My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, October 9, 2012

සිතාරි

 දවස පුරාම කැත්ත උදැල්ල මත්තේ හැප්පෙන දවාලට පුපුරු ගසන ගිනි අව්වෙන් බැට කන ගමේ මිනිස්සුන්ට,  ගස් කොලන්වලට වගේම සතා සිව්පාවට වුනත් අඳුර වැටෙද්දීම දැනෙන හීතල සනීපයක් ගෙන දුන්නත් හා හාපුරා දුෂ්කර සේවයට  ලැබුණු පත්වීම ගෙන දුෂ්කර යයි කියන ගමකට ආ මට මුල් කාලයේ ඒ සීතල දරාගැනීමට තරමක් අසීරු විය. එනමුත් දිනපතා හැන්දෑවේ කොහේදෝ ඈත පන්සලකින් හෙමීට ඇසෙන පිරිත් නාදයත්, ඝන්ඨාර නාදයත්,  හෙන්දිරික්ක මල් සුවඳත් සමග පැටලී ආ වියළි පොළවේ සුවඳත් නිසා මගේ හිතට දැනුනේ පුදුම තරමේ සැහැල්ලුවක් බව නම් කිව යුතුය. හවස පහ පසු වෙද්දීම වැව් බන්ට්  එකට පැන නාගෙන උණුවෙන් දුම් දමන ප්ලේන්ටියක් අතැතිව, වී බිස්ස අසල අඹ ගහට අල්ලා තනා තිබුන බංකුව මත හිඳ ඈත වෙල් යායට ඔබ්බෙන් අවරට යන ඉර දෙස බලා සිටිනා  විට  හිතට  දැනෙන්නට ගත් නිර්නාමික හැඟීම් වලින් පපුව පිරෙන්නට ඉඩ දෙමිනුයි මා  සුපුරුදු ලෙසම කල්පනාවට වැටුනේ.


බොහෝ දුරට ඒ කල්පනාවන් අතර සැරිසැරුවේ දීප්තිමත් නෙත් සඟලකි. වරක් දෙවරක් කඩා වැටෙන්නට ගිය ජීවිතය ඇගේ සිනිදු දෑත් මතින් ගෙන ඇගේම  වුවමනාවට සැලසුම්කර ශක්තිමත් අත්තිවාරමක් දමා ගොඩ නැංවූ මගේම ජීවිතය තුල ඇයට හිමි නිසි තැන මා විසින් ලබා නුදුන්නේය යන උභතෝකෝටික සිතුවිල්ල මට හරි හැටි පසක් වුයේ සරසවියෙන් පිටත් වුවාට පසුවය. ඒ එකල ඉගෙන ගැන්ම කෙරෙහි පමණක් දැඩිව පැවති මාගේ අධිෂ්ඨානය නිසා විය යුතුය.    එකිනෙකාගෙන් වෙන්ව පිටව යන එදා සරසවියේ සමකාලීනයන්ගේ  දෙනෙත්වලට කඳුළු නැගුනේ එකම කරුණක් නිසාම වුවද සමින්දිකාගේ දෙනෙත්වල පොපියමින් තිබුණු කඳුළුවල ඊට ඉඳුරාම වෙනස් කාරණයක් ගැබ්ව තිබුනා යයි මට දැන් දැන් සිතෙයි.



"නිමන්ත....!" 


සිහින් ඉකියක් සමග දෙනෙතේ පුරවාගත් කඳුළු අතරින් ඇය මදෙස බැලුවාය. මා ඇගේ දිලිසෙන කඳුළු කැට දෙස පළමුවත් සැලෙන දෙතොල් පෙති දෙස දෙවනුවත් බැලුවෙමි. බොහෝ වෙලාවක් ඇය විසින්ම දෙතොල් සපාගෙන සිටි නිසාදෝ දෙතොල් පෙති වලට සුදුමැලි මලානික ස්වරුපයක් එක්ව තිබිණි.



