Wednesday, November 22, 2017

උමතු සත්වාදරය !

සිරුර දහදියෙන් තෙත්වී පමණ ඉක්මවා ස්ඵන්දනය වූ හෘදයෙන් නැගුණ භ්‍රාන්ත වේදනාව, රාත්‍රිය දෙගොඩ මැදදී එක් කණිසමක මා, තැති ගැන්වීමකින් අවදි කරවන්නට සමත් වී තිබිණ. "ලොමු දැහැගැන්වෙන" යැයි උදෘතය යොදා නාම විශේෂණය කළ හැකි වූ සිහිනයක, මා හමුවට පැමිණි යමෙකු විසින් ශේෂ කරන ලද, අතිශය භාවාත්මක හැඟීමක් විසින් මා කිසියම් අදිසි ග්‍රහණයකට නතුවී තිබිණ.


එකවරම එලවා ගත නොහැකි වූ පියවි සිහිය හේතුකොටගෙන, සයනය මත තක්බීරී වී මොහොතක් හිඳීමෙන් අනතුරුව ගැඹුරු හුස්මක් ගතිමි. සැලෙන දෙතොලින්, සසැලෙන දෑතින් යුතුව, වම්පසට කැරකැවී මේසය මත තිබුණු වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියෙමි. ද්‍රව වශයෙන් පවතින ජල අංශු, තියුණු කැපුම් දාර සහිත ඝන කුට්ටි බවට පත් වී ඇති කළෙක මෙන්, ඒවා ගල නාලය ඔස්සේ ගමන් කරනා අතරතුරදී වියළි වේදනාවකින් ගත පෙළනු ලැබීය.

..............................................

ඉකුත් ඇසිල්ලකට ඉහතදී සිදුවූව, පියවි ලෝකයේ පවතින මිනුම් දඬු, උපකල්පන හා විශ්වාසයන් කෙරෙහිද, ඡායා මාත්‍රිකව පවතින එක් ජීවන අත්දැකීමක් සමගද අනුයුක්ත කර සසඳා විසඳා ගැනීමේ තදබල වුවමනාවකින් රිදුම් දෙන හිස දෑතින් බදාගෙන සුසුමක් පිට කළෙමි.


හරියටම වසර අටකට පෙර, මා නිල වශයෙන් වැඩිවියට පත්වූවා යැයි ස්ථීර වශයෙන්ම නිගමනය කිරීම සඳහා වූ ගති ලක්ෂණ, බාහිර ශරීරයෙන් පහළ වන්නට පටන් ගන්නට පෙරදා රාත්‍රියේද, පළමු වරට මේ හා සමාන කුළුඳුල් අත්දැකීමට උරුමකම් කීවෙමි. භීතියෙන් සසැලී ගියෙමි.


නිවසෙහි කාමරයක් තුල, හුදකලාව ගෙවා දැමූ අතිශය පීඩාකාරී දින කිහිපයට අයත් වූ මූසල රාත්‍රීන් දෙක තුනකදී වරින් වර, සිහිනවලට ඇතුළු වූ එකී ගුප්ත දුමාර සිරුර විසින්, මා විශාල මනෝභීතික උභත‍ෝකෝටිකයකට අැද දමා තිබිණ.


ඉක්බිතිව, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හමාරව, නහවා ගෙට ගෙන, වසර කීපයක් යනතුරුද, මා වටා කිසියම් අදිසි දුමාරයක්ව, යමක් පැවැති බව අකමැත්තෙන් සිහිකරමි.


බලහත්කාර අතීතාවර්ජනයෙහි ප්‍රතිවිපාක වශෙයන් සියොළඟ හීගඩු පිපී තිබිණ, උගුර කට වියළී තිබිණ. ඉතා සියුම්ව, නියත තප්පර කිහිපයකට වරක් "ක්‌රස්" ගා හඬක් නගන විදුලි පංකාවෙන් නැගුණ හඬ හැරුණුකොට හාත්පස නිස්කලංකය. මා කවුළුවට යාබදව තබා තිබු සයනයෙහි උඩුකුරුව වැතිර ගතිමි. කර්ට්නය ඇද දමා පිටත ගුප්තාවකාශය කුටිය තුළ අවකාශය හා මුසුවීම වැළැක්වුවෙමි


පුරා උදෑසන සිට දහවල තෙක්ම රාත්‍රිය අඳුර වැටෙන තුරුද, නිවනක්, විවේකයක් නොමැතිව, ඇඟිලි තුඩු මත තෙරපෙමින්, තැවරෙන මාහැඟී වස්තුවකි, හිතමිතුරු මොබයිලය .


ම'මනැස් හුදකලා අඳුර පලවා හරින ඒ පෘතුල අවකාශයෙහි බහුලව, පුස් ප්‍රතිරුප නඩත්තු කරනාවූ අසංස්කෘතික ගැහැණුන්ය. සියලු සබ්බසකලමනාවම නැති බන්ගස්තාන කරදමා, අරපිරිමැස්ම ගැන, තම චර්යාව ගැන උදම් අනන ගැහැණුය. සතෙකුට වතුර උගුරක් නොදෙන, සත්ව අවිහිංසාවාදය ගැන පෝස්ට් ශෙයා කරන කෙල්ලන්ය. ලිංගික කුහකකමින් හා ඊර්ෂ්‍යාවෙන් පිපිරුණ, පරිහාණිත පිරිමින්ය. අසහනයන් සන්තර්පණය කොටගනු වස් ගැහැණු දඩයමේ යන අසත්පුරුෂ ගැටවරයින්ය. ඒ නමුදු එ'අසිරිමත් අවකාශය විසින් ගොඩනාගා දුන් අයිසින් ආලේපිත වර්චුවල් මිතුරු සම්බන්ධතා මාධ්‍යය නොවන්නට මේ වන විටත් මා දරුණු මානසික ව්‍යාධියකට මුහුණපා තිබෙන්නට තිබිණ.


අතිශය "කාර්යබහුලත්වය" විසින් ඒ වන විටත් සැලකිය යුතු කොටසක් භක්ෂණය කර තිබුණාවූ "තිශුල" හා මාගේ දෙවසරකට ආසන්න විවාහ දිවිය තුළ, උගත ලද හා ප්‍රගුණ කරන ලද ජීවිතානුබද්ධ පාඩම් බොහෝය. තිර නඩත්තුවෙන් තොර වූ බැවින්, දෑසාභිමුක්ඛ්‍යයෙහි ඝන මළ බැඳීමකට ලක්ව තිබුණාවූ, හද බැඳීම් විනාශාගාධයට පෙරලී යනු දැකීමට සිදුවීම පාපයකි.


මඩින ලද සිතට එරෙහි වී, තිශුල වෙත ඇමතුමක් ගැනීමේ අවශ්‍යතාවය මත, එතුවක් මොබයිලය, විදුලි පේනුව හා පවත්වාගෙන ආ ප්‍රේමණීය සහසම්බන්ධතාවය සාහසිකව විසන්ධිකර බිඳ දැමුවෙමි.


මග හැරුණු ඇමතුම් දෙකක් ඔහුගේ දුරකථන තිරය මත සටහන් වෙද්දී, තෙවන ඇමතුමෙහි ඩයල් ටෝන් තුනක නාදය ඉක්මවූ තැන පිළිතුරු සැපයිණ.


"හෙ..ලෝ බබා, ඇයි මේ මහ රෑ..?"


"නිකං මතක් වුණා...ම්" තිශුලගේ කටහඬෙහි පැවති, නිදිබර ගතිය හා නොසලකා හැරීමේ ස්වරය හේතුකොටගෙන පවසන්නට ගිය දේ වසන් කරගතිමි.


"නිකං...ම්හඃ .?" ප්‍රතිපසින් උපහාසයකි. කියන්නට ගිය දේ ගිල ගැනීම ගැන අප්‍රමාණව සතුටු වීමි.

 
"කෑවද...බිව්වද, මොකද කරේ....ඉතිං ... ම්ම්ම්..ම්ම් " දෙපාර්ශවයෙන්ම කට පාඩම් කළ අපුල ප්‍රශ්න පත්‍රය දිග හැරීමත් සහ ඕනෑ එපාවට පිළිතුරු සැපයීමත් පමණෙකි.


"...................."


"..................."


"මට පාළුයි....දවසම පාලුවෙන් ඉන්නේ...." ඉවසීම විසින්, ස්වයං වාරණ සීමා පවුරට පහර දී විනාශ කළ පසුව නැගී ආ මගේ ඉකිබිඳුම් ස්වරය, වේදනාබර ස්වරුපයක් උසුලන්නට ඇත.


