Thursday, December 27, 2012

"සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"

පෙරේදා ගෙදරට සීනි ඔතලා ගෙනාපු පත්තර කඩදහිය හෙනම හෙන වුවමනාවෙන් කියවන්න හිතාන මම මිදුලේ හිටෝපු බංකුව ගාවට අවේ මෙතුවක් කියවීමෙන් සම්පුර්ණ වෙච්ච මගේ ඉතුරු බාගෙට තව පොඩ්ඩක් එකතු වෙන්නේනැතෑ කියලා හිතාන. අඹ ගහට අංශක එකසිය පහක විතර ඇලට් එකක් දාගෙන පත්තර කඩදහියේ තියන එව්වා කියවල මගේ ඇස් ගෙඩි දෙක අඹ ඇට සයිස් වුනා.."හැට දෙහැවිරිදි මිත්තනියට අනූ තෙවැනි වියේ පසුවන සීයාගෙන් අතවර", "අලුත බැඳපු බිරිඳ විසින් සැමියා දුෂණය කෙරේ", "ලෝක විනාසය අමු කෙප්පයක් - වෙනවයි කියපු උන්ට හෙන ගහනවා (ප්‍රවීණ ජොතිශ්‍යවේදී සයිමන් මහතා අවධාරණය කරයි),"ගණිකා වෘත්තිය නීතිගත කලේ නැත්තම් අපි ප්‍රසිද්ධියේ වහ බොනවා - ප්‍රවීන නිලි අකාලිකා කියයි. ","නීතිගත කලොත් අපි ප්‍රසිද්ධියේ නිරුවත් වෙනවා - "අපි ගැහැණු" සමිතියේ මහිලාවෝ වීදි බසිති", "එංගලන්තයේ ඩීසල් මිල ඉහල යයි - ඉදිරි දින කීපයේ ලංකාවේ දීප ව්‍යාප්ත බස් වර්ජනයක්, බස් සංගම් අනතුරු අඟවයි."

පත්තර කඩදහිය කියවල අකුරක් අකුරක් ගානේ ගන්න තියන ආදර්ශ ටික ලෙසටම හිතට අරන් හුස්මක් ගත්තේ රට ගැන හෙන ආඩම්බරෙන්. ඒ එක්කම අයිස්ක්‍රීම් නලාවක් වගේ එකක් නතර වෙන්නේ නැතුව "පෝප්...!, පෝප්..!! කියලා කෑ ගහන සද්දේ ඇහුනට මම ඉනි වැටට උඩින් පොඩ්ඩක් ඉස්සිලා බැලුවේ අන්දකයිප්පු වෙලා. ඇයි යකෝ, තවම උදේ පාන්දර පින්න වෙලිලත් නෑ, මිනිස්සුන්ට අයිස්ක්‍රීම් කවන්න මුට තියන තදියමක්. ගේ ඉස්සරහ පාරදිගේ පිඹගෙන ආව පුස් බයිසිකලයක් බරාස් ගාලා අපේ ගෙවල් පාරට හැරෙව්වා. තව පොඩ්ඩෙන් පැදපු එකාගේ හතර හන්දි වද මල වගේ කරගන්නවා බොරළු වැල්ලේ බිම පතබෑවිලා. බයිසිකලේ පදින එකා මොකා වුනත් ඌ පදින්නේ පොල්ල උඩ හිටගෙන කියලා පේනවා, ඌ දෙපැත්තට පැද්දෙනකොට පිටි පස්සෙන් තව එකෙක්ගේ ඔලුවක් පේනවා. පාතින් තව එක්ස්ට්‍රා කකුල් දෙකක් එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. අම්මපා ඇත්තටම මේ හුටමේ දෙන්නෙක් ඉන්නවද නැත්තම් උදේ පාන්දර අවේලාවේ එලි බැහැලා පින්නට මගේ මොලේ පෙඟිලා අoඤකොරොස් පේනවද කියලා හිතා ගන්න බැරුව මම ඇස් දෙක උල් කරගෙන ඒ දිහාවම බලාගෙන හිටියා.




ඔහේප්පලයන්....බයිසිකලේ දෙන්නෙක් ඉන්නවා කියහන්කො, පිටිපස්සේ ලැගේජ් එක උඩ අයිස්ක්‍රීම් පෙට්ටිය, අපේ ගමේ අයිසුත් නැති ක්‍රිමුත් නැති අයිස්ක්‍රීම්   විකුණන වීරේ අයියා බයිසිකල් සීට් එකේ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන රම්බාගේ උරහිසෙන් අල්ලාගෙන. රම්බා පොල්ලේ ඉඳන් හති දාගෙන බයිසිකලේ පාගනවා හැන්ඩ්ල් එක අල්ලාගෙන. රම්බාගේ මුනෙන් එකයි හිනාව..මාව දැක්ක ගමන් මුනට ආව හිනාව හපාගෙනම රම්බා ඉස්සරහට ආවා.  වැස්ස කාලෙට පාර දිගේ ගලාගෙන එන වතුර පාර නවත්තන්න ගෙට ඇතුලුවෙන පාර ගාවින් දාපු පොඩි ගැට්ට උඩින් දානකොටම අවාසනාවට "චකස්" ගාලා බයිසිකලේ චේන් එක පැන්නා. රම්බාගේ කට ඔට්ටපාළු ගිලපු උගුඩුවෙක්ගෙ වගේ වුනා,  දිව දොට්ට පැන්නා, ඇස් දෙකේ කළු ඉංගිරියාව නළල දිහාට ගියා.  බයිසිකලේ පොල්ලේ වැදිලා උගේ හොඳම හරිය රොටී කන්න ගලේ අඹරපු ලුණුමිරිසක් ගානට පොඩි වෙන්න ඇති, මගෙත් ඇඟම හිරි වැටිලා ගියා...එහෙමම ටික දුරක් ගියපු බයිසිකලේ ගැරඬියා යනවා වගේ මිදුල පුරා ගිහින් අක්කගේ ඇන්තූරියම් පෝච්චියකුත් සෙත්තපෝච්චි කරගෙන කොට්ටම්බා ගහේ කඳට හේත්තු වුනා.


මම එතනට යනකොට වීරේ මාමා වැටුණු තැනම ඉඳගෙන හිටියේ උන්දැට හොඳටම අමාරුවේද කොහෙද. රම්බා කොර ඇන ඇන ඇවිත් මං ලඟින් දන ගහ ගත්තා. මං හිතන්නේ පොරගේ බඩ කොර වෙන්න ඇති ඇක්සිඩන්ට් එකෙන් හොඳම හරිය මැද පොල්ලේ වැදුණු පාරට..බිම ඉඳගෙන ඉඳපු රම්බා කට හද හද මොනවා හරි මට කියන්න තෙපර බෑවා.


"ර..ර..යිටර්..මට.....මට හරි පුදුමයි රයිටර්..."

"හෑ...!! .ඇයි රම්බා උඹ වැටුන එකද පුදුම....?" ඌව නැගිට්ටන්න හදන ගමන් මම ඇහැව්වා..

"නෑ බං සෝරෝ ගැන පුදුම....."

"හැඃ...ඉතින් සෝරෝගෙයි උඹේ වැටිල්ලෙයි තියන සම්බන්දෙ මොකක්ද..සෝරෝ බයිසිකල් පැද්දේ නෑනේ...අශ්වයෙක්නේ පැද්දේ.....!!!"

"ඉතින් ඒක තමයි බං සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"

"රම්බා.....මම උඹට බඩ කොරවෙන්න තව පාරක් දෙන්න කලින් කියකෝ සෝරෝට රිදෙන්නේ මක්ක හින්දද කියලා තටමන්නේ නැතුව...."

"ඇයි බං අර කන්ද උඩ ඉඳන් මිනිහා අශ්වයාගේ පිටට පනිද්දී උගේ හොඳම හරියට දැනෙන්නේ සුලුපටු වේදනාවක් කියලද උඹ හිතන්නේ...මට මේ අඟල් දෙකක් උඩ ඉඳන් වැටිලා මෙච්චර අමාරුනම්....උට කොහොම ඇද්ද නේද බං ....?"

රම්බා සිරාම සිරා මූඩ් එකෙන් කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ තමයි. ඒත් මේ වෙලාවේ ඒ වගේ දාර්ශනික ටෝකක් ඔලුවට එන්න තරම් මේකා දියුණු වෙලා තියන  එක ගැන නම් මට අන්තිම සන්තෝසයි. දෙන්න එක්ක එකතු වෙලා වීරේ මාමව වත්තන් කරගෙන ඇවිත් අඹ ගහ ළඟ බංකුවේ ඉන්ඳේව්වා. අයිස් ක්‍රීම් බයිසිකලේ ඉස්සරහ රෝදේ රීම් එක අටපට්ටම වගේ වෙලා. වෙසක් එකට සව් කොළ ටිකක් අලවල අගේට ඉටිපන්දමක් පත්තු කරලා වහලේ එල්ලන්න තිබ්බා.

