Tuesday, February 26, 2013

මම ගහපු පොටෝ

වැඩි කතාවක් ඕනේ නෑ. කොටින්ම කියන්නම්කො මම පොටෝ ගහන්න හෙන ආසයි..එහෙම ගහපු පොටෝ ටිකක් දාන්න හිතුනා.  මේවා ගොඩක් ගහලා තියෙන්නේ ෆෝන් එකෙන් ඈ..  Sony Ericsson K800i |3.2 Mega pixels, Sony Ericsson J102i2 | 5 Mega Pixels  පොටෝ දෙකක්ද කොහෙද තියනවා 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු. ගින්දර වගේ  කනෙක්ෂන් එකක් තියන මැසිමක් හම්බුනා ඔෆිසියෙන්..ඉතින් පට පට ගාලා පොටෝ ටික ඇදලා දැම්මා බොගට. ඔහෙලගෙ මැසිමේ කනෙක්ෂමෙන් පින්තුර ඔක්කොම පෙනේවිද කියලා තමයි සැක...


අම්මගේ මල් පාත්තියේ අටපෙතියා මල් පොටෝ ගහන එක තමයි මම කැමතිම.කොහොම ගැහුවත් පට්ට...හොඳට අව්ව වෙලාවක් බලලා කැමරාව අල්ලපුහාම මැක්සා... ඊට පස්සේ පොටෝසොප් වලින් පොඩ්ඩක් වැඩ කෑල්ලක් දාපුහාම ඊටත් වඩා ගති.




අපේ ඔෆිස් එකට දවසක් පෙනුන කොළඹ අහස



කනෙයියාවෙක් මල උඩ








දඹුල්ලේ විහාරේ 

බෝඩිමේ ඉඳන් ගෙදර යන දවසක ගත්ත ගංගාරාමේ සීමා මාලකය
  
පරාක්‍රම සමුද්‍රය

දඹුල්ලේ විහාරේ  


පොළොන්නරුවේ "නරුපොළඟා" කොටලා තියන ගල උඩ  ඉඳන්

 12 MP ට ආසන්න කැමරාවකින් ගහපු එක

මතක විදිහට රුවන්වැලි සෑය






12 MP ට ආසන්න කැමරාවකින් ගහපු එකක්
අපේ ගමෙන් ටිකක් දුර ගියාම තියන නාන ස්පොට් එකක්

 සාතන් අයියයි බට්ටයි මමයි ගිය අවුරුද්දේ අග ගියා නානු ඔය රේල් හයික් එකක්. මේ තියෙන්නේ එකේ පින්තුර ටික. 
ෆොටෝෂොප් වලින් කලර් බැලන්ස් හදලා පොඩ්ඩක් ක්‍රියේටිව් ටයිප් ලුක් එකක් දුන්නා ඇරුනම වෙන වෙනසක් කරලා නෑ











රදැල්ලට වැටෙන මුල්ම ඉර එලිය


ඈතින් සිරීපාදේ පේනවා



පැනරාමා එකක් ගැහුවා








දවසක් පොඩි ලෝගෝ එකක් ඩිසයින් කරලා පොටෝ වලට දැම්මා. සමහර පොටෝ වල තඩියට තියෙනේ ඒක තමයි. ලෝගෝ දාපු ටික ඔරිජිනල් ටිකට රීප්ලේස් වුනා. දැන් හොයහන්කෝ ඔරිජිනල් ටික..ඒ ටික ගෙදර ඇති. ඉතින් ඒවා ගේනකන් ඉන්න බැරි නිසා මම ගෙනත් තියපු ටික දැම්මා..
තව ටිකක් තියනවා. පස්සේ දාන්නම්..මේක දාන්න හිතුනේ අයිලාස්ගේ කැමරා පොස්ට් සෙට් එක කියවලා....

Tuesday, February 19, 2013

"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"


ගිය පෙබරවාරි දාහතර වෙනිදා, ඒ කියන්නේ අන්තර්ජාතික වැලන්ටයින් දවසේ පාන්දර අටට විතර හීනෙන් බය වෙලා උඩ ගිහින් ඇහැරුනේ ඉහින් කනින් දාඩිය පෙරාගෙන... දැකපු ඇවටියෙල් හීනෙ තේරුම් ගන්න බැරුව, අත්තික්කා කොළ කොටලා බීපු මයිනා වගේ මම දහ අතේ කල්පනා කළා. හීනේ පලවෙනි රූප රාමුව විදිහට දිනුම් ඇදීමකින් සිලෙක්ට් වෙලා අපිට චාන්ස් එකක් ආවා නුවර එළියේ කේබල් කාර් ප්‍රොජෙක්ට් එකේ ටෙස්ටින් රයිඩ් එකට ඇඩ්මිට් වෙන්න..

