My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, November 26, 2012

"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.

රම්බාගේ නංගි චාරු ලතා, තේරුණ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එක වැටිලා තිබුනේ පහු වෙනිදට කොළඹ විකාශනාගාරයේ. ඉතින් කට්ටිය යමරෙට වැඩ..එක කාමරේක චාරුලතා සංගීත ප්‍රැක්ටිස් තොරන්  සුනිල් අයියා එක්ක. තවත් කාමරේක රම්බාගේ අම්මා, හතර වරිගෙම බවලත් උදවිය එක්ක පහුවදාට අඳින්න සාරි තෝරනවා. ඒ බවලත් උදවියගේ සුහච කීකරු යුග පුරුෂයෝ ටික අතින් කුස්සියේ මේ ඔක්කොටම කෑම හැදෙනවා. ඔය අස්සේ මමයි රම්බයි සිම් කෑලි ටික බදාගෙන පහුවදාට ජිල්මාර්ට් එක දෙන්න නුලට තිතට දශමෙට ප්ලෑන් කරනවා. මේ වගේ උත්තුංග කාර්යක් සිද්ධ වෙන වෙලාවේ රම්බාව තනි නොකරහන් කියලා ඌ දෙපයින් වැටිලා මට කරපු ගෞරවනීය ආරාධනය සලකලාම නෙමෙයි මම කලින් දවසේ රෑ උන්ගේ දිහා නැවතුනේ. මේවා මගෙනුත් කෙරෙන්න ඕනේ යුතුකන්නේ. ඒකයි ජාති ජාති රම්බාගෙයි මගෙයි අතරේ තියන අන්තර් සහජීවනය හා භෞමික අඛණ්ඩතාවය, වගේම ස්වෛරී භාවය වෙනුවෙන් මම එදා  හිත හදාගෙන උන්ගේ දිහා රෑ පහන් කරේ.


වෙන්න ඕනේ ඔක්කොම කටයුතු ටික ගානට තිතට නුලට සෙට් කරලා මමයි රම්බයි දෙයියනේ කියලා පොඩ්ඩක් ඇහැ පියාගන්න කියලා උගේ කාමරේට ආවා. සසර කල කිරවන රුප රාමු සහිත දර්ශන දාමයක පලවෙනි දර්ශනය එපා කියද්දී ඇස් ඉස්සරහා මැවුනේ රම්බාගේ ඇස් දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න තියෙද්දී කියලා මට හිතෙනකොටම බිත්තිය හයිකරලා තිබුන දඩාර් ඔරලෝසුවේ මහා රෑ දොළහේ බෙල් එක වැදුනා. රම්බාගේ දෛනික නාවර, කුණුකෙල වලින් තව තවත් ඔපනැංවුන දාර දාර  පෘෂ්ටයක් තිබ්බ හඩු ගඳ ගහන කොට්ටේ කොනක් හපාගෙන ඇස් දෙක බාගෙට ඇරගෙන නිදාගෙන හිටියේ රම්බාගේ ලොකු පූංචි කියලා ඌ මට ඊට පොඩ්ඩ වෙලාවකට පස්සේ  කිව්වට මම නම් හිතාන උන්නේ එවලේ මම දැක්කේ මොහිනීගේ නිවුන් සහෝදරී කියලමයි. රම්බා කේන්තියට දිව හපාගෙන මල විද විද මාවත් ඇදන් කාමර එකින් එක ගානේ ගියා.



