My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Monday, May 27, 2013

වීදුරු කටු

එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්‍ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය.  වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව තිබුණු ඇඟ කිලිපොලායන සිසිලසත්, අවට පැවැති නිහඬතාවයත් හේතුවෙනි. සිදුවී ඇත්තේ කුමක්ද යනවග, මේසය මත තිබු අර්ධව දියබත් වූ කවි කොළයත්, සුළං සැර නිසා "ස්රෝස් ස්රෝස්" හඬින් තවමත් වැනෙන ජනෙල් තිරයත්, බිම තිබු වීදුරු කටු කීපයත් ප්‍රත්‍යක්ෂව පසක් කරද්දී, මේසය අසල තිබුණු  කිහිලි කරුවට වාරු වී ජනෙල් තිරය, ගුලිකර ගැටයක් ගැසුවේ කවුළු පියන් තවදුරටත් විවෘතව තැබීමට අවැසි යයි මට හැඟුණු නිසාවෙනි.

මේසය මත වූ හාෆ් ෂීට් කොලය මත විසිරුණු දිය බිඳිති, එහි වූ අකුරු කෙරෙහි මදකුදු හෝ අනුකම්පාවක් නොකර ඇති සෙයකි. දියබත් වූ අතීතයද, කිසිදාක නොවියලෙන ලාටු සේ මා ජීවිතයම වෙලා සිටිද්දී, එහි බලපෑම අවාසනාවන්ත ලෙස අනාගතයටද සරදම් කරද්දී, දෛවය නම් වූ ස්වභාව ධාර්මික න්‍යාය කෙරෙහි වෛරී සිතුවිලි මවෙතින් පහල වන්නට පටන් ගත්තේ අදක ඊයෙක සිටක නොවන බැව් මා හොඳාකාරව දනිමි.  මුවෙන් නික්මී ගිය සුසුම් සරින්, එදිය බිඳිති මදක් එහාට තල්ලු වී ගිය විනා, ළය සැහැල්ලු වීමක් සිදු නොවීය. හෙලන සුසුමක් පාසා ළය සැහැල්ලු වීනම්, මෙතුවක් වා තලයට මුදා හැරී සුසුම් හේතුවෙන්, මේ වනවිට මා ළය කුරුළු පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුය. සුසුම් ලමින් හදවත  සැහැල්ලු කිරීමට ගත් නිරර්ථක උත්සාහය හමුවේ මා මුව මත සිහින් උපහාසාත්මක සිනාවක් සටහන් වුන බැව් ඉදිරියේ වූ මේස කණ්ණාඩියෙන් අහඹුව දිටිමි. තමාගේම සිනහව කැඩපතකින් දැක, එහි ඇඳෙන ප්‍රතිබිම්භයට යලි යලිත් සිනාසීම අවසානයේ එය හුදෙක් විහිළුවක් බවට පත්වීම තුල කොතරම් දීර්ඝ අඛණ්ඩතාවක් පවතින්නේද යන සිතුවිල්ල, මා පුදුමයටත් වෙහෙසටත් පත් කරවීය.   දියබත් වූ කඩදාසිය මිටින් ගෙන ගුලිකර මේසය මතම රැඳෙන්නට හැර, නැවත රෝද පුටුවට වාරු වෙද්දී,  අපේක්ෂා නොකළ ලෙස ඇය, මාගේ බඳ වටා අත දමා එහි අසුන් ගැනීමට සහය වූ පසුවයි මා අවබෝධකොට ගත්තේ මෙතෙක් ඇයද, මා රඟපාන ලද ඒකපුද්ගල ජවනිකාවේ අනාරධනාත්මක ප්‍රේක්ෂිකාවක්ව සිටි බව.

මාගේ දෑස වෙත සරල රේඛාවක් ඔස්සේ වැටී තිබු ඇගේ දෙනෙත් තුල වුයේ ප්‍රශ්නාර්ථය මුසු  හැඟීමකි. බොහෝ විට, මා දෙනෙත් හා එක එල්ලේ බැඳුණු ඇගේ දෙනෙත දැකීමට මා කෙතරම් ප්‍රිය කලද මෙවර ඇගේ කැල්මේ සටහන් වූ තරවටුව, මා යම් තරමක් පසුගාමීත්වයට ලක් කළේය. කවුළුවට පිටුපා සිටි ඇය මාගේ දකුණු පසින් සිටගෙන සිටි අතර, ඒවනවිටත් කවුළුවෙන් හමා එමින් තිවූණු සුලන් රැල්, ඇගේ මුදාහල වරලස මත තැවරී කෙහෙරැලි අවුල් කරමින් සිටි අතරම ඊට නොදෙවෙනි රිද්මයකට ඈගේ දුහුල් රාත්‍රී ඇඳුමද නලියවමින් තිබිණ.

