Wednesday, July 25, 2012

නග්න සිහිනය

සයන මත මුනින් තලාවී සිටි ඇයට හැඬුම්  නවත්වාගත නොහැකි විය. බොහෝ වෙලාවක් එක දිගට හැඬු නිසා සිහින් ඉකියක්ද පිටවිය. ඇයගේ කඳුළු කැට තදින් මුහුණට සිරවී තිබුණු කොට්ටයේ මසා තිබුණු තාරාවගේ රටා මැහුම මතින් කොට්ටයේ පුළුන් තෙත් කළේය. දකුනතිත් ඇඳ වියලද වමතින් ඇඳ ඇතිරිල්ලද තදින් අල්ලාගෙන සිටි ඇයගේ වම් අතේ මිරිකෙමින්වූ ඇඳ ඇතිරිල්ල හදිසියේම ආවේගයෙන් ගසා දමද්දී සයන මත වූ යමක් "ටොක්" හඬක් නගා බිම පතිත විය. ඇයට එය වගක් නොවීය. ඉරියව්වේ කිසි වෙනසකුදු නොකර පෙර පරිද්දෙන්ම වැතිර සිටියාය. වරින් වර උත්සන්න වන හැඬුම් නිසා ඇයගේ දෙවුර වේගයෙන් ඉහල පහල යයි. ඇය සිනාසේද එසේත් නැතිනම් හඬයිද යනුවෙන් ඇය දෙස පිටින් දකින්නෙකුට නිශ්චිතවම නිගමනය කල නොහැකිවිය. නමුත් ඒ මොහොතේ ඇය සත්‍ය වශයෙන්ම වැලපෙන බව දන්නේ ඇයම මිස ඇය පණමෙන් ආලය කල අයාචනවත් එපිට ලෝක වැසියාත් නොවේ. හදවතේ සෑම බිම් අඟලක්ම ඔහුගේ නමට ලියවෙද්දී, සිරුර පුරා ගලන ගලන ලේ බිඳුවකම ඔහු ජීවත් වෙත්දී සවනත වැකෙන  සියලු හඬ අභිබවා ඔහුගේ ආමන්ත්‍රණය පමණක්ම ඇසෙද්දී  ඇයට ඇගේ ජීවිතේ ඔහුම මිස වෙන අන් කිසිවෙක්වත් නොවිය. එනමුදු අද ?

පෙරදී ඇය බොහෝ ආශා කල ගීතයක් පසුබිමින් වැයෙන්නට  විය. නමුදු මෙවලේ එය ඇයට තවත් හිසරදයක් විය. නොනවත්වා ඇසෙන ගීතය තමන්ගේ ජංගම දුරකතනයට පැමිණි ඇමතුමක් බව හැඳින ගත් ඇය මුනින් තලාවී සිටියදීම හිස නොඋස්සාම වමතින් සයන මත අතපත ගාන්නට විය. එය සොයා ගැනීමට අපහසු වුයෙන් ඇය අපහසුවෙන් හිස ඔසවා විපරම් කළාය. සුළු මොහොතකට පෙර බිම පතිත වූ දුරකතනයට ආ ඇමතුම මීට සුළු මොහොතකට විසන්ධි වුවද යලිත් පැමිණි ඇමතුමක ලකුණු එහි තිරයේ සටහන් විය. අතට ගත් දුරකතනයට පැමිණි ඇමතුම ඇය විසන්ධි කර එය ඇඳ මතට නොසැලකිල්ලෙන් විසිකර යලි කොට්ට තුල මුහුණ සඟවා ගත්තාය. ගෙවෙන ගතවුණා වූ සෑම හෝරාවකම ඔහු සිහිනොවූ දිනයක් නොවීය. ඔහුගේ නිසල ඇස් දෙස කල්පයක් වුවද බලා සිටිය හැක. ඔහුගේ උණුසුමේ දෙඇස් වසාගෙන දැවටෙන්නට ඇයට වරු ගනන් ගෙවන්නට හැකිය. ඇසෙන නොඇසෙන හඬින් සවනත කොඳුරන බොළඳ කතා පොඩි එකෙක්ගේ මෙන් සොඳුරුය සුරතල්ය. එනමුදු අද විඳින්නේ කාගේ සුවඳද, කාගේ උණුහුමද?


