My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, April 20, 2013

කාමර අංක "නමය"

කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට වඩා බොහෝ පහල අගයක් ගත්තේය. එකිනෙකට බොහෝ ඈතින් පිහිටි කෙටි වීදුරු කවුළු තුලින් පෙරී ආ සඳ එලිය, අඳුර පරයා ටෙරාසෝ බිමෙහි ගුප්ත රටා මවමින් තිබිණ. අරමුණ කරා මා ඉදිරියට තබන සෑම පියවරක්ම,  බොහෝ දෙනෙකුගේ ජීවිතවල අනාගතය තීරණය වන තීරණාත්මක සාධකයක් බවට පරිවර්තනය වෙමින් තිබිණ. මින් පෙර නොදුටු ඇයගේ නමද මාගේ නමද එම ලැයිස්තුවේ ඉහලින්ම සටහන් වීමට නියමිතව තිබුන අතර සෙසු නම් ඊට පසුගාමිව තිබිණ.

මැදගිල්ලෙන් අගුල් දා තිබු දොරටුවට කීප වරක් තට්ටු කර, අතැති යතුරෙන් දොර පළුව විවර කරගෙන මා කාමරය තුලට බට කල්හි නාසයට දැනුන මිහිරි සුගන්ධය, දල්වන ලද හඳුන්කුරක දුමක් නිසා හටගත්තක්ද නැතිනම් අන් කුමක් නිසා ගටගත්තක්ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් තව්සන්ගේ පවා දැහැන් බිඳීමට සමත් සිත කළඹන අනුරාගී උත්තේජකයක් ඒ සුවඳ තුල කැටිවී තිබුන බවනම් ඉඳුරා පැවසිය හැකිය. හිසට ඉහලින් නෙත් යොමුකළ කල බිත්තියේ තිබු ඔරලෝසුවේ රාත්‍රී දහය සටහන් වීමට මිනිත්තුවක පමාවක් සටහන් වී තිබුණි. ගිවිසුමට අනුව පැයක් වැනි කෙටි කාලයක් තුලදී ගනුදෙනුකරු වන මාගේ අවශතා සපුරා ගත යුතුය. ඒ සඳහා ඇයද සුදානමින් සිටින වග සැකහැර දැනගැනීමට කාමරය පුරා මා දෙනෙත් වෙහෙසුවෙමි. සිවු කොනේ දැල්වුණු බිත්ති පහන් වලින් ප්‍රභාශ්මිත වූ මන්දාලෝකය, අනුරාග සිතිලිවිලි මවෙතින් බලෙන් පැහැරගන්නා බව හැඟුනි.

සයනයට යාබදව දිලිසෙන මතුපිටක නිමාවකින් යුත් ටීපොවක් මත වූ දල්වන ලද ඉටිපන්දමක ආලෝකය තුලින් මා ඇගේ ආරාධනාත්මක ගනුදෙනුකාර දෙනෙත් දුටුවෙමි. ඇය දුටු කෙනෙහි මාගේ මුව මත සටහන් වූ සිනාව කවර හැඩහුරුකමක් ගත්තාදැයි නොදනිමි. බොහෝවිට හැඟීම් විරහිතව ඒ සිනාව කෘතීම ස්වරුපයක් ගන්නට ඇතැයි විශ්වාස කරමි. පය උස්සා ඉදිරියට පියවර තැබීම වෙනදාට වඩා ආයාසකර විය. නිසැකවම මා ඇය දෙසට පියවර තැබුවේ දෙපා බිම අද්ද අද්දා විය යුතුය. මා ඈ වෙතට කිට්ටු වී සයනය අසල තිබුන පුටුව මත හිඳ ගත්තේ ටයි ගැටය මදක් ලිහිල් කරමිනි. ඈ මා දකින සෑම අවස්ථාවකදීම පුරුදුකාරයෙක් ලෙස හැසිරීමට මා කෙතරම් උත්සාහ කලද අත්දැකීම් විරහිත අතීතය විසින් ඊට බාධා පැමිණවීය. මාගේ දෙනෙත් දෙස එක එල්ලේ බැලු ඇගේ මුව මත දඟකාර සිනාවක් සටහන් විය. උඩුකුරුව දුහුල් ඇඳුමක් ගත දවටා, සයනේ වැතිර සිටි ඇය ඇඳ වියල මත තිබු සාළුවක් ගෙන ළමැදට තද කරගෙන හදිසියේ නැගිට සිටියාය.

"කොහෙද යන්නේ" නොරිස්සුම් සහගතව මම විමසුවෙමි.

"වොෂ් එකක් දාගන්න"

"හ්ම්ම්...ගොඩක් වෙලා ගන්නවට මම කැමති නෑ"  මම අකමැත්තක් මෙන්ම බොරු හදිසියක් මවා පෑවෙමි.

