Thursday, March 7, 2013

"ඌරෙකුයි...ඊරියෙකුයි"

සිතේ ජවය සම්පුර්ණයෙන්ම සිඳුණු කලක ඇතිවන උදාසීනත්වයෙන් හා හිස්බවින් ඔහුගේ ගත පෙලෙන්නට විය. අසම්පුර්ණ වූ බලාපොරොත්තුවක ශේෂ වූ කඩතොළු නිසා පෑරෙන සිතුවිලි වලින් ඔහු අපමණ පීඩා වින්දේය. දරාගැනීමේ සීමාව ඉක්මවූකල්හි දෙනෙතින් පෑහෙන කඳුළු කැට කියාපාන්නේ ඒකපාර්ශවීය වූ බැඳීම්හි අස්ථීර පැවැත්ම හා එතුලින් මතුවන්නා වූ වේදනාවේ අමිහිරි බවම නොවේද යන්න ඉලන්දාරියා තවමත් තේරුම් ගනිමින් සිටින සෙයකි.  වැව මැද ගල් තලාවට පැමිණ බොහෝ වෙලාවක් ගත වුවද, හුදකලාවට දැන්ම සමුදීමේ වුවමනාවක් ඔහු කෙරෙන් දිස් නොවීය. රස්තියාදුවේ කරක් ගසන සුළඟද, සරැලිති නගන  කිවුල් වැව් දියද හිතුවක්කාර කුරුළු නඩයක කිචිබිචියද ඔහුගේ හුදකලාවට එක් කලේ ඌණපුර්ණය නොවුනද,  තමා වටා ඇති ඒ සියල්ල තුලින් ස්ව හුදකලාවට එක් කරන්නේ  සියුම් සරදමක් පමණක්ම බව ඔහුට සිතින.

අතීතයේ පෙර දිනක මෙවන්ම වූ ගොම්මන් අඳුර වැව් දිය වෙලාගත් සන්ධ්‍යාවක ඈ වාරු වී සිටියේ ඔහුගේ උරහිසටය.
මේ දෙස බලා සිටින ඔබ, ඔවුන් පෙම්වතුන් යයි  ඉඳුරාම නිගමනය කරනු ඇති, අකමැත්තෙන් වුවද පිලිගතයුතුව ඇත්තේ ඔබේ තර්කය වැරදි බවය. කිසි විටක ඔබේ දෑසට පෙනෙන දේ මතුපිටින් විශ්වාස නොකරන්න, මන්ද දෑසකට, හදවතක සිතුවිලි විනිවිද දැකිය නොහැකි සේම දෑසින් දකින දෙයකින් පමණක් නිවැරදි නිගමනයකට ඒම  උගහට කරුණක් නිසාවෙනි.

නමුදු ඔබේද මගේද දෑස් මත යම් බලාපොරොත්තුවක සේයාවක් ජනිත කරමින් එකවරම ඔවුන්ගේ දෑස් මත දෑස් පැටලී ගියේ අහඹුවකිනි. ඔවුන් ඔවුනොවුන් දෙස බොහෝ වෙලාවක් බලාගෙන සිටියහ. අනතුරුව බොහෝ වෙලාවකට පසුව ඔවුන් අතර තිබු සියුම් අවකාශය හදිසියේ අසීමාන්තිකව පටු විය. ඔබ නිගමනයකට එළඹෙනු ඇති,  මේ දෙදෙනා පෙම්වතුන් බවත් මේ සිදුවන්නේ ඔවුනොවුන් කෙරෙහි ඔවුනොවුන්ගේ හදවත්වල ඇති ආදරය එකිනෙකාට ප්‍රකාශ කිරීමක් බවත්. විශ්වාස කරන්න...මෙවරත් ඔබ නිවැරදි පිළිතුර දීමට අපොහොසත් වූ බව.

