Friday, April 20, 2012

ඉන්ද්‍රචාපය

ඉඩොරේ රස්නේ මැදින් හමාගෙන ආ උණුසුම් සුළං රැල්ලක් කටුමැටි ගසා තිබුණු පැල් කොටේ බිත්තිවල දැවටුනේ සුළඟත් සමග කැටුව ආ දුහුවිලි පදාසයකුත් සමගිනි. කනපාටින් තවත් කන පාටට හැරෙමින් ගරා වැටෙමින් තිබෙන මැටි බිත්ති දෙසත් කරකුට්ටම් වී ගිය වහලයේ පොල් අතු දෙසත් බැලු චන්ද්‍රපාලගේ මුවින් පිටවූ උණුසුම් සුසුමක්ද ඒ සමගම වාතලයට මුසු විය. ඔහු බිමට පහත් වී සරමේ වාටියෙන් දෑස්පිහදාගත්තේ ගිනි හුළඟට හිතින් බැනවදිමිනි. තව පොහොයකින් හෝ කීපයකින් පසුව කඩාපාත්වෙන මහා වැස්සට මුහුණ දෙන්නේ කෙසේද යනවග ඔහු මනසින් සැලසුම් අඳින්නට විය. ගේ ඉදිරිපස ඇති මිදුලේ ඉඩෝරයේ අරියාදුවට මට්ටු වී තැනින් තැන ඉරිතලා ගිය පොලවේ බොහෝ කලකට පෙර ඉන්දවූ අඹ ගහ පාමුල තැනුණු කොස් පිටපලු බංකුවට චන්ද්‍රපාල පැමිණ දැන් දෙහෝරාවකටත් ආසන්න විය.දෙපාමුල තිබුණු බුලත් වංගෙඩිය ගෙන දෙවන වතාවටත් විටක් හැපීමට බුලත් තට්ටුව අතට ගත් ඔහු මිදුලේ සෙල්ලම් කරමින් සිටි තම බාල දියණියට තමා වෙත පැමිණෙන ලෙස අතින් සඥා කළේය.


"සුදු බන්ඩියේ දුවිල්ලේ පෙරලීගෙන මක්කයි කරන්නේ"



 කිරිදත් පෙන්නා විරිත්තාගෙන පැමිණි සුදු බන්ඩි අප්පච්චි සමග හුරතල් වුවාය.


"කෝම්පිට්ටු උයනවා,"


මේ ඉඩෝරයේ කහපාටට හැරුණු දුවිලි පස් තට්ටුවට වතුර කඳුලක් නැතුව පොල්කට්ට තුල කෝම්පිට්ටු හැදෙන්නේ කෙසේද කියා ඔහු සුදු බන්ඩිගෙන් නොඇසුවේ ඒවගක් වටහා ගන්නට පොඩි ඒකිට තේරුමක් නොවූ නිසාද එසේත් නැතිනම් දියණියගේ කතාව ඔහු අවබෝධයකින් වටහා නොගත් නිසාද යන්න කිසිවෙක් නොදනී. එහෙයින් සංවාදය එතෙකින් අවසන් විය. සුදු බන්ඩිවත් කොස් පිටපලු බංකුව මත ඉන්දවූ ඔහු බුලත් නැට්ටක් කඩා සුදු බන්ඩිගේ මුවට එබුවේය. ඇය දෙඇස තදින් පියාගෙන දෑතින්ම සවන් යුග වසාගෙන සුරුවමට බුලත් නැට්ට හපන්නට විය. මොහොක් දෑස් දල්වා බලාසිටියේ තම ඉන්ද්‍රජාලික පියා දෙසය, කල්පනා කරන්නේ තමන් ජීවිතයේ පළමුවරට විඳි අපුරු අත්දැකීම පිලිබඳවය.


"සසයිද සුදු බන්ඩියේ"

"ම්....ම්"

ඉවුම් පිහුම් කටයුතු හමාර කොට හාල් හේදු වතුර කොරහක් අතැතිව පිළිකන්නේ සිට පැමිණි චන්ද්‍රපාලගේ බිරිඳ  දියණියගේ හා පියාගේ සංවාදයට සම්බන්ධ වීමට සිතා වතුර කොරහ වී බිස්ස ළඟ මෑලි වුන රම්පා පඳුරට වක් කලාය. 


"හනේ අම්මප දවස තිස්සෙම විට කාල ගේ වටේ කෙල ගහනවා මදිවට පොඩි එකිටත් පුරුද්ද බෝ කරනවද මනුස්සයෝ?"


සිරිනිමාගේ කෑගැහිල්ලට බියට පත් සුදු බන්ඩි චන්ද්‍රපාලට තවත් තුරුල් වී ගුලි වුනාය. අපිරිමිත සෙනෙහසකින් දියණියගේ හිස අත ගෑ චන්ද්‍රපාල

"සුදුබන්ඩියේ ගේ ඇතුලට ගෙහුං කට හොදගන්ට, අම්ම කෑ ගහනවා."


නැවතත් සිරිනිමාගේ කෑගැහිල්ල ඇසුනු සුදු බන්ඩි තකහනියෙන් බංකුවෙන් පනින්නට ගොස් වැලමිටද හමගහ ගත්තාය. සිරිනිමා තමාටත් දියණියටත් මෙසේ බෙරිහන් දෙන්නේ කෝපයකින් නොවන බව චන්ද්‍රපාල දනී. එය සිරිනිමාගේ ගතිය බව ඔහු හොඳටම දනී. මන්ද මෙසේ තමාට බැන වැදී ඇති  අවස්ථා බොහෝ තිබුනත් ඒ සණ්ඩු මිනිත්තු කීපයකට වඩා නොපවතින හෙයිනි.


"බත් ටික කාල පොලට ගිහින් ආවනම් හොඳයි"

"හ්ම් එහනම් යං කන්ඩ"


හප හපා හුන් බුලත් විටෙන් ඉතුරු වූ හපය කාරා කෙල ගසා  සිරිනිමා සමග මුළුතැන්ගෙට පිවිසියේය.
තැනින් තැන ඉදුණු සුදු කෙස් ගස් චන්ද්‍රපාලට පමණට වඩා වයස්ගත පෙනුමක් එක් කරන්නට සමත් විය. එමෙන්ම ගිනි මද්ධහනත් සමග ඔට්ටුවීමෙන් දෙපා අතපය කළු පාටට ගැසී ඒවාට අවලක්ෂණ පෙනුමක් එක් වී තිබුණි.  වසරේ බොහෝ කාලයක අව් රස්නෙන් බැට කන චන්ද්‍රපාලගේ ගමේ උදවිය හා සැසඳීමේදී චන්ද්‍රපාලත් ඔවුනොවුනුත් අතර එතරම් වෙනසක් දැකගත හැකි නොවේ.
මන්ද චණ්ඩ වූ හිරු රැස් කාටත් අත්කර දෙන ඉරණම කොටස් කරුවන් අතර පන්ගුපෙරුවකින් තොරව සමසේ බෙදී යන නිසාවෙනි.


වංගෙඩිය මත හිඳගත් සිරිනිමාගේ දෑස ඈත එපිට මිරිඟුව අසල සැරිසැරීය.

චන්ද්‍රපාල බත් පත අනනවා මිසක කන කෑමක් නැත.මේ බව දුටු සිරිනිමා තම සුපුරුදු වාග් විලාශය හසුරුවන්නට විය.

"මොකෝ මනුස්සයෝ අහස පොලව ගැට ගහල ලිහ ගන්ඩ බැරුව දඟලනවා වගේ බත් පත අන අන විතරක් ඉන්නේ."

"නෑ මක්කක්වත් නෙමේ..............මේ වලෙන් ගොඩ එන්න අපට සුවිප් ටිකට් එකක්වත් ඇදෙනවානම්"

"ඇදෙයි ඇදෙයි අපට සුවිප් ටිකට් නෙමෙයි හතර මහා නිදානේ......මනුස්සයෝ නරකද බුලත් කොරටුවක්වත් පටන් ගත්තොත්"

"බුලත්......? මේ ගිනි අව් කුටකේ වැහි බිඳක් නැති පත්තුවේ."

"වතුර නම් වැව් බන්ට් එකෙන් කලගෙඩි වලට හරි අදින්න බැරියැ....දෙයියෝ බලල මේ කන්නෙදිවත් වී ටිකක් වපුරගන්න, බුලත් පාත්තියක් ඉන්දවන්න වැස්ස වලාහක දෙයියෝ දිවැස් හෙලනවානම්"


සිරිනිමා චන්ද්‍රපාලට අඩුවැඩිය බෙදමින් හුන් බොරට උයාපු හාල්මැස්සෝ හොදි රැඳී මැටිකෝප්පය පිල උඩ තබා දෑත චීත්තයේ පිහදාගෙන දොහොත් මුදුන් දී අහසට නමස්කාර කලාය.


දෙකේ කණිසම වැදෙද්දී පොලට ගිය චන්ද්‍රපාල යලි නිවසට පැමිණියේ දෙහෝරාවක් පමණ ගතවුවාට පසුවය.  ඒ ඉහ මත තබාගෙන ආ එලවලුත් තව අඩුමකුඩුම මල්ලකුත් නිසා ඔහු හොඳටම හෙම්බත් වී සිටියේය. සිරිනිමා එවලේ නිවසේ නැතිවීම ගැන හිතෙන ඇයට බැන බැන  කර මත රැඳී ලේන්සුවෙන් දාඩිය  පිහ දමා බිම තබා තිබු කලගෙඩියෙන් වතුර පොල්කටුවක් නමාගත් ඔහු දෙතුන් පාරක්ම වතුර නමාගෙන පිපාසය සංසිඳුවා ගත්තේය. නිවස ඉදිරිපස පිල් කන්ඩිය අසල ඇති බුරු ඇඳට පැමිණ මදක් හාන්සි වූ ඔහු හන්දියෙන් මිලට ගත් ඉනේ ගසාගෙන සිටි ලොතරැයි ටිකට් පත ගෙන ඒ දෙස මොහොතක් බලාගෙන සිටියේය.


දහසකුත් බලාපොරොත්තු, ගමන් විඩාව තෙහෙට්ටුව ඇතුළු තවත් බොහෝ දේ වක්‍රාකාරයෙන් බලපා ඔහුට දැඩි නිදිමත ගතියක් දැනුනි.


නැවතත් අත රැඳී ලොතරැයි ටිකට් පත දිහා බැලු ඔහු මනසින් අනාගතය සැලසුම් කරන්නේය.
පිටිපස්සෙන් ගෙපලක් කපල සිමෙන්ති බදාම වලින් ගේ කෑල්ලක් අටවගන්න පුළුවන්.ඒ කිට්ටුවටම වෙන්න ලිඳක් කපාගතහැකි. අල්ලපු වැටේ ගොයියා දැනගත්තොත් ඉරිසියාවේ පැලෙයි. අපට හුනියමක් වත් කරයිද දන්නේ නෑ. ඉක්මනට කඩපිල්වත්තේ ගුරාට කියල ආරක්ෂාවක් කරගන්න ඕනේ. කල් යල් නොබලා මේ සල්ලි ටික බැංකුවේ පොතක් හදල දාල ටික ටික හිමීට ගන්නවා.


"අන්න බලාපන්කෝ චන්ද්‍රපාලගේ මෝටර් බයිසිකලේ ලස්සන. ලස්ස ගානක්ලු." කඩපිලට ගිය විටදී මේ කියන්නේ තමා ගැන නේද යැයි චන්ද්‍රපාල ආඩම්බර වෙයි. මීට දෙතුන් දොහකට පෙර ගමේ කඩේ පිලේ එතරම් වැදගම්මක් නැති මිනිසෙක්ට හදිසියේ මෙතරම් පිළිගැනීමක් ගෞරවයක් ලැබුනේ දෙවියන්ගේ ආශිර්වාදය නිසාම බැව් චන්ද්‍රපාල කල්පනා කරයි.  කිසිදා තමා සමග ඕනේකමකින් කතා නොකරපු සිනා නොවුණු බොහෝ දෙනෙක් දැන් චන්ද්‍රපාල සමග ජයට ඇයි හොඳයියට එයි.


"චන්ද්‍රපාල ඕනේ වෙලාවක ඕනේ තරමක් බඩු ණයට ගන්න, පස්සේ පුලුපුලුවන් විදිහට ගෙවල දාන බැරියැ . අපි අපිට උදව් පදව් කරගත්තේ නැත්තම් අපිට වෙන කවුද ඉන්නේ" ඒ හන්දියේ කඩේ උබේසේකර මුදලාලිය. මීට සතියකට පමණ පෙර ගමේ කොල්ලෝ කුරුට්ටෝ ඉදිරියේ තවත් ණයට දෙන්න බැරි බව කියා පලු යනකම් බැන වැදුන මුදලාලිමය.


"චන්ද්‍රපාල අයියේ මෙහෙන් ඈඳී ගත්තනම්..වඩේ කෑල්ලක්  හරි රොටි කෑල්ලක් හරි කාල කහට උගුරුක් බොමු." 


 පුදුමයකි. දෑ අවුරුද්දකට පෙර සියඹලා තැන්න අක්කරේ උගසට තබාගෙන ගත් ණයෙන් මාස් පතා පොලිය හුරා කන ඇඩ්වින්ය.


"ඉඩම් අක්කරේ මං උඹට ආපු ලියල දෙන්නම්කෝ.. උඹල පොලිය ආයේ ගෙවන්න ඕන වෙන්නේ නෑ. පුළුවන් වෙලාවක කොටහ කොටහ දීල ඉඩම බේරගනින්, මොකද යනකොට අපි මේවා අරන් යන්නයෑ"


මුදලාලි වඩේ පින්ගානත් හකුරු බන්දේසියත් අඬු නැති කෝප්ප වලට දැමු තේ දෙකත් ගෙනවිත් දාම් ලෑල්ල මත තැබුවේය.


"ආ චන්දපාල අයියේ මේක බීල හිටියනම් වඩේ කෑල්ලක් කාල" ඒ ඇඩ්වින්ය

මුවමත සිනාවක් රන්දාගත් චන්ද්‍රපාල දෑතින්ම තේ කෝප්පය ගන්නට යද්දීම අවාසනාවකට ඇඟිලි තුඩු අතරින් මිදුණු කෝප්පය තමාගේ උකුල මතට වැටුණි. තේ කහට එතරම් රස්නයක් නොවුනත් චන්ද්‍රපාලගේ මුහුණ රතුවිය.

හදිසියේම අවදි වූ  චන්ද්‍රපාලගේ මුහුණ තවමත් රතුවී ඇත.


" මං කියල තියනව නේද සුදු බන්ඩිට චු බරනම් ඇඟේවත් බුරු ඇඳේවත් දාන්න එපා කියල එලියට යනවා මිසක්" ඒ සිරිනිමාය.

පියවි ලෝකයත් ස්වප්න ලෝකයත් අතර රැඳුනු චන්ද්‍රපාල මොහොතක් සිහි එලවා ගැනීමේ ප්‍රයත්නයක යෙදුනි . සුදු බන්ඩිව අතට ගත් චන්ද්‍රපාලට දැකගත හැකිවුයේ පොලට ගොස් එනවිට මිලදී ගත් ලොතරැයි ටිකට් පතේ බාගයක් සුදු බන්ඩිගේ මුව තුලත් ඉතුරු බාගය තවත් කුඩා කැබලිවලට පත්වී බුරු ඇඳ අසල වැටී ඇති ආකාරයත්ය  


Monday, April 9, 2012

අදිසි හස්ත

ජීවිත මාවතේ පළමු කාර්තුව අවසන් කරමින් සිටින ඇය ඉන්දීවරී නම් විය.කුලවත් වලව් පලන්තියක විසු ධනවත් දෙමාපිය යුවලකට දාව උපන් ඇය ජීවත් වුයේ දෙමාපියන්ගෙන් උරුම කරගත් අවේනික ජීවන දෘෂ්ටියක් ඇතිවය. දවසින් දවස සීග්‍රයෙන් සමාජයේ සිදුවනවෙනස්කම් වලට අනුගත වීමට ඇගේ දෙමාපියන් මෙන්ම ඇයගේද කැමැත්තක් නොවීය.
පාරම්පරික සාම්ප්‍රදායික චින්තන රටාවන් වලින් අත්මිදීමට සිදුවීම ඔවුන් සැලකුවේ අවනම්බුවක් විඳීමට සිදුවන්නක් ලෙසය.

