Showing posts with label ෆේමස් රයිටර් මං. Show all posts
Showing posts with label ෆේමස් රයිටර් මං. Show all posts

Thursday, January 2, 2014

මඩ පුවක් රසැති චුයින්ගම්

හාත්පස පැතිරිච්ච ඉර එලිය, ලෙසටම කාමරේ ජනෙල් කුරු අස්සෙන් ඇවිත් ඇස් දෙක වැහිලා තිබ්බ පිහාට්ට උඩ පිස්සු කෙලින්ඩ ගත්තායින් සරමේ ගැට්ට හපාගෙන සැප නින්දෙයි මර නින්දෙයි වෙනස අස්සේ ඉඟි බිඟි කර කර හිටපු මං අවාසනාවට වගේ දෛවෝපගතව ඇහැරුනා. මුණ පුරාම සිරියාවට තැවරිලා තිබ්බ කබ මිශ්‍ර කුණුකෙල තට්ටුවට උඩින් වතුර පොඩ්ඩක් ගාගෙන වලං අල්ලන රෙද්ද වගේ වෙච්ච වැලේ වනලා තිබුන තුවායෙන් මුණ පිහද පිහදා සාලේ පැත්තට ආවේ දවස ජීවයෙන් පටන් ගන්න හිතාගෙන.

තරුණ කාලේ කරන්ඩ පුළුවන් ඔක්කොම කුප්පකම් කරලා ඉස්තෝප්පුවට වෙලා බණපොත් කියවන අපේ බාප්පාගේ තාත්තා ඒ කියන්නේ අපේ තාත්තගෙත් තාත්තා, කරුමෙට මගේ සීයා,  කන්නාඩියට අක්කරයක් විතර පාතින් මං දිහා බලලා පොලවට ලම්බ සමච්ඡේදක වෙච්ච මෙසපොතෙමියස් හිනාවක් දැම්මා. ඒ හිනාවෙ යම්කිසි ඇවටියෙල් බවක් තියනවා කියලා මට තේරුනේ උන්දැගේ බොල් කටෙන් පිටවෙච්ච ඊළඟ වාක්කිය ඇහිලා.

"කොල්ලෝ මෙහෙන් ඈඳීගෙන මට විටක් කොටලා දීපංකෝ තරහ නැතුව" සීයා කියපි.

මේ හිරිමල් උදේ පාන්දර තරහ ගන්නැතුව කොහොමද යකෝ සීයේ විට කොටන්නේ. එහෙම හිතුවට,  කිව්වේ නෑ මට තව චිරාත් කාලයක් මේ වහල යට වසන්න ඕනි හින්දා.

"විට කන්ඩ හොඳ නෑ සීයේ පිළිකා හැදෙනවා..දවසට එක මිනිහෙක් මැරෙනවා, හෙට සීයද දන්නේ නෑ..සතියට හතක්, මාසෙට තිහක්, අවුරුද්දට රොම්බ ගානක්.."  මං සීයව බය කරා.

"අනේ පල යන්ඩ කෙප්ප නැතුව...කම්මැලිකමට, වැඩිහිටියෙක්ට සලකන්ඩ දන්නෑ තොපිලා.. උඹලා මගේ මුනුපුරෝ නෙමෙයි වල් ඌරෝ..තුහ්.. නොදකින්!" 

"හෙට අනිද්දා මැරිලා යන්න වයසක ඉන්න සීයා කෙනෙක් කියන කතාද මේ...? සික් අසික්කිත කුපාඩි කතා" මටත් ජුවල් හොඳටම...ඇයි  යකෝ මේ උදේ පාන්දර...

"කොල්ලෝ...එහෙනම් හංදියේ කඩේට අලුත් විට ජාතියක් ඇවිත් තියේ "බුලත්විට රසැති චුයින්ගම්" කියලා.. අනේ පින්සිද්ධ වෙයි මට එයින්  එකක් ගෙන්නෝලා දීපං. උඹට පිං සිද්ධ වෙයි." සීයා තොඳොල් වුණා.

"හැඃ...යකඩෝ ඒ මොනාද ඒ..?" මට මොංගල් වගේ...

"ඒ ඉදිච්ච පැහිච්ච තැලිච්චකම් වලින් වැඩක් නෑ හොඳ එකා වගේ මට ගෙනත් දීපන්කෝ.. මේ මතක් කරලා 'මඩපුවක් රසැති' එක ගෙනෙන් ඈ"

---
සුපුරුදු පරිදි අවුරුද්දේ අන්තිම දවසත් මුස්පේන්තු කරවන්ඩ රම්බා එනවා පේනවා ඈතින්, පස්සට ඔක්ටේන් අනු දෙක ගහලා වගේ පිඹගෙන.

"රයිටර්...වරෙන් යමන්"

"ඈ.. කොහෙද යකෝ"

"අඳනකඩේ බලවගන්න යන්න බං"


"ඈ...අඳනකඩේ බලවගන්න...යමං පලයන් පංසලට.. ගලේ වනලා ඇති ඕනේ තරම්"

"මොන රිලා කුනුහරුපයක්ද තෝ කියන්නේ හැකරල්ලෝ..මේ තියෙන්නේ අඳනකඩේ?" කියලා ඌ සාක්කුවෙන් රවුම් කරපු වේලිච්ච කොලයක් ඇදල අරං පෙන්නුවා.

ඌ කියපු අලුකුත්තේරු කතාව ඇහුණා නම් ලූස් මෝෂන් ටයිප් එකෙක්ට එතනම දෙපාරක් බඩයනවා . මම බොහොම අමාරුවෙන් ඉවසා වදාරා හිටියා.

"යකෝ වේලපත්කඩේ..වේලපත්කඩේ.. තොගේ අඳනකඩේ මගුලක් නෙමෙයි රෙද්ද.."


"ආ.. ආ..ඔව්..ඔව්.. ඒක තමයි..." රම්බා හතරට පහට අම්බරුනා. ලාමක ලජ්ජා සහගත ඉටිකිරිස් හුරතල් තාලෙට හිනා වුණා. මට සීයාගේ විට වංගෙඩියෙන් ඔලුවට තඩිබාගෙන මැරෙන්න හිතුනා.

"....අනේ රයිටර්... යමකෝ හන්දියේ ජෝතිෂ්‍යය පොට් එකට.. පොඩ්ඩක් බලවාගෙන එන්ඩ.. අලුත් අවුරුද්ද ලබන්නේ හෙටනෙ.. අම්මා කීවා පොඩ්ඩක් බලාගෙන වරෙන්ය කියලා."

මේ වගේ අවජාත පජාත මිත්‍රයෝ හින්ද එක විනාඩියක් ගෙදර ඉන්න විදිහක් නෑ..නෙද්දකින්....කොහේ හරි කුදලාගෙන යන්නමයි හදන්නේ.

මම ඇතුලට ගිහිං හම්පඩ වෙච්චි ඩෙනිම දෙපාරක් ඉඹලා එක පාරක් වැඳලා ඇඳගත්තා. මෙලෝ සිහියක් නැතුව වගේ දකුල් දෙකම එක කකුලට දාලා තව පොඩ්ඩෙන් මෙසේ ගැට්ටේ කොනක කන්ගැට්ට වැදිලා සදාතනික සුවයත් ලබනවා..

"අනේ කොල්ලෝ..මතක් කරලා අරවයින් එකක් ගෙනෙන් ඈ" මං රම්බගේ දඬු මොණරේ නැගලා එන්න හෙල්මට් එක ඔලුවේ දාද්දිම අපේ සීයා කියපි.
----

"නෙද්දකින් යකෝ මේකේ ගඳ.." රම්බාගේ හෙල්මට් එක තනිකර බොම්බෙලි ගඳයි. මට ඔක්කාරෙට ආවා.

"ඔව් ඉතිං කරෝල දාපුහාම පොඩ්ඩක් ගඳයි තමයි" රම්බා පද්ද පද්ද කියපි.

"තොට හෙන ගහන්ඩ මොන ගල් කොරලියාද යකෝ හෙල්මට් එකේ කරෝල දාන්නේ"

ජෝතිෂ්‍යය පොට් එකට එද්දී අප්පට උඩු අම්බ සෙනගක් සූ ගාලා පෝලිමේ. පැය දෙකක් විතර පෝලිමේ ඉඳලා අපි ඇතුලට ගියා.

සුභ ඵල කේන්දර බැලීමට රුපියල් දාහයි
අසුභ ඵල සඳහා රුපියල් දෙසිය පනහයි 
කියලා ඇතුල් වෙන තැන දොරේ ගහල තිබුනා.

අනේ මේකේ අසුභ ඵල විතරක්ම තිබිය තිබිය කියලා ඒක දැකපු වෙලේ ඉඳන් රම්බා තොල් මතුරන්ඩ ගත්තා..

"ආ කොල්ලනේ ඉඳගන්ට... කෝ ගමු බලන්ඩ වේලපත්කඩේ "

විනාඩි දහයක් විතර ඇස් දෙක කේන්දරේ අලෝගෙන හිටපු ජෝතිෂ්‍යය අංකල් මුණට හෙන බැරෑරුම් පාර්ට් එකක් ගත්තා..
"මෙහෙමයි කොල්ලෝ.. කිව්වට තරහ වෙන්ඩ එපා..සාස්තරේට බොරු කරන්ඩ බැරි හන්දා ඇත්තම කියන්නම්. බොලාට උදා වෙන වසරනම් ඒහැටි හොඳ නැති පාටයි... ශනි  බුධගේ රේඛාවේ ගමන් කරන හින්දා යටපත් වෙච්ච තිරිසන් ගති මතු වෙන්න පුළුවන්. අත ගහන මෙලෝ මගුලක් හරියන්නේ නෑ... දෙයියම්පා.. සිකුරු සෙනසුරට මුවා වෙලා හින්දා මේ අවුරුද්දේදී ගෑනියෙක් තෝ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.."

රම්බාට දැන් ඇඩෙන සයිස්.... "ඉතින් අංකල් ඕකට ප්‍රතිකර්මයක් නැද්ද..?" කොච්චර වැඳ වැඳ හිටියත් රම්බා නහුතෙට බය වෙලා.

"මොකෝ නැත්තේ හාහ් හා හා මොකෝ නැත්තේ.... නිදියනකොට වැටකෙයියා මල් දාපු වතුර වීදුරුවක් කාමරෙන් තියාගෙන හිස් බඩ උදේට ඒක බීපං..... ගේ මිදුලේ මැද ඇඹුල් ගහක් හිටෝලා හැමදාම උදේට උදේට ඇහැරිලා උතුරු දිසාව බලාගෙන ඒකට මුත්‍රා කරාපන්.. ඊට අමතරව තව ගොඩක් ජාති තියේ.. මං ලියාලා දෙන්නම් ඒ විදිහටම කරාපන්.. වරදින්නේ  නෑ"

අපි රුපියල් දෙසිය පනහක් ගෙවලා ආපහු ගෙදෙට්ට විද්දා..

සීයා කට ඇරන් බලන් ඉන්නවා.. කිරි අප්පට මිලක් ෂේක් කිව්වලු...අමතක වුණා...

"බුලත්විට රසැති චුයින්ගම්"


01. "ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"  
02. රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?  
03.  එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං  
04. මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි  
05. රයිටර් කසාද බැඳී වගනම්...!  
06. චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්යා0 පටල ?  
07. සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!!  
08. කළු දොදොල් තමයි බං රහ  
09. "වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"  
10. "ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"  
11. "චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.  
12. "තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"  
13. "සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"  
14. ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?  
15. "පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න"  
16. "අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"  
17. "රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා  
18. ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි l  
19. අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න  
20. "ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"  
21. අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !  
22. මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.  
23. මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං  
24. "සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"  
25. ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ  
26. "සරමෙන් බැරිනම් අමුඩෙන්"  

Monday, October 14, 2013

"සරමෙන් බැරිනම් අමුඩෙන්"


ගමේ ගෑණු ටික එකතු වෙලා පිහිටවගත්තු "සීතා බලකාය" සංගමේ හදිසි වැටලීම් හින්දා ගමේ කොල්ලෙක්ටවත් නිදහසේ පාරට තොටට බහින්ඩ බෑ. මගුල... හිටපු ගමන් ගෙවල්වලට පැනලා සුදු රෙද්දක් ඔලුවට දාලා කොල්ලෝ පැහැරගෙන යනවා. කොල්ලෝ විතරක් නම් මදැයි පණ යන්ඩ ඔන්න මෙන්න තියන සීයාලත් අරං යනවා. කාන්තාවන්ගේ  මානව අයිතිවාසිකම් කඩ කරන හැම එකාටම "සීතා" දඬුවම් දෙනවාලු. බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට හෙට දවසක්". සීතා බලකායේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට මුලික කාන්තා අයිතිවාසිකම් කියලා කියන්නේ,

1. කෙල්ලන්ට බූට් තියන කොල්ලන්ට එරෙහිව නැගී සිටීම,
2. බිරිඳගේ සති අන්ත සාප්පු සවාරිය, ඩිනර් අවුට් එක වර්ජනය කරන සැමියන්ට එරෙහිව සටන් කිරීම
3. දර පලා, වලන් හෝදා, ගෙදර දොර වැඩවලට උදව් නොකරන සැමියන්ට දඬුවම් දීම
4. අසල්වාසී කාන්තාවන් සමග වැඩිපුර අල්ලාප සල්ලාපයේ යෙදෙන ස්වාමියන්ට දඬුවම් දීම
5. වාර්ෂික සංවත්සර, උපන් දින, විවාහ සංවත්සර අතපසු කරන සැමියන් චෝදනාවට ලක්කිරීම
6. සැමියන්ගේ අනියම් බිරින්දෑවරුන්, තම සංවිධානයට බලෙන් බඳවා ගැනීම,
7. පිරිමින් බීමට ඇබ්බැහි කරන හන්දි වල, ටවුන්වල  තියන බාර් කුඩු පට්ටම් කර බිමට සමතලා කිරීම
8. පුරුෂයින්ගේ ශරීර මේද තට්ටුව වැඩි කර ස්ථුල භාවය වැඩි කරන හරක් මස් කඩ ගිණි තබා සැමියාගේ සෞඛ්‍ය රැක ගැනීම.
9. මාසික පඩිය මුළුමනින් අතට ගෙන වියදම් කළමනාකරණය කිරීමේ බලය කාන්තාවන්ට ලබාගැනීම

තව ලොට්ටයක් තියේ මට නම් මතකත් නෑ.

අපේ රම්බා, උගේ කෙල්ල සකුන්තලාට අඩිය උස හෙන පතරංග බූට් එකක් දීලා. ඌ නම් කිව්වේ කෙල්ල බුට් එකක් ඉල්ලලාමයි කෑවේ  කියලා. කොහොමෙන් කොහොම හරි කෙල්ල සකුට මල පැනපු පාරට දහ අතේ හැපිලා වැලපිලා අන්තිමට බැරිම තැන "සීතාබලකායේ" හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කරලා. හුට්ටප්පරේ කියන්නේ බලකාය රන් කරන කෙසෙල්කොටේ වත්තේ සොෆිනස් අක්කා එදාම මහා රෑ එක පාරට, සීතා බලකායෙ සෙබලියෝ එක්ක ෆ්ලෑෂ් රෙයිඩ් එකක් දාලා රම්බාව උස්සලා. බලකායේ සෙබලියෝ ටික එකතුවෙලා රම්බාට නොසෑහෙන්න අතවර කරා කියලා තමයි රට්ටු නම් කතා වෙන්නේ.

මේ සිද්ධ වෙන අසාධාරණේ තවත් ඉවසන්ඩ බැරි හින්දා මම, රම්බා ප්‍රධාන කොටගෙන ගමේ පීඩිත, නිර්ලජ්ජිත පිරිමි කැල එක්කාසු කරගෙන පිහිටුවාගත්තා "මහා රාමා බලකාය" කියලා අන්තර්ජාතික සංවිධානයක්. මේ දවස්වල රාමායනයේ චරිතවල පුනරාගමනයෙන් රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වලට හෙන තිරස්චීන විසඳුම් දෙන එකේ ඉතිං අපිත් හිතුවා රට වෙනුවෙන් මලත් කමක් නෑ  "සරමෙන් බැරිනම් අමුඩෙන්" කියලා පාරට බහින්ඩ. ගමක් ගමක් ගානේ ගිහින් අපි දැනුවත්කිරීම් කරා. ප්‍රාදේශීය මට්ටමෙන් "මහා හනුමා බලකාය" කියලා උප සංවිධානයක් පිහිටුවලා අපේ බලය තරකරගත්තා. දැන් ඉතිං කවර කතාද. අපි තමයි පොරවල්.

ගමේ ගෙවල්වල ළමයි ඉස්කෝලේ යන්නේ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ, ළිං වලට වැටෙනවා, හොයන්න බලන්න කවුරුවත් නෑ, ඇඟට  ටීවී පෙරලගන්නවා.. ඇයි හත්වලාමේ අම්මා "සීතා බලකායේ" උන්නතිය වෙනුවෙන් කැප වෙනවා, තාත්තා "රාමා බලකායේ උන්නතිය වෙනුවෙන් කැපවෙනවා. ළමයි අයාලේ යනවා.

මේ ලඟදි දවසක "සීතා බලකාය" ගමේ  හංදිය ගාවා පාර හරස් කරලා වලං මුට්ටි, සාස්පාන්  පොලේ ගහල හෙන සද්දයක් දැම්මා. අන්තිමට පාරේ වලං කටු විතරයි. පෙළපාලිය ඉවර වෙලා යන ගමන් වලං කඩෙන් වලං අරන් ගියේ. අපි ඒ රැලියට විරුද්ධව සරම විතරක් ඇඳගෙන සාමාකාමී පෙළපාලියක් ගියා. ඇයි යකෝ අපේ ප්‍රශ්න වෙනුවෙන් අපි හඬ නගන්නේ නැතුව අපේ මරුන සීයා වලෙන් නැගිටලා ඇවිත් හඬ නගන්නයෑ.. මේ දවස්වල අම්බානක බිසී, කතාවක් ලියාගන්නවත් වෙලාවක් නෑ, අර හමු, මේ හමු ජනහමු, කෙළවරක් නෑ..ළඟදීම හොමෙබෙන් ගිහිං හොට බිම ඇනුන ගමන් ආයේ මොනා හරි ලියන්න හිත හදාගන්නකම් මේ මදැයි.


Thursday, August 15, 2013

ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ

රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ  නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් නැති එකේ දත කට මැදගෙන බෝලකුඩුවේ එල්ලලා තිබ්බ ඩෙනිම අතට ගත්තා. 

හත් ඉලව්වට පායපු උල්කාපාතේ වගේ කලිසමේ වම් කකුලේ වාටියේ අග රණ කුඹලෙක් ගෙයක් හදලා. අපේ ආච්චි නම් කියන්නේ රණ කුඹල් ගෙවල් කඩපුහාම බඩේ අමාරු හැදෙනවයි කියලා. ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි තුන්කාලයි කියලා මම කෝකටත් රාක්කේ තිබුන අසමෝදගම් බෝතලේ අරගෙන ගුඩු ගුඩු ගාලා උගුරු තුනක් කට පුරෝලා බිව්වා. ඇස් දෙක පියාගෙන"පාණාති පාතා" පදේ මතුරන ගමන්, රණ කුඹල් ගේ අඹරලා සුන්නඃධුලී කරලා දාලා ඩෙනිම දාගත්තා. වැඩි හොඳට රම්බාගේ දිහා ගිහිං කෝපි එකකුත් හදාගෙන බොන්නං කියලා හිතා ගත්තා.

මං රම්බාගේ ගෙවල් වැට මායිමට යනකොට ඉඳි ගහට පයින වයසේ ඉන්න සුකිරි බඩිලි කොලු පැට්ටෙක් යටි ගිරියෙන් කෑ මොර දීගෙන කෙහෙල් ගහකට උඩ දාගෙන තඩි බානවා "ජාතිවාදියා... ජාතිවාදයා.... දේශ මාමකයා..... පරදේශක්කරයා...., ස්වදෙශිකයා..." කියා කියා. කෙහෙල් කඳ පරඞැල් වෙලා,  කීතු කීතු වෙලා පට්ට ගැලවිලා ඉස්ම පෙරනවා.  රම්බාගේ තාත්තා පැත්තක ඉඳන් "කමෝන් පුතා කමෝන්" කියලා පොඩි එකාට අප්පුඩියක් ගහලා චියර් පාරක් දුන්නා" ඒකෙන් තව ටිකක් ෆෝම් උණ කොල්ලා බිම තිබුණ ගඩොල් බාගයක් අරගෙන රවුමක් එහෙමකැරකිලා කෙලියා ගිරිය පුප්පගෙන කෙහෙල් ගහට. කරුමෙට කෙහෙල් දල්ල ලාවට ඉඹගෙන ආව  ගඩොල් බාගේ "දීඩීරියං" ගාලා  අහක හිටපු මගේ දරුගහ මුල වැදීලා කකුල් දෙක මුලට වැටුනා. පොඩි එකාව උප්පද්දවන්ඩ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙච්ච දෙමහල්ලොන්ගේ මුණ පවා මැවිලා පෙනෙද්දී මම දිව හපාගෙන බිම ඉඳගත්තේ බඩ කොර වෙච්චි පාරට.

බඩ ගාගෙන වගේ දෙකට නැමීගෙන ගේ ඇතුලට ගිහිං රම්බාට කතා කරා. ඌ උන්ගේ ගෙදරට ආව නැන්ද අල්ලාගෙන හෙන දේශනාවක් දෙනවා. ඌ කතාවේ ගැඹුරටම බැහැල හිටපු විත්තිය මට තේරුනේ, උට පිටිපස්සේ හිටපු මං නොදැකපු හින්දා.

