My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, May 31, 2013

මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.

මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු වල තියන වතුරත් ඒ හා සමාන විදිහට ඝනීබවනය වෙලා තව එක එක එව්වා වෙලා මුත්‍රා විදිහට පිටවෙනවා කියලා.

හඳ, තරුත් එක්ක අද ඕෆ් ඩියුටි ගිහින්. හුළඟ, හිරිකඩ එක්ක ඕවර් ටයිම් කරනවා. මුළු ලෝකෙම අන්ධකාරේ වේලිලා ගිලිලා ඇඹරිලා. මිනිස්සු ගැරඬි වගේ තමන්ගේ ගෑනි කොට්ටේ බදාගෙන සැපට නිදි ඇති. කොල්ලෝ කුරුට්ටෝ, කෙලි පැටික්කියෝ නිදි මරාගෙන එක එක කර්මාන්තවල නියැලෙනවා ඇති. රයිටර් කෙනෙක් විදිහට මගෙන් සමාජයට ඉටුවිය යුතු වගකීම ඉටු කරන්න මේක තමයි හොඳම වෙලාව. තප්පරයක්වත් අහක දාන්නේ නැතුව, ලොවෙත් නැති එන්කරිස්මන්ට් ජවයක් හිතට අරන්, අජරාමර අයිඩියාස් හිතට ගලන වෙලාවේ, වළලුකර ගාවට රෝල් වෙලා තිබුන  සරම ඉන ගාවට අරගෙන ගැටයක් ගහගෙන ඇඳෙන් බැහැලා පුටුවට පැන්නේ පාඨකයින්ගේ ඇස්වලින් කඳුළු සූ සූ ගාලා දොට්ට පනින, හෙන ලව් ස්ටොරියක් ලියනවා කියලා හිතාගෙන.

මේ දවස් ටිකේම දරුණු විදිහට "ඇවටියෙල් ඩිස්මැන්ටල්ස්" කියන මානසික ආතතියෙන් පෙළුණු හින්දා පාඨකයින්ගේ හදවත් කැවුතු උණුවෙන ටයිප් එකේ වචනයක් හරියට ලියා ගන්න බැරි වුනා. අධික ලෙස අන්දකයිප්පු වෙන එකෙනුයි අධික ලෙස කුපිත වෙන එකෙනුයි මිදෙන්න කියලා අල්ලපු ඉඩමේ තියන පශුවෛද්‍ය ඒකකයට පුසාට පණු බෙහෙත් ගෙන්න ගිය වෙලාවේ අලුතෙන් වැඩට ආපු හුරතල් ඕවලාකාර මුණ තියන ඩොක්ටර් මිසී කිව්වා.  

එවලේ එතනට ඉතියෝපියන් ෂෙපර්ඩ් වර්ගයේ ලොම් හැලිච්ච බලු නකුටෙක් එක්කන් ආපු මද පමණින් පොෂ් ටයිප් කෙල්ලෙක් නහයෙන් අඩනව "ඩොක්ටර් මිසී... මට මයිල් එන්න මොකක් හරි බේතක් ලියලා දෙන්න" කියලා. ඕක ඇහිලා මගේ කට නිකන් කහන්න ගත්තායින් ඩොක්ටර් මිසීගෙන් මම ඇහුවා. "ඩොක්ටර් මිසී... මයිල් එන්න බෙහෙත් තියනම් මයිල් හැලෙන්නත් බෙහෙත් නැද්ද කියලා". ඩොක්ට මිසී මං දිහා හෙන අවලං ටයිප් කින්ඩි හිනාවක් දාගෙන කියපි "කපනවා ඇරෙන්න වෙන බේතක් නෑ ළමයෝ"  කියලා. අපරාදේ... මම හිතන් උන්නේ, මං රැවුල කපන්න ගේන ගේන රේසරේ හොරෙන් උස්සන අපේ අක්කට ඒ ජාතියෙන් ටැබ්ලට් බෝතලයක් තෑගී ගිහින් දෙන්න.

