My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Tuesday, March 13, 2012

කසාදය

ගෙවුනු වසර කීපය දෙස අතීතාවර්ජනයෙන් බලන කල ඒ කාල පරාසය තුල මට ලැබුණායැයි සතුටු වියහැකි විශේෂ දෙයක් නොමැත. එමෙන්ම දුකකින් කියන්නට නොලැබුණු දේකුත් නොමැත. අවශ්‍ය වූ දෙයක් මාසේ පඩියෙන් අන්තිමට සාප්පුවකට ගොස් මිලදී ගන්නවා හැරෙන්න සේප්පුවක දමා සොරුන්ගෙන් ආරක්ෂා කලයුතු වටිනායයි කිවහැකි කිසිවක් මා සන්තකයේ නොතිබිණි. මෑතකදී සාප්පුවකට අලුත් යමක් මිලදී ගැනීමට ගොඩවැදුන දවසක්ද මතකයකට නගාගත නොහැක.
කමිසයක් කලිසමක් ගන්නේද අවුරුද්දකට වතාවකි. සමහර විට ඒ අවුරුද්දකට වතාවද එන්නේ කලාතුරකිනි. ඒ එවන් අනවශ්‍ය මිලදී ගැනීමක අවශ්‍යතාවය මට නොවූ නිසාය. ඒ ලෝභකම නිසා නොවේ යයි මා, මා සමගම තර්ක කරන්නට පෙළඹී සිටියෙමි.  

මීට වසරකට පමණ පෙර භූමිතෙල් ලිපක්, ටෝච් එකක් හා තෙල් තාච්චියක් මිලදී ගත්තේ නම් ටවුමේ "ගුණසේන ස්ටෝර්ස්" එකෙන් බව එකින් එක සිතුවිලි පෙළ ගස්සවා බලන කල සිහියට නගාගත හැක. නමුදු අවශ්‍යතාවයක් නැති දිනවලත් සතියකට දෙවතාවක්වත් "ගුණසේන ස්ටෝර්ස්" වෙත ගොඩ වුනේ කැෂියර් පුටුවේ හිටි දීපිකා හා වචනයක් දෙකක් කතා කිරීමට ඇති ආශාවට වඩා අවශ්‍යතාවය නිසාමය.

ජැන්ඩියට අඳින්නට පළඳින්නට වත්කමක් නැති වුනත් පිරිසිදුව පිළිවෙලකට ඇඳුමක් ඇඟලා ගැනීමට මා කුඩා කාලයේ සිටම ඉමහත් කැමැත්තක් දැක්වුවෙමි. අම්මගේ අභාෂය මත මට ඒ පුරුද්ද එන්නට ඇතැයි සිතමි. ඉස්කෝලේ යන සන්දියේ මට තිබුණු ඇඳුම් ජෝඩු දෙක අම්මාගේ ඕනේකමට සෝදා ඉතා පිරිසිදුවත් පිළිවෙලටත් පොල්කටු ස්ත්‍රීක්කයෙන් මැද දෙන නිසා සෞඛ්‍ය සටහනේ මාසික වාර්තාවේ අග මට රතු තරුවක් ලැබුණි. පොල් කටු ස්ත්‍රීක්කයෙන් මදින කල ඇඳුමක විහිදෙන සුවඳ අදටත් මොහොතක් ඇස් පියාගත්විට නිරායාසයෙන් මතක් කරගත හැක. මා නිහඬ පුද්ගලයෙකි.
සණ්ඩු සරුවල්, කෑකෝ ගැසීම් මට නොරිස්සුම් දෙන්නක්ම විය. මේ හේතුවෙන් සමහරු ඔලුවට අත හොදද්දීත් මා ඉවසා දරාගෙන සිටියේ ඇයිදැයි මම කම්පා වෙමි.
මීට වඩා පිරිමි සිතක් සවිමත් විය යුතුයයි මගේ සිත මටම නෝක්කාඩු කියයි.

