පිළිකන්නට එන දෙමලිච්චි රංචුව ඇතුළු බොහෝ කුරුල්ලෝ පනුවන් අහුලන්නේ ඕනෑවටත් වඩා අලසකමිනි. ඔවුන්ගේ ගීතවත් කුරුළු නාද නම් ඇසුණු දිනයක් මට මතක නැත. ඒ වෙනුවට නිතරම කාකොටාගන්නා කුරුළු රංචුව වුවද ලැයිම් ජනපදයේ වෙසෙන නහරකාරයිට අනුරුප වන්නේ යැයි මගේ යටිසිත නිතරම පැවසීය. 


ක්ලෝරීන් ගඳ ගසන වතුර කරාමය හැර කේතලය පුරවා මා  මුළුතැන් ගෙයි මිටි බංකුවේ හිඳ ගත්තේ එය ලිප මත තබා බිත්තිය කෙලවර යකඩ කම්බි දැල් ජනේලය තුලින් එපිට බලමිනි. සුලෝචනා අක්කා සකසුරුවමට හැඳ පැළඳ පටු මාවත අසල පහන් කණුවට බරවී සිටගෙන සිටියේ ජංගම දුරකතනයක් කනේ රුවාගෙන සුපුරුදු පරිදිමය. ඉනික්බිතිව වෙනදා පැමිණෙන සුදු කොරොල්ලා කාරය වෙනුවට පැමිණියේ මෝටර් බයිසිකලයකි. ඇය බයිසිකලයේ පැමිණි කෙනාගේ උරහිසට වාරු වී එම බයිසිකලයටම නැග පිටව ගියේ දුම්වලාවක් අතරිනි. බොහෝවිට ඒ ඇයගේ වත්මන් පෙම්වතා වන්නට ඇති මම නිගමනය කලේ මීට පෙරත් ඇය මෙවන් පෙම්වතුන් කීප දෙනෙක් ඇසුරු කරනවා දැක ඇති නිසාවෙනි. ලැයිම් පේලියේ ජීවත්වනවුන් ඇගේ පැටිකිරිය ඕනෙවටත් වඩා දන්නා නමුදු ඇයට දෙස් දෙවොල් තබනවා විනා ඇය යහමගට ගැනීමට එක උපදෙසයක්වත් නොදෙන බව සහතිකය.  ඇය කෙරේ මහද ආත්මානුකම්පාවක් හටගනිත්ම  හමා ආ සුලන් රැල්ලක් දැල් කවුළුව තුලින් රැගෙන ආවේ සුපුරුදු පරිදි කුණු කාණුවේ දුර්ගන්ධයත් ඊට අමතරව සොලොචනා අක්කා නැග පිටව ගිය බයිසිකලයේ පෙට්රෝල් දුම් කරගඳත්ය. විශාමාකාර, ජුගුප්සාජනක ජීවිත ගෙවන්නවුන් ලැයිම් පේලියේ අනන්තවත් අරක්ගෙන සිතිනි. කළු සුදා, සයිකල් බන්ටි, මාළු පද්මේ, පොලී මරියා, ආදී ලෙස ඔවුනොවුන්ගේ රැකියාවට අදාළ බොහෝ නම් මෙහිම වෙසෙන්නන් විසින් ලියාපදිංචි කර තිබිණි. කොතරම් යහපත්ව ජීවත් වුනත් මගේ අම්මාටද වත්තේ එවුන් කයි කතන්දර කියනවා මා ඉවසා දරා සිටින්නේ ඉමහත් පිළිකුලෙනි. ඒ බොහෝ කතා අවසානයේ මාද වැරදිකාරයෙක් වන්නේ නිතැතිනි,  මා ආතක් පාතක් නොමැතිව අවජාතකව ඉපදීම හේතුවෙන්ය ඔවුන්ගේ දෙස් දෙවොල් වලට මා බඳුන් වන්නේ. අම්මාට එකල අත්වූ ඉරණම මහපොලව පවා නුහුලන තරම් වුවද, ඊට එරෙහි වන්නට ඇයට ශක්තියක් තිබුනද ඇය එසේ ඉවසාදරගෙන සිටියේ ඇගේ කුසතුල නුපන්  මාගේ ආත්මය කලලයක්ව ඇතිදැඩි වන බව ඇයට දැනුනු නිසා බව මා හොඳාකාරව දනිමි. 



