Tuesday, June 26, 2012

මාරාවේශය

අතු පතර විහිදී ගිය රූස්ස ගස් කොලන් වලින් හෙබි නුපුරුදු අඳුරු වීදිය මතින් ඔහු ඉක්මනින් පය තැබුවේ මලානික අඳුරත්, හරි හැටි නමක් නොදන්නා කුරුල්ලන්ගේ  කන්දොස්කිරියාවත් ඔහුගේ මනසට තවත් විඩාව පමණක්ම එක්කල නිසාවෙනි. කපුටු, වවුල් වසුරු ගඳ මෙන්ම තැන්  තැන්  වලින් වහනය වූ දැඩි මුත්‍රා ගඳ ඔහුට ඔක්කාරය ගෙන දෙන්නට වූ අතර හුරුපුරුදු වද වේදනාවලින් මතකය නැවත අවුළුවන්නටද ඒ පරිසරයට හැකි විය.  ගත පෙලනු ලැබූ විඩාවත් පියවෙන්නට වෙර දරන රත් පැහැ දෙනෙත් යුග්මයත් ඔහු කෙරෙහි පැවති විඩාබර ස්වරුපය තවත් වැඩි කරන්නට සමත් විය. පපුව තුලින් නැගෙන උණුසුම් වායු දහරා සුසුම් සමග මිශ්‍ර වී දෙතොල් පට අග දිලිසෙන දහදිය බින්දු තව තවත් උණුසුම් කළේය. සිරුරට ඇලී ගිය කමිසය නිසා මුළු ගතම උණුසුම් වී තිබුණි. ඊට අමතරව ආත්මය පුරා අනසක පතුරවා සිටි තනිකමින් හා පාලුවෙන් මෙන්ම පසුතැවීමකින් ඔහු හෙම්බත් වී සිටියේය. ඉවසාගත නොහැකි බඩගින්න ඔහුට ඔහු කෙරෙහිම මතත් ආත්මානුකම්පාවක් ඇති කළේය. තවත් මොහොතක් හෝ හදවත තුල රැඳුනි නම් හදවත පවා දවා හලුවන තරමේ උෂ්ණ වූ සුසුමක් වාතලයට මුදා හැර ලය සැහැල්ලු කර ගත් ඔහු මොහොතකින් අඳුරු වීදිය පසු කොට කුඩා තේ කඩයකට ගොඩ වැදුණි.


කුසතුලින් බුර බුරා නැගෙන බඩගින්න නම් වූ ගිනිදැල් අඩපන කිරීමට ඔහු පාන් රාත්තල් තුන්කාලක් එක හුස්මට හොදි සමග ගිල දමා අත සෝදා බිල නොගෙවා හැකි වේගයෙන් දිවගියේ කඩේ දෙසින් ඇසුන අමු තිත්ත කුණුහරුප කනකටවත් නොගෙන ආපසුවත් නොබලාමය. ටික දුරක් පස්සෙන් පන්නගෙන ආ වේටර්ද උත්සාහය අතහරිනු දුටු හෙයින් පාර පැන අතුරු පාරකට හැරී වේගය අඩුකර මාවත අයිනේ තිබුණු සිමෙන්ති බංකුවක් මත හිඳ ගත් ඔහුගේ මුහුණේ තිබුනේ ජයග්‍රාහී හැඟීමකට වඩා කළකිරීමක එමෙන්ම පසුතැවීමක හැඟීමක්ය. කඩකාරයාගේ අතට හසුවිණි නම් ගුටිකන්නට හෝ පොලිස් කුඩුවේ ලගින්නට සිදුවන බව ඔහු දන්නා නමුදු ඉකුත් සිව් වසර තුල බන්ධනාගාරයේ විඳි අත්දැකීමෙන් ලැබූ පරිචය නිසාවෙන් එවැනි වරදක් කර හසු වුනොත් නැවත මුහුණ දෙන්නට ලැබෙන ප්‍රතිපලය පිළිඹද ඔහු දෙවරක් සිතුවේ නැත.