දත්මිටි කාගෙන, දුක දරාගෙන, බඩගින්නේ ඉඳිමින් ගෙවන්නට තරම් ආර්ථික අහේනියක් මට නැති නමුත් යාන වාහන ගැනීමට, තරු පහේ හෝටල් වලින් අහාර ගැනීමට, රාත්‍රී සමාජශාලාවල රැයක් පහන් කිරීමට මට වත්කමක් නොමැති වුවා කියා සඳහන් කරනවාට වඩා මා ඒ පිළිබද උනන්දු නොවූ බව පැවසීම වටී.  මා ගෙවන අල්පේච්ඡ ජීවිතය පුදුමාකාර නිදහසක් සැනසීමක් ගෙන දෙන්නක්ම වේ. මම මේ ජීවිතයට ඇලුම් කලෙමි, තවමත් එසේමය. සමහර විට හෙටටත්......

බොහෝවිට සිතට සැනසිල්ලක් දෙන්නට වූ කාරණාව නම් මා වෙනුවෙන් දුක්වී හඬන්නට කිසිවෙකුත් මට කෙනෙක් වෙනුවෙන් හඬන්නටත්  දැන් කිසිවෙක් නැති නිසාය. බැඳීම් ඇතිකළ දුකද වැඩිවේ. බැඳීම් වලට සමුදුන් කල සිත නිදහස් වේ. දුකක්ද නැත. සීනි ඔතාගෙන ආ කොලය පෝය දින දිනපතා පත්තරේ අතිරේකයේ පළවුණු ලිපියක් වූ බැවින් එහි සඳහන් දේ ඉකුත් සතියේ කියෙව්වා මතකය. එහි සඳහන් වුනේ ඒ බවය.

දීපිකා නම් වූ කලී මා නැවතී සිටි බෝඩිමේ අයිතිකාරයාගේ දුවයි. කොළඹින් එපිට රබර් වතු කීපයක හිමිකාරයෙක් වූ දීපිකාගේ පියාට එතරම් ආර්ථික අපහසුතා නැති බව ඔවුන්ගේ කල් ක්‍රියාවෙන් මට ඒත්තු ගැන්විණ. දීපිකාද රැකියාව කලේ ටවුමේ "ගුණසේන ස්ටෝර්ස්" හි කැෂියර්වරිය ලෙසය.  රැකියාවක් කිරීමට තරම් අහේනියක් ඇයටත් ඇගේ පවුලේ අයටත් නොතිබුණද ඉගෙනගත් දේ අහක දමන එක අපරාදේ යයි ඇය නිතර දෙවේලේ දෙමාපියන්ට මැසිවිලි නගන නිසා ඇයගේ මවගේ සහෝදරයෙක්ට අයිති "ගුණසේන ස්ටෝර්ස්" හි රැකියාව තෝරා ගත්තා කියා ඇගේ මව මා හා අල්ලාප සල්ලාපයේ යෙදුන දවසක පැවසුවා මතකය. උසස් පෙළ සමත් ඇති නමුදු වාසිටි යාමට ප්‍රමාණවත් ලකුණු නොලැබූ නිසා උසස් අධයාපනයකද නියැලුනේ නැත. වාසිටි යාමට සමත් වුනත් ගෙදර උදවිය ඊට ඉඩ නොදෙන නිසා ඉහලට ඉගෙනීමෙන් පලක් නොවන නිසා එසේ නොකළ බව ඇය මා සමග දොඩමලු වූ දිනක කීවාද මතකය.  




දීපිකා හා මා හාද වන්නේ මා බෝඩිමට ආ මුල් කාලයේ පටන් මගේ කෑම වේල රැගෙන එමෙන් ඇති කරගන්නා දැන හැඳුනුම්කමෙන්ය.
දිනපතා මගේ උදෑසන කෑම වේලත් දහවල් බත් පාර්සලයත් ගෙන එම ඇයට භාර වී තිබුන රාජකාරිය විය. ඇය රාජකාරිය සඳහා යමින් ගමන්ය මට කෑම පාර්සලය දෙන්නේ.  
රාත්‍රී ආහාරය සඳහා මා ඇගේ නිවසට යාමට පුරුදු වී සිටියෙමි.  එසේ පැමිණි බොහෝ දිනවල මා ඇය සමග කතා බස් කර ඇත. ඇගේ නිවසින්ද එතරම් එයට බාධාවක් නොවිය. විටෙක රටේ තත්වයද, විටෙක ඉතිහාසයද අපගේ මාතෘකා විය. නමුත් ආදරය නම් වූ මාතෘකාව කෙදිනකවත් අපගේ සාකච්චාවට බඳුන් වී නැති බව සහතිකය.


