Wednesday, July 19, 2017

තවම සුදානම් නැත



යෞවනියනි, මම,
තවම සුදානම් නැත
"
ප්‍රේමයකට..."

එහෙයින්
අනතුරු හඟවමි,
ඔබ සක්මනෙහි
යෙදෙනා වූ,
මෙ'ඇතුළු හද
පර්යන්තයෙහි,
තවම නොනිවී
දැල්වෙන,
'ගිණී දළු රැස්
ඉතා බිහිසුණුය...

ළං වෙන වරක් පාසා,
ඔබට වේදනාවන්
උරුම විය හැකිය..!

ඉතිහාසයෙන්
දායාද ලද,
ඒ මහා දුක්
ගොහොරෙහි,
කර වටක් ඔබ
ගීලී යා හැකිය..

ප්‍රේමියෙනි, මම
එනයින්,
පුන පුනා පවසමි,
තවම සුදානම්
නොවන වග,
'සිත "ප්‍රේමයකට..."

~ නොට් ප්‍රිපෙයාර්ඩ් රයිටර් ~

Tuesday, July 18, 2017

වහා නවතනු !





යුවතියනි ආගන්තුක,

වහා වහා නවතනු !
ඈ මෙන් හිනැහීම,
ඈ මෙන් ඇමතීම,
ඈ මෙන් හැසිරීම..!

බලහත්කාරයෙන්
හදෙහි,
ලැගුම් හිමිකම්
අයැදීම...!

~ වොර්නින්ග් රයිටර් ~

Monday, July 17, 2017

විශ්වයෙහි ඔබගේ "පැවතීම"



මහ රෑ දෙගොඩ මැද,
මනසාලින්දයට
සපැමිණ,
රහසින් රඟයි ඔබ
නුරා නූපුර
රැඟුම් රංගන,

පසුදා රැය පහන්වී,
බොහෝ දවසක්
ඉක්මුනද,
දෑසින් මකාලිය
නොහැක්කකි,
ප්‍රිය ඔබේ රුව,

විශ්වයෙහි
ඔබගේ "පැවතීම",
රහසිගත රහසක්ව,
ලොවෙන් සඟවාලීමට
සිදුවීම,
අතිශය වෙහෙසකර
කටයුත්තක්ය,
දැන් දැන් මට,

~ ටයර්ඩ් රයිටර් ~

Sunday, July 16, 2017

මතක නුවර




මා නොදන්නා
පපුවකට තුරුළුව,
හාදු වරුසාවකට
තෙමි තෙමි,
නම නොදන්නා
නුවරක,

ඔබ යෙහෙන්
සතුටින් ඇති,
මෙ'මතක නුවරින්
නික්ම යා ගත
නොහැකිව,
ඔබ තදින්
අල්වාගෙන
හිඳී තැනක,
විහින් සිරගතවය
මම,

මධාරාවනි පරසතු,
ඔබ එදා ඒ කී පරිදිම,
පිපුණ කුසුමක සුවඳට
ගතු හිමිකම් කියන්නට,
වැදූ බිම් කඩකට
කිසිසෙත් අයිතියක් නැත.

~ හොස්ටේජ්ඩ් රයිටර් ~

Saturday, July 15, 2017

යහපත්ය කාලය




ප්‍රේමියෙනි..!

යහපත්ය කාලය,
පෙම් ගීතිකා
සුගායනයට...

ස්වයංවාරණ
අසපුවෙන් බැස,
විලෝ තුරුපත්
හෙවණ යට,
උණුසුම් ප්‍රේම
ආලිංගනයට,

සියළු ශෝකාලාප
ඉතිහාසයට පවරා,
සුළං රැල්ළකට
ගොඩවී,
සුපෙම් තොටුපල අස
වහා මා හමුවන්න...!

~ ඕවර්ෆ්ලොවින්ග් රයිටර් ~