My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Wednesday, August 23, 2017

කවිද, මමද ?


සියළු තත් බිඳ,
කිසි දොසක්
නොනගන්න,
වීණාව වැරදි නැත,
මියුරු ස්වර
නොවැයීම ගැන,

යුෂ්මතිය ඔබ,
වැරදිකාරියද
නිවැරදිකාරියද,
කවියෙකුට කවි
අහිමි කරලීම
සම්බන්ධව,

ස්වාමිනි ගරු,
ඔහු පැටැලුනේ
ඇස්වල,
ඉනික්බිති,
හදවතේ මැද,
කොයි ගෑණිටද
පුළුවන්,
ආදරේ බෙදා ගන්න,

ස්වාමීනි ඔහු,
තීරණයක්
ගත යුතුව ඇත,
අදින් පසු,
කවිද, මමද ?

~ ව(ර්)ඩික්ටඩ් රයිටර් ~

Polluted Love | a Tired Kiss


දුම් දූලි දැලි වැකුණු
ලයිට් කණුවල ලැග,
කුස ගින්දරෙන්
මර හඬ දෙති

කැහැටු කේඩෑරි
සිරුරක් හිමි,
වාචාල ගති ඇති
කාකයින් රැළ,

"ප්‍රේමියෙනි, අල්වා ගනු මැන
වැරෙන්, වැරෙන් මගෙ අත"
වසුරු පාවඩ මතින් පියවර,

සොඳුර අර බලනු
මඩ පැහැති දියවර,

විස වැකුණු හුළඟින්
ළය පිරී පිපිරෙන'තර,
බේරේ වැව පිස හමා යයි
කොන්ක්‍රිට් බිල්ඩිමක ප්‍රාණය,

කාබන් රැස් වළල්ලක් මැද,
කහ ඉර මියැදුණේ නම්
අදක, ඊයෙක,

දැදුරු වූ ඕසෝන් වියන යට හිඳ,
සියක් දහසක් දෑස් මග හැර,
විඩාපත් ඔබේ නළල් තල මත
ධූලි සූඳැති හාද්දක‍ටය අවසර...


~ පොලියුටඩ් රයිටර් ~

Monday, August 7, 2017

කප්පම්කාරි



ඔබ බඳ වටා එති
ම'වමත මත,
ආදරය යහමින් ඇනූ
බත් ගුලි රැඳි
පිඟානක්,

ම'ළයට පිටදී
දෙතොල
තද කරගෙන,
මග හරී නුඹ,
කවන කවනා
එක් කටත්,

හාදුවක් නළලත
අැතිරීමකින්
ඉක්බිතිවය,
කැවිය යුත්ත‍ේ
යළි බත් පිඩක්,

හැබෑවක්මය ඔබ
කල්යල් බල බලා හිඳ,
මහද මල් ‍රොනින් ගැවසූ,
කප්පම්කාරියක්

~ බ්‍රයිබ්ඩ් රයිටර් ~

Tuesday, August 1, 2017

ක්ලියෝපැට්‍රා

අහඹුවකින් හෝ ඇගෙන් ලද ආරාධනය නොලැබෙන්නට, මේ මොහොත වන විටදීත් මා, ඈගේ වාසස්ථානය කොහේදැයි සොයමින්, ලතැවෙවී හිඳින්නට තිබිණ. යම‍ෙකු අතින් සුපුරුදු පරිදි සිදුවන අවන්හල කෙළවරක මේසයක්, ඇගේ තෝරාගැන්ම සිදු නොවී එහි හරි මැද තැනක බොහෝ දෙනාගේ ඇස ගැටෙන මානයක හිස්ව තිබි, තනි අසුනක් තෝරා ගැන්ම වී තිබිණ. බොහෝ දුරට ඈ කෙරේ මා සිත පැවතියා වූ නිද්‍රාශීලී උනන්දුව හා කුහුල තව තවත් තීව්‍ර කරවීමට එයද හේතුවන්නට ඇත.

ගැහැණියකගේ එක් අඩැසි බැල්මක් කොයි තරම් නම් ප්‍රභල මායාමය නිමැවුමක්දැයිද, එය මධුවිතාන්ධකාරයක ගිලී තිබෙනා දෑසකින් ලද විට ඇති වන්නා වූ අතිශය සොඳුරු බව ජීවිතේ පළමු වරට මට ඒත්තු ගැන්වෙමින් තිබිණ.

පිට පිට මා දල්වාගත් තෙවන සිගරට්ටුව අවසානය කරා ළඟාවත්ම, ඈ හා තරමක් කුළුපග වී හිඳීමට හා ඇගෙන් සැලකිය යුතු අවධානයක් මා කෙරේ යොමුකර තබා ගැනීමට හැකිවීම පිලිබඳව මම යටි හිතින් ප්‍රීති වීමි.

ඉනික්බිති කිහිපවිටක්ම නොකඩවා අප එහි මුණ ගැසුණෙමු. ඒ සෑම දිනකම ඈ වෙරි මතින් මත්වී සිටියාය.