කිටිකිටියේ එකට බැඳුනු දෑඟිලි ඉලන්දාරියගේ සිතට එක් කලේ ජයග්‍රාහී හැඟීමක් වුවද හුදෙක් මේ යයි කිව නොහැකි හැඟීමකට පමණක් වහල් වී සිටි යුවතිය කරන්නේ නොහොබිනාකමක්යි ඔබේ හදවත තීරණය කරනු ඇති. වරදක් කවුරු අතින් සිදුවුනද එය වරදක්මය. එහි සැකයක් නැත. නමුදු හදවතින් ආදරය කරන තම පෙම්වතිය සිප ගැනීම වරදක් ලෙස ඔබ නිගමනය නොකරන බව මා විශ්වාස කරමි. තම පෙම්වතිය සිප ගැනීම පෙම්වතෙකුගේ අයිතිවාසිකමක් බව මම අදහමි. එවිට පෙම්වතියකට පෙම්වතා සිපගැනීම පිලිබඳ ඔබේ අදහස කුමක් විය හැකිද ? සරලය..පිළිතුර එමමය.

එනමුදු ඉලන්දාරියා කෙරෙහි  එවන් වූ ප්‍රේමනීය හැඟීමක සේයාවකුදු නොවුන යුවතිය නොහොබිනා දෙයක් කිරීමට සැරසෙන බව මා පැවසුවේ එබැවිනි. අටුවාටීකා අවශ්‍ය නැත. උවැසි වුයේ යුවතියගේ ස්වරුපය ඔබට පහදා දීමටය. ඇගේ සිතේ ඉලන්දාරියා පිලිබඳ ඇත්තේ සහෝදරකමකට සමාන බැඳීමකි, එය පරයා යන බැඳීමකට යුවතිය සුදානම් නැත. ඇය කෙතරම් දුරට සාධාරණද මම නොදනිමි. බාගවිට ඔබත්.  

වැව් කණ්ඩියේ එහා ඉවුරේ ගිලුන සුර්ය කිරණින් දිලිසුන ඇගේ රන් පැහැ කම්මුල් ඉලන්දාරියා සිපගත්තේ මහත් ආශාව මිශ්‍ර ලොබමකිනි. ඊටත් එහා ගිය ආදරණීය හැඟීමකිනි.  එම උත්තේජනයෙන් බොහෝ වෙලාවක් දෙදෙනාගේම තටු ලැබුණු හැඟීම් සියොතුන්ගේ වෙස් ගෙන හිතුවක්කාර ලෙස අහස සිසාරා පියඹා ගිය කල්හි, ඔවුන්  වාඩිවී සිටි තනබිස්ස පොඩිවී ගියේ මන්දැයි ඔබ මගෙන් නොවිමසනු ඇති. .

"මේ..මෙතන හරියට ඌරො නටල වගේ" වෙහෙසකර ආදරණීය සටනකට පසු ඔහු කිවේ වචනයෙන් විස්තර කල නොහී හැඟුම් සමුදායක් හද තුල තෙරපගනිමිනි.

"ආ...දැන් කවුද ඌරො" ඇය ඔහුගේ දෑස දෙස බලා සිනාසුනේ යටිතොල සපාගෙනය මුහුණට දඟකාර ස්වරුපයක් ආරුඨ කරගනිමිනි .

"ඌරෙකුයි...ඊරියෙකුයි" ඉලන්දාරියා කිවේ අහස සිනාසෙන ගමන්ය.

යුවතිය හිඳගෙන සිටියේ තණ බිස්ස මත එරමිණිය ගොතාගෙනය. යුවතියකට වඩා එම ඉරියව්ව ගැලපෙන්නේ ඉලන්දාරියෙකුට උවද එමගින් ඈ කෙරෙන් අමුතු සුන්දරත්වයක් දිස්විය.  ඇගේ දැඟිලි එක මත එක තෙරපෙමින් තිබුන අතර ඇය යම්කිසි පසුතැවිල්ලකින් පසුවන බවක් පෙනින. දීර්ඝ සුසුමකින් ඉනික්බිතිව ඇය හඬ අවදී කළාය. 

"මොනවා වුනත් විශ්ව...ඕනෙම දෙයක් ඕනෙවට වඩා හිතන්න එපා..මෙතන පොඩි දෙයක් වුනා ඒ දේවත් ඕනෙවට වඩා හිතන්න එපා..ඔයා මගේ මල්ලි..මම ඔයාගේ අක්කා..එච්චරයි...! " ඇය කිවේ හුදෙක් සැහැල්ලු ස්වරයකින්  වුවද එතුල ඉලන්දාරියට තේරුම්ගත නොහැකි යම් කිසි දෙයක් ගැබ්ව තිබිණි.

