My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Friday, February 10, 2012

ලේ බින්දුව සහ ලියුම් කවරය

මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ සඳරුගේ හිස් අහස බ්ලොග් එකේ තිබුන පොස්ටින්ග් එකක් අහම්බෙන් කියවල. එක මට කොහොම කියවන්න අහුවුනාද කියලනම් මතක නෑ. නමුත් මං බ්ලොග් ලියන්න පටන් ගත්තේ ඊට පස්සේ තමයි..පස්සේ එකකට එකක් සම්බන්ධ තවත් බ්ලොග් අඩවි ගණනාවක් කියවන්න පුළුවන් වුනා. ඉතින් මමත් ආසාවට බ්ලොග් එකක්  පටන් ගත්ත.  එදා ඉඳන් අද වෙනකම් මට උදවු කරපු අය ගොඩාක් හිටිය. දැනටත් ඉන්නවා. නොදන්න දේවල් කියල දීල අඩුපාඩු පෙන්නලා දීල බ්ලොග් එක ලියන්න දිරිය දෙන අය බොහොමයි. ඒ අතරින් කමෙන්ට් දාල හිතට හයියක් වෙන අයත් බොහොමයි.  ලියපු ලිපියකට වැටෙන එක කමෙන්ටුවත් මට මහමෙරක් වටිනවා. බ්ලොග් ලියන උදවිය එකට සාක්ෂි.... මම මට උදව් කරපු කරන මේ ඔක්කොම අය හදපිරි ආදරයෙන් මතක් කරනවා. නම් වශයෙන් කියන්න ගියෝතින් නම් ගොඩක් කියන්න වෙනවනේ. බැරිවෙලාවත් අතපසු වීමක් වුනොත් හිතටත් හරි මදී.

හරි ඉතින් ස්තුති කතාව අවසන් කරලා කම්මැලි කමට අලුතෙන් පොස්ට් එකක් ලියන්න කියල හිතුන. ලියන්නේ මොනවද කියල හිත හිත ඉන්නකොට මෙතෙක් අපු පාර මතක් වෙලා තමයි කලින් ටික කීවේ.


ඕනේ මගුලක් වෙන්න කියල අද මගුල් ගෙවල් ගැන කතා කරනවා.
ඕනෙම පෙම්වතෙක් පෙම්වතියක් හීනමවන්නේ මෙන්න මේ දවස එනකම්. ජයටම මගුල් ගේ ගන්න තමයි ගොඩක් අය හීන මවන්නේ. ඉතින් මේක හැබෑ කරගන්න වෙන්නේ බොහොම සුළු පිරිසකට උනාට යාන්තමින් හරි මගුලක් ගන්න ඕනේ කියන  එක ඕනෙම ප්‍රේමවන්තයෙක්ගේ අරමුණක්.


අද වෙනකොට මගුල් ගෙදර සාම්ප්‍රදාය වෙනස් වුනත් ඉස්සරනම් අපේ ගම් වල උදවිය දවස් හතම අහල ගම් හතටම  කියල මගුල් කැවයි කියල තමා මම අහල තියෙන්නේ. රබන් ගැහිලිද අරවද මේවද ඉවරයක් නෑලු... ඔහොම දවස් හතම මගුල් කාල පහුවදාම දමල ගහල යන කතාත් අහල තියනවා. ඒ අර ලේ බින්දුවේ සීන් එක හන්ද.. මොකද ඉස්සර මිනිස්සු මේවගේ මත මහා ඉහමුදුනින් පිළිගත්තා. අදටත් නැත්තේම නෑ කියන්න බෑ. කොච්චර හොඳට මගුල කරලත්  පහුවදාම දෙන්නා තමන්ගේ ගෙවල් වලට යනවා දෙපැත්තේ නෑදැයින්ට  හොඳට බැනගෙන.. සුදු රෙද්දක සටහන් වෙන ලේ බින්දුවක් කරන හදිය.. මම දැක්කා මේ කතාව ගොඩක් බ්ලොග් වලත් ලියවෙලා තියනවා.  ජීවිතේට වඩා නම්බුව ඔලුවේ තියාගෙන ඉන්න අනුවන පුස් මත විශ්වාශ කරන අජපල් මිනිස්සු හින්ද  තමා මේවා වෙන්නේ, .  තමන්ගේ පුතා බැඳපු කෙල්ල කන්‍යාවියක් නොවන එක ගමටම කීම නම්බුකාර වෙන්නැති ප්‍රශ්නේ හෙමින් සීරුවේ 
විසඳගන්න එකට වඩා...  එක හන්ද වෙන්නැති ප්‍රසිද්ධියේ ගමටම ලේලි පිරිසිදු නෑ කියල කියන්නේ. නම්බුව බම්බුව තමයි. මේක එක කතාවක්. තවත් කතාවක් කියන්න තියනවා.