අපේ ගමේ එවුන් කැරකෙන කුඩුවක් හදලා ආධාර කවුන්ටරයක් දාලා හන්දියේ මේ පාර වෙසක් එකට. මුං කලින් පෝස්ටර් කැම්පේන් එකකුත් කරලා "මහා කරකවන විට කැරකෙන පහන් කුඩු රාජයා ... 26, 27, දෙදින පුරා හන්දිය බදු ගනී.. නොවරදවාම විදුලි පන්දමක් රැගෙන නැරඹීමට පැමිණෙන්න." අපරාදේ කියන්න බෑ හන්දියේ සූ ගාලා සෙනග. බලපු බලපු අත ටෝච් එලි විතරයි. හතරවටේට ටෝච් ගගහ බැතිමත්තු පාරිශුද්ධ වචන කියා කියා කුඩුව හොයනවා. කොහොම හරි කුඩුව හදපු එවුන්ගේ දෙමව්පියන්වත් මතක් කරගෙන, අඩු බජට් එකකින් හදපු කුඩුව විවෘර්ත කළා. අවාසනාවකට ඒක රවුම් දෙක තුනකට වඩා කැරකුණේ නැත්තේ කුඩුවේ බල්බ් දෙක තුනට කරන්ට් එක දෙන්න දාපු වයර් එක කුඩුවේ බඳේම එතිලා අන්තිමට කුඩුව නැවතුණ නිසා.

අල්ලපු ගමේ මහා දන්සැලක්. කුඩුව හදපු එවුන්ට ඇටැක් එකට උන් කරලා තියෙන්නේ. අහල පහලනේ, නොයා ඉන්න එක හරි මදිනේ. අපි සෙට් එක ඉතින් රම්බායි මමයි  තව අපතයෝ ටිකකුයි දන්සල් වඳින්න ගියේ ගෙදර ආර්ථිකයට පොඩි හරි සහනයක් දෙන එක අපේ යුතුකම හින්දා. දත කට බඩ මැදගෙන දන්සලට ගියා බඩ නැතිවෙන්න කනවා කියලා හිතාගෙන. දන්සැලේ හට් එකයි පුටු ටිකයි විතරයි දෙන කෑමක් නෑ.. රම්බාට මල විදපු පාර සංවිධායක ඩයල් එකක් එක්ක ටෝකක් දැම්මා.

"මල්ලි... කෝ අයිසේ කෑම" ටිකක් සැරෙන් වුනත් ෆිට් එකෙන් රම්බා අහපි.

"මොන කෑමද අයියේ..." සංවිධායක ඩයල් එක කෙලින් ඩිරෙක්ට් කිව්වා.

"ඇයි බොල ටිකිරි මයිනෝ දන්සලක් වුනාම කන්න තියෙන්න ඕනි නේද...?.. මේකේ කන්න තියෙන්නේ ටකරං පුටු සෙට් එකද..?"

"පික්ෂුද අයියේ මේක අලුත් සංකල්පයකට අනුව දෙන දන්සැලක්"
"ඒ කිව්වේ මේකේ දන් දෙන්නේ කෙල්....." රම්බා කියන්ඩ හදනකොටම මම පැනලා උගේ කට වැහුවා.

ඇයි හත්වලාමේ මේක හරි ලැතපොමේඩියාස්  සීන් එකක්නේ. මගෙත් කුතුහලය නහුතෙට තද වෙලා දොට්ට පනින්න ඔන්න මෙන්න.. මම ඇහුව පාර පොර කියපි,

"අයියේ මෙහෙමනේ... මේක සියවසේ අලුත් සංකල්පයක් කියලා මම කිව්වනේ... එක එක උදවිය  එක එක ඒවා දන් දෙනවා..සමහරු ලාම්පුතෙල් දෙනවා, සමහරු පෙට්රෝල් දෙනවා, සමහරු හයර් දන්සල් දෙනවා... කොස් පොලොස්, ජීවිත පවා දන් දෙනවා. අන්න ඒවගේ අපි දන් දෙන්නේ කෑම නෙමෙයි...මේ ශාලාව...  ඒකයි දන් සැල කිව්වේ ..අයියලා කැමති කෑමක් පිටින් අරං ඇවිත් මෙතන නිදහසේ කන්න පුළුවන්"

උට පින් සිද්ධ වේවා කියලා අපි ඒ ශාලාව ඇතුලට වෙලා දත්මිටි කාලා එලියට ආවේ ලබන අවුරුද්දෙත් කරන්න පුළුවන් වෙන්න කියලා ඌගේ හිතට ධෛරීය දීලා.

Monday, May 27, 2013

වීදුරු කටු

එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්‍ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය.  වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව තිබුණු ඇඟ කිලිපොලායන සිසිලසත්, අවට පැවැති නිහඬතාවයත් හේතුවෙනි. සිදුවී ඇත්තේ කුමක්ද යනවග, මේසය මත තිබු අර්ධව දියබත් වූ කවි කොළයත්, සුළං සැර නිසා "ස්රෝස් ස්රෝස්" හඬින් තවමත් වැනෙන ජනෙල් තිරයත්, බිම තිබු වීදුරු කටු කීපයත් ප්‍රත්‍යක්ෂව පසක් කරද්දී, මේසය අසල තිබුණු  කිහිලි කරුවට වාරු වී ජනෙල් තිරය, ගුලිකර ගැටයක් ගැසුවේ කවුළු පියන් තවදුරටත් විවෘතව තැබීමට අවැසි යයි මට හැඟුණු නිසාවෙනි.