"නැන්දට කියන්න නැන්දේ දැන් වතුර වල හෙනට විෂ, එතකොට කිරිපිටිවල විස අප්පට උඩු ඊට හපන්, කවුද දන්නේ නැන්දේ නැන්දා ඔය පොඩි එකාට පොවන මව් කිරිවල ඩී.වී.ඩී. ද මොනවද ඒවා තියනවද කියලා, කොහෙද ඉතින් මාමටවත් තේරෙන එකක් යෑ. ඉතිං එහෙව් එකේ කොහොමද පොඩි එකාට තේරෙන්නේ"

"හැබෑව නේන්නම් පුතේ හැබෑව"  කටට ආපු පලියට එහෙම කිව්වට නැන්දට ඌ කිව්ව කාරණාව ඇතුලේ තිබ්බ අලුකුත්තේරු කුපාඩි ඇවටියෙල් කතාව තේරුනේ පස්සෙද කොහෙද. ටික වෙලාවකින්  නැන්දගේ ඇස් දෙක සුදුමැලි වුණා. අතේ හිටපු කිරි දරුවා කිහිල්ලේ ගහගෙන නැගිට්ටේ කිරි පිටි හදන එවුන්ගේ හතර වරිගේ මතක් කර කර. "වල් හැත්ත.. දරුවෙක්ට කිරි ටිකක් පොවන්ඩ නෑ,, කාලාකන්නි කිරිපිටි කාරයෝ.. හැඳි ගෑවිලා මකබෑවිලාම පල ඕකුං..." ටික වෙලාවකට පස්සේ නැන්දා සර්වබලධාරියෝ අල්ලලා බැන්නා රම්බාත් පැත්තකින් අහුවෙන නොවෙන ගානට.

"ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ...!, ඉන්න මං අපේ භයියා ජීට එන්න කියන්නම්" රම්බාගේ නංගි චාරු පද්දල පද්දලා කිව්වා.

"හලෝ මයි බොක්ක රයිටර්...වරෙන් වරෙන්"

"මොකටද මට පයිණ්ඩයක් එව්වේ එන්ඩ කියලා"

"ආ ඔව් බං අපේ නැන්දගේ පොඩි එකාට සිංහල පාඩම් වගයක් කරගෙන යන්ඩ දීලා නිවාඩුවට. මෙහෙ කොහොද බං සිංහල දන්නා එවුං..උඹ හෙන රයිටරනේ...යමක් කමක් තේරෙනවනේ..අනේ බං පොඩ්ඩක් පොඩි එකාට කියලා දියන්කෝ...."

"අපෝ බෑ බං.... කෝ අර පොඩි කෙල්ල.. ඕනේ නම් ඒකිට නිදිමරාගෙන වුනත් උගන්වන්නම්"

"ආ... නෑ නෑ.. උඹ කරදර වෙන්ඩ එපා...මම කොහොමත් එයාට පාඩම් වගයක් කියාදෙන්න ඉන්නේ...."


පොඩි එකා විසිල් එකක් බාගෙන කොපි පොතක් කිහිල්ලේ ගහගෙන ඇවිත් පොත මගේ ඔඩොක්කුවට විසික් කලා.

"ඔය කෙටි යෙදුම් ටික කියලා දෙන්ඩකෝ සර් අයියේ" ඌ කින්ඩි හිනාවක් දාල මගේ දිහා බැලුවා.

"එහෙම බෑ.. ඉස්සෙල්ල මල්ලි පුතා උත්සාහ කරලා බලන්ඩ.. මම හරිද කියලා බලන්නම්" මමත් හෙන ආදරෙන් කිව්වා.

පොඩි එකාට දැන්  හිටගෙන මල විදින සයිස් එක. පොර දත් මිටිකනවා. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා පොර ටික වෙලාවකට පස්සේ  මට පොත ගෙනත් දුන්නා. මම හිතාගෙන හිටියේ කොල්ලා දස්සයා වෙන්ඩෑ කියලා.

ලං.වී.ම = ලංකා විදුලිබලු මන්ඩලය - "මේක ටිකක් හරි පුතා.. හැබැයි  "බලු" නෙමෙයි "බල" හොඳේ". පොඩි එකා ඔලුව වනලා හිනා වුණා. 


රා.සේ.පි = රාජ්ජ සේවය පිනට - "හෙහ් හෙහ් මල්ලි පුතා.. පිණට නෙමෙයි පිණිස හොඳේ.. පුතා හොඳයිනේ..ඈ..ඔය ලියලා තියෙන්නේ හොඳට"

අ.පි.බ = අපිට පිස්සු බං - "මේක නම් වැරදි පුතෝ.."

ජ.වී.පෙ. = ජනතාව වීදිබැස පෙරට = "කතාව ඇත්ත වුනාට තේරුම වැරදියි පුතා මේකෙත් හොඳේ"

ග.නි.ස.ම = ගණිකා නිවාස සංවර්ධන මණ්ඩපය - " ග..ග...ග.. ගණිකා....කො..කො  කොහෙන්ද පුතා මේක හොයාගත්තේ.. මාව විහිළුවකට ගත්තද.." මට හොඳටම මළ. පොඩි එකා අඬන්න ඔන්න මෙන්න.  මම රම්බාට කතා කළා. පොඩි එකා ඒ අස්සේ අඬ අඬා කඳුළු අස්සෙන් තටම තටම කිව්වා

"ඒක ගැන විතරයි සර් හරියටම සුවර් එකක් තියාගෙන හිටියේ" 

Thursday, July 18, 2013

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"

තවත් සාඩම්බර ඇවටියෙල් දවසක, 
ඇඳ මත හිඳ, 
මධ්‍යම රාත්‍රී එකොළහයි...

හදවත මෙසපොතේමියස්  වෙලා කියන්නේ, බලන්ඩ බැරි සයිස් එකට. දුක හිතෙනවා. දාර දාර කඳුළු කැට අස්සෙන් දියවෙලා දියාරු වෙලා යන ෆේමස් රයිටර් හීනේ හෙන ඇවටියෙල් හිනාවක් දාගෙන කින්ඩියට එහෙන් මෙහෙන් ඔච්චන් කරද්දී සර්වාන්ගේ කුපිත වෙලා සලිත වෙනවා. ඒත් එක්කම මෝදු වෙලා එන මගේ අනාගත ඩිරෙක්ටර් හීනේ, ජීවිතේට බලාපොරොත්තු බව්සර් පිටින් එන්නත් කරනවා.

-------------------------------------------------------------------------------------

ලයිට් බිල් වතුර බිල්, ඉන්ටර්නෙට් බිල්, අර බිල් මේ බිල් ගෙවාගෙන, සින්ඩි වලින් මාතෘකාව දැකලා පැණි හලාගෙන ඇවිත් මයිල් ගහක් ගැන තියන කතාව කියෝපුහාම මොන සක්කරයටද නැන්දම්මේ යකා නොනගින්නේ කියහන්කෝ. දවසෙන් දවස හිතට එන පජාත අයිඩියාස් ලියලා දාලා හීනි ෆනී ආතල් එකක් ගන්න අටව ගත්ත බ්ලොගට එන උදවිය ගැන වෙලාවකට අවංකවම පව් කියලත් හිතෙනවා.
-------------------------------------------------------------------------------------

කඩේට ගිය වෙලාවේ උද්‍යානා පාලිකා නැන්දගේ දුව කනේරුකා මදකිපුණි නංගියා අද මගෙත් එක්ක කොමලේ පපා හිනා වුණා. ආත්මගත සංසාරගත ප්‍රේමයක් රකින දිලුට ද්‍රෝහී වෙන්න බැරි හින්දා මම මුකුත් නොකියා නම්බරේ බස් ටිකට් එකක ලියලා දුන්නා හදිසියේ සීයට එහෙම අමාරු වුනොත් කතා කරන්න කියලා. අනේ අපරාදේ කියන්ඩ බෑ සිරික්කිය වැහෙන කටින් හිනා වෙලා එයා ගත්තේ "තැන්කියු" කියාගෙන. ඉතිං මමත් "සෙම් ටු යු" කියලා ලව මිශ්‍ර ආධුනික බැල්මක් දැම්මා.

දිනපොතේ සුපුරුදු පරිදි මගේ ඛේදවාචකය ලිව්වට, ඒක හරියට ඉවර කරන්න බැරි වුනේ එදාට වෙන් වෙලා තියන පිටුව ඉවර වුන හන්දා.

-------------------------------------------------------------------------------------

උඹට කියන්ඩ සහෝදරයා... තියන ලොට්ටක් වැඩ රාජකාරී දාලා, ලිපේ බත් හැලිය රොස් වෙද්දී..... හීටරේ, වතුර මෝටරේ කරන්ට් එකට ගහලා තියෙද්දී,..... පොඩි එකා උකුලේ තියාගෙන,...... හොද්ද හැඳි ගගා පවා ගෙවල්වල ඉන්න ඇන්ටිලා බ්ලොග් කියෝනවා. බොසාගෙන් බැනුම් අහ අහා,.... අතින් ෆුල් ඩම් එක දාල කට වහගෙන..... තනියෙන් හිනා වෙවී ආතල් එකක් ගන්න ගොඩක් අංකල්ලත් බ්ලොග් කියවනවා සහෝදරයා . තවත් සමහරු එනවා හදපතුලේ කකියන අසහනේ ඩිස්මැන්ටල් කරගෙන සිඟිති ළමා ලපටි ආතල් එකක් ගන්න හිතාගෙන. කවුරු ආවත් නැතත් සහෝදරයා, උඹ අපි වගේ උදවිය, රයිටර් කෙනෙක්ගේ වගකීම සමාජයට ඉටු කරන්න ඕනි..සමාජය ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා.. සමාජයේ වෙලාගෙන තියන රසදිය පටලේ ප්‍රතිබිම්භය රයිටර්ලගේ පෑනේ තුඩ හරහා කඩදාසියේ කැඩපතට දාන්න අපි වෙහෙසෙන්න ඕනි සහෝදරයා. ඔව් අපිට ඒක පුළුවන්.

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ" කියන සමාජවාදී කියමන මචං ............ අනික් සහෝදරයා කතාව පටන් ගන්න හදනකොටම මං ඇක්සිඩන්ට්ලී ඇහැරුනේ,

"දඩින්....!" ගාලා ඔලුව කොහේ හරි වැදුන හින්දා.

බස් එකේ අයිනේ සීට් එක පැත්තේ බටේ කොනක කැත නැතුව නළල වැදුන විදිහට මම හිතුවේ වද මල ගල ගෑව වගේ තියෙයි කියලා. අකවුන්ට් එකේ අඩියේ ඉතුරු වෙලා තිබුන පිං කළඳක් පලදීලා අතුරු ආන්තරාවක් නැතුව බේරුනා. ඒත් වම් පැත්තේ නළල බම්ප් වෙන ගතිය එහෙමම හෙන වෙලාවක් තිබුණා. මම හිතුවේ වැදුණ පාරට පේෂී වලට පොඩි ආතල් එකක් ඇවිත් උඩ පනිනවවත්ද කියලා.

මට එහා පැත්තේ රම්බා, අපතයා අපායේ ගිහින් වගේ නිදාගෙන ගොරෝද්දේ අදිනවා.

"මචං රම්බා"

"හ්ම්...ඈ....ඇ..ඇ...." ඌ හීනේන් වගේ කිවා

"මගේ කෙටි කතාව අර පත්තර කන්තෝරුවේ මෑන් කිව්ව විදිහට ටෙලියකට ගහන්ඩ පුළුවන් වෙයිද බං" හෙනම හෙන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මං ඇහුවා.

"එකෙන්ම එකෙන්ම... මම රඟපානවා... මදි පාඩුවට අපේ නංගි චාරුලතා, උඹේ අක්කා, උඹේ කෙල්ල, අර කඩේ ගෙදර කනේරුකා මදකිපුණි නංගි ගන්නවා.  උඹ ලියනවා,   අපේ කතාව අපිම ලියලා අපිම රඟපානවා, වීරයෝ වෙනවා, ෆේමස් වෙනවා, සල්ලි හම්බෙනවා."

----
හවස ඉරේ මලානික රැස් හොරෙන් හොරෙන් මහා පොලව එක්ක අනම් මනම් ජෝගි නටනකොට අපේ බඩේ බඩ පණුවන්ට මලපැන්නා. මොනවා හරි කන්ඩ කියලා හිතාගෙන කොත්තු සද්දෙන් ශශ්‍රීක වෙච්ච හෝටලේකට ගීයා. "හොටෙල් ඩී කාලා ගෙවාපන්"

"අයියේ කරෝල කොත්තු දෙකක්" රම්බා දෙදරලා යන කොත්තු සද්දේ පරයා ඔර්ඩර් කරා.

"මො... ක...ක....කරෝල කොත්තු නෑ මල්ලි"

"එහෙනම් පාන් කොත්තු දෙකක්" රම්බට හොඳටම මල දැන්

"පාන් කොත්තුත් නෑ ඕයි" දැන් මුදලාලියට මල

"මේක මහා අසාධාරණ ලෝකයක්නේ අයියේ, ඉඳි ආප්ප කන්ඩ කැමති එවුන්ට ඉඳිආප්ප කොත්තු, මාළු කන්ඩ කැමති එවුන්ට මාළු කොත්තු, නූඩ්ලස් කොත්තු කන්ඩ කැමති උන්ට ඒවා..එලොලු එවුන්ට එලොලු... කරෝල විතරක් කන එවුන්ට කන්ඩ කරෝල කොත්තු නෑ" රම්බට දැන් ඇඩෙන සයිස් එක.

ඕනේ මගුලක් අවුන්සයයි කියලා මම ඔර්ඩර් කරා කිඹුලා බනිස් දෙකකුයි කිරි හොදි කරී එකකුයි.

-------------------------------------------------------------------------------------

රම්බා ටීවී එකේ ඇඩ් එකක පෙන්නන දත් බෙහෙත් එකකින් දත් මැදලා වැඩි ප්‍රතිඵල ගන්ඩ එකෙන්ම පොඩ්ඩක් දිය කරලා මුණත් හෝදලා, ඒ මදිවට ඒකෙ ක්‍රිරියාකාරිත්වය පැය විසි හතරක් තියනවා කියලා පාරේ මුණට හම්බෙන හැම එකාගෙම මුණට මු පිඹ පිඹ යනවා. මූ හිතන්නේ මූ පිම්බාම වටපිටාව කලර් වෙලා හෙන නැවුම් වෙනවා කියලා. මොනඃ... මු පිඹින පිඹින එකාගේ මුණ කොමඩ් එකේ වතුර බීපු එකෙක්ගේ වගේ වෙනවා. ගොඩක් එවුන්ට ටික වෙලාවක් යනකම් හුස්ම ගන්ඩත් බෑ. පොඩි එවුන් නම් බැරිකමට බිම ඉඳගන්නවා. සමහර එවුන් වමනේ දානවා.

Friday, June 14, 2013

මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං

මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක් වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට හිතෙන් මවාගෙන, ඒ කොළ ගුලිකරලා ජනේලෙන් එලියට විසික් කරන්නේ සිරාම ගත් ගතුවර කැරැක්ටර් එකට එන්ටර් වෙන්න ඕන හින්දා. පහුවදා වැස්සට පෙඟීච්ච ඒ කඩදහි දැකලා, රම්බා මහපොලව නුහුලන කුපාඩි කතා කිව්වට මම ලාවටවත් සැලුනේ නෑ. සිරාවටම මට ඕනි වුනේ ගිනි පුලිඟුවක් වගේ නලියන ලොන්තයක් බලාපොරොත්තුවලට පෙට්රෝල් දාලා, ඒ බුර බුරා නැගෙන ගිනිදැල් මැදින් මගේ ෆේමස් රයිටර් හීනේ දකින්න. දෙයියම්පා, කිරිඅත්තා කොල්ලා  කාලේ ලයින් දාපු ගැටිස්සි පල්ලා මගේ හිත ප්‍රීතියෙන් උදම් වෙලා උද්දාම වෙලා තිබුනේ.

පහුවදා අපිට පත්තර කන්තෝරුවට යන්න තිබුන හින්දා මම රම්බාට උදෙන්ම එන්ඩ කිව්වා. උදේ පාන්දර දහයට විතර මූ ති දදා ඇවිත් කියනවා.

"මචං රයිටර් උදව්වක් කරහන්"

"ම්ම් මොකක්ද බං...?"

"මේ මේ ... වම් අතේ උරහිස ගාව අසාමාන්‍ය විදිහට පට්ට දිග මයිල් ගහක් ඇවිත් බං...අනේ  මට එකේ පොටෝ එකක් අරන් දියන් ෆේස් බුක් දාන්න"


කොහොම මම පැය ගානක් හරි මයිලට කැමරාව ෆෝකස් කරන්න දඟලපු පාර  අන්තිමට උගේ අසාමාන්‍ය මයිල හැලුනා. රම්බා ඒක හැලුන දුකට මට බැන බැන ඇඟේ අසාමාන්‍ය මයිල් ගස් හොයනවා.

කොහොම හරි රම්බාගේ කනේ ආපු අසාමාන්‍ය මයිල් ගහක් පොටෝ ගහගෙන ෆේස් බුක් අප්ලෝඩ් කරලා, මමයි රම්බයි බස් එකට නැග්ගේ එකම කතාව දෙතුන් වතාවක් පොටෝ කොපි ගහගෙන හදාගත්තු මගේ පට්ට සයිස් සම්භාව්‍ය කෙටි කතා කලෙක්ෂන් එකත් කිහිලි ගහගෙන. ලෝක පාලන දෙයියන්ට දෙපාරක් මැරී කරන්න වාසනාව ලැබෙන්ඩ ඕනි මටයි රම්බාටයි ලදරන් බස් කට්ටේ ඉඳගන්න සීට් එකක් ඉතුරු කරලා තිබ්බට. ටවුන් දෙක තුනක් පාස් කරනකොට බස් එක ඇතුලේ සෙනග පැක් වුනේ ලෝක ධර්මතාවෙ අනුව වුනත්, රම්බාගේ කට වවුලෝ සුප්පු කරපු වැල මදූල වගේ වුනේ සාපේක්ෂතාවාදයේ අභන්තර තියරි ඇස් පනාපිටම ඔප්පු වෙද්දී.  මට ඉස්සරහ සීට්වල මාරුවෙන් මාරුවට ගියපු සීයාගේ බුලත්විට පාරවලුයි, කැහි පාරවලුයි, තව කාගේද වමනේ පැකට් එකේ තිබිච්චයි, හුළං පාරට මගේ මුණේ ගෑවී නොගෑවී ගියේ නැත්තම් සමස්තයක් විදිහට ඒක නයිස් ටුවර් එකක්.  ඔය අස්සේ ලස්සන ගැමි ලුක් කෙල්ලෙක් ඉස්සරහ සීට් එකට ගාවා අයිනෙන් හිටගද්දී,  රම්බා හිටපු තැන අයිනට හිටගෙන යන්න සෙට් වුනේ පොෂ් ලුක් පත සයිස් සන්ග්ලාස් දාපු ඇන්ටි කෙනෙක්.

බස් එකෙන් බැහැල පයින් යද්දීත් රම්බාගේ මුණ නිකන් කුනුවෙච්ච අර්තාපල් ගෙඩිය වගේ තිබුන හින්දා මම නිකමට වගේ මුලින් වර්ඩින් එක දැම්මා.දුකට

"මචං රම්බා..හොඳ වෙලාවට ඉඳගන්න හම්බුනේ නැද්ද බං..?."

"ආ ඔව් ඔව් හොඳ වෙලාවට,... ඒ වුනාට යකෝ මට දුක...අර පත ඇන්ටිගේ හොඳම හරියෙන් කිලෝ පහලවේ විතර දෙකක්ම, එනකම් මගේ කර උඩ තියාගෙන එන්ඩ වෙච්ච එකට බං"

ඒක අහලා මට පාර අයිනේ තිබුන මාර්ග සඥා කණුවක ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුණා ලොඳ පනිනකම්.  පහුවදා උදේ පත්තර වල කුජීත හෙඩ්ලයින් එකක් වෙන්න තුන් හිතකවත් වුවමනාවක් තිබුනේ නැති හින්දා මම දත කාගෙන ඉවසන් හිටියා.

කිරි අප්පගේ පුසී පැටව් ගහලා කියපි. හන්දියෙන් හැරෙනකොටම පාර අයිනේ හිඟන්නෙක් ලේ පෙරාගෙන හතරගාතෙන් වැටිලා කෙඳිරි ගානවා. දොළොස් පෝයට සිල් ගන්න අපේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඒ මිනිහව පාස් කරගෙන ආතල් එකේ එතනින් වාෂ්ප වෙනවා වගේ වගක් නැතුව. තවත් බැතිමත්තු දෙතුන් දෙනෙක් හොරෙන් හොරෙන් ඒක වීඩියෝ කර කර නෙට් අප්ලෝඩ් කරනවා "අඩෝ මෙතෙන්ට සිග්නල් නෑ බං %$&#$ " කිය කියා. තව ඩයල් එකක් ඇවිත් මිනිහට නසරානි වැඩේ කරපු එකා වටේ හොයා හොයා කෑ ගහනවා. ඕවර් පොෂ් ටයිප් කලම්බු සෙවන් කෙල්ලෝ දෙන්නෙක් "චීයා අනේ....මල ජරාව" කියලා හී හී හී ගාගෙන ටොයින් ටොයින් ගාල අඩියට දෙකට එතනනින් පැනලා ගියා.

මොන කුපාඩිකම තිබුනත් රම්බාටයි මටයි මල පැන්නේ නහුතෙට කිට්ටු වෙන්න. ඒ මනුස්සයාගේ  දුක දැකලා අපි දෙන්නගේ හදවතේ අභ්‍යන්තර පටක විජලනය වෙලා ඒටීපී ශක්තිය ඒඩීපී වෙලා කකුල් දෙකට ගලාගෙන යද්දී අපි දෙන්නා එකතු වෙලා කිසි බිසී ගාලා ඒ මිනිහව වාහනේක දාල ඉස්පිරිතාලෙට පිට කරා.  හත් ඉලව්වට ගහපු ඉස්කෝප්ප හතට ඇඩ්රස්  නෑ කිව්වලු, හෙන සෙට් එකක් කැමරා මයික් උස්සන් ආපි අපි හිටපු තැනට.

කිරි කිරි ටොයින් සක්කර වට්ටම් ටයිප් කෙල්ලෙක් හති දාගෙන දිව හැපී හැපී අනවුන්ස් කරනවා කැමරාව දිහාට හැරී හැරී.

