Tuesday, August 28, 2012

රයිටර් කසාද බැඳී වගනම්...!

හම්බෝ කාලය යන ඉක්මන. හරියට ඔරලෝසුවේ පැයකට්ට පස්සෙන් තප්පර කට්ට මරන්න පන්නනවා වගෙයි....මේ බලලා මේ බලනකොට සතියක් ගිහින් ඉවරයි. උඩ බලලා බිම බලනකොට මාසයක් ගිහින් ඉවරයි. ඒත් දෙවියනේ කවුද හිතුවේ මේ දවස මෙච්චර ඉක්මනට මගේ ඇස්පනා පිටට ඒවි කියලා. කිරිම කිරි හුරතල් යෞවනත්වයෙන් ඔද්දල් වෙලා හිටපු මට, ඇලේ දොලේ පීන පීන නාලා, රබර් වත්තේ කොල්ලෝ එක්ක  ගස්මාරු, ගල්හත, මල් පහ, හැන්ගිමුත්තු, ඔට්ටු දාල, හීනියට කවියක්, කතාවක්, ලියුමක්, බ්ලොගක් ලියාගෙන සෆාන් එකේ උන්නු රයිටර්ට කසාද බඳින්න වයස ඒවි කියල. කසාද ජීවිතේ දරන්න තියන වගකීම් ගැන හිතෙනකොටම පපුවේ වම්පැත්තෙ ඉල ඇට කුඩුවේ  තුන්වෙනි පුරුක යටින් කැක්කුමක් එනවා... පුදුම වේදනාවක් කියන්නේ ඒක මුළු පංචස්කන්ධ සර්වාංගෙම කරකුට්ටන් වෙලා යන වේදනාවක්. පෝරුවට නගින්න කලින් මෙහෙමනම් පෝරුවට නැගලා දවස් හතරකින් පහකින් කොහොම දැනෙයිද කියල හිතෙනකොට ක්ලාන්ත වේගෙන එනවා.  මොකා කසාදෙ ගැන පඬි වදන් තෙපලුවත්, ගින්දර කොච්චර රස්නේ වුනත් ලපටි හිත් තියන අපි වගේ එවුන් ගින්දරට පනින්නමයි හිත. පැනලා පිච්චි පිච්චි ඉන්නමයි හිත. අනේ මෙහෙම ආසාවක්....! අනේ මෙහෙම.........!
 
 
සීවරන් දෙයියනේ මං කාලයක් ගස් උඩ, ගල් උඩ, ඇඳ උඩ,  දැකපු  හීනේ අද එළිවෙනවා...මගේ දකුණුපැත්තෙන් ඉන්නේ...ඔව්..මගේ ඇඟේ ගෑවී නොගෑවී ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ මාල හතක් දාල, අයිස් ක්‍රීම් පාට  සාරියක් ඇඳලා දිලිසි දිලිසි හිටියේ වෙන කවුරුත් නෙමෙයි.....දිල්රුක්ෂි. ඔව් මගේ පණ.... බඩට නොකා, ඇඟට නොඇඳ ඉතුරු කරපු සල්ලි වලින් ෆෝන් එකට රීලෝඩ් දාල වරු ගණන් මල් කඩ කඩ උන්නු දිලූ. මගේ හිත පිරිලා ගියා.   කවදාවත් නොදැකපු නෑදෑයෝ පවා  බුරුතු පිටින් අපේ ගෙදෙට්ට ඇවිල්ලා නානා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් සළු පිලි පටලාගෙන. සමහරු මලකඩ  කාච්ච සැමන් ටින් පේන්ට් කරලා වගේ, සමහරු ලබු ගෙඩියට ඉරටු දෙකක් ගහලා වගේ. ඒ වුනාට  බලන්ඩ එපැයේ අපේ ආච්චිගේ ලස්සන........ ෂාහ්.......සීයා නොහිටියානම් ඇස්දෙක පියාන මනමාලයෙක් හොයාල බන්දල දෙන්න තිබුනා කැත නැතුව...
 
 
"හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා. ජයමංගල ගීත කියන කෙල්ලන්ගේ සද්දේ ඇහුනට ඒ දැරිවියෝ ටිකනම් පේන්ඩ උන්නේ නෑ. මං වට පිට බලද්දී...ඈත ඉඳන් රම්බා ජැන්ඩියට ඇඳගෙන මට අත වනනවා දැක්ක. උගේ අතේ රිමෝට් එකක් තිබුනා. එකත් එකටම ඔය ඇහෙන්නේ ජයමංගල ගාථ වල රෙකෝඩ් එක. හෙහ් හෙහ් හේ.
මොඩර්න් කල්චර්....රම්බාගේ වෙඩින් ප්ලෑන් තමයි......මමත් රම්බාට තම්බ්ස් අප් කරලා දිලුව අල්ලාගෙන පෝරුවට නගින්න හදනකොටම "මම එක..අ..අ ..අ..!" කියල මාව පෙරලගෙන දිලූ පෝරුවට නැග්ගා. මට මතක් වුනේ කියවන්න කලින් බ්ලොග් වලට කමෙන්ට් දාන පුංචි ළමා ලපටියන්ගේ සිඟිති වැඩ. මට මනමාල හිනාවක් හියා. කමෙන්ට් දාන අයටනම් රයිටර්  තෑගී විදිහට ඊළඟ පොස්ට් එක දෙන එකත් මතක් වුනා. දිලූටනම් තෑගී වෙනුවට පොස්ට් මොකටද තෑගී අද රෑ.......(ටීක්).... .(නිලධාරී බලධාරී  විසින් කපා හරින ලදී) ................ කියල හිතාගෙන මමත් පෝරුවට නැග්ගේ මංගල සභාව දිහා බලාගෙනමයි.. හනේ......දිලුගේ කොමලේ, ලජ්ජාවෙන් ඇඹරෙනවා.. ප...ව්ව්ව්....ලස්සනේ බෑ... මම ඇහැක් වහල ඉඟි කළා.. එතකොටම මේකි අත මිටමොලොලා මට ගහන්න වගේ උලුක් කළා ඇස් වල ආදරනීය තරවටුවක් වගේ එකක් පුරෝගෙන "මලකොලන්" කියන්නැහැ .   ඕක බලාගෙන උන්නු මගේ වම්පැත්තෙ බිමින් හිටපු ලොකුමාමා මට රහසක් කියන්න තියනවා වගේ කතා කළා. මමත් පෝරුවේ ඉඳන්ම දෙකට නැමීගෙනම මාමට කන ලංකලා.
 
 
"යකෝ මදන යකා ඔලුවට ගහලද.. ඕක උඩ දඟලන්නේ කුලප්පුව හැදිලා වගේ. ඊයේ රෑ එලි වෙනකම් දඟලලා දඟලල අටවගත්තු පෝරුව...මගෙනම් උඹල දෙන්න ඕකට ගොඩවෙනකම්වත් විශ්වාසයක් තිබුනේ නෑ..යන්තම් ඉතුරු ටිකත් කරනකම් තැන්පත්ව ඉඳපන්"
 
 

"ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව" දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා..මම දිලූ දිහා බලලා ලොක්කා වගේ සාකුවේ තිබ්බ මුද්ද අරන් මුද්ද උඩ දැම්මේ උරුවමකුත් බාගෙන වැඩකරු  වගේ මුද්ද ආයේ අල්ලගන්න හිතාන. "නෙදකින්" කොහෙවත් හිටපු පොටෝ ගහන එකා මගේ ඇක්ෂන් එක කාච ගත කරන්න  තඩි කැමරාවේ ඇස් කනකරන ෆ්ලෑෂ් එක ඇල්ලුවා. එපා කියන්නයෑ ඉතින්..... බරගානක් දීල ගෙන්නගත්තු එකානේ.. දේදුන්නේවත් නැති පාට වලින් කන වෙලා ගිය මගේ ඇස් දෙක නිලම නිල් පාටින් නිලංකාර වුනා. එතකොටම "ටින්" ගාල මුද්ද බිම වැටිලා බිම දිගේ රෝල් වෙන සද්දේ ඇහුනා. මම දනිපනි ගාගෙන බඩ ගාගෙන පෝරුවෙන් පැනල මුද්ද පෙරලෙන සද්දේ ඇහෙන දිහාවට දනගානෙන ගියා.
 
 
 
"ආ දරුවනේ දැන් මනමාල මහත්තයා මනමාලිට වස්තර දෙන චාරිත්රේ" ඈහ්..යකෝ මම මේ බිම බඩගාගෙන මුද්ද හොයනවා. දිලුගේ මාමා රෙද්දක් ගැන කතා කරනවා, මම ඔලුව උසල බැලුවේ කවුද යකෝ රම්බාවත් පෝරුවට නැගල මං වෙනුවට චාරිත්‍ර ඉෂ්ට කරනවද  කියලා හිතලා." "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත" "ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව"  "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත"  "හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " ඔවාගේ දෙබස් එක පිට එක ඇහෙන්න ගත්තා.
 