නිතර නිතර ළමා ලපටියන්ගෙන් හඬින්, කෙලි කවටකමින් ප්‍රාණවත්ව ඔපවත්ව සතුට රැඳී උයනක් හදිසියේ වල්බිහිවුවක් වැනි හැඟීමක්, පාළුවක්, තනිකමක්,මෙන්ම දරාගත නොහැකි ලෝබ කමක් ඇයට දැනෙන්නට විය. ඔහු මතක් වෙන සෑම තප්පරයකදීම පපුව හෝස් ගා පත්තු වී යනවා ඇයට දැනුනි, වචනයෙක් විස්තර කල නොහි හිස්කමක් ඇයව වෙලාගනිද්දී එම වේදනාවම ඇය පිලිබඳ මහත් ආත්මානුකම්පාවක් දුකක් ඇති කළේය. ඇඳ අසල පිහිටි මේසයේ කුඩා හෝරා යන්ත්‍රයේ 1.30 සටහන් වී තිබුනේය. ගතවෙන්නේ මධ්‍යහ්නය නොවන බවත් රෑ මැදියම බවත් ඇයට වැටහිණි. ගෙවුණු හෝරාව කල්පයක් සේ දැනුනද ගතවුනේ හොරා කීපයක්  පමණක් බවත් ඇයට අවබෝධ වෙද්දී මින් මතුවට ඇය ජීවත්ව සිටින ඔහුගෙන් තොර ඉදිරි කාලය ගෙවා දමන්නේ කෙසේද යන්න අර්ථවිරහිත හැඟීමකින් ඇයගේ හිත මුළුමනින්ම පෙලනු ලැබීය. කඳුළු පිටාර ගලා ගිය කොපුල් තවමත් හරි හැටි වියලී ගොස් නැත. වරින් වර අලුත්වන කඳුළු නිසා එය තවමත් තෙතබරියම් වී තිබුණි. සයන මත උඩුබැලි අතට වැතිරී සිටි ඇයට ආයාචන පිලිබඳ පෙර අත් නොවිදි දුකක් දැනුනි. වරෙක ඔහුගේ පිළිරුව ජීවමානව ඇය ඉදිරිපස දිස්වන්නා සේ ඇයට හැඟුනි. එහෙත් ක්ෂණයෙන් අතුරුදන් වන ඡායාව ඇගේ දෙනුවන් අගට උණුහුම් කඳුළු කැට මිසක අන් කිසිවක් නොගෙනාවේය.  රෑ මැදියම පහුවෙත්දිත් නොනවත්වා හඬපු ඇයට  තවත් හඬන්නට ශක්තියක් නොවුනාසේම ගලන්නට කඳුළු ඇගේ දෙනෙත් තුල තවදුරටත් නොවීය. දුර්වල වූ නිසා හැඬුම් පිටට ගලා නොආවේය. නමුදු හෙට පීදෙන්නට තිබු  සුවඳවත් අරලිය පොහොට්ටුවක පෙති එය පිපෙන්නටත් මත්තෙන්ම ගිලිහුන කල්හි එය වැලපෙන්නේ කෙසේද එවැනිම හැඟීමක් ඇයගේ වතේ ශේෂව තිබුණි.   


"දැන් අඬලා වැලපිලා වැලපිලා වැඩක් නෑ අපර්ණා, හිත හදාගන්න බලන්න. වෙච්ච දේ වුනා, ඒ දේ උඹට මට තියා උඩ ඉන්න දෙයියන්ටවත් වෙනස් කරන්න බෑ. එක හින්ද දැන් හොඳ ළමයා වගේ නිදා ගන්න. මට දැන් ඔහේ එන්න පුළුවන් නම් මම එනවා. මේ රෑ මට එන්න විදිහක් නෑ. ඒත් එලිය වැටුණු ගමන් මමයි දෙවින්දියි උඹලගේ දිහා එනවා."


"හ්ම්..."

"කොච්චර අමාරු වුනත් යතාර්තයට අපිට මුණ දෙන්න වෙනවා...අපර්ණා. ඇත්ත කොච්චර කටුක වුනත්, දරාගන්න බැරි වුනත් ඒ දේට මුණ දෙන්නම වෙනවා. මේ මහා රෑ මම උඹට බණ කියනවා නෙමෙයි. අපිත් කැමතියි ඉස්සර හිනා වෙලා හිටිය අපර්ණා ඒ විදිහටම හිනාවෙලා ලස්සනට අපිත් එක්ක ඉන්නවා දකින්න. අපි හෙට උදේ එනකම් පරිස්සමෙන් ඉඳහන් හිතුවක්කාර තීරණහෙම ගන්නේ නැතුව.  එහෙනම් කෙල්ලේ මම තිබ්බ. බුදුසරණයි !"


