Friday, September 22, 2017

මම, සිදුහත් !



ගෙවා පසුකර මග
හඹා ආයෙන්,
සංසාර දුර
කල්ප ලක්ෂ්‍යයක්, 

ඇසතු ඇස් පාමුල
වැතිරගෙන,
වඩවමිනි වීරිය
ප්‍රේමධ්‍යානයක්,


දුෂ්ක්‍රක්‍රියා කොට
ඉක්මී ගියාවද,
බෝ සේ දිගු
කාලයක්,


ඔබෙ රුදු නපුරු
පිළිවෙත අස,
බුදු බව නොලදිමිය
මම, සිදුහත් !


~ ෆේල්ඩ් රයිටර් ~

Wednesday, September 20, 2017

S + M


දත් මිටි කාගෙන හිටියේ මම. ඔව් මං හිතෙන් ගණන් කළා. හරියටම ඒ හයවෙනි වතාව. බස් එකක, ෆිල්ම් හෝල් එකක ත්‍රි වීල් එකක හරි මොන බඩකඩිත්තුවක හරි එකට යද්දී, ඉද්දි මොන කෙල්ලද කැමති තමන් ආදරේ කරන එකා තමන්ගේ ඇස් දෙකෙන් මිදිලා වෙන වෙන ඒවා දිහා බලනවට. ඇරත් කෙල්ලෙක් දිහා හරි ගෑනියෙක් දිහා හරි බැලුවනම් හොඳවයින් දෙකක් කියලා අඩව්වක් අල්ලන්න තිබුණා. ඇරත් ඒ එදා අපේ පළවෙනි නිල හමුවීම. ඉස්කෝලේ තැන් තැන් වල කලින් හම්බ වෙලා තිබුනත් ස්කොලෙන් පිට මුණගැහෙන පලවෙනි වතාව.

දෙකේ ලේන් එක ඉවර වුණාම තියන ඉඩම පිටිපස්සෙ කනත්තේ, මිනී භුමදානේ කරන්න කලින් ගෙනත් පැන් වඩන මඩුවේ, ඇති තරම් ඉඩ තියනවා කියලා එතනදී හම්බෙමු කියලයි එයා මට කිව්වේ. මොන ඉලව්වක්ද !

පොඩි එවුන් ලොකු වෙච්ච දාක උං අහද්දී අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හම්බුනේ කොහෙදිද කියල, කටක් ඇරලා කියන්නවත් පුලුවන් තැනක්ද කනත්ත කියන්නෙ.

මැස්සෙක් ! මැස්සෙක් හින්දා මින්හෙක්ට මෙච්චර නොසන්සුන් වෙන්න පුලුවන්ද...? ජීවිතේ පළවෙනි පාර නිසා කියල හිතලා මං ඉවසන් ඉන්න තීරණය කළා. ඇයි පිරිමියෙක්ට, ඒ වගේ ලස්සන දවසකදිවත් ටිකක් හිතලවත් සීරියස් වෙන්න බැරි.

බස් එකේ පිටිපස්සෙම සීට් එකේ, මම වීදුරුව පැත්තේ. "ස්පයික්" ඔව් එයා හිටියේ මගේ දකුණු අත පැත්තේ. එයාට එහායින් ඕනනම් දෙන්නෙක් ඉන්න ඇති. බස් එකේ සෙනග නෑ, අඩුයි. දවස් ගානක් බඩගින්නේ හිටපු කටුස්සෙක් වගේ ස්පයික් අර මැස්සට කුරුමානම් අල්ලනවා ඒ මිනිස්සුත් බලාගෙන. මොන විකාරයක්ද මේ?. පිස්සෙක් !

යාලුවෙන්න අහ අහ පස්සෙන් ආව දවස්වල මගේ හිතේ ස්පයික් ගැන අබමල් රේණුවක අදහසක්, පැහැදීමක් තිබුනේම නෑ. හොටු නාවර පෙරාගෙන, අපිරිසිදු ඇඳුම් ඇඳගෙන ආපු එයා ගාවින් එන දාඩිය ගඳ මට අප්පිරියයි, අපුලයි. ස්කොලේ පන්ති පටන් ගන්න කලින් උදේ යාළුවො එක්ක ඇති පදම් නටල නටලා, දවසක් බෙල් එක ගහන වෙලාවට පන්තියට දුවගෙන ආවේ දොරකඩ ගාව හිටපු මාව තල්ලු කරගෙන. මදනයා ගහපු ඇතා වගේ කුලප්පු වෙලා මාව පහු කරන් ගිය ස්පයික් ආපහු හැරිලා මගේ දිහාට ආව. ඉහින් කනින් බේරෙන දාඩියයි, සපත්තු ගඳයි... ෂික්.! හිරිකිතයි !