හැම කාමරයක්ම සැමන් ටින් එකේ මාස තුනේ බ්‍රොයිලර් කුකුල්ලු අමුවෙන් පැක් කරලා වගේ, ඒතරමට ජනකාන්ත ජනතාව සූ ගාලා. සංගීත ප්‍රැක්ටිස් කාමරේ මුල්ලක උඩැක්කි බෙරයක් බෙල්ලේ බැඳගෙන චාරුලතා, සර්පිනාව උඩ ඉඳන් හිටපු තොරන් සුනිල් අයියාගේ බෙල්ල දෑතින්ම බදාගෙන උගේ ඔඩොක්කුවේ ඉඳගෙන නිදි.. ඒ මදිවට සුනිල් අයිය ගොරවන්නෙත් "සරිගම" තාලෙට. ඊටත් හපන් චාරු ලතා. ඒකි ගොරවන්නේ "පධනිස" තාලෙට. රම්බා චාරුලතා දිහා බලලා මුණට ගත්ත අමුම අමු දුක්ඛ දායක ලුක් එකකින් මං දිහා බලලා හීල්ලුවා. 



"පව්... අහිංසකී....නේද රයිටර්...?"



"හ්ම්....පව් නේද බං..දුකේ බෑ....බලපන් හෙට ලෝකය දිනන්න උඹේ නංගි විඳින දුක..මට ආඩම්බරයි මචන් මට ආඩම්බරයි"  මම රම්බාගේ උරහිස්සෙන් අල්ලලා හොල්ලල හොල්ලලා හෙන ඕවර් ඇක්ටින් ජවනිකාවක් රඟපෑවා.



කොහොම හරි අන්තිමට සක සයින් සබ කොස් සබ ටෑන් කියන්නෑහේ  අපි නිදා ගත්තේ රම්බාගේ අත්තාගේ ගොන් කරත්තේ දිරච්ච ලෑලි තට්ටුව උඩ. ඇස් දෙකට රබර් කිරි වැක්කෙරුවත් ඇහැ පියවෙන්නේ නැති කටුක නිර්ලජ්ජිත, අවජාතක, මුග්ධ මුසල, අධම,  රෑ  පාන්දර එකට විතර රම්බා යටිගිරියෙන්  "චමරීරී...රීරීරී.....!" කියලා උගුර කඩාගෙන ලතෝනි දුන්නා, ආයෙත් පාන්දර දෙක හමාරට විතර "සුගන්දිකා අක්කේ...අනේ...මගේ අක්කේ කේ
...." කියලා බලියෑවා...ඊටත් පස්සේ චන්ද්‍රා ඇන්ටී..ටීටීටීඊඊ., ඊටත් ඊටත් පස්සේ...ගුණවතී ආ........ච්.....චීචීචීචී.... !!......කාපන්කෝ අග්ගලා ඔලුවෙන් හිටගෙන කිව්වලු ..අනික් ඔක්කොමත් හරි ගුණවතී ආච්චි......යකෝ මුගේ කට කැඩිලා පලකො දෙයියනේ මේ විලම්භීත කතා කියනවට. මේකා දකින හීන වල තියෙන්නේ මොන මොන අලුකුත්තේරු ජවනිකාද කියල කවුද දන්නේ.  එක්කෝ මුට පේනවා ඇත්තේ හෙන  කිලෝ ගානක පජාත ඇවටියෙල් සීන් ගොඩක්, එහෙමත් නැත්තම් ගඟක මුහුදක ලයිෆ් සේවින්ග් මිෂන් එකක්,  තව පොඩ්ඩකින් මේකා අපේ අක්කගේ නමත් කියන්න බැරි නෑ . ඒක හන්දා  තවත් මෙතන ටැග් ගැහුනොත් මටත් ඔට්ටුපාල් සම්බෝලේ තෙල්දාලම කන්න වෙන හින්දා මම එතනින් ඉක්මනට වහන් වුනා. 