"මං....ම්ම්ම් කවි ලියනවා... පත්තරේට"

ඈ, මා කරන්නේ කුමක්දැයි ඇසුවිට දුන් පිළිතුරෙන් තිගැස්සී ගිය අතර, සැනින් මුව රැඳී වොඩ්කා උගුර, පිට ගිරියේ යෑමෙන් දැඩි අපහසුතාවයකට පත් වුවාය.

-----------------------------------------------------------------

ඉහිලිය නොහැකි තරමේ සීතලත්, යාරයකට දෙකකට නොවැඩි දුරක් නොපෙනෙන තරමටත් හාත්පස පැවතියා වූ මිහිදුම, දැඩි විය. තරමක් දුරට දිය සෙවල බැඳුනු කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරූ, එ'මාවත අඳුරුය, ගුප්තය. ඈ වැනි යුවතියකට තනිව ජීවත් වීම පිණිස, කොහෙත්ම නොගැලපෙන ඉසව්වක්'යයි මුලින් කල අනුමානයට අනුව මට හැඟී ගියද, ඈ හා ලද කෙටි පිලිසඳරින් පසු ඉඳුරාම තේරුම් ගිය යමක් වී නම් ඒ, මේ පෙදෙස, නිවස්නය, ඈ හටම මිසක වෙන කාහටවත් උචිත නොවන බවය.

නොම්මර විසි තුන සඳහන් වූ දිරාපත් පුවරුව සහිත එ'නිවස තනි කළු ගලින් බැඳ නිමවා තිබිණ. වහලයට පැරැණි වලව් ආභාශයක් එක්වී තිබිණ. අපිරිසිදු වීදුරු වලින් සමන්විත ජලෙන් කවුළු බොහෝ කාලයකින් නොලද පිරිසිදු කිරීමක් ගැන සාක්ෂි දැරුවේය.

මිහිදුමෙන් තෙත බරිත වූ අඳුරු පැහැ පළල් පියගැට පෙළ තුනක් නැග, මා නිවසෙහි දොර ලඟට සේන්දු වීමි. ඝන අයිස් කුට්ටියක් තරම් සීතලව පැවති සීනුව හඬවන අතරතුර, පා පිස්නාව කෙළවරක ගලවා තිබු ඇගේ බූට් සපත්තු යුගල හඳුනාගන්නට මට හැකිවිය.

ඉකුත් දා රැයෙහි අවන්හලෙහි සිට කුලී රථයෙන් ඈ එන්නට ආ මොහොතේ පටන්, ඒ එන්නට ඇතැයි අනුමාන කල හැකි සියලුම ඉරියව්වන් මම, යටි සිතෙන් පරිකල්පනය කර ප්‍රතිනිර්මාණය කලෙමි. ඇයට සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැකි දරුණු ගණයේ අකරතැබ්බයන්ද සිහියට නැගෙත්ම මාගේ ඉවසීමේ සීමාවන්හි යම්කිසි වෙනසක් සිදුවන බව වැටහිණ.

දෙකන් පෙති පසුපස ගිණි ගන්නාක් මෙන් දැනෙන්නට වුයෙන් මා ඉතා උවමනාවෙන් කෙළ පිඩක් ගිලිමි. පෙළන ලද අපහසුතාවයෙන් අත්මිදීමට එය ප්‍රමාණවත් නොවිය.

අනවරතව කීපවතාවක් සීනුව නාද කළද ඇගෙන් කිසි ප්‍රතිචාරයක් නොවීම හේතුකොටගෙන, ඒ මොහොත වන විටත් මසිත පැවති අනිසි නොසන්සුන්කම දෙගුණ තෙගුණවන්නට විය.

"ක..වුද.......!" සැලකිය යුතු උත්සාහකිරීම් කිහිපයකින් ඉක්බිති, නිදිබර, මත්බර, විඩාබර බිඳුණු කටහඬකි, නියතවම මම හඳුනා ගතිමි, ඒ ඈය, ඈගේ කටහඬය.

"ම්..ම් මේ මම.. විශාක, අපි ක්ලියෝපැට්රා එකේ කිහිප දවසක් මීට් වුනේ"

මිනිත්තු තුන්කාලක පමණ නිහඬතාවයකි. එය ජීවිතේ ගෙවන ලද අසීරුතම ඉසිඹුවන් අතරින් එකක් වුයේ මන්දැයි මාගෙන්ම ප්‍රශ්න කරගත් අතර, පිළිතුරක් නොලද්දෙන් මා ගැනම ඇතිවූ උපහාසය මිශ්‍ර සෘණාත්මක හැඟීමකින් පීඩාවට පත්වීමි.

