2012/06/01

පලයන් අහකට





එක පාරක් කීවම අහපන්
එපා ඔහොම බලන්න
මං දිහා
මට දුක හිතෙනවා මං ගැනම
උඹේ ඔය එලිය දකිනකොට

ඉර බැහැල ගියාම
උඹ එනවා
මහ ලොකුවට
ලොකුකම පෙන්නන්න
දන්නේ නැද්ද
මං දැන් තනියම කියල


කවි ලියන්න
ඔය එලිය 
ඕනේ කරපු කාලයක් තිබුන
එත් දැන් එපා
කිව්වම අහල 
දෑහැටම නොපෙනී
පලයන් අහකට
.......



ග්‍රැෆික් චිත්‍ර අඳින්න මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇඳපු එකක්. තවමත් මේනියාව තියනවා. පොඩ්ඩක් යටපත් වෙලා තිබුනට.  

2012/05/23

නිරුවතින් අතුගෑම

බේරේ වැව ඉස්මත්තෙන් කොහොදෝ ඉඳන් හමාගෙන ආ සුලන් රැල්ලක් වෝක්ෂෝල් වීදියේ  පිහිටි බෝගසේ පත් නටවමින් අලුත් බෝඩිමේ ජනේලය තුලින් ඇතුළු වුයේ බෝ ගස අසල දල්වන ලද හඳුන්කුරු වල සුවඳත් මුඩුක්කු නිවාස පිහිටි දෙසින් රැගෙන ආ අපුල් දුර්ගන්දයත් සමගය. අපි පිළිකුලෙන් නහය හකුලාගත්තේ අනාගතයේ විඳිය යුතු දුකක මුල් පරිච්චේදය පිළිබද හෝඩුවාවක් ලැබුණු නිසාවෙනි. මමත් ලහිරුවත්, ලක්ෂ්මන් අයියාත්, බණ්ඩාර අයියාත්,  අරුනුත්, ගිහානුත්  ඇතුළු අපි සය දෙනාට කලින් සිටි බෝඩිමෙන් ද්වේශ සහගත ලෙස එලියට බැසීමට සිදුවූ නිසාවෙනි අලුත් බෝඩිමක් සොයාගන්නට වුයේ. පුරුවේ කල කරුමයක් ගෙවීමට සිදුවුවා සේ අපිරිසිදු වීදියක තැනු ගොඩනැගිල්ලක තෙවන මහලේ කුඩා කාමරයක් අපි අපේ බෝඩින් නිවාසය ලෙස තෝරා ගතිමු.

 පසුගිය සඳුදා දින මමත් ලක්ෂ්මන් අයියා මෙන්ම බණ්ඩාර අයියාද  නිවාඩුවක් දමා පරණ බෝඩිමේ සියලුම අඩුම කුඩුම අලුත් බෝඩිමට ගෙනෙන්ට වුයේ පරණ බෝඩිමෙන් ඉක්මනටම යායුතු බව බෝඩිම අයිතිකාර මනුස්සයා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කල නිසාවෙනි. හම්පඩ වූ කොට කලිසමකුත් ලක්ෂ්මන් අයියගෙන් ඉල්ලාගත් ටීෂර්ට් කඩමාල්ලකුත් ඇඳගත් මම පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙත අඩුම කුඩුම ප්‍රවාහනය කලේ ලක්ෂ්මන් අයියාත් සමග බණ්ඩාර අයියගේ තුන්සක රියේ පිහිටෙනි. කාර්ය බහුල කොළඹ වීදි අතරෙන් අතින් කටින් බෑග් මලු එල්ලගෙන වරින් වර පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙතත් යන අප ගැන බොහෝ දෙනෙක්ට වගක් නැති වුනත් අපි දෙස ඕනෙකමින් බැලු කීපදෙනෙක් හෝ සිටියානම් ඔවුන් අපි දවසේ පඩියට එදා වේල හම්බකරන් කන කුලීකාරයින් සේ සිතන්නට ඇත. වරදක් නැත.  අපි සියලු දෙනාගේ බාහිර ස්වරුපය එපරිද්දෙන් පෙනෙන නිසා ඔවුන්ගේ සිතුවිල්ල සර්ව සාධාරණය.


එදා ඉරිදා දිනයකි. එනම් ඉහත කී සඳුදාට පෙර දිනයයි. දහවල් කාර්යාලයේ වැඩ කරන විට ආ ඇමතුමෙන් කියවුනේ බෝඩිමේ අඩක් කඩා බිඳ දමා ඇති බවකි. ඇමතුම ලබා දුන් බණ්ඩාර අයියගේ මැදිහත් වීම නොවන්නට ඔවුන් විසින් බෝඩිම බිමට සමතලා කර දමා තවත් බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබිණි. ඒවා සිත ගැනීමටවත් අපහසු කාරණා විය හැක.  රාත්‍රී දහයට වැඩමුරය අවසන්වී බෝඩිම වෙත පියමැන්නේ විඩාවෙන් මඩිනු ලැබූ මගේ ගතේ වෙහෙස නිවා ගැනීමට හොඳ නින්දක් දමා පාන්දර අවදිවීමේ බලාපොරොත්තුව ඇතුවය. නමුත් බෝඩිම වෙත කිට්ටු වෙන විට ආ පිලිස්සු පරණ ගඩොල් වල සුවඳත් දුවිලි වල සුවඳත් මගේ සුපුරුදු ගමන් වේගය මදකට බාල කළේය.  කඩා හෙලනු ලැබූ බිත්තියක කොටසකුත් පහල කාමරයේ තිබුණු ඇඳන් දෙක වෙනුවට හිස් බිම් කඩ පමණකුත් ඉතිරි වී ඇති බව නෙත ගැටුණු මගේ ගතම හිරිවැටී ගියේය.  පපුව තුල යමක් හිරවෙන්නක් මෙන් හා දෙතොල් පට වෙව්ලන සෙයක් මට දැනුනි. හනිකට ලී තරප්පු පෙළ නැග ඉහල කාමරයට සේන්දු වුයේ එහි අපේ කවුරුන් හෝ සිටිනවාදැයි දැන ගැනීම පිණිසත් සිදුව ඇති නස්පැත්තිය සැක හැර දැන ගැනීමත් සඳහාය. නෙත් අදහාගත නොහැකිව දසත බලද්දී මගෙත් අරුන්ගේත් බණ්ඩාර අයියගෙත් වචන ගොළු විය. පෙර දින නිදා ගත් යකඩ ඇඳ වෙනුවට සී සීකඩ කරන ලද ඉහල කාමරයේ මෙට්ට කීපයත් කාඩ්බෝඩ් කැබලිත් ඇඳුම් සපත්තු, පොත්පත් ඇතුළු මා සන්තක සියල්ලත් මගේ සගයන් සතු සියල්ලත් කාමරයේ තැන තැන විසිරී තිබෙනු දැක ගන්නට ලැබුණි. කේන්තිය පාලනය කල ගත නොහැකිව මගේ මුවින් තරහව පිට දමන්නට විය. ඒත් සමගම අරුනුත් බණ්ඩාර අයියාත් මට හූමිටි තියන්නට පටන් ගත්හ.