මේසය මත වූ හාෆ් ෂීට් කොලය මත විසිරුණු දිය බිඳිති, එහි වූ අකුරු කෙරෙහි මදකුදු හෝ අනුකම්පාවක් නොකර ඇති සෙයකි. දියබත් වූ අතීතයද, කිසිදාක නොවියලෙන ලාටු සේ මා ජීවිතයම වෙලා සිටිද්දී, එහි බලපෑම අවාසනාවන්ත ලෙස අනාගතයටද සරදම් කරද්දී, දෛවය නම් වූ ස්වභාව ධාර්මික න්‍යාය කෙරෙහි වෛරී සිතුවිලි මවෙතින් පහල වන්නට පටන් ගත්තේ අදක ඊයෙක සිටක නොවන බැව් මා හොඳාකාරව දනිමි.  මුවෙන් නික්මී ගිය සුසුම් සරින්, එදිය බිඳිති මදක් එහාට තල්ලු වී ගිය විනා, ළය සැහැල්ලු වීමක් සිදු නොවීය. හෙලන සුසුමක් පාසා ළය සැහැල්ලු වීනම්, මෙතුවක් වා තලයට මුදා හැරී සුසුම් හේතුවෙන්, මේ වනවිට මා ළය කුරුළු පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුය. සුසුම් ලමින් හදවත  සැහැල්ලු කිරීමට ගත් නිරර්ථක උත්සාහය හමුවේ මා මුව මත සිහින් උපහාසාත්මක සිනාවක් සටහන් වුන බැව් ඉදිරියේ වූ මේස කණ්ණාඩියෙන් අහඹුව දිටිමි. තමාගේම සිනහව කැඩපතකින් දැක, එහි ඇඳෙන ප්‍රතිබිම්භයට යලි යලිත් සිනාසීම අවසානයේ එය හුදෙක් විහිළුවක් බවට පත්වීම තුල කොතරම් දීර්ඝ අඛණ්ඩතාවක් පවතින්නේද යන සිතුවිල්ල, මා පුදුමයටත් වෙහෙසටත් පත් කරවීය.   දියබත් වූ කඩදාසිය මිටින් ගෙන ගුලිකර මේසය මතම රැඳෙන්නට හැර, නැවත රෝද පුටුවට වාරු වෙද්දී,  අපේක්ෂා නොකළ ලෙස ඇය, මාගේ බඳ වටා අත දමා එහි අසුන් ගැනීමට සහය වූ පසුවයි මා අවබෝධකොට ගත්තේ මෙතෙක් ඇයද, මා රඟපාන ලද ඒකපුද්ගල ජවනිකාවේ අනාරධනාත්මක ප්‍රේක්ෂිකාවක්ව සිටි බව.

මාගේ දෑස වෙත සරල රේඛාවක් ඔස්සේ වැටී තිබු ඇගේ දෙනෙත් තුල වුයේ ප්‍රශ්නාර්ථය මුසු  හැඟීමකි. බොහෝ විට, මා දෙනෙත් හා එක එල්ලේ බැඳුණු ඇගේ දෙනෙත දැකීමට මා කෙතරම් ප්‍රිය කලද මෙවර ඇගේ කැල්මේ සටහන් වූ තරවටුව, මා යම් තරමක් පසුගාමීත්වයට ලක් කළේය. කවුළුවට පිටුපා සිටි ඇය මාගේ දකුණු පසින් සිටගෙන සිටි අතර, ඒවනවිටත් කවුළුවෙන් හමා එමින් තිවූණු සුලන් රැල්, ඇගේ මුදාහල වරලස මත තැවරී කෙහෙරැලි අවුල් කරමින් සිටි අතරම ඊට නොදෙවෙනි රිද්මයකට ඈගේ දුහුල් රාත්‍රී ඇඳුමද නලියවමින් තිබිණ.