ඉවසාගත නොහැකි ලෙස රිදුම් දෙන දෙපා කකියන නිසාම බොහෝ වෙලාවක් බංකුවේ හාන්සි වී සිටියේය. තරමක් නිහඬතාවයෙන් යුතුවූ වීදියේ ඉඳහිට ගමන් ගන්නා පුද්ගලයින් කීපදෙනෙකුගේ කතා බහක් හැරුණුවිට එය මුළුමනින්ම නිස්කලංක විය.  ඊට අමතරව ඈතින් ඇසෙන වාහන වල නලා හඬත් වෙලාවක් අවේලාවක් නොමැතිව එලියට බට මදුරුවන්ගේ "කී.....න්"  හඬත් පමණක් නිහඬතාවයට තරඟකාරීත්වයක් එක්කරන්නට සමත් විය. ගණ හිරු රැස් ඇහිරු තුරු වියන හිසට සෙවනක් විය. මදි නොකියන්නට හමා ආ මුහුදු සුළන් රැල්ලත් ගතේ විඩාව නිවාදැමීමට නිහඬවම ඔහුට උපකාරී විය. හිස් බැල්මකින් ඈත නලියන මිරිඟුව දෙස බලමින් කුමක් කෙලෙස කොතන කාට වැරදුනාදැයි නිශ්චිතවම සොයා ගැන්මට නොහැකිව ලත වුයේය.   එම වේදනාව පපුවට කොතරම් බරක්වුවා දැයි  කියතොත් ඔහු එවලේ තම පපුව අතකින් අල්ලා ගත්තේය. අයාලේ පාවෙන හිත තෙරක් නැති මතකයන් අතර සැරිසරමින් අතීතයට යන්නට වෙර දැරුවේය. අතීතය සමග ගනුදෙනුව ආත්මයට තවත් දුකක් මිසක සතුටක් එක්නොකරනු බව ඔහු දනී. එහෙයින් අතීතය වලදමා වර්තමානය තුල නැගී සිටින්නට ඔහු පිඹුරුපත් සැකසීය. ඒ සඳහා "සමදරා" සොයා යායුතුද නැතිනම් ඇයට ඇගේ ලෝකයතුල ජීවත් වෙන්නට ඉඩ දී තමුන් තමාගේ ලෝකය තුල ජීවත් විය යුතුද යන්න දැඩිව තීරණයක් ගත යුතුව ඇත. කිසිදා නොවෙනස් වේ යයි පැවසු සමදරාගේ ආලය තවමත් එලෙසම තමන් වෙනුවෙන් ඇත්ද.  ඇගේ සිතෙහි සෑම බිම් අඟලකම තමන්ගේ මතකයන් තවමත් නොනැසී සැරිසරනු ඇත්ද. නැතිනම් තමන් ඇගේ ජීවිතයට තුන්වැන්නෙක් පමණක් වේද, යන සිතුවිලි ඔහුගේ මග ඇහිරීය. 


සිරගත වූ  සිව් වසරක් තුල ගෙවී ගිය දින අතර ඔහු ඇය දුටුවේ දෙවතාවකි. ඒ හමුවූ දෙවතාවේම ඇය ඔහුට තවමත් ආදරය කරන බව පැවසුවාය. නමුදු  පසුගිය දෙවසර තුල හිටි හැටියේ නොපැමිණි ඇය මේ වන විට  කිනම් ලෙසක කෙලෙස ජීවත් වෙනවාද යන්න ඔහුට දැඩි ප්‍රශ්නාර්ථයක් විය. අගේ සිතතුළ තවමත් ආදරයක් ඇති සම්බාවිතාවට වඩා නොමැති සම්බාවිතාව වැඩි නිසා ඔහුගේ සිත තව තවත් දුර්වල කළේය. එහෙත් සියල්ල පරයා නැගෙන අධ්‍යාත්මික සන්තානගත සිතුවිලි ඔහුගේ දුර්වල සිත ප්‍රාණවත් කළේය. නව බලාපොරොත්තු ජීවිතයට ආලෝකයක් වන්නා සේම, තමන්ගේ නව බලාපොරොත්තු නිසා ඔහුගේ ජීවිතය ආලෝකමත් වනු ඇති සිතු ඔහුගේ මුවේ කොනක ජයග්‍රාහි සිනාවක් රැඳුනි. 