එහෙතුවෙන් පරම්පරාගත චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු කිරීමට ඔවුන් නිතරම වගබලා ගත්හ.සුදුසු කාලය එළඹී කල්හි මව් දෙමව්පියන් වෙහෙසුනේ තම ආදරණීය දියණියට විවාහයක් කරදීමටය. ඒ සඳහා වලව්වේ ඒ කටයුත්ත පරම්පරාවෙන් පරම්පරාවට බාරව සිටි කපුවෙකුට නියම කෙරිණි.
එහි ප්‍රතිපලයක් වශයෙන් "මැදමංකඩවර වලව්ව" වෙත දීගෙක යෑම සඳහා අකමැත්තෙන් වුවද සූදානම් වීමට ඇයට සිදුවිය.


ඉන්දීවරී "මැදමංකඩවර වලව්ව" වෙත කැන්දාගෙන ආ දිනයේ පටන් දුටු වලව්ව වසා අවට පවතින අන්ධකාරයට දැඩිසේ සාප කළාය. හාත්පස අඳුරට හේතු වූ රූස්ස ගස් වලින් හා විශාල ස්ථම්භ වලින් සමන්විත "මැදමංකඩවර වලව්ව" ගුප්ත කම ඉහවහා ගිය ඉපැරණි වලව්වක් බව ඇගේ මනසේ සටහන් කරන්නට සිතුවිලි සමත් විය.


අඩක් විවෘත කල විශාල කවුළු පියන් තුලින් නික්මුණ අදුර මිශ්‍ර වූ සිහින් ආලෝකය විශාල සාලය පුරා තැනින් තැන පිළිවෙලට  තැන්පත් කර තිබුණු වටිනා පැරණි භාණ්ඩ එකතුව මත වැටීමෙන් ප්‍රතිබිම්බනය වන්නා වූ දර්ශනය ඇගේ සිත තුල විකාර රූපි සිතිවිලි මෙන්ම නාමිකව සඳහන් කල නොහැකි හැඟීම් රාශියක් ජනිත කිරීමට සමත් විය.


ලී තරප්පු පෙළ දිගේ ඉහල මාලයට පිවිසේත්දී නාස් හනු කඩාගෙන යන පුස් ගඳ ඇතිවන්නේ කාලෙකින් නඩත්තු නොකළ රට උළු වහලේ උළු කැට බුරුල් වීම නිසා වැසි දිනවල වහලයෙන් එන දිය සීරාවක් සොල්දොර මත තැන්පත් වීම නිසා බව සොයා ගැනීමට ඇයට අසීරු නොවිය. වසර ගණනකින් විවෘත නොකළ පාත මාලයේ ගබඩා කාමරයද ඇතුළු තවත් කාමරයක් ඇයගේ උපදෙස් මත කුලී කරුවෙක් ලවා අස්පස් කර දැමු ඇය එහි දොර ජනෙල් හැර තබා පෙර පැවති මුසල ගතිය පලවා හැරීමට සමත් වුවාය. 


මෙසේ කාලයක් ගත වෙත්දී වලව්වේ පැවති අඩුපාඩු එකින් එක සොයා ගනිමින් ඒවා පිළිසකර කිරීමෙන් හා පිළියම් යෙදීමෙන් මැදමංකඩවර වලව්වට නව එළියක් අත්කර දෙමින් වලව්වේ පරිසරයට පුර්ණ වශයෙන් අනුගත වන්නට ඇයට හැකි වුනා සේම මුණසිංහගේ හොඳ හිතද ඉක්මනින් දිනා ගැනීමටද සමත් විය. එහෙතුවෙන් මුණසිංහ හා ඉන්දීවරී අතර යහපත් පවුල් ජීවිතයකට පැහැදිලි අඩිතාලමක් ගොඩනගා ගැන්මට ඇගේ චර්යා රටාවන් හේතු විය.  


නමුත් ඇගේ සිතේ වලව්ව පිළිබද පැවති නිර්නාමික හැඟීම ඒ සැනින් යටපත් නොවීය.


සතියේ බොහෝ දිනවල පාන්දරින්ම තමන්ගේ පුද්ගලික වතු යායවල් වල රාජකාරී කටයුතු සඳහා මොරිස් මයිනර් රථයෙන් පිටත්ව යන මුණසිංහ පෙරලා වලව්වට පැමිණෙන්නේ රාත්‍රී අඳුර පොලවට වැටී හෝරා කීපයක් ගතවුවාටත් පසුවය.


මෙවන් දිනවල ඉන්දීවරී වලව්ව තුල තනි වුවාය.

ඉවුම් පිහුම් කරන වයෝවෘධ කාන්තාව හැරුණු කොට වත්ත පිටිය බලාකියා ගැනීමට සිටි විලියොන් උන්නැහේටද වලව්ව ඇතුලට ඒමට අවසරයක් නොවිය. එහෙතුවෙන් කුස්සි අම්මා මුළුතැන්ගෙටත් විලියොන් උන්නැහේ වත්ත පිටියටත් අමතරව මුළුතැන්ගෙටත් පමණක් සීමා විය. 

පාළුව තනිකම ගෙවා දැමීමට හා කාලය කා දැමීමට ඉන්දීවරී මැහුම් ගෙතුම් තෝරාගත්තේ එය ඊට හොඳම විසඳුමක් යයි සිතාය.දවසේ බොහෝ වෙලාවක් එකී කාර්යෙහි නිරත වීම සඳහා ඇය ඉහල මාලයේ ද්වාරයක් අභියස තැනුණු සඳලුතලයක් තෝරා ගත්තාය.
ඉඳහිට වුවද වලව්වට එපිට ගුරු පාරේ ගමන් ගන්නා අයෙකුට මේ ඉඳගෙන සිටින්නේ ඇය කියා අනුමානයක් නොමැතිවම කිව හැකිව තිබිණි.

දෑත සහ දෙඇස මල් රාමුව මත රඳවා තබා ගැනීමට ඇය සමත් වුවත් ඒ අකාරයෙන්ම ඇගේ සිතද ඈ අසල රඳවා ගැනීමට ඇයට හැකියාවක් නොවීය.
ඉඳිකටුව හා පාට යෙදු රජ්ජුව ඇගේ ඇඟිලි සමග ඔට්ටු වී සළුව මත මල් රටා මැවෙද්දී කාගේවත් අනුබලයකින් තොරව තමන්ට හිතු තැනක යාමට තිබෙන අයිතිවාසිකමෙන් ඇගේ හිතත් ප්‍රයෝජනය ගත්තේය.  

 සිත, සීමා රහිතව වලව්වේ තැන් තැන් වල ඇවිදිද්දී යටපත්ව පැවති නිර්නාමික සිතුවිලි හිස එසවීය.
ඇය ආයාසයෙන් සිත මැඩ ගත්තාය.එවන් අවස්තාවක ඇය ඇගේ සිතට විලංගු දාගත්තේ ඉහලට හුස්මක් ගෙන එය තරමක් වේගයෙන් පිටකර හරිමිනි.
සුළු මොහොතකට පමණක් ඇගේසවිමත් අදෘශ්‍යමාන විලංගු වලින් ගැලවීමක් නොලැබුණු හිත ක්ෂණයෙන් ඉඩක් ලැබුණු සැනින් එසැනින් නැවතත් දසත සැරිසරන්නට විය.

එසේ ඇයට හොරෙන් නික්මුණ සිත අවසානයේ නතර වුයේ "මේ වලව්වේ භූත දෝස, හොල්මන් තියෙන්න බැරිද" යන කල්පිතයට සමාන තැනකිනි.


කල්පිතය ඇගේ සිතේ බොහෝ තැන්වල ප්‍රධාන සිතුවිල්ල වූ කල ඇය සිතට විලංගු දාගන්නේ නැත.
ඇය ඒ කල්පිතය යතාර්තයක්ද යන වග ඔප්පු කිරීමට වෙහෙසුනාය.


කල්පිතය බිඳීමට ප්‍රථම ඇය එවන් භූත දෝස හොල්මන් මේ වලව්වේ ඇති බව තහවුරු කොටගෙනය පිලියමක් කිරීමට ඉටා ගත්තේ. අත රැඳී මල් රාමුව මෙන්ම මැහුම් ගෙතුම් උපකරණ රැගෙන දිනපතා සඳලු තලයට පැමිණෙනවා හැරුණු කොට සළුව මත මැහෙන රටාවක් නැත.
ඒ ඇය ඇගේ සම්පුර්ණ අවධානය වලව්ව වෙත යොදවා සිටි නිසාය. 

  
දින කීපයක සිදුවීම් එකිනෙක ගලපා ගත් කල, තරප්පු පෙළ මතින් කිසිවෙක් ඇවිදින විට නැගෙන "කිරිස් කිරිස්" හඬත්, හිටි හැටියේ තිබුණු බඩු බාහිරාදිය අතුරුදහන් වීමත්, මල් බඳුන් බිම පතිත වීමත්, බත් පතේ වැලි කැට තිබීමෙනුත් යන දර්ශක කීපයක් මත ඇගේ මතය ඇස් පනා පිටම තහවුරු විය.
කවුරුත් නැති මේ නිවස තුල භූතයන් හොල්මන් කරන බව පිළිගැනීමට ඉහත ශාක්ෂි ඇයට හොඳටම ප්‍රමාණවත්ය.  


අවසානයේ ඈ නිගමනයකට එළඹුණාය.


දැන් දැන් ඇගේ ඒක චෛතසික මතය මේ වලව්වේ හොල්මන් භූතයන් වාසය කරන බව එකහෙලාම පිළිගනී.


මෙතුවක් රහසක්ව තබා ගත් සියල්ල ඇය එකින් ඒක පැහැදිලිව මුණසිංහ සමග සුදුසු වෙලාවක් බලා පැවසුවාය. 


ඈ සිතු අයුරින්ම ඇගේ පුහුමත විශ්වාස කිරීමට මුණසිංහ කෙසේවත් සුදානම් නොවීය.


"මහත්තයා ඇයි මං කියන දේ කනකට නොගන්නේ.? මේ වලව්වේ හොල්මන් තියනවා." 


"ඉන්දීවරී........ විකාර කියවන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවද" 


"විකාර, ඔව් මං කියවන්නේ විකාර, මහත්තයත් තනිපංගලමේ දවසක් හිටියොත් තේරේවි මං කියන්නේ ඇත්තක්ය කියල"


"ඉන්දීවරී"


ඇය යමක් පැවසීමට ගොස් නතර කළාය.  


"..............................."


නැවත මොන මොනවදෝ තොල් මත මැතිරූ ඇය කී දේ මුණසිංහට නොඇසුනාට වඩා එය උනන්දුවකින් ඇසීමට මුණසිංහට අවශ්‍යතාවයක් නොවුනි.  


කොතෙක් දවසක් තමන්ගේ අදහස මුණසිංහ වෙත පැවසීමට යත්දී  ප්‍රශ්නයට විසඳුමක් වෙනුවට ලැබුනේ දෙදෙනා අතර පැවති ඇයිහොඳයියත් පලුදු වීමය.

වෙනදාට වඩා බොහෝ අසහනයෙන් කාලය ගෙවා දමන ඉන්දීවරී අවසානයේ තම දෙමාපියන්ගේ මාර්ගයෙන් කට්ටඩියෙක් කැඳවා විශාල තොවිලයක් වලව්වේ පැවැත්වීමට සුදානම් විය.

මුණසිංහගේ මේ පිළිබද එතරම් කැමැත්තක් නොවුනද තම බිරිඳගේ පුහු මතය බිඳීමට මෙමගින්වත් හැකිවේදෝයි සිතා කරබාගෙන සිටියේය.   

තොවිලය රැයක් පුරා පැවැත්වීය. කට්ටඩියා තම වගකීම හරියටම ඉස්ට කල බව තොවිලය අවසානයේ ඉන්දීවරීගේ අදහස විය.

දැන් ඉන්දීවරීගේ හිත නිදහස්ය. නැවතත් පෙර තත්වයට පත්ව ඇත.
දෙදෙනා බොහෝ සතුටින් කාලය ගත කළහ.

මේ කාලයේ ඉන්දීවරී මවක් වීමට සුදානම් වෙමින් සිටියාය.

කාලය මාස කීපයක් ගතවිය.
  
      
නැවතත් පෙර කී භූත ලක්ෂණ වලව්ව තුල මතුවන්නට විය. 


"මහත්තයා"


"ඉන්දීවරී ඇයි'


"අපි කරපු තොවිලේ වැඩක් වෙලා නෑ වගේ"


සියල්ල වටහා ගත් මුණසිංහ කෝපාවිෂ්ට බවක් තම මුහුණට ආරෝපණය කරගනිමින්


"මගේ යකා අවුස්සගන්න ඒක වහාම නතර කොලොත් හොඳයි ඉන්දීවරී, මම ආයේ නොකිව්වය කියන්න එපා"



පසුවදන


ඉන්දීවරී දුටුවේ සතයක් නොව. එය ඇය විසින්ම හදා ගත් පුහු මතයකි. එක සිතිවිල්ලක් ගැන ඕනෙවට වඩා සිතීමෙන් අවසානයේ එයින් අත්මිදීමට නොහැකි තත්වයකට පත්වේ. 

   
තරප්පු පෙළ මතින් කිසිවෙක් ඇවිදින විට නැගෙන "කිරිස් කිරිස්" හඬ නැගුනේ මෙතුවක් ඇය එන තුරු වසා දමා තිබුණු සාලය තුලට හිරු එලිය වැදීමෙන් තෙත බරියම් වී තිබුණු සොල්දොරේ ලෑලි වල සිදුවූ විපර්යාසය හේතුවෙනි.  


හිටි හැටියේ තිබුණු බඩු බාහිරාදිය අතුරුදහන් වීම වුයේ, ඇගේ කල්පනාව මේ සිතුවිල්ල නිසා දැඩි ලෙස පීඩාවට පත්වී තිබීමත් ඇයගේ නොසැලකිල්ලත් හේතුවෙන්මය  


මල් බඳුන් බිම පතිත වුයේ හරින ලද කවුළු පියන් පත් තුලින් වලව්වට වැදෙන සුළං නිසාය
බත් පතේ වැලි කැට තිබුනේ කුස්සි අම්මා ඉතා වයස් ගත වීම නිසා හාල් ගැරීම හරිහරි සිදු නොවුන නිසාත්ය. 

මේ සියල්ල කියව අවසානයේ යම් ප්‍රශ්නයක් පාඨක ඔබ හට මතු වුවොත් " සෑම දෙයකටම සීත හා සිතුවිල්ලේ ස්වභාවය මුල්වේ" යන සිතුවිල්ල සිහි තබාගැනීමෙන් ප්‍රශ්නය විසඳාගත හැක. 
එත් නොහැකිනම් පහත කමෙන්ටුවක සටහනක් කරද පිළිතුරක් ලබා ගත හැක

Wednesday, March 28, 2012

වික්ෂිප්ත

ස්ථානයක් හරි හැටි පැවසීමට නොදත් කොහේ හෝ ජනාකීර්ණ වෙරළක් අසබඩ තැනුණු බංකුවක බොහෝ වෙලාවක් එකම ඉරියව්වේ ක්ෂිතිජ ඉම දෙස නෙත් යොමාසිටි මගේ සිතද තිබුනේ සිතිජ වලල්ලෙනුත් එපිටය.


ඒකාකාරී මුහුදු රැල්ලේ ඝෝෂාවත් කොල්ලෝ කුරුට්ටන්ගේ කෑකෝ ගැසිමුත් පසුබිමින් බොහෝ දුරට මගේ කල්පනා දැහැනට බාධාවන් එක් කළහ.විටෙක සුළගෙ අවේගකාරි හඬද, සැපට හැදුනු බල්ලන්ගේ බිරුම්ද, වෙළෙන්දන්ගේ කන්දොස්කිරියවන්ද, අතොරක් නොමැතිව ඇසෙන්නට විය. එවන් බොහෝ ශබ්ධ රටා වලින් නොබිඳුණු මගේ දැහැන හදිසියේ සවනත වැකුණු සිනාවක දොන්කාරයකින් මුළුමනින්ම බිදී ගියේය.
සත්තකින්ම ඒ ඇයමද ? එය එසේම නම් ?.......


හිස ඔසවා ඒ සිනාවේ අයිතිකාරිය සොයා මගේ මනස වෙහෙසවන්නට විය. මා හිඳගෙන සිටි තැනට පියවර කීපයක් එපිටින් තාරා ගමනින් ඇවිදි ඇය සොයා ගැනීමට මට මිනිත්තු කීපයක් ගතවිය. තම ආදරණීය ස්වාමියාගේ හා පවුලේ උදවියගේ ආදරයට පාත්‍ර වූ ඇය දැකීමෙන් මගේ සිත අතීතය තුලින් බුර බුරා නැගෙන්නා වූ ගිනි දැල් වලින් දැවෙන්නට විය. ඇගේ ඉදිරියට නෙරා ආ කුස විදාපෑවේ තව නොබෝ දිනකින්ම ඇය උතුම්වූ මාතෘත්වයට හිමිකම් කියන්නයක් ලෙසය. සත්තකින්ම ඒ ඇයමද ?. මා පෙම් කල ඈමද ?


