My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, March 23, 2013

ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි

චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන් විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත් යනවා.  එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ලමිස්සියන්ට තනි පංගලමේ සාන්තිකර්ම කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා රේප් සීන් වලට අවුරුදු ගානකට මහා උළු ගෙදර තපින්න ගිහින්.  "රියල් කට්ටඩියෝ කියන්නේ සොබා දහමේ කෘරත්වය හින්දා මිහිපිටින්  වඳවෙලා යන දුර්ලභ පුරවැසි කොට්ඨාසයක්ද බං" කියලා රම්බා හෙන සිරා මුඩ් එකකින් මග එද්දී මගෙන් අහනවා. ඌ අහන අවලං දුර්ලබ ප්‍රශ්න වලට උත්තර දෙන්න පශ්චාත් උපාධියක් තිබුනත් බැරි කොට මම තියන ලේ පයින්ට් දෙක තුන දහනය කරගන්නේ මොකටද කියලා කට වහගෙන හිටියා.

උදේ ඉඳන් බඩගාලා බඩගාලා වතුර පිපාසාවේ දිව දොට්ට පැනලා කන් දෙකෙන් දාඩිය පෙරනවා. කොන්ද කුදු වෙලා  නිකට මහ පාරේ ගෑවෙන සයිස් එකට. බඩගින්නට බුරිය සුෂුම්නාවේ ඇලිලා.  යටි පතුල දනිස් දෙකේ බෝල කුහර හන්ධිය කිට්ටුවටම පොඩ්ඩක් අඩුවෙන් ගෙවිලා වගේ දැනෙනවා. කප්පරක් බලාපොරොත්තු අලුකුත්තේරු විදිහට විලම්බීත වෙලා සුන් වෙලා අපිට කෝචෝක් කර කර තිබුන ඇවටියෙල් වෙලාවක, පාරේ බස් හෝල්ට් එකක බිත්තියක් පුරාම පාට පාටින් සරසල තිබ්බ පෝස්ටරේ විස්තරේ දැකලා අපි දෙන්නගේ ඉස් මුදුනේ හෙන දඩාරන් බාබන්ඩේසියා මල් අහුරක් පිපිලා පරවුනේ හරියට පට්ටම රෑක එක පාරට හඳ පෑයුවා වගේ.

                "නවීන තාක්ෂණයෙන් භූත දෝෂ ඉවත් කරනු ලැබේ"
                         හිතට වද දෙන, ගතට දුක දෙන, ඇහැට නොපෙනෙන, කනට නොඇසෙන
                                අදෘශ්‍යමාන භූත බලවේගයකින් ඔබ තවමත්  පීඩා විඳින්නේද..?
                                                               දුක් නොවන්න දරුවනි..

                                    තනි ඇහැට ඇඩෙන විසඳුම දැන් අප සතුයි

                                       අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි....විලම්භිතයි, ප්‍රතිගම්‍යයි
  • "යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ දෝස හඳුනා ගැනීම හා සමනය කිරීම"
  • "මළගිය ප්‍රාණ කාරයින් මිනිත්තුවකින් පුළුල් තීරයකට, කටහඬ සරවුන්ඩ් සවුන්ඩ් ස්පීකර් වලින්"
  • "සහකරුගේ සහකාරියගේ ෆේස්බුක් ගිණුම්  රහස් තොරතුරු සැනින් ඔබ අතට"
  • "නීච කුල අන්තර්ජාල වශී බන්ධන 
  • "ෆේස්බුක් හැර ගිය පෙම්වතා/ පෙම්වතිය වරු තුනෙන් නැවත ෆේස් බුක් ගෙන්වීම"
  • "හූනියම් වයිරස් සදා සතුරන්ට පලි ගැසීම
  • "මොඩර්න් සෙත් ශාන්තිකර්ම
  • "මොබයිල් ෆෝන් සොරුන් , ලැප්ටොප් සොරුන් ඔන්ලයින් අල්ලා රෙදි ගැලවීම"
  • "පංචස්කන්ධය ස්කෑන් කර අනාගත පලාපල නිවැරදිව කීම "
  • "නොමිලේ සති අන්ත ඔන්ලයින් කට්ටඩි උපදේශන සේවය"


                             සම්පුර්ණයෙන්ම නොමිලේ...හරිගිය පසු පමණක් ආධාර කරන්න
                                                                   නොපමාව විමසන්න
                                                 සතියේ දවස් හතම විවෘතයි | ඉරිදාත් විවෘතයි

                                                 ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි
                                            මම භූතයන් එලවීමටම උපන්නෙමි.


දඩි බිඩි ගාලා මම සාක්කුවේ අඩියේ තිබ්බ ෆෝන් එක අරගෙන දැන්වීමේ තිබ්බ අංකෙ ඔබලා කනේ තියා ගත්තා.

"ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන  ඩෙන්න ඩෙනෝ...ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.." අප්පට උඩු, නයි නගියිද ජම්බු ගස් කිව්වලු..කට්ටඩියගේ කෝල්-අ-ටියුන් එක..මගේ කකුල් දෙකත් බෙර පදේ තාලෙට නැටවෙන්න ගත්තා තිබුන අමාරුව පැත්තක තියෙද්දී.

"ආයුබෝවේවා...වාසනාවන්ත පින්වත් දරුව....කිමද මා ඇමතුවේ...කෙසේද මා ඔබට උදව් කල යුත්තේ ..නොපමාව පවසන්න" කෝල්-අ-ටියුන් එක නැවතුන ගමන් එහා පැත්තෙන් ඇහුණා දිව්‍යලෝක ටයිප් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක.

අධම, කුරිරු, කුච්ච, පාහර, විලිසන්ගයක් නැති ලෝකේ ඒවගේ කාරුණික කට හඬින් කතා කරද්දී මගේ පපු කැවුත්ත වාවන්නේ නැතුව ගියා. මම ඒ හඬ ගැන එකතැන පැහැදුනා.. ආමාශේන් ආව ඉකියක් "ග්රඋප්" ගාලා හදිස්සියේ පිටවුනේ මං පර්මිෂන් දෙන්නත් කලින්.