"හ්ම්ම්..නෑ..ඉක්මනින් එනවා"

ඇය නාන කාමරයට ගොස් දොර වසනු වෙනුවට අඩවන් කරන ලද දොර පියන මත රැගෙන ගිය සාලුව රැන්දුවාය. ඇගේ ගත ගල්වන ලද සුවඳ විලවුන්වල සුවඳ ඇය නාන කාමරයට ගොස් බොහෝ වෙලාවක් යන තුරුත් මා වටා සැරිසැරීය. කරාමය තුලින් ගිලිහෙන ජල බින්දු ටයිල් පොලව මත වැටෙන හඬට පසුව මොහොතකින් සුමුදු ෂැම්පු සුවඳක් හැමීය.  ලැබුණු අවසරයෙන් මා අත තිබුණු දුරකතනයේ කැමරාවෙන් ඇයගේ කුටියේ චයාරුප දෙක තුනක් ලබා ගතිමි. සයනය අසල පිහිටි මේසයේ ලාච්චුව තුල වූ කොපි පොත පුරා මුතුවන් අකුරුවලින් කුරුටු ගෑ කවි කීපයක් හැරුණුකොට සෙසු පිටුවල ලියා තිබුනේ ඇගේ ජීවිතය යැයි මා අනුමාන කලද නිසැකවම ඒ බව තහවුරු කර ගැනීමට කාල වෙලාව හරස් විය.   අන්තිම පිටුව පෙරලද්දී චායාරුප කීපයක් අතරින් ඇයත් ඇගේ පෙම්වතා යයි සිතිය හැකි ඉලන්දාරියෙකුගේ චයාරුපයකුත් කුඩා සිඟිත්තෙකුගේ චායාරුපයක්ද මගේ අවධානය දැඩිව පැහැර ගන්නට සමත් විය. හදිසියේම නාන කාමරයේ දොර කිරි කිරි හඬ නැගුවෙන් මා අත වූ පොත ලාච්චුව වෙත විසි කලේ සයන මත උඩුකුරුව දිගා වෙමිනි.

නාන කාමරයෙන් එලියට පැමිණි ඇගේ ළමැද හරහා දෙදනට බොහෝ ඉහලින් සාලුව එතී තිබුනද,  නාරි දේහයේ වැඩි වපසරියක් ආවරණය කිරීමට එයට නොහැකි විය. ඇය තෙත බේරෙන වරලස පිට මැදට මුදා හැර සෙමින් පැමිණ සයනයේ මා අසලින් වැතිර ගත්තාය.  වරලස දීප්තියෙන් බබලන්නට වූ අතර එවෙතින් හැමූ සුගන්ධය, නන්නත්තාරව හැල්මේ දුවන අසම්පුර්ණ ජීවිත සනහාලන්නට උත්තේජකයක් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවින.  කුෂන් මෙට්ටය මත වැටී තිබුණ මාගේ වමත ඇය තදින් ග්‍රහණය කරගත්තාය. සයන මත ඇලයකට හැරී ඇය දකුණතන් මාගේ ඇඟිලි තෙරපන්නටත් වමතින් මාගේ භාහුවේ ඉහල සිට පහළටත් රිද්මයානුකුලව පිරිමදින්නට විය. මට ඇය කෙරෙහි ඒ මොහොතේ ඇති නොවිය යුතු අනුකම්පාවක් දැනින. මා අගේ දෑස් දෙස හොරැහින් බැලුවෙමි. හීනියට මෝදු වූ කඳුළු කැටයක් ඇගේ ඇසක් අග්ගිස්සේ නලියනවා දුටුවත් ඒ කුමක් අරබයාද යන්න මම නිසැකවම නොදැන සිටියෙමි. බොහෝ විට ඇගේ ජීවිතය පිළිබඳව මෙන්ම  ඇගේ හැඟීම් සියල්ල පිළිබඳවත් ඒ නිහඬ කඳුළු කැටය එදා මෙදා තුර සාක්ෂි දරනවා විය හැක.

"මොකද කරන්නේ..ඇයි මෙච්චර වෙලා ගන්නේ...?" ඇය කුතුහලය මිශ්‍ර සිහින් හඬකින් විමසුවාය.

"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද.....?" සැලසුමට අනුව සිදුවිය යුත්ත ලෙස පමා කිරීමට වුයෙන් එසේ කල්මැරීමට මා උපක්‍රමශීලී වුනෙමි.

"කතා කරන්න.?..මට...?..කතා කරන්නද මෙච්චර වියදම් කරලා මාව හොයාගෙන ආවේ..?" ඇය එකම වැකියක් ප්‍රශ්න තුනකට ගොනු කලේ විමතියෙනි.

"මං කියනදේ අහන්න මට ඕනි නෑ ඔයත් එක්ක එහෙම හැසිරෙන්න..කරුණාකරලා මම කියනදේ තේරුම් ගන්න...මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මට ඕනි ඔයා ගැන විස්තර ටිකක් ගන්න....සමාජවිද්‍යා පරීක්ෂණයකට" ඇදබෑවේ මුසාවක් වුවත් ඇයට නොහැඟෙන සේ කීමට වගබලා ගත්තේ  මින් මත්තට සිදුවීමට යන දේ මා හොඳින් දන්නා නිසාවෙන්, එමඟින්  ඇය මදකින් හෝ පමා කිරීමට හැකිවේයැයි මට ඒත්තු ගිය නිසාවෙනි. ඈ මවෙත හැරී ගත දවටා සිටි සාලුව රැඳි තිබු ගැටය මුදා හැර සයන මත උඩුකුරුව වැතිරුනාය.

"මහත්තයා මේ..විකාර නැතුව මට බණ දේශනා කරන්නේ නැතුව ආව නම් ආව වැඩේ කරගෙන යනවද.........." ඈ පැවසුවේ කැරකෙන පංකාව දෙස බලමිනි.