සුපුෂ්පිත පුෂ්පයක අනුරාගී සුගන්ධයත්, අමෘත මකරන්දයත්, ආරාධනාත්මකව බඹරුන්ට ඉඟි පානා කල්හි, නොසන්සුන්වන බඹරෙකු සේ මමත් නොසන්සුන්විය යුතුව තිබුනද,  කපා දමන ලද තුඩ හිමි බඹරෙකු වෙතින් එවන් ප්‍රතිචාරයක් කෙසේනම් බලාපොරොත්තු විය හැකිද යන්න කාරනාව පිළිබද ගැටළුවක් හට ගනී . රෝද පුටුවේ පැඩලය මත තිබුන අප්‍රාණික පාදය වෙත මාගේ දෙනෙත් යොමුව තිබුන අතර ඇය පියවර කීපයක් ඉදිරියට පැමිණ මාගේ හිස දෑතින් ගෙන ඇගේ ළමැදේ සිරකරගත්තාය. ඉනික්බිතව ඇය සෙමින් ඉකිබිඳින්නට වුවාය. ඈගේ පපු තලය මතින් දෝර ගලා ගිය උණුසුම, මා හිස හරහා ගොස් හදවත අභන්තර පටක පවා උත්තේජනය කරන්නාක් මෙන් හැඟිණි. විටක ජීවිතය පිලිබඳ දැඩි ලෝබ කමක් මෙන්ම විටෙක දැඩි වෛරයක් මවෙතින් පැන නගින්නට හේතුවූ ප්‍රධානතම කාරණාවලින් එකක් වුයේ ඇගේ කිසිදාක වෙනස් නොවනසුළු මේ උණුසුමය. බාගවිට, ඇය මෙන්ම ඇගේ සෙනෙහසද නොවන්නට, මා මීට බොහෝ වෙනස් පුද්ගලයෙකු වන්නට තිබිණි.

ඇගේ තුරුලෙන් බොහෝ පරෙස්සම් සහගතව මා මුදා හල ඇය, පසුපසට ගොස් රෝද පුටුව තල්ලු කරගෙන ගොස් සයනය අසල නතර වුවාය. කුෂන් ලේයර් කීපයක් මගින් සැදුම් ලත් මෙට්ටය මතින් අතුරන ලද ඇතිරිල්ල කෙතරම් සැපපහසු වුවත්, එය බුර බුරා නැගෙන ගිනිදැල් සහිත චිතකයක් සේ මට පෙනෙන්නට වුයේ ඇය හුල්ලමින් ඇඳේ වැතිර සිටිනායුරු දකිනා වාරයක් පාසා බව සමහර විටක ඇයද නොදන්නවා විය හැකිය. ඇය, මා සයනය මත හිඳ වීමට මහත් වෙහෙසක් ගත්තාය. අවසාන වශයෙන් රෝද පුටුව මෑත් කොට ගෙබිම මත ස්පර්ශ වෙමින් තිබුන අප්‍රාණික පාදයද දෝතින් ගෙන ඇඳ මතින් තැබුවාය.

"දෙයියනේ ලේ"  ඇය භීරාන්ත වී මදෙස බැලුවාය.. කලබලයට පත් වූ දෙනෙත පෙර ඉනූ කඳුළු වලින් දීප්තිමත්ව බැබලුනත්, එහි මහා අසරණ කමක් ගැබ්ව තිබුනේය.

"වීදුරු කටුවකට කැපෙන්න ඇති" වේදනාවෙන් තොර වූ පාදයෙන් ගලන රුධිරය දෙස හිස ඔසවා බලමින් මා පැවසුවේ සැහැල්ලුවෙනි.

"හොඳ වෙලාවට දෙවියනේ දැක්කේ..ලොකුවට එහෙම කැපිල නම් කාට කියන්නද"  ඇය වහා නැගිට තුවාලය පිරිසිදු කර වෙළුම් පටියකින් බැඳී නමුදු, සංවේදනයෙන් තොර පාදයට එයින් කිසිදු වෙනසක් නොදැනිණි.