------------------------------------------------------------------------

පහුවදා බස් දෙකක් පුරෝලා නෑදෑයෝ හැත්ත බුරුත්ත දෙසීයක් විතර රියලිටි ටැලන්ට් ෂෝ එකට තිබ්බ තැනට ආවා....ෂාහ්...චාරුලතා..හප්පේ බලන්න එපායැ ලස්සන..කරමලේ මෝදුවෙච්ච බ්‍රොයිලර් කිකිලි වගේ..වරිගේ ඔක්කොම පෙරහරෙන් වගේ චාරුලතා පෝලිමේ මුලින් තියාගෙන රෙජිස්ටර් කවුන්ටරේ ගාවට ගියේ "චාරු...හ්..! චාරු...හ්...!!" කිය කියා. ඇවිත් හිටපු අනික් හැම මනුස්සයාම අපි දිහා බැලුවේ හරියට සහරා කාන්තාරේ මැදින් සෝමාලියාවට බලෙන් අරන් යන ඔටුවෝ රැලක් දිහා බලනවා වගේ.



කවුන්ටරේ හිටපු සුකුමාල මනෝහර චූටි නංගි තරඟය ගැන අපිට කෙටියෙන් විස්තරයක් කළා.

"මෙහෙමයි සර් වැඩසටහන් විස්තර, ඉස්සෙල්ලම තරඟකරු ගැන පොඩි ඇඩ් එකක් තරඟෙට කලින් ටීවී එකේ පෙන්නන්න ඕනේ නම් ඇඩිෂනල් ටෙන් තව්සන්ඩ් පේ කරන්න ඕනේ. ඒකෙ මේක් අප් එකට එක්ස්ට්‍රා  ටූ තව්සන්ඩ් චාර්ජ් කරනවා. තව තරඟය වෙලාවේ ඕඩියන්ස් එකට එන නෑදැයින්ගේ මේක් අප් වලට එක්කෙනෙක්ට වන් තව්සන්ඩ් පේ කරන්න ඕනේ, ඔක්කොම වෙන්න ඕනේ මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට. මෙතන යටම සයින් කරන්න ඕනේ අපේ ඇග්රීමන්ට් වලට එකඟ වෙනවනම්,  තරඟය විනිශ්චය වෙලාවේ කඳුළු පෙරාගෙන අඬන්න, බොරුවට කලන්තේ දාලා වැටෙන්න ඔක්කොම වෙන්න ඕනේ එදාට දෙන ස්ක්‍රිප්ට් එකේ හැටියට. තරඟයේ අන්තිම පස් දෙනා අතරට එන්න ඕනේ නම් වන් ලැක් ඩිපොසිට් එකක් තියන්න ඕනේ...."



"මේ.....මිස්  අපි එකඟයි එකෙන්ම....පූල් එකට බැස්සේ රෙදි අපුල්ලන්න නෙමෙයිනේ.... ඒත් මේ...මේ..මිස්....අපිට....මේක් අප් නැතුව වැඩේ ගොඩින් කරගන්න බැරි වෙයිද" රම්බා ඇස් දෙක උල් කරගෙන ඇහුවේ ගණන් අහලා තුන්කාන්දෙන් දාඩිය පෙරාගෙන වෙන්න ඇති.



"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා. සර්ලා මැඩම්ලා බාගෙට ටෝස්ට් වෙච්ච වඳුරෝ වගේ ටීවී එකේ පේනකොට අපේ චැනල් එකේ ඩිමාන්ඩ් එකට මොකද වෙන්නේ..? පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න"



රම්බාගේ පෞරුෂය වගේ එක ඒ සුකුමාල කෙල්ල ඉස්සරහ දෙදන පල්ලෙන් හේදිලා යද්දී  ඌ ඔක්කොම ඇග්රීමන්ට් ටිකට සයින් කළා ඇස් දෙක පියාගෙන.



