My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Saturday, March 3, 2012

පණපිටින් මියැදෙමි

අතට ගත්තු වැලිකැට අහුරක් ආයෙම වැලි ගොඩකට දාල පිස්සුවෙන් වගේ ආයෙම අතේ තිබුන වැලිකැට ටිකම හොයන්න හදන කෙනෙක්ගේ හිතක් වගේ මගේ හිතත් තියෙන්නේ හරිම අවිනිශ්චිත තැනක. විඳින්න ඕනේ තරම් දුක් විඳලා විඳලා, හිතල හිතලම අන්තිමට මට පිස්සු හැදීගෙන එනවා වගේ හිතෙනකොට, දැනෙනකොට ඔලුව හයියෙන් ඇඳ වියලේ ගහගෙන ගහගෙන යන්නේ හිතේ තියන කේන්තිය නැති වෙනකම්. 

එත් අන්තිමට නළල පුරා කැටි ගැහුණ රතුම රතුපාට ලේ බින්දු කීපයක් ඇරෙන්න හිතේ ඉතිරි වෙන්නෙ  තවත් තරහක් විතරයි කියල අනන්තවත් හිතුනට මේ දේ ගොඩක් දවස් වල මගේ අතින් වුනා. වෙලාවක් අවේලාවක් නැතුව අඳුරු කාමරයේ බිත්ති හතරට කොටුවෙලා ඇඳේ ගුලිවෙලා ඉන්නකොට දන්නෙම නැතිව නින්ද යනවා. එහෙම ඇස් පිය වුන වෙලාවක ජීවිතේ හා හාපුරා පටන් ගත්ත ඒ සොඳුරු අතීතය නිශ්චිත සැලසුමක් රටාවක් නැතුව  පියවරෙන් පියවර  අපැහැදිලි සිතුවමක් වගේ සිහින මං මාවත්වල සිත්තම් වෙද්දී මහා ලෝභ කමකින් හිත පිරෙනකොට කොච්චරනම් හීනෙන් හිනා වෙලා ඇහැරිලා ඇත්ද, ඒ  වගේම මං කරුමක්කාරයෙක් කරපු ඒ අතීතෙට බයවෙලා ශාප කරගෙන, මං කෑගහගෙන අඬාගෙන කොච්චරනම් නැගිටලා ඇත්ද ? දවස තිස්සෙම ඇස් රතු පාට වෙනකම්, උගුර ලේ රහ වෙනකම් මං ඇඩුවේ ඔයාගේ ඔය දඩබ්බර හිතේ උණුසුම හිතේ හැටියට විඳින්න බැරුව පැටියෝ.

අමාරුවෙන්  ඇඟේ තියන හයිය ඔක්කොම අරන් ඇඳේ අනික් පැත්තට හැරිලා බිත්තිය දිගේ යන කළු කුඹි පේලිය ගණන් කරන්න හැදුව. දන්නෙම නැතුව හිත පාවෙලා පාවෙලා යන්නේ ඒ අතීතයටමයි. කොයි තරම් හිත අතීතය ඉල්ලන එක නවත්තන්න හැදුවට මට එක කරන්න බෑ. ඒ තරමට ඒ සුවඳ මගේ නහරයක් නහයක් ගානේ පැතිරිලා.  ඉතින් මං කියල මොකක් කරන්නද. කඳුළු කැට වලට අවසරයි ඔහේ ගලාගෙන යන්න. තවත් දෙනෙත් වල නවතින්නෙම නැතුව.


කල්පයක් පෙරුම් පුරලා පුරලා හිතේ රජවෙච්ච පුංචි දඩබ්බරකාරිගේ ඒ හිනාවට, අතොරක් නැතුව කියවන පුංචි දෙතොලට මම පැලීගෙන ආදරේ කළා. මොකක් හරි වැරද්දක් කරලා ඒ ඇස් ඉස්සරහ අසරණ වුන දවසට ඒ ඇස්වල මැවෙන ආදරණීය තරවටුවට තමයි මං ගොඩක්ම බය වුනේ.