රයිඩ් එක අතරේ අහසේ අතරමං වෙලා තිබ්බ නිල්ම නිල් වලාකුලක් මැද්දෙන් යනකොට දිලූ මගේ අත කිටි කිටියේ මිරිකගෙන මගේ උරහිස්සට හෙමින් ඔලුව තිබ්බා.. හම්බේ ආදරේට මගේ පපු කැවුත්ත පැලෙන්ඩ වගේ. ලොවක් දිනපු පෙම්වතෙක් වගේ මම හෙන ආඩම්බරෙන් දිලූ දිහා බලලා ඇහැක් ඉඟිමරුවා... දිලූ ඇස් දෙක බාගෙට අඩවන් කරගෙන මං දිහා උමතුවෙන් වගේ බලාගෙන හිටියා..හම්බේ...දිලිසෙන ඇස්...මගේ කවි හිත ඔද්දල් වෙන්න පටන් ගත්තා.... දිලූ එක පාරටම පැනලා මගේ බෙල්ල බදාගත්තා..ඊට පස්සේ ඉතින් කියල වැඩක් නෑනේ.. මමත් "අහස අපේ කියලා" වෙන දෙයක් වෙද්දෙන් කියල දිලුට සපෝට් එක දුන්නා..හම්බේ ඒ උම්මා එකේ දිග...දිලූ බෙල්ල අතාරින පාටක් නෑ. ඔහොම ටික වෙලාවක් යනකොට මට  හුස්ම ගන්න බෑ බෑ වගේ දැනුණා. මම කෑගැහුව..හයියෙන් කෑගැහුවා...දිලුට ඇහෙන්නේ නෑ..

"දි..දී...දී...ම..ම...ට   හු. හු...හ්..ම  ගන්...ඩ බෑ....දි..දී.ලූ...දිලූ".

හුස්ම ගන්න බැරුව මගේ වකුග පෙනහල්ල පුපුරන්ඩ වගේ කකියැවා . ඒ පාර මම යටිගිරියෙන් කෑගහගෙනම ඇහැරුනා, ඇහැරුනාමත් හුම්ම ගන්න බෑ.අත පත ගාලා බලද්දී ඇඳගෙන උන්නු සරම බෙල්ල වටේ එතිලා ඔට්ටපාලේ වගේ. ඉතින්  කොහොමද කියහන්කෝ හුස්ම ගන්නේ...!!!

මල පැනපු පාරට සරම ගලවල විසික් කරා සිවිලිමට.."හුටඃ " කාපන්කෝ ගල් බනිස් සීනි සම්බෝල එක්ක කියන්නැහැ...සරම ෆෑන් එකේ පැටලුනා..එන්න එන්න ෆෑන් එකේ වේගේ අඩුවෙලා.. අඩුවෙලා...නැතිවෙලාම ගිහින්...හෙන දුමාරයකින් කාමරේම පිරුනා.


"ඕපඃ  ගැන්ග්නම් ස්ටයිල්....ඕපඃ ගැන්ග්නම් ස්ටයිල්...."

මගේ දෙයියා රින්ග් වෙන්න ගත්තා...උදේ පාන්දර දිලුගෙන් වැලන්ටයින් විෂ් එක අහගන්න මම සැදී පැහැදී, කවුද බලන්නේවත් නැතුව දෙයියා කනේ තියාගත්තේ මේ උදේ පාන්දර වෙන වැදගත් එකෙක් කෝල් කරන්නේ නෑ  කියලා තක්කෙටම දන්න හින්දා.

"හෙලෝ...ඔ..ඔ...!"

"හෙලෝව්....රයිටර්".... නෙ...ද්..ද..කින් මේ හිපාටුවනේ....!

"ආ..ආ.. ඔව් කියපන් රම්බා...."

"මාර සීන් එක වෙලා තියෙන්නේ...මල හුට්ටප්පර හතයි රයිටර්"

"විකුණගන්න බැරි වෙයිද...?"

"මොනාද...?"

"මල හුට්ටප්පර....හතක්ම තියනවා කිව්වේ"

"උඹේ ආච්චිට මම හු......ඟක්  ආදරෙයි කිව්වා කියහන්" රම්බා මට අසමජ්ජාති ආඩපාලියක් කිව්වේ, නහුතෙට තද වෙලා..

"හරි හරි... ඔරොප්පු නැතුව කියහන්කෝ ඉතින්...."

"ගමම එතන...විජහට වරෙන්....අදොනිස් මාමගේ කොල්ල ගඟ අයිනේ මුරුංගා ගහේ බෙල්ලේ වැල දාගෙන..."

 හුට්ටප්පරි රඹුට කැකරී කිව්වලු...මදැයි උදේ පාන්දර වැලන්ටයින් විශ් එක ඇහුවා...


"හා හා..උඹ හන්දියේ ඉඳපන් මං ටාර් ගාල එන්නම් "

---------

මමයි රම්බයි එතනට යද්දී ගඟ අයිනේ මුරුංගා ගහ වටේ සූ ගාලා සෙනග.. ගගේ එල්ලුන එකා දිහාවට හැම එකාම ෆෝන් එක උලුක් කරගෙන පොටෝ ගහනවා..ෆ්ලෑෂර් වදිනවා වටේට විදුලි කොටනවා වගේ.. මැරිලත් උට තියන පබ්ලිසිටිය යකෝ.

ඔන්න "පැය හයකට හතකට" පස්සේ එතනට පොලිස් රාහලාමිල ආවා මරණ පරීක්ෂණ කටයුතු කරන්න..මොනඃ....ඒ මිනිස්සුන්ට එතනට ඇවිල්ලත් මිනිය එල්ලෙන තැනට එන්ඩ පැය කාලක් විතර ගියා. ඒ තරමට ප්‍රේක්ෂක ජනකාය. අන්තිමට පොලිස් රාලහාමි කෙනෙක් බොහොම හෙමින් කරුණාවෙන් ඉල්ලීමක් කළා..

"කරුණාකරලා අපට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න, මේ මරණකාරයාව ඉක්මනට මල්සාලාවට අරන් ගිහින් එම්බාම්වැඩ කටයුතු ටික කරලා ඉක්මනින්  මිනිය ගෙදර ගෙන්ඩ අපට සහයෝගය දෙන්න"

ඔය අතරේ කොහේද උන්නු ඇග්නස් ආච්චි මැද්දට පැනලා හප හප හිටපු බුලත් හපේ තුහ් කියලා විසික් කරලා චීත්තේ ගැටේ තද කරන ගමන් මෙහෙම කියපි.