 
ඔලුව කරපට්ටම් වේගෙන එද්දී මගේ කවි මොලේට වැටහුනේ මේකත් රම්බාගේ වෙඩින් ප්ලෑන් එකේ රෙකෝඩ් කරපු රෙකොඩින් එකක් නේද කියලා. මට වෙච්ච ජල්තරේට රම්බාට ට්‍රැක් නම්බර් පැටලිලා. වසලා හමාරයි...දැන් ඉතින් උන්නත් එකයි, මලත් එකයි කියලා හිතාන, රෝල් වෙච්ච මුද්ද  පැත්තක දාලා දුවගෙන දුවගෙන ආපු මං පෝරුවට නගින්න බිම ඉඳන්ම පැන්නේ චාරිත්‍ර පැත්තක දාල පෝරුව උඩ ඉන්න දිලූ අරගෙන පෝරුවෙන් බහින්න හිතාන.
 
 
".......දඩාන්.....!" 
 
 
"නර්ස්...නර්ස්.....අපේ රයිටර්ට සිහිය ආවා..නර්ස් ස්..ස් .ස් ..! යකෝ නර්ස්.....මුට සිහිය ආවා..., හම්බෝ රයිටර් අපි බයේ හිටියේ බොලා ආයේ ඇස් අරින එකක් නෑ කියලා....නර්ස් නර්ස්......."   රම්බා බලියනවා ඇහුනා..."
 
 
බොඳවෙච්ච ඇස් වලට පෙනුනේ ඇඳට උඩින් වහලේ හයි කරපු ගැලවෙන්න ඔන්න මෙන්න තියන "බරස්, බරස්" ගාල කැරකෙන ෆෑන් එකක්,
 
 
 
"අනේ බං පෝරුව......කෝ බං දිලූ....?......දිලුට අමාරුද....!"
 
 
 
"මගුලක් කතා කරනවද බං..මොන පෝරුද....මොන දිලූ ද,.......!!!...
යකෝ ගිය සතියේ අපි ටව්මට ආපු වෙලේ උඹේ පණ....උඹේ  කෙල්ල...දිලූ දැකලා උඹ ගාලා කඩාගත්තු හරකා වගේ පාර පැනලා දුවනකොට ලෙස්සල ගිහින්  කාණුවේ ගල් ලෑලි අස්සේ  ඔලුව හිරවුනා අන්තිමට ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරලා උඹව එලියට ගත්තේ....එවලේ ඉඳන් බොට සතියක් යනකම් සිහිය නෑ........ඕක උඹ දැකපු හීනයක් වෙන්ඩ ඇති... !!!
 
 
"අනේ......එතකොට ....මගේ දිලූ.. කෝ දැන් ..!
 
 
 
"අනේ රයිටර්....ර්...ර්...ර්.." ..කියාන ඈත ඉඳන් දුවගෙන ආපු දිලූ දැකපුහම මගේ හිත අයෙමත් ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා...!

Tuesday, August 21, 2012

බිලිපූජාව

හිටි හැටියේම අපේක්ෂා නොකළ වැස්සක් කඩා පාත්වුණද පෙර සිටම සුදානමක් ඇතුව අප විසින් එළඹී සිටි සම්මත සැලසුම වෙනස් කිරීමට පේද්‍රික් උන්නැහේගේ කැමැත්තක් නොවීය. එබැවින් ඔහුද මාද පීටර්ද ඇතුළු අප තුන් කට්ටුවට සිහින් පොදයේ වුවද එකා පසු පස එකා වැටී වන ලැහැබ තුලට පිවිසියෙමු. ගොම්මන් අඳුර කැලෑව පුරා අරක්ගෙන කෙමෙන් රාත්‍රිය බවට පරිවර්තනය වෙමින් සිටිද්දී අත වූ විදුලිපන්දමේ එළියෙන් පේද්‍රික් උන්නැහේ විටින් විට යමක් මතුරමින් ඉදිරියෙන්ම ගමන් කළේය. ඔහුට පසුව මාද මගේ පසුපසින් පීටර්ද ඔහුව අනුගමනය කළෙමු. පේද්‍රික් උන්නැහැගේ දකුණු උරයේ රැඳී තිබුනේ යක් බෙරයක් විය යුතුය, එසේත් නැතිනම් එය කුමන සම්ප්‍රදායට අයත් එකක් දැයි නිශ්චිතවම හඳුනා තහවුරු කරගැනීමට තරම් එවලෙහි මගේ කල්පනාව නිරවුල්ව නොවිණි. ඇදහැළුණු වර්ෂාව නිසා මුකලාන තුල පැවතියේ ගත හිරිගඩු නංවන තරමේ සීතලකි. වැස්සෙන් ලද ජීවයෙන්  පණ ගැසුණු කැලේ වීරයින් ප්‍රීතිඝෝෂා නංවද්දී එයින් මා ඇතුළු පිරිස අපමණ අපහසුතාවයකට පත්වුනා යයි කලින් මට සිතුනද, මා හැරුණු කොට අනික් දෙදෙනාට එය සැලකිය යුතු දෙයක් නොවුණු බව පසුව මට ඒත්තු ගියේය.    තෙතමනයෙන් යුක්ත පඳුරු අතරින් රිංගා යන විට සීතල වතුර බිඳිති කමිසය තුලට කිඳා බැස්සේ ඉතා ආක්‍රමණශීලී ලෙස බව මට හැඟුනි. වැහි කබාය අතපසුවීමේ විපාකය තදින් අත්විඳිමින් සිටි මට අද පැමිණි ගමන පිළිබද යම් අවිනිශ්චිත හැඟීමක්ද ඇතිවිය.


"ෂ්....ෂ්..ෂ්." හිටි හැටියේ ඉද්ද ගැසුවාක් මෙන් නතර වූ පේද්‍රික් උන්නැහේ යම් අනතුරක සේයාවක් හැඟවීම නිසා මගේ කල්පනාවද බිඳවැටුණි.


තනියා...තනියා....ෂ් .....ෂ්....ෂ්....! පේද්‍රික් මුවට ඇඟිල්ල තබා රහසින් පවසන්නට ඇතැයි මම නිගමනය කලේ ඔහු එය පැවසු ලතාවටත්, එවකට විදුලිපන්දමත් නිවාදමා තිබු නිසාත් කෑලි කැපෙන අඳුර එකිනෙකාගේ මුහුණු හඳුනාගත නොහැකි ලෙස ඝනව පැවතුනු නිසාත්ය. පේද්‍රික් මන්තරයක් මතුරන්නට ගත්තේය. මාද පීටර්ද තුෂ්නිභුතවී නොසෙල්වී සිට ගැහෙන හදවතින් යුතුව දෙවියන් යැද්දෙමු. මහා ඝන කැලෑවක් මැද අවාසනාවන්ත ලෙස අකාලයේ ජීවිතයෙන් සමුගැනීම කිසිසේත් මා සිහිනෙන්වත් නොපැතූ දෙයකි.


හරි බයවෙන්න කාරියක් නෑ...තනියා මගෑරුනා..... ආ...! මේ පිරිත් නූල අල්ලගත්තනම්, පේද්‍රික් පැවසීය. ඔය නූල පංචස්කන්ධයේ ගෑවිලා තියනකම් බයවෙන්න කාරියක් නෑයි කියමින් නුලේ එක කොනක් පේද්‍රික් අල්ලාගත්තේය. අගම කොටස පීටර් අල්ලාගත් නිසා මැදින් ගමන් කල මා එය මැදින්  ගෙන මහපට ඇඟිල්ලේ තදින් වෙලාගෙන ගැටයක්ද ගසාගතිමි. අප තිදෙනා එකම සියුම් නුලකින් එකිනෙකාට සම්බන්ධ වී තිබුණි, එය එක්තරා විහිළුවක් ලෙස හැඟුනද එයින් සිතට තරමක් දුරට සැනසිල්ලක් උදාවුයේ පේද්‍රික්ගේ සහජ හැකියාව පිළිබද මසිතේ සැකයක් නොවුන නිසාය.


පැයක් පමණ නොනැවතී ගමන් කිරීම නිසා මගේ දෙපා බොහෝසෙයින් කකියන්නට විය. කුඩැල්ලෝ ගුලියක් බූට් සපත්තුව ඇතුලේ නලියන බව දැනුනත් වේදනාව විඳදරා ගමන් කරනවා හැරුණුකොට විකල්පයක් නොවුයේ වැස්ස අපේ කාලයෙන් බොහෝ ප්‍රමාණයක්  ඒ වනවිටත් පැහැරගෙන තිබුන නිසාවෙනි. ප්‍රමාදවී සියලු බලාපොරත්තු සුන්කරගෙන හිස් අතින් ආපසු යනවාට වඩා සුළුවෙලාවක් ඉවසාදරාගෙන අභිමතාර්ථය ඉෂ්ට කරගෙනම විනා නැවත ආපසු නොයාමට මගේ සිත ධෛර්යසම්පන්න කරගතිමි. එක වරම, නිහඬතාවය බිඳිමින්.....කුක්කු.....කුක්......කූ.......!!!  කුකුලෙක් මා කරලාගෙන සිටි මල්ල මත හිඳ හඬලන්නට වුයෙන් මා අඩියක් ඉදිරියට විසිවී ගොස් පේද්‍රික්ගේ ඇඟේ හැපුණි.