සමහර කාලවලදී අපට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්න ආපුහාම ඔයා මගේ අත්දෙක අල්ලාගෙන මට හේත්තුවෙලා බිම් බලාගෙන ඇහෙන නොඇහෙන ගානට අඬනකොට මං කොයි තරම් අසරණ වෙනවද කියල ඔයා දැනන් හිටිය හන්ද වෙන්නැති මං අඬන්න එපා කියල කිවම, "මං අඬන්නේ නෑ රත්තරන්" කියල කඳුළු අස්සෙන් බොරු හිනාවක් මවාගෙන මං දිහා, මගේ ඇස් දිහා ඇහිපිල්ලමක්වත් හෙලන්නතුව බලාගෙන ඉන්නේ. ඔයා එහෙම බලපු හැම දවසකම මගේ ඇස් තෙත් වෙනවා, ආයාසයකින් ඒ කඳුළු කැට නවත්තගන්න මට හයියක් තිබුනේ නෑ. ඊටත් වඩා ඕනේ කමක් තිබුනේ නෑ.   මං අඬනකොට මගේ කඳුළු දිහා බලලා ඔයා මට අඬන්න එපා කියනවා. කොහොම හරි ඒ අඬපු  හැම දවසකම අපි දෙන්නම අඬ අඬ හිනා වුනා. . අඬලා අඬලා අන්තිමට මේ හිතේ නහරයක් නහරයක් ගානේ පැතිරිලා තියන, කාවැදිලා තියන ආදරේ එක හුස්මකට අරගෙන ඔයාගේ පුංචි නළල් පොඩියෙන් තියන්නේ උණුසුම්ම උණුසුම් හාදුවකින්. ඒ හාදුව දුන්නට පස්සෙත් ඔයා ඒ හාදුවට ලෝභකමෙන් වගේ ඇස් පියන් ඉන්න දිහා බලන් ඉන්න මං ගොඩාක් ආසයි කියල දවස් කීපයක්ම කියන්න හැදුවත් මොකක් හරි හේතුවක් නිසා අද වෙනකනුත් මට ඒක කියා ගන්න බැරි වුනා. හදිස්සියේ මතක් වෙන මේවගේ කතා කියන්න ඔයා ලඟට දුවගෙන දුවගෙන එන්න මට හිතෙනවා මැණික. මං එනවා දැකල ඔයාගේ මුණේ ඇඳෙන ඒ හිනාව මට අයෙත් බලන්න ඕනේ මගේ වස්තු.  මට කල්පයක් ජීවත් වෙන්න ඔය හිනාව හයියක් වෙනවා. ඉස්සර මං එහෙම කියපු දවසක


"ආ එහෙනම් ගෙදරින් ගිහින් තියා ගන්න එකනෙ ඇත්තේ හැමදාම බල බල ඉන්න." කියල


ඔයා කට උල් කරලා කියනකොට මං

"හිතේ ඇති අපේ ගෙදර එන්න" කියල


ඔයාගේ නහය රතුවෙනකම් මිරිකුවේ ආදරේට කියල ඔයා දන්නවා. කොයි තරම් හයිය හිතක් මට තිබුනත් ඔය අහිංසක ඇස් අග්ගිස්සේ පිපෙන කඳුළු මල් මගේ පිරිමි හිතේ හයිය නැත්තටම නැති කරලා දානවා, මං මහා බොළඳ විදිහට ඔයාට ආදරේ කලේ ලස්සන ලෝකයක් හිතේ මවාගෙන. දෙවියනේ අපි මොන තරම් සැහැල්ලුවෙන් සන්තෝසෙන්ද හිටියේ. අද ඒ හිනාව, අහිංසක මුරණ්ඩුකම මගෙන් උදුරගන්න තරම් දෛවය නපුරු වෙලා. හිනාව, ඔය බැල්ම මට ආයේ කවදාවත්ම හොයාගන්න බැරි හැතැප්ම කෝටි ගානක් ඈතට ගිහින්.  



මාත් එක්ක අව්වේ වේලි වේලි පැය ගණන් කතා කර කර ඉන්නකොට, එකම බස් එකේ හතර පස් සැරයක් එහාට මෙහාට යනකොට මගේ හිතට දැනෙන්නේ පුදුම හැගීමක්. ඔයත් එක්ක ගෙවපු හැම තප්පරයක්ම මගේ ජීවිතෙන් හරි ලස්සනට ගෙවිල ගියා. ඔයා බස් එකේ කවුළුවෙන් ඈත අනන්තය දිහා බලන් මොන මොනවද හොයනකොට මං ඔයා දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. මගේ හිත මටම කීකරු නෑ ඒ වගේ වෙලාවට. ඔයා හදිස්සියේම මාව මතක් වෙලා මගේ උරහිසේ ඔලුව ගහගෙන වරු ගණන් කියවන ඔය මුහුණේ මැවෙන හැම හිනාවක්ම අයිති මට විතරමයි කියල මං කොච්චර ආඩම්බර වෙලා ඇත්ද. ගෙදර ගිහිනුත් කොච්චර හිත හිතා ඉන්න ඇත්ද. මගේ නින්දවල් කොච්චර හොරකම් නම් කරලා ඇත්ද ඔයා.
හරියටම 2010.03.27 දවසේ හැන්දෑවේ අපි වෙන් වුනේ කොච්චරනම් ආදරෙන්ද.
දවස තිස්සෙම ඔයාගේ හුස්මත් එක්ක දැවටී දැවටී ඉඳල ඔය ඇස් මානයෙක් මිදෙන්න මගේ හිත ලෝබකම් කළා, ගෙවෙන තත්පරයක් ගන්නේ ඔයා ලඟම ඉන්නමයි හිත.

