My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, September 2, 2013

බටකොළ ආච්චිගේ චරිතාපදානය

ගමේ කවුරුත් උන්දැ හැඳින්නුවේ "ශාන්තිලගේ අම්මා" කියලා. ඒ වුනාට අපි කොල්ලෝ කුරුට්ටෝ කටේ ලේසියට උන්දැ හැඳින්නුවේ "ගිරා ආච්චි කියලා". තව  "බටකොළ ආච්චි" කියලත් කිව්වා. "ගිරා ආච්චි" කියලා කීවේ නම් ඕනෙවට වඩා දිග, ගිරා හොටයක් වගේ නහයක් තිබුණ හින්දා. "බටකොළ ආච්චි" කියලා කිව්වේ උන්දැට ඒ අසාමාන්‍ය නහයට අමතරව "බටකොළ ආච්චි" හා සමාන රුපකායක් තිබුන හින්දා. කෙසඟ සිරුරකට උරුමකම් කිව්ව ඈ ඇන්දේ රෙද්දයි හැට්ටෙයි. කලුපාට දුර්වර්ණ හමයි සුදු වෙච්ච කෙස් ගස් ටිකයි, වලගැසුණු දෙකම්මුල්ලුයි උන්දැගේ පෙනුමට අඩුවැඩිය එක්කරා. මට මතක ඇති කාලෙක දැකපු විදිහමයි උන්දැ අදත්. ගමේ හිටපු වයස නොයන ලයිස්තුවේ මුලින් හිටපු කෙනෙක් තමයි ගිරා ආච්චි. අපි පුංචි සංදියේ දකින්න භයංකාරම කාරණාවලින් එකක් තමයි උන්දැගේ අතේ ඉදලක් හරි කොස්සක් හරි තියන එක. ඒ කොයි වෙලාවේ හරි භයංකාර විදිහට පියාඹලා යාවි කියලා අපිට හිතුන නිසා.

කවුරු හරි කෙනෙක් උන්දැ කෝපවෙන මොකක් හරි කොලොප්පමක් කලොතින් කොලොප්පම කරන එකාට සිද්ධ වෙන දේ හිතාගන්න අමාරුයි. එක්කෝ කන්දෙක පිරෙන අමු තිත්ත කුණුහරුප අහගන්න වෙනවා, එක්කෝ කොලොප්පම කරපු එකා ගැන අහේතුකව දුෂමාන ආරංචියක් ගමේ පැතිරෙන්න පුළුවන්, එහෙමත්. නැත්තම් උන්දැ කරවන ගුරුකමකට බිලි වෙලා අකාලයේ ජීවිතෙන් තොලොංචි වෙන්න හරි සදහටම අබ්භාගාත වෙන්න බැරිකමකුත් නෑ.ඒ ගැන හොඳට දන්න කියන එකෙක් වුනත් උන්දැ එක්ක කොලොප්පමකට හරි එකකට එක කියාගෙන ගියොත් හරි  ඒ යන්නේ ජීවිතේට තියන ආසාව අතෑරලා කට පියාගෙන ඉන්න බැරිම තැන තමයි.

"උඹලට ගහන්නේ ඉලපතට හුජ්ජ කරලා දැනගනින්" ඇයව උසුළු විසුළුවට ඈඳ ගන්න නොසන්ඩාල කොල්ලන්ව මට්ටු කරන්න උන්දැගේ කටෙන් නිතරම පිටවෙච්ච හරුපේ තමයි මේ.