"හරි හරි උඹ දැන් වීරේ මාමාගේ බයිසිකල් කට්ටේ නැගලා පිඹගෙන ආවේ මොකෑ කියහන්කෝ"

මං ප්‍රශ්නේ ඇහැව්වේ රම්බාගෙන් වුනාට වීරේ මාමා පැනලා උත්තර දුන්නේ රම්බා දිහා පට්ට නෝක්කාඩු බැල්මට් එකක් දාගෙන උට රවාගෙන.

"රයිටර් ළමයට කියන්න පුතේ, අද පාන්දර මම බඩ රස්සාව කරගන්න සයිකල් කට්ට අරන් පාරට එනකොට මේ කොල්ල දුවගෙන ඇවිත් නාහෙන් අඬන්න ගත්තානේව උන්ගේ ආච්චි අම්මට අන්තිම අමාරුයි පණ යන සයිස්, ඉතින්  හන්දියට ගෙහුං වාහනයක් එක්කන් එන්න බයිසිකලේ දියන් බුදු මාමේ කියලා.....පුතාට කියන්න පුතේ ඒක අහලා මටත් තනි ඇහැට ඇඬුණා. මොකද කියනවනම් මේකාගේ ආච්චි ගැටිස්සි කාලේ ගෙට වුනේ මං වඩාගෙන ඉඳිද්දී....."

වීරේ මාමගේ මුනේ අවලන් ඉලන්දාරි හිනාවක් මතු වුනා....

"වැලි කෙලියේ  ඉඳන් අපි දෙන්නා ගජ මිත්‍රයෝ...ඉතින් මටත් වාවන්නේ නැතුව ගියා කොලුවෝ උන්දැට විපතක් කිව්වම..උදව්වක් නොකර ඉන්න බැරි වුනා. මුට බයිසිකලේ දීලා මු මේ බයිසිකල් කට්ට කොහේ හරි දාලා ආවොත් පොඩි එවුන් හැමදාම සාගින්දරේ...මට මේ බතල ගෙඩිය දාගෙන පාගන්න හයිය හත්තිය නෑනෙව..ඒපාර මම කිවේ මමත් දාගෙන යන දිහාකට පාගපන් කියලා...ඒ ආව ගමන තමයි මේ" වීරේ මාමා කියාගෙන කියාගෙන යනවා.


"නෑ නෑ රයිටර් ආච්චිට ඉහෙන් බහින ලෙඩක් නෑ....මම ආවේ උඹව මුණ ගැහෙන්න... පොඩි සම්තින්ග් එකක් ලැබෙන ස්වයං රැකියා ටයිප් එකේ වැඩක් තියනවා, ඒක ගැන උඹත් එක්ක කතා කරලා වැඩේට එන්ටර් වෙන්න පුලුවන්ද අහන්න, පයින් එන්න ගියොත් පරක්කු වෙනවා බං. මොකද පරක්කු වෙන්න වෙන්න වැඩේ ඩවුන් වෙලා දෙල් වෙනවා"

මාසෙට සත පහක ගතමන්ට් එකක් නැතුව ඉන්න එකේ මේක මොකක්ද කියලා බලලා එන්ටර් වුනොත් නරකම නෑ කියල මගේ යටි හිත මොර දෙන්න පටන් ගත්තා.

"හ්ම්...හ්ම්...හරි කියපන්කො මොකක්ද වැඩේ කියලා එහෙනම්....?"

"මෙහෙමයි රයිටර්...වීරේ මාමේ උඹත් අහගනින්..උඹටත් වැදගත් වේවි...අපේ ගමට අලුතෙන් ආව එන්.ජී.ඕ. එකකින් රස්සා දෙනවා. මමත් ඉතින් ඒ පැත්තේ කරක් ගහල බැලුවාම උඹට මට අපිට ඊසි ගතමන්ට් එකක් ගන්න කනා පිනක් සෙට් වුනා..., වැඩි කෙලියක් කරන්න නෑ..උදේ පාන්දර ගියා, නිකන් හම්බෙන කෑම එක කාලා පොත අත්සන් කරලා රුපියල් පන්සීයයි දවල් කෑම පැකට් එක අරගෙන  එවුන් ගිහින් දාන තැනට ගිහින් උන් දෙන බෝඩ් කෑලි, බැනර් උස්සගෙන ගිරිය යටින් කෑගහන්න විතරයි තියෙන්නේ"

ඒක අහපු වීරේ මාමගේ කට දෙකොන දෙකන ගාවට ගියා, මටත් උන් හිටි තැන් අමතක වුණා..වීරේ මාමට සන්තෝසේ දරා ගන්න බැරුව අඩියකුත් පොලවේ ගහලා

"යමන් කොල්ලෝ යමන්, මම එක පයින් කැමතියි...අයිස් ක්‍රීම් විකුණලත් දවසට රුපියල් තුන්සීයක් හම්බෙන්නෙත් කලාතුරකින් බොලන්..උඹල මොකෑ කියන්නේ...උඹල යන්නේ නැත්තම් මට සැට් කොරලා දියන්.."

අන්තිමට කොහොම හරි තුන්දෙනාම වැඩේට එක පයින් කැමති වෙලා යෝජනාව සභා සම්මත කරගත්තා. "අපිටත් දවසක හඳ පායනවා, එදාට අපි මල් පැණියෙන් නානවා" වීරේ මාමා අමාරුව පැත්තක දාලා රවුමක් හෙම කැරකිලා සින්දු කෑල්ලකුත් කිව්වා.

තුන් දෙනාම රම්බාගේ ආරංචිය අහගෙන දරාගන්න බැරි සන්තෝසෙත් එක්ක  එන්.ජී.ඕ ඔෆිසිය පැත්තට ආවා අටපට්ටම වෙච්ච බයිසිකල් රෝදේ වින්කලේට දීගෙන යන්න හිතාගෙන. ඉස්සරහට කරන්න යන රස්සාවෙන් හම්බෙන පඩියෙන් වීරේ මාමගේ බයිසිකලේ හදල දෙන්නත් රම්බා පොරොන්දු වුනා. කොහොම කොහොමෙන් හරි කයිය පිට වින්කලේ ගාවට ඇවිත් ඉස්සරහ රෝදේ වින්කල් බාසුන්නැහේ අතට දුන්නම බකල් ඇරලා දියන් කියලා,  බාස් උන්නැහේගේ ඇස් ටොම්බා සයිස් වුනා.

"අනේ මල්ලියේ මම නම් ඔහොම එකක් හදන්න දන්නේ නෑ අම්මාප...මගේ ජීවිතේට ඔහොම එකක් හදලත් නෑ..ඕකේ බකලේ අරින්න මහන්සි වෙනවට වඩා සැපයි බං ස්පැනර් එකක් අරන් ඔලුවට ගහගෙන ගහගෙන ගිහින් මැරෙන එක.   

    

Tuesday, December 18, 2012

ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)

මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද  යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව  නැත. ඔබ අපහසුතාවට පත්නොකර පැවසිය යුත්ත ඉතාමත් සංක්ෂිප්තව පවසන්නට උත්සාහ කරමි. ඒ සඳහා මුලික අඩිතාලම යොදාගනු පිණිස මෙසේ ආරම්භ කරනු කැමැත්තෙමි. විශේෂයෙන් සඳහන් කල යුතුයි ලබන විසි එක්වෙනි දින හිරු උදාවීමත් සමග ලෝක විනාශය නියත වශයෙන්ම ආරම්භ වෙන අතර, ඒ උදාවීමත් සමග පෘථිවියට හිරු එලිය පතිත වන අවසාන දිනයද එයම වන බව. ඔබ විශ්වාස කලත් නොකලත් මට කියන්න සිද්ධ වන දෙය නම් එදිනට මේ ලෝකය මහා විපර්යාසයකට බඳුන් වෙන බව.  නැවත යථාතත්වයට පත්කල නොහැකි තත්වයට පත්වන පෘථිවිය, විශ්වයේ පාවෙන තවත් අජීවී ග්‍රාහක අතරේ දුවිලි වලාවක් බවට පත්වෙන බව ඔබ අකමැත්තෙන් වුවද පිළිගත යුතුව ඇත. නමුත්  ඔබ සාම්ප්‍රදානුකුලව හිතන ආකාරයට ලෝක විනාශය, ක්ෂණයකින් මහපොලව පැලි, අහසෙන් ග්‍රාහක කඩා වැටි මුහුද ගොඩ ගලා සිදුවන්නක් නොවුනත්, ඒ සියල්ලම සිද්ධ වේවි සැළකියයුතු කෙටි කාලයක් තුල. අවාසනාවකට ඒ සිදුවන විනාශය දෑස් වලින් දැක ගැනීමට හැකි වුවත් ඒ විනාශයේ සාක්ෂිකරුවෙකු වන ඔබට ඔබ දුටු දෑ මිහිපිට වසන ඔබේ අවල්වාසියාට පැවසීමට නොහැකි වන්නේ මන්දැයි කියා විස්තර කිරීමට අවශ්‍ය නොවෙතැයි හැඟේ.   