මෙතරම් කල් වේලා ඇතුව අපේක්ෂා නොකලද, යන්තම් හෝ වාරුවෙන් සිටගන්නා ඉතිරි පාදයේ කෙලවර සිට හිස දක්වා හදිසියේ ගලා ගිය හිරියක්, ඉදිරියේදී ජීවිතයට අමතරව එක් කල ගත යුතු අවධානමක් පිලිබඳ අනතුරු හැඟවූයේ ඇය පැමිණ මා අසලින් වැතිර ගත්තායින් ඉනික්බිතිවය. විදුලි පහන නිවා දැමූයෙන් කාමරය අන්ධකාරයේ ගිලෙමින් තිබුනද, ඒ වනවිටද හැර දමා තිබුණු කවුළුව තුලින් අනාරාධනාත්මකව කාමරය තුලට පිවිසි සඳ එලියට දෑස  හුරු වීමට එතරම් වෙලාවක් ගත නොවීය.

"රිදෙනවද....?"  ඇය කතාවකට මුල පිරුවාය. සංවේදනයෙන් තොර අවයවයකට, වේදනාවක් නොදැනෙන වග, දැන හෝ නොදැන ඇය විමසුවේ මන්දැයි නොදනිමි.

"මගෙන්ද ඇහුවේ...?" පිළිතුරු දීම වෙනුවට පැනයකින් පිළිතුරු දුන්නේ කතාව දික් ගැස්සවීමට මටද වුවමනාව තිබුන නිසා වුවද,  ඊට වඩා මා අපේක්ෂා කලේ බැරෑරුම් මොහොතකට පසු ඇගේ මුවෙන් ගිලිහෙන දුලබ සිනාව දැක ගැනීමටය.

කිසිවිටකත් මා බලාපොරොත්තු නොවූ හීල්ලුමක් ඈ හෙලු අතර,  ඒ සුසුම තුල කෙතරම් හැඟීම් සමුදායක් කැටිව ඇත්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවිණි.

"අපර්ණා....!"

"ම්ම්..."

"පොරොන්දුවක් වෙන්න පුලුවන්ද...."

"ම්ම් මොකක්ද...."


"ම්ම්..නෑ..එ..එක්කොත් ඕනි නෑ....!.." සිතුවිලි වචන වලට පරිවර්තනය කල නොහැකි තරම් පීඩනයක් මා වෙලා තිබුනෙන් පසුබැසීමි.

"හ්ම්ම්...." ඇය ඒ පිලිබඳ වැඩිදුර නොවිමසීම ගැන මා සතුටු වුයේ අහම්බෙන් වුවද, එවන් කරුණක් නිසා සතුටු වීම, මා ජීවිතයේ එතරම්ම දුර්ලබ කාරනාවක් වන නිසාවෙනි.

"අපර්ණා..."

"ම්ම්.."


"මාව අත අරින්න..අපර්ණා..ඔයාගේ ජීවිතෙන් මාව අතාරින්න..ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න... ඔයා හොයන සතුටවත්, ගෑනියෙක් මිනිහෙක්ගෙන්, ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල්වලින් ගොඩ හරියක් මට ඔයාට දෙන්න බෑ..ප්ලීස් මාව අතාරින්න....මාව අතාරින්න." මට හැඬුම් ආවේය.

ඇය හා මා අතර පැවතියේ දැඩි නිහඬතාවක් වුවද කන් හාරවන ගොරහැඩි ශබ්ධයකට වඩා නිහඬතාව ප්‍රබලව දැනෙන්නේ මන්දැයි මම නොදනිමි.

"අනුරාධ...!.." ඇයගේ හඬේ යම්කිසි උද්වේගකාරී ආවේගයක් කැටිව තිබුන අතරම සියුම් මොලොක් ගතියක්ද, බලාපොරොත්තු සහගත හැඟීම් සමුදායක සංඛ්‍යාතයක්ද කැටිව තිබිණ.

"ජීවිතේ මං ඉල්ලුවේ එක දෙයයි...දෙවියෝ ඒ දේ මට දුන්නා..අඩුපාඩු ඇතුව වෙන්න පුළුවන්..ඒත් මම බලාපොරොත්තු වුන දේ ලැබුනා...මට ඒ ඇති.....ඔයාට මාව එපානම් නින්ද ගියාම මගේ හුස්ම හිර කරලා මරලා දාන්න....එච්චරයි.."

නැවතත් කන් අඩි පසාරු කරන දැඩි නිහඬතාවක් අප දෙදෙනා වෙලාගත්තේය. මා නිරුත්තර වුයෙන්, මුව අයාගෙන සිටිනවා විනා කළහැකි අන් යමක් නොවිණි.