මසක් ඇතුලත විටක ගැටකපන්නෙක් ලෙසද, නාට්ටමියෙක් ලෙසද, මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් ලෙසද චරිත රඟපෑ ඔහු ගමට යාමට ප්‍රමනාවත් මුදල් සොයා ගැනීමට හැකි විය. කටෝර කර්කෂක අනුකම්පා විරහිත සමාජයෙන් පිටමන් වී අතීතය තුල පෙරදා විඳි සුන්දරත්වය නැවත විඳීමට ගමට යාමට ඔහුගේ බලාපොරොත්තු ඔහුට පෙරම සුදානම් විය. හිමිදිරි පාන්දරක අගනුවරින් ගම රට බලා යන බස් රථයක නැගී හෙතම කාගේත් නිහඬ අවධානයට යොමුවිය. දිගට වැවුණු තඹල පැහැති කෙස් වැටියත් මුහුණ පුරා වැවුණු රැවුලත් ඒවාට හේතු සාධක සැපයිය. සිතුවිලි සමග ඔට්ටු වී දීර්ඝ ගමනකට පසු බසයෙන් බැස ඔහු පයින්ම ගම ඇතුලට ගියේය. තමන් ගමේ නැතිව සිව්වසරක් වැනි සුළු කාලයක් ගත වුවද ගමට සැලකිය යුතු වෙනසක් සිදුව තිබිණි. තැන තැන දිගටම කුකුල් ෆාම්ද, උස් ගොඩනැගිලිද, ගොඩ ඉඩම් වී ඇති මඩ ඉඩම්ද, අඩක් දුරට කොන්ක්‍රීට් වී ඇති ගුරුපාරද ගම එහෙම පිටින්ම කන පිට ගැසී ඇති බවක  සලකුණු දැක ගන්නට ලැබුණි. තවමත් කොන්ක්‍රීට් නොකළ  ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගොස්  නිවසක කඩුල්ලක් ළඟ නතර වී ඔහු මොහොතක් කල්පනා කළේය. වෙනදාට වඩා සිව්ගුනයකින් හදවත ගැහෙන්නාක් මෙන් ඔහුට දැනුනි. නොයිවසුම් සිතුවිලි විසින් මෙහෙය වූ ඔහු උණ බට කඩුල්ල පන්නා දමා නිවස දෙසට සෙමින් පියවර තැබීය. නිවස දෙසින් සමදරාගේ කට හඬ ඇසී මොහොතකින් ඇගේ රුපය ඔහු ඉදිරියේ මැවුනි.


"ස...මදරා.."


බිරාන්ත වූ ඇය වෙව්ලන කටහඬින් යුතුව


"ධ....ධ...ම්මික...." යයි කිවේ එක අතකින් මුව වසාගෙනය.  


එත් සමගම නිවස දෙසින් 


"සමදරා" යි පිරිමි කටහඬකින් ඇය අමතනු ඔහුට ඇසුණි.


කඩා වැටෙන්නට සැරසෙන අඳුරු අහසක මැවෙන අඳුර ඔහුගේ මුහුණ මත මැවෙන්නට විය. සිහින් වූ ඇගේ දෙනෙතත් ඔහුගේ දෙනෙතත් එකම රේඛාවක හමු වූ නිසාවෙන් ඔවුනොවුන් අසරණ වී සිටියහ. ඔහු ඇගේ දෙනෙත් වල පටලැවී තිබුණු පසුතැවිල්ලක අසම්පුර්ණ හැඟීම් ඇහිඳින්නට විය. 