තරඟයට කලින් කරනවයි කිව්ව ඇඩ් එකට ගෙව්ව හින්දා චාරුලතා ෂුටින් එකට ගියා. කෙල්ලට තිබුනේ බදන්න බැරි සයිස් මාර ගහක කඳ අයිනෙන් එබිලා පොඩ්ඩක් විරිත්තන්න.. ඊටපස්සේ දුවගෙන දුවගෙන ඇවිත් රවූමක් කැරකිලා එක පාරක් උඩ පැනලා බිම නිදාගෙනම පෙරලි පෙරලි සින්දුවක කෑල්ලක් කියන්න. අපරාදේ කියන්න බෑ, බැල්ලි පැඩ්ඩා වගේ චාරු ලතා ඒක ලෙසටම කළා.  ඉතින් ඒකත් අහවර වුන හින්දා ඒ අතරේ මේක් අප් එක කර කර හිටපු අපේ රම්බාගේ පවුලේ උදවියයි, ගමේ උදවියයි එකා දෙන්නා ඇවිත් අන්තිම එකාත් ස්ටේජ් එක තිබුන හෝල් එකට ආවා.. තරඟය පටන් ගන්න විනාඩි පහක් තියලා කෙල්ලෝ දෙන්නෙක් බුරුසුවකින් ඕඩියන්ස් එකේ ඉඳගෙන ඉන්න අයගේ මුණ අතුල්ල අතුල්ල ගියා අන්තිම පාරට කරන මේක් අප් එක කියලා.


තරඟය පටන් ගත්තා, මුල්ම තරඟකරු විදිහට ස්ටේජ් එකට උඩින් කඹයකින් බැහැපු හෙන තඩි කෙල්ලට එයාගේ පර්ෆොර්මන්ස් එක හරියට කරගන්න බැරි වෙයන්, බැරි වෙයන්  කියලා අපි හිතුවට විනිශ්චය මණ්ඩලේ හිටපු ප්‍රවීණ දන්ත වෛද්‍ය රදනක මහත්තයාගේ චන්දෙනුයි, ප්‍රවීණ ව්‍යාපාරික හා ජෝතිෂ්‍යවෙදී  සුර්යමංගල මහත්තයගෙයි ඒකමතික චන්දෙනුයි ඊගාව වටේට තේරුනා.   තඩි අක්කා වැල ගෙඩිය පොලේ ගැහුවා වගේ වේදිකාවට වැටිලා වේදිකාව දෙවනත් කළා විනාඩි විසි පහක් හරියටම. 


"විශිෂ්ටයි දුව විශිෂ්ටයි, ඔයාට හොඳ අනාගතයක් තියනවා. ඔයා තාත්විකව අපේ ඇස් වලට කඳුළු එන විදිහට කළා. මම කැමතියි ඔයාව ඉදිරියට යවන්න. අපි බලමු අනික් දෙන්නගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද කියලා." එහෙම කිව්වේ දන්ත වෛද්‍ය රදනක මහත්තයා.


සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා


"මට නම් තෘප්තිමත් වෙන්න බෑ.. ඔයාගේ ඇක්ටින් එක මම දකින්නේ හරියට ලුණු නැති හොද්දක් වගේ, මොකද ඔයා වේදිකාවේ එක තැනක විතරයි රංගනයේ යෙදුනේ., මට නම් අමාරුයි ඔයාව ඉදිරියට යවන්න, නමුත් අපි බලමු අනිත් කෙනාගේ අදහසත්" එහෙම කිව්වේ ප්‍රවීණ සූපවේදිනී රම්‍යා කුකරි මහත්මිය.


 
ආයෙත් සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා.



"ඔව් දුව ඔයා හරියට මේ ඉර වගේ...ප්‍රතිභා පුර්ණ ලෙස රංගනය ඉදිරිපත් කළා..ඔයා  ලස්සනට පායලා ලස්සනට බැහැල ගියා, මම දකිනවා, මට පේනවා ඔයාට හොඳ ඉරණමක් තියනවා කියලා. මම කැමතියි ඔයාට අවස්තාවක් දෙන්න. ඒ ප්‍රවීණ ජොතිශයවේදී සුර්යමංගල මහත්තයා. 
 

 ආයෙත් සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා.