උන්දැ එක්ක ඉඩම් ප්‍රශ්න, වතුර ප්‍රශ්න දාගත්තු හමේ දෙතුන් දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් අවාසනාවන්ත වුනා කියල සමහරු කියන්නේ බොරුවට හේතුවක් නැතුව නෙමෙයි. ඒවගේ ප්‍රශ්න දාගන්න උදවියගේ පවුල් පිටිං බලාගෙන ඉඳිද්දී බංකොලොත් වෙලා හැඳිගෑවිලා ගියා. මිනිස්සු ගෙවල් අතැරලා ගියා.  අසනීප පිට හිටියත් එච්චර අමාරුවක් නැතුව හිටපු අපේ ලොකු අම්මටත් හදිසියේ රෝගය උත්සන්න වෙලා ජීවිතේ අතැරලා යන්න වුනේ උන්දැගේ ගුරුකමක් වැඩකරපු හින්දදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. අනික අපේ ගෙදර හිටපු බල්ලට අත්වුනෙත් ඒ ඉරණමම තමයි කියලා මට හිතෙන්නේ සිය දෙනෙක්ගේ විතර හපා කාලා යහතින් හිටපු ඌ, අන්තිම පාරට උන්දැව හපා කෑවට පස්සේ මාස හතර පහකට පස්සේ එකපාරට මැරුණ හින්දා.

එහා ගෙදර කේලම් මෙහා ගෙදරටත්, රටේ නැති ඕපාදුප කියවන්නත් අපේ ගෙදරත් ඇතුළුව උන්දැ නිතර යන එන ගෙවල් කීපයක් තිබුනා. ඒ යන එක ගෙදරකින්වත් උන්දැගේ මේ කෙරුවාවට පොඩ්ඩක්වත් තියා කොහොමවත් මනාපයක් නෑ කියලා අපි දන්නේ අත්දැකීමෙන්. එකකට එකක් වෙනස් මහා පුදුම ගතිගුණ කෝටියක් විතර පිහිටලා තිබ්බ මේ බටකොළ ආච්චි හරි අමුතු චරිතයක්. කා එක්ක හරි කතාවට වැටුනාම නතර වෙන්නේ නැති තරම්. අපේ දිහා ආවම උන්දැගේ කතුර වගේ කියවිල්ල අහලා අම්මට ඔලුවේ කැක්කුම හැදිච්ච වාර ගාන අනන්තයි. ඔය හේතුව හන්දා අපි උන්දැ එක්ක කේන්තියෙන් ඉන්නේ කියලා දැන දැනත් උන්දැ නෙමෙයි පුරුද්ද නතර කරන්නේ. 

උන්දැගේ මනුස්සයා මැරිලා තියෙන්නේ ගොඩක් ඉස්සර මුන්දැ තරුණ කාලේ. ඒ ගමේම හිටපු මිනිහෙක්ගෙන් පිහි පාරක් කාලා . එදා මේ සිද්ධිය වෙන වෙලාවේ පාන්දර මුන්දැ මිනීමරුවා එක්ක පොරබදලා හටන් කරලා. වියරු වැටිච්ච මිනීමරුවා මුන්දැ ගේ බෙල්ලටත් පිහියෙන් ඇනලා පැනලා ගිහිං. මිනීමරුවා පස්සේ අවුරුදු ගානකට පස්සේ හිරේ විලංගුවේ වැටුනා කියලයි ආරංචිය. "මරනවෝ.....මරනවෝ" කියලා හයියෙන් කෑ ගහපු හින්දා එදා මුන්දැට ජීවිතේ බේරගන්න වාසනාව තිබුනා කොහොම හරි. බටකොළ ආච්චි අපේ අම්මා එක්ක කතා පෙට්ටිය ඇරගෙන ඉන්න වෙලාවක ඔය කතාව ඇදිලා ඇවිත්.

"එදා බෙල්ලට වැදුන පිහිපාරෙන් මගේ ඇඟේ තිබුන ඔක්කොම ලේ ටික පිටවුනා, තෙල් වතුර ඉස්ම ටික පවා පිට වුණා, දැන් ඇඟේ ලේ කලඳක් නෑ, ඒකයි ඔය නිතර නිතර කලන්තේ ගතිය, අර අමාරු මේ අමාරු හැදෙන්නේ, ඉස්පිරිතාලෙන් ලේ දුන්නෙත් නෑ."