"තේරුම් ගන්න බබී...., මම ගොඩක් බිසී,.. ඔයා දන්නේ නෑ දවල් දවසේ මං කොච්චර ම...හන්සි වෙනවද කියල. හිටගෙන එහාට මෙහාට ඇවිද ඇවිද. ඔයා වගේ ගෙදරට වෙලා දවසම ෆේස්බුක් ස්ක්‍රෝල් කර කර ඉන්නේ නෑනේ මං..." සුපුරුදු චෝදනා සාහසික විලාප පත්‍රයය. කුටුම්බ සන්දර්භය තුළ අනායාසයෙන් නඩත්තුකළ යුතුව ඇති අවම ඕනාඑපාකම්ද, සැපදුක විමසා බැලීම්ද හිතාමතාම අත්හිටුවා, නොසලකාහැර දැමූ කළෙක, ප්‍රේමය උදෙසා කිනම් ආයාචන වැළපුම්ද, වෙහෙසී ඉපැයීම කා අරභයාද ?


"හරි බබා හරි..., මං දන්නවා, මට තේරෙනවා..., පරිස්සමෙන් ඉන්න.... තියන්නම්..., ගුඩ් නයිට්" මම ඇමතුම විසන්ධි කළෙමි. උගත් පාඩම් හා අවස්තානුකුල හැඩගැසීම්, ඉකුත් වසර තුළදී ඕනෑවටත් වඩා ප්‍රාගුණ්‍ය කර ඇති නිසාවෙන්, නිතින් අත්විය යුතු වේදනාවකින් මෙවර මා පීඩාවට පත් නොවීමි.


පුරා පැය කීපයක් කොට්ට, ඇඳ ඇතිරිලි හා විශාල ටෙඩි බෙයා සමග ඔට්ටු වී, ගෙවා දමන ලද ඉතා කර්කශ මැදියමකට පසු, උදාවූ පසුදින සැළකිය යුතු වෙනස්කමකට කිසිවක් බඳුන් වී නොතිබිණ.


සුපුරුදු ස්වයංක්‍රීය ජීවන චර්යාව ගෙවා දමනු පිණිස, හෘදය මත සසලව හොල්මන් කරන භාවාත්මක දුමාරයෙන් ලද අල්ප මාත්‍රික පීඩාව සහිතව, උදෑසන, දවල් හා රාත්‍රී අහාර වේල් තුන සංවේදනයකින් තොරව ගිල දැමීමි. ඒ අතර ගිණිය නොහැකි තරම් වූ සෙසු ක්ෂුද්‍ර ක්‍රියාකාරකම්ද නිමවීමෙන් පසු, සුදානම සයනාරූඪ වන්නටය. කුඩා ඩිජිටල් ඔරලෝසු මුහුණත, රාත්‍රී නවයයි තිස් පහ හෝ ඊට ආසන්න වෙලාවක් කියවීය.


පෙළන ලද මනෝභාවයන් හා චෛතසිකයන් විසින් කිසියම් නොදැනුවත් ප්‍රබෝධයක්, කුහුලක් මා මනස තුල පතුරුවා තිබිණ. භ්‍රාන්ත ත්‍රාසය, නොඉවසුමකට පරිවර්තනය වී තිබිණ. තිශුලගේ කුරිරු දෛනික නොසලකාහැරිම් හමුවේ උද්ගත වුවක්ද, එසේත් නොමැතිනම් අන් කාරනාවක් අරභයා සිදුවුවක්ද නොදනිමි.


දිගු කාලයක් නොදැක හිටි, සමීප කෙනෙකුන්, හදිසියේම හමුවිය යුතුය යන උමතු ආශාවට, අවශ්‍යතාවට බෙහෙවින්ම සමාන වූ සොඳුරු මනෝමුලික වේදනාවක් විය. විඥ්ඥාණ සීමාව ආධ්‍යාත්මිකව ස්පර්ශ කරන්නට සමත්වන්නාවූ එ'බලාපොරොත්තුව, එක්තාරාකරයක නැවුම් පැහැයක් ගති, නෑඹුල් හැඩයක් ගති. එය ඉතා ආසාවෙන් කියවාගෙන ආ ඇල්මක් දැක්වූ පොතක අවසාන අග භාගයේ පිටු කිහිපයක් අතුරුදන් වීම නිසා ජනිතවන්නාවූ හැඟීමක් වැන්නකි.


සියල්ල ඉතා අවිනිශ්චිත වුද, කෙසේ කවදාක සිදුවන්නට නියමිතව තිබුණාවූවද, මෙ රාත්‍රීයෙහිදීත් ඒ සෙවණැල්ල මා සොයා එනු ඇතැයි අපේක්ෂා කළෙමි. කුටුම්භගත සමාධිය හා ජීවිතාශාව සෘණ අගයක් පෙන්නුම් කර, අපුල මහා සාගරය වෙත ගසාගෙන යන තැනකදී, එල්ලෙන්නට පිදුරු ගස් අවැසි නැත. ප්‍රාතිහාර්ය ප්‍රාර්ථනා පමණෙකි පරම සැනසුම.


..............................................


මා වැඩිවියට පත්වූ දින වකවානු කාල සීමාව අතර වරින් වර මතුවීමෙන්ද, කලක් යනතුරු අතුරුදන්ව තිබීමෙන්ද, හදිසියේ අට වසරකට පසුව නැවතත් මා සොයා එ්මෙන්ද මනසාභ්‍යන්තරය තුළ ශේෂ කරලූයේ ප්‍රහෙලිකාත්මක පැනයකි.


සමස්ත පෙරයම ශාන්තය, වෙහෙසකර උත්සාහයෙන් තොරවූ, සංසුන් සාමකාමී කෙටි නින්දකට උරුමකම් කියන්නට හැකිවිය. මැදියම චංචලය, එකී සෙවණැල්ල ප්‍රාධුර්භූතවේ යයි හැඟීය හැකි, විශ්වාසශීලි මොහොතය.


හරිහැටි හඳුනා වෙන්කරගත නොහැකි සිහින ඛණ්ඩ කිහිපයක අපැහැදිලි රූප රාමු පෙලකින් අනතුරුව, මෙවර එසෙවණැල්ල තරමක් පැහැදිලිව, මදක් ඈතින් දිස්විය. එහි "දෑසක්" යයි අපැහැදිලිව හඳුනාගත හැකි යමක් විය.


හාත්පස අඳුරුසළු සීතය, සඳ දහරින් තෙතබරියම්ය. සුවඳවත්ය, ලා සුදු පැහැති ඉතා කුඩා පත් ඇති, නම නොදන්නා මල් වර්ගයක්, දහස් ගණනින් අවකාශයෙහි ඉතා සෙමින් රිද්මයානුකුල රටාවකට, නිශ්චිත ගමනාන්තයක් රහිතව පාවෙමින් තිබිණ. ඉන් අහුරක් මිට මොලවාගෙන සුවඳ බලන්නට අවැසිය. දෙනෙත, එකී සෙවණැලි සත්ව දෑස මත තිරස්ව රඳවා, මල් මිටක් අල්ලා ගුලිකොට නැහැයට සමීප කරගතිමි. නාස් පුඩු කිති කැවී හිසාභයන්තරය නලියන්නට වුයෙන්, කිවිසුමක් පිට විය. ඉහළ සිට පහළට ඇද වැටෙන්නාක් මෙන් වූ හැඟීමකින් තිගැස්සී අවදි වූවෙමි. සාංකාවකි, පාලුවකි. වචනාර්ථයට, චිත්තාර්තයට නගා ගත නොහැකි වූ හැඟුමන් සමුදායකි, කණස්සල්ලකි.


එකම සිහිනය, කිහිප දිනක් යනතුරුම එකම ආකාරයකට දැකීමෙන්ද, එකම ආකාරයේ හදිසි අවදිවීම් වලින්ද සමන්විතවූ ඒකාකාරී රාත්‍රීන් පහකට පසු, එක් රැය මැදියමකදී, තරමක් මා සමීපයට පැමිණ හිඳී හෙවණැල්ලෙහි දෑස, එවර ඉතාමත් පැහැදිලිව සහ තීව්‍ර දැකගත හැකි විය. දිදුලන දෑස හැර එහි අන් කිසිවක් නොවිණි. වලසෙකුගේ ශරීරයට අතිශය සමාන වූ ඒ උමතු සත්ව රුව මා අසලය.