"හ්ම්...බුදුසරණයි"


තම හිත මිතුරියන් යුතුකමක් වශයෙන්  තමන් ගැන විමසීමට ගන්නා ඇමතුම් නිසා ඇයට ඒවාට පිළිතුරු දී හෙම්බත් වී සිටියාය. අත රැඳී  දුරකථනය ක්‍රියා විරහිත කලත් එවිට ඔවුන් නිවසේ දුරකතනයට ගැනීමෙන් නිවැසියන්ගේ නින්දට බාධා වන නිසා ඇය එසේ නොකලාය.

එළිවෙන්නට තවත් හෝරා කීපයක්ම ගතවෙන්නට තිබෙද්දී ඇය නාන කාමරයට වැදුණාය. ගතලා සිටි ඇඳුම් පිටින්ම වතුර මල යටට වී කරාමය කැරකුවාය. එකෙනෙහිම ගෙමිදුල හරහා බොහෝ ඈතක සිට ගලාගෙන ආ සිහින් සීතල දිය බිඳිති වතුර මල මතින් ඇගේ හිසේ සිට පාදාන්තය දක්වා සැලී ඇයව නැහැවුවාය. හිත පුරා වාන්දමන සුසුම් සමග දෙනයන පතුලේ කොහේහෝ සිරවී තිබුණු  තවත් කඳුළු කැට කීපයක් සීතල දිය බිඳිති හා එක්ව ඇගේ වත සිපගෙනම අවසන් ගමන් ගියේය. ඇය බොහෝ වෙලාවක් වතුරමල යටට වී සිටියාය. ඔහුගේ සංසාරගත ආදරය ඇය සතුවූ මුල්ම දිනයේත් ඇය මෙසේම රෑ මැදියමේ වතුර මල යටට වී සතුටු කඳුළු වැගුරුවාය, ඔහුගේ ආදරය ඇවෙතින් සදහටම නොඑන ලෙස ගලා ගිය අද දිනයේත් එසේමය. සීතල දිය බිදිති පෙර පරිදිමය. නමුදු කොතරම් දේවල් කොයි තරම් වෙනසකට බඳුන් වී ඇත්දැයි ඇය කල්පනා කළාය.  


තෙත පිටින්ම කාමරය හරහා ගිය ඇය තෙත ඇඳුම් උනා දමා ඇඳුමක් දවටාගත්තාය. හැර දමා තිබු කවුළුව තුලින් කාමරය තුලට එන්නට පොරකන සුලන්, කවුළුවේ තිර රෙද්දක් සමග ඔට්ටුවිය. ඇය සෙමින් පියවර තබා කවුළුව වෙත ගොස් යකඩ ග්‍රීල්වල එල්ලී අපැහැදිලි කළුවර දෙස බලා සිටියාය. තමාගේ ජීවිතෙත් මේ කලුවරෙත් දැන් ඒහැටි වෙනසක් නැතිය යන සිතුවිල්ල ඇයගේ සිත වටා සක්මන් කළේය. එහෙමම බොහෝ වෙලාවක් සිටි ඇය නැවතත් සයන මතට පැමිණ දෑස පියා ගත්තාය. පුදුමයක තරම, නෙතු පියන ඇසිල්ලේදී වුවද ඔහුගේම රුව පමණක් නෙතුයට මැවෙන අපුරුව. ඇයට ඔහුත් ඔහුට ඇයත් පමණක්ම වූ නිසාවෙන් දෙසිත් බැඳී තිබුණු සෙනෙහසේ යදම් එතරම්ම ශක්තිමත් වූ නිසාවෙන් ඇයට ඔහුගෙන් තොර ලොවකුත් ඔහුට ඇයගෙන් තොර ලොවකුත් නොතිබිණ.  ඔහුගේ සුවඳවත් මතක සැමරුම් මැද පාන්දර පහේ පමණ සිට ඇයට නින්ද ගියාය. කිසි දිනෙක හැබැහින් දකින්නට අකමැති  යතාර්තයක් වූ  සිහිනය නිරුවත් වී ඇයට සරදම් කළේය.  


