Friday, September 15, 2017

"ඇයි"


වීදිය තෙත බරිතය. මා වඩාත් ප්‍රිය කරන ලා අඳුරු පැහැයට හුරු කාලගුණයත්, වළාකුලෙන් අහස බරවී, පහත් වූ ගතියත් හැරුණු කොට, පොළවෙන් ආ තෙත කුයිලය, පැවැති මන්දාලොකය හා මුසුව ගෙන එනු ලැබූ සුපැහැදිලි වෙනසක් හාත්පස පෙනෙන්නට තිබිණි. ඉකුත් පැය කිහිපයකට පෙර ඇදහැළුණු වර්ෂාවෙහි සිහිලස, ඒ වනවිටත් මුලුමනින්ම පාහේ පරිසරයෙන් පහව ගොස් තිබුණේ නැත. 

සැළකිය යුතු දුරක් ඇවිද ඒමෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබු ඇගේ සිරුරෙන් විහිදුණු සියුම් උණුසුමක නොපෙනෙන රැස් දහරාවක්, දහදිය සුවඳද එක්ව මුසුවූ විලවුන් සුවඳක් සමග විහිදෙන්නට විය. මාගේ 'පෙණහළු තුළට ආශ්වාස වාතය පිරීමෙන් හා පිටවීමෙන් සිදුවන අනිච්චානුගතවූ ස්වභාවික රටාව, කිහිපවරක්ම මා හිතාමතා කඩාකප්පල් කර බිඳ දැමුවෙමි. ම'නාස්පුඩු අග වැදී ස්වාශනාලය හරහා ගොස් රුධිරයට සම්මිශ්‍ර වූ, ඒ ආමෝදයෙන් ජනිතවූ, මිහිරි සෞන්දර්යාත්මක හැඟුමකින් මා මත් වී උන්නෙමි.

මාගේ දකුණතෙහි දබරඇඟිල්ල වටා, ඈගේ වමතෙහි අතැඟිලි එතී තිබිණ. පරිබාහිරව බැලූ බැල්මටම, ගිලිහී යාමට ආසන්නව, නොසැලකිල්ලෙන් අල්වාගෙන හිඳිනා සෙයක් දිස්වෙනමුදු, අප එකිනෙකා හා බැඳී හුන් අදිසි හුය, ඊට හාත්පසින් වෙනස්වූත් ඉතා ශක්තිමත්වූත් එකක් බව හඟින ලෙස, මා හදවත මෙහෙය වූවෙමි. එසේම තව දුරටත් එය තර්ජනාත්මක විධානයකින් නොවිය යුත්තක් යැයි සිතන්නට, ම'අභ්‍යන්තරයෙන් පැන නැග ආ ප්‍රතිරෝධ බලයක් විසින් මා සිතිවිලි මෙහෙයවන ලදී.




කොයියම්ම මොහොතක හෝ ප්‍රේමය, ම'වෙතින් ගිලිහී යා හැකිනේදෝ'යි යන, සාධාරණ සැකයක් නිරන්තරව මසිත විය. අතීතය විසින් සපයන ලද ඌණ පුර්ණිත ජීවනාත්දැකීම් විසින් උසි ගන්වන ලද විලෝපිය යක්ෂ සිරුරු, එ'මොහොත වනවිටත් කඩා වැද, මා අඩපණ වූ සත්වයෙක් බවට පත්කර තබන්නට සමත් වී තිබිණ.

මට සමාන්තරව ලාලිත්‍යකට ඇවිදිමින් හිඳින ඈගේ ඉඟටිය විටෙක මාගේ බඳෙහි වැදෙයි, එකෙණෙහි නිරායාසයෙන් මට ඈ දෙස බැලෙයි. එසේ බලා හිඳිනා මොහොතක් බොහෝ විට දිගු වෙලාවක් පවතියි.

ඈ විසින් හදිසියේ අනපේක්ෂිතව ග්‍රහණය කර ගන්නා එවන් මොහොතක, ඈ වහා හිස හරවා නිහඬ සංඥා බසින් "ඇයි" යනුවෙන් විමසයි. එවිට ඈගේ දෙතොල දෙපසට ඇදී, ඒ මත සංවෘත මන්දස්මිතයක් ඇඳෙයි, ඇස් සිහින් වෙයි. දෙවුර මදක් හැකිලෙයි. ඉනික්බිති ඈගේ මුහුණ මත, මා කවදත් දැකීමට ඉතා ප්‍රිය කරනා හැඟීම් සමුදායක් තටු ගසා ඉගිලෙන්නට තතනනු පෙනෙයි. එ'සියලු හැඟීම් චිත්‍රණය කළ, සියුම් කෝමළ රේඛා, ඉතා ගිජු බවකින් ඩැහැ ගන්නට ම'මනස සැදී පැහැදී හිඳියි.

ඈ එසේ කිහිප වරක් "ඇයි" දැයි යන්න විමසා ප්‍රශ්න කිරීම නතර වන්නේ, මා ඈ මෙන්ම ගොළු බසින් "මුකුත් නැහැ" යනුවෙන් පිළිතුරු ලෙස හිස දෙපසට සැලීමෙන් අනතුරුවය. පිළිතුර බාරගත්තා යැයි හැඟවීමට ඈ අල්වාගෙන හිඳින ම'දබරඇඟිල්ල තදින් මිරිකයි.

එවන් වූ මොහොතක පැහැදිලිව සන්නිවේදනය කරගත නොහැකි වියළි හැඟීමකින් මා පීඩාවට පත්වෙයි. ඉතා දැඩිව ඈ වැළඳ ගැනීමටත්, එක මිටකට ගෙන, ළය මැද තැනෙක සුරක්ෂිතව සඟවා ගත යුතුය'යි වැනි, උමතු ආශාවකිනුන් මා පෙළෙයි..

ප්‍ර්‍රේමය හටගත්තේ කවදාදැයි, කොතනකදැයි, එය කුමන පැහැයක් දැයි, ප්‍රේමයෙහි ඵල නෙලාගැනීමෙන් එහි ජීව ගුණය පිරිහෙන්නේයයි, වැනි සාම්ප්‍රදායික, බහුබූත, මනස්ගාත එවන් වූ මොහොතක සිහියට එළැඹීමත්, අතිශය බොළඳ ප්‍රේම ගීයක පදපෙලක් යටි සිතෙහි නොකඩවා මැතිරුමක් ලෙස ගායනය වීමත් ගැන මා වදවන අතරතුර, ඒ කිසිවක් නොහැඟෙන, නොතේරෙන ලෙස ඈ පියවර තබයි..

ප්‍රේමය හටගත්තේ කොතැනකද, නිතැතින්ම ඊට ඉතාමත් යාබද නිමේෂයකදී එය නිශේධ වීමක පළමු පියවර එළැඹෙනු ඇතැයි, කොහේ හෝ කියැවූ ඡේදයක කොටසක් මට සිහිවෙයි.



~ ඉන්සේන් රයිටර් ~

2 comments:

  1. පිස්සු හැදෙනවා..

    ලස්සන ලියවිල්ලක්

    ReplyDelete
  2. මේ හැගීම් සිරාම ඒව .........

    ReplyDelete