My name is රයිටර් who writes, some kind of ඇවටියෙල් stories..

Thursday, January 26, 2012

පැල ඉනිවැට ළඟ බළල් අවතාරය

මේ හිත සසල කරවන සිද්ධියට මුහුණ පානවිට මා සාමාන්‍ය පෙළ සිසුවෙක්මි, 

අද ලෝකේ කොතරම් දුයුණු වුවත්, ගුප්ත සිදුවීම් හා අත්භූත සිදුවීම් නගරයෙන් එපිට
බොහෝ ගම්මාන වල  සිදුවෙන බව නම් නොරහසක්.
මෙවන් සිදුවීමක් පැවසීම  බොහෝ දෙනාගේ හාස්‍යට ලක්වීමට උදහසට ලක්වීමකට බොහෝ විට හේතු විය හැකි නිසා මේ 
සිදුවීම් වලට  මුහුණ පෑ උදවිය ඒවා රහසක් වශයෙන් තියා ගැනීමට උත්සාහ දරති. 

නගරයෙන් තරමක් දුර පිහිටි ගමක ජීවත් වෙන මාද මෙවන් සිදුවීම් කිහිපයකට මුහුණ පා තිබීම හේතුවෙන් මෙවන් කල්පිත මත එකහෙලාම ප්‍රතික්ෂේප කිරීම පිළිබද පුද්ගලිකවම දෙවරක් සිතීමට සිදුවී ඇත.

කතාව මෙසේ විස්තර කරමි.


 මගේ අතිජාත මිත්‍රයෙක් වන ලහිරු මට වඩා වසරකින් වැඩිමහල්ය.  නමුත්  ඔහුට කොතැනක හෝ සිදුවූ වැරදීමකින් දෙවෙනි වරත් මා සමග සාමාන්‍ය පෙළ විභාගය කිරීමට සිදුව තිබිණ. අපේ නිවසේ වැඩි හරියක් කල් ගෙවූ ලහිරු  මා සමග සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම්වල නිරත වුවේය. අවාසනාවකට එවකට ඔහුගේ පියා දෛවයේ සමග මාරාන්තික සටනක නිරත වෙමින් සිටියේ දරුණු පිළිකාවකින්  පෙලීම නිසාය.
පාඩම් කරන අතරතුර රෝහලේ ඇඳ මත සිටි පියාගේ ළඟ නැවතීමටත් ලහිරුට සිදුවිය.
කෙසේහෝ ඔහුගේත් තව බොහෝ දෙනෙකුගේත් ඇස්වල  කඳුළුවලට ගලන්නට ඉඩ දී  ලහිරුගේ පියා අවසන් ගමන් ගියේය
.
 බිම පෙරලීගෙන ලහිරු අඬපු හැටි මට අද වගේ මතකය.


 දිනය 2006 වසරේ නොවෙම්බර් මාසයේ දිනයක් විය යුතුය..

 සුදු කොඩි ඇද සරසා තිබුන මළගේ අවට මෙන්ම ගමේම මහා මුසල කමක් පැතිර තිබෙනු දැක ගන්නට ලැබිණ.  බීම, තේ, බිස්කට් ඇල්ලීමෙන් දවස ගෙවූ අපේ කොල්ලෝ රෑන එදා රෑ පහන් කිරීමට මළගෙදරට රැස් වෙන පොරොන්දුව මත හැන්දෑවේ ගෙවල් වලට ගියහ .


වෙලාව රාත්‍රී 8.00 පමණ  ඇති.

කෙල්ලන්ට බැල්මට් දන්නට මෙන්ම, කාලය කාදමන්නටද  ඉලන්දාරි වන අපට මල ගෙවල්, බණ ගෙවල් තෝතැන්නක්ම විය. ගමේ බණ ගෙයක් තිබෙන කල අපි අනාරධනයෙන්ම එහි යන්නෙමු.  නිවෙසියෝද එහි වරදක් දැකීම කෙසේ වෙතත් මේ වන තුරු නම් කිසිවක් කියනවා අසා නැත.

මළගෙදර පාලු කපන්න කොල්ලෝ රැල අනගි සේවයක් කරනවා කියාය ගැමියෝ සිතන්නට ඇත්තේ.

