My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, September 7, 2012

වියරුව

දෙකේ ලැයිම් කාමර පේලිය දෙසින් බොහෝ වෙලාවක සිට ඇසෙන කන්දොස්කිරියාව දැන්ම නවතින පාටක් නැත. තියුනුව ඇසුණු එකෙකුගේ කටහඬ පරයා එතන සිටියායැයි විශ්වාස කළහැකි පිරිසකගේ කාලගෝට්ටිය ඇසෙන්නට විය. මේ විරසකයට හේතුව හරිහැටි මා නොදැන හිටියත් නිසැකවම එය එතරම් තැකිය යුතු එකක් නොවන බව ඉඳුරාම පැවසිය හැකිය. මන්දයත්  දිනකට කීපවරක්ම කිසිදු වැදගැම්මකට නැති මෙවන්  සිදුවීම් අනන්තවත් මේ ලැයිම් වත්තේ සිදුවන නිසාවෙනි. පටු මාවත දෙපස අක්‍රමවත්ව හා ඉතා අපිරිසිදුව පිහිටියාවූ මුඩුක්කු කාමරවල සිටිනවුන්ට ගම්මානය සුරපුරයක් විය. ඔවුන් ඇදහුයේ මින් එහාට ලෝකයක් ඔවුන්ට නොමැතිබවය. පල්වී කුණු ගඳ ගසන කානුවෙන් එපිට ලෝකය කිසිදා ඔවුනට උරුම නැතැයි  ඇදහුවන්හට මා සාප කලද මේ නරාවලෙන් ගොඩයාමට වලිකන්නන් අතර සිටින්නේ මා පමණක්ම විය යුතුය. අරුණැල්ලේ උදාවෙන හිරුරැස් පවා මේ වපසරිය නොසලකා හරින බවක් මට හැඟේ. එහෙයින් දවසේ බොහෝ වෙලාවක් අඳුරුව ගියාවූ පටු මාවත දැඩි කාලකන්නි බවක් නිතැතින්ම ඉසිලීය. ඉඳහිට ගහක පිපෙන මලකින් වුවද හමන්නේ කුණු ගඳ මිසක වෙනකක් නොවන බව මට සිතුන වාර අනන්තවත් ඇත.  පියඹා ඇදෙන සමනලුන්ගේ වුවද දිස්න දෙන වර්ණවත් පිහාටු මා දැක ඇත්තේ කලාතුරකින්ය, බොහෝ විට මා දකින්නේ ඒවා කළුපාටට හුරු අඳුරු  මුසල පාටකින් යුක්ත බවකිනි. විටෙක පාන්දර නිවස පිළිකන්නට එන දෙමලිච්චි රංචුව ඇතුළු බොහෝ කුරුල්ලෝ පනුවන් අහුලන්නේ ඕනෑවටත් වඩා අලසකමිනි. ඔවුන්ගේ ගීතවත් කුරුළු නාද නම් ඇසුණු දිනයක් මට මතක නැත. ඒ වෙනුවට නිතරම කාකොටාගන්නා කුරුළු රංචුව වුවද ලැයිම් ජනපදයේ වෙසෙන නහරකාරයිට අනුරුප වන්නේ යැයි මගේ යටිසිත නිතරම පැවසීය. 


