Wednesday, March 16, 2022

ඔබේ මණ්දාකිණි ඇස,




අනන්ත ආකාශ අඳුරක සිට
මග ලකුණු මුමුණන
ඔබේ මණ්දාකිණි ඇස,
................................
තරුවක් මෙන් දිදුලන
කුඩා ග්රහ ලොවක සිට හමන
මෘදු සුළං දහරත්,
සුදු සඳුන් මල් සුවඳත්,
උයනක කෙළවර දකින
සිහිනමය පැහැයත්
එ'සළකුණු යැයි හඟින මම,

~ මිස්අන්ඩර්ස්ටුඩ් රයිටර් ~

"ආදරේ බව එපමණ"

 


මිරිඟු මුතුසර

පය බැඳී ගිගිර

නිම්නාද හඬ
ඇහෙන දහවල,

ආදරේ යහමින්
බෙද බෙද ඔබ,
අප ඇවිද ගිය
පාරක,

"ආදරේ බව එපමණ"
කනට ළංවී කොඳුරනු
රහසින් මෙන් ඇසිණ

~ ලයින්ග් රයිටර් ~

Tuesday, April 20, 2021

රහස්, රස තැන්

සඟවා රහස්,
රස තැන්
රළු ඇස් ඟඟුල්
පත්ලෙහි,
මෙතරම් කාලයක් "ඔබ"
රහසක්ව පැවතිණි,
ඉපැරණි කඳුලකින් ලියැවුණු
බොහෝ කවි කතා විනි
එතරම් කාලයක් ඔබ හා,
ප්රේමයක් විණි
~ ලයින්ග් රයිටර් ~

Monday, July 16, 2018

කට කන ගෑනී

සතියක් හමාරක් එක දිගට වර්ෂාව නොලැබීමෙන් කොළඹ පදික වේදිකා කරකුට්ටන් වී දුහුවිල්ලෙන් පිරී ඉතිරී යමින් තිබිණි. තැනින් තැන ගැලවී ගිය බිම් ඇතිරුම් ගල් මග හරිමින් මම ගංගාරාමය දෙස හිඳ ටවුන් හෝල් දෙසට ඇවිද එමින් සිටියෙමි. නවීකරණ කරන ලද නව මුහුණුවරකින් ඉදිකරන ලද බස්නැවතුම් පළවල් අවට දැඩිව මුත්‍රා ගඳ වහනය වන්නට වූ අතර, අපිරිසිදු බෑග් මලු, පොට්ටනි පිරිවරාගත් හිඟන්නන්ගෙන් ජරාජීර්ණව, ඒවා ඔවුන්ගේ ස්ථීර නවාතැන් පළවල් බවට පත්ව තිබිණි. හිරු එළියෙන් මිදීම සඳහා මම පාර පැන විහාරමහාදේවි උද්‍යානයට සමාන්තරව දිවෙන පදික වේදිකාව තෝරා ගතිමි
.
මිනිත්තුවක් දෙකක් අතර කාලය තුළ අධික රස්නය තුරල් වී කොලඹ අහස ක්‍රමයෙන් අඳුරු වන්නට පටන් ගත් අතර, ප්‍රමාණයෙන් තරමක් විශාලව ඇදවැටුණු වැහි බින්දු වලින් සමන්විත ක්ෂණික වැස්සකට සැලකිය යුතු තරමින් මා දියබත් කරන්නට හැකියාව ලැබී තිබිණ. අවට ගස්වල ලැග හුන් කාකයින් හෙලූ වසුරු, වැහි වතුරට මුහුවීමෙන් බට අපුල ඌෂ්ණකර දුර්ගන්ධයක් අවට පැතිරෙන්නට විය.

මම නගර ශාලාව පෙනෙන මානයට පැමිණ ඇමතුමක් ගත්තෙමි. එ'මොහොතෙහි ක්‍රියා විරහිතව පැවති ඇගේ අංකය හා සම්බන්ධ වීමට යළි යළිත් උත්සාහ කරමින් සේනානායක මාවත ඔස්සේ මද දුරක් ඉදිරියට ඇවිද ආවෙමි. එකම තැන ගාල් කර තැබීමෙන්ම දිරාපත් වූ බට්ටා ලොරියක සෙවණෙහි පවත්වාගෙන ආ කුඩා කඩයෙන් ප්ලේන්ටියක් ගෙන අසල කෙටි බැම්ම මත හිඳ ගතිමි.

සචින්ත්‍යා දුල්හාරි, සිව් වසරකට පෙර ජීවිතය සතුවූ වපසරියෙන් වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කලක් අත්පත් කරගෙන සිටි හා, ඒ සඳහා අයිතිවාසිකම් කියමින්ද සිටි ස්ත්‍රී ප්‍රාණය, ඉකුත් සතියකට ඉහතදී කොල්ලුපිටියේදී මුණ ගැසීම අහඹුවකි, සිදු නොවිය යුත්තකි, කම්පනයක් ශේෂ කළ මොහොතකි.

එතරම් තරබාරුද නොවන මහතකට උරුමකම් කී ඇය, පළමු වරට මුණගැසීමේදී ඈ පිළිබඳව එතරම් තැකීමක් ම'සිතෙහි නොවිණි. පාඨමාලාවෙන් ඉක්බිති ප්‍රායෝගික පුහුණුවේදී ඈ සමග එකම කණ්ඩායමකට නිර්දේශ වීමෙන් ඈ හා නිතර නිතර සම්බන්ධකම් පැවැත්වීමට සිදුවිය.

ජීවිතය හා යර්තාර්ථය පිලිබඳව ඈ සතුවූ දැක්ම, ඉතා සිත්ගන්නා සුළු සරලමුත් බැරෑරුම් සහ දුලබ එකකි. එය මා ඉතා ප්‍රිය කරන ගණයේ එකකි. ඊට අමතරව ඇගේ වපරය, මුල් දිනවල මුහුණට මුහුණ කතා කිරීම ඉතා අපහසුව දනවන්නක් වූවද, මිතුරුකම ප්‍රේමය දක්වා වර්ධනය වූ කලෙකදී ඒ නුහුරු ඇස්සරය මා මනසාභ්‍යන්තරය අසීමිත ලෙස තදින් වැළඳගෙන, අාකර්ශණය කරගෙන සිටීමට සමත්වී තිබිණ.

ප්ලේන්ටිය බී අවසන්වත්ම ඇගෙන් ඇමතුමක් ලැබිණ.

"හෙලෝ අනුරාධ, ...සොරි, ෆෝන් එක ඕෆ් වුණා, අද මුණගැහෙන්න එන්න විදිහක් වුණේ නෑ, ගෙදර එනකම් කියන්න විදිහක් තිබුනේ නෑ..සොරි"

"ආ හරි..කමක් නෑ.... මම ටවුන් හෝ...." මට වාක්‍ය කියවා ඉවර කිරීමට ඉඩක් නොලැබුන අතර ඇගේ පසින් අපැහැදිලි කටහඬක් ඇසෙනවාත් සමග ඇමතුම විසන්ධිවූ අතර, පුරා දෑ අවුරුද්දක් ඒ නොම්මරය වෙතින් කිසිම ප්‍රතිචාරයක් නොලද්ද්දෙන්, අතීතය විසින් ජීර්ණය කිරීම සඳහා යොදාගන්නා වූ පුදුම සහගත රසායනික අම්ල විසින් ඒ සිදුවීමෙහි ප්‍රභලතාවය යම් තරමක් හීන කර තිබිණි.