"ඊශා...." මිමිණුම අෑතින්ය. ගොරහැඩිය, අතිශය ළයාන්විතය, අප්‍රමාණ තෙත් බවකින් යුක්තය. හඬක් මිසක මුමුණන දෙතොලක සේයාවක් දැකගත හැකි නොවිණ.


නව යොවුන් යෞවනියක, ප්‍රථම ප්‍රේමයෙහි සුවඳාකර්ෂනයෙන් මුසපත්ව, ගැටවර හිතක අවධානක්ෂියට හසුවන කලෙක මෙන්, එකී නිර්මලවූත් ආගන්තුකවූත් සුපෙම් පහස් සුව විඳිනා කලෙක මෙන්, පහන් ඖදාර්යයකින් මා ගත පිබිදි තිබිණ. අහේතුකය. විශ්වාස කළ නොහැකක්ය, සත්‍යයක්ය.


..............................................


සිව් දිනක් යනතුරුම වරක් හෝ නොදිස් වූ ඒ රුව නිසාවෙන් උපන් දෝමනස්ස සංකාවන් විසින්, මා කායිකව හා මානසිකව අඩපණ කර, අලස දුපතක සිරගත කරනු ලැබීය. වේදනාබර ඉහිලුම් සහිත දවස් කිහිපයකට පසු උදැසනක, ඇඳ ඇතිරිල්ල මත ඇලී තිබෙනු දුටු ඝනකම් දිගු ලොම් අහුරක් විසින්, උක්ත අලස දුපත් සිරකඳවුරින් මා මුදවාගනු ලැබීය.


තම පෙම්වතියගේ හිසින් හිලිහුණු කෙස් අහුරක් සාක්කුවේ දා පරෙස්සම් කර ගෙදර ගෙනැවිත් දයාලේඛිව පිරික්සන බොළඳ පෙම්වතෙකු මෙන්, මා ඒ ලොම් අහුර ගෙන පිරික්සා බලා, මේසය මත වූ පොතක පිටු දෙකක් අතර අවකාශයෙහි රැඳවා එතැන "Beast". ල‍ෙස රතු අකුරින් ලියූවෙමි.


අතීත හුදකලාව විසින් පදම් නොකරන්නට, මේ මොහොත ඉඳුරාම වෙනස්වන්නට ඉඩ තිබිණ. මා භීතියෙන් ඇලලීගොස් සිහි විකල් වන්නටද ඉඩ තිබිණ.


හවස තුනට පමණ හිස බරකරන්නට ගත්තායින්, සැනසුම පිණිස, පැනඩෝල් දෙකක් බී ඇඳට වැද හාන්සි වීමි. සිහිනයකි, පුදුමයකි.


අපේක්ෂා නොකළ හමුවීම් පුදුම සහගතය. ලියන මේසය අසල ඒ රුව සදිසි වීය. කාමරය පුරා විහිද ගිය සිහින් පැඟිරි මල් සුවඳකි. අපරිමිත ස්නේහානුරාගය කැටිව, උතුරා යන ඒ කාන්දම්කර්ෂිත දෑස කිසිවක් මුමුණමින් සිටියේය. මා ඉතා ඕනෑකමින් සවන් දුන්නෙමි.


ස්වප්න භාෂාවට නිශ්චිත හඬක් නැත. එමෙන්ම ඒ ස්වප්න රුවටද හඬක් නැත. සන්නිවේදනය අදිසිමාන ක්‍රමයකිනි. හේ පවසනා දේ ග්‍රහණය කරගැන්මටත්, මා පවසන දේ තේරුම් ගැනීමටත් හැකිය.

"කවුද ඔය"

"මම"

"මම කියන්නේ... නමක් නෑ...?"

"නෑ"

දුරකථනය නාද වීමෙන් බිඳ දමන ලද ස්වප්න බන්ධන දැහැන්ගත සමාධිය හේතු කොටගෙන කම්පාවෙන් මා අවදි වීමි. තිරය මත තිශුලගේ රුව සහ අංකය දිස්වීම මේ මොහොතේ මට අපුලකි.


"හෙලෝ"


"හෙලෝ"


"ඔව් කියන්න... තිශුල"


"මං අද රෑ ගෙදර එනවා"


"ම්...කීයටද"


"වෙලාවක් කියන්න බෑ.. එනවා..., මං ටිකක් බිසී බබා.. තියන්නම්..බායි..."


ළදරුවකු විසින් ඉදිකරමින් තිබුණ වැලි මාලිගය කුරිරු දළ රළ විසින් විනාශ කර දැමුවාක් වැනි හැඟීමක්ය. ආශාවෙන් තොල ගගා හුන්, අතක රැඳි හිම කිරම දියව ගිලිහී බිම පතිත වුවාක් සේය.


..............................................


තිශුලගේ යයි සිතියහැකි වාහනයක් ගේට්ටුවෙන් ඇතුලට හරවා පෝටිපෝව මත නවතනු ඇසීමෙන් මා ඇඳෙන් බිමට බැස ආලින්දයට ආවෙමි.


ෆයිල් කිහිපයක් දෑතෙහි රුවාගෙන පැමිණි ඔහුගේ මුහුණේ වූයේ හැඟීම් විරහිත සුපුරුදු "who cares" ස්වභාවයය.


"කොහොමද බබා"


"..............." මම ආයාසයෙන් මුවග සිනාවක් රඳවා පිළිතුරු සැපයීමි.


..............................................


මැදියම් රැය ඉක්මවන තෙක්ද සුපුරුදු පරිදි ඔහු ෆයිල් පිටු අතර මුහුණ හොවාගෙනය. මම නොයිවසිල්ලෙන් අදිසි රුව හමුවන තුරු සංවේගයෙනි.


පාන්දර එකට පමණ නිදාගන්නට ආ තිශුලගේ කෘතීම සිප වැළඳගැන්මෙන් හා දරුණු රිදවීම් වලින්, අතිශය වේදනාවට පත් ම'සිරුර, සයන මත අප්‍රාණිකව වැතිරී තිබිණ.


නිදිවර්ජිතව ගෙවන ලද කර්කශ රැයක් අවසන, උදාවූ අලුයම ඔහු සුපුරුදු ලෙස නිවසින් පිටව ගියේය..


..............................................


ඉනික්බිතිව ගෙවුණු බොහෝ දිනවල මා හුදකලා සෙවනැලි සත්ව සිරුර සමග දොඩමළු වීමි. රහසේ ලියලා වැඩුන අදිසි ප්‍රේමයකින් මා මුසපත් වී හිඳියෙමි.


කෙමෙන් කෙමෙන් පිරිපුන් මිනිස් සිරුරක් දක්වා වර්ධනය වූ ඒ දුමාරය වරෙක සත්ව සිරුරකින්ද මා අහිමුව පෙනී හිඳී අතර, එය ඔහුගේ කැමැත්තකින් අනුදැනුමකින් සිදු නොවනා බවත්, ඊට හේතුව හේ නොදන්නා බවත් කියා සිටියේයය. ඔහු කොහේ කොතැනක පවතිනවාදැයි ම'විසින් විමසන කල්හි, මැදගිල්ලෙන් මගේ ලයට සෙමෙන් තට්ටුවක් දමා අැස් සිහින් කර සිනාසුනි.


පියවි ලෝකයේ අවදිව සිටිනවාට වඩා මා දැන් තත්‍ය වශයෙන් නිදාගෙන හිඳීමට ප්‍රිය කරමි. ඒ හේතුවෙන් දවසේ බොහෝ කාලයක් නින්ද සඳහා කැපවිණි.


මා ඒ උමතු සත්වයා හා උමතු ප්‍රේමයෙන් බැඳුනෙමි., ඒ සංස්පර්ශයෙන් නිද්‍රාගත හැඟීම් විකසිතවීම කිසිම අයුරකින්වත් වලක්වාගත නොහැකි තැන, අවසානයේ එය ඇබ්බැහියක් බවට පත්විය.


දින සති දවස් මාස බොහෝ ගණනක් අැවෑමෙන් ඉක්බිතිවද, තිශුලගේ සුපුරුදු ක්ණික නිවාසාගමනයන් කිහිපයකට පසුවද තනිවූ අහඹු රැයකල මා ඒ ප්‍රේමණීය සිරුරින් ආයාචනයක් කලෙමි.