තනියෙන් ජීවත් වීමෙන් හෙම්බත් වූ කල කසාදයක් කරගන්න දීපිකා ඇත්තටම හොඳ කෙල්ලෙක් යන සිතුවිල්ල මගේ හිතේ ඉස්මතු වෙන්නේ මේ කාල වකවානුවේදීය. හුදෙක් විවාහය යන අවශ්‍යතාව මත පමණක් පදනම් වූ සම්බන්ධකමකට මගෙන් ලැබුණු ඇරයුමට දීපිකාගෙන් දෙසතියකට නොඅඩු කාලයකදී මට පිළිතුරක් ලැබුණි. දීපිකා මගෙන් බලාපොරොත්තු වූ ආදරය මට පෙරලා ඇයට දීමට අවශ්‍යතාවයක් නොවුනේ මා ඇය හා සම්බන්ධකමක් ගොඩනගාගත්තේ විවාහයක් කරගැනීමේ අරමුණ ඇතිව පමණක් නිසාවෙනි.  ගැහැණියෙක්ට ආදරයක් බැඳීමක් මෙන්ම විවාහයටද ඒවා අවශ්‍ය බව මට තේරුම් ගැනීමට මට හැකියාවක් නොතිබිණි. ඊටත් වඩා තේරුම් ගැනීමට අවශ්‍ය නොවුනි. මගේ චරිතය කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වුවද සම්මත වූ ලෝකයේ ක්‍රියා පටිපාටියට පරිභාහිරව අසම්මතව ඉපදුනු මමත් තවත් එක් ප්‍රාණියෙකි. මටද මාව තේරුම් ගත නොහැකි කල්හි වෙනත් කෙනෙක් කෙසේ නම් තේරුම් ගනීද.  


කාලය විටෙක ඉබි ගමනින් තවත් විටෙක විදුලි වේගයෙන් ගෙවෙන්නට විය.

මාගේ චරිතය මා ආශ්‍රය කිරීමෙන් තේරුම් ගන්නට දීපිකාට හැකි වන්නට අත. ඇය සොයනා පතනා සහකාරයා මා නොවන්නට ඇත...

කාලය සමග බොහෝදේ වෙනස් විය. බෝඩිම ඉදිරිපිට තිබු කොස් ගහ කනාටු විය. බෝඩිමේ මගේ තනි නොතනියට හිටපු පූස් පැටියාද මියැදුණි. එසේම දීපිකාද මට කෑම ගෙනෙන්නට අදිමදි කළාය.. මා ඇය සමග කතා කිරීමට අවශ්‍ය බව නිතර ඇයට පැවසුවත් ගණන් හිලව් වගයක් ලැයිස්තු කරන්න තියනවාය, මට සනීප නැතේය, යනුවෙන් බොරු හේතු කියා ඒ සෑම විටකම මා මගෑරියාය.

මා ඇගේ පියා හමුවී අපි දෙදෙනා සම්බන්ධකමක් පවත්වන බව කෙලින් කියා සිටියේ විවාහයක අවශ්‍යතාව මට තිබුණු නිසා මෙන්ම දීපිකා මට අහිමි වෙන ලකුණුත් පහල වෙමින් තිබෙන නිසාවෙනි.

"මැණිකෙත් එක්ක සාකච්චා කොරල උත්තරයක් දෙන්නම්කො. මේවා එහෙම තකහනියේ කරන්න පුළුවන් කාරනා නොවේනේ"


ඇගේ පියා වන සමරපාල මහතාගෙන් ලැබුන පිළිතුර එසේ විය. විශ්‍රාමලත් රාජ්‍ය සේවකයෙක් වූ සමරපාල මහතා පිළිබද මා විශ්වාසය තැබීමි. මට සතුටු දායක ප්‍රතිපලයක් ලැබෙතියි බලාපොරොත්තුවෙන් සිටි නමුදු ඔහු හමුවීමට නිවසට කීප වතාවක් ගියත් ඔහු මගෙන් වසන් වීමට උත්සාහ ගන්නා බව මට තේරුම් ගත හැකි විය.  

