Showing posts with label අහම්බෙන් වෙච්චි සිද්ධි. Show all posts
Showing posts with label අහම්බෙන් වෙච්චි සිද්ධි. Show all posts

Monday, March 11, 2013

ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්"

රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ?  කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා බ්ලොග් එකකුත්..මුලින්ම කවියක් ලියලා දැම්මා. යාලුවන්ගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් හෙමත් දැම්මා. ඒ මගේ ෆේක්  බ්ලොග් එක පොඩ්ඩක් කට්ටිය අතර හිට් කරන්න. වැඩේ සාර්ථකයි. 

 මම රඟපෑවේ බූට් එක කාපු කෙල්ලෙක් විදිහට. කතා දෙක තුනක් ලිව්වා (ආත්ම කථන) ඔක්කොම පොස්ට් 5යි. ඊට පස්සේ අමාරුම වැඩේ කෙල්ලෙක් විදිහට සමාජගත වෙන එකනේ. කොච්චර අමාරු වුනත් මම එක කළා. කොච්චර සාර්ථකයිද කියනවනම් බ්ලොග් එක හදලා සති දෙකයි ෆලෝවර්ස්ලා පනස් ගානක්. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා සීයකට කිට්ටු වෙන්න ආවා. ෆේස් බුක් ගිණුමේ නම් මම තමයි රික්වෙස්ට් යැව්වේ මුලින්. ඒත් බාගෙකට කිට්ටු වෙන්න ඒ ෆේක් එකට රික්වෙස්ට් ආවා. දවසකට රික්වෙස්ට් උපරිම පහකට කිට්ටු වෙන්න තිබුනා. දාපු ස්ටේටස් වලට හොඳ කමෙන්ට් තිබුනා. එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනා. මොකද කියනවනම් කවුරුවත් කැත විදිහට වචනෙකින්වත් ෆේක් ගිණුම එක්ක චැට් කලේ නෑ. මගේ යාළුවො ගැන ආඩම්බරෙන් ඒ දේ කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් උදව් කළා. අලුත් උදවියට අත දෙන්න පරණ උදවිය එකපයින් නෑ බෑ නොකියා කැමති වුනා. වෙන්න ඕනේ ඒක තමයි.


ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.

1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ  - මතක වස්තුව වගේ එකක් ලියන්න)
2. මගේ ඔරිජිනල් බ්ලොග් එකේ අලුත් වැඩක් විදිහට පොඩි බයිට් වැඩක් සෙට් කරන්න. (ඒ කියන්නේ හොඳම යාළුවො, විහිලු දන්න උදවියට පොඩි බයිට් එකක් සෙට් කරන්න), කැත විදිහට, අප්‍රසන්න විදිහට නෙමෙයි පිර්යක් ඇතුව. බයිට් කරලා ඒක ලස්සනට බ්ලොග් එකේ හෙළිදරව් කරන්න.
3. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් වගේම ලේසියි කියන එක හරියටම තක්කෙටම බලා ගන්න
4. අනික මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටනවා ඇත්ද කියල බලන්න.
5. අනික ඒ ෆේක් චරිතය මගේ බ්ලොග් එකේ කතාවකට රියල් විදිහට සම්බන්ධ කරගන්න.. (ඒක පොඩ්ඩක් සංකීර්ණයි)  

මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා.  මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.

කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.


මතක තියා ගන්න ඔබේ ජීවිතේට ලංවෙන සියලු දෙනා රියල් උදවිය නෙමෙයි. විශ්ෂයෙන් සයිබර් ලෝකයෙන්. ෆේක් ජීවිතයකට ඔබේ ජීවිතය බිල්ලට ගන්න බැරිකමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ ගිණුමෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.

උඹලා බයිට් වුනා වගේ දැනෙනවානම් මට මේල් එකක් හරි ෆේස් බුක් මැසේජ් එකක් හරි දාපන්. මම කියන්නම් ඒ ගිණුමයි බ්ලොග් එකයි මොකක්ද කියලා.  

