Sunday, July 31, 2016

දෙදෙනෙකුට මිස




දෙදෙනෙකුට මිස
එකවර තනි තනිව
හුස්ම ගෙන
පුරුදු නැති
හදවතෙහි
දුක්බර හඬට
කන් දෙමි,

මන්දිරා, ඔබ හුන්
හිස් අසුන වෙත
ගුරු මේසයේ සිට
ඇති දුරම මිස

දෙසිතක් අතර දුර
නොවන බැව්
'හදවතට හඟවමි

~ ටීචින්ග් රයිටර් ~

Saturday, July 30, 2016

ශාන්ත සෙබස්තියන් වීදිය



ශාන්ත
සෙබස්තියන් වීදිය
කොයි තරම්
නිහඬද

නැවතී කතා
කරනවා නම්
මේ බංකුව තමයි
හොඳම තැන

ලා පැට්‍රීශියා
අවන්හලේ
කෙලවරේම
මේසෙක
ඉඳගෙන
උණුසුම්
කෝපි බඳුනකට
අපේ දුක
කියමුද

~ රයිටර් වෝස් කිල්ඩ් බයි අ කියුපිඩ් ~

Friday, July 29, 2016

ගනුදෙනු



ගනුදෙනුව,
කතාකරගත්
පරිදිමය...

හිස සිප ගැන්ම,
රහසින් කෙඳීරීම,
නළලත හාදු රැඳවීම,
සහ ආදරෙන් ඇමතීම,
පමණක් තහනම්ය...

ගණුදෙනුකාර
සුපෙම්වත,
පැයක කාලය
ගිණීම,
මෙතැන් සිට
ඇරඹෙනු ඇත

~ ගිල්ටි රයිටර් ~

Thursday, July 28, 2016

අවසාන වරට දකින විට ඔබ



අවසාන වරට
දකින විටදිත් ඔබ
මුව දරා සිටියේ
මන්දස්මිතයක්ය,
නෙත පිරී තිබුණේ
තෙත කඳුලක්ය

~ ලාස්ට් සීන් රයිටර් ~

Wednesday, July 27, 2016

නුඹ දැන ගත යුතුය



හැමදාම
කවි නැති වග
ඉතිං දුප්පත් හිත
නුඹ දැන ගත යුතුය...

ඒ වාගේ දවස්වල,
එකම බත් පිඩ
සියක් වර අනනට
බැලු බැලු අත
බලාගෙන හිඳුමට
හොරෙන් ඉකිබිඳ
තනිව හැඬුමට
අහෝ හිත නුඹ මට
සහය විය යුතුය

~ හෙල්ප්ලස් රයිටර් ~