ඈ දුටු කෙනෙහිම මගේ හිත නොසන්සුන් වෙන්නට විය.දෙකන් පෙති රත්වීමත් සිහින් වැලිකැට චිරි චිරි හඬින් සවන් මතට වැටෙන්නාක් මෙන් ඇසීමත්, සර්වාංගයම හිරිවැටීමත් දෙතොල් මත පිපි දාඩිය බින්දුත් හදවතේ අසාමාන්‍ය ස්පන්දනයත් ඒ බව මට ඒත්තු ගැන්වීය.ඒ මීලඟට විඳින්නට සිදුවෙන කුරිරු වේදනාව නිසැකයෙන්ම අත්විඳීමට සිදුවෙන බැව් මා අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි.ඒ සමගම ක්ෂණයෙන් මගේ දෙපා වෙව්ලන්නටත් හිස අභ්‍යන්තරයෙන් ඉවසා දරාගත නොහැකි වේදනාවත් මතුවූ නිසා දෑතින්ම හිස බදාගෙන පහත්වී දෙකකුල් අතර රඳවාගතිමි. වේදනාවට දෙනෙතින් කඳුළු කැට පනින්නට ඇත, දත් විලිස්සෙන්නට ඇත.භාහිර ලෝකයේ ශබ්ධ මට විකාර අපැහැදිලි ස්වරුපයෙන් ඇසෙන්නට විය. හිසබදාගත් දෑතින්ම සවන පත් වසා ගත් මම දෙනෙත් තදින් පියා ගතිමි. 


දකින බොහෝදෙනෙක් මා පිළිබද විවිධ අර්තකථනයන් දක්වන්නට ඇත. කම් නැත.... කාලය මිනිත්තු කීපයක් ගත වෙන්නට ඇත.



හදිසියේ තිගැස්මකින් අවදි වූ මා වේදනාවෙන් මිරිකී ගිය දෑස් හැරියෙමි. ස්වේත වර්ණ පටලයක් මගේ දෘෂ්ටිය යන්තමට අහුරා තිබිණි.සම්පූර්ණයේම සුවනොවූ හිසේ කැක්කුම නිසා මට මහත් අපහසුවක් දැනිණි.  ඒ වන විටත් රක්ත වර්ණයෙන් අවට ලෝකය ගිලගනිමින් තිබෙද්දී මුළු වෙරලම පාලු ස්වභාවයක් ඉසිලීය. තම තමන්ගේ පා සටහන් පමණක් වෙරළ මත ඉතිරි කරමින් සියලු දෙනා වෙරළ තනිකර ගොස් සිටියහ. ලොම් හැලුණු නාටු බල්ලෙකුත් වෙරළේ තැනින් තැන සිටි කීපදෙනෙකුත් හැරුණු කොට එහි අන්කිසිවෙක් නොවීය. මා කල්පනා කලෙමි. බොහෝ දුරට කල්පනා කලෙමි. මීට සුළු මොහොතකට පෙර බොහෝ කලබලකාරී ස්වරුපයක් ඉසිලු වෙරල මෙතරම් ඉක්මනින් සන්සුන් වුයේ කෙසේද යන්න කල්පනා කලෙමි. අවසානයේ හිසේ කැක්කුම තවත් දරුණුවත්ම මා ඒ සිතිවිල්ල බලෙන් යටපත් කරගත්තෙමි.හුන් ඉරියව්වෙන් මතවත් හෝරාවක් පමණ ගෙවාදැමු මා දවසක නිමාව සටහන් කර අවරට ගොස් සැඟවුණු හිරුගේ චායාව දුටු තවත් එක සාක්ෂිකාරයෙක් වීමි.

දෙපා වලට වාරු වී හිඳහුන් තැනින් නැගිට අවසානයක් නොවන ගමනක තවත් එක පියවරක් තබන්නට සැරසුනෙමි. 


මා බොහෝ වෙලාවක් ඇවිදින්නට ඇත. සමහර විට සැතපුම් ගණනාවක්..... එසේ ඇවිදින බොහෝවිට නිතර නිතර මා මුමුණන දේ මට මතක නැත. අවබෝධයක් නැත.  නමුත් මා මුමුණන බව දනිමි. 


හිතවත් පාඨකය, උක්ත සඳහන් පුද්ගලයා පිළිබද ඔබට යම්කිසි ප්‍රතිරූපයක් මවාගැන්මට අපහසු වුවා යැයි සිතමි.ඔහු පරාජිත ප්‍රේමවන්තයෙක් නොවේ, හොරෙක්වත් මං පහරන්නෙක්වත් නොවේ. සැබවින්ම ඔහු උන්මත්තකයෙකි.යම් කිසි දෙකින් කම්පනයක් අත්විඳි සැනින් පෙරකී වේදනාව නිතර නිතර විද හුරු වූ කරුමක්කාරයකි. ඔහු ඒ වේදනාව විඳින්නේ මිනිත්තු කීපයක් කියා සිතුවත් ඒ හෝරා කීපයක්ය. මේ අසරණයාට එය වටහාගැනීමට නොහැක. එය දන්නේ ඔහු එසේ සිටිනවා දකින අයත් දැන් ඔබත් පමණි. එහෙතුවෙන් වෙරළේ විපර්යාසය ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. ඔහු අවදි වන විට හෝරා කීපයක් ගතවී තිබිණ.  

දෛවයේ කෘර සැඩ පහරට හසුව ගසාගෙන ගොස් කෙදිනකවත් නොපැතූ නොසිතු ලෙස ජීවිතයේ උන්හිටිතැන් අහිමු වූ මිනිසෙකි. මීට වසර කීපයකට පෙර මධ්‍යම පාන්තික පවුලක ඉපද  තනිවම ජීවිතය සැලසුම්කල ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ මවක් වන ලකුණුත් තමා පියෙක් වන ලකුණුත් දැක ඉතාමත් සතුටට පත්ව තවත් වගකීමෙන් ජීවිතය තව තවත් පිළිවෙලට ගොඩනැගු ආදරණීයසැමියෙකි.ඇයට ඔහුවත් ඔහුට ඇයත් හැරුනුකොට ඔවුන්ගේ ජීවිතය වුයේ තවමත් නූපන් බිලින්දෙකි.

නමුත් සුතිකාගාරය දෙසින් පැමිණි මුහුණේ බලාපොරොත්තු කඩවුණු සේයාවක් සනිටුහන් වූ වෛද්‍යවරු පැවසු ආරංචිය ඔහුගේ ජීවිතය අවාසනාවේ අඳුරු ගුහාව වෙත ඇද දැමුවේය.

"අයි ඈම් වෙරි සොරි මිස්ට"


"ඇයි ඩොක්ටර් ?"


"කලබල වෙන්න එපා... අපට........ ඔයාගේ..... නෝනවත්...... දරුවවත්..... බේරගන්න.... බැරිවුනා....."


"මො.......න.....වා.....ඩොක්ටර්........එහෙම වෙන්නේ කොහොමද ?"


"අයි ඈම් වෙරි සොරි මිස්ට අයි ඈම් වෙරි සොරි"



බොහෝ වෙලාවක් රෝහලේ ලී බංකුව මත හිඳගෙන සිටි ඔහු ජීවිතයේ යතාර්ථය අවබෝධ කරගන්නට යත්න දැරීය. දකින්නා වූ දේ අසන්නා වූ දේ මායාවක්ද නැතිනම් සැබෑවක්ද යන්න තෝරා බේරා ගැනීමක ඔහු නිරතවී සිටියේය. සුතිකාගාරයේ දෙසින් එන ට්‍රොලියක ශබ්දය ඔහුගේ කල්පනාව බිඳදැමීය. සුදු රෙදි කඩකින් වසාමෝචරිය දෙසට ගෙන යන මෘත දේහය දැක ඔහුගේ හදවත ගැලවෙන තරම් වේදනාවකින් ගැහෙන්නට විය.ඇටේන්ඩන්ට් ගේ නොසැලකිල්ලෙන් අසල පුටුවක ගැටුණු ට්‍රොලියෙන් පහතට මෘතදේහයේ අතක් කඩා වැටෙන්නට විය.
   
   
පෙරදින පන්සලෙන් ආශිර්වාද කොට ඇගේ සුරතෙහි බඳින ලද පිරිත් නූල තවමත් එලෙසමය. වෙනසකට ඇත්තේ ඒ සුරත දැන් සුදුමැලි වී තිබීමය...... ඔහුගේ හැසිරීම් ක්ෂණයෙන් වෙනස් වෙන්නට විය. මහා හයියෙන් හඬාගෙන ට්‍රොලිය පසුපස දිව ගොස් දේහය බදාගෙන ඉකිගසමින් හැඬුවේය. රෝහල් සේවකයෝ ඔහුව අස්වැසීය. ඔහුට කිසිවක් මතක නැත.



හිතවත් පාඨකය, අපි දැන් උක්ත සඳහන් උන්මත්තකයා පසු පස ලුහු බඳිමු.

පිලී ගඳ ගහන බෝට්ටුවකට පිටදී මම රැය ගෙවා දැමුවෙමි.උදෑසන නොහික්මුණ පුද්ගලයෙක්ගේ පා පහරක් මගේ නින්දට බාධා කළේය.

"නැගිටපන් පිස්සා"
"දවසම කාලකන්නි කරනවා"
"දුවපිය කිව්වේ"

බෝට්ටුවේ අයිතිකරුවෙන්නට ඇත. දවල් දවසත් ඔහේ ගතවිය. සිගමන් යැද ඉල්ගෙනකන්නට වූවමනාවක් නොවුනත් යන්තම් හෝ මගේ කුසගින්න නිවිණි. ඒ මොනවයින්දයි මට මතක නැත. අනන්තය පෙනෙන තෙක් මග වැටී ඇති හෙයින් සුපුරුදු ගමන ඇරඹීමි. මා මුමුණන්නට ඇත. පිළිවෙලක් නොවූ ගමන් රටාවක් මා කෙරෙන් දිස්වන්නට ඇත. 



පුදුමයකි.......මේ නම් ඇයමය.

මට පිටුපා තාරා ගමනින් ඇවිදින්නේ ඇයම විය යුතුය.

අවනත නොවූ සිත, දෙපයට වීරිය හා ජවය ගෙනාවේය.

වහා දිවගොස් ඇයගේ අතින් අල්ලා ගතිමි.


"ඔයාට මං කොහෙවත් යන්න දෙන්නේ නෑ....ඔයා කොහෙද ගියේ."



මා එසේ කියන්නට වචන සෙව්වෙමි. මා එසේ නමුත් පැවසීමට පෙර යටිගිරියෙන් කෑ ගැසූ ඇයගේ උදව්වට පැමිණි අවට සිටි හැඩි දැඩි පිරිමින් මට තඩිබාන්නට ගත්හ. පෙම්වතියන් ඉදිරියේ වීරයින් වනු පිණිසත් සමහර පෙම්වතුන් මට තඩිබාන්නට ඇත. වැල්ලේ බිමවැටි වකුටු වූ මා ඔවුන්ගෙන් බේරීමට තැත් කලෙමි. ඇස් වලත් මුව තුලත් වැලිකැට පිරෙන්නට විය. ලේ බින්දු උණුසුම් වැලි තලය තෙත් කළේය. සුපුරුදු හිසේ කැක්කුමත් ඊට අමතරව පා පහරවල්වල වේදනාවත් මගේ ගත සම්පුර්ණයෙන්ම අඩපණ කරන්නට සමත් විය. මා තදින් දෙනෙත් පියා ගතිමි.


මිනිත්තු කීපයක් ගත වෙන්නට ඇත.


බොහෝ දෙනෙක් මා වටේ සිට කෑකෝ ගසනවා ඇසී නිද්‍රාවෙන් මා අවදි විය.බොහෝ දෙනෙක් මාදෙස සතෙක් දෙස බලන්නාක් මෙන් බලා සිටිනු දුටුවෙමි.

"කොහෙද යන පිස්සෙක්"

කවුදෝ කියනවා ඇසුනි.

ඇත්තටම මම

පිස්සෙක්ද ?

Tuesday, March 13, 2012

කසාදය

ගෙවුනු වසර කීපය දෙස අතීතාවර්ජනයෙන් බලන කල ඒ කාල පරාසය තුල මට ලැබුණායැයි සතුටු වියහැකි විශේෂ දෙයක් නොමැත. එමෙන්ම දුකකින් කියන්නට නොලැබුණු දේකුත් නොමැත. අවශ්‍ය වූ දෙයක් මාසේ පඩියෙන් අන්තිමට සාප්පුවකට ගොස් මිලදී ගන්නවා හැරෙන්න සේප්පුවක දමා සොරුන්ගෙන් ආරක්ෂා කලයුතු වටිනායයි කිවහැකි කිසිවක් මා සන්තකයේ නොතිබිණි. මෑතකදී සාප්පුවකට අලුත් යමක් මිලදී ගැනීමට ගොඩවැදුන දවසක්ද මතකයකට නගාගත නොහැක.
කමිසයක් කලිසමක් ගන්නේද අවුරුද්දකට වතාවකි. සමහර විට ඒ අවුරුද්දකට වතාවද එන්නේ කලාතුරකිනි. ඒ එවන් අනවශ්‍ය මිලදී ගැනීමක අවශ්‍යතාවය මට නොවූ නිසාය. ඒ ලෝභකම නිසා නොවේ යයි මා, මා සමගම තර්ක කරන්නට පෙළඹී සිටියෙමි.  

මීට වසරකට පමණ පෙර භූමිතෙල් ලිපක්, ටෝච් එකක් හා තෙල් තාච්චියක් මිලදී ගත්තේ නම් ටවුමේ "ගුණසේන ස්ටෝර්ස්" එකෙන් බව එකින් එක සිතුවිලි පෙළ ගස්සවා බලන කල සිහියට නගාගත හැක. නමුදු අවශ්‍යතාවයක් නැති දිනවලත් සතියකට දෙවතාවක්වත් "ගුණසේන ස්ටෝර්ස්" වෙත ගොඩ වුනේ කැෂියර් පුටුවේ හිටි දීපිකා හා වචනයක් දෙකක් කතා කිරීමට ඇති ආශාවට වඩා අවශ්‍යතාවය නිසාමය.

ජැන්ඩියට අඳින්නට පළඳින්නට වත්කමක් නැති වුනත් පිරිසිදුව පිළිවෙලකට ඇඳුමක් ඇඟලා ගැනීමට මා කුඩා කාලයේ සිටම ඉමහත් කැමැත්තක් දැක්වුවෙමි. අම්මගේ අභාෂය මත මට ඒ පුරුද්ද එන්නට ඇතැයි සිතමි. ඉස්කෝලේ යන සන්දියේ මට තිබුණු ඇඳුම් ජෝඩු දෙක අම්මාගේ ඕනේකමට සෝදා ඉතා පිරිසිදුවත් පිළිවෙලටත් පොල්කටු ස්ත්‍රීක්කයෙන් මැද දෙන නිසා සෞඛ්‍ය සටහනේ මාසික වාර්තාවේ අග මට රතු තරුවක් ලැබුණි. පොල් කටු ස්ත්‍රීක්කයෙන් මදින කල ඇඳුමක විහිදෙන සුවඳ අදටත් මොහොතක් ඇස් පියාගත්විට නිරායාසයෙන් මතක් කරගත හැක. මා නිහඬ පුද්ගලයෙකි.
සණ්ඩු සරුවල්, කෑකෝ ගැසීම් මට නොරිස්සුම් දෙන්නක්ම විය. මේ හේතුවෙන් සමහරු ඔලුවට අත හොදද්දීත් මා ඉවසා දරාගෙන සිටියේ ඇයිදැයි මම කම්පා වෙමි.
මීට වඩා පිරිමි සිතක් සවිමත් විය යුතුයයි මගේ සිත මටම නෝක්කාඩු කියයි.

දත්මිටි කාගෙන, දුක දරාගෙන, බඩගින්නේ ඉඳිමින් ගෙවන්නට තරම් ආර්ථික අහේනියක් මට නැති නමුත් යාන වාහන ගැනීමට, තරු පහේ හෝටල් වලින් අහාර ගැනීමට, රාත්‍රී සමාජශාලාවල රැයක් පහන් කිරීමට මට වත්කමක් නොමැති වුවා කියා සඳහන් කරනවාට වඩා මා ඒ පිළිබද උනන්දු නොවූ බව පැවසීම වටී.  මා ගෙවන අල්පේච්ඡ ජීවිතය පුදුමාකාර නිදහසක් සැනසීමක් ගෙන දෙන්නක්ම වේ. මම මේ ජීවිතයට ඇලුම් කලෙමි, තවමත් එසේමය. සමහර විට හෙටටත්......