"හෙ...හෙ..හෙලොව්..මම මේ කතා කරන්නේ රයිටර් කියලා ඩයල් එකක්." මම  වොයිස් එක පොඩ්ඩක් ලෝ පිච් එකට  ටියුන් කරලා විස්තරේ මුල ඉඳන් කිව්වා. රම්බා මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙක ඇරගෙන කට කොමඩ් එක වගේ කරගෙන උපේක්ෂාව මිශ්‍ර හැඟීමකින්. ඌ හිතන්න ඇති මං උගේ ප්‍රශ්න වලදී කොච්චර බොක්කෙන් බහිනවද කියලා. ඌ මං ගැන ආඩම්බර වෙන්න ඇති.

ගෙදෙට්ට එන පාරයි ඇඩ්රස් එකයි කියලා කට්ටඩියා කිව්ව විස්තරේ මට රම්බාට ආපහු රිපීට් කරන්න වුනා කැත නැතුව.

ඇඩ්වාන්ස් විදිහට රුපියල් දාහක රීලෝඩ් එකක් පොරගේ ෆෝන් එකට එවලා වැඩේ තක්කෙටම කන්ෆර්ම් කරගන්න කිව්වා. වැඩේ ගැන අපිට තඹ ඇටේකට බය වෙන්නේ එපා කිව්වා. ඔක්කොම තොවිලේට වුවමනා කරන බඩුත් එක්ක කට්ටඩියෝ දෙන්නෙකුයි ගොලයෙකුයි හවස හයට ගෙදරට එනවා කිව්වා. දොල පිදේනියට ඕනේ දේවල් ආවේශ වෙලා ඉන්න යකාගේ තත්වේ බලලා එවලේ එතෙන්ට පට් ගාලා ඇඩ්මිට් කරගම්මු කිව්වා.

නැහිලා නැහිලා පජාත වෙලා, බඩගාගෙන ගිහින් අරමුණක් ජයගත්තම තියන ප්‍රීතිය වගේ එක සමරන්න අපි දෙන්නා හන්දියේ පෙට්ටි කඩෙන් කිඹුලා බනිස් ගෙඩි දෙකක් කිරිහොදි එකක පොඟවගෙන කාලා අඩු සීනි වැඩි කහට කෝප්ප දෙකක් බීලා රම්බාගේ ගෙවල් පැත්තට ආවේ බුල්ටෝ එකක් හප හපා කට්ටඩියගේ ඇඩ්වාන්ස් රීලෝඩ් එකක් දාගෙනමයි.

ගෙවල් කිට්ටුවට එනකොට මුළු ගමම මිදුලේ තැන් තැන්වල කම්මුලට අත තියාගෙන කුටු කුටු ගානවා. හත්වලාමේ චාරුලතා කෙල්ල අකාලේ සෙත්තපෝච්චි වෙලාවත්ද කියලා මගේ බොක්ක ඇතුලෙන් හිරි වැටිලා ගියා..ඔලුව වටේ සුදු කොඩි කැරකෙනවා වගේ පෙනුනා...මේ මගුල් අස්සේ...දැන් ඇදපන්කෝ මළගෙදරට හට් එක. ගහපන්කෝ නයිට් එක දවස් හතක් එක දිගට...මටත් වෙන්නේ ඕවගේ ලොන්ත දොදොල් සීන් තමයි. අහල පහල එවුන්ටනම් සතියක් කෑම වේල් තුන ශේප්..එහෙම බලාගෙන ගියාම මල ගෙදරක් කීදෙනේක්ගේ හිත සුව පිණිස හේතුවෙනවද කියලා මට කල්පනා වුනේ හෙන මුසල හැඟීමක ප්‍රතික්‍රියාවකින් මගේ හදවත අභ්‍යන්තර පටක ජෝගි නටන්න ගත්තට  පස්සේ. .

දුකට බයට දෙකටම බඩ බුරුල්වේගෙන වගේ ආපු හින්දා මම රම්බාවත් ඇදගෙන චාරුලතාගේ කාමරේට දිව්වා. අප්පට උඩු රඹුට කැකිරි කිව්වලු. චාරුලතාව ගැටගහලා තිබ්බ අල්මාරිය ඒකිගේ ඇඟ උඩට පෙරලගෙන. එතන යමර විකාරයයි. කට්ටිය අල්මාරිය උස්සලා කෙල්ලව ගන්න දඟලනවා. මොනඃ අරකි ගොරවනවා. රවනව, කෙල ගහනවා, අඬනවා, හිනා වෙනවා.

"ලඟට එන්න එපා හපනවා...කිව්වොත්.....කිව්වා..මං නරක ගෑනියි කියන්න එපා ග්ර්ර්ර්" මම පොඩ්ඩක් කිට්ටු වෙලා බලද්දී චාරු ගෙරෙව්වා.

"යකො....විනාසයි මම හිතාන උන්නේ මේකි කලින් කොච්චර අඩව් ඇල්ලුවත්  තවමත් ලඳ බොළඳ සුකුමොල ලපටි කෙල්ලෙක් කියලා" 

මේ කියන විදිහට බැරිවෙලාවත් දත්පාරක් කෑවොත්  මට ලගින්න වෙන්නේ මහා ඉස්පිරිතාලේ තිස් තුනේ කාමරේ. කෝකටත් තෛලය ශේප්තෛලය කියලා ඒකිට එහෙමම අල්මාරිය කරතියාගෙන ආතල් පාඩුවේ ඉන්ඩ ඉඩ තියලා අපි පැත්තකට වුනා.