"මං...මං... එන්නම්"


 යයි කීමට අමාරුවෙන් වචන ගලාපා ගත්  ඔහුට  ඇයගේ දෙනෙත් හීසර වලින් මිදෙන්නට අපහසු විය. නමුදු යා යුතුව ඇති බැවින් ආපසු හැරී පියවරක් තැබීය. 


"ධම්මික, උඹ කවද්ද හිරෙන් නිදහස් වෙලා ආවෙ. ආපු ගමන් යන්නේ. කහට උගුරක්වත් බීල පලයන්."


දෙසවන් පලානැගුනු ඒ හඬට පිළිතුරු වශයෙන් "අවැසි වන්නේ කහට නොවේ, දිවි තොර කර ගැන්මට වසක් විසක්" බව පැවසිය යුතු වුනත්  ඔහු ආයාසයෙන් එම වචන මැඩ ගත්තේය.


"මේ ලඟදි බන්දු ආවේ, මං ගිහින් එන්නම්"


නමුත් තවත් වරක් හැරී සමදරා දෙස බලා කිසිත් නොකියාම ආපසු යන්නට විය. නිවස දෙසින් ඇසුණු කසු කුසුව ඈතට යද්දීම නොඇසී ගියේය. ගිනිගෙන දැවෙන යකඩයකින් පහර දෙන්නාක් මෙන්  හදවත වේදනා දෙන්නට විය. එමින් අතර මගදී ඔහු කල්පනා කලේ, මීට සිව් වසරකට පෙර තමා නොකළ සොරකමකට සිරබත් කෑවේ,  සමදරා තමන්ගෙන් උදුරා ගැනීමට සිදුකල කුමන්ත්‍රණයක මුල් පියවර වශෙයන් බන්දු විසින් අටවන ලද උගුලක ප්‍රතිපලයක් නිසා නේදෝයි සිතමිනි.


කඩාවැටුණු ජීවිතයේ නටඹුන් නැවත එකලස් කර පලක් නැති බව ඔහු කල්පනා කළේය. සමදරා නොවෙනස්ව හිටියානම් බන්දුට දිනුම හිමි වෙන්නේ නැත. මොනදේ අහිමි වුනත් ඇයගේ ආදරය ශක්තිමත්ව ඔහු සතුවේ තිබුණි නම් ජයග්‍රාහකයා තමන්ය. නමුත් සියල්ල නොසිතුව ලෙසක නැවත විසඳාගත නොහැකි ලෙස වෙනස් වී තිබුණි. එම නොවෙනස් කල හැකි අතීතයට ඔහු  වෛර කරන්නට පටන්ගත්තේය. ඔහුගේ වෛරය නතර වුයේ සමදරා පිළිබද පෙර පැවති ආදරයද වෛරයේ ගිනි දළුවලින් වෙලාගත් පසුවය.  දුහුවිලි අවුස්සවමින් ඉදිරියට පය තැබූ ඔහු ආපසු  තැබුවේ ඉනේ සඟවා සිටි කිනිස්ස මාරාවේශයෙන් අමෝරා ගෙනය.

62 comments:

  1. මේ සැරේ පොස්ට් එක ටිකක් පරක්කුයි හොදේ...:/
    මේකට කොමෙන්ටුවක් හෙන ගේමක් දෙන්න උනානේ..:)
    මගේ අම්මියෝ මෙන්න මිනි මැරුමක්... මන් දැක්කේ නැ හොදේ...;)
    සමාජේ සිද්ධ වෙන දෙයක් ඇත්තටම ඔයාගේ කතාවකට යොදාගෙන තාත්වික විදියට ලස්සනට ලියනවා මල්ලියෝ...නියමයි
    ආදරේ වෛරයකට පෙරලෙන්න යන්නේ තප්පරෙක්ටත් අඩු කාලයක්..
    අපෝ ඔය ආදරය ගැන නම් මන් කතා නැ හොදේ...:)
    නියමයි නියමයි...
    ජයෙන් ජයම වේවා..!!!