මාගේ එකම සහෝදරියගේ දරුවාගේ ඇසෙහි රෝගී තත්වයක් වෛද්‍යවරයෙකුට පෙන්වීම සඳහා ඇස්වාට්ටුවට ආ දිනෙක කවුන්ටරය අසලදී ඈ දෙවන වරට මුණගැසිනි. පමණට වඩා තරමක් කෙට්ටු වී හිඳී ඈ හඳුනා ගැනීම එකවරම නොහැකි වුවද, ඇගේ බැල්මෙහි සුපුරුදු බව ඈ කවරෙක්දැයි ඒවන විටත් මට පිළිතුරක් ලබා දී තිබිණ.

"අනුරාධ...!" ඇගේ වපර දෑසෙහි කළු ඉංගිරියා යුගල තරමක් තිගැස්මක සළකුණු මතු කළද, මොහොතකින් එය පහව ගොස් ඈ සාමාන්‍ය ලෙස හැසිරෙන්නට පටන් ගත්තාය.

"මගේ ෆෝන් එක නැති වුණා... ඔක්කොම කන්ටැක්ට්ස් නැති වුණා"

ඒ හමුවීමෙන් සතියකට පසු නැවත හමුවීමක් දුරකථන ඇමතුම් හරහා ස්ථීර වී තිබිණ. නිශ්චිත තැනක් නිවැරදිව නොවුණත් සුපුරුදු නගර ශාලව ඉදිරිපස මා තෝරා ගත්තේ, ඇගේ මනාපය පරිදි කතා බහ කිරීම සඳහා විහාරමහාදේවි උද්‍යානය හෝ ගංගාරාම දුපත, එතනට පැමිණීමෙන් අනතුරුව තෝරාගත හැකිව තිබු බැවිණි.

සේනානායක මාවත දෙසට හැරෙමින් මම ඇයට ඇමතුමක් ගතිමි.

"කොම්පඤ්ඤ වීදියේ ඉන්නේ විනාඩි දහයකින් වගේ ඔතන" 

මම දිරාපත් වූ බට්ටා ලොරියෙන් මින්ට් රසැති චුවින්ගම් එකක් ගෙන මුවේ ඔබා හපන්නට ගතිමි. ඈ හා විහාරමහා දේවි උද්‍යානය මැදින් ගොස් පාරක් වීදිය හරහා ගංගාරාම දුපතට යාමට මනසින් සැලැස්මක් අැඳිමි.
ඉක්බිති විනාඩි විස්සක කාලයක තුලදී දුල්හාරි මා සිටින තැනට ආවාය.

"අනුරාධ මෙතන මෙහෙම මීට් වෙන්න කතා කරන්න බෑ"

"හරි අපි පාක් එක ඇතුලට යං, එක්ක‍ො ගංගාරාම දුපතට යං"

"බෑ එහෙ මිනිස්සු ඉන්නවා, ප්‍රශ්නයක් වෙයි.. අඳුරන කෙනෙක් දැක්කොත් මට බයයි"

එතනින් ගමන් කරමින් තිබී ත්‍රීරෝද රියට අත දමා නවතා ගෙන ඈ හා එයට ගොඩවීමි.

"මහත්තයා කොහාටද...? නිදහසේ ඉන්න පුළුවන් ස්පාෙට් එකක් තියනවා, කොම්පඤ්ඤ වීදියේ, ඩ්‍රොප් කරන්නද, බය වෙන්න දෙයක් නෑ, ගානත් ශේප්, පාඩුවේ නිදහසේ මහත්තයලට ඉන්න පුළුවන්" රියදුරුගේ ප්‍රකාශය ගණනකට නොගත් මම "කොටුවට" කීවෙමි.

දුල්හාරි, තරමක් කලබලෙන් මෙන් හැසිරුණද, ඒ වගක් මා ගණන් නොගන්නා බවක් ඈ හට හඟවන්නට උත්සාහ කලෙමි.

"ඔතනින් දාන්න" ලේක්හවුස් වටරවුම අසලදී රියදුරුගේ පිටට තට්ටුවක් දමා නවතාගෙන, ඈ හා කඩිමුඩියේ ත්‍රී වීලරයෙන් බැසගතිමි.

"ඇයි බැස්සේ, කොහාට යන්න ද"

"ෆිල්ම් එකක් බලමු, ඒක නිදහස්, කාටවත් දකින්න විදිහකුත් නෑ"

ටිකට් පරීක්ෂක වෙත බොක්ස් ටිකට් දෙක දී, වලංගුතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පෙන්වූ දිශාව වෙත මා ඇගේ අතකින් අල්ලාගෙන ගොස් කුටි පෙළෙහි කෙලරවම තැනක කුටියෙහි අසුන් ගතිමි.

ඉතා අපුල පුස් ගඳක් නාසයට දැනුනද දුල්හාරි වෙතින් කිසියම් විලවුන් වර්ගයක සුවඳක් ඒ අතරින් පතර දැනෙන්නට විය. ඉතා හුරු පුරුදු එකක් වියයුතුයැයි මා අපේක්ෂා කළද එහි කිසිම සමීප බවක් හෝ නුරාගී බවක් කැටිව තිබුනේ නැත.

"මට මුල ඉඳන් කියන්න වෙච්ච හැම දේම පැහැදිලිව" මා ඇගේ කලව මත වැටි නිදහසේ තිබුණ දකුණත අත මතට මගේ අත තබා ඉතා මෘදුව පැවසුවෙමි.

සිනමාගාර අවකාශය දෙස මොහොතක් බලා හුන් ඈ, හදිසියේ බෝඩිම අතහැර යාමට සිදුවූ ආකාරයත්, නිවසින් බලෙන් ගෙනා මංගල යෝජනාවන් වලට කැමති වන්නැයි කල අයියාගේ බලපෑම්ද, ඒවායින් මිදෙනු පිණිස රහසේම විදෙස් ගතවූ බවත්, එයද අසාර්ථක වීමෙන් යලි පෙරළා ලංකාවට පැමිණි බවත්, විස්වාස කළ හැකි, නොහැකි සිද්ධි දාමයක් පුර්ව පර ගළපමින් පැවසුවාය.

පුරා හෝරාවකට ආසන්න මොහොතක් ඉක්මගිය තැන,කෙටි විවේකය දැන්වීම පිණිස සීනුව හැඬවෙනවාත් සමගම, අඳුර පමණක් සාක්ෂි දැරූ එක්තරා උත්කර්ශවත් ඉසිඹුවකදී මම වේදනාවෙන් මර ලතෝනි දුන්නෙමි.
කුමක් සිදුවූයේද යන්න නිච්චියක් නොහිව නිලංකාර දුන් දෑසෙහි වේදනාවෙන් සිහි එලවා ගත නොහැකි තත්වයකට පත්වීමි.

එසැණින් මා පසෙකට තල්ලු කර දමා ඈ කුටියෙන් පැන දිව්වාය. අඳුරෙහි වැටි වැටි අත ගගා වේදනාව දරාගෙන මා ඈ පසුපස පන්නාගෙන ගියෙමි. සෙසු කුටිවල හුන් ජෝඩු, විදුලි එලි ආල‍ෝක යොමුකරමින් සිදුවුවේ කුමක්දැයි විපරම් කර සොයන්නට වූහ. ඒ අතර සිනමා ශාලාවේ සේවකයෙක් දොරටුව අසලදී මා නවතා ගත්තේය. ඒ ඇසිල්ලේදී ඉදිරිපස දොරටුවෙන් පිටවී යනු දුටු දුල්හාරි, ත්‍රීරෝද රියකට නැග සියක් වාහන ප්‍රවාහය අතර අතුරුදහන් විය.