සුපුෂ්පිත පුෂ්පයක අනුරාගී සුගන්ධයත්, අමෘත මකරන්දයත්, ආරාධනාත්මකව බඹරුන්ට ඉඟි පානා කල්හි, නොසන්සුන්වන බඹරෙකු සේ මමත් නොසන්සුන්විය යුතුව තිබුනද,  කපා දමන ලද තුඩ හිමි බඹරෙකු වෙතින් එවන් ප්‍රතිචාරයක් කෙසේනම් බලාපොරොත්තු විය හැකිද යන්න කාරනාව පිළිබද ගැටළුවක් හට ගනී . රෝද පුටුවේ පැඩලය මත තිබුන අප්‍රාණික පාදය වෙත මාගේ දෙනෙත් යොමුව තිබුන අතර ඇය පියවර කීපයක් ඉදිරියට පැමිණ මාගේ හිස දෑතින් ගෙන ඇගේ ළමැදේ සිරකරගත්තාය. ඉනික්බිතව ඇය සෙමින් ඉකිබිඳින්නට වුවාය. ඈගේ පපු තලය මතින් දෝර ගලා ගිය උණුසුම, මා හිස හරහා ගොස් හදවත අභන්තර පටක පවා උත්තේජනය කරන්නාක් මෙන් හැඟිණි. විටක ජීවිතය පිලිබඳ දැඩි ලෝබ කමක් මෙන්ම විටෙක දැඩි වෛරයක් මවෙතින් පැන නගින්නට හේතුවූ ප්‍රධානතම කාරණාවලින් එකක් වුයේ ඇගේ කිසිදාක වෙනස් නොවනසුළු මේ උණුසුමය. බාගවිට, ඇය මෙන්ම ඇගේ සෙනෙහසද නොවන්නට, මා මීට බොහෝ වෙනස් පුද්ගලයෙකු වන්නට තිබිණි.

ඇගේ තුරුලෙන් බොහෝ පරෙස්සම් සහගතව මා මුදා හල ඇය, පසුපසට ගොස් රෝද පුටුව තල්ලු කරගෙන ගොස් සයනය අසල නතර වුවාය. කුෂන් ලේයර් කීපයක් මගින් සැදුම් ලත් මෙට්ටය මතින් අතුරන ලද ඇතිරිල්ල කෙතරම් සැපපහසු වුවත්, එය බුර බුරා නැගෙන ගිනිදැල් සහිත චිතකයක් සේ මට පෙනෙන්නට වුයේ ඇය හුල්ලමින් ඇඳේ වැතිර සිටිනායුරු දකිනා වාරයක් පාසා බව සමහර විටක ඇයද නොදන්නවා විය හැකිය. ඇය, මා සයනය මත හිඳ වීමට මහත් වෙහෙසක් ගත්තාය. අවසාන වශයෙන් රෝද පුටුව මෑත් කොට ගෙබිම මත ස්පර්ශ වෙමින් තිබුන අප්‍රාණික පාදයද දෝතින් ගෙන ඇඳ මතින් තැබුවාය.

"දෙයියනේ ලේ"  ඇය භීරාන්ත වී මදෙස බැලුවාය.. කලබලයට පත් වූ දෙනෙත පෙර ඉනූ කඳුළු වලින් දීප්තිමත්ව බැබලුනත්, එහි මහා අසරණ කමක් ගැබ්ව තිබුනේය.

"වීදුරු කටුවකට කැපෙන්න ඇති" වේදනාවෙන් තොර වූ පාදයෙන් ගලන රුධිරය දෙස හිස ඔසවා බලමින් මා පැවසුවේ සැහැල්ලුවෙනි.

"හොඳ වෙලාවට දෙවියනේ දැක්කේ..ලොකුවට එහෙම කැපිල නම් කාට කියන්නද"  ඇය වහා නැගිට තුවාලය පිරිසිදු කර වෙළුම් පටියකින් බැඳී නමුදු, සංවේදනයෙන් තොර පාදයට එයින් කිසිදු වෙනසක් නොදැනිණි.

මෙතරම් කල් වේලා ඇතුව අපේක්ෂා නොකලද, යන්තම් හෝ වාරුවෙන් සිටගන්නා ඉතිරි පාදයේ කෙලවර සිට හිස දක්වා හදිසියේ ගලා ගිය හිරියක්, ඉදිරියේදී ජීවිතයට අමතරව එක් කල ගත යුතු අවධානමක් පිලිබඳ අනතුරු හැඟවූයේ ඇය පැමිණ මා අසලින් වැතිර ගත්තායින් ඉනික්බිතිවය. විදුලි පහන නිවා දැමූයෙන් කාමරය අන්ධකාරයේ ගිලෙමින් තිබුනද, ඒ වනවිටද හැර දමා තිබුණු කවුළුව තුලින් අනාරාධනාත්මකව කාමරය තුලට පිවිසි සඳ එලියට දෑස  හුරු වීමට එතරම් වෙලාවක් ගත නොවීය.

"රිදෙනවද....?"  ඇය කතාවකට මුල පිරුවාය. සංවේදනයෙන් තොර අවයවයකට, වේදනාවක් නොදැනෙන වග, දැන හෝ නොදැන ඇය විමසුවේ මන්දැයි නොදනිමි.