"........මම මීට කලින් ඔයිට වඩා උපාසක බබාලා දැකලා තියනවා...හොඳ හිතින් කියන්නේ.....මට බණ දේශනා කරන්න විතරක් එන්න එපා...මොකද මට දැන් ඔව්වා අහලා තිත්ත වෙලා තියෙන්නේ...තමුන් අහන්න යන දේත් මම හොඳට දන්නවා..කොහොමද ඔයා මේ රස්සාව පටන් ගත්තේ..?. ඇයි ඔයාට හරි තීරණයක් ගන්න බැරි වුනේ මේ ජරා රස්සාවෙන් මිදෙන්න.?.ජීවිතේ ආයේ පටන් ගන්න පුංචි හරි උත්සාහයක් ගන්නේ නැද්ද....? ඔය ටේප් එක තමයි ඕවගේ එවුන්ගේ කටේ තියෙන්නේ..මහත්තයා මේ ........කරුණාකරලා මාව යකා අවුස්සන්නේ නැතුව මාව මරාගෙන කාපන්..දෙයියන්ගේ නාමෙන් මාව මරාගෙන කාපන්." 

ඇයට අන්තිම වචන පිටවෙද්දී හැඬුම් ආවේය. සත්තකින්ම මේ මෙහෙයුම අත්සන්කර භාරගැනීම පිලිබද මා බොහෝ සේ පසුතැවෙන්නට වීමි. දෙනෝදාහක් දෙනා ඉදිරියේ නිරුවත් වුවා වැනි හැඟීමක් මට දැනුන අතර ගිනියම් වී දියාරු වූ  හැඟීම් පර්වතයක් සේ ස්ථාවර කර ගැනීමට මා මහත් උත්සාහයක යෙදුනෙමි. මා මාගේ ජීවිතය සරිකරගැනීමට මේ රැකියාව කලයුතු වුවා සේම ඇයද ඇගේ ජීවිතය ජීවත් කරවීම සඳහා මේ රැකියාව කල යුතුව ඇත. කෙකුගේ රැකියාවක් තවත් කෙනෙකුගේ රැකියාවක් පිලිබඳ දැඩි තීරණයක් ගන්නා විරල අවස්තාවකට මා මුහුණ දෙමින් සිටියෙමි. 

ආශ්වාස ප්‍රාස්වාස හමුවේ වේගයෙන් උස්පහත් වන ඇගේ නග්න ළමැද අසාමාන්‍ය ලෙස  ගැහෙන්නේ ඇය කෝපයෙන් පසුවන නිසා විය යුතුය..එසේ නොවන්නට ඇය මළකඳක් මෙන් නිසලය.මොහොතකට පෙරාතුව අපහසුවෙන් දරාගත් පුපුරා පිටාර යන්නට තැතනු මාගේ හැඟීම් හද පතුලේ මහත් සටනක යෙදුනේ ඇගේ මුවගින් සිහින් ඉකි එකින් එක  පිටවෙද්දීමය..සැලසුම් සහගතව සිදුවිය යුත්ත පෙර පරිදි පමා කල යුතු වුයෙන් මා ඇය වෙත හැරී ටයිපටිය ගලවා දමා කමිසයේ බොත්තමක් සෙමින් පැන්නුවේ ඇය වෙත ආරාධනාත්මක බැල්මක් හෙළමිනි. ලැබුණු අවසරයෙන් ඇය සයන මත බඩගාගෙන පැමිණ මගේ හිස බදාගත්තාය. ඉනික්බිතිව මාගේ බඳවටා දෑත යවා කලිසමේ බඳ පටිය සෙමින් ලිහිල් කලාය.

"ඔයා මෙතන  ඉන්නේ එක හිතකින්....එක හැඟීමකින් නෙමෙයි. ඇත්තම කියනවනම් ඔයා මේ කරන්න යන දේ ගැන පසුතැවෙනවා. මම හරිනේ ...?...!" එවර ඇය සන්සුන් වූ සෙයකි. ඇය පැවසුවේ මාගේ කන්පෙත්තක් සෙමින් විකමිනි......"ගණන් ගන්න එපා...මෙහාට ආව හැමෝම එහෙම තමයි..ටික දවසකින් ඔක්කොම හරි යනවා" ඇය මුවගින් නක්කලේට සිනාසුනද ඒ සිනහව තුල කිසියම් අනුරාගී බවක් ගැබ්ව තිබුනා යයි මට හැඟිනි. 

" ඉස්සෙල්ල මට කියන්න ඔයා මේ දේ කරන්නේ එක හිතකින්ද එක හැඟීමකින්ද..?" මම පෙරලා ප්‍රතිඋත්තර දුන්නේ හදවතට වහල්වූ හැඟීමක පීඩනයට ගොදුරු වූ නිසාවෙනි. දෙදෙනා දෙදෙනාට නැගු ප්‍රශ්නාර්ථ හමුවේ ඇය මෙන්ම මාද නිරුත්තර වීමු. ඇය සුසුමක් හෙළුවාය. සුසුමකටත් වඩා එය හීල්ලුමකි. අප දෙදෙනා අතර පරතරය බොහෝ සේ අඩුවුයෙන් ඇගේ හීල්ලුමේ කැටිව තිබුණ උණුසුම මා සවන් පෙති හිරි වැට්ටුවේය. ගිනියම් වූ අගේ හදවතේ නලියන වේදනාව කෙතරම්දැයි පසක් කරගැනීමට මාහට එය සෑහුනි.