"බය වෙන්න කාරියක් නෑ, මහත්තයා....මන්තරයකින් සිහි විසඥ කරපු කුකුලෙක් මම පන් පෙට්ටියකට දාල මහත්තයාගේ ගමන් මල්ලට දැම්මා. අපි සුනංගු වෙච්ච හන්දා නියම වෙලාවට කලින් කුකුල් නාම්බට සිහි ඇවිල්ලා. අපි හරිනම් මෙලහකට වැඩ කටයුතු පටන් අරන් තියෙන්න ඕනේ.  නාම්බා පණපිටින් කුදලාගෙන ආවොත් උගේ කෙකරගෑවිලලට අපිට ගමන යාගන්ඩ වෙන්නේ නැති හන්දා සිහි විසඥ කොරලා ගෙනාවේ. තකහනියේ ආවහන්ද කලබලේට මට ඕක මහත්තයාට කියාගන්න වෙලාවත් තිවුනේ නෑ"


තවත් අඩහෝරාවක් පමණ ගමනේම ගෙවා දණක් ගැඹුරු ඇලපාරකින් එගොඩවී පියවර කීපයක් ගිය පසු ගස්කොළන් නොවැඩුණු කවාකාරව පිහිටි බිම්කඩකට අවතීර්ණ වීමු. නටබුන් වී ගිය ගල්කණු කීපයක්ද, ශේෂව ගිය පිළිමයක යයි සැලකිය හැකි ශිලා නිර්මානයක සුන්බුන්ද තැන තැන විසිර තිබුණි. ඊට අමතරව මහා ගුප්ත බවක් මුළු වටපිටාවම ගිලගෙන තිබිණි.  පුරාණයේ ඇදහීමකට ලක්වූ දේවාලයක ස්වරුපය මට සිහි විය. ඒ අසලම පිහිටි කළුගල් පර්වතය පිහිටියේ අමුතුම හැඩයකටය.  විෂ්කම්භය මීටර් අටක් පමණ වූ කවාකාර  භුමිය මත ඇවිදන කල එතුලින් බොල් හඬක් නැගිණි.  මහා කැලය මැද මෙවන් ස්ථානයක් දැකීමෙන් මගේ හිත කුතුහලය මිශ්‍ර ත්‍රාසයකින් ඇවිලී ගියේය.


"හරි එහෙමන් තවත් සුනංගු නොවී කාරිය පටන් ගමු. පේද්‍රික් කිවේය. කෝ මහත්තයාගේ මල්ලත් මෙතනින් තියන්න පරිස්සමෙන්, මම කළමනා ටික ලැස්ති කරනකම්..  ම්....  පීටර්....එතකන් අර ඉපල් කෑල්ල අරන් මෙතන ගල් පෘස්ටේ  මතුවෙනකම් පෑදුවනම් වටේටම කොලරොඩු  ටික අයින් කරලා.


මා ගමන් මල්ල එතනින් තබා නොයිවසිල්ලෙන් එතනින් මෑත්වී මගේ බුට් දෙක ගැලවුයෙමි. වතුර වලටම තැම්බී ගිය දෙපතුල් සුදු පැහැයට හැරී මදිපාඩුවට සෑම ඇඟිලි කරුවකම පාහේ  කුඩැලලන් ගුලියකින් පිරි තිබිණි. මම මහත් අපුලකින් කුඩැලලන් එකින් එක ගලවා විසික් කලෙමි. මා එම කාරිය නිමකර ඉවර වෙනවාත් සමගම වාගේ පේද්‍රික් මල්තට්ටුවක් දොලපිදෙනියක් ඇතුළු අවශ්‍ය සියල්ල සුදානම් කර තිබුණි. දෙපයින් ගලන රත් පැහැති රුධිරය වලක්වාගන්නට වෙනත් විකල්ප ක්‍රමයක් නොවුණු නිසාවෙන් මම පත්තර කඩදාසියක් පුළුස්සා අළු ඇඟිලි කරු අතර රුවා ගතිමි.


"හරි මහත්තය එහෙනම් මම දැන් මතුරන්න පටන් ගන්නවා. කොහොමත් ඒකට පැයක් විතර යයි..  . අද වැස්ස වැහලා දැන් හඳේ සේයාවක්වත් නොවුනට  හරියටම 12.01  ට හඳේ චායාව මතුවෙනවා...පුස්කොල පොතේ තියෙන්නේ එහෙමයි....ඊට පස්සේ ඒ මෝදුවිල්ල 12. 17 වෙනකම්  තියනවා. මතුරලා මතුරලා හඳ මතුවෙනවත් එක්කම මට සිහිය නැති වෙනවා, එතකොට මම මල් තට්ටුව ගාව වැතිරෙනවා.පීටර් මගේ උදව්වට ඉන්නවා.   මහත්තයට තියෙන්නේ ඒ මිනිත්තු 16 ඇතුලත මේ කණ්ණාඩිය හඳ එලියට අල්ලලා එකෙන් වැටෙන එලිය  අර ගල්කනුවේ පාදමේ තියන තාරකාවට යොමු කරන එක.  හඳ එලිය ගල්කනුවේ පාදමට එක දිගට මිනිත්තු හතක් වැටුනාම කුකුළා හඬලනවා. එතකොටම මහත්තයට කරන්න තියෙන්නේ මෙන්න මේ වෙඩි නුල පත්තු කරන එක. වෙඩිනුල ඇවිලිලා ගල් පර්වතය ගාවට යන්න කලින් මහත්තය හනික ඇවිත්  මල් තට්ටුව උඩ තියන පහනෙන් තෙල් ඩින්ගිත්තක්  අරන් මගේ හිසේ අතුල්ලන්න. එතනින් එහාට මම බලාගන්නම්."


මීට පෙරද සියවතාවක් පමණ කලයුත්තේ කුමක්ද යන්න දැන සිටි මට අවසන් වරටද උපදෙස් ලැබිණි. පේද්‍රික් බෙරය කරලාගෙන විටෙක බෙරය හඬලමින් මතුරන්නට විය. හඳුන්කුරු සුවඳත්, බෙර හඬත් කට්ටකුමන්ජල් සුවඳත් මන්තර ජපකිරීමත් දසත පැතිරෙද්දී මගේ හදවත වේගයෙන් නොයිවසිල්ලකින් මෙන්ම ගුප්ත හැඟීමකින්  පිරෙන්නට විය. මා මට නියමිත ස්ථානයේ අසුන්ගෙන කළයුත්ත නැවත මෙනෙහි කලෙමි. පේද්‍රික් දැන් මතුරා පැයක් සම්පුර්ණ වීමට අසන්න විය. නියමිත හෝරාව උදාවීමට මිනිත්තුවක් පමණ තිබුන කල එතනින් නැගිට එම මිනිත්තුවත් අසිහියෙන් මෙන් ගෙවා දැමුවෙමි.  ඔරලෝසුවේ හරියටම 12.1 සටහන් වෙද්දී මම බලාපොරොත්තු පිරි දෙනෙතින් අහස වෙත බැල්මක් හෙලීමි. ගතේ හිරිගඩු නංවමින් චන්ද්‍රයා අහසේ බැබළිණි. ඒ සමගම මහා භයන්කාර හඬක් නගමින් පේද්‍රික් සිහිසුන් විය. පීටර් ඔහුව වත්තන් කර බිමින් හාන්සිකළේය.  වහා නැගිටි මම කණ්ණාඩිය වෙත  ගොස් කියූ පරිදි සඳ එලිය තාරකා සටහන වෙත යොමු කලෙමි.  ජීවිතේ කිසිදා නොවිඳි ලෙස හදවත සැලෙමින් තිබුණි, සඳ කිරණ තාරකාව මත වැටී මිනිත්තු හතක් හරියටම ගත වෙද්දී කුකුලා හඬලුවේය. මා දල්වාගත් ලයිටරයෙන් වෙඩිනුල දැල්වූයේ මල් තට්ටුව මට ඇති පහන ලඟට යාමට අඩිය ඉක්මන් කරමිනි. දැල්වෙන වෙඩි නුල ගිනි පුලිඟු නංවමින් යන අතරේ මා මල් තට්ටුව වෙත දිව්වෙමි. ලිස්සා ගිය පය විලන්ගුවී බිම ඇදවැටුණු මගේ හිස ගල් කණුවක ගැටුනේ අනපේක්ෂිතවය. පෙර පිනකට මා සිහිසුන් නොවීය.   ක්ෂණයෙන් මා සිහි එලවාගෙන නැගිට  මල්තට්ටුව දෙසට දිව ගියේ ඇවිලෙන වෙඩි නුල දෙස බලමිනි. මන්ද එය පිපිරී යන්නට මත්තෙන් පහනේ තෙල් මා විසින් පේද්‍රික්ගේ හිසේ ගැලවිය යුතුය. නැත්තම් ඩයිනමයිට් පිපිරුමෙන් පීටර්ගේද පේද්‍රික්ගේද ජීවිත අහිමි වන නිසාවෙනි.