"හඃ...රාලහාමි මගුලක් කියනවා...අපිට මේවගේ දර්ශනයක් බලා කියාගන්ඩ කාලාතුරකින් ලැබෙන චෑන්ස් එකත් මිස් කරන්ඩද හදන්නේ ඈ.....? ඕකා ඊයේ රෑ  ඉඳන් එල්ලිලා හිටපු එකේ තව ටිකක් වෙලා එල්ලිලා හිටපුවාවේ අපිට නිවී හැනහිල්ලේ බලාගන්ට ...මොකෑ රාලහාමිට ඔච්චර හදිස්සිය මූ රාලහාමිගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවායෑ...!!! "

රාලහාමිට දැන් ඇඩෙන සයිස්...බැරිම තැන රාලහාමි මුරුංග ගහ පාමුල ඉඳගත්තේ "දර්ශනේ නරඹලා ඉවරවෙලා කාරිය කියන්ඩකෝ ඈ එහෙනම් "  කියලා... කොහොම හරි පැයකට හමාරකට පස්සේ ප්‍රේක්ෂක ජනතාවගේ කාලගෝට්ටිය මැද්දේ පරීක්ෂණ පවත්වලා මිනිය බිමට බාන්ඩ අපේ ගමේ පයිලට් වෙච්ච ඇඩ්වින් ගොයියා මුරුංගා ගහට නැග්ගෙව්වා...කොහෙද නාඹර ගැටිස්සියක් ඇවිත් මරලතෝනි දෙන්න ගත්තයින් වටේ හිටපු ගෑනු උදවිය ඒ ගැටිස්සි වටේ රොක් වෙලා ඒකිත් එක්කම තරඟෙට බලියන්ඩ ගත්තා. ගමම මළගෙයක සිරියෙන් බැබළුණා..

"අනේ අයියේ..ඇයි ඔයා මෙහෙම දෙයක් කරගත්තේ...මගේ දෙයියෝ......මම ඔයාට කැමති වෙලා පස්සේ අකමැති උන හින්දාද....මගේ...අයියේ...ඔහොම යන්න ගියේ..කියල ගියානම් කමක් නෑ..අනේ...මට බෑ...අනේ....ව..ව...තුර ටිකක් වතුර ටිකක්" කෙල්ලගේ ඇඩියාව මගින් නැවතුනා වතුර ඉල්ලලා. වටේ පිටේ හිටපු එකෙක් ගඟට බැහැලා පොල්කට්ටකට වතුර ටිකක් ගෙනත් දුන්නා. එක හුස්මට බීපු වතුර වලින් රීස්ටාර්ට් වුන කෙල්ලගේ එන්ජිම ආයේ වැඩ කරන්ඩ පටන් ගත්තා..

"...ඒ වුනාට අයියේ ඔයා මට මහ බලු වැඩේ කලේ අයියේ...ගම පුරාම කිව්වේ ඇයි  අයියේ මම ඔයාගේ කියලා...මං  කොහොමද අයියේ..... ආයේ මිනිහෙක් එක්ක දීග යන්නේ අයියේ..මට වාවන්නේ නෑ  අයියේ.."

ඔය අනම් මනම් අවකැපෙන කතා අස්සේ ස්වදේශික පයිලට් ඇඩ්වින් ගොයියා කඹේ ගාවට කිට්ටු කරලා. හතර දෙනෙක් යටට වෙලා රෙද්දක් අල්ලාගෙන ඉන්නවා මිනිය කැච් කරන්න.

"ඔන්න මල්ලිලා...එහෙනම් මං කපන්නද....?" ඇඩ්වින් ගොයියා අහපි.

"වතාවක් කියල පිහිය අතට දීල ගහට යැව්වේ කපන්ටනේ බොල ඉක්මනට කපහන්" පහලින් එකෙක් කියපි

"මල්ලියේ...මේ....මේ....මිනියට පෝකස් කරලා මාවත් පැත්තකින් අහුවෙන්න ෆොටෝර් එකක් ගහපන්කෝ"

"හා හා ජුන්ඩක් හිනාවෙයන්" බැරිම තැන පහල එකෙක් ෆොටෝර් එකකුත් ගැහුවා.

බිම හතර දෙනෙක් රෙද්දක් අල්ලාගෙන කට ඇරගෙන උඩ බලාගෙන ඉන්නවා.

ඇඩ්වින් ගොයියා කඹේ කැපුවයින් එක පාරටම හෙන කඳය පොලවේ ගැහුවා වගේ එල්ලිලා උන්නු එකා රෙද්ද උඩ බම්බර් වෙලා පොලවට "තපස්" ගාලා වැටුනා"

ඕක බලාගෙන හිටපු අර ගැටිස්සි....

"අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ....රිද්දන්න එපා.." කියපි.

ආනී බොලේ කෙල්ලගේ හුරතලේ.....ඒක  අහන් උන්න මට හෙට උදේ බෙල්ලේ වැල දාගන්ට හිතුනා....දෙයියම්පා..

කෙල්ලගේ පැත්තට චුයින්ගම් ඇහැ දාගෙන උන්නු රම්බා මගේ කනට කරලා අහනවා "මචන් මේ මම සිරාවටම අහන්නේ.......අරුට රිදෙනවා ඇත්ද බං" කියලා.

