My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Sunday, February 26, 2012

අපිත් ගියා හඳපානේ හොරපාරෙන් [1]

හඳපාන තරම් සෞම්‍යවුත් සුන්දරවුත් තවත් ආලෝකයක් මිහිපිට ඇත්දැයි මම නොදනිමි. එමෙන්ම රාත්‍රී අඳුර,  සැබැවින්ම සඳ එලියතුල ගැබ්ව ඇති අව්‍යාජ සුන්දරත්වය කවියන් කිවිඳියන් මෙතරම් ආදරයට උපමා කරගන්නෙත් ඒ නිසාම වෙන්නැති. වරෙක ඇය සඳ එලිය වෙයි. වරෙක ඔහු සඳ එලිය වෙයි. තවත් වරෙක සඳ එලිය මොවුන් දෙදෙනාගේම නිහඬ සාක්ෂිකාරයෙක් වෙයි. ඉතින් සඳ එලියට ලොබ බඳින්නට ඔබගේද මගේද හිත් ආසා නොකරන්නේ නම් පමණකි පුදුමේ. සඳ එලිය ගැන වර්ණනා, අටුවා ටීකා ටිප්පටිකා තවත් කීමෙන් පලක් නොවන්නේ යයි හිතෙන නිසා එවන් වූ සෞම්‍ය සුන්දර හඳ එළියේ මා විඳි ඒ කොමලියගේ සීතල පහසේ ඔබත් තවත් එක් සාක්කිකාරයෙක් කරන්නයි මේ සුදානම.

වර්ෂය...ඒකාන්තයෙන්ම 2010...... ඔව් 2010 තමයි.  ඒ උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ 

ජීවිතයේ නිදහස්ම කාලේ උපරිමයෙන්ම විඳගෙන ඉන්න අපිත් හරියට ග්‍රීස්ම නිවාඩුවේ "මොණරනැටුම් ගලේ" අපි යවන පාට පාට සරුංගල් වගේ. ඈත ආකාහෙට ඉගිල්ලෙන්න වෙර දරන අපේ හිතුත් තේඩාව කඩාගෙන යන්න 
අපේ ඇඟිලිත් එක්ක පොරකන සරුංගල් වගේ. අපේ හිත් කොච්චර නම් නිදහස්ද. 
උක්ත ආක්‍යාත, ඇරිස්ටෝටල්ගේ දාර්ශනික පාඩම්, ප්‍රස්තුත, ග්‍රීක්ගේ වර්ගීකරණ 
මේ මොනවත් නැති හිත හරියට නිල් පාටට පායලා තියන අහස වගේ. මොනවයින් නම් බරක්ද.?

මේ මොහොතේ ඔබේ ඒ සොඳුරු කාල පරාසය ගැන මතක් වී ඔබේ හිතට මහා ලෝබකමක් දැනුනානම් මං අතිශයින්ම සාර්ථකයි. 
එසේ නොවුනා නම් දැන් මොහොතක් ඒ ගැන සිතන්න, අනිවාර්යෙන්ම ඔබේ හිතේ කොනක 
අමුතු දැවිල්ලක් හටගනිවී.
ඉතින් මං උත්සාහ කලේ මං එදා සිටි මානසිකත්වය යම් තරමකින්වත් ඔබට පහදලා දෙන්න. මොකද මේ කතාව අවසානයේ ඔබත් ඒ කතාවේ එක් සාක්කිකාරයෙක් වන නිසා.