"ඔව් ආදරණීය ප්‍රේක්ෂකයිනි...දැවෙන කුරිරු අධම තුච්ච තුප්පහි  කුපාඩි ලෝකයේ, කට්ට කෛරාටික කුජීත පජාත චාටර් ඩයල් අතරේ පට්ට හොඳ සුපිරි සුන්දර මැක්සා ඩයල් තවමත් අල්ප වශයෙන් හෝ ජීවත් වෙනවා කියලා ඔබ දැන් දකින්න ඇති....ඔව් ඔබ කැමති ඇති ඒ සුන්දර මානුෂ හිතවාදියෝ දෙන්නා අඳුනා ගන්න." ඒ කෙල්ල මගේ දිහාවට හැරිලා මයික් එක ඇල්ලුවා  මං  ඒ කෙල්ලගේ මුණ දිහා බලද්දී රම්බා ඒ කෙල්ලගේම වෙන වෙන ඒවා දිහා බලනවද කියලා බලන්නවත් මට මීටර් තිබුනේ නෑ.

"ඔව් මහත්මයා... වෙල් කම් ටු අවර් නිව් ලයිව් ෂෝ.. මේක තමයි අපේ අලුත්ම වැඩසටහන "අසරණ සරණ රියල් රියලිටි ෂෝ" කෙල්ල දත් තිස් දෙකම එලියට පන්නගෙන හිනා වුනා.

ඉන්ටර්විව් එකට පස්සේ කොහොම හරි බලෙන් වගේ ඒ සෙට් එක අපේ අතේ රුපියක් දෙසිය පනහා ගානේ පන්සීයක් මිට මෙලෙව්වේ කැමරාවට පේන්ඩ අපිට දීපු රුපියල් පන්දාහ ආපහු ඉල්ල ගන්න ගමන් "අනේ අයියේ නොවරදවාම අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හොඳේ" කියලා.

පැයක් විතර කට්ට කාලා පත්තර කන්තෝරුව හොයාගෙන මම ඇතුලට ගියේ පට්ටම හැපී එකේ.

Friday, May 31, 2013

මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.

මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු වල තියන වතුරත් ඒ හා සමාන විදිහට ඝනීබවනය වෙලා තව එක එක එව්වා වෙලා මුත්‍රා විදිහට පිටවෙනවා කියලා.

හඳ, තරුත් එක්ක අද ඕෆ් ඩියුටි ගිහින්. හුළඟ, හිරිකඩ එක්ක ඕවර් ටයිම් කරනවා. මුළු ලෝකෙම අන්ධකාරේ වේලිලා ගිලිලා ඇඹරිලා. මිනිස්සු ගැරඬි වගේ තමන්ගේ ගෑනි කොට්ටේ බදාගෙන සැපට නිදි ඇති. කොල්ලෝ කුරුට්ටෝ, කෙලි පැටික්කියෝ නිදි මරාගෙන එක එක කර්මාන්තවල නියැලෙනවා ඇති. රයිටර් කෙනෙක් විදිහට මගෙන් සමාජයට ඉටුවිය යුතු වගකීම ඉටු කරන්න මේක තමයි හොඳම වෙලාව. තප්පරයක්වත් අහක දාන්නේ නැතුව, ලොවෙත් නැති එන්කරිස්මන්ට් ජවයක් හිතට අරන්, අජරාමර අයිඩියාස් හිතට ගලන වෙලාවේ, වළලුකර ගාවට රෝල් වෙලා තිබුන  සරම ඉන ගාවට අරගෙන ගැටයක් ගහගෙන ඇඳෙන් බැහැලා පුටුවට පැන්නේ පාඨකයින්ගේ ඇස්වලින් කඳුළු සූ සූ ගාලා දොට්ට පනින, හෙන ලව් ස්ටොරියක් ලියනවා කියලා හිතාගෙන.

මේ දවස් ටිකේම දරුණු විදිහට "ඇවටියෙල් ඩිස්මැන්ටල්ස්" කියන මානසික ආතතියෙන් පෙළුණු හින්දා පාඨකයින්ගේ හදවත් කැවුතු උණුවෙන ටයිප් එකේ වචනයක් හරියට ලියා ගන්න බැරි වුනා. අධික ලෙස අන්දකයිප්පු වෙන එකෙනුයි අධික ලෙස කුපිත වෙන එකෙනුයි මිදෙන්න කියලා අල්ලපු ඉඩමේ තියන පශුවෛද්‍ය ඒකකයට පුසාට පණු බෙහෙත් ගෙන්න ගිය වෙලාවේ අලුතෙන් වැඩට ආපු හුරතල් ඕවලාකාර මුණ තියන ඩොක්ටර් මිසී කිව්වා.  

එවලේ එතනට ඉතියෝපියන් ෂෙපර්ඩ් වර්ගයේ ලොම් හැලිච්ච බලු නකුටෙක් එක්කන් ආපු මද පමණින් පොෂ් ටයිප් කෙල්ලෙක් නහයෙන් අඩනව "ඩොක්ටර් මිසී... මට මයිල් එන්න මොකක් හරි බේතක් ලියලා දෙන්න" කියලා. ඕක ඇහිලා මගේ කට නිකන් කහන්න ගත්තායින් ඩොක්ටර් මිසීගෙන් මම ඇහුවා. "ඩොක්ටර් මිසී... මයිල් එන්න බෙහෙත් තියනම් මයිල් හැලෙන්නත් බෙහෙත් නැද්ද කියලා". ඩොක්ට මිසී මං දිහා හෙන අවලං ටයිප් කින්ඩි හිනාවක් දාගෙන කියපි "කපනවා ඇරෙන්න වෙන බේතක් නෑ ළමයෝ"  කියලා. අපරාදේ... මම හිතන් උන්නේ, මං රැවුල කපන්න ගේන ගේන රේසරේ හොරෙන් උස්සන අපේ අක්කට ඒ ජාතියෙන් ටැබ්ලට් බෝතලයක් තෑගී ගිහින් දෙන්න.

අපේ ගමේ එවුන් කැරකෙන කුඩුවක් හදලා ආධාර කවුන්ටරයක් දාලා හන්දියේ මේ පාර වෙසක් එකට. මුං කලින් පෝස්ටර් කැම්පේන් එකකුත් කරලා "මහා කරකවන විට කැරකෙන පහන් කුඩු රාජයා ... 26, 27, දෙදින පුරා හන්දිය බදු ගනී.. නොවරදවාම විදුලි පන්දමක් රැගෙන නැරඹීමට පැමිණෙන්න." අපරාදේ කියන්න බෑ හන්දියේ සූ ගාලා සෙනග. බලපු බලපු අත ටෝච් එලි විතරයි. හතරවටේට ටෝච් ගගහ බැතිමත්තු පාරිශුද්ධ වචන කියා කියා කුඩුව හොයනවා. කොහොම හරි කුඩුව හදපු එවුන්ගේ දෙමව්පියන්වත් මතක් කරගෙන, අඩු බජට් එකකින් හදපු කුඩුව විවෘර්ත කළා. අවාසනාවකට ඒක රවුම් දෙක තුනකට වඩා කැරකුණේ නැත්තේ කුඩුවේ බල්බ් දෙක තුනට කරන්ට් එක දෙන්න දාපු වයර් එක කුඩුවේ බඳේම එතිලා අන්තිමට කුඩුව නැවතුණ නිසා.

අල්ලපු ගමේ මහා දන්සැලක්. කුඩුව හදපු එවුන්ට ඇටැක් එකට උන් කරලා තියෙන්නේ. අහල පහලනේ, නොයා ඉන්න එක හරි මදිනේ. අපි සෙට් එක ඉතින් රම්බායි මමයි  තව අපතයෝ ටිකකුයි දන්සල් වඳින්න ගියේ ගෙදර ආර්ථිකයට පොඩි හරි සහනයක් දෙන එක අපේ යුතුකම හින්දා. දත කට බඩ මැදගෙන දන්සලට ගියා බඩ නැතිවෙන්න කනවා කියලා හිතාගෙන. දන්සැලේ හට් එකයි පුටු ටිකයි විතරයි දෙන කෑමක් නෑ.. රම්බාට මල විදපු පාර සංවිධායක ඩයල් එකක් එක්ක ටෝකක් දැම්මා.

"මල්ලි... කෝ අයිසේ කෑම" ටිකක් සැරෙන් වුනත් ෆිට් එකෙන් රම්බා අහපි.

"මොන කෑමද අයියේ..." සංවිධායක ඩයල් එක කෙලින් ඩිරෙක්ට් කිව්වා.

"ඇයි බොල ටිකිරි මයිනෝ දන්සලක් වුනාම කන්න තියෙන්න ඕනි නේද...?.. මේකේ කන්න තියෙන්නේ ටකරං පුටු සෙට් එකද..?"

"පික්ෂුද අයියේ මේක අලුත් සංකල්පයකට අනුව දෙන දන්සැලක්"
"ඒ කිව්වේ මේකේ දන් දෙන්නේ කෙල්....." රම්බා කියන්ඩ හදනකොටම මම පැනලා උගේ කට වැහුවා.

ඇයි හත්වලාමේ මේක හරි ලැතපොමේඩියාස්  සීන් එකක්නේ. මගෙත් කුතුහලය නහුතෙට තද වෙලා දොට්ට පනින්න ඔන්න මෙන්න.. මම ඇහුව පාර පොර කියපි,

"අයියේ මෙහෙමනේ... මේක සියවසේ අලුත් සංකල්පයක් කියලා මම කිව්වනේ... එක එක උදවිය  එක එක ඒවා දන් දෙනවා..සමහරු ලාම්පුතෙල් දෙනවා, සමහරු පෙට්රෝල් දෙනවා, සමහරු හයර් දන්සල් දෙනවා... කොස් පොලොස්, ජීවිත පවා දන් දෙනවා. අන්න ඒවගේ අපි දන් දෙන්නේ කෑම නෙමෙයි...මේ ශාලාව...  ඒකයි දන් සැල කිව්වේ ..අයියලා කැමති කෑමක් පිටින් අරං ඇවිත් මෙතන නිදහසේ කන්න පුළුවන්"

උට පින් සිද්ධ වේවා කියලා අපි ඒ ශාලාව ඇතුලට වෙලා දත්මිටි කාලා එලියට ආවේ ලබන අවුරුද්දෙත් කරන්න පුළුවන් වෙන්න කියලා ඌගේ හිතට ධෛරීය දීලා.

Wednesday, May 1, 2013

අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !

පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින එක නවත්තල,  කැවුම කාලා වතුර ටික බිව්වේ ලබන අවුරුද්දෙත් නැකත් පත්තරේ හදන්න උන්දෑ ජීවත් වෙලා ඉන්න ඕනි හන්දා.

ආහාර දෙසාබෑමේ නැකත් වෙලාව උදා වෙන්න දැන් ඔන්න මෙන්න. අපේ ගෙදර බිත්තියේ පණ ඇද ඇද දුවන ඔරලෝසුවේ, හුචක්කු විනාඩි කට්ටට අනුව නම් හරියටම තව තප්පර තිහයි. මම ගිනිපෙල්ලක් පත්තු කරගෙන, අවුරුද්දේ නැකත් ගානට එක ගානේ ගෙනාපු රතිඤ්ඤා හතෙන් ඉතුරු වුන හතරවෙනි එක අරගෙන මිදුලට බැස්සේ දුප්පත්කම හිත මැද දරාගෙන, කඳුළු පිරුණු ඇස් දෙක, කලිසම් වාටියේ අතුල්ලන ගමන්. කඳුළු පිහින්න ගිහින් තව පොඩ්ඩෙන් ඇහි පිහාට්ට කලිසමේ සිප් එකේ පැටලෙනවා. හරියටම තප්පරේට රතිඤ්ඤා කරල පත්තු කරලා මිදුලට දාලා පැත්ත නොබලා ගේ ඇතුලට දිව්වේ, "මාව කාපන්, මාව කාපන් කියන්නැහැ" බැබලි බැබලි තිබ්බ කිරිබත් පිඟානටයි හත්මාලුවටයි බැටේ දෙන්න.

දුවලා ගිහින් කිරිබත් පිඟාන අතට ගන්නවත් එක්කම රතිඤ්ඤා කරල පත්තු වුනා ඇහුණා. ඒත් දෙයියනේ, ආච්චිට හාල් ගරන්ඩ, මේ ඇහෙන නවතින්නැති සද්දේ නම් එන්නේ පත්තු වුන රතිඤ්ඤා කරලේ දෝංකාරෙවත්, අල්ලපු ගෙවල්වල රතිඤ්ඤා සද්දෙවත් නෙමෙයි කියලා මට ලාවට ලාවට සෙන්ටිමෙන්ටල් වෙනකොට, මෙන්න බොලේ අපේ ආච්චි චීත්තෙ කැහැපොට ගහගෙන කාටද දෙස් දෙවොල් තියනවා. මමත් නිකමට වගේ හොම්බ දාලා බැලින්නම් මිදුලේ වනලා දාපු ආච්චිගේ පරණ චීත්තයක් රැල් රැල් වෙලා ශැල්ලඩේ වගේ. ආච්චි සුන්බුන් වෙච්ච කඩමාල්ල දිහා බල බල, රතිඤ්ඤ දාපු එකාගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා.... බනිනවා, අම්බානක කිබුහුම් යවනවා..... බනිනවා...අම්බානක කිබුහුම් යවනවා.  මං ආච්චිගේම මුනුපුරා වෙච්චි කොට, උන්දැට කිබුහිම් නොගියොත්නේ පුදුමේ.

මම කාලා අත හෝදනවත් එක්කම රම්බාගේ ගෙවල් දිහායින් හෙන සද්දෙට රතිඤ්ඤා වැලක් පත්තු වෙන සද්දේ ආවා. මං හිතන්නේ උන්ට තක්කෙටම නැකත ලැබුවේ දැන්. එතකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

""Machan, raitar weri butiful niw iyar....aaaa..!  gedara oralosuwe batari bahala ban, welawa yanawaa horayi. alam eka wadune na...ithin uyanna parakku una."
(මචං රයිටර්, වෙරි බිව්ටිෆුල් නිව් ඉයර් ඈ.. ගෙදර  ඔරලෝසුවේ බැට්රි බැහැලා බං, වෙලාව යනවා හොරයි. එලාම් එක වැදුනේ නෑ..ඉතිං උයන්න පරක්කු වුනා. "

මමත් හා හපුරා කියලා අවුරුද්දට වැඩ ඇල්ලුවේ, ඌ එවපු බ්‍රොන්කයිටිස් මැසේජ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා. අනේ ඉතිං මේ දුක මම කාට කියන්නද. ඉතුරු වෙලා තියන රතිඤ්ඤයක් කටේ පත්තුකරගෙන මැරෙනවා මිසක්.

--------------------------------------------------------------------------------------------------------

පහුවදාම අපේ ගෙදර උදවිය පුංචි අම්මලාගේ දිහා නෑගම් යන්ඩ කියලා පාරට බැස්සා. අරං යන්ඩය කියලා විශේෂ දෙයක් නැතිකොට,  ඉතුරුවෙච්ච කැවුම් කොකිස් ටික කාඩ් බෝඩ් පෙට්ටිවලට දාල අලුත්ම අලුත් ගිෆ්ට් ව්රැප් කොළවලින් ඔතමු කියලා යෝජනාව දැම්මේ අපේ අක්කා. අම්මාපා මට ජීවිතේ පලවෙනි වතාවට එක කුසේ උපන් සහෝදරිය ගැන මහා පුදුම ආඩම්බරයක් වගේ එකක් ඇති වුනා. කොහොම කොහොම හරි රෙදි කඩාගෙන, සෙරෙප්පු කඩාගෙන, දාඩිය පෙරාගෙන බරට බරේ උස්සන් එන අපේ නෑදෑ පිරිවර දැකලා පුංචිගේ නිකට බෙල්ලේ. අපරාදේ කියන්ඩ බෑ සිරියාවන්ත හිනාව. ඒ ටිකම මදැයි මහන්සිය මැකිලා යන්ඩ. අපි බරට බරේ ගෙනාපු තෑගී පාර්සල් ලිහනකොට තමයි පුංචිට බඩ යන්නේ දෙපිටින්. අවුලක් නෑ ඉතින් ආයේ මෙහෙ එන්නේ ලබන අවුරුද්දටනේ.

මං ගෙට ගොඩ වෙනකොටම බාප්පා මං දිහා හෙන පජාත ටයිප් බැල්මකින් බැලුවා.

"පුතාද අර ඉන්ටොනෙට් එකේද මොකේද ලියනවා කිව්වේ, අපේ කෙල්ල කියනවා මම අහගෙන"

මම එකපාරට ගෙටවෙච්ච ලමිස්සියක් වගේ ඇඹරි ඇඹරි සුලඟිල්ල කටේ දාගෙන , "ඔ..ඔ...ඔව් බාප්පේ..මම තමයි" කියලා, යටිබඩට දැනිච්ච මෙව්වා එක දරාගෙන කිව්වා.

"හොඳයි හොඳයි..හැබෑටම කොහෙද ඔය ඉන්ටෝනෙට් එක තියෙන්නේ..ආඩම්බරයි ආඩම්බරයි පුතේ...ලියවන පට්ටලේක රස්සාවක් හොයා ගන්න එකත්  අද කාලේ හැටියට ලේසි පහසු දෙයක් නෙමෙයිනෙව..?" බාප්පා කින්ඩියට හිනා වෙනවා මම දැක්කා. අනේ වලාමේ...මේවගේ උතුම් නෑදෑයෝ ලබන්ඩ මම ගිය ආත්මේ කොහොම පිනක් කරන්න ඇත්ද...?

අවුරුද්දේ කියලා බලන් නැතුව, බාප්පා ඇඳන් උන්නු සරම ඔලුවෙන් ගලවලා උගේ බෙල්ල වටේම ඔතලා හොම්බට දෙකක් ඇනලා පැනලා දුවන සයිස් කේන්තියක් මට ආව. උගේ හිතේ මම ලියවන පට්ටලෙක වැඩ කරනවා කියලා. කවදා හරි, ඔව් කවදා හරි, ලංකාවේ පත්තරේක එඩිටර් කෙනෙක් අහම්බෙන්වත් මගේ බ්ලොග් කට්ට කියවලා දුක හිතිලා මට පත්තරේට ලියන්න කතා කරනකම් මම බලාගෙන ඉන්නවා. මු ඉඳගෙන ආච්චිගේ චීත්තෙ මල් ගණන් කරනවා.

එතන මගෑරලා මම කුස්සිය පැත්තට ගියා නිකමට වගේ. නිකමට කිව්වට එහෙමටමත් නෙමෙයි. පුංචිගේ හුරතල් නංගිලා දෙන්නා කොයි කියලා බලන්න. අපේ කට්ටියම කුස්සියේ තැන තැන ඉඳගෙන තේ පැන් සංග්‍රහය භුක්ති විඳිනවා. අපේ ආච්චි කුස්සියේ තියන නා නාප්‍රකාර සුකුරුත්තම් අල්ල අල්ල බල බල, පුංචි එක්ක දබ කයිවාරුවේ.

"මේක ගත්තේ කොහෙන්ද දුවේ..?"

"අහවල් දිහායින් නැන්දම්මේ"

"එතකොට මේක ගත්තේ කොහෙන්ද දුවේ"

"ආ ඕක අහවල් එකට එහා අහවල් එකෙන්  නැන්දම්මේ"

"ඈ දුවේ..හරි අපුරූ තේ මඩිය..,මං මේ කල්පනා කලේ මම මේවගේ පාට එකක් කොයිදී හරි දැක්කා වගේ..මේක ගත්තේ කොයින්ද දුවේ...?"


"ආ දන්නැද්ද...ඉතින් ඔය අපේ එක්කෙනාගේ වැඩනේ නැන්දම්මේ..එයා ගෙදර ඕක හැදුවේ..ඕකේ අනික් එක වැලේ වනලා ඇති ඕන්."

"වැලේ...ඒ මොකෝ දුවේ මඩිය වැලේ වනන්නේ..?" ආච්චිට සැකේ හින්දමද කොහෙද අහපි.

"නෑ නෑ මඩිය නෙමෙයි...නැන්දම්මා දැක්කයි කිව්ව අනික් එක" අපේ කුතුහලේ ඩබල් ට්‍රිබල්, ෆ්රෝබල් කරලා පුංචි කියපි. අපේ අක්කා තේ කෝප්පේ හපාගෙන කතාව අහගෙන.

ඔය අස්සේ කැහිල්ලට වගේ මමත් නිකමට වගේ ජනේලෙන් හොම්බ දාල බැලුවා රෙදි වැල දිහා. කාලා වරෙන්කො කැකිරි කිව්වලු..රෙදි වැල මැද මහා තේජසින් වැජඹී වැජඹී තිබුන දේ දැකලා මට ඔක්කාරෙට ඇවිත් ඔලුව කැරකෙන්න ගත්තා. මයිසුර් විතරක් ඈ පරිප්පු කියන්නේ කියලා මම ආපහු කතාව පැත්තට හැරුනේ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි හින්දා.

"මේ අලුත් අවුරුද්දට දුවලා දෙන්නට පොලෙන් අන්ඩර්පෑන්ට්ස් දෙකක් අරං ආවා.. ඇඳලා බැලින්නම් ලොකුදුවට මදි.... ඉතිං ආපහු ගිහින් දෙන්න යෑ.... අහක දාන්නේ මොකටද.. සල්ලිනෙ.. අපරාදෙනේ... නැද්ද හා..... අපේ එක්කෙනා එකෙන් මඩියක් හැදුවා.... අපරාදේ කියන්න බෑ.... යස අගේට පෙරෙනවා"  පුංචි හෙන උජාරුවෙන් කියපි.

අක්කට බිබී හිටපු තේ උගුර ඉස්පොල්ලේ ගියෙත්, අපේ ආච්චි පපුව අල්ලාගෙන බිම ඉඳ ගත්තෙත්, මගේ කකුල් දෙක පණ නැතිවුනෙත් හරියටම එකම තප්පරේදී කියලා, කලන්තේ හැදිලා ඇහැ පියවෙන්න තප්පරේට කලින් හින්තේරුවටම මම දැක්කා.