මම දන්නේ නෑ මේ චාරිත්‍රය කොහෙන් කොහොම අවාද කියල. කොහොම වුනත් මේක පටන් ගත්තු කෙනා නම් කරලා තියෙන්නේ වස වැරද්දක්.. සමහර මගුල් ගෙවල් වල ලියුම් කවර තියල වෙනමම මේසයක් තියනවා... තව පෑනකුත් තියනවා. ඉතින් මගුල් ගෙදර යන කෙනා කාල බීල නටල ඉවර වෙලා අර ලියුම් කවරේට කීයක් හරි දාල තමන්ගේ  නමත් ලියල දෙපාර්ශවයෙන් අදාළ කෙනෙක්ගේ අතට දීල සුබපතල යනවා.. අලුත බැඳපු ජෝඩුවට මතක හිටින්න තෑග්ගක් දුන්නට එකේ කිසිම වැරද්දක් නෑ. මම කියන්නේ මේ වගේ මුදල් තෑගී දෙන එකෙන් හැඟවෙන යටි අර්ථ තියනවා කියලයි .


1. මගුල් ගෙදර කරන අය, ඒ කියන්නේ මනාලිගේ පාර්ශවයයි මනමාලයාගේ පාර්ශවයයි මගුලේ වියදම් කටයුතු පියව ගන්න මගුල් ගෙදර සහභාගී වෙන උදවියගේ උදව්ව බලාපොරොත්තු වෙන බව.

2. මගුල් ගෙදර එන කෙනා නිකන් කාල එන එක හරි නෑනේ කියල තමන් කාපු ප්ලේට් එකේ ගාන ගෙවන එක

ඉතින් හිතන්න මගුලක් කනවා කියන්නේ දෙන්නෙක් අතිනත ගැනීමේ ප්‍රීතිය සමරන්න තම  තමන්ගේ නෑදෑයින්ට අසල්වැසියන්ට සංග්‍රහ කරන එකනේ. (ආගමික චාරිත්‍ර වාරිත්‍ර වෙනම කතාවක්) ඉතින් මේ මුදල් තෑගී දෙන එකෙනුයි ගන්න එකෙනුයි අමුතුම සමාජ සම්මතයක් ගොඩනැගෙනවා නේද..?

මගුල් ගෙදර යන කෙනා ගෙදර තව කීප දෙනෙක් යනවනම් ඔක්කොම එක්ක කන ප්ලේට් ගානට (පිඟන්) ගාන හදල තමා අය ලියුම් කවරේට දාන්නේ.


"අපි දෙන්නම යනවනම් 2000 වත් දෙන්න වෙයි." පුතාලත් අවොත් තව 1000ක්වත් දෙන්න වෙයි"

ඔන්න ඔහොමමයි අපේ ඇත්තෝ හිතන්නේ.

මගුල් ගෙදර ප්ලැන් කරන අය හිතන්නේ

"එන කෙනෙක් 1000 ගානේ වත් දුන්නොත් කෑම ටිකේ වියදම යාන්තම් ශේප්"

අද තියන ජීවන රටාව අනුව එහෙම හිතන එක අසාධාරනත්  නෑ. නමුත් මගුලක සැබෑ අර්ථය එයද. ?

මා සහභාගී වූ එකම එක මගුල් ගෙදරක ඇරෙන්න මම මේ ඉහත කිව දේ නම්  වරදින්නේ නෑ.

මා කලින් විශේෂ කොට කිව මගුල් ගෙදර උදවියට අපේ තාත්තත් අර විදිහට ලියුම් කවරෙක දාල සල්ලි දෙන්න යනකොට මනමාලිගේ තාත්ත කීවේ

"මගේ දුවගේ මගුල  මුල් කරගෙන, එන අයගෙන් සල්ලි ගන්න මම බිස්නස් එකක් වත් හෝටලයක් වත් නෙමෙයි කලේ, මගුලක් කෑවේ.......................". "සන්තෝසෙට අහල පහල ඔක්කොටම කෑම වේලක් දීල ඒ කෑම පිඟානට සල්ලි ගන්න මම කැමති නෑ" තරහ වෙන්න එපා.