මා  ලංගම බසයක කොන්දොස්තරකම කරන නිසාත් මගේ නොන්ජල්කම නිසාත් අපේ ආදරයට.............., නැත.......... අපේ...... නැත.....මගේ සම්බන්ධකමට ඇගේ නිවසින්ද  බාධා පනවන්නට ඇතැයි මම සිතුවෙමි. සමරපාල මුදලාලිගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් කල් යල් බැලීමක අවසාන ප්‍රතිපලේ ඇයගේ විවාහය හොර රහසේම තීන්දු වීමය.

කසාදයක් කරගැනීමේ සිතුවිල්ලට ඇස්පනා පිටම කන කොකා හැඬුවේ දීපිකා දෙමාපියන්ගේ ආශීර්වාදය සමගම ව්‍යාපාරිකයෙක් සමග පිටගම් ගිය දා පටන්ය. මිනිහෙක්ට ගෑනියෙක් අවශ්‍ය නිසා කසාදයක් බැඳීමට නමට "ගැහැනියක්" සොයාගන්න අවශ්‍යයයි යන හැඟුම මිසක ආදරයක් පෙරටුකොටගෙන නම් නොවේ මා දීපිකාගේ ඇසුර පතන්නේ. දීපිකා ගමෙන් ගිය දා මගේ සිතට එතරම් දුකක් නොදැනුනේ මා කොන්ද පණ නැති නොන්ජල් මිනිසෙකු නිසා නොව ඉහත්තාවේ කියපු ඒ කාරණය නිසාමය. 

දීපිකා මට වඩා සිව් වසරකින් ලා බාල වුනත් මට වඩා වයසක් ඇගේ මුහුණෙන් ඇය දෙස බලන්නෙකුට දැකිය හැක. දීපිකා එන්න එන්න කැත වුනා. වයසට වඩා වයස පෙනුනනේ. දීපිකා මගුල් ඇඳුමට තරබාරු වී සිටි බැව් සිතින. මම මගේ හිතට එසේ සිතන්නට උත්සාහ කළා නොව ඉරිසියාවක් වැනි හැගීමක් මට එසේ සිතීමට බල කළේය.

දොරට ගසන හඬක් අසුනෙන් කමිසයක් කරලාගෙන දොර පළුව මෑත් කර නිදිමත ඇස් පිහ දදා මිදුලට බැස විපරම් කලෙමි.  කිසිවෙක් නැත. මටම බැණ වදිමින් එන්නට හැදුකල අඹ ගහ යට සිමෙන්ති බැංකුව උඩ හිඳගෙන උන් රුවක් මගේ ගමන බාධා කළේය.
තවත් කිට්ටු වී සැක හැර දැන ගතිමි. 

කවුරුත් නොව ඒ

"දීපිකා" ය  



46 comments:

  1. සයිමන් නවගත්තේගමට හපන් පැතුම්.....
    නිකන් මාව කරකවල අතෑරිය වගේ.......

    ReplyDelete
    Replies
    1. භාෂාව හැසිරීම මරු ඈ......:)

      Delete
    2. සිරාවට

      Delete
    3. දන්න භාෂාවම එහෙන් මෙහෙන් කරකවල ලිවේ. බොහොම ස්තුතියි ඈ.... දෙන්නටම

      Delete
  2. Replies
    1. ගොඩක් ස්තුතියි හිත හොඳ පිස්සෝ

      Delete
  3. හම්ම්.....
    ඉතිං ඊට පස්සේ මොකද වෙන්නේ....

    නියමෙටම කතාව කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්......ඊට පස්සේ මුකුත් වෙන්නේ නෑ නෙත්පානි. ගොඩක් ස්තුතියි

      Delete
  4. දීපිකා මොකද දන්නෙ නෑ නේද ආපහු ආවෙ? මොනව උනත් සුපිරි ලිවිල්ල. දීපිකා ආපු හේතුව තේරෙන්නෙ නැත්තෙ ඔයාට ඔයාව තේරුන්ගන්න බැරිනම්, කියවන අපි කොහොම තේරුම් ගන්ඩද. :D

    ReplyDelete
    Replies
    1. දීපිකා ආපහු ආව එක කථකයාටත් ප්‍රශ්නයක්නේ... එයා දන්නෙත් නෑනේ ඇයි එයා අපහු ආවේ කියල. ඒක කියවන ඔයාටත් කථකයාටත් ප්‍රශ්නයක්...