    ReplyDelete
    Replies
    1. අහා...හිප් හිප් හුලේ මන් එක වෙලා..:)

      Delete
    2. ආ හරි හරි ඔයා දැක්කේ නෑ. ඔව් අප්පා හිත නිදහස් වුනේ නෑ අප්පා පහුගිය ටිකේ. එකයි පරක්කු වුනේ. ගොඩක් ස්තුතියි හොඳේ. ඒක වුනාට තෑග්ග මොනාද දෙන්නේ ? පොස්ට් එකක්ම තමයි ඉතින්.

      Delete
  2. අනේ මන්දා ප්‍රශ්න තමා හැමදේම..

    ReplyDelete
    Replies
    1. ඔව් සෑමෝ ඇතුලෙත් ගැට පිටත් ගැට

      Delete
  3. මාර කතාවක් නේ. මාව නිකන් කරකවලා අතෑරියා වගේ !!
    ඇත්තටම මේ වගේ සිදුවීම් අද සමාජයේ සිදුවෙන්නේ නෑ ය කියලා කියන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේවගේ ඒවා විතරක් නෙමේ මධුරංග අයියේ මීට වඩා දරුණු ඒවත් දවසගානේ අහන්න දකින්න ලැබෙනවා.

      ගොඩක් ස්තුතියි !

      Delete
  4. ආයෙත් ජීවිතාන්තය දක්වා හිරේ යන්න වගේ ලෑස්තිය! ඵල ඵල... ලස්සනට ලියලා තියෙනවා අදත්!

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරුවෝ සමහර විට ජීවිතාන්තෙට. සමහර විට ජීවිතයෙන්.

      ගොඩක් ස්තුතියි !

      Delete
  5. නියමෙට ලියල තියෙනව... අන්තිම වාක්‍යයෙ වචන පැටලිලාද?.. /*දුහුවිලි අවුස්සවමින් ඉදිරියට පය තැබූ ඔහු ආපසු තැබුවේ ඉනේ සඟවා සිටි කිනිස්ස මාරාවේශයෙන් අමෝරා ගෙනය. */

    ReplyDelete
    Replies
    1. දුහුවිලි අවුස්සවමින් ඉදිරියට [තැබූ පය] ඔහු ආපසු තැබුවේ ඉනේ සඟවා සිටි කිනිස්ස මාරාවේශයෙන් අමෝරා ගෙනය.

      ඔව් සාතන් අයියේ. එතන වෙනස් වෙන්න ඕනේ. වචන දෙක මාරුවෙලා. ගොඩක් ස්තුතියි හොඳේ වැරැද්ද පෙන්නලා දුන්නට.

      Delete
  6. කිසි වරදක් නැතුව සිරබත් කෑ මොහු නිදහස් වෙලා එද්දී තමන් සමඟ හිටපු සමාජය වෙනස් වෙද්දී තමන්ගෙන් පාලි ගද්දි තමන් තනිවෙලා කියල දැනෙද්දී අකමැත්තෙන් වුනාත් ජිවිතේ රැකගන්න අපරාධකාරයෙක් වෙන්න සිද්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අසාර් අයියේ. ජීවිතේ වැරද්දක් නොකරන අහිංසක මිනිස්සුන්ට කේන්ති ගියාම සාමාන්‍යෙන් දරුණු වෙනවා වැඩියි. ඊටත් වඩා නොකරපු වැරද්ද්දකට දඬුවම් විඳලත් ඉන්නකොට කේන්තිය ඩබල් ට්‍රිබල් වෙනවනේ. ගොඩක් ස්තුතියි !

      Delete
  7. අපුරුයි..හරිම ලස්සනයි..

    ආදරය වේදනාව වෛරයක් වෙන්න එච්චර වෙලා යන්නේ නැහැ නේද..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිම්ශා. ඔව් ආදරේ වෛරයක් වෙන්න ඇසිල්ලක මොහොතක් ඇති කියල මට නම් හිතෙන්නේ.