"තේරුනේ නෑ"

"තේරුම් ගන්න උත්සාහ කරන්න විශ්ව..ගෙවල් වලින් කවදාවත් අපිට එකතු වෙන්න දෙන්නේ නෑ..අනික මම පසුතැවෙනවා.. මම පිලිගන්නවා මගෙන් වරදක් වුනා. මට බෑ දැන දැන ගින්දරට අත දාන්න..මං කෙසේ වෙතත් ඔයාව ඇදලා දාන්න"  ඇගේ වදන් ඔහුගේ හදවත නොසන්සුන් කළේය.

"හදිසියේම...මෙහෙම...? " ඉලන්දාරියාට වචන ගිලිනි. ඉවසුම්ද නොවීය.

යුවතිය  නිහඬය.

අතක් පමණක් නොව, යුවතිය මේ වනවිට ඉලන්දාරියගේ සර්වාන්ගයම දැවෙන ආදරය නම්වූ ගින්නට ඇද දමා හමාරය. නැගෙන ගිනි දැල් වලින් අර්ධව පිළිස්සුනු ජීවිතය ඉන් මුදවා පලක් නැත. එම ගින්නටම  පිලිස්සී මියයනු මිසක අන් විකල්පයක් ඉලන්දාරියට  කොහිද?.

එදා ඇගේ හඬ රාව පිලිරාව දෙමින් දැන් දැන් සවනත දෝංකාර දෙන්නා සේ ඔහුට ඇසින.

දිලිසෙන ඇගේ රන් තෝඩු වල දිස්නය පරයන ආලෝකයක් එවන් දිනවල  ඇයගේ දෙනෙත්වලින් දුටුවා ඔහුට  මතකය. අහිංසක ඒ දෑස්වල අපරිමාන ආදරයක් ගැබ්ව තිබුණු බව ඔහු දැන සිටියේ අදක ඊයෙකද නොවේ. එවන් වූ අප්‍රකාශිත ආදරයක් කුමන හෝ හේතුවක් අරබයා තමාව මෙතරම් අසරණ  කරාවි යයි හෝ මෙවන් ඉරණමක් තමාට අත්කර දෙතැයි හේ කිසිදා නොසිතන්නට ඇති.  

රිද්මයානුකුල විරාමයකට අනුගතව  ඔහුගේ දෑතින් ගිලිහුන තිරුවානා ගල් කැබලි වැටීමෙන්  වැව් දිය මත ඇඳෙන්නාවූ කවාකාර රැලි මත තම අතීතය විනිවිද දැකීමේ නිරර්ථක උත්සාහයක ඔහු යෙදී සිටියේය. අවුල් වූ හිසකෙස්, දිය රැලි වෙතට ඍජුවම නැඹුරු වූ කඳුළු පිරුණු දෙනෙත ඒ බව මොනවට කියා පෑවේය. රත් පැහැ වූ නලියන දෑස් මත සටහන් වී තිබුනේ අපේක්ෂාභංගත්වයේ සලකුණු බවනම් ඉඳුරාම කිව හැකිය. ආදරණීය පාඨකයිනි විශ්වාස කරන්න, ඔහු මේ කතාවේ වර්තමානයේ රඟ දක්වන්නේ පෙම්වතෙකුගේ භූමිකාව නොවේ. එසේනම් මේ කඳුළු කුමක් අරබයා ගිලිහෙන්නේද ඔබ මගෙන් විමසනු ඇති. ඉලන්දාරියෙකුගේ දෙනෙතකින් කඳුලක් ගලන්නේ යුවතියක් වෙනුවෙන් නම් ඒ අහේතුකව විය නොහැකිය.

අසම්මතය වූ කලි අසම්මතයමය. අසම්මතය ප්‍රේමය මූලික කොට ගත් කල්හිදීත් එයද අසම්මතයම වේ. අසම්මතය කරණකොටගෙන බැටකන්නවුන් හට උරුම වන්නේ වේදනාවම මිසක අනෙකක් නොවේ. එබැවින් අසම්මතය සමග පොරබදන්නවුන් එයින් අත්වන ඉරණම භුක්තිවිඳීමට සුදානම්ව අසම්මතයේ හැසිරිය යුතුය. එයද තනි කැමැත්තට නොහැකිය..