Wednesday, April 10, 2013

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය දානවා. තුන්කාන්දෙන් පෙරෙන දාඩියවලින්  පෙඟුන හරියටම අවුරුද්දකට විතර කලින් හෝදපු මගේ සරං කොටෙන් හමන සුගන්ධවත් සුසිනිදු හඩු ස්මෙල් එක මාව මුළු රෑම දරුණු නින්දකට ඇද දාන එකනම් ඇත්තටම වාසනාවක්.

රයිටර් සීරිස් එක පටන් ගත්තත් හරි අම්බානක කතා ලියන්න පටන් අරං තියෙන්නේ මං හෙනකඳයා වගේ දපලා නිදාගෙන ඉන්නකොට අර රම්බා කියන වල් කෑදැත්තා ඇවිත් ඇහැරවපු සීන් වලින්. ඒත් වර්ෂ දෙදාස් දහතුනක් වූ අප්‍රේල් පළවෙනිදා දවසත් මට එහෙම කතාවකට වස්තු බීජය කරගන්න වෙයි කියලා මම තුන් හිතකින් තියා එක හිතකින්වත් හිතුවේ නෑ.

කොහොම හරි මම ඇහැරෙනකොට රම්බා හිටියේ ඇඳ ළඟ පුටුවේ ඉඳගෙන අතකින් නහයක් වහගෙන. මම ගැස්සිලා ඇහැරුනේ සීවරන් දෙයියන්ගේ වයිෆ් මතක් කරගෙන.

"මොනවද බං උඹ මැනර්ස් දන්නේ නැද්ද....?"

"සිරාවටම මොනාද බං මැනර්ස් කියන්නේ, පයිතගරස් වගේ ප්‍රමේයක්ද..?" රම්බා හෙන අවඥාවෙන් වගේ ඇහුවේ ඇස් දෙක වොලී බෝල් සයිස් කරගෙන.

එතනින් එහාට කතා කරලා වැඩක් නැති හින්දා මම කට වහගෙන හිටියා.

"නෙදකින් බං රයිටර්..ඔය සරම හෝදපන්කෝ..බලපන් හඩු ගඳ...මට ඔක්කාරෙට එනවා"

"මගුලක් කතා කරනවා..දෙයියනේ කියලා රෑ එලි වෙනකම් නින්ද යන්නේ මේ පුසුඹ නහයට දැනෙනකොට....උඹ හදන්නේ මට ඒ සැනසීමත් නැති කරලා දාන්නද" හෙන අහිංසක බැගෑපත් ලීලාවෙන් මං කිව්වා.

"අනේ දෙයියනේ කොහේ හරි ස්වේච්චාවෙන් සංවිධානෙකින් ඉදිරිපත් වෙලා මුගේ සරමයි කොට්ට උරෙයි හෝදලා දීලා සාන්ගීක දානයක් දුන්නා හා සමාන පිනක් අයිති කර ගනිත්වා....." රම්බා දොහොත් මුදුන් තියාගෙන දත්මිටි කකා වැඳ වැඳ ප්‍රර්ථනා කරා.

"රයිටර්....මාර සීන් එක බං.."

"ඇයි මොකෝ වෙලා තියෙන්නේ..බං අර ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව හරි පාරටවත් වැටිලද..අනේ වාසනාවන්..! එහෙම නැත්තම් උඹ කියන්න හදන්නේ ඒකට බඩු මැන්ගුස් වෙලා කඩාවැටෙන්නේ අපේ ගමට කියලනම් කරුණාකරලා ගිහින් ඕක කියලා වරෙන් කොල්ලුපිටියේ හංදියේ ඉන්න කොණ්ඩේ ස්ට්‍රේට් කරපු චයිනීස් කෑල්ලකට...මොකද අද දවස ගැන මම හොඳට දන්නවා...කොටින්ම කියනවනම් උඹල වෙනුවෙන් අන්තර්ජාතිකව පත්කරලා තියන දවස ගැන වෙන මොනවා දැන ගන්නද බං"

එක දවසක් හරි උන් වගේ එවුන් වෙනුවෙන් නම් කරලා තියන කතාව ඇහුව රම්බාගේ මුනේ ආඩම්බරේ දෝරේ ගලනවා සිරාවටම මං දැක්කා. කොච්චර ඒ කතාව ඌට හිතට වැදුනද කිව්වා නම් පොර කකුලක් පිට කකුලකුත් දාගෙන කොන්ද කෙලින් තියාගෙන මං දිහා හෙන වෛශාක්‍ය බැල්මට් එකක් දැම්මා. මට පේන විදිහට මූ පහුගිය මාස ගානකට කැලැන්ඩරේ බලලා නෑ. නැත්තම් ඉතින් අද කවද්ද කියලා නොදන්න මෝඩයෙක් අහල ගම් හතකවත් ඉන්න පුලුවන්ද..

කාමරේ පුරාම පිරිලා ඉතිරිලා ගියපු සරමේ හඩු ගඳ ඇරුනාම හෙන දඩාර් නිශ්ශබ්දතාවයක් තිබුනා විනාඩි ගානකට. මම මොකද කියලා ඔලුව පොඩ්ඩක් උස්සන් බලනකොට රම්බා, මේසේ උඩ තිබ්බ පත්තරේක අර ලලිතා අක්කගේ තෙලිඟු සිනමා ජීවිතේ වං හුං කියවනවා දිව දොට්ට දාගෙන.

"රම්බා...?...ඒක නෙමෙයි උඹ මොකක්ද කියාගෙන ආවේ..?"

"රයිටර්....ආ...ඔව් බං....ගල්බොක්කේ ගෙදර සිමියොන් සීයා....,"

"ඉතිං...පැනලා ගිහින්ද....?"

"මගුලක්....උන්දෑ  ඊයේ රෑ අන්තරා වෙලා බං"

අරූ මට රවාගෙන හෙන දුකෙන් වගේ කිව්වා  

"හෑ....!! පල යන්ඩ කෙප්ප නැතුව"

මම කෝකටත් ෂුවර් නොකර ඇහුවේ මු අද දවස ගැන හින්තේරුවකට නොදන්න එකේ මේක නම් කෙප්පයක් වෙන්න බැරි නෑ කියලා තක්කෙටම  හිතන ගමන්මයි.

"ඔව් බං ගැටයා කාලේ ඉඳන් අවුරුදු අසුවත් පනිනකම් අර උඩහ වත්තේ ඇග්නස් ආච්චිට ලයින් පාර දාගෙනලු හිටියේ..ගැටිස්සි කාලේ ඇග්නස් ආච්චි හේතුහාමි ආතාව බැන්දට පස්සේ  පොර අප්සැට් එකේ හිටියේ. දවසක් ඇග්නස් ආච්චි දොළේ නාද්දී මැරුණ සිමියොන් ආතා හොරෙන් බලාන ඉන්නවා මට අතේ මාට්ටු බං.....බලපන් දාර ආදරයක් නෙහ්  බං...."

මගේ දිව හැපුනා අන්දකයිප්පු කතාව අහලා. "ඉතින් බං සිරාවටම කියහන්කෝ මිනිය මැරිලද කියලා"

"නෑ බං මිනිය මැරිලා නෑ..හන්දියට වෙලා බයිලා කිය කියා නටනවා..ආන් ගිහින් බලලා පොඩ්ඩක් ඉගෙන ගනින්.....ඇයි හත්වලාමේ මිනිය මැරිලද අහන්නේ තෝ කෙටල කොළ කොටලා බිව්වද?...මෙන්න මෙහෙ වරෙන් යන්න හට් එක ගහන්න බඩු ගෙන්න යන්න" රම්බාට අශුචි පනින්න ඔන්න මෙන්න.

----------------------------------------------------------------------------------------------------------

අපි දෙන්නා  ගමේ කොල්ලෝ සෙට් එකත් ඇහිඳගෙන මරණාධාර සමිතියේ හට් එක ගන්න ගියා. අපරාදේ කියන්න බෑ කැපවෙලා වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් හොයා ගන්න අපිට බැරි වුනේ නෑ..

ඔහොම පාර දිගේ යනකොට බයික් කාරයෙක් එනවා මහ දවල් හෙඩ් ලයිට් එක දාගෙන. රම්බා හෙන වෙලාවක් කල්පනා කරලා කරලා මගෙන් අහනවා

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

"කියන්ඩ බෑනෙ බං මේ සිද්ධ වෙන දේවල් අස්සේ කාටද කියන්න පුළුවන් එක පාරට රෑ වෙන්නේ නැති වෙයි කියලා...පොර හිතනවා ඇති එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ දඩස් ගාලා කළුවර උනොත්හෙම කියලා. කෝකටත් සුදානම හොඳ හින්ද ඉතින් පොර ලයිට් දාගෙන යනවා ඇති"

ලොවෙත් නැති වැල් බයිලා ලොන්තයක් හල හල අපි මරණාධාර සමිතියේ හට් එක බාරව ඉන්න සීයාගේ ගෙදරට ආවා.

"මරණාධාර සීයේ....මරණාධාර සීයේ..!!!"

"හිපාටුවෝ තොගේ අවමගුලත් මේ ගමන්ම ගන්න ඕනෙනම් තව පොඩ්ඩක් හයියෙන් ඔහොම කතා කරපන්..ඒක ලේසියි එක පාර දෙකක් ගන්න එක." අපිත් එක්ක ආව ඔඩියාට කනේ පාරක් ගහන ගමන් රම්බා කිව්වා.

"ආ ළමයිනේ..මගුලක්ද..කොටහළු මගුලක්ද..අවමගුලක්ද"

"මගුලක් මගුලක් සීයේ හැබැයි අවමගුලක්"

සීයාගේ කට මල පිපිලා පරවුනා වගේ වුනා

"සීයේ අපිට හට් දෙකම ගන්න ඕනෙ..කොහොමද සීයේ හට් දෙක අඳුන ගන්නේ පැටලෙන්නේ නැතුව" මම ඇහුවා.

"හෙහ් හෙහ් හෙහ්... බය වෙන්න එපා කොලුවෝ මම එකක රතු ගෑවා"

"එතකොට සීයේ අනික"

"ඒකෙත් රතු ගෑවා" සීයා හෙන ආඩම්බරෙන් කියපි.

Thursday, April 4, 2013

අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න

ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක් එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා සර්වප්‍රකාරයෙන් සංසාරෙම කලකිරිලා.

අල්ලපු ගෙදර ඇන්ටි බැඳලා ඉන්න මාමගේ මාමා කෙනෙක්ගේ ඩෙඩ් පාර්ටි එකට ගෙදර අය පාන්දරින්ම  ගිය පාර තවම ආවේ නෑ. තනිකම, භීතිය, පාළුව වගේම තව තව අමන කුපිත කුජීත හැඟීම් කන්දරාවක් මාව වෙලාගෙන හිටියට,  ගෙදර කවුරුත් නැති නිසා තනිකරම පාලක මධ්‍යස්තානේ පාලනය මගේ අතේ තිබුන එක හෙන ත්‍රිල් එකක් වුනා. හාල් පොත වගේ වටින ආච්චිගේ පරණ කුඩ කබලෙන් අටවගත්ත ඇන්ටනා කට්ටට අහුවෙන චැනල් දෙක තුන සැරින් සැරේ මාරු කර කර මම ගෙව්වේ අමන කරුමයක්. නිර්ලජ්ජිත කටුක ආර්ථික උද්ධමන විපර්යාසයේ අතුරු විපාක හින්දා ඇතිවෙච්ච අපේ බඩේ කොරේට ආණ්ඩුවේ ස්පිරිතාලවල බෙහෙතුත් නෑ. ඉතින් හත්වලාමේ "උන්ට හෙන ගැහුවත් අපට මොකද"  කියන ආදර්ශ පාඨය අදහන දේශප්‍රේමී මැති ඇමතිවරු ඉන්න රටේ ජීවත්වෙන එක කොච්චර භාග්‍යසම්පන්නද කියලා මට අවබෝධ වුනේ විනාඩියෙන් විනාඩියට යන "නිල් අහස දෙවනත් කරන ප්ලේන් අහස පුරා සැරිසරනව දකිද්දී හිතට හරිම ආඩම්බරයි නේද අප්පච්චි" කියල යන ඇඩ්වටීස්මන්ට් පෝලිම දැකලා.

ගෙඹි පැටව් හිතුමතේ වීදි සරණ, ගොළුබෙල්ලන් අවලමේ යන පලගැටියන් ලයින් දාන, කළු කපුටන් වෙට්ටු දාන, බේබද්දන් සූර් කරන පට්ට  රෑ එකොළහට විතර හදිසියේ කවුරු හරි දොරට තඩිබාපු  සද්දෙ ඇහිලා මගේ අක්මාව නොහිතු විදිහට අකර්මන්‍ය වුණා. හදවතේ අභ්‍යන්තර පටක වලට රුධිරය සපයන සිහින් කේශ නාලිකා අග්ගිස්සේ මරණ භය කියන එක හිරවෙලා හදවත ගැහෙන්නේ නිකන් දොරට තඩිබාන එකාගේ ඕනේකමට වගේ කියලයි මට හිතුනේ. හදිසියෙවත් මොන කරුමෙකට හරි මේ ගැහිල්ල නතර වුනොත් එපා කියන්නයෑ. දන්න කියන දෙයියන්ගේ නම් ටික හදිසියේ මතක් කලාට මතක් වෙන්නේ නෑ. ඒක හින්දා "ලෝක ධාතුව රැක ගන්න අම්බානක් දෙවි දේවතාවුනි..මාගේ නිර්මල ජීවිතය රැක දෙන්න" කියලා මම පොදු අමත්‍රණයකින් යාඤා කළා.

"මහත්මයා ගෙදර කවුද...කරුණාකරලා දොර අරින්න"

"ක..ක...කවුද...?" තව සුළු මොහොතකින් රටට දැයට අහිමි වෙන අග්‍රගන්‍ය ලේඛකයෙක්ගේ දෛවය එකට කැටිකරලා ගුලිකරලා දිය කරලා ඉරණමට භාරදෙන ගමන් මම ඇහුවේ වෛබ්රේට් වෙන උඩු හනුවයි යට හනුවයි මැද්දේ තිබ්බ ඇට නැති දිව චප්ප නොවී එහාට මෙහාට කරලා.

"කරුණාකරලා දොර අරින්න"

"ක...ක....කරුණාකරලා කව්ද කියන්න"

"අනේ අයියේ....පිංසිද්ධ වෙයි දොර අරින්න..අපි එෆ් එම් චැනල් එකක ටීවී චැනල් එකකින්...අනේ අයියේ ප්ලීස්...ප්ලීස්..ප්ලීස්" හුට්ටප්පර හතයි මල් ලෑලි හතරයි කිව්වලු.  එහා පැත්තෙන් හෙන අසරණ නාරි ලතා වොයිස් කට් එකක් දොරේ යතුරු හිල අස්සෙන් ඇවිත් මගේ කන් අඩිය පසාරු කරගෙන ගිහින් හදවතේ නොගැඹුරු අර්ධ ශුෂ්ක පටකයක තැනක තැන්පත් වුනේ ඇයි කියලා මම හිතන්න ගියේ නැත්තේ මගේ හදවතම එවලේ හෙන භීතියකින් ඇවටියෙල් වෙලා තිබ්බ හින්දා.

"මෙ...මෙහ් මෙහ්..නංගි...ඉ..ඉ..ස්සෙල්ල මට කියන්න ඔයාල මොකක් හරි සේනාවකින්ද එහෙම නැත්තම් මොකක් හරි බලකායකින්ද කියලා" ඇයි හත්වලාමේ මේ දවස් වල ටීවී එකේ පෙන්නන හදිසි සේනා බලකායවල් වල ආක්‍රමණ, වැටලීම් හින්දා මං අන්දකයිප්පු වෙලා හිටියේ මේ උන්වත්ද කියලා. බැරි වෙලාවත් අපේ ආච්චි අදහන ගම්බාර දෙයියන්ගේ ලොවෙත් නැති පිළිමේ දැකලා අපේ ගෙදර අයටත් මිත්‍යාදෘෂ්ටික දේශද්‍රෝහී ජාතිවාදී අන්‍යාගමික කුජීත ලේබලයක් වැදෙන්න බැරි නෑ, ඒක හන්දා කෝකටත් තෛලය හෙනරාජ තෛලය කියල මම මුලින් ඒ ගැන ඇහුවේ ඒකයි. හැබෑවටම උන් ඒ සේනාවෙන් නම් ඇත්ත කතාව නොකියන එක වෙනම කතාවක්, ඒත් ඒවගේ වොර්ඩින් එකක් කලින් දාපුහාම නිකන් හිතට ලාමක සුමුදු සනීපයක් දැනෙන හින්ද වෙන්න ඇති මගේ කටින් එහෙම පිට වුනේ. ඇඩ්රිනලින් හෝමෝනය කුපිත වුන හින්දා වෙන්න ඇති කකුල් දෙක සට සට ගාලා ගැහෙන්න ගත්තේ...

"අනේ නෑ අයියේ...අපි එකේම බලකායක් නෙමෙයි...පිංසිද්ධ වෙයි දොර අරින්න....අනේ අරින්නකෝ" ඒ පාර නම්  අර නංගි කිව්වේ දත් කැක්කුමට හක්කේ පුළුන් තියාගෙන වගේ. මට ඒ ස්වරය ඇහිලා අම්බානක දුක හිතුනා..පෙර දැනුම් දීමකින් තොරව කියන්නත් කලින් උණුවෙන කවි හිතේ කොනකින් අනුකම්පාව වෑහෙන්න ගත්තයින් මං ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා දොර ඇරියා"

ඔහෙප්පලයන් කිව්වලු, ඒ කෘ එක දැකලා මගේ ඇස් දෙක නළලේ ඇලුනා. හෙන තඩි කැමරාවයි, තඩි මයික් පොල්ලයි තව අනම් මනම් ගැජමැටික් ගොඩයි. වෙව්ලුව වෙව්ලිල්ලට  ගැටේ බුරුල් වෙලා ඇඳන් උන්නු සරම ගැලවෙන්න ගියා. බොහොම අමාරුවෙන් කකුල් දෙක දෙපැත්තට පළල් කරා මැන්ඩියට ඉන්නවා වගේ. ජඩ ගේමක් දීලා හොඳම හරිය දෝතින් කවර් කරගෙන විලිසන්ගේ බේරගත්තට පස්චාත් භාගය ඒ තඩි කැමරාවේ කාචේ සිපගන්න එක වලක්වන්න මට කොහොමත් බැරි වුනා.

යන්තම් ජාමේ ඇබිත්තක් රැකගෙන සරමේ කැහැපොට ගහන ගමන් මම මේ කෘ එක කොහෙන් කොහොම කඩාපාත් වුනාද කියලා විස්තර අහන්න කට ඇරියා විතරයි....,

"අනේ අයියේ ඉස්සෙල්ලම මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්නකෝ පිං සිද්ධ වෙයි...පිං සිද්ධ වෙයි" කැමරාව කර තියාගෙන හිටපු ඉලන්දාරියා දොට්ට පැනපු දිව ඇතුලට දාල කෘන්තක දතේ කොනක් පෙන්නලා හරිම අහිංසක විදිහට හිනා වුනා. ඒත් එක්කම "අනේ මටත් අයියේ....අනේ මටත්.." කියලා හැම එකාම මගේ පස්සෙන් ආපි. අන්තිමට කුස්සියේ ටැප් එකට අක්කාගේ රට ඉඳි පාත්තියට වතුර දාන හෝස් පයිප්පෙ ගහල වීදුරු වලට පුරෝ පුරෝ උන්ට වතුර පෙව්වා පැය කාලක් විතර.

"හරි අයියේ මෙහෙමයි මට ඉස්සෙල්ලම කියන්න ඔයා අහන රේඩියෝ චැනල් එකයි බලන ටීවී චැනල් එකයි මොකක්ද කියලා"

මොක බැලුවත්, කෝක ඇහුවත් කෝකේ යන්නෙත් මං ලියන අගක් මුලක් නැති සෙන්ටිමෙන්ටල් පජාත  රයිටර් කතා වගේ මෙලෝ රහක් නැති එව්වනේ. නොකියෙව්වොත් තරහ වෙනවා වගේ ලයින් එකක් තියන හින්දා වදෙන් පොරෙන් දෙතුන් දෙනෙක් ඇවිත් කියවලා හිත සනසවලා යනවා..ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි නිකන් තියන කන් දෙකට ඇහෙන දෙයක් ඇහිච්චාවේ කියලා රේඩියෝ එක දාන්න කලින් මීටර් කරලවලා අහුකර ගන්න එෆ් එම් තමයි මම අහන්නේ. කෝකටත් සන්තකේටම අහුවෙන චැනල් දෙක තුන, දහය විස්ස ගණන් කරලා අන්තිමට සීය ආපු මල් මල් එෆ් එම් එකේ නම මම කිව්වා. ප්‍රශ්නේ අහපු නංගිගේ කට නිකන් මී කතුරට අහුවුණා මීයාගේ පස්චාත් බාගේ වගේ වුනා.

"අනේ අයියේ වඳින්නම් අපි එලියට ගිහින් ආයේ ඇවිත් දොරට තට්ටු කරන්නම් කලින් ආවේ නෑ වගේ. අයියා දොර ඇරලා අපිව ඇතුලට අරං අපි ප්‍රශ්නේ අහනකොට ගත් කටටම කියපන් උඹ අහන්නේ "එෆ්.එම් හිඟන" කියල., අනේ අයියේ උදේ පාන්දර ඉඳන් අපේ එෆ්ම් එක අහන එවුනුයි අපේ චැනල් එක බලන එවුනුයි හොයන්න බුදු කට්ටක් කන්නේ රත්තරන් අයියේ. අනේ කියන තැනකට වඳින්නම් අතිනුත් වැඩිපුර ගානක් දෙන්නම් රත්තරන් අයියේ එහෙම කියපන් අපිට විනාඩියක් ෂූට් කරගන්න.

මගේ ස්වාරාලේ ඉදිමෙනවා වගේ දැනුනා. දිව ගිලිලා ගලනාලේ හිරවෙනවා වගේ දැනුනා. ඒ අහිංසකයා  කිව්ව කතාව අහලා ඇස් දෙකෙන් කඳුළු පන්නා. ඒ අහිංසකයෝ ටික රේඩියෝ චැනල් එක ගොඩ දාගන්න විඳින දුක් කන්දරාව ගැන හිත හිත ඉන්නකොට කෘ එක  දුවලා දුවලා ඈතට ගියේ රටක් රාජ්ජයක් අල්ලගත්තු සරණාගතයෝ ටිකක් වගේ.