බොහෝවිට සිතට සැනසිල්ලක් දෙන්නට වූ කාරණාව නම් මා වෙනුවෙන් දුක්වී හඬන්නට කිසිවෙකුත් මට කෙනෙක් වෙනුවෙන් හඬන්නටත්  දැන් කිසිවෙක් නැති නිසාය. බැඳීම් ඇතිකළ දුකද වැඩිවේ. බැඳීම් වලට සමුදුන් කල සිත නිදහස් වේ. දුකක්ද නැත. සීනි ඔතාගෙන ආ කොලය පෝය දින දිනපතා පත්තරේ අතිරේකයේ පළවුණු ලිපියක් වූ බැවින් එහි සඳහන් දේ ඉකුත් සතියේ කියෙව්වා මතකය. එහි සඳහන් වුනේ ඒ බවය.

දීපිකා නම් වූ කලී මා නැවතී සිටි බෝඩිමේ අයිතිකාරයාගේ දුවයි. කොළඹින් එපිට රබර් වතු කීපයක හිමිකාරයෙක් වූ දීපිකාගේ පියාට එතරම් ආර්ථික අපහසුතා නැති බව ඔවුන්ගේ කල් ක්‍රියාවෙන් මට ඒත්තු ගැන්විණ. දීපිකාද රැකියාව කලේ ටවුමේ "ගුණසේන ස්ටෝර්ස්" හි කැෂියර්වරිය ලෙසය.  රැකියාවක් කිරීමට තරම් අහේනියක් ඇයටත් ඇගේ පවුලේ අයටත් නොතිබුණද ඉගෙනගත් දේ අහක දමන එක අපරාදේ යයි ඇය නිතර දෙවේලේ දෙමාපියන්ට මැසිවිලි නගන නිසා ඇයගේ මවගේ සහෝදරයෙක්ට අයිති "ගුණසේන ස්ටෝර්ස්" හි රැකියාව තෝරා ගත්තා කියා ඇගේ මව මා හා අල්ලාප සල්ලාපයේ යෙදුන දවසක පැවසුවා මතකය. උසස් පෙළ සමත් ඇති නමුදු වාසිටි යාමට ප්‍රමාණවත් ලකුණු නොලැබූ නිසා උසස් අධයාපනයකද නියැලුනේ නැත. වාසිටි යාමට සමත් වුනත් ගෙදර උදවිය ඊට ඉඩ නොදෙන නිසා ඉහලට ඉගෙනීමෙන් පලක් නොවන නිසා එසේ නොකළ බව ඇය මා සමග දොඩමලු වූ දිනක කීවාද මතකය.  




දීපිකා හා මා හාද වන්නේ මා බෝඩිමට ආ මුල් කාලයේ පටන් මගේ කෑම වේල රැගෙන එමෙන් ඇති කරගන්නා දැන හැඳුනුම්කමෙන්ය.
දිනපතා මගේ උදෑසන කෑම වේලත් දහවල් බත් පාර්සලයත් ගෙන එම ඇයට භාර වී තිබුන රාජකාරිය විය. ඇය රාජකාරිය සඳහා යමින් ගමන්ය මට කෑම පාර්සලය දෙන්නේ.  
රාත්‍රී ආහාරය සඳහා මා ඇගේ නිවසට යාමට පුරුදු වී සිටියෙමි.  එසේ පැමිණි බොහෝ දිනවල මා ඇය සමග කතා බස් කර ඇත. ඇගේ නිවසින්ද එතරම් එයට බාධාවක් නොවිය. විටෙක රටේ තත්වයද, විටෙක ඉතිහාසයද අපගේ මාතෘකා විය. නමුත් ආදරය නම් වූ මාතෘකාව කෙදිනකවත් අපගේ සාකච්චාවට බඳුන් වී නැති බව සහතිකය.


තනියෙන් ජීවත් වීමෙන් හෙම්බත් වූ කල කසාදයක් කරගන්න දීපිකා ඇත්තටම හොඳ කෙල්ලෙක් යන සිතුවිල්ල මගේ හිතේ ඉස්මතු වෙන්නේ මේ කාල වකවානුවේදීය. හුදෙක් විවාහය යන අවශ්‍යතාව මත පමණක් පදනම් වූ සම්බන්ධකමකට මගෙන් ලැබුණු ඇරයුමට දීපිකාගෙන් දෙසතියකට නොඅඩු කාලයකදී මට පිළිතුරක් ලැබුණි. දීපිකා මගෙන් බලාපොරොත්තු වූ ආදරය මට පෙරලා ඇයට දීමට අවශ්‍යතාවයක් නොවුනේ මා ඇය හා සම්බන්ධකමක් ගොඩනගාගත්තේ විවාහයක් කරගැනීමේ අරමුණ ඇතිව පමණක් නිසාවෙනි.  ගැහැණියෙක්ට ආදරයක් බැඳීමක් මෙන්ම විවාහයටද ඒවා අවශ්‍ය බව මට තේරුම් ගැනීමට මට හැකියාවක් නොතිබිණි. ඊටත් වඩා තේරුම් ගැනීමට අවශ්‍ය නොවුනි. මගේ චරිතය කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වුවද සම්මත වූ ලෝකයේ ක්‍රියා පටිපාටියට පරිභාහිරව අසම්මතව ඉපදුනු මමත් තවත් එක් ප්‍රාණියෙකි. මටද මාව තේරුම් ගත නොහැකි කල්හි වෙනත් කෙනෙක් කෙසේ නම් තේරුම් ගනීද.  


කාලය විටෙක ඉබි ගමනින් තවත් විටෙක විදුලි වේගයෙන් ගෙවෙන්නට විය.

මාගේ චරිතය මා ආශ්‍රය කිරීමෙන් තේරුම් ගන්නට දීපිකාට හැකි වන්නට අත. ඇය සොයනා පතනා සහකාරයා මා නොවන්නට ඇත...

කාලය සමග බොහෝදේ වෙනස් විය. බෝඩිම ඉදිරිපිට තිබු කොස් ගහ කනාටු විය. බෝඩිමේ මගේ තනි නොතනියට හිටපු පූස් පැටියාද මියැදුණි. එසේම දීපිකාද මට කෑම ගෙනෙන්නට අදිමදි කළාය.. මා ඇය සමග කතා කිරීමට අවශ්‍ය බව නිතර ඇයට පැවසුවත් ගණන් හිලව් වගයක් ලැයිස්තු කරන්න තියනවාය, මට සනීප නැතේය, යනුවෙන් බොරු හේතු කියා ඒ සෑම විටකම මා මගෑරියාය.

මා ඇගේ පියා හමුවී අපි දෙදෙනා සම්බන්ධකමක් පවත්වන බව කෙලින් කියා සිටියේ විවාහයක අවශ්‍යතාව මට තිබුණු නිසා මෙන්ම දීපිකා මට අහිමි වෙන ලකුණුත් පහල වෙමින් තිබෙන නිසාවෙනි.

"මැණිකෙත් එක්ක සාකච්චා කොරල උත්තරයක් දෙන්නම්කො. මේවා එහෙම තකහනියේ කරන්න පුළුවන් කාරනා නොවේනේ"


ඇගේ පියා වන සමරපාල මහතාගෙන් ලැබුන පිළිතුර එසේ විය. විශ්‍රාමලත් රාජ්‍ය සේවකයෙක් වූ සමරපාල මහතා පිළිබද මා විශ්වාසය තැබීමි. මට සතුටු දායක ප්‍රතිපලයක් ලැබෙතියි බලාපොරොත්තුවෙන් සිටි නමුදු ඔහු හමුවීමට නිවසට කීප වතාවක් ගියත් ඔහු මගෙන් වසන් වීමට උත්සාහ ගන්නා බව මට තේරුම් ගත හැකි විය.  

මා  ලංගම බසයක කොන්දොස්තරකම කරන නිසාත් මගේ නොන්ජල්කම නිසාත් අපේ ආදරයට.............., නැත.......... අපේ...... නැත.....මගේ සම්බන්ධකමට ඇගේ නිවසින්ද  බාධා පනවන්නට ඇතැයි මම සිතුවෙමි. සමරපාල මුදලාලිගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් කල් යල් බැලීමක අවසාන ප්‍රතිපලේ ඇයගේ විවාහය හොර රහසේම තීන්දු වීමය.

කසාදයක් කරගැනීමේ සිතුවිල්ලට ඇස්පනා පිටම කන කොකා හැඬුවේ දීපිකා දෙමාපියන්ගේ ආශීර්වාදය සමගම ව්‍යාපාරිකයෙක් සමග පිටගම් ගිය දා පටන්ය. මිනිහෙක්ට ගෑනියෙක් අවශ්‍ය නිසා කසාදයක් බැඳීමට නමට "ගැහැනියක්" සොයාගන්න අවශ්‍යයයි යන හැඟුම මිසක ආදරයක් පෙරටුකොටගෙන නම් නොවේ මා දීපිකාගේ ඇසුර පතන්නේ. දීපිකා ගමෙන් ගිය දා මගේ සිතට එතරම් දුකක් නොදැනුනේ මා කොන්ද පණ නැති නොන්ජල් මිනිසෙකු නිසා නොව ඉහත්තාවේ කියපු ඒ කාරණය නිසාමය. 

දීපිකා මට වඩා සිව් වසරකින් ලා බාල වුනත් මට වඩා වයසක් ඇගේ මුහුණෙන් ඇය දෙස බලන්නෙකුට දැකිය හැක. දීපිකා එන්න එන්න කැත වුනා. වයසට වඩා වයස පෙනුනනේ. දීපිකා මගුල් ඇඳුමට තරබාරු වී සිටි බැව් සිතින. මම මගේ හිතට එසේ සිතන්නට උත්සාහ කළා නොව ඉරිසියාවක් වැනි හැගීමක් මට එසේ සිතීමට බල කළේය.

දොරට ගසන හඬක් අසුනෙන් කමිසයක් කරලාගෙන දොර පළුව මෑත් කර නිදිමත ඇස් පිහ දදා මිදුලට බැස විපරම් කලෙමි.  කිසිවෙක් නැත. මටම බැණ වදිමින් එන්නට හැදුකල අඹ ගහ යට සිමෙන්ති බැංකුව උඩ හිඳගෙන උන් රුවක් මගේ ගමන බාධා කළේය.
තවත් කිට්ටු වී සැක හැර දැන ගතිමි. 

කවුරුත් නොව ඒ

"දීපිකා" ය  



Thursday, March 8, 2012

අකාරුණික දෛවය

"නොදකින් මේ වැස්ස, උදේ ඉඳන් චුරු චුරුව, කඩේකට පිලකට යන්න නෑ, රෙද්දක් වේලාගන්න නෑ, ළමෙක්ට ඉස්කෝලෙකට යන්න නෑ, පොඩ්ඩක් පායනකන් ඉඳල එලි පෙහෙලියට බැස්සොත් අයෙත් කඩා පාත් වෙනවා. තුහ්:" 


හප හපා හිටි  බුලත් හපේ ඉස්සරහින් ගලාගෙන යන වතුර පාරට දාල වැහි වතුරටම දෝත පාල කටත් හෝදගෙන තමන්ගේ ඉරණම අත්වෙච්ච සෙසු පිරිස දිහා සමස්ත බැල්මක් හෙලු 
මැදි විය මීට වසර පහලවකට පෙර ගෙවා දැම්ම ඒ මනුස්සයාගේ කතාවෙත් ඇත්තක්  නැත්තෙමත් නෑ කියල මට හිතුනේ දැන් මමත් මේ කඩ පිලට ඇවිල්ල පැය භාගයකටත් කිට්ටු වෙන්න ආව හන්දා.
 

අද සෙනසුරාදා හින්දා වරුවෙන් බෝඩිමට යන්න කියල හිතන් ආවට ඉතුරු වරුවත් මෙතනම ඉන්න වෙයි කියල මගේ හිතේ තිබුනෙත් අර වයසක මනුස්සයාගේ හිතේ  තිබුන සිතුවිල්ලට සමාන සිතුවිල්ලක්.

 තවත් ඒ විදිහටම පැය භාගෙකට ආසන්න කාලයක් හිටියත් සතුටුදායක ප්‍රතිපලයක් නැති හින්දා මම බෝඩිමට එන්න ආවේ පොඩ්ඩක් තෙමුනත් කමක් නෑ බෝඩිමේ ඇඳට වෙලා හවස් වෙනකම් පොරෝගෙන නිදා ගන්න එකනේ කියල හිතලා. 
උදේට කෑම එක අරන් යන බ්‍රවුන් පේපර් කවරේ ඔලුවට තියාගෙන වතුර වලවල් බේර බේර බෝඩිම පැත්තට අඩිය ඉක්මන් කලේ ඇඟේ හිරිගඩු පිපෙන සීතල මගේ ගතේ අන්තිම ජවයත් උදාසීන කරලා දාන්න කලින්. සපත්තු දෙක අඩිය තියන තියන වාරයක් ගානේ "ච්රිස් ච්රිස්" ගානවා. 


සපත්තු මේස් තෙත බරියම් වෙලා. ඇඟිලි කරුවලට හරි අමුත්තක් දැනෙනවා. සපත්තුව වැස්සට තෙමිලා අඩිය ගැලවුනොත් පහුවදාට කන්තෝරු ගිහිනුත් හමාරයි. අද ගත්තු පඩි පැකට් එකෙන් මේ හදිස්සියේ සපත්තු දෙකක් ගත්තොත් මාසේ යන්තම්වත් රෝල් කරන්න වෙන්නේ නෑ.  ඒ සිතුවිල්ල මගේ ගමන තවත් පමා කළා.


කඩවල්, බස් නැවතුම්පළවල්  වලට මුවා වේවි, බෝඩිමේ දොර ලඟට ඇවිත් නතර වෙනකොට ඇඳුම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වතුරෙන් තෙත් වෙලා. ඒ මදිවට කළු කලිසම පුරාම මඩ පාරවල්. එකත් ඉවසන්න පුළුවන් ඒත් මෙච්චර හෙමින් ඇවිල්ලත් සපත්තුවේ අඩිය ගැලවිලා තියනවා දැකලා මගේ කටින් සිංහල ශබ්දකෝෂයේ නැති වචනක් පිටවුනේ හිතේ තියන තරහටම. ඊටත් වඩා දුකට.  ඔලුව දිගේ බේරෙන වතුර උදේ කන්තෝරු යද්දී ඔලුවේ ගාපු පොල් තෙල් ටික මූණට හෝදගෙන ඇවිල්ල. පොල් තෙල් වල මුඩු රහත් දිවට දැනෙන්න ගත්තායින් දනී පනී ගා බෝලකුඩුවේ එල්ලලා තිබුන සරම් කඩමාල්ල පටලවාගෙන තෙත ඇඳුම් ටිකත් ගලවල කලිසම විතරක් පුටුව උඩ වනල ඉතුරු ඇඳුම් ටික බේසමට ඔබාගෙන නානකාමරයට රිංගුවේ වතුර පනිට්ටු දෙකක් වක්කරගෙන හොඳ ප්ලේන්ටියක් බීලා ඇඳට ගුලිවෙලා ඔලුවේ ඉඳන් පොරවාගෙන නිදා ගන්න හිතාගෙන. කලිසම හෝදන්න පැය බාගයක් වත් යන නිසා එක හෙටට කල් දානවා.
මේ සීතලේ ඕක හෝදන්න බෑ කම්මැලියි.

 
පැය බාගයකට විතර පස්සේ නාන කාමරයෙන් ඇවිත් හෝදපු ඇඳුම් ටික පිළිකන්නේ වැලෙන් වැනුවා. සැහැල්ලුම බතික් සරමට බැස්සේ අත්දිග කමිසයකුත් කරලාගෙන.
වතුර ටිකක් රත් කරන්න හීටරේ ගහල මේසේ ගාවින් ඉඳගෙන මේසෙට දාල තියන පත්තර කෑල්ලේ තියන වචන ටික කියෙව්වේ පුරුද්දට වගේ,

අඩුසීනි, වැඩි කහට ප්ලේන්ටිය මට කවදත් රසය. සීනි බෝතලය හුරලා හුරලා හදා ගත්තු ප්ලේන්ටිය මහා තිබහකින් තොලගාමින් ජනේලය ලඟට කිට්ටු උනේ ඉස්කිරිම ළඟ තෙමෙන තැනට පොඩි බේසම් කෑල්ලක් තියාගෙනම. 