"යකෝ මම වැටුණා, මගේ කොන්ද..මගේ දත අතනින් පහලට වැටුණා...තුනටිය තියද බලපන්, මට පෙන්නේ නෑ...යකෝ....අයියේ...මාව මෙතනින් නැගිට්ටපන් යකෝ.....ඕ.. ඉන්ඩ බැරියෝ.....බුදු අම්මෝ.....අනේ...හ් .!"


"ඔව්...ඔව්. අපි කෙටි විරාමෙකට යමු"  විරාමෙන් පසුව ඔබ යලිත් එකතු වෙන්නේ තාරුණ්‍යයේ මෝල් මංගල්‍යය වන රියල් රියලිටි තරඟය සමගයි.

Wednesday, November 7, 2012

"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"

හමු වෙන්නට සමුගන්නට ඇවිත් යන එන
රටක් වටින අපි ජීවත් වෙලා මොකටද
උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
දුක්බර ගී ආයෙත් නෑ  ඔබට ඇසෙන්නේ
අඩ්ඩ  ඩඩා අඩඩ ඩඩා අඩ්ඩ  ඩඩා ඩා....ආආ    


රම්බාගේ ගෙදර සාලේ ඇතුලෙන් ආව  සැමන් බෙලෙක් ටින්  වොයිස් එකට මගේ අක්මාව අන්දකයිප්පු වෙලා ගියා. මල්වර නැකතෙන් දීගෙක යන්න ගිහින් ගෙදරට අතේ මාට්ටු වෙලා  උන්නු රම්බාගේ නංගිගේ අජරාමර වොයිස් එක මගේ කන්බෙරේ අභ්‍යන්තර පටක සිසාරා පා....වෙලා ආවා. ආව විතරක් නම් මදැයි ඒ සුමිහිරි සුගායනය මගේ කන්බෙරේ හිල්කරේ නැති එක විතරයි. ඒ  තරම්ම සුමිහිරියි, සුභාවිතයි, සුගම්‍යයි, සුරම්‍යයි.   ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා මම ඉස්තෝප්පුවට ආව. "ම්හු" බල්ලෙක් තියා බලු මැක්කෙක් නෑ ඒපාර. සාලේ පුරාම තීන්ත කුප්පි, බැනරුයි පිරිලා. යකෝ මුන් කැරැල්ලක්වත් ගහන්න යනවද..."


"ආ.......ආ......ආආආආආ"


දෙයීයනේ..........චාරුලතාගේ කෙඳිරිය... රම්බාගේ නංගිට ඒකිගේ පෙම්බර කොල්ලා ඇවිත් අවැඩක්වත් සිද්ද කරනවද මේ අවේලාවේ...ඉස්තෝප්පු කාමරේ අස්සෙන් ඇහුන සද්දෙට මාව හීතල වෙලා ගියා....යටි පතුලේ ඉඳන් හිස්මුදුන වෙනකම් හිරිවැටිලා ගියා. රම්බාගේ මික්ස් පෘට් යාළුකම වෙනුවෙන් ජීවිතේ වුනත් කැප කරන පොරක් රයිටර්. එහෙව් එකේ රම්බාගේ නංගි "චාරුලතත්" මගේ නංගි හා සමානයිනෙව . බිත්තියට හේත්තු කරලා තිබ්බ කොස්ස උලුක් කරගත්තා හැරෙන තැපෑලෙන් පැන්නා කාමරේට.


"ඇඩෝව්.....කෙල්ල අතැරපන්, කපනවා කෑලි කෑලි  වලට...හොඳ හිතින් කියන්නේ ලයිට් දාපන් නැත්තම් අල්ලනවා තුවක්කු බටේ සවලෙන් එකතු කරන සයිස් එකට උඹව කුඩු වෙලා යන්න .. කළුවරේ මොකද කරන්නේ උඹලා....දාපන් යකෝ ලයිට්....විලිසන්ගේ නැද්ද බොලව්...මහා දවාලේ රට්ටු හිනස්සන්න.....රට්ටු මේවා දැනගත්තාම බොලාගේ අම්මා, තාත්තා, අයියා, බාප්පා ලොකු මාමා රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ කොහොමද..පොඩ්ඩක් හිතපන් චාරුලතා....මට උඹත් එකයි අපේ නැන්දගේ දුවත් එකයි අල්ලපු වැටේ  සයිමගේ දුවත් එකයි...ඒක හින්දා හොඳ හිතින් කිව්වම අහලා ඇඳුම් ඇඳගෙන ලයිට් දාපං....!"