බොහෝ විට ඇය ඇගේ හෘද ශාක්ෂියට එකඟව කටයුතු කරනවා විය හැකිය. එසේත් නැතිනම් දෙපා වාරු නැති අසරණයෙක් වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කොට පාරමිතාවක් පුරනවා විය යුතුය. ජීවිතය නම් වූ පුදුමාකාර මායාව තුල ආදරය නමැති ඇස් බැන්දුමට ඇය රැවටුනාද විය හැකිය. එසේද නොමැතිනම් දෛවය විසින්, ඇය ජීවිතය නමැති ක්‍රීඩාවෙන් පරාජයට පත්කළා වන්නට පුළුවනි. ඒ සියල්ලක්ම නොවේනම් සංසාරගත, ආත්මීයගත ආදරයක මේ භවයේ සම්පුර්ණ කලයුතු කොටස පුරවනවා විය හැක.

ජීවිතයක් ජීවත් කිරීමට හදවත් දෙකක් තුල ඇති ආදරය පමණක් සෑහේවිද යන උභතෝකෝටික පැනයට පිලුතුරක් ඇය මාගෙන් වෙන්වන දිනයක් එළඹෙන තුරා දිය නොහැකිය. එසේනම් මෙතරම් මා වෙනුවෙන් කැපවීමක් කරනා ඇයට ආදරය කිරීම කිරීම විනා විකල්පයක් මා සතු නොවන්නේ බව දැන දැනත් ඇයව අහිමි කරගැනීමට තරම් මසිත නොනැමෙන්නේ තවමත් සංවේදනයෙන් යුතු හදවතක් මා සතුව ඇති නිසාවෙන් විය යුතුය. නැතිනම් මාගේ ආත්මාර්ථකාමී හදවතේ බලපෑම නිසා නිසා උපන් හැඟීම හේතුවෙන් විය යුතුය  

"හ්ම්ම් අපර්ණා..අපි ජීවත් වෙමු"

''හ්ම් ජීවත් වෙනකම් ජීවත් වෙමු"
ඇය පැවසුවේ මා කවදත් ප්‍රිය කරන ඇගේ සිනාව පාමිනි.

මා අසල වැතිර සිටින ඇයගේ සිහින් සුසුම් මා ළය පසාරු කරන්නාක්මෙන් දැනිණි. ජීවිතය විඳින්නට බලාපොරොත්තුවක් ඇතිකරගෙන මා ඇගේ තුරුලේ  උණුසුමට තවත් ගුලි වුයේ, ආදරය කරන්නට හදවතේ සංවේදනය පමණක් ඉතුරු කරදෙන මෙන් දෙවියන්ගෙන් ආයාචනයක් කරමිනි.

57 comments:

  1. පරිකල්පනීයව මේවා ලස්සන කතා. සුරංගනා කතා. ආදරය කරන කාලෙට මෙහෙම දැනුනට ඒ දැනෙන දේ ජීවිත කාලෙම තියාගන්නේ කීයෙන් කීදෙනාද?.
    මේ ටික කිවුවේ කතාවේ අන්තර්ගතයට පමණයි සහෝ.ඔබේ සංකල්පනා හැකියාව උපරිමයි. ඒගැන වාදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හැමෝම නැති වුනාට අතලොස්සක් දෙනෙක් එහෙම කරනවා නලී අයියේ ඩුඩ් අයියලා කියනවා වාගේ..

      ගොඩක් ස්තුතියි නලී අයියේ

      Delete
  2. හොඳට ලියන්න පුළුවන් කියල දැන දැන මේකට උඹව මුරුංග අත්තෙ තියන එක හරි නෑනෙ... මට හිතෙන්නෙ නම් සිතුමො මේක අසාර්ථකයි... ටික දුරක් යද්දි ඉබේම උඩින් පල්ලෙන් බැලුනෙ...

    ReplyDelete
    Replies
    1. අග්‍රී විත් සාතො පැතූ.......:(

      Delete
    2. හ්ම්ම් ලියවිල්ල ගැන පුද්ගලිකව මටත් සැටිස් නෑ සාතන් අයියේ... කලබලේට වගේ ලිව්ව හින්දා අසාධාරණයක් වෙලා.

      කියන්න තියන දේ කෙලින් කියන ගතියට මම හෙන කැමතියි.