Saturday, March 23, 2013

ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි

චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන් විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත් යනවා.  එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ලමිස්සියන්ට තනි පංගලමේ සාන්තිකර්ම කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා රේප් සීන් වලට අවුරුදු ගානකට මහා උළු ගෙදර තපින්න ගිහින්.  "රියල් කට්ටඩියෝ කියන්නේ සොබා දහමේ කෘරත්වය හින්දා මිහිපිටින්  වඳවෙලා යන දුර්ලභ පුරවැසි කොට්ඨාසයක්ද බං" කියලා රම්බා හෙන සිරා මුඩ් එකකින් මග එද්දී මගෙන් අහනවා. ඌ අහන අවලං දුර්ලබ ප්‍රශ්න වලට උත්තර දෙන්න පශ්චාත් උපාධියක් තිබුනත් බැරි කොට මම තියන ලේ පයින්ට් දෙක තුන දහනය කරගන්නේ මොකටද කියලා කට වහගෙන හිටියා.

උදේ ඉඳන් බඩගාලා බඩගාලා වතුර පිපාසාවේ දිව දොට්ට පැනලා කන් දෙකෙන් දාඩිය පෙරනවා. කොන්ද කුදු වෙලා  නිකට මහ පාරේ ගෑවෙන සයිස් එකට. බඩගින්නට බුරිය සුෂුම්නාවේ ඇලිලා.  යටි පතුල දනිස් දෙකේ බෝල කුහර හන්ධිය කිට්ටුවටම පොඩ්ඩක් අඩුවෙන් ගෙවිලා වගේ දැනෙනවා. කප්පරක් බලාපොරොත්තු අලුකුත්තේරු විදිහට විලම්බීත වෙලා සුන් වෙලා අපිට කෝචෝක් කර කර තිබුන ඇවටියෙල් වෙලාවක, පාරේ බස් හෝල්ට් එකක බිත්තියක් පුරාම පාට පාටින් සරසල තිබ්බ පෝස්ටරේ විස්තරේ දැකලා අපි දෙන්නගේ ඉස් මුදුනේ හෙන දඩාරන් බාබන්ඩේසියා මල් අහුරක් පිපිලා පරවුනේ හරියට පට්ටම රෑක එක පාරට හඳ පෑයුවා වගේ.

                "නවීන තාක්ෂණයෙන් භූත දෝෂ ඉවත් කරනු ලැබේ"
                         හිතට වද දෙන, ගතට දුක දෙන, ඇහැට නොපෙනෙන, කනට නොඇසෙන
                                අදෘශ්‍යමාන භූත බලවේගයකින් ඔබ තවමත්  පීඩා විඳින්නේද..?
                                                               දුක් නොවන්න දරුවනි..

                                    තනි ඇහැට ඇඩෙන විසඳුම දැන් අප සතුයි

                                       අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි....විලම්භිතයි, ප්‍රතිගම්‍යයි
  • "යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ දෝස හඳුනා ගැනීම හා සමනය කිරීම"
  • "මළගිය ප්‍රාණ කාරයින් මිනිත්තුවකින් පුළුල් තීරයකට, කටහඬ සරවුන්ඩ් සවුන්ඩ් ස්පීකර් වලින්"
  • "සහකරුගේ සහකාරියගේ ෆේස්බුක් ගිණුම්  රහස් තොරතුරු සැනින් ඔබ අතට"
  • "නීච කුල අන්තර්ජාල වශී බන්ධන 
  • "ෆේස්බුක් හැර ගිය පෙම්වතා/ පෙම්වතිය වරු තුනෙන් නැවත ෆේස් බුක් ගෙන්වීම"
  • "හූනියම් වයිරස් සදා සතුරන්ට පලි ගැසීම
  • "මොඩර්න් සෙත් ශාන්තිකර්ම
  • "මොබයිල් ෆෝන් සොරුන් , ලැප්ටොප් සොරුන් ඔන්ලයින් අල්ලා රෙදි ගැලවීම"
  • "පංචස්කන්ධය ස්කෑන් කර අනාගත පලාපල නිවැරදිව කීම "
  • "නොමිලේ සති අන්ත ඔන්ලයින් කට්ටඩි උපදේශන සේවය"


                             සම්පුර්ණයෙන්ම නොමිලේ...හරිගිය පසු පමණක් ආධාර කරන්න
                                                                   නොපමාව විමසන්න
                                                 සතියේ දවස් හතම විවෘතයි | ඉරිදාත් විවෘතයි

                                                 ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි
                                            මම භූතයන් එලවීමටම උපන්නෙමි.


දඩි බිඩි ගාලා මම සාක්කුවේ අඩියේ තිබ්බ ෆෝන් එක අරගෙන දැන්වීමේ තිබ්බ අංකෙ ඔබලා කනේ තියා ගත්තා.

"ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන  ඩෙන්න ඩෙනෝ...ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.." අප්පට උඩු, නයි නගියිද ජම්බු ගස් කිව්වලු..කට්ටඩියගේ කෝල්-අ-ටියුන් එක..මගේ කකුල් දෙකත් බෙර පදේ තාලෙට නැටවෙන්න ගත්තා තිබුන අමාරුව පැත්තක තියෙද්දී.

"ආයුබෝවේවා...වාසනාවන්ත පින්වත් දරුව....කිමද මා ඇමතුවේ...කෙසේද මා ඔබට උදව් කල යුත්තේ ..නොපමාව පවසන්න" කෝල්-අ-ටියුන් එක නැවතුන ගමන් එහා පැත්තෙන් ඇහුණා දිව්‍යලෝක ටයිප් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක.

අධම, කුරිරු, කුච්ච, පාහර, විලිසන්ගයක් නැති ලෝකේ ඒවගේ කාරුණික කට හඬින් කතා කරද්දී මගේ පපු කැවුත්ත වාවන්නේ නැතුව ගියා. මම ඒ හඬ ගැන එකතැන පැහැදුනා.. ආමාශේන් ආව ඉකියක් "ග්රඋප්" ගාලා හදිස්සියේ පිටවුනේ මං පර්මිෂන් දෙන්නත් කලින්.

"හෙ...හෙ..හෙලොව්..මම මේ කතා කරන්නේ රයිටර් කියලා ඩයල් එකක්." මම  වොයිස් එක පොඩ්ඩක් ලෝ පිච් එකට  ටියුන් කරලා විස්තරේ මුල ඉඳන් කිව්වා. රම්බා මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙක ඇරගෙන කට කොමඩ් එක වගේ කරගෙන උපේක්ෂාව මිශ්‍ර හැඟීමකින්. ඌ හිතන්න ඇති මං උගේ ප්‍රශ්න වලදී කොච්චර බොක්කෙන් බහිනවද කියලා. ඌ මං ගැන ආඩම්බර වෙන්න ඇති.

ගෙදෙට්ට එන පාරයි ඇඩ්රස් එකයි කියලා කට්ටඩියා කිව්ව විස්තරේ මට රම්බාට ආපහු රිපීට් කරන්න වුනා කැත නැතුව.

ඇඩ්වාන්ස් විදිහට රුපියල් දාහක රීලෝඩ් එකක් පොරගේ ෆෝන් එකට එවලා වැඩේ තක්කෙටම කන්ෆර්ම් කරගන්න කිව්වා. වැඩේ ගැන අපිට තඹ ඇටේකට බය වෙන්නේ එපා කිව්වා. ඔක්කොම තොවිලේට වුවමනා කරන බඩුත් එක්ක කට්ටඩියෝ දෙන්නෙකුයි ගොලයෙකුයි හවස හයට ගෙදරට එනවා කිව්වා. දොල පිදේනියට ඕනේ දේවල් ආවේශ වෙලා ඉන්න යකාගේ තත්වේ බලලා එවලේ එතෙන්ට පට් ගාලා ඇඩ්මිට් කරගම්මු කිව්වා.

නැහිලා නැහිලා පජාත වෙලා, බඩගාගෙන ගිහින් අරමුණක් ජයගත්තම තියන ප්‍රීතිය වගේ එක සමරන්න අපි දෙන්නා හන්දියේ පෙට්ටි කඩෙන් කිඹුලා බනිස් ගෙඩි දෙකක් කිරිහොදි එකක පොඟවගෙන කාලා අඩු සීනි වැඩි කහට කෝප්ප දෙකක් බීලා රම්බාගේ ගෙවල් පැත්තට ආවේ බුල්ටෝ එකක් හප හපා කට්ටඩියගේ ඇඩ්වාන්ස් රීලෝඩ් එකක් දාගෙනමයි.

ගෙවල් කිට්ටුවට එනකොට මුළු ගමම මිදුලේ තැන් තැන්වල කම්මුලට අත තියාගෙන කුටු කුටු ගානවා. හත්වලාමේ චාරුලතා කෙල්ල අකාලේ සෙත්තපෝච්චි වෙලාවත්ද කියලා මගේ බොක්ක ඇතුලෙන් හිරි වැටිලා ගියා..ඔලුව වටේ සුදු කොඩි කැරකෙනවා වගේ පෙනුනා...මේ මගුල් අස්සේ...දැන් ඇදපන්කෝ මළගෙදරට හට් එක. ගහපන්කෝ නයිට් එක දවස් හතක් එක දිගට...මටත් වෙන්නේ ඕවගේ ලොන්ත දොදොල් සීන් තමයි. අහල පහල එවුන්ටනම් සතියක් කෑම වේල් තුන ශේප්..එහෙම බලාගෙන ගියාම මල ගෙදරක් කීදෙනේක්ගේ හිත සුව පිණිස හේතුවෙනවද කියලා මට කල්පනා වුනේ හෙන මුසල හැඟීමක ප්‍රතික්‍රියාවකින් මගේ හදවත අභ්‍යන්තර පටක ජෝගි නටන්න ගත්තට  පස්සේ. .

දුකට බයට දෙකටම බඩ බුරුල්වේගෙන වගේ ආපු හින්දා මම රම්බාවත් ඇදගෙන චාරුලතාගේ කාමරේට දිව්වා. අප්පට උඩු රඹුට කැකිරි කිව්වලු. චාරුලතාව ගැටගහලා තිබ්බ අල්මාරිය ඒකිගේ ඇඟ උඩට පෙරලගෙන. එතන යමර විකාරයයි. කට්ටිය අල්මාරිය උස්සලා කෙල්ලව ගන්න දඟලනවා. මොනඃ අරකි ගොරවනවා. රවනව, කෙල ගහනවා, අඬනවා, හිනා වෙනවා.

"ලඟට එන්න එපා හපනවා...කිව්වොත්.....කිව්වා..මං නරක ගෑනියි කියන්න එපා ග්ර්ර්ර්" මම පොඩ්ඩක් කිට්ටු වෙලා බලද්දී චාරු ගෙරෙව්වා.

"යකො....විනාසයි මම හිතාන උන්නේ මේකි කලින් කොච්චර අඩව් ඇල්ලුවත්  තවමත් ලඳ බොළඳ සුකුමොල ලපටි කෙල්ලෙක් කියලා" 

මේ කියන විදිහට බැරිවෙලාවත් දත්පාරක් කෑවොත්  මට ලගින්න වෙන්නේ මහා ඉස්පිරිතාලේ තිස් තුනේ කාමරේ. කෝකටත් තෛලය ශේප්තෛලය කියලා ඒකිට එහෙමම අල්මාරිය කරතියාගෙන ආතල් පාඩුවේ ඉන්ඩ ඉඩ තියලා අපි පැත්තකට වුනා.

හවස හය විතර වෙද්දී කට්ටඩියා ආවා හෙන ලොරියක බඩු පටවාගෙන. අපේ හිතේ ඇඳිලා තිබ්බේ විටක් හපන, හක්ක බැහැපු, කොන්ඩේ වවපු මාස්ටර් කෙනෙක්ගේ රුපයක්. අපේ ඇස් අතේ පත්තු වෙන්න ගත්තේ වාහනෙන් බැස්ස මොඩර්න් කට්ටඩියා දැකලා. බුලත් විට වෙනුවට මම හිතන්නේ පොර හැපුවේ චුයින්ගම් එකක්.. කොන්ඩේ වවලා වුනාට ස්ට්‍රේට් කරලා. සරම වෙනුවට ඩෙනිමක් ගහලා ටී එකක් බස්සලා. පොර ලොරිය් ඉස්සරහ සීට් එකෙන් බැස්සේ සඟ දාලා කිට මරලා ආනල්ඩ් සුසිරිපාල වගේ. මං ඔය අස්සේ දහ අතේ කල්පනා කලේ පට්ට හැන්දෑවේ මු සඟ දාන්නේ හඳ එලිය දරාගන්න බැරුව වත්ද කියලා.

ලොරියේ සයිස් එක දැක්කාම  මම හිතුවේ මල් පහන් තට්ටු ටිකයි බෙර කාරයෝ ටිකයි  කලින්ම රෙඩි මේඩ් කරගෙන හදාගෙන පටවාගෙන එනවා ඇති කියලා ලේසියට. මොනඃ බැලින්නම් ඒක ඇතුලේ අඩුක් කරලා තිබ්බේ තඩි බෆල් සෙට් එකකුයි, සෙටප් එකකුයි හෙන තඩි ඩිස්ප්ලේ එකකුයි. රම්බායි මමයි අහල පහල කොල්ලෝ කුරුට්ටෝ දෙන්නෙකුයි එකතු වෙලා කට්ටඩි බොස් කිව්ව විදිහට බඩු ටික සෙන්ටිමෙන්ටල් කරා ඕනි ඕනි තැන්වලට. අපිත් අඹපු හරක් වගේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා .

දොලපිදේනියට රෝස්ට් කරපු චිකන් තුනයි, බිත්තර ආප්ප හතයි, ඔම්ලට් නමයයි කඩල ගොට්ටයි රෙඩිකරගන්න කිව්වා.

මිදුලේ මැද ඔක්කොම ටික භාණ්ඩ ටික ලෙසටම අටවගත්තා, තොවිලේ පටන් ගන්නකම් වර්තමාන යුගයේ ෆෙමස් ස්ටාර් කෙනෙක්ගේ අව කැපෙන සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා වටපිටාවේ ඉන්න කුම්භාණ්ඩයො ටික පන්නන්න ඕනි කියලා. ගමේ එකා දෙන්නා පෝලිමේ ඇවිත් මිදුලෙ ඉඳගත්තා. සින්දුවේ සද්දේ වැඩිවෙන්න වැඩිවෙන්න ගේ ඇතුලෙන් එන චාරුලතගේ සද්දේ එන්න එන්නම වැඩි වුනා. අපි හය හත් දෙනෙක් ගිහින් කෙල්ලව කුදලාගෙන ඇවිත් ඩිස්ප්ලේ එක ඉස්සරහ පැදුරේ ඉන්දෙව්වා.

චාරු ඇස් දෙකේ සුදුමද දෙක නළල දිහා අලවාගෙන වෙව්ලන්න ගත්තා..වටපිටාවේ ඉන්න අයට රවනවා රැවිල්ලක් කර වෙලා යන සයිස්.

කට්ටඩියා රිමෝට් එක අතට අරගෙන සෙටප් එක ඔන් කළා. අප්පට උඩු නරි බුරති කිව්වලු..තඩි ඩිස්ප්ලේ එකේ ප්ලේ වුනේ රෙකෝඩ් කරපු තොවිලයක වීඩියෝ එකක්.

මං පොඩ්ඩක් කිට්ටු වෙලා කට්ටඩියගෙන් ඇහුවා

"අයියේ වැඩේ හරි යයි කියලා ෂුවර්ද"

"ඇයි මල්ලි අවුල්ද"

"නෑ ඉතින් අයියේ තොවිලයක් නටන්නේ නැතුව මෙහෙම කරන එක හරිද.."

"යන්ඩ මල්ලි නිකන් යන්ඩ... තොවිලේ මෙතන නැටුවත් එකයි, වීඩියෝ එකක් ප්ලේ කරත් එකයි, අනික උඹලා හිතනවද දැන් ඉන්නෙත් ඉස්සර හිටපු යක්කුමයි කියලා..."

මගේ ඇස් දෙක දොට්ට පනින්න වගේ.. ඒ කතාවේ අත්තක් නැත්තෙමත් නෑ..

"....අපි මොඩර්න් වෙනවා වගේ  තමයි මල්ලි යක්කුත් මොඩර්න් වෙනවා..ඒක අමතක කරන්න එපා...දැන් ඉන්න යක්කුන්ට තේරෙන්න නම් උන්ගේ විදිහට තොවිලේ නටන්න ඕනි...ඉස්සර යක්කු වගේ දැන් ඉන්න යක්කු තොවිල් නැටුවට පන්නන්න බෑ..උන් ඇට්‍රැක්ට් වෙන්නේ මේවගේ ටෙක්නොලොජි එකට..මල්ලි බය නැතුව ඉන්න මල්ලි...අලුතෙන් ආපු ගායකයෙක්ගේ සීඩී එක දාපු ගමන් ඔය යක්කු ආයේ මේ පැත්ත පළාතේ පස් පාන්නේ නෑ"  කියලා පොර සෙටප් එකේ සද්දේ තව ටිකක් වැඩි කළා.

Soon on

Thursday, March 14, 2013

"රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා

දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන  වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ  ලිඳ ගාවට ගිහින්  දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත්  නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ඇයි හත්වලාමේ ඇඟට කොහොමත් හොඳ නෑනේ. ඔලුවට වඩා වැඩිහරියක් වටිනාම අංග උපාංග ටික තියෙන්නේ ඇඟේනේ. පත්තර වල රුවගුණ උපදෙස් යන්නේ ඒවායේ වැඩකරන එවුන්ගේ අතපය කහනවට නෙමෙයිනේ. පත්තරේ ගන්න වියදම් කරන සල්ලිවල වටිනාකමට හරියන්නවත් ඒ උපදෙස් ඉඳලා හිටලාවත් පාවිච්චි කරන්න එපැයි.

අක්කා කුකරි ක්ලාස් එකේ උදේ දහයට විතර හදපු "හොට් ඩෝග්" එකක් අම්මා හදපු කරවල හොද්දේ පොඟවගෙන මම කෑවේ තිබුන පට්ට බඩකින්නට  ඇටැක් එකට. මොනඃ  ඒක බඩට දැනෙන්නේවත් නෑ.  ඒක කාලා මදි පාඩුවට චිලි පේස්ට් එක්ක  බතල අල දෙක තුනක් ගිල්ලේ වම්බටු සෝස් එක්ක. වම්බටු සෝස් එකත් අක්කගේ කුකරි ක්ලාස් එකේ පාඩමකට කියා දීපු එකක්ලු. කාපු කෑමේ හැටියට ස්වාරාලෙට පොඩ්ඩක් ලඟට එනකම් බඩ පිපිිලා. මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් බ්ලොග් එකට කතාවක් ලියන්න කල්පනා කර කර ඉඳලා බැරිම තැන දිලුත් එක්ක  කිතුලට නැගලා මලක් කපාගෙන යන්තම් දෙයියනේ කියලා ඇහැ පියාගත්තා.

"හෙන ගහනව උඹට සුදූ...ඌ" කියන්නැහේ මල ඉලව් ෆෝන් කට්ටට කෝල් එකක් ආව සද්දෙට  දඩස් ගාල ඇහැරුනා. ඇහැරුනා කිව්වට ඇහැරුනේමත් නෑ.ඒ වුනාට ඇහැරුනා, ඒත් හරියට පියවි සිහියට ආවේ නෑ. අත පත ගාලා ෆෝන් එක හොයා ගත්තේ බාගෙට පියවෙලා තිබ්බ එක ඇහැකින්. එක ඇහැක් සම්පුර්ණයෙන්ම පියවෙලා තිබුනේ කබවලට ඇලිලද කොහෙද.  මේ මහ රෑ මොකා මොන අවලම් වැඩකට කතා කරනවද කියලා කතා කරන එකා තමයි දන්නේ.  රෑ කියලා නෑ, ඇඳේ කියලා නෑ, මට මල විද්දේ අසුහාරදාස් ගානකට. මලාට කෝල් එක ආන්සර් කරන්නේ නෑ කියලා දරුණු තීරණයක් අරගෙන මම කට පැත්තකින් බේරෙච්ච කුණු කෙල තලිය සරමෙ කොනකින්  පිහදාලා සරම අස්සටම ආයේ ගුලි වුනා.

සාමාන්‍යෙන්, සාඩම්බර "වැටෙන පමා" නින්දකට උරුමකම් කියන මම දිලුත් එක්ක මල් මල් පාට හීන ලෝකේක පාවෙවී හිටියේ. දිලූ හීනෙන් පේනකොට හරි ලස්සනයි අප්පා. දිලූ හැබෑවට පට්ට දැකුම් කළු වුනත් හීනෙන් පේනකොට පේන්නේ කිරි කිරි මාෂ් මේලොෂ් කෑල්ල වගේ. වඩා ගන්න හිතෙනවා. උඩ දාලා අල්ලන්න හිතෙනවා. එවලේ අපි දෙන්නා අත් අල්ලාගෙන ගිනි කුටක අව්ව පායපු කාන්තාරෙක වගේ එකක ඇවිද ඇවිද හිටියේ. ඒ වුණාට  අපි වටේට තරමක පට්ට මීදුමක් තිබුනා. වට පිටාවෙ අතරින් පතර තිබුන ගහක් ගලක්, බලුබෙට්ටක් ගොම්බෙට්ටක් ගානේම හෝ ගාල ශෘංගාරේ වෑහෙනවා වගේ මගේ හිතට දැනුනා. හැමුව හුළඟෙත් තිබුනේ හෙන කුපාඩි ගතියක්. ඒ හැමදේකින්ම පේන්නේ අදරේ විතරමයි කියලා මට හිතුණා.
"මගේ රයිටර් පැටියෝ...." දිලූ දොඩපි
"හ්ම්...ඇයි පැටී" මං හෙන ආඩම්බර පෙම්වතෙක්ගේ ලුක් එක මුනට ඇඩ්මිට් කරගෙන මයේ කෙල්ල දිහා බලුවා. 
"ඔයා මගේ පණ...මං මළත් ඔයා ගාවින් යන්නේ නෑ...ඔයා ගාවටම වෙලා ඉන්නවා..සත්තයි...වෙන කෙල්ලෙක්ට ඔයාට බැල්ම දාන්න ඉඩ තියන්නෙත් නෑ..ඔයාගේ පස්සෙන් ඔයා යන යන හැමතැනටම එනවා...! ඇත්තමයි...!! ඔයාටත් මං ගැන එහෙම හිතෙනවද සුදූ..මාව රකින්න, මව බලා ගන්න හිතෙනවද පැට්ටෝ...මට කියන්න..අනේ මට කියන්නකෝ....!" අන්තිම ටික දිලූ කිව්වේ හෙන කොමලෙන් ඇද ඇද තාලෙට ලතාවකට..
හරිනං ස්ක්‍රිප්ට් එකේ හැටියට මගේ මුනට ඇඩ්මිට් වෙන්න ඕනි සෙවල ටයිප් පැණි ඇඹල හිනාවක් වුනාට, ඒ හිනාව මගේ මුණේ එක මාංශ පේශියකටවත් එන්ටර් වුනේ නෑ..

