අතේ ඉතුරු වුනේ රුපියල් පහයි. ඉතින් බස් එකේ ආපහු එන්න සල්ලි මදි හින්දා දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගත්ත. රුපියල් පහ දෙනකොට බස් එකේ එද්දී ඉතුරු වෙනුවට කොන්දා දුන්න ටොපි තුනෙන් එකක් දිලුට දුන්නාම එයා ඒක ගත්ත විදිහට බඩපපුව හෝස් ගාල පත්තු වෙලා ගියා. දිලූ ගැන මගේ හිතේ ආදරේ දෝර ගලායද්දී අපි වෙන් වුනේ ආයේ හම්බෙන්න පොරොන්දු වෙලා.
"පරිස්සමෙන් යන්න රයිටර්...ඊගාවට හම්බෙනකොට පොඩ්ඩක්හරි
මහත් වෙලා ඉන්නකෝ....., ඔයාගේ කැපවීම තමයි හැමදේටම"
"ඇඃ...ලබන සතිය වෙද්දී මහත් වෙයිද....කිරිවලට දාලා දියකරලා බොන්නම බැරිනම් මම රොටී හරි හදාගෙන කන්නම්කො"
"පිස්සුද රයිටර්...රොටී හදාගෙන කන්නද මම මේවා අරන් දුන්නේ,"
"හරි හරි මම මගේ උපරිමෙන්ම කැපවෙන්නම්කො"
"හ්ම්....ම් හොඳ රයිටර්" දත් දහතුනක් විතර එලියට දාලා එහෙම කීවම මට තැන නොතැන ගානක් නැතුව ගියා. මම අමන්දානන්දයට පත්වුණා. පපුව අස්සෙන් ආදරේ වෑහෙනවා වෑහෙනවා වගේ දැනුනා, හිත කීරිගැහුනා. ඒ ඒක කීරක් පපුවේ අභ්‍යන්තර පටකයක ඇනිලාද කොහෙද මම ආපහු පියවි ලෝකෙට ආවා.
බස් හෝල්ට් එකට වෙලා ගමටම හාල්පොත වගේ තියන බස් ඒක එනකම් පැයක් හමාරක් නිරපරාදේ කාලේ කනකොට, මේ අපතේ යන කාලේ ගැන මම පසුතැවිලි වුනේ හදවතින්මයි. කරන්න වැඩකුත් නැතුව, ගෙදෙට්ට වෙලා කවියක් කතාවක් ලියනවා ඇරෙන්න කික් එකක් එන වැඩක් ඇත්තෙම නැද්ද අම්මපා, සමාජෙට බැහැලා කරන්න. ලොවෙත් නැති කල්පනා සාගරේක, රදනක දත ගාවට ගිලිලා හිටපු මට පියවි ලෝකය ගැන නිච්චියක් නැතුවම ගියා. ඒ අස්සේ දිලුගේ හිනාව, සික්ස් පැක්, "මාස් බෝතලේ" මට සැරින් සැරේ මතක් වුනා. එකපාරටම කන ගාව ගහපු බ්රේක් පාරටයි හෝන් සද්දෙටයි, කල්පනා සාගරේ වතුර පෙවිලා මැරෙන්න ගියපු මට යාන්තමට නිනව්වක් ආවේ. පැයක් විතර තොන්තුවාවෙන් කල්පනාකරපුහාම නිච්චියක් නැතුව යනවා, හයියෙන් හුස්මක් අරගෙන මම බස් ඒක දිහා බැලුවේ ඔද්දල් වෙච්ච හිතෙන්.
"අඩෝ මල්ලි, නැගපන් බස් එකට, මොනවද ඩෝ බලන් ඉන්නේ, යකෝ මල්ලියේ අගය කරපන් මේවගේ බස්, ලඟට ඇවිත් නතර කරලා දාගෙන යන්නේ, අපේ අමාරුවට, රටේ සංවිධානය කරන උපහාර උළෙලවල් වලින් සම්මාන දෙන්න ඕනේ අපිට.. හා නැද්ද මං අහන්නේ ? "
"උපහාර උළෙලක්.....!" හප්පට සුර ගල්බනිස් කිව්වලු, අයිය නම් දෙයියෙක් යකෝ මේ තියෙන්නේ අයිඩියාවක් මගේ හිත කෑගහල මටම කිව්වා, ඇඟේ ලේ පයින්ට් හතරක් පහක් සන්තෝසෙට පිරිසිදුවෙද්දී මම සාක්කුවට අත දාලා රුපියල් පහේ කාසි දෙකයි රුපියලේ ටොපි දෙකයි උගේ අතේ තිබ්බා "දොළහේ එකක්..!" කියලා ස්ක්‍රිප්ට් එකේ විදිහටම. කොන්දාගේ ඇස් දෙක නළල ගාවට ගියා, කට කන ගාවට පළල් වුනා. "කාපන් කටුව බළලෝ....." කියන්නේ ඔව්වට තමයි කියල කොන්දා උටම කියාගනිද්දී "ස්...ස්...ඌරගේ කැවුතු ඌරගේ පිටම තියල කපනවා කියන්නෙත් ඔකටමයි අයියේ" කියල ඇහෙන නොඇහෙන ගානට කියල සීට් එකක් හොයල ඉඳගත්තේ ඉහවහා ගියපු සන්තෝසෙන්.