      ඇග්‍රී විත් යු බොත් ශෂී

      Delete
  3. මේකත් ලස්සනට ලියල තියෙනව. ඒත් මලයො ඔයාගෙ අනික් නිර්මාන බලල පුරු‍දු වෙලා මේ වගේ එකක් බලනකොට ටිකක් හරියන්නෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි...ඔව් ප්‍රසා අයියේ...මයේ අතින් ලියවෙච්ච කලින් එව්වට වඩා මේක ගොඩක් පහලින් තියෙන්නේ කියලා ලියන වෙලාවෙත් මට හිතුනා.

      Delete
  4. මම හිතන්නෙ ලිපියයි අන්තර්ගතයයි දෙකම සාර්ථකයි. මුලින් ඔනාවට එපාවට කියවන්න හිතුවට ටිකකින් ඒ සිතුවිල්ල වෙනස් උනා. ඇත්තමයි. ඇතුලත කතාව එක් අතකින් දුක්බර උනත් ලිවිමේ රටාව නියමයි පැතුම් :) 

    ReplyDelete
    Replies
    1. ඕනෙවට එපාවට කියවන්න හිතෙන එක අරුමයක් නෙමෙයි මහී අක්කේ වාක්‍ය දිග වැඩි වුනාම. පොඩ්ඩක් කියවන සාමාන්‍ය වේගෙන් නැතුව හෙමින් කියවන එක පාඨකයාට වෙහෙසක්..ගොඩක් ස්තුතියි...අක්කේ

      Delete
  5. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... මෙකෙ තියෙන වචන සෙට් එකත් එක්ක, කතාව ගලාගෙන යන විදිය, විස්තර වෙන විදිය වෙනසක් වුනා නම් හොදයි කියලා හිතුනා.

    මංදා, මටත් වෙන්දා නැති අසම්පූර්ණ ගතියක් දැනුනා .

    රයිටර් වෙසක් බලන්න ගිහින් මොකුත් නස්පැත්තියක් වුනාවත්ද? :p :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් හිතු, කතාව එක තැන පල් වෙන ගතියක් තියෙන්නේ කාමරයක් ඇතුලේ..ඒකයි අවුල් ගියේ.. වෙසක් බලන්න යන්න කලින්නේ ලිව්වේ :D

      Delete
  6. ෂොක්ඩ් හොඳේ..... කෝ අර හැංගිලා හිටිය සයිමන් නවගත්තේගම...????? ඔයාට මේකට මීටවඩා සාධාරණයක් කරන්න පුළුවන් පැතූ.......:(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මට හිතෙන්නේ හැංගිලාම ගිහිනින්ද කොහෙද කියලා ශෂී..

      Delete
  7. මේ රයිටර්....උඹේ ඔලුව වැදුනද කොහේ හරි???

    ReplyDelete
    Replies
    1. අඩේ මේ කමෙන්ට් එක දැකලා මමත් ඕකම කල්පනා කළා නාඩියා දහ අතේ

      Delete
  8. මට හිතෙන්නේ සාර්ථකයි කියලා..කතාව අගට යද්දී උනන්දුව වැඩි වෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ වුනාට සමස්තයක් විදිහට ගන්නකොට කතාවට ලොකු අසාධාරණයක් වෙලා අක්කේ

      Delete
  9. මට නං කතාවේ කුතුහලයක් නැහැ. ආසාවෙන් කියවගෙන යන්න පුළුවන් වුණත් අතරමැද දී කතාව තේරෙනවා. අනුරාධ ඉල්ලන්නේ මොකද්ද කියලා හිතන්න පුළුවන්. තව ටිකක වෙනස් විදියට ලිව්වා නං හොඳයි කියලා හිතෙනවා. මේ කතාව සම්ප්‍රදායට බර වැඩි යි වගේ. ඔය වගේ සිදු වීමක් වෙන හැම දෙන්නෙක් අතර ම වගේ හුවමාරු වෙන දෙබස් අපර්ණා-අනුරාධ හුවමාරු කර ගත්තේ. ඒ ගැන මගේ කැමැත්තක් නැහැ. කොහොම වුණත් ලස්සණට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සාම්ප්‍රදායික ගතිය ඉස්මතු වෙලා වැඩිය කියලා මටත් හිතෙනවා ධාරා...ගොඩක් ස්තුතියි හොඳේ

      Delete
  10. වෙනදා වගේම හොඳයි පොස්ට් එක ...වෙනස් යමක් ඉඳහිට ලියන්න මේ වගේ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් වෙනසක් කරන්න ගිහින් තමයි අක්කේ මේ පාර පොඩ්ඩක් අවුල් ගියේ. එහෙමයි කියලා වෙනසක් නොකර ඉන්නයෑ නේ ?...ගොඩක් ස්තුතියි අක්කේ.