 

වැස්ස ආයෙමත් වැඩි කළා. හුළං පාරකුත් සැරේටම හමනවා. ඇඳ ගාව ජනේලයේ වීදුරුවේ මෙහා පැත්තෙන් මතුවෙලා තිබ්බ වතුර වාෂ්ප බින්දු ටිකේ ඇඟිල්ලෙන් ලොකු අකුරෙන් "තනිකම" කියල ලිව්වේ ඇයි කියල මට තේරුමක් තිබුනේ නෑ.  නමුත් ඒ වචනේ දිහා බැලෙන බැලෙන වාරයක් ගානේ මගේ හිත මහා ආත්මානුකම්පාවකින් දැවෙන්න පටන් ගත්ත. මට මහා අසරණකමක් දැනෙන්න ගත්ත. නෑදෑයෙක් සහෝදරයෙක් වත් නැති කාත් කවුරුවත් නැති කොළඹ වන්නියේ ගෙවන්නේ මොන කරුමක්කාර ජීවිතයක්ද කියල හිතුනා.   අන්තිමට කරේ දාගෙන හිටපු තුවායෙන්ම එක පාරින් වීදුරුවේ "තනිකම" මකල දැම්මට හිතේ පැල්  බැඳගෙන ඉන්න "තනිකම" මකන්න ඒ තරම් ඉක්මනට බැරි බව මට හොඳටම සහතිකයි. 


තේ කෝප්පය ඉවර වෙනකොට මට නිදිමතක් ආව හන්ද කෝප්පය ජනෙල් ගැට්ට උඩ තියල ඇඳට පැන්නා. "ඩොහ්" ඇඳ පොල්ලක් ගැලවිණි. අමාරුවෙන් තටමාගෙන ඒක තිබුන විදිහට හදාගෙන බෙඩ් ශීට් එක පොරෝ ගත්තේ සැප නින්දක් දාන්න. 

  
ගෙදරට සල්ලි කීයක් වත් යැව්වේ නෑ. කාලෙකින් අලුත් කමිසයක් ගත්තේ නෑ. අලුත් ඇඳුමක්වත් නොගෙන පඩියෙන් බාගයක් අම්මට යවනවා. නංගිටත් විභාගෙට වියදම් සැරයිලුනේ. තාත්ත නම් බිබී කියව කියව ඇති. අම්ම පොලට ගිහින් ආවද දන්නේ නෑ. චුටි නංගිය දැන් දන ගානවා ඇති.


අනම් මනම් විකාර හිතුවිලි මාව පැය 3 කටත් වඩා නින්දක අතරමන් කරලා. හිටි හැටියේ ඇහැරුනේ කන ලඟම විදුලියක් කොටන සද්දෙට. අවේලාවේ නිදාගැනීමෙන් ඇඟට දැනෙන කාලකන්නි ගතිය මදිනොකියන්න දැනුන. හතර වටින්ම අඳුර. 
අතගාල අතගාල බිත්තියේ ස්විච් එක හොයාගෙන දැම්මට වැඩක් නොවුනේ එවලේ කරන්ට් එක නැතුව තිබුන හන්ද
කෝට්ටේ යට තිබ්බ ගිනිපෙට්ටියේ ඉතුරුවෙලා තිබ්බ කුරු දෙකෙන් එකක් අරන් ඉටිපන්දමක් පත්තු කළා. 

වැස්ස පායලා තිබුනට තවමත් කොහාට හරි වහිනවා. එකයි මේ විදුලි කොටන්නේ. මගේ හිතේ සිතුවිල්ලක් එහෙම හිතුව. 
දනී පනී ගාලා කුණු කෙල ටික හෝදගෙන කන්න මොනා හරි හදන්න බලනකොට මතක් උනේ උයන්න තියා සම්බෝලයක් හදන්නවත් බී ළුණු ගෙඩියක්වත් ලෑලි තට්ටුව උඩ නෑ නේද කියල.

"නොදකින් අමන වැස්ස හන්ද එලවළුවක් ගේන ඒකත් අමතක වුනානේ. දැන් ඉතින් පලයන්කෝ පයින් හන්දියට."

හිතේ අවේගකාරී හිතුවිල්ලක් හිස ඉස්සුවේ එහෙම.  

කේන්තිය පිටින්ම  පොකට් පිරුන මගේ ප්‍රියතම කොට කලිසම ඇඳන් හිටපු කමිසය පිටින්ම ඇන්දේ ගැලපීමකට කියල විශේෂයෙන් අඳින්නේ නැති හන්ද. පුටුව උඩ වනපු ඇඳන් ගියපු කලිසම අතට අරන් පර්ස් එක හොයනකොට මගේ ඔලුවට පොල්ලකින් ගහනවාක් මෙන් දැනුනි.   
උගුරකට වෙලුනේ අම්මගෙත් ලොකු නංගිගේත් චුටි නංගිගේත් මුහුණු වේගයෙක් එකින් එක මගේ හිතේ මැවෙද්දී.  


"දෙයියනේ මගේ පර්ස් එක ? "

Saturday, March 3, 2012

පණපිටින් මියැදෙමි

අතට ගත්තු වැලිකැට අහුරක් ආයෙම වැලි ගොඩකට දාල පිස්සුවෙන් වගේ ආයෙම අතේ තිබුන වැලිකැට ටිකම හොයන්න හදන කෙනෙක්ගේ හිතක් වගේ මගේ හිතත් තියෙන්නේ හරිම අවිනිශ්චිත තැනක. විඳින්න ඕනේ තරම් දුක් විඳලා විඳලා, හිතල හිතලම අන්තිමට මට පිස්සු හැදීගෙන එනවා වගේ හිතෙනකොට, දැනෙනකොට ඔලුව හයියෙන් ඇඳ වියලේ ගහගෙන ගහගෙන යන්නේ හිතේ තියන කේන්තිය නැති වෙනකම්. 

එත් අන්තිමට නළල පුරා කැටි ගැහුණ රතුම රතුපාට ලේ බින්දු කීපයක් ඇරෙන්න හිතේ ඉතිරි වෙන්නෙ  තවත් තරහක් විතරයි කියල අනන්තවත් හිතුනට මේ දේ ගොඩක් දවස් වල මගේ අතින් වුනා. වෙලාවක් අවේලාවක් නැතුව අඳුරු කාමරයේ බිත්ති හතරට කොටුවෙලා ඇඳේ ගුලිවෙලා ඉන්නකොට දන්නෙම නැතිව නින්ද යනවා. එහෙම ඇස් පිය වුන වෙලාවක ජීවිතේ හා හාපුරා පටන් ගත්ත ඒ සොඳුරු අතීතය නිශ්චිත සැලසුමක් රටාවක් නැතුව  පියවරෙන් පියවර  අපැහැදිලි සිතුවමක් වගේ සිහින මං මාවත්වල සිත්තම් වෙද්දී මහා ලෝභ කමකින් හිත පිරෙනකොට කොච්චරනම් හීනෙන් හිනා වෙලා ඇහැරිලා ඇත්ද, ඒ  වගේම මං කරුමක්කාරයෙක් කරපු ඒ අතීතෙට බයවෙලා ශාප කරගෙන, මං කෑගහගෙන අඬාගෙන කොච්චරනම් නැගිටලා ඇත්ද ? දවස තිස්සෙම ඇස් රතු පාට වෙනකම්, උගුර ලේ රහ වෙනකම් මං ඇඩුවේ ඔයාගේ ඔය දඩබ්බර හිතේ උණුසුම හිතේ හැටියට විඳින්න බැරුව පැටියෝ.

අමාරුවෙන්  ඇඟේ තියන හයිය ඔක්කොම අරන් ඇඳේ අනික් පැත්තට හැරිලා බිත්තිය දිගේ යන කළු කුඹි පේලිය ගණන් කරන්න හැදුව. දන්නෙම නැතුව හිත පාවෙලා පාවෙලා යන්නේ ඒ අතීතයටමයි. කොයි තරම් හිත අතීතය ඉල්ලන එක නවත්තන්න හැදුවට මට එක කරන්න බෑ. ඒ තරමට ඒ සුවඳ මගේ නහරයක් නහයක් ගානේ පැතිරිලා.  ඉතින් මං කියල මොකක් කරන්නද. කඳුළු කැට වලට අවසරයි ඔහේ ගලාගෙන යන්න. තවත් දෙනෙත් වල නවතින්නෙම නැතුව.


කල්පයක් පෙරුම් පුරලා පුරලා හිතේ රජවෙච්ච පුංචි දඩබ්බරකාරිගේ ඒ හිනාවට, අතොරක් නැතුව කියවන පුංචි දෙතොලට මම පැලීගෙන ආදරේ කළා. මොකක් හරි වැරද්දක් කරලා ඒ ඇස් ඉස්සරහ අසරණ වුන දවසට ඒ ඇස්වල මැවෙන ආදරණීය තරවටුවට තමයි මං ගොඩක්ම බය වුනේ.


සමහර කාලවලදී අපට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්න ආපුහාම ඔයා මගේ අත්දෙක අල්ලාගෙන මට හේත්තුවෙලා බිම් බලාගෙන ඇහෙන නොඇහෙන ගානට අඬනකොට මං කොයි තරම් අසරණ වෙනවද කියල ඔයා දැනන් හිටිය හන්ද වෙන්නැති මං අඬන්න එපා කියල කිවම, "මං අඬන්නේ නෑ රත්තරන්" කියල කඳුළු අස්සෙන් බොරු හිනාවක් මවාගෙන මං දිහා, මගේ ඇස් දිහා ඇහිපිල්ලමක්වත් හෙලන්නතුව බලාගෙන ඉන්නේ. ඔයා එහෙම බලපු හැම දවසකම මගේ ඇස් තෙත් වෙනවා, ආයාසයකින් ඒ කඳුළු කැට නවත්තගන්න මට හයියක් තිබුනේ නෑ. ඊටත් වඩා ඕනේ කමක් තිබුනේ නෑ.   මං අඬනකොට මගේ කඳුළු දිහා බලලා ඔයා මට අඬන්න එපා කියනවා. කොහොම හරි ඒ අඬපු  හැම දවසකම අපි දෙන්නම අඬ අඬ හිනා වුනා. . අඬලා අඬලා අන්තිමට මේ හිතේ නහරයක් නහරයක් ගානේ පැතිරිලා තියන, කාවැදිලා තියන ආදරේ එක හුස්මකට අරගෙන ඔයාගේ පුංචි නළල් පොඩියෙන් තියන්නේ උණුසුම්ම උණුසුම් හාදුවකින්. ඒ හාදුව දුන්නට පස්සෙත් ඔයා ඒ හාදුවට ලෝභකමෙන් වගේ ඇස් පියන් ඉන්න දිහා බලන් ඉන්න මං ගොඩාක් ආසයි කියල දවස් කීපයක්ම කියන්න හැදුවත් මොකක් හරි හේතුවක් නිසා අද වෙනකනුත් මට ඒක කියා ගන්න බැරි වුනා. හදිස්සියේ මතක් වෙන මේවගේ කතා කියන්න ඔයා ලඟට දුවගෙන දුවගෙන එන්න මට හිතෙනවා මැණික. මං එනවා දැකල ඔයාගේ මුණේ ඇඳෙන ඒ හිනාව මට අයෙත් බලන්න ඕනේ මගේ වස්තු.  මට කල්පයක් ජීවත් වෙන්න ඔය හිනාව හයියක් වෙනවා. ඉස්සර මං එහෙම කියපු දවසක


"ආ එහෙනම් ගෙදරින් ගිහින් තියා ගන්න එකනෙ ඇත්තේ හැමදාම බල බල ඉන්න." කියල


ඔයා කට උල් කරලා කියනකොට මං

"හිතේ ඇති අපේ ගෙදර එන්න" කියල


ඔයාගේ නහය රතුවෙනකම් මිරිකුවේ ආදරේට කියල ඔයා දන්නවා. කොයි තරම් හයිය හිතක් මට තිබුනත් ඔය අහිංසක ඇස් අග්ගිස්සේ පිපෙන කඳුළු මල් මගේ පිරිමි හිතේ හයිය නැත්තටම නැති කරලා දානවා, මං මහා බොළඳ විදිහට ඔයාට ආදරේ කලේ ලස්සන ලෝකයක් හිතේ මවාගෙන. දෙවියනේ අපි මොන තරම් සැහැල්ලුවෙන් සන්තෝසෙන්ද හිටියේ. අද ඒ හිනාව, අහිංසක මුරණ්ඩුකම මගෙන් උදුරගන්න තරම් දෛවය නපුරු වෙලා. හිනාව, ඔය බැල්ම මට ආයේ කවදාවත්ම හොයාගන්න බැරි හැතැප්ම කෝටි ගානක් ඈතට ගිහින්.  



මාත් එක්ක අව්වේ වේලි වේලි පැය ගණන් කතා කර කර ඉන්නකොට, එකම බස් එකේ හතර පස් සැරයක් එහාට මෙහාට යනකොට මගේ හිතට දැනෙන්නේ පුදුම හැගීමක්. ඔයත් එක්ක ගෙවපු හැම තප්පරයක්ම මගේ ජීවිතෙන් හරි ලස්සනට ගෙවිල ගියා. ඔයා බස් එකේ කවුළුවෙන් ඈත අනන්තය දිහා බලන් මොන මොනවද හොයනකොට මං ඔයා දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. මගේ හිත මටම කීකරු නෑ ඒ වගේ වෙලාවට. ඔයා හදිස්සියේම මාව මතක් වෙලා මගේ උරහිසේ ඔලුව ගහගෙන වරු ගණන් කියවන ඔය මුහුණේ මැවෙන හැම හිනාවක්ම අයිති මට විතරමයි කියල මං කොච්චර ආඩම්බර වෙලා ඇත්ද. ගෙදර ගිහිනුත් කොච්චර හිත හිතා ඉන්න ඇත්ද. මගේ නින්දවල් කොච්චර හොරකම් නම් කරලා ඇත්ද ඔයා.
හරියටම 2010.03.27 දවසේ හැන්දෑවේ අපි වෙන් වුනේ කොච්චරනම් ආදරෙන්ද.
දවස තිස්සෙම ඔයාගේ හුස්මත් එක්ක දැවටී දැවටී ඉඳල ඔය ඇස් මානයෙක් මිදෙන්න මගේ හිත ලෝබකම් කළා, ගෙවෙන තත්පරයක් ගන්නේ ඔයා ලඟම ඉන්නමයි හිත.

"ඔයා එන්න ඕනේ නෑ මට යන්න පුළුවනි"


"බෑ බෑ මට ඔයාව තනියම යවන්න බෑ, කළුවරත් වැටෙනවා"


"මාත් එක්ක මගට ඇවිත් ගෙදරට අහුවුනාම ආයේ කවදාවත් හම්බෙන්න බැරි වෙනවට කැමතිනම් එන්න"

"පොඩ්ඩ දුරක්"

"පොඩ්ඩ දුරක්වත් එපා"


"ම්...ම් එහෙනම් පරිස්සමෙන් ගිහින් ගිය ගමන් මට කෝල් එකක් දෙන්න"


"ම්.... මං බහිනවා.... බුදුසරණයි."


"බුදුසරණයි"

ජීවිතේ මං ගොඩක්ම ආස කරන හිනාව ඔයාගේ දෙතොල් අතරට අවෙත් ඔයාගේ අතින් මගේ අත ගිලිහුනෙත් එකම වෙලාවක. 

ගෙදර ගිහින් ඔයාගෙන් කෝල් එකක් එනකම් මග බලන් හිටපු මම ඔයාගෙන් කෝල් එකක් අවේ නැති හන්ද බය වෙලා හිටියේ.  රෑ 8 ත් පහු වෙලා. දෙපාරක් හිත හිත ඉන්නැතුව බයික් එකේ නැගල මං ඔයාගේ ගෙවල් පැත්තට ඉගිලුනේ කොච්චර කැළඹීමකින්ද..
යන අතර මගදිත් ෆෝන් එක අරන් බැලුවේ ඔයාගෙන් මැසේජ් එකක් වත් තියද කියල. 
මහා මුසල කමක් පාර පුරාම පැතිරිලා. අනේ දෙවියනේ මගේ රත්තරන්ට කරදරයක්ද.....මගේ හිත ගැහෙන සද්දෙට මමත් බය වෙලා හිටියේ. නෑ නෑ එහෙම වෙන්නේ නෑ.  මම සැහැල්ලු හුස්මක් අරන් ඉස්සරහ බලාගෙන තවත් හයියෙන් අක්සිලේටරය මිරිකුවා.

ඔයාගේ ගෙවල් කිට්ටුවට එනකොට.........