නසරානියා... මාව කොන්ඩෙන් ඇදගෙන ගිහින් කළු ලෑල්ලටයි උගේ ඇඟටයි මැද්දෙන් තියලා මාව හිර කරලා තද කරලා, මහ අවලං හිනාවක් දැම්මා. සුදු කමිසේ බත් වෙන්න දාඩිය දාලා, ඒ මදිවට හපුටු ගඳයි දාඩිය ගඳයි මේස් ගඳයි. වේදනාවට වඩා අප්පිරියාවට මට කඳුළු පනින්න ආවා. මම දත් කාගෙන ඉඳලා ගුලිවෙලා එක පාරට පාත් වෙලා උගේ ග්‍රහනෙන් මිදුනා.. මිනිහට පුදුම හිතෙන්න ඇති.

මං කනට ගහන්න නෙමෙයි හිටියේ. හිතා ගන්න බෑ කොහේ තිබුන ආවේගයක්ද කියලා.. මං හිතන්නේ ගිණිකඳු පිපිරෙන්නෙත් එහෙම වෙන්නැති. උගේ ග්‍රහනෙන් මිදිච්ච මම ඉස්සෙල්ලම කලේ වටයක් කැරකිලා ඌ ගාවට ඇවිත් අත පුරවලා රත් වෙන්න කන අතගාපු එක. මිනිහා හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති ඒ මොහොත. කම්මුලේ අඩුම තරමේ ඇඟිලි දෙකක වැවිරියක් නම් හිටින්න ඇති. මිනිහගේ කම්මුලෙන් මගේ අත නිදහස්වුණ ඇසිල්ලක තප්පරේ ඉඳන් අත පුපුරු ගහන්න ගත්තා.

හිත..? ! නෑ.. ඒක එවලේ පුපුරු ගැහුවද කෑ ගහල මොනා හරි කිව්වද කියල මං මොකටද කාටවත් කියන්නේ. ජීවිතේ මිනිස්සුන්ට රහස් තියෙන්න ඕන. මිනිස්සු ඒ රහස් රකින්න ඕන. පොඩි කාලේ ඉඳන් එහෙම රහස් මවාගෙන රකින පුරුද්දක් මට තිබුණා. .

එදා මගේ උපන්දිනේ. ජීවිතේට උපන්දිනේට කියලා තෑග්ගක්, සුබ පැතුමක් හම්බවෙලා තිබුනේ නැති මට, පුදුම වෙන්න තරම් සහ ජීවිත කාලෙම අමතක නොවෙන විදිහේ සිද්දියක් වුනා. ගෙදර මිනිස්සුන්ටත් අමතක වෙන ඒ දවසෙත් වෙනද වගේම මම ස්කොලේ ආවා. දහය පහුවෙලා විනාඩි පහ හයක් ගතවෙන්න ඇති. හිස් පීරියඩ් එකක්. මගේ ඩෙස්ක් එක උඩට පිටිපස්සේ ඉඳන් ආපු ටෙනිස් බෝලයක් විතර ලොකු කඩදාසි ගුලියක් ඔලුවේ වැදීගෙන, කකුල් දෙක ගාවට වැටුණා. මොන හේතුවකටද මංදා මට ඒක අරං ලෙහන්න හිතුනා. 
 
පොඩි කරපු ෆුල්ස්කැප් කොළ පහක් විතර එක පිට එක ඔතලා තිබුණා ගුලියක් විදිහට. මං හීන් සීරුවේ ලෙහුවා. තුන් වෙනි කොලේ නම් ටිකක් කහ ගැහිච්ච එකක්. බිම තිබිල සපත්තුවලට පෑගුන ඒකෙ සපත්තු අඩි ලකුණු පවා තිබුනා. මට නහයට ස්පයික්ගේ සපත්තු ගඳ දැනුණා..!

අන්තිම කොලේ ලෙහද්දී තද රතු පාට සිලි සිලි බෑග් කෑල්ලක දාපු කඩදාසියකින් ඔතපු මොකක් හරි දෙයක් මගේ අතට අහු වුණා. මං ඕනකමින් ගැටේ ලෙහලා බැලුවා. මැරිච්ච කැරපොත්තෝ ජෝඩුවක් !. එකෙක් සුදුම සුදුයි, අනිකා සාමාන්‍ය එකෙක්.. උන් දෙන්නව සිගරට් පැකට් එකකින් ගත්තු ඊයං කොලේක ඔතලා තිබුණේ.

