My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, October 29, 2012

සම්භාෂණය

"බෙල් ඒක වදිනකම් බලාගෙන හිටියේ මම"

"මොකටද...?"

"ඔයාව හම්බවෙන්න"

"මාව....?"

"ඔව්...ඔයාව, ඒක නෙමෙයි, මට ප්‍රශ්නයක් තියනවා"

"හ්ම්, ඉතින් කියන්න මොකක්ද"

"එකක් නෙමෙයි ගොඩක්...මේ දවස් වල මට අමුතු අමුතු දේවල් හිතෙනවා"
"අමුතු දේවල්...ඉතින් ඒක ප්‍රශ්නයක්ද...අද කාටද ප්‍රශ්න නැත්තේ ?"

"හ්ම්...ප්‍රශ්නයක් නොවන ප්‍රශ්න..ඒත් මට ඒවා ප්‍රශ්නයක්....හඳෙන් මටම කියල ඉඩම් කෑල්ලක් අරන් දාන්න, හඳ එලිය බෝතලේකට දාගෙන තියා ගන්න, මල් සුවඳ රුපියල් දෙකේ සිලි බෑග් එකක දාලා ගැට ගහලා තියාගෙන ඔයා ඉස්සරහට ඇවිත්  "පොහ්" සද්දෙට ඒක පුපුරවන්න, කඩින්ට කුඹින්ට මත් වෙනකම් මල්පැණි පොවන්න, හුස්ම හිර වෙනකන් වතුර යටට වෙලා ඉන්න, හුස්ම ගන්නේ නැතුව පපුව පැලෙනකම් ඉන්න, රතිඤ්ඤයක් මිටමොලෝල ඇඟිලිවල හිරකරගෙන පත්තු කරන්න. අලුත් භාෂාවක් හොයා ගන්න, ආදරේ වෙනුවට ආදේශකයක් හොයා ගන්න, දෙබස් වලින් විතරක් කතාවක් ලියන්න, ඔයාට ආදරේ කරලා බූට් එක තියන්න",

"අන්න ඒක පට්ට අයිඩියා එක"

"කෝකද පට්ට...?  ඔයාට ආදරෙයි කියලා  බූට් එක තියන එකද? දිමින්ට මල්පැණි පොවන එකද....ආදරේට ආදේශකයක් හොයන එකද?"


"කෙහෙම්මල"


"එහෙනම්"

"දෙබස්වලින් විතරක් කතාවක් ලියන එක"

"ඇත්තටම දෙබස් වලින් විතරක් කතාවක් කියන්න බැරිවෙයිද"

"කතාවක්..... හ්ම්.. ම්ම්ම්ම්...දෙබස් වලින් විතරක්...උත්සාහ කරලා බලන්න, සමහර විට බැරිවෙයි, මම හිතන්නේ නෑ පුළුවන් වේවි කියලා."

"එහෙනම් පට්ට කිව්වේ...?..අපේ යාලුකමේ නාමෙන්වත් ඔයා මාව බොරුවටවත් දිරිගන්වන්නේ නෑ"
"ඔව් මම බොරුවට කැමති නෑ, බොරුව ජීවිතේට පිළිලයක්"

"ඒත් ආදරේ කරනකොට බොරුවට හරි බොරු කරන්නත් ඕනේ"

"කවුද කියන්නේ..අනික අපි ආදරේ කරන්නේ නෑනේ"

"අපි ආදරේ නොකරන ඒක ඇත්ත....ඒත් මම කියන්නේ, ගොඩක් වෙලාවට අපි දකින හැම දේම ඇත්ත නෙමෙයි, මතුපිටට පේන ඇත්තට යටින් බොරුවක් තියනවා"

"කොහොමද කියන්නේ....?"

"පොඩ්ඩක් මෙහාට එන්න, හෙමින් හෙමින්, සද්ද කරන්න එපා...බලන්න මේ කුඹි පේලිය දිහා...පොඩ්ඩක් හිතන්න.. ඔයා හිතන්නේ මේ කුඹි එකමුතුයි කියලද...?"

"ඔව්, එකමුතුයි විතරක් නෙමෙයි උන් හරි කඩිසරයි,"

"කෙහෙම්මල, හොඳට බලන්න, ඔතනට බත් ඇටයක් දාලා....වෙන්නේ මොකද කියලා, උං එකෙක්ට එකෙක් නෑ, උං බත් ඇටේ වෙනුවෙන් සටන් කරනවා, පොරකනවා, අපිට පෙන්නේ උං එකමුතුව බත් ඇටේ ගුලට අරං යන්න හදනවා කියලා. උං කොහොම හරි බත් ඇටේ අරන් යන එකාගෙන් බත් ඇටේ පැහැර ගන්න හදන්නේ, මොකද කවද හරි දවසක කුඹි කටක් ඇරලා මිනිස්සුන්ට කියල තියද අපි මේ එකමුතුව කඩිසරව කෑම හොයනවා කියලා. ඉතින් මතුපිටින් බලලා මිනිස්සු හිතනවා උං හරි එකමුතුයි කියලා"

"මට එකඟ වෙන්න බෑ"

"කොහොමටවත් එකඟ වෙන්න එපා..ඒත් තේරුම් ගන්න බලන්න"

"බොරුවද"

"නෑ"

"එහෙනම්...?"

"බොරුවට යටවෙච්ච ජීවිත"

"වැඩක් වෙයිද"

"වැඩක් වෙන්නේ නෑ"

"ඇයි"

"අපි පරක්කු වැඩියි"

"අපි ඉක්මනින් ගියොත්....?"

