Thursday, March 8, 2012

අකාරුණික දෛවය

"නොදකින් මේ වැස්ස, උදේ ඉඳන් චුරු චුරුව, කඩේකට පිලකට යන්න නෑ, රෙද්දක් වේලාගන්න නෑ, ළමෙක්ට ඉස්කෝලෙකට යන්න නෑ, පොඩ්ඩක් පායනකන් ඉඳල එලි පෙහෙලියට බැස්සොත් අයෙත් කඩා පාත් වෙනවා. තුහ්:" 


හප හපා හිටි  බුලත් හපේ ඉස්සරහින් ගලාගෙන යන වතුර පාරට දාල වැහි වතුරටම දෝත පාල කටත් හෝදගෙන තමන්ගේ ඉරණම අත්වෙච්ච සෙසු පිරිස දිහා සමස්ත බැල්මක් හෙලු 
මැදි විය මීට වසර පහලවකට පෙර ගෙවා දැම්ම ඒ මනුස්සයාගේ කතාවෙත් ඇත්තක්  නැත්තෙමත් නෑ කියල මට හිතුනේ දැන් මමත් මේ කඩ පිලට ඇවිල්ල පැය භාගයකටත් කිට්ටු වෙන්න ආව හන්දා.
 

අද සෙනසුරාදා හින්දා වරුවෙන් බෝඩිමට යන්න කියල හිතන් ආවට ඉතුරු වරුවත් මෙතනම ඉන්න වෙයි කියල මගේ හිතේ තිබුනෙත් අර වයසක මනුස්සයාගේ හිතේ  තිබුන සිතුවිල්ලට සමාන සිතුවිල්ලක්.

 තවත් ඒ විදිහටම පැය භාගෙකට ආසන්න කාලයක් හිටියත් සතුටුදායක ප්‍රතිපලයක් නැති හින්දා මම බෝඩිමට එන්න ආවේ පොඩ්ඩක් තෙමුනත් කමක් නෑ බෝඩිමේ ඇඳට වෙලා හවස් වෙනකම් පොරෝගෙන නිදා ගන්න එකනේ කියල හිතලා. 
උදේට කෑම එක අරන් යන බ්‍රවුන් පේපර් කවරේ ඔලුවට තියාගෙන වතුර වලවල් බේර බේර බෝඩිම පැත්තට අඩිය ඉක්මන් කලේ ඇඟේ හිරිගඩු පිපෙන සීතල මගේ ගතේ අන්තිම ජවයත් උදාසීන කරලා දාන්න කලින්. සපත්තු දෙක අඩිය තියන තියන වාරයක් ගානේ "ච්රිස් ච්රිස්" ගානවා. 


සපත්තු මේස් තෙත බරියම් වෙලා. ඇඟිලි කරුවලට හරි අමුත්තක් දැනෙනවා. සපත්තුව වැස්සට තෙමිලා අඩිය ගැලවුනොත් පහුවදාට කන්තෝරු ගිහිනුත් හමාරයි. අද ගත්තු පඩි පැකට් එකෙන් මේ හදිස්සියේ සපත්තු දෙකක් ගත්තොත් මාසේ යන්තම්වත් රෝල් කරන්න වෙන්නේ නෑ.  ඒ සිතුවිල්ල මගේ ගමන තවත් පමා කළා.


කඩවල්, බස් නැවතුම්පළවල්  වලට මුවා වේවි, බෝඩිමේ දොර ලඟට ඇවිත් නතර වෙනකොට ඇඳුම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වතුරෙන් තෙත් වෙලා. ඒ මදිවට කළු කලිසම පුරාම මඩ පාරවල්. එකත් ඉවසන්න පුළුවන් ඒත් මෙච්චර හෙමින් ඇවිල්ලත් සපත්තුවේ අඩිය ගැලවිලා තියනවා දැකලා මගේ කටින් සිංහල ශබ්දකෝෂයේ නැති වචනක් පිටවුනේ හිතේ තියන තරහටම. ඊටත් වඩා දුකට.  ඔලුව දිගේ බේරෙන වතුර උදේ කන්තෝරු යද්දී ඔලුවේ ගාපු පොල් තෙල් ටික මූණට හෝදගෙන ඇවිල්ල. පොල් තෙල් වල මුඩු රහත් දිවට දැනෙන්න ගත්තායින් දනී පනී ගා බෝලකුඩුවේ එල්ලලා තිබුන සරම් කඩමාල්ල පටලවාගෙන තෙත ඇඳුම් ටිකත් ගලවල කලිසම විතරක් පුටුව උඩ වනල ඉතුරු ඇඳුම් ටික බේසමට ඔබාගෙන නානකාමරයට රිංගුවේ වතුර පනිට්ටු දෙකක් වක්කරගෙන හොඳ ප්ලේන්ටියක් බීලා ඇඳට ගුලිවෙලා ඔලුවේ ඉඳන් පොරවාගෙන නිදා ගන්න හිතාගෙන. කලිසම හෝදන්න පැය බාගයක් වත් යන නිසා එක හෙටට කල් දානවා.
මේ සීතලේ ඕක හෝදන්න බෑ කම්මැලියි.