මල් තට්ටුව වෙතට පියවර කීපයක් තිබියදී කන් අඩි පුපුරන සද්දෙන් අවාසනාවන්ත ලෙස ඩයිනමයිට් කරල පුපුරා ගියේය. දෑස් නිලංකාර වී යද්දී මා නැවත වරක් බිම ඇදවැටුණි. අවසාන වතාවට දුටුවේ මල් තට්ටුව සුනුවිසුනු වී යන ආකාරයත් මා දෙසට දිව එන පීටර්වත් පමණි. ඊට මද වෙලාවකට පසු මදක් ඈතින් කෙඳිරිලි හඬත් විනා අන් කිසිවක් නෑසුනි. මා දෙනෙත් හැර සිටිනවාද නැතිනම් පියාගෙන සිටිනවාද යන්න මට වටහාගත නොහැකි වුයේ  මගේ දෙනෙත් මට අහිමි වී ගිය නිසාද යන්න වටහාගැනීමට මට බොහෝ වෙලාවක් ගත විය.

Wednesday, August 15, 2012

මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි

"හරි මචන් රම්බා මම උඹට ලියුම ලියල දෙන්නම් හැබැයි ඊට කලින් කරන්න බොහොම බැරෑරුම් කටයුත්තක් තියනවා"


"හරි හරි රයිටර් ඕනේ බැරෑරුම් දෙයක් මම කරන්නම්, මට ඇඟ හිරිවැටිලා යන ලියුං කඩදහියක් ලියල දෙනවනම්, ඉතින් !.. ඉතින් !.. කියපන්කො මොනවද කෙරෙන්න ඕනි කියල"

ඒ වෙලාවේ ඉල්ලුවොත්, හඳෙන් කෑල්ලක් හරි ගෙනත් දෙන සයිස් එකේ හිටපු රම්බා දැන් ඕනේ දේකට එවරෙඩි මමත් ඉතින් මගේ කවි හිතයි ටිකිරි මොලෙයි පාවිච්චි කරලා මුට කාරණාව කාරණාව එකින් එක තේරුම් කරා!!!


"මෙහෙමයි මචං උඹ දන්නවනේ මම මේ ලිවිල්ලට බොහොම ගරු කරනවා, මේක හැමෝටම පිහිටන්නේ නෑනේ. කලාතුරකින් කෙනෙක්ට තමයි පිහිටන්නෙත්.  දැන්..... නිකමට හිතපන්, උඹයි මමයි එක වයසේ, ඒ වුනාට උඹට පුලුවන්ද උඹලගේ පොඩි අක්කගේ ලොකු එකා ලියන සිස්සත්ව රචනාවක්වත් ලියා ගන්න.. බෑනේ." 


එහෙම කීවම නම් රම්බාගේ මුණ දිය වෙලා යන අයිස් කැටයක් වගේ වුනා. 

"අන්න එකනේ, උඹට තේරෙනවනේ මම කියන එක? උඹ නොදන්නවා වුනාට මම දැන් ජනප්‍රිය වේ........ගෙන එන්නේ. රෙදි නැන්දගේ දුව උඹට කිව්වේ නැද්ද මගේ බ්ලොග් එකේ ෆලෝවර්ස්ලා ගැන,? හිට්ස්  කවුන්ටරේ ගැන ? වැටෙන කමෙන්ට් ගැන.? මම මුණට හෙනම හෙන සිරා මුඩ් එකක් අරන් කිව්වා. මම මෙහෙම ෆේමස් වෙලා ඉන්නේ මගේ  දාඩිය මහන්සියෙන් කැපවීමෙන් වගේම ලියවිල්ල වෙනුවෙන්  කරන්න ඕනේ වත්පිළිවෙත් ටිකත් හරියාකාරව කරපු හින්ද.. මෙහෙමයි රම්බා, මම උඹට හින්දා කියන්නේ, මේවා රහස්, උඹ මේවා කාටවත් කියයි කියල මම හිතන්නේ නෑ...


"මේ ලඟදි ඉඳන් මම ලිවිල්ලක් ලියන්න කලින් පොඩි වත්පිළිවෙත් ටිකක් කරනවා. ....  .පිළිවෙත් හරියාකාරව ඉටු කරාම තමයි ලියන ලියවිල්ල සාර්ථක වෙන්නේ."  මම වටපිට බලලා කට හඬේ සද්දේ පොඩ්ඩක් අඩු කරලා රම්බගේ කනට කරලා කීවා.  රම්බා හෙන සීරියස් ලුක් එකකින් මං දිහා අභිමානයෙක් බැලුවේ "උඹ අපිට සම්පතක්" කියනවා වගේ

"හරි හරි ඉතින් මල් කරමලෝ මොනවද මං කරන්න ඕනේ... ඕනේ බම්බුවක් කියපන් මැරිලා හරි ගෙනත් දෙන්නම්, උඹේ ඔය ඉලව් පිළිවෙත් ටික කරලා හරි මගේ කඩදහිය ලියල දියන්කෝ "  මගේ පම්පෝරි පුරාජේරුව අහගෙන ඉන්න බැරුව අජපල් වේගෙන වගේ එද්දී රම්බා කිව්වා.


 "ඔන්න....ඔන්න උඹ මගේ  සාස්තරේ හෑල්ලු කරන්න හදන්නේ, මම හොඳින් කියන්නේ රම්බෝ, කට වරද්දගන්න එපා. දැන් මං කියන ටික හොඳට අහගනින්"


"හරි හරි සමාවෙන්න දෙවියනේ.... කියල රම්බා අත්දෙක නළලට අරන් උඩ බලාගෙන තුන්පාරක් විතර කලබලෙන් වැන්දා !."


 දේවාලෙකට ගිය ආතුරයෙක් දේවාලේ කපුමහත්තය ඉස්සරහ පිහිටක් ඉල්ලලා බැගෑපත් වෙනවා වගේ හැඟීමකින් රම්බා මං දිහා බැලුවා නිකන් හරියට "අපි මෙච්චර කල් උඹේ අගේ තේරුම් ගත්තේ නෑ කියලා, අපිට සමාවෙයන් කියන්නැහැ "

------------------------

මං කියපු විදිහට බඩු ලැයිස්තුව ගෙන්න පිටත් වෙලා ගිය රම්බා ගියාට වඩා වේගෙන් ආවා. හැබැයි දෙකේ  සිලි සිලි බෑගයක් කට කපල කරේ තියන් එන උගේ මුණේ තිබ්බේ අලුත බැඳපු ඉලන්දාරියෙක්ගේ මුනේ තියන සුකුමාර පැණි හිනාව. මට දුකත් හිතුනා.


ශාන්ති කර්මයක් කරනවා වගේ මම ඌ ගෙනාපු කොකා කෝලා බෝතලේ මේසේ උඩින් තියල, ආප්ප ටිකයි, තඩි බිස්කට් එකයි කඩලා ඒවා කෙහෙල් කොළ අතුරපු පොඩි පීරිසි වලට දාල, පහනක් පත්තු කරලා හඳුන්කුරු ටික පලතුරු වට්ටියේ තිබ්බ පොල්ගෙඩියේ මුඩ්ඩේ  ගැහුවා. මල් වර්ග දෙක තුනත් එක්ක මේසේ පෙනුනේ කට්ටඩියෙක් මොකක් හරි ගේමක් දෙන්න යනව වගේ. මම  මගේ හඩු ගඳ ගහන රතුපාට සාලුව ඉන වටේ ඔතාගත්තා, ඇස් දෙක පියාගෙන  "ඕන් රීන් රීන් රීන්....එස්වාහාහ්....වර ...වර....වර............පොත් මේසේ පලාගෙන වර, කොකාකෝලා බෝතලේ අඩිය පලාගෙන වර, බිත්තර ආප්පේ සවුදම කඩාගෙන වර.අ..අ .අ ..අ .. හඃහා හඃ .... !!!! ....කියල මම මතුරන්න පටන් ගත්තා 


"යකෝ ගල් මුසලය වගේ බකන්ඩිලාගෙන ඉන්නේ නැතුව වැඳගනින් !!" 
එතකොටත් මං දිහා කට බලියාගෙන බලා හිටපු රම්බාට මම කිව්වා.