                                                 ---------------------------------------

අපේ ගමේ ගැණු ටික පාරට බැහැලා  උද්ඝෝෂණය කරලා, ඉහලට තැන්වලට  දැනුම් දීල, ඉස්සර ජාතික වීරයෙක්ගේ නමින් තිබ්බ පාරක්  "චන්ගුමී මාවත" කියලා වෙනස් කරගත්තා. අපි දෙන්නාත් අමාරුවෙන් ඒ දිනාගත්ත  "චන්ගුමී මාවත" දිගේ ඉස්සරගටම ආවා.. උදේ පාන්දර වරුව  සුභ ආරංචියකින් අරුත් ගන්නපු හින්දා මම රම්බාට ස්තුති කර කර එනකොට, හෙන සැහැල්ලුවෙන් අත්දෙක වන වනා සින්දුවක් කිය  කිය එන ඩයල් එකක් පේනවා..පේන විදිහට පොර පට්ට හැපී එකේ.

"අප්පට සිරි ගජ බොල....මේ අපේ ඔඩියානේ"  මමයි රම්බයි ලඟට ආවට පස්සේ පොරව අඳුන ගත්තා.

"ඉ...තින්... ඉ...තින් ඔඩියා සන්තෝසේ බෙද බෙද කොහෙද මේ යන්නේ"

"මේ ගිහින් එන ගමන්  රයිටර්" කියපු ගමන් මිනිහා උරුවමක්  බෑවා ජීවිතේට අහපු නැති සින්දුවක තාලෙට

"එහෙමද වැලන්ටයින් සරු  ඇති එහෙනම් ....?" රම්බා  පැන්නා.

"හ්ම්... හ්ම්.... කෙල්ල කාලෙක ඉඳන්  මගෙන් ස්පෙෂල් තෑග්ගක් ඉල්ලුවා.....ඉතින් මං  ඒක  වැලන්ටයින් එකත් අල්ලලම දුන්නා....."  ඔඩියා හෙන ආඩම්බරෙන් කිව්වා

"අප්පට සිරි මිනිහා දියුනු වෙලා..ඈ....ඉතින් මොනවද බං  දුන්න තෑග්ග...." රම්බටත් ඕනේ නැති මී කුණක් නෑ

"මං  දුන්න මචන් බඩට දරුවෙක්"



  


Monday, February 11, 2013

"පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න"

"හප්පද බොල පිලිහුඩු කිව්වලු....ර....ර රයිටර්.....දැක්ක කල්...දෙයියන්ගේ වෙඩිමට ඇඩ්මිට් වුනා වගේ සිරාවට ...කොහෙද බං මෙච්චර කල් මකබෑවිලා හිටියේ..අපි හිතුව උඹේ මිනියත් අද හෙට කැළණි ගඟේ පාවෙයි කියලා"

"නෙදකින් විතරක් මුගේ කට" මම කොල බොක්කටම කාරලා පාලං ගැට්ටට උඩින් කෙල පාරක් ගැහුවා. අපරාදේ කියන්ඩ බෑ,  ඒ කෙල තලියම අවේලාවේ අවලමේ යන අසමජ්ජාති හුලං පාරක ප්‍රතිරෝධය එක්ක ප්‍රතික්‍රියා කරලා ආපහු මගේ මුණ මැදට වැටුනේ හෙන අයිස්චර්යක් විදිහට.

කට කැඩිච්ච කතාවක් කිව්වොත් ඉතින් ඒ එක බත් ගුලිය දෙකට කඩාගෙන කාපු  එකෙක්මයි. එක ලේන්සුවට හොටු හුරපු, එක බුරුසුවෙන් දත් මැදපු, එක චුයින්ගම් එක දෙකට කඩාගෙන කාපු, එක වතුර බාල්දියෙන් කක්කුස්සි ගිය එවුන් බලන් ඉන්නේ  බ්ලොග් කතුවර රයිටරයාගේ මල කඳ කැළණි ගඟේ පාවෙනකම්. අද ඊයේ ගෙට වුන ලමිස්සියගේ ඉඳන් මීට ගොඩක් කාලෙකට කලින්  ගෙට වුන වයෝවෘද මහලු  කාන්තාවන්ගේ පවා නියම්  හා අනියම් ආදරය කවාකාරව වගේම  වක්‍රවාකාරව දිනා ගත්ත රයිටර්ගේ වටිනාකම මේ කුහකයින්ට පාදඩයින්ට තේරෙන්නේ නැති හැටි අම්මාප. දුක වැඩිකමට හදවත දෙදරන්ඩ පටන් ගත්ත හින්දා මම ආමාශය කලම්බලා කලම්බලා පිත්තාශයෙන් අහිංසක හිනාවක් කට මැදට ආනයනය කරගත්තා.

"ර ර ර ම්බා......මට වාවන්නේ නෑ..මං  මේ රටින් යනවා රම්බා..ඔව් මං  මේ රටින් යනවා....මේ වින්ද දුක හොඳටම ඇති...මේ කෙනෙහිලිකම් තවත් විඳින්න බෑ......ඉහි..ඉහිහ්..."  රම්බාගේ කරට අතක් දාගෙන පුපුරන්ඩ ලංවෙච්ච රුපියල් දෙකේ බැලුමක් වගේ මුණු තහඩුව හදාගෙන මම කිව්වා. කොහෙද මන්දා ස්ටක් වෙලා තිබ්බ කඳුළු බෝල ලීටරයක් විතර පලිඟු වගේ පොලවට බස බස ගාල වැටෙන්න ගත්තේ දෙකට නැමිලා ඇහැට ඇඟිල්ලෙන් ඇන්න  හින්දා කියලා රම්බා දැක්කේ නෑ . 