"ඉක්මනින් එන්න පුළුවන් වෙයි....ඒත් වැඩක් වෙන්නේ නෑ"

"හේතුව....?"

"ලෝකේ හයියෙන් කැරකෙනවා"

"හැම තැනම බොරුව, බොරුව, බොරුව.......බලන්න අර කලුකරගෙන එන අහස, විටෙන් විට අහස එලිය කරන විදුලි එලිය, මේ හීතල හුළඟ, තනිකරම බොරුවක්නේ කරන්නේ, ඔය සද්දේ දැම්මට වහි කියල හිතනවද....?.ඔය ඔයාගේ අතේ මවිලුත් කෙලින් වෙලා, ඒ කියන්නේ ඔයත් බොරුවට යට වෙලා, ලෝකේ හැමෝම බොරු කරනවා, සොබාධර්මේ පවා බොරු කරනවා,  අපි ඒ බොරුවට යට වෙනවා"

"තේරෙනවා මට තේරෙනවා, සමහර විට ඕක තේරෙන්න අපි දෙන්නට විතරක්ම වෙන්න පුළුවන්, ඒත් කවුරු හරි අපේ කතාව අහගෙන ඉඳලා පොතක පත්තරේක ලියලා කාට හරි කියවන්න දුන්නොත් එයාල හිතයි අපිට පිස්සු කියලා, අපි මානසික ලෙඩ්ඩු කියලා."

"අන්න බෙල් ඒක වැදුනා විවේක කාලේ ඉවර වුනා, අපි යමු වාට්ටුවට...නැත්තම් අපි මෙහෙම කතා කර කර ඉන්නකොට අර පිස්සු දොස්තරයි, පිස්සු මිසීලයි අපිට ඇත්තටම පිස්සු කියලා හිතයි,"

Friday, October 19, 2012

"වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"

"එක්ස්....කියු...ස්ස්ස්...මී.....ගායිස්...! කැන් යූ ෂෝ මී ද වේ ටු කටුවැල් බටු වලව්ව"


රම්බායි මායි හැරිලා බලද්දී  කළු දොදොල් කෑල්ල වගේ හිටපු කෙල්ල ඇඹරි ඇඹරි කිව්වා.

"යාස්...ඔෆ් කෝස්....මැඩම්...ඩෙනිෆිට්ලි"

 රම්බාගේ හිනාවට කට කන ගාවට පළල වෙද්දී හක්ක දෙපැත්තෙන් කෙල ලීටර් දෙකක් විතර හැලුනා.
මට බිම තිබ්බ වැලි අහුරක් කටේ ඔබාගෙන මැරෙන්න හිතුනා ඒකිගේ කොමලේ දැකලා.. රම්බා අඩියෙන් අඩිය කෙල්ලට කිට්ටු වුණා. එක වීදුරුවක් පීරිසි කෝප්පයක් විතර සයිස් කලුපාට කන්නාඩිය ඒකි ගැලෙව්වේ නිකන් හරියට කතිරිනා කයිට් වගේ කියල පස්සේ දවසක රම්බා මට කිව්වා.


"ඔහේප් පලයන්....සෙනෙහෙලතා නැන්දා"  මගේ ඇස් දෙක ස්පෝඨනය වුණා, දිව එලියට විස්තාපනය වුණා"


"වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"


"ඇයි හත්වලාමේ මේ කටුවැල්බටු වලව්වේ රිචාඩ් මාමගේ......."


"ඕ...අයි...සී...අයි ටෝටලි කොන්ෆියුස්ඩ්....යේස්...යේස්..  මල්ලි අයි වොස් ලිවින්ග් දෙයාර් විත් රිචාඩ්...අයි චෙන්ජ්ඩ් මයි නේම් ඈස් ලතීනා, මම ලතා කියන එක චේන්ජ් කළා මල්ලි. මම ලතීනා. අබ්‍රෝඩ් ඉන්න කාලේ සෙනෙහෙ ලතා කියන නේම් එක යූස් කලේම නෑනේ. සෝ අයි ෆොර්ගොට්න් මයි ඕල්ඩ් නේම්"


"ඉතින් ඉතින් නැන්දේ...කවද්ද රට ගිහින් ආවේ"...ඉංගිරීසි අජීර්ණය වෙලා මට බඩ යන්ඩ වගේ ඔක්කාරෙටත් ආපු හන්දා මම සිංහලෙන් කතා කළා.


"මල්ලිට කියන්න මල්ලි ජස්ට් ඇරයිව්ඩ්..ජස්ට් ඇරයිව්ඩ්......සෝ...සෝ... හොට් මල්ලි" කියලා අතින් මුනට පවන් ගහලා සෙනෙහෙලතා නැන්දා බිම ඇදගෙන ආපු බෑග් එකෙන් අඩියක් විතර දිග පොඩි හතරැස් පෙට්ටියක් අරන් රම්බාට අල්ලගන්න කියල පියන ඇරියා.


"කිරි අප්පට සෙංගමාලේ කිව්වලු, සබන්, පව්ඩර්, දත්බෙහෙත්, කියුටෙක්ස්ට්, දිග ටියුබ්, කොට ටියුබ්, පාට පාට බෝතල්,  දුහුල් මල් හතරක් පහක් එක්ක තව නා නා ප්‍රකාර භාණ්ඩ ටිකක් එකේ තිබුනා ඒ මදිවට පෙට්ටියේ පියනේ තිබුනේ කන්නාඩියක් නෙමෙයි, තනිකර එල් සී ඩී ඩිස්ප්ලේ එකක්.