"චිකෙයියා.....හ...අ..කියන කතා !"  චාරුලතාගේ  වොයිස් එක  පිළිකුල් ස්වරයෙන් ඈතින් ඇහුනා


"දොරරෙද්ද....! දොරරෙද්ද...!!... "


"ආච්චිගේ දොර රෙද්දක්  නෙමෙයි යකෝ....ඇඳ ගන්න චීත්ත රෙද්දක් ඇඳගෙන...දාපන් ලයිට්..."


"හා හා...රයිටර්...ඔය දොර රෙද්ද ඔලුවෙන් පැටලුම් ඇර ගනින්....කෝ කෝ ඉඳහන් මං පැටලුම් අරින්න"


ඉහේ පැටලිලා තිබ්බ දොරරෙද්ද කකුල් දෙක පාමුලට වැටුන, ලැජ්ජාව අවුන්ස පහයි ස්කෝප්ප කාලයි. විලි ලැජ්ජාව අස්වභාවිකව අදෘශ්‍යමානව දියරමය  වශයෙන් කකුල් දෙක පල්ලේ බේරෙනවා වගේ දැනුනා, ඒ මදිවට චාරුලතාගේ ඇස් ගෙඩි දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න, අපේ ගමේ තොරන්වලට සින්දු කියන "තොරන්  සුනිල්" අයියාගේ කට මරියානා ආගාදේ වගේ පළල්  වෙලා. උන් ඔක්කොම මං  දිහා බලන්නේ හරියට කසකස්තානෙන් ඒඩ්ස් හැදිලා ආව හැලි වඳුරෙක් දිහා බලනවා වගේ. සර්පිනා, වයලීන්, තබ්ලා සේක්සපොන්, ගැටබෙර, යක්බෙර, කාමරේ පුරවලා.     


"නෙදකින් අලගොඩුවා, හිකනලා...ගස් මයිනා...යකෝ තෝ හිතුවද අපේ නංගි ඒවගේ අසමජ්ජාති  කෙල්ලෙක් කියලා, දහ පහළොස්  දෙනෙක් එක්ක යාලු වුනාට මෙකි තාම නෑඹුල් නොයිඳුල් ගැටිස්සි...උඹ ඒක  හොඳටම දන්නවනේ...මේකි  උණුවතුරත් රත් කරලා බොන්නේ" රම්බා ආ...ඩම්බරෙන් චාරුලතා දිහා බැලුවා. මට එතන තිබ්බ යක්බෙරේ පලාගෙන ඔලුව ගහගන්න හිතුනා. නටන්න තියන දහඅට සන්නියම නටලා අලුතෙනුත් සන්නි දහයක් පහලවක් හොයාගෙන නටලා ගෙදෙට්ට වෙලා ඉන්නේ මෙකි තවත් අඩව්වක් අල්ලන්න තමයි කියලා මම නොදන්නවැයි.. 