"අපිට අපිව ආයම මුණ ගැහෙන්නේ නැතිවෙයිද නිමන්ත"


"සමහර විට, එහෙම නොවෙන්නත් පුළුවන්"


"ඒ කියන්නේ මුණ ගැහෙන්න පුළුවන් කියන එකද"


පෙර පරිදි නොවෙනස් වූ ස්වරයෙන්ම ඇය පැවසුවද, එවර නම් යම්කිසි බලාපොරොත්තුවක පිබිදීමක් ඒ දෙනෙත්වල තිබුනා යයිද මට සිතේ.

වෙලේ ලියද්ද දෙසින් පාව ආ නන්නාදුනන කටකාරියන් කීප දෙනෙක්ගේ දඟකාර සිනා හඬක් මා එල්බ සිටි වසර කීපයක මතකයෙන් හදිසියේ මුදවා ගත්තේය. හිතේ ශේෂ වූ අසම්පුර්ණ හැඟීම මැඩ ගනිමින් මා ඒ කෙළිලොල් සිනා හඬට ඕනෑකමින් කන්දුන්නෙමි. ඔවුන් දැකීමෙන් මට මාගේ නැගණිය සිහිපත් විය. ඒ සමගම යටි බඩ ඇතුලෙන් සිහින් දැවිල්ලක් හටගත් අතර මුවින් සුසුමක්ද පිට විය. ඈතින් ගමන් ගත් යුවතියන්  එකිනෙකාට විහිලු තහළු කරමින් මා සිටි ඉසව්ව අසලින් ගම තුලට වැටී ඇති ගුරු පාරට සේන්දු වුහ. ගම තුලට යනවා නම් ඔවුන් මා පසුකර යා යුතුය. නිසැකවම ඔවුන් මා උගන්වන පාසලේ ශිෂ්‍යාවන් වියයුතුය.  ඔවුන් හමුවී කතා බස් කිරීමට කැමැත්තක් මා කෙරේ ඇති වුණද, ගමේ පාසලට අලුතෙන් පත්ව ආ ගුරුවරයෙක් වශයෙන් එසේ කිරීමෙන් මාගේ චරිතයටද, පාසලටද යම්කිසි කැළලක් ඇතිවිය හැකි බැවිනි මා නවාතැන් ගෙන සිටින නිවස දෙසට පෙරලා පියවර තැබුවේ.  උගන්වන පාසලේ දරුවෙකුට මහ මග අවේලාවේ කතා කිරීම වරදක් ලෙස දුටු මට මුලින් එසේ සිතීම පිලිබඳ පසුතැවිලි වීමි. ස්ව තීරණය පිලිබඳ සියුම් ලජ්ජාවක්ද හට ගත්තේය.  මන්ද ගුරුවරයෙකුට තම ශිෂ්‍යයෙකුට කතාරීමට වෙලාවක් අවේලාවක් නැත,  නීතියෙන්ද තහංචියක් නැත යන්න වැටහුනේ සිත තුල කලකිරීමක් ශේෂ කරමිනි. නමුදු එවලේ යම් සිතිවිල්ලක් නිසා හටගත් ක්ෂණික තීරණයක් මා එසේ පොළඹවන්නට ඇතැයිද එයට මා වරදකරුවෙක් නොවන්නේයැයිද සිතා මා සිත සනසවා ගතිමි.


බොහෝ වෙලාවක් යනතුරු සිතෙන් බැහැර නොවූ මෙවන් සිතිවිල්ලක් පිලිබඳ නිකරුනේ සිත වෙහෙසන්නේ ඇයිදැයි පැනයට මා නිරුත්තර නොවුයේ, ඊට හේතුව මාගේ යටි සිත හොඳින් අවබෝධ කරගෙන තිබු නිසාවෙනි.