සෙනෙහෙ ලතා නැන්දා රම්බාගේ අතේ තිබ්බ පෙට්ටියේ ඩිස්ප්ලේ එකෙන් මුණ බල බලා දුහුල් මල මුණේ ඇතිල්ලුව බෙල්ල හරෝ හරෝ. ඊට පස්සේ ස්පොන්චි කෑල්ලක් අරන් බෝතලේක ඔබලා මුණේ ඇතිල්ලුවා. රතුපාට ලිෆ්ටික් එකක් අරන් තොල පෙරලා පෙරලා තොලේ ඇතිල්ලුවා. සෙනෙහෙ ලතා නැන්දා තොල පෙරලනකොට රම්බාගේ තොලත් ඒ විදිහටම පෙරළෙනවා. රම්බාගේ මුණ කෝච්චියට අහුවෙච්ච සත පනහක් වගේ ඇද වෙලා තිබුනේ අබුද්දස්ස කාලේ තිත්ත ලබු කැවිලා වගේ.


"මට අහන්නත් බැරි වුනානේ....මල්ලිලාගේ නෙම්ස්වත්" ඇහි බැම්මක් පීරන ගමන් ලතීනා නැන්දා ඇහුවා.


"මම රයිටර්, මේ රම්බා...කොහේ මතක තියෙන්නද නැන්දා ගමෙන් යනකොට අපි ඇච්ච කොල්ලොනේ..."

  
සීවරන් දෙයියනේ හත් අවුරුද්දකට කලියෙන් ගමෙන් යනකොට අපායටවත් යන්න ඇඩ්රස් නැතිව  පාතාලේ ජාතික පුෂ්පේ වගේ හිටපු සෙනෙහෙලතා නැන්දාගේ මුණ බලාගෙන ඉන්දෙද්දී ඉටි රූපේ වගේ ඔප වැටීගෙන ආවා.


"ඕකේ මල්ලි...තෑන්ක් යු සෝ මච්....." කියල නැන්දා ඩිස්ප්ලේ එකට විරිත්තුවා..


"ඉතින් නැන්දේ ගෙදරට යන පාර අමතක නම් අපි නැන්දා එක්කම එන්නද?"


රම්බා බෙල්ලේ ගලක් ගැට ගහගෙන වහ කුප්පියකුත් බීල බඩ කපාගෙන කොහිල වලට පනින්නයි හදන්නේ.


"මෙහ්...මෙහ්...මේ.. අපිට පාර පෙන්නන්න නැන්දා එක්කම එන්න තිබුනා, ඒත් අපි පස්සෙන් එනකොට නැන්දාගේ නමට හොඳ නෑනේ, අපි වගේ හිපාටුවෝ දෙන්නෙක් පිරිවරාගෙන යනකොට නැන්දගේ නම්බුවටත් හොඳ නෑනේ ..ඉතින් අපි පාර පෙන්නන්නම්කො" 


දීකිරි හට්ටි හට්ටි ඔලුවේ හලාගෙන කේරලෙන් ආපු කලටි පොල් නැව බාන්න වෙනවා කියලා දන්න හින්දා මම පරණ පුස්කොල පොතක තියරියක් දැම්මා.


"ඌකේ...ගයිස් දෙන්...ශෝව් මී ද වේ ටු මයි හෝම්"


 අපි දෙන්නා පුළුවන් විදිහට පාර කියා දීල ලතීනා නැන්දාව ගෙදර යවලා ආපහු අපේ ගෙවල් පැත්තට එන්න ආවා.


"ෂා....බලපන්කො බං....රට ගිහින් සෙනෙහෙ ලතා නැන්දා තිරිහන් වෙන්න ඉන්ජෙක්ෂන් එකක්වත් විදගෙනද දන්නේ නෑ, බලන්ඩ එපායේ කොමලේ, ගමේ කෙල්ලෝ පරාදයි බං"


ඔව්ව හිතන්න ගියොත් මගේ මොළෙත් කරපට් වෙලා, අච්චාරු වෙලා, දියාරු වෙලා වැක්කෙරෙන හින්දා රම්බාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියේ නෑ ඉතින්.


ගෙදර ආවා විතරයි රම්බා දාඩිය පිටින් අපතයා ගහලා වගේ වැටුනා මගේ ඇඳ උඩ. ඊටත් පස්සේ මගේ කොට්ටෙ තුරුල් කරගෙන මුනට ලංකර ගත්තේ නිකන් හරියට කෙල්ලෙක් ආදරෙන් බදාගන්නවා වගේ.


"නෙදකින්...තුහ්...විතරක් යකෝ හඩු ගඳ....රයිටර්....තෝ මේ කොට්ටෙ අවුරුදු කීයකින් හේදුවේ නැද්ද"
"ගිය අවුරුද්දට එපිට අවුරුද්දට එපිට අවුරුද්දට හේදුවට පස්සේ හේදුවේම නෑ බං රම්බා....ඇයි ?"


"යකෝ මේ කොට්ටෙ යවපන් ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන මිනිස්සු සිහි නැති කරන්න ගන්න, තොට පිනක්වත් සිද්ධ වෙයි, දෙයියනේ කියල නහයටයි කටයි වැහෙන්න තප්පර පහක් අල්ලාගෙන හිටියා නම් සිහි නැති වෙනවා. උඹට ගෙවීමකුත් කරයි ආණ්ඩුවෙන්.."