අපි පොඩ්ඩක් අතීතයට යමු...
අපේ ගෙවල් තියෙන්නේ කැළණි ගං ඉවුරේ මේ ලෝකෙන්ම තියන ලස්සනම ලස්සන තැන. අදටත් මං හිතන් ඉන්නේ එහෙම. සමහර දාට හීනෙනුත් දකිනවා. පුංචි කාලේ ඉඳන් ගඟ අපේ ජීවිතත් එක්ක ගොඩක් කිට්ටුයි. දවල් 12.00 විතර ගඟට බහින අපි කොල්ලෝ කාන්ඩේ ගොඩ එන්නේ ඉතින් හවස 6.00 ත් පහුවෙලා. සීතල වතුර ඒ වගේම රත්තරන් පාට වැලි තලාව අපේ හිත්වලට ගෙවල් අමතක කරන මායාවක් වෙනවා. අපේ එල්ලේ ගැහිලි, ක්‍රිකට් ගැහිලි,  කොඩිගස් දැමිලි, අල්ලන සෙල්ලම්, කෙහෙල් කොට පාරු පැදිලි, ටැක්ටර් ටියුබ් සවාරි, මේ ඔක්කොම ගැන ඇහුවොත් ඒ රත්තරන් පාට වැල්ල අකුරක් නෑර කියයි. අවාසනාවට අද අපි අවාසනාවන්තයෝ වෙමු. ඒ කාලේ අපේ ගෙවල් ඉසව්වේ අපේ පුංචි කකුල් වලට නොපෑගුන වැලි කැටයක් නැති තරම් මයෙ හිතේ


නොවෙනස්වෙන එකම දේ වෙනස්වීම වුනත් කැළණි ගඟටත් ඒ ධර්මතාවය මේ තරම් ඉක්මනින් උදා වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවේ නෑ. බලු මස් පවා විකිනෙන වෙන්දේසි ඇති රටවල් තියන කොට, ගඟක මුහුදක තියන වැලිකැට රුපියල් සත මවන උල්පතක් නොවී තියේවිද? ඉතින් තන්හාකාර මිනිස්සු අපේ ගඟත් අල්ලාගෙන ඉවරයි. ධනවතුන්ගේ සල්ලි බලෙන් බැකෝ, ටැක්ටර් එක යුද්දෙට ඉවුරු සමතලා කරනවා. ඒ සල්ලි උල්පත ගොඩ දාන්න.

අපිත් ඒ කාලේ පුංචි කොලු ගැටව්.. මේ ව්‍යාපාරය ඉස්සෙස්ලම අපේ ගමේ ලස්සන තැන් ටිකෙන් ටික බිලි ගන්න පටන් ගන්නකොට (2000 අවුරුද්දේ) ඒ කියන්නේ මං පහ වසරේ. යෝධ බැකෝ ටැක්ටර් අපිට හරි අමුතු යන්තර සුත්තර, පස් කපන හැටි, ලොරි වලට පටවන හැටි, 
බැකෝ එකේ අයිය දාන වැඩ කිඩ ඕව තමයි වීරක්‍රියා. ඉතින් අපි අපේ කටවල් අරගෙන මේ වෙන්න යන වින්නැහිය ගැන හාන්කවිසියක්වත් නොදැන බලාන ඉන්නවා. ඉස්කෝලේ ඇරිලා ආවගමන් දුවන්නේ වත්තට. 
ඒ උදේ යනකොට ගමේ නොතිබිච්ච වෙනස්කම් දැකගන්න. 
දවසට දෙකට ගම එහෙම පිටින්ම කණපිට ගහල. 
අපි හැංගිමුත්තන් තිබ්බ කෝපි කැලේ දැන් හරියට කාන්තාරයක් වගේ. 
අදටත් නහයට කෝපි සුවඳක් දැනෙනකොට තැලිලා පොඩිවෙලා තිබුන අපේ කෝපි කැලේ මතක් වෙලා බඩ පපුව හෝස් ගාල පිච්චිලා යනවා.

ගමේ කොහොමෙන් කොහොම හරි වැලි තොටුපළවල් 4 ක් 5 ක් හැදුණා. අපි ගමේ කවදාවත් නොදැකපු මිනිස්සු පාර පුරාම. අපට නුහුරු වචන, (බෝන්ඩාර), වගේ ඒවා හරි හරියට. දැන් ගජ රාමෙට මිනිස්සු වැලි ගොඩ දානවා. උදේ පාන්දර 5 ට විතර පටන් ගන්න මේ කෙරුවාව නවත්තනකොට රෑ දෙගොඩ ජාමෙත් පහුවෙනවා.