"හැබෑ ලෝකෙදි ඇවිත් ඔයාට මාව හැබෑවට හම්බෙන්න බැරිද"


"බෑ" යැයි කියා හේ මා දෑසට එල්බ ගති. ඔදවැඩි ගිය අසීමාන්තික සෙනෙහසකින් ළය කුහර පුපුරා යද්දී මා එ'උණුසුමට ලොබ බඳිමින් තව තවත් එහි පහසට නතු වීමි.


හිසතින් ආරම්භ වී, නළල් තල සිසාරා ගෙලද පසුකර, ලමැද කුස, දෙවටොර නැහැවූ දෙතොලස්පර්ශ හාදු වර්ෂාවකි. ප්‍රේමවන්තයින් දෙපලකට, සයනය මත යා හැකි වූ උපරිම දුර අපි පිය නගමින් හිඳියෙමු... පියවි ලෝකයකදී අත්විඳිය නොහැකි වූ, සංතෘප්තිකර ප්‍රීතියකින් ඉපිළගිය මගේ ආත්මගත සන්තානය ප්‍රති පෝෂණය වෙමින් තිබිණ. 


වැව් තාවුල්ල මත තෙරපි ජල ධාරාවෝ අපමණ පීඩනයකින් වැව් තාවුල්ල බිඳ දමා, වියළි ගම් දනව් දියෙන් තෙත්කර ගලන්නාවූ උද්යෝගය යම්සේද, එවන් වූ ඌර්ජයකින් මා තිගැස්සී අවදිවීමි. සීග්‍රයෙන් උස් පහත්වන ළය රේඛා, දෙතොලග නුරා මන්දස්මිතයක සෙවණැලි මල් පුබුදුවා තිබිණ.. මේ'යයි පැවසිය නොහැකි වූ මහාපරිමිත සෙනෙහසකින් ලද අදිසිමාන අඩ ස්වප්න අඩ පියවි තෘප්තිය විසින් "තව වරක්" යැයි මොරගා හඬන, නොසන්සිඳෙනාශාවකින් ගිණිබත් ළයෙහි කෙඳිරුමට කන්දී, දෙඋරින් පැන සයනය පාමුල වැටි තිබුණු රාත්‍රී ගවුම රැගෙන ගත කරලා ගතිමි.


..............................................


නැවත පණ ලද ජීවිතාශාව හේතුකොටගෙන උදාවූ උදෑසනක, අපේක්ෂා නොකළ තෙහෙට්ටු අවදිවීමකි. තැබූ පය පැකිලී ගොස් බිම පත බෑවෙන්නට නොගොස් සමබරතාව පාලනය කරගත්තේ අසීරුවෙනි. කුස හාරා ඉහලට ආ ඔක්කාරය, නාන කාමරය තෙක් පියනගන තුරු දරාගත නොහැකි විය. පැයක් ඇතුලත කිහිප සැරයක් වමනය කිරීමෙන් පසු ප්‍රතිකාර ගත යුතු බවක් හැඟින.


"හෙලෝ"


"හෙලෝ තිශුල... මට ටිකක් සනීප මදි.. ඇඟට පණ නෑ... වමනේ ගියා දෙතුන් සැරයක්"


"වමනේ ගියා ? ඇඟට පණ නෑ ? සනීප මදි ?" අපේක්ෂා කළ අවම සැනසුම්දායක පිළිතුරවත් නොලද්දෙන් අකම්පිතව නොසැලී හිඳීමට උත්සාහ ගතිමි.


"ත්‍රීවීලර් එකක් ගෙන්නගෙන ඩොක්ටර් තිසේරා ගාවට යන්න.. මට එන්න විදිහක් නෑ. තේරුණාද ? හොඳ ළමයනේ ?......" හොඳ ළමයානේ යැයි තිශුල මා අමතන්නේ ගැලවුම් න්‍යාය අනුගමනය කරන තැන්හිදී බව සක්සුදක් සේ දනිමි.


..............................................


ගෙන්වා ගත් ත්‍රීරෝද රියෙහි නැග ඩොක්ටර් තිසේරාගේ ඩිස්පැන්සරිය වෙත ගියෙමි. සිනා මුසු මුහුණින් මා පිළිගත් හිතවත් ඩොක්ටර් තිසේරා විසින් අසන ලද කෙටි ප්‍රශ්න වාර කිහිපයකට මුහුණ දීමෙන් පසු යුරීන් සාම්පලයක් පරික්ෂාව සඳහා අණ ලැබිණි.


මිනිත්තු කිහිපයකට පසු, වාර්තාව හෙදියක විසින් රැගෙන ආ අතර ඩොක්ටර් තිසේරා විසින් මා වෙත ප්‍රශංසාත්මක සිනාවක් හෙළිය.


හිතවතුනි, මා ගැබ්ගෙන තිබිණ.


~ දිස් ඊස් නොට් රයිටර් ~

Tuesday, November 14, 2017

බිසී මී !




වරින් වර ඔසවා හිස
පා කරමි ඈතට ඇස,

හිස්ය, හිස්ය,
ඒ හිස්කම...
 
කිහිප සැරයක් වැරදුණ
කන්තෝරු සටහන් අස,
අවුල් වී ගිය සියක් වැඩ
ග‍ොඩගැසුණු රාජකාරිය,


නොදන්වා පෙර ඔබ
නා බැවින් කන්තෝරු අද,
තදින් පියවර ගතයුතුය
නොදී කිසි බුරුලක් හෙට..! 



~ ඇක්ෂනිස්ට් රයිටර් ~

Pic | https://photos.smugmug.com/Professional/EPO/EPO-The-Office/i-nHz7F5j/1/bcf3d596/L/epo-L.jpg

Wednesday, November 8, 2017

මට පුරුදු


දෙතොල'ගුළු
සිඳ බිඳ,
සිනාසීමටය
ඔබ ගිය පසු
ඉතා අපහසු,

කවියකට
දුක පවරා,
නිහඬව හිඳීමය,
එදා සිටම,
මට පුරුදු


~ ස්ට්‍රෝන්ග් රයිටර් ~

 Pic | https://i.pinimg.com/originals/09/04/9b/09049b745eaebbf24d01c5ce932a8880.jpg

උගන්වා නැත්තේ ඇයි ?

නෙක පැහැති
සුවඳැති මල්,
හොවා ඇකයෙහි,
වරින් වර
එකිනෙක ගෙන,
බිම දමා පාගයි ඔබ,

කොක් හඬලා සිනාසෙයි,
මහ හඬින් වැළපෙයි,
කිසිවක් සිදුනූන ලෙස
නිහඬව ඉන්නයැයි අයදියි,


සිය දහස් වෙනි වරටද
ඔබ පසුකර හමාගිය මම,
ඒ කාන්තාර සුළඟයි...


වියරු වූ විට ප්‍රේමය,
මේ ලෙසිනි මෙලෙසැයි,
හද රිදුම් පමණැයි,
කිසිවෙක් කිසිවිටක මට
උගන්වා නැත්තේ ඇයි..!

 
~ කන්ෆියුස්ඩ් රයිටර් ~

වෙන වෙනම, ගමන්


සනුහරෙන්
වෙන්වී,
තනි තනිව
වෙන වෙනම,
ගමන් අරඹනු
පිණිසව,


~ සෙපරේටඩ් රයිටර් ~

 


මව් තන බුරළු

තබා තම තුරු පත් හිස
දෙනියෙ ඇළ ඉවුරත,
උණ පඳුරු
පෙම්වතියන් මුමුණති,
පෙමින් දිය දහරාවක
ගීතය..


යහමින් ගත හළාගත්
සේපාලිකා, කපුරු
මල් මුසු සුවඳක්,
සැක කළ හැකියි
පිය නගන බව,
සැඳෑ සාදය වෙත
මුදු සිහිල් සීතල
සුළඟක්,


පළමු වෙඩි පහරින්
ළය දැදුරු වුණ,
මුව මවක
සිරුරක් දැවෙයි,
අසල ගිණි මැලයක,


විතෙන් විත මධු
බඳුන් සපිරෙන'තර,
බිඳෙන් බිඳ
කටගැස්ම හිස්වෙයි,
ඈතින් වැයෙන
ඝන්ඨා නාද මැද,


ගහකින් වැටෙන පතටත්,
මායා'ඳුරු සෙවණැලිවලටත්,
රවටා ගනිති, රැවටෙති,
මුව පුතණුවන්
රෑනක හිත්,


මව්දෙන එතැයි ඇතිවුණ
තැවුල් සංකාවෙන්ද,
බැට කකා ඉල් මස
කුරිරු සීතල
චණ්ඩ සුළඟින්ද,
උනුන් උන් තුරුළුව නිදති
ඈ මියැදුන තැනම
තැන්නෙහි ලැග,
මව් තන බුරුල්ලක්
සිහිනෙන් දැක දැක,
හාමතින්
කිරි බඩගින්නෙම...