ඕනේ තැනක දිවුරලා කියන්න පුළුවන් කැරපොත්තෝ දැකලා මං අප්පිරියාවෙන් කෑගැහුවේවත්, බයේ නැගිටලා දිව්වෙවත් නෑ. හේතුව, සාම්ප්‍රදායික ගෑනුන්ට තියන කෘමි සත්තුන්ට තියෙන බය මට පොඩි කාලේ ඉඳන් තිබුනේ නෑ. ඒ ගැන පුදුම වෙන්න තරම්වත් ඒ ඇයි කියලා හොයල ආඩම්බර වෙන්න තරම්වවත් සමීප කෙනෙක් මගේ ජීවිතේ හිටියේ නෑ. කොටින්ම ඒක මට, ගෙදර හැමෝටම සාමාන්‍ය සරල කාරණයක්.

අර ඊයම් කොලේ. මට ඒක අනික් පැත්ත පෙරලලා නිකමට බලන්න හිතුනා. බලන්න හිතුනද , ඉබේ බැලුනද ?. ම්ම් නෑ ඕනෑකමින් බැලුවේ.

ඉවර වෙන්න කිට්ටු ලා නිල්පාට බෝල්පොයින්ට් පෑනකින්, කැත අකුරෙන්, කැඩී කැඩී ඉහිරුණු තීන්තෙන් "හැපී බර්ත් ඩේ" කියලා විතරක් ලියලා තිබුණා. කාටද කියලා කිසිම ආමන්ත්‍රණයක් තිබුනේ නැති ඒකේ අකුරු පේලිය යටින් from SPK කියලා තිබුණා..!

ස්පයික් ! නසරානියා..!!

සුබ පැතුම ඉංග්‍රීසියෙන් තිබුණේ. Birth වෙනුවට Brith කියල වරද්දලා.මට හිනා යන්න ආවත්, ඒක මගේ ජීවිතේ සැළකිය යුතු අති සුවිශේෂි මොහොතක් හින්දත් මිනී කන යක්ෂයකුට වුණත් ඒවගේ දවසක මාව මතක් වෙන එකත් මට ලොකු දෙයක්. මම අමාරුවෙන් ඒ හිනාව ගිලගත්තා. යටි හිත මෙහෙයවපු අණ කිරීමක් නිසාද මං එහෙම කළේ කියලා හරියට මතකයක් නෑ.

SPK , SPK , SPK , මේ මොන විකාරයක්ද. ඇයි මං ඒ අකුරු මිමුණුවේ. ඇයි මං ඒ විදිහට හැසිරුනේ. හිත එවලේ කෑ ගහලමොන දේ කිව්වත් ඒ මොනාද කියලා කාටවත් කියන්න මං කැමති නෑ. ඒක රහසක් !

ඊයං කොලෙන් ආපු දුම්කොළ ගඳත්, කැරපොතු ගඳත් එක්ක නහය හාරපු ඒ විකාර කුයිලේ, ඒ දවස ගෙවිල ගිහිං දවස් ගානකට පස්සෙත් ටිකෙන් ටික හිත හාරන්න ගත්ත හේතුවට උත්තරේ ලැබුණේ දවස් ගානක් ගිහින්.

ඒ උත්තරේ ලැබෙන්න කලින් මං කළේ හොරෙන් හොරෙන් ගෙදර කවුරුත් නැති වෙලාවක ඒ ඊයම් කොල කෑල්ල ඉඹ ඉඹ බලපු එක. එහෙම කරලා ඒක පපුව උඩ තියන් මං අහවල් දෙයක් කල්පනා කරාද. මනස්ගාත !

මොනවා කල්පනා කරත් ඒ පරිච්ඡේදෙ අතිශය පුද්ගලික රහසක් විදිහට මගේ රහස් ගබඩාවෙම මුල්ලක රහස් ගොන්න අතරේ හංගගත්තා. සිගරට් දුම්කොළ ගඳත්, කැරපොතු ගඳත් අස්සෙන් මට ස්පයිගේ දාඩිය ගඳ, සපත්තු ගඳ දැනෙන්න ගත්ත.. මට ඔල්මාදේ හැදීගෙන එනවද..!

ගෑණියෙක්ට ආදරෙන් බැඳෙන්න මහා ලොකු දෙයක් ඕන නෑ. ආදරෙන් එකම එක වචනයක් කියනවනම් කෙල්ලෙක් අවතාරයක් එක්ක වුණත් යාලුවෙයි.
 