"මගෙන්ද ඇහුවේ...?" පිළිතුරු දීම වෙනුවට පැනයකින් පිළිතුරු දුන්නේ කතාව දික් ගැස්සවීමට මටද වුවමනාව තිබුන නිසා වුවද,  ඊට වඩා මා අපේක්ෂා කලේ බැරෑරුම් මොහොතකට පසු ඇගේ මුවෙන් ගිලිහෙන දුලබ සිනාව දැක ගැනීමටය.

කිසිවිටකත් මා බලාපොරොත්තු නොවූ හීල්ලුමක් ඈ හෙලු අතර,  ඒ සුසුම තුල කෙතරම් හැඟීම් සමුදායක් කැටිව ඇත්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවිණි.

"අපර්ණා....!"

"ම්ම්..."

"පොරොන්දුවක් වෙන්න පුලුවන්ද...."

"ම්ම් මොකක්ද...."


"ම්ම්..නෑ..එ..එක්කොත් ඕනි නෑ....!.." සිතුවිලි වචන වලට පරිවර්තනය කල නොහැකි තරම් පීඩනයක් මා වෙලා තිබුනෙන් පසුබැසීමි.

"හ්ම්ම්...." ඇය ඒ පිලිබඳ වැඩිදුර නොවිමසීම ගැන මා සතුටු වුයේ අහම්බෙන් වුවද, එවන් කරුණක් නිසා සතුටු වීම, මා ජීවිතයේ එතරම්ම දුර්ලබ කාරනාවක් වන නිසාවෙනි.

"අපර්ණා..."

"ම්ම්.."


"මාව අත අරින්න..අපර්ණා..ඔයාගේ ජීවිතෙන් මාව අතාරින්න..ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න... ඔයා හොයන සතුටවත්, ගෑනියෙක් මිනිහෙක්ගෙන්, ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල්වලින් ගොඩ හරියක් මට ඔයාට දෙන්න බෑ..ප්ලීස් මාව අතාරින්න....මාව අතාරින්න." මට හැඬුම් ආවේය.

ඇය හා මා අතර පැවතියේ දැඩි නිහඬතාවක් වුවද කන් හාරවන ගොරහැඩි ශබ්ධයකට වඩා නිහඬතාව ප්‍රබලව දැනෙන්නේ මන්දැයි මම නොදනිමි.

"අනුරාධ...!.." ඇයගේ හඬේ යම්කිසි උද්වේගකාරී ආවේගයක් කැටිව තිබුන අතරම සියුම් මොලොක් ගතියක්ද, බලාපොරොත්තු සහගත හැඟීම් සමුදායක සංඛ්‍යාතයක්ද කැටිව තිබිණ.

"ජීවිතේ මං ඉල්ලුවේ එක දෙයයි...දෙවියෝ ඒ දේ මට දුන්නා..අඩුපාඩු ඇතුව වෙන්න පුළුවන්..ඒත් මම බලාපොරොත්තු වුන දේ ලැබුනා...මට ඒ ඇති.....ඔයාට මාව එපානම් නින්ද ගියාම මගේ හුස්ම හිර කරලා මරලා දාන්න....එච්චරයි.."

නැවතත් කන් අඩි පසාරු කරන දැඩි නිහඬතාවක් අප දෙදෙනා වෙලාගත්තේය. මා නිරුත්තර වුයෙන්, මුව අයාගෙන සිටිනවා විනා කළහැකි අන් යමක් නොවිණි.

බොහෝ විට ඇය ඇගේ හෘද ශාක්ෂියට එකඟව කටයුතු කරනවා විය හැකිය. එසේත් නැතිනම් දෙපා වාරු නැති අසරණයෙක් වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කොට පාරමිතාවක් පුරනවා විය යුතුය. ජීවිතය නම් වූ පුදුමාකාර මායාව තුල ආදරය නමැති ඇස් බැන්දුමට ඇය රැවටුනාද විය හැකිය. එසේද නොමැතිනම් දෛවය විසින්, ඇය ජීවිතය නමැති ක්‍රීඩාවෙන් පරාජයට පත්කළා වන්නට පුළුවනි. ඒ සියල්ලක්ම නොවේනම් සංසාරගත, ආත්මීයගත ආදරයක මේ භවයේ සම්පුර්ණ කලයුතු කොටස පුරවනවා විය හැක.