හවස හය විතර වෙද්දී කට්ටඩියා ආවා හෙන ලොරියක බඩු පටවාගෙන. අපේ හිතේ ඇඳිලා තිබ්බේ විටක් හපන, හක්ක බැහැපු, කොන්ඩේ වවපු මාස්ටර් කෙනෙක්ගේ රුපයක්. අපේ ඇස් අතේ පත්තු වෙන්න ගත්තේ වාහනෙන් බැස්ස මොඩර්න් කට්ටඩියා දැකලා. බුලත් විට වෙනුවට මම හිතන්නේ පොර හැපුවේ චුයින්ගම් එකක්.. කොන්ඩේ වවලා වුනාට ස්ට්‍රේට් කරලා. සරම වෙනුවට ඩෙනිමක් ගහලා ටී එකක් බස්සලා. පොර ලොරිය් ඉස්සරහ සීට් එකෙන් බැස්සේ සඟ දාලා කිට මරලා ආනල්ඩ් සුසිරිපාල වගේ. මං ඔය අස්සේ දහ අතේ කල්පනා කලේ පට්ට හැන්දෑවේ මු සඟ දාන්නේ හඳ එලිය දරාගන්න බැරුව වත්ද කියලා.

ලොරියේ සයිස් එක දැක්කාම  මම හිතුවේ මල් පහන් තට්ටු ටිකයි බෙර කාරයෝ ටිකයි  කලින්ම රෙඩි මේඩ් කරගෙන හදාගෙන පටවාගෙන එනවා ඇති කියලා ලේසියට. මොනඃ බැලින්නම් ඒක ඇතුලේ අඩුක් කරලා තිබ්බේ තඩි බෆල් සෙට් එකකුයි, සෙටප් එකකුයි හෙන තඩි ඩිස්ප්ලේ එකකුයි. රම්බායි මමයි අහල පහල කොල්ලෝ කුරුට්ටෝ දෙන්නෙකුයි එකතු වෙලා කට්ටඩි බොස් කිව්ව විදිහට බඩු ටික සෙන්ටිමෙන්ටල් කරා ඕනි ඕනි තැන්වලට. අපිත් අඹපු හරක් වගේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා .

දොලපිදේනියට රෝස්ට් කරපු චිකන් තුනයි, බිත්තර ආප්ප හතයි, ඔම්ලට් නමයයි කඩල ගොට්ටයි රෙඩිකරගන්න කිව්වා.

මිදුලේ මැද ඔක්කොම ටික භාණ්ඩ ටික ලෙසටම අටවගත්තා, තොවිලේ පටන් ගන්නකම් වර්තමාන යුගයේ ෆෙමස් ස්ටාර් කෙනෙක්ගේ අව කැපෙන සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා වටපිටාවේ ඉන්න කුම්භාණ්ඩයො ටික පන්නන්න ඕනි කියලා. ගමේ එකා දෙන්නා පෝලිමේ ඇවිත් මිදුලෙ ඉඳගත්තා. සින්දුවේ සද්දේ වැඩිවෙන්න වැඩිවෙන්න ගේ ඇතුලෙන් එන චාරුලතගේ සද්දේ එන්න එන්නම වැඩි වුනා. අපි හය හත් දෙනෙක් ගිහින් කෙල්ලව කුදලාගෙන ඇවිත් ඩිස්ප්ලේ එක ඉස්සරහ පැදුරේ ඉන්දෙව්වා.

චාරු ඇස් දෙකේ සුදුමද දෙක නළල දිහා අලවාගෙන වෙව්ලන්න ගත්තා..වටපිටාවේ ඉන්න අයට රවනවා රැවිල්ලක් කර වෙලා යන සයිස්.

කට්ටඩියා රිමෝට් එක අතට අරගෙන සෙටප් එක ඔන් කළා. අප්පට උඩු නරි බුරති කිව්වලු..තඩි ඩිස්ප්ලේ එකේ ප්ලේ වුනේ රෙකෝඩ් කරපු තොවිලයක වීඩියෝ එකක්.

මං පොඩ්ඩක් කිට්ටු වෙලා කට්ටඩියගෙන් ඇහුවා

"අයියේ වැඩේ හරි යයි කියලා ෂුවර්ද"

"ඇයි මල්ලි අවුල්ද"

"නෑ ඉතින් අයියේ තොවිලයක් නටන්නේ නැතුව මෙහෙම කරන එක හරිද.."

"යන්ඩ මල්ලි නිකන් යන්ඩ... තොවිලේ මෙතන නැටුවත් එකයි, වීඩියෝ එකක් ප්ලේ කරත් එකයි, අනික උඹලා හිතනවද දැන් ඉන්නෙත් ඉස්සර හිටපු යක්කුමයි කියලා..."

මගේ ඇස් දෙක දොට්ට පනින්න වගේ.. ඒ කතාවේ අත්තක් නැත්තෙමත් නෑ..

"....අපි මොඩර්න් වෙනවා වගේ  තමයි මල්ලි යක්කුත් මොඩර්න් වෙනවා..ඒක අමතක කරන්න එපා...දැන් ඉන්න යක්කුන්ට තේරෙන්න නම් උන්ගේ විදිහට තොවිලේ නටන්න ඕනි...ඉස්සර යක්කු වගේ දැන් ඉන්න යක්කු තොවිල් නැටුවට පන්නන්න බෑ..උන් ඇට්‍රැක්ට් වෙන්නේ මේවගේ ටෙක්නොලොජි එකට..මල්ලි බය නැතුව ඉන්න මල්ලි...අලුතෙන් ආපු ගායකයෙක්ගේ සීඩී එක දාපු ගමන් ඔය යක්කු ආයේ මේ පැත්ත පළාතේ පස් පාන්නේ නෑ"  කියලා පොර සෙටප් එකේ සද්දේ තව ටිකක් වැඩි කළා.

Soon on

Thursday, March 14, 2013

"රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා

දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන  වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ  ලිඳ ගාවට ගිහින්  දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත්  නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ඇයි හත්වලාමේ ඇඟට කොහොමත් හොඳ නෑනේ. ඔලුවට වඩා වැඩිහරියක් වටිනාම අංග උපාංග ටික තියෙන්නේ ඇඟේනේ. පත්තර වල රුවගුණ උපදෙස් යන්නේ ඒවායේ වැඩකරන එවුන්ගේ අතපය කහනවට නෙමෙයිනේ. පත්තරේ ගන්න වියදම් කරන සල්ලිවල වටිනාකමට හරියන්නවත් ඒ උපදෙස් ඉඳලා හිටලාවත් පාවිච්චි කරන්න එපැයි.