අන්ධකාරය වැව් දිය මුළුමනින්ම වසා ගනිත්දී ඉලන්දාරියා නැගිට සිටියේ තවත් දවසක කටුක බව අතීතයට මුහු කර අවශේෂ කටුකත්වය මතු දිනක විඳීමට යලි ඒමේ සුදානම ඇතුවය.

63 comments:

  1. මටත් බං මේ ආදරයේ අසම්මත බව තමයි තේරුම් ගන්න බැරි! කවුරු මොනවා කිව්වත්..ආදරේට බාධා නෑ කිව්වත්... අපිව මේ සමාජ රටාවට තියලා ගැට ගහලා තියෙන්නේ බං...මොනවා කරන්නද...?

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩියා..කවුරු මොනා කිව්වත් අසම්මතය කියන්නේ සමාජය විසින් නඩත්තු කරන සම්මතයක්. දෙයක් කලොත් ඒක සම්මතද අසම්මතද කියන එක තීරණය කරන්න වෙන්නේ සමාජයේ සිද්ධවෙන අනික් සිදුවීම් එක්ක සංසන්දනය කරලා..කවුරු මොනවා කිව්වත් අසම්මතෙන් බැට කන්න දඟලන උදවියට දුක විතරයි උරුම.

      Delete
  2. රිද්මයානුකුල විරාමයකට අනුගතව මමත් මෙහි ගිලුනේය.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගයනි අක්කේ

      Delete
  3. හ්ම්ම්.. අපිටත් අසම්මතය හරස් වෙන අවස්ථා එනවා. එතකොට සම්මතයට ඉඩ දෙන්න වෙනවා අකමැත්තෙන් උනත්. අර බඹා ද කවුද විදින්නේ ඕවා බලල නෙවෙයි නේ. ඉතින් දුක තමයි.

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් සම්මතයට ඉඩදීම එක අතකට අසම්මතයි කියල මට හිතෙනවා බං.

      Delete
  4. අසම්මතය කියන දේ හදාගන්නේ මිනිස්සුම තමයි ඉතින්, වෙනස් විදිහෙ දෙයක් කලොත් ඒක අසම්මතයි කියල අනික් අයව කොන් කරනවා, තමන් කලොත් එච්චර ප්‍රශ්නයක් නෑ.ඔහොම තමයි මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. ඔව් අසම්මතයක් සම්මතයක් එක්ක කොයි තරම් දුරට ගැලපෙනවද කියල සංසන්දනය කරලා බලන්නේ සමාජය විසින් සම්මතයි කියලා ස්ථීර කරලා තියන රාමුවේ මුළු හතරේ සීමාවෙන්නේ.

      Delete
  5. නියම ලියවිල්ල....සාහිත්‍ය රසය උපරිමයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මානවක

      Delete
  6. මට නං ඇඩුනේය...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ...!

      පස්වාන් දහසකට වල්කම් !!!

      Delete
  7. අපි කවුරුත් ජීවත් වෙන්නේ තමන් ගේ සතුටු ට වඩා අනුන්ගේ සතුට වෙනුවෙන්. අම්ම කැමති නිසා වගේ හේතුත් තියනවානේ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒක සම්මතකයක්ද ? ගොඩක් ස්තුතියි නලීන් අයියේ මාත් එක්ක එකතු වුනාට.

      Delete
  8. මිනිස්සුන්ගෙ හිත්, තමන් ලියනදේට තදින් බැඳල තියාගන්න ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනව පැතුම්. රයිටර්ගේ කථා ලියල අපිව හිනස්සන්න වගේම මේ වගේ සංවේදී මාතෘකා ගැන බොහොම අපූරුවට ලියන්නත් ඔයාට තියෙන හැකියාව ගැන ඇත්තටම සතුටුයි...
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ගොඩක් ස්තුතියි Chams !!

      Delete
  9. අපි කොච්චර අසම්මතයි කියලා කිව්වත් ,අසම්මත් දේවල් තමයි ලෝකේ වෙන්නේ.සම්මත දේවල් වෙනවනම් ලෝකය හැමද ඒක තැන තියෙයි

    ReplyDelete
    Replies
    1. අසම්මතය වැරදි නෑ..තමන් කැමති නම් විතරක්..අනික සම්මතේම ජීවත් වෙන්න කියල නීතියක් නෑනේ...