මොන මගුලක්ද ගෑනු ඒ තරම් බොළඳයිද ? එතකොට මම ? මටත් වෙන්නේ ඒකද ? මං බොළඳයි ද? හඩු ගඳ ගහන කිසි කමකට නැති එකෙක් එක්ක ආදරයක් පටන් ගන්න. මට පිස්සුද ?

-----------------------------------------------------------

බරාරාරාරාස් ! ගාල බස් එක බ්රේක් පාරක් ගැහුවා පාරේ මැද... හත්වෙනි වතාවට ස්පයික් සාර්ථකයි. කුරුමානම් අල්ලමින් හිටපු ස්පයික් ඒ ඇසිල්ලට සීට් එක ඉස්සරහ වීදුරුවේ වහල හිටිය මැස්සාට කඩාගෙන පැන්නා. ස්පයික් ඌව ඇඟිලිවලින් පොඩි කරලා ජනේලෙන් එලියට විසික් කළා.

"ඌ ඔයාගේ ඇඟේ වහන්ඩ කුරුමානම් ඇල්ලුවේ, මං හිතුවා කොයි වෙලාවක හරි ඔයාට විදියි කියල, උං විසයි.. කෑවම පලු දානවා"

කෙල්ලෙක්ගේ ජීවිතේ රහසක් විදිහට තියාගෙන ආයේ ආයේ මතක් කර කර විඳින්න ඕන හැඟීමක්, මගේ ඇඟට අලුතෙන් ලේ පොම්ප කරනවා වගේ දැනුණා.

මං මුකුත් කියන්නේ නැතුව වීදුරුවෙන් එළිය බලාගෙනම ඒ වීදුරුවෙම තිබිච්ච දුවිලිවල
ඇඟිල්ලෙන් S + M කියලා ලිව්වා.. ඒ අපේ නම්වල මුල් අකුරු.

Friday, September 15, 2017

"ඇයි"


වීදිය තෙත බරිතය. මා වඩාත් ප්‍රිය කරන ලා අඳුරු පැහැයට හුරු කාලගුණයත්, වළාකුලෙන් අහස බරවී, පහත් වූ ගතියත් හැරුණු කොට, පොළවෙන් ආ තෙත කුයිලය, පැවැති මන්දාලොකය හා මුසුව ගෙන එනු ලැබූ සුපැහැදිලි වෙනසක් හාත්පස පෙනෙන්නට තිබිණි. ඉකුත් පැය කිහිපයකට පෙර ඇදහැළුණු වර්ෂාවෙහි සිහිලස, ඒ වනවිටත් මුලුමනින්ම පාහේ පරිසරයෙන් පහව ගොස් තිබුණේ නැත. 

සැළකිය යුතු දුරක් ඇවිද ඒමෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබු ඇගේ සිරුරෙන් විහිදුණු සියුම් උණුසුමක නොපෙනෙන රැස් දහරාවක්, දහදිය සුවඳද එක්ව මුසුවූ විලවුන් සුවඳක් සමග විහිදෙන්නට විය. මාගේ 'පෙණහළු තුළට ආශ්වාස වාතය පිරීමෙන් හා පිටවීමෙන් සිදුවන අනිච්චානුගතවූ ස්වභාවික රටාව, කිහිපවරක්ම මා හිතාමතා කඩාකප්පල් කර බිඳ දැමුවෙමි. ම'නාස්පුඩු අග වැදී ස්වාශනාලය හරහා ගොස් රුධිරයට සම්මිශ්‍ර වූ, ඒ ආමෝදයෙන් ජනිතවූ, මිහිරි සෞන්දර්යාත්මක හැඟුමකින් මා මත් වී උන්නෙමි.

මාගේ දකුණතෙහි දබරඇඟිල්ල වටා, ඈගේ වමතෙහි අතැඟිලි එතී තිබිණ. පරිබාහිරව බැලූ බැල්මටම, ගිලිහී යාමට ආසන්නව, නොසැලකිල්ලෙන් අල්වාගෙන හිඳිනා සෙයක් දිස්වෙනමුදු, අප එකිනෙකා හා බැඳී හුන් අදිසි හුය, ඊට හාත්පසින් වෙනස්වූත් ඉතා ශක්තිමත්වූත් එකක් බව හඟින ලෙස, මා හදවත මෙහෙය වූවෙමි. එසේම තව දුරටත් එය තර්ජනාත්මක විධානයකින් නොවිය යුත්තක් යැයි සිතන්නට, ම'අභ්‍යන්තරයෙන් පැන නැග ආ ප්‍රතිරෝධ බලයක් විසින් මා සිතිවිලි මෙහෙයවන ලදී.