      Delete
  11. උඹෙන් හැමදාම කියවන රම්බගෙ තාලයේ කථා කියවලා මේ කථාව කියවද්දි සෑහෙන වෙනසක් දැනුනා...මම ආයෙත් බැලුවා මේ උඹේ බොගමද කියලා...කාලයක් තිස්සෙ ඒවා කියවලා මේ කථාව කියවද්දි මට රහ දැනුනෙ අඩුවෙන්...

    ReplyDelete
    Replies
    1. උඩින් කිව්ව හේතු ටික හින්දාමත් එහෙම අවුල් යන්න ඇති අයියේ.

      Delete
  12. ඔයා වෙනදා ලියන ඒවට වඩා වෙනසක් නම් තේරුනා, ඒත් මේ විදිහත් හොදයි වගේ... හැබැයි සැරෙන් සැරේ හිත එහෙ මෙහෙ ගිහින් වගේ.. කමක් නෑ ඉතින් ඉදල හිටල මේ වගේ ඒවත් ලියන්න ඕනිනෙ.. හැබැයි ඔයාගෙ වචන නම් හැමදාම වගේ නියමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම් එක දිගට ලියාගෙන යන්නත් බැරි වුණා වැඩ අස්සේ අක්කේ. අපි බලමුකෝ ඉස්සරහට ගොඩක් ස්තුතියි ඈ

      Delete
  13. මම කතාවත් කියවලා කමෙන්ට්සුත් කියවලා බැලුවාම මට මෙන්න මේ කතාව මතක් වුනා.

    කොල්ලෙක් හිටියා අපේ ගමේ. හරියට ඉස්කෝලෙ ගියෙත් නෑ. පොල් කඩලා කීයක් හරි හොයාගන්න එක තමයි කලේ. මේකාට අපි දෙන්නා හොඳින් කතා කරනවා. අපි දෙන්නා ගුරුවරු නිසාද කොහෙද මේකාගෙත් අපි දෙන්නට සෑහෙන ගෞරවයක් තිබ්බා.

    අපි ඒ ගේ අතෑරලා පාර අයිනේ අපේම ගෙයක් හදාගෙන ගියාට පස්සෙත්, මේකා ඉඳ හිට අපිව බලන්න එනවා.

    පස්සෙ යුද්දෙ කාලෙදි මේකා ආමි එකට ගියා කියලා ආරංචි වුනා.

    අවුරුදු දෙකකට විතර ඉස්සර මම මහ පාරේ ඉඳලා අපේ ගෙදරට වැටෙන පොඩි පාරට වාහනේ හරවනකොට මම දැක්කා කවුදෝ හුරු පුරුදු මූණක් පාර අයිනේ ඉඳන් නතර වුනා වාහනේට යන්න. මම නැවතිලා බැලින්නම මේ අර කොලුවා. කකුලක් එහෙම පිටින්ම කපලා දාලා.

    පස්සෙ මම වාහනේ ගෙදරට දාලා ආපහු පාරට ගිහින් මේකාව ගෙදරට එක්ක ආවා. ඉස්තෝප්පුවේ ඉඳගෙන කතා කර කර හිටියා.

    පොර කිව්වා ආමි එකේදි කකුල නැති වෙච්ච හැටි, අනිත් තුවාල හෙම.

    ඒ ඔක්කොටම වඩා වැදගත්, ඒකගේ කෙල්ල කකුල නැතිවත් ඌව බඳින්න යන එක. මාත් එක්ක කතා කරද්දිත් කෙල්ල ඌට ෆෝන් කර කර අහනවා දැන් හන්දියෙද ඉන්නේ කියලා ඌව ගෙදර එක්ක යන්න එන්න.

    ReplyDelete
    Replies
    1. අන්න කෙල්ලො....ඇත්තෙන්ම ආඩම්බරයි

      Delete
    2. ඇත්ත මචං ඒ වගේ කෙල්ලොත් මේ රටේ ඉන්නවා.

      Delete
    3. මමත් මේ ලගකදී පත්තරේක ඔය වගේම සත්‍ය කතාවක් දැක්කා. ඒ සෙබලාගේ නම් ඇසුත් පේන්නේ නෑ. ඒත් එයා යාළු වෙලා හිටිය කෙල්ල මෙයාව බැදලා, ආදරෙන් බලා ගන්නවලු.