දුවේ.....දුවේ.......ළමයෝ... අපර්ණා......., නැගිටින්න පරක්කු වෙනවා. මළගෙදර යන්න, ඒ මිනිස්සු මොනවා නොහිතාවිද අපි ඊයේ රෑම එහෙ නාව එක ගැන. එක අතකට ඒ මිනිස්සුන්ටත් විකාර, කොහේ යන්නද මහා රෑ. ඒ පාරේ අපිට ඕනේ වෙලාවට වාහන තියනවයෑ. හා හා   ඉක්මනට නැගිටලා ලැස්ති වෙලා සුදු ඇඳුමක් ඇඳගන්න. ආයාචනගේ බොඩි එක ඊයේ රෑම ගෙනල්ල, වටේ පිටේ මිනිස්සු අහනවලු මොකෝ අපි පේන්න නැත්තේ කියල. හිතුමනාපේ තීරණ අරන් පස්සේ පසුතැවෙන්න වෙයි කියල අප්පච්චියි මමයි කොච්චර කිව්වද. අපේ ඕනේ කමට කැමැත්ත දුන්න නෙමෙයිනේ. උඹලා හොයාගෙනම කරගත්තුවනේ. දැන් ඉතින් පසුතැවිලා වැඩක් නෑ හිත හදා ගන්නවා ඇරෙන්න.


කටට ආදේවල් එලෙස නොහිතා පිට කලද තම ආදරණීය දියණියට අත්වූ ඉරණම පිළිබද ඇය සිටින්නේද  විස්සෝපයෙනි. දෛවය විසින් නග්න කරන ලද සිහිනක යතාර්ථය හමුවේ ඇයද ඇගේ දියණියද අසරණය. 

41 comments:

  1. හිතට පුදුම විදියට දැණුනා අකුරක් අකුරක් ගානෙම ඔයා කොහොමද ගැහැණියකගේ කඳුලු මේ තරම් ලස්සනට වචන කලේ.උපරිමයි මල්ලි මටනම් කියන්න වචන නෑ

    ReplyDelete
  2. මට නම් තේරුනේ නැහැ වගේ බං

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මචෝ....සමහරුන්ට තේරෙන්නේ නෑනේ බං හැමදේම. එල කිරි... කමෙන්ට් එකේ ඒක කීව එක. මම ලියන එව්වා සමහරුන්ට තේරෙන්නේ නෑය කියල තේරුම් ගතා එකෙන්

      Delete
  3. මාරම ලස්සනට ලියල තියනවා සහෝ,,මටනම් දැනුනේ මම අවසාන කල පෝස්ටුව ඔබ මෙතැනින් ආයෙත් ආරම්භ කළා වගේ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරු.. අර කොටි පැටියාගේ කතාව නේද ?

      Delete
  4. අපූරු ලියවිල්ලක්..
    අන්තිම ටික කියවද්දි ගොඩක් දුක හිතුනා..

    ReplyDelete
  5. කතාව ලස්සනයි...දුකයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සයුරි අක්කේ

      Delete
  6. මේ ලියවිල්ල කියවගෙන යනකොට අන්තිම හරිය වෙනකන් මට තිබ්බේ හෙන කුතුහලයක්. මට දැන ගන්න ඕන උනේ මොකෝ උනේ කියලා.
    ගානට ලියලා තියෙනවා අන්තිම මොහොත වෙනකන් ඒ කුතුහලය නැති නොවෙන්නම. ලියවිල්ල ලස්සනයි මල්ලි !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මධුරංග අයියේ

      Delete
  7. මුලිං මං හිතුවේ බූට් එකක් කියලා..
    පස්සෙනෙ තේරුනේ සීන් එක..
    නියමයි..
    ජයවේවා!!!!

    ReplyDelete
  8. අන්තිම වෙනකල් අපිව පටලවලා තියා ගත්තා..

    ජය !

    ReplyDelete
  9. නියමෙටම ලියලා තියෙනවා මලයා කතාව..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියා

      Delete
  10. හ්ම්ම්...

    නියමයි මලයෝ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රෙප් මහත්තයා අයියේ

      Delete
  11. සෑහෙන්න මරු...සාර්තකයි

    ReplyDelete
  12. දුක හිතෙන කතාවක්.

    මචං කළු බැක් ග්‍රවුන්ඩ් එකේ චූටි සුදු පාට අකුරු කියවන්න අමාරුයි ටිකක් වෙනස් කලොත් කියවන්න පහසු වෙයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අසාර් අයියේ.

      මම අකුරු ඩින්ගිත්තක් ලොකු කළා. බැක්ග්‍රවුන්ඩ් එකට ගැලපෙන පාටක් හිමින් සීරුවේ හොයනවා. අඩුපාඩු පෙන්නලා දුන්න එකට ගොඩක් ස්තුතියි ආයෙම

      Delete
  13. කියල වැඩක් නෑ.. සුපිරි.. දෙබස් හොඳයි.. කතාව නියමයි.. දුක තමා ඉතිං... අද පෙන්නන්න වැරැද්දක් හොයාගන්න අමාරු උනා ඈ... :/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බට්ටෝ !!! හික් හික් හික් !! පේන්ඩ අඩුවක් නෑ එහෙනම් ?