"ඔයා එන්න ඕනේ නෑ මට යන්න පුළුවනි"


"බෑ බෑ මට ඔයාව තනියම යවන්න බෑ, කළුවරත් වැටෙනවා"


"මාත් එක්ක මගට ඇවිත් ගෙදරට අහුවුනාම ආයේ කවදාවත් හම්බෙන්න බැරි වෙනවට කැමතිනම් එන්න"

"පොඩ්ඩ දුරක්"

"පොඩ්ඩ දුරක්වත් එපා"


"ම්...ම් එහෙනම් පරිස්සමෙන් ගිහින් ගිය ගමන් මට කෝල් එකක් දෙන්න"


"ම්.... මං බහිනවා.... බුදුසරණයි."


"බුදුසරණයි"

ජීවිතේ මං ගොඩක්ම ආස කරන හිනාව ඔයාගේ දෙතොල් අතරට අවෙත් ඔයාගේ අතින් මගේ අත ගිලිහුනෙත් එකම වෙලාවක. 

ගෙදර ගිහින් ඔයාගෙන් කෝල් එකක් එනකම් මග බලන් හිටපු මම ඔයාගෙන් කෝල් එකක් අවේ නැති හන්ද බය වෙලා හිටියේ.  රෑ 8 ත් පහු වෙලා. දෙපාරක් හිත හිත ඉන්නැතුව බයික් එකේ නැගල මං ඔයාගේ ගෙවල් පැත්තට ඉගිලුනේ කොච්චර කැළඹීමකින්ද..
යන අතර මගදිත් ෆෝන් එක අරන් බැලුවේ ඔයාගෙන් මැසේජ් එකක් වත් තියද කියල. 
මහා මුසල කමක් පාර පුරාම පැතිරිලා. අනේ දෙවියනේ මගේ රත්තරන්ට කරදරයක්ද.....මගේ හිත ගැහෙන සද්දෙට මමත් බය වෙලා හිටියේ. නෑ නෑ එහෙම වෙන්නේ නෑ.  මම සැහැල්ලු හුස්මක් අරන් ඉස්සරහ බලාගෙන තවත් හයියෙන් අක්සිලේටරය මිරිකුවා.

ඔයාගේ ගෙවල් කිට්ටුවට එනකොට.........

දෙවියනේ ඇයි මෙච්චර පාර පුරා මිනිස්සු. ඊටත් වඩා ඔයාලගේ ගෙදර එකම විලාපයයි. අනේ මගේ මැණික. ඔයාට කරදරයක්වත්ද. නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද අපි කාටවත් වරදක් කරන්නේ නෑනේ. මගේ හිත සන්සුන් කරගන්න මට විනාඩි කීපයක් ගත වුනා.

බයික් එක පැත්තකට කරලා නවත්තල පාරේ ගිය කෙනෙක්ගෙන් ඇහුව.


"අංකල්...... මොකද මේ කලබලේ"

"දෙයියෝ නුහුලන අපරාද ළමයෝ මේවා"

"ඇයි අංකල් මොකද වෙලා තියෙන්නේ"

"දෙව්මිණි කෙල්ල"

"ඉතින්"

මට කෙලින් සිටගෙන ඉන්න බැරි විය.  කන්දෙක රත්වීගෙන මා වටේ ඇති සියලු දේ කැරකෙන්නට විය.


"දුෂණය කරලා මරල දාල"


හුස්ම ගන්නට නොහැකි වී...මගේ පපුව මොහොතක් නැවතිණි..
පෙම්වතෙක් තමන්ගේ ආදරණීය පෙම්වතිය ගැන අහන්න අකමැතිම දුක්බරම කාලකන්නිම වචන වලින් එකක් අහන්න මට සිද්ධ වුනා.

"දෙ...........ව්.............මි...............ණි...............!"

බොහෝ දෙනෙක් බොහෝ දේ තේරුම් ගන්නට ඇත.

ලෝකය මගේ ඉදිරියේ  කඩා වැටුණි... මාරු විකාරෙන් මම බයික් එකට නැගල පුළුවන් තරම් හයියෙන් පාරට ආවේ යන තැනක් හිතා ගන්න බැරුව. කව්රුත් නැති තැනක නවත්තගෙන පැය ගානක් ඇඩුවා. මං ඔකුන්ගෙන් පලි ගන්නවා, දෙව්මිණි ...ඔව් මගේ රත්තරන් මමත් ඔයාට සාධාරණයක් ඉෂ්ට කරලා ඔයා ළඟටම එනවා, එහෙම හිතල ආයෙම දෙව්මිනිගේ ගෙවල් පැත්තට අවේ පුදුම වේගෙකින්. දෙනෙත් පුරා බැඳුනු කඳුළු පටලය මට මග ඇහිරීය...ඉදිරියෙන් පේන ඇස් කන කරන එළියෙන් පාර තවත් පෙන්නේ නැති හින්ද බයික් එක ස්ලෝව් කරා.