~ හන්ටඩ් රයිටර් ~

Friday, October 27, 2017

මග කී තාරුකා

මා සෞම්‍යාදර
හිතෛෂිවන්තිය,

වසත් සමයක්ව
වෙස්වලාගෙන පැමිණි,
"ගිම්හානයක්" අතර මැද,

වියළී කෘශව දුබලව,
පෙති පත් හැලී ගිය,
නම නොදත් මල්
උයනක් මැද හිඳ,
සුස්මන් වගුරුවමි,


ආ මගක් ගැන
නිච්චියක් නැත,
යා යුතු මගක් වුව
පැහැදිලිව නැත,


විසල් ප්‍රේමයක
සොහොන් සළකුණු මිස,
ඔබෙ නිල් දෑස මෙන් මට
මග කී තාරුකා නැත.


~ ස්ට්‍රේන්ඩඩ් රයිටර් ~

Tuesday, October 24, 2017

බිළිඳු කෝළම්

අඩ අඳුරු
විදුලි පහනක,
මද එළිය හා මුසුව
මහ රෑක මැදියම අවදිව,
බිත්ති මත සෙවණැලි
මවයි දෑතින් ඔබ,

"ඔන්න ඔන්න
දැක්කද බස්සෙක්"
"මේ මෙන්න මේ
වළහෙක්"


ගෙදර ගෙන ආ
කන්තෝරු අධික වැඩ,
මගේ තනියට
පසෙකින්ය ඔබ,


ගිණුම් වගු හා
ලේඛන ගණන් මට,
පිට පිටම පටලයි
කිහිප සැරයක්ම,


හෙටත් බැනුමක්
අසනු පිණිසව,
හදාගත යුතුය හිත,


කන්තෝරු "මහතැන" මට
කමාවුව මැන,
හිත එකලාසයක් නැත
මෙ'බිළිඳු කෝළම් අස


~ ඕවර් වර්කින්ග් රයිටර් ~
 
Pic | Internet


Monday, October 23, 2017

ඔබ ලියුම් එවිය යුතු ලිපිනය

කුඩා කඳු වළල්ලක්
මැදි කොට
තැනූ පටු මාවතක,
බිම අතුල මුදු
රෝස තිරුවාණය,
විලෝ තුරු
වියන හිසටය,

දෙපස නිල් මල් ගොමුවද,
ඔබ කැමැතිම
කැමේලියා පඳුරුද,

හඳුනාගැන්ම පහසුය,
කෙළවර තිබෙයි පොකුණක්,
අද්දර පෙනෙයි කුටියක්


...................................

මුදු සුළං
සරැළිතක බාරේ,
විලෝ තුරු
සෙවණ පාරේ,


ඔබ කැමති නමකින්
"ආමන්ත්‍රණය" කොට,


විහඟ බිඟු ජනපදය,
ශේෂ කඳු නිම්නය,

යන ලිපිනයටය,
ඔබ ලියුම්
එවිය යුත්තේ...

 
~ එඩ්‍රස්ඩ් රයිටර් ~

Friday, October 20, 2017

ළමැද මැද සාද

 

 

කෙටිම කෙටි
ඇස් පැටලුමකට
ඉනික්බිති,
ඉතා දිගු සාදයකි
ළමැද මධ්‍යයෙහි,

 

 "ගිහිං එන්නම්" යැයි
නොකී තෙපුලෙහි,
උපසිරසි දිස්වේ
මුතු නීල නයනෙහි,

 

 ඉතිං
සැණකෙළි ප්‍රීතියකි,
මහද ගැඹරෙහි,
බර අඩි තබ තබා ඔබ
රඟනා බැවින්
එ'පත්ලෙහි. 

 

~ ෆෙස්ටිව් රයිටර් ~

 

Pic | http://www.rediff.com/movies/special/the-best-moments-in-hindi-films-in-2016/20161226.htm

 

Thursday, October 19, 2017

කියන දේ නාහනකම

මහා හයියෙන්
වැහැපු හවසක,
මගෙන් පොඩි
බැනුමකුත් අහගෙන,
නාගෙන ආ ගමන්මය ඔබ
පුරව ගත්තේ
අයිස් මග් එක,

සාලයේ අසුනක
හරිබරි වී වාඩිගෙන,
රව රවා හොරැහින් මට
පෙන්වයි තව
හයිරන්කාරකම,

"හදා ගන්නවකෝ, නැති ලෙඩ,
කියන දේ නාහනකම"

මතුර මතුරා තනියම,
පිපිරුණේ මම බොරුවට,
 
ඔබේ උඩු තොල'ග රැඳි මෘදු
සුදු හිම කිරම පැල්ලම,
බදා ඇදගෙන
තුරුල්ළට ඔබව,
සිපගත හැකි විදිහකුයි
සැලසුම් කලේ මම

~ ප්‍රිටෙන්ඩින්ග් රයිටර් ~



Pic | www.istockphoto.com/photos/woman-eating-ice-cream

ඇග්නස්


"මහ සභා රැස්වීම,"
අවමංගල
ආධාර සමිතිය,

නර කෙස් ගස් අරක් ගත්
හිස් ගෙඩි කිහිපයක දුර,
සභාවේ මැද,
බිමට බර දෙනෙතිනි,
ඇග්නස් හුන්නේ
හැමදාම නුඹ, 

සතලිස් හත්
වසරකට පෙර,
යෞවන සමාජය,
මුලසුන හෙබවූයේද මම,
සභා ගර්භය මැද
නිහඬව එදත් ඔබ,

"අනුශාසක කතාව"
ඔබේ "මරණෙට",
අවමංගල කමිටුව
පවරා තිබුණේද මට,

දෙඅත් ළයේ බැඳ
නිසලව,
පියාගෙන අැස් නිහඬව,
අදත් ඇග්නස්,
එදා වාගෙම නුඹ !


~ සීක්‍රට්ලි වීපින්ග් රයිටර් ~

Friday, October 13, 2017

වටොරෙහි මල්




සුදු පාට පසුබිමක
අයාලේ විසිරුණ ,
ලා පැහැති
නිල් නිල් මල්,

දෙදණට මදක් කොට
හිර ගවුම් වාටියෙහි අග,
සඟවමින් මැහුමක
ලෙහී ගිය නූලක රැල්,

රවාගෙන මට
ගස්සා ලඟින් ගිය,
තප්පරේකට පසුවයි
පතබෑවුණේ ඔබ,

අන්න ඒ
මොහොතෙදියි මම,
පිපෙණු දුටුවේ
වටොරෙහිද මල්...

 ~ ස්ලැප්ඩ් රයිටර් ~



Thursday, October 12, 2017

රහසින් කළ පව්



 

ආනාපානසති, සමථ
විදර්ශනා භාවනාදී,
සියලු වැඩසටහන්
මා පැවැත්වූ අතරතුරදී,

 

 අර්ධ පර්යංකයෙන්
බිත්තියට පිට දී,
හුන්නේ ඇයයි
බණ මඩුව කෙළවර,
දැහැනකින් ධ්‍යාන ගතවී, 

 

සිල්ගත් උපාසක හිස් ගෙඩි
සියක් බාධක පවුරු මගහැර,
වටාපත මත හැපී විසිරි බිඳුණ,
ඇගේ ළය සීතල හුස්මක්ය,
මේ මහා නස්පැත්තියට මුල,

 

ධර්මයේ ගාථා අතර,
පැරණි බණ පොත්
පුස්කොල ගර්භ මැද,
පෙම් කවි ලිය ලියා සැඟවීම,
රහසින් කළ පවකි
ඈ රූ කටු කුරුටුගෑම.

 

 ~ ඩිස්රෝබ්ඩ් රයිටර් ~


රතු පාට ලදරං ටකරං බස්


ඉතිහාසයක ගැඹුරු දුර
ගොඩකර දමන්නට,
නොහැකිවී ලතැවෙන
ඝනාලේපිත 'තීන්තස්ථර'

උසස්පෙළ අවසාන දවසක
බස් රියක පසුපස අසුනක,
'කුරුටු' ගෑ අපි අපේ නම්වල
ඡායාවකිය හිත්වල,

උපාධියෙන් ඉක්බිතිව
දෙවෙනි පත්වීම ගමට,
ම'ප්‍රිය බිරිඳ හා පුතුද
අතීතෙන් ලද කදමලු බරද,

රතු පාට ලදරං ටකරං බසය,
අතීතෙන් පැන ආ
යගදාවක් විලස,
තලා පෙලා හදවත මැඩ
දුක් සුසුම් ගිලිහෙන'තර,

"හා ! හා !! පුතා බස්වල,
සීට්වල, යන එන තැන්වල,
බලි කුරුටුලන්නෑ
හොඳ ළමෙක් වුණහම..!"