බෝඩිම විකුණන කතාවක් මීට පෙර දැනගන්නට ලැබුනත් එය මේ තරම් කල් ඇතුව සිදු වෙතයි අපි කිසිවිටකවත් නොසිතුවෙමු. එසේ නොසිතන්නට බෝඩිම අයිතිකරුගේ වචනය මෙන්ම කුහක චේතනාව හේතු වන්නට ඇත, මන්ද ගතවන අවසාන තප්පරය වෙන තුරුත් මුදල් ලබාගැනීමේ පටු අරමුණ පමණක් පෙරදැරිකොටගෙන බෝඩිම විකුණා මුදල් අතට ගන්නා තුරු ඔහුගේ කටින් වචනයක් ලබා ගැනීමට අපි අපොහොසත් වුනෙමු. විකුණා දින කීපයකට පසු අපි දිනපතා රාත්‍රියේ කොළඹ අඳුරු වීදි අතරේ මෙන්ම අලෝකමත්වූ සුවිසල් මන්දිර අතරින්ද නවාතැනක් සොයාගැනීම සඳහා වෙහෙසුනෙමු. අවසානයේ වොක්ෂෝල් වීදියේ අවන්හලක ඉහල මාලය බදු දීමට ඇති බව දැනගන්නට ලැබිණි. තරමක් හොඳ මට්ටමක පැවති  කාමරය තත්වයකට ගැනීමට අපිට දවසක්ම ගත විය.  පෙලට තැබූ මෙට්ට රහිත ඩබල් ඇඳන් යුගලයත් සිංගල් ඇඳන් යුගලයත් අපි සය දෙනාගේ නින්ද සඳහා පිළියෙළ විනි. මතු පිටට කාඩ්බෝඩ් අතුරා ඊට උඩින් ඇඳ රෙදි එලා සුවපහසු යහනාවක් තනා ගත්තේ ඇඩ්වාන්ස් මුදලත් ගෙවා ඇති නිසා වෙන කල හැක්කක් නොමැති කම නිසාවෙනි. 


රාත්‍රියේ ඇඳට වැටුන අපි බොහෝ දේ කතා කළෙමු. නමුත් අපේ හිත් වල විශේෂයෙන් සඳහන් කල යුතු විශාල දුකක් නම් ගෑවිලාවත් තුබුණේ නැති බව නම් සහතිකය. මක් නිසාදයත් කොතරම් කටුක බවින් යුක්ත වුනත් එවන් අඩුලුහුඬුකම් වලින් යුතුව ගෙවන ජීවිතයේ යම්කිසි රසයක් අපි විඳින නිසාවෙනි. විශාල පියන් පත් යුග්මයකින් තැනුණු ඉහල මාලයේ කවුළුවට බර වූ මමත් ලහිරුවත් ලක්ෂ්මන් අයියත් නැගිට ඇඳේ සිටම කාර්යබහුල වොක්ෂෝල් විදිය දෙස නෙත් යොමා බැලුවෙමු.  විවිධාකාරි මිනිසුන්ගෙන් පිරි වොක්ෂෝල් වීදිය කුඩු කාරයින්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන්  අඩුවක් නැති බව දැකගන්නට මෙන්ම දැනගන්නට ලැබුණි. සමහර විට ඔවුන් එසේ නොවුනත්  ඔවුන්ගේ බාහිර ස්වරුපය අපිට එසේ සිතීමට කරුණු කාරණා සැපයිය. පදික වේදිකාවේ සිට රාත්‍රී අහාර ගෙන එහිම නිදාගන්නා පිරිසක්ද, මුල්ලකට වී දුම් උරණ පිරිසක්ද හැරුණු කොට නිරුවතින් සිට මුඩුක්කු නිවාසයේ පොදු වැසිකිලිය හා ජලකරාමය අසල අතුගාමින් සිටින මැදිවියේ දෙදෙනෙකුත් දැකගන්නට ලැබුණි. ඔවුන් සිටියේ ඔවුන්ගේ රාජකාරියේ විය යුතුය. නමුත් ඔවුන් දෙනෙනා සිටියේ අමු නිර්වස්ත්‍රයෙන් බව විදුලි පහන් වල ආලෝකයෙන් අපට පැහැදිලිව දැකගත හැකි විය. ඇඳුමක් ඇඳ ගැනීමට ඔව්නට අවශ්‍ය නැත්තේ මන්දැයි මා නොදනිමි. නමුත් බෝඩිමේ අපිට එය එක්තරා අකාරයකට බොහෝ වෙලාවක් බඩ අල්ලාගෙන සිනාසීමට තරම් කාරණයක් විය. ඒ ඔවුන් අතු ගානවා වෙනුවට පොඩි එවුන් සේ සෙල්ලම් කරන සෙයක්ද දැකගන්නට ලැබුණි. එකෙක් අනිකාගේ ඇඟේ හැප්පි අනිකාව පෙරලන්න උත්සාහ කරන හැටි අපේ සිනහව තවත් වැඩි කළේය.  තරමක් ඉහල කාමරයේ සිටින අපට ඔවුන් පෙනෙන බව ඔවුන් නොසිතන්නට ඇති. එසේ පෙනෙනවා යයි සිතුනත් ඔවුන්ට එය වගක් නොවන්නට ඇති. නැතහොත් තව හේතු කාරනා තිබිය හැක. අපි ඒවා නොදනිමු.