බොහෝ විට සත්‍යයට මුහුණ දීමේ නොහැකියාව මත හා තවත් බොහෝ දේ හේතුකොටගෙන ඔබ මේ ලිපිය අවසානය තෙක් නොකියවනු ඇත. නමුත් ලිපියේ අවසාන වචනය තෙක් දිවෙන ඒ සත්‍ය කියවා හරි හැටි අවබෝධාත්මකව තේරුම් ගන්නා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.


ලෝක විනාශය නිසැකවම සිදුවන්නක් බව දැන දැනත්, ලෝකය පිළිබද පර්යේෂණ පවත්වන ලෝ ප්‍රකට ආයතන වගකීමෙන් ඒ පිළිබද පැහැදිලි ප්‍රකාශයක් නොකරන්නේ මන්දැයි කියා ඔබට  සිතෙනු ඇත. ඔබේ සිතිවිලි සාධාරණය. නමුත් සිතන්න එවන් විනාශයක් සිදුවන බව කලින් ලෝවැසියන්ට දැන්වුවොත් උද්ගතවිය හැකි ප්‍රශ්නයේ බරපතල බව. පෘථිවියේ එකදු ජීවයක්වත්  උදාවන විසි එක්වනදායින් පසු ශේෂ නොවන බව ස්ථීරවම දන්නා නමුත් එවැනි නිවේදනයක් පූර්ව වශයෙන් නිකුත් කිරීම අනවශ්‍ය වන්නේ මන්දැයි ඔබට සිතා ගැනීමට හැකියාව ඇතැයි උපකල්පනය කරමි. එනමුදු සරලව මෙසේ ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ලෝක විනාශය අනිවාර්යෙන්ම සිදුවන බව ලෝකවාසී ජනයා දැනගතහොත් මිනිසාගේ හැසිරීම කෙබදු වියහැකියි ඔබටත් අපහසුවකින් තොරව වටහාගත හැක. ලබා ගත හැකි සියලු සැප සම්පත් මේ කෙටි දින කිහිපය තුල උපරිමයෙන් විඳීමට උත්සාහ කරනු ඇති. ඒ සඳහා මිනිසා ඕනෑම පහත් ක්‍රියාවක් කිසිදු පැකිලීමකින් තොරව කිරීමට පසුබට නොවනු ඇති..මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගිනිය නොහැකි තරම් පොලිස් පොත් වල සටහන් වනු ඇති. ඊට නොදෙවෙනි සංඛ්‍යාවක් රහසේම අඳුරේ සැඟවී යනු ඇති. වැරදි සඳහා බරපතල ලෙස දඬුවම් විඳීමට දීර්ඝ කාලයක් නොමැති නිසා කිසිදු තැති ගැනීමකින් තොරව මිනිසුන් පළිගතයුත්තන්ගෙන් පලි ගනු ඇත. සිදුවන මිනීමැරුම්ද සියල්ලන්ට නොදවෙනි වනු ඇත.   නගරයක් නගරයක් පාසා රතු රුධිරය වැගිරෙනු ඇත. සියලු ගංගා, සප්ත මහා සාගර රුධිරයේ රක්ත වර්ණයෙන් බබලනු ඇත. ස්වභාවිකව ලොව විනාශ වී යෑම වැළක්විය නොහැකි දෙයක් වුවත්, මරණයේ භීතියෙන් ආශාවල් සපුරා ගැනීම සඳහා සිහි විකල් වූ මිනිසුන්ගේ නින්දිත ක්‍රියා තුලින් ලෝකය විනාශ වීම වැළක්විය හැකිය. එබැවින් ගත යුතු හොඳම හා නිවැරදිම තීරණය එය නොවන්නේද?

මීලඟට ඔබ මගෙන් නගන ප්‍රශ්නය වනුයේ මෙමගින් ආරක්ෂා වීමට උපක්‍රමයක් නොමැතිද විය යුතුය. සත්තකින්ම තිබේ. දියුණු රටවල නායකයින් එමෙන්ම කුප්‍රකට ධනවතුන් දැනටමත් අභ්‍යවකාශ නවාතැන්පළවල් වල තම තමන්ගේ කුටි වෙන්කරගෙන හමාර බව ඔබ විශ්වාස කරනවා නොවන්නට පුළුවනි. ඔවුන්ගේ පැවැත්ම පිළිබද ගැටළු සහගත නමුදු සත්‍යය එයයි. විශාසනීය කටයුතු ආරංචි මාර්ග වලින් දැනගත් තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවෙනුත් කීපදෙනෙක් මෙම කුටි සඳහා කලින් වෙන්කරගැනීමට මුදල් ඇනවුම් බාර දී ඇති බව අප්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනයා සැමදා අත් වින්දේ දුකම පමණය. ලෝක විනාශයේදීවත්  එය වෙනස් නොවන්නේ ඔවුන්ගේ බලවත් වූ  පුරුවේ කරුමය නිසාමදැයි සිතා ගත නොහැක. ධනවාදී සමාජය නියෝජනය කරන්නා,   හෙටත් කෙසේ හෝ සුපුරුදු  පරිදි අභ්‍යවකාශයේ හෝ  යෙහෙන් වැජඹෙනු ඇත. ඔබද මාද ඇතුළු අපේ දුප්පත් අසල්වාසීන්ද මේ ඉරණමට ගොදුරු වනවා දෑසින් දැක ගැනීමට තරම් අප අවාසනාවන්ත වනු ඇත.


දෙසැම්බර් විසිඑක් වන දින එළිවන විට ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල පෘථිවිතලය වෙනදාට වඩා උණුසුමකින් යුක්ත වනු ඇත. කාලය වෙනස් වීම මත සෙසු රට වල මේ තත්වය රාත්‍රියේ උදාවේ. ඔබගේ දැන ගැනීම සඳහා පමණක්  ශ්‍රී ලංකාව පාදක කරගෙන විස්තර කරමි. සියලු ජනයා ගතින් වැගිරෙන දහදිය සමග අලුයම අවදිවෙනු ඇත. වෙනදා දකින මීදුම වෙනුවට පොළොවෙන් නික්මෙන උණුසුම් දුම් වලාවන් ඔබට දැක ගත හැකිවනු ඇත.. එය කෙමෙන් කෙමෙන් උපරිමයට වර්ධනය වන්නට  පැය විසි හතරකට නොඅඩු කාලයක් ගනු ඇත. උපරිමයට ලඟා වූ කල්හි එය බොහෝ මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. ගිනියම් වූ පර්වත රත් පැහැයෙන් නලියනු ඇත. සියලු ගස් හේබා ගොස් පත්‍ර හැකිලී මැලවී යනු ඇත. බොහෝ ගස් ගින්නෙන් දැවෙනු ඇත. සියලු ගංගා ජලාශවල ජලය වාෂ්ප වී ඉහල නගිනු ඇත. දරාගැනීමේ හැකියාව ඇත්තවුන් තවදුරටත් ජීවත් වනු ඇති..සෙස්සන්ට අත්වන ඉරණම කටගාටුදායකය. දිවි ගලවා ගන්නවුන්ද පිලිස්සී ගිය හම නිසා දැඩි ශාරීරික පීඩාවන්ට ගොදුරු වනු ඇත. උපරිමයට පත්වූ උෂ්ණත්වය කෙමෙන් පහවෙන්නට ගනී. කෙමෙන් සිතනවාටත් වඩා ඉක්මනින් පෘථිවි තලය සිසිල් වීමට පටන් ගනී. මෙය සිදු වන්නේ කවර විද්‍යාත්මක කාරණයක් නිසාද යන්න මා හරි හැටි නොදන්නේ මා මේ තොරතුරු ලබාගත් ආකාරයේ වරදක් කියා මා සිතුවද එය එසේ නොවන බව තර්කානුකුලව පැහැදිලි ලෙස කීමට අපොහොසත් වීම ගැන කනගාටු වෙමි.