"දඩාන්"

මට මතක එපමණයි

......................රෝහලේ මාස ගණනකට පසු................................


යන්තම් වත් පියවි සිහියට එන විට මගේ ඉනෙන් පහල පණ නැති බව දැනුනු විට යන්තම් ඔලුව උස්සා බැලු කල  දුටු දෙයින් හිත අදහා ගත නොහැකි විය.

දෙවියනේ මගේ කකුල් දෙක.

----------------------------------------------------------------------

මගේ ආදරණීය රත්තරන් දෙව්මිනිගෙන් ජීවිතය උදුරලා ගත්ත කාලකන්නින්ගෙන් පලිගන්න මට කකුල් දෙකක් මවල දෙන්න කියල විතරයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ.. 

24 comments:

  1. හොඳ වෙලාවට මේක ඇත්ත කතාවක් නොවුනේ..ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඇත්ත කතාත් මේවගේ වෙනවා නේදෝ.

      Delete
  2. මේක ඇත්ත කතාවක් නෙවෙයිද???? හොද වෙලාවට..:) නැත්නම් මම කියවද්දි කල්පනා කලේ කොහොමද මේකට comment එකක් දාන්නෙ කියලා...හොද නිර්මානයක් උනත් මේවගෙ දෙයක් නම් හතුරෙක්ටවත් වෙන්න එපා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... එදා මෙදා තුර පෙම්වතුන් කීදෙනෙක් මේ ඉරණමට මුහුණ දීල ඇත්ත.

      Delete
  3. actually this kind of thing happened in gampaha district.These days i saw the confession of the murederer in paper.I was identicl to ur story except bike accident

    sunilcona

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ගම්පහ විතරක් නෙමෙයි. ලෝකේ කොතනත් මේවගේ අපරාධ වෙනවා සහෝ.

      Delete
  4. හපොයි දෙයියනේ පැතුම්.....මට උන්හිටි තැනුත් අමතක වුනා.....:O
    හොඳවෙලාවට මේක කතාවක් විතරක් වුනේ.....
    (බය කරන්න එපා හලේ....:(..)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මේක කතාවක් වුනාට කීදෙනෙක් මේවගේ ඇත්ත කතා කාටවත් නොකිය හිතේ තියන් ඇත්ද ?

      Delete
  5. ලස්සන නිර්මාණයක්. මෙවන් දුකක් හතුරෙකුටවත් වෙන්න එපා. ඔහොම යං පැතූ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔව් අපි එහෙම ප්‍රර්ථනා කරමු

      Delete
  6. හිතට වදින්න ලියල තියෙනව සිරා නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ගොඩාක්....කීපදෙනෙක්ගේ හරි හිතට වැදුන නම් මං ගොඩ

      Delete
  7. මැද හරිය කියවද්දී හිතුනේ බුට්‌ සීන් එකක්වත්දෝ කියල.


    නිර්මාණය පත්තෙන්නම් ගොඩාක් සාර්ථකයි.

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...බූට් එකෙත් තියෙන්නේ මීට වඩා පොඩි වෙනසයි මං හිතන්නේ.

      Delete
  8. නියමයි සහෝල ඇඩෙන්න ලියන්න මාර හැකියාවක්නෙ තියෙන්නෙ, ජය වේවා.
    ප.ලි - හතුරෙකුට වත් ඇත්තය නම් වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...එහෙනම් මං ගොඩේ ගොඩ.

      Delete
  9. අනෙ අම්මෝ මාත් බැලුව මුල හරිය කියවද්දි මේ මොකද්ද වෙලා තියෙන්නෙ පැතුම් අයියා ට කියලා. ලස්සනට ලියලා නෙ. ඉතින් ඇත්ත වගෙ හිතෙනව නේන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...හිතුවට වඩා හොඳට ලියවිලා වගේ

      Delete
  10. කතාවක් කියල කොහෙවත් දාල නෑ නේ.. මටත් හිතුණේ ඇත්තයි කියල... කාලකන්ණින්ට අහිංසක ජීවිතයක වටිනාකමක් නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...හැමෝම කතාවක් ලියල "මේක කතාවක්" කියල දානවනේ. ඉතින් මං නොදා හිටියා.
      ඔව් කාලකන්ණි ජීවිත වලට හැබැයි සැනසීමක් නම් නෑ

      Delete
  11. හොද වෙලාවට මේක කතාවක් විතරක්ම උනේ !

    ReplyDelete
  12. ඇයි අෆ්ෆා මේ වගේ ඒව ලියන්නෙ.

    ReplyDelete