"හෑ..!!........" රම්බාගේ මුණ වොට් සීයේ පිච්චිච්ච බලුප් එකක පිලමන්ට් එක වගේ උනා. 

"උඹ මෙහෙන් යනවනම් හොඳයි රයිටර්....මට ඕක උඹට කෙලින් කියා ගන්න බැරුව හිටියේ" හුට්ටාහ්.....! කෙලියා තාප්පෙට ප්ලාස්ටර් පැරිස් කිව්වලු.... මං  බලාපොරොත්තු වුන මුඩ්  එක රම්බාගේ මුනට ආවේ නෑ....ඒ වෙනුවට රම්බා හෙන සන්තෝසෙන් එහෙම කිව්වේ මගේ බලාපොරොත්තු චකබ්ලාස් කරලා.

"....අපේ බාප්පාගේ පුතාගේ ජිල්මාට් පාස්පෝට් ඔෆිස් එකට කියලා අඩුවට වීසා හදල දෙන්නම්...උඹ බය වෙන්න එපා එව්වා ඔක්කොම මම බලා ගන්නම්..උඹ උගේ ඊගාව බෝට්ටුවේ ඕස්ට්‍රේලියා පලයන්...මචන්...ඔව් ....උඹ පලයන්....උඹ අඬන්නේ උඹේ කෙල්ල ගැන දුක හිතිලා නම් ඒ ගැන තඹ දොයිතුවකට බය වෙන්න එපා...උඹේ යුතුකම මම ඒකිට ඉෂ්ට කරන්නම්....උඹේ කෙල්ල මට බාර දීල පලයන්..එයැයි ගැන මම බලා ගන්නම්..."

"අනේ...හ්  මට සමාවෙයන් රම්බා......මම උඹ  ගැන හිතාන හිටිය විදිහ වැරදියි.  සිරාවටම රම්බා කියන්නේ මෙච්චර හොඳ හිතක් තියන උත්තුංග, යාලුවෙක්ද...මට සමාවෙයන් රම්බා මට සමාවෙයන්...සිරාවටම දැන් මට බයක් නෑ...ඉහි ඉහි ඉහි"

"හරි හරි ඔය ටැප  වහලා උඹට වුනේ මොකෑ  කියලා කියකෝ..."

"ඉහි...ඉහි...ඊහි...රම්බා.....උඹට මතකද ග ...ග ....ගම්පහ සීන් එක...?"

"ගම්පහ...?"

"ඔව් ඔව්...අර බ්ලොග් ගෙට්ටුවක්  තිබ්බේ...ඉහි...ක්" මම ඉකියක් අස්සෙන් කිව්වා.

"ඔව් ඔව් අර උඹ සාමාජිකත්වය අරන් ඉන්න අන්තර්ජාතික ලියන්නන්ගේ සංවිධානේ නේද...අර ඔබාමාගේ දුවත් ලියනවා කිව්වේ...?"

"ඔව් ඔව් ඒක තමයි...."

"ඉතින්....?"

"ඉතින් එදා මම ඒකට ගිහින් ආතල් එකක් අරන් බෝඩිමට එනකොට කොම්ඤ්ඤවීදියේදී....සු සු සු....දු..,"

"සුදු කෙල්ලෙක්ට උඹ පැණි හැලුවා....ඒකිගේ අයිය බොට නෙළුවා....නෙහ්...?" රම්බා විරිත්තාගෙන කිව්වා.

"තො...තො ..තොගේ ආච්චිගේ සර්පිනාව.....!!!..නෑ  යකෝ... එදා...එදා සුදු පාටට හුරු වැන් එකක් නවත්තලා මට තර්ජනය කරලා මාව දාගෙන ගියා බං"

"නෑ......හ්....උඹව කිඩ්නැප් කළා .....?" රම්බාගේ උඩු ඇන්දේ රදනක දතක් පහල ඇන්දේ පුරස්චාර්වකයක පැටලුනා.

"ඉහි ඉහි...ඔව් බං.."

"හයියෝ....යෝ..." රම්බා දෑත  ඔලුවේ බදා ගත්ත....."අනේ.....උඹේ පතිවත....උඹ කොච්චර අමාරුවෙන්ද ඕක රැකගත්තේ....අනේ උන් උඹව සමුහ දුෂණය ලක්කලාද....උඹට උන්ගෙන් බලහත්කාරමක් හෙම වුනාද රයිටර්....අනේ කියහන්කෝ.....උඹේ අවයව සේරම කලින් විදිහමයිනේ....උඹෙන් මොනවද ඉල්ලුවේ එවුන්?"

"මගුලක්......!! නෑ...නෑ...අග වක් වෙච්ච තඩි වේවැලක් පෙන්නලා මට තර්ජනය කළා බං  බ්ලොගක් හදල, ලියන හැටි උන්ට උගන්වපන් කියලා...තව හිට්ස් ගන්න රහස් විදි ඔක්කොම කියලා දීපිය කියලා...."

"නැඃ....ඉතින් උඹ කිව්වද....?"

"නැත්තම්....මට කියන්ඩ සිද්ද වුනා රම්බා...මට කියන්ඩ සිද්ද වුනා, මං උන්ට කියාදීපු විදිහට උන් මාර සැටිස් වුනා හැබැයි, මං කිව්වා රාජකීය රහස් දෙකක්.... කියෙව්වේ නැතත් තියන හැම බොගකටම "පට්ටයි මචන් අපේ පැත්තෙන් ඇවිත් යන්න" කියලා කමෙන්ට් දාපන්, අනික් එවුන් ලියන එව්වා ගෙඩි පිටින් උස්සල පොස්ට් කරහන් කියලා...