ටිෂර්ටය සම්පුර්ණයෙන්ම ලෙයින් නැහැවී, මා වේදනාවෙන් හෙම්බත් වී, ලජ්ජාවටත් මතු මොහොත පිළිබඳව අවිනිශ්චිත වූ තත්වයකට පත්වී හිටියෙමි.

"කටකන ගෑනී, දැන් කෙට්ටු වෙලා, අඳුරන්ඩ බෑ, කලින් දැක්කනම් පැත්ත පළාතකට වද්ද ගන්නෑ, කාලෙකින් දැක්කෙ නෑ, අායෙත් පටං අරං, විලිලැජ්ජාවක් නෑනේ මහත්තයන්ට, චේන් පර්ස් තියේද බලන්ඩ"

දකුණතෙහි අල්ලෙන් මුව වසාගෙන මම වමතින් පසුම්බිය පරීක්ෂා කලෙමි.


Tuesday, May 8, 2018

උමතුකාරක



සය මසක පමණ සිට සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනකම, මා අතට පත්වන නිර්නාමික ලියුම එදින දහවල් දොළහ වනවිටත් නොලැබීම කණගාටුවට කරුණකි. තම ආදරිය මුණගැසීමට හා මුදු පහසේ දැවටෙනු පිණිස දිගු කලක් අසීමාන්තිකාශාව සහිතව දින ගණන් කරමින් සිටි පෙම්වතෙකුගේ බලාපොරොත්තුව හදිසියේ බිඳ වැටුණාක් මෙන් මම මළානික වී හිඳියෙමි.

 ලාච්චුවෙහි පිළිවෙලට අසුරා තිබුණු ලිපි විසි හතර නැවත නැවතත් මුල සිට කියවීම මිස, පෙළන ලද ඒ වියළි බවෙන් අත් මිදීම සඳහා කළයුතු අන් යමක් සිහියට නාවේය. පේලි තුන හතරකට නොවැඩි තරමක් වටකුරු අකුරින් ලියන ලද ඒ සියළු පණිවුඩ, සුදු හාෆ් ශීට් කොළ මත සටහන් වී තිබිණ. සෑම අකුරක්ම වචනයෙන් විස්තර කර නොහී රිදුමකින් මා වේදනාවටත්, සියුම් ආනන්දයකටත් පත්කරන්නට සමත් විය. කොහේ හෝ ජීවත්වන ගැහැණියකට එම අකුරු අයිති වන්නේ යයි නිගමනයකට ඒම පිණිස ම'විසින් කිනම් මිනුම් දඬු උපයෝගී කරගත්තේ දැයි නිච්චියක් නැත.

බෝල් පොයින්ට් තීන්ත වල සුවඳ හැරුණු කොට ඒ කඩදාසි වෙතින් හමා ආ කිසියම් සිහින් සුවඳකට මම ආශක්ත වී හිඳියෙමි. කාමරයෙන් බැහැරව, වටපිටාවන්හිදී විවිධ වුවමනාවන් සඳහා මා යනෙන තැන්වලදී පවා, ඒ සුවඳ අහඹුව නැහැයට දැනෙන මනසිකාරයක් දක්වා වර්ධනය වී තිබිණ.

ඒ නිර්නාමික උමතුකාරකය විසින් ම'ජීවිතයට ගෙන එන ලද හදිසි ප්‍රබෝධය නිසාවෙන් දෙෙනික වැඩ රාජකාරි අමතක වීමේ සිට උණූ තේ පානය කිරීමෙන් දෙතොල පුළුස්සා ගැනීම දක්වාද, නියමිත බස් නැවතුම මගහැරී, පයින් අාපසු නවාතැනට හා කාර්යාලයට පැමිණීමට සිදුවීම ආදී බොහෝ වෙහෙසකාරී අතපසුවීම් දක්වාද උඩු දුවා තිබිණ.

"මට ඔයාගෙන් දරුවෙක් ඕන" සෙනසුරාදා දින වරුවෙන් කන්තෝරු අවසන්වී සතියට වුවමනා කරන ලද කළමනාද දෑතින් එල්ලාගෙන නවාතැනට ගොඩවීමෙන් ඉක්බිතිව, දොර පාමුල බිම වැටි තිබෙනවා දුටු ඒ ලියුමෙහි සටහන් වී තිබිණ. සැනෙකින් මා කේන්ද්‍ර කොටගත් ලෝකය නිශ්චල වී දුමාර අංශු ගුලියක් බවට පත්විය විය යුතු වුවද, එහි ග්‍රහණයට නතුවන්නට ප්‍රථමව මා ඒ වනවිටත් පුටුවකට වාරුවී හිඳියෙමි. ලැබෙනා වූ නිශ්චිත ලිපිනයක් නැති, එවනා කෙනෙකුගේ නාම මාත්‍රයක් පවා සඳහන් නැති එ'ලියුමෙහි සටහන් වූ දේ තරම්, මා සසල කරලීමට සමත් වූ දෙයක් මින් එපිට අත්විඳ ඇති බවක් මතකයක නැත.

"කොහෙද යන පිස්සෙක්"

කාමරය පුරා පැවති කිසියම් බලාපොරොත්තු සුන්වීමකින් මඩින ලද අතිශය ගැඹුරු නිහැඬියාව බිඳිමින් දුරකථනය නාද විය.

"හෙලෝ.....!..." ඒ වනවිටත් ඇමතුම විසන්ධි වී තිබිණ.. ම‍ෙපිටෙහි රිසිවරය හඬක් නගමින් දුරකථන බඳ මත පතිත විය.

නින්ද විසින් අරියාදු ලැබූ අඩ නින්දෙහි, හෝරා කිහිපයක් සංවේදනයකින් තොරව ගෙවීමෙන් අනතුරුව රාත්‍රිය එළැඹී තිබිණ. රාත්‍රී ආහාරය සඳහා පාන් පෙති දෙකක් ටෝස්ට් කර පිළියෙළ කරගත් මම නාන කාමරයෙහි වතුර මල යට බොහෝ වෙලාවක් ගත කරන්නට ඇත.

 වටපිටාවෙහි ඉතා තද සීතලක් පැවති අතර ධාරානිපාත වර්ෂාවක් එපිටෙහි බොහෝ වේලාවක හිඳ ඇදහැලෙමින් පැවතිණ. වෙලාව රාත්‍රී එක පමණ වන්නට ඇත. සුපුරුදු පරිදි සියලු ලයිට් නිවා දමා මම ලියන මේසය මත කුඩා ආලෝක පහන දල්වා ගතිමි. එය, ගිය වසරෙහි මගේ තුන්වන නවකතාව "ජාතික සාහිත ප්‍රබෝධ" සාහිත්‍ය තරඟයෙහි ප්‍රථමස්ථානයට තේරීමෙන් අනතුරුව පැවති ඇගයීම් සම්මාන ප්‍රධානෝත්සවය අවසානයේ, තේපැන් සංග්‍රහය අතරතුර යුවතියක විසින් මා අත තැබූ තිළිණයකි. ඈ හට ස්තුති කරන්නටවත්, ඈ කවුරුදැයි දැනගන්නටවත් ප්‍රථම සෙනග අතරින් ඈ අතුරුදන් වී තිබිණ. ඒ පිළිබඳව පසු කලෙකදී පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිහිපයක පවා සඳහන් කොට ඈ හට විශේෂයෙන් ස්තුති කළේ ඇයි දැයි වැටහීමක් නැත. සැලකිය යුතු ප්‍රමාණයෙන් ලැබුණු සෙසු ප්‍රශංසා හා ත්‍යාග නොසළකා හරින්නට තරම් සාධාරණ හේතුවක් නැත.