      Delete
  8. අදත් කතාව ලස්සනයි මලයා.. මම මාර ආසාවෙන් මලයගෙ කෙටි කතා බලන්නේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. ඒ ආසාව තමයි ඊළඟ පොස්ට් එකට ධෛරිය දෙන්නේ.

      Delete
  9. නියම කතාවක්. ආදරයයි වෛරයයි එකම කාසියක දෙපැත්ත වගේ කියනවානේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි වර්ණා අක්කේ/නංගි, ඔව් එක්කෝ ආදරය නැත්තම් වෛරය. දෙකම එකට කවදාවත් රැඳෙන්නේ නෑ.

      Delete
  10. හොඳ නිර්මාණයක්

    ReplyDelete
  11. හ්ම් ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි....... ඔයාගේ හැම නිර්මාණයක් වගේම මේකත් උපරිමයි. මම කැමතිම ඔයාගේ භාෂා විලාශයට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කාව්‍යා අක්කේ. ඔව් ඒ කෙස්ගහේ වෙනස හින්දනේ ආදරේ වෛරයක් වෙන්න ඒහැටි වෙලාවක් යන්නේ නැත්තේ.

      Delete
  12. නියමෙට ලියල තියෙනවා බන,උඹේ කතාවක් කියවන්න ගොඩක් දවසකින් ආවේ!උඹ උඹේ ඉලක්කයට දවසින් දවස යනව.හරවත් නිර්මාණ බිහිකරන්න උඹට ශක්තිය ලැබෙන්න කියල පතනවා!

    ReplyDelete
  13. Replies
    1. ෂෝයි නම් ෂෝයි. ගොඩක් ස්තුතියි හිරුහිමාවී.

      Delete
  14. නියමයි කතාව පැතුම්! ලස්සනට ලියලා තියෙනවා.!

    ReplyDelete
  15. නියම කතාවක්!!!නියමෙටම ලියලා තියෙනවා...

    ReplyDelete
  16. ආදරයත් වෛරයත් අතර වෙනස කෙස් ගහක් තරම් ලු නේ..
    අදමයි මේ පැත්තට ආවේ දිගටම එන්නම්...ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නිෂ්. හා හැමදාම එන්නෝ. ඔව් කෙස් ගහක් විතර ඇති. සමහර විට ඊටත් වඩා පොඩි ඇති.

      Delete
  17. කතාව ලියල තියන විදිය ලස්සනයි. කතාවනම් දුකයි...ඇත්තටම සමදරා වෙනස් උනේ නැත්නම් කුමන්ත්‍රණය සාර්ථක වෙන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සයුරි අක්කේ. ඔව් සමදරා වෙනස් වුනේ නැත්තම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණ.

      Delete
  18. මට මේක කියෙව්වම මතක් වුනේ නම මතක නැති පරිවර්තන කෙටිකතාවක්.කුරිරු සමාජය තමා මේ ලෝකේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් බං. මම පරිවර්තන කතාපොත් කියවන්නේ අඩුවෙන් බං. මට ඔය කියන පොත අහුවෙලා නෑ මචෝ වැරදිලාවත්.සමාජය කුරිරු කරන මිනිස්සු තමයි කුරිරු.

      Delete
  19. කතාව ලස්සනයි පැතුම්. හිරේ ඉඳලා එන අය අතේ කිසියම් මුදලක් ඇත්තේම නැද්ද? මගේ ඔලුවේ තිබුනේ එයාලාගෙන් හිරේ ඇතුලේ ඉන්දෙද්දි, මොනවා හරි වැඩක් ගෙන එයට පොඩි ගෙවීමක් කරනවා වැනි හැඟීමක්. බටහිර රටවල පමනක්ද දන්නේ නෑ.

    ආදරය කරන, කෙනෙක් තමා ලඟින් ඉන්නවා නම්, ජීවිතේ ඕනෑම දෙකට මුහුන දිය හැකි බවක් ඔයාගේ කතාවෙන් තේරෙනවා.. අවසානය නම් දුකයි.