මට දුක ඒක  නෙමෙයි බං....මට අන්දකයිප්පු කැවිලද කොහෙද බං....බලහන් දැන් මට අයිඩියා එන්නේ නෑ  බං....කතාවක් ලියන්න බෑ  බං...ලිව්වොත් උඹෙයි මගෙයි අවලම්භන මගඩියක් තමයි...දැන් ඒක හරියට ලියාගන්නත් බෑ රම්බා..මෙලෝ රහක් නෑ  රම්බා..මෙලෝ රහක් නෑ....මම ඒක වහලා දානවා ." ඇඬෙන්න ඔන්න මෙන්නය...

"සිරාවටම උඹ බෝග වහනවද බං...?"

--------------------------------------------

අපි දෙන්නා හෙමින් හෙමින් කයිය පිට කඩේ ගාවට ඇවිත් පුස් වඩේ දෙකකුයි කැරපොතු සුවඳ කවපු ප්ලේන්ටි දෙකකුයි ඔර්ඩර් කලා..වඩේ දීසියේ පුස් පිහ දදා ඉන්නකොට මල්එතනා ආච්චියි, ආච්චිගේ මොන්ටිසෝරි යන මුනුබුරයි කඩේට ආවා. පොඩි එකා ආච්චිගෙන් ප්‍රශ්න අහනවා ලොවෙත් නෑ.. ආච්චිට කට උත්තර නෑ..

"ආච්චි....ආච්චි....පොඩි බබ්බු මේ ලෝකෙට එන්නේ කොහෙ ඉඳන්ද......?" පොඩි එකා හුරතලෙන් අහපි...

"දිව්‍ය ලෝකෙන් මයේ පුතේ....දිව්‍ය ලෝකෙන්...."

"හෑ....මාත් දිවිය ලෝකෙන්ද ආවේ...?"

"ඔව් මයේ පුතේ ඔව්...ලස්සන සුරන්ගනාවියෙක් සේද සලුවක ඔතලා පුතාගේ අම්මට ගෙනත් දුන්නා.."

".එතකොට සේද සළුව කෝ ආච්චි.......? මේ මේ.... ආච්චියෙ කසාද බැඳපු අයට විතරද බලාලා හම්බෙන්නේ.....?" දැන් හැදෙන පොඩි එවුන්ගේ ප්‍රශ්න අහලා බබ්බු හම්බෙන්නේ අහක යන අපිටය...  

"බොට දැන්ම වැඩක් නෑ ඒ පැහිච්චකම්...." ආච්චිට මල පැනලා

"ආච්චි...ආච්චි...එතකොට මේ ලෝකේ කොහෙද තියෙන්නේ"

"මේ ලෝක බොලේ පොලෝ මහී කාන්තාව සුළඟිල්ලේ තියාගෙන ඉන්නේ මයේ පුතේ," ඒපාර ආච්චි ටිකක් නිමිලා..."පොලව හෙල්ලිලා භූමිකම්පා එන්නේ ලෝක බෝලේ අතකින් අනික් අතට මාරු කරනකොට"

"හෑ.....!! පොලෝ මහී කාන්තාවටත් පයිත්තියන් නේද ආච්චි....ඔය ලෝක බෝලේ  තියාගෙන පැන  පැන  දෙන්න යන්නේ නැතුව පැත්තකට වෙලා හිටියානම් භුමිකම්පාත් නෑනේ.....!!


 

Wednesday, January 9, 2013

ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?


හා හපුරා කියලා නමෝ විත්තියෙන් අලුත් රස්සාවට යන්න අම්මා හදපු චිකන් හොද්ද එක්ක කිරිබත් කෑල්ලක් හෙම කාලා රම්බායි මමයි රාහු කාලේ පන්නලා දකුණු කකුල පෙරට තියලා ගේ ඉස්සරහ පාත්තියේ තිබුන බට් කෙහෙල් පඳුරටත් මන්නෙන් කොටාගෙනම ගියේ තියන වස් දොස් කුඩු කැවුතු වෙලා යන්න. පුරුදු පාර මගෑරලා කැලෑ පාරකින් වහන් වෙවී එන්.ජී.ඕ. ඔෆිස් එක පැත්තට යමන් කියලා රම්බා කිව්වේ  උදේ පාන්දර මොකෙක් හරි කුඩුකේඩුවෙක් මුලිච්චි වුනොත් සුභ ගමන එහෙම්පිටින්ම චකබ්ලාස් වෙයි කියල බය වුන හින්දා වෙන්න ඇති. හන්දියෙන් වීරේ මාමවත් දක්කගත්තාම එතන ඉඳන් එන්.ජී.ඕ. ඔෆිසියට රුපියල් පහේ අයිස් පැකට් එකේ දුරක් තියෙන්නේ. දකින මුස්පේන්තු ඩයල් එකක්  දැකල කටකැඩිච්ච කතාවක් කිව්වොත් ඒ හරියේදී තමා.

"රයිටර්...?"  හෙන නිහැඬියාවක වේලිලා, ඇඹරිලා හිටපු රම්බා ගේ වොයිස් එක.

"හ්ම්.........?"

"උඹ දන්නවද වැඩක්......?"

"කාගේද......."

"අපේ ලොක්කගේ......උඹ කාටවත් කියනවාහෙම නෙවෙයි ..."