අපේ තරුවා මේ වගේම පොස්ට් එකක් ලියලා තිබුනා මේ වගේ පරීක්ෂණයක් ලෙසටම කරපු එකක් 

සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
 
 




Wednesday, June 6, 2012

නොදනිමි එය කුමක් කියා







අතීතය වර්තමානය තුල හොල්මන් කරන්නට පටන් ගත්තෙන් ලිපිය මකා දමන්නට සිදුවිය

Wednesday, May 23, 2012

නිරුවතින් අතුගෑම

බේරේ වැව ඉස්මත්තෙන් කොහොදෝ ඉඳන් හමාගෙන ආ සුලන් රැල්ලක් වෝක්ෂෝල් වීදියේ  පිහිටි බෝගසේ පත් නටවමින් අලුත් බෝඩිමේ ජනේලය තුලින් ඇතුළු වුයේ බෝ ගස අසල දල්වන ලද හඳුන්කුරු වල සුවඳත් මුඩුක්කු නිවාස පිහිටි දෙසින් රැගෙන ආ අපුල් දුර්ගන්දයත් සමගය. අපි පිළිකුලෙන් නහය හකුලාගත්තේ අනාගතයේ විඳිය යුතු දුකක මුල් පරිච්චේදය පිළිබද හෝඩුවාවක් ලැබුණු නිසාවෙනි. මමත් ලහිරුවත්, ලක්ෂ්මන් අයියාත්, බණ්ඩාර අයියාත්,  අරුනුත්, ගිහානුත්  ඇතුළු අපි සය දෙනාට කලින් සිටි බෝඩිමෙන් ද්වේශ සහගත ලෙස එලියට බැසීමට සිදුවූ නිසාවෙනි අලුත් බෝඩිමක් සොයාගන්නට වුයේ. පුරුවේ කල කරුමයක් ගෙවීමට සිදුවුවා සේ අපිරිසිදු වීදියක තැනු ගොඩනැගිල්ලක තෙවන මහලේ කුඩා කාමරයක් අපි අපේ බෝඩින් නිවාසය ලෙස තෝරා ගතිමු.

 පසුගිය සඳුදා දින මමත් ලක්ෂ්මන් අයියා මෙන්ම බණ්ඩාර අයියාද  නිවාඩුවක් දමා පරණ බෝඩිමේ සියලුම අඩුම කුඩුම අලුත් බෝඩිමට ගෙනෙන්ට වුයේ පරණ බෝඩිමෙන් ඉක්මනටම යායුතු බව බෝඩිම අයිතිකාර මනුස්සයා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කල නිසාවෙනි. හම්පඩ වූ කොට කලිසමකුත් ලක්ෂ්මන් අයියගෙන් ඉල්ලාගත් ටීෂර්ට් කඩමාල්ලකුත් ඇඳගත් මම පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙත අඩුම කුඩුම ප්‍රවාහනය කලේ ලක්ෂ්මන් අයියාත් සමග බණ්ඩාර අයියගේ තුන්සක රියේ පිහිටෙනි. කාර්ය බහුල කොළඹ වීදි අතරෙන් අතින් කටින් බෑග් මලු එල්ලගෙන වරින් වර පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙතත් යන අප ගැන බොහෝ දෙනෙක්ට වගක් නැති වුනත් අපි දෙස ඕනෙකමින් බැලු කීපදෙනෙක් හෝ සිටියානම් ඔවුන් අපි දවසේ පඩියට එදා වේල හම්බකරන් කන කුලීකාරයින් සේ සිතන්නට ඇත. වරදක් නැත.  අපි සියලු දෙනාගේ බාහිර ස්වරුපය එපරිද්දෙන් පෙනෙන නිසා ඔවුන්ගේ සිතුවිල්ල සර්ව සාධාරණය.