දෙවියනේ ඇයි මෙච්චර පාර පුරා මිනිස්සු. ඊටත් වඩා ඔයාලගේ ගෙදර එකම විලාපයයි. අනේ මගේ මැණික. ඔයාට කරදරයක්වත්ද. නෑ නෑ එහෙම වෙන්නේ කොහොමද අපි කාටවත් වරදක් කරන්නේ නෑනේ. මගේ හිත සන්සුන් කරගන්න මට විනාඩි කීපයක් ගත වුනා.

බයික් එක පැත්තකට කරලා නවත්තල පාරේ ගිය කෙනෙක්ගෙන් ඇහුව.


"අංකල්...... මොකද මේ කලබලේ"

"දෙයියෝ නුහුලන අපරාද ළමයෝ මේවා"

"ඇයි අංකල් මොකද වෙලා තියෙන්නේ"

"දෙව්මිණි කෙල්ල"

"ඉතින්"

මට කෙලින් සිටගෙන ඉන්න බැරි විය.  කන්දෙක රත්වීගෙන මා වටේ ඇති සියලු දේ කැරකෙන්නට විය.


"දුෂණය කරලා මරල දාල"


හුස්ම ගන්නට නොහැකි වී...මගේ පපුව මොහොතක් නැවතිණි..
පෙම්වතෙක් තමන්ගේ ආදරණීය පෙම්වතිය ගැන අහන්න අකමැතිම දුක්බරම කාලකන්නිම වචන වලින් එකක් අහන්න මට සිද්ධ වුනා.

"දෙ...........ව්.............මි...............ණි...............!"

බොහෝ දෙනෙක් බොහෝ දේ තේරුම් ගන්නට ඇත.

ලෝකය මගේ ඉදිරියේ  කඩා වැටුණි... මාරු විකාරෙන් මම බයික් එකට නැගල පුළුවන් තරම් හයියෙන් පාරට ආවේ යන තැනක් හිතා ගන්න බැරුව. කව්රුත් නැති තැනක නවත්තගෙන පැය ගානක් ඇඩුවා. මං ඔකුන්ගෙන් පලි ගන්නවා, දෙව්මිණි ...ඔව් මගේ රත්තරන් මමත් ඔයාට සාධාරණයක් ඉෂ්ට කරලා ඔයා ළඟටම එනවා, එහෙම හිතල ආයෙම දෙව්මිනිගේ ගෙවල් පැත්තට අවේ පුදුම වේගෙකින්. දෙනෙත් පුරා බැඳුනු කඳුළු පටලය මට මග ඇහිරීය...ඉදිරියෙන් පේන ඇස් කන කරන එළියෙන් පාර තවත් පෙන්නේ නැති හින්ද බයික් එක ස්ලෝව් කරා.

"දඩාන්"

මට මතක එපමණයි

......................රෝහලේ මාස ගණනකට පසු................................


යන්තම් වත් පියවි සිහියට එන විට මගේ ඉනෙන් පහල පණ නැති බව දැනුනු විට යන්තම් ඔලුව උස්සා බැලු කල  දුටු දෙයින් හිත අදහා ගත නොහැකි විය.

දෙවියනේ මගේ කකුල් දෙක.

----------------------------------------------------------------------

මගේ ආදරණීය රත්තරන් දෙව්මිනිගෙන් ජීවිතය උදුරලා ගත්ත කාලකන්නින්ගෙන් පලිගන්න මට කකුල් දෙකක් මවල දෙන්න කියල විතරයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ.. 

Sunday, February 26, 2012

අපිත් ගියා හඳපානේ හොරපාරෙන් [1]

හඳපාන තරම් සෞම්‍යවුත් සුන්දරවුත් තවත් ආලෝකයක් මිහිපිට ඇත්දැයි මම නොදනිමි. එමෙන්ම රාත්‍රී අඳුර,  සැබැවින්ම සඳ එලියතුල ගැබ්ව ඇති අව්‍යාජ සුන්දරත්වය කවියන් කිවිඳියන් මෙතරම් ආදරයට උපමා කරගන්නෙත් ඒ නිසාම වෙන්නැති. වරෙක ඇය සඳ එලිය වෙයි. වරෙක ඔහු සඳ එලිය වෙයි. තවත් වරෙක සඳ එලිය මොවුන් දෙදෙනාගේම නිහඬ සාක්ෂිකාරයෙක් වෙයි. ඉතින් සඳ එලියට ලොබ බඳින්නට ඔබගේද මගේද හිත් ආසා නොකරන්නේ නම් පමණකි පුදුමේ. සඳ එලිය ගැන වර්ණනා, අටුවා ටීකා ටිප්පටිකා තවත් කීමෙන් පලක් නොවන්නේ යයි හිතෙන නිසා එවන් වූ සෞම්‍ය සුන්දර හඳ එළියේ මා විඳි ඒ කොමලියගේ සීතල පහසේ ඔබත් තවත් එක් සාක්කිකාරයෙක් කරන්නයි මේ සුදානම.

වර්ෂය...ඒකාන්තයෙන්ම 2010...... ඔව් 2010 තමයි.  ඒ උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ 

ජීවිතයේ නිදහස්ම කාලේ උපරිමයෙන්ම විඳගෙන ඉන්න අපිත් හරියට ග්‍රීස්ම නිවාඩුවේ "මොණරනැටුම් ගලේ" අපි යවන පාට පාට සරුංගල් වගේ. ඈත ආකාහෙට ඉගිල්ලෙන්න වෙර දරන අපේ හිතුත් තේඩාව කඩාගෙන යන්න 
අපේ ඇඟිලිත් එක්ක පොරකන සරුංගල් වගේ. අපේ හිත් කොච්චර නම් නිදහස්ද. 
උක්ත ආක්‍යාත, ඇරිස්ටෝටල්ගේ දාර්ශනික පාඩම්, ප්‍රස්තුත, ග්‍රීක්ගේ වර්ගීකරණ 
මේ මොනවත් නැති හිත හරියට නිල් පාටට පායලා තියන අහස වගේ. මොනවයින් නම් බරක්ද.?

මේ මොහොතේ ඔබේ ඒ සොඳුරු කාල පරාසය ගැන මතක් වී ඔබේ හිතට මහා ලෝබකමක් දැනුනානම් මං අතිශයින්ම සාර්ථකයි. 
එසේ නොවුනා නම් දැන් මොහොතක් ඒ ගැන සිතන්න, අනිවාර්යෙන්ම ඔබේ හිතේ කොනක 
අමුතු දැවිල්ලක් හටගනිවී.
ඉතින් මං උත්සාහ කලේ මං එදා සිටි මානසිකත්වය යම් තරමකින්වත් ඔබට පහදලා දෙන්න. මොකද මේ කතාව අවසානයේ ඔබත් ඒ කතාවේ එක් සාක්කිකාරයෙක් වන නිසා.


අපි පොඩ්ඩක් අතීතයට යමු...
අපේ ගෙවල් තියෙන්නේ කැළණි ගං ඉවුරේ මේ ලෝකෙන්ම තියන ලස්සනම ලස්සන තැන. අදටත් මං හිතන් ඉන්නේ එහෙම. සමහර දාට හීනෙනුත් දකිනවා. පුංචි කාලේ ඉඳන් ගඟ අපේ ජීවිතත් එක්ක ගොඩක් කිට්ටුයි. දවල් 12.00 විතර ගඟට බහින අපි කොල්ලෝ කාන්ඩේ ගොඩ එන්නේ ඉතින් හවස 6.00 ත් පහුවෙලා. සීතල වතුර ඒ වගේම රත්තරන් පාට වැලි තලාව අපේ හිත්වලට ගෙවල් අමතක කරන මායාවක් වෙනවා. අපේ එල්ලේ ගැහිලි, ක්‍රිකට් ගැහිලි,  කොඩිගස් දැමිලි, අල්ලන සෙල්ලම්, කෙහෙල් කොට පාරු පැදිලි, ටැක්ටර් ටියුබ් සවාරි, මේ ඔක්කොම ගැන ඇහුවොත් ඒ රත්තරන් පාට වැල්ල අකුරක් නෑර කියයි. අවාසනාවට අද අපි අවාසනාවන්තයෝ වෙමු. ඒ කාලේ අපේ ගෙවල් ඉසව්වේ අපේ පුංචි කකුල් වලට නොපෑගුන වැලි කැටයක් නැති තරම් මයෙ හිතේ


නොවෙනස්වෙන එකම දේ වෙනස්වීම වුනත් කැළණි ගඟටත් ඒ ධර්මතාවය මේ තරම් ඉක්මනින් උදා වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවේ නෑ. බලු මස් පවා විකිනෙන වෙන්දේසි ඇති රටවල් තියන කොට, ගඟක මුහුදක තියන වැලිකැට රුපියල් සත මවන උල්පතක් නොවී තියේවිද? ඉතින් තන්හාකාර මිනිස්සු අපේ ගඟත් අල්ලාගෙන ඉවරයි. ධනවතුන්ගේ සල්ලි බලෙන් බැකෝ, ටැක්ටර් එක යුද්දෙට ඉවුරු සමතලා කරනවා. ඒ සල්ලි උල්පත ගොඩ දාන්න.

අපිත් ඒ කාලේ පුංචි කොලු ගැටව්.. මේ ව්‍යාපාරය ඉස්සෙස්ලම අපේ ගමේ ලස්සන තැන් ටිකෙන් ටික බිලි ගන්න පටන් ගන්නකොට (2000 අවුරුද්දේ) ඒ කියන්නේ මං පහ වසරේ. යෝධ බැකෝ ටැක්ටර් අපිට හරි අමුතු යන්තර සුත්තර, පස් කපන හැටි, ලොරි වලට පටවන හැටි, 
බැකෝ එකේ අයිය දාන වැඩ කිඩ ඕව තමයි වීරක්‍රියා. ඉතින් අපි අපේ කටවල් අරගෙන මේ වෙන්න යන වින්නැහිය ගැන හාන්කවිසියක්වත් නොදැන බලාන ඉන්නවා. ඉස්කෝලේ ඇරිලා ආවගමන් දුවන්නේ වත්තට. 
ඒ උදේ යනකොට ගමේ නොතිබිච්ච වෙනස්කම් දැකගන්න. 
දවසට දෙකට ගම එහෙම පිටින්ම කණපිට ගහල. 
අපි හැංගිමුත්තන් තිබ්බ කෝපි කැලේ දැන් හරියට කාන්තාරයක් වගේ. 
අදටත් නහයට කෝපි සුවඳක් දැනෙනකොට තැලිලා පොඩිවෙලා තිබුන අපේ කෝපි කැලේ මතක් වෙලා බඩ පපුව හෝස් ගාල පිච්චිලා යනවා.

ගමේ කොහොමෙන් කොහොම හරි වැලි තොටුපළවල් 4 ක් 5 ක් හැදුණා. අපි ගමේ කවදාවත් නොදැකපු මිනිස්සු පාර පුරාම. අපට නුහුරු වචන, (බෝන්ඩාර), වගේ ඒවා හරි හරියට. දැන් ගජ රාමෙට මිනිස්සු වැලි ගොඩ දානවා. උදේ පාන්දර 5 ට විතර පටන් ගන්න මේ කෙරුවාව නවත්තනකොට රෑ දෙගොඩ ජාමෙත් පහුවෙනවා.

ඉඩෝර කාලෙත් වැහි කාලෙත් වෙනසක් නැතුව ගමේ කවුරුත් වතුර ටිකක් නා ගන්න ගඟට තමයි යන්නේ. කොල්ලෝ කුරුට්ටෝ, වැඩිහිටියෝ, ගෑනු ලමිස්සියෝ වගේම අමුඩ කොට ඇඳගෙන නාන වයසක සීයල පවා ගඟෙන් තමයි නාගන්න තමයි ආස.  ඉතින් මේ වැලි සෙල්ලම හන්ද ගෑනු ලමිස්සියන්ට තියා කොල්ලෙක්ට වත් ගඟට බහින්න බැරි තත්වයක් තමයි තිබුනේ. කොතැනක බැලුවත් මිනිස්සු සීයක් විතර ගඟේ වැලි ගොඩ දානවා එක යායට. ඉතින් කොහොම කෙල්ලෙක් ගඟට බැහැල නාගන්න කියලද. ගඟේ හැම තැනම ගැඹුරු වලවල්, ඒ වගේම තොටුපළවල් අයිනේ බෝන්ඩාර හිටවල. බෝට්ටු නවත්තල. ඉතින් ගමේ මිනිස්සු වගේම අපිත් මේ මිනිස්සුත් එක්ක ජම්මාන්තර වෛරයෙන් හිටියේ.

බෝට්ටු කියන්නේ සාමාන්‍යෙන් මුහුදු යන බෝට්ටු. ඒවාට ලෑලි තටුවක් ගහල වැලි කියුබ් බාගයක් පුරවන්න විදිහට හදා ගන්නවා. ගඟ මැදට ගිහින් වැලි තියන තැනක් බලලා බෝට්ටුව පුරවාගෙන පස්සේ ඉවුර අයිනට ගෙනල්ල අර කලින් කිව්ව බෝන්ඩාර උඩ වැලි කූඩ තියල බෝට්ටුවේ ඉඳන් සවලෙන් පුරවල එකා දෙන්නා කරෙන්ම තොටුපලට ගිහින් දානවා.  

කවුරු බැන්නත් අපි නාන වෙලාවට ගඟට බහිනවා. අපි මේ මිනිස්සුත් එක්ක තරහෙන්නේ ඉන්නේ. මොකද බෝට්ටුවක් උඩට නැග්ගොත් බනිනවා. ආයේ බොන්ඩාරයක් උඩට නැගල "ජබොස්" ගාල වතුරට පැන්නත් බනිනවා. වැලි තොටුපලේ වැලි ගොඩවල් උඩ නැගල සෙල්ලම් කරත් බනිනවා.


අපේ ගෙවල් ගාව තවත් එක තොටුපලක් තිබුන. ඒක කරපු මිනිහට අපි නමක් හැදුවා, පස්සේ එක රෙජිස්ටර් වුණා. "රතු සරමා", මිහිහ හැමදාම අඳින්නේ රතු පාට සරමක්, ඉතින් ඒක තමයි හේතුව. මිනිහ පොඩි පිහියක් නිතරම ඉනේ තියන් ඉන්නේ. අපි  වැලි ගොඩවල් උඩ නටල අහු වුනොත් ඌ ඒ පිහිය පෙන්නලා කියනවා


"අහු වෙන්න එපා වැලි ගොඩක් උඩ නැගල, තොපේ  අහවල් එක කපනවා" කියල


අපිත් මොකටද අහවල් එක කපාගන්නේ කොහෙවත් යන එකෙක්ට කියල මනුස්සය ඉන්න දවසට පැත්ත පලාතෙවත් නොගිහින් අනිත් දවස් වලට නොගිය දවස් වල පාඩුවත් එක්කම පිරිමහනවා., රතු සරමත් අපේ හතුරෙක්..


මේ තරහ පිට කරන්න අපි කොල්ලෝ කාන්ඩේ එක්ක තොටුපළවල් තියන තියන තැන් වලට ගිහින් බෝට්ටු ගිල්වනවා. ඒක හරිම ලේසි වැඩක්. බෝට්ටුවේ. පිටිපස්සේ තියනවා පොඩි ඇබයක්. ඒක ගලවල අපි එතනින් හිමීට මාරු වෙනවා.  පුංචි සිදුරෙන් වතුර බෝට්ටුව ඇතුලට පිරිලා සම්පූර්ණයෙන්ම ගිලෙන්න කොහොමත් විනාඩි 25 ක් 30 ක් යනවා.  අපි හිමීට පීනලා පීනලා ඇවිත් සබන් ගාගෙන ගෙදර යන්න හදනකොට ඔක්කොම වැඩ වෙලා ඉවරයි. ඉතින් සමහර බෝට්ටු වැලි පිටින්ම ගඟ පතුලට යනවා. ඉතින් පහුවදා වැලිගොඩ දාන කට්ටිය වැඩ නවත්තල ගිලුන බෝට්ටුව ගොඩ ගන්න දඟලනවා. දුකේ බෑ.  අපට ඉතින් ඊට වඩා සන්තෝසයක් නෑ. සතියකට සැරයක් නම් අනිවාර්යෙන්ම බෝට්ටුවක් ගිලෙනවමයි. ඉතින් අපි කොරා කියල දන්නවනම් එදා ඉඳන් ගමේ වසලත් හමාරයි.  නාලා කරලා ගෙදර හෙම ගිහින් හවසට එනවා ප්‍රතිපලේ ස්ථීරවම බලල යන්න. ගඟේ වතුර වැඩි කාලෙට කවුරුවත් මේ වැලි තොටුපළවල් වල, වාඩිවල නෑ. ඉතින් වැලි කුඩ, බෝට්ටු පදින රිටි, බෝන්ඩාර හෙමත් අපි හුරේ කියල ගඟට දානවා. ඒ කාලේ වැලි ගොඩ දාපු කවුරුත් මගේ බ්ලොග් ඒක කියවන්නේ නෑ කියල මම දන්නවා. ඉතින් බයක් හැකක් නැතුව ඔක්කොම කියන්න පුළුවන්. ඉස්සර අපි විතරක් දැනගෙන හිටපු ඒ රහස දැන් ඔබත් දන්නවා. එකයි මුලින් මම කිවේ ඔබත් දැන් ඒ කතාවේ සාක්ෂිකාරයෙක් කියල. බැරි වෙලාවත් මගේ කරුමෙට වැලිගොඩ දාපු එකෙක් මේ කතාව දැනගෙන, හිටි හැටියේ මං අතුරුදහන් වුනොත් හෙම බ්ලොග් ඒක කියවපු ඔය ගොල්ලෝ මොකද වුනේ කියල හොයල බලල සාක්ෂි දෙන්න ඕනේ අපි ඒ දේවල් කලේ ගඟට තියන ආදරේට මිසක් වෙන මොකටවත් නෙමෙයි කියල.