සිනහව මැඩලාගෙන  කාමරයේ විදුලිපහන නිවා දමා අපි නිදන්නට වීමු. පහල හෝටලයෙන් ඇසෙන කොත්තු දමන සද්දෙත් තුන්කාන්දෙන් දමන දාඩියත් නුහුරු නුපුරුදු ගතියත් රාත්‍රියේ බොහෝ වෙලාවත් අපිව අවදි කරවා තබන්නට සමත් විය.


අවසානයට පෙර ලියමි.

ඉහත සඳහන් කතාව ලියන ලද්දේ මා විසින් නොබෝ දිනකට ඉහත ලබාගත් සත්‍ය අත්දැකීම් කීපයක් පදනම් කොටගෙනය. නමුත් එය ලියන ලද්දේ  කියවන ඔබ සැමගෙන් මා හට අනුකම්පාව ලබාගැනීමටවත් එවන් මුඩුක්කු ජීවිත ගත කරන්නවුන්ට ගැරහීමටවත් නොවන බව බුද්ධිමත් ඔබ සැම වටහා ගනු ඇති විශ්වාස කරමි.


අතරින් පතර මගහැරුණු රසකතා කීපයක් නොලියා ඉතුරු කර ගත්තේ තව පොස්ට් කීපයක් සඳහා වවාගෙන කෑමට බවත් ඔබ දැනගත යුතුය.  


එක දිගට කෙටි කතා ලියමින් බ්ලොග් එක ඒකාකාරී කර නොගන්නා ලෙස බොහෝ දෙනෙක්ගෙන් ලැබුණු උපදෙස් හේතුවෙන් අත්දැකීමක් මෙසේ යුනිකෝඩ් කලේ සුපුරුදු භාෂා රටාවෙනි. නිදහස් ආරෙන් ලියන විට  මට කිසි දෙයක් ගැලප ගනු නොහැකිය. එසේ නිදහස් ආරකින් ලියා පල කරන ලද "මට ගලපා ගන්න බැරි ගැලපීම" නම් පොස්ටුව ඩිලීට් කලෙත් එය මෙලෝ රහක් නැති බව වැටහුණු නිසාවෙනි.


අලුත් නවාතැනේ අලුත් අලුත් සිද්දි සමග අද ඉඳන් ලියවෙන "බෝඩිම" නම් ලේබලය ඇතුලත් කතා අතර පළමු කතාව මෙසේ පබ්ලිෂ් වුන වගයි. 

"නිරුවතින් අතුගෑම" ලෙස පොස්ට් එකට නම යොදා එතරම් කික් එකක් ඇති දෙයක් අන්තර්ගතය තුල නැති වුනත්, මා එය එසේ කලේ එක්තරා  පරීක්ෂණයක් බවත් සලකනු මැනවි. ඒ පිළිඹදව තොරතුරු යථාකාලයේ දැනගන්නට සලස්වමි.

2012/05/03

මුතු මැණිකා

ඔහු හදිස්සියේ මතක් වුවා වැනි හැඟීමකින් යුතුව පසෙකින් තිබුණු හම් බෑගය තුල සුරක්ෂිතව පොලිතින් මල්ලකින් ආවරණය කරන ලද දශක දෙකකටත් වඩා පැරණි සීවලී දින පොත දිග හැර යමක් සොයන්නට විය. කීප සැරයක් අපරික්ෂාකාරීව එහාටත් මෙහාටත් පිටු පෙරලූ ඔහු නැවතත් සෙමින් මහත් ඕනෑකමකින් බලා යමක් ගෙන දිග හරින්නට විය. ඒ සමගම ඔහුගේ මුවේ නාඹර ගැටයකුගේ දෙතොලකට නැගෙන  සිනහවකට සමාන සිනාවක් සටහන් විය. මොහොතකට පෙර මිනිත්තු කීපයක් වෙහෙසී සොයා ගන්නා ලද එය හතරට පහට නවන ලද හසුනකි. ඔහු එය දිග හැර දෑතින්ම ගෙන මුහුණට ලංකරගෙන සිපගත්තේය. කඩදාසියක් පරණ වූ කල දැනෙන පුස් ගඳත් තීන්තවල සුවඳත් අතරින් ඔහුට ඇයගේ හදවතේ සුවඳ, ආදරයේ සුවඳ දැනෙන්නට ඇතැයි අපි අනුමාන කරමු.  ඇගේ වටකුරු අත්අකුරු වලින් ලියන ලද හසුන නාඹර ඉලන්දාරියෙකුට කුලුඳුලේ ගැටිස්සියකගෙන් ලැබුණු මුල්ම හසුන සේ මෙන්ම එය ජීවිතේ පලවෙනි වතාවට කියවන්නාක් මෙන් ආසාවකින් හැඟීමකින් ඔහු කියවන්නට විය. වරින්වර කට කොනකින් නැගුනු සිනහවත්, විටෙක රැලි වූ නළල් තලයත්, සිහින් වූ දෑසත් ඔහු නිමග්නව සිටි කල්පනාවේ ශාක්ෂි දරන්නට විය.