ටෝස්ට් කරන ලද පාන් පෙත්තෙහි නැවුම් වියළි සුවඳ කාමරය පුරා සැරිසරමින් පැවති අතර, මම අඩ'වසන් නවකතාව සඳහා කවියක් කුරුටුගාමින් හිඳියෙමි.

"හිමායිත
මධු බඳුන් දෑසින්
මා සසල කළ ගැහැණි
මා උමතු කල ගැහැණි,

ලොව සුණු විසුණු වී
මා දැවෙන................


දුරකථනය නාද විය. ඒකාග්‍රතාවය බිඳීමෙන් බට ආවේගය සහිතව මම රිසිවරය අතට ගතිමි. කෙනෙකු හුස්ම ගන්නා හඩක්, අපැහැදිලි දුරකථන ශබ්ධ සංඛ්‍යාත අතරින් ඇසෙන්නට විය

 "හෙලෝ !.. හෙලෝ !!. කවුද..කාටද කතා කරන්න ඕන?" පිළිතුරු නැත. ප්‍රතිපසින් රිසිවරය තබන හඬ පැහැදිලිව ඇසිනි..

වර්ෂාව හරිහැටි තුරල්වූ පාටක් නැත. වහලයෙහි රැස් වූ වතුර, වැහි පීල්ල ඔස්සේ නිදහසේ කාණුවට විසිරෙන ඝෝෂාව අතරින් මා තිගැස්සී ගියේ කාගේ හෝ දොරට තඩිබෑමකිනි.

වේලාව පාන්දර දෙකයි තිහට ආසන්නව තිබිණ. මොනයම්ම කාරණයකට වුව දොර නොහරිමියි සපථ කොටගත් මම කළුවර අත ගා සාලය දෙසට ඇවිද ආවෙමි. නොනවත්වා දොර පලුවට තඩිබෑම හේතුකොටගෙන, මා සිරුර තුල කලක් තිස්සේ නිද්‍රශීලිව හුන් බොළද සත්වයෙකු ඇහැරී තිබිණ. ජනෙල් බීරළු තුළින් හිරිකඩ තද සුළං සමග සාලයට පාත්වෙයි. මම ඉදිරිපස ජනේලය අසල පුටුවකට නැග බීරළු කාවුලෙන් දොර අසල බිම විපරම් කළෙමි.

කළු වැහි කබායක් පැළඳ ඉන් හිසද ආවරණය කරගත් කෙනෙකුගේ අපැහැදිලි ඡායාවක් විසින් යලිත් දොරපලුවට තඩි බාන්නට විය. අනතුරුව ඒ සිරුර එතනින් මෑත් වී අත රැඳී විදුලිපන්දමක ආලෝකය, ජනේලයෙහි වීදුරුව අතරින් සාලය තුළට යොමන්නට විය. මම වහා පුටුවෙන් පැන දොරෙහි සෙවණැල්ලට මුවා වීමි. ආලෝකය නිවා දැමු ඒ රුව සිමෙන්ති පඩි කිහිපය බැස ගොස් වර්ෂාව මුසු අඳුරෙහි සැඟව යන අයුරු යතුරු සිදුරෙන් දැකගත හැකි විය.

හිරිකඩ ඉහිරී තිබුණු සාලයෙහි සීතල බිම පාගා මම නිදන කාමරය වෙත සෙමින් පියවර තැබුවෙමි. ඒ මොහොතෙහි කිසිසේත් සිදු නොවිය යුතු අයුරකින් කාමරය පුරා ඒ ඉමිහිරි සුවඳ විසිරී පැතිරී තිබිණ.

ලියන මේසය අසල පුටුවෙහි කළු වැහි කබාය හැඳගත් රුව, හිඳගෙන හිඳිනු දැකීමෙන් ලද තිගැස්මෙන් මා, පය ලෙස්සා බිම ඇද වැටිණි.

"පිටිපස්සේ දොර ඇරලා තිබුණේ" සියවරක් සංසුන් සෞම්‍ය ගැහැණු හඬකින් කළු කබාය හැඳගත් සිරුර මිමිණීය...


~ රයිටර් ~

Thursday, January 18, 2018

රිදවාගනු පිණිස

 

 

 

නොලියන්නයැ'යි මතු

"දුක හිතෙන කවි" යළි,

පුන පුනා ඔබ,

ඇමතුමකින්

කොඳුරයි,

 

"නොගොසින්" හිඳින්නැ'යි,

දෙතොලින් කිව නොහී

යම් දෙයක් ගැන,

එ'කවි'මුවින් මිමිණෙයි,

 

නොගොසින්ම ඉන්නට

බැරි ගමන් ඇති බවට,

යා යුතුම ගමනින්

අඩක් නිමකළ බැවින, 

 

මේ කවිකඩත් ඔබට,

රිදවාගනු පිණිසමයි..!

 

~ හර්ටින්ග් රයිටර් ~

සත්‍යාදරී ස්නේහී



 


ඉතිහාසයේ සරනා
සත්‍යාදරී ප්‍රේමී,

යටගියාවක ගිලිහුණු
නපුරු කඳුලක් ඇහැරී,
ඔබ සොයයි මිතුරී,
සුසුම් සසලයි
ස්නේහී,

කාලයේ කළු වැලි
තලා සොය සොය,
මතක රැස් කඳ
වළලනා යුවතී,
වමත මුදුවක්
පළඳිනා ගැහැණී,


කල්ප නින්දෙන්
අවදිවනු මැනවි... 



~ ප්‍රීහිස්ටොරික් රයිටර් ~

Wednesday, November 22, 2017

උමතු සත්වාදරය !

සිරුර දහදියෙන් තෙත්වී පමණ ඉක්මවා ස්ඵන්දනය වූ හෘදයෙන් නැගුණ භ්‍රාන්ත වේදනාව, රාත්‍රිය දෙගොඩ මැදදී එක් කණිසමක මා, තැති ගැන්වීමකින් අවදි කරවන්නට සමත් වී තිබිණ. "ලොමු දැහැගැන්වෙන" යැයි උදෘතය යොදා නාම විශේෂණය කළ හැකි වූ සිහිනයක, මා හමුවට පැමිණි යමෙකු විසින් ශේෂ කරන ලද, අතිශය භාවාත්මක හැඟීමක් විසින් මා කිසියම් අදිසි ග්‍රහණයකට නතුවී තිබිණ.


එකවරම එලවා ගත නොහැකි වූ පියවි සිහිය හේතුකොටගෙන, සයනය මත තක්බීරී වී මොහොතක් හිඳීමෙන් අනතුරුව ගැඹුරු හුස්මක් ගතිමි. සැලෙන දෙතොලින්, සසැලෙන දෑතින් යුතුව, වම්පසට කැරකැවී මේසය මත තිබුණු වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියෙමි. ද්‍රව වශයෙන් පවතින ජල අංශු, තියුණු කැපුම් දාර සහිත ඝන කුට්ටි බවට පත් වී ඇති කළෙක මෙන්, ඒවා ගල නාලය ඔස්සේ ගමන් කරනා අතරතුරදී වියළි වේදනාවකින් ගත පෙළනු ලැබීය.