 "හා හා දැන් ඉක්මන් කරලා ගනින් උඹ ලියුම ලියන්ඩයි කියලා ගෙනාව කඩදහිය"


රම්බාගේ මුනේ තිබ්බේ පැණි හිනාවක් වගේම ලොකු අධිෂ්ටානයක්.  සාක්කුවේ දාගෙන හිටපු ලියුම් කවරයක් දිගෑරලා කොලයක් ගත්තා. ආප්ප සුවඳ, බිස්කට් සුවඳ, හඳුන්කුරු සුවඳ  කපාගෙන ආව නහය හිරවෙලා හුස්ම යන සයිස් එකේ සෙන්ට් සුවඳට මට කිබුහුමක් ගියා. කිබුහුමේ හුලන් පාරට  පත්තු කරලා තිබ්බ පහන නිමුනා. ඒ අස්සේ රම්බත් කිබුහුම් දෙක තුනක් අරිනවා ඇහුනා...


"දරුවෝ..... සුවඳ කවන්නේ ලියුම ලිව්වට පස්සේනේ , දැන් පහනත්  නිමුනනේ, අනේ මන්දන්නේ නෑ ළමයෝ, මේක බාධා වෙලා කරලා පරහක් හිටීද කියල.... මම නිකන් ආවේශ කරගත්ත අනුකම්පාවකින් රම්බා දිහා බලලා කිව්වා.


කවදාවත් දරුවෝ කියල කතා කරලා නැති උට මගේ හැසිරීම හෙන කුහුලක් වගේම මං කරන්න යන දේ ගැන උගේ හිතේ සැකයක් තිබ්බනම් ඒ  කුකුසත් මේකෙන් නැති වෙන්න ඇති.


"අනේ නැ එහෙම වෙන එකක් නෑ රයිටර්,  ලව් ලෙටර් සුවඳ ගන්න එපැයි කියල පත්තරේක තිබ්බ, ඉතින්  සුවඳ ගහන්න පොලෙන් ගෙනාපු සෙන්ට් බෝතලේ ඉවර වෙනකම් මේකට ස්ප්‍රේ කරා" රම්බා කිව්වේ වැඳගෙනමයි.

මම බොරුවට නෝක්කාඩුවෙන් වගේ උගේ දිහා බලලා පෑන ඔලුව වටේ තුන්පාරක් කරකවලා ලියුම ලියන්න ගත්තා..



 සඳ රාහු ගිලගත් රැයක
තනිකම දෝත දරා
ලියමි නුඹ වෙත
ආදරියේ....

ආදරණීය සකු,

ඔබ කිසිදා ලැබෙතැයි විස්වාස නොකළ මේ ලියමන ඔබ අතට පත්වෙන විට ඔබ පුදුමයට පත්වෙනු ඇති, නමුත් බොහෝ කාලයක සිට ඔබට කියන්නට මා සිතේ දෙයක් ඇති බව දන්නේ මා පමණි, එය දැන ගැනීමට කරුණාකර ලිපිය අග තෙක් රැඳී සිටින්න කියා ආදරෙන් ඉල්ලා සිටිමි. ගත ලොමු දැහැ ගැන්වෙන පාළුව මගේ හිතට එහෙන් මෙහෙන් කින්ඩි දමන විට, ජීවිතේ මටම කියා කාත් කවුරුවත් නැතැයි හැඟෙන විට මට සිහිවෙන්නේ ඔබම පමණක් බව මා කාට කියන්නද.?, දුක මා වෙලාගෙන තනිකම ඇස් වලින් මිරිකා මිරිකා කඳුළු හලන කොට ඒ ගලන ගලන කඳුලකම ඔයාගේ සුවඳ මට දැනෙනවා සකු. ඔබ දුටුදා පටන් හිතේ හටගත්ත මිහිරි වේදනාවක් මගේ හිත හැමවිටම මාව අඩපණ කරනවා. කොටින්ම ඒ වේදනාව මගේ නින්ද පවා මට අහිමි කරනවා කියල ඔයා නොදන්නවා ඇති. නමුත් විශ්වාස කරන්න කුසට බඩගින්නක් දැනෙන විට ඔබ සිහි වූ විට එය පහව යයි. ගත දහදියෙන් තෙත් වූ විට ඔබ සිහිවීමෙන් ගතම සිසිල් වෙයි. මගේ දින එදිනෙදා චර්යාවන් ඔයාගේ ඔය ලස්සන හිනාව මගෙන් හොරාගෙන සකු. එදා හිටපු මම අද ඔයා නිසා උම්මත්තකයෙක් වෙලා, සමහර විට ඔබ විශ්වාස නොකරාවි, මම ඔබේ සිනාව දුටු දා පටන් මේ ලිපිය ලියන තුරු තවමත් ස්නානය කර නොමැත. මා කියන්නේ මුසාවක් නොවේ. මා එතරම්ම ඔබට වශීකෘත වී ඇතැයි හැඟේ.

ගෙවෙන ගත වෙන සෑම තත්පරයකදීම මම අපේ අනාගතේ ප්ලෑන් කරනවා සකු. ඔයයි මමයි අත් පටලාගෙන මේ ගම වටේ යන හැටි මම හීන දකිනවා රත්තරන්. මම ඔයාගේ අම්මගේ වෙරළු බිස්නස් එක ඩිවලොප්  කරන්න හිතාගෙන ඉන්නවා කියල ඔයා දන්නේ නෑ නේද? ඔව් මම කිව්වේ නෑනේ. එහෙනම් අහගන්න. මම හිතන් ඉන්නවා ඔයත් එක්ක එක වහලක් යටට ආවම ඔයාගේ අම්ම කරන වෙරළු බිස්නස් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් කරන්න. ඔයා මට එකට උදව් කරනවා නේද? ඔව් මම එක දියුණු කරනවා. ලංකාවේ හොඳම එක්ස්පෝර්ට් බිස්නස් එක කරනවා. අපිට දුක් විඳින්න ඕනේ නෑ රත්තරන්, මම ඔයාව ඔය වලෙන් ගොඩ ගන්නවා මැණික...!

මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි. මට ඕනේ ඔයා විතරයි. ඒත් ඔයාගේ ගෙදරින් දෙන දෙයක් තියනම් අරන් ආවට මගේ අමනාපයක් නෑ. මම ඕනෙනම් විල්සන් අයියගේ බරබාගේ සෙට් කරන්නම් බඳින දවසට දෑවැද්ද පටවාගෙන යන්න, පෙට්‍රල් වියදම නැති නිසා හයර් එකත් අඩු වෙයි. ඔයා හිතනවා ඇති මට පිස්සු කියල, ඔව් මට පිස්සු, මම ඉහත සඳහන් කල විදිහටම මට පිස්සු. ඒ ඔයා නිසා. ඔව් ඔයාම නිසා. ලියුම කියෙව්වම මම කොච්චර අනාගතය ගැන හිතල තියනවද කියල ඔයාට තේරෙනවා නේද දැන්. ඉතින් ඔයාට අපේ අනාගතේ සුරක්ෂිතයි කියල තේරෙනවා නේද.  ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා. ඒත් ඒවා ලියාගන්න බෑ. පෑනේ තීන්ත ඉවර වේගෙන එන්නේ. මම දුප්පත් ඔයා දන්නවනේ. ඒත් මම ඔයාගේ අම්මගේ වෙරළු බිස්නස් එක ඩිවලොප් කරනවා කියල මතක තියා ගන්න.  අපිට හෙට රටක් තියෙයි. මට මෙච්චර වෙලා ඔයාට කියන්න ඕනේ උනේ මම ඔයාට ආදරේ කරනවා කියලා. වෙන්න ඕනේ ඉතුරු ටික ඔයා දන්නවනේ. මම මුලින් කීව අවසානය එයයි. මම හනිකට විගහට ඉක්මනට පිළිතුරක් ඕනේ.  එහෙනම් මම අදට නවතිනවා සුදු....ඔයාට බුදු සරණයි

මීට රයිටර් රම්බා !!!


අන්තිමට මගේ නම ලියවුන එක පරහට හිටීද? ඇයි මට එහෙම වුනේ, ඒ කියන්නේ මමත් සකුන්තලාට ආදරෙයිද?  වැරදිච්ච එක රම්බා දකින්න කලින් මම ලියුම නමලා දිගෑරලවත් බලන්නැතුව ඒකිගේ අතටම දෙන්න කියල දුන්නා !!!

Friday, August 10, 2012

එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං

ගොත ගහ ගහ ඉන්න රම්බාගේ මුණ නිකන් හරියට පැණි කොමඩු ගෙඩියක් වගේ වුණා. මු කියන දෙයක් කියන්නේ නැති කොට මමත් අමාරුවෙන් දත කාගෙන හංගගෙන ඉන්න ඉවසීම, පනින්න ඔන්න මෙන්න වගේ.