කියල බොහොම ආඩම්බරෙන් කිව.

එදා ඉඳන් අපේ ගෙදර උදවියත් මගුල් ගෙදර ලියුම් කවර සම්ප්‍රධාය තේරුම් ගත්ත.  ඒ වෙනුවට මොකක් හරි තෑග්ගක් ගන්න පුරුදු වුනා...

ඉතින් හිතන්න, අපට තව හිතන්න කොච්චරදේ නම් තියනවද? 

16 comments:

  1. අනේ මන්ද පැතුම්...මටනම් මොකුත්ම කියාගන්න හිතෙන්නෙ නෑ...

    "මගේ දුවගේ මගුල මුල් කරගෙන, එන අයගෙන් සල්ලි ගන්න මම බිස්නස් එකක් වත් හෝටලයක් වත් නෙමෙයි කලේ, මගුලක් කෑවේ.......................". "සන්තෝසෙට අහල පහල ඔක්කොටම කෑම වේලක් දීල ඒ කෑම පිඟානට සල්ලි ගන්න මම කැමති නෑ" තරහ වෙන්න එපා.

    කියල බොහොම ආඩම්බරෙන් කිව.

    ශ්‍රේෂ්ඨ අප්පච්චියෙක්....:)

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහසට සීයට සීයක් එකඟවෙනව හොදේ....

      Delete
    2. අපෝ ඇති යන්තම්.. මම හිතුව කවුරුවත් එකඟ වෙන්නේ නැති වෙයි කියල

      Delete
  2. දෑවැද්ද සම්බන්දයෙනුත් ඔහොම අදහසක් තියෙනවනම් හොදයි කියල මට හිතෙනව!
    කොහොම උණත් සිරා තාත්ත කෙනෙක්!

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ දෑවැද්ද දෙන නොදෙන එක මනමාලිගේ පාර්ශවයේ කැමැත්ත අකමැත්ත. නමුත් දෑවැද්දක් බලාපොරොත්තු වෙන එක නම් මනාලයාගේ පාර්ශවයෙන් අනුමත කරන්න බෑ.

      Delete
  3. අද තමයි මේ පැත්තර ගොඩ උනේ...දිගටම හරවත් දේ ලියන්න හැකි වේවා!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. නිතර නිතර ඇවිත් ගියොත් ලොකු හයියක්

    ReplyDelete
  5. මුලින්ම කියපු දෙයට මාත් එකඟයි.මම ඒක පොස්ට් එකකින් මගේ මුල් පොස්ට් 10 කමෙන්ට්ස් කරපු හැමෝටම ස්තුති කළා.ඒත් මට බුවාගේ සිතුවිලි කරන බුවාට ස්තුතිකරන්න බැරිවුනා.එකට මට තවම හිතේ අප්සෙට් ඒකෙන ඉන්නේ.

    මගුල් ගෙවල් වල කතන්දරේනම් සහතික ඇත්ත.ඒත් ඒ දේවල අසාධාරණයි කියන්න බැහැ අද තියෙන ආර්ථිකයත් එක්ක බලද්දී.මං කවදාවත් අනුන්ගෙන් දෙවාල් බලාපොරොත්තුවෙන් වෙඩින් ගන්නේ නැහැ කියල හිතගේනමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නම් කියන්න ගියෝතින්නේ අමාරුවේ වැටෙන්නේ. පොදු කුලකය හොඳටම ශේප්.

      අද කාලේ නම් පිනක් දහමක් කරන්නෙත් සල්ලි හොයන එක ඉස්සරහට දාගෙනනේ... බලනකොට මේක මොකක්ද එක අතකට..

      අසරණයට හිතන විදිහටම යථා කාලයේදී වෙඩිම ගන්න ලැබේවා කියල මම ප්‍රර්ථනා කරනවා ඕන්..