      Delete
  10. සම්මතයයි අසම්මතයයි පටලාවාගෙන සමහරු දුක් විඳිනවා.තවත් සමහරු සම්මතයට බයයි.අනේ මන්දා උඹ මොනවා හරි බීලද බන් මේක ලිව්වේ?පට්ට ඈ.

    ReplyDelete
    Replies
    1. සම්මතයට බයයි...? අසම්මතයට නේද බය මඩියෝ..? ඔව් බං බීලා ලිව්වේ...හෙහ් හෙහ්.. හැබැයි උණු උණු අඩු සීනි වැඩි කහට ප්ලේන්ටියක්...

      Delete
    2. නැහැ බන් සම්මතයට බය(සමහරු)

      Delete
  11. උබ දන්නවද අසම්මතය, සම්මතයක්..

    හිතල බලපං..

    මේ ලිවිල්ල මැක්සා !

    ReplyDelete
    Replies
    1. ඔව් මම සෑම් අයියා කිව්වා කතාව ගැන ගොඩක් වෙලා කල්පනා කළා.. අසම්මතය සම්මතයක් තමයි.

      ගොඩක් ස්තුතියි සෑම් අයියේ

      Delete
  12. මොනවා බං? මේත් අර රම්බා ගැන ලියන ෆේමස් රයිටර් ලියපු එකක්ද? විශ්වාස කරන්න බැරි තරම් භාෂාව වෙනස්. කොටින්ම හර බර ශෛලිය හන්දා මම හෙමීහිට කියෙව්වෙත්.

    උඹ හුඟක් පරිස්සමෙන් ලියන්නෙ නේද? මම කියන්නෙ භාෂාව ගැන? සමහර විට හුඟාක් වතාවක් චෙක් කරලා බලනවත් ඇති කියලා මට හිතෙනවා.

    උඹට හොඳ අනාගතයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩුඩ් අයියේ පොර තමයි..පොරම ලියපු එකක් තමයි.. :) හැමෝටම හෙමීටම කියවලා තේරුම් ගන්න පුළුවන් රටාවකට කියල හිතල මම ලිව්වේ..ඩුඩ් අයියා එක හොඳටම තේරුම් අරන්...

      ටිකක් පරිස්සම් වෙනවා තමයි.. ටිකක් කිව්වට ටිකකට වඩා තරමක්..ඔව් භාෂාව ගැන මහා දැනුමක් නැති වුනාට දන්න කියන වචන දෙක තුන එක්ක මගේ හිතේ තියන දේ එලියට දාන්න ට්‍රයි කරනවා... ඔව් ගොඩක් වතාවක් කියවනවා. සමහර වෙලාවට කතාවට එකතු වෙන අලුත් වාක්‍යක් ගානේ මුළු කතාවම ආයේ මුල ඉඳන් කියවනවා.

      ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ ගොඩක් ස්තුතියි

      Delete
  13. ම්ම්..මට මේ ජාතියේ ඒවා තේරෙන්නේ නැද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. හයියෝ ටීචර් අක්කේ..ඔයාට රයිටරේ හොඳට තේරෙනවනේ. ඒ මදැයි

      Delete
  14. අනේ නෑනෝ...
    මට ඇඩෙනෝ....

    ප.ලි - මේ රයිටර්මද??????

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කඳුළු පිහදාගනියෝ.

      යා යා ඌම තමයි

      Delete
  15. උඹට ශයිලිනි කියක් විතර තියේද? මටත් තේරුම් යන්න ටිකක් හෙමින් කියවන්න සිද්ද වුනා.

    ReplyDelete
    Replies
    1. //ශයිලිනි// == ලිවීමේ ස්ටයිල් කියක් තියේද?

      Delete
    2. ඔව් අසාර් අයියේ කියවන අය හෙමින් කියවනවා කියල මම බලාපොරොත්තු වෙනවා. එකම ශෛලියකට කොටු වෙලා ඉන්නවට වඩා උත්සාහා කරලා අත්හදාබැලීම් කරන එක හොඳයිනේ. ගොඩක් ස්තුතියි.

      Delete
  16. ඔය සම්මතය, අසම්මතය කියන එක මුලිංම හදාගත්තෙ කවුද? ඒ වගේ අපිට ඒක වෙනස් කරන්න බැරිද?