ජීවිතයක් ජීවත් කිරීමට හදවත් දෙකක් තුල ඇති ආදරය පමණක් සෑහේවිද යන උභතෝකෝටික පැනයට පිලුතුරක් ඇය මාගෙන් වෙන්වන දිනයක් එළඹෙන තුරා දිය නොහැකිය. එසේනම් මෙතරම් මා වෙනුවෙන් කැපවීමක් කරනා ඇයට ආදරය කිරීම කිරීම විනා විකල්පයක් මා සතු නොවන්නේ බව දැන දැනත් ඇයව අහිමි කරගැනීමට තරම් මසිත නොනැමෙන්නේ තවමත් සංවේදනයෙන් යුතු හදවතක් මා සතුව ඇති නිසාවෙන් විය යුතුය. නැතිනම් මාගේ ආත්මාර්ථකාමී හදවතේ බලපෑම නිසා නිසා උපන් හැඟීම හේතුවෙන් විය යුතුය  

"හ්ම්ම් අපර්ණා..අපි ජීවත් වෙමු"

''හ්ම් ජීවත් වෙනකම් ජීවත් වෙමු"
ඇය පැවසුවේ මා කවදත් ප්‍රිය කරන ඇගේ සිනාව පාමිනි.

මා අසල වැතිර සිටින ඇයගේ සිහින් සුසුම් මා ළය පසාරු කරන්නාක්මෙන් දැනිණි. ජීවිතය විඳින්නට බලාපොරොත්තුවක් ඇතිකරගෙන මා ඇගේ තුරුලේ  උණුසුමට තවත් ගුලි වුයේ, ආදරය කරන්නට හදවතේ සංවේදනය පමණක් ඉතුරු කරදෙන මෙන් දෙවියන්ගෙන් ආයාචනයක් කරමිනි.

Wednesday, May 1, 2013

අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !

පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින එක නවත්තල,  කැවුම කාලා වතුර ටික බිව්වේ ලබන අවුරුද්දෙත් නැකත් පත්තරේ හදන්න උන්දෑ ජීවත් වෙලා ඉන්න ඕනි හන්දා.

ආහාර දෙසාබෑමේ නැකත් වෙලාව උදා වෙන්න දැන් ඔන්න මෙන්න. අපේ ගෙදර බිත්තියේ පණ ඇද ඇද දුවන ඔරලෝසුවේ, හුචක්කු විනාඩි කට්ටට අනුව නම් හරියටම තව තප්පර තිහයි. මම ගිනිපෙල්ලක් පත්තු කරගෙන, අවුරුද්දේ නැකත් ගානට එක ගානේ ගෙනාපු රතිඤ්ඤා හතෙන් ඉතුරු වුන හතරවෙනි එක අරගෙන මිදුලට බැස්සේ දුප්පත්කම හිත මැද දරාගෙන, කඳුළු පිරුණු ඇස් දෙක, කලිසම් වාටියේ අතුල්ලන ගමන්. කඳුළු පිහින්න ගිහින් තව පොඩ්ඩෙන් ඇහි පිහාට්ට කලිසමේ සිප් එකේ පැටලෙනවා. හරියටම තප්පරේට රතිඤ්ඤා කරල පත්තු කරලා මිදුලට දාලා පැත්ත නොබලා ගේ ඇතුලට දිව්වේ, "මාව කාපන්, මාව කාපන් කියන්නැහැ" බැබලි බැබලි තිබ්බ කිරිබත් පිඟානටයි හත්මාලුවටයි බැටේ දෙන්න.

දුවලා ගිහින් කිරිබත් පිඟාන අතට ගන්නවත් එක්කම රතිඤ්ඤා කරල පත්තු වුනා ඇහුණා. ඒත් දෙයියනේ, ආච්චිට හාල් ගරන්ඩ, මේ ඇහෙන නවතින්නැති සද්දේ නම් එන්නේ පත්තු වුන රතිඤ්ඤා කරලේ දෝංකාරෙවත්, අල්ලපු ගෙවල්වල රතිඤ්ඤා සද්දෙවත් නෙමෙයි කියලා මට ලාවට ලාවට සෙන්ටිමෙන්ටල් වෙනකොට, මෙන්න බොලේ අපේ ආච්චි චීත්තෙ කැහැපොට ගහගෙන කාටද දෙස් දෙවොල් තියනවා. මමත් නිකමට වගේ හොම්බ දාලා බැලින්නම් මිදුලේ වනලා දාපු ආච්චිගේ පරණ චීත්තයක් රැල් රැල් වෙලා ශැල්ලඩේ වගේ. ආච්චි සුන්බුන් වෙච්ච කඩමාල්ල දිහා බල බල, රතිඤ්ඤ දාපු එකාගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා.... බනිනවා, අම්බානක කිබුහුම් යවනවා..... බනිනවා...අම්බානක කිබුහුම් යවනවා.  මං ආච්චිගේම මුනුපුරා වෙච්චි කොට, උන්දැට කිබුහිම් නොගියොත්නේ පුදුමේ.