      Delete
  6. මන් නම් කැමතී මගුල් ගෙදරකට මුදල් දෙන්න. ගොඩක් අය මගුල් කරන්නේ ණයට සල්ලි අරන් ඒක නිසා එයාලට අනික් තෑගි වලට වඩා මුදල් වටිනවා. අනික් අපේ ගොඩක් අය දෙන තෑගි කිසිම වැඩක් නැති ඒවා. මන් හොඳටම දැකලා තියෙනවා මගුල් ගෙවල් වලට දෙන තෑගි එහෙන්ම තියලා වෙන කාගේ හරි මගුල් ගේකට ගිහින් දෙනවා. ඒක නිසා මුදල් දෙන එක වටිනවා කියලා මන් හිතන්නේ

    ලංකාවේ නම් මන් දන්නේ නැහැ මන් හිතන්නේ ඔඩෙල් එකේ තියෙනවා ඒ ඇරෙන්න වෙන රටවල තියෙන Gift registry
    http://en.wikipedia.org/wiki/Gift_registry
    වගේ ක්‍රමයක් තිබ්බා නම් තෑගි දෙන එක හොඳයි ඒත් එහෙම නැතුව නිකන් දෙන තෑගි ගොඩක් ඒවා එයාලටත් වදයක්

    ReplyDelete
    Replies
    1. මරණේගේ කතාවත් ඇත්ත ..

      අද කාලේ හැටියට මුදල් තෑගී තමයි වටින්නේ. ඒ වුනත් ණයක් වෙලා වෙඩිමක් ගන්න එකේ තේරුමක් නෑනේ. ණය නොවී අද කාලේ වෙඩිමක් ගන්නත් බෑ. සල්ලි දෙන එක වැරදියි කියනවා නොවෙයි. මම කියන්නේ කෑම පිඟානට සල්ලි දෙනවා කියල හිතල කාපු ප්ලේට් ගානට ගෙවනවා වගේ හිතල එහෙම කරන එක වැරදියි කියල.

      Delete
  7. මඟුල් කෑම ගැන නම් කතා කරන්න එපා... හොඳමෙ දේ තමයි ගෙවල් වල කැමත්ත ඇතුව හඳ පානේ යෑම.. හික් හික්...

    ලේ පැල්ලම් ගැන නම් මාත් ලිව්ව ලිපියක්...

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්.... පත්තු කරපු ඉටි පන්දමකුයි පොල් කට්ටකුයි හොඳටම ප්‍රමාණවත් නේද පිස්සෝ

      Delete
  8. මරණේ කිව්වා වගේ මුදල් දෙන එක හොඳයි. මොකද බොහොමයක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ වෙඩින් එකට ගිය ගානෙන් කීයක් හරි ලැබෙන මුදල් වලින් පියව ගන්න.
    හැබැයි මම නම් හිතන්නේ දෙපාර්ශවයටම උවමනාව තියෙනවානම් එන අයෙගෙන් සල්ලි නොගෙන වෙඩිමක් ගන්න පුළුවන්. හැබැයි ඒකට තමන්ට දරාගත හැකි විදිහේ වෙඩිමක් ගන්න ඕනේ. (හැබැයි අද කාලේ ගොඩ දෙනෙක් කරන්නේ නැත්තෙම ඕක)

    ReplyDelete
    Replies
    1. ඔව් පුසෝ... රටට ලෝකෙට ණය වෙලා වෙඩිම කරලා ජීවිතේ හොඳම කාලේ ණයකාරයෙක් විදිහට තමයි සමහරු ජීවත් වෙන්නේ. චාමෙට සරලව කලත්, රටටම පෙන්න ජයටම කලත් වෙන්නේ එකම දේනේ.

      Delete
  9. ඒ මනමාලිගෙ තාත්තා නම් ඇත්තටම හොඳ මනුස්සයෙක්. මමත් කැමතියි මඟුල් ගෙදරට තෑග්ගක් අරන් යනව නම්, හෝටලෙන් කාලා බිල ගෙවනව වගේ සල්ලි දෙනවට වඩා.

    මම දන්න ගෑනු කෙනෙක් ඉන්නවා. එයා එයාගෙ දුවගෙ මඟුල් ගෙදරට ආපු අය දීපු තෑගියි,සල්ලියි ගනන් පොතක ලියාගෙන ඉන්නෙ. ඒ ඒ අයගෙ මඟුල් ගෙවල් වල යනකොට පොත බලලා තමයි තෑහි අරන් යන්නෙ. ඔන්න මිනිස්සු

    ReplyDelete