"ජීවිතේ කියන්නේ සෙල්ලමක් මහත්තයා........" ඇයගේ දෙනෙතේ ගැබ්ව තිබුනේ සතුටක්ද, දුකක්ද එසේත් නැතිනම් කිසියම් පසුතැවීමක්ද යන්න මට තෝරා බේරා ගැනීමට නොහැකිවිණි. ඇය සිනාසුනාය, වරෙක හීල්ලුවාය.  "......අද මං දිනනවා..හෙට ඔයා දිනනවා..සමහර විට අපි දෙන්නම දිනනවා,...එහෙම නැත්තම් දෙන්නම පරදිනවා...වටේ ඉන්න මිනිස්සු මේ සෙල්ලම දිහා බලා ඉන්නවා...හිනා වෙනවා...චෝදනා කරනවා අපහාස කරනවා...ඉතින් උන්ගෙන් බේරෙන එකම සෙල්ලමක් නෙමෙයිද මහත්තයෝ" ඇය ගිරිය යටින් සිනාසුනෙන් මා වික්ෂිප්ත වීමි.

"මට විනාඩියක් දෙන්න..." කියමින් න් මා නැගිට නානකාමරය දෙසට පිය නැගුවේ  හැඟීම් වලට වහල් නොවී ගනුදෙනුව මෙතෙකින් හමාර කලයුතු නිසාවෙනි. ඇය මදෙස දවා හළු කරවන තරම් බැල්මක් හෙලීය. සිත තුල ජනිතවූ හැඟීම් ආයාසයෙන් හදවත තුල අකර්මන්‍ය කොට දුරකථනය ගෙන යැවිය යුතු කෙටි පණිවිඩය යැව්වෙමි.

"evry thngs al rght...its ur chance"

මා නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ද නිලධාරිනියන් කීපදෙනෙක්ද පැමිණ සිටියහ. සයන මත ඇතිරිල්ල විසිරි ගොස් ඇත. බොහෝ දුරට ඇය පලා යන්නට උත්සාහ අරන්නට ඇත. ඇද වියලට හිස තබාගෙන විලංගු ලු දෑත උකුල මත තබාගෙන ඇය ඉකිබිඳිමින් සිටියාය.

"වෙල් ඩන් ඉන්ස්පෙක්ටර් යූ ඩිඩ් දැට්....වෙයිට් ෆොර් ද ප්‍රොමෝෂන්"
සෙසු සගයින් මට සුභ පතන්නට වුවත් මා හැඟීම් විරහිතව ඇය මෙන්ම වික්ෂිප්තව සිටි නිසා එතරම් ඒ පිළිබද සැලකිල්ලක් නොදැක්වීමි.

ඇඳ මත ඉකිබිඳින ඇයගේ දෙනෙත් රත්පැහැයෙන් නලියමින් තිබිණ. නිසැකවම ඒ දෑස දෑස් වෛරයෙන්  මට සාප කරනයුරු මා හොඳින් දුටුවෙමි.

පෙර පරිදිම ඉතා අපහසුවෙන් මා ඇයට ලං වුනෙමි.

"මට සමාවෙන්න..මම කලේ රාජකාරිය"

මා එය කියා අවසන් වනවාත් සමගම ඇය අප්‍රසන්න අයුරින් කාරා මගේ දෙපතුල මුලට කෙළ ගැසුවාය. එකෙනෙහිම කාන්තා පොලිස් නිල්ධාරිවරියන් ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන කාමරයෙන් පිටතට රැගෙන ගිය අතර සෙසු මා මිත්‍ර සගයින් අවඥාවෙන් සිනාසෙන හඬ ඇසිනි 

මා තැබූ පියවෙරෙන් ඇයගේත් මගෙත් තව බොහෝ දෙනකුගෙත් ජීවිත එසේ තීරණය වුවද ඒ පිලිබඳ නිවැරදි අර්ථකතයක් දීමට අදවෙන තුරු මා අපොහොසත් වුනෙමි

Wednesday, April 10, 2013

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය දානවා. තුන්කාන්දෙන් පෙරෙන දාඩියවලින්  පෙඟුන හරියටම අවුරුද්දකට විතර කලින් හෝදපු මගේ සරං කොටෙන් හමන සුගන්ධවත් සුසිනිදු හඩු ස්මෙල් එක මාව මුළු රෑම දරුණු නින්දකට ඇද දාන එකනම් ඇත්තටම වාසනාවක්.

රයිටර් සීරිස් එක පටන් ගත්තත් හරි අම්බානක කතා ලියන්න පටන් අරං තියෙන්නේ මං හෙනකඳයා වගේ දපලා නිදාගෙන ඉන්නකොට අර රම්බා කියන වල් කෑදැත්තා ඇවිත් ඇහැරවපු සීන් වලින්. ඒත් වර්ෂ දෙදාස් දහතුනක් වූ අප්‍රේල් පළවෙනිදා දවසත් මට එහෙම කතාවකට වස්තු බීජය කරගන්න වෙයි කියලා මම තුන් හිතකින් තියා එක හිතකින්වත් හිතුවේ නෑ.

කොහොම හරි මම ඇහැරෙනකොට රම්බා හිටියේ ඇඳ ළඟ පුටුවේ ඉඳගෙන අතකින් නහයක් වහගෙන. මම ගැස්සිලා ඇහැරුනේ සීවරන් දෙයියන්ගේ වයිෆ් මතක් කරගෙන.

"මොනවද බං උඹ මැනර්ස් දන්නේ නැද්ද....?"