ඉඩෝර කාලෙත් වැහි කාලෙත් වෙනසක් නැතුව ගමේ කවුරුත් වතුර ටිකක් නා ගන්න ගඟට තමයි යන්නේ. කොල්ලෝ කුරුට්ටෝ, වැඩිහිටියෝ, ගෑනු ලමිස්සියෝ වගේම අමුඩ කොට ඇඳගෙන නාන වයසක සීයල පවා ගඟෙන් තමයි නාගන්න තමයි ආස.  ඉතින් මේ වැලි සෙල්ලම හන්ද ගෑනු ලමිස්සියන්ට තියා කොල්ලෙක්ට වත් ගඟට බහින්න බැරි තත්වයක් තමයි තිබුනේ. කොතැනක බැලුවත් මිනිස්සු සීයක් විතර ගඟේ වැලි ගොඩ දානවා එක යායට. ඉතින් කොහොම කෙල්ලෙක් ගඟට බැහැල නාගන්න කියලද. ගඟේ හැම තැනම ගැඹුරු වලවල්, ඒ වගේම තොටුපළවල් අයිනේ බෝන්ඩාර හිටවල. බෝට්ටු නවත්තල. ඉතින් ගමේ මිනිස්සු වගේම අපිත් මේ මිනිස්සුත් එක්ක ජම්මාන්තර වෛරයෙන් හිටියේ.

බෝට්ටු කියන්නේ සාමාන්‍යෙන් මුහුදු යන බෝට්ටු. ඒවාට ලෑලි තටුවක් ගහල වැලි කියුබ් බාගයක් පුරවන්න විදිහට හදා ගන්නවා. ගඟ මැදට ගිහින් වැලි තියන තැනක් බලලා බෝට්ටුව පුරවාගෙන පස්සේ ඉවුර අයිනට ගෙනල්ල අර කලින් කිව්ව බෝන්ඩාර උඩ වැලි කූඩ තියල බෝට්ටුවේ ඉඳන් සවලෙන් පුරවල එකා දෙන්නා කරෙන්ම තොටුපලට ගිහින් දානවා.  

කවුරු බැන්නත් අපි නාන වෙලාවට ගඟට බහිනවා. අපි මේ මිනිස්සුත් එක්ක තරහෙන්නේ ඉන්නේ. මොකද බෝට්ටුවක් උඩට නැග්ගොත් බනිනවා. ආයේ බොන්ඩාරයක් උඩට නැගල "ජබොස්" ගාල වතුරට පැන්නත් බනිනවා. වැලි තොටුපලේ වැලි ගොඩවල් උඩ නැගල සෙල්ලම් කරත් බනිනවා.


අපේ ගෙවල් ගාව තවත් එක තොටුපලක් තිබුන. ඒක කරපු මිනිහට අපි නමක් හැදුවා, පස්සේ එක රෙජිස්ටර් වුණා. "රතු සරමා", මිහිහ හැමදාම අඳින්නේ රතු පාට සරමක්, ඉතින් ඒක තමයි හේතුව. මිනිහ පොඩි පිහියක් නිතරම ඉනේ තියන් ඉන්නේ. අපි  වැලි ගොඩවල් උඩ නටල අහු වුනොත් ඌ ඒ පිහිය පෙන්නලා කියනවා


"අහු වෙන්න එපා වැලි ගොඩක් උඩ නැගල, තොපේ  අහවල් එක කපනවා" කියල


අපිත් මොකටද අහවල් එක කපාගන්නේ කොහෙවත් යන එකෙක්ට කියල මනුස්සය ඉන්න දවසට පැත්ත පලාතෙවත් නොගිහින් අනිත් දවස් වලට නොගිය දවස් වල පාඩුවත් එක්කම පිරිමහනවා., රතු සරමත් අපේ හතුරෙක්..