මම කාලා අත හෝදනවත් එක්කම රම්බාගේ ගෙවල් දිහායින් හෙන සද්දෙට රතිඤ්ඤා වැලක් පත්තු වෙන සද්දේ ආවා. මං හිතන්නේ උන්ට තක්කෙටම නැකත ලැබුවේ දැන්. එතකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

""Machan, raitar weri butiful niw iyar....aaaa..!  gedara oralosuwe batari bahala ban, welawa yanawaa horayi. alam eka wadune na...ithin uyanna parakku una."
(මචං රයිටර්, වෙරි බිව්ටිෆුල් නිව් ඉයර් ඈ.. ගෙදර  ඔරලෝසුවේ බැට්රි බැහැලා බං, වෙලාව යනවා හොරයි. එලාම් එක වැදුනේ නෑ..ඉතිං උයන්න පරක්කු වුනා. "

මමත් හා හපුරා කියලා අවුරුද්දට වැඩ ඇල්ලුවේ, ඌ එවපු බ්‍රොන්කයිටිස් මැසේජ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා. අනේ ඉතිං මේ දුක මම කාට කියන්නද. ඉතුරු වෙලා තියන රතිඤ්ඤයක් කටේ පත්තුකරගෙන මැරෙනවා මිසක්.

--------------------------------------------------------------------------------------------------------

පහුවදාම අපේ ගෙදර උදවිය පුංචි අම්මලාගේ දිහා නෑගම් යන්ඩ කියලා පාරට බැස්සා. අරං යන්ඩය කියලා විශේෂ දෙයක් නැතිකොට,  ඉතුරුවෙච්ච කැවුම් කොකිස් ටික කාඩ් බෝඩ් පෙට්ටිවලට දාල අලුත්ම අලුත් ගිෆ්ට් ව්රැප් කොළවලින් ඔතමු කියලා යෝජනාව දැම්මේ අපේ අක්කා. අම්මාපා මට ජීවිතේ පලවෙනි වතාවට එක කුසේ උපන් සහෝදරිය ගැන මහා පුදුම ආඩම්බරයක් වගේ එකක් ඇති වුනා. කොහොම කොහොම හරි රෙදි කඩාගෙන, සෙරෙප්පු කඩාගෙන, දාඩිය පෙරාගෙන බරට බරේ උස්සන් එන අපේ නෑදෑ පිරිවර දැකලා පුංචිගේ නිකට බෙල්ලේ. අපරාදේ කියන්ඩ බෑ සිරියාවන්ත හිනාව. ඒ ටිකම මදැයි මහන්සිය මැකිලා යන්ඩ. අපි බරට බරේ ගෙනාපු තෑගී පාර්සල් ලිහනකොට තමයි පුංචිට බඩ යන්නේ දෙපිටින්. අවුලක් නෑ ඉතින් ආයේ මෙහෙ එන්නේ ලබන අවුරුද්දටනේ.

මං ගෙට ගොඩ වෙනකොටම බාප්පා මං දිහා හෙන පජාත ටයිප් බැල්මකින් බැලුවා.

"පුතාද අර ඉන්ටොනෙට් එකේද මොකේද ලියනවා කිව්වේ, අපේ කෙල්ල කියනවා මම අහගෙන"

මම එකපාරට ගෙටවෙච්ච ලමිස්සියක් වගේ ඇඹරි ඇඹරි සුලඟිල්ල කටේ දාගෙන , "ඔ..ඔ...ඔව් බාප්පේ..මම තමයි" කියලා, යටිබඩට දැනිච්ච මෙව්වා එක දරාගෙන කිව්වා.

"හොඳයි හොඳයි..හැබෑටම කොහෙද ඔය ඉන්ටෝනෙට් එක තියෙන්නේ..ආඩම්බරයි ආඩම්බරයි පුතේ...ලියවන පට්ටලේක රස්සාවක් හොයා ගන්න එකත්  අද කාලේ හැටියට ලේසි පහසු දෙයක් නෙමෙයිනෙව..?" බාප්පා කින්ඩියට හිනා වෙනවා මම දැක්කා. අනේ වලාමේ...මේවගේ උතුම් නෑදෑයෝ ලබන්ඩ මම ගිය ආත්මේ කොහොම පිනක් කරන්න ඇත්ද...?