කොතරම් කතා බහ ඇහුනත් දැඩි නිශ්ශබ්ද තාවයක් ප්‍රදේශය පුරාම පැතිරුණ මුසල ගතියත් නිසා අපි තනිව නොසිට කණ්ඩායම් වශයෙන් සිටින්නට වීමු. අඩුම තරමේ දෙදෙනා බැගින්වත්

චූ බරක් හැදුනොත්

"ඒ වරෙන්කො බන් යන්න"

කියා කියන තරමට මල ගෙවල් අසල පැටිකිරිය දන්නා අපේ කොල්ලන් තව කෙනෙක් සමග යාමට පෙළඹෙයි.(අපේ පුංචි හදවත් එසේ කිරීමට අපට බල කරන්නට ඇත)

කැරම්, කාඩ් ගැහිල්ල හරි හරියට ගිය බැවින් මල ගෙදර අවට වට පිටාව පිළිබද එතරම් ගැටළුවක් නොවීය.
පහුවදා සෙනසුරාදා දිනයක් බැවින් විද්‍යාව පන්තියට යාම සඳහා කල් ඇතිව නිවසට පැමිණෙන පොරොන්දුව පිට අම්මා මට මල ගෙදර  පැමිණීමට අවසර ලබා දී තිබිණ.

 "පුතේ.. රෑ වෙලා එනවනම් තතියම හෙම එන්නේ නෑ.. මල්ලිත් එක්ක එනවා මිසක්.."
 හා අම්මේ හා මම එයත් එක්කම එන්නම්කෝ..
 මගේ හොඳ අම්මනේ.... මම යන්නද?
 හා හා ගිහින් එන්න. බුදුසරණයි


 අම්මගේ දෙපා වැඳලා මල්ලියි මමයි පිටත් වුනේ එහෙම....


රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මට මහා නිදිමතක් විය. කැරම් බෝඩ් එක අසල මෙන්ම කාඩ් ගහන තැන වටයක් දෙකක් කැරකුණු මට ගෙදර යන්නට සිත් විය..

නිකමට කුස්සියට ගොස්  බැද තිබුණු පපඩම් අහුරකින් සාක්කුව පුරෝගත් මම ටිකවෙලාවක් පපඩම් කමින් ඔහේ සිටියෙමි. (කුස්සිය කිවේ මල ගෙදරට එහා ගෙදර තිබුණු එනම් එකම මිදුලේ පිහිටා තිබුන යාබද ගෙදර කුස්සියයි. මල ගෙදර තිබුන නිවසේ සාමාන්‍යයෙන් ලිපේ බතක් ඉදෙන්නේ නැත)

"අඩෝ මම යනවා බං"

 "පිස්සු කෙලින්නැතුව අද ඉඳල පලයන් මචන්"

 ඉල්ලීම ලහිරුවගෙනි.

 "බෑ මචන් හෙට පන්ති අම්මා එන්න කිව බං... මං එනකම් ඇහැරලා ඇති.."


(විභාගය ගොඩ දා ගැනීමේ අමාරුව අත්දැකීමෙන් දන්නා හින්ද ලහිරුවා මං යනවට එතරම් විරුද්ධත්වයක් නොදැක්වන්න ඇති.)

 "හරි හරි පලයන් උඹ".. "එහෙනම් මල්ලිවත් එක්කගෙන යන්නැතුව ඒකාව තියල පලයන්..."

මගේ අතිජාත මිත්‍රයාගේ පළමු ඉල්ලීම ඉවත දැමු මා දෙවන ඉල්ලීම අහකදානු බැරිව කට්ටියටම සමුදී ගෙදර දිහාවට
තනිපංගලමේම අඩි ඉක්මන් කලෙමි.

සෙල්ලමට බර අපේ මල්ලි පොඩි නිසා මා ගැන ඒ හැටි තේරුමක් නොවන්නට ඇති. නැත්තම් මට තනි පංගලමේ ගෙදර යන්න අම්ම එපා කියලත්, මා සමග ඒමට වැඩි කැමැත්තක් නොදක්වුවේ ඒ හන්ද වෙන්නට ඇති.