ඇසෙයි තරවටුවක්
බිරිඳගෙන් පුතුට,
පණ ඇද ඇද දුවන
ලංගම ඇන්ජින්
සද්දෙට මුසුව

~ ශොක්ඩ් රයිටර් ~


Pic | http://sltbbus.blogspot.com

Friday, October 6, 2017

"නාලක" "විජිත"




දුවයි මාවයි ගෙදර තනිකොට
ආපහු එන ගමනකුත් නැති කොට,
මගේ ඇස් දෙක මට තව
අදහගන්නට බෑ තමයි "නාලක",

බල්ලෝ රෑනක් උඩු බුරපු දවසක
"බ්රාස්" ගාගෙන ආව ජීප් එක,
ගෙනා මූසල පයින්ඩේටම
අවුරුදුම කීයක් ගතවුණාවද,

උඹේ හැඩරුව බැල්ම කැටි කොට
ගමේ උන් විරු පිළිමෙ හැදුවට,
එතැන පහු කර කර ආව වාරෙට
පිච්චුණේ මැරි මැරි, මමයි තනියම

කුස්සි කළමනාවෙන් පටන්ගෙන
නිදි පැදුරේ අඩුපාඩු
හොයනකොට "විජිත",
දුකක් තනියක් නොදැනීම
ඇත්තක් නම් තමයි "නාලක"

ඒ වුණත් හංදිය පහුකර
උඹේ ඇස්දෙක දිහා බලාගෙන
බඩක් උස්සන් ක්ලිනික් යන්නට
කියාපන් දෙවියනි පුලුවන්ද මට


~ දිස් ඊස් නොට් රයිටර් ~



Friday, September 22, 2017

මම, සිදුහත් !



ගෙවා පසුකර මග
හඹා ආයෙන්,
සංසාර දුර
කල්ප ලක්ෂ්‍යයක්, 

ඇසතු ඇස් පාමුල
වැතිරගෙන,
වඩවමිනි වීරිය
ප්‍රේමධ්‍යානයක්,


දුෂ්ක්‍රක්‍රියා කොට
ඉක්මී ගියාවද,
බෝ සේ දිගු
කාලයක්,


ඔබෙ රුදු නපුරු
පිළිවෙත අස,
බුදු බව නොලදිමිය
මම, සිදුහත් !


~ ෆේල්ඩ් රයිටර් ~

Wednesday, September 20, 2017

S + M


දත් මිටි කාගෙන හිටියේ මම. ඔව් මං හිතෙන් ගණන් කළා. හරියටම ඒ හයවෙනි වතාව. බස් එකක, ෆිල්ම් හෝල් එකක ත්‍රි වීල් එකක හරි මොන බඩකඩිත්තුවක හරි එකට යද්දී, ඉද්දි මොන කෙල්ලද කැමති තමන් ආදරේ කරන එකා තමන්ගේ ඇස් දෙකෙන් මිදිලා වෙන වෙන ඒවා දිහා බලනවට. ඇරත් කෙල්ලෙක් දිහා හරි ගෑනියෙක් දිහා හරි බැලුවනම් හොඳවයින් දෙකක් කියලා අඩව්වක් අල්ලන්න තිබුණා. ඇරත් ඒ එදා අපේ පළවෙනි නිල හමුවීම. ඉස්කෝලේ තැන් තැන් වල කලින් හම්බ වෙලා තිබුනත් ස්කොලෙන් පිට මුණගැහෙන පලවෙනි වතාව.

දෙකේ ලේන් එක ඉවර වුණාම තියන ඉඩම පිටිපස්සෙ කනත්තේ, මිනී භුමදානේ කරන්න කලින් ගෙනත් පැන් වඩන මඩුවේ, ඇති තරම් ඉඩ තියනවා කියලා එතනදී හම්බෙමු කියලයි එයා මට කිව්වේ. මොන ඉලව්වක්ද !

පොඩි එවුන් ලොකු වෙච්ච දාක උං අහද්දී අම්මයි තාත්තයි ඉස්සෙල්ලම හම්බුනේ කොහෙදිද කියල, කටක් ඇරලා කියන්නවත් පුලුවන් තැනක්ද කනත්ත කියන්නෙ.

මැස්සෙක් ! මැස්සෙක් හින්දා මින්හෙක්ට මෙච්චර නොසන්සුන් වෙන්න පුලුවන්ද...? ජීවිතේ පළවෙනි පාර නිසා කියල හිතලා මං ඉවසන් ඉන්න තීරණය කළා. ඇයි පිරිමියෙක්ට, ඒ වගේ ලස්සන දවසකදිවත් ටිකක් හිතලවත් සීරියස් වෙන්න බැරි.

බස් එකේ පිටිපස්සෙම සීට් එකේ, මම වීදුරුව පැත්තේ. "ස්පයික්" ඔව් එයා හිටියේ මගේ දකුණු අත පැත්තේ. එයාට එහායින් ඕනනම් දෙන්නෙක් ඉන්න ඇති. බස් එකේ සෙනග නෑ, අඩුයි. දවස් ගානක් බඩගින්නේ හිටපු කටුස්සෙක් වගේ ස්පයික් අර මැස්සට කුරුමානම් අල්ලනවා ඒ මිනිස්සුත් බලාගෙන. මොන විකාරයක්ද මේ?. පිස්සෙක් !

යාලුවෙන්න අහ අහ පස්සෙන් ආව දවස්වල මගේ හිතේ ස්පයික් ගැන අබමල් රේණුවක අදහසක්, පැහැදීමක් තිබුනේම නෑ. හොටු නාවර පෙරාගෙන, අපිරිසිදු ඇඳුම් ඇඳගෙන ආපු එයා ගාවින් එන දාඩිය ගඳ මට අප්පිරියයි, අපුලයි. ස්කොලේ පන්ති පටන් ගන්න කලින් උදේ යාළුවො එක්ක ඇති පදම් නටල නටලා, දවසක් බෙල් එක ගහන වෙලාවට පන්තියට දුවගෙන ආවේ දොරකඩ ගාව හිටපු මාව තල්ලු කරගෙන. මදනයා ගහපු ඇතා වගේ කුලප්පු වෙලා මාව පහු කරන් ගිය ස්පයික් ආපහු හැරිලා මගේ දිහාට ආව. ඉහින් කනින් බේරෙන දාඩියයි, සපත්තු ගඳයි... ෂික්.! හිරිකිතයි !

නසරානියා... මාව කොන්ඩෙන් ඇදගෙන ගිහින් කළු ලෑල්ලටයි උගේ ඇඟටයි මැද්දෙන් තියලා මාව හිර කරලා තද කරලා, මහ අවලං හිනාවක් දැම්මා. සුදු කමිසේ බත් වෙන්න දාඩිය දාලා, ඒ මදිවට හපුටු ගඳයි දාඩිය ගඳයි මේස් ගඳයි. වේදනාවට වඩා අප්පිරියාවට මට කඳුළු පනින්න ආවා. මම දත් කාගෙන ඉඳලා ගුලිවෙලා එක පාරට පාත් වෙලා උගේ ග්‍රහනෙන් මිදුනා.. මිනිහට පුදුම හිතෙන්න ඇති.

මං කනට ගහන්න නෙමෙයි හිටියේ. හිතා ගන්න බෑ කොහේ තිබුන ආවේගයක්ද කියලා.. මං හිතන්නේ ගිණිකඳු පිපිරෙන්නෙත් එහෙම වෙන්නැති. උගේ ග්‍රහනෙන් මිදිච්ච මම ඉස්සෙල්ලම කලේ වටයක් කැරකිලා ඌ ගාවට ඇවිත් අත පුරවලා රත් වෙන්න කන අතගාපු එක. මිනිහා හීනෙකින්වත් බලාපොරොත්තු වෙන්න නැතිව ඇති ඒ මොහොත. කම්මුලේ අඩුම තරමේ ඇඟිලි දෙකක වැවිරියක් නම් හිටින්න ඇති. මිනිහගේ කම්මුලෙන් මගේ අත නිදහස්වුණ ඇසිල්ලක තප්පරේ ඉඳන් අත පුපුරු ගහන්න ගත්තා.