මම ඇහුනේ නෑ වගේ ඉඳල කැරකෙව්වා "මල් මල් රේඩියෝ" චැනල් එක


මේ ගිහි මද්දහනේ කරපට් වෙච්ච කන් වලට මී පැණි සින්දු වක් කරන්න ඔන්න අදත් අපි ආවා "පුපුරු ගහන දවල් හීන" ප්‍රෝග්‍රෑම් එක අරගෙන, මම "පිහාටු"...මගේ ලඟින්ම ඉන්නේ "හිපාටු" ඔයාලටත් පුළුවන් අපේ පැත්තට හොට දාන්න, ජොයින් වෙන්න..අපි එක්ක...කරන්න තියෙන්නේ මෙච්චරයි ගන්න ෆෝන් එක ඩයල් කරන්න හත්සිය විස්සයි හත්සිය විස්සයි හතයි බින්දු හත. යුගයේ කුජීතම කුජීතම සින්දු අහන්න ඒ ගමන් අපිත් එක්ක චැට් කරන්න ලොග් වෙන්න මල් මල් එෆ් එම් ඉරක් ඩොට් කොම්  එකට. මෙන්න එහෙනම් අවිධිමත් සිත් විධිමත් කරන්න පැයේ අඟර දඟර සින්දුව..


"රයිටර්...."

"හ්ම්....?"

"අපිත් ගමුකො බං මල් මල් එෆ් එම් එකට කෝල් එකක්, බලපත් ඒ දැරිවියන්ගේ කටහඬ, මාල ගිරවුන්ගේ වගේ, ආසාවේ බෑ"

"මං ගාවනම් සල්ලි නෑ උඹේ එකෙන් ගනින්."


"ඔන්න අපිත් එක්ක ඉන්නවා අද කෙනෙක් දුරකතනයෙන්", ආයුබෝවන්ස්, වෙල්කම්ස්" ඔයාගේ නම මොකක්ද...?


"මම රම්බා"

"එකතුවෙන්නේ....?"

"එකතුවෙන වෙලාවට"

"ආඃ අහ්... නෑ නෑ මං ඇහුවේ කොහෙන්ද කියල කතා කරන්නේ"

"ටු වන් ඩබල් සීරෝ ෆෝන් එකකින්, නියම ෆෝන් එක, ගලේ ගැහුවත් වැඩ, හදිසියකට අඹයක් උනත් කඩා ගන්න පාවිච්චි කරන්න පුළුවන්."

"හානේ..ඔයා නම් හරිම විහිලු කාරයෙක් තමයි"

"මොකක්ද අහන සින්දුව"

"ඔයා දෙන ඕනෙම එකක්"

"හ්ම් අපිට කියන්න දැන් කවුද සින්දුවට එකතු කර ගන්නේ...?"

"හ්ම්....ගිය සතියේ ගෙදරින් පැනල ගියපු නංගියි, මේ වෙලාවේ කුඹුරේ වැඩ කරන අපේ තාත්තයි, කුස්සියේ උයන අපේ අම්මයි, සකල විධ ලෝක වාසී "මල් මල් එෆ් එම්" අහන කට්ටියයි, මට ලයින් එක අරන් දුන්න ඇන්ටියි, ඔයාලා දෙන්නයිත් ආ.....දරයෙන් එකතුකර ගන්නවා."

"බොහොම ස්තුතියි අපි දෙන්නා එකතු කර ගත්තට"

"ආඃ මේ මේ. තව එක්කෙනෙක් ඉන්නවා..ගිය මාසේ මාව දාල ගිය මගේ පණයි, අද රට ඉඳන් ආවා සෙනෙහෙලතා නැන්දයි, නෑ නෑ ලතීනා නැන්දයිත් එකතුකර ගන්නවා.

"මේ...හිපාටු ඔයා පිහාටුත් එක්ක එකතු වෙලා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා, මට ඔයාගේ නම්බරේ දෙන්න බැරිද"


"බීප්...බීප්..බීප්"

Tuesday, October 9, 2012

සිතාරි

 දවස පුරාම කැත්ත උදැල්ල මත්තේ හැප්පෙන දවාලට පුපුරු ගසන ගිනි අව්වෙන් බැට කන ගමේ මිනිස්සුන්ට,  ගස් කොලන්වලට වගේම සතා සිව්පාවට වුනත් අඳුර වැටෙද්දීම දැනෙන හීතල සනීපයක් ගෙන දුන්නත් හා හාපුරා දුෂ්කර සේවයට  ලැබුණු පත්වීම ගෙන දුෂ්කර යයි කියන ගමකට ආ මට මුල් කාලයේ ඒ සීතල දරාගැනීමට තරමක් අසීරු විය. එනමුත් දිනපතා හැන්දෑවේ කොහේදෝ ඈත පන්සලකින් හෙමීට ඇසෙන පිරිත් නාදයත්, ඝන්ඨාර නාදයත්,  හෙන්දිරික්ක මල් සුවඳත් සමග පැටලී ආ වියළි පොළවේ සුවඳත් නිසා මගේ හිතට දැනුනේ පුදුම තරමේ සැහැල්ලුවක් බව නම් කිව යුතුය. හවස පහ පසු වෙද්දීම වැව් බන්ට්  එකට පැන නාගෙන උණුවෙන් දුම් දමන ප්ලේන්ටියක් අතැතිව, වී බිස්ස අසල අඹ ගහට අල්ලා තනා තිබුන බංකුව මත හිඳ ඈත වෙල් යායට ඔබ්බෙන් අවරට යන ඉර දෙස බලා සිටිනා  විට  හිතට  දැනෙන්නට ගත් නිර්නාමික හැඟීම් වලින් පපුව පිරෙන්නට ඉඩ දෙමිනුයි මා  සුපුරුදු ලෙසම කල්පනාවට වැටුනේ.