ක්ලෝරීන් ගඳ ගසන වතුර කරාමය හැර කේතලය පුරවා මා  මුළුතැන් ගෙයි මිටි බංකුවේ හිඳ ගත්තේ එය ලිප මත තබා බිත්තිය කෙලවර යකඩ කම්බි දැල් ජනේලය තුලින් එපිට බලමිනි. සුලෝචනා අක්කා සකසුරුවමට හැඳ පැළඳ පටු මාවත අසල පහන් කණුවට බරවී සිටගෙන සිටියේ ජංගම දුරකතනයක් කනේ රුවාගෙන සුපුරුදු පරිදිමය. ඉනික්බිතිව වෙනදා පැමිණෙන සුදු කොරොල්ලා කාරය වෙනුවට පැමිණියේ මෝටර් බයිසිකලයකි. ඇය බයිසිකලයේ පැමිණි කෙනාගේ උරහිසට වාරු වී එම බයිසිකලයටම නැග පිටව ගියේ දුම්වලාවක් අතරිනි. බොහෝවිට ඒ ඇයගේ වත්මන් පෙම්වතා වන්නට ඇති මම නිගමනය කලේ මීට පෙරත් ඇය මෙවන් පෙම්වතුන් කීප දෙනෙක් ඇසුරු කරනවා දැක ඇති නිසාවෙනි. ලැයිම් පේලියේ ජීවත්වනවුන් ඇගේ පැටිකිරිය ඕනෙවටත් වඩා දන්නා නමුදු ඇයට දෙස් දෙවොල් තබනවා විනා ඇය යහමගට ගැනීමට එක උපදෙසයක්වත් නොදෙන බව සහතිකය.  ඇය කෙරේ මහද ආත්මානුකම්පාවක් හටගනිත්ම  හමා ආ සුලන් රැල්ලක් දැල් කවුළුව තුලින් රැගෙන ආවේ සුපුරුදු පරිදි කුණු කාණුවේ දුර්ගන්ධයත් ඊට අමතරව සොලොචනා අක්කා නැග පිටව ගිය බයිසිකලයේ පෙට්රෝල් දුම් කරගඳත්ය. විශාමාකාර, ජුගුප්සාජනක ජීවිත ගෙවන්නවුන් ලැයිම් පේලියේ අනන්තවත් අරක්ගෙන සිතිනි. කළු සුදා, සයිකල් බන්ටි, මාළු පද්මේ, පොලී මරියා, ආදී ලෙස ඔවුනොවුන්ගේ රැකියාවට අදාළ බොහෝ නම් මෙහිම වෙසෙන්නන් විසින් ලියාපදිංචි කර තිබිණි. කොතරම් යහපත්ව ජීවත් වුනත් මගේ අම්මාටද වත්තේ එවුන් කයි කතන්දර කියනවා මා ඉවසා දරා සිටින්නේ ඉමහත් පිළිකුලෙනි. ඒ බොහෝ කතා අවසානයේ මාද වැරදිකාරයෙක් වන්නේ නිතැතිනි,  මා ආතක් පාතක් නොමැතිව අවජාතකව ඉපදීම හේතුවෙන්ය ඔවුන්ගේ දෙස් දෙවොල් වලට මා බඳුන් වන්නේ. අම්මාට එකල අත්වූ ඉරණම මහපොලව පවා නුහුලන තරම් වුවද, ඊට එරෙහි වන්නට ඇයට ශක්තියක් තිබුනද ඇය එසේ ඉවසාදරගෙන සිටියේ ඇගේ කුසතුල නුපන්  මාගේ ආත්මය කලලයක්ව ඇතිදැඩි වන බව ඇයට දැනුනු නිසා බව මා හොඳාකාරව දනිමි. 



