අනක් ගුණක් නැති, නාහෙට අහන්නේ නැති හිතුවක්කාර සිතුවිලි එක්ක පොරබදලා පොරබදලා බෝඩිමේ කාඩ් බෝඩ් අතුරපු ඇඳ උඩ ඉඳන්, ගෙදරින් ගෙනාව අම්මගේ සාරිය පොරෝගෙන, පල්ලේ හෝටලෙන් ඇහෙන කොත්තු දාන සද්දේට එකතු වෙච්ච බෝඩිම් වහලේ එල්ලලා තියන බරස් බරස් ගාන, දැන් ගැලවෙයි දැන් ගැලවෙයි කියල හිතෙන ෆෑන් එකෙන් එන සද්දේ මික්ස් කරලා බීට් එකට අරගෙන ඔද්දල් වෙච්ච හිතෙන් ෆෝන් එකේ ඩ්රාෆ්ට් කරපු කවියක්. කවිය ලිව්වට පස්සේ හැමදාම වගේ පැත්තක ඉඳන් මාව මරාගෙන කන්න හදන තනිකම එදත් මට කින්ඩියට වගේ හිනා වුනේ මම ලියන හැම කවියකටම ඌ පරදින හින්දා වුනත් පැරදෙන්න ලේසියෙන් ලැස්ති නෑ කියන ගතියක් උගේ අසමජ්ජාති මුණේ තිබ්බා. මොකද ඌ හොඳටම දන්නවා ඌ මට වැඩිපුර කොලොප්පන් කරපුදාට මම කවියක් ලියල ඌව තඹේකට ගණන් නොගන්න විත්තිය.
2012.09.20
2012.09.20
ඔබ දුරින් ඉඳන් හිනැහී
ඇස් වලින් දොඩයි රහසින්
හෙමි හෙමින් මදෙස බලමින්
ඔබ දුරයි ලඟට මගෙ නම්
නුඹ දුකෙන් කියන කවිනම්
මගේ ලඟට ඇවිත් ගයපන්
ඔය කඳුළු බර වැඩී නම්
මගේ කොටහ මට දියන් දැන්
හිත හීන මවන බවනම්
දැන නොදැන වගේ ඉන්නම්
දැන නොදැන වගේ ඉන්නම්
ඔබ ලඟට මගේ එනකම්
නෙතු නොපියා ඇහැර ඉන්නම්
තනිවෙච්ච හිතේ සරදම්
උහුලන්නේ කොහොම කියපන්
උහුලන්නේ කොහොම කියපන්
ගල් ගැසුණු හදේ කොනකින්
දුක ගලයි කඳුළු විලසින්
නුඹ නොදැක ඉන්නේ කෙලෙසින්
හද පුපුරු ගසයි දැවෙමින්
මට අයිති නොමැති හිතකින්
මතු කොහොම පතනු පැතුමන්
මුදු පවන දිගේ ඇවිදින්
සිප ගන්න මගේ කම්මුල්
ඉඩ තියන හදේ තැනකින්
සමහරු නම් මට පලුයන්න බනිනවා ඇති තනිකමට අනම් මනම් කියන්න එපා ගරහන්න එපා කියල, කවුරු මොන බයිලා කතන්දර ගැහුවත් තනිකම සැපයි කියල කියන ගොඩක් උදවිය කාටත් හොරෙන් හිතෙන් වැලපෙනවා, එවුන්ගේ හෘද ශාක්ෂිය දන්නවා උන් තනිකම සැපයි කියල කියන්නේ එල්ලෙන්නවත් වැලේ වැල් නැතුව ඉඳිද්දී කියල, හිත සනසවගන්න වගේම රවට්ටගන්න එහෙම හිතපුහාම ඒක ටිකක් සිම්පල් වැඩක්. එක්කෝ කෙල්ලෙක් හම්බුනේ නැති කොල්ලෙක්, කොල්ලෙක් හම්බුනේ නැති කෙල්ලෙක්, සැර බූට් පාරක් කාපු කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගොඩක් වෙලාවට තනිකම සැපයි කියල හිතන් ඉන්නවා. ඒත් ගොඩක් වෙලාවට එවුන් හිතෙන් වැලපෙනවා. හරියට මේ මං වගේ.
ඊයේ රෑ දහයට විතර ඔෆිස් එකෙන් ඔෆ් වෙලා බෝඩිමට පයින් ඇවිදන් යද්දී ටයිම් ටේබල් වැරදිච්ච හිතුවක්කාර බඹරෙක් ඇනපි කිව්වලු මගෙ ඉස් මුදුන හිල්වෙලා යන්න. වෙනදට විනාඩි විස්සෙන් බෝඩිමට යන මම ඊයේ විනාඩි එකොලක් විතර යනකොට බෝඩිමේ. බෝඩිමට ඇවිත් ඔලුවේ සිද්ධාලේප ටිකක් අතුල්ලගෙන ඇඟ හෝදලා නිදියන්න ගියේ අද වැඩට එන්න ඕනේ හින්දා. ඒත් අද උදේ පාන්දර ඉඳන් ඇඟට හෝන්දු මාන්දු ගතියක් එක්ක ඇවටියෙල් ගතියක් තිබුනට ඒක අතකට එකේ ඇඟම කිලිපොලායන කික් එකක් තිබ්බා. මොකද අද දවසෙම මට සකලවිද විශ්වයේම නැති දාර්ශනික අදහස්මයි පහල වෙන්නේ.
[ලියන්නේ නෑ කියල හිතල ලිව්ව එක]



