Saturday, November 12, 2016

මේ රාත්‍රිය



පැස්ටල් පෙට්ටියක,
වෛවර්ණ පාට කූරු
මුලින් ඉවර වූ පසු,
ඉතිරි වූ කළු කූරකින්
ළදරුවෙක් ඇඳි බලියකි,
මේ රාත්‍රිය...

දහ අටක් නැටුම් නටමින්
බත් කටක් කවන්නට වෙහෙසුණ,
දයාබර මව් අතින් ගිලිහුණු
හොදි පැල්ලමකි,
ඒ හඳ...

බිල්ලන්ට බය නැති
ඇට්ටර කිරි සිනා පොකුරකි,
තරු කිණිති වී තැන තැන
තිබෙන්නේ කටු කුරුටු මත...

තුරුළට ගෙන සිප සනසවන
ආදරේ දියවී සිසිලසද කැටිවුණ
මව් ළයින් නික්මුණු සුවඳකි
කුමුදු මලකින් හමන්නේ රෑට...

~ ලයින්ග් රයිටර් ~

2 comments:

  1. විඩාබර දිවි දවාලට
    පිණි ඉසින
    හැඟුම් පොදියකි
    මේ රාත්‍රිය.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හ්ම්........... හ්ම්.........

    ReplyDelete