හාල් පෙගෙන්නට දමා තිබු කොරහේ මැස්සෙක් වැටී ඌ එයින් මිදී ඉගිල යෑමට මරණයත් සමග වලිකමින් සිටියේය. කිසිදු හව්හරණක් නැති මාද ඒ තිරිසනාද අත්විඳින්නේ එකම ඉරණම බව මට එවලෙහි සිතුනේ මන්දැයි සිතීමට පමා නොවී දබර ඇඟිල්ලෙන් මැස්සාව ගොඩගතිමි. ඇඟිල්ල මත තටු ගසා දමා සැනින් ඉගිල ගියෙන් මා නැවත ඌ නොදිටීමි. අළු ගසා දමා නිදහසේ අනන්තයට පාවෙන්නට මගේ හිතේ නොනිම් ආශාවක් ඇතිවිය. අන්ධකාරයෙන් වැසුණු අපැහැදිලි අනාගතයක් සිතේ මායම් කරන්නට විය. කේතලේ වතුර පැහීගෙන එද්දී  නාස් පුඩු වැකුණ  සිගරට් දුම් ගඳ නිසා මසිත සැකයකින් මෙන්ම ත්‍රාසයකින් ඇවිලී ගියේය.  මුළුතැන්ගේ උළුවස්සට දෑතම තබා මදෙස එක එල්ලේ බලා හුන් ගිල්බට් මගේ දෑස ග්‍රහණය කරගත්තේ බිල්ලක් ගිලදැමීමට කෑදරකමින් බලා සිටින රකුසකුගේ විලාසයකිනි. ඔහුගේ දෙනෙත්වල තිබුණු අසාමාන්‍ය හැඟීම මට වටහාගන්නට අපහසු නොවිණි.  පාදාන්තයේ සිට කේශාන්තය දක්වා මා දවා හළු කරවන බැල්මෙන් බලා සිටියේ ඔහුගේ මීළඟ බිල්ල ලෙස මාගේ ජීවිතය පරිත්‍යාග කිරීමට ඔහුට අවනත වන ලෙස කියාපාමිනි.


"කෙල්ලේ......හරි තිබහයි බං..කහට උගුරක් වක්කරහන්කෝ...මැගීගේ කඩෙත් වහලා බං..කහට උගුරක් බොන්න ඉල්ලුවට වත්තේ එකෙක් දෙන්නේ නෑ බං. හොඳ කෙල්ල වගේ මට කහට උගුරක් වකරලා දියන්කෝ. "


 රස මසවුලක් ඉදිරියේ තලුමරන පෙරේතයෙක් විලසින් ඔහු පැවසුවේ මදෙස බලා තොලකටද ලෙවකමිනි. මගේ සර්වාංගයම පිළිකුලකින් හිරිවැටී යද්දී ඔහු පියවර කීපයක් ඉදිරියට තැබුවේය. ඒ සමගම මාද පියවර කීපයක් පිටුපසට තැබුවේ නිරායාසයෙනි. අහක් පැටලී  ලෑලි මැස්ස මත වූ පිඟානක් බිම වැටී කෑලි වලට කැඩී කැබලි සී සීකඩ විසිර ගියේය.


"ඔහොම ඉඳහන් කෙල්ලේ, උඹ මොකටෙයි බයවෙන්නේ, බය නොවී මට තේකක් හදලා දියන්."