හේහ්  හෙහ් හෙහ් හේ.......උඹලා රැවටුනාද..මම විහිළුවක් කලේ...කෝ හිනා වෙයන්, අනේ කිව්වම අහලා හිනා වෙයන්කෝ...අනේ ප්ලීස්ස්....ප්ලීස්...!!!!...මම අව්‍යාජය මිශ්‍ර ජෝක් මූඩ් එකෙන් කිව්වා.....ඔහේප්...පලයන්..කිරි අප්පගේ කෙටේරිය කිව්වලු ..උඹල ඔබාමා මහත්තයා ආයෙත් ඡන්දෙන් දිනුවට පාර්ටියක්වත් ඔර්ගනයිස් කරනවද ඇඃ...සර්ප්‍රයිස් පාර්ටියක්...මේක දැනගත්තාම මිනිහා මාර හැපී වෙයි හැබැයි...උඹල දෙන්නව දරුකමට හදා ගනීවි බොලන් ...දරු කමට හදාගනිවී?.


"ඉලව් පාර්ටියක් නෙමෙයි බොල....චාරුලතා...මගේ එකම නංගි චාරුලතා "මල් මල් ටීවී" චැනල් එකේ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එකට තේරිලා..."





"ඔහෙප්ප් පලයන්...මගේ නංගිට හරි ගියාවාගේ බං....ඉතින් ඉතින් මගෙන් මොනවද වෙන්න ඕනේ"



"වැඩියම මුකුත් වෙන්න දෙයක් නෑ  රයිටර්..මම කොහොමත් උඹලගේ ගෙදර එන්න හිටියේ අද උඹට මේක කියන්න....කරන්න තියෙන්නේ මෙච්චරයි..දැන් අපේ අම්ම ලෝන් එක අරන් ඒවි, අපට තියෙන්නේ රුපියල් ලක්ෂෙක එක හමාරක විතර නිකන් වගේ දෙන සිම් අරගෙන ෂෝ එක දවසට ගෙදරට වෙලා  හිටු ගාලා එස්.එම්.එස් ගහන්න"


"කෝ කෝ චාරුලතා අපි ප්‍රැක්ටිස් පටන් ගමු , නැත්තම් ඔයාට ෂෝ එකේදී ස්ටෙප්ස් අමතක වෙලා අප්සැට් යයි"  තොරන්  සුනිල් අයියා වගකීමෙන් ප්‍රකාශයක් කළා." 
 මමයි රම්බායි බිමින් ඉඳගෙන පෝස්ටරයක් අඳින්න ගත්තා. ඔය අස්සේ අපට ඇහෙනවා සංගීත පාඩමත්.





"සා..... ආආආ......ආ"


"සා.......ආආආආ"


"හා හා..ඔහොම බෑ  නංගි ...මෙහෙම ගන්න..මෙහෙම..සආආආආ....කෝ ගන්න"  කියලා තොරන් සුනිල් අයිය මේසේ  උඩ  තිබ්බ වීදුරුව අරන් බිව්වා වතුර උගුරක්
චාරුලතා "සා...... ආආආ" ගාලා පැනපු ගමන් වීදුරුව අතට ගත්තා.


"හා හා නංගි....ඕක නෙමෙයි ඕක බිමින් තියන්න...මෙහෙම ගන්න......සාආආආ....."
"සා...........ආ"



ඔය අතරේ රම්බාගේ අම්මා හිනාවෙවී ඉහේ පිපුන මල් වල පැණි වලින් නෑවී  නෑවී කාමරේට ආවා.
"මගේ දුවට වරදින්නේ නෑ....හන්දියේ ඇස්කොට් මුදලාලි මට ණය දුන්නා..මොනවා වුනත් මිනිහා හොඳ එකා....තරගේ දවසට සෙනග අදින්න බස් එකත් දෙන්නම් කිව්වා. "


"අනේ ලොකු දෙයක්...දෙවියෝ බැලුවා.එහෙනම්..මං මේ ණය ගෙවනවා අම්මේ ඔව් මම මේ ණය ගෙවනවා.....මම කවද හරි රටේ ජනප්‍රියම කෙල්ල වෙනවමයි....අම්මේ ඔව් මගේ ජයන්ත අයියා පල්ලා" රම්බාගේ නංගි  චාරුලතා අධිෂ්ඨාන පුර්වකව කිව්වා.


"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"