මිනිත්තු විස්සක් පමණ ගත වන විට ඔහු හසුන දෙතුන් සැරයක් කියවා අවසන්ය. ඔහුගේ මුහුණේ හා ඉරියව්වල පෙර තිබුණු උද්යෝගකාරි ස්වරුපය දැන් පහව ගොස් ඊට හාත්පසින්ම වෙනස්වූ ස්වරුපයක් ආරුඨ වී ඇති සෙයකි. බැසයන හිරුගේ මලානික රශ්මි කදම්භයකින් ඔපවත් වූ ආලෝක ධාරාවකින් ඔහුගේ දෙනෙත් කොන දිදුලමින් තිබුණු කඳුළු කැට එකින් එක දිරාගිය හම් සපත්තුවටත් දෑත මත රැඳී හසුන මතටත් වැටුණි. ආයාසයකින් වැටෙන කඳුළු කැට මැඩ නොගත් නිසා ලැබුණු අවරසරයෙන් තවත් කඳුළු කැට කීපයක් හසුනේ සටහන් වූ ඇගේ වටකුරු අකුරු පෙළක් බොඳ කළේය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගැන්මේ වුවමනාවක් ඔහු සතු වුවත් දැල්වෙන අතීතය විසින් හදවත පසාරු කරන වේදනාව ඔහු ඉවසා දරාගෙන සිටියේ අතීතයට කරන්නාවූ සරදමක් ලෙසිනි. තමා සමග වියපත් වූ හදවත, වියපත් නොවූ මෙන්ම කෙදිනකවත් වියපත් නොවන අතීත සේයාවන් වලින් පෝෂිත වී ඇති බැව් ඔහුට ඒත්තු ගියේ මීට බොහෝ කාලයකට පෙරය.  ඒ මෙතරම් කලක් ගත වුවත් මුතු මැණිකා හෙවත් "මුතු" පිලිබඳ දිනෙන් දින මුවහත් වූ වේදනාකාරී මතකය විසින් හදවත අභ්‍යන්තර පටක වරින් වර වේදනාවට පත් කරන්නේ අදක ඊයෙක පටන් පමණක් නොවන බැවිනි.

 
ඔහු අපරිමිත ලබැඳියාවකින් තවත් වරක් සිපගත් හසුන සුරුවමට නමා දිනපොතේ පිටු අතර රැඳවීය.හිඳ උන් බංකුවෙන් මදක් ඉදිරියට වී පිටුපස ඇන්දට සුවපහසු ලෙස ඇලවූ ඔහු තම සිත අතීතය වෙත පාකර හැරියේ සෙමින් ජලාශයක් මත ගමන් කරන්නාවූ පාරුවක් සේය. අතීතය වෙත යාත්‍රා කරන්නාවූ සිත ජීවිතය නමැති ජලාශයේ දෙපස පිපි නෙලුම් මානෙල් මල් සුගන්ධය නම් වූ අතීතය තුලින් විහිදෙන සුවඳ ඔහු මනසින් තරුණයෙක් කළේය. සැන්දෑ අඳුරෙන් කාන්තිමත් වූ උද්‍යානයේ තුරුහිස් වලට ඔහු සිනාසුනි.

මීට බොහෝ කාලයකට පෙර මෙවැනිම සැන්දෑවක මහවැලි ගඟ ඉස්මත්තේ රූස්ස ගසකට හේත්තු වී සිටි ඔහුගේ සිත පිරි තිබුනේ මුතු මැණිකා පිළිබද දහසකුත් බලාපොරොත්තු වලින්ය. ඇය සිනාවෙන විට වලගැසෙන දෙකම්මුලත්, පමණට වඩා සිනාසුන ඇස්වලින් මතුවන කඳුළු කැටත් ඇයගේ දීප්තිමත් නෙතු සඟලත් ඔහුගේ සිතේ සෑම බිම් අඟලක්ම බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටි යුගයක ඔහු පෙම්වතෙකි.

තම ජීවිතය ඇගේ දෑස තුලින් දුටු ඔහු ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ඇය වෙනුවෙන් පොදි බඳින්නට විය. කාලාන්තරයක් පෙරුම් පුරා ඔහුගේ සිතේ රජවූ මුතු මැණිකාට ඔහු ආදරය කලේ සංසාරික බැඳීමකින් බව ඔහුට සිතේ. තම දෑස් හරහා බැඳුනු සීතල දෑතක පහසක් ඔහුව කල්පනා ලෝකයෙන් ඔබ්බට ගෙනාවේය. ඒ මුතු මැණිකාය.


එදා සිතේ උපන් කුතුහලය පිරි සෙනෙහස මෙදිනත් ඔහු කෙරෙන් දිස්වුනත් ඒ  උද්‍යානය හරහා හමා ගිය සිහින් පොදක් බැවින් ඔහුගේ අනුමානික සිතුවිල්ල පිළිබද ඔහු පසුතැවෙන්නට විය.  දසත හමාගිය සිසිල් සුලන් රැල්ලත් ඔහුගේ ගතේ හිරිගඩු නැංවීය. විගසින් බෑගය අතටගත් ඔහු නවාතැන වෙත පියමැන්නේ කෙදිනකවත් සම්පුර්ණ කරගත නොහැකි සිතුවිලි සමුදායක් සමගිනි.