හිත..? ! නෑ.. ඒක එවලේ පුපුරු ගැහුවද කෑ ගහල මොනා හරි කිව්වද කියල මං මොකටද කාටවත් කියන්නේ. ජීවිතේ මිනිස්සුන්ට රහස් තියෙන්න ඕන. මිනිස්සු ඒ රහස් රකින්න ඕන. පොඩි කාලේ ඉඳන් එහෙම රහස් මවාගෙන රකින පුරුද්දක් මට තිබුණා. .

එදා මගේ උපන්දිනේ. ජීවිතේට උපන්දිනේට කියලා තෑග්ගක්, සුබ පැතුමක් හම්බවෙලා තිබුනේ නැති මට, පුදුම වෙන්න තරම් සහ ජීවිත කාලෙම අමතක නොවෙන විදිහේ සිද්දියක් වුනා. ගෙදර මිනිස්සුන්ටත් අමතක වෙන ඒ දවසෙත් වෙනද වගේම මම ස්කොලේ ආවා. දහය පහුවෙලා විනාඩි පහ හයක් ගතවෙන්න ඇති. හිස් පීරියඩ් එකක්. මගේ ඩෙස්ක් එක උඩට පිටිපස්සේ ඉඳන් ආපු ටෙනිස් බෝලයක් විතර ලොකු කඩදාසි ගුලියක් ඔලුවේ වැදීගෙන, කකුල් දෙක ගාවට වැටුණා. මොන හේතුවකටද මංදා මට ඒක අරං ලෙහන්න හිතුනා. 
 
පොඩි කරපු ෆුල්ස්කැප් කොළ පහක් විතර එක පිට එක ඔතලා තිබුණා ගුලියක් විදිහට. මං හීන් සීරුවේ ලෙහුවා. තුන් වෙනි කොලේ නම් ටිකක් කහ ගැහිච්ච එකක්. බිම තිබිල සපත්තුවලට පෑගුන ඒකෙ සපත්තු අඩි ලකුණු පවා තිබුනා. මට නහයට ස්පයික්ගේ සපත්තු ගඳ දැනුණා..!

අන්තිම කොලේ ලෙහද්දී තද රතු පාට සිලි සිලි බෑග් කෑල්ලක දාපු කඩදාසියකින් ඔතපු මොකක් හරි දෙයක් මගේ අතට අහු වුණා. මං ඕනකමින් ගැටේ ලෙහලා බැලුවා. මැරිච්ච කැරපොත්තෝ ජෝඩුවක් !. එකෙක් සුදුම සුදුයි, අනිකා සාමාන්‍ය එකෙක්.. උන් දෙන්නව සිගරට් පැකට් එකකින් ගත්තු ඊයං කොලේක ඔතලා තිබුණේ.

ඕනේ තැනක දිවුරලා කියන්න පුළුවන් කැරපොත්තෝ දැකලා මං අප්පිරියාවෙන් කෑගැහුවේවත්, බයේ නැගිටලා දිව්වෙවත් නෑ. හේතුව, සාම්ප්‍රදායික ගෑනුන්ට තියන කෘමි සත්තුන්ට තියෙන බය මට පොඩි කාලේ ඉඳන් තිබුනේ නෑ. ඒ ගැන පුදුම වෙන්න තරම්වත් ඒ ඇයි කියලා හොයල ආඩම්බර වෙන්න තරම්වවත් සමීප කෙනෙක් මගේ ජීවිතේ හිටියේ නෑ. කොටින්ම ඒක මට, ගෙදර හැමෝටම සාමාන්‍ය සරල කාරණයක්.

අර ඊයම් කොලේ. මට ඒක අනික් පැත්ත පෙරලලා නිකමට බලන්න හිතුනා. බලන්න හිතුනද , ඉබේ බැලුනද ?. ම්ම් නෑ ඕනෑකමින් බැලුවේ.

ඉවර වෙන්න කිට්ටු ලා නිල්පාට බෝල්පොයින්ට් පෑනකින්, කැත අකුරෙන්, කැඩී කැඩී ඉහිරුණු තීන්තෙන් "හැපී බර්ත් ඩේ" කියලා විතරක් ලියලා තිබුණා. කාටද කියලා කිසිම ආමන්ත්‍රණයක් තිබුනේ නැති ඒකේ අකුරු පේලිය යටින් from SPK කියලා තිබුණා..!

ස්පයික් ! නසරානියා..!!

සුබ පැතුම ඉංග්‍රීසියෙන් තිබුණේ. Birth වෙනුවට Brith කියල වරද්දලා.මට හිනා යන්න ආවත්, ඒක මගේ ජීවිතේ සැළකිය යුතු අති සුවිශේෂි මොහොතක් හින්දත් මිනී කන යක්ෂයකුට වුණත් ඒවගේ දවසක මාව මතක් වෙන එකත් මට ලොකු දෙයක්. මම අමාරුවෙන් ඒ හිනාව ගිලගත්තා. යටි හිත මෙහෙයවපු අණ කිරීමක් නිසාද මං එහෙම කළේ කියලා හරියට මතකයක් නෑ.

SPK , SPK , SPK , මේ මොන විකාරයක්ද. ඇයි මං ඒ අකුරු මිමුණුවේ. ඇයි මං ඒ විදිහට හැසිරුනේ. හිත එවලේ කෑ ගහලමොන දේ කිව්වත් ඒ මොනාද කියලා කාටවත් කියන්න මං කැමති නෑ. ඒක රහසක් !

ඊයං කොලෙන් ආපු දුම්කොළ ගඳත්, කැරපොතු ගඳත් එක්ක නහය හාරපු ඒ විකාර කුයිලේ, ඒ දවස ගෙවිල ගිහිං දවස් ගානකට පස්සෙත් ටිකෙන් ටික හිත හාරන්න ගත්ත හේතුවට උත්තරේ ලැබුණේ දවස් ගානක් ගිහින්.

ඒ උත්තරේ ලැබෙන්න කලින් මං කළේ හොරෙන් හොරෙන් ගෙදර කවුරුත් නැති වෙලාවක ඒ ඊයම් කොල කෑල්ල ඉඹ ඉඹ බලපු එක. එහෙම කරලා ඒක පපුව උඩ තියන් මං අහවල් දෙයක් කල්පනා කරාද. මනස්ගාත !

මොනවා කල්පනා කරත් ඒ පරිච්ඡේදෙ අතිශය පුද්ගලික රහසක් විදිහට මගේ රහස් ගබඩාවෙම මුල්ලක රහස් ගොන්න අතරේ හංගගත්තා. සිගරට් දුම්කොළ ගඳත්, කැරපොතු ගඳත් අස්සෙන් මට ස්පයිගේ දාඩිය ගඳ, සපත්තු ගඳ දැනෙන්න ගත්ත.. මට ඔල්මාදේ හැදීගෙන එනවද..!

ගෑණියෙක්ට ආදරෙන් බැඳෙන්න මහා ලොකු දෙයක් ඕන නෑ. ආදරෙන් එකම එක වචනයක් කියනවනම් කෙල්ලෙක් අවතාරයක් එක්ක වුණත් යාලුවෙයි.
 
මොන මගුලක්ද ගෑනු ඒ තරම් බොළඳයිද ? එතකොට මම ? මටත් වෙන්නේ ඒකද ? මං බොළඳයි ද? හඩු ගඳ ගහන කිසි කමකට නැති එකෙක් එක්ක ආදරයක් පටන් ගන්න. මට පිස්සුද ?

-----------------------------------------------------------

බරාරාරාරාස් ! ගාල බස් එක බ්රේක් පාරක් ගැහුවා පාරේ මැද... හත්වෙනි වතාවට ස්පයික් සාර්ථකයි. කුරුමානම් අල්ලමින් හිටපු ස්පයික් ඒ ඇසිල්ලට සීට් එක ඉස්සරහ වීදුරුවේ වහල හිටිය මැස්සාට කඩාගෙන පැන්නා. ස්පයික් ඌව ඇඟිලිවලින් පොඩි කරලා ජනේලෙන් එලියට විසික් කළා.