මල්ලි දුකෙන් වගේ අහනවා


"අයියේ අම්ම බනියි තනියම අව කියල"

"නෑ නෑ අවුලක් නෑ මට ගියහැකි"


මල්ලිත් මා සමග එනවාට වඩා එහෙ ඉන්නට කැමති බව තේරුම් ගත් මම හිතට දිරිය අරගෙන එන්නට පිටත් වීමි. මා සිතුවේ මල්ලිද මා සමග පැමිණේවි කියායි. නමුත් මල්ලිට එන්න කියා  නහයෙන් අඬන්න ගියොත් කොල්ලෝ ඉදිරියේ පච වනවාට වඩා යකා ගහන එක සැපය.


කට්ට කරුවල කෑලි කැපෙන තරමට තිබෙද්දී කලාතුරකින් යන මෝටර් බයිසිකලයක් පුස් බයිසිකලයක් ඇරුනම තාර පාර මුළුමනින්ම නිහඬකමේ ගිලෙමින් රාත්‍රිය තව තවත් වැළඳ ගමින් තිබිණ.
උපරිමය බිඳ දැමු  රැහැයියන්ගේ, පලගැටියන්ගේ මුසල ගොරනාඩුවත් මදි නොකියන්න රාත්‍රියට 
සහයෝගය පළකරමින් දවසක නිමවා සනිටුහන් කරන්නට සුදානමින් සිටියේය.

මා එනු දැක කලබලවූ වවුලෙක් බස බස ගා පියාපත් ගසා ලඟම පිහිටි වරක ගහට ඇදෙනු ලා සඳ එලියේම දුටිමි.   ක්ෂණයෙන්  ගැස්සුන මගේ හිත දන්නා කියන සියලුම ගාථා මුමුණන්නට  විය.  සිතල නිසා සාක්කු දෙකට අත් ඔබා ගත් මම උඩ ගැස්සී ගියේ පපඩම් අහුර අතට අසුවීමෙනි.


"පුළුටු කෑම වලට, තෙල් කෑම වලට  පෙරේතයෝ බැල්ම දානවා ලොකු පුතේ"
"පුළුටු කෑම වලට, තෙල් කෑම වලට  පෙරේතයෝ බැල්ම දානවා ලොකු පුතේ"
"පුළුටු කෑම වලට, තෙල් කෑම වලට  පෙරේතයෝ බැල්ම දානවා ලොකු පුතේ"
මා දවසක්  හවස කැවුම් කමින් මිදුලේ සෙල්ලම් කරනු දුටු පිල්කඩ උඩ ඉඳගෙන සිටි  ආච්චි අම්මා කියූ දේ කන්අඩි පැලෙන සද්දෙන් නැවත නැවත ඇසෙන්නට විය.

විශ්වාශ කරන්න.


මට මගේ අම්මා සිහිවිය, එමෙන්ම තාත්තා, මල්ලි, මෙන්ම මා වඩාත් ආදරය කල මීට හරියටම සතියකට ඉහත මියදුන පුස් පැටියා සිහි විය. බොහෝ දේ සිහිවිය. ජීවිතයේ පළමු වරට සිතට  මරණ බිය දැනිණ.


මා ගත් මෝඩ තීරණය ගැන පසුතැවුනෙමි. ආපසු ගියත් එකයි, නොනැවතී ගෙදර ගියත් එකයි. ඒ වන විට ගමනේ හරි අඩක් පමණ ගොස් තිබුන මා තව තවත් හයියෙන් අඩි තබන්නට වීමි. හදිස්සියට යන්නට හදන විට පය පැටලෙයි.


"හිතට බයක් දැනුනම ඉතිබිසෝ ගාථාව කියන්න ලොකු පුතේ.."


ආච්චි අමගේ වදන් මට නැවතත් සිහි විය.  කරුමයක මහත.. ගෙදරදී අග ඉදන් මුලටත් මුල ඉඳන් අගටත් ඉතිබිසෝ ගාථාව කියවන මට එදින ගාථාවේ පද පවා  අමතක විය.

යටි බඩ කොර වෙන තරමට චූ බරක්ද සෑදී තිබුණි. සියලු වීරිය දෙපයට රැගෙන පස්ස බල බල දුවන්නට වීමි. රෑට තනි පංගලමේ කොහේ හෝ හරි යනවනම් පිටි පස්ස බලන්නට හිතුනොත් අනිවාර්යෙන් පස්ස බලන පුරුද්දක් මට කුඩා කල සිටම තිබිණ.