සිසිල්වන වාතලයද ජීවත්ව සිටින අවාසනාවන්තයින්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.  අධික උණුසුම හා අධික සීතල කෙතුවෙන් පෘථිවි පෘෂ්ටය මත තැන තැන හටගත් පැලීම් සියල්ල තව තවත් විශාල වන්නේ ඒත් සමගම ඇතිවන නොනවතින දිගු භුමිකම්පා රැල්ල සමගයි. වාෂ්ප වී ඉහල ඇදී ජලයට අමතරව ගොඩබිම රැඳී සීමිත සාගර ජලය අධික සීතල නිසා අයිස් බවට පත් වී ඇත. භුමිකම්පාව නිසා අයිස් තට්ටුද කැබලි වී විනාශ වී යයි. බැලු බැල්මට ලෝක විනාශය  විකාර රූපී ස්වභාවයක් ඉසිලුවද සිදුවන විනාශය සුළුපටු නොවේ. භුමිකම්පා එක දිගට බොහෝ වෙලාවක් පැවතීමෙන් එක විට හටගන්නා විශාල පිපුරුමකින් සියල්ල නිමවෙනු ඇති. එතනින් ඔබ්බට යමක් ඔබට පැවසීමට මා අත කිසිදු සටහනක් ඉතිරිව නැත. විනාශයෙන් ගැලවීමට සැලසුමකට යාමටත් පෙර තව දින කිහිපයකින් මේ කුරිරු සත්‍ය ඔබද මාද වෙලාගනු ඇත. ඊට පෙර කවර ආකාරයේ හෝ  පලා යාමක් අවශ්‍යද නැත්ද යන කාරනාව මා ඔබෙන් නොවිමසන්නේ ඔබ බුද්ධිමත් ලෙස තීරණයක් ගනු ඇති බවට විශ්වාස කරමිනි. 
     

කෙටි කතා, රයිටර් ඇතුළු සීමිත වූ අනම් මනම් විකාර බ්ලොග් ලිපි ලෙස ලිය ලියා සිටි මා මෙවන් හෙළිදරව්වක් ඔබ හමුවේ කිරීමට සිදුවෙතැයි  කිසි විටකත් නොසිතුවෙමි. මෙය ඔබගෙන් වසන්කර ඔබත් සමග සත්‍යට මුහුණ දී මියැදෙන්නට මට හැකිය.  නමුත් හිත තුල තෙරපෙන අසීමිත පීඩනය තුලින් නැගෙන්නා වූ  බලය යතුරු පුවරුවේ යතුරු සමග තෙරපීමෙන් සටහන් වන්නා වූ යුනිකෝඩ් ඩ්රාෆ්ට් වී විනාශ වෙන ලෝකය සමග විනාශ වෙන්නට දීම නොකළ යුත්තක් නිසා මෙය ඔබ හමුවේ දිග හැරීමට කල්පනා කලෙමි. මායා වරුන් පවසන දේ සතයක් වන බව දැන් ඔබට වැටහෙනු ඇත. සත්තකින්ම එසේ විය යුතුය.  මේ සියලු කරුණු කාරණා මා සොයා එන්නේ පුදුම සහගත ලෙසය. නොසිතු නොවිරූ ලෙසය.  එනම් පෙරදින රාත්‍රිය  සිහිනයෙන් මා හමුවීමට පැමිණි ඉසිවරයෙක් නින්දේදී මා හිසඅත තබා සියල්ල මා හට අවබෝධ කළේය. ඉතින් ඒ විස්තර ඔබ හමුවේ තබා ඇත්ත යකාට දමා, සියුම් ආතල් එකක් ගැනීමට මටද සිත් විය. ඉතින්  මායාවරු කිසිදු නවීන තාක්ෂණික උපකරණයක් උපයෝගී නොකර පැවසුවේ හුදෙක් ආතල් එකක් ගැනීම සඳහා නොවන බව කාහට විශ්වාස කල හැකිද.?  

Friday, December 14, 2012

"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"

රියලිටි තරඟයේ පලවෙනි තරඟකරු හැටියට ආව තඩි අක්කා ස්ටේජ් එකට බැහැපු කඹේ කඩාගෙන අවාසනාවන්ත විදිහට බිම පත බෑවුනේ අහසෙන් ගිය ඉබ්බාට වැහි නැති හෙන ගැහුවා වගේ. පණ යන්න ඔන්න මෙන්න තියෙද්දී විනිශ්චය මණ්ඩලේ ජාතිය අමතලා වේදිකාව දෙවනත් කරපු හින්දා අනවුන්සර් මල්ලි පොඩි ක්ෂණික ඇඩ් එකකට ගියා. ඒ වුනාට කන් අඩි පැලෙන අප්පුඩි සද්දේ අස්සේ ඒකි කලේ රියල්ම රියල් ඇක්ටින් එකක් කියලා විනිශ්ය මණ්ඩලේ හිටපු තුන්දෙනාගෙන් දෙන්නෙක් බිම හැපී හැපී කිව්ව හින්දා තඩි අක්කව දෙවෙනි වටයට තේරුණා.


කොහොම හරි දෙවෙනියට තරඟ වදින්නේ අපේ ගමේ සකල අභිමානය වෙච්ච චාරුලතා නංගි. අපේ ගමෙන් ගියපු එවුන්, පොට යන්න ඔන්න මෙන්න තියන තම තමන්ගේ ඇස් දල්වාගෙන හුදී ජන පහන් සංවේගයෙන් තොල් විකාගෙන ඇඟිලි කටේ දාගෙන බෝඩ් ලෑලි වන වනා බලාගෙන ඉන්නවා ඒ උත්කර්ෂවත් මාහැඟි අවස්තාව එනකම්.  ඇඩ් එක යන අස්සේ අනවුන්සර් මල්ලි කට්ටියට වෙන්න ඕනේ දේවල් සැරින් සැරේ කියනවා, ඔයා මෙතන ඉන්න ඕනේ, ඔයා රවුමක් කැරකිලා දුවගෙන එන්න ඕනේ, ඔයා ආපු ගමන් එක පාරක් උඩ පනින ඕනේ.. ඉවරයක් නැතුව කියවන ඌ ගැන රම්බගේ ආච්චිට හොඳටම මල, "හත්වලාමේ, මට අර කොලුවාගේ කටට දෙකක් ඇනලා විනාකිරි ටිකක් වක්කරන්න තියනම්, වක්කඩේ ඉන්න ගෙම්බෝ පහරනවා වගේ හැමවෙලේම කියවනවට".   ඔය අස්සේ ටික වෙලාවකට කලින් ප්‍රීතියෙන් උදම් වෙලා හිටපු රම්බා  එතන හිටියේ බඩ යන්ඩ බෙහෙත් බීලා බදුලු කෝච්චියට නැගපු පොරක් වගේ හෙන අසහනයෙන්, මු දත්මිටි කාගෙන එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. බලාගෙන ඉන්න බැරි තැන මම ඇහුවා,


"මොකද බං...,දඟලන්නේ... උඹේ බඩ බුරුල් වෙලාවත්ද....?"

"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"

"අපේ ආච්ච්ගේ හවරිය උන්දෑ මැරෙන්න සතියකට කලින් බොම්බයි මොටයි හදන්න දුන්නා....වා...වා...ගාන්නේ නැතුව හරියට කියකෝ හිවලෝ...?.

"රයිටර්....මට වා...වා...."

 රම්බා කියන්ඩ හදපු එක එහෙම්පිටින්ම ගිලගන්න වුනේ අනවුන්සර් මල්ලි වැඩේ ආයෙම පටන් ගත්ත හින්ද....!


"විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ, හන්දියක් හන්දියක් ගානේ, පඳුරක් පඳුරක් ගානේ, පාලම් උඩ, බෝක්කු යට, නාන තොටේ, වක්කඩේ, ඉබාගාතේ සැරිසැරූ  හිතුවක්කාර ගං සමනලුන්ගේ ගං සමනලියන්ගේ අභිමානවත් මෝල් මංගල්‍යය හෙවත්, පිපෙන්නට තටමන පුංචි මල් කැකුළු තලා පුබුදුවා මෝදු කරවා, මල්වර කරවා, පරාගනය කරවා ජාතියට ජන්මයට පූජා කරන දේශයේ ජනප්‍රියතම රියල් රියලිටි තරඟය සමගයි."

රම්බාගේ ආච්චි දෑත පපුවේ තියාගෙන ස්ටේජ් එක දිහාවට වැඳගෙන ඉන්න අතරේ රියලිටි සභාවේ හිටපු උදවියගේ අත්පොලසන් සද්දයෙන් අපේ කන් අඩි රැව් පිලිරැව් දුන්නා.