"සිරාවටම මොනාද බං මැනර්ස් කියන්නේ, පයිතගරස් වගේ ප්‍රමේයක්ද..?" රම්බා හෙන අවඥාවෙන් වගේ ඇහුවේ ඇස් දෙක වොලී බෝල් සයිස් කරගෙන.

එතනින් එහාට කතා කරලා වැඩක් නැති හින්දා මම කට වහගෙන හිටියා.

"නෙදකින් බං රයිටර්..ඔය සරම හෝදපන්කෝ..බලපන් හඩු ගඳ...මට ඔක්කාරෙට එනවා"

"මගුලක් කතා කරනවා..දෙයියනේ කියලා රෑ එලි වෙනකම් නින්ද යන්නේ මේ පුසුඹ නහයට දැනෙනකොට....උඹ හදන්නේ මට ඒ සැනසීමත් නැති කරලා දාන්නද" හෙන අහිංසක බැගෑපත් ලීලාවෙන් මං කිව්වා.

"අනේ දෙයියනේ කොහේ හරි ස්වේච්චාවෙන් සංවිධානෙකින් ඉදිරිපත් වෙලා මුගේ සරමයි කොට්ට උරෙයි හෝදලා දීලා සාන්ගීක දානයක් දුන්නා හා සමාන පිනක් අයිති කර ගනිත්වා....." රම්බා දොහොත් මුදුන් තියාගෙන දත්මිටි කකා වැඳ වැඳ ප්‍රර්ථනා කරා.

"රයිටර්....මාර සීන් එක බං.."

"ඇයි මොකෝ වෙලා තියෙන්නේ..බං අර ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව හරි පාරටවත් වැටිලද..අනේ වාසනාවන්..! එහෙම නැත්තම් උඹ කියන්න හදන්නේ ඒකට බඩු මැන්ගුස් වෙලා කඩාවැටෙන්නේ අපේ ගමට කියලනම් කරුණාකරලා ගිහින් ඕක කියලා වරෙන් කොල්ලුපිටියේ හංදියේ ඉන්න කොණ්ඩේ ස්ට්‍රේට් කරපු චයිනීස් කෑල්ලකට...මොකද අද දවස ගැන මම හොඳට දන්නවා...කොටින්ම කියනවනම් උඹල වෙනුවෙන් අන්තර්ජාතිකව පත්කරලා තියන දවස ගැන වෙන මොනවා දැන ගන්නද බං"

එක දවසක් හරි උන් වගේ එවුන් වෙනුවෙන් නම් කරලා තියන කතාව ඇහුව රම්බාගේ මුනේ ආඩම්බරේ දෝරේ ගලනවා සිරාවටම මං දැක්කා. කොච්චර ඒ කතාව ඌට හිතට වැදුනද කිව්වා නම් පොර කකුලක් පිට කකුලකුත් දාගෙන කොන්ද කෙලින් තියාගෙන මං දිහා හෙන වෛශාක්‍ය බැල්මට් එකක් දැම්මා. මට පේන විදිහට මූ පහුගිය මාස ගානකට කැලැන්ඩරේ බලලා නෑ. නැත්තම් ඉතින් අද කවද්ද කියලා නොදන්න මෝඩයෙක් අහල ගම් හතකවත් ඉන්න පුලුවන්ද..

කාමරේ පුරාම පිරිලා ඉතිරිලා ගියපු සරමේ හඩු ගඳ ඇරුනාම හෙන දඩාර් නිශ්ශබ්දතාවයක් තිබුනා විනාඩි ගානකට. මම මොකද කියලා ඔලුව පොඩ්ඩක් උස්සන් බලනකොට රම්බා, මේසේ උඩ තිබ්බ පත්තරේක අර ලලිතා අක්කගේ තෙලිඟු සිනමා ජීවිතේ වං හුං කියවනවා දිව දොට්ට දාගෙන.

"රම්බා...?...ඒක නෙමෙයි උඹ මොකක්ද කියාගෙන ආවේ..?"

"රයිටර්....ආ...ඔව් බං....ගල්බොක්කේ ගෙදර සිමියොන් සීයා....,"

"ඉතිං...පැනලා ගිහින්ද....?"

"මගුලක්....උන්දෑ  ඊයේ රෑ අන්තරා වෙලා බං"

අරූ මට රවාගෙන හෙන දුකෙන් වගේ කිව්වා  

"හෑ....!! පල යන්ඩ කෙප්ප නැතුව"

මම කෝකටත් ෂුවර් නොකර ඇහුවේ මු අද දවස ගැන හින්තේරුවකට නොදන්න එකේ මේක නම් කෙප්පයක් වෙන්න බැරි නෑ කියලා තක්කෙටම  හිතන ගමන්මයි.

"ඔව් බං ගැටයා කාලේ ඉඳන් අවුරුදු අසුවත් පනිනකම් අර උඩහ වත්තේ ඇග්නස් ආච්චිට ලයින් පාර දාගෙනලු හිටියේ..ගැටිස්සි කාලේ ඇග්නස් ආච්චි හේතුහාමි ආතාව බැන්දට පස්සේ  පොර අප්සැට් එකේ හිටියේ. දවසක් ඇග්නස් ආච්චි දොළේ නාද්දී මැරුණ සිමියොන් ආතා හොරෙන් බලාන ඉන්නවා මට අතේ මාට්ටු බං.....බලපන් දාර ආදරයක් නෙහ්  බං...."