"දෙයියනේ මං කරපු වැරැද්ද මොකක්ද දිලූ මට එහෙම කරන්න..මට කියන්න රත්තරන්...මට කියන්න ?"  ගල් රෝලකට අහුවෙලා බාගෙට පස්ස චප්පවුන කඩියෙක් වගේ අනාත වෙලා මම කිව්වේ මං ගැන ඇතිවෙච්ච දුකටමයි.    
ලිමිට් බිමිට් නැති මගේ  වාචාල කටින් ඒ වචන දෙක තුන දෙපාරක් හිතන්න කලින් පැන්නේ තුබූ තුබූ ගාල. එවලේ මං ගැනම ඇතිවෙච්ච ආත්මානුකම්පාවට ඇහෙන් පෙරපු කඳුලක් කඳුලක් ගානේ මං දෙයියන්ගෙන් ඉල්ලුවේ .අනේ දෙවියනේ මේක හීනයක්ම වෙයන් කියලා. හීනෙක ඉඳගෙන හීනයක්, හීනයක්ම වෙයන් කියන එක පට්ට ආතල් කියලා මම එදා දැන ගත්තා.

මල ඉලව් මල දානේ ආයේ රින්ග් වෙන්න ගත්තේ හීන කතා ඔක්කොම චකබ්ලාස් වෙලා යද්දී. මම දත්මිටි කාගෙන කබ කඩ කඩ ඇහැරලා බැලින්නම්, රම්බා. මොන පාන් ගෙඩියක් බැදලා කන්නද මේ මහා රෑ මේ හිපාටුවා කෝල් කරන්නේ. ඕනේ මගුලක්...ආන්සර් කරනවා..මගේ බුදු ෆිට් එකනේ..! මේ ටිකේ ලියන්න එව්වා නැති එකේ මු කෝල් කළා කියන්නේ අනිවා කතාවක් ලියන්න පුළුවන් මාතෘකාවකට පොටක් පෑදෙනවා. තණ්හාව මිශ්‍ර අවලන් කුපාඩි ටයිප් එකේ හිනාවක් මගේ කටින් පැන්නේ හක්ක පනින සයිස් ඈනුමක් එක්ක. 

"හෙලෝ"

"රයිටර්  ඉක්මනට.. දො..දොර ඇරපන්"

හත් ඉලව්වේ අද මුගේ චක්කරේ වැරදිලාද, මුගේ කොටු පැනිල්ල වැරදිලා මගේ කොටුවට පනින්න හදන්නේ..මගේ ඇඟ කිලිපොලා ගියා...නිදිමත මකබෑවිලා ගියා. දෙලෝ රත් වුනා. උන්හිටිතැන් අහිමි වුනා.

"රයිටර් කැහුට්ටෝ ඇරපන් බං  දොර...හ..හදිස්සියක්" රම්බා හෙන ලාමක වොයිස් එකකින් කියපි. ඔය කචල් අස්සේ හෙට උදේ පත්තර වල යන හෙඩ් ලයින් ටික මට මැවි මැවී පෙනුනා. මම කෝකටත් දොර පොල්ලක් අතට අරගෙන කෝල් එක කට් කලේ "හා හා ඔහොම ඉඳින්...මං එන්නම්" කියලා.

මම එලියට යනකොට රම්බා දොරට පිටුපාල පඩිය උඩ ඉඳගෙන බයි කලර් කරමල් කුකුලෙක් එක දබ වලියක්. ඇර සොයිසා ඇර කියලා හිතින් චියර් කරගෙන මොකද වෙන්නේ කියල බලන්න මමත් දොර පොල්ල විසික්කා කරලා කිට්ටු වුනාම දැක්කේ රම්බා උගේ බෙල්ල පාගාගෙන කටට පාංකඩයක් ඔබන්න අම්බ ගේමක් දෙන හැටි.

"රම්බා..මොකෝ සීන් එක...?"  බොක්ක පිච්චිලා ගියපු හින්දා මම කතා කලා.

"ර...ර..යිටර්.....රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා"

"ඇහ්..සිරාවට....?" මගේ දිවත් හැපුණා ඒක අහලා.

"ඔව් බං විජහට මගෙත් එක්ක යමකො..."

"ඈ...බං දැන් කාලේ හැදෙන කෙල්ලෝ දෙපාරක් මල්වර වෙනවද බං....?" හෙනම හෙන විචිකිච්චාවෙන් ඇතිවෙච්ච කිචිය හින්දම මම ඇහුවා.

"තොගේ ආච්චිගේ මල්වරයක් නෙමෙයි යකෝ..අපේ නංගිට කළු කුමාරයා ගහලා"

"ඈ.... හුටඃ....එගොඩහ ප්‍රයිමරි ස්කොලේ  කලු කුමාර..අර ඒබරන් ගේ පොඩි එකා..? ඒත්  මං හිතුවා දෙන්නා එකක බැද්දේ කජු කඩන්ඩ යනකොට... ඉතින් උඹට වැඩේ අතේ මාට්ටුද..?..චාරුලතා ගැබ්බර වෙලාද.. උඹලා දැනගෙන ගොඩක් දවස්ද..?.. මල කෙලියයි...ගබ්සාව තාම නීතිගත කරලත් නෑ බං..?"

රම්බට දැන් ඇඩෙන සයිස්...

"අනේ රයිටර් වඳින්නම්....මාත් එක්ක යම....යන ගමන් කියන්නම් විස්තර.... විජහට යමකෝ ඉතින්" රම්බා කට නිකන් බොම්බයි මොටයි කවපු ගෙම්බාගේ වගේ කරගෙන මං දිහා බැලුවා.

මම එහෙම්මම දොර වහලා රම්බා එක්ක උන්ගේ ගෙවල් පැත්තට අඩිය තිබ්බා.

රම්බාගේ ගෙවල් වලට කිට්ටු වෙනකොට කන් අඩි පැලෙන සද්දෙට සෙටප් එකක් දාලා.

"යූ මයි පම්ප්කින් පම්ප්කින්...හෙලෝ හනී බනී"
"හව් මෙනි ටයිම්ස් ලේඩි ලව් හැඩ් ගිවන් මී මිස් කෝල්ස්"

එක යුද්දයයි..ආවේශ වෙච්ච කෙල්ලෙක් ඉන්න ගෙදරක් කියලා කියන්නවත් බෑ..හෙන පාටියක් වගේ. කෝකටත් මම රම්බා එක්ක කාමරේට  ගිහින් දොර රෙද්ද ඈත් කරලා බැලුවා. බලන්ඩ දුකයි. චාරුලතාව අල්මාරියකට තියල ගැටගහලා. කෙල්ල යටිගිරියෙන් හනී බනී සින්දුව කියනවා. කොහොම හරි කෙල්ල මාව දැක්කා.

කෙල්ලට දැන් මල වගේ. මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා ගෙරෙව්වා ගෙරවිල්ලක් දත් ටික උලමාගේ වගේ කරගෙන.

"ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කෙල්ල කියපි.

වැඩේ දරුණුයි වගේ. දැන් හොයපන්කෝ කට්ටඩියෙක්...!!!





 

Tuesday, February 19, 2013

"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"


ගිය පෙබරවාරි දාහතර වෙනිදා, ඒ කියන්නේ අන්තර්ජාතික වැලන්ටයින් දවසේ පාන්දර අටට විතර හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන... දැකපු ඇවටියෙල් හීනෙ තේරුම් ගන්න බැරුව, අත්තික්කා කොළ කොටලා බීපු මයිනා වගේ මම දහ අතේ කල්පනා කළා. හීනේ පලවෙනි රූප රාමුව විදිහට දිනුම් ඇදීමකින් සිලෙක්ට් වෙලා අපිට චාන්ස් එකක් ආවා නුවර එළියේ කේබල් කාර් ප්‍රොජෙක්ට් එකේ ටෙස්ටින් රයිඩ් එකට ඇඩ්මිට් වෙන්න..

රයිඩ් එක අතරේ අහසේ අතරමං වෙලා තිබ්බ නිල්ම නිල් වලාකුලක් මැද්දෙන් යනකොට දිලූ මගේ අත කිටි කිටියේ මිරිකගෙන මගේ උරහිස්සට හෙමින් ඔලුව තිබ්බා.. හම්බේ ආදරේට මගේ පපු කැවුත්ත පැලෙන්ඩ වගේ. ලොවක් දිනපු පෙම්වතෙක් වගේ මම හෙන ආඩම්බරෙන් දිලූ දිහා බලලා ඇහැක් ඉඟිමරුවා... දිලූ ඇස් දෙක බාගෙට අඩවන් කරගෙන මං දිහා උමතුවෙන් වගේ බලාගෙන හිටියා..හම්බේ...දිලිසෙන ඇස්...මගේ කවි හිත ඔද්දල් වෙන්න පටන් ගත්තා.... දිලූ එක පාරටම පැනලා මගේ බෙල්ල බදාගත්තා..ඊට පස්සේ ඉතින් කියල වැඩක් නෑනේ.. මමත් "අහස අපේ කියලා" වෙන දෙයක් වෙද්දෙන් කියල දිලුට සපෝට් එක දුන්නා..හම්බේ ඒ උම්මා එකේ දිග...දිලූ බෙල්ල අතාරින පාටක් නෑ. ඔහොම ටික වෙලාවක් යනකොට මට  හුස්ම ගන්න බෑ බෑ වගේ දැනුණා. මම කෑගැහුව..හයියෙන් කෑගැහුවා...දිලුට ඇහෙන්නේ නෑ..

"දි..දී...දී...ම..ම...ට   හු. හු...හ්..ම  ගන්...ඩ බෑ....දි..දී.ලූ...දිලූ".

හුස්ම ගන්න බැරුව මගේ වකුග පෙනහල්ල පුපුරන්ඩ වගේ කකියැවා . ඒ පාර මම යටිගිරියෙන් කෑගහගෙනම ඇහැරුනා, ඇහැරුනාමත් හුම්ම ගන්න බෑ.අත පත ගාලා බලද්දී ඇඳගෙන උන්නු සරම බෙල්ල වටේ එතිලා ඔට්ටපාලේ වගේ. ඉතින්  කොහොමද කියහන්කෝ හුස්ම ගන්නේ...!!!

මල පැනපු පාරට සරම ගලවල විසික් කරා සිවිලිමට.."හුටඃ " කාපන්කෝ ගල් බනිස් සීනි සම්බෝල එක්ක කියන්නැහැ...සරම ෆෑන් එකේ පැටලුනා..එන්න එන්න ෆෑන් එකේ වේගේ අඩුවෙලා.. අඩුවෙලා...නැතිවෙලාම ගිහින්...හෙන දුමාරයකින් කාමරේම පිරුනා.


"ඕපඃ  ගැන්ග්නම් ස්ටයිල්....ඕපඃ ගැන්ග්නම් ස්ටයිල්...."

මගේ දෙයියා රින්ග් වෙන්න ගත්තා...උදේ පාන්දර දිලුගෙන් වැලන්ටයින් විෂ් එක අහගන්න මම සැදී පැහැදී, කවුද බලන්නේවත් නැතුව දෙයියා කනේ තියාගත්තේ මේ උදේ පාන්දර වෙන වැදගත් එකෙක් කෝල් කරන්නේ නෑ  කියලා තක්කෙටම දන්න හින්දා.

"හෙලෝ...ඔ..ඔ...!"

"හෙලෝව්....රයිටර්".... නෙ...ද්..ද..කින් මේ හිපාටුවනේ....!

"ආ..ආ.. ඔව් කියපන් රම්බා...."

"මාර සීන් එක වෙලා තියෙන්නේ...මල හුට්ටප්පර හතයි රයිටර්"

"විකුණගන්න බැරි වෙයිද...?"

"මොනාද...?"

"මල හුට්ටප්පර....හතක්ම තියනවා කිව්වේ"

"උඹේ ආච්චිට මම හු......ඟක්  ආදරෙයි කිව්වා කියහන්" රම්බා මට අසමජ්ජාති ආඩපාලියක් කිව්වේ, නහුතෙට තද වෙලා..

"හරි හරි... ඔරොප්පු නැතුව කියහන්කෝ ඉතින්...."

"ගමම එතන...විජහට වරෙන්....අදොනිස් මාමගේ කොල්ල ගඟ අයිනේ මුරුංගා ගහේ බෙල්ලේ වැල දාගෙන..."

 හුට්ටප්පරි රඹුට කැකරී කිව්වලු...මදැයි උදේ පාන්දර වැලන්ටයින් විශ් එක ඇහුවා...


"හා හා..උඹ හන්දියේ ඉඳපන් මං ටාර් ගාල එන්නම් "

---------

මමයි රම්බයි එතනට යද්දී ගඟ අයිනේ මුරුංගා ගහ වටේ සූ ගාලා සෙනග.. ගගේ එල්ලුන එකා දිහාවට හැම එකාම ෆෝන් එක උලුක් කරගෙන පොටෝ ගහනවා..ෆ්ලෑෂර් වදිනවා වටේට විදුලි කොටනවා වගේ.. මැරිලත් උට තියන පබ්ලිසිටිය යකෝ.

ඔන්න "පැය හයකට හතකට" පස්සේ එතනට පොලිස් රාහලාමිල ආවා මරණ පරීක්ෂණ කටයුතු කරන්න..මොනඃ....ඒ මිනිස්සුන්ට එතනට ඇවිල්ලත් මිනිය එල්ලෙන තැනට එන්ඩ පැය කාලක් විතර ගියා. ඒ තරමට ප්‍රේක්ෂක ජනකාය. අන්තිමට පොලිස් රාලහාමි කෙනෙක් බොහොම හෙමින් කරුණාවෙන් ඉල්ලීමක් කළා..

"කරුණාකරලා අපට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න, මේ මරණකාරයාව ඉක්මනට මල්සාලාවට අරන් ගිහින් එම්බාම්වැඩ කටයුතු ටික කරලා ඉක්මනින්  මිනිය ගෙදර ගෙන්ඩ අපට සහයෝගය දෙන්න"

ඔය අතරේ කොහේද උන්නු ඇග්නස් ආච්චි මැද්දට පැනලා හප හප හිටපු බුලත් හපේ තුහ් කියලා විසික් කරලා චීත්තේ ගැටේ තද කරන ගමන් මෙහෙම කියපි.

"හඃ...රාලහාමි මගුලක් කියනවා...අපිට මේවගේ දර්ශනයක් බලා කියාගන්ඩ කාලාතුරකින් ලැබෙන චෑන්ස් එකත් මිස් කරන්ඩද හදන්නේ ඈ.....? ඕකා ඊයේ රෑ  ඉඳන් එල්ලිලා හිටපු එකේ තව ටිකක් වෙලා එල්ලිලා හිටපුවාවේ අපිට නිවී හැනහිල්ලේ බලාගන්ට ...මොකෑ රාලහාමිට ඔච්චර හදිස්සිය මූ රාලහාමිගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවායෑ...!!! "

රාලහාමිට දැන් ඇඩෙන සයිස්...බැරිම තැන රාලහාමි මුරුංග ගහ පාමුල ඉඳගත්තේ "දර්ශනේ නරඹලා ඉවරවෙලා කාරිය කියන්ඩකෝ ඈ එහෙනම් "  කියලා... කොහොම හරි පැයකට හමාරකට පස්සේ ප්‍රේක්ෂක ජනතාවගේ කාලගෝට්ටිය මැද්දේ පරීක්ෂණ පවත්වලා මිනිය බිමට බාන්ඩ අපේ ගමේ පයිලට් වෙච්ච ඇඩ්වින් ගොයියා මුරුංගා ගහට නැග්ගෙව්වා...කොහෙද නාඹර ගැටිස්සියක් ඇවිත් මරලතෝනි දෙන්න ගත්තයින් වටේ හිටපු ගෑනු උදවිය ඒ ගැටිස්සි වටේ රොක් වෙලා ඒකිත් එක්කම තරඟෙට බලියන්ඩ ගත්තා. ගමම මළගෙයක සිරියෙන් බැබළුණා..

"අනේ අයියේ..ඇයි ඔයා මෙහෙම දෙයක් කරගත්තේ...මගේ දෙයියෝ......මම ඔයාට කැමති වෙලා පස්සේ අකමැති උන හින්දාද....මගේ...අයියේ...ඔහොම යන්න ගියේ..කියල ගියානම් කමක් නෑ..අනේ...මට බෑ...අනේ....ව..ව...තුර ටිකක් වතුර ටිකක්" කෙල්ලගේ ඇඩියාව මගින් නැවතුනා වතුර ඉල්ලලා. වටේ පිටේ හිටපු එකෙක් ගඟට බැහැලා පොල්කට්ටකට වතුර ටිකක් ගෙනත් දුන්නා. එක හුස්මට බීපු වතුර වලින් රීස්ටාර්ට් වුන කෙල්ලගේ එන්ජිම ආයේ වැඩ කරන්ඩ පටන් ගත්තා..

"...ඒ වුනාට අයියේ ඔයා මට මහ බලු වැඩේ කලේ අයියේ...ගම පුරාම කිව්වේ ඇයි  අයියේ මම ඔයාගේ කියලා...මං  කොහොමද අයියේ..... ආයේ මිනිහෙක් එක්ක දීග යන්නේ අයියේ..මට වාවන්නේ නෑ  අයියේ.."

ඔය අනම් මනම් අවකැපෙන කතා අස්සේ ස්වදේශික පයිලට් ඇඩ්වින් ගොයියා කඹේ ගාවට කිට්ටු කරලා. හතර දෙනෙක් යටට වෙලා රෙද්දක් අල්ලාගෙන ඉන්නවා මිනිය කැච් කරන්න.

"ඔන්න මල්ලිලා...එහෙනම් මං කපන්නද....?" ඇඩ්වින් ගොයියා අහපි.

"වතාවක් කියල පිහිය අතට දීල ගහට යැව්වේ කපන්ටනේ බොල ඉක්මනට කපහන්" පහලින් එකෙක් කියපි

"මල්ලියේ...මේ....මේ....මිනියට පෝකස් කරලා මාවත් පැත්තකින් අහුවෙන්න ෆොටෝර් එකක් ගහපන්කෝ"

"හා හා ජුන්ඩක් හිනාවෙයන්" බැරිම තැන පහල එකෙක් ෆොටෝර් එකකුත් ගැහුවා.

බිම හතර දෙනෙක් රෙද්දක් අල්ලාගෙන කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා.

ඇඩ්වින් ගොයියා කඹේ කැපුවයින් එක පාරටම හෙන කඳය පොලවේ ගැහුවා වගේ එල්ලිලා උන්නු එකා රෙද්ද උඩ බම්බර් වෙලා පොලවට "තපස්" ගාලා වැටුනා"

ඕක බලාගෙන හිටපු අර ගැටිස්සි....

"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ....රිද්දන්න එපා.." කියපි.

ආනී බොලේ කෙල්ලගේ හුරතලේ.....ඒක  අහන් උන්න මට හෙට උදේ බෙල්ලේ වැල දාගන්ට හිතුනා....දෙයියම්පා..

කෙල්ලගේ පැත්තට චුයින්ගම් ඇහැ දාගෙන උන්නු රම්බා මගේ කනට කරලා අහනවා "මචන් මේ මම සිරාවටම අහන්නේ.......අරුට රිදෙනවා ඇත්ද බං" කියලා.

                                                 ---------------------------------------

අපේ ගමේ ගැණු ටික පාරට බැහැලා  උද්ඝෝෂණය කරලා, ඉහලට තැන්වලට  දැනුම් දීල, ඉස්සර ජාතික වීරයෙක්ගේ නමින් තිබ්බ පාරක්  "චන්ගුමී මාවත" කියලා වෙනස් කරගත්තා. අපි දෙන්නාත් අමාරුවෙන් ඒ දිනාගත්ත  "චන්ගුමී මාවත" දිගේ ඉස්සරගටම ආවා.. උදේ පාන්දර වරුව  සුභ ආරංචියකින් අරුත් ගන්නපු හින්දා මම රම්බාට ස්තුති කර කර එනකොට, හෙන සැහැල්ලුවෙන් අත්දෙක වන වනා සින්දුවක් කිය  කිය එන ඩයල් එකක් පේනවා..පේන විදිහට පොර පට්ට හැපී එකේ.

"අප්පට සිරි ගජ බොල....මේ අපේ ඔඩියානේ"  මමයි රම්බයි ලඟට ආවට පස්සේ පොරව අඳුන ගත්තා.

"ඉ...තින්... ඉ...තින් ඔඩියා සන්තෝසේ බෙද බෙද කොහෙද මේ යන්නේ"

"මේ ගිහින් එන ගමන්  රයිටර්" කියපු ගමන් මිනිහා උරුවමක්  බෑවා ජීවිතේට අහපු නැති සින්දුවක තාලෙට

"එහෙමද වැලන්ටයින් සරු  ඇති එහෙනම් ....?" රම්බා  පැන්නා.