උසස්පෙළ පන්තිය වලට ඉගැන්වීමට නියමිතව තිබු කාල පර්ච්චේද මුල් ගුරුතුමා විසින් සටහනක් මට ලබා දී තිබුනේය. ඒ අනුව දහතුන වසර කලා පන්තියට මුලින්ම මා පිය තැබුවේ කලක් තිස්සේ  කැපවෙමින් ජීවිතයේ මා විසින් ජයග්‍රහණය කරන ලද අරමුණක, අධිෂ්ඨානයක නිහතමානි සතුට හදපත්ලෙන්ම විඳ ගනිමිනි. ආගන්තුක බව ඉහවහා ගිය පන්තිකාමරයේ සිටි සියලු දෙනාගේ දෙනෙත් මා වෙතට ඍජුවම එල්ල වී තිබිණ. පන්තිය සිසාරා දෙනෙත් යැවූ මා කවුරුද යන්න ඔවුන් ඒවන විටත් අවබෝධ කරගෙන සිටි නිසාදෝ නොවේනම් ඔවුන් විසින් මනාව ප්‍රගුණ කරන ලද ගුණ සාරධර්මවල බලපෑම නිසාදෝ  සිසු සිසුවියන් සියල්ලෝම තම පුටු වලින් නැගිට ගත් අතර සිහින් මුනු මුනුවක්ද පන්ති කාමරය පුරා පැතිරී ගියේය.



"ආයුබෝවන්" යයි පවසා ඔවුනට හිඳ ගැනීමට අතින් සන් කර මා ඩෙස්ක් පුටු අතරින් පන්තිය ඔබ මොබ ඇවිද ගියෙමි.



මුල්ම දවසේ මාගේ විස්තර, මෙන්ම සරසවි ජීවිතය ගැන ඔවුන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම විනා ඉගැන්වීමක් එදින සිදු නොවිණි. එසේම ඔවුන්ගේ විස්තරද මා අසා දැන ගත්තේ මහත් සතුටකිනි. තිහක් පමණ සිටි පන්තියේ බොහෝ සිටියේ ගැහැණු ළමයින්ය, පිරිමි ළමයි සිටියේ දහයකට හෝ අඩු ගණනක්ය.  ඔවුන් හා සම වයසේ මිතුරෙකු සේ හැසිරීම නිසා ඔවුන් හා මා අතර හටගත් බැඳීම ඔවුන් මහත් සේ අගය කල බවක් මට දැනුනි. එබැවින් පාසලේ සිටි අතලොස්සක් ගුරුවරුන්ගේ අඩු පාඩුද මා සමග විවෘතව කතා කළහ. එදින මට ලැබී තිබුනේ අවසන් කාලච්චේදය ය. ඒ නිසා පාසල හමාර වීමේ සීනුව නාද වූ බැවින් විදුහල්පති කාමරයට ගොස් අත්සන් කර රත්පැහැති ගුරු පාර දිගේ නවාතැන වෙත ඇවිද ගියෙමි. 



"සර්....සර්.." පිටුපසින් ඇසුණ ආගන්තුක හඬ කාගේද යන්න බැලීමට මා නැවතී පසුපස බැලීමි.  මට යාර කීපයක් ඈතින් පොත් මිටියක් ලමැදට තුරුළු කර යුවතියක් දිව ආවාය. දෙකරලට ගෙතු කොණ්ඩය තාලයකට එහා මෙහා පැද්දින, තත්පර කිහිපයකින් මවෙත ලංවූ යුවතියගේ දෙතොල් පට මත දහදිය බිඳිති කීපයක් නලියමින් තිබිණ. දෙනෙත් හරවා මදෙස බැලූ ඇය කිසිම ආගන්තුක බවක් නොපෙන්වීම මා තුල යම් කුකුසක් ඇති කරලීය.   



"සර්, සර් නැවතිලා ඉන්නේ සුමනේ මාමලාගේ ගෙදර නේද.........?" ඇය හඬ අවදි කළාය.



"ම්ම්...ඔව්.. මේ ළමය කොහොමද දන්නේ...?"



"අපේ ගෙවල් තියෙන්නේ ඊට පොඩ්ඩක් එහායින්, ම්ම්ම්.. අර කුඹුරේ වක්කඩ පහුවෙනවත් එක්කම සුදු පාට ගාල තියෙන්නේ අපේ ගේ තමයි. දවසක් දෙකක් මම දැක්ක සර් එහෙ ඉනව."



"එහෙමද....? එහෙනම් දැනගත්ත එක හොඳයි, යමින් ගමන් එහෙ ගොඩවෙන්නත් පුළුවන්නේ." යුවතියගේ මුහුණේ සිනාවක් ඇඳුනේත් මාගේ සිත හිරිවැටී ගියෙත් ඒ සිනහවටය.