..............................................

ඉකුත් ඇසිල්ලකට ඉහතදී සිදුවූව, පියවි ලෝකයේ පවතින මිනුම් දඬු, උපකල්පන හා විශ්වාසයන් කෙරෙහිද, ඡායා මාත්‍රිකව පවතින එක් ජීවන අත්දැකීමක් සමගද අනුයුක්ත කර සසඳා විසඳා ගැනීමේ තදබල වුවමනාවකින් රිදුම් දෙන හිස දෑතින් බදාගෙන සුසුමක් පිට කළෙමි.


හරියටම වසර අටකට පෙර, මා නිල වශයෙන් වැඩිවියට පත්වූවා යැයි ස්ථීර වශයෙන්ම නිගමනය කිරීම සඳහා වූ ගති ලක්ෂණ, බාහිර ශරීරයෙන් පහළ වන්නට පටන් ගන්නට පෙරදා රාත්‍රියේද, පළමු වරට මේ හා සමාන කුළුඳුල් අත්දැකීමට උරුමකම් කීවෙමි. භීතියෙන් සසැලී ගියෙමි.


නිවසෙහි කාමරයක් තුල, හුදකලාව ගෙවා දැමූ අතිශය පීඩාකාරී දින කිහිපයට අයත් වූ මූසල රාත්‍රීන් දෙක තුනකදී වරින් වර, සිහිනවලට ඇතුළු වූ එකී ගුප්ත දුමාර සිරුර විසින්, මා විශාල මනෝභීතික උභත‍ෝකෝටිකයකට අැද දමා තිබිණ.


ඉක්බිතිව, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හමාරව, නහවා ගෙට ගෙන, වසර කීපයක් යනතුරුද, මා වටා කිසියම් අදිසි දුමාරයක්ව, යමක් පැවැති බව අකමැත්තෙන් සිහිකරමි.


බලහත්කාර අතීතාවර්ජනයෙහි ප්‍රතිවිපාක වශෙයන් සියොළඟ හීගඩු පිපී තිබිණ, උගුර කට වියළී තිබිණ. ඉතා සියුම්ව, නියත තප්පර කිහිපයකට වරක් "ක්‌රස්" ගා හඬක් නගන විදුලි පංකාවෙන් නැගුණ හඬ හැරුණුකොට හාත්පස නිස්කලංකය. මා කවුළුවට යාබදව තබා තිබු සයනයෙහි උඩුකුරුව වැතිර ගතිමි. කර්ට්නය ඇද දමා පිටත ගුප්තාවකාශය කුටිය තුළ අවකාශය හා මුසුවීම වැළැක්වුවෙමි


පුරා උදෑසන සිට දහවල තෙක්ම රාත්‍රිය අඳුර වැටෙන තුරුද, නිවනක්, විවේකයක් නොමැතිව, ඇඟිලි තුඩු මත තෙරපෙමින්, තැවරෙන මාහැඟී වස්තුවකි, හිතමිතුරු මොබයිලය .


ම'මනැස් හුදකලා අඳුර පලවා හරින ඒ පෘතුල අවකාශයෙහි බහුලව, පුස් ප්‍රතිරුප නඩත්තු කරනාවූ අසංස්කෘතික ගැහැණුන්ය. සියලු සබ්බසකලමනාවම නැති බන්ගස්තාන කරදමා, අරපිරිමැස්ම ගැන, තම චර්යාව ගැන උදම් අනන ගැහැණුය. සතෙකුට වතුර උගුරක් නොදෙන, සත්ව අවිහිංසාවාදය ගැන පෝස්ට් ශෙයා කරන කෙල්ලන්ය. ලිංගික කුහකකමින් හා ඊර්ෂ්‍යාවෙන් පිපිරුණ, පරිහාණිත පිරිමින්ය. අසහනයන් සන්තර්පණය කොටගනු වස් ගැහැණු දඩයමේ යන අසත්පුරුෂ ගැටවරයින්ය. ඒ නමුදු එ'අසිරිමත් අවකාශය විසින් ගොඩනාගා දුන් අයිසින් ආලේපිත වර්චුවල් මිතුරු සම්බන්ධතා මාධ්‍යය නොවන්නට මේ වන විටත් මා දරුණු මානසික ව්‍යාධියකට මුහුණපා තිබෙන්නට තිබිණ.


අතිශය "කාර්යබහුලත්වය" විසින් ඒ වන විටත් සැලකිය යුතු කොටසක් භක්ෂණය කර තිබුණාවූ "තිශුල" හා මාගේ දෙවසරකට ආසන්න විවාහ දිවිය තුළ, උගත ලද හා ප්‍රගුණ කරන ලද ජීවිතානුබද්ධ පාඩම් බොහෝය. තිර නඩත්තුවෙන් තොර වූ බැවින්, දෑසාභිමුක්ඛ්‍යයෙහි ඝන මළ බැඳීමකට ලක්ව තිබුණාවූ, හද බැඳීම් විනාශාගාධයට පෙරලී යනු දැකීමට සිදුවීම පාපයකි.


මඩින ලද සිතට එරෙහි වී, තිශුල වෙත ඇමතුමක් ගැනීමේ අවශ්‍යතාවය මත, එතුවක් මොබයිලය, විදුලි පේනුව හා පවත්වාගෙන ආ ප්‍රේමණීය සහසම්බන්ධතාවය සාහසිකව විසන්ධිකර බිඳ දැමුවෙමි.


මග හැරුණු ඇමතුම් දෙකක් ඔහුගේ දුරකථන තිරය මත සටහන් වෙද්දී, තෙවන ඇමතුමෙහි ඩයල් ටෝන් තුනක නාදය ඉක්මවූ තැන පිළිතුරු සැපයිණ.


"හෙ..ලෝ බබා, ඇයි මේ මහ රෑ..?"


"නිකං මතක් වුණා...ම්" තිශුලගේ කටහඬෙහි පැවති, නිදිබර ගතිය හා නොසලකා හැරීමේ ස්වරය හේතුකොටගෙන පවසන්නට ගිය දේ වසන් කරගතිමි.


"නිකං...ම්හඃ .?" ප්‍රතිපසින් උපහාසයකි. කියන්නට ගිය දේ ගිල ගැනීම ගැන අප්‍රමාණව සතුටු වීමි.

 
"කෑවද...බිව්වද, මොකද කරේ....ඉතිං ... ම්ම්ම්..ම්ම් " දෙපාර්ශවයෙන්ම කට පාඩම් කළ අපුල ප්‍රශ්න පත්‍රය දිග හැරීමත් සහ ඕනෑ එපාවට පිළිතුරු සැපයීමත් පමණෙකි.


"...................."


"..................."


"මට පාළුයි....දවසම පාලුවෙන් ඉන්නේ...." ඉවසීම විසින්, ස්වයං වාරණ සීමා පවුරට පහර දී විනාශ කළ පසුව නැගී ආ මගේ ඉකිබිඳුම් ස්වරය, වේදනාබර ස්වරුපයක් උසුලන්නට ඇත.