"පිළිගන්න මීළඟට වේදිකාවේ  ධක්ෂතාවය ඉධිරිපත් කරන්නේ... සංගීතය තම ආත්මය කොටඝත්, නර්තනය තම අනියම් පෙම කරගත්, මදනකුලප්පුවේ සිට පැමිණි....චා........රුලතාආ...ආ...ආ...." දෙවනත් වෙන්න ඇහුන විසිල් පාරට චාරුලතාගේ පැත්තේ සපොර්ටර්ලගේ හිත් උණු වෙලා.

සහෝදර ප්‍රේමය දෝර ගලන්න වෙලා රම්බාගේ ඇස් වල කඳුළු ලීටර් ගානක් හෝ ගාලා දොට්ට පනින්න ගත්තා, බුරුස් බුරුස් ගාලා දෙපාරක් තුන් පාරක් නහය උඩට ඇද්ද රම්බා දෙකට තුනට නැමිලා කලිසම් සාක්කුවට හොටු ටික හීරුවා. ඊට එහාපැත්තෙ රම්බාගේ අම්මා උන්ගේ ආච්චි බදාගෙන අඬනවා. රම්බාගේ තාත්තා මට මෙහා පැත්තේ ඉඳන් රම්බාගේ නැන්දා බදාගෙන අඬනවා.. රම්බාගේ අම්මා ඒක දිහා බලාගෙන යටි ගිරියෙන් විලාප තිය තිය බලියනවා. 

ස්ක්‍රිප්ට් එකේ හැටියට දැන් තරඟකාරිය වෙච්ච චාරුලතා  ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා කැමරාවට පොඩි ලාමක ටටා පාරක් දාන්න ඕනේ. ඒත් කාලාවරෙන්කෝ අග්ගලා ගෑරුප්පුවෙන් කියන්නැහැ, මේකි අව්වට වේලිලා ඇඹරිච්ච කූඩළු ඇටේ වගේ රුවිතෙට ගිහින් ඉඳගෙන ඉන්න තැනම ඉඳගෙන සතර දිශාවට ඇඹරෙනවා හරියට දෙපාරක් මල්වර වෙලා වගේ...මම බයේ හිටියේ බෝල කුහර සන්ධියක් ඒකිගේ ඉල ඇටේක පැටලිලා හුස්ම හිරවෙලා පණ කෙන්ද යයිවත්ද කියලා.

මිනිහෙක්ගේ හදවත ගැහෙන සද්දේ "ලබ් ඩබ්" වුනාට අපේ පපුව ගැහුනේ "ලබ්ඩ බබ්ඩ, ලබ්ඩ බබ්ඩ" කියලා වගේ කියලයි එවලේ දැනුනේ. ඇයි යකෝ රටට ලෝකෙට ණය වෙලා  රියල් රියලිටි තරුව වෙන්න කියලා ආපු එකී මුරුක්කුවක් වගේ ඇඹරෙද්දී රටේ ලෝකෙට එවුන්ට මුණ දෙන්න බැරුව ඉන්න අපිට ආහාර ජීර්ණ පද්ධතියේ අග කෙලවරට තංගුස් නුලකින් බ්ලැන්කට් මැස්මක් දාගෙන බඩ යන්ඩ ජාපාල ඇට කාලා මැරෙන්න හිතෙනවනෙ මේකි කරන වැඩ වලට. හත්වලාමේ රෑ තිස්සේ ඇහැරගෙන, නිදි මරාගෙන තොරන් සුනිල් අයිය උගේ ඇඟේ පතේ තියාගෙන කරපු ට්‍රේනින් ඔක්කොම ගඟට දාපු ගොම්බෙට්ටක් වගේනෙව.

දැන් අනවුන්සර් මල්ලීගේ රතු කට්ටත් ගැල වෙන සයිස් එකට ඇවිත්. "ඔව්....පිලිගන්න...වේදිකාවේ........."ඔව් පිළිගන්න වේදිකාවේ" කියලා දැන් දහ පාරකට වඩා කියලා".. පිලිගන්න තියා පලිගන්නවත් මේ හුචක්කුව නැගිටලා එන්න එපයි. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද පොර අඩියක් හෙම පොලවේ හප්පලා ආයෙත්


"කිව්වම අහලා පිළිගන්නවා අයිසේ.. වේදිකාවේ..මීළඟට.....චාරුලතා..."


මොන...මේකි හෙල්ලෙනේ නෑ.......................අන්තිමට බැරිම තැනද කොහෙද අනවුන්සර් මල්ලි,


"අනේහ්  මට බෑ....... ඕයි"  ඌ ඇඩෙන නොඇඩෙන සයිස් එකට කට හදාගෙන කිව්වේ මුණ කෝච්චියට අහුවෙච්ච ගොලුබෙලිකට්ට වගේ කරගෙන "


අනේ අපි දැන් කෙටි විරාමෙකට යමු.." කියලා හෙන අහිංසක විදිහට කඳුළු අස්සෙන් කියලා බිමින් ඇන තියාගත්තා ඔලුවේ අත්දෙක ගහගෙන.   
 

මොන ජවුසම දැම්මත්, මොන විදිහකින්වත් ලේසියන් චාරුලතාව පුටුවෙන් හොල්ලන්න බැරි වුනා..අන්තිමට ඇඹරි ඇඹරි හිටපු චාරුලතාව පුටුවෙන් ගලවා ගන්න බැරුව පුටුව පිටින්ම උස්සන් යන්න සිකුරුට්ටෝ දෙන්නෙකුටත් එන්න සිද්ධ වුනා, ඒත් පුටුව ඒකිගේ පස්සෙන් ගලව ගන්න රම්බටයි මටයි ජඩ ගේමක් දෙන්න වුනා. සබකෝලේ ඉස්මුරුත්ත වෙච්ච නිසා ඒකිගේ අක්මාව අක්‍රිය වෙලා,  උණ්ඩුක පුච්චේට රුධිරය සපයන සිහින් ධමනියක් තාවකාලිකව අකර්මන්‍ය වෙලාද  කොහෙද මෙකි පුටුව බදාගෙන ඉඳලා තියෙන්නේ. අනික සූ ගාන විශාල ජනකායක් මැද්දේ ස්ටෙජ්  එකේ ඉන්නකොට හිතට දැනෙන "වේදිකා භීතිකත්වය" චාරුලතාව හතර අතේ වෙලාගෙන ඒකි නැත්තමට නැති කරලා දාලා වගේ එකකට එකක් නොදෙවෙනි තව තව විද්වත් මත ගොඩක් නිකන් තියන මගේ කනට ඇහුනා.


අන්තිමට අපි වන්දනා නඩේ වගේ හිටපු හැත්ත බුරුත්ත ඔක්කොම අකුලාගෙන එන්න හදනකොට ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටරයා දුවගෙන දුවගෙන ඇවිත් අපිට වැඳ වැඳ කිව්වා "අනේ...බුදු මල්ලියේ..කියන තැනකට වඳින්නම්..කියන ගානක් දෙන්නම්..මේ ඉස්සකුඩිච්චිය අරගෙන උඹල ආපු අතක් බලාගෙන මගේ දෑහෙට පේන්න ඉන්නේ නැතුව මෙතනින් තොලොංචි වෙලා පලයන්" කියලා. අන්තිමට ඌ හුල්ලලා හුල්ලලා රම්බා එපාම කියද්දී අතේ කීයක්ද මන්දා මිට මෙලෙව්වා.

එමින් ගමන් රම්බාට වගේම උන්ගේ පවුලේ උදවියට ඇතිවෙච්ච කැළල ගැන ආපු උදවිය හෙන අම්බ කයිවාරු ගහනවා. රම්බාගේ දුරින් නෑයෝ වෙන ආච්චි කෙනෙක් විටක් ඔතන ගමන් සීයට කියනවා මම අහගෙන "පොල්ලට්ටක් පිරෙන්න මුත්තරා කරන්න බැරි ඇච්ච කෙල්ලෝ රටවල් අල්ලන්න ගියාම ඔහොම තමයි, නැද්ද...අපේ මහත්තයා, වියදම් කරපු සල්ලි වලින් හරක් පට්ටියක් දැම්ම නම් ඊට වඩා හොඳයි..... හොග් හොග් හොග්"

ඒ කතාවටනම් මටත් තද වුණා...රම්බට අසූ හාරදාස් ගානට තද වුනා වගේ මම දැක්කා.. මල විදපු පාරට රම්බා බස් එකේ සීට් එක හපාගෙන හපාගෙන ගියා අවසිහියෙන් වගේ.  

ඇයි යකෝ හරක් පට්ටි දැමීම කෙසේ වෙතත් පොල්කට්ටක් පිරෙන්න මුත්තරා කරලා රට අල්ලනයෑ, ගිනස් වාර්තා තියන්නයෑ..මෙව්වා කාට කියනන්නද...