එදා ඉරිදා දිනයකි. එනම් ඉහත කී සඳුදාට පෙර දිනයයි. දහවල් කාර්යාලයේ වැඩ කරන විට ආ ඇමතුමෙන් කියවුනේ බෝඩිමේ අඩක් කඩා බිඳ දමා ඇති බවකි. ඇමතුම ලබා දුන් බණ්ඩාර අයියගේ මැදිහත් වීම නොවන්නට ඔවුන් විසින් බෝඩිම බිමට සමතලා කර දමා තවත් බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබිණි. ඒවා සිත ගැනීමටවත් අපහසු කාරණා විය හැක.  රාත්‍රී දහයට වැඩමුරය අවසන්වී බෝඩිම වෙත පියමැන්නේ විඩාවෙන් මඩිනු ලැබූ මගේ ගතේ වෙහෙස නිවා ගැනීමට හොඳ නින්දක් දමා පාන්දර අවදිවීමේ බලාපොරොත්තුව ඇතුවය. නමුත් බෝඩිම වෙත කිට්ටු වෙන විට ආ පිලිස්සු පරණ ගඩොල් වල සුවඳත් දුවිලි වල සුවඳත් මගේ සුපුරුදු ගමන් වේගය මදකට බාල කළේය.  කඩා හෙලනු ලැබූ බිත්තියක කොටසකුත් පහල කාමරයේ තිබුණු ඇඳන් දෙක වෙනුවට හිස් බිම් කඩ පමණකුත් ඉතිරි වී ඇති බව නෙත ගැටුණු මගේ ගතම හිරිවැටී ගියේය.  පපුව තුල යමක් හිරවෙන්නක් මෙන් හා දෙතොල් පට වෙව්ලන සෙයක් මට දැනුනි. හනිකට ලී තරප්පු පෙළ නැග ඉහල කාමරයට සේන්දු වුයේ එහි අපේ කවුරුන් හෝ සිටිනවාදැයි දැන ගැනීම පිණිසත් සිදුව ඇති නස්පැත්තිය සැක හැර දැන ගැනීමත් සඳහාය. නෙත් අදහාගත නොහැකිව දසත බලද්දී මගෙත් අරුන්ගේත් බණ්ඩාර අයියගෙත් වචන ගොළු විය. පෙර දින නිදා ගත් යකඩ ඇඳ වෙනුවට සී සීකඩ කරන ලද ඉහල කාමරයේ මෙට්ට කීපයත් කාඩ්බෝඩ් කැබලිත් ඇඳුම් සපත්තු, පොත්පත් ඇතුළු මා සන්තක සියල්ලත් මගේ සගයන් සතු සියල්ලත් කාමරයේ තැන තැන විසිරී තිබෙනු දැක ගන්නට ලැබුණි. කේන්තිය පාලනය කල ගත නොහැකිව මගේ මුවින් තරහව පිට දමන්නට විය. ඒත් සමගම අරුනුත් බණ්ඩාර අයියාත් මට හූමිටි තියන්නට පටන් ගත්හ.


බෝඩිම විකුණන කතාවක් මීට පෙර දැනගන්නට ලැබුනත් එය මේ තරම් කල් ඇතුව සිදු වෙතයි අපි කිසිවිටකවත් නොසිතුවෙමු. එසේ නොසිතන්නට බෝඩිම අයිතිකරුගේ වචනය මෙන්ම කුහක චේතනාව හේතු වන්නට ඇත, මන්ද ගතවන අවසාන තප්පරය වෙන තුරුත් මුදල් ලබාගැනීමේ පටු අරමුණ පමණක් පෙරදැරිකොටගෙන බෝඩිම විකුණා මුදල් අතට ගන්නා තුරු ඔහුගේ කටින් වචනයක් ලබා ගැනීමට අපි අපොහොසත් වුනෙමු. විකුණා දින කීපයකට පසු අපි දිනපතා රාත්‍රියේ කොළඹ අඳුරු වීදි අතරේ මෙන්ම අලෝකමත්වූ සුවිසල් මන්දිර අතරින්ද නවාතැනක් සොයාගැනීම සඳහා වෙහෙසුනෙමු. අවසානයේ වොක්ෂෝල් වීදියේ අවන්හලක ඉහල මාලය බදු දීමට ඇති බව දැනගන්නට ලැබිණි. තරමක් හොඳ මට්ටමක පැවති  කාමරය තත්වයකට ගැනීමට අපිට දවසක්ම ගත විය.  පෙලට තැබූ මෙට්ට රහිත ඩබල් ඇඳන් යුගලයත් සිංගල් ඇඳන් යුගලයත් අපි සය දෙනාගේ නින්ද සඳහා පිළියෙළ විනි. මතු පිටට කාඩ්බෝඩ් අතුරා ඊට උඩින් ඇඳ රෙදි එලා සුවපහසු යහනාවක් තනා ගත්තේ ඇඩ්වාන්ස් මුදලත් ගෙවා ඇති නිසා වෙන කල හැක්කක් නොමැති කම නිසාවෙනි. 