    ලියල තියෙන රටාවනං නියමයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. අපිම තමයි ප්‍රසන්න අයියේ.. සම්මතයි කියන රාමුවේ ඉඳන් අසම්මතේ දිහා බලනවා.. සමහර විට අසම්මතයි කියන රාමුවේ ඉඳන් සම්මතේ දිහා බලපුහාම සම්මතය අසම්මතයි වගේ පේනවා ඇති.

      Delete
  17. හරිම සංවේදි මාතෘකාවක්. රයිටර් කියන්නෙත් ඔයාම නෙද.. what a clever writer you are!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔව් ඔව් රයිටර් කියන්නේ මටනේ ෆා අක්කේ.. ගොඩක් ස්තුතියි අක්කේ

      Delete
  18. මටත් කතාවට වඩා වැදුනේ උඹේ ශෛලිය සහ උඹ එක එක ශෛලියන් භාවිතා කරන ලස්සන. මීට කලිනුත් මට මතකයි උඹ සුපුරුදු හාස්‍යයෙන් බැහැර වෙච්ච නිර්මාණයක් කලා. මේ ශෛලිය ගොඩාක් නැවුම් කියලා මම කියන්නෙ නෑ. මොකද පාඨකයා සම්බන්ධ කරගෙන මේ වගේ චරිත විග්‍රහ කරන ශෛලිය මම කලින් දැකලා තියනවා. හැබැයි තමන්ගේ එක ශෛලියක හැඩහුරුකම් සම්පූර්ණයෙන්ම ගලවලා මෙනම ශෛලියකට ආරූඪවීම නම් අනර්ගයි. උඹේ හාස්‍ය ශෛලියේ කොණක්වත් මේකේ නෑ. එකනේ කට්ටිය අහන්නේ උඹමද ලිව්වේ කියලා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසා..උඹ කියන එක ඇත්ත, මේ රටාව නැවුම් නෑ...ගොඩක් අය මේරටාවෙන් ලියනවා. ඉතින් මමත් පොඩි උත්සහයක් අරන් බැලුවා. මම බ්ලොග් වලින් මුලින්ම ඔය කියන රටාවේ කතාවක් කියෙව්වේ මෙන්න මේ බ්ලොග් එකෙන් දැන්නම් එයා ලියන්නෙත් නැද්ද කොහෙද.

      Delete
  19. සම්මතය අසම්මතයත් සපේක්ෂයි නේද! ලිවීමේ හැකියාව උපරිමයටම පෙන්නලා තියනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට එහෙම හිතන්නත් පුළුවන්....ගොඩක් ස්තුතියි ගිමා

      Delete
  20. මොකද්ද බං අසම්මතේ කියන්නේ......

    ReplyDelete
    Replies
    1. සම්මත නැති දේවල් බං :)

      Delete
  21. සම්මතය අසම්මතය තේරුම් ගන්න හරි අමාරුයි අප්පා..... අසම්මතය ඇතුලේ සම්මතය නැද්ද??
    ලියල තියෙන විදිය වෙනදට වඩා වෙනස්. නමුත් ඒකත් ලෙසටම ලිය ඇත..... :)

    ReplyDelete
    Replies
    1. අසම්මතේ කියන්නෙත් සමතයක්

      sAm (සෑම්)Fri Mar 08, 01:49:00 AM 2013

      උබ දන්නවද අසම්මතය, සම්මතයක්..

      Delete
  22. මචන් කතාව නම් තදිම්ම හිතට දැනුණා. අර ගින්දරට අත දාන්න බැරි කතාව
    එහෙම ගොඩක් රිදුණා හිත..එල දිගටම ලියන්න පැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන් සහන්

      Delete
  23. සම්මතය කියන දේ නොදැන කොහොමද අසම්මතය දන්නේ.

    ReplyDelete
    Replies
    1. අසම්මතයි කියලා කියන දේ, කරන කෙනා සම්මතේ මොකක්ද කියලා දන්නවා මං හිතන්නේ.