"තේරුම් ගන්න බබී...., මම ගොඩක් බිසී,.. ඔයා දන්නේ නෑ දවල් දවසේ මං කොච්චර ම...හන්සි වෙනවද කියල. හිටගෙන එහාට මෙහාට ඇවිද ඇවිද. ඔයා වගේ ගෙදරට වෙලා දවසම ෆේස්බුක් ස්ක්‍රෝල් කර කර ඉන්නේ නෑනේ මං..." සුපුරුදු චෝදනා සාහසික විලාප පත්‍රයය. කුටුම්බ සන්දර්භය තුළ අනායාසයෙන් නඩත්තුකළ යුතුව ඇති අවම ඕනාඑපාකම්ද, සැපදුක විමසා බැලීම්ද හිතාමතාම අත්හිටුවා, නොසලකාහැර දැමූ කළෙක, ප්‍රේමය උදෙසා කිනම් ආයාචන වැළපුම්ද, වෙහෙසී ඉපැයීම කා අරභයාද ?


"හරි බබා හරි..., මං දන්නවා, මට තේරෙනවා..., පරිස්සමෙන් ඉන්න.... තියන්නම්..., ගුඩ් නයිට්" මම ඇමතුම විසන්ධි කළෙමි. උගත් පාඩම් හා අවස්තානුකුල හැඩගැසීම්, ඉකුත් වසර තුළදී ඕනෑවටත් වඩා ප්‍රාගුණ්‍ය කර ඇති නිසාවෙන්, නිතින් අත්විය යුතු වේදනාවකින් මෙවර මා පීඩාවට පත් නොවීමි.


පුරා පැය කීපයක් කොට්ට, ඇඳ ඇතිරිලි හා විශාල ටෙඩි බෙයා සමග ඔට්ටු වී, ගෙවා දමන ලද ඉතා කර්කශ මැදියමකට පසු, උදාවූ පසුදින සැළකිය යුතු වෙනස්කමකට කිසිවක් බඳුන් වී නොතිබිණ.


සුපුරුදු ස්වයංක්‍රීය ජීවන චර්යාව ගෙවා දමනු පිණිස, හෘදය මත සසලව හොල්මන් කරන භාවාත්මක දුමාරයෙන් ලද අල්ප මාත්‍රික පීඩාව සහිතව, උදෑසන, දවල් හා රාත්‍රී අහාර වේල් තුන සංවේදනයකින් තොරව ගිල දැමීමි. ඒ අතර ගිණිය නොහැකි තරම් වූ සෙසු ක්ෂුද්‍ර ක්‍රියාකාරකම්ද නිමවීමෙන් පසු, සුදානම සයනාරූඪ වන්නටය. කුඩා ඩිජිටල් ඔරලෝසු මුහුණත, රාත්‍රී නවයයි තිස් පහ හෝ ඊට ආසන්න වෙලාවක් කියවීය.


පෙළන ලද මනෝභාවයන් හා චෛතසිකයන් විසින් කිසියම් නොදැනුවත් ප්‍රබෝධයක්, කුහුලක් මා මනස තුල පතුරුවා තිබිණ. භ්‍රාන්ත ත්‍රාසය, නොඉවසුමකට පරිවර්තනය වී තිබිණ. තිශුලගේ කුරිරු දෛනික නොසලකාහැරිම් හමුවේ උද්ගත වුවක්ද, එසේත් නොමැතිනම් අන් කාරනාවක් අරභයා සිදුවුවක්ද නොදනිමි.


දිගු කාලයක් නොදැක හිටි, සමීප කෙනෙකුන්, හදිසියේම හමුවිය යුතුය යන උමතු ආශාවට, අවශ්‍යතාවට බෙහෙවින්ම සමාන වූ සොඳුරු මනෝමුලික වේදනාවක් විය. විඥ්ඥාණ සීමාව ආධ්‍යාත්මිකව ස්පර්ශ කරන්නට සමත්වන්නාවූ එ'බලාපොරොත්තුව, එක්තාරාකරයක නැවුම් පැහැයක් ගති, නෑඹුල් හැඩයක් ගති. එය ඉතා ආසාවෙන් කියවාගෙන ආ ඇල්මක් දැක්වූ පොතක අවසාන අග භාගයේ පිටු කිහිපයක් අතුරුදන් වීම නිසා ජනිතවන්නාවූ හැඟීමක් වැන්නකි.


සියල්ල ඉතා අවිනිශ්චිත වුද, කෙසේ කවදාක සිදුවන්නට නියමිතව තිබුණාවූවද, මෙ රාත්‍රීයෙහිදීත් ඒ සෙවණැල්ල මා සොයා එනු ඇතැයි අපේක්ෂා කළෙමි. කුටුම්භගත සමාධිය හා ජීවිතාශාව සෘණ අගයක් පෙන්නුම් කර, අපුල මහා සාගරය වෙත ගසාගෙන යන තැනකදී, එල්ලෙන්නට පිදුරු ගස් අවැසි නැත. ප්‍රාතිහාර්ය ප්‍රාර්ථනා පමණෙකි පරම සැනසුම.


..............................................


මා වැඩිවියට පත්වූ දින වකවානු කාල සීමාව අතර වරින් වර මතුවීමෙන්ද, කලක් යනතුරු අතුරුදන්ව තිබීමෙන්ද, හදිසියේ අට වසරකට පසුව නැවතත් මා සොයා එ්මෙන්ද මනසාභ්‍යන්තරය තුළ ශේෂ කරලූයේ ප්‍රහෙලිකාත්මක පැනයකි.


සමස්ත පෙරයම ශාන්තය, වෙහෙසකර උත්සාහයෙන් තොරවූ, සංසුන් සාමකාමී කෙටි නින්දකට උරුමකම් කියන්නට හැකිවිය. මැදියම චංචලය, එකී සෙවණැල්ල ප්‍රාධුර්භූතවේ යයි හැඟීය හැකි, විශ්වාසශීලි මොහොතය.


හරිහැටි හඳුනා වෙන්කරගත නොහැකි සිහින ඛණ්ඩ කිහිපයක අපැහැදිලි රූප රාමු පෙලකින් අනතුරුව, මෙවර එසෙවණැල්ල තරමක් පැහැදිලිව, මදක් ඈතින් දිස්විය. එහි "දෑසක්" යයි අපැහැදිලිව හඳුනාගත හැකි යමක් විය.


හාත්පස අඳුරුසළු සීතය, සඳ දහරින් තෙතබරියම්ය. සුවඳවත්ය, ලා සුදු පැහැති ඉතා කුඩා පත් ඇති, නම නොදන්නා මල් වර්ගයක්, දහස් ගණනින් අවකාශයෙහි ඉතා සෙමින් රිද්මයානුකුල රටාවකට, නිශ්චිත ගමනාන්තයක් රහිතව පාවෙමින් තිබිණ. ඉන් අහුරක් මිට මොලවාගෙන සුවඳ බලන්නට අවැසිය. දෙනෙත, එකී සෙවණැලි සත්ව දෑස මත තිරස්ව රඳවා, මල් මිටක් අල්ලා ගුලිකොට නැහැයට සමීප කරගතිමි. නාස් පුඩු කිති කැවී හිසාභයන්තරය නලියන්නට වුයෙන්, කිවිසුමක් පිට විය. ඉහළ සිට පහළට ඇද වැටෙන්නාක් මෙන් වූ හැඟීමකින් තිගැස්සී අවදි වූවෙමි. සාංකාවකි, පාලුවකි. වචනාර්ථයට, චිත්තාර්තයට නගා ගත නොහැකි වූ හැඟුමන් සමුදායකි, කණස්සල්ලකි.