"සර් ඇවිල්ලත් දවස් දෙක තුනක් වුනාට අද නේද ඉස්සෙල්ලම ඉස්කෝලෙට අවේ.....?. මං දැකල තියනවා සර් සුමනේ මාමලාගේ දිහා අඹගහ යට තියන බංකුව උඩට වෙලා ඉන්නවා.



ඇය නම් ඔත්තු බලන්නියකි, නැතිනම් මා ගැන මෙතරම් සොයන්නේ කෙසේද, මා මීට පෙර කිසි දිනක ඇය දැක නැත. 



"ආ...ඔ....ව් ඔව්.....ගම හුරු වෙන්නත් එක්කම දවසක් දෙකක් කලින් ආවා, මේ ළමයගේ නම මොකක්ද......මොන පන්තියේද....? "



"...සර් අද අන්තිම පීරියඩ් එකේ ආවේ අපේ පන්තියට...මං සිතාරී" ඇය හිස ඇල කර තොල් පෙරලා සිනාසුණාය. වල ගැසුණු දෙකම්මුල් සහිත ඒ සිනාව මගේ දෙනෙත හරහා ලේ නහර දිගේ ගොස් හදවතේ ගැඹුරු තැනක පැලපදියම් විය. ගුරුවරයෙක් විසින් තම ශිෂ්‍යාවක් පිළිබද නොසිතිය යුතු දෙයක් මා සිත තුල කෙමෙන් වර්ධනය වෙද්දී මා විසින් නම් කරන ලද ඇය පිළිබද හටගත් "ආදරය" නම් වූ බැඳීම බලහත්කාරයෙන් යටපත් කරගත්තෙමි.


ඊට පසු බොහෝ දින වල පන්තිකාමරයේදී මා ඒ දෙනෙත් ඕනෑකමින් මග හැරියෙමි. විහින් පනවා ගත් ප්‍රතිපත්තියක් සුරකිනු පිණිසත් පාසලේ මෙන්ම, ගුරු වෘර්තියේ ගෞරවය රකිනු පිණිසත්ය මා විසින්ම පනවාගත් සම්මතයක් මා අනුගමනය කලේ.  නමුදු හදිසියේ මා සොයා ඇදී එන දෙනෙත් සරය මා නිබදවම පරාජය කළේය, දෙනෙත් මග හැරෙන වාර ගන්නට වඩා දෙනෙත් පැටලෙන වාර ගණන වැඩි විය. අමතක කරන්නට වෙර දරන සෑම සිතුවිල්ලක් පාසාම ඇගේ සිනහවම මැවුනි. පන්තියේ නිබදවම ඇසෙන කෑකෝ ගැසීම් පරයා ඇගේ හඬම සවනත වැකුණි.


ගලායන්නට වෙර දරන නදියක් හරස් කර වැව් බැම්මක් බැඳීම අසාධාරණය. ගලාගෙන යන ජලයට නිදහසේ ගලාගෙන යාමට ඉඩ දිය යුතුය, මන්ද බලහත්කාරයෙන් රඳවාගන්නා ජලය කවදා හෝ වැව් බැම්ම බිඳ දමා මහත් විනාශයක් කරනු නිසැකය. එබැවින්ම සිතේ තෙරපෙන හැඟීම් බලහත්කාරයෙන් මැඩපවත්වා ගැනීමත් එසේම විනාශයකට හේතුපාදක විය හැකිය. විහින් පනවාගන්නා සෑම නීතියක්ම අභිබවමින් ඈ පිලිබඳ ආලයක් මසිතේ මෝදු වෙන්නට පටන් ගත්තේය, ඈවෙත මසිතේ හටගත් ආදරය මගහරිනු පිණිසත් ගුරු වෘර්තියේ නම්බුව මෙන්ම, පාසලේ ගෞරවය ආරක්ෂා කරගැනීමත් පිණිස මගේ සිත තුල ද්වන්ධ සටනක් හට ගත්තේය.