පොස්ට් එක දිග  වැඩියි , කලින් මේ කතාව දාල මහා අපබ්‍රන්ශයක් වුණා. ඒක හන්ද කොටස් දෙකකට දාන්නයි කල්පනාව.

Tuesday, February 21, 2012

ඩොන්ගල් අයියාගේ පොල්ල

එදා මෙදා තුර ජීවිතේ මට ලැබුණු ගොඩක් දේවල් ලැබිල තියෙන්නේ හරි අමුතු විදිහට. කොහොමද කියනවනම්  ගොඩක්  දේවල් අතට ලැබෙන්න ඔන්න මෙන්න තිබිල මග හැරිලා  ඒ දේවල් ගැන බලාපොරොත්තු නැතිකරගෙන ඉන්න කාලෙක තමයි මට ඒ දේවල් හම්බවෙලා තියෙන්නේ.

සපත්තු දෙකක් ගත්තා එකත් එහෙමයි

කොම්පියුටරයක් ගත්තා එකත් එහෙමයි.

පස්සේ කාලෙකදී පෙන් ඩ්‍රයිව් එකක් ගත්තා එකත් එහෙමයි.

ප්‍රින්ටරයක් ගත්තා එකත් එහෙමයි

තව ගොඩක් දේවල් තියනවා. එත් ඒවා මෙහෙම දාන්න ගියොත් අර ගෙදරකට ගැරඩියෙක් ඇවිත් වෙච්ච කතාවේ අනික වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියන හන්ද ඔය ඇති.

දැන් මං මේ කියන්න යන කතාවත් එහෙම එකක්.

මේ කතාව කියවල  අනිවාර්යයෙන්ම ඔබ මා ගැන නිගමනයක් දෙනු ඇත. "ඒ උඹ තරම් මෝඩයෙක් මෙලොව තවත් නැත යනුවෙනි."

[පැතුම් කියන්නේ  හරි අමුතු මනුස්සයෙක්. සමහර දේවල් ගැන ඕනෙවට වඩා හිතනවා. සමහර දේවල් හිතන්නත් කලින් කරලත් ඉවරයි] මේ කතාව පුරාම මා මෝඩයෙකි. පුත්තලම් බුරුවෙකි


මේ අසමජ්ජාතියා නොහොත් ඩොන්ගල් අයියා මට මුලින්ම මුණගැහෙන්නේ 2008 අවුරුද්දේ මැද භාගයේ. (අපි ඔහුව ඩොන්ගල් අයියා කියා හඳුන්වමු)

කොහොමද කියල කියනවනවා නම්...


දුක් විඳලා විඳලා බලාපොරොත්තු ඇති කරගෙන නැති කරගෙන නැකත් බලල ගත්තු කොම්පියුටරයෙන් මම සෑහෙන්න හම්බ කළා. සෑහෙන්න කීවට එච්චරමත් නෙවෙයි. ඒ වුනාට ඒ කාලේ එක මට ලොකු ගානක්. මම ගොඩක් සන්තෝසෙන් හිටියේ. හම්බකලේ මෙහෙමයි. ඔය කියන කාලේ මම හීනියට   ව්‍යාපාරයක් කර කර හිටියේ. ඒ කියන්නේ "සිංහල ඉංගිරිසි ටයිප් සෙටින්ග් හා යන්තම් ග්‍රැෆික් ඩිසයින්" වලින් ගමේ එක එක්කෙනාගේ ලියුම් කියුම්, ඉල්ලුම්පත්‍ර, පෙත්සම්, දැන්වීම්, ආරාධනා පත්‍ර, සමිති සමාගම් වල අයවැය ලේඛන හෙම ටයිප් සෙට් කරලා දීල තමයි.


කොච්චර සල්ලි වලට ආස වුනත් සමහර දුප්පත් මිනිස්සුන්ගෙන් නම් මම සත පහක්වත් අයකලේ නෑ. විලියොන් ආතා තමන්ගේ ඉඩම තන්හාකාරයෝ  බලහත්කාරයෙන් අල්ලගත්දී ආණ්ඩුවේ උස් තැන් වලට යවපු ලිපි, අයෙම සෝමා නැන්දා සමුර්ධිය හදා ගන්න ලියන ලිපි, බාලසුරිය අයියගේ සැත්කමට ආධාර ඉල්ලලා ලියපු ලිපි මම කලේ සත පහක්වත් ගන්නැතුව. මම මේ ටික කිව්වේ මගේ ධාර්මිස්ඨකම පෙන්නන නොවෙයි.
මම ඊළඟට ලියන වාක්‍යට පෙර සුදානමක් ගන්න. ඔය කියපු ධාර්මිස්ඨකම හන්ද ගමේ කීදෙනෙක් මගෙන් වැඩේ කරගෙන

"එන්නම් පුතේ"  කියල ගිහින් ඇත්ද.?..

එදාට පිනක් දහමක් කළා කියල හිත හදා ගන්නවා ඇරෙන්න මොකද මම රෙද්ද උස්සන් පස්සෙන් පන්නන්නයෑ

"දීපිය සල්ලි" කිය කියා

කොහොමෙන් කොහොම හරි මගේ බිස්නස් එක නැගල යනකොට ව්‍යාපාරයට පොඩි ප්‍රචාරණයක් දෙන්න කියල ඉතින් මමත් A4 කොලවල ලස්සනට නම් ගම් දාල දැන්වීමක් ප්‍රින්ට් කරලා ගම වටේම ගහල, අහල ගම්වල හන්දිවලත් ඇලෙව්වා.
ෂාහ් : ප්‍රමෝෂන් අයිඩියා එක නියමෙට වැඩ. හිටු කියල ප්‍රතිපල.

උසස් පෙළ කරන කාලේදී නම් උදේට ඉස්කෝලේ යනවා හවස ඇවිත් අර වැඩ කරනවා. උදේට ඉස්කෝලේ යනවා හවස ඇවිත් වැඩ කරනවා අම්මයි තාත්තයි ටිකක් අකමැත්තෙන් තමයි හිටියේ ඉස්කෝලේ වැඩ පාඩු කර ගන්නවා කියල. මේවා නොකලත් කොහොමත් පාඩු වෙන හන්ද මම පාර්ට් ටයිම් වැඩේ දිගටම කරගෙන ගියා.

කලින් කියපු දැන්වීමක් බලල තමයි ඩොන්ගල් අයිය මාව හොයාගෙන ඇවිත් තියෙන්නේ.
කොහොමෙන් කොහොම හරි එදා කවුද කින්ද මන්ද කියල අහනකොට තමයි දැනගත්තේ මේ මගේ පරණ ස්කොලේ මට උගන්නපු හොඳම ටීචර් කෙනෙක්ගේ පුතෙක් කියල.
ටීචර්ට කරන ගරු කිරිල්ලක් වශයෙන් මමත් ඩිස්කවුන්ට් පිට වැඩේ ලස්සනට කරලා දුන්න. රස්සාවකට ඉල්ලුම් කරන්න අයදුම්පතක් තමයි හදන්න තිබුනේ..

ඉතින් ඔහොම කාලයක් යනකොට මේ ඩොන්ගල් අයියා නිතරම එයාගේ එක එක ලියුම් කියුන් සහතික හදන්න අරව මේවා කරන්න නිතර නිතර ආවා ගියා. වැඩි දුර ඈතක නෙමෙයි අල්ලපු ගමට අල්ලපු ගමේ. ඉතින් මගේ ගමේ යාලුවෙක් වගේ ඒ අයියා ෆිට් වුණා. අනික එයා මට තව තව වැඩ අල්ලලා දුන්න.

දැන හඳුනා ගැනීමෙන් බොහෝ කාලයකට පසු....


 (මේ කියන කාලය තුල මා බොහෝ අත්දැකීම් වින්දෙමි, හඳපානේ වැලි ගොඩ දැමීම වගේ ත්‍රාසජනක සිද්දි වලට මුහුණ දුන්නේ මේ කාලයේ. ඒ කාලය ගැන කතා පසුවට කියමි)

දිනය හරියටම 2009.01.03.  අපි ප්‍රදීප් අයියලාගේ ගෙදර බ්ලොග් ගල් වගයක් ඇද ඇද හිටියේ. එතනත් දිග කතාවක් තියනවා එක පස්සේ කියන්නම්.

මට කෝල් එකක් ආවා

"හෙලෝ පැතුම් මල්ලි, කොහෙද ඉන්නේ" 

"යාලුවෙක්ගෙ දිහා ඇයි අයියේ"

"චාන්ස් එකක් තියනවා"

"මොකද කියන්නේ මිස් කරගන්න එපා"

"මොකක්ද අයියේ"

"ස්ටාෆ් පැකේජ් තියන ඩොන්ගල් ගන්න පුළුවන් අහවල් කොම්පැනියෙන් මගේ යාලුවෙක් ඉන්නවා."

ෂාහ් මේකනම් නියම කතාවකි. විස්වාශ කරන්න මගේ හිත මේ මොහොතට ඩොන්ගල් එක මගේ කොම්පියුටරයට හයි කරගෙන බොහෝ දුරක ගොස් සිටියෙමි

"හෙලෝ හෙලෝ පැතුම්"

"ආ ඔව් අයියේ කියන්න. කොහොමද ගණන් එහෙම"

"ස්ටාෆ් පැකේජ් හන්ද 3000 ට දෙන්නේ, 
මම ඔයාලගේ ගෙවල් කිට්ටුව ඉන්නේ. දැන් සල්ලි දුන්නොත් සතියකින් වැඩේ ෂුවර්" 

"හරි අයියේ එහෙනම් හරි මං දැන්ම එන්නම්"

ඒක කොච්චර ක්ෂණික තීරණයක්ද

දහසකුත් තව කීපයකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන මගේ කුළුඳුල් ඉන්ටර්නෙට් හීනය හැබෑ කරගන්න ඔන්න ඔහොමයි මම ගෙවල් පැත්තට පියවර තිබ්බේ.

හඳපානේ වැලි ගොඩ දමන හින්දා අතමිට බොහෝ සරුය. අතේ මිටේ සල්ලිත් නිතරම තිබුන. එකතු කරගත්තු රුපියල් 5000 කින් මම රුපියල් 3000 හදල ඩොන්ගල් අයියාට දුන්න.

එත් එදා අපේ අම්ම කියපු කතාව ඇහුවනම්*......

සතියකුත් ගතවුනා. අම්මෝ එක කොච්චර හෙමින්ද ගෙවුනේ.

මගේ සිහිනය ඉටු වෙන්නේ අදයි. දහයට විතර උදෙන්ම නැගිටලා මම ගත්ත ඩොන්ගල් අයියට කෝල් එකක්.

"මල්ලි තප්පරෙන් ගන්න මම පොඩ්ඩක් බිසී"

ආයේ පැයකින් ගත්තා

"මල්ලි අරුව කන්ටැක්ට් කරගන්න බෑනේ. හෙට අනිවා වැඩේ ෂුවර් මම ගෙදෙට්ටම බඩු ගෙනත් දෙන්නම් "

පහුවදාටත් එලි වුනා. මිනිහ මොකක්ද පෙට්ටියක් අරගෙන එනවා.
අදනම් මගේ ඩොන්ගලේ ගේනවා වගේ.  ෂාහ් මු කොච්චර හොඳ පොරක්ද.....

මනුස්සය මට කාර්ඩ් රීඩරයකුත් අරන් එනවා

"මල්ලි මේක මං පාවිච්චි කරන්නේ නෑ ඔයාට දෙන්නයි ගෙනාවේ" .

මමත් ඉතින් තැන්ක්යූ කියල  කට *** වගේ හදාගෙන ගත්තා.

"මල්ලි මාර සීන් එක අරකට තව ඩිපොසිට් 1000 ක් තියන්න වෙනවා. උට එක කලින් අමතක වෙලා."

"අහ් එකත් එහෙමද ඉන්නකෝ එහෙනම් "

කියල ඉතුරු 2000 න් 1000 ක් ගෙනත් දුන්න.

එදත් ඩොන්ගල් අයියා ලියුම් වගයක් හදාගෙන ගියා. මට කාර්ඩ් රීඩරයකුත් දුන්න හන්ද මම නොමිලයේම සේවාව සැපයුවා.

"එහෙනම් එන්නම් මල්ලි"

කියල මු යන්න ගියා

සතියක් ගෙවුන. මාසයක් ගෙවුන.  ඔය දවස් ටිකට මම මුට ගත්ත කෝල් වලට ගීය සල්ලි එකතු කළා නම් අලුතෙන් නම්බු පිට ඩොන්ගලයක්  ගන්න තිබුන. හරියටම මාස 2 ක් වෙන්නත් ආවා

මුගේ ෆෝන් එක නෝ අන්ස්වර්. මම ගෙදර හොයන් ගියා. මු ගෙදරත් නෑ.

මුගේ ෆෝන් එකට empty  massege  යවල   delivery රිපෝර්ට් එක ආව ගමන් තමයි මුට කෝල් කරන්නේ. ඇයි කොයි වෙලේ බැලුවත් මුගේ ෆෝන් එක off.

දහ අට සන්නිය නටල නටල යන්තම් කතා කළා.

"මල්ලි වැඩේ ටිකක් අමාරුයි අරක ගන්න අමාරුයි තව 900 යනවලු මොකද කියන්නේ මං ආපහු සල්ලි දෙන්නද"

"මොකටද 900 ක්"

"මගේ යාළුවා දැන් ඒ කොම්පැනියෙන් අස් වෙලා. ඉතින් ගෙන්න ගන්න අමාරුයි.
උඹට වුණ පොරොන්දුව ඉෂ්ට කරන්නත් එපැයි"

"මොන මගුලක්ද අයියේ මාව අන්දන්න ලැස්ති වෙන්න එපා."

"අපෝ පිස්සුද මල්ලි. මං එහෙම කරනවද ඔයාට ?"

නහයට උඩින් වතුර ගියාට පස්සේ ඊට උඩින් ගියත් එකයි නැතත් එකයි. ඉතින් මම දුන්න 4000 ටත් ඔය බණේම තමයි

"හරි මම 900 ක් අරන් අද එන්නම්. හැබැයි මට සතියක් ඇතුලත භාණ්ඩේ ඕනේ"

මාගේ ඒකායන බලාපොරොත්තුව ඩොන්ගලයක සාඩම්බර හිමිකරුවෙකු වීමය. මගේ තීරණ ඒ හීනය විසින් තමයි පාලනය කලේ

කොහොම හරි එකත් දුන්න. අයෙත් කෝල් ගන්න දන්න සන්නි ඔක්කොම දාල බැලුවත් බැරි වුනා. දැන් මාස හරියටම 5 ත් පැනල.

ගෙදරින් එහෙන් බනිනවා. මෙහෙන් විලි ලැජ්ජාව. කොල්ලෝ නම් උට නෙලන්න යන්න කතාව.

අන්තිමේ දෙකෙන් එකක් බේරගන්න කියල හිතාගෙන සෙට් එක එක්ක
උන්ගේ ගෙදර ගියා

ගෙදරින් අහපුහම අදට රට ගිහින් සති 2 ක් ලු. උන්ගේ ආච්චි අම්ම  කිව්වා.   


නොදකින් &$%$^@)(*& පුතා. මක බෑවිලම පලයන්. සත්තයි මගේ හිතෙන් එහෙමම කියවුන.