"ඌ ඔයාගේ ඇඟේ වහන්ඩ කුරුමානම් ඇල්ලුවේ, මං හිතුවා කොයි වෙලාවක හරි ඔයාට විදියි කියල, උං විසයි.. කෑවම පලු දානවා"

කෙල්ලෙක්ගේ ජීවිතේ රහසක් විදිහට තියාගෙන ආයේ ආයේ මතක් කර කර විඳින්න ඕන හැඟීමක්, මගේ ඇඟට අලුතෙන් ලේ පොම්ප කරනවා වගේ දැනුණා.

මං මුකුත් කියන්නේ නැතුව වීදුරුවෙන් එළිය බලාගෙනම ඒ වීදුරුවෙම තිබිච්ච දුවිලිවල
ඇඟිල්ලෙන් S + M කියලා ලිව්වා.. ඒ අපේ නම්වල මුල් අකුරු.

Friday, September 15, 2017

"ඇයි"


වීදිය තෙත බරිතය. මා වඩාත් ප්‍රිය කරන ලා අඳුරු පැහැයට හුරු කාලගුණයත්, වළාකුලෙන් අහස බරවී, පහත් වූ ගතියත් හැරුණු කොට, පොළවෙන් ආ තෙත කුයිලය, පැවැති මන්දාලොකය හා මුසුව ගෙන එනු ලැබූ සුපැහැදිලි වෙනසක් හාත්පස පෙනෙන්නට තිබිණි. ඉකුත් පැය කිහිපයකට පෙර ඇදහැළුණු වර්ෂාවෙහි සිහිලස, ඒ වනවිටත් මුලුමනින්ම පාහේ පරිසරයෙන් පහව ගොස් තිබුණේ නැත. 

සැළකිය යුතු දුරක් ඇවිද ඒමෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබු ඇගේ සිරුරෙන් විහිදුණු සියුම් උණුසුමක නොපෙනෙන රැස් දහරාවක්, දහදිය සුවඳද එක්ව මුසුවූ විලවුන් සුවඳක් සමග විහිදෙන්නට විය. මාගේ 'පෙණහළු තුළට ආශ්වාස වාතය පිරීමෙන් හා පිටවීමෙන් සිදුවන අනිච්චානුගතවූ ස්වභාවික රටාව, කිහිපවරක්ම මා හිතාමතා කඩාකප්පල් කර බිඳ දැමුවෙමි. ම'නාස්පුඩු අග වැදී ස්වාශනාලය හරහා ගොස් රුධිරයට සම්මිශ්‍ර වූ, ඒ ආමෝදයෙන් ජනිතවූ, මිහිරි සෞන්දර්යාත්මක හැඟුමකින් මා මත් වී උන්නෙමි.

මාගේ දකුණතෙහි දබරඇඟිල්ල වටා, ඈගේ වමතෙහි අතැඟිලි එතී තිබිණ. පරිබාහිරව බැලූ බැල්මටම, ගිලිහී යාමට ආසන්නව, නොසැලකිල්ලෙන් අල්වාගෙන හිඳිනා සෙයක් දිස්වෙනමුදු, අප එකිනෙකා හා බැඳී හුන් අදිසි හුය, ඊට හාත්පසින් වෙනස්වූත් ඉතා ශක්තිමත්වූත් එකක් බව හඟින ලෙස, මා හදවත මෙහෙය වූවෙමි. එසේම තව දුරටත් එය තර්ජනාත්මක විධානයකින් නොවිය යුත්තක් යැයි සිතන්නට, ම'අභ්‍යන්තරයෙන් පැන නැග ආ ප්‍රතිරෝධ බලයක් විසින් මා සිතිවිලි මෙහෙයවන ලදී.




කොයියම්ම මොහොතක හෝ ප්‍රේමය, ම'වෙතින් ගිලිහී යා හැකිනේදෝ'යි යන, සාධාරණ සැකයක් නිරන්තරව මසිත විය. අතීතය විසින් සපයන ලද ඌණ පුර්ණිත ජීවනාත්දැකීම් විසින් උසි ගන්වන ලද විලෝපිය යක්ෂ සිරුරු, එ'මොහොත වනවිටත් කඩා වැද, මා අඩපණ වූ සත්වයෙක් බවට පත්කර තබන්නට සමත් වී තිබිණ.

මට සමාන්තරව ලාලිත්‍යකට ඇවිදිමින් හිඳින ඈගේ ඉඟටිය විටෙක මාගේ බඳෙහි වැදෙයි, එකෙණෙහි නිරායාසයෙන් මට ඈ දෙස බැලෙයි. එසේ බලා හිඳිනා මොහොතක් බොහෝ විට දිගු වෙලාවක් පවතියි.

ඈ විසින් හදිසියේ අනපේක්ෂිතව ග්‍රහණය කර ගන්නා එවන් මොහොතක, ඈ වහා හිස හරවා නිහඬ සංඥා බසින් "ඇයි" යනුවෙන් විමසයි. එවිට ඈගේ දෙතොල දෙපසට ඇදී, ඒ මත සංවෘත මන්දස්මිතයක් ඇඳෙයි, ඇස් සිහින් වෙයි. දෙවුර මදක් හැකිලෙයි. ඉනික්බිති ඈගේ මුහුණ මත, මා කවදත් දැකීමට ඉතා ප්‍රිය කරනා හැඟීම් සමුදායක් තටු ගසා ඉගිලෙන්නට තතනනු පෙනෙයි. එ'සියලු හැඟීම් චිත්‍රණය කළ, සියුම් කෝමළ රේඛා, ඉතා ගිජු බවකින් ඩැහැ ගන්නට ම'මනස සැදී පැහැදී හිඳියි.

ඈ එසේ කිහිප වරක් "ඇයි" දැයි යන්න විමසා ප්‍රශ්න කිරීම නතර වන්නේ, මා ඈ මෙන්ම ගොළු බසින් "මුකුත් නැහැ" යනුවෙන් පිළිතුරු ලෙස හිස දෙපසට සැලීමෙන් අනතුරුවය. පිළිතුර බාරගත්තා යැයි හැඟවීමට ඈ අල්වාගෙන හිඳින ම'දබරඇඟිල්ල තදින් මිරිකයි.

එවන් වූ මොහොතක පැහැදිලිව සන්නිවේදනය කරගත නොහැකි වියළි හැඟීමකින් මා පීඩාවට පත්වෙයි. ඉතා දැඩිව ඈ වැළඳ ගැනීමටත්, එක මිටකට ගෙන, ළය මැද තැනෙක සුරක්ෂිතව සඟවා ගත යුතුය'යි වැනි, උමතු ආශාවකිනුන් මා පෙළෙයි..

ප්‍ර්‍රේමය හටගත්තේ කවදාදැයි, කොතනකදැයි, එය කුමන පැහැයක් දැයි, ප්‍රේමයෙහි ඵල නෙලාගැනීමෙන් එහි ජීව ගුණය පිරිහෙන්නේයයි, වැනි සාම්ප්‍රදායික, බහුබූත, මනස්ගාත එවන් වූ මොහොතක සිහියට එළැඹීමත්, අතිශය බොළඳ ප්‍රේම ගීයක පදපෙලක් යටි සිතෙහි නොකඩවා මැතිරුමක් ලෙස ගායනය වීමත් ගැන මා වදවන අතරතුර, ඒ කිසිවක් නොහැඟෙන, නොතේරෙන ලෙස ඈ පියවර තබයි..

ප්‍රේමය හටගත්තේ කොතැනකද, නිතැතින්ම ඊට ඉතාමත් යාබද නිමේෂයකදී එය නිශේධ වීමක පළමු පියවර එළැඹෙනු ඇතැයි, කොහේ හෝ කියැවූ ඡේදයක කොටසක් මට සිහිවෙයි.



~ ඉන්සේන් රයිටර් ~

Wednesday, August 23, 2017

කවිද, මමද ?


සියළු තත් බිඳ,
කිසි දොසක්
නොනගන්න,
වීණාව වැරදි නැත,
මියුරු ස්වර
නොවැයීම ගැන,

යුෂ්මතිය ඔබ,
වැරදිකාරියද
නිවැරදිකාරියද,
කවියෙකුට කවි
අහිමි කරලීම
සම්බන්ධව,

ස්වාමිනි ගරු,
ඔහු පැටැලුනේ
ඇස්වල,
ඉනික්බිති,
හදවතේ මැද,
කොයි ගෑණිටද
පුළුවන්,
ආදරේ බෙදා ගන්න,

ස්වාමීනි ඔහු,
තීරණයක්
ගත යුතුව ඇත,
අදින් පසු,
කවිද, මමද ?

~ ව(ර්)ඩික්ටඩ් රයිටර් ~