සැන්දෑවේ දැනෙන පිච්ච මල් සුවඳ මට යලිත් නොදැනුනි, පන්සලෙන් ඇහෙන පිරිත් නාදය,  ඝන්ඪාර නාදය මට නෑසුනි. ඒ සියල්ලටම හිමි තැන ගෙවී ගිය දින කීපය තුල ඇය විසින් අත්පත් කරගෙන තිබිණි, ගිනිගෙන දැවෙන සිතුවිලි අතරේ මෙතෙක් වෙලා හාන්සිවී සිටි ඇඳෙන් නැගිට පොත් මේසය වෙත ගියේ තීරණයක් ගෙනය. මේසය මත වූ චිමිනි ලාම්පුවේ දැල්ල වැඩිකර සුදු කොලයක් හා පෑන අතට ගත්තේ ඈගේ දෙනෙත් මගහැරීමට හා ඈ පිලිබඳ සිතුවිලි වලින් ඈත්වීමට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය ගැනීමටය. ඒ පාසලෙන් අස් වීම සඳහා අස්වීමේ ලිපිය ලියන අදහසින්ය.


(නිමි)
   

65 comments:

  1. හැබෑවක් නොවේනම් ...... සතුටුවෙමි.

    ReplyDelete
    Replies
    1. හැබෑවක් වුනත් සතුටු විය යුතුමය මචං

      Delete
  2. ඒ ඩින්ගට අස්වීමේ ලිපියක්??? ලස්සනයි කතාව
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ක්ෂණික තීරණ එහෙමනේ, ගොඩක් ස්තුතියි,

      Delete
  3. මම මාරම ආසයි මෙහෙම කතා වලට..අනේ මන්ද ඒත්.......
    ඒත් ළමයෙක් ගුරුවරයෙක්ට පෙම් කරනවා කියන එකත් එක අතකට හොඳට ඉගෙනගන්නවා වගේ වැඩක් තමා..මොකද හොඳට පාඩම් කරනවනේ..
    ඒත්.....ආදරේ උනාට ප්‍රතිපත්ති එක්ක අසරණයි නේ..
    මම නම් කියන්නේ වෙන ඉස්කෝලෙකට මාරු වෙලා ආදරේ කරන්න ඉතින්..
    ප්‍රශ්නයක් නැහැනේ එතකොට :)

    ReplyDelete
    Replies
    1. කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ හිරු, වෙන ස්කෝලෙකට ගිහින් ආදරේ කරත් එකයි, ඉන්න ස්කොලේ ඉඳගෙන ආදරේ කලත් එකයි. . (මේ මේ. මේක මට වෙච්ච, මගේ කතාව නෙමෙයි ඈ)

      Delete
    2. ඉතින් අප්පා...අනේ මන්ද..:(

      Delete
  4. අස්වෙන්නෙ නැතුව කොහාටහරි මාරුවක් ගත්තා නම් ඉවරයිනේ? ගුරුවරයෙක් වුණා ම මීට වඩා දුර හිතන්නෝන! නියමයි සහෝ... ඵල

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ලහිරුවෝ. ඔව් හැමෝම එක වගේ නෑනේ ඉතින් මචන්, ගුරුවරුත් එහෙමයි.

      Delete
  5. සිරාවට කතාව ගලන් ආවා ඒත් එකපාරට ඉවර උනේ අපරාදේ හදිස්සියේ ඉවර කළා වගේ සීන් එකක් තේරුනේ තව ටිකක් ගලන් යන්න දීල ඉවර කළා නම් හරි.ඒත් මේ කතාව පට්ට මචන් ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මඩයෝ. මගෙන් වෙන ලොකු වැරද්දක් තමයි ඕක. අන්තිම වෙනකොට පට පට ගාල ඉවරවෙන එක. ඒක හදා ගන්න උත්සාහයක් දෙන්නම්

      Delete
  6. පට්ටම කෙටි කතාවක් කාලෙකට පස්සේ ඇහුව...

    ReplyDelete
  7. ඒක හරි සාහසික තීරණයක්නෙ පැතුම්. ඇත්තටම මේක පුදුම සංයමයකින් ලියලා තියෙන්නෙත්. මම කියන්නෙ භාෂාව ගැන.
    මමත් ඔහොම ගුරුවරයෙක් හැටියට ගිහින් තියෙන නිසා මේකෙ පුදුම හුරු ගතියක් දැනුනා මට. හැබැයි මම නම් ඉල්ලා අස්වුනේ නෑ. :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඩුඩි අයියේ මට මතක්වුනේ ඔයාව.මොකද ඒ කතා සෙට් එකම කියවලා තියෙන නිසා...