මගේ දිව හැපුනා අන්දකයිප්පු කතාව අහලා. "ඉතින් බං සිරාවටම කියහන්කෝ මිනිය මැරිලද කියලා"

"නෑ බං මිනිය මැරිලා නෑ..හන්දියට වෙලා බයිලා කිය කියා නටනවා..ආන් ගිහින් බලලා පොඩ්ඩක් ඉගෙන ගනින්.....ඇයි හත්වලාමේ මිනිය මැරිලද අහන්නේ තෝ කෙටල කොළ කොටලා බිව්වද?...මෙන්න මෙහෙ වරෙන් යන්න හට් එක ගහන්න බඩු ගෙන්න යන්න" රම්බාට අශුචි පනින්න ඔන්න මෙන්න.

----------------------------------------------------------------------------------------------------------

අපි දෙන්නා  ගමේ කොල්ලෝ සෙට් එකත් ඇහිඳගෙන මරණාධාර සමිතියේ හට් එක ගන්න ගියා. අපරාදේ කියන්න බෑ කැපවෙලා වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් හොයා ගන්න අපිට බැරි වුනේ නෑ..

ඔහොම පාර දිගේ යනකොට බයික් කාරයෙක් එනවා මහ දවල් හෙඩ් ලයිට් එක දාගෙන. රම්බා හෙන වෙලාවක් කල්පනා කරලා කරලා මගෙන් අහනවා

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

"කියන්ඩ බෑනෙ බං මේ සිද්ධ වෙන දේවල් අස්සේ කාටද කියන්න පුළුවන් එක පාරට රෑ වෙන්නේ නැති වෙයි කියලා...පොර හිතනවා ඇති එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ දඩස් ගාලා කළුවර උනොත්හෙම කියලා. කෝකටත් සුදානම හොඳ හින්ද ඉතින් පොර ලයිට් දාගෙන යනවා ඇති"

ලොවෙත් නැති වැල් බයිලා ලොන්තයක් හල හල අපි මරණාධාර සමිතියේ හට් එක බාරව ඉන්න සීයාගේ ගෙදරට ආවා.

"මරණාධාර සීයේ....මරණාධාර සීයේ..!!!"

"හිපාටුවෝ තොගේ අවමගුලත් මේ ගමන්ම ගන්න ඕනෙනම් තව පොඩ්ඩක් හයියෙන් ඔහොම කතා කරපන්..ඒක ලේසියි එක පාර දෙකක් ගන්න එක." අපිත් එක්ක ආව ඔඩියාට කනේ පාරක් ගහන ගමන් රම්බා කිව්වා.

"ආ ළමයිනේ..මගුලක්ද..කොටහළු මගුලක්ද..අවමගුලක්ද"

"මගුලක් මගුලක් සීයේ හැබැයි අවමගුලක්"

සීයාගේ කට මල පිපිලා පරවුනා වගේ වුනා

"සීයේ අපිට හට් දෙකම ගන්න ඕනෙ..කොහොමද සීයේ හට් දෙක අඳුන ගන්නේ පැටලෙන්නේ නැතුව" මම ඇහුවා.

"හෙහ් හෙහ් හෙහ්... බය වෙන්න එපා කොලුවෝ මම එකක රතු ගෑවා"

"එතකොට සීයේ අනික"

"ඒකෙත් රතු ගෑවා" සීයා හෙන ආඩම්බරෙන් කියපි.

Thursday, April 4, 2013

අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න

ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක් එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා සර්වප්‍රකාරයෙන් සංසාරෙම කලකිරිලා.

අල්ලපු ගෙදර ඇන්ටි බැඳලා ඉන්න මාමගේ මාමා කෙනෙක්ගේ ඩෙඩ් පාර්ටි එකට ගෙදර අය පාන්දරින්ම  ගිය පාර තවම ආවේ නෑ. තනිකම, භීතිය, පාළුව වගේම තව තව අමන කුපිත කුජීත හැඟීම් කන්දරාවක් මාව වෙලාගෙන හිටියට,  ගෙදර කවුරුත් නැති නිසා තනිකරම පාලක මධ්‍යස්තානේ පාලනය මගේ අතේ තිබුන එක හෙන ත්‍රිල් එකක් වුනා. හාල් පොත වගේ වටින ආච්චිගේ පරණ කුඩ කබලෙන් අටවගත්ත ඇන්ටනා කට්ටට අහුවෙන චැනල් දෙක තුන සැරින් සැරේ මාරු කර කර මම ගෙව්වේ අමන කරුමයක්. නිර්ලජ්ජිත කටුක ආර්ථික උද්ධමන විපර්යාසයේ අතුරු විපාක හින්දා ඇතිවෙච්ච අපේ බඩේ කොරේට ආණ්ඩුවේ ස්පිරිතාලවල බෙහෙතුත් නෑ. ඉතින් හත්වලාමේ "උන්ට හෙන ගැහුවත් අපට මොකද"  කියන ආදර්ශ පාඨය අදහන දේශප්‍රේමී මැති ඇමතිවරු ඉන්න රටේ ජීවත්වෙන එක කොච්චර භාග්‍යසම්පන්නද කියලා මට අවබෝධ වුනේ විනාඩියෙන් විනාඩියට යන "නිල් අහස දෙවනත් කරන ප්ලේන් අහස පුරා සැරිසරනව දකිද්දී හිතට හරිම ආඩම්බරයි නේද අප්පච්චි" කියල යන ඇඩ්වටීස්මන්ට් පෝලිම දැකලා.