"ඉතින් මොකද උඹ මට ආදරෙයිද. එව්වා හරියන්නේ නෑ පුතෝ ලංකාවේ තාම ඒ නීතිය සමාජගත කරලා නෑ, හොරෙන් ජීවත් වෙන එවුන් ඇති. ඒත් උඹේ අදහස් සුම්මා, එව්වා හඳේ හරිය, හොඳ හිතින් ඔය විකාර හිතෙන් අතැරලා  දාපන්" මටත් ඇති වෙච්ච කුතුහලේ හින්දයි මුගේ කෙකර බෑවිල්ල අන්තිමට මොකක් වෙයිද කියල නොදන්න හින්දයි බයේම මමත් කියලම දැම්ම.


"බොල අලගොඩුවෝ, මගුලක් කියනවද, බොට ආදරේ කරන්ඩ මට මඤ්ඤඃද......ඊට වඩා හොඳයි පිහියෙන් කෑල්ල කෑල්ල කපාගෙන මැරෙනවා. ඒක නෙමෙයි බං මම........උඹට...."


"දඩාන්....."


එතකොටම මගේ රතු කට්ට පනිනවා පනිනවා වගේ දැනුනා. මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා, එවලේම අතට අහුවෙච්ච පොත් මිටිය රම්බාගේ මුණ සිපගත්ත සද්දේ තමයි ඒ..


රම්බගේ වම් කම්මුල ආනමාලුව වගේ දික් වෙලා එද්දී, ඇහැකින් දොට්ට පැන්න කඳුළු කැට සට සට ගාල වැටෙද්දී,


"මචන් මට හිතෙනවා මම බොරලුවත්තේ වෙරළු කඩේ ඇන්ටිගේ දුවට ආදරේ කරනවා කියලා, පෙරේදා ඒකි මට හිනා වුන වෙලේ ඉඳන් මං නිකං පාවෙනවා පාවෙනවා වගේ බං. මේ පපුව අස්සෙන් හිරි වැටෙනවා වගේ බං ඒකි මතක් වෙනකොට, අනේ බං මට ඒකි දකින්නේ නැතුව ඉන්න බෑ ..මට ඒකි මගේ කරගන්න ඕනේ බං. ඒකිගේ අතින් අල්ලන් ගම වටේ ඇවිදින්න ඕනේ බං..... එයා කන්න කැමති කෑම ගෙනත් දීල ඒවා ආසාවෙන් කන හැටි බලන් ඉන්න ආසයි බං...., බත් පංගුව අනල හිමින් සැරේ කට කට කවන්න ආසයි බං.... එයත් එක්ක ෆිල්ම් හෝල්  ඒකෙ අඩ අඳුරට වෙලා චිත්‍රපටි බලන්න ආසයි බං. මුහුදු වෙරළේ අත් අල්ලාගෙන ඇවිද ගෙන ගිහින් රැල්ල පාගන්න ආසයි බං. රෑට රෑට එස්.එම්.එස්. වලින් මල් කඩන්න ආසයි බං, ගමටම මගුල් කියල ඒකිත් එක්ක එක වහලක් යටට එන්න ආසයි  බං.  ළමයි පෝලිමක් හදල උන් එක්ක ඇලේ නාන්න යන්න ආසයි බං.එයත් එක්ක රෙදි අපුල්ලන්න
ආසයි බං.... මට කන්නත් ඕනේ නෑ බං......, බොන්න ඕනෙත් නෑ බං....... ඊයේ දවසටම එක වේලයි කෑවේ. මං කියන්නේ බොරුනම් අත තියල බලපන් මේ පපුවට ගැහෙනවා දිඩි දිඩි ගාල"


"ඉතින් බොල රත්තරනේ පපුව ගැහෙන්නේ නැත්තම් තෝ මැරිලානේ." වෙන්නේ මොකද කියල හිතා ගන්න බැරිව වෙව්ලන මගේ කටහඬ වෙව්ල වෙව්ල එහෙම කියනකොට, මෙච්චර වෙලා කටේ පිරිලා තිබ්බ කෙළ  ටික මම අමාරුවෙන් ගිල්ලා.


"නෑ යකෝ විනාඩියට වාර එකසිය පනහක් විතර ගැහෙනවා බං. මං හිතන්නේ ආදරේ කරනකොට එහෙම වෙන්න ඇති. ඇයි බං මගේ හදවත විතරක් නෙමෙයිනේ, හදවත් දෙකක්නේ"


මම නිකමට කිට්ටු වෙලා රම්බාගේ පපු කිණිත්තට අත තියල බැලුවා. විනාඩියට එකසිය පනහක් තියා ඒකෙ එක ගැස්මක්වත් නැති තරම්. එක පාරක් ගැහිලා ආයේ තප්පර දහයක් පහලවක් යනකම් හාවක් හුවක් නෑ. මගේ පපුවත් සීතල වෙලා ගියා. මු දැනටමත් මැරිලද කොහෙද කියල, වෙරළු ඇන්ටිගේ සකුන්තලා ලමිස්සිට ආදරේ කියල කියන්නත් කලින් මෙහෙමනම් කිව්වට පස්සේ මේ ගැහෙන ටිකත් නතර වෙලාම යාවිනේ කියලා.


දැන් මගෙත් තුන්කාන්දෙන් දාඩිය වැක්කෙරෙනවා, මුට දිෂ්ටියක්වත් වැහිලද කියල,  ඇයි පෙරේදා බෝක්කුවේ කොපින් කනුව උඩ ඉඳගෙන "ඕන් බලපන් මගේ ජීවිතේට මං කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ"  කියපු රම්බා අද මෙහෙම කියනකොට.  බයවෙච්ච පාර  මම,


"කියපන් කියපන් ඉතින් මගෙන් කෙරෙන්න ඕනේ"  මොනවා වුනත් මගේ බොක්කේ යාලුවනේ, ඕනේ සප් එකක් දෙන්න මේ රයිටර් එවරෙඩි


උගේ මුනෙන් ආදරේ පිටාර ගලල යනවා. පොල්කට්ටක් තිබ්බනම් එකතු කරන්න තිබුනා කියල මගේ කවි හිතට හිතුනා, පව් අහිංසකයා, මිත්‍යාවෙන් වෙලිලා, ආලෝකය හොයාගන්න බැරුව ලත වෙනවා. බ්ලොග් එකට කෙටි කතාවක් ලියන්න පට්ට මාතෘකාව, මම ශේප් ඒකෙ මේසේ උඩ තිබ්බ නොට් පොතේ ලියා ගත්තා. "රම්බාගේ විලාපය කියලා".

 
"මචන් රයිටර් උඹ අර බ්ලොග් ඒකෙ ලියන වචන සෙට් එක පාවිච්චි කරලා මට ආදරණීයම ආදරණීයම ආදරණීයම... පෙම් පතක් ලියල දියන්කෝ බං"


හුටා මු මගේ බ්ලොග් එකත් කියවනවද ඇයි හත්වලාමේ ඊයේ පෙරේදා වෙනකම් කියෙව්වට නම් කමක් නෑ ලඟක් වෙනකම් යස අගේට තිබුනා, ඒත් මේ ලඟදි ඉඳන්  ලියවෙන කැටගරිය දැක්කොත් රම්බා මගේ ආයේ මුණ බලන එකක් නෑ. මගේ අත කට වෙව්ලනවා. මු අපහාස නඩු දාන්න බැරිකමකුත් නෑනේ.


"උ...ඹ.. කොහෙන්...ද මම බ්ලොග් එකක් ලියනවා කියල දන්නේ"


"ඇයි බං අර රෙදි නැන්දගේ දුව කිව්වේ...... ඒකිගේ ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකෙන් දවසක් උඹත් එක්ක චැට් කරනකොට උඹෙන් දස වදේලු."


"උඹ ලයින්කු ද මොකක්ද හැමවෙලේම එවනවලු"  "මං බ්ලොග් එකක් ලියනවා කියවන්න, ඔයත් බ්ලොග් එකක් ලියන්න මං උදව් කරන්නම්".. කියලා වැඳ වැඳ කියන සයිස් එකෙන් කියනවලු.   ඉතින් ඒකිට දුක හිතිලාම ඒකට ගිහින් බලලා.


කවුද බොලේ මම කීදෙනෙක්ට එහෙම කියල තියනවද, රම්‍යාද, දීපාද, සුගන්දිකාද, ගීතිකාද, දිල්කිද, සරෝජිද,  කවුද යකෝ මාව කාපු රෙදි නැන්දගේ දුව ? මම දිව හපාගෙන කල්පනා කරන අතරේ රම්බා කියනවා,

"අඩේ උඹ ලස්සනට ලියනවලු, හිතට වදින්න ලියනවලු. උඹ ලියපු ඒවා කියවලා ඒකිට ඇඬිලා. උඹට තියෙන්නේ කවි හිතක්ලු, කෙල්ලෝ මුලා කරන්න පුළුවන්ලු" 


ඒක අහපු මගේ හිත ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න පටන් ගත්තා. නහරයක් නහරක් ගානේ ආඩම්බරකම දෝරේගලන්න ගත්තා. මම මෙතෙන්ට එන්ඩ කොච්චර දුකක් වින්දද, ඒවායේ ප්‍රතිපල තමයි මේ, මගේ ඇස් ලාවට තෙත් වුණා. කමෙන්ට් දාන උදවිය එහෙනම් බොරුවට නෙමෙයි කියන්නේ. හ්ම් හ්ම්..