මේ තරහ පිට කරන්න අපි කොල්ලෝ කාන්ඩේ එක්ක තොටුපළවල් තියන තියන තැන් වලට ගිහින් බෝට්ටු ගිල්වනවා. ඒක හරිම ලේසි වැඩක්. බෝට්ටුවේ. පිටිපස්සේ තියනවා පොඩි ඇබයක්. ඒක ගලවල අපි එතනින් හිමීට මාරු වෙනවා.  පුංචි සිදුරෙන් වතුර බෝට්ටුව ඇතුලට පිරිලා සම්පූර්ණයෙන්ම ගිලෙන්න කොහොමත් විනාඩි 25 ක් 30 ක් යනවා.  අපි හිමීට පීනලා පීනලා ඇවිත් සබන් ගාගෙන ගෙදර යන්න හදනකොට ඔක්කොම වැඩ වෙලා ඉවරයි. ඉතින් සමහර බෝට්ටු වැලි පිටින්ම ගඟ පතුලට යනවා. ඉතින් පහුවදා වැලිගොඩ දාන කට්ටිය වැඩ නවත්තල ගිලුන බෝට්ටුව ගොඩ ගන්න දඟලනවා. දුකේ බෑ.  අපට ඉතින් ඊට වඩා සන්තෝසයක් නෑ. සතියකට සැරයක් නම් අනිවාර්යෙන්ම බෝට්ටුවක් ගිලෙනවමයි. ඉතින් අපි කොරා කියල දන්නවනම් එදා ඉඳන් ගමේ වසලත් හමාරයි.  නාලා කරලා ගෙදර හෙම ගිහින් හවසට එනවා ප්‍රතිපලේ ස්ථීරවම බලල යන්න. ගඟේ වතුර වැඩි කාලෙට කවුරුවත් මේ වැලි තොටුපළවල් වල, වාඩිවල නෑ. ඉතින් වැලි කුඩ, බෝට්ටු පදින රිටි, බෝන්ඩාර හෙමත් අපි හුරේ කියල ගඟට දානවා. ඒ කාලේ වැලි ගොඩ දාපු කවුරුත් මගේ බ්ලොග් ඒක කියවන්නේ නෑ කියල මම දන්නවා. ඉතින් බයක් හැකක් නැතුව ඔක්කොම කියන්න පුළුවන්. ඉස්සර අපි විතරක් දැනගෙන හිටපු ඒ රහස දැන් ඔබත් දන්නවා. එකයි මුලින් මම කිවේ ඔබත් දැන් ඒ කතාවේ සාක්ෂිකාරයෙක් කියල. බැරි වෙලාවත් මගේ කරුමෙට වැලිගොඩ දාපු එකෙක් මේ කතාව දැනගෙන, හිටි හැටියේ මං අතුරුදහන් වුනොත් හෙම බ්ලොග් ඒක කියවපු ඔය ගොල්ලෝ මොකද වුනේ කියල හොයල බලල සාක්ෂි දෙන්න ඕනේ අපි ඒ දේවල් කලේ ගඟට තියන ආදරේට මිසක් වෙන මොකටවත් නෙමෙයි කියල.


පොස්ට් එක දිග  වැඩියි , කලින් මේ කතාව දාල මහා අපබ්‍රන්ශයක් වුණා. ඒක හන්ද කොටස් දෙකකට දාන්නයි කල්පනාව.

20 comments:

  1. නගරෙ අපිට කොයින්ද ගගවල් බෝට්ටු ගිල්ලන්න. කොන්ක්‍රීට් වනාන්තර වල හිර වෙලා ලැපක් තියන් බ්ලොග් ලියනවා, ඒ අතින් ඔයා හරිම වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද සොඳුරු මිනිසාණෙනි... සියලු දෙනාට සියල්ලම නොලැබේ කියල හිත හදා ගමු. අපිටත් ඒ කාලේ කොළඹ කිවොත් වෙන රටකට ගියා වගේ.