අක්කා කුකරි ක්ලාස් එකේ උදේ දහයට විතර හදපු "හොට් ඩෝග්" එකක් අම්මා හදපු කරවල හොද්දේ පොඟවගෙන මම කෑවේ තිබුන පට්ට බඩකින්නට  ඇටැක් එකට. මොනඃ  ඒක බඩට දැනෙන්නේවත් නෑ.  ඒක කාලා මදි පාඩුවට චිලි පේස්ට් එක්ක  බතල අල දෙක තුනක් ගිල්ලේ වම්බටු සෝස් එක්ක. වම්බටු සෝස් එකත් අක්කගේ කුකරි ක්ලාස් එකේ පාඩමකට කියා දීපු එකක්ලු. කාපු කෑමේ හැටියට ස්වාරාලෙට පොඩ්ඩක් ලඟට එනකම් බඩ පිපිිලා. මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් බ්ලොග් එකට කතාවක් ලියන්න කල්පනා කර කර ඉඳලා බැරිම තැන දිලුත් එක්ක  කිතුලට නැගලා මලක් කපාගෙන යන්තම් දෙයියනේ කියලා ඇහැ පියාගත්තා.

"හෙන ගහනව උඹට සුදූ...ඌ" කියන්නැහේ මල ඉලව් ෆෝන් කට්ටට කෝල් එකක් ආව සද්දෙට  දඩස් ගාල ඇහැරුනා. ඇහැරුනා කිව්වට ඇහැරුනේමත් නෑ.ඒ වුනාට ඇහැරුනා, ඒත් හරියට පියවි සිහියට ආවේ නෑ. අත පත ගාලා ෆෝන් එක හොයා ගත්තේ බාගෙට පියවෙලා තිබ්බ එක ඇහැකින්. එක ඇහැක් සම්පුර්ණයෙන්ම පියවෙලා තිබුනේ කබවලට ඇලිලද කොහෙද.  මේ මහ රෑ මොකා මොන අවලම් වැඩකට කතා කරනවද කියලා කතා කරන එකා තමයි දන්නේ.  රෑ කියලා නෑ, ඇඳේ කියලා නෑ, මට මල විද්දේ අසුහාරදාස් ගානකට. මලාට කෝල් එක ආන්සර් කරන්නේ නෑ කියලා දරුණු තීරණයක් අරගෙන මම කට පැත්තකින් බේරෙච්ච කුණු කෙල තලිය සරමෙ කොනකින්  පිහදාලා සරම අස්සටම ආයේ ගුලි වුනා.

සාමාන්‍යෙන්, සාඩම්බර "වැටෙන පමා" නින්දකට උරුමකම් කියන මම දිලුත් එක්ක මල් මල් පාට හීන ලෝකේක පාවෙවී හිටියේ. දිලූ හීනෙන් පේනකොට හරි ලස්සනයි අප්පා. දිලූ හැබෑවට පට්ට දැකුම් කළු වුනත් හීනෙන් පේනකොට පේන්නේ කිරි කිරි මාෂ් මේලොෂ් කෑල්ල වගේ. වඩා ගන්න හිතෙනවා. උඩ දාලා අල්ලන්න හිතෙනවා. එවලේ අපි දෙන්නා අත් අල්ලාගෙන ගිනි කුටක අව්ව පායපු කාන්තාරෙක වගේ එකක ඇවිද ඇවිද හිටියේ. ඒ වුණාට  අපි වටේට තරමක පට්ට මීදුමක් තිබුනා. වට පිටාවෙ අතරින් පතර තිබුන ගහක් ගලක්, බලුබෙට්ටක් ගොම්බෙට්ටක් ගානේම හෝ ගාල ශෘංගාරේ වෑහෙනවා වගේ මගේ හිතට දැනුනා. හැමුව හුළඟෙත් තිබුනේ හෙන කුපාඩි ගතියක්. ඒ හැමදේකින්ම පේන්නේ අදරේ විතරමයි කියලා මට හිතුණා.
"මගේ රයිටර් පැටියෝ...." දිලූ දොඩපි
"හ්ම්...ඇයි පැටී" මං හෙන ආඩම්බර පෙම්වතෙක්ගේ ලුක් එක මුනට ඇඩ්මිට් කරගෙන මයේ කෙල්ල දිහා බලුවා. 
"ඔයා මගේ පණ...මං මළත් ඔයා ගාවින් යන්නේ නෑ...ඔයා ගාවටම වෙලා ඉන්නවා..සත්තයි...වෙන කෙල්ලෙක්ට ඔයාට බැල්ම දාන්න ඉඩ තියන්නෙත් නෑ..ඔයාගේ පස්සෙන් ඔයා යන යන හැමතැනටම එනවා...! ඇත්තමයි...!! ඔයාටත් මං ගැන එහෙම හිතෙනවද සුදූ..මාව රකින්න, මව බලා ගන්න හිතෙනවද පැට්ටෝ...මට කියන්න..අනේ මට කියන්නකෝ....!" අන්තිම ටික දිලූ කිව්වේ හෙන කොමලෙන් ඇද ඇද තාලෙට ලතාවකට..
හරිනං ස්ක්‍රිප්ට් එකේ හැටියට මගේ මුනට ඇඩ්මිට් වෙන්න ඕනි සෙවල ටයිප් පැණි ඇඹල හිනාවක් වුනාට, ඒ හිනාව මගේ මුණේ එක මාංශ පේශියකටවත් එන්ටර් වුනේ නෑ..