ගෙවල් ගාවින් බැස්සට එකෙක් හ්ම් නෑ...ලෝක විනාසේ වෙන්න තප්පරයයි වගේ හැම එකාගෙම මුනේ හෙන මළගෙවල් මූඩ් එකක්.
රම්බාගේ තාත්තා කල්පනා කර කර ඉඳලා හෙන බැරෑරුම් පාර්ට් එකක් මුනට අරන් චාරු ලතා ගාවට ඇවිත් ඇහුවා


"මගේ චුටි මණික...ඇයි මයේ අම්ම බය වෙලා වගේ හිටියේ...කියන්න මයේ අම්මා...ඇයි උඹ අපිව නැති කරේ කියපන් කෙල්ලේ"


චාරුලතා, තාත්තගේ බෙල්ල බදාගෙන හු කියා කියා බලියන්න ගත්තේ නැතැයි.


"අනෙහ් තාත්තේ.... එවලේ මම සෑහෙන පීඩනයෙන් හිටියේ.... මං දිහා බලාගෙන උන්නු අයියලා ඔක්කොම මට  චියර් එක දීලා කෑ ගහනකොට මම කීරි ගැහුනා තාත්තේ..කීරි ගැහුනා.."



Tuesday, December 4, 2012

සෙලෝලොයිඩ්

තිලකරත්න එදින කෙටි නිවාඩුවක් දමා වේලාසන නිවසට ඒමට තීරණය කලේ උවමනාවකටම නොවුනත් මාසික කෙටි නිවාඩුවක් ඉතිරිවී තිබුන හෙයින් ඒවා නොගැනීමෙන් මාසික වේතනයට සිදුවෙන විශේෂ සෙතක්ද නොමැති  නිසාවෙනි. සුපුරුදු පරිදි දක්නට ලැබෙන කාර්යබහුලත්වයෙන් තොර පදික වේදිකාව දිගේ ඇවිද ගිය ඔහු සිනමා ශාලාව අසල මදක් නැවතී උනන්දුවෙන් බැලුවේ විශාල දැන්වීම් පුවරුව දෙසය. ඒ මේ දිනවල තිරගත වන සිනමාපටය කුමක්ද යනවග දැනගනු පිණිසය. යොවුන් වියේදී මේ සිනමා ශාලාව තුල තිරගත වූ සෑම චිත්‍රපටියක්ම පාහේ නැරඹු ප්‍රේක්ෂකයින් අතර තිලකරත්නද සිටිබවට සාක්ෂි දරන්නේ ඔහුත් ඔහුගේ සමකාලීනයිනුත් පමණක් විය හැකිය.

පාසලෙන් කට්ටි පැන තම මිතුරන් සමග බයිස්කෝප් බැලීමට ගොස් ගෙදරට හසුවී දඬුවම්ද විඳ ඇති නමුදු ඔහුව මෙල්ල කිරීමට දඬුවම් තරවටු වලට නොහැකි විය. 70 දශකයේ මුල්භාගය වන විට ඔහුට චිත්‍රපට උන්මාදය තදින්ම වැළඳී තිබිණ. ඔහු සිනමා චරිත අනුකරණය කළේය, නළුවන් ලෙස වචන උච්චාරණය කළේය, කොටින්ම ඔහු ජීවිතය සිනමාවක් සේ සැලකුවේය. සිනමා ශාලාව තුල චිත්‍රපටිය තිරගත වන විට හාත්පස අඩ අඳුරට ඔහු තඳින් පෙම් බැන්දේය. ඔහු ඒ අඳුරේ, සෙලොයිඩ් පටය වෙතින් නික්මෙන ආලෝකය වෙත නෙත් අයා සිටියේ තත්පරයකුදු හෝ අවධානය වෙනතකට යොමුවීම වලක්වමිනි.  ප්‍රේක්ෂකයෙක් සිනමාපටය වෙත සෘජුවම සජීවීව සම්බන්ධ කරන විශ්මයජනක හැකියාවක් ඒ අඳුරට ඇති බව ඔහු විශ්වාස කලේ අත්දැකීමෙනි.  

කාර්යාලයට ගොස් එන විට බොහෝ දින වල සිනමා ශාලාවේ  දැන්වීම් පුවරුව මත සටහන් වූ දැන්වීම් දුටු ඔහු පස්චාත්තාප වුයේ හුදෙක් විශිෂ්ට ඝනයේ සිනමා පටයක් රසවිඳීමට නොහැකි වූ නිසාම නොව,  ස්වදේශික නිර්මාණකරුවා වැටී ඇති ගැඹුරු හෙල සිහියට නැගීමෙනි. නමුදු මෙවර එහි සටහන් වූ දැන්වීම නෙත ගැටෙත්ම ඔහු පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නමුදු එනිසාවෙන් හටගත් මන්දස්මිතය මුව මත නොරැඳී සැනින් අතුරුදන් වුයේ එහි පහතින් සඳහන් වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකීමෙනි.  "චඃ අපරාදේ" යන්න මුවින් පිටවී ගිය නමුදු  එය නැරඹීමට ඔහුට ආශාවක් ඇතිවිය. මන්ද දෙස් විදෙස් සම්මාන ජයග්‍රහණය කරන ලද විශිෂ්ට ඝනයේ සම්භාව්‍ය සිනමාපටයක් ලෙස එහි ඉහලින් සටහන් වූ වැකිය ඒ බව ඔහුව ඒ කෙරේ අදෘශ්‍යමානව නැඹුරු කරන්නට  වූ නිසාවෙනි. එහෙත් සිනමා පටය නරඹනවාද නැද්ද යන්න ගන්නා  තීරණය  සිත තුල හටගත් උභය සිතිවිලි මත ඔබ මොබ දෝලනය වූයේ ඔහු ස්ථීරවම තීරණයකට නොඑළඹුනු නිසා විය යුතුය. සැලකිය යුතු සතුටකින්ද දුකකින්ද තොර වූ හදවතට තීරණයක් ගැනීමට ඇරයුම් කරමින් ඔහු නිවස දෙසට පය ඉක්මන් කලේ වියවුල් හදවතිනි. 

මැදිවිය ඉක්මවා ගිය ජීවිතයේ සැන්දෑ සමයේ මුල් කාර්තුවට පිවිස සිටින තිලකරත්න ගතින් තරමක් දුබලව සිටියද ගතිපැවතුම්, සිතුම් පැතුම් අතින් තවමත් ගැටවරයෙක්  සේ තරුණ බව තම බිරිඳද කාර්යාලයේ උදවියද  නිතර නිතර පවසන්නේ හුදෙක් විහිළුවක් කර සිනාසීම සඳහා පමණක් නොවන බවද එහි යම් සත්‍යතාවක් ඇති නිසා බවද ඔහු දනී. මිතුරන්, අසල්වාසීන්  සමග සංවාදයේ යෙදෙන විට ඔහුගේ මුවින් පිටවෙන වචන අදහස් හා තර්ක බොහෝ විට ගැටවරවියේ ඉලන්දාරියෙකුගේ සිතුවිලි වලට සමාන විය.

 "තිලකේ මං වයසට ගියත් ඔයානම් වයසට යන්නේ නෑ", වරෙක එසේ පවසනේ බිරිඳය.  "තිලකරත්න වයසට ගියාට තාමත් කොල්ලා වගේනේ හිතන්නේ", "තිලකරත්න අයිය නම් කවදාවත් වයසට යන්නේ නෑ" "තිලකේ කියහන්කෝ බං උඹ ඔය හිතන විදිහට හිතන්නේ කොහොමද කියලා" ඔහු හා කතාබස් කරන බොහෝ දෙනෙක්ගේ මුවින් මෙවන් වදන් පිට නොවන්නේ කලාතුරකින්ය. එවිට ඔහු පිළිතුරු දෙන්නේ "උඹලත් ඒ කාලේ ආව පිච්චර් හැම එකක්ම වරද්දන්නෙ නැතුව බැලුව නම් උඹලටත් එහෙම ඉන්න තිබ්බා" කියමින් සිනාසෙමිනි. ගැටවර වියේ චිත්‍රපට කිසිදු තෝරා ගැනීමකින් තොරව නැරඹුවද, අදහස් අතින්, වයස අතින් ඔහු කෙමෙන් පරිණත වෙද්දී ඒ ලැයිස්තුවට එක්‌ වුයේ තෝරාගත් නිර්මාණ කීපයක් පමණි. ඒ තෝරා ගන්නා නිර්මාණ පිළිබද ඔහු සෑම විටම උදම් ඇනුවේය..  බොහෝවිට කා සමග හෝ පිළිසඳරක යෙදෙන විට සිනමාව ගැන කියවීමට ඔහු විශේෂ කැමැත්තක් දැක්වීය. ගීතයකට සවන් දී එය කුමන චිත්‍රපටයේද, ගායනා කරන්නේ කවුරුන්ද මෙන්ම තිරගත වූ වසරද කටපාඩමින් කිවහැකි අපුරු හැකියාවක්ද ඔහු සතුව තිබිණි.