 
ඔහු පියවරෙන් පියවර ඉදිරියට එද්දී මා පසුපසින් පසුපසට ගියෙමි. ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බැලීම පවා  අපහසුය. රාගයේ අසම්මත ගිනිදැල් පිටවන ඔහුගේ විකෘර්ති ආශාවන් හමුවේ  මගේ දෛවය ලියවෙන්නට ඉඩ හැර නිශ්ශබ්ධව සිටීමට මා කිසිසේත් සුදානම් නොවුනෙමි. අකාලයේ  අම්මාට අත්වුණ ඉරණම මටද අත්වුණ  බව පිළිගන්නට අම්මා කිසිසේත් සුදානම් නැත. පළිගන්නට දැන් ඇය ඕනෙම දරුණු තීරණයක් වුවද ගන්නා බව දනිමි. මන්දයත් මා අහිමි වුවාට පසු ඇයට අහිමි වෙන්නට ජීවිතයේ තවත් වටිනා වස්තුවක් නොමැති නිසාවෙනි. එබැවින් මටද අම්මගේ ජීවිතය හැරුණු කල මගේ ජීවිතය තරම් වටිනා වූ වස්තුවක් නොමැති නිසා ඒ ජීවිතය වෙනුවෙන් මරාගෙන මැරීමට වුවද ඉටාගත්තෙමි.



"හා.... මං... හද..ල දෙ.න්න..ම්...... මා..ම එළියෙ...න් ඉ.න්..නකෝ....." සැලෙන කටහඬින් මා පැවසු විට ඔහුගේ මුවේ සරදම් සිනාවක් ඇඳුනි.



"බය නොවී ඉඳහන් කෙල්ලේ..මම මෙහෙන් ඉන්නම්" ඔහු නොනැවතී ඉදිරියටම ආවේය.



ජීවිතය වෙනුවෙන් මරාගෙන මැරීමට වුවද දැඩි තීරණයක හුන් මම මැස්ස මත තිබි කැත්ත  දෑතින් ගෙන අමෝරා ගත්තෙමි. 



"හෙල්ලෙන්නේපා....තව අඩියක් ආවොත් කොටනවා, හොඳ හිතින් ආපහු පලයන් ගිල්බට් මාමේ, ඉස්සරහට ආවොත් කොටනඑකත් කොටනවමයි " වියරුවෙන් මවිසින් එල්ලකල තර්ජනයට ඔහු මදක් සැලුණු බව ඔහුගේ ඉරියව් වලින් පෙනී ගිය අතර ඔහු අඩියක්ද පිටුපසට තැබීය.  


අසාමාන්‍ය ලෙස ගැහෙන හදවතින් යුතුව මා බිරාන්තව දෙවියන් සිහිකලෙමි. දේව රුප අතර මට අම්මගේ අසරණ මුහුණ මැවී මැවී පෙනෙන්නට විය.  


"හෙහ් හෙහ් හෙහ් හෙහ් මට කොටන්ඩ..උඹ...හා කොටහන් බලන්ඩ...කොටහන් මහ ලොකු කෙරුම්කාරී  " පිස්සු බල්ලෙක් බුරන්නා සේ ඔහුගේ මුවින් නික්මුණ හඬේ ගැබ්ව තිබුනේ පසුබසින ස්වරුපයක්නම් නොවේ.

  
ක්ෂණයෙන් මුව නාම්බෙක් වෙත පනින කොටියෙක් සේ මා වෙතට පැමිණි ඔහු මා අඩපණ කොට ඔහුගේ ග්‍රහණයට ගැනීමට  මා සමග පොරකන්නට විය. පොරය හමුවේ දෑතේ රැඳී කැත්ත විසිවී ගොස් ලෑලි මැස්ස මත තිබුණු වීදුරුවක එය ගැටී  "සලං" හඬින් බිදී ගියේය. ඉතින් .... සවිමත් දරදඬු හස්තයකට හසුවී මිරිකීයන මල්පෙත්තක්  ගැන කිනම් කතාද.?. දෑස පියාගෙන ලේ පිපාසිත පාපතරයාට ජීවිතය විනාශ කරන්නට ඉඩ දී  නිහඬ වනවා හැරුණු කල අන්කුමක් නම් කරම්ද.? 


අවසානාවන්ත මිනිත්තු කීපයක් ඇතුලත බොහෝදේ සිදුවිය. දෛවයේ කෘර හස්තය විසින් උදුරාගත්  ජීවිතය දෙස මා බලා සිටියේ බලාපොරොත්තු විරහිතවය.  පමණට වඩා උතුරා යන කේතලය "සොස්, සොස්" හඬින් කොඳුරනවා ඇසිනි. දෙනෙත් අග මෝදු වී කැටි ගැසුණු  කඳුලැලි අතරින් විල්බට් නැගිට යනු දුටුවෙමි.  බොහෝ වෙලාවක් නිසොල්මනේ සිටි මට අන්ධකාරයෙන් අන්ධකාරයට පත්වූ අනාගතය සරදම් ලෙස ඔච්චම් කරනවා පෙනුනි.  