ඉතින් අපේ අම්මා පිට පයින හිනාව බොහොම අමාරුවෙන් ගිලගෙන "අනේ ඇත්තද...බලන්නකෝ නේද නැන්දේ...ඉස්පිරිතාලවල ඔහොම තමයි" කියනවලු.

අවුරුදු හැත්තෑවකට වැඩි මිස අඩු නැති  බටකොළ ආච්චිට ගෑනු පිරිමි දරුවෝ පස් හය දෙනෙක් හිටියා මගේ මතකේ හැටියට. දැන් උන්දැගේ ගේපැල වටේ ගෙවල් කෑලි දෙක තුනක් අටෝගෙන දරුමල්ලෝ දෙතුන් දෙනෙක් වෙනම පදිංචි වෙලා ඉන්නවා. ඉඳහිට හැදෙන කොන්දේ කැක්කුමක්, උණක් හෙම්බිරිස්සාවක් ඇරුනාම එහාට මෙහාට දුවලා පැනලා ඉන්න පුළුවන් හොඳ නීරෝගී ජීවතයක් උන්දැට මෑතක් වෙනකම් තිබුණා.

ආයේ මේ මෑතක, ඒ කියනේ 1998 විතර දවසක මේසන් බාසුන්නැහේ කෙනෙක් වෙච්ච මුන්දැගේ පුතෙක් බයිසිකල් එකේ යද්දී බස් එකක හැප්පුනා. සිද්ධිය වෙලාවේ බස් කාරය පැනලා ගිහිං. බයිසිකලේට වෙච්ච අලාබෙ දැක්කාම මනුස්සය බේරුන එක පුදුමයිලු කියලා ගම්මු කතා වුනේ. මාස ගානක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැගලා ආවට දැන් වුනත් මනුස්සය ඇවිදින්නේ කකුලට හයි කරපු යකඩ පට්ටමක පිහිටෙන්, එක කකුලක් දනිස්සෙන් නමන්න බෑ, කොර ඇන ඇන යන්නේ.  මිනිස්සුනම් කියන්නේ මහ ගෑනි අනුන්ට කරන දේවල් දරුවන්ගේ පිටින් යනවයි කියලා. මම ඕවට හුමිටි තියන්න ගියේ නැත්තේ උන්දැගේ හැටි හොඳට දන්න නිසා. සතියකට විතර පස්සේ බස් එකක් උන්දැගේ පුතා හැප්පිලා වැටිලා හිටිය තැන කඩේ ගාව ඉවුරේ ගලක හැප්පිලා පොඩි පට්ටම් වෙලා තිබුනා. අවාසනාවට  බස් එකේ ඩ්‍රයිවර්ගේ පණ ටික එතනම ගිහින් තිබුනා. ගමේ  තැනින් තැන කතා වුනේ බටකොළ ආච්චිගෙන් පුතා හප්පපු එකේ සම්බුව උන්දැට පලිසන් දුන්නයි කියලා. 

ඔය කතාවේ සිද්ධියක් ඇදිලා ආව දවසක බටකොළ ආච්චි කියනවලු,

"එදා අපේ පුතාගේ කකුලේ තුවාලේ හින්දා ලේ බාල්දි ගානක් ගිහිං, ඒ වෙනුවට ඉස්පිරිතාලෙන් දීල තියෙන්නේ වෙන කාගෙද වැරදි ලේ. දැන් ඇඟේ දුවන්නේ කලවම් ලේ, එකයි ඔය පොඩි එකාට තියන ලෙඩේ හරියකට හොයා ගන්න බැරි"

අපේ ගෙදර මොනවා හරි විශේෂ කෑමක් හැදුවොත්, අපේ අම්ම ඉඳල හිටලා උන්දැටත් පංගුවක් අරිනවා. මුන්දැගේ ගතිය තමයි පහුවදා හරි දවස් කීපයකට පස්සේ හරි  අම්මා හදපු කෑමම හදාගෙන ඇවිත් අම්මා යවපු එකේ අඩුපාඩු කියන එක.