හාල් පෙගෙන්නට දමා තිබු කොරහේ මැස්සෙක් වැටී ඌ එයින් මිදී ඉගිල යෑමට මරණයත් සමග වලිකමින් සිටියේය. කිසිදු හව්හරණක් නැති මාද ඒ තිරිසනාද අත්විඳින්නේ එකම ඉරණම බව මට එවලෙහි සිතුනේ මන්දැයි සිතීමට පමා නොවී දබර ඇඟිල්ලෙන් මැස්සාව ගොඩගතිමි. ඇඟිල්ල මත තටු ගසා දමා සැනින් ඉගිල ගියෙන් මා නැවත ඌ නොදිටීමි. අළු ගසා දමා නිදහසේ අනන්තයට පාවෙන්නට මගේ හිතේ නොනිම් ආශාවක් ඇතිවිය. අන්ධකාරයෙන් වැසුණු අපැහැදිලි අනාගතයක් සිතේ මායම් කරන්නට විය. කේතලේ වතුර පැහීගෙන එද්දී  නාස් පුඩු වැකුණ  සිගරට් දුම් ගඳ නිසා මසිත සැකයකින් මෙන්ම ත්‍රාසයකින් ඇවිලී ගියේය.  මුළුතැන්ගේ උළුවස්සට දෑතම තබා මදෙස එක එල්ලේ බලා හුන් ගිල්බට් මගේ දෑස ග්‍රහණය කරගත්තේ බිල්ලක් ගිලදැමීමට කෑදරකමින් බලා සිටින රකුසකුගේ විලාසයකිනි. ඔහුගේ දෙනෙත්වල තිබුණු අසාමාන්‍ය හැඟීම මට වටහාගන්නට අපහසු නොවිණි.  පාදාන්තයේ සිට කේශාන්තය දක්වා මා දවා හළු කරවන බැල්මෙන් බලා සිටියේ ඔහුගේ මීළඟ බිල්ල ලෙස මාගේ ජීවිතය පරිත්‍යාග කිරීමට ඔහුට අවනත වන ලෙස කියාපාමිනි.


"කෙල්ලේ......හරි තිබහයි බං..කහට උගුරක් වක්කරහන්කෝ...මැගීගේ කඩෙත් වහලා බං..කහට උගුරක් බොන්න ඉල්ලුවට වත්තේ එකෙක් දෙන්නේ නෑ බං. හොඳ කෙල්ල වගේ මට කහට උගුරක් වකරලා දියන්කෝ. "


 රස මසවුලක් ඉදිරියේ තලුමරන පෙරේතයෙක් විලසින් ඔහු පැවසුවේ මදෙස බලා තොලකටද ලෙවකමිනි. මගේ සර්වාංගයම පිළිකුලකින් හිරිවැටී යද්දී ඔහු පියවර කීපයක් ඉදිරියට තැබුවේය. ඒ සමගම මාද පියවර කීපයක් පිටුපසට තැබුවේ නිරායාසයෙනි. අහක් පැටලී  ලෑලි මැස්ස මත වූ පිඟානක් බිම වැටී කෑලි වලට කැඩී කැබලි සී සීකඩ විසිර ගියේය.


"ඔහොම ඉඳහන් කෙල්ලේ, උඹ මොකටෙයි බයවෙන්නේ, බය නොවී මට තේකක් හදලා දියන්."


 
ඔහු පියවරෙන් පියවර ඉදිරියට එද්දී මා පසුපසින් පසුපසට ගියෙමි. ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බැලීම පවා  අපහසුය. රාගයේ අසම්මත ගිනිදැල් පිටවන ඔහුගේ විකෘර්ති ආශාවන් හමුවේ  මගේ දෛවය ලියවෙන්නට ඉඩ හැර නිශ්ශබ්ධව සිටීමට මා කිසිසේත් සුදානම් නොවුනෙමි. අකාලයේ  අම්මාට අත්වුණ ඉරණම මටද අත්වුණ  බව පිළිගන්නට අම්මා කිසිසේත් සුදානම් නැත. පළිගන්නට දැන් ඇය ඕනෙම දරුණු තීරණයක් වුවද ගන්නා බව දනිමි. මන්දයත් මා අහිමි වුවාට පසු ඇයට අහිමි වෙන්නට ජීවිතයේ තවත් වටිනා වස්තුවක් නොමැති නිසාවෙනි. එබැවින් මටද අම්මගේ ජීවිතය හැරුණු කල මගේ ජීවිතය තරම් වටිනා වූ වස්තුවක් නොමැති නිසා ඒ ජීවිතය වෙනුවෙන් මරාගෙන මැරීමට වුවද ඉටාගත්තෙමි.



"හා.... මං... හද..ල දෙ.න්න..ම්...... මා..ම එළියෙ...න් ඉ.න්..නකෝ....." සැලෙන කටහඬින් මා පැවසු විට ඔහුගේ මුවේ සරදම් සිනාවක් ඇඳුනි.