ගෙඹි පැටව් හිතුමතේ වීදි සරණ, ගොළුබෙල්ලන් අවලමේ යන පලගැටියන් ලයින් දාන, කළු කපුටන් වෙට්ටු දාන, බේබද්දන් සූර් කරන පට්ට  රෑ එකොළහට විතර හදිසියේ කවුරු හරි දොරට තඩිබාපු  සද්දෙ ඇහිලා මගේ අක්මාව නොහිතු විදිහට අකර්මන්‍ය වුණා. හදවතේ අභ්‍යන්තර පටක වලට රුධිරය සපයන සිහින් කේශ නාලිකා අග්ගිස්සේ මරණ භය කියන එක හිරවෙලා හදවත ගැහෙන්නේ නිකන් දොරට තඩිබාන එකාගේ ඕනේකමට වගේ කියලයි මට හිතුනේ. හදිසියෙවත් මොන කරුමෙකට හරි මේ ගැහිල්ල නතර වුනොත් එපා කියන්නයෑ. දන්න කියන දෙයියන්ගේ නම් ටික හදිසියේ මතක් කලාට මතක් වෙන්නේ නෑ. ඒක හින්දා "ලෝක ධාතුව රැක ගන්න අම්බානක් දෙවි දේවතාවුනි..මාගේ නිර්මල ජීවිතය රැක දෙන්න" කියලා මම පොදු අමත්‍රණයකින් යාඤා කළා.

"මහත්මයා ගෙදර කවුද...කරුණාකරලා දොර අරින්න"

"ක..ක...කවුද...?" තව සුළු මොහොතකින් රටට දැයට අහිමි වෙන අග්‍රගන්‍ය ලේඛකයෙක්ගේ දෛවය එකට කැටිකරලා ගුලිකරලා දිය කරලා ඉරණමට භාරදෙන ගමන් මම ඇහුවේ වෛබ්රේට් වෙන උඩු හනුවයි යට හනුවයි මැද්දේ තිබ්බ ඇට නැති දිව චප්ප නොවී එහාට මෙහාට කරලා.

"කරුණාකරලා දොර අරින්න"

"ක...ක....කරුණාකරලා කව්ද කියන්න"

"අනේ අයියේ....පිංසිද්ධ වෙයි දොර අරින්න..අපි එෆ් එම් චැනල් එකක ටීවී චැනල් එකකින්...අනේ අයියේ ප්ලීස්...ප්ලීස්..ප්ලීස්" හුට්ටප්පර හතයි මල් ලෑලි හතරයි කිව්වලු.  එහා පැත්තෙන් හෙන අසරණ නාරි ලතා වොයිස් කට් එකක් දොරේ යතුරු හිල අස්සෙන් ඇවිත් මගේ කන් අඩිය පසාරු කරගෙන ගිහින් හදවතේ නොගැඹුරු අර්ධ ශුෂ්ක පටකයක තැනක තැන්පත් වුනේ ඇයි කියලා මම හිතන්න ගියේ නැත්තේ මගේ හදවතම එවලේ හෙන භීතියකින් ඇවටියෙල් වෙලා තිබ්බ හින්දා.

"මෙ...මෙහ් මෙහ්..නංගි...ඉ..ඉ..ස්සෙල්ල මට කියන්න ඔයාල මොකක් හරි සේනාවකින්ද එහෙම නැත්තම් මොකක් හරි බලකායකින්ද කියලා" ඇයි හත්වලාමේ මේ දවස් වල ටීවී එකේ පෙන්නන හදිසි සේනා බලකායවල් වල ආක්‍රමණ, වැටලීම් හින්දා මං අන්දකයිප්පු වෙලා හිටියේ මේ උන්වත්ද කියලා. බැරි වෙලාවත් අපේ ආච්චි අදහන ගම්බාර දෙයියන්ගේ ලොවෙත් නැති පිළිමේ දැකලා අපේ ගෙදර අයටත් මිත්‍යාදෘෂ්ටික දේශද්‍රෝහී ජාතිවාදී අන්‍යාගමික කුජීත ලේබලයක් වැදෙන්න බැරි නෑ, ඒක හන්දා කෝකටත් තෛලය හෙනරාජ තෛලය කියල මම මුලින් ඒ ගැන ඇහුවේ ඒකයි. හැබෑවටම උන් ඒ සේනාවෙන් නම් ඇත්ත කතාව නොකියන එක වෙනම කතාවක්, ඒත් ඒවගේ වොර්ඩින් එකක් කලින් දාපුහාම නිකන් හිතට ලාමක සුමුදු සනීපයක් දැනෙන හින්ද වෙන්න ඇති මගේ කටින් එහෙම පිට වුනේ. ඇඩ්රිනලින් හෝමෝනය කුපිත වුන හින්දා වෙන්න ඇති කකුල් දෙක සට සට ගාලා ගැහෙන්න ගත්තේ...