කොයියම්ම මොහොතක හෝ ප්‍රේමය, ම'වෙතින් ගිලිහී යා හැකිනේදෝ'යි යන, සාධාරණ සැකයක් නිරන්තරව මසිත විය. අතීතය විසින් සපයන ලද ඌණ පුර්ණිත ජීවනාත්දැකීම් විසින් උසි ගන්වන ලද විලෝපිය යක්ෂ සිරුරු, එ'මොහොත වනවිටත් කඩා වැද, මා අඩපණ වූ සත්වයෙක් බවට පත්කර තබන්නට සමත් වී තිබිණ.

මට සමාන්තරව ලාලිත්‍යකට ඇවිදිමින් හිඳින ඈගේ ඉඟටිය විටෙක මාගේ බඳෙහි වැදෙයි, එකෙණෙහි නිරායාසයෙන් මට ඈ දෙස බැලෙයි. එසේ බලා හිඳිනා මොහොතක් බොහෝ විට දිගු වෙලාවක් පවතියි.

ඈ විසින් හදිසියේ අනපේක්ෂිතව ග්‍රහණය කර ගන්නා එවන් මොහොතක, ඈ වහා හිස හරවා නිහඬ සංඥා බසින් "ඇයි" යනුවෙන් විමසයි. එවිට ඈගේ දෙතොල දෙපසට ඇදී, ඒ මත සංවෘත මන්දස්මිතයක් ඇඳෙයි, ඇස් සිහින් වෙයි. දෙවුර මදක් හැකිලෙයි. ඉනික්බිති ඈගේ මුහුණ මත, මා කවදත් දැකීමට ඉතා ප්‍රිය කරනා හැඟීම් සමුදායක් තටු ගසා ඉගිලෙන්නට තතනනු පෙනෙයි. එ'සියලු හැඟීම් චිත්‍රණය කළ, සියුම් කෝමළ රේඛා, ඉතා ගිජු බවකින් ඩැහැ ගන්නට ම'මනස සැදී පැහැදී හිඳියි.

ඈ එසේ කිහිප වරක් "ඇයි" දැයි යන්න විමසා ප්‍රශ්න කිරීම නතර වන්නේ, මා ඈ මෙන්ම ගොළු බසින් "මුකුත් නැහැ" යනුවෙන් පිළිතුරු ලෙස හිස දෙපසට සැලීමෙන් අනතුරුවය. පිළිතුර බාරගත්තා යැයි හැඟවීමට ඈ අල්වාගෙන හිඳින ම'දබරඇඟිල්ල තදින් මිරිකයි.

එවන් වූ මොහොතක පැහැදිලිව සන්නිවේදනය කරගත නොහැකි වියළි හැඟීමකින් මා පීඩාවට පත්වෙයි. ඉතා දැඩිව ඈ වැළඳ ගැනීමටත්, එක මිටකට ගෙන, ළය මැද තැනෙක සුරක්ෂිතව සඟවා ගත යුතුය'යි වැනි, උමතු ආශාවකිනුන් මා පෙළෙයි..

ප්‍ර්‍රේමය හටගත්තේ කවදාදැයි, කොතනකදැයි, එය කුමන පැහැයක් දැයි, ප්‍රේමයෙහි ඵල නෙලාගැනීමෙන් එහි ජීව ගුණය පිරිහෙන්නේයයි, වැනි සාම්ප්‍රදායික, බහුබූත, මනස්ගාත එවන් වූ මොහොතක සිහියට එළැඹීමත්, අතිශය බොළඳ ප්‍රේම ගීයක පදපෙලක් යටි සිතෙහි නොකඩවා මැතිරුමක් ලෙස ගායනය වීමත් ගැන මා වදවන අතරතුර, ඒ කිසිවක් නොහැඟෙන, නොතේරෙන ලෙස ඈ පියවර තබයි..

ප්‍රේමය හටගත්තේ කොතැනකද, නිතැතින්ම ඊට ඉතාමත් යාබද නිමේෂයකදී එය නිශේධ වීමක පළමු පියවර එළැඹෙනු ඇතැයි, කොහේ හෝ කියැවූ ඡේදයක කොටසක් මට සිහිවෙයි.



~ ඉන්සේන් රයිටර් ~