"බය නොවී ඉඳහන් කෙල්ලේ..මම මෙහෙන් ඉන්නම්" ඔහු නොනැවතී ඉදිරියටම ආවේය.



ජීවිතය වෙනුවෙන් මරාගෙන මැරීමට වුවද දැඩි තීරණයක හුන් මම මැස්ස මත තිබි කැත්ත  දෑතින් ගෙන අමෝරා ගත්තෙමි. 



"හෙල්ලෙන්නේපා....තව අඩියක් ආවොත් කොටනවා, හොඳ හිතින් ආපහු පලයන් ගිල්බට් මාමේ, ඉස්සරහට ආවොත් කොටනඑකත් කොටනවමයි " වියරුවෙන් මවිසින් එල්ලකල තර්ජනයට ඔහු මදක් සැලුණු බව ඔහුගේ ඉරියව් වලින් පෙනී ගිය අතර ඔහු අඩියක්ද පිටුපසට තැබීය.  


අසාමාන්‍ය ලෙස ගැහෙන හදවතින් යුතුව මා බිරාන්තව දෙවියන් සිහිකලෙමි. දේව රුප අතර මට අම්මගේ අසරණ මුහුණ මැවී මැවී පෙනෙන්නට විය.  


"හෙහ් හෙහ් හෙහ් හෙහ් මට කොටන්ඩ..උඹ...හා කොටහන් බලන්ඩ...කොටහන් මහ ලොකු කෙරුම්කාරී  " පිස්සු බල්ලෙක් බුරන්නා සේ ඔහුගේ මුවින් නික්මුණ හඬේ ගැබ්ව තිබුනේ පසුබසින ස්වරුපයක්නම් නොවේ.

  
ක්ෂණයෙන් මුව නාම්බෙක් වෙත පනින කොටියෙක් සේ මා වෙතට පැමිණි ඔහු මා අඩපණ කොට ඔහුගේ ග්‍රහණයට ගැනීමට  මා සමග පොරකන්නට විය. පොරය හමුවේ දෑතේ රැඳී කැත්ත විසිවී ගොස් ලෑලි මැස්ස මත තිබුණු වීදුරුවක එය ගැටී  "සලං" හඬින් බිදී ගියේය. ඉතින් .... සවිමත් දරදඬු හස්තයකට හසුවී මිරිකීයන මල්පෙත්තක්  ගැන කිනම් කතාද.?. දෑස පියාගෙන ලේ පිපාසිත පාපතරයාට ජීවිතය විනාශ කරන්නට ඉඩ දී  නිහඬ වනවා හැරුණු කල අන්කුමක් නම් කරම්ද.? 


අවසානාවන්ත මිනිත්තු කීපයක් ඇතුලත බොහෝදේ සිදුවිය. දෛවයේ කෘර හස්තය විසින් උදුරාගත්  ජීවිතය දෙස මා බලා සිටියේ බලාපොරොත්තු විරහිතවය.  පමණට වඩා උතුරා යන කේතලය "සොස්, සොස්" හඬින් කොඳුරනවා ඇසිනි. දෙනෙත් අග මෝදු වී කැටි ගැසුණු  කඳුලැලි අතරින් විල්බට් නැගිට යනු දුටුවෙමි.  බොහෝ වෙලාවක් නිසොල්මනේ සිටි මට අන්ධකාරයෙන් අන්ධකාරයට පත්වූ අනාගතය සරදම් ලෙස ඔච්චම් කරනවා පෙනුනි.  