රාත්‍රියේ ඇඳට වැටුන අපි බොහෝ දේ කතා කළෙමු. නමුත් අපේ හිත් වල විශේෂයෙන් සඳහන් කල යුතු විශාල දුකක් නම් ගෑවිලාවත් තුබුණේ නැති බව නම් සහතිකය. මක් නිසාදයත් කොතරම් කටුක බවින් යුක්ත වුනත් එවන් අඩුලුහුඬුකම් වලින් යුතුව ගෙවන ජීවිතයේ යම්කිසි රසයක් අපි විඳින නිසාවෙනි. විශාල පියන් පත් යුග්මයකින් තැනුණු ඉහල මාලයේ කවුළුවට බර වූ මමත් ලහිරුවත් ලක්ෂ්මන් අයියත් නැගිට ඇඳේ සිටම කාර්යබහුල වොක්ෂෝල් විදිය දෙස නෙත් යොමා බැලුවෙමු.  විවිධාකාරි මිනිසුන්ගෙන් පිරි වොක්ෂෝල් වීදිය කුඩු කාරයින්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන්  අඩුවක් නැති බව දැකගන්නට මෙන්ම දැනගන්නට ලැබුණි. සමහර විට ඔවුන් එසේ නොවුනත්  ඔවුන්ගේ බාහිර ස්වරුපය අපිට එසේ සිතීමට කරුණු කාරණා සැපයිය. පදික වේදිකාවේ සිට රාත්‍රී අහාර ගෙන එහිම නිදාගන්නා පිරිසක්ද, මුල්ලකට වී දුම් උරණ පිරිසක්ද හැරුණු කොට නිරුවතින් සිට මුඩුක්කු නිවාසයේ පොදු වැසිකිලිය හා ජලකරාමය අසල අතුගාමින් සිටින මැදිවියේ දෙදෙනෙකුත් දැකගන්නට ලැබුණි. ඔවුන් සිටියේ ඔවුන්ගේ රාජකාරියේ විය යුතුය. නමුත් ඔවුන් දෙනෙනා සිටියේ අමු නිර්වස්ත්‍රයෙන් බව විදුලි පහන් වල ආලෝකයෙන් අපට පැහැදිලිව දැකගත හැකි විය. ඇඳුමක් ඇඳ ගැනීමට ඔව්නට අවශ්‍ය නැත්තේ මන්දැයි මා නොදනිමි. නමුත් බෝඩිමේ අපිට එය එක්තරා අකාරයකට බොහෝ වෙලාවක් බඩ අල්ලාගෙන සිනාසීමට තරම් කාරණයක් විය. ඒ ඔවුන් අතු ගානවා වෙනුවට පොඩි එවුන් සේ සෙල්ලම් කරන සෙයක්ද දැකගන්නට ලැබුණි. එකෙක් අනිකාගේ ඇඟේ හැප්පි අනිකාව පෙරලන්න උත්සාහ කරන හැටි අපේ සිනහව තවත් වැඩි කළේය.  තරමක් ඉහල කාමරයේ සිටින අපට ඔවුන් පෙනෙන බව ඔවුන් නොසිතන්නට ඇති. එසේ පෙනෙනවා යයි සිතුනත් ඔවුන්ට එය වගක් නොවන්නට ඇති. නැතහොත් තව හේතු කාරනා තිබිය හැක. අපි ඒවා නොදනිමු.


සිනහව මැඩලාගෙන  කාමරයේ විදුලිපහන නිවා දමා අපි නිදන්නට වීමු. පහල හෝටලයෙන් ඇසෙන කොත්තු දමන සද්දෙත් තුන්කාන්දෙන් දමන දාඩියත් නුහුරු නුපුරුදු ගතියත් රාත්‍රියේ බොහෝ වෙලාවත් අපිව අවදි කරවා තබන්නට සමත් විය.


අවසානයට පෙර ලියමි.

ඉහත සඳහන් කතාව ලියන ලද්දේ මා විසින් නොබෝ දිනකට ඉහත ලබාගත් සත්‍ය අත්දැකීම් කීපයක් පදනම් කොටගෙනය. නමුත් එය ලියන ලද්දේ  කියවන ඔබ සැමගෙන් මා හට අනුකම්පාව ලබාගැනීමටවත් එවන් මුඩුක්කු ජීවිත ගත කරන්නවුන්ට ගැරහීමටවත් නොවන බව බුද්ධිමත් ඔබ සැම වටහා ගනු ඇති විශ්වාස කරමි.


අතරින් පතර මගහැරුණු රසකතා කීපයක් නොලියා ඉතුරු කර ගත්තේ තව පොස්ට් කීපයක් සඳහා වවාගෙන කෑමට බවත් ඔබ දැනගත යුතුය.  