      Delete
  24. ඔය කියන සම්මතය කියන ඒක හදාගෙන වැට කඩුලු සිමා මායිම් දාගෙන තියෙන්නෙත් ඒවා කඩාගෙන ආයෙත් සම්මතයෙන් පිට පනින්නේත් මනුස්සයම තමයි. තමන්ම තමන් වටේ වැටක් බැදගෙන තමන්ම වැට පනින කොට තමන්ටම දොස් පවරගන්න එකම සතා...මිනිසා

    ReplyDelete
    Replies
    1. නියම කතාව රෙපා අයියේ සිරාම කතාව

      Delete
  25. කාලෙකට පස්සෙ වෙනස්ම රිද්මයකින් ලියපු සටහනක්..
    ඒත් සම්මත යැයි කියන්නේ සමාජය පිලිගන්න දේනම් අසම්මතය කියන්නේ සමාජය පිලිනොගන්නා දේ කියා බැහැර කල හැකියැයි මට හිතෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දයා අයියේ..ඔව් තව කෙනෙක්ගේ සම්මතය තව කෙනෙක්ට අසම්මතයක් පුළුවන්නේ.

      Delete
  26. කිසිවක් නොකියමි...!! මම යමි.. :(

    ReplyDelete
  27. නියම ආඛ්‍යානය...සුළු අඩු පාඩු නැත්තෙමත් නෑ,

    //ඔහුගේ හුදකලාවට එක් කලේ ඌණපුර්ණය නොවුනද,//මෙතන ඌනපූර්ණය කියලා අදහස් කළේ මොකද්ද...? යම් නිශ්චිත පැහැදිළි අදහසක් ඉන් මතු වෙන්නෙ නෑ.

    //....විශ්වාස කරන්න...මෙවරත් ඔබ නිවැරදි පිළිතුර දීමට අපොහොසත් වූ බව. // මෙතනත් වාක්‍යය නිසි විදියට ගැලපිලා නෑ...නැවත කියවා බලන්න.

    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සුමිත් අයියේ..වැරදි අඩුපාඩු කියල දෙනවට.

      ඌණපුර්ණය කියල මම අදහස් කලේ "මදි පාඩුව පිරවීම" කියන එක. ඒත් 100% ඒ වචනේ තේරුම දැනගෙන හිටියේ නෑ.

      "රස්තියාදුවේ කරක් ගසන සුළඟද, සරැලිති නගන කිවුල් වැව් දියද හිතුවක්කාර කුරුළු නඩයක කිචිබිචියද ඔහුගේ හුදකලාවට එක් කලේ "මදි පාඩුව පිරවීම" නොවුනද, තමා වටා ඇති ඒ සියල්ල තුලින් ස්ව හුදකලාවට එක් කරන්නේ සියුම් සරදමක් පමණක්ම බව ඔහුට සිතින"

      "විශ්වාස කරන්න...මෙවරත් ඔබ නිවැරදි පිළිතුර දීමට අපොහොසත් වූ බව" මෙතන වැරැද්ද මට තේරුම් ගන්න බෑනේ සුමිත් අයියේ...

      Delete
  28. බොහොම සංවේදී මාතෘකාවක් . හිතට දැනෙන්නම ලියල තියනවා . බ්ලොග් කරුවන් අතරින් පැතුම් ඉදිරියෙන්ම තියන්න හැකි කෙනෙක් කියලා හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිම් අක්කේ.. අපෝ මම එච්චර පොරක් නෙමියෝ..

      Delete
    2. පොරක්ද නැද්ද කියල තීරණය කරන්නෙ මේ බ්ලොග් නොලියන අපි වගේ අය හොඳේ :D

      Delete
    3. හෙහ් හෙහ් මම පොරක්... හැබැයි මට :D :D

      Delete
  29. සමමතය අසම්මතය කියන දෙකම තමුන්ගෙ හිතට හරියන හැටියට විග්‍රහ කරන්නෙ අපි කවුරුත්.. අපි අසම්මතයයි කියන දේකට ආශා කරනකොට ඔන්න අපි සම්මතේට බනිනවා. එහෙම බනින අපිම වෙන කෙනෙක් අපි සම්මතේ කියල හිතන දේට විරුද්ධ වෙනවාට අකමැතියි.. මනුස්ස ස්වභාවය.. අපූරු කෙටි කතාව.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සරත් අයියේ. අපි අපිටම පනවා ගත්තු සීමා මායිම් වලින්නේ මේ සම්මතේ අසම්මතේ මනින්නේ. කෙටි කතාවක් කියනවට වඩා වෙන නමක් කියනවට කැමතියි. මටත් ඒ නම හරියට තේරුම් ගන්න බෑ අයියේ.

      Delete