52 comments:

  1. කාලකන්නි මිනිස්සු හැමතැනම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒක කොතනත් හැටි..පාරෙතොටේ, ටියුෂන් පන්තියේ, ස්කොලේ, මේ හැමතැනම

      Delete
  2. ලැයිමේ ජීවිතේ ගැන ........... ! ප්‍රභන්දයක් ම ‍නොවේ

    ReplyDelete
    Replies
    1. ලැයිම්. මුඩුක්කු, පැල්පත්, මහා මැදුරු විෂමාකාර ජීවිත

      Delete
  3. ඇත්තටම හදවතට වේදනාවක් දැනුන කතාවක්. මේ විදියට අසරන උන කෙල්ලක් වෙනුවෙන් මට මගේ මුලු ජිවිත කාලෙම කැප කරන්න උනත් හිතෙනව. ඒ තරම් දුකක් දැනෙනව

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මචං

      Delete
  4. lassai niyameta galapala thiyenawa.jaya

    ReplyDelete
  5. අයියෝ බං මේ මගුල් කතාව කියෝලා මගේ මොලත් කොලොප්පං උනා..
    සිරාවටම ඒක දැනුනා ඈ...
    සැහ්...

    ReplyDelete
    Replies
    1. සිකේ එහෙනම් තව ජුන්ඩක් දරුණුවට ලියන්ඩ තිබ්බේ බෝලාගේ ඔලුව කරපට් වෙලාම යන්න හෙහ් හෙහ් හෙහ්.

      Delete
  6. කොහොම උනත් ඔබේ ලියවිල්ල ගැන නම් කියල වැඩක් නැහැ.අපූරුයි!

    ReplyDelete
  7. අපේ රටේම තවත් සංවේදී පැතිකඩක්..!
    ලිවීමේ රටාව, යොදා ඇති අවස්ථාසම්බන්ධයන් අගෙයි මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්දු අක්කේ

      Delete
  8. නියමයි මලයා.. දැන් ලිවිම වෙනස් වෙලානේ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනේෂ් අයියේ. එන්ඩ එන්ඩ වෙනස් වෙනවා

      Delete
  9. අද ගොඩක් වටින වෙනසක්. ගොඩක් වටින නිර්මාණයක්. සමාජය නොදැක්කා නොදැනුනා වගේ ඉන්න හදන අපරාධ මේ වගේ දැනෙන්න ඉදිරිපත් කල යුතුයි!

    ReplyDelete
  10. හිතට දුකක් දැනිච්ච කතාවක් !

    ReplyDelete
    Replies
    1. හ්ම්..හැමදාම එකවගේ සතුට රැඳෙන්නේ නෑනේ මධුරංග අයියේ.

      Delete
  11. ඔබගේ ලිවීමේ හැකියාව අගය කරමි..
    තිරිසන් ගති ඇත්තවුන් කොයි තරම් ද?මනුසත් කම ලබන්න පින තිබුනට මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වීමේ පින අහිමි කරගන්නව ..(විහින්ම )

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රෙහානි. සත්තකින්ම ඔයාගේ කතාව හරි

      Delete
  12. මෙහෙම හරියන්නේ නැහැ. මේ විදිහට ගැහැණු අසරණ කරනවා වෙනුවට ලියපන් මල්ලි කැත්ත දෑතින් අරන් කොටන ගෑනියක් ගැන.. අපේ කෙල්ලන්ට ඒ දයිර්යය දෙන්න ඕනා. නීතිය බල්ලට ගිය රටක ආත්මාරක්ෂාවට සටන් කරන්න අපි අපේ කෙල්ලන්ට උගන්නන්න ඕනා පරාජිත වෙන්න නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම සරත් අයියගේ කතාව මම ඉහ උඩින්ම පිලිගන්නවා. ඒත් මේවෙනකොට ගොඩක් දෙනෙක්ට අත්වෙලා තියෙන්නේ මේවගේ ඉරණමක් නේද...?