ගිනියම් වූ බොයිලේරුවක් පපුව මධ්‍යයේ සිරවී ඇති සෙයක් ඔහුට දැනිණි. කාර්ය බහුල වීදි අතරින් ඇවිද යද්දී වාහන වල ලාම්පු වල දීප්තිමත් ආලෝකයත් ඝෝෂාකාරී නලා හඬත් ඔහුගේ විඩාව තව තවත් වැඩි කළේය. ඉක්මන් පාගමනනික් පසු සුපුරුදු පරිදි අවන්හලට ගොඩවැදුණු ඔහු බීර බඳුනක් ඇණවුම් කළේය. අඳුරු මුල්ලක හිස්ව තිබු මේසයක් තෝරාගත් ඔහු ඇණවුම් කල බීර බඳුන ලැබෙන තුරු මේසයේ හිස ගසාගත්තේය. පසුබිමින් ඇසෙන සංගීත රාවයත් කවුළුව එපිටින් ඇසෙන ලොතරැයි කුඩුවේ වෙළෙන්දාගේ ගොරහැඩි හඬත් ඔහුගේ මනස තවත් අවුල් කළේය. ව්‍යාකුලත්වය අතරින් මුතු මැණිකාගේ රුව ඔහුගේ මනසේ හොල්මන් කරන්නට විය.
අවන්හල් සේවකයාගේ පැමිණීමෙන් ඔහු හිස එසවීය.


"සර් අද හවස හතරට විතර බාර් එකට ආපු මනුස්සයෙක් මේ ලියමන මහත්තයට දෙන්න කියල ගියා.
මතක ඇතුව දෙන්න කියල කීප සැරයක්ම කියල ගියා.  අපිළිවෙලට හිටපු ඒ මනුස්සය හිටියේ ටිකක් බයෙන් වගේ. මං....මං හිතන්නේ සර් හැමදාම බාර් එකට එනවා කියල හොඳටම දන්නා මනුස්සයෙක් වෙන්න ඕනේ."


"ම් ලියුමක්....? කෝ දෙනවා බලන්ඩ... තමුසෙට හොඳට විශ්වාසද මේක මටම දෙන්ඩයි කිව්වේ කියල. අනික් පාර වෙන මිනිස්සුන්ගේ ලියුම් කඩලා මම වැරදිකාරයෙක් වේවි."

"නෑ.....නෑ.....රත්නසිරි මහත්තයටම දෙන්ඩයි කියල තමයි කිව්වේ. මහත්තයාගේ හැඩ හුරුකමත් හරියටම කිව්වා."


ඔහු අතට ගත් ලියුම කඩා කියවන්ට විය. තවමත් අවහන්හල් සේවකයා ඔහු අසල රැඳී සිටි දුටු ඔහු සේවකයා දෙස යැටසින් බලා ඔහුට එතනින් යන ලෙස හිසෙන් පැවසුවේය.


ආදරණීය රත්නේ,

ඔයා කවදාවත් හිතන්න නැතුව ඇති මගෙන් මේවගේ ලියුමක් ඔයාට හම්බෙවී කියල. එත් මට හිතට එකඟ වෙලා මේ අදහස යටපත් කර ගන්න බෑ.
මම දන්නවා ඔයා තවමත් තනිකඩයෙක් කියල. මම මේ කරන දේ වැරදි කියල මම දන්නවා. එත් එකම එක සැරයක් මට ඔයාව හම්බෙන්න ඕනේ.
පුලුවන්නම් හෙට උදේ නමයට ඔරලෝසු කනුව ළඟට එන්න. ඔයා ඒවි කියල මම හිතනවා.
මීට
මුතු

කියවන ලද කතාවක් නැවත කියවන්නා සේත්, හුරුපුරුදු හැඟුමක් සිතේ දැවටෙන්නා සේත් ඔහුගේ හිතේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් සක්මන් කරන්නට විය. අඩක් අවසන් වූ බීර බඳුන එසේම තිබෙද්දී ඔහු බිල ගෙවා නවාතැන වෙත ගියේ  සිත යට කැකෑරෙමීන් තිබුණු සිතුවිලි සමග බොහෝ වෙලාවක් ඔට්ටු වීමෙනි.  රාත්‍රියේ වරින් වර ඇහැරුණු ඔහුට හරිහැටි නින්ද ගියේ නැත.  ලැබුවේ කඩින් කඩ නින්දකි. පසුදින ගමන සඳහා යාමට ඔහුට ලෑස්ති වීමට වෙනදාට වඩා බොහෝ වෙලාවක් ගතවිය. කමිස කීපයක් වරින් වර හැඳ කණ්ණාඩිය ඉදිරියට ගොස් බැලුවේ එය මුහුණේ පාටට  ගැලපේද නැද්ද යන්නයි. අවසානයේ ලා නිල් පැහැති කමිසයකින් හා කළු පැහැති කලිසමිකින් සැරසුන ඔහු දාඩිය දමතැයි අඩිය තැබුවේ වෙනදාට වඩා සෙමිනි. ඔරලෝසු කනුව අසලට අට හමාර වන විට පැමිණීමට ඔහුට හැකි විය. ඔහු පාර පැන බාබර් සාප්පුව වෙත ගියේ තම අවුල් වූ හිසකෙස් සදා ගැනීමටය. කොණ්ඩය කපනු විනා අන් කිසිම හේතුවකට මීට පෙර මෙහි ගොඩ වැදී නැති බව ඔහුට මතක් විය.  කණ්ණාඩියට සිනාසුන ඔහු  එතනින් පැමිණ ඔරලෝසු කණුවට නුදුරින් පිහිටි දුරකථන කුටියක් අසල පඩියක හිඳ  සිටියේ ලැබුණු පණිවිඩයේ අවිනිශ්චිත බවකුත් ඇති නිසාවෙනි.