 
පැය බාගයකට විතර පස්සේ නාන කාමරයෙන් ඇවිත් හෝදපු ඇඳුම් ටික පිළිකන්නේ වැලෙන් වැනුවා. සැහැල්ලුම බතික් සරමට බැස්සේ අත්දිග කමිසයකුත් කරලාගෙන.
වතුර ටිකක් රත් කරන්න හීටරේ ගහල මේසේ ගාවින් ඉඳගෙන මේසෙට දාල තියන පත්තර කෑල්ලේ තියන වචන ටික කියෙව්වේ පුරුද්දට වගේ,

අඩුසීනි, වැඩි කහට ප්ලේන්ටිය මට කවදත් රසය. සීනි බෝතලය හුරලා හුරලා හදා ගත්තු ප්ලේන්ටිය මහා තිබහකින් තොලගාමින් ජනේලය ලඟට කිට්ටු උනේ ඉස්කිරිම ළඟ තෙමෙන තැනට පොඩි බේසම් කෑල්ලක් තියාගෙනම. 

 

වැස්ස ආයෙමත් වැඩි කළා. හුළං පාරකුත් සැරේටම හමනවා. ඇඳ ගාව ජනේලයේ වීදුරුවේ මෙහා පැත්තෙන් මතුවෙලා තිබ්බ වතුර වාෂ්ප බින්දු ටිකේ ඇඟිල්ලෙන් ලොකු අකුරෙන් "තනිකම" කියල ලිව්වේ ඇයි කියල මට තේරුමක් තිබුනේ නෑ.  නමුත් ඒ වචනේ දිහා බැලෙන බැලෙන වාරයක් ගානේ මගේ හිත මහා ආත්මානුකම්පාවකින් දැවෙන්න පටන් ගත්ත. මට මහා අසරණකමක් දැනෙන්න ගත්ත. නෑදෑයෙක් සහෝදරයෙක් වත් නැති කාත් කවුරුවත් නැති කොළඹ වන්නියේ ගෙවන්නේ මොන කරුමක්කාර ජීවිතයක්ද කියල හිතුනා.   අන්තිමට කරේ දාගෙන හිටපු තුවායෙන්ම එක පාරින් වීදුරුවේ "තනිකම" මකල දැම්මට හිතේ පැල්  බැඳගෙන ඉන්න "තනිකම" මකන්න ඒ තරම් ඉක්මනට බැරි බව මට හොඳටම සහතිකයි. 


තේ කෝප්පය ඉවර වෙනකොට මට නිදිමතක් ආව හන්ද කෝප්පය ජනෙල් ගැට්ට උඩ තියල ඇඳට පැන්නා. "ඩොහ්" ඇඳ පොල්ලක් ගැලවිණි. අමාරුවෙන් තටමාගෙන ඒක තිබුන විදිහට හදාගෙන බෙඩ් ශීට් එක පොරෝ ගත්තේ සැප නින්දක් දාන්න. 

  
ගෙදරට සල්ලි කීයක් වත් යැව්වේ නෑ. කාලෙකින් අලුත් කමිසයක් ගත්තේ නෑ. අලුත් ඇඳුමක්වත් නොගෙන පඩියෙන් බාගයක් අම්මට යවනවා. නංගිටත් විභාගෙට වියදම් සැරයිලුනේ. තාත්ත නම් බිබී කියව කියව ඇති. අම්ම පොලට ගිහින් ආවද දන්නේ නෑ. චුටි නංගිය දැන් දන ගානවා ඇති.