එකම සිහිනය, කිහිප දිනක් යනතුරුම එකම ආකාරයකට දැකීමෙන්ද, එකම ආකාරයේ හදිසි අවදිවීම් වලින්ද සමන්විතවූ ඒකාකාරී රාත්‍රීන් පහකට පසු, එක් රැය මැදියමකදී, තරමක් මා සමීපයට පැමිණ හිඳී හෙවණැල්ලෙහි දෑස, එවර ඉතාමත් පැහැදිලිව සහ තීව්‍ර දැකගත හැකි විය. දිදුලන දෑස හැර එහි අන් කිසිවක් නොවිණි. වලසෙකුගේ ශරීරයට අතිශය සමාන වූ ඒ උමතු සත්ව රුව මා අසලය.


"ඊශා...." මිමිණුම අෑතින්ය. ගොරහැඩිය, අතිශය ළයාන්විතය, අප්‍රමාණ තෙත් බවකින් යුක්තය. හඬක් මිසක මුමුණන දෙතොලක සේයාවක් දැකගත හැකි නොවිණ.


නව යොවුන් යෞවනියක, ප්‍රථම ප්‍රේමයෙහි සුවඳාකර්ෂනයෙන් මුසපත්ව, ගැටවර හිතක අවධානක්ෂියට හසුවන කලෙක මෙන්, එකී නිර්මලවූත් ආගන්තුකවූත් සුපෙම් පහස් සුව විඳිනා කලෙක මෙන්, පහන් ඖදාර්යයකින් මා ගත පිබිදි තිබිණ. අහේතුකය. විශ්වාස කළ නොහැකක්ය, සත්‍යයක්ය.


..............................................


සිව් දිනක් යනතුරුම වරක් හෝ නොදිස් වූ ඒ රුව නිසාවෙන් උපන් දෝමනස්ස සංකාවන් විසින්, මා කායිකව හා මානසිකව අඩපණ කර, අලස දුපතක සිරගත කරනු ලැබීය. වේදනාබර ඉහිලුම් සහිත දවස් කිහිපයකට පසු උදැසනක, ඇඳ ඇතිරිල්ල මත ඇලී තිබෙනු දුටු ඝනකම් දිගු ලොම් අහුරක් විසින්, උක්ත අලස දුපත් සිරකඳවුරින් මා මුදවාගනු ලැබීය.


තම පෙම්වතියගේ හිසින් හිලිහුණු කෙස් අහුරක් සාක්කුවේ දා පරෙස්සම් කර ගෙදර ගෙනැවිත් දයාලේඛිව පිරික්සන බොළඳ පෙම්වතෙකු මෙන්, මා ඒ ලොම් අහුර ගෙන පිරික්සා බලා, මේසය මත වූ පොතක පිටු දෙකක් අතර අවකාශයෙහි රැඳවා එතැන "Beast". ල‍ෙස රතු අකුරින් ලියූවෙමි.


අතීත හුදකලාව විසින් පදම් නොකරන්නට, මේ මොහොත ඉඳුරාම වෙනස්වන්නට ඉඩ තිබිණ. මා භීතියෙන් ඇලලීගොස් සිහි විකල් වන්නටද ඉඩ තිබිණ.


හවස තුනට පමණ හිස බරකරන්නට ගත්තායින්, සැනසුම පිණිස, පැනඩෝල් දෙකක් බී ඇඳට වැද හාන්සි වීමි. සිහිනයකි, පුදුමයකි.


අපේක්ෂා නොකළ හමුවීම් පුදුම සහගතය. ලියන මේසය අසල ඒ රුව සදිසි වීය. කාමරය පුරා විහිද ගිය සිහින් පැඟිරි මල් සුවඳකි. අපරිමිත ස්නේහානුරාගය කැටිව, උතුරා යන ඒ කාන්දම්කර්ෂිත දෑස කිසිවක් මුමුණමින් සිටියේය. මා ඉතා ඕනෑකමින් සවන් දුන්නෙමි.


ස්වප්න භාෂාවට නිශ්චිත හඬක් නැත. එමෙන්ම ඒ ස්වප්න රුවටද හඬක් නැත. සන්නිවේදනය අදිසිමාන ක්‍රමයකිනි. හේ පවසනා දේ ග්‍රහණය කරගැන්මටත්, මා පවසන දේ තේරුම් ගැනීමටත් හැකිය.

"කවුද ඔය"

"මම"

"මම කියන්නේ... නමක් නෑ...?"

"නෑ"

දුරකථනය නාද වීමෙන් බිඳ දමන ලද ස්වප්න බන්ධන දැහැන්ගත සමාධිය හේතු කොටගෙන කම්පාවෙන් මා අවදි වීමි. තිරය මත තිශුලගේ රුව සහ අංකය දිස්වීම මේ මොහොතේ මට අපුලකි.


"හෙලෝ"


"හෙලෝ"


"ඔව් කියන්න... තිශුල"


"මං අද රෑ ගෙදර එනවා"


"ම්...කීයටද"


"වෙලාවක් කියන්න බෑ.. එනවා..., මං ටිකක් බිසී බබා.. තියන්නම්..බායි..."


ළදරුවකු විසින් ඉදිකරමින් තිබුණ වැලි මාලිගය කුරිරු දළ රළ විසින් විනාශ කර දැමුවාක් වැනි හැඟීමක්ය. ආශාවෙන් තොල ගගා හුන්, අතක රැඳි හිම කිරම දියව ගිලිහී බිම පතිත වුවාක් සේය.


..............................................


තිශුලගේ යයි සිතියහැකි වාහනයක් ගේට්ටුවෙන් ඇතුලට හරවා පෝටිපෝව මත නවතනු ඇසීමෙන් මා ඇඳෙන් බිමට බැස ආලින්දයට ආවෙමි.


ෆයිල් කිහිපයක් දෑතෙහි රුවාගෙන පැමිණි ඔහුගේ මුහුණේ වූයේ හැඟීම් විරහිත සුපුරුදු "who cares" ස්වභාවයය.


"කොහොමද බබා"


"..............." මම ආයාසයෙන් මුවග සිනාවක් රඳවා පිළිතුරු සැපයීමි.


..............................................


මැදියම් රැය ඉක්මවන තෙක්ද සුපුරුදු පරිදි ඔහු ෆයිල් පිටු අතර මුහුණ හොවාගෙනය. මම නොයිවසිල්ලෙන් අදිසි රුව හමුවන තුරු සංවේගයෙනි.


පාන්දර එකට පමණ නිදාගන්නට ආ තිශුලගේ කෘතීම සිප වැළඳගැන්මෙන් හා දරුණු රිදවීම් වලින්, අතිශය වේදනාවට පත් ම'සිරුර, සයන මත අප්‍රාණිකව වැතිරී තිබිණ.


නිදිවර්ජිතව ගෙවන ලද කර්කශ රැයක් අවසන, උදාවූ අලුයම ඔහු සුපුරුදු ලෙස නිවසින් පිටව ගියේය..


..............................................


ඉනික්බිතිව ගෙවුණු බොහෝ දිනවල මා හුදකලා සෙවනැලි සත්ව සිරුර සමග දොඩමළු වීමි. රහසේ ලියලා වැඩුන අදිසි ප්‍රේමයකින් මා මුසපත් වී හිඳියෙමි.