විනාඩි දහයක පමණ දිවීමෙන් මගේ නවාතැන් පලට සේන්දු වෙන තුරුත් මා යහතින් සිටීම පිලිබඳ සතුටු වූවෙමි.
දොර ලඟට පැමිණ විනාඩි බාගයක් පමණ හති අරුපු මං දොරට සෙමෙන් ගසා අම්මට ඇහැරවුවෙමි.

එවිටම වගේ පැල ඉනි වැටට ළඟ ඉඳන් මොකෙක් හරි මං දිහා බලන් ඉන්නවා කියල හිතුන සැකේට නොදැනුවත්වම මට ඒ ඉසව්ව ඇස ගැටුණි.

අමුතුම දිස්නයක් ඇති බෝල දෙකක් පැල ඉනි වැට අසල සිට මා දෙසට එල්ල වී තිබිණ.

මා තවත් ඕනා කමින් බලද්දී පුදුමයකි...සතියකට පමණ පෙරාතුව මියදුන  මා ආදරය කල පූස් පැටියා වැට ගාවට වී මං දිහා බලන ඉඳියි. අදහන්න බැරි දේ නම්, මට එවිට මීට පෙර පුස් පැටියා මියදුන බව නොසිතිමයි.

මා සිතුවේ ඌ ජිවෙත් වෙතැයි කියායි.  අම්මත් දොර අරින සද්දය ඇසුණු නිසා මම දෙවරක් නොසිතු මම

"ස් ස්  ස්  ස් කිටි කිටි ඉසේ ඉසේ " කියා කියා පැල ඉනි වැටට කිට්ටු වෙන්න හදන විටම පුස් පැටියා හැරි කැලය දෙසට සෙමින් යන්නට විය.

ඒ සමගම අම්මා දොර අරගෙන එන්නට ඇති

ඒ වන විටත් පැල ඉනි වැට දෙසට යාර කීපයක් ගමන් කර තිබුණු මා දැක අම්මා


"පුතේ"

"අම්මේ පුසා.. අතන ඉන්නවා"

"මොන?"

"අපේ පූසා අම්මේ"

වෙච්ච දේ ඉවෙන් වගේ තේරුම් ගත්ත අම්ම මගේ පිටට  හයියෙන් පහරක් ගසා

"හා හා ගෙට යමු ගෙට යමු  විජහට"

කියා කීවාය.  (ඇය මට ගැසුවේ මගේ බය නැති කරන්නට මිසක් කෙන්තියකට නොවේ. )

අම්මා පිටට ගැසුවාට පසු මා ක්ෂණයෙන් වෙනස් වීමි.   එනම් මා පෙර සිටියේ පියවි ලෝකයේ නොවන  බව මට වැටහුනේ අම්මා පිටට ගැසුවාට පසුවය. (බය වුන විට හයියෙන් පිටට ගැසීමට කෙමක් බව මා අසා තිබුණි).

[ මා විඳි අත්දැකීම... මට දැනුන හැඟීම එලෙසින්ම බ්ලොග් අවකාශයේ සටහන් කිරීමට තරම් මා දක්ෂයෙක් නොවෙමි.]

ඇයට කීකරු වූ මා ගෙට ගොඩ වී බැංකුව මත ඉඳගෙන නිච්චියක් නැතුව ඉද්දී අම්මා බුදු පහනින් තෙල් ටිකක් ගෙන මොනවදෝ මතුර මතුරා මගේ ඔලුවේ ගෑවාය .. .


ඉහින් කනින් දාඩිය පෙරාගෙන වෙව්ලන අතපය පය ඇතිව බල ගත්තු අත බලාගෙන  පැය කීපයක් මා සිටි බව අම්මා පසුව පැවසුවාය


මට තරමක් සාමාන්‍ය තත්වයට පැමිණීමට බොහෝ වෙලා යන්නට ඇත.

 
මුණ හොද ගන්න එලියට යන්න සැදු විට ගේ ඇතුලෙම බේසමක් ගෙනවිත් මුණ හෝදන්නට සලස්වා මට නින්ද යනතුරු මා ලඟින්ම සිටියාය...

පහුවදා එලි වෙද්දී මට සහලෝල උණ අරන් තිබුණු  අතර හරියටම බෙහෙත් ගත්තත් දවස් හතක් උණ ඒ විදිහටම තිබුන..