"හ්ම්... හ්ම්.... කෙල්ල කාලෙක ඉඳන්  මගෙන් ස්පෙෂල් තෑග්ගක් ඉල්ලුවා.....ඉතින් මං  ඒක  වැලන්ටයින් එකත් අල්ලලම දුන්නා....."  ඔඩියා හෙන ආඩම්බරෙන් කිව්වා

"අප්පට සිරි මිනිහා දියුනු වෙලා..ඈ....ඉතින් මොනවද බං  දුන්න තෑග්ග...." රම්බටත් ඕනේ නැති මී කුණක් නෑ

"මං  දුන්න මචන් බඩට දරුවෙක්"



  


Monday, February 11, 2013

"පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න"

"හප්පද බොල පිලිහුඩු කිව්වලු....ර....ර රයිටර්.....දැක්ක කල්...දෙයියන්ගේ වෙඩිමට ඇඩ්මිට් වුනා වගේ සිරාවට ...කොහෙද බං මෙච්චර කල් මකබෑවිලා හිටියේ..අපි හිතුව උඹේ මිනියත් අද හෙට කැළණි ගඟේ පාවෙයි කියලා"

"නෙදකින් විතරක් මුගේ කට" මම කොල බොක්කටම කාරලා පාලං ගැට්ටට උඩින් කෙල පාරක් ගැහුවා. අපරාදේ කියන්ඩ බෑ,  ඒ කෙල තලියම අවේලාවේ අවලමේ යන අසමජ්ජාති හුලං පාරක ප්‍රතිරෝධය එක්ක ප්‍රතික්‍රියා කරලා ආපහු මගේ මුණ මැදට වැටුනේ හෙන අයිස්චර්යක් විදිහට.

කට කැඩිච්ච කතාවක් කිව්වොත් ඉතින් ඒ එක බත් ගුලිය දෙකට කඩාගෙන කාපු  එකෙක්මයි. එක ලේන්සුවට හොටු හුරපු, එක බුරුසුවෙන් දත් මැදපු, එක චුයින්ගම් එක දෙකට කඩාගෙන කාපු, එක වතුර බාල්දියෙන් කක්කුස්සි ගිය එවුන් බලන් ඉන්නේ  බ්ලොග් කතුවර රයිටරයාගේ මල කඳ කැළණි ගඟේ පාවෙනකම්. අද ඊයේ ගෙට වුන ලමිස්සියගේ ඉඳන් මීට ගොඩක් කාලෙකට කලින්  ගෙට වුන වයෝවෘද මහලු  කාන්තාවන්ගේ පවා නියම්  හා අනියම් ආදරය කවාකාරව වගේම  වක්‍රවාකාරව දිනා ගත්ත රයිටර්ගේ වටිනාකම මේ කුහකයින්ට පාදඩයින්ට තේරෙන්නේ නැති හැටි අම්මාප. දුක වැඩිකමට හදවත දෙදරන්ඩ පටන් ගත්ත හින්දා මම ආමාශය කලම්බලා කලම්බලා පිත්තාශයෙන් අහිංසක හිනාවක් කට මැදට ආනයනය කරගත්තා.

"ර ර ර ම්බා......මට වාවන්නේ නෑ..මං  මේ රටින් යනවා රම්බා..ඔව් මං  මේ රටින් යනවා....මේ වින්ද දුක හොඳටම ඇති...මේ කෙනෙහිලිකම් තවත් විඳින්න බෑ......ඉහි..ඉහිහ්..."  රම්බාගේ කරට අතක් දාගෙන පුපුරන්ඩ ලංවෙච්ච රුපියල් දෙකේ බැලුමක් වගේ මුණු තහඩුව හදාගෙන මම කිව්වා. කොහෙද මන්දා ස්ටක් වෙලා තිබ්බ කඳුළු බෝල ලීටරයක් විතර පලිඟු වගේ පොලවට බස බස ගාල වැටෙන්න ගත්තේ දෙකට නැමිලා ඇහැට ඇඟිල්ලෙන් ඇන්න  හින්දා කියලා රම්බා දැක්කේ නෑ . 

"හෑ..!!........" රම්බාගේ මුණ වොට් සීයේ පිච්චිච්ච බලුප් එකක පිලමන්ට් එක වගේ උනා. 

"උඹ මෙහෙන් යනවනම් හොඳයි රයිටර්....මට ඕක උඹට කෙලින් කියා ගන්න බැරුව හිටියේ" හුට්ටාහ්.....! කෙලියා තාප්පෙට ප්ලාස්ටර් පැරිස් කිව්වලු.... මං  බලාපොරොත්තු වුන මුඩ්  එක රම්බාගේ මුනට ආවේ නෑ....ඒ වෙනුවට රම්බා හෙන සන්තෝසෙන් එහෙම කිව්වේ මගේ බලාපොරොත්තු චකබ්ලාස් කරලා.

"....අපේ බාප්පාගේ පුතාගේ ජිල්මාට් පාස්පෝට් ඔෆිස් එකට කියලා අඩුවට වීසා හදල දෙන්නම්...උඹ බය වෙන්න එපා එව්වා ඔක්කොම මම බලා ගන්නම්..උඹ උගේ ඊගාව බෝට්ටුවේ ඕස්ට්‍රේලියා පලයන්...මචන්...ඔව් ....උඹ පලයන්....උඹ අඬන්නේ උඹේ කෙල්ල ගැන දුක හිතිලා නම් ඒ ගැන තඹ දොයිතුවකට බය වෙන්න එපා...උඹේ යුතුකම මම ඒකිට ඉෂ්ට කරන්නම්....උඹේ කෙල්ල මට බාර දීල පලයන්..එයැයි ගැන මම බලා ගන්නම්..."

"අනේ...හ්  මට සමාවෙයන් රම්බා......මම උඹ  ගැන හිතාන හිටිය විදිහ වැරදියි.  සිරාවටම රම්බා කියන්නේ මෙච්චර හොඳ හිතක් තියන උත්තුංග, යාලුවෙක්ද...මට සමාවෙයන් රම්බා මට සමාවෙයන්...සිරාවටම දැන් මට බයක් නෑ...ඉහි ඉහි ඉහි"

"හරි හරි ඔය ටැප  වහලා උඹට වුනේ මොකෑ  කියලා කියකෝ..."

"ඉහි...ඉහි...ඊහි...රම්බා.....උඹට මතකද ග ...ග ....ගම්පහ සීන් එක...?"

"ගම්පහ...?"

"ඔව් ඔව්...අර බ්ලොග් ගෙට්ටුවක්  තිබ්බේ...ඉහි...ක්" මම ඉකියක් අස්සෙන් කිව්වා.

"ඔව් ඔව් අර උඹ සාමාජිකත්වය අරන් ඉන්න අන්තර්ජාතික ලියන්නන්ගේ සංවිධානේ නේද...අර ඔබාමාගේ දුවත් ලියනවා කිව්වේ...?"

"ඔව් ඔව් ඒක තමයි...."

"ඉතින්....?"

"ඉතින් එදා මම ඒකට ගිහින් ආතල් එකක් අරන් බෝඩිමට එනකොට කොම්ඤ්ඤවීදියේදී....සු සු සු....දු..,"

"සුදු කෙල්ලෙක්ට උඹ පැණි හැලුවා....ඒකිගේ අයිය බොට නෙළුවා....නෙහ්...?" රම්බා විරිත්තාගෙන කිව්වා.

"තො...තො ..තොගේ ආච්චිගේ සර්පිනාව.....!!!..නෑ  යකෝ... එදා...එදා සුදු පාටට හුරු වැන් එකක් නවත්තලා මට තර්ජනය කරලා මාව දාගෙන ගියා බං"

"නෑ......හ්....උඹව කිඩ්නැප් කළා .....?" රම්බාගේ උඩු ඇන්දේ රදනක දතක් පහල ඇන්දේ පුරස්චාර්වකයක පැටලුනා.

"ඉහි ඉහි...ඔව් බං.."

"හයියෝ....යෝ..." රම්බා දෑත  ඔලුවේ බදා ගත්ත....."අනේ.....උඹේ පතිවත....උඹ කොච්චර අමාරුවෙන්ද ඕක රැකගත්තේ....අනේ උන් උඹව සමුහ දුෂණය ලක්කලාද....උඹට උන්ගෙන් බලහත්කාරමක් හෙම වුනාද රයිටර්....අනේ කියහන්කෝ.....උඹේ අවයව සේරම කලින් විදිහමයිනේ....උඹෙන් මොනවද ඉල්ලුවේ එවුන්?"

"මගුලක්......!! නෑ...නෑ...අග වක් වෙච්ච තඩි වේවැලක් පෙන්නලා මට තර්ජනය කළා බං  බ්ලොගක් හදල, ලියන හැටි උන්ට උගන්වපන් කියලා...තව හිට්ස් ගන්න රහස් විදි ඔක්කොම කියලා දීපිය කියලා...."

"නැඃ....ඉතින් උඹ කිව්වද....?"

"නැත්තම්....මට කියන්ඩ සිද්ද වුනා රම්බා...මට කියන්ඩ සිද්ද වුනා, මං උන්ට කියාදීපු විදිහට උන් මාර සැටිස් වුනා හැබැයි, මං කිව්වා රාජකීය රහස් දෙකක්.... කියෙව්වේ නැතත් තියන හැම බොගකටම "පට්ටයි මචන් අපේ පැත්තෙන් ඇවිත් යන්න" කියලා කමෙන්ට් දාපන්, අනික් එවුන් ලියන එව්වා ගෙඩි පිටින් උස්සල පොස්ට් කරහන් කියලා...

මට දුක ඒක  නෙමෙයි බං....මට අන්දකයිප්පු කැවිලද කොහෙද බං....බලහන් දැන් මට අයිඩියා එන්නේ නෑ  බං....කතාවක් ලියන්න බෑ  බං...ලිව්වොත් උඹෙයි මගෙයි අවලම්භන මගඩියක් තමයි...දැන් ඒක හරියට ලියාගන්නත් බෑ රම්බා..මෙලෝ රහක් නෑ  රම්බා..මෙලෝ රහක් නෑ....මම ඒක වහලා දානවා ." ඇඬෙන්න ඔන්න මෙන්නය...

"සිරාවටම උඹ බෝග වහනවද බං...?"

--------------------------------------------

අපි දෙන්නා හෙමින් හෙමින් කයිය පිට කඩේ ගාවට ඇවිත් පුස් වඩේ දෙකකුයි කැරපොතු සුවඳ කවපු ප්ලේන්ටි දෙකකුයි ඔර්ඩර් කලා..වඩේ දීසියේ පුස් පිහ දදා ඉන්නකොට මල්එතනා ආච්චියි, ආච්චිගේ මොන්ටිසෝරි යන මුනුබුරයි කඩේට ආවා. පොඩි එකා ආච්චිගෙන් ප්‍රශ්න අහනවා ලොවෙත් නෑ.. ආච්චිට කට උත්තර නෑ..

"ආච්චි....ආච්චි....පොඩි බබ්බු මේ ලෝකෙට එන්නේ කොහෙ ඉඳන්ද......?" පොඩි එකා හුරතලෙන් අහපි...

"දිව්‍ය ලෝකෙන් මයේ පුතේ....දිව්‍ය ලෝකෙන්...."

"හෑ....මාත් දිවිය ලෝකෙන්ද ආවේ...?"

"ඔව් මයේ පුතේ ඔව්...ලස්සන සුරන්ගනාවියෙක් සේද සලුවක ඔතලා පුතාගේ අම්මට ගෙනත් දුන්නා.."

".එතකොට සේද සළුව කෝ ආච්චි.......? මේ මේ.... ආච්චියෙ කසාද බැඳපු අයට විතරද බලාලා හම්බෙන්නේ.....?" දැන් හැදෙන පොඩි එවුන්ගේ ප්‍රශ්න අහලා බබ්බු හම්බෙන්නේ අහක යන අපිටය...  

"බොට දැන්ම වැඩක් නෑ ඒ පැහිච්චකම්...." ආච්චිට මල පැනලා

"ආච්චි...ආච්චි...එතකොට මේ ලෝකේ කොහෙද තියෙන්නේ"

"මේ ලෝක බොලේ පොලෝ මහී කාන්තාව සුළඟිල්ලේ තියාගෙන ඉන්නේ මයේ පුතේ," ඒපාර ආච්චි ටිකක් නිමිලා..."පොලව හෙල්ලිලා භූමිකම්පා එන්නේ ලෝක බෝලේ අතකින් අනික් අතට මාරු කරනකොට"

"හෑ.....!! පොලෝ මහී කාන්තාවටත් පයිත්තියන් නේද ආච්චි....ඔය ලෝක බෝලේ  තියාගෙන පැන  පැන  දෙන්න යන්නේ නැතුව පැත්තකට වෙලා හිටියානම් භුමිකම්පාත් නෑනේ.....!!


 

Wednesday, January 9, 2013

ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?


හා හපුරා කියලා නමෝ විත්තියෙන් අලුත් රස්සාවට යන්න අම්මා හදපු චිකන් හොද්ද එක්ක කිරිබත් කෑල්ලක් හෙම කාලා රම්බායි මමයි රාහු කාලේ පන්නලා දකුණු කකුල පෙරට තියලා ගේ ඉස්සරහ පාත්තියේ තිබුන බට් කෙහෙල් පඳුරටත් මන්නෙන් කොටාගෙනම ගියේ තියන වස් දොස් කුඩු කැවුතු වෙලා යන්න. පුරුදු පාර මගෑරලා කැලෑ පාරකින් වහන් වෙවී එන්.ජී.ඕ. ඔෆිස් එක පැත්තට යමන් කියලා රම්බා කිව්වේ  උදේ පාන්දර මොකෙක් හරි කුඩුකේඩුවෙක් මුලිච්චි වුනොත් සුභ ගමන එහෙම්පිටින්ම චකබ්ලාස් වෙයි කියල බය වුන හින්දා වෙන්න ඇති. හන්දියෙන් වීරේ මාමවත් දක්කගත්තාම එතන ඉඳන් එන්.ජී.ඕ. ඔෆිසියට රුපියල් පහේ අයිස් පැකට් එකේ දුරක් තියෙන්නේ. දකින මුස්පේන්තු ඩයල් එකක්  දැකල කටකැඩිච්ච කතාවක් කිව්වොත් ඒ හරියේදී තමා.

"රයිටර්...?"  හෙන නිහැඬියාවක වේලිලා, ඇඹරිලා හිටපු රම්බා ගේ වොයිස් එක.

"හ්ම්.........?"

"උඹ දන්නවද වැඩක්......?"

"කාගේද......."

"අපේ ලොක්කගේ......උඹ කාටවත් කියනවාහෙම නෙවෙයි ..."

"නෑහ්...පිස්සුද මම කියනවද බං .... මොන ලොක්කද ඉතින් ඔය....?"

"ඔව් බං.....බලපන්කො මගේ නම්බරෙත් තියනවා බං...ප්‍රසිඩන්ට් ගාව....මට අලුත් අවුරුද්දට විශ් කරලා සුභ පැතුමක් එවලා.

"හෑ....ඉතින් ඉතින් උඹත් රිප්ලයි කරාද......? !" උගේ වදන් ශ්‍රවන ගත වෙලා  බඩ බුරුල් වේගෙන වගේ ආවයින් මම හිනාව නවත්තගත්තේ දත්මිටි කාලා.

"එහෙනම් එහෙනම්....මමත් මැසේජ් දෙකක්ම යැව්වා වැඩිය යවලා කරදර කරන්නත් හොඳ නෑනේ... ඉතින්  එකක් විශ් කරලා යැව්වා.. අනික පොඩි ඉල්ලීම් ටිකක් කෙටියෙන් ලියල යැව්වා"

"හෑ.... ඉතින් මොනවද ඉල්ලපු ඉල්ලීම්....?....ඒවටත් රිප්ලයි ආවද.....?"

" අපේ පාර කොන්ක්‍රීට් කරලා දෙන්න සල්ලි පාස් කරන්න කියලා, අනික ගමේ එවුන්ට ජීවත් වෙන්න අමාරුයි පොඩ්ඩක් ඒ ගැන හිතලා  ගන්න තීරණයක් ගන්න  කියලා, තව ඔය ඔය වගේ මානුශවේදී ඉල්ලීම් ටිකක් යැව්වා...එදා පැය ගානක් නෙට්වර්ක් බිසීනේ බං....රිප්ලයි එවන්න ඇති..හැබැයි මට ආවේ නෑ"


අපි එන්.ජී.ඕ. ඔෆිසියට කිට්ටු වෙද්දී එතන යමර යුද්ධයයි. කට්ටියක් බෝඩ් ලෑලි උස්සගෙන පෝලිමට ගිහින් බස් එකකට ගොඩ වෙනවා. තවත් පෝලිමක් රුපියල් පන්සීය ගන්න පොත අත්සන් කරලා බත් පැකට් එක ගන්න කවුන්ටරේ දිහාට දුවනවා. අපිත් දඩි බිඩියේ දුවලා ගියා පෝලිම මැදට. පොත අත්සන් කරලා බත්මුලත් අරගෙන බෝඩ් ලෑලි දෙක තුනත් කිහිලි ගහගෙන බස් එකට නැග්ගා. අපිත් එක්ක හිටපු තව සෙට් එකක් වෙන දිහාකට ගියා වෙන තැනක කුලියට කෑගහන්න.  බස් එකේදී එන ගමන් එන්.ජී.ඕ. එකේ ලොක්කා අපිට හෙන දේශනයක් දුන්නා.

"මෙහෙමයි.....තමුන්ට කරන්න තියෙන්නේ  අපි ගිහින් දාන තැනට ගිහින්, මේ පත්‍රිකාවේ තියන විදිහට මරාගෙන මැරෙන ඇක්ටින් එකක් මුනට අරන් ගිරිය පුප්පගෙන කෑ ගහන එකයි..බිම පෙරලිලා වැඩිපුර සෙල්ලම් දාන උදවියට එක්ස්ට්‍රා ස්පෙෂල් පේමන්ට් එකක් කරනවා ඒ අයගේ පර්ෆෝමන්ස් බලලා.. ප්‍රොටෙස්ට් එක වෙලාවේ මොකා මයික් එකක් කැමරාවක් දික් කරගෙන ආවත් කියන්න තියෙන්නේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ, අපි ඒකට විසඳුම්, අදාළ පාර්ශවෙයෙන්  දෙනකම් අපි අඛණ්ඩ උද්ගෝෂණයේ , ඒ වගේම අපේ ඉල්ලීම් සපුරා නුදුන්නොත්  අපි මැරෙන්න උනත් සුදානම්  කියලා..උන් උඹලගේ උද්ගෝෂණයට හේතුව හාර හාර අහනකොට උඹලා නොඇහුනා ගානට ඉඳපල්ලා"

ලොක්කා බලාගන්න කියලා අතට දුන්න පත්‍රිකාව ඉරලා, කටේ දාලා ගුලි හදලා බස් එකේ වීදුරුවෙන් මගදිගට හිටපු පාරේ කෙල්ලන්ට, ඇන්ටිලට  ගහ ගහ ගිය රම්බාට ඔය කිව්ව එක වචනයක් ඇහුනේ නැති බවට මට සීයට අසූ හාරදාස් එකසීයයි සත පනහක්  ෂුවර්. ඌ රස්සාව හොයල දීපු එකේ ගෞරවේවත් තියන්න ඕනේ හින්දයි මම එවලේ ඩෙනිම කරට නොගෙන හිටියේ. කොහොමෙන් කොහොම හරි බහින තැන කිට්ටු වෙනකොට රම්බා උගේ පත්‍රිකාවටයි, වීරේ  මාමගේ පත්‍රිකාවටයි, මගේ අතේ තිබ්බ එකෙන් බාගේකටයි බඩු මැන්ගුස් කරලා.

කට්ටිය බස් එකෙන් බැහැලා බෝඩ් ලෑලි උස්සගෙන ගිරිය යටින් බලිය බලිය පාර අයිනට ලයින් කළා.. සමහරු බිම පෙරලීගෙන කෑගහනවා, සමහරු ඔලුවේ දෑත බදාගෙන, තව එවුන් ටිකක් ටයර් පුච්චනවා.  අපි එතනට යන්නත් කලින් ඇවිත් හිටපු මීඩියා නංගිලා, මල්ලිලා මයික් කැමරා  අල්ල අල්ල කෑ ගහන එවුන් පස්සෙන් පන්නනවා වොයිස් කමෙන්ට් ගන්න. ඔය අතරේ වීරේ මාමා කැමරාවකට කඳුළු පෙර පෙර කුලියට අඬනවා මම යාන්තමින් දැක්කා. වීරේ මාම වැඩේ වැඩේ අතැරලා නෑ, ස්පෙෂල් පේමන්ට් එක ගන්න වෙන්නැති  උන්දෑගේ කල්පනාව.

"අනේ අයියේ ප්ලීස්...ඔයාවත් පොඩි කමෙන්ට් එකක් දෙන්න.." සුන්දර සුකුමාල කෙල්ලෙක් දුවගෙන දුවගෙන මං ගාවට ඇවිත් හීනියට හිනා වෙලා යටි තොල හපාගෙන ඇස් කොනකින් මා දිහාම බලාගෙන හිටියා. අහෝ..!!!....සීමා මායිම් නැති මගේ උත්කෘෂ්ට කවි හිත තැන නොතැන බලන්නේ නැතුව බස බස බස ගාලා මෝදු වෙන්න ගත්තා, අක්මාව ටින් ටින් ගෑවා..මගේ දකුණු වකුගඩුව වගේ ඉන්න දිලූ කෙල්ලට ද්‍රෝහී වෙන්න බැරි හින්දා දත්මිටි කාගෙන කටට ආව කවි පද ටිකත් කෙල ගුලියක් එක්ක ගිල්ලා.

"ආ..ආ..ආ...ඔව් නංගි..කියන්න"

"අනෙහ්..... ඔයා....හොඳ.... අයියා........මෙහෙමයි අයියේ...මට දැනගන්න ඕන ඇයි ඔයාලා මේ විදිහට ප්රෝටෙස්ට් කරන්නේ"

"කොටින්ම කියනවනම් අපිට ගෙවනවානේ"  හුටා...කියවුනා .!!

"හෑ...! ගෙවනවා...?...එතකොට ඔයාලා කුලියටද මේ ප්‍රොටෙස්ට් කරන්නේ...?" කෙල්ලගේ ඇස් දෙක ඔලුවේ තිබ්බ බෑන්ඩ් එක දිහාට ගියා.