ඔහු ඇගේ සිනාසෙන විට වල ගැසෙන කම්මුල් හා ඇයගේ දීප්තිමත් ඇස් මෙන්ම ඇයටම අවේනික ගමන සිතින් මවා ගත්තේය. ඇත්තටම ඒ හිනාව තවත් ඇය සතුව ඇත්ද, එමෙන්ම කතා කරනවිට තාලයට සිහින් වන දෑස ඔහුගේ සිත මහා ලෝබ කමකින් පුරවන්නට විය.  මිනිත්තු පහලවක් පමණ ගත වන විට ඔරලෝසු කනුව අසලට පැමිණි කාන්තාවක් කවුරු හෝ වෙනුවෙන් රැඳී සිටිනු දැකගත හැකි විය. හිත පතුලෙන් හටගත් වේදනාවක් ඔහු සතු පැරණි මතක පාරවන්නට විය. වේගයෙන් ගැහුන හදවත නිසා ගත දහදියෙන් තෙත් විය. හුස්ම ගන්නට අපහසු බවක් හා කෙලින් සිට ගන්නට පවා නොහැකිව ඔහු නැවතත් පඩියට වාරු විය.


මිනිත්තු කීපයකින් තම සිතටම දොස් පවරා සන්සුන් වූ ඔහු නැවතත් තම ආදරණීය පෙම්බරිය වෙත යාමට නැගී සිටියේය. නමුත් කිසියම් වරදකාරී හැඟීමකින් ඔහු පෙලනු ලැබුවේය. ඒ කුමක්දැයි ඔහුට තේරුම්ගන්නට අවැසි නොවුනි.  පසුව  ඔහු පියවර කීපයක් ඉදිරියට තබා ඇවිද ගියේය. ඇය හමුවීමට සිත ගන්නා උත්සාහයට පරයා පෙරකී වරදකාරී හැඟීම ඉස්මතු වෙන්නක් මෙන් ඔහුට දැනුනි.


නැවතත් පියවට කීපයක් ඉදිරියට ගියේය.

නමුත්......


දෙගොඩ තලා ගලා ගිය ගංගාවක් හදිසියේ සිඳුනාක් මෙන් ඔහුගේ සිත තුල හදිසියේ මතුවූ වරදකාරී හැඟීම ප්‍රබලව ඉස්මතුවීම නිසා  නිසා ඔහු ආපසු හැරී කලබලෙන් නවාතැන වෙත පියමනිනු දැකගත හැකිවිය.        

2012/04/20

ඉන්ද්‍රචාපය

ඉඩොරේ රස්නේ මැදින් හමාගෙන ආ උණුසුම් සුළං රැල්ලක් කටුමැටි ගසා තිබුණු පැල් කොටේ බිත්තිවල දැවටුනේ සුළඟත් සමග කැටුව ආ දුහුවිලි පදාසයකුත් සමගිනි. කනපාටින් තවත් කන පාටට හැරෙමින් ගරා වැටෙමින් තිබෙන මැටි බිත්ති දෙසත් කරකුට්ටම් වී ගිය වහලයේ පොල් අතු දෙසත් බැලු චන්ද්‍රපාලගේ මුවින් පිටවූ උණුසුම් සුසුමක්ද ඒ සමගම වාතලයට මුසු විය. ඔහු බිමට පහත් වී සරමේ වාටියෙන් දෑස්පිහදාගත්තේ ගිනි හුළඟට හිතින් බැනවදිමිනි. තව පොහොයකින් හෝ කීපයකින් පසුව කඩාපාත්වෙන මහා වැස්සට මුහුණ දෙන්නේ කෙසේද යනවග ඔහු මනසින් සැලසුම් අඳින්නට විය. ගේ ඉදිරිපස ඇති මිදුලේ ඉඩෝරයේ අරියාදුවට මට්ටු වී තැනින් තැන ඉරිතලා ගිය පොලවේ බොහෝ කලකට පෙර ඉන්දවූ අඹ ගහ පාමුල තැනුණු කොස් පිටපලු බංකුවට චන්ද්‍රපාල පැමිණ දැන් දෙහෝරාවකටත් ආසන්න විය.දෙපාමුල තිබුණු බුලත් වංගෙඩිය ගෙන දෙවන වතාවටත් විටක් හැපීමට බුලත් තට්ටුව අතට ගත් ඔහු මිදුලේ සෙල්ලම් කරමින් සිටි තම බාල දියණියට තමා වෙත පැමිණෙන ලෙස අතින් සඥා කළේය.


"සුදු බන්ඩියේ දුවිල්ලේ පෙරලීගෙන මක්කයි කරන්නේ"



 කිරිදත් පෙන්නා විරිත්තාගෙන පැමිණි සුදු බන්ඩි අප්පච්චි සමග හුරතල් වුවාය.


"කෝම්පිට්ටු උයනවා,"


මේ ඉඩෝරයේ කහපාටට හැරුණු දුවිලි පස් තට්ටුවට වතුර කඳුලක් නැතුව පොල්කට්ට තුල කෝම්පිට්ටු හැදෙන්නේ කෙසේද කියා ඔහු සුදු බන්ඩිගෙන් නොඇසුවේ ඒවගක් වටහා ගන්නට පොඩි ඒකිට තේරුමක් නොවූ නිසාද එසේත් නැතිනම් දියණියගේ කතාව ඔහු අවබෝධයකින් වටහා නොගත් නිසාද යන්න කිසිවෙක් නොදනී. එහෙයින් සංවාදය එතෙකින් අවසන් විය. සුදු බන්ඩිවත් කොස් පිටපලු බංකුව මත ඉන්දවූ ඔහු බුලත් නැට්ටක් කඩා සුදු බන්ඩිගේ මුවට එබුවේය. ඇය දෙඇස තදින් පියාගෙන දෑතින්ම සවන් යුග වසාගෙන සුරුවමට බුලත් නැට්ට හපන්නට විය. මොහොක් දෑස් දල්වා බලාසිටියේ තම ඉන්ද්‍රජාලික පියා දෙසය, කල්පනා කරන්නේ තමන් ජීවිතයේ පළමුවරට විඳි අපුරු අත්දැකීම පිලිබඳවය.