බොහෝ දුරට ඒ කල්පනාවන් අතර සැරිසැරුවේ දීප්තිමත් නෙත් සඟලකි. වරක් දෙවරක් කඩා වැටෙන්නට ගිය ජීවිතය ඇගේ සිනිදු දෑත් මතින් ගෙන ඇගේම  වුවමනාවට සැලසුම්කර ශක්තිමත් අත්තිවාරමක් දමා ගොඩ නැංවූ මගේම ජීවිතය තුල ඇයට හිමි නිසි තැන මා විසින් ලබා නුදුන්නේය යන උභතෝකෝටික සිතුවිල්ල මට හරි හැටි පසක් වුයේ සරසවියෙන් පිටත් වුවාට පසුවය. ඒ එකල ඉගෙන ගැන්ම කෙරෙහි පමණක් දැඩිව පැවති මාගේ අධිෂ්ඨානය නිසා විය යුතුය.    එකිනෙකාගෙන් වෙන්ව පිටව යන එදා සරසවියේ සමකාලීනයන්ගේ  දෙනෙත්වලට කඳුළු නැගුනේ එකම කරුණක් නිසාම වුවද සමින්දිකාගේ දෙනෙත්වල පොපියමින් තිබුණු කඳුළුවල ඊට ඉඳුරාම වෙනස් කාරණයක් ගැබ්ව තිබුනා යයි මට දැන් දැන් සිතෙයි.



"නිමන්ත....!" 


සිහින් ඉකියක් සමග දෙනෙතේ පුරවාගත් කඳුළු අතරින් ඇය මදෙස බැලුවාය. මා ඇගේ දිලිසෙන කඳුළු කැට දෙස පළමුවත් සැලෙන දෙතොල් පෙති දෙස දෙවනුවත් බැලුවෙමි. බොහෝ වෙලාවක් ඇය විසින්ම දෙතොල් සපාගෙන සිටි නිසාදෝ දෙතොල් පෙති වලට සුදුමැලි මලානික ස්වරුපයක් එක්ව තිබිණි.



"අපිට අපිව ආයම මුණ ගැහෙන්නේ නැතිවෙයිද නිමන්ත"


"සමහර විට, එහෙම නොවෙන්නත් පුළුවන්"


"ඒ කියන්නේ මුණ ගැහෙන්න පුළුවන් කියන එකද"


පෙර පරිදි නොවෙනස් වූ ස්වරයෙන්ම ඇය පැවසුවද, එවර නම් යම්කිසි බලාපොරොත්තුවක පිබිදීමක් ඒ දෙනෙත්වල තිබුනා යයිද මට සිතේ.

වෙලේ ලියද්ද දෙසින් පාව ආ නන්නාදුනන කටකාරියන් කීප දෙනෙක්ගේ දඟකාර සිනා හඬක් මා එල්බ සිටි වසර කීපයක මතකයෙන් හදිසියේ මුදවා ගත්තේය. හිතේ ශේෂ වූ අසම්පුර්ණ හැඟීම මැඩ ගනිමින් මා ඒ කෙළිලොල් සිනා හඬට ඕනෑකමින් කන්දුන්නෙමි. ඔවුන් දැකීමෙන් මට මාගේ නැගණිය සිහිපත් විය. ඒ සමගම යටි බඩ ඇතුලෙන් සිහින් දැවිල්ලක් හටගත් අතර මුවින් සුසුමක්ද පිට විය. ඈතින් ගමන් ගත් යුවතියන්  එකිනෙකාට විහිලු තහළු කරමින් මා සිටි ඉසව්ව අසලින් ගම තුලට වැටී ඇති ගුරු පාරට සේන්දු වුහ. ගම තුලට යනවා නම් ඔවුන් මා පසුකර යා යුතුය. නිසැකවම ඔවුන් මා උගන්වන පාසලේ ශිෂ්‍යාවන් වියයුතුය.  ඔවුන් හමුවී කතා බස් කිරීමට කැමැත්තක් මා කෙරේ ඇති වුණද, ගමේ පාසලට අලුතෙන් පත්ව ආ ගුරුවරයෙක් වශයෙන් එසේ කිරීමෙන් මාගේ චරිතයටද, පාසලටද යම්කිසි කැළලක් ඇතිවිය හැකි බැවිනි මා නවාතැන් ගෙන සිටින නිවස දෙසට පෙරලා පියවර තැබුවේ.  උගන්වන පාසලේ දරුවෙකුට මහ මග අවේලාවේ කතා කිරීම වරදක් ලෙස දුටු මට මුලින් එසේ සිතීම පිලිබඳ පසුතැවිලි වීමි. ස්ව තීරණය පිලිබඳ සියුම් ලජ්ජාවක්ද හට ගත්තේය.  මන්ද ගුරුවරයෙකුට තම ශිෂ්‍යයෙකුට කතාරීමට වෙලාවක් අවේලාවක් නැත,  නීතියෙන්ද තහංචියක් නැත යන්න වැටහුනේ සිත තුල කලකිරීමක් ශේෂ කරමිනි. නමුදු එවලේ යම් සිතිවිල්ලක් නිසා හටගත් ක්ෂණික තීරණයක් මා එසේ පොළඹවන්නට ඇතැයිද එයට මා වරදකරුවෙක් නොවන්නේයැයිද සිතා මා සිත සනසවා ගතිමි.