"අරකට පොල් බැදිලා වැඩියි...මිරිස් ටිකක් අඩු වුනා නම් හොඳයි, කර රහ එනවා වගේ" 

ඒවගේ අගුණදොස් විචාරේ ලැබෙන බව දැන දැනත් අපේ අම්මා උන්දැගේ පංගුව වෙන් කරන්න අමතක කලේ නෑ.

අලුත් අවුරුද්දේ ආහාර අනුභවයේ නැකත ගෙවිලා පැය දෙක තුනක් යන්නත් කලින් හා පුරා කියල නෑයෝ විදිහට අපේ දිහාට ඉස්සෙල්ලම එන්නේ උන්දැ තමයි. නිකන්ම නෙමෙයි ගල් ගෙඩි වගේ හයිය මුං කැවුම්, කොකිස් පාර්සලයක් අරගෙන. ඒ ඇවිල්ලත් පැයක් දෙකක් ඉඳලා කාගේ හරි ඔප දුපයක් අඹරලා තමයි යන්නේ. ගෙදර උදවිය ගෙදරින් එලියට බැහැලා ගියොත් මිසක ඒ වාචාල කටෙන් ගැලවෙනවා බොරු. මම ගෙදර ඉන්න දවසට උන්දැ අපේ දිහා එනවට මං අමනාප මට අම්ම එක්ක කයියක් දාන්න තියන වෙලාව උන්දැ බලහත්කාරයෙන් ගන්න හින්දා.

ඉඩම් ප්‍රශ්න විසඳන්න කට උත්තර ගන්න එන පොලිසියේ මහත්තරුන්ට පවා මුන්දැ නෙමෙයි සලෙන්ඩර් වුණේ. අන්තිමට පැමිණිල්ල පොතේ ලියවෙනවා විතරයි, විභාගයක් නෑ.  බස් එකක ගමනක් ගියොත් කොන්දොස්තරගෙයි, ඩ්‍රයිවර්ගෙයි දෙමවුපියන්ගේ ගුණ නොගයන දවසක් නැති තරම්. ඉතුරු සල්ලි නොදී, හෝල්ට් එක පහු කරන් ගියපු බස් කාරයෝ තමයි ඒ ඉරණමට කොච්චරවත් මුණ දුන්නේ.

දවසක් අපේ පුද්ගලික ඉඩමක වැට මායිම් ප්‍රශ්නයක් වෙලා අල්ලපු ගෙදර උදවිය එක්ක පොඩි බහින් බස් වීමක් වුණා. අපි ඒ ප්‍රශ්නේ කොහොම හරි ගොඩින් කතා කරලා බේරාගත්තා. මොකක් හරි හේතුවක් නිසා එදා බටකොළ ආච්චිත් අපේ දිහා හිටියේ.

"මම එහෙම නම් ලේසියෙන් අරින්නේ නෑ.. මතකනේ සොමසිරිගේ පවුලට වෙච්ච දේ, මගෙත් එක්ක කට ගහගෙන ආවා, අන්තිමට මොකද වුනේ.."

කලබලේ අස්සේ වෙන කල්පනාවක් පිටද කොහෙද ගිරා ආච්චිගේ කටින් නිකන්ම කියවුන ඒ වචන පේලිය මාව සසල කරේ සොමසිරිගේ පවුලට සිද්ධ වුන අවාසනාවන්ත ඉරණම මම දැනන් උන්න හින්දා.  ගහක් ගලක් වගේ හිටපු සොමසිරිගේ පවුලට පලවෙනි ළමයා හම්බෙනකොට මේ ලෝකෙන් යන්න වුනේ දරුවාට අම්මගේ මුණවත් දකින්න ඉඩක් ඉතුරු නොකරම.  මරණෙට හේතුව වෛද්‍ය විද්‍යාත්මකව මොකක් වුනත් මට සිද්ධ වුණා ඒ දේ වුණේ ගිරා ආච්චිගේ ගුරුකමක් නිසාමයි කියලා විශ්වාස කරන්න. වැරදීමෙන් කියවුන ඒ කතාව වහන්න ගිරා ආච්චි ට්‍රැක් එක වෙනස් කරන්න අමාරුවෙන් දත කන්න දඟලපු හැටි මට හොඳට මතකයි.