අනම් මනම් විකාර හිතුවිලි මාව පැය 3 කටත් වඩා නින්දක අතරමන් කරලා. හිටි හැටියේ ඇහැරුනේ කන ලඟම විදුලියක් කොටන සද්දෙට. අවේලාවේ නිදාගැනීමෙන් ඇඟට දැනෙන කාලකන්නි ගතිය මදිනොකියන්න දැනුන. හතර වටින්ම අඳුර. 
අතගාල අතගාල බිත්තියේ ස්විච් එක හොයාගෙන දැම්මට වැඩක් නොවුනේ එවලේ කරන්ට් එක නැතුව තිබුන හන්ද
කෝට්ටේ යට තිබ්බ ගිනිපෙට්ටියේ ඉතුරුවෙලා තිබ්බ කුරු දෙකෙන් එකක් අරන් ඉටිපන්දමක් පත්තු කළා. 

වැස්ස පායලා තිබුනට තවමත් කොහාට හරි වහිනවා. එකයි මේ විදුලි කොටන්නේ. මගේ හිතේ සිතුවිල්ලක් එහෙම හිතුව. 
දනී පනී ගාලා කුණු කෙල ටික හෝදගෙන කන්න මොනා හරි හදන්න බලනකොට මතක් උනේ උයන්න තියා සම්බෝලයක් හදන්නවත් බී ළුණු ගෙඩියක්වත් ලෑලි තට්ටුව උඩ නෑ නේද කියල.

"නොදකින් අමන වැස්ස හන්ද එලවළුවක් ගේන ඒකත් අමතක වුනානේ. දැන් ඉතින් පලයන්කෝ පයින් හන්දියට."

හිතේ අවේගකාරී හිතුවිල්ලක් හිස ඉස්සුවේ එහෙම.  

කේන්තිය පිටින්ම  පොකට් පිරුන මගේ ප්‍රියතම කොට කලිසම ඇඳන් හිටපු කමිසය පිටින්ම ඇන්දේ ගැලපීමකට කියල විශේෂයෙන් අඳින්නේ නැති හන්ද. පුටුව උඩ වනපු ඇඳන් ගියපු කලිසම අතට අරන් පර්ස් එක හොයනකොට මගේ ඔලුවට පොල්ලකින් ගහනවාක් මෙන් දැනුනි.   
උගුරකට වෙලුනේ අම්මගෙත් ලොකු නංගිගේත් චුටි නංගිගේත් මුහුණු වේගයෙක් එකින් එක මගේ හිතේ මැවෙද්දී.  


"දෙයියනේ මගේ පර්ස් එක ? "

27 comments:

  1. අයියෝ....යාලුටත් වෙලා තියන දෙයක්...:( ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේනේ...පර්ස් එක වැස්සට නැවතුන තැනදී කවුරු හරි හිතක් පපුවක් නැති කෙනෙක් ගන්න ඇති...ඔහොම තමා මේ සමාජේ හිතක් පපුවක් නැති මිනිස්සු අනන්තවත් ඉන්නවනේ...:(

    ReplyDelete
    Replies
    1. අහා, මම එක වෙලා..:D

      Delete
    2. අයියෝ හිරු.. මේක මට සිද්ධවුන දෙයක් නෙමෙයි. හිතට ආව සිතුවිල්ලක් විතරයි.

      කතාවේ හැටියටනම් එක්කෝ දුවනකොට වැටිලා, එහෙමත් නැත්තම් ඔයා කිව වගේ වැස්සට නැවතුන තැනදී කවුරු හරි ගන්න ඇති.

      මගේ බ්ලොග් එකේ පළවෙනියට කමෙන්ට් දාන්න කෙනෙක් ඔය තරඟ කලාමයි..මීට කලින් කවුරුත් එහෙම කරලා නෑ. එහෙනම් එක ගත්ත එකේ ඊළඟ පොස්ට් එක ඔයාට තෑග්ගක් විදිහට හොඳේ.

      Delete
    3. මේක ඇත්ත කතාවක් නෙවෙයිද..? ඔයා දක්ෂ ලේඛකයෙක් වගේ ලියල තියනවනේ තාත්වික විදියට.....:) දිගටම ලියන්න මල්ලියෝ..ජය..!!!
      :D ස්තුතියි...!!

      Delete
    4. ඇත්ත කතාවක් නෙමෙයි අක්කේ. කලින් නමින් ඇමතුවට සොරිලු හොඳේ.