"නෑහ්...පිස්සුද මම කියනවද බං .... මොන ලොක්කද ඉතින් ඔය....?"

"ඔව් බං.....බලපන්කො මගේ නම්බරෙත් තියනවා බං...ප්‍රසිඩන්ට් ගාව....මට අලුත් අවුරුද්දට විශ් කරලා සුභ පැතුමක් එවලා.

"හෑ....ඉතින් ඉතින් උඹත් රිප්ලයි කරාද......? !" උගේ වදන් ශ්‍රවන ගත වෙලා  බඩ බුරුල් වේගෙන වගේ ආවයින් මම හිනාව නවත්තගත්තේ දත්මිටි කාලා.

"එහෙනම් එහෙනම්....මමත් මැසේජ් දෙකක්ම යැව්වා වැඩිය යවලා කරදර කරන්නත් හොඳ නෑනේ... ඉතින්  එකක් විශ් කරලා යැව්වා.. අනික පොඩි ඉල්ලීම් ටිකක් කෙටියෙන් ලියල යැව්වා"

"හෑ.... ඉතින් මොනවද ඉල්ලපු ඉල්ලීම්....?....ඒවටත් රිප්ලයි ආවද.....?"

" අපේ පාර කොන්ක්‍රීට් කරලා දෙන්න සල්ලි පාස් කරන්න කියලා, අනික ගමේ එවුන්ට ජීවත් වෙන්න අමාරුයි පොඩ්ඩක් ඒ ගැන හිතලා  ගන්න තීරණයක් ගන්න  කියලා, තව ඔය ඔය වගේ මානුශවේදී ඉල්ලීම් ටිකක් යැව්වා...එදා පැය ගානක් නෙට්වර්ක් බිසීනේ බං....රිප්ලයි එවන්න ඇති..හැබැයි මට ආවේ නෑ"


අපි එන්.ජී.ඕ. ඔෆිසියට කිට්ටු වෙද්දී එතන යමර යුද්ධයයි. කට්ටියක් බෝඩ් ලෑලි උස්සගෙන පෝලිමට ගිහින් බස් එකකට ගොඩ වෙනවා. තවත් පෝලිමක් රුපියල් පන්සීය ගන්න පොත අත්සන් කරලා බත් පැකට් එක ගන්න කවුන්ටරේ දිහාට දුවනවා. අපිත් දඩි බිඩියේ දුවලා ගියා පෝලිම මැදට. පොත අත්සන් කරලා බත්මුලත් අරගෙන බෝඩ් ලෑලි දෙක තුනත් කිහිලි ගහගෙන බස් එකට නැග්ගා. අපිත් එක්ක හිටපු තව සෙට් එකක් වෙන දිහාකට ගියා වෙන තැනක කුලියට කෑගහන්න.  බස් එකේදී එන ගමන් එන්.ජී.ඕ. එකේ ලොක්කා අපිට හෙන දේශනයක් දුන්නා.

"මෙහෙමයි.....තමුන්ට කරන්න තියෙන්නේ  අපි ගිහින් දාන තැනට ගිහින්, මේ පත්‍රිකාවේ තියන විදිහට මරාගෙන මැරෙන ඇක්ටින් එකක් මුනට අරන් ගිරිය පුප්පගෙන කෑ ගහන එකයි..බිම පෙරලිලා වැඩිපුර සෙල්ලම් දාන උදවියට එක්ස්ට්‍රා ස්පෙෂල් පේමන්ට් එකක් කරනවා ඒ අයගේ පර්ෆෝමන්ස් බලලා.. ප්‍රොටෙස්ට් එක වෙලාවේ මොකා මයික් එකක් කැමරාවක් දික් කරගෙන ආවත් කියන්න තියෙන්නේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ, අපි ඒකට විසඳුම්, අදාළ පාර්ශවෙයෙන්  දෙනකම් අපි අඛණ්ඩ උද්ගෝෂණයේ , ඒ වගේම අපේ ඉල්ලීම් සපුරා නුදුන්නොත්  අපි මැරෙන්න උනත් සුදානම්  කියලා..උන් උඹලගේ උද්ගෝෂණයට හේතුව හාර හාර අහනකොට උඹලා නොඇහුනා ගානට ඉඳපල්ලා"

ලොක්කා බලාගන්න කියලා අතට දුන්න පත්‍රිකාව ඉරලා, කටේ දාලා ගුලි හදලා බස් එකේ වීදුරුවෙන් මගදිගට හිටපු පාරේ කෙල්ලන්ට, ඇන්ටිලට  ගහ ගහ ගිය රම්බාට ඔය කිව්ව එක වචනයක් ඇහුනේ නැති බවට මට සීයට අසූ හාරදාස් එකසීයයි සත පනහක්  ෂුවර්. ඌ රස්සාව හොයල දීපු එකේ ගෞරවේවත් තියන්න ඕනේ හින්දයි මම එවලේ ඩෙනිම කරට නොගෙන හිටියේ. කොහොමෙන් කොහොම හරි බහින තැන කිට්ටු වෙනකොට රම්බා උගේ පත්‍රිකාවටයි, වීරේ  මාමගේ පත්‍රිකාවටයි, මගේ අතේ තිබ්බ එකෙන් බාගේකටයි බඩු මැන්ගුස් කරලා.