"දෙයියනේ මං කරපු වැරැද්ද මොකක්ද දිලූ මට එහෙම කරන්න..මට කියන්න රත්තරන්...මට කියන්න ?"  ගල් රෝලකට අහුවෙලා බාගෙට පස්ස චප්පවුන කඩියෙක් වගේ අනාත වෙලා මම කිව්වේ මං ගැන ඇතිවෙච්ච දුකටමයි.    
ලිමිට් බිමිට් නැති මගේ  වාචාල කටින් ඒ වචන දෙක තුන දෙපාරක් හිතන්න කලින් පැන්නේ තුබූ තුබූ ගාල. එවලේ මං ගැනම ඇතිවෙච්ච ආත්මානුකම්පාවට ඇහෙන් පෙරපු කඳුලක් කඳුලක් ගානේ මං දෙයියන්ගෙන් ඉල්ලුවේ .අනේ දෙවියනේ මේක හීනයක්ම වෙයන් කියලා. හීනෙක ඉඳගෙන හීනයක්, හීනයක්ම වෙයන් කියන එක පට්ට ආතල් කියලා මම එදා දැන ගත්තා.

මල ඉලව් මල දානේ ආයේ රින්ග් වෙන්න ගත්තේ හීන කතා ඔක්කොම චකබ්ලාස් වෙලා යද්දී. මම දත්මිටි කාගෙන කබ කඩ කඩ ඇහැරලා බැලින්නම්, රම්බා. මොන පාන් ගෙඩියක් බැදලා කන්නද මේ මහා රෑ මේ හිපාටුවා කෝල් කරන්නේ. ඕනේ මගුලක්...ආන්සර් කරනවා..මගේ බුදු ෆිට් එකනේ..! මේ ටිකේ ලියන්න එව්වා නැති එකේ මු කෝල් කළා කියන්නේ අනිවා කතාවක් ලියන්න පුළුවන් මාතෘකාවකට පොටක් පෑදෙනවා. තණ්හාව මිශ්‍ර අවලන් කුපාඩි ටයිප් එකේ හිනාවක් මගේ කටින් පැන්නේ හක්ක පනින සයිස් ඈනුමක් එක්ක. 

"හෙලෝ"

"රයිටර්  ඉක්මනට.. දො..දොර ඇරපන්"

හත් ඉලව්වේ අද මුගේ චක්කරේ වැරදිලාද, මුගේ කොටු පැනිල්ල වැරදිලා මගේ කොටුවට පනින්න හදන්නේ..මගේ ඇඟ කිලිපොලා ගියා...නිදිමත මකබෑවිලා ගියා. දෙලෝ රත් වුනා. උන්හිටිතැන් අහිමි වුනා.

"රයිටර් කැහුට්ටෝ ඇරපන් බං  දොර...හ..හදිස්සියක්" රම්බා හෙන ලාමක වොයිස් එකකින් කියපි. ඔය කචල් අස්සේ හෙට උදේ පත්තර වල යන හෙඩ් ලයින් ටික මට මැවි මැවී පෙනුනා. මම කෝකටත් දොර පොල්ලක් අතට අරගෙන කෝල් එක කට් කලේ "හා හා ඔහොම ඉඳින්...මං එන්නම්" කියලා.

මම එලියට යනකොට රම්බා දොරට පිටුපාල පඩිය උඩ ඉඳගෙන බයි කලර් කරමල් කුකුලෙක් එක දබ වලියක්. ඇර සොයිසා ඇර කියලා හිතින් චියර් කරගෙන මොකද වෙන්නේ කියල බලන්න මමත් දොර පොල්ල විසික්කා කරලා කිට්ටු වුනාම දැක්කේ රම්බා උගේ බෙල්ල පාගාගෙන කටට පාංකඩයක් ඔබන්න අම්බ ගේමක් දෙන හැටි.

"රම්බා..මොකෝ සීන් එක...?"  බොක්ක පිච්චිලා ගියපු හින්දා මම කතා කලා.

"ර...ර..යිටර්.....රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා"

"ඇහ්..සිරාවට....?" මගේ දිවත් හැපුණා ඒක අහලා.

"ඔව් බං විජහට මගෙත් එක්ක යමකො..."

"ඈ...බං දැන් කාලේ හැදෙන කෙල්ලෝ දෙපාරක් මල්වර වෙනවද බං....?" හෙනම හෙන විචිකිච්චාවෙන් ඇතිවෙච්ච කිචිය හින්දම මම ඇහුවා.

"තොගේ ආච්චිගේ මල්වරයක් නෙමෙයි යකෝ..අපේ නංගිට කළු කුමාරයා ගහලා"

"ඈ.... හුටඃ....එගොඩහ ප්‍රයිමරි ස්කොලේ  කලු කුමාර..අර ඒබරන් ගේ පොඩි එකා..? ඒත්  මං හිතුවා දෙන්නා එකක බැද්දේ කජු කඩන්ඩ යනකොට... ඉතින් උඹට වැඩේ අතේ මාට්ටුද..?..චාරුලතා ගැබ්බර වෙලාද.. උඹලා දැනගෙන ගොඩක් දවස්ද..?.. මල කෙලියයි...ගබ්සාව තාම නීතිගත කරලත් නෑ බං..?"

රම්බට දැන් ඇඩෙන සයිස්...

"අනේ රයිටර් වඳින්නම්....මාත් එක්ක යම....යන ගමන් කියන්නම් විස්තර.... විජහට යමකෝ ඉතින්" රම්බා කට නිකන් බොම්බයි මොටයි කවපු ගෙම්බාගේ වගේ කරගෙන මං දිහා බැලුවා.

මම එහෙම්මම දොර වහලා රම්බා එක්ක උන්ගේ ගෙවල් පැත්තට අඩිය තිබ්බා.

රම්බාගේ ගෙවල් වලට කිට්ටු වෙනකොට කන් අඩි පැලෙන සද්දෙට සෙටප් එකක් දාලා.