බොහෝ වෙලාවක් යනතුරු සිතෙන් බැහැර නොවූ මෙවන් සිතිවිල්ලක් පිලිබඳ නිකරුනේ සිත වෙහෙසන්නේ ඇයිදැයි පැනයට මා නිරුත්තර නොවුයේ, ඊට හේතුව මාගේ යටි සිත හොඳින් අවබෝධ කරගෙන තිබු නිසාවෙනි.


උසස්පෙළ පන්තිය වලට ඉගැන්වීමට නියමිතව තිබු කාල පර්ච්චේද මුල් ගුරුතුමා විසින් සටහනක් මට ලබා දී තිබුනේය. ඒ අනුව දහතුන වසර කලා පන්තියට මුලින්ම මා පිය තැබුවේ කලක් තිස්සේ  කැපවෙමින් ජීවිතයේ මා විසින් ජයග්‍රහණය කරන ලද අරමුණක, අධිෂ්ඨානයක නිහතමානි සතුට හදපත්ලෙන්ම විඳ ගනිමිනි. ආගන්තුක බව ඉහවහා ගිය පන්තිකාමරයේ සිටි සියලු දෙනාගේ දෙනෙත් මා වෙතට ඍජුවම එල්ල වී තිබිණ. පන්තිය සිසාරා දෙනෙත් යැවූ මා කවුරුද යන්න ඔවුන් ඒවන විටත් අවබෝධ කරගෙන සිටි නිසාදෝ නොවේනම් ඔවුන් විසින් මනාව ප්‍රගුණ කරන ලද ගුණ සාරධර්මවල බලපෑම නිසාදෝ  සිසු සිසුවියන් සියල්ලෝම තම පුටු වලින් නැගිට ගත් අතර සිහින් මුනු මුනුවක්ද පන්ති කාමරය පුරා පැතිරී ගියේය.



"ආයුබෝවන්" යයි පවසා ඔවුනට හිඳ ගැනීමට අතින් සන් කර මා ඩෙස්ක් පුටු අතරින් පන්තිය ඔබ මොබ ඇවිද ගියෙමි.



මුල්ම දවසේ මාගේ විස්තර, මෙන්ම සරසවි ජීවිතය ගැන ඔවුන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම විනා ඉගැන්වීමක් එදින සිදු නොවිණි. එසේම ඔවුන්ගේ විස්තරද මා අසා දැන ගත්තේ මහත් සතුටකිනි. තිහක් පමණ සිටි පන්තියේ බොහෝ සිටියේ ගැහැණු ළමයින්ය, පිරිමි ළමයි සිටියේ දහයකට හෝ අඩු ගණනක්ය.  ඔවුන් හා සම වයසේ මිතුරෙකු සේ හැසිරීම නිසා ඔවුන් හා මා අතර හටගත් බැඳීම ඔවුන් මහත් සේ අගය කල බවක් මට දැනුනි. එබැවින් පාසලේ සිටි අතලොස්සක් ගුරුවරුන්ගේ අඩු පාඩුද මා සමග විවෘතව කතා කළහ. එදින මට ලැබී තිබුනේ අවසන් කාලච්චේදය ය. ඒ නිසා පාසල හමාර වීමේ සීනුව නාද වූ බැවින් විදුහල්පති කාමරයට ගොස් අත්සන් කර රත්පැහැති ගුරු පාර දිගේ නවාතැන වෙත ඇවිද ගියෙමි. 



"සර්....සර්.." පිටුපසින් ඇසුණ ආගන්තුක හඬ කාගේද යන්න බැලීමට මා නැවතී පසුපස බැලීමි.  මට යාර කීපයක් ඈතින් පොත් මිටියක් ලමැදට තුරුළු කර යුවතියක් දිව ආවාය. දෙකරලට ගෙතු කොණ්ඩය තාලයකට එහා මෙහා පැද්දින, තත්පර කිහිපයකින් මවෙත ලංවූ යුවතියගේ දෙතොල් පට මත දහදිය බිඳිති කීපයක් නලියමින් තිබිණ. දෙනෙත් හරවා මදෙස බැලූ ඇය කිසිම ආගන්තුක බවක් නොපෙන්වීම මා තුල යම් කුකුසක් ඇති කරලීය.   



"සර්, සර් නැවතිලා ඉන්නේ සුමනේ මාමලාගේ ගෙදර නේද.........?" ඇය හඬ අවදි කළාය.



"ම්ම්...ඔව්.. මේ ළමය කොහොමද දන්නේ...?"



"අපේ ගෙවල් තියෙන්නේ ඊට පොඩ්ඩක් එහායින්, ම්ම්ම්.. අර කුඹුරේ වක්කඩ පහුවෙනවත් එක්කම සුදු පාට ගාල තියෙන්නේ අපේ ගේ තමයි. දවසක් දෙකක් මම දැක්ක සර් එහෙ ඉනව."