"ආච්චි මේ............. උට..........." කියල ඩබල පටන් ගන්න හදනකොටම මං උගේ පිටට ගහල යමන් කිව්වා.

පුදුමයි ඒකා මගේ අණට කීකරු වුනාමයි

++++-------------+++++

එදා වෙන තුරු අදටත් මගේ හීනය සුනු විසුනු කර දැමු ඩොන්ගල් අයියා ජීවතුන් අතරද නැද්දයි මං දන්නේ නෑ.

මට පොලිසි යන්නට බැරිදැයි කාට හෝ සිතෙන්නට පුළුවන. නමුත් මගේ මෝඩ කමට මොන පොලිස්සිද කියා සිතා  හා තවත් එකම එක සිද්ධියක් නිසා මට පොලිසියෙන් පිහිටක් පැතීමට නොහැකි විය. -


"පුතේ ඔය ලමයව විශ්වාසද"

"ඔවු අම්මේ අර අම්මත් දන්න අර ටීචර්ගේ පුතානේ"

"එක හරි. කාගේ පුතා වුනත් ඔහොම එකපාරට විශ්වාශ කරන්න එපා"



එදා අම්මා කියූ දේ ගැන නොසිතු මම අදටත් පසුතැවෙමි

අන්තිමට ඩොන්ගල් අයියා මට  පොල්ලක් තැබුවේය. මු පොලු කාරයෙක් බව අහලින් පහලින් දැනගන්න විට මා බොහෝ ප්‍රමාද වැඩිය.

එයින් පසු මා කා ගැනවත් එක එල්ලේ විශ්වාශ නොකරන්නට නම් පුරුදු වුනෙමි. ඒ මදැයි...
 

Friday, February 17, 2012

අසම්පූර්ණ පොපොච්චාරණය

කොයි තරම් දුක හිතේ හංගගෙන හිටියත්, නෑ නෑ මට දරාගන්න බැරි තරම් දුකක් නෑනේ. ඉතින් එහෙව් එකේ ඇයි මං දුක් වෙන්නේ. හිතාගන්න බෑ නමුත් මටවත් නොතේරෙන හිතේ කැකෑරෙන දුකක සේයා පටලයක් මගේ හදවතේ අඳුරු පැත්තේ පැටලිලා කියල නම්  මට තේරෙනවා. එත් කවුද දෙවියනේ මේකට වග කියන ඕනේ......?  ඔව් මං දන්නවා "ඔයා". ඔයාම තමයි මේකට වග කියන්න ඕනි. තනිකම පාළුව ඉහ ඉත්තාවේ මට ඔච්චම් කරනකොට අර කියපු සේයා පටලය කටු අත්තක් වෙලා මට අරියාදුවට වගේ හිතේ දුර්වල තැන් හොයා හොයා රිදවනකොට.....ඉතින් මම දෛවයේ සරදමට ලක් නොවෙනු පිණිස කුමක්නම් කරම්ද. ජීවිතයෙන් පලා යා යුතුද. ? එසේත් නැතිනම් මේ දුකෙහිම ගිලෙමින් මගේ හදවතේ  අන්තිම ලේ බින්දුවත් ගිනි කාෂ්ටක පොලව සිපගන්නකම් සටන් කල යුතුද ?

මම මේ සටහන අකුරු කරන්නේ හරියටම පෙම්වතුන්ගේ දිනයේ හීතලම හීතල හැන්දෑවක හෙන්දිරික්ක මල් පිපුන වැට ළඟ තියන ලී කොටේ උඩ ඉඳගෙන. කඳුළු හිත යට හංගගෙන එකපාර්ශවියව පෙම්වතුන්ගේ දිනය  සමරන සුවහසක් පෙම්වතුන් පෙම්වතියන් අතරේ මමත් අද නිහඬවම පෙම්වතුන්ගේ දිනය සමරනවා. ඒ මං නොදැකපු ඔයාගේ ආදරේ හිතෙන් මවාගන්න උත්සාහ කර කර....

ඔයත් අද දවස කොච්චර සන්තෝසයෙන් සමරන්න හීන මවන්න ඇත්ද.?. අද උදේ ඉඳන් ඔය පුංචි ඇස් අග්ගිස්සෙන් කඳුළු කැට කීයක් නම් කොපුල් සිපගෙන යන්න ඇත්ද ?. ඒ ගලපු හැම කඳුළු කැටයක් ගානෙම මට සාප වෙයි. මම ඔයාට කලේ ලොකු වැරද්දක්......ඔව්. මම දැන් ඒ වැරැද්ද නිවරද්දක් කරන්න උත්සාහ කරන්නේ නම් නෑ. මොකද ඒ ගන්න හැම උත්සාහයකදීම ඔය නිල් පාට පුංචි ඇස් රතු පාට වෙනව කියල මම දන්නවා. "කෙල්ලෙක් අඬනවා මට බලන් ඉන්න බෑ" කියපු මමම ඔයාව කොච්චර අඬවන්න ඇත්ද ?.

ඔයා කියන විදිහට මම "ආදරය අඳුනන්නේ නැති ගලක් වගේ හිතක් තියන නපුරුම නපුරෙක්"
ඒක මම දන්නවා. ඒක තමයි ඔයාව මෙච්චර ඇඩේව්වේ. ජීවිතේ කිසිම කෙල්ලෙක්ට ආදරේ කරලා නැති මට ඔයා ඉස්සෙසේලම ආදරෙයි කිව්වා. කිසිම වටිනාකමක් නැතුව ඔහේ ගෙවිල ගිය මගේ ජීවිතේ ඔයාගේම කරගත්ත. ඒත් මං ? ඔයා වෙනුවෙන් මොනවද කලේ.?. ඔයා මගෙන් ඉල්ලපු ආදරෙවත් මම ඔයාට දුන්නද.. ඇයි මේ තරම් මම අත්මාර්ථකාමියෙක් වුනේ. මං ඔයාට "ඒකපාර්ශවික ආදරකාරි" කියල ඔච්චම් කළා. එදා ඔයාට මොනවා හිතෙන්න ඇත්ද.?

අපි පටන් ගත්ත යාළුකම, මිතුරුකම මේ තරම් දුරක් යාවි කියල මම හිතුවේ නෑ. ඇත්තමයි. අදට ටික දවසකට කලිනුත් මම හිතාගෙන හිටියේ ඔයා කරන්නේ විහිළුවක් කියල.

ඔයා මට හම්බුන විදිහ... අපි අතරේ තිබුන බැඳීම ගැන අපි දෙන්නට  ඇරෙන්න වෙන කාටවත් තේරුම් ගන්න බෑ කියල මම දන්නවා. කාටවත් කීවට කවුරුවත් හරියට තේරුම් ගන්නේ නෑ කියලත් මම දන්නවා. ඉතින් අපේ හමුවීම කෙසේ වීද යත් සටහන් කරනු වස් ගන්නා සෑම උත්සාහයක්ම අර්ථ ශුන්‍යවන නිසා, අපි අපේ හදවත් වලින් විතරක් ඒ අතීතය විඳිමු. එවන් සුන්දර අතීතයක් ඔබ සමග විනා අන් කවරෙක් සමගවත් බෙදා ගන්නට මගේ හිත ලොබ කම් කරයි. ඔබට ඔබවත් අහිමි කල. මට මාවත් අහිමි කරගෙන යන ඒ නොයිඳුල් අතීතය ඔබට මෙන්ම මටද වදයක් වූ දිනක ඒ අතීතය අපේ හදවත් වල ගැඹුරුම ඉසව්වක රහසේම සම සමව බෙදාගෙන වලදමා අපේ ආදරයේ සොහොන් කොත් ඉදි කරමු.

මට මේ මොහොතේ හිතෙන සියලු දේ මීට කලින් නොතේරුණේ මන්ද. මගේ දුර්වලකමද. ? නැති නම් මගේ මෝඩ කමද. ?

ඔයා මං ලියපු කවි වලට ආදරේ කරන්න ඇති. මම කියපු කතා වලට ආදරේ කරන්න ඇති. ඒත් ඒ ආදරේ කරපු හිත කවමදාක හරි මේ පිස්සාටත් ආදරය කරයි කියල මම හිතුවේ නැත්තේ ඇයි දෙවියනේ... එහෙම කලින් දැනුනානම් මෙතරම් දුකක් අපේ හදවත් වල ඉතිරි නොවනු ඇත. මේ තරම් කඳුලැලි මෙලොව නොදකිනු ඇත.

මං මේ කවිය ලියුවේ හිතට ආපු සිතුවිල්ලක් හන්ද. කවුද හිතුවේ මේ කවිය ඔයාගේ හිත මෙච්චර දුරකට අරන් ගිහින් අතරමං කරයි කියල.

" ඔය හිත ලග දොඩමලු වෙන්න මොහොතක්
ඔබ නොදන්නවා වුනාට
ඒක හිතක් පෙරුම් පුරනවා
නොදන්නවා වගේ ඉඳල දැන ගත්දාට
දුක හිතේවි
එත් කඳුලක් නම් වැටෙන්න එපා
හිනාවුණ ඔය දෙනෙනිතින්
පහු වෙලාවත් මං හන්දා" 


ඔයා මං ගැන හිතන්න පටන් ගත්තේ මේ කවිය හන්දලු. ඔයා කිවේ මං ඒ කවියෙන් කිවේ ඔයයි මමයි ගැනලු. මේ කවිය ඔයාට එව්වේ ඔයා මගේ කවි වලට ගොඩක් ආස බව මම දන්නා හන්ද. ඉතින් මම ලියන හැම කවියම මම ඔයාට යවනවා. මේ කවියේත් මම විශේෂයක් දැක්කේ නෑ. කවුද එත් හිතුවේ මගේ කවිවලට වගේම මගේ හිතටත් ඔයා ආදරේ කරයි කියල.


අන්තිමට මම හීනෙකින් වත් නොහිතපු වෙලාවක ඔයා මට ආදරෙයි කිව්වා. අවාසනාවකට මට ඔයාගේ ආදරේ තේරුම් ගන්න බැරි වුණා. ඔයා මගෙන් ආදරේ ඉල්ලලා කොච්චර ඇඩුවද.? මම ඔයාට මගේ හිතේ එහෙම දෙයක් නෑ කියල කියන්න කියන්න ඔයා දිව්රලා කිව්වේ මං ඔයාගේ ජීවිතේ කියල. ඔයාට ආපුහු හැරෙන්න බෑ කියල.

"කිසි දිනක හැබැහින් දැකපු නැති කෙනෙකුගේ හිතකට මේ තරම් මැරීගෙන තවත් හිතකට ආදර කරන්න පුලුවන්ද ?" මම අහපුහාම ඔයා කිව්වේ

"මං ආදරේ කරන්නේ රුපයට නෙමෙයි හදවටයි"  කියල...

කලින් වතාවකුත් නොදැකපු රුවක හිතකට ආදරේ කරලා දුක් වින්ද හොඳටම ඇති. එක පාරක් වැටුන වලේ අයෙමත් සැරයක් වැටෙන්න මගේ හිත සුදානම් නෑ.


මං පෙරදින වින්ද වේදනාව ඔයාටත් මටත් අයෙම විඳින්න වෙයි කියල මම බය වුණා.

මගේ ආදරණීය පාඨකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා මා සාධාරණද අසාධාරණද කියා නිගමනය කරන ලෙස....

අන්තිමට මම ද්වේශ සහගත ලෙස ඔබගෙන් ඈත් වුණා. මං ගැන අමතක කරලා ඔයාගෙම අලුත් ජීවිතයක් හදාගන්න කියල විතරක් කෙටි පණිවිඩයක් යවල  හරියටම මාසයක් ඔයාගෙන් එන දුරකථන ඇමතුම් වලටත් කෙටි පණිවිඩ වලටත් උත්තර බඳින්නේ නැතුව මම නිහඬවම උන්න.  ඔයාගෙන් පනිවිඩ කීයක් ආවද. ඇමතුම් ? මම කොච්චර දරුණුද ?

අන්තිමට ඔයා මට කතා කරන එක නැවැත්තුව. මං හිතුව ඔයා හිත හදාගන්න ඇති කියල... මේ වෙනකොටත් මම ඔයාගේ ආදරේ තේරුම් අරන් නෑ.

කෙල්ලෙක්ගෙ හිතක් තේරුම් නොගන්න තරම් මම අදක්‍ෂයෙක් වුණා. ඇත්තටම කෙල්ලෙක්ගෙ හිත මේ තරම් සංකීර්ණද ? හරියටම  පෙම්වතුන්ගේ දවසේ මහා රෑ එකට විතර ඔයාගෙන් ආපු මැසේජ් එකට මට ඔයාව හොයාගෙන එන්න හිතුන. ඒ ඔයාට ආදරෙයි කියල කියන්න නම් නෙමෙයි. (කියවන ඔබ මා ගැන කුමන ආකල්පයෙන් සිතුවත් කම් නැත) ඔයාට ඇත්ත තේරුම් කරලා ඔයාගේ ජීවිතේ ඔයා දුක් වෙන එක නැති කරන්න.

"ඔයා  මගෙන්  ඈතයි .  ඒක  මං  දන්නවා  ඒත්  හිත  ඒක  පිලිගන්නේ  නෑ   මොන  හේතුවක්ද  මන්ද .. "

ඔයා එහෙම කියල දිග මැසේජ් එකක් එව්වම ඔයා තවමත් මං ගැන හිත හිත දුක් වෙනවා කියල මට දැනෙනකොට ඔයා ගැන පව් කියල හිතුණා. ඔයාගේ හැම කඳුලකටම වග කියන්න ඕනේ මං නේද කියල හිතුණා.

හැම රැයක් රැයක් ගානේ අඩලා  අඩලා කොට්ටේ පොගන ඔයාගේ කඳුළු කැට මට ඒක පාරටම නවත්තන්න බැරි වෙයි. ඔයාගේ වාසනාවට හරි අවාසනාවට හරි මගේ හිතේ ඔයා ගැන ආදරයක් හිතිලා නෑ. එතකොට මං මෙච්චර වෙලා කියෙව්වේ මොන අහවල් කෙන්ගෙඩියක්ද. ආදරණීය පාඨකයාණෙනි මටත් ඇයටත් වැරදුන තැන එතනයි. නැත ඇයට වැරදුනේ නැත. වැරදුනේ මටය. කරන තරමක් මෝඩ වැඩ කර කර ඇගේ හිත රිදෙව්වේ මමයි.

අහේතුකව හිතකට බලාපොරොත්තු දුන්නේ මමයි (ඇය කියන විදිහට)

නමුත් මා අද ඒක දෙයක් දනිමි. එනම් ගැහැණු ළමයින් ආදරය ගැන ඕනෙවටත් වඩා හිතන බවයි. මා එහි වරදක් දකින්නේ නැත. නමුත් මට තේරුම් ගන්න නොහැකි බොහෝ දේ ඒ ආදරය තුල ගැබ්ව ඇති බව මා දනිමි.

සිතුවිලි අතින් ඔබ මට වඩා පොහොසත්ය. ආදරය අතින්ද එසේමය.

අවාසනාවකට මට ඔබේ ආදරය වටහා ගන්නට තරම් වාසනාවන්ත නොවූවෙමි.  සමහර විට මට ඔබෙන් තරම් ආදරයක් මතු කිසි දාක නොලැබෙනු ඇති. කම් නැත. මට උවැසි වන්නේ ඔබ සතුටින් සිටිනු දැකීමය. මගේ හිතේ ඔබ ගැන ඇති වුයේ ආදරයක්ද අනුකම්පාවක්ද ?

මතු දිනක මා ඔබ හමු වීමට එන බව ඔබ දනී. නමුත් මා කියන්නේ නැවත නැවතත් මා ගැන අහිතක් නොහිතන ලෙසය.


මගේ හිතත් අසම්පූර්ණ අගක් මුලක් නැති මේ සටහන වගේමය. ඉතින් අසම්පුර්ණ හිතේ ප්‍රතිරූපය අකුරු වලට නැගුන කල සම්පූර්ණ සටහනක් නම් කෙසේ නම් ලියවෙන්නද ?

- ප.ලි -

සමහර විට මම ඇයට  ආදරය කරන්න ඇති. නමුත් එය හංගගෙන මා මෙතෙක් වෙලා උත්සාහ කලේ පාඨක ඔබට   කුමක් කියන්නටද ?. හුදෙක් මා ආදරණීය වංචාකාරයෙක් පමණක් බව නොවේද. ?. මාගේ ක්‍රියාකලාපයන් සාධාරණිය කරණය කරන්නට නොවේද?. හිතේ ආදරයක් ඇති නමුත් නැති බව මා කියා ආදරෙයි නොකියා කියුවා නොවේද. ?..

මා වංචාකාරයෙක් නොවේද ?