මම උන්දැ ගැන මෙහෙම කතාවක් කිව්වා කියලා  බැරිවෙලාවත්උන්දැට ආරංචි වුනොතින් තුන්වරුවක් යන්නත් කලින් මට ඒ වගේ අවාසනාවන්ත වින්නැහියක් වෙන්න බැරිකමකුත් නෑ. ඒක හින්දා උන්දැගෙ හොඳ ගතියක් දෙකක් ලියලා ජාමේ බේරගන්න වෙනවා.

අපි පොඩි කාලේ මට අවුරුදු තුනක් හතරක් ඇති, අපේ මල්ලිට අවුරුද්දක් දෙකක් වෙද්දී තාත්තට හදිසියේ අසනීප වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා. ඉතින් අම්මා එහාට මෙහාට මල්ලිත් කිහිලි ගහගෙන ඉස්පිරිතාලේ යනකොට මව නතර කරලා ගියේ උන්දැගේ ගෙදර. මං පොඩියි කියලා කර අරින්නැතුව තමන්ගේම දරුවෙක් වගේ මාව බලාගත්තා,  මොනා කලත් අදත් අපේ අම්මා ඒ ගැන මතක් කරන්නේ පිං දිදී. කොයි තරම් ජඩ ගති තිබුනත් අබ මලක රේණුවක් වගේ හොඳ ගතියක් මිනිහෙක්ට තියනවා වගේ, කොයි තරම් හොඳ වැඩ කලත් පොඩි හරි ජඩ ගතියකුත් තියන නිසා ගිරා ආච්චි එක අතකට මේ ලෝකෙට ඉපදුන වෙනස් ගති ලක්ෂණ තියන තවත් එක ගැහැනියක් විතරයි.

සම වයසේ ඉන්න ආච්චිලා සිල් ගනිද්දී මුන්දෑ කොර ඇන ඇන අනුන්ගේ පොල්වතු ගානේ ගිහින් පොල් පුවක් රෙද්ද අස්සේ ගහගෙන ඇවිත් කාට හරි දීලා කීයක් හරි හොයා ගන්නවා. කුකුලෝ ඇති කරලා ගම්බිත්තර විකුනනවා කොහිල කොටුවේ කොහිල කඩේට දානවා.  ගිහින් දෙන බත් පිඟානේ අගුණ දොස් අහන්නයි, වත්තේ වැටෙන දර අත්තයි, පොල් ගෙඩියයි, පුවක් ගෙඩියයි තව චිරාත් කාලයක් ඇහිදින්න උන්දැට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි කියලා මම ප්‍රර්ථනා කරනවා.


http://www.google.lk/imgres?imgurl=http://thegraphicsfairy.com/wp-content/uploads/blogger/-iad4v2tL68Y/TlO4_kUxeEI/AAAAAAAAN20/3f8petFnYew/s1600/halloween%252Bwitch%252Bvintage%252Bimage%252Bgraphicsfairy.jpg&imgrefurl=http://thegraphicsfairy.com/vintage-halloween-clip-art-witch-with-moon/&usg=__XAhHIuAAdpyrp3OXYeKzWybD8Jc=&h=1202&w=1350&sz=162&hl=en&start=13&sig2=aEXSmqUXiAYkiZZD0hXhFA&zoom=1&tbnid=pFZaORS-Ed_6DM:&tbnh=134&tbnw=150&ei=hXAkUvqqIYTCtAasooGoCQ&um=1&itbs=1&sa=X&ved=0CEMQrQMwDA
Image - Google