පසු දිනක මා අම්මගෙන් සිද්ධ වුනේ කුමක්ද යන්න විමසු විට ඇය එය කීමට මැලි වූ අතර මාගේ බලවත් පෙරැත්තය හේතුවෙන් යලි සිත බය නොකරගන්නවා කියන පොරොන්දුව මත සියල්ල පැවසුවාය.


"මල ගෙදර ඉඳන් තනි පංගලමේ තෙල්  පුළුටු කාලා වතුරවත් නොබී ඒ මදිවට සාකුවෙත් දාගෙන ගෙදර එද්දී මල පෙරේතයෝ බැල්ම නොදා ඉඳීද "


මීට පෙර ආච්චි අම්ම කියූ එම කතාවම  සිහියට නැගුණි

"ඉතින් උන් කොහොම හරි අපේ ඇඟට ඇතුල් වෙන්න තමයි  හදන්නේ. 
අපේ හිත හයිය වුනාම උනාට එක කරන්න බෑ,"

"එක හින්ද ඉස්සෙල්ලම අපේ හිත දුර්වල කරනවා.
වැට ගාව හිටිය පුස් පැටියාත් මායාවක්.."

"එහෙම තමයි මේ මායා අපිව මුල කරනවා"

"ඔයාව කැලේට එක්කන් යන්න එක හොඳ උපායක්".. "අර ටික බය වේවි දුව දුව පයින් ආව ඔයා වැට ගාවට යන්න බය වුනේ නෑනේ."


ඇත්ත තමයි මරුන පූසා ජීවත්ව සිටියි කියා මට සිතුනේ මේ නිසා වන්නට පුළුවන.
එසේ නම් මේ දුෂ්ටි මායාව මගේ සිතුවිලි පවා පාලනය කරන්න සමත්කම් වූ හැටි....


කැලේට අරන් ගිහින් ඔයාව බය කරලා..........

ඇති ඇති අනේ ඇති... අම්මේ ඔතනින් එහා කියන්න එපා.

විශ්වාශ කරන්න... මේ කතාව ලියන විටත් වරින් වර මගේ ශරීරයේ ලොමු දැහැගැනීම  මොන විදිහකින්වත් නවත්වන්නට  මා අපොහොසත් වූ බව.

ජීවිතයේ පළමු වරට බළල් අවතාරයකින් මගේ හිත සසල කරන්න ඔබ, මා කවුරුත් නොසිතන අදුශ්යමාන බලවේගයකට හැකි විය.


ප.ලි - යම් මතයක සත්‍ය අසත්‍යතාව අත් දැකීමෙන් දුටුවාට පසුව විශ්වාශ
කරනවා කියා සිතීමට නොපෙළඹෙන්න. මෙවන් මත බැහැර කිරීමට පෙර දෙවරක් සිතන්න.
අපි නොදන්නා මේ ලෝකය බොහෝ රහස් පිරි ගුප්ත සාගරයකි...

එයින් පසු බොහෝ දිනක් යන තුරු මට රාත්‍රී ගමන් තහනම් විය.
එමෙන්ම මා සුවපත් වුයේ අම්මා විසින් කට්ටඩියෙකු ලවා දෙහි ගෙඩියක් ජීවම් කරගෙන ඒමෙනි.

2 comments:

  1. මේක මම කියෙව්වේ ඔෆිස් එකේ වැඩක් නැතුව ඉන්න වෙලාවක
    මේකේ අන්තිම හරිය කියවනකොට එක පාරට අයියා කෙනෙක් කාටද කතා කරා..
    මාව ගැස්සුනා..
    [ මා විඳි අත්දැකීම... මට දැනුන හැඟීම එලෙසින්ම බ්ලොග් අවකාශයේ සටහන් කිරීමට තරම් මා දක්ෂයෙක් නොවෙමි.]
    කිව්වට ඒ දේ ඒ විදියටම දැනෙන්න ලියල තියෙනවා...

    ReplyDelete
  2. අම්මෝ... බය හිතුන මටත්. අපි නොදැනගත්තු පලියට නොදන්න හැමදේම බොරු කියල අපිට කියන්න බෑ තමයි.

    ReplyDelete