"යූ මයි පම්ප්කින් පම්ප්කින්...හෙලෝ හනී බනී"
"හව් මෙනි ටයිම්ස් ලේඩි ලව් හැඩ් ගිවන් මී මිස් කෝල්ස්"

එක යුද්දයයි..ආවේශ වෙච්ච කෙල්ලෙක් ඉන්න ගෙදරක් කියලා කියන්නවත් බෑ..හෙන පාටියක් වගේ. කෝකටත් මම රම්බා එක්ක කාමරේට  ගිහින් දොර රෙද්ද ඈත් කරලා බැලුවා. බලන්ඩ දුකයි. චාරුලතාව අල්මාරියකට තියල ගැටගහලා. කෙල්ල යටිගිරියෙන් හනී බනී සින්දුව කියනවා. කොහොම හරි කෙල්ල මාව දැක්කා.

කෙල්ලට දැන් මල වගේ. මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා ගෙරෙව්වා ගෙරවිල්ලක් දත් ටික උලමාගේ වගේ කරගෙන.

"ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කෙල්ල කියපි.

වැඩේ දරුණුයි වගේ. දැන් හොයපන්කෝ කට්ටඩියෙක්...!!!





 

Monday, March 11, 2013

ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්"

රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ?  කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා බ්ලොග් එකකුත්..මුලින්ම කවියක් ලියලා දැම්මා. යාලුවන්ගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් හෙමත් දැම්මා. ඒ මගේ ෆේක්  බ්ලොග් එක පොඩ්ඩක් කට්ටිය අතර හිට් කරන්න. වැඩේ සාර්ථකයි. 

 මම රඟපෑවේ බූට් එක කාපු කෙල්ලෙක් විදිහට. කතා දෙක තුනක් ලිව්වා (ආත්ම කථන) ඔක්කොම පොස්ට් 5යි. ඊට පස්සේ අමාරුම වැඩේ කෙල්ලෙක් විදිහට සමාජගත වෙන එකනේ. කොච්චර අමාරු වුනත් මම එක කළා. කොච්චර සාර්ථකයිද කියනවනම් බ්ලොග් එක හදලා සති දෙකයි ෆලෝවර්ස්ලා පනස් ගානක්. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා සීයකට කිට්ටු වෙන්න ආවා. ෆේස් බුක් ගිණුමේ නම් මම තමයි රික්වෙස්ට් යැව්වේ මුලින්. ඒත් බාගෙකට කිට්ටු වෙන්න ඒ ෆේක් එකට රික්වෙස්ට් ආවා. දවසකට රික්වෙස්ට් උපරිම පහකට කිට්ටු වෙන්න තිබුනා. දාපු ස්ටේටස් වලට හොඳ කමෙන්ට් තිබුනා. එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනා. මොකද කියනවනම් කවුරුවත් කැත විදිහට වචනෙකින්වත් ෆේක් ගිණුම එක්ක චැට් කලේ නෑ. මගේ යාළුවො ගැන ආඩම්බරෙන් ඒ දේ කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් උදව් කළා. අලුත් උදවියට අත දෙන්න පරණ උදවිය එකපයින් නෑ බෑ නොකියා කැමති වුනා. වෙන්න ඕනේ ඒක තමයි.


ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.

1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ  - මතක වස්තුව වගේ එකක් ලියන්න)
2. මගේ ඔරිජිනල් බ්ලොග් එකේ අලුත් වැඩක් විදිහට පොඩි බයිට් වැඩක් සෙට් කරන්න. (ඒ කියන්නේ හොඳම යාළුවො, විහිලු දන්න උදවියට පොඩි බයිට් එකක් සෙට් කරන්න), කැත විදිහට, අප්‍රසන්න විදිහට නෙමෙයි පිර්යක් ඇතුව. බයිට් කරලා ඒක ලස්සනට බ්ලොග් එකේ හෙළිදරව් කරන්න.
3. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් වගේම ලේසියි කියන එක හරියටම තක්කෙටම බලා ගන්න
4. අනික මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටනවා ඇත්ද කියල බලන්න.
5. අනික ඒ ෆේක් චරිතය මගේ බ්ලොග් එකේ කතාවකට රියල් විදිහට සම්බන්ධ කරගන්න.. (ඒක පොඩ්ඩක් සංකීර්ණයි)  

මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා.  මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.

කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.


මතක තියා ගන්න ඔබේ ජීවිතේට ලංවෙන සියලු දෙනා රියල් උදවිය නෙමෙයි. විශ්ෂයෙන් සයිබර් ලෝකයෙන්. ෆේක් ජීවිතයකට ඔබේ ජීවිතය බිල්ලට ගන්න බැරිකමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ ගිණුමෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.

උඹලා බයිට් වුනා වගේ දැනෙනවානම් මට මේල් එකක් හරි ෆේස් බුක් මැසේජ් එකක් හරි දාපන්. මම කියන්නම් ඒ ගිණුමයි බ්ලොග් එකයි මොකක්ද කියලා.  

අපේ තරුවා මේ වගේම පොස්ට් එකක් ලියලා තිබුනා මේ වගේ පරීක්ෂණයක් ලෙසටම කරපු එකක් 

සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
 
 




Thursday, March 7, 2013

"ඌරෙකුයි...ඊරියෙකුයි"

සිතේ ජවය සම්පුර්ණයෙන්ම සිඳුණු කලක ඇතිවන උදාසීනත්වයෙන් හා හිස්බවින් ඔහුගේ ගත පෙලෙන්නට විය. අසම්පුර්ණ වූ බලාපොරොත්තුවක ශේෂ වූ කඩතොළු නිසා පෑරෙන සිතුවිලි වලින් ඔහු අපමණ පීඩා වින්දේය. දරාගැනීමේ සීමාව ඉක්මවූකල්හි දෙනෙතින් පෑහෙන කඳුළු කැට කියාපාන්නේ ඒකපාර්ශවීය වූ බැඳීම්හි අස්ථීර පැවැත්ම හා එතුලින් මතුවන්නා වූ වේදනාවේ අමිහිරි බවම නොවේද යන්න ඉලන්දාරියා තවමත් තේරුම් ගනිමින් සිටින සෙයකි.  වැව මැද ගල් තලාවට පැමිණ බොහෝ වෙලාවක් ගත වුවද, හුදකලාවට දැන්ම සමුදීමේ වුවමනාවක් ඔහු කෙරෙන් දිස් නොවීය. රස්තියාදුවේ කරක් ගසන සුළඟද, සරැලිති නගන  කිවුල් වැව් දියද හිතුවක්කාර කුරුළු නඩයක කිචිබිචියද ඔහුගේ හුදකලාවට එක් කලේ ඌණපුර්ණය නොවුනද,  තමා වටා ඇති ඒ සියල්ල තුලින් ස්ව හුදකලාවට එක් කරන්නේ  සියුම් සරදමක් පමණක්ම බව ඔහුට සිතින.