Monday, September 3, 2012

චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්‍යා පටල ?

මහාපාරේ කාණුවක ඔලුව හිරකරගෙන සතියක් සිහිය නැතුව ඉඳලා සතියක් සිහිය ඇතුව ඔක්කොම සති දෙකක් ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපාගෙන රයිටර් ගෙදර ආවේ බ්ලොග් එකට තවත් හිට් ගෝනියක් අරගෙනයි. ඉස්පිරිතාලේදී මට සාත්තු කරපු ලස්සනම ලස්සන නර්ස් නෝනලා ටිකත් අද ඉඳන් මගේ හිට් කවුන්ටරේ කරකවයි.


"අනේ රයිටර් ඔයාගේ කතා හරිම ලස්සනයි.., ඔයා කොහොමද  ඕවගේ ලස්සනට ලියන්නේ, ඇත්තටම..ආ...?...ඔයා මොනවද ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ  ?


" ඔව්ව  බොක්කෙන්ම එන එව්වා මිසී....තනිකමෙන් පාලුවෙන් පිරිලා මගේ හිත ඔද්දල් වෙලා ලියන්න දෙයක් නැතුව දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියන සිතුවිල්ල හිතට වද දෙනකොට, පීඩිත පන්තියේ තවත් එක්‌ සාඩම්බර වැසියෙක් වෙච්ච මට, ධනවාදී ආත්ම අරගල හෙලා දකින මගේ සහෘද පාඨක කොට්ටාශයට හිත සුව පිණිස වගේම මගේ ඒක පුද්ගල විවිධප්‍රසංග  ආත්ම අභිමානය හා  ස්වයං වි සන්තුෂ්ටිය වෙනුවෙන් මා පසු පස හඹා එන ප්‍රිය හිතවත් උත්කෘෂ්ට පාඨකයා වෙනුවෙන් යමක් දැනෙන්න ලියන්න ඕනේ කියල හිතෙනකොට..... ෆුජියාමා සක්‍රීය වෙලා ලෝදිය වැක්කෙරෙනවා වගේ මගේ හිත උණු වෙලා  බස බස ගලා යුනිකෝඩ් වෙනවා මිසී. හිතේ පාළුව මකාගන්න, තනිකම දාරාගන්න බැරි වුනාම හිත හදාගන්නත්, මම ලියනවා මිසී.  නොමගට වැටිච්ච අන්තර්ජාල පරිශීලන ජනතාව යහමගට ගන්න මම බ්ලොග් එකක් ලියල කරන්නේ සමාජ මෙහෙවරක් මිසී......මගේ බ්ලොග් එක හින්ද අයාලේ ගිය අන්තර්ජාල පරිශීලකයින් කීයක් යහමගට වැටෙන්න ඇත්ද...සම්මාන නම්බුනාම පදවි පට්ටම් හම්බුනුනාට,  ඉතින් මිසී මම පොරක් නෙමෙයිද, ජාතියේ නිහඬ වීරයෙක් නෙමෙයිද....ඈ.ඈ .!...මට කියන්න මිසී මට කියන්න.....?"


මගේ ඇස් තෙත්වෙනවා දැකපු එතන හිටපු ලස්සන චූටි නර්ස්ගේ ඇහේ අග්ගිස්සට  කඳුලක් පිරෙනවා මම යාන්තමට දැක්කා. "ඔව් ....රයිටර් ඔව්...ඔයා පොරක්....ජාතියේ වීරයෙක්....මමත් ඔයාගේ උදාර කර්තව්‍යට අද ඉඳන් සක්‍රීයව දායක වෙනවා...ඔයා බය වෙන්න එපා රයිටර්....මම මේ ඉස්පිරිතාලේම හිට් ටික ඔයාගේ බ්ලොග් එකට අරන් දෙනවා ප්‍රොමිස්...අපි ඔයාගේ බ්ලොග් එකෙන් මේ මිනිස්සු යහමගට ගමු.....ඔයා කවද හරි ෆේමස් රයිටර් වෙනවමයි, ඒක එක්ස්රේ මැසිමෙන් ඊ.සී.ජී. ගන්න බෑවගේ සහතිකයි රයිටර්. ඔව් සහතිකයි" අතිශය හැඟුම්බර කටහඬින් නර්ස් කිව්වම මගේ හිත ආයෙමත් ඒක පුද්ගල ස්වයං ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා.