"ඇයි බං උඹ අඬන්නේ"  උඹ සකුන්තලාට ට්‍රයිද, මේ මේ මරාගෙන මැරෙනවා යාළුවා කියල බලන්නේ නෑ. ඒකි මගේ කැපුවත් මගේ. අදහසක් තියනවනම් දැන්ම අතැර ගනින් "


"පයිත්තියන් තොට ට්‍රයි මගුලක් නෙමෙයි..............උඹලට මං ගැන අගේ නැති වුනාට රටේ ලෝකේ එවුන්ට මාව මාව වටිනවා බං,"
ඉකියක් එක්ක පිට වුන මගේ කටේ අවංක සද්දෙට උට දුක හිතෙන්න ඇති


"අනේ නෑ බං කාට නැතත් මට උඹව වටිනවා"


රම්බා ලෝකේ හදන බටර් ටික ඔක්කොම තලපේ වගේ හදල මගේ ගාන්නයි ලෑස්තිය.



"අනේ බං ඒ විදිහට මට සකුන්තලාට දෙන්න ලියුමක් ලියලා දියන්කෝ"



රයිටර් රම්බාට ලියල දුන්න ලියුන් කඩදහිය කියවන්න කැමති ළමයි ඉන්නවද ? 

Tuesday, August 7, 2012

රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?

දඩස් ගාල පොරවන් උන්නු සරමත් එක්ක උඩ ගිහින් ඇහැරුනේ අක්කගේ විසි එක් වෙනි උපන්දිනේට  සීයා ගෙනත් දීපු එලාම් ඔරලෝසුවේ අවලස්සන, අවකැපිලා සුනේ සුන් වෙලා යන සද්දෙට. ඔරලෝසුව අක්කගේ වුනාට, සාපෙට වෙලාවට පාඩම් කරන්න ඔරලෝසුවක් නැති හින්ද තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල අක්ක මට ඒක පරිත්‍යාග කළා.  ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එක පටන් ගන්න සද්දේ හිතට දැනෙන සතුටයි පාන්දර ඔරලෝසු කට්ටේ එලාම් එකයි, එක වගේ උනාට ඒ සද්දේ හිතට දැනෙන්නේ කොච්චර වෙනසකටද. ඔන්න ඔන්න මගේ සුන්දර කවි හිත මගෙත් එක්කම තර්ක කරනවා. වට පිටාවේ වෙන හැම දේම මම දකින්නේ මගේ කවි හිතෙන්. ඔව් මං පරසිද්ධ කවි කාරයෙක්, ලේඛකයෙක්. මට මං ගැනම පුදුමාකාර ආඩම්බරයක් ආවා. ඔව් ආත්මාභිමානයක්,  ඒ ආඩම්බරකම, ආත්මාභිමානය පපුවට අරන් පපුව ඉස්සරහට දාගෙන, ඇස් පිහාටු අරින්න බැරි තරමට බදාම තට්ටුවක් ගහල වගේ තිබ්බ කබ ටික කඩ කඩ මම ඇඳෙන් බැස්සා. මං ගැනම දැනිච්ච සියුම් ආඩම්බරේට ඇස් වලට උනපු කඳුළු නිසා කබ ටික කඩා ගන්න එච්චර අමාරු වුනේ නෑ.  රෑ පුරාම දැකපු හීනේ හිටපු කෙල්ල පස්සේ දුවලා උදේ නැගිටිනකොට හතර හන්දි මදි නොකියන්නම රිදෙනවා. කකුල් දෙකෙන් දුවලා දුවලා බැරිම තැන බඩගාගෙනත් ගියානේ. මම නිකමට දනිස් දෙක දිහා බැලුවා රෑ පුරාම බඩගාපු බඩ ගෑවිල්ලට දනිස් පොල් කටු දෙක වදමල වගේ වෙලාවත්ද කියල.



උදේට බත් පංගුව කාලම දත කට මැදගන්නවා කියල හිතාගෙන මෙසේ කොනක බෙදල තිබුණු බත් පංගුව අතට අරන් කන්න ගන්නකොටම මිදුල පැත්තෙන් සති පොළ පටන් අරන් වගේ කාලගෝට්ටියක් ඇහුණා. නිකමට ජනේලෙන් හොම්බ දාල බැලුවම ආච්චි ඉදලෙන් එකෙක්ට දාගෙන තඩි බානවා.



"අනේ ආච්චි සුදු ආච්චි ගහන්න එපා"


"ගහන්න නෙමේ, උඹව හමගහනවා මම අද, වත්තක පැලක, ගහක ගෙඩියක් තියන්නේ නෑ"


අහල පුරුදු වොයිස් කට් එකක් එක්ක ආච්චිගේ ස්වීට් වොයිස් එක මිදුල පැත්තෙන් ශ්‍රවනය වේගෙන එද්දී බිම පෙරලීගෙන ආච්චිට වැඳගෙන ඉන්නේ "රම්බා" කියල මගේ කවි මොලේට තේරුනා. රම්බා මගේ බොක්කේ යාළුවා උනාට ඕකා මට කරපුවට රිටන් දෙන්නත් බැරි වෙච්ච එකේ ඕකාට හොඳම වැඩේ තව ටිකක් කාපුදෙන් කියල මම බත් පංගුවටම හිමින් සීරුවේ වග කියල දත් බුරුසුවට අළු ටිකක් ලිපෙන් අරගෙන ආච්චිගෙයි රම්බගෙයි සංග්‍රාමය පැත්තට අඩිය ඉක්මන් කළා දත මැද මැදම.



"අනේ....අනේ "රයිටර්" දෙයියෝ.... මාව බේරගනින්, උඹලගේ සුදු ආච්චි මට තඩිබානවා, මං කරපු ඉලව් හොරකමක් නෑ කියපන් අනේ බං පින්සිද්ධවෙයි, ප්ලීස් කරුණාකරලා කියපන්" 



අපේ ආච්චිගේ එක කකුලක් රම්බාගේ පිට මැද, රම්බා බිම බඩගාගෙන ආච්චිට හතරගාතෙන් වැඳගෙන ඉන්නවා. කහ පාට වෙච්චි කෙහෙල් ලෙලි හතර පහකුත් උගේ වගේ බිම වැටිලා. එක අතක රැඳිලා තිබුන ඉදල බිමට තියාගෙන හිටපු ආච්චි මට සිහි කලේ අතීතයේ හෙළ රජ දවස රාජ විරෝධී කුමන්ත්‍රනකාරයෙක් කුදලාගෙන ආ සෙන්පතියෙක් රජ්ජුරුවෝ ඉදිරියේ තමාගේ නිර්භීතකම විදහා දක්වන ආකාරය. මගේ හිතේ එවලේ ආපු වචන ටික මම ඒ විදිහටම හිතේ ලියාගත්තා. මොකද මං ෆේමස් රයිටර් කෙනෙක් හින්ද මේවගේ ත්‍රාසය ජවය ශක්තිය  යෞවනත්වය පිරුණු අවස්ථාවල හිතට නැගෙන සිතුවිලි වලින් ශ්‍රේෂ්ට නිර්මාණ බිහි කරන්න පුළුවන් බව දැනගෙන උන්නු හින්දා.  


හරිය, ඒකත් මගේ ටිකිරි කවි මොලේට වැටහුණා. මු මොකක් හරි රාජකාරි වැඩකට රයිටර්ව හොයාගෙන මගේ භවනට එද්දී ආච්චි වවපු බට් කෙහෙල් පැලේ ඉදුණු කෙහෙල් ඇවරිය දැකල මුගේ බඩජාරිකම හින්ද මු ගහේ කැන තියෙද්දීම ගෙඩි හතරක් පහක් ගිලල. රම්බා රඹ කැන් නොහොත් කෙහෙල් වලට පණ වුනත් අරින බව අපි දන්නා නිසාම උගේ නමට වරහන් යටින් රම්බා නම පට බැඳුනු හැටිත් මට විචිත්‍රවත් විදිහට හිතේ දිගෑරෙද්දී මම මගේ සුකුමල වොයිස් එක වාතලයට මුදා හැරියා.   