අතීතයේ පෙර දිනක මෙවන්ම වූ ගොම්මන් අඳුර වැව් දිය වෙලාගත් සන්ධ්‍යාවක ඈ වාරු වී සිටියේ ඔහුගේ උරහිසටය.
මේ දෙස බලා සිටින ඔබ, ඔවුන් පෙම්වතුන් යයි  ඉඳුරාම නිගමනය කරනු ඇති, අකමැත්තෙන් වුවද පිලිගතයුතුව ඇත්තේ ඔබේ තර්කය වැරදි බවය. කිසි විටක ඔබේ දෑසට පෙනෙන දේ මතුපිටින් විශ්වාස නොකරන්න, මන්ද දෑසකට, හදවතක සිතුවිලි විනිවිද දැකිය නොහැකි සේම දෑසින් දකින දෙයකින් පමණක් නිවැරදි නිගමනයකට ඒම  උගහට කරුණක් නිසාවෙනි.

නමුදු ඔබේද මගේද දෑස් මත යම් බලාපොරොත්තුවක සේයාවක් ජනිත කරමින් එකවරම ඔවුන්ගේ දෑස් මත දෑස් පැටලී ගියේ අහඹුවකිනි. ඔවුන් ඔවුනොවුන් දෙස බොහෝ වෙලාවක් බලාගෙන සිටියහ. අනතුරුව බොහෝ වෙලාවකට පසුව ඔවුන් අතර තිබු සියුම් අවකාශය හදිසියේ අසීමාන්තිකව පටු විය. ඔබ නිගමනයකට එළඹෙනු ඇති,  මේ දෙදෙනා පෙම්වතුන් බවත් මේ සිදුවන්නේ ඔවුනොවුන් කෙරෙහි ඔවුනොවුන්ගේ හදවත්වල ඇති ආදරය එකිනෙකාට ප්‍රකාශ කිරීමක් බවත්. විශ්වාස කරන්න...මෙවරත් ඔබ නිවැරදි පිළිතුර දීමට අපොහොසත් වූ බව.

කිටිකිටියේ එකට බැඳුනු දෑඟිලි ඉලන්දාරියගේ සිතට එක් කලේ ජයග්‍රාහී හැඟීමක් වුවද හුදෙක් මේ යයි කිව නොහැකි හැඟීමකට පමණක් වහල් වී සිටි යුවතිය කරන්නේ නොහොබිනාකමක්යි ඔබේ හදවත තීරණය කරනු ඇති. වරදක් කවුරු අතින් සිදුවුනද එය වරදක්මය. එහි සැකයක් නැත. නමුදු හදවතින් ආදරය කරන තම පෙම්වතිය සිප ගැනීම වරදක් ලෙස ඔබ නිගමනය නොකරන බව මා විශ්වාස කරමි. තම පෙම්වතිය සිප ගැනීම පෙම්වතෙකුගේ අයිතිවාසිකමක් බව මම අදහමි. එවිට පෙම්වතියකට පෙම්වතා සිපගැනීම පිලිබඳ ඔබේ අදහස කුමක් විය හැකිද ? සරලය..පිළිතුර එමමය.

එනමුදු ඉලන්දාරියා කෙරෙහි  එවන් වූ ප්‍රේමනීය හැඟීමක සේයාවකුදු නොවුන යුවතිය නොහොබිනා දෙයක් කිරීමට සැරසෙන බව මා පැවසුවේ එබැවිනි. අටුවාටීකා අවශ්‍ය නැත. උවැසි වුයේ යුවතියගේ ස්වරුපය ඔබට පහදා දීමටය. ඇගේ සිතේ ඉලන්දාරියා පිලිබඳ ඇත්තේ සහෝදරකමකට සමාන බැඳීමකි, එය පරයා යන බැඳීමකට යුවතිය සුදානම් නැත. ඇය කෙතරම් දුරට සාධාරණද මම නොදනිමි. බාගවිට ඔබත්.  

වැව් කණ්ඩියේ එහා ඉවුරේ ගිලුන සුර්ය කිරණින් දිලිසුන ඇගේ රන් පැහැ කම්මුල් ඉලන්දාරියා සිපගත්තේ මහත් ආශාව මිශ්‍ර ලොබමකිනි. ඊටත් එහා ගිය ආදරණීය හැඟීමකිනි.  එම උත්තේජනයෙන් බොහෝ වෙලාවක් දෙදෙනාගේම තටු ලැබුණු හැඟීම් සියොතුන්ගේ වෙස් ගෙන හිතුවක්කාර ලෙස අහස සිසාරා පියඹා ගිය කල්හි, ඔවුන්  වාඩිවී සිටි තනබිස්ස පොඩිවී ගියේ මන්දැයි ඔබ මගෙන් නොවිමසනු ඇති. .

"මේ..මෙතන හරියට ඌරො නටල වගේ" වෙහෙසකර ආදරණීය සටනකට පසු ඔහු කිවේ වචනයෙන් විස්තර කල නොහී හැඟුම් සමුදායක් හද තුල තෙරපගනිමිනි.

"ආ...දැන් කවුද ඌරො" ඇය ඔහුගේ දෑස දෙස බලා සිනාසුනේ යටිතොල සපාගෙනය මුහුණට දඟකාර ස්වරුපයක් ආරුඨ කරගනිමිනි .