කෙටි නිවාඩු දමා කල්වේලා ඇතිව නිවසට පැමිණි ඔහු ඉස්තෝප්පුවට පැමිණ හාන්සිපුටුවට වී කහට කෝප්පයක් තොලගාමින් චිත්‍රපටිය නැරඹීම සඳහා යම්දෝ, නොයම්දෝයි කියා සිතිවිලි සමග නිදහසේ තර්ක කරන්නට විය. වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත වර්තමාන සිනමාපට පිළිබඳව ඔහු තුල ඇති ආකල්පය එතරම් යහපත් එකක් නොවීය. ඔහු හා තර්ක කරන බොහෝ දෙනෙක් සමගද ඔහු තර්ක පිට තර්ක ගෙනෙමින් ඔප්පු කරන්නේද ඒ බවය. ඔහුට අනුව වර්තමාන සිනමාවේ පෙන්වන නිරුවත හෝ අඩනිරුවත හුදෙක් චිත්‍රපටයේ රසය ඉස්මතු කිරීම සඳහා නොව වාණිජ අරමුණු උදෙසා කරන ලද මවාපෑමක්ය. එවන් චිත්‍රපට නරඹන්නන් ලෙස ඔහු හඳුන්වන්නේ හුදෙක් සිනමාවක ඇති රසාස්වාදය උපරිමයෙන් විඳීම සඳහා නොව එමගින් හිත් වලට කාවද්දන කුණු රසය විඳගැනීමට බලාගෙන සිටින  සංවේදනයෙන් තොර නූගත් පිරිසක් ලෙසටය. බොහෝ කාලයකින් හොඳ චිත්‍රපටියක් නැරඹු දිනක්ද  ඔහුට හරිහැටි සිහියට නගා ගත නොහැකි විය. එහෙතුවෙන් එවන් සිතිවිලි විසින් තෙරපන ලද ආශාව ඔහුට උක්ත චිත්‍රපටිය නැරඹීමට කෙතරම් බල කලද තවමත් හරි හැටි ස්ථීර තීරණයක් ගෙන නැති බවක් ඔහු කෙරෙන් දිස් විය.

චිත්‍රපටිය නැරඹීමට යනවා නම් තම බිරිඳ සමග යාහැකිය. එවිට එය නැරඹීමට තනිව යෑමෙන් උද්ගතවිය හැකි දරුණුම ප්‍රශ්න වලින් එකකින් සම්පුර්ණයෙන්ම නිදහස් විය හැකිය. නමුත් තම බිරිඳ සමග සිනමා ශාලාව තුල සිටිය වග දන්නා හඳුනන කවුරුන් හෝ දුටුවහොත්  තමාගේ ප්‍රතිරූපයට සිදුවෙන හානිය ගැන ඔහු කල්පනා කළේය. මිතුරන් ඉදිරියේ, අසල්වාසීන් ඉදිරියේ වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත චිත්‍රපටියක් නිසා  තමන් හෑල්ලුවට ලක්වී  බොරු කයිවාරු ගහන පුරාජේරුකාරයෙන් වෙන ආකාරය ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. පිරිසට මුහුණ දීමට නොහැකිව අපහසුතාවයට පත්වන විට ඔවුනට පැවසීමට නිදහසට කාරණයක් ඔහු කල්පනා කළේය. "මගේ චොයිස් එක ඔය කවුරුත් දන්නවනේ, අද මම මේක බලන්න ආවේ ජාත්‍යන්තර සම්මාන අරන් තිබුන කියලා තිබුන හින්දා"... "චෑ චෑ චෑ ඒක හරියන්නේ නෑ."  ඔහු එය නොගැලපෙන බව සිතුවේ මීට පෙරත් ජාත්‍යන්තර සම්මාන ලද වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත චිත්‍රපටි තමාගේ ලැයිස්තුවෙන් බැහැරවී ඇති නිසාය.


"තිලකේ....! ආව ගමන් ඉඳලා මොකෝ කල්පනාව..මං බලාගෙන සෑහෙන වෙලාවක ඉඳන්.......ෂෝට් ලීව් එකකුත් අරගෙන ආවේ මොකුත් අසනීපයක්වත්ද ?"


"ම්ම්හ්.... නෑ... සුමනා...එහැටි දෙයක් නෙමෙයි, මගේ ඔලුව කකියන්න ගත්තා, ඒකයි ටිකක් වේලපහින් ආවේ...."  තමන් කෙටි නිවාඩුවක් දමා කලින් ගෙදර ඒමට ගත්  තීරණය පිලිඹද සිත යටින් සතුටු වෙමින් ඔහු මුසාවක් ඇදබෑවේ, එවලේ තමන් සිතමින් සිටි කාරණය තවදුරටත් සඟවා ගනිමිනි. 


පසුදින කාර්යාලයට පැමිණි ඔහු සුපුරුදු පරිදි වැඩ රාජකාරීවල යෙදීමෙන් සිටින අතර තම මේසය අසලින් ගමන් ගත් කාර්යාල කාර්ය සහායකවන රත්නපාල ඔහු හා කතාවට වැටිණ.

"ගුඩ් මොර්නින්ග් තිලකරත්න මහත්තයා"

" ආ.... ගුඩ් මොර්නින්ග් රත්නේ"

"තිලකරත්න මහත්තයා නම් යන්නේ නෑ නෙව අලුත් ෆිල්ම් බලන්න...මහත්තයගේ චොයිස් එක ඒක නෙවෙයි නෙව"

රත්නපාල උපහාසාත්මකව ඔහු දෙස බලා සිනාසුනේ තමන් අපහසුතාවට ලක්කිරීමට බැව් තිලකරත්නට වරදවා තේරම් ගත්තද එබවක් පිටතින් නොපෙන්වීය.

"රත්නපාල දන්නවනේ මගේ චොයිස් එක...!" ඔහු බැරෑරුම් ස්වරයෙන් කීවේය.

"එහෙනං එහෙනං මොකෝ මං  නොදන්නේ.....අපි නම් ඔන්න ලබන සෙනසුරාදා ඔක්කොම අර අලුතෙන් ආව ෆිල්ම් එක බලන්න යන්න දාගෙන තියෙන්නේ"

"මොන ෆිල්ම් එකද ?...ඔක්කොම කිව්වේ..පවුලේ උදවියද...?" තිලකරත්න  කිසිවක් නොදත්තකු සේ තතු විමසුවේය.

"අපෝ නෑ පොඩි එවුන් එක්ක ගිහින් බලන්න පුලුවනෑ ඒක...මං කිව්වේ මේ කන්තෝරුවේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අය ගැන"

"අඃ...එහෙමද....?...කවද්ද යනවයි කිවේ" තිලකරත්න එය අවධාරණය කොට ඇසුවේ එය ඔහුට තීරණයක් ගැනීමට කදිම අවස්තාවක් නිසා විය යුතුය.

"ලබන සෙනසුරාදා"

"හ්ම් හ්ම්...හොඳා හොඳා....!!" තිලකරත්න නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේය.

සවස කන්තෝරු වැඩ රාජකාරී අවසන්වී නිවස කරා එද්දීද ඔහු කල්පනා කලේ ඒ චිත්‍රපටිය නැරඹීමට යොදන සැලසුම පිලිබඳවය. "එක්කෝ කවුරු දැක්කම මොකෝ...මං ගන්නේ මට ඕන තීරණ..ඔන්න ඔහේ මම යනවා.." ....."ඒත් කන්තෝරුවේ උදවිය, අහල පහල උදවිය මූණට හම්බෙච්ච වෙලාවක මං එහෙ ඉන්නවා දැකල මොනවා නොකියා ඉඳීවිද..කටින් නොකීවත් මොනවා නොහිතාවිද "සුමනා වුනත් මොනවා නොකියාවිද, එයැයිත් මං මහ වචන දෙකේ මනුස්සයෙක් කියලා හිතන්න බැරි නෑ."  ඒ වනවිට වැහි කළුවෙන් බරවී තිබුණු අපැහැදිලි අහසත් ඔහුගේ චිත්ත සන්තානයත් අතර දැඩි වෙනසක් නොතිබෙන්නට ඇත. කඩා හැලෙන්නට මාන බලන වැහි කළුව උඩු සුළඟත් සමග තනිව උණුසුම් සටනකය. තිලකරත්නත් එසේම තම සන්තානගත සිතුවිලි සමග තනිව පොරබදන්නට විය.  