අවුරුද්දේ කියලා බලන් නැතුව, බාප්පා ඇඳන් උන්නු සරම ඔලුවෙන් ගලවලා උගේ බෙල්ල වටේම ඔතලා හොම්බට දෙකක් ඇනලා පැනලා දුවන සයිස් කේන්තියක් මට ආව. උගේ හිතේ මම ලියවන පට්ටලෙක වැඩ කරනවා කියලා. කවදා හරි, ඔව් කවදා හරි, ලංකාවේ පත්තරේක එඩිටර් කෙනෙක් අහම්බෙන්වත් මගේ බ්ලොග් කට්ට කියවලා දුක හිතිලා මට පත්තරේට ලියන්න කතා කරනකම් මම බලාගෙන ඉන්නවා. මු ඉඳගෙන ආච්චිගේ චීත්තෙ මල් ගණන් කරනවා.

එතන මගෑරලා මම කුස්සිය පැත්තට ගියා නිකමට වගේ. නිකමට කිව්වට එහෙමටමත් නෙමෙයි. පුංචිගේ හුරතල් නංගිලා දෙන්නා කොයි කියලා බලන්න. අපේ කට්ටියම කුස්සියේ තැන තැන ඉඳගෙන තේ පැන් සංග්‍රහය භුක්ති විඳිනවා. අපේ ආච්චි කුස්සියේ තියන නා නාප්‍රකාර සුකුරුත්තම් අල්ල අල්ල බල බල, පුංචි එක්ක දබ කයිවාරුවේ.

"මේක ගත්තේ කොහෙන්ද දුවේ..?"

"අහවල් දිහායින් නැන්දම්මේ"

"එතකොට මේක ගත්තේ කොහෙන්ද දුවේ"

"ආ ඕක අහවල් එකට එහා අහවල් එකෙන්  නැන්දම්මේ"

"ඈ දුවේ..හරි අපුරූ තේ මඩිය..,මං මේ කල්පනා කලේ මම මේවගේ පාට එකක් කොයිදී හරි දැක්කා වගේ..මේක ගත්තේ කොයින්ද දුවේ...?"


"ආ දන්නැද්ද...ඉතින් ඔය අපේ එක්කෙනාගේ වැඩනේ නැන්දම්මේ..එයා ගෙදර ඕක හැදුවේ..ඕකේ අනික් එක වැලේ වනලා ඇති ඕන්."

"වැලේ...ඒ මොකෝ දුවේ මඩිය වැලේ වනන්නේ..?" ආච්චිට සැකේ හින්දමද කොහෙද අහපි.

"නෑ නෑ මඩිය නෙමෙයි...නැන්දම්මා දැක්කයි කිව්ව අනික් එක" අපේ කුතුහලේ ඩබල් ට්‍රිබල්, ෆ්රෝබල් කරලා පුංචි කියපි. අපේ අක්කා තේ කෝප්පේ හපාගෙන කතාව අහගෙන.

ඔය අස්සේ කැහිල්ලට වගේ මමත් නිකමට වගේ ජනේලෙන් හොම්බ දාල බැලුවා රෙදි වැල දිහා. කාලා වරෙන්කො කැකිරි කිව්වලු..රෙදි වැල මැද මහා තේජසින් වැජඹී වැජඹී තිබුන දේ දැකලා මට ඔක්කාරෙට ඇවිත් ඔලුව කැරකෙන්න ගත්තා. මයිසුර් විතරක් ඈ පරිප්පු කියන්නේ කියලා මම ආපහු කතාව පැත්තට හැරුනේ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි හින්දා.

"මේ අලුත් අවුරුද්දට දුවලා දෙන්නට පොලෙන් අන්ඩර්පෑන්ට්ස් දෙකක් අරං ආවා.. ඇඳලා බැලින්නම් ලොකුදුවට මදි.... ඉතිං ආපහු ගිහින් දෙන්න යෑ.... අහක දාන්නේ මොකටද.. සල්ලිනෙ.. අපරාදෙනේ... නැද්ද හා..... අපේ එක්කෙනා එකෙන් මඩියක් හැදුවා.... අපරාදේ කියන්න බෑ.... යස අගේට පෙරෙනවා"  පුංචි හෙන උජාරුවෙන් කියපි.

අක්කට බිබී හිටපු තේ උගුර ඉස්පොල්ලේ ගියෙත්, අපේ ආච්චි පපුව අල්ලාගෙන බිම ඉඳ ගත්තෙත්, මගේ කකුල් දෙක පණ නැතිවුනෙත් හරියටම එකම තප්පරේදී කියලා, කලන්තේ හැදිලා ඇහැ පියවෙන්න තප්පරේට කලින් හින්තේරුවටම මම දැක්කා.