"සසයිද සුදු බන්ඩියේ"

"ම්....ම්"

ඉවුම් පිහුම් කටයුතු හමාර කොට හාල් හේදු වතුර කොරහක් අතැතිව පිළිකන්නේ සිට පැමිණි චන්ද්‍රපාලගේ බිරිඳ  දියණියගේ හා පියාගේ සංවාදයට සම්බන්ධ වීමට සිතා වතුර කොරහ වී බිස්ස ළඟ මෑලි වුන රම්පා පඳුරට වක් කලාය. 


"හනේ අම්මප දවස තිස්සෙම විට කාල ගේ වටේ කෙල ගහනවා මදිවට පොඩි එකිටත් පුරුද්ද බෝ කරනවද මනුස්සයෝ?"


සිරිනිමාගේ කෑගැහිල්ලට බියට පත් සුදු බන්ඩි චන්ද්‍රපාලට තවත් තුරුල් වී ගුලි වුනාය. අපිරිමිත සෙනෙහසකින් දියණියගේ හිස අත ගෑ චන්ද්‍රපාල

"සුදුබන්ඩියේ ගේ ඇතුලට ගෙහුං කට හොදගන්ට, අම්ම කෑ ගහනවා."


නැවතත් සිරිනිමාගේ කෑගැහිල්ල ඇසුනු සුදු බන්ඩි තකහනියෙන් බංකුවෙන් පනින්නට ගොස් වැලමිටද හමගහ ගත්තාය. සිරිනිමා තමාටත් දියණියටත් මෙසේ බෙරිහන් දෙන්නේ කෝපයකින් නොවන බව චන්ද්‍රපාල දනී. එය සිරිනිමාගේ ගතිය බව ඔහු හොඳටම දනී. මන්ද මෙසේ තමාට බැන වැදී ඇති  අවස්ථා බොහෝ තිබුනත් ඒ සණ්ඩු මිනිත්තු කීපයකට වඩා නොපවතින හෙයිනි.


"බත් ටික කාල පොලට ගිහින් ආවනම් හොඳයි"

"හ්ම් එහනම් යං කන්ඩ"


හප හපා හුන් බුලත් විටෙන් ඉතුරු වූ හපය කාරා කෙල ගසා  සිරිනිමා සමග මුළුතැන්ගෙට පිවිසියේය.
තැනින් තැන ඉදුණු සුදු කෙස් ගස් චන්ද්‍රපාලට පමණට වඩා වයස්ගත පෙනුමක් එක් කරන්නට සමත් විය. එමෙන්ම ගිනි මද්ධහනත් සමග ඔට්ටුවීමෙන් දෙපා අතපය කළු පාටට ගැසී ඒවාට අවලක්ෂණ පෙනුමක් එක් වී තිබුණි.  වසරේ බොහෝ කාලයක අව් රස්නෙන් බැට කන චන්ද්‍රපාලගේ ගමේ උදවිය හා සැසඳීමේදී චන්ද්‍රපාලත් ඔවුනොවුනුත් අතර එතරම් වෙනසක් දැකගත හැකි නොවේ.
මන්ද චණ්ඩ වූ හිරු රැස් කාටත් අත්කර දෙන ඉරණම කොටස් කරුවන් අතර පන්ගුපෙරුවකින් තොරව සමසේ බෙදී යන නිසාවෙනි.


වංගෙඩිය මත හිඳගත් සිරිනිමාගේ දෑස ඈත එපිට මිරිඟුව අසල සැරිසැරීය.

චන්ද්‍රපාල බත් පත අනනවා මිසක කන කෑමක් නැත.මේ බව දුටු සිරිනිමා තම සුපුරුදු වාග් විලාශය හසුරුවන්නට විය.

"මොකෝ මනුස්සයෝ අහස පොලව ගැට ගහල ලිහ ගන්ඩ බැරුව දඟලනවා වගේ බත් පත අන අන විතරක් ඉන්නේ."

"නෑ මක්කක්වත් නෙමේ..............මේ වලෙන් ගොඩ එන්න අපට සුවිප් ටිකට් එකක්වත් ඇදෙනවානම්"

"ඇදෙයි ඇදෙයි අපට සුවිප් ටිකට් නෙමෙයි හතර මහා නිදානේ......මනුස්සයෝ නරකද බුලත් කොරටුවක්වත් පටන් ගත්තොත්"

"බුලත්......? මේ ගිනි අව් කුටකේ වැහි බිඳක් නැති පත්තුවේ."

"වතුර නම් වැව් බන්ට් එකෙන් කලගෙඩි වලට හරි අදින්න බැරියැ....දෙයියෝ බලල මේ කන්නෙදිවත් වී ටිකක් වපුරගන්න, බුලත් පාත්තියක් ඉන්දවන්න වැස්ස වලාහක දෙයියෝ දිවැස් හෙලනවානම්"


සිරිනිමා චන්ද්‍රපාලට අඩුවැඩිය බෙදමින් හුන් බොරට උයාපු හාල්මැස්සෝ හොදි රැඳී මැටිකෝප්පය පිල උඩ තබා දෑත චීත්තයේ පිහදාගෙන දොහොත් මුදුන් දී අහසට නමස්කාර කලාය.


දෙකේ කණිසම වැදෙද්දී පොලට ගිය චන්ද්‍රපාල යලි නිවසට පැමිණියේ දෙහෝරාවක් පමණ ගතවුවාට පසුවය.  ඒ ඉහ මත තබාගෙන ආ එලවලුත් තව අඩුමකුඩුම මල්ලකුත් නිසා ඔහු හොඳටම හෙම්බත් වී සිටියේය. සිරිනිමා එවලේ නිවසේ නැතිවීම ගැන හිතෙන ඇයට බැන බැන  කර මත රැඳී ලේන්සුවෙන් දාඩිය  පිහ දමා බිම තබා තිබු කලගෙඩියෙන් වතුර පොල්කටුවක් නමාගත් ඔහු දෙතුන් පාරක්ම වතුර නමාගෙන පිපාසය සංසිඳුවා ගත්තේය. නිවස ඉදිරිපස පිල් කන්ඩිය අසල ඇති බුරු ඇඳට පැමිණ මදක් හාන්සි වූ ඔහු හන්දියෙන් මිලට ගත් ඉනේ ගසාගෙන සිටි ලොතරැයි ටිකට් පත ගෙන ඒ දෙස මොහොතක් බලාගෙන සිටියේය.


