Sunday, November 27, 2016

මෙ'අඳුර...




තාරකා කණු හිස්
එකිනෙකට යා කොට
බැන්දා වූ යොතක,
කවුරුන් හෝ
වියලෙන්නට වැනූ
තෙත දුහුල් සළුවකි,
මෙ'අඳුර...

පුරා හෝරා
දෙක තුනක් තිස්සේ
ඒ සළු බඳෙන් වෑහුණ
දාහක් දිය බිඳිති ය,
පිනි කියා තිබෙන්නේ
උදෑසන තුරු වියන් මත

~ නැචුරල් රයිටර් ~

Friday, November 25, 2016

තව මොනවයින්ද අඩුවක්




පිටුපසින් විත්
හදිසියේ
වැළඳ ගන්නාවූ
පපුවක්...

අතොරක් නැතුව
සිප ගන්නා වූ
උණුසුම්ම
දෙතොලක්...

උර බාහුවක එල්ලී
පසුපස හඹා එන
සියුමැලි දෑතක්..

දරදඬු පිරිමි හිතකට
තව මොනවයින්ද
අඩුවක්...

~ ඩ්‍රීමින්ග් රයිටර් ~

Thursday, November 24, 2016

දෑසක පහස




කවදාක හෝ
අත්පත් කරගත
නොහැකි වූ
දෑසක පහසක්,
ස්වදෑසාභිමුඛ
රේඛාව මත
සමපාත වීම තරම්,
හිත තෝන්තුවාවෙන්
පෙළනා වූ
අන් කාරණාවක්
මේ ලොව නැත...

~ ලයින්ග් රයිටර් ~

Wednesday, November 23, 2016

රාත්‍රිය..






සැර අධික
මධුවිතකි
රාත්‍රිය..

ෂැන්ඩි කරනු වස්ය
මෙ'හඳ එළිය

~ ඩ්‍රන්කන් රයිටර් ~

Tuesday, November 22, 2016

තරු සිරුරු




දවාලෙහි කාශ්ඨෙට ඇවිලුණු
තරු සිරුරුවල අඟුරුය,
කළුවරක් සේ අහසින්
ඇද හැලෙන්නේ රෑට...

උනුන් මිහිදන් කළ
ඒ සොහොන් කොත් මත
සංවේගයෙන් දල්වන
පන්දම් පහන් එළියකි
ඔබ දකින්න‍නේ තරුවක් විලස...

~ වොරීඩ් රයිටර් ~