    මේ දාඩිය දාලා ඇඳුම් ඇඟට ඇලෙද්දී නම් දැනෙන්ට ඕනෑ සිසිලසක්. ඇඳුම් තෙමිලනේ. :D:D:D

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පොඩ්ඩි අක්කේ. මම එහෙම කතාවක් දන්නේ නෑනේ. සල්ලි පාවිච්චි කරන්න තහනම්නේ හිර ගෙවල් ඇතුලේ. ඒ කට්ටියගෙන් වැඩ අරගන්නේ දඬුවමක් විදිහටනේ. ඉතින් ගෙවීමක් කලොත් ඒක දඬුවමක් වෙන්නේ නෑනේ. ඒ වුනාට පුනරුත්තාපන කඳවුරු වල නම් සමහර විට එහෙම වෙනවා ඇති. මොකද මං දන්න විදිහට පුනුරුත්තාපන කඳවුරු කියන්නෙයි හිර ගෙවල් කියන්නෙයි දෙකක්.

      ආදරේ කරන හිතක් ජීවිතේට ලොකු හයියක්නේ අක්කේ.

      දාඩිය දාන්න ඇඟ උණුසුම් වෙන්න ඕනෙනේ. ඉතින් දාඩිය දාල ඇඳුම් ඇඟට ඇලුනත් අර කියන උණුසුම ඇඟේ තියනවනේ ඉතින් සීතලක් නම් දැනෙන්නේ නැනේ මටනම්

      Delete
  20. ගොඩක් කතාවල අන්තිමදුකක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ජීවිත වල සතුටට වඩා දුක තියන හින්ද වෙන්න ඇති ගොඩක් කතාත් දුඛාන්තයක් වෙන්නේ

      Delete
  21. ලස්සන කතාවක් පැතුම් . හරිම හැඟුම් බරයි .

    ReplyDelete
  22. හ්ම්....අරුමෙකිසෝබා සංසාරේ......

    ReplyDelete
    Replies
    1. තරුට අද නම් ටිකක් වෙරි වෆේ...;)

      Delete
    2. මොකක්......
      (අඩේ කවුද කිව්වේ)

      Delete
    3. මොකක් උනත් ඇත්තනේ වැඩේ... කිව්වා කෙනා හොයන්න එපා..
      අපිට තියනවනේ ර්ප්යිටර් නිව්ස් සප්ලයි සෙන්ටර් එකක් ඒකෙන් ආරංචි උනා වැඩේ...;)

      Delete
    4. ඔව් අක්කා මම අද කිරි ගොඩා.................................ක් බිව්වා...

      Delete
    5. හොද ළමයා වෙරි උනාම කියන කතා..:)

      Delete
    6. හික් හික්
      …කිරි බී වෙරි වූ තරුවා.

      Delete
    7. @ තරුවා : සිරාවටම ජීවිතේ හැටි නම් පුදුමයි

      තරුව කිරි බීලා වෙරි වෙලා කියන ඒක ගමේ අරක්කු බොන එවුන්ට ඇහුනොත් උනුත් කිරි බොන්න පටන් ගනීවි. අන්තිමට පොඩි උන්ට බොන්න කිරි කඳුලක් හොයා ගන්න බැරි වේවි :P :P

      @ හිරු අක්කේ : ඔය කියන "ර්ප්යිටර් නිව්ස් සප්ලයි සෙන්ටර්" කියන්නේ මොකක්ද?

      Delete
  23. කියන්න දේවල් හුඟාක් හිතට ආවත් කොතනක හරි හැමදේම හිරවෙලා පැතූ................

    ReplyDelete
    Replies
    1. අපි හොයාගමු ඒ කොතනද කියල ශෂීයෝ

      Delete
  24. හැම මනුස්සයම අනිත් අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන නිසා අපිට මනුස්සකමත් අමතක වෙලාද මන්දා..