      Delete
    4. ඔව් ඩුඩ් අයියේ... ඒවගේ සුපිරි කෙල්ලෝ හම්බෙන්න කොල්ලෙක් ගොඩක් පින් කරන්න ඕනි..

      හැමෝටම ගොඩක් ස්තුතියි...

      Delete
  14. ලස්සනට ලියලා තියෙනවා පැතුම්.

    ReplyDelete
  15. ආදරණිය සිතුවිල්ලක් ලස්සනට අකුරු කරලා තියනවා පැතුම්..ඔයාගේ මේ ලිවීමේ හැකියාව මම ගොඩක් අගය කරනවා..

    ඔයා නිර්මාණය කරන චරිතයක සිතුවිලි අපිටත් දැනේන ලියන්න පුළුවන් වීම හරිම අපූරුයි..මේක බ්ලොග් එකක් නිසා වාක්‍ය කෙටි කරන්න පුළුවන් නම් හොඳයි..පොතක් කියවද්දි අපි දිග වාක්‍ය වලට ආස වුනාට බ්ලොග් එකකදි ඒක එච්චර ප්‍රායෝගික නෑ..

    දිගටම ලියන්න සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රු අක්කේ... ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඒත් අක්කේ... අපි වගේ අය පොත් ලියන්නේ නෑනේ...ඉතින් ඒ වෙනුවට බ්ලොග් එකේනේ ලියන්නේ.. ඉතින් බ්ලොග් එකේ ඒ රටාව පාවිච්චි කරනවා ඇරෙන්න විකල්පයක් හොයා ගන්න අමාරුයිනේ නේද..?

      Delete
  16. හෙන බරයි නේ මචං අද..

    ReplyDelete
    Replies
    1. ඔව් බං අයියේ ටොන් ගානට බරයි

      Delete
  17. මම නම් කතාව හොදටම රස වින්දා.
    ඔය වගේ අය මේ ලෝකේ නැතුවම නෙමෙයි, ඉන්නවා බොහොම සුළු පිරිසක්..... ඒ වගේ කෙනෙක් ලබන්නත් පිං කරන්න ඕනි.

    අපේ නෑදෑ අක්ක කෙනෙක් ඉන්නවා. එයා දැන් අවුරුදු 8ක් විතර තිස්සේ ලෙඩින්. දැන් දැන් මතකයත් අඩුයි. දැක්කම අපිටත් ඇඩෙනවා. ඒ අක්කව පුළුවන් තරම් ගොඩ දා ගන්න බලනවා එයාගේ මහත්තයා. මොන කරුමයක්ද මන්දා හොද වෙන්නේ නෑ. ඒත් එයාගේ මහත්තයා හැමදේම කරනවා.ගෙදර දොරේ වැඩ, ළමයාගේ වැඩ, අක්කගේ වැඩ, ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ. ඒ අක්කගේ අම්මා කියනව අක්කට සමහර වෙලාවට පුදුම විදියට කේන්ති යනවලු. අයියට බනිනවත් එක්කලු. ඒත් ඒ අයියා හැම දේම ඉවසන් ආදරෙන් ඒ අක්කව බලා ගන්නවා. ඒ මනුස්සයා දෙවියෙක් වගේ.

    ඔය වගේ මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. ඒ නිසා ඔයාගේ කතාව සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අසනීප තියන අයට කේන්ති යනවා කියලා මමත් අහලා තියනවා සමී අක්කේ.. ඒකට ගොඩක් හේතු තියනවා. එකක් දරා ගන්න බැරි තරම් ජීවිතේ ගැන ඇති වෙන කල කිරීම, අසනීපෙ වේදනාව...ඉතින් ඒ ඔක්කොම තේරුම් අරං ඒ අක්කට දෙවියෙක්ට වගේ සලකන අර අයියා ඇත්තටම උතුම් මනුස්සයෙක්...

      ගොඩාක් ස්තුතියි සමී අක්කේ

      Delete
  18. හැම කෙල්ලම ඔහොම වෙනව නම්...................................