"ස්..ස්..ස්" "ස්...ස්...ස්"
කවුද බොලේ සුස් සුස් ගාන්නේ කියල බෙල්ල අංශක එකසිය හැත්තෑපහට විතර කරකවලා පිටිපස්ස බලද්දී හප්පට සුර, රම්බා මට පිටිපස්සේ සීට් එකට පිටිපස්සේ සීට් එකේ ඉන්නවා. ඊටම ඉස්සරහ සීට් එකේ,...සීවරන් දෙයියනේ සකුන්තලා නංගි. මට රම්බාගේ ලයින් එක වැටහෙනවත් එක්කම එහා හෝල්ට් එකෙන් සකුන්තලා බැහැලා ගියා. රම්බත් සට පට ගාල නැගිටලා බස් එකෙන් බහින්න හදද්දී මම උගේ කමිසේ කරෙන් අල්ලලා නවත්ත ගත්තා "හදිස්සි වෙන්න එපා යකෝ" කියලා.
"මොනවද බං පිවිතුරු පරම ආදරේට අකුල් හෙලන්නේ, තොටනම් හොඳක් වෙන්නේ නෑ, ඒකි මට හා කිව්වා බං"
"ඇඃ...හා කිව්වා.. අම්මපා කියපන්"
"ඔව් යකෝ මුත්තපල්ලා....හා කිව්වා, පන්ති ඇරිලා එනකොට එයත් එක්ක බස් එකේ ආවට කමක්නැද්ද කියලා අහපුවාම හා කිව්වා"
"නෙදකින් තෝ නම්.. මම හිතුව ඒකි උඹට බහ දුන්න කියල,"
"බහ දෙන්නෙත් ඔහොම තමයි බං, බලපන්කො, සත්‍ය ප්‍රේමය කවද හරි ලෝකේ දිනනවා,"
"ඔහෙප්පලයන්, උඹ දන්න දේවල්, උඹට හරි ගියා කියන්නේ මට හරි ගියා වගේ තමයි බං"
"මගුලක් කතාකරන්ඩ එන්ඩ එපා, එකට කෑවට කෙල්ල වෙනස්........හරිරිරිරිරි ....!, ඕනේ දෙයක් බෙදාගන්නම් හැබැයි සකුන්තලා ගැන නො වර්ඩ්ස් හරි....!"
"ශිකේ.....බං උඹේ ඇස් ආදරෙන් අන්ධ වෙලා, උඹට යාළුවා පෙන්නේ නෑ, අම්ම තාත්තා පෙන්නේ නෑ, උඹ හිතනවද මම උඹට එහෙම කරයි කියල, ආ කියපන්... රම්බා..කියපන්."
"හරි හරි රයිටර් ඔව්ව අමතක කරපන්, උඹ කියන කතාව හරි රයිටර් මම ආදරෙන් අන්ධ වෙලා මන රන්ජිත වෙලා කුජීත වෙලා ඉන්නේ"
හෝල්ට් එකෙන් බැහැලා අපි දෙන්න ඇවිදගෙන යනකොට ගෙජ්ජි සද්දයක් පස්සෙන් ඇහෙන්න ගත්තා,
"හප්පට සුර කවුද බං මේ හඳෙන් බැහැපු දිව්‍යාන්ගනාව"
"ශික් බං උඹට කෙල්ලෙක්ට බැල්ම දානවා නේද රම්බා..... ඇයි උඹ අර සකුන්තලා නංගිට මෙහෙම ද්‍රෝහී වෙන්නේ, ඔව්ව කැත වැඩ රම්බා, අනික බලපන් කළුවට කලුවේ, මේකිගේ හැටි, අව්වට හම පිච්චිලාද කොහෙද"
"අනේ පලයන් බං යන්න කළු දොදොල් තමයි රහ"