      මේ කතාවේ ඉන්නේ මම නෙවෙයි හොඳේ.

      Delete
  5. ඇයි බං අයියෙ මෙහෙම කරන සිරිතක් තියේද හැබෑට? ලියල තියන විදියට මං හිතුවෙම අයියගෙ කතාවෙයි කියලා. බලනකොට හිතුණා ලිව්වා එකක්නේ. කමක් නෑ සුපිරියට ලියලා තියනවා! :)

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත බට්ට මලේ...මවවත් කරකවල අත්හැරිය වගේ උනේ මේක දැකල...:D

      Delete
    2. අනේ බං මල්ලියේ එහෙම සිරිතක් නම් තියද දන්නේ නෑ. හිතුන විදිහට ලිවේ. ගොඩක් ස්තුතියි හොඳේ.


      @ හිරු අක්කේ ඔයා කැරකිලා කැරකිලා නැවතුනා නම් අවුලක් නෑ. මේ ඇත්තටම තවත් කැරකෙනවදෝ ?

      Delete
  6. සුපිරියි ඈ, පට්ටම කතාව, මේ ටික නම් සිරා
    මගේ චරිතය කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වුවද සම්මත වූ ලෝකයේ ක්‍රියා පටිපාටියට පරිභාහිරව අසම්මතව ඉපදුනු මමත් තවත් එක් ප්‍රාණියෙකි. මටද මාව තේරුම් ගත නොහැකි කල්හි වෙනත් කෙනෙක් කෙසේ නම් තේරුම් ගනීද.
    දිගටම ලියන්න
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දිගටම ලියනවා. ඔයාල කියවන හන්දා...

      Delete
  7. මේ කතාවේ ආඛ්‍යානය 100%ක්ම මහාචාර්ය සරත් විජේසූරියගේ ආඛ්‍යානයට සමානයි. ඒත් කතාව ඉවර කළ විදිය ගැනනම් සතුටු වෙන්න බෑ. දීපිකා ආපහු ආවෙ ඇය කියන එක අපි කොහොමද තේරුම් ගන්නෙ...?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දීපිකා ආව එක කථකයාටත් තේරුම් ගන්න බැරි කොට අපි කොහොම නම් තේරුම් ගන්නද.

      Delete
  8. කියන්න වචන් නෑ.. කතාව ලියලා තියෙන විලාශයකන් උපරිමයි.. වයසින් මුහුපුරා ගිය විශිෂ්ඨ ලේඛකයෙකුගේ කතාවක් කියවනවා වගේ දැනුනේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇත්තටම මම කතාව ලිවේ හිතින් ගොඩක් අනාගතේට ගිහින්.

      Delete
  9. ලස්සනට ලියල තියෙනව, ආසාවෙන් කියෙව්වා.

    [එක තැනක පොඩි ගැටළුවක් මතු වුනා, රජයේ සේවකයෙක් කිවූ දීපිකාගෙ පියාටමද ඊට ටිකකට පස්සෙ සමරපාල මුදලාලි කිව්වෙ, එහෙම නැත්තං මට පැටලුනාද? ]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබා මාමේ.. ඔබා මාමට තමයි ඒක තේරුනේ. ඔබා මාමට ටැපලිලා නෙමෙයි. කතාව මගදී පොඩි වෙනසක් කරපු හන්දයි මට එක පැටලුනේ. සමාවෙන්න හොඳේ පැටලුනා නම්.

      Delete
  10. සුපිරියි...!!!

    ReplyDelete
  11. සිරාවටම හොදයි බන්!
    කේ.ජයතිලක මහත්තයාගේ කටු සහ මල් කෙටි කතා මතක උණා!
    කතාව එකම නොවුනට ඒ ශෛලිය එකමයි.
    ආසාවෙන් කියෙව්වා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. ආසාවෙන් කියෙව්වනම් මට ඒ හොඳටම ඇති.

      Delete
  12. හිත් ඇදගන්න කතාවක්..

    ReplyDelete
  13. මේ නව කතාවක මුල කොටසද?

    ReplyDelete
    Replies
    1. නෑ....නෑ. කෙටි කතාවක් වගේ එකක අවසානය.