      Delete
    2. ගොඩක් ස්තුතියි ඩුඩ් අයියේ. සමහර වෙලාවට ජීවිතේදී එහෙම සාහසික තීරණත් ගන්න වෙනවනේ.

      ඩුඩ් අයියගේ සමාගමට මම බැඳුනේ ලඟදි ගැමියෝ. පරණ පොස්ට් නම් කියවන්න වෙනම වෙලාවක් ගන්න ඕනේ. ඒක වෙන වැඩක් නෙමෙයි. අලුතෙන් දාන පොස්ට් නම් නොවැරදීම කියවනවා.

      Delete
  8. පැතුම් අයියා පුරුදු විදියටම ඔයා හදවතටම කතා කරනවා මේ වගේ කතා වලින්.අර දෙබස් එක්ක චිත්ත රූප මැවෙන්න දීපු විදිය පුදුමාකාර ලස්සනයි.ඒ වචන කියෙව්වම කතාව ඉක්මනට කියවලා අන්තිමේ වුනේ මොකක්ද කියලා හොයාගන්න ආසාවක් නිකන්ම එනවා.ඒ පටන් ගැන්ම නවකතාවක ආරම්භයක් වුනා නම් ඒකත් අන්තිම වෙනකල් කියවලා තමා පස්ස බලන්නේ....

    කතා ගොඩාක් මගඇරිලා තියෙන නිසා ඒ ටික කියවන්නට යමි... ජය වේවා අයියේ.අවිවාදයෙන් ඔයා සුපිරි රයිටරයෙක්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගැමි මල්ලි. උඹේ ඔය කමෙන්ට් එක වැටෙනකම් මම බලාගෙන ඉන්නෙත් ඒකයි.

      Delete
  9. අස් උනා ඉක්මන් වැඩිද මන්දා :)

    ReplyDelete
    Replies
    1. සමහරවිට...පස්සේ පසුතැවිලි වෙන්නත් පුළුවන් ගත්ත තීරනෙට

      Delete
  10. මටත් හිතෙන්න තීරණය ගන්න ඉක්මන් වැඩියි කියලයි. ගුරු ගෝල ආදරය ඇතිවෙන්නේ අද ඊයේ ඉඳලා නෙමේ. අපි ඉස්කෝලේ යද්දී උනත් හිතට දැනෙන ගුරුවරයෙක් දැක්කම හිතේ යාන්තමට මෝදුවෙන සෙනෙහසක් ඇතිවෙන එක එතරම්ම අරුමයකුත් නෙමේ. ඒත් හදවතට ඉඩ දෙනවට වඩා බුද්ධියට ඉඩ දීලා අර මෝදුවෙන හැඟීම හිත අස්සටම යට කරලා දමන්න පුළුවන්න නම් ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ.

    හදිස්සි තීරණය නිසාම සමහර විට ඒ පාසැලේ අනිත් දරුවන්ට යම් අසාධාරණයක් උනාය කියලා මට හිතෙනවා...

    කතාව ගලා යන අකාරය හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි...ඔව් ලිහිණි, හැඟීම් වලට වහල් වෙලා ගන්න තීරණ වල ගොඩක් වෙලාවට පැවැත්මක් නෑ. බුද්ධියට ඉඩ දීල හැඟීම් යටපත් කරන්න බැරි වෙලාවල් ජීවිතේ කලාතුරකින් එනවනේ. අස්වීම නිසා අනික් ළමයින්ට අසාධාරණයක් වෙන එක ඇත්ත, ඒත් කථාකයාව පුර්වදර්ශේට අරන් ඒ ළමයින්ම නොමග යන්නත් තිබුනා,

      එක අතකට ගත්ත තීරණේ සාධාරණ වෙන්නේ අන්න ඒ හේතුව උඩයි, කථකයා තමන්ට දාගන්න ස්වයන් වාරණය හින්ද එකෙන් ගැලවෙන්න විදිහක් නැති හින්දයි.