දහසකුත් බලාපොරොත්තු, ගමන් විඩාව තෙහෙට්ටුව ඇතුළු තවත් බොහෝ දේ වක්‍රාකාරයෙන් බලපා ඔහුට දැඩි නිදිමත ගතියක් දැනුනි.


නැවතත් අත රැඳී ලොතරැයි ටිකට් පත දිහා බැලු ඔහු මනසින් අනාගතය සැලසුම් කරන්නේය.
පිටිපස්සෙන් ගෙපලක් කපල සිමෙන්ති බදාම වලින් ගේ කෑල්ලක් අටවගන්න පුළුවන්.ඒ කිට්ටුවටම වෙන්න ලිඳක් කපාගතහැකි. අල්ලපු වැටේ ගොයියා දැනගත්තොත් ඉරිසියාවේ පැලෙයි. අපට හුනියමක් වත් කරයිද දන්නේ නෑ. ඉක්මනට කඩපිල්වත්තේ ගුරාට කියල ආරක්ෂාවක් කරගන්න ඕනේ. කල් යල් නොබලා මේ සල්ලි ටික බැංකුවේ පොතක් හදල දාල ටික ටික හිමීට ගන්නවා.


"අන්න බලාපන්කෝ චන්ද්‍රපාලගේ මෝටර් බයිසිකලේ ලස්සන. ලස්ස ගානක්ලු." කඩපිලට ගිය විටදී මේ කියන්නේ තමා ගැන නේද යැයි චන්ද්‍රපාල ආඩම්බර වෙයි. මීට දෙතුන් දොහකට පෙර ගමේ කඩේ පිලේ එතරම් වැදගම්මක් නැති මිනිසෙක්ට හදිසියේ මෙතරම් පිළිගැනීමක් ගෞරවයක් ලැබුනේ දෙවියන්ගේ ආශිර්වාදය නිසාම බැව් චන්ද්‍රපාල කල්පනා කරයි.  කිසිදා තමා සමග ඕනේකමකින් කතා නොකරපු සිනා නොවුණු බොහෝ දෙනෙක් දැන් චන්ද්‍රපාල සමග ජයට ඇයි හොඳයියට එයි.


"චන්ද්‍රපාල ඕනේ වෙලාවක ඕනේ තරමක් බඩු ණයට ගන්න, පස්සේ පුලුපුලුවන් විදිහට ගෙවල දාන බැරියැ . අපි අපිට උදව් පදව් කරගත්තේ නැත්තම් අපිට වෙන කවුද ඉන්නේ" ඒ හන්දියේ කඩේ උබේසේකර මුදලාලිය. මීට සතියකට පමණ පෙර ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඉදිරියේ තවත් ණයට දෙන්න බැරි බව කියා පලු යනකම් බැන වැදුන මුදලාලිමය.


"චන්ද්‍රපාල අයියේ මෙහෙන් ඈඳී ගත්තනම්..වඩේ කෑල්ලක්  හරි රොටි කෑල්ලක් හරි කාල කහට උගුරුක් බොමු." 


 පුදුමයකි. දෑ අවුරුද්දකට පෙර සියඹලා තැන්න අක්කරේ උගසට තබාගෙන ගත් ණයෙන් මාස් පතා පොලිය හුරා කන ඇඩ්වින්ය.


"ඉඩම් අක්කරේ මං උඹට ආපු ලියල දෙන්නම්කෝ.. උඹල පොලිය ආයේ ගෙවන්න ඕන වෙන්නේ නෑ. පුළුවන් වෙලාවක කොටහ කොටහ දීල ඉඩම බේරගනින්, මොකද යනකොට අපි මේවා අරන් යන්නයෑ"


මුදලාලි වඩේ පින්ගානත් හකුරු බන්දේසියත් අඬු නැති කෝප්ප වලට දැමු තේ දෙකත් ගෙනවිත් දාම් ලෑල්ල මත තැබුවේය.


"ආ චන්දපාල අයියේ මේක බීල හිටියනම් වඩේ කෑල්ලක් කාල" ඒ ඇඩ්වින්ය

මුවමත සිනාවක් රන්දාගත් චන්ද්‍රපාල දෑතින්ම තේ කෝප්පය ගන්නට යද්දීම අවාසනාවකට ඇඟිලි තුඩු අතරින් මිදුණු කෝප්පය තමාගේ උකුල මතට වැටුණි. තේ කහට එතරම් රස්නයක් නොවුනත් චන්ද්‍රපාලගේ මුහුණ රතුවිය.

හදිසියේම අවදි වූ  චන්ද්‍රපාලගේ මුහුණ තවමත් රතුවී ඇත.


" මං කියල තියනව නේද සුදු බන්ඩිට චු බරනම් ඇඟේවත් බුරු ඇඳේවත් දාන්න එපා කියල එලියට යනවා මිසක්" ඒ සිරිනිමාය.

පියවි ලෝකයත් ස්වප්න ලෝකයත් අතර රැඳුනු චන්ද්‍රපාල මොහොතක් සිහි එලවා ගැනීමේ ප්‍රයත්නයක යෙදුනි . සුදු බන්ඩිව අතට ගත් චන්ද්‍රපාලට දැකගත හැකිවුයේ පොලට ගොස් එනවිට මිලදී ගත් ලොතරැයි ටිකට් පතේ බාගයක් සුදු බන්ඩිගේ මුව තුලත් ඉතුරු බාගය තවත් කුඩා කැබලිවලට පත්වී බුරු ඇඳ අසල වැටී ඇති ආකාරයත්ය