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්න පුළුවන්.

      එත් ඒ බලාපොරොත්තු වෙන දේ දෙන ඒක දෙන කෙනාගේ යුතුකමක් වගේම ලබාගන්න කෙනාගේ අයිතියක් නම් ?. මිනිස්සු යුතුකම් වගකීම් අයිතිවාසිකම් ගැන ඔයිට වඩා හිතනවානම් ප්‍රශ්න ගොඩක් දුරට අඩු වෙයි රු අක්කේ.

      Delete
  25. නොකරපු වැරදි වලට විඳවන මිනිස්සු මේ ලෝකෙ කොච්චරනම් ඉන්නවද පැතුම්. බන්දුලා වගේ අයගෙ සිතුම් පැතුම් ගැන උරන වෙනවට වාඩා එඇ ගැන අනුකම්පා කරල තම්න්ගෙ ගුණධර්ම නැති නොකරගෙන ඉන්න එක තමයි හොඳම දේ.

    …ලස්සන කතාවක්. සිතුම් පැතුම් ගොඩක් තියෙනවනෙ මෙහෙ. අදයි මුලින්ම ආවෙ. හෙමීට ඔක්කොම කියවන්න ඕනෙ ඔක්කොම.

    …එහෙනම් සිතුම්. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සඳුවෝ. කවුරු මොන වැරැද්ද කරත් තමුන්ට මොන අසාධාරණේ කලත් ඒවා දිහා බලාලා නොසැලී කම්පා වෙන්නැතුව ඉන්න පුළුවන් මිනිස්සු අද කාලේ ගොඩක් අඩුයි.

      සඳුවගේ බ්ලොගේත් මරු. සුපිරි ලිවිල්ලක් එකත්. අපිත් ඉතින් දැන් හැමදාම එහෙත් එනවා. අපි දැන් නෑදෑයෝනේ

      Delete
  26. ලස්සන කතාවක් පැතූ..... ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අනු.... පුළුවන් වෙලාවට එපැයි එන්න. :D

      Delete
  27. ඔයාගේ හැම නිර්මාණයක් වගේම මේක මාර ලස්සනයි.සෑහෙන්න වෙනස් කතාවක් ඔයාගේ හැම ලිවිල්ලක්ම එහෙමයි හැමදාම දකින ජාතියේ ලිවිල්ලක් නෙමෙයි මේක.ඔයාගේ භාෂා හැසිරවීම මාර ලස්සනයි ඒ ගැන සෑහෙන්න දැනුමක් තියෙනවා... කෙටි කතාව කියන ජාතියේ උපරිමයි ඔයාගෙ කතා.පටන් ගැනීම වගේම කතාව අවසානයත් මාරම ලස්සනයි..... කියන්න දෙයක් නෑ සුපිරි ලේඛකයෙක් ඔයා නම්... මේවා තව ගොඩාක් ලියලා පොතක් ගහමු අයියේ අනිවාර්යෙන්ම....

    සෑහෙන්න කෙටියෙන් ලොකූ කතාවක් කියලා තියෙන්නේ.ඔයාගේ හැකියාව වර්නනා කරන්න වචන නෑ... ජය වේවා අයියේ දිගටෝම ලියමු

    ReplyDelete
    Replies
    1. ගැමි මල්ලියේ ගොඩක් ස්තුතියි. දිරිගැන්වීම්, වර්ණනා, විචාර, චෝදනා, තමයි නිර්මාණ කරුවෙකුට ශක්තියක් වෙන්නේ.


      ගැමි මල්ලිගේ වැඩ කිඩත් අපි හොඳට දන්නවලු හොඳේ

      Delete
  28. හ්ම්ම්.. මාරයි.. අන්තිමට එනකම්ම මට හිතාගන්න බැරි වුනා.. අන්තිමට මම හිතපු දේත් වැරදි.. නියම කතාවක් පැතුම්..
    ජය වේවා!!!

    ReplyDelete