"එහෙමද....? එහෙනම් දැනගත්ත එක හොඳයි, යමින් ගමන් එහෙ ගොඩවෙන්නත් පුළුවන්නේ." යුවතියගේ මුහුණේ සිනාවක් ඇඳුනේත් මාගේ සිත හිරිවැටී ගියෙත් ඒ සිනහවටය.



"සර් ඇවිල්ලත් දවස් දෙක තුනක් වුනාට අද නේද ඉස්සෙල්ලම ඉස්කෝලෙට අවේ.....?. මං දැකල තියනවා සර් සුමනේ මාමලාගේ දිහා අඹගහ යට තියන බංකුව උඩට වෙලා ඉන්නවා.



ඇය නම් ඔත්තු බලන්නියකි, නැතිනම් මා ගැන මෙතරම් සොයන්නේ කෙසේද, මා මීට පෙර කිසි දිනක ඇය දැක නැත. 



"ආ...ඔ....ව් ඔව්.....ගම හුරු වෙන්නත් එක්කම දවසක් දෙකක් කලින් ආවා, මේ ළමයගේ නම මොකක්ද......මොන පන්තියේද....? "



"...සර් අද අන්තිම පීරියඩ් එකේ ආවේ අපේ පන්තියට...මං සිතාරී" ඇය හිස ඇල කර තොල් පෙරලා සිනාසුණාය. වල ගැසුණු දෙකම්මුල් සහිත ඒ සිනාව මගේ දෙනෙත හරහා ලේ නහර දිගේ ගොස් හදවතේ ගැඹුරු තැනක පැලපදියම් විය. ගුරුවරයෙක් විසින් තම ශිෂ්‍යාවක් පිළිබද නොසිතිය යුතු දෙයක් මා සිත තුල කෙමෙන් වර්ධනය වෙද්දී මා විසින් නම් කරන ලද ඇය පිළිබද හටගත් "ආදරය" නම් වූ බැඳීම බලහත්කාරයෙන් යටපත් කරගත්තෙමි.


ඊට පසු බොහෝ දින වල පන්තිකාමරයේදී මා ඒ දෙනෙත් ඕනෑකමින් මග හැරියෙමි. විහින් පනවා ගත් ප්‍රතිපත්තියක් සුරකිනු පිණිසත් පාසලේ මෙන්ම, ගුරු වෘර්තියේ ගෞරවය රකිනු පිණිසත්ය මා විසින්ම පනවාගත් සම්මතයක් මා අනුගමනය කලේ.  නමුදු හදිසියේ මා සොයා ඇදී එන දෙනෙත් සරය මා නිබදවම පරාජය කළේය, දෙනෙත් මග හැරෙන වාර ගන්නට වඩා දෙනෙත් පැටලෙන වාර ගණන වැඩි විය. අමතක කරන්නට වෙර දරන සෑම සිතුවිල්ලක් පාසාම ඇගේ සිනහවම මැවුනි. පන්තියේ නිබදවම ඇසෙන කෑකෝ ගැසීම් පරයා ඇගේ හඬම සවනත වැකුණි.


ගලායන්නට වෙර දරන නදියක් හරස් කර වැව් බැම්මක් බැඳීම අසාධාරණය. ගලාගෙන යන ජලයට නිදහසේ ගලාගෙන යාමට ඉඩ දිය යුතුය, මන්ද බලහත්කාරයෙන් රඳවාගන්නා ජලය කවදා හෝ වැව් බැම්ම බිඳ දමා මහත් විනාශයක් කරනු නිසැකය. එබැවින්ම සිතේ තෙරපෙන හැඟීම් බලහත්කාරයෙන් මැඩපවත්වා ගැනීමත් එසේම විනාශයකට හේතුපාදක විය හැකිය. විහින් පනවාගන්නා සෑම නීතියක්ම අභිබවමින් ඈ පිලිබඳ ආලයක් මසිතේ මෝදු වෙන්නට පටන් ගත්තේය, ඈවෙත මසිතේ හටගත් ආදරය මගහරිනු පිණිසත් ගුරු වෘර්තියේ නම්බුව මෙන්ම, පාසලේ ගෞරවය ආරක්ෂා කරගැනීමත් පිණිස මගේ සිත තුල ද්වන්ධ සටනක් හට ගත්තේය.


සැන්දෑවේ දැනෙන පිච්ච මල් සුවඳ මට යලිත් නොදැනුනි, පන්සලෙන් ඇහෙන පිරිත් නාදය,  ඝන්ඪාර නාදය මට නෑසුනි. ඒ සියල්ලටම හිමි තැන ගෙවී ගිය දින කීපය තුල ඇය විසින් අත්පත් කරගෙන තිබිණි, ගිනිගෙන දැවෙන සිතුවිලි අතරේ මෙතෙක් වෙලා හාන්සිවී සිටි ඇඳෙන් නැගිට පොත් මේසය වෙත ගියේ තීරණයක් ගෙනය. මේසය මත වූ චිමිනි ලාම්පුවේ දැල්ල වැඩිකර සුදු කොලයක් හා පෑන අතට ගත්තේ ඈගේ දෙනෙත් මගහැරීමට හා ඈ පිලිබඳ සිතුවිලි වලින් ඈත්වීමට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය ගැනීමටය. ඒ පාසලෙන් අස් වීම සඳහා අස්වීමේ ලිපිය ලියන අදහසින්ය.