      Delete
    5. අපෝ එකට කමක් නෑලු....වල්ගේ නැතුව අලි මැරෙනවාලුනේ......:) හිරු කිව්වාම මගේ නම කියා වෙන්නේ නැළුද..?:D

      Delete
  2. මේකෙ තව කොටසක් දාමුද පැතුම්...? මේක මෙතනින් නවත්තන්නෙපා...
    ඇත්තටම මරු....කොටස් කීපයක් ලියන්න පුළුවන් කතාවක්...
    නියම තැනකින් නවත්තල තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඇති ඇති අම්ම්මෝ තව කොටසක් ඕනේ නෑ. පස්සේ කොටස් වලින් ලියන්න පුළුවන් එකක් ලියමුකො. තවම මේ ලියන්න පුරුදු වෙනවනේ.

      නවත්තපු තැන හැරුම් ලක්ෂයක්ලු...

      Delete
  3. මරු කතාව... තව කොටසක් දැම්මොත් හොඳයි තමා... :)))

    ReplyDelete
    Replies
    1. ඇති ඇති. කොටස් වශයෙන් දාන කතා වලට ගොඩ දෙනෙක් දෙනෙක් ආස නෑ. කොටස් වශයෙන් කතා තියන බ්ලොග් වල කතා කියවන්නෙත්, බ්ලොග් වලට කැමතිත්, ඒවායේ නිත්‍ය පාඨකයෝ ගොඩක් වෙලාවට. දාන කමෙන්ට් වලින් ඒක තේරෙනවා. මං තාම එච්චර දියුණු නෑනේ. අපිත් ඉස්සරහට ලියමුකො. ඔයාල මං එක්කම ඉන්නවනම්.

      Delete
  4. අයියෝ....:(

    බොහොම ලස්සනට ලියල තියනවා පැතුම්..පළපුරුදු ලේකකයෙක් වගේ නේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ තමයි.

      පළපුරුදු නම් නෑ. තවම අත්පොත් තිබ්බ විතරයිනේ. මට පළපුරුදු ලේඛකයෙක් කියනවනම් පළපුරුදු ලේඛකයින්ට මොකක්ද අප්පා කියන්නේ එතකොට.

      මෙහෙම මෙහෙම ලියනකොට කවද හරි පලපුරුද්දකුත් එන්නේ නැතෑ ! :D

      Delete
  5. ඇත්තමයි කතාවනම් මාරම ලස්සනට ලියලා තියෙනවා.. මුල ඉදන්ම කියෙවුවේ මාරම ආසාවෙන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ...... මේ පැත්තට අවසරයි

      Delete
  6. ලස්සනට ලියලා තියෙනවා පැතුම් මල්ලි. මම ආසයි ඔයා ලියන විදියට.හොඳටම දැනෙනවා හිතට....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ. ඔයාලා ආසාවෙන් කියවන එක තරම් සතුටක් මට නෑ

      Delete
  7. ගෙදර ඔය තරම් අඟහිඟකම් තිබ්බේ නැතත් මගේ ජීවිතේ ලබාපු දෙවෙනි වේතනයේ කතාව මේ.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අභීත අයියත් ඒවගේ අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දීල තියනවා. පර්ස් එක නැති වුනා කියන්නේ ජීවිතෙන් භාගයක් මැරුණා වගේනේ.

      Delete
  8. කතාව ලස්සනට කියල තියෙනවා.සාමාන්‍ය බෝඩින් ජීවිතයත් ඔයවගේ තමා.මමත් අවුරුදු 6 ක් වගේ බෝඩිමක හිටියා.හැබැයි මේ වගේ අවාසනාවන්ත සිද්දියක් නම් වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බෝඩිම් ජීවිතේ ගැන කතාකරනවානම් ඕනේ තරම් ලියන්න පුළුවන්. වෙලාවකට රහයි, තවත් වෙලාවකට අරහං

      Delete
  9. ඵල ඵල... ලස්සනට ලියලා තියෙනවා, දිගටම ලියන්න මේ වගේ!

    ReplyDelete
  10. ආපූ පළමුවතාව...
    :)

    අත්දෑකීමක් නොවුනත් ඒ වගේ ලියලා තියෙනවා. ඇත්තටම දුක් විදින අයට තමා හැමදාම මෙහෙම වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී. කියල කියනමනකුත් තියනවලුනේ.

      Delete
  11. මේකෙ තව කොටසක් දාන්නකෝ. ලස්සන දුක හිතෙන කථාවක්

    ReplyDelete
  12. අපේ බාප්පත් හැමදාම වැස්සට බනිනවා.උන්දෑ කරන්නේ මේසන් වැඩ නේ. වැස්ස කාලෙට මේසන් වැඩ නෑ නෙව :)

    ReplyDelete