"ආච්චි හා හා නවත්තන්න ආච්චි, මේකා මගේ යාළුවා ඇයි ආච්චිට මතක නැද්ද ගිය සතියේ ආච්චිගේ පරණ පෙට්ටගමේ තිබුණු පුරාණ ඇන්ටික් ටික විකුණලා දෙන්ඩ සෙට් කලේ,"


මං එහෙම කියනකොටම ආච්චිගේ ඇස් තෙත්වෙනවා මම යාන්තමට දැක්කා, ආච්චි ඉකිගගහ අඩන්න ගත්ත.එකපාරටම බිම බඩගාගෙන උන්නු රම්බගේ පිට උඩින්ම ඉඳගෙන රම්බාව බදාගෙන අඬනවා. රම්බගේ මුණ පුරා ආච්චිගේ හොටු, රම්බත් ඇස් දෙක පියාගෙන නහයයි කටයි උගේ නෙමෙයි වගේ උල් කරගෙන මුනට අමුතුම ලීලාවක් ආරුඨ කරගෙන ඉන්න හැටි මම දැක්කා. මගේ කවි හිත ඒකත් සටහන් කරගත්තා.

මම හිමින් ආච්චිවත් වත්තන් කරගෙන නැගිට්ටලා රම්බාවත් කෙලින් කටින් අරගෙන උගේ දිහා මුණ හරවලා අනුකම්පා ප්‍රොෆයිල් මුණ දැම්මා. අපේ ආච්චිගේ මතකෙට උපමා කරන්න උපමේයක් තවම මගේ කවි හිත හොයනවා. සමහර දේවල් ඕනෙවටත් වඩා මතක තියන ආච්චිට සමහර දේවල් සුටුස් ගල අමතක වෙන එකට සමාන වස්තුවක් මම තවමත් හොයනවා. මම ඕව රම්බාට කියන්න ගියේ නෑ.

රම්බ්ගේ කරට අතක් දාගෙන මම ඌව ගෙනත් මගේ ඇඳෙන් ඉන්දුවා. ඉදල් පාරවල් කාල ඉරටු පශ්චාත්භාගය පුරාම ඇනිලා හින්ද ඉඳගන්නකොටම මු ඉඳගත්ත වේගෙන්ම නැගිට්ටා වේදනාව දරා  ගන්න බැරුව මගේ හිතේ. 


මම හිමීට ඉරටු එක දෙක ඇස් දෙක පියාගෙන ගලවල මු ආපු කාරණේ අහන්න ගත්තා. වේදනාව හින්ද තවමත් මුට ඉඳගන්න බෑ. ඇඳේ මුනින් අතට දිගාවෙලා ඉන්න රම්බගේ මුණ හුළං ගහන බැලුම පිම්බෙනවා වගේ පිම්බීගෙන ආව.


"හරි ඉතින් රම්බා කියපන්කො උඹ මොකෝ මේ සීත මීදුම් උදෑසනේ මාව හොයාගෙන ආවේ කියල" 
මමත් මම උගතා කියාලා හිතාන ඉන්න හින්ද, දන්න සාහිත්‍යන්ම ඇහුවා


මුගේ මුනේ මැවිච්ච සුකුමාර හිනාව වැක්කෙරෙනවා. අඬන ළමයි බය කරන්න කියාපු භාණ්ඩේ මගේ කවි හිතට එහෙමත් හිතුනා. මු ඇඹරි ඇඹරි මට කියාගන්න බැරුව මං දිහා හොරෙන් බලනවා, මාපට ඇඟිල්ල කටේ දාගෙන ඇඹරෙනවා. ඌ උගේ මුණේ බොලඳම බොළඳ ප්‍රොෆයිල් එකක් දාගෙන මෙහෙම කියනවා තටම තටම,


"මම.....මම....උඹට.............." මේ.....මේ... "




රම්බා මට මොනවද කීවේ කියල බලන්න කැමති අය ඉන්නවද තවත් ?
ඉන්නවනම් කියන්න.
බොරුවට පුරාජේරුවට නෙමෙයි සිරාම අදහස, කියන්න.
උඹ මේ මගුල නවත්තලා ලියපු විදිහට පාඩුවේ ඉඳපන්. 
මවාගත්තු ෆැන්ටසි ලෝකෙන් බැහැල ඇවිත් බ්ලොගේ චොර කරන්නේ නැතුව කියල කියන්න හිතෙනවනම් කියන්න. 

මහා ලොකුවට කයිවාරු ගැහුවට මේ කෙරුවාව හරියන්නේ නැති පාටයි

Wednesday, August 1, 2012

"ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"

 මට අයිති නැති මේ හිත පුරා
හොරෙන් කවියක් කුරුටු ගා
පද පේලි අමුණා හැඩ දමා
සිහින් ස්වරයෙන් මිමිනුවා

අහිමි කරගෙන තනුව ජීවිතේ
ඇවිද යමි නුඹ නැති මාවතේ
විහින් සිරකර හැඟුමන් ලයේ
විඳවන්න වෙන බැව් දනිමි මතුභවේ

  
සංසාර පුරුද්දට සෙනෙහසේ
ඇස් ගාව හිඳින්නට පිං නැතේ
යදම් බැඳලු සිත් ඉමේ 
නොයිඳ විගහින් යනු මැනේ

වෙනමම :

මොකක් හරි සීන් කොන් එකක් හින්ද, බ්ලොග් එක කියවන පිරිස අම්බානක අඩු වෙලා, එක්කෝ මං ලියන එව්වයේ රහක් නැතුවද, එහෙම නැත්තම් අන්තර්ජාතික කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්ද, එහෙමත් නැත්තම් මගේ අපල කාලයක්ද කියල හිත හිත ඉන්නකොට හිතට මෙන්ම ගතට කික් එකක් දැනෙන මාතෘකාවක් ගැන ලියන්නවත් ඕනේ කියල ටොපික් එකක් හොයා හොයා ඉන්නකොට මතක් වුනා " ඇයි දෙයියනේ මේ මං හොඳ මාතෘකාවක්නේ" කියල.  දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ...ඔය තියෙන්නේ, මම හිතෙන් හිතන් ඉන්නේ මම හෙන "ෆේමස් රයිටර්" කෙනෙක් කියලනේ.  අහන දකින එවුන්ගෙන් අහනවා ,
"මචන් මං බ්ලොග් එකක් ලියනවා දන්නවද" කියල
උන් හැරෙන තැපෑලෙන් අහනකොට
"ඇඃ උඹ බ්ලොග් ලියනවද" කියල, දිව හපාගෙන මැරෙන්න හිතෙනවා. අපේ ගමේ උන්ට මං බ්ලොගක් ලියනවා කියල කට කැඩෙනකන් කිව්වත් උන් නෙමෙයි විශ්වාස කරන්නේ. උන්ට තේරුම් කරලා දෙනවට වඩා හොඳයි පාරේ ඉන්න හිඟන්නෙකුට හෝඩිය උගන්වනවා.
උන් හිඟාකෑම අතැරලා හෝඩිපොත් හරි විකුණයි.


ජීවිතේ මේ දවස් වල ටිකක් ගල් බනිසුයි කිරි හොදියි වගේ වෙලා තියෙද්දී අර "තනිකම" කියන එක මාව මරාගෙන කන්න හදද්දී උඹලගේ/අක්කලාගේ අයියලාගේ බ්ලොග් වලට ගොඩවෙලා තමයි පොඩ්ඩක් හරි මූඩ් එක ෆික්ස් කරගන්නේ. ඉතින් උඹලගේ බ්ලොග් කික් එකේ නැගල යද්දී ඇයි දෙවියනේ මගේ එකට හිට් ටිකක් ගන්න බැරි කියල හිතෙනකොට කඳුළු කැට හෝ ගාල කඩා වැටෙනවා.
ඇයි ඉතින් මං හිතන් ඉන්නේ මම හෙන "ෆෙමස් රයිටර්" කියලනේ.
  
ජිල්බෝල හොද්දක් වගේ වෙලා තිබ්බ සිතුවිලි අස්සේ සෙල්ලම් කර කර ඉන්නකොට
තමයි මඩියා හෙවත් මඩිස්සලේ නිශාන් බ්ලොග් එක හිට් කරගන්න විදිහක් ගැන කියල තිබ්බේ. ඒවත් ආදර්ශෙට අරගෙන ඔන්න ළඟදීම ඉඳන් ලියවෙන "ෆේමස් රයිටර් මං" සීරිස් එක කියවන්න කැමති කට්ටිය අත උස්සන්න බලන්න...........!!! ආ...... දැන් අත පාත්දාල හොඳ ළමයි වගේ ඒක පාතින් ලියල යන්න..
කවි, කෙටිකතා විතරක් ලියල නිකන් හෙන ශාස්ත්‍රීය පොරක් වෙන්න මට බෑ අප්පා. මට ඕනේ මික්ස් පොරක් වෙන්න. ඔන්න උඹලත් මට හෙල්ප් කරන්ඩ ඕනේ හොඳේ !!
මගේ හීනේ හැබෑ කරගන්න...

මගේ "ෆේමස් රයිටර්" හීනේ

ලස්සනට කරගෙන ආව බ්ලොග් එක වනවෙයිද මන්ද