      Delete
  11. හොඳ ගලායාමක් තියන කතාවක්.
    අස්වීම ගන්න ඉක්මන් වුණා වැඩිද මන්දා. ඒත් ඉතින් තව දුරදිග යන්න කලින් ඔහොම කරපු එකත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. සිතු...ඔව් නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කඩන්න වෙනකම් බලා ඉන්න හොඳ නෑ කියනවනේ සිතු.

      Delete
  12. ඔහොම ගියොත් මාසෙට ඉස්කෝල 3කට 4කටම මාරු වෙන්න වෙයි.
    ඔයිට හොඳ නැද්ද ගෑනු ලමය ඉස්කෝලෙන් අස් වෙනකල් ඉඳල ප්‍රේමය ප්‍රකාශ කලා නම්. කතාව නම් මරු. ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. සමහර විට මේක කථකයා පාඩමකට ගනීවි. ඒක හින්ද ඉදිරියේදී ඒ වගේ වැරදි එයා අතින් වෙන එකක් නෑ. ස්කොලෙන් අස්වෙනකම් ඉඳලා ආදරේ ප්‍රකාශ කලා කියල හිතමු, ඒත් අපි නතර වුනාට ලෝකේ නතර වෙන්නේ නෑනේ. සමහර විට සිතාරී එයා ගැන තීරණයක් ගනිවී. ඒකට එයාට අයිතියක් තියනවා. අන්තිමට ඒ අයිතිය හින්දා කථකයාට වෙන්නේ හිත්රිදීමක් නේද. ඒක මීට වඩා දරුණුවට දැනේවි එදාට.

      Delete
  13. සර් ගැන ආඩම්බරයි... වෙන ගුරෙක් ඔතන හිටියනම් කරන්නෙ වෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන තීරණයක් ගන්නත් තිබුනා මචං

      Delete
  14. ම්ම් ලස්සන කතාවක්. ටිකක් වෙනස්. මේ සර් හයිය හිතක් තියන කෙනෙක්. ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මධු...! හයිය හිතක් කියන්නත් බෑ.

      Delete
  15. වෙනස් විදියේ ඇත්ත කතාවක් වගේ...:)

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇත්ත වෙන්න බැරිකමකුත් නෑ...! :)

      Delete
  16. Replies
    1. හයියෝ ඇයි අප්පා..? ගණන් ගන්න එපා

      Delete
  17. ගුරුවරයෙක් වුනාම මිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෑ කියලා හිතුනා. අත්දැකිමක් නෙවෙයි නේද

    ReplyDelete
    Replies
    1. හ්ම් ගුරුවරයෙක් වුනාම සැලකිලිමත් වෙන්න ඕනේ තමයි මීට වඩා.

      අපෝ නෑ. ගුරුවරයෙක් වෙන්න තරම් මං පිං කරලා නෑ දයානන්ද අයියේ.

      Delete
  18. ලස්සන ලියවිල්ලක් සහෝදරයා.. සුභ පැතුම්...

    ReplyDelete
  19. ම්ම්ම්ම් කාලෙකින් කියවපු අපුරුතම නිර්මානයක් ජය...

    ReplyDelete
  20. කතාව ලස්සණ ඇති වෙනදා වගේම... අද කියවන්ට වෙලාවක් ‍නෑ යාලු... තරහ වෙන්ට එපා ඔන්න.. මේ කමෙන්ටුව ආවා කියන්ටයි...

    ReplyDelete
  21. තවත් කෙනෙක්ගෙ ඇස් පහදන්න ජීවිතේ කොයිතරම් කැපකිරීම් කරන දේවකාරියක්ද ගුරුවෘතියට තියෙන්නෙ..
    අද කාලෙට ගැලපෙන අපූරු කෙටිකතාවක් මල්ලියෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නන්දු අක්කේ. හ්ම් ලෝකේ උතුම්ම රැකියාවල් වලින් එකක්නේ ගුරු ගුරුවෘතිය කියන්නේ

      Delete
  22. ම්ම්.. හිත තමන්ට අවනත නැත්තන් වෙන මොනා කරන්නද? ගුරුතුමා හරිත් වගේ නෑත් වගේ..
    අපූරුවට ලියපු කෙටි කතාවක් ..