      Delete
  2. ශා....ඔයාල මාරයිනෙ පැතුම්......:)

    ReplyDelete
    Replies
    1. ඊරිසියයි අප්ප.....ඇත්තමයි....

      Delete
    2. මාර නෑ මාර නෑ මාරාන්තිකයි.

      ඊරිසියා කරන්නෙපා අප්පා..

      Delete
  3. අපිත් ගමේ ඉන්න දවස් වල ඔය වගේ වැඩ කරලා තියෙනවා. ගමේ පාරේ ගියේ එකම බස් එකයි. දවසක් බස් එකේ ඩ්‍රයිවරයා අපේ බල්ලව හප්පාගෙන ගියා. එදා බස් එකට යන්න බැරි වෙන්න ගෙදරට මීටර් 100ක් විතර එහායින් පොඩි ගහක් කපලා ඇදලා දැම්මා. බස් ඩ්‍රයිවරයයි, කොන්දයි ඒක අයින් කරනවා බලාගෙන හිටියේ මාර සතුටින්. මං හිතන්නේ ඔයාලට බෝට්ටු ගොඩ ගන්න වෙලාවට ඒවගේ සතුටක් දැනෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් එක වගේ බලන් ගියාම. අපෝ ගෙදර හදන සත්තු වාහන වලට යට වුනාම ඕන්නෑ.... බිම්සර හරි. පුංචි කාලේ නොතේරෙන කමට කරන සියුම් පලිගැනීම් අපට හරි සතුටක්..

      Delete
  4. මාර වැඩනෙ ඔයාලත් කරලා තියෙන්නේ....මොනව උණත් නියමයි...

    ReplyDelete
    Replies
    1. මාර පුත්‍රයින්ගේ මාර වැඩ තමයි.

      Delete
  5. හප්පා අපි ඒ දවස්වල කරේ බොල්ගෙඩ ගඟේ ගැට ගහලා තියෙන බෝට්‍ටු ලෙහාගෙන හොඳට ඔරු පැදලා වෙන තැනක නවත්තලා එන එක...පස්සේ ඒවට ඉබ්බෝ දාන්න ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් අපිත් බෝට්ටු පදින්න ආසයි. ඉතින් අපේ වදෙන් බේරෙන්න අපේ පැත්තේ එවුනුත් අන්තිමට ඒවා දම්වැල් දාල ගැට ගැහුවා.

      Delete
  6. පුංචි කමට කරල තියෙන වැඩේ නම් නරක නෑ. නියමයි නියමයි

    ReplyDelete
    Replies
    1. පුංචි වුනාට වැඩ ලොකුයි. පිලිගන්නවා මේ ඉසව්වට ආදරයෙන්...

      Delete
  7. ඒකනම් නියම වැඩේ පැතුම්..මාත් මාර ආසයි ඔය වගේ මගෝඩි වැඩ කරන්න...ඒත් ඉතින් අපි කෙල්ලොනේ..ඒක නිසා ඔච්චර දේවල් කරලා නැහැ..

    ReplyDelete
    Replies
    1. මගෝඩි වැඩ කරන එක හරි ෂෝක් වැඩක් අප්පා. අත්දැකීම් බහුල වෙන තරමට වැඩේ සාර්ථකයි.

      Delete
  8. හි හි ඔන්න සාක්ෂියට මාත් ආවා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් සාක්කි දෙන්න වෙයි හොඳේ !

      Delete
  9. තාම අර වැඩේ හරිගියේ නෑ නේද... justify සීන් එක. කොහොම උනත් පට්ට වැඩක් නේද කරලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්. හරියන්නේ නෑ. ට්‍රයි කරලා බැලුව ම්හු: හරියන්නේ නෑ.
      මරු ජොලි වැඩේ තමයි බං බෝට්ටු ගිල්ලන එක

      Delete
  10. මොනා උනත් හොඳ ළමයි ටිකක්... :)

    ReplyDelete