කෙමෙන් කෙමෙන් පිරිපුන් මිනිස් සිරුරක් දක්වා වර්ධනය වූ ඒ දුමාරය වරෙක සත්ව සිරුරකින්ද මා අහිමුව පෙනී හිඳී අතර, එය ඔහුගේ කැමැත්තකින් අනුදැනුමකින් සිදු නොවනා බවත්, ඊට හේතුව හේ නොදන්නා බවත් කියා සිටියේයය. ඔහු කොහේ කොතැනක පවතිනවාදැයි ම'විසින් විමසන කල්හි, මැදගිල්ලෙන් මගේ ලයට සෙමෙන් තට්ටුවක් දමා අැස් සිහින් කර සිනාසුනි.


පියවි ලෝකයේ අවදිව සිටිනවාට වඩා මා දැන් තත්‍ය වශයෙන් නිදාගෙන හිඳීමට ප්‍රිය කරමි. ඒ හේතුවෙන් දවසේ බොහෝ කාලයක් නින්ද සඳහා කැපවිණි.


මා ඒ උමතු සත්වයා හා උමතු ප්‍රේමයෙන් බැඳුනෙමි., ඒ සංස්පර්ශයෙන් නිද්‍රාගත හැඟීම් විකසිතවීම කිසිම අයුරකින්වත් වලක්වාගත නොහැකි තැන, අවසානයේ එය ඇබ්බැහියක් බවට පත්විය.


දින සති දවස් මාස බොහෝ ගණනක් අැවෑමෙන් ඉක්බිතිවද, තිශුලගේ සුපුරුදු ක්ණික නිවාසාගමනයන් කිහිපයකට පසුවද තනිවූ අහඹු රැයකල මා ඒ ප්‍රේමණීය සිරුරින් ආයාචනයක් කලෙමි.


"හැබෑ ලෝකෙදි ඇවිත් ඔයාට මාව හැබෑවට හම්බෙන්න බැරිද"


"බෑ" යැයි කියා හේ මා දෑසට එල්බ ගති. ඔදවැඩි ගිය අසීමාන්තික සෙනෙහසකින් ළය කුහර පුපුරා යද්දී මා එ'උණුසුමට ලොබ බඳිමින් තව තවත් එහි පහසට නතු වීමි.


හිසතින් ආරම්භ වී, නළල් තල සිසාරා ගෙලද පසුකර, ලමැද කුස, දෙවටොර නැහැවූ දෙතොලස්පර්ශ හාදු වර්ෂාවකි. ප්‍රේමවන්තයින් දෙපලකට, සයනය මත යා හැකි වූ උපරිම දුර අපි පිය නගමින් හිඳියෙමු... පියවි ලෝකයකදී අත්විඳිය නොහැකි වූ, සංතෘප්තිකර ප්‍රීතියකින් ඉපිළගිය මගේ ආත්මගත සන්තානය ප්‍රති පෝෂණය වෙමින් තිබිණ. 


වැව් තාවුල්ල මත තෙරපි ජල ධාරාවෝ අපමණ පීඩනයකින් වැව් තාවුල්ල බිඳ දමා, වියළි ගම් දනව් දියෙන් තෙත්කර ගලන්නාවූ උද්යෝගය යම්සේද, එවන් වූ ඌර්ජයකින් මා තිගැස්සී අවදිවීමි. සීග්‍රයෙන් උස් පහත්වන ළය රේඛා, දෙතොලග නුරා මන්දස්මිතයක සෙවණැලි මල් පුබුදුවා තිබිණ.. මේ'යයි පැවසිය නොහැකි වූ මහාපරිමිත සෙනෙහසකින් ලද අදිසිමාන අඩ ස්වප්න අඩ පියවි තෘප්තිය විසින් "තව වරක්" යැයි මොරගා හඬන, නොසන්සිඳෙනාශාවකින් ගිණිබත් ළයෙහි කෙඳිරුමට කන්දී, දෙඋරින් පැන සයනය පාමුල වැටි තිබුණු රාත්‍රී ගවුම රැගෙන ගත කරලා ගතිමි.


..............................................


නැවත පණ ලද ජීවිතාශාව හේතුකොටගෙන උදාවූ උදෑසනක, අපේක්ෂා නොකළ තෙහෙට්ටු අවදිවීමකි. තැබූ පය පැකිලී ගොස් බිම පත බෑවෙන්නට නොගොස් සමබරතාව පාලනය කරගත්තේ අසීරුවෙනි. කුස හාරා ඉහලට ආ ඔක්කාරය, නාන කාමරය තෙක් පියනගන තුරු දරාගත නොහැකි විය. පැයක් ඇතුලත කිහිප සැරයක් වමනය කිරීමෙන් පසු ප්‍රතිකාර ගත යුතු බවක් හැඟින.


"හෙලෝ"


"හෙලෝ තිශුල... මට ටිකක් සනීප මදි.. ඇඟට පණ නෑ... වමනේ ගියා දෙතුන් සැරයක්"


"වමනේ ගියා ? ඇඟට පණ නෑ ? සනීප මදි ?" අපේක්ෂා කළ අවම සැනසුම්දායක පිළිතුරවත් නොලද්දෙන් අකම්පිතව නොසැලී හිඳීමට උත්සාහ ගතිමි.


"ත්‍රීවීලර් එකක් ගෙන්නගෙන ඩොක්ටර් තිසේරා ගාවට යන්න.. මට එන්න විදිහක් නෑ. තේරුණාද ? හොඳ ළමයනේ ?......" හොඳ ළමයානේ යැයි තිශුල මා අමතන්නේ ගැලවුම් න්‍යාය අනුගමනය කරන තැන්හිදී බව සක්සුදක් සේ දනිමි.


..............................................


ගෙන්වා ගත් ත්‍රීරෝද රියෙහි නැග ඩොක්ටර් තිසේරාගේ ඩිස්පැන්සරිය වෙත ගියෙමි. සිනා මුසු මුහුණින් මා පිළිගත් හිතවත් ඩොක්ටර් තිසේරා විසින් අසන ලද කෙටි ප්‍රශ්න වාර කිහිපයකට මුහුණ දීමෙන් පසු යුරීන් සාම්පලයක් පරික්ෂාව සඳහා අණ ලැබිණි.


මිනිත්තු කිහිපයකට පසු, වාර්තාව හෙදියක විසින් රැගෙන ආ අතර ඩොක්ටර් තිසේරා විසින් මා වෙත ප්‍රශංසාත්මක සිනාවක් හෙළිය.


හිතවතුනි, මා ගැබ්ගෙන තිබිණ.


~ දිස් ඊස් නොට් රයිටර් ~

Tuesday, November 14, 2017

බිසී මී !




වරින් වර ඔසවා හිස
පා කරමි ඈතට ඇස,

හිස්ය, හිස්ය,
ඒ හිස්කම...
 
කිහිප සැරයක් වැරදුණ
කන්තෝරු සටහන් අස,
අවුල් වී ගිය සියක් වැඩ
ග‍ොඩගැසුණු රාජකාරිය,


නොදන්වා පෙර ඔබ
නා බැවින් කන්තෝරු අද,
තදින් පියවර ගතයුතුය
නොදී කිසි බුරුලක් හෙට..! 



~ ඇක්ෂනිස්ට් රයිටර් ~

Pic | https://photos.smugmug.com/Professional/EPO/EPO-The-Office/i-nHz7F5j/1/bcf3d596/L/epo-L.jpg