    ReplyDelete
    Replies
    1. හ්ම් එතකොට තීරණයක් ගන්න වෙනවනේ. ගොඩක් ස්තුතියි

      Delete
  23. කතාවෙ ගැලපුමට හිත ගියා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දිනිති අක්කේ

      Delete
  24. සින්දුවක් තියෙනවා අහල තියෙනවද දන්නේ නෑ "නිල නුවන් පෙඟෙන අඳුර ගලා.."කියල
    එඩ්වර්ඩ් ජයකොඩි කියන්නේ.ඒ සින්දුව ලියපු රචකයත් ඇත්තටම මුහුණ පාල තියෙන්නේ මේ කියන සිදුවීමට!
    සිරාවටම එල මචන්!කෙටි කතාවක තියෙන්න ඕන හැම දෙයක්ම මේ කතාවේ නොඅඩුව තියෙනවා!
    ජය!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචං...සිංදුව නම් අහලා නෑ.

      Delete
  25. කාලෙකින් මේ පැත්තේ ආවේ. දිග කතාවක් කියෝලම පටන් ගත්තා. පරණ ඒවත් ටික ටික කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. හම්බෝ අසරණයා අයියා දැක්ක කල්....! මට මේ ලඟදි එක පාරට මතක් වෙලා හැමතැනම හෙව්වා. මෙන්න බොලේ ඇවිත්....!!!

      Delete
    2. වැඩ වැඩ. රස්සාවේ හැටි මට දැන් තේරුණා.

      Delete
  26. මේක කියෙව්වම මට මතක් උනේ ළගදි ටී වි එකේ ගිය ෆිල්ම් එකක්.

    අර උඩ ගම ගැන විස්තර කරලා තියන වි‍දිහෙන් චිත්‍රයක් මවා ගන්න පුලුවන්.

    ගොඩාක් ලස්සනයි. :) :) :) :) :)

    ඔයාට ජයෙන් ජය !!!!! :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අමා. ඔයා කියන ෆිල්ම් එක මොකක්ද ?

      Delete
  27. මට එහෙම උනානම් ඔහොම කරන්නේ නැතිවෙයිද මන්ද ...හී හී .ලස්සන කතාව ... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචන්, සමහර විට එහෙම නොකරයි. හෙහ් හෙහ් හෙහ්

      Delete
  28. මේක ඉක්මනින්ම ඉවර කිරීම ගැනනම් මගේ බලවත් විරෝධය!! තව ටිකක් ලියන්න තිබුණා.. කොහොම වුනත් ගුරු-ගෝල ප්‍රේමයත් මහ පුදුමාකාර දෙයක්නෙ..

    ලස්සනයි කතාව!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ...! ඔව් මටත් දැන් හිතෙනවා ඉක්මනින් ඉවර කලේ අපරාදේ කියලා. තව ටිකක් ලියන්න තිබුන කියල හිතෙනවා. ගුරු ගෝල ප්‍රේමය දෙවිදිහක් තියනවනේ ඉතින්.

      Delete
  29. මේක ඉස්සෙල්ලා හිමින් ගිහින් අන්තිමට එක්ස්ප්‍රස් ගිය කෝච්චියක් වගේනේ..
    මුල ටික නම් ගොඩක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ...රූ අක්කේ.. මම අන්තිම හරිය ලියන්න මාර හදිස්සි වෙනවා අප්පා. ඒක නැති කර ගන්න වෙනමම ට්‍රයි එකක් දෙන්න වෙනවා. ඊගාව කතාවෙන් හරි ට්‍රයි එකක් දෙන්නම්කො හොඳේ.

      Delete
  30. අන්තිමේ වේගේ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද? මට පාර හොයාගන්න බැරිව හිටියේමේ පැත්තට එන්න. අවසානය ගැන සතුටු වෙන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ මහත්තයා, අන්තිම හරිය වේගේ වැඩියි තමයි, හ්ම් ඒ වැරැද්ද හදා ගන්න ට්‍රයි එකක් දෙන්නම්කො ඊගාව කතාවෙන්. ගොඩක් ස්තුතියි පාර හොයාගෙන මාව හොයාන ආවට

      Delete