එක දිගට කෙටි කතා ලියමින් බ්ලොග් එක ඒකාකාරී කර නොගන්නා ලෙස බොහෝ දෙනෙක්ගෙන් ලැබුණු උපදෙස් හේතුවෙන් අත්දැකීමක් මෙසේ යුනිකෝඩ් කලේ සුපුරුදු භාෂා රටාවෙනි. නිදහස් ආරෙන් ලියන විට  මට කිසි දෙයක් ගැලප ගනු නොහැකිය. එසේ නිදහස් ආරකින් ලියා පල කරන ලද "මට ගලපා ගන්න බැරි ගැලපීම" නම් පොස්ටුව ඩිලීට් කලෙත් එය මෙලෝ රහක් නැති බව වැටහුණු නිසාවෙනි.


අලුත් නවාතැනේ අලුත් අලුත් සිද්දි සමග අද ඉඳන් ලියවෙන "බෝඩිම" නම් ලේබලය ඇතුලත් කතා අතර පළමු කතාව මෙසේ පබ්ලිෂ් වුන වගයි. 

"නිරුවතින් අතුගෑම" ලෙස පොස්ට් එකට නම යොදා එතරම් කික් එකක් ඇති දෙයක් අන්තර්ගතය තුල නැති වුනත්, මා එය එසේ කලේ එක්තරා  පරීක්ෂණයක් බවත් සලකනු මැනවි. ඒ පිළිඹදව තොරතුරු යථාකාලයේ දැනගන්නට සලස්වමි.

Sunday, January 22, 2012

අහම්බෙන් වෙච්චි සිද්ධියක්

 බ්ලොග් ලියන එකත් හරි ෂෝක් අප්පා කම්මැලිකමට.
 
මට මේ ලඟදි අහම්බෙන් blog  එකක් කියවන්න හම්බුනා. ඉතින් එක කියෙව්වට පස්සේ මටත් බ්ලොග් එකක් කරන්න ඇත්නම් කියල හිතුන පාර නැවතුනේ බ්ලොග් එක හදල.  මෙහෙමයි බ්ලොග් සාහිත්‍යක් තියනවනේ මම ඔහේ ලියනවා. මෙලෝ හසරක් නොදැන ලියනවා. එත් මම මේ බ්ලොග් එක කොරටම කරනවා. [ "කොරයි කොරයි" කියල දැන් ඉතින් ප්‍රවීන බ්ලොග් අයියල අක්කල  මට හිනා වෙනවා ඇති] මම මේ ෆීල්ඩයට අලුත්. ඉතින් මේ දවස් වල පටන් අරගෙන කරගෙන යනවා. තවත් දෙයක් තියනවා. මම copy  කරන්නේ නම් නෑ.. එත් ප්‍රවීන blogger ඇත්තෝන්ව ආදර්ශෙට ගන්නවා. එහෙම හොඳයිනේ....
 
මම විශේෂයෙන් ස්තුති කරනවා මගේ  "වින්දික" [ඉස්කෝලේ කල්ලියේ]  සහෝදරයට. මගේ බ්ලොග් එකේ පළමුවෙන්ම මාත් එක්ක ඉන්න කෙනා විදිහට ආවට. වින්දික මචන් උඹටයි මේ මල් මිට.....
 
 
ඉතින් මීට පස්සේ බ්ලොග් එක follow කරන ඈයෝ තරහ ගන්ට එපා.  එයාලට වෙනමම මල් දුන්නේ නෑ කියල. මගේ පලවෙනි follower  තරමටම ඔයගොල්ලොත් වටිනවා. 
කටට හිතට රහට බ්ලොග් එක ලියන්න බැරි උනාට 5 වසරේදී අපේ ටීචර් කිව්වේ මම තමයි ශිෂ්ශත්ව පන්තියේ හොඳම රචනා ලියන්නේ කියල. ඉතින් ඒ ගැම්මෙන්ම මම බ්ලොග් එකත් ලියනවා.
 
උපමා උපමේය අහලකවත් නැති, වක්‍යලන්කාර පේනතෙක් මානෙක නැති වුනාට.. මට ලියන්න පුළුවන් හොඳම විදිහෙන් මම ලියනවා.
 
[කාටවත් හිතල නම් මඩ ගහන්නේ නෑ. වැරදිලාවත් මඩ වගේ දෙයක්  වැදිලා තිබුනොත් පමා නොවී සමාවත් ඉල්ලන්න මේ කොල්ල එවරෙඩි..