      Delete
  14. ලියවිල්ල නම් වෙනදා වගේම උපරිමයි මලේ...මාවත් මේක කියවල කරකවල අතෑරියා වගේ උනා..මල්ලියා දක්ෂ ලේඛකයෙක් වගේනේ...මේ මගේ පළවෙනිය උනාට තෑග්ග නේද?එත් මේ සැරේ මම අන්තිමලු....:( කියන්න වචන නෑලු පොස්ට් එක ගැන..දිගටම ලියන්න ජය..!!! දවසක හොද දක්ෂ ලේඛකයෙක් වෙයිලු..:)

    ReplyDelete
    Replies
    1. ආ...මෙන්න “ලු“යන්න මෙයාටට් බෝකලලලු....;)

      Delete
    2. කැරකුනාට කමක් නෑලු වටයක් දෙකක් හොඳේ. මම දක්ෂ නම් නෑලු. තවම පුරුදු වෙනවලු. මේ ගිය පාර පොස්ට් එකට ඔයාට වෙච්ච පොරොන්දුවලු . මේ සැරේ ඔයා අන්තිම නෙමෙයිලු. ඔයාල කියවන හන්ද දිගටම ලියනවලු.



      @ ශෂී - එයාට විතරක් නෙමේ ඔයාටත් බෝ කලාලු. :P

      Delete
    3. එකනේ අප්පා..මෙයමටත් ලු බකලෞ..දැන් මම අමාරුවෙලු ලු නිසා අප්පා....:P මම පව්ලු

      Delete
  15. කියලා වැඩක් නෑ අයියා.. ඔයාට භාශා දැනුම උපරිමයි නෙ.. මේව දැක්කම මට ලියන්න හිතෙන්නෙත් නෑ.. කතාව නම් මරු... ඇත්තමයි අයියා පළපුරුදු රචකයෙක් වගේ ලියල තියෙන්නෙ.. උඩ කමෙන්ට් කරපු "නුවන්" ( අයියෙක් ද දන්නෙ නෑ.. එහෙම නම් සමා වෙන්න ඔනේ නම විතරක් කිව්වට "අයියා" නැතිව ) කියපු කතාවට මාත් 100% එකඟයි.

    ReplyDelete
    Replies
    1. උපරිමයි කියන්න තරම් නම් භාෂා දැනුමක් නෑ නංගි. දන්න කියන වචන එහාට මෙහාට කරලා ලිවේ. මේවා දැක්කම ඔයාට ලියන්න හිතෙන්නේ නැත්තම් මං නොලිය ඉන්නම් :P

      Delete
  16. නිර්මාණය පැත්තෙන් ඇති සාර්ථකයි.ලස්සන සිදුවිමාක්‌ කතාව දුකක් වුනාට රසවිඳින්න පුළුවන් වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අසාර්..රස විඳින්න පුළුවන් වුනා නම් මං සාර්ථකයි

      Delete
  17. hmmm pirimainge sitime ptu widiha hodata pennala tiyanawa aiya oya....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි......පිරිමින්ගේ... කිව්වට ඔක්කොම පිරිමි ගැන නෙමෙයි නංගි. සම්මත ලෝකයේ අසම්මත විදිහට ඉපදුන එක්කෙනෙක් ගැන.... :)

      Delete
  18. ගොඩක් සාර්ථක නිර්මාණයක්..තව කොටසක් තිබුනනම් කියල හිතෙනවා.. ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේකේ නම් මේ කොටස විතරයි. ආයෙම වෙනින් කතාවක් කියවමුකො

      Delete
  19. අර කිව්වත් වගේ මේක නම් පට්ට නවකතාවක් !!!
    ලියවිල්ල නම් සුපිරි යෑ !!!

    අද ඉදන් මාත් දිගටම මේ පැත්තේ එනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධුරංග අයියේ. හැමදාම එන්න මං බලාගෙන ඉන්නවා.

      Delete
  20. ෆට්ටයි, ඒත් අවසානය මීට වඩා වෙනස් වුණා නම් කියලත් හිතෙනවා. (මට හිතෙන හැටී). කොහොම උණත් සාර්ථක නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. අවසානේ මේ මට හිතුන විදිහ බං

      Delete
  21. පැතුම් ට හොඳ හැකියාවක් තියෙනවා... මේ ලියල තියෙන ශෛලිය නියමයි

    ReplyDelete