මොහොතකින්, තරමක් දුරට මලකඩ කා තිබුණු දොර අගුල "ක්රස්" ගා හඬක් දී දොර පළුවක් විවිර විය.
නිදිගැට හරිමින්, නිදි ඇඳුමින් සැරසුන යුවතියක් ද්වාරය අභියසින් මා අපේක්ෂා කළද, ඒ කිසිවක් එපරිදි සිදු නොවිණ. කඩා හැලෙනා දිගු සුදු සායකිනුත්, දෙඅත් වැලමිට තෙක් දිගට මැසූ සරල බ්ලව්සයකිනුත් ඈ සැරසී සිටියාය. ඈගේ කොණ්ඩය හිස මුදුන් කොට ගුලියක් සේ බැඳ තිබිණ.

සිහින් මන්දස්මිතයක් මුව රඳවා ඇතුළට එන්නැයි ඈ හිසින් සන්කොට කළා වූ ඉඟිය, මා තේරුම් ගත් බැවින් මේ'යයි පැහැදිලිව වටහා ගැනීමට අපහසු සුවඳක් ඔස්සේ මා ඈගේ පසුපසින් වැටිනි.

"සමාවෙන්න විශාක" "ගොඩක් වෙලාද ඇවිත්.?" ඈ මගේ දෙනෙත දෙස එක එල්ලේ බලා කීවාය.

ඉකුත් රාත්‍රීන්හිදී අවන්හලේදී ඈ වචන උච්චාරණය කළ හුරුවත් හා මේ මොහොතත් අතර පරතරය මා සියුම් නුහුරක, ආගන්තුකත්වයක පතුලක ගිල්වා තබන්නට සමත් විය.

"මම වෙන කල්පනාවක හිටියේ.." ඈ පැවසුවාය.... "අපි මෙතනම වාඩි වෙනවද, එහෙමත් නැත්තම් එතන ඇතුලටම ගිහින් කතා කරමුද ?"

"ම්ම් මම හිතන්නේ අපි ඇතුළට යමු." මම වචන ගැට ගසාගතිමි.

"මං ගොඩක් නොයිවසිල්ලෙන් ඉන්නේ එතැන දැක ගන්න"

පසුතැවිල්ලක හා මලානික ස්වරුපයක් ගත් දෙතොල මත නැගී ආ සිනහව ඈ යටපත් කරගනු මා දුටුයෙන්, ඈ මගෙන් දෑස් සඟවා කතා කරන්නට පටන් ගත්තාය.

නිවස ඇතුලත වූ පටු කොරිඩෝවක් ඔස්සේ සුපුරුදු පරිදි මා ඈගේ සුවඳ පසුපසින් ඇදුනෙමි. පටු කොරිඩෝව කෙලවර වම් පස දෙසට එල් අකුරක හැඩයක් ගත් තැන, බිම් දොරකි.

ඈ තරමක් පහත් වී ලෑලි තට්ටුව ඔසවා ආධාරකයක් මත රඳවා, එතැනින් පහලට විහිද ගිය පියගැට පෙළ ඔස්සේ පහළට ගිය අතර මා ඈ අනුගමනය කළෙමි.

නහය හාරන පුස් කුයිලත්, අඳුර සමග සටන් කිරීමෙන්ම හෙම්බත්ව ගිය මලානික විදුලි පහන් එළියත් මැද, මා කුටිය කෙලවර තිබී ලියන මේසය හඳුනා ගතිමි.

"මේ මෙතන, එයා කවි ලියපු තැන, මේ රාක්කෙ සම්පුර්ණයෙන් තිබුණේ එයා අවුරුදු ගානක් ලියල ලියල එකතු කරපු කවි." ඇගේ හඬ අතිශය දුර්වලය.

"දහස් ගාණක් තිබුණා"

මම පිළිතුරු පිණිස කිසිවක් නොකියා කාමරය වටා අවශේෂ බැල්මක් හෙලිමි.

"මේ මොකක්ද...?" ෂොපින් කවරයක බහාලු යමක් ඇස ගැටුණෙන් මම විමසීමි.

"අළු......කඩදාසි අළු.."

"අළු...?" මම නැවතත් බර කොට පැවසුවෙමි.

"ඔව් අළු, එදා මම පුච්චපු, එයාගේ කවි ලියපු කොළවල අළු"

"අපරාධයක්.." මම බලාපොරොත්තු සුන් වූ හඬින් තෙපලීමි.

"නෑ" ඈ නොරිස්සුම් හැඟීමෙන් කීවාය.

"එයා ලියපු කිසි දෙයක් ඉතිරි නැද්ද...."

"නෑ කිසි දෙයක් නෑ... ඒ ඔක්කොම තමයි මේ කවරේ"

"ඔයා ඇයි එහෙම කළේ..?"

"මං කවියන්ට වෛර කරනවා, ජාති ජාතිත් වෛර කරනවා"

ඈ කෙරෙන් පෙර නොවූ වියරුවක සේයාවක් දිස්වන්නට විය. එතනින් වහා පිටවීමේ දැඩි අවශ්‍යතාවයකින් මා පසුවූ අතර ඒ වන විටත් මා ඉතා ප්‍රමාදය.


~ ට්‍රැප්ඩ් රයිටර් ~