"හාහ් හාහ්.... හා.....හූඌ.....හූ....කෙල්ල රැවටුනා....යේ...යේඒඒඒ...මං වීළුවක් කලේ......" මම ප්‍රථමික ලෙවල් එකේ විහිළුවක් කලේ සැදැහැ සිතින් වුනාට මේකි ඒකට රෙස්පොන්ස් කලේ පට්ට පදිරි විදිහට.

"හඅ...එන්න එපා ඔව්වට...මම පත්තරේට ලියනවා වොයිස් කමෙන්ට් එක ගන්න අතරේ මට බලහත්කාරකම් කළා කියලා හඅ....!!" කෙල්ල මාව ආමාශ ගත කරන ටයිප් එකකින් බලාන හිටියා. සකල බුජං කොට කලිසන් කියන්නේ ඔව්වට තමයි.. යකෝ මේක හරි කෙළියක්නේ.

"ඇත්ත වශයෙන්ම නංගි.." මම වචනේ දැම්මා...කෙල්ලට කඳුළු පනින සයිස්. "කාලාංතරේක ඉඳන් ඉතිහාසගතවන උද්ධමන රටාවකට අනුපාතිකව සමානුපාත වන ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයේ සර්ව අයිතිය පුද්ගලයන් අතරේ සම සමව නොබෙදීම නිසා තමයි මේ අවිධිමත් ගැටළු හට ගන්නේ...මේකට පිළියම් හොයන්න ගූගල් එකේ "සෙක්ස්" කියල ගහල සර්ච් කරාට හරියන්නේ නෑ..විසඳුම විදිහට අපි සියලු ජනයාගේ වාර්ගික වස්ත්‍ර අමු අමුවේ නිර්වස්ත්‍ර කරලා මේ ලෝකය සකල විශ්ව ගම්මානයක් කරන්න ඕනේ.." මගේ කමෙන්ට් එක ලියාගෙන කෙල්ලගේ කට දෙකොන  කරාඹු දෙකේ ගෑවෙන සයිස්....

"බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි"

ඔය අතරේ ආතක් පාතක් නැතුව කෑ ගහ ගහ හිටපු රම්බා ගාවට අර කෙල්ල මයික් එක අරන් ගියා..මමත් බෝඩ් කෑල්ල උස්සගෙන ඒකි පස්සෙන් ගියා.

"...එක්ස්කියුස් මී...මිස්ට අයියා.....මට මේ ව්‍යාපාරේ පිළිබද පොඩි කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද"  රම්බා පැණි හිනාව දාගෙන විරිත්තාගෙන කෙල්ලට කමෙන්ට් එක දෙන්නයි හදන්නේ.

"යැස් නංගි කියන්න...."

"ඇයි ඔයාලා මෙහෙම ප්රෝටෙස්ට් කරන්නේ....ඔයාලගේ අරමුණ මොකක්ද....?"

"සල්ලි නංගි සල්ලි...."

"හ්ම්...මට පැහැදිලි මදි"

"මෙහෙමයි....මම නංගිට මේ වගක් කිව්වා කියලා කාටවත් කියන්න එපා..,දැනට මෙතන ඉන්න ඔයා වගේ අහිංසක දෙතුන් දෙනෙක්ට විතරයි කිව්වේ...අපි අහවල් එන්ජීඕ එකෙන්..ඊසි ගතමන්ට් එකක් ගන්න ලේසි චාන්ස් එකක් සපයල දෙන සංවිධානයක්..නංගි මොකෝ කියන්නේ....ඔය මයික් අල්ලාගෙන හන්දියක් හන්දියක් ගානේ ප්රොටෙස්ට් කවර කර කර චාටර් කනවට වඩා මේක ලේසියි."

"ඈ.....සිරාවටමද අයියේ....සත්තයි කියන්න...?"

"සිරාගේ ගෑනි පල්ලා නංගි....සීරියස්..."

කෙල්ල වටෙන් ගොඩෙන් රම්බාට පානිය දාලා ඔක්කොම විස්තරේ අහගත්තා කියලා තේරුනේ කෙල්ල අන්තිමට දාපු  කිනිසි ටෝක් පාරට...

"අයියේ මේ මාධ්‍ය මර්ධනය කරන්න එන්න එපා හරිය....මම මේ ඔක්කොම පත්තරේට ලියනවා.." කියලා කෙල්ල හෙන කින්ඩි හිනාවක් දැම්මා. රම්බාට කට උත්තර නෑ...

"නොලියා ඉන්න පුළුවන් මේ දැන්ම රුපියල් දෙදාහක් දුන්නොත්...නැත්තම් හෙට පත්තරේ පොටෝ පිටින් වැටෙයි විස්තරේ....ආ.. " කෙල්ලගේ හයිරම් ටෝක් එකට රම්බා සරෙන්ඩර්..."

ඔය අස්සේ එතනට ආව එන්ජීඕ එකේ ලොක්කට රම්බාගේ සීන් එක මාට්ටු වෙලා උගේ ගැන් එක ඇවිත් අපි දෙන්නව බෙල්ලෙන් ඇදගෙන පැත්තකට අරන් ගියා...වීරේ මාමගේ පුරුවේ පිනකටද කොහෙද මිනිහට වැඩේ අල්ලලා ගියා.


"ඇඩෝව්.....තොපිලා වගේ ආතක් පාතක් නැති එවුන්ට රස්සා දෙන්නවට අපි පොලවේ පස් කන්න ඕනේ ඩො..."

"ක....ක.....කවුද ආතක් පාතක් නැති එවුන්...මේ අපිද.....අයියා හිතුවද අපි සුළඟ මගින් බෝවෙන එවුන් කියල ආ...ගැහුවට කමක් නෑ කැත කතා කියන්න එපා හරි..." රම්බාගේ මොරාල් එක අප් වෙලා..

"ඔව් ඩො තොපි සුළඟ මගින් බිහිවුන එවුන් තමයි......කපනවා දැනගන් "

"එතකොට අයියා බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?" රම්බා ඇහුවා....

අපිට සද්දේ දාපු එකා  ස්පෝථනයෙන් බිහිවුනේ කොහොමද කියලා එක එක  අසභ්‍ය ගනයේ  චිත්ත රුප මැවෙන අස්සේ අරුගේ යටි බඩට දෙකක් ඇනලා අපි හුවකුත් තියල පන එපා කියලා දිව්වා.  මග දිගට දුවන ගමන් කල්පනා කලේ රම්බාගේ කුප්ප කතාව. මතුපිටින් සරල සුගම වුනාට කොච්චර ගැඹුරු තේරුමක් තියද අම්මාපා. ඒ ගැඹුරේ දිග පළල විෂ්කම්භය මගේ කවි හිත පුරාම ඇඳුනා.

දෙයියනේ එතකොට ස්පෝථනයෙන් බිහිවුන එකාගේ උගේ අප්පොච්චා....!!!       

Thursday, December 27, 2012

"සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"

පෙරේදා ගෙදරට සීනි ඔතලා ගෙනාපු පත්තර කඩදහිය හෙනම හෙන වුවමනාවෙන් කියවන්න හිතාන මම මිදුලේ හිටෝපු බංකුව ගාවට අවේ මෙතුවක් කියවීමෙන් සම්පුර්ණ වෙච්ච මගේ ඉතුරු බාගෙට තව පොඩ්ඩක් එකතු වෙන්නේනැතෑ කියලා හිතාන. අඹ ගහට අංශක එකසිය පහක විතර ඇලට් එකක් දාගෙන පත්තර කඩදහියේ තියන එව්වා කියවල මගේ ඇස් ගෙඩි දෙක අඹ ඇට සයිස් වුනා.."හැට දෙහැවිරිදි මිත්තනියට අනූ තෙවැනි වියේ පසුවන සීයාගෙන් අතවර", "අලුත බැඳපු බිරිඳ විසින් සැමියා දුෂණය කෙරේ", "ලෝක විනාසය අමු කෙප්පයක් - වෙනවයි කියපු උන්ට හෙන ගහනවා (ප්‍රවීණ ජොතිශ්‍යවේදී සයිමන් මහතා අවධාරණය කරයි),"ගණිකා වෘත්තිය නීතිගත කලේ නැත්තම් අපි ප්‍රසිද්ධියේ වහ බොනවා - ප්‍රවීන නිලි අකාලිකා කියයි. ","නීතිගත කලොත් අපි ප්‍රසිද්ධියේ නිරුවත් වෙනවා - "අපි ගැහැණු" සමිතියේ මහිලාවෝ වීදි බසිති", "එංගලන්තයේ ඩීසල් මිල ඉහල යයි - ඉදිරි දින කීපයේ ලංකාවේ දීප ව්‍යාප්ත බස් වර්ජනයක්, බස් සංගම් අනතුරු අඟවයි."

පත්තර කඩදහිය කියවල අකුරක් අකුරක් ගානේ ගන්න තියන ආදර්ශ ටික ලෙසටම හිතට අරන් හුස්මක් ගත්තේ රට ගැන හෙන ආඩම්බරෙන්. ඒ එක්කම අයිස්ක්‍රීම් නලාවක් වගේ එකක් නතර වෙන්නේ නැතුව "පෝප්...!, පෝප්..!! කියලා කෑ ගහන සද්දේ ඇහුනට මම ඉනි වැටට උඩින් පොඩ්ඩක් ඉස්සිලා බැලුවේ අන්දකයිප්පු වෙලා. ඇයි යකෝ, තවම උදේ පාන්දර පින්න වෙලිලත් නෑ, මිනිස්සුන්ට අයිස්ක්‍රීම් කවන්න මුට තියන තදියමක්. ගේ ඉස්සරහ පාරදිගේ පිඹගෙන ආව පුස් බයිසිකලයක් බරාස් ගාලා අපේ ගෙවල් පාරට හැරෙව්වා. තව පොඩ්ඩෙන් පැදපු එකාගේ හතර හන්දි වද මල වගේ කරගන්නවා බොරළු වැල්ලේ බිම පතබෑවිලා. බයිසිකලේ පදින එකා මොකා වුනත් ඌ පදින්නේ පොල්ල උඩ හිටගෙන කියලා පේනවා, ඌ දෙපැත්තට පැද්දෙනකොට පිටි පස්සෙන් තව එකෙක්ගේ ඔලුවක් පේනවා. පාතින් තව එක්ස්ට්‍රා කකුල් දෙකක් එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. අම්මපා ඇත්තටම මේ හුටමේ දෙන්නෙක් ඉන්නවද නැත්තම් උදේ පාන්දර අවේලාවේ එලි බැහැලා පින්නට මගේ මොලේ පෙඟිලා අoඤකොරොස් පේනවද කියලා හිතා ගන්න බැරුව මම ඇස් දෙක උල් කරගෙන ඒ දිහාවම බලාගෙන හිටියා.




ඔහේප්පලයන්....බයිසිකලේ දෙන්නෙක් ඉන්නවා කියහන්කො, පිටිපස්සේ ලැගේජ් එක උඩ අයිස්ක්‍රීම් පෙට්ටිය, අපේ ගමේ අයිසුත් නැති ක්‍රිමුත් නැති අයිස්ක්‍රීම්   විකුණන වීරේ අයියා බයිසිකල් සීට් එකේ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන රම්බාගේ උරහිසෙන් අල්ලාගෙන. රම්බා පොල්ලේ ඉඳන් හති දාගෙන බයිසිකලේ පාගනවා හැන්ඩ්ල් එක අල්ලාගෙන. රම්බාගේ මුනෙන් එකයි හිනාව..මාව දැක්ක ගමන් මුනට ආව හිනාව හපාගෙනම රම්බා ඉස්සරහට ආවා.  වැස්ස කාලෙට පාර දිගේ ගලාගෙන එන වතුර පාර නවත්තන්න ගෙට ඇතුලුවෙන පාර ගාවින් දාපු පොඩි ගැට්ට උඩින් දානකොටම අවාසනාවට "චකස්" ගාලා බයිසිකලේ චේන් එක පැන්නා. රම්බාගේ කට ඔට්ටපාළු ගිලපු උගුඩුවෙක්ගෙ වගේ වුනා,  දිව දොට්ට පැන්නා, ඇස් දෙකේ කළු ඉංගිරියාව නළල දිහාට ගියා.  බයිසිකලේ පොල්ලේ වැදිලා උගේ හොඳම හරිය රොටී කන්න ගලේ අඹරපු ලුණුමිරිසක් ගානට පොඩි වෙන්න ඇති, මගෙත් ඇඟම හිරි වැටිලා ගියා...එහෙමම ටික දුරක් ගියපු බයිසිකලේ ගැරඬියා යනවා වගේ මිදුල පුරා ගිහින් අක්කගේ ඇන්තූරියම් පෝච්චියකුත් සෙත්තපෝච්චි කරගෙන කොට්ටම්බා ගහේ කඳට හේත්තු වුනා.


මම එතනට යනකොට වීරේ මාමා වැටුණු තැනම ඉඳගෙන හිටියේ උන්දැට හොඳටම අමාරුවේද කොහෙද. රම්බා කොර ඇන ඇන ඇවිත් මං ලඟින් දන ගහ ගත්තා. මං හිතන්නේ පොරගේ බඩ කොර වෙන්න ඇති ඇක්සිඩන්ට් එකෙන් හොඳම හරිය මැද පොල්ලේ වැදුණු පාරට..බිම ඉඳගෙන ඉඳපු රම්බා කට හද හද මොනවා හරි මට කියන්න තෙපර බෑවා.


"ර..ර..යිටර්..මට.....මට හරි පුදුමයි රයිටර්..."

"හෑ...!! .ඇයි රම්බා උඹ වැටුන එකද පුදුම....?" ඌව නැගිට්ටන්න හදන ගමන් මම ඇහැව්වා..

"නෑ බං සෝරෝ ගැන පුදුම....."

"හැඃ...ඉතින් සෝරෝගෙයි උඹේ වැටිල්ලෙයි තියන සම්බන්දෙ මොකක්ද..සෝරෝ බයිසිකල් පැද්දේ නෑනේ...අශ්වයෙක්නේ පැද්දේ.....!!!"

"ඉතින් ඒක තමයි බං සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"

"රම්බා.....මම උඹට බඩ කොරවෙන්න තව පාරක් දෙන්න කලින් කියකෝ සෝරෝට රිදෙන්නේ මක්ක හින්දද කියලා තටමන්නේ නැතුව...."

"ඇයි බං අර කන්ද උඩ ඉඳන් මිනිහා අශ්වයාගේ පිටට පනිද්දී උගේ හොඳම හරියට දැනෙන්නේ සුලුපටු වේදනාවක් කියලද උඹ හිතන්නේ...මට මේ අඟල් දෙකක් උඩ ඉඳන් වැටිලා මෙච්චර අමාරුනම්....උට කොහොම ඇද්ද නේද බං ....?"

රම්බා සිරාම සිරා මූඩ් එකෙන් කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ තමයි. ඒත් මේ වෙලාවේ ඒ වගේ දාර්ශනික ටෝකක් ඔලුවට එන්න තරම් මේකා දියුණු වෙලා තියන  එක ගැන නම් මට අන්තිම සන්තෝසයි. දෙන්න එක්ක එකතු වෙලා වීරේ මාමව වත්තන් කරගෙන ඇවිත් අඹ ගහ ළඟ බංකුවේ ඉන්ඳේව්වා. අයිස් ක්‍රීම් බයිසිකලේ ඉස්සරහ රෝදේ රීම් එක අටපට්ටම වගේ වෙලා. වෙසක් එකට සව් කොළ ටිකක් අලවල අගේට ඉටිපන්දමක් පත්තු කරලා වහලේ එල්ලන්න තිබ්බා.

"හරි හරි උඹ දැන් වීරේ මාමාගේ බයිසිකල් කට්ටේ නැගලා පිඹගෙන ආවේ මොකෑ කියහන්කෝ"

මං ප්‍රශ්නේ ඇහැව්වේ රම්බාගෙන් වුනාට වීරේ මාමා පැනලා උත්තර දුන්නේ රම්බා දිහා පට්ට නෝක්කාඩු බැල්මට් එකක් දාගෙන උට රවාගෙන.

"රයිටර් ළමයට කියන්න පුතේ, අද පාන්දර මම බඩ රස්සාව කරගන්න සයිකල් කට්ට අරන් පාරට එනකොට මේ කොල්ල දුවගෙන ඇවිත් නාහෙන් අඬන්න ගත්තානේව උන්ගේ ආච්චි අම්මට අන්තිම අමාරුයි පණ යන සයිස්, ඉතින්  හන්දියට ගෙහුං වාහනයක් එක්කන් එන්න බයිසිකලේ දියන් බුදු මාමේ කියලා.....පුතාට කියන්න පුතේ ඒක අහලා මටත් තනි ඇහැට ඇඬුණා. මොකද කියනවනම් මේකාගේ ආච්චි ගැටිස්සි කාලේ ගෙට වුනේ මං වඩාගෙන ඉඳිද්දී....."

වීරේ මාමගේ මුනේ අවලන් ඉලන්දාරි හිනාවක් මතු වුනා....

"වැලි කෙලියේ  ඉඳන් අපි දෙන්නා ගජ මිත්‍රයෝ...ඉතින් මටත් වාවන්නේ නැතුව ගියා කොලුවෝ උන්දැට විපතක් කිව්වම..උදව්වක් නොකර ඉන්න බැරි වුනා. මුට බයිසිකලේ දීලා මු මේ බයිසිකල් කට්ට කොහේ හරි දාලා ආවොත් පොඩි එවුන් හැමදාම සාගින්දරේ...මට මේ බතල ගෙඩිය දාගෙන පාගන්න හයිය හත්තිය නෑනෙව..ඒපාර මම කිවේ මමත් දාගෙන යන දිහාකට පාගපන් කියලා...ඒ ආව ගමන තමයි මේ" වීරේ මාමා කියාගෙන කියාගෙන යනවා.


"නෑ නෑ රයිටර් ආච්චිට ඉහෙන් බහින ලෙඩක් නෑ....මම ආවේ උඹව මුණ ගැහෙන්න... පොඩි සම්තින්ග් එකක් ලැබෙන ස්වයං රැකියා ටයිප් එකේ වැඩක් තියනවා, ඒක ගැන උඹත් එක්ක කතා කරලා වැඩේට එන්ටර් වෙන්න පුලුවන්ද අහන්න, පයින් එන්න ගියොත් පරක්කු වෙනවා බං. මොකද පරක්කු වෙන්න වෙන්න වැඩේ ඩවුන් වෙලා දෙල් වෙනවා"

මාසෙට සත පහක ගතමන්ට් එකක් නැතුව ඉන්න එකේ මේක මොකක්ද කියලා බලලා එන්ටර් වුනොත් නරකම නෑ කියල මගේ යටි හිත මොර දෙන්න පටන් ගත්තා.

"හ්ම්...හ්ම්...හරි කියපන්කො මොකක්ද වැඩේ කියලා එහෙනම්....?"

"මෙහෙමයි රයිටර්...වීරේ මාමේ උඹත් අහගනින්..උඹටත් වැදගත් වේවි...අපේ ගමට අලුතෙන් ආව එන්.ජී.ඕ. එකකින් රස්සා දෙනවා. මමත් ඉතින් ඒ පැත්තේ කරක් ගහල බැලුවාම උඹට මට අපිට ඊසි ගතමන්ට් එකක් ගන්න කනා පිනක් සෙට් වුනා..., වැඩි කෙලියක් කරන්න නෑ..උදේ පාන්දර ගියා, නිකන් හම්බෙන කෑම එක කාලා පොත අත්සන් කරලා රුපියල් පන්සීයයි දවල් කෑම පැකට් එක අරගෙන  එවුන් ගිහින් දාන තැනට ගිහින් උන් දෙන බෝඩ් කෑලි, බැනර් උස්සගෙන ගිරිය යටින් කෑගහන්න විතරයි තියෙන්නේ"

ඒක අහපු වීරේ මාමගේ කට දෙකොන දෙකන ගාවට ගියා, මටත් උන් හිටි තැන් අමතක වුණා..වීරේ මාමට සන්තෝසේ දරා ගන්න බැරුව අඩියකුත් පොලවේ ගහලා

"යමන් කොල්ලෝ යමන්, මම එක පයින් කැමතියි...අයිස් ක්‍රීම් විකුණලත් දවසට රුපියල් තුන්සීයක් හම්බෙන්නෙත් කලාතුරකින් බොලන්..උඹල මොකෑ කියන්නේ...උඹල යන්නේ නැත්තම් මට සැට් කොරලා දියන්.."

අන්තිමට කොහොම හරි තුන්දෙනාම වැඩේට එක පයින් කැමති වෙලා යෝජනාව සභා සම්මත කරගත්තා. "අපිටත් දවසක හඳ පායනවා, එදාට අපි මල් පැණියෙන් නානවා" වීරේ මාමා අමාරුව පැත්තක දාලා රවුමක් හෙම කැරකිලා සින්දු කෑල්ලකුත් කිව්වා.

තුන් දෙනාම රම්බාගේ ආරංචිය අහගෙන දරාගන්න බැරි සන්තෝසෙත් එක්ක  එන්.ජී.ඕ ඔෆිසිය පැත්තට ආවා අටපට්ටම වෙච්ච බයිසිකල් රෝදේ වින්කලේට දීගෙන යන්න හිතාගෙන. ඉස්සරහට කරන්න යන රස්සාවෙන් හම්බෙන පඩියෙන් වීරේ මාමගේ බයිසිකලේ හදල දෙන්නත් රම්බා පොරොන්දු වුනා. කොහොම කොහොමෙන් හරි කයිය පිට වින්කලේ ගාවට ඇවිත් ඉස්සරහ රෝදේ වින්කල් බාසුන්නැහේ අතට දුන්නම බකල් ඇරලා දියන් කියලා,  බාස් උන්නැහේගේ ඇස් ටොම්බා සයිස් වුනා.

"අනේ මල්ලියේ මම නම් ඔහොම එකක් හදන්න දන්නේ නෑ අම්මාප...මගේ ජීවිතේට ඔහොම එකක් හදලත් නෑ..ඕකේ බකලේ අරින්න මහන්සි වෙනවට වඩා සැපයි බං ස්පැනර් එකක් අරන් ඔලුවට ගහගෙන ගහගෙන ගිහින් මැරෙන එක.