    ReplyDelete
    Replies
    1. අවාසනාවකට එහෙම වෙන්නේ නෑ මචං

      Delete
  19. මට නම් කිසි වරදක් නැහැ පැතුම් මේකේ..ඔයාට හිතෙන විදිහට ගැලපෙන විදිහට ලියන්න..මට නම් හොඳටම රස විඳින්න පුළුවන් උනා..දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මචං සහා

      Delete
  20. ලංකාවේ සමාජයේ නම් ඔකෙදි තියෙන්නේ එන්ඩින්ග් දෙකයි.. එක්තෝ ඉන්න ඕනේ.. නැත්තම් අතාරින්න ඕනේ... ඉතිං අපි හිටියොත් පුදුම වෙනවා... ගියොත් ඔහොම තමා ජීවිතේ කියනවා.... හැබැයි යුරෝපීය සමාජේ ඕකට වෙන එන්ඩ් එකක් තියෙන්න අවස්ථාවක් තියෙනවා... හැබැයි අපිට නම් ඒ ගැන කතා කරන්නවත් බෑ...

    ReplyDelete
    Replies
    1. යුරෝපීය එන්ඩ් එක ගැන අපි පොඩ්ඩක් කතා කරමුකෝ හිරු අක්කේ.

      Delete
    2. යුතනේෂියා ගැන වෙන්නෝනෙ අක්ක කතාකරන්නෙ...

      Delete
  21. උඹ මේක ටිකක් කලබෙලෙන් වගේද ලිවුවේ පැතුමෝ.. උඹේ කත වලට මං හුඟක් ආස හන්දා එහෙම ගතියක් මට දැනුනා.. ඒ කෝම උනත් කතාවනම් ලස්සනයි.. අවසානය ටිකක් විතර වෙනස් උනානම් කියලා හිතෙනවා.. වෙන නම් කිසි අවුලක් නෑ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් දිශා අයියේ...කලබලේට කොරොස් කටේ අත දාගන්න ගිහින් තමයි වැඩේ දෙල් වුනේ..

      Delete
  22. හොද උත්සහයක් වල් හාවෝ....ගොඩක් කියවන්න ගොඩක් ලියන්න එතකොට ඔයාටම හරියන විඩියක් හම්බෙයි..ඔයාගෙම විදියක් හැදෙයි.....

    ReplyDelete
  23. මේ වගේ කතාවකට ගොඩක් වැල් වටාරම් වචන වැඩියි කියල මම හිතන්නෙ.අනිත් අයගෙ අදහසුත් රැගෙන ඉදිරියට යන්න.උත්සාහය අපතෙ ගිහිල්ල නැහැ.මෙහම ලිව්ව කියල උත්සහය අත අරින්න එපා.තවත් නිර්මාණ ලියන්න.එතකොට අඩුපාඩු හැදිල එයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සමහර විට කතාවේ ගලා යෑමක් නැති හින්දා අවුල් වෙන්න ඇති.. ගොඩක් ස්තුතියි කෙන්ජියෝ

      Delete
  24. අළුත් ටැම්පලේට් එක ගති නේ.. රයිටරයෝ...

    ReplyDelete
    Replies
    1. අඩෝ මොන ටැම්ප්ලේට්වුවද බං

      Delete
  25. කතා නායකයගෙ චරිතය ගොඩ නගල තියෙන විදිහට මම ගොඩක් කැමතියි. කතාවත් මට නම් ලස්සනයි:)

    ReplyDelete
  26. මචං රාමුවේ පොඩි සාම්ප්‍රදායික ගතියක් තිබ්බට උඹ කතාවට එන්ටර් වෙලා තියන විදිහ නම් නියමයි...

    //තමාගේම සිනහව කැඩපතකින් දැක, එහි ඇඳෙන ප්‍රතිබිම්භයට යලි යලිත් සිනාසීම අවසානයේ එය හුදෙක් විහිළුවක් බවට පත්වීම තුල කොතරම් දීර්ඝ අඛණ්ඩතාවක් පවතින්නේද යන සිතුවිල්ල,//
    මෙන්න මේ වගේ කෑල්ලක් ලියන්න පුළුවන් එහෙමත් එකෙකුට විතරයි...

    උඹ පටන් ගන්නකොට තියන වෙනස අවසානයේ නැති වෙලා අර අපි දන්න කියන අවසානය වෙතටම එනවා.. ඒ නිසා වෙන්න ඇති ගොඩක් අය එච්චර කැමැත්තක් දක්වලා නැත්තේ... නමුත් ඒ පොඩි අඩුපාඩුව එක්ක උනත් මේ කතාවට මම ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි තිසා හැමදාම කියවලා වැරදි කියා දෙනවට.

      ඇත්ත තිසා. කතාව අවසානේ සාම්ප්‍රදායික රාමුවක කොටු වෙලා වගේ දැනෙනවා

      Delete