"අනේ නෑ අයියේ...අපි එකේම බලකායක් නෙමෙයි...පිංසිද්ධ වෙයි දොර අරින්න....අනේ අරින්නකෝ" ඒ පාර නම්  අර නංගි කිව්වේ දත් කැක්කුමට හක්කේ පුළුන් තියාගෙන වගේ. මට ඒ ස්වරය ඇහිලා අම්බානක දුක හිතුනා..පෙර දැනුම් දීමකින් තොරව කියන්නත් කලින් උණුවෙන කවි හිතේ කොනකින් අනුකම්පාව වෑහෙන්න ගත්තයින් මං ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා දොර ඇරියා"

ඔහෙප්පලයන් කිව්වලු, ඒ කෘ එක දැකලා මගේ ඇස් දෙක නළලේ ඇලුනා. හෙන තඩි කැමරාවයි, තඩි මයික් පොල්ලයි තව අනම් මනම් ගැජමැටික් ගොඩයි. වෙව්ලුව වෙව්ලිල්ලට  ගැටේ බුරුල් වෙලා ඇඳන් උන්නු සරම ගැලවෙන්න ගියා. බොහොම අමාරුවෙන් කකුල් දෙක දෙපැත්තට පළල් කරා මැන්ඩියට ඉන්නවා වගේ. ජඩ ගේමක් දීලා හොඳම හරිය දෝතින් කවර් කරගෙන විලිසන්ගේ බේරගත්තට පස්චාත් භාගය ඒ තඩි කැමරාවේ කාචේ සිපගන්න එක වලක්වන්න මට කොහොමත් බැරි වුනා.

යන්තම් ජාමේ ඇබිත්තක් රැකගෙන සරමේ කැහැපොට ගහන ගමන් මම මේ කෘ එක කොහෙන් කොහොම කඩාපාත් වුනාද කියලා විස්තර අහන්න කට ඇරියා විතරයි....,

"අනේ අයියේ ඉස්සෙල්ලම මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්නකෝ පිං සිද්ධ වෙයි...පිං සිද්ධ වෙයි" කැමරාව කර තියාගෙන හිටපු ඉලන්දාරියා දොට්ට පැනපු දිව ඇතුලට දාල කෘන්තක දතේ කොනක් පෙන්නලා හරිම අහිංසක විදිහට හිනා වුනා. ඒත් එක්කම "අනේ මටත් අයියේ....අනේ මටත්.." කියලා හැම එකාම මගේ පස්සෙන් ආපි. අන්තිමට කුස්සියේ ටැප් එකට අක්කාගේ රට ඉඳි පාත්තියට වතුර දාන හෝස් පයිප්පෙ ගහල වීදුරු වලට පුරෝ පුරෝ උන්ට වතුර පෙව්වා පැය කාලක් විතර.

"හරි අයියේ මෙහෙමයි මට ඉස්සෙල්ලම කියන්න ඔයා අහන රේඩියෝ චැනල් එකයි බලන ටීවී චැනල් එකයි මොකක්ද කියලා"

මොක බැලුවත්, කෝක ඇහුවත් කෝකේ යන්නෙත් මං ලියන අගක් මුලක් නැති සෙන්ටිමෙන්ටල් පජාත  රයිටර් කතා වගේ මෙලෝ රහක් නැති එව්වනේ. නොකියෙව්වොත් තරහ වෙනවා වගේ ලයින් එකක් තියන හින්දා වදෙන් පොරෙන් දෙතුන් දෙනෙක් ඇවිත් කියවලා හිත සනසවලා යනවා..ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි නිකන් තියන කන් දෙකට ඇහෙන දෙයක් ඇහිච්චාවේ කියලා රේඩියෝ එක දාන්න කලින් මීටර් කරලවලා අහුකර ගන්න එෆ් එම් තමයි මම අහන්නේ. කෝකටත් සන්තකේටම අහුවෙන චැනල් දෙක තුන, දහය විස්ස ගණන් කරලා අන්තිමට සීය ආපු මල් මල් එෆ් එම් එකේ නම මම කිව්වා. ප්‍රශ්නේ අහපු නංගිගේ කට නිකන් මී කතුරට අහුවුණා මීයාගේ පස්චාත් බාගේ වගේ වුනා.

"අනේ අයියේ වඳින්නම් අපි එලියට ගිහින් ආයේ ඇවිත් දොරට තට්ටු කරන්නම් කලින් ආවේ නෑ වගේ. අයියා දොර ඇරලා අපිව ඇතුලට අරං අපි ප්‍රශ්නේ අහනකොට ගත් කටටම කියපන් උඹ අහන්නේ "එෆ්.එම් හිඟන" කියල., අනේ අයියේ උදේ පාන්දර ඉඳන් අපේ එෆ්ම් එක අහන එවුනුයි අපේ චැනල් එක බලන එවුනුයි හොයන්න බුදු කට්ටක් කන්නේ රත්තරන් අයියේ. අනේ කියන තැනකට වඳින්නම් අතිනුත් වැඩිපුර ගානක් දෙන්නම් රත්තරන් අයියේ එහෙම කියපන් අපිට විනාඩියක් ෂූට් කරගන්න.

මගේ ස්වාරාලේ ඉදිමෙනවා වගේ දැනුනා. දිව ගිලිලා ගලනාලේ හිරවෙනවා වගේ දැනුනා. ඒ අහිංසකයා  කිව්ව කතාව අහලා ඇස් දෙකෙන් කඳුළු පන්නා. ඒ අහිංසකයෝ ටික රේඩියෝ චැනල් එක ගොඩ දාගන්න විඳින දුක් කන්දරාව ගැන හිත හිත ඉන්නකොට කෘ එක  දුවලා දුවලා ඈතට ගියේ රටක් රාජ්ජයක් අල්ලගත්තු සරණාගතයෝ ටිකක් වගේ.