      Delete
  14. Niyamai kollo...
    kellekge duka kadula,hariyata balan hitiya wage liyala tiyenawa...
    meka kiyawaddi danune me thula mama jiwath una wage kiyala...
    Harima hagimbarai...
    Jayama wewa!!!

    ReplyDelete
  15. හ්ම්ම්... මල ගෙයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම් මළගෙයක් !! ගොඩක් ස්තුතියි සාතන් අයියේ

      Delete
  16. මාරම ලස්සනයි...එළ ඈ...

    ReplyDelete
  17. ආයාචන කියන්නේ කොල්ලගෙ නම කියලා මීටර් වුනේ අන්තිමට.... ආයෙම මුල ඉඳන් බැලුවාමයි කතාව පැහැදිලි වුනේ.හිතන්න දේවල් බොහෝම ඉතුරු කරලා තියෙනවා....

    //හිතුමනාපේ තීරණ අරන් පස්සේ පසුතැවෙන්න වෙයි කියල අප්පච්චියි මමයි කොච්චර කිව්වද. //

    මෙන්න මේ පේළියෙන් මම තේරුම් ගත්තේ කේන්දර අවුලක් තියෙද්දි අම්මලා අදිමදි කරද්දි විවාහ වෙලා අන්තිමට කොල්ලා මියැදුණා කියලා... සමහර විට අපලයක් තිබුනා කියලා තියෙන්නත් ඇති.

    හැබැයි ඉතින් ඔහොමෙයි කියලා කේන්දර විස්වාස කරන එකනම් මෝඩ වැඩක් කියන මතයෙ තමයි මම ඉන්නේ මොකද යාළුවෙන්නේ කේන්දර බලලා නෙමෙයිනේ.ඉතින් යාළුවෙලා බඳින්න ගියාම ඕවා බලන එක පිස්සු වැඩක්.හි හි මම වුනත් එහෙමයි අම්මටයි තාත්තටයි කියලා තියෙන්නේ ඔව්වා බලන්න හදන්න එපා කියලා...

    කෙටි කතාවක් විදියට කතාව උපරිමයි.මොකද කියවලා සෑහෙන්න වෙලාවක් යනකන් හිතන්න පුළුවන් නිසා.ඕනම කෝණයකින් හිතන්න පුළුවන්....

    සෑහෙන්න සාර්ථකයි අයියේ කිසිම වැරද්දක් නෑ... ජය වේවා....

    ReplyDelete
  18. ගොඩක් ස්තුතියි ගැමි මල්ලි, ගැමි මල්ලිගේ අදහසත් හරියටම හරි. කේන්දර බලන එක නම් බොරු වැඩක් මුලින් යාලු වෙලා බඳින්න කිට්ටුව කේන්දර බලනවා කියන්නේ වැඩක්ම නැති දෙයක්. මම කතාවේදී කේන්දර අපලයක් ගැන නම් හිතුවේ නෑ. ඒත් මම උපකල්පනේ කලේ අපර්ණගෙයි ආයාචනගෙයි විවාහේ නමට විතරක් තීන්දු කරලා තිබුණු විදිහට. මල්ලිගේ අදහසත් ගැලපෙනවා. මම මේක ලිවේ කියවන අයට ඕනෙම අවසානයක් මවාගන්න පුළුවන් විදිහට.

    ReplyDelete
  19. නියමයි මල්ලියෝ..
    අපරාදේ බලන්න මම එන්න පමා වුනානේ.හොද වෙලාවට පමා වෙලා හරි ආවේ..ලියවිල්ල උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බට්ටි අක්කේ.

      එකනේ එකනේ කොච්චර අමාරුවෙන්ද මේ පැත්තට ගෙන්නගත්තේ?

      Delete
  20. පස්ටයි! ආයෙ කියන්න වචන නැහැ. ලෙසට ම ලියලා තියෙනවා!

    ReplyDelete
  21. සංවේදී නිර්මාණයක්.. ඔයා සාර්ථකයි යාළු.. මාර විදිහට හිතට වැඳුන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඩබල් ආර් එච්

      Delete
  22. හරිම ලස්සනයි මල්ලි මේ කතාව..
    කෙල්ලෙක්ගෙ කඳුළු, දුක ගැන ඔයා ලස්සනට ලියල තියෙනවා මල්ලි......
    මේ කතාව කියවල ඉවරවෙනකම් වෙලා තිබ්බ දේ හිත ගන්න බැ...
    ඇත්තටම හරිම ලස්සනට ඔය මේ කතාව ලියල තියෙනවා..

    ReplyDelete