"ඌරෙකුයි...ඊරියෙකුයි" ඉලන්දාරියා කිවේ අහස සිනාසෙන ගමන්ය.

යුවතිය හිඳගෙන සිටියේ තණ බිස්ස මත එරමිණිය ගොතාගෙනය. යුවතියකට වඩා එම ඉරියව්ව ගැලපෙන්නේ ඉලන්දාරියෙකුට උවද එමගින් ඈ කෙරෙන් අමුතු සුන්දරත්වයක් දිස්විය.  ඇගේ දැඟිලි එක මත එක තෙරපෙමින් තිබුන අතර ඇය යම්කිසි පසුතැවිල්ලකින් පසුවන බවක් පෙනින. දීර්ඝ සුසුමකින් ඉනික්බිතිව ඇය හඬ අවදී කළාය. 

"මොනවා වුනත් විශ්ව...ඕනෙම දෙයක් ඕනෙවට වඩා හිතන්න එපා..මෙතන පොඩි දෙයක් වුනා ඒ දේවත් ඕනෙවට වඩා හිතන්න එපා..ඔයා මගේ මල්ලි..මම ඔයාගේ අක්කා..එච්චරයි...! " ඇය කිවේ හුදෙක් සැහැල්ලු ස්වරයකින්  වුවද එතුල ඉලන්දාරියට තේරුම්ගත නොහැකි යම් කිසි දෙයක් ගැබ්ව තිබිණි.

"තේරුනේ නෑ"

"තේරුම් ගන්න උත්සාහ කරන්න විශ්ව..ගෙවල් වලින් කවදාවත් අපිට එකතු වෙන්න දෙන්නේ නෑ..අනික මම පසුතැවෙනවා.. මම පිලිගන්නවා මගෙන් වරදක් වුනා. මට බෑ දැන දැන ගින්දරට අත දාන්න..මං කෙසේ වෙතත් ඔයාව ඇදලා දාන්න"  ඇගේ වදන් ඔහුගේ හදවත නොසන්සුන් කළේය.

"හදිසියේම...මෙහෙම...? " ඉලන්දාරියාට වචන ගිලිනි. ඉවසුම්ද නොවීය.

යුවතිය  නිහඬය.

අතක් පමණක් නොව, යුවතිය මේ වනවිට ඉලන්දාරියගේ සර්වාන්ගයම දැවෙන ආදරය නම්වූ ගින්නට ඇද දමා හමාරය. නැගෙන ගිනි දැල් වලින් අර්ධව පිළිස්සුනු ජීවිතය ඉන් මුදවා පලක් නැත. එම ගින්නටම  පිලිස්සී මියයනු මිසක අන් විකල්පයක් ඉලන්දාරියට  කොහිද?.

එදා ඇගේ හඬ රාව පිලිරාව දෙමින් දැන් දැන් සවනත දෝංකාර දෙන්නා සේ ඔහුට ඇසින.

දිලිසෙන ඇගේ රන් තෝඩු වල දිස්නය පරයන ආලෝකයක් එවන් දිනවල  ඇයගේ දෙනෙත්වලින් දුටුවා ඔහුට  මතකය. අහිංසක ඒ දෑස්වල අපරිමාන ආදරයක් ගැබ්ව තිබුණු බව ඔහු දැන සිටියේ අදක ඊයෙකද නොවේ. එවන් වූ අප්‍රකාශිත ආදරයක් කුමන හෝ හේතුවක් අරබයා තමාව මෙතරම් අසරණ  කරාවි යයි හෝ මෙවන් ඉරණමක් තමාට අත්කර දෙතැයි හේ කිසිදා නොසිතන්නට ඇති.  

රිද්මයානුකුල විරාමයකට අනුගතව  ඔහුගේ දෑතින් ගිලිහුන තිරුවානා ගල් කැබලි වැටීමෙන්  වැව් දිය මත ඇඳෙන්නාවූ කවාකාර රැලි මත තම අතීතය විනිවිද දැකීමේ නිරර්ථක උත්සාහයක ඔහු යෙදී සිටියේය. අවුල් වූ හිසකෙස්, දිය රැලි වෙතට ඍජුවම නැඹුරු වූ කඳුළු පිරුණු දෙනෙත ඒ බව මොනවට කියා පෑවේය. රත් පැහැ වූ නලියන දෑස් මත සටහන් වී තිබුනේ අපේක්ෂාභංගත්වයේ සලකුණු බවනම් ඉඳුරාම කිව හැකිය. ආදරණීය පාඨකයිනි විශ්වාස කරන්න, ඔහු මේ කතාවේ වර්තමානයේ රඟ දක්වන්නේ පෙම්වතෙකුගේ භූමිකාව නොවේ. එසේනම් මේ කඳුළු කුමක් අරබයා ගිලිහෙන්නේද ඔබ මගෙන් විමසනු ඇති. ඉලන්දාරියෙකුගේ දෙනෙතකින් කඳුලක් ගලන්නේ යුවතියක් වෙනුවෙන් නම් ඒ අහේතුකව විය නොහැකිය.

අසම්මතය වූ කලි අසම්මතයමය. අසම්මතය ප්‍රේමය මූලික කොට ගත් කල්හිදීත් එයද අසම්මතයම වේ. අසම්මතය කරණකොටගෙන බැටකන්නවුන් හට උරුම වන්නේ වේදනාවම මිසක අනෙකක් නොවේ. එබැවින් අසම්මතය සමග පොරබදන්නවුන් එයින් අත්වන ඉරණම භුක්තිවිඳීමට සුදානම්ව අසම්මතයේ හැසිරිය යුතුය. එයද තනි කැමැත්තට නොහැකිය..

අන්ධකාරය වැව් දිය මුළුමනින්ම වසා ගනිත්දී ඉලන්දාරියා නැගිට සිටියේ තවත් දවසක කටුක බව අතීතයට මුහු කර අවශේෂ කටුකත්වය මතු දිනක විඳීමට යලි ඒමේ සුදානම ඇතුවය.