      Delete
  13. ලස්සනට ලියලා තියනවා පැතුම්...සුභ පැතුම්..
    ඒත් දූෂනය වුනාම ජීවිතේ එතනින් නවතිනවා කියලා හිතන්න තරම් අපි මෝඩ වෙන්නෙ ඇයි කියලා මට තේරුම් ගන්න අමාරුයි..
    එක විනාඩි පහක් ඇතුලත කැමැත්ත ඇතිව හෝ නැතිව සිද්ද වෙන දෙයක් නිසා තව අවුරුදු ගාණක් තිස්සේ විඳවන්න ජීවිතේ ආගාධයට වැටෙන්න ඉඩහරින්න අපිට කිසිම අයිතියක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ අක්කේ ඔයා කියන කතාව හරි. ජීවිතේ එක මොහොතකදී වෙන විනාසයක් හින්දා මුලුජීවිතෙන්ම වන්දි ගෙවන එක සාධාරණද කියන එක හිතන්න ඕනේ කාරයක්. අනික අද කාලේ මේවගේ ඉරණමක් අත්වුණ කෙල්ලන්ව මාධ්‍ය හරහා තවත් පාරක් දුෂණය වෙනවා. (මේක වෙනම පැතිකඩක්) අන්න එතනිදී ඒ කෙල්ලට සාමාන්‍ය විදිහට ජීවත්වීමේ අයිතිය නිදහස බලෙන් පැහැර ගන්නවා. අනික දුෂණයට ලක්වෙච්ච කාන්තාවක් දිහා සමාජයේ ඉන්න මිනිස්සු බලන පුහු ආකල්පය නිසාත් ඒ ජීවිතවල ඉරණම තීරණය වෙනවා.

      Delete
  14. කැළණි පාලම නාට්‍යයේ රුපවතිගේ කතාන්තරේ මතක් උනා. කෙල්ලෙක් දුෂණය උනා කියලා එතනින් එයාගේ ජීවිතේම ඉවරයි කියලා හිතන එක නම් අපේ රටේ ඉන්න සුද්දවන්තයෝ කියලා කියාගන්න අයගේ තියෙන මානසික ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි රෙපා අයියේ.. කොල්ලෙක් එක්ක ගිහින් කැමැත්තෙන් ඕය දේ වෙච්ච අය ඕනේ තරම් අද වෙන අය එක්ක හොඳින් ජීවත් වෙනවා (පවුල් කනවා). අන්න එතන හිතන්න වටිනා කාරණයක්.

      Delete
  15. සමාජයේ තවත් එක් පැති කඩක් . හොද නිර්මාණයක් . මාත් කැමති අර සරත් අය්ය කිව්ව විදියට අවසාන උනානම් .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිම් අක්කේ. සරත් අයිය කියන කතාව ඇත්ත තමයි නමුත්...

      Delete
  16. යාලුවා ඔයාගේ ලිවීමේ හැකියාව නම් නියමයි. අන්තිමට විල්බට් කාරයට නයෙක් වත් ගහන්න තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං. එහෙම වෙන්නේ නෑ මචං එකපාරටම. හැබැයි ඉතින් පලිසන් දෙන එක දෙනවමයි

      Delete
  17. කතාව කුහුල උපදින ලෙස ලියලා තියෙනව නිර්මාණාත්මකයි නමුත් ප්‍රැක්ටිකලි ඔහොමම වෙන්න බෑ නේද මං කියන්නේ ගැහැනියක්ව ලෙසීයෙන් ඔයතත්වෙට පත්කරන්න බෑ ඔය ලියවිලා තියෙන පරිසරයට අනුව

    ReplyDelete
    Replies
    1. රාජ් අයිය හරි එකපැත්තකින්. නමුත් මම උපකල්පනය කලේ ඇය මඩේ පිපුන නෙලුම් මලක් විදිහට. අනික් මිනිස්සු ලැයිම් ජනපදය සුරපුරයක් විදිහට හිතාන ඉන්නකොට කතා නායිකාව හදන්නේ එකෙන් මිදිලා යන්න. ඒ ඇයට වෙනස්ම ගතිපැවතුම් තියෙන හින්ද කියලා හිතානයි කතාව ලිව්වේ ලිව්වේ. මේ වගේ විෂමාකාර ජීවිත ගෙවන ඒ සමාජයේ මිනිස්සු අතරේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට කෙනෙක් ජීවත් වෙන්න කෙනෙක් ඉන්න බැරිකමකුත් නෑ නේද ?

      Delete
  18. කතාව පට්ට ඈ..........