අවසානයේදී මේ සිකුරාදා අසනීප නිවාඩුවක් දමා බිරිඳ සමග හවස චිත්‍රපටිය නැරඹීමට ඔහු ස්ථීර  තීරණයක් ගත්තේය. ඒ කාර්යාලයේ සියලු දෙනා සෙනසුරාදා චිත්‍රපටිය නැරඹීමට යන නිසාවෙන් ඊට පෙර දිනක කිසිවෙක් එය නැරඹීමට නොඑන බව අනුමාන කරමිනි. "ඔව් සිකුරාදා හොඳම දවස, එදාට කන්තෝරුවේ කවුරුවත් චිත්‍රපටිය බලන්න එන එකක් නෑ, කලින් දවසේ අසනීපයි කියලා කෝල් එකක් දීලා ගෙදර ඉඳලා හවස් වෙලා සුමනත් එක්ක යනවා චිත්‍රපටිය බලන්න.".."ඒත් අහල පහල උදවිය ආවොත් තමයි ප්‍රශ්නේ", "නෑ.. නෑ අද කාලේ හැටියට ඔලුව උස්සන්න බැරිකොට අහල පහල අයත් ඒවි කියලා හිතන්න අමාරුයි....", "මොනවා වුනත් තව ටිකක් බලමුකෝ ගෙදර ගිහිනුත් හොඳට කල්පනාකරලා." ....."තවම සුමනාට කීවෙත් නෑනේ".. පදික වේදිකාවේ තට්ටුවක විකිණීමට තබා තිබුණු කව් බෝයි තොප්පිය ඔහු මිලට ගත්තේ අතේ මුදල් ගැවසුණු නිසාවත්, ඔහුට එයට හිත ගිය නිසාවත් නොවන බැව් නම් පැහැදිලිය. මන්ද වෙළෙන්දා නියම කල මිල අඩු කිරීමට පින්සෙන්ඩු වීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. එනමුදු ඔහු මෙවර ඒ තොප්පිය මිලදී ගත්තේ කිසිම විමසීමකින් තොරව නොපැකිලිවය. ඒ අනුව පිටතින් ඔහු දෙස බලන කල ඔහුගේ සිතේ කිසියම් දෙවන සැලසුමක් ක්‍රියාත්මක වන සෙයක් ඇත.

නිවසට පැමිණි ඔහු තරමක් කලබලකාරී ස්වරුපයෙන් නිවස ඔබ මොබ සක්මන් කරන්නට විය.  ගතින් වැඩිහිටියෙක් වුවද සිතුම් පැතුම් අතින් ගැටවරයෙක් කියා ස්ව හැඳින්වීමක් කර ගන්නා ඔහුම, මේ කාරණය තුල යම් පසුගාමීත්වයක් අත්කර ගැනීම පිලිබඳ ඔහුටද විමතියකි. ඒ පිළිබද තව දුරටත් සිතීමද වෙහෙසකාරී විය.


"සුමනා..අපිට ගොඩ කාලෙකින් චිත්‍රපටියක්වත් බලන්නවත් යන්න බැරි වුනා නේද...?"


"හ්ම්....බලන්න යන්න හොඳ චිත්‍රපටි දැන් එන්නේ නෑනේ" සුමනා පැවසුවේ උපහාසාත්මකව සරදමක් ලෙසය. එයින් පෑරුණු සිත් ඇතිව තිලකරත්න අපහසුතාවට පත්විය.


"ඔ....ව්...ඔව්..ඒක නම් ඇත්ත.. ඒවුනාට .මං මේ කල්පනා කලේ මේ සිකුරාදා ගෙදර නැවතිලා ඉහල ඉඩම සුද්ද කරලා දාල හවස් වරුවේ ඔයත් එක්ක චිත්‍රපටියක් බලන්න යන්න"

"හදිස්සියේම....?"


"නෑ එහෙමට හදිස්සියක් නෑ..ඉහල ඉඩමත් කැලෑවනේ හරියට,... තවත් නොසලකා හිටියොත් කැලෑව ඉහටත් උඩින් වැවෙයි."


බිරිඳගේ තදබල අකමැත්තක් නොමැතිබව පෙනුන නිසා ඔහු ප්‍රීතියෙන් පිනා ගියේය.

----

 උදා වූ සිකුරාදා දින උදෑසන කාර්යාලයට ඇමතුමක් දී සැලැස්ම අකුරටම ක්‍රියාවට නැංවීය. හවස් වරුවේ  චිත්‍රපටිය බැලීමට යාම සඳහා ඔහු ලකලැස්ති විය.


"මොකද මේ කවදාවත් නැතුව තොප්පියක් දාගෙන තිලකේ, අනික පට්ටි කාරයෝ දාන තොප්පියක්....ඔය ඇඳුමට ගැලපෙන්නෙත් නැතුව ?


"ආහ්.... නැ... නැ විශේෂයක් නෑ..මේ දවස් ටිකේ හවස පින්න වැඩි නිසා පරිස්සම් වෙන එක හොඳයි, සෙම හැදුනොත් හරි අමාරුයිනෙව.... ඇඳුමට ගැලපෙන්න ඕනේ නෑ..පරෙස්සමනේ වටින්නේ..අනික ඔයා දන්නවද දැන් මේක අවුට් ඔෆ් පැෂන් වුනාට මේක ඒකාලේ ජනප්‍රිය විලාසිතාවක්." අතීතය ආවර්ජනය කරමින්ද ඔහු සැරසුනේ ඒ බව සාධාරණීයකරණය කරන්නටය.


පුරා හෝරා කීපයක් දැහැනකට සමවැදුනාක් මෙන් චිත්‍රපටිය නැරඹු ඔහුගේ මුහුණේ යම් තෘප්තිමත් බවක් පෙනෙන්නට තිබුණි. යොවුන් වියේ විඳි අත්දැකීම නැවත වරක් මුහුකුරා ගිය අවධියක සිට ඔහු නැවත හදවතින් වින්දේය. සිතු පරිදි එල්ල විය හැකි කරදර නොපැමිණීම පිලිබඳ ඔහු සතුටු විය. චිත්‍රපටි ශාලාවෙන් එලියට එද්දී ඔහු බිරිඳට සමග කතාවට වැටුනේ වටපිට බලමින් දන්නා හඳුනන කිසිවෙක් හමුවේදෝයි සැලකිල්ලෙන් බලමිනි .

"කාලේ හැටියට හොඳ නිර්මාණයක්, කලාතුරකින් බිහිවෙච්ච විශිෂ්ට නිර්මාණයක්, මං හිතන්නේ මිනිහට තව දුර ගමනක් යන්න පුළුවන් වෙයි".

"අනේ මන්දා ඉතින් මටනම් ඔව්ව තේරෙන්නේ නෑ, ඉස්සර බලපුවයෙයි මේකෙයි එහැටි වෙනසක් නම් නෑ" බිරිඳගේ රසවින්දනය ගැන ඔහු කම්පා වුනත් ඉක්මනින් පියගැට පෙළ බැස්සේ කිසිවෙකු දැකීමට පෙර නිවසට ඒමේ අභිලාෂයෙනි.


"හලෝ.......තිලකරත්න මහත්තයා, නෝනත් එක්ක ෆිල්ම් එක බලන්න ඇවිල්ල වගෙයි, තිලකරත්න මහත්තයට අසනීපයි කිව්ව හින්දා කන්තෝරුවේ කට්ටිය තීරණය කළා සෙනසුරාද ගමන කැන්සල් කරලා අද ෆිල්ම් එක බලලා හෙට තිලකරත්න මහත්තයාගේ අසනීප තත්වය බලන්න එහෙ ගෙදර එන්න"

ඒ අවට විසිරී සිටි කාර්යාලයේ උදවිය සියලු දෙනාම තමා අසලට පැමිණ  තමා දෙස උපහාසාත්මකව බලා සිටිනු දැකීමෙන් ඔහු මහත් අපහසුතාවට පත්විය. දෙකන් පෙති රත්වී අවට ශබ්දය මුනුමුනුවක් බවට පත්වෙද්දී ඔහු බිරිඳගේ අත තදින් මිරිකා ගත්තේය.


"තිලකරත්න මහත්තයට එච්චර අමාරුවක් නැති පාටයි" රත්නපාලගේ උපහාසාත්මක ස්වරය ඈතට පියමන් කරද්දීත් ඔහුට ඇහුනේ දෙසවන් බිහිරි කරන ඝෝෂාවකිනි.

නිමි.