___________සති ගානකට පසු ___________
(පසුබිමින් දුරකථනය නාද වෙයි - කතාකරු ශරීර කර්තව්‍යයක)


"හෙලෝ මගේ රයිතර් පැතියෝ, දැන් උයාට කෝමද, ....උයා හලි නලකයි.....මගේ නලක සමනල පැතියා.....දැන් උයාට මාව මතක් වෙන්නෙම නා වගේ නේද ?"  ඕම කලන්න එපා අලේ... මට ඩුක හිතෙනවනෙ" (පසුබිමින් ක්‍රියාවක අතුරුපලයක හඬක් නැගෙයි - නොසලකා හරින්න).......ආඃ උයා ඔය කොයිද ඉන්නේ...? තීවී බලනවද....මොකක්ද ඒ සද්දේ ?"



"ආඃ....අනේ...හයියෝ ඔයාටත් බෝවුනාද මගේ රත්තරනේ...අනේ..ඕකට බේතක් නෑ දිලූ පැටියෝ..ඔයාට  කාගෙන්ද ඕක බෝ වුනේ මැණික, අනේ මම හිතුවේ නෑ ඔයාට ඔහොම වෙයි කියලා,..යසට හිටපු මගේ පණ... අනේ.....මං දැන් කාට කියන්නද......අනේ සීවරන් දෙවියනේ.....ඕක වසංගතයක්..ඔය දිවේ උළුක්කුවට තෙල් බේත් නෑ පැටියෝ දිව කපනවා මිසක....අනේ දොස්තරලා ඔයාට එහෙම කරනකම් මම බලන් ඉන්නේ කොහොමද...කියන්න දිලූ මට කියන්න....?


"අනේ...රයිටර්...මගේ දෙයියෝ.....අඬන්න එපා...... ඔයා බය වෙන්න එපා වස්තු...මට ලෙඩේ හැදිලා නෑ. මම සුට්ටිම සුට්ටි අත්හදා බැලීමක් කලේ,..එහෙම කතා කරනකොට ආදරේ හිතෙනවද....මං සුට්ටිම සුට්ටි සුකුමල, ලඳ බොළඳ අදහස් තියන හා පැටියෙක් කියල හිතෙනවද...මට ඒකයි දැනගන්න ඕනේ...හරි හරි ඒවා වැඩක් නෑ... ඉතින් ඉතින් රයිටර් පැට්ටෝ මොනාද අලුත් විස්තර, ඊයේ හොඳට දොයිය ගත්තද?"


"ඔයාට කියන්න දිලූ....ඊයේ රෑනම් මහම මහා මුසල රැයක්....මගේ දකුණු කනට තෙල් කුඹියෙක් රිංගල කනේ කන්‍යා පටලේ කන්න ගත්තනේ...මට සිහිය නැති වෙන සයිස් එකට ආවා"


" චිකෙයියා..අනේ....කනේ කොහෙද අනේ කන්‍යා පටල...ඒවා තියෙන්නේ වෙන දිහාක"


"ආඃ එතකොට  කන්‍යා පටලේ කොහෙද තියෙන්නේ"


"ඔය..!...ඔය.....!! ඔයා මාව පොළඹවනවා, එන්න එපා ඔව්වට" මේ මේ ඒක නෙමෙයි....ඉරිදට වැඩක් තියද....නෑනේ නේද ......? අපි ගමනක් යමුද ?


"ගමනක් කොහෙද"


"පුලුවන්ද බැරිද කියන්නකෝ"


"ම්ම් එන්නම්"


"හොඳ පැතියා"


"පැතියා..?"


"සොලී සොලී"


"ගර් ර්...ර්....ර්...ර්..ර්."