(නිමි)
   

Monday, October 1, 2012

ඇවටියෙල් වූ හදවත

අනක් ගුණක් නැති, නාහෙට අහන්නේ නැති හිතුවක්කාර සිතුවිලි එක්ක පොරබදලා පොරබදලා බෝඩිමේ කාඩ් බෝඩ් අතුරපු ඇඳ උඩ ඉඳන්, ගෙදරින් ගෙනාව අම්මගේ සාරිය පොරෝගෙන, පල්ලේ හෝටලෙන් ඇහෙන කොත්තු දාන සද්දේට  එකතු වෙච්ච බෝඩිම් වහලේ එල්ලලා තියන බරස් බරස් ගාන, දැන් ගැලවෙයි දැන් ගැලවෙයි කියල හිතෙන ෆෑන් එකෙන් එන සද්දේ මික්ස් කරලා බීට් එකට අරගෙන ඔද්දල් වෙච්ච හිතෙන් ෆෝන් එකේ ඩ්රාෆ්ට් කරපු කවියක්. කවිය ලිව්වට පස්සේ හැමදාම වගේ පැත්තක ඉඳන් මාව මරාගෙන කන්න හදන තනිකම එදත් මට කින්ඩියට වගේ හිනා වුනේ මම ලියන හැම කවියකටම ඌ පරදින හින්දා වුනත්  පැරදෙන්න ලේසියෙන් ලැස්ති නෑ කියන ගතියක් උගේ අසමජ්ජාති මුණේ තිබ්බා. මොකද ඌ හොඳටම දන්නවා ඌ මට වැඩිපුර කොලොප්පන් කරපුදාට මම කවියක් ලියල ඌව තඹේකට ගණන් නොගන්න විත්තිය. 

2012.09.20


ඔබ දුරින් ඉඳන් හිනැහී 
ඇස් වලින් දොඩයි රහසින්
හෙමි හෙමින් මදෙස බලමින්
ඔබ දුරයි ලඟට මගෙ නම්


නුඹ දුකෙන් කියන කවිනම්
මගේ ලඟට ඇවිත් ගයපන්
ඔය කඳුළු බර වැඩී නම්
මගේ කොටහ මට දියන් දැන්

හිත හීන මවන බවනම්
දැන නොදැන වගේ ඉන්නම් 
ඔබ ලඟට මගේ එනකම්
නෙතු නොපියා ඇහැර ඉන්නම්


තනිවෙච්ච හිතේ සරදම්
උහුලන්නේ කොහොම කියපන්
ගල් ගැසුණු හදේ කොනකින්
දුක ගලයි කඳුළු විලසින්


 
නුඹ නොදැක ඉන්නේ කෙලෙසින්
හද පුපුරු ගසයි දැවෙමින්
මට අයිති නොමැති හිතකින්
මතු කොහොම පතනු පැතුමන්


මුදු පවන දිගේ ඇවිදින්
සිප ගන්න මගේ කම්මුල්
ඉඩ තියන හදේ තැනකින්
දඟ නොකර ඇවිත් හිටපන්






සමහරු නම් මට පලුයන්න බනිනවා ඇති තනිකමට අනම් මනම් කියන්න එපා ගරහන්න එපා කියල, කවුරු මොන බයිලා කතන්දර ගැහුවත් තනිකම සැපයි කියල කියන ගොඩක් උදවිය කාටත් හොරෙන් හිතෙන් වැලපෙනවා, එවුන්ගේ හෘද ශාක්ෂිය දන්නවා උන් තනිකම සැපයි කියල කියන්නේ එල්ලෙන්නවත් වැලේ වැල් නැතුව ඉඳිද්දී කියල,  හිත සනසවගන්න වගේම රවට්ටගන්න එහෙම හිතපුහාම ඒක ටිකක් සිම්පල් වැඩක්. එක්කෝ කෙල්ලෙක් හම්බුනේ නැති කොල්ලෙක්, කොල්ලෙක් හම්බුනේ නැති කෙල්ලෙක්, සැර බූට් පාරක් කාපු කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගොඩක් වෙලාවට තනිකම සැපයි කියල හිතන් ඉන්නවා. ඒත් ගොඩක් වෙලාවට එවුන් හිතෙන් වැලපෙනවා. හරියට මේ මං වගේ.
ඊයේ රෑ දහයට විතර ඔෆිස් එකෙන් ඔෆ් වෙලා බෝඩිමට පයින් ඇවිදන් යද්දී ටයිම් ටේබල් වැරදිච්ච හිතුවක්කාර බඹරෙක් ඇනපි කිව්වලු මගෙ ඉස් මුදුන හිල්වෙලා යන්න. වෙනදට විනාඩි විස්සෙන් බෝඩිමට යන මම ඊයේ විනාඩි එකොලක් විතර යනකොට බෝඩිමේ.  බෝඩිමට ඇවිත් ඔලුවේ සිද්ධාලේප ටිකක් අතුල්ලගෙන ඇඟ හෝදලා නිදියන්න ගියේ අද වැඩට එන්න ඕනේ හින්දා. ඒත්  අද උදේ පාන්දර ඉඳන් ඇඟට හෝන්දු මාන්දු ගතියක් එක්ක ඇවටියෙල් ගතියක් තිබුනට ඒක අතකට එකේ ඇඟම කිලිපොලායන කික් එකක් තිබ්බා. මොකද අද දවසෙම මට සකලවිද විශ්වයේම නැති දාර්ශනික අදහස්මයි පහල වෙන්නේ. 
[ලියන්නේ නෑ කියල හිතල ලිව්ව එක]