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ස්තුතියි තරුවෝ ගොඩක්

      Delete
  19. කැත්තෙන් ගැහුවේ නැත්තේ ඇයි ගහන්න එපැයි

    ReplyDelete
    Replies
    1. කෙල්ලගේ ඉරණම තමයි ඒ විදිහට විසඳුනේ. මොනවා කරන්නද ඉතින්.

      Delete
  20. බ්ලොග් එකත් වෙනස් වෙලා ලස්සන්ස්යි දැන්.හැමදාමත් වගේ ඔයාගේ ලියවවිල්ලනම් සුපිරි.ඒත් මම කැමති අර රයිටර්ටත්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කවි අක්කේ. රයිටරුත් ඉන්නේ අර ඔහේ.

      Delete
  21. මේක නම් වියරුවක්ම තමා... රාගයේ ගිනි දැල් වලට පිළිස්සුනු තරුණියක්!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්ත අනු. පිච්චෙන ගිනි දැල්

      Delete
  22. කතාව මේකම නොවුනත් මට මතක් උනේ කළුවරයි පුරහඳ පොත.ජීවිත කීයක්නම් ඔය විදියට නිහඬවම මුඩුක්කු ලයිම් කාමර වල විනාශ වෙන්න ඇතිද?ධනවාදී අර්ථ ක්‍රමයේ ප්‍රතිපල තමයි මේ.ඒ මිනිස්සුන්ට කවදාවත් ගොඩ ඒමක් නෑ!
    සිරාවටම ලියල තියෙනවා මචන්!
    ජය :)!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං. ගොඩ එන්න බැරි කමකුත් නෑ මං හිතන්නේ...හැබැයි මේ වගේ තිරිසන්නුන්ගෙන් ජීවිතේ තමයි බේරගන්න ඕනේ

      Delete
  23. සැඟවුණ සත්‍යයක් සහෝ... කොයිතරම් ජීවිත ඔය වගේ මිලින වෙලා යනවා ඇද්ද? සාර්ථක නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. අහන දකින එව්වට අමතරව රටේ ලෝකේ ඕනේ තරම් මෙව්වා වෙනවා ඇති

      Delete
  24. සංවේදි කතාවක් අයියේ... ඒ වුනාට අද බස් එකේ එද්දි පාසල් නිල ඇඳුමින් හිටිය කොල්ලෝ දෙන්නෙක් කතා වෙච්චි දේවල් ඇහුණාම මෙව්වා මොනාද කියලා හිතුනා.මෙතන එන්නේ හැඩි දැඩි මනුස්සයෙක් වුනත් ඒ කොල්ලෝ කියපු කතා අනුව උන් දැනට මේ වගේ අසරණ කෙල්ලෝ 10ක් 15ක් බිලි අරගෙන තිබුනා.උන් ළඟ පොටෝත් තිබුනා.මම වාඩිවෙලා හිටිය තැන උන් හිටගෙන බස් එකේ ඒවා හයියෙන් කතා කර කර ආවේ වීරයෝ වගේ... මට උන්ට නෙලන්න තරම් හිතෙන කතා ඇහුනේ... එකෙක් ෆෝන් එක අනිකට පෙන්නලා "කොහොමද හු**" කියනකොට මුං ඒ කෙල්ලව විනාස කරලා එතනින් නොනැවතී මුන්ගේ යාළුවන්ට උදව් කරන්න භාණ්ඩ හුවමාරු කරනවා කියලත් මට ඇහුණා.. දැන් ඉන්න පාසල් ශිෂ්‍යන් ඔහොමනම් ඉතින් කවදහරි මුං සමාජෙට බැස්සම මොනා නොවෙයිද?? හිතට වදින්න ලියලා තියෙනවා අයියේ අනිවාර්යෙන්ම මේවගෙන් නොසැලෙන කෙල්ලෙක් ගැනත් ලියහං අයියේ අඩුගානේ ඒකෙන් එක කෙල්ලෙක්වත් ශක්තිය ගනිත්වා කියලා හිතලා

    ReplyDelete