කට්ටිය බස් එකෙන් බැහැලා බෝඩ් ලෑලි උස්සගෙන ගිරිය යටින් බලිය බලිය පාර අයිනට ලයින් කළා.. සමහරු බිම පෙරලීගෙන කෑගහනවා, සමහරු ඔලුවේ දෑත බදාගෙන, තව එවුන් ටිකක් ටයර් පුච්චනවා.  අපි එතනට යන්නත් කලින් ඇවිත් හිටපු මීඩියා නංගිලා, මල්ලිලා මයික් කැමරා  අල්ල අල්ල කෑ ගහන එවුන් පස්සෙන් පන්නනවා වොයිස් කමෙන්ට් ගන්න. ඔය අතරේ වීරේ මාමා කැමරාවකට කඳුළු පෙර පෙර කුලියට අඬනවා මම යාන්තමින් දැක්කා. වීරේ මාම වැඩේ වැඩේ අතැරලා නෑ, ස්පෙෂල් පේමන්ට් එක ගන්න වෙන්නැති  උන්දෑගේ කල්පනාව.

"අනේ අයියේ ප්ලීස්...ඔයාවත් පොඩි කමෙන්ට් එකක් දෙන්න.." සුන්දර සුකුමාල කෙල්ලෙක් දුවගෙන දුවගෙන මං ගාවට ඇවිත් හීනියට හිනා වෙලා යටි තොල හපාගෙන ඇස් කොනකින් මා දිහාම බලාගෙන හිටියා. අහෝ..!!!....සීමා මායිම් නැති මගේ උත්කෘෂ්ට කවි හිත තැන නොතැන බලන්නේ නැතුව බස බස බස ගාලා මෝදු වෙන්න ගත්තා, අක්මාව ටින් ටින් ගෑවා..මගේ දකුණු වකුගඩුව වගේ ඉන්න දිලූ කෙල්ලට ද්‍රෝහී වෙන්න බැරි හින්දා දත්මිටි කාගෙන කටට ආව කවි පද ටිකත් කෙල ගුලියක් එක්ක ගිල්ලා.

"ආ..ආ..ආ...ඔව් නංගි..කියන්න"

"අනෙහ්..... ඔයා....හොඳ.... අයියා........මෙහෙමයි අයියේ...මට දැනගන්න ඕන ඇයි ඔයාලා මේ විදිහට ප්රෝටෙස්ට් කරන්නේ"

"කොටින්ම කියනවනම් අපිට ගෙවනවානේ"  හුටා...කියවුනා .!!

"හෑ...! ගෙවනවා...?...එතකොට ඔයාලා කුලියටද මේ ප්‍රොටෙස්ට් කරන්නේ...?" කෙල්ලගේ ඇස් දෙක ඔලුවේ තිබ්බ බෑන්ඩ් එක දිහාට ගියා.

"හාහ් හාහ්.... හා.....හූඌ.....හූ....කෙල්ල රැවටුනා....යේ...යේඒඒඒ...මං වීළුවක් කලේ......" මම ප්‍රථමික ලෙවල් එකේ විහිළුවක් කලේ සැදැහැ සිතින් වුනාට මේකි ඒකට රෙස්පොන්ස් කලේ පට්ට පදිරි විදිහට.

"හඅ...එන්න එපා ඔව්වට...මම පත්තරේට ලියනවා වොයිස් කමෙන්ට් එක ගන්න අතරේ මට බලහත්කාරකම් කළා කියලා හඅ....!!" කෙල්ල මාව ආමාශ ගත කරන ටයිප් එකකින් බලාන හිටියා. සකල බුජං කොට කලිසන් කියන්නේ ඔව්වට තමයි.. යකෝ මේක හරි කෙළියක්නේ.

"ඇත්ත වශයෙන්ම නංගි.." මම වචනේ දැම්මා...කෙල්ලට කඳුළු පනින සයිස්. "කාලාංතරේක ඉඳන් ඉතිහාසගතවන උද්ධමන රටාවකට අනුපාතිකව සමානුපාත වන ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනයේ සර්ව අයිතිය පුද්ගලයන් අතරේ සම සමව නොබෙදීම නිසා තමයි මේ අවිධිමත් ගැටළු හට ගන්නේ...මේකට පිළියම් හොයන්න ගූගල් එකේ "සෙක්ස්" කියල ගහල සර්ච් කරාට හරියන්නේ නෑ..විසඳුම විදිහට අපි සියලු ජනයාගේ වාර්ගික වස්ත්‍ර අමු අමුවේ නිර්වස්ත්‍ර කරලා මේ ලෝකය සකල විශ්ව ගම්මානයක් කරන්න ඕනේ.." මගේ කමෙන්ට් එක ලියාගෙන කෙල්ලගේ කට දෙකොන  කරාඹු දෙකේ ගෑවෙන සයිස්....

"බොහොම ස්තුතියි අයියේ බොහොම ස්තුතියි"

ඔය අතරේ ආතක් පාතක් නැතුව කෑ ගහ ගහ හිටපු රම්බා ගාවට අර කෙල්ල මයික් එක අරන් ගියා..මමත් බෝඩ් කෑල්ල උස්සගෙන ඒකි පස්සෙන් ගියා.

"...එක්ස්කියුස් මී...මිස්ට අයියා.....මට මේ ව්‍යාපාරේ පිළිබද පොඩි කමෙන්ට් එකක් දෙන්න පුලුවන්ද"  රම්බා පැණි හිනාව දාගෙන විරිත්තාගෙන කෙල්ලට කමෙන්ට් එක දෙන්නයි හදන්නේ.

"යැස් නංගි කියන්න...."

"ඇයි ඔයාලා මෙහෙම ප්රෝටෙස්ට් කරන්නේ....ඔයාලගේ අරමුණ මොකක්ද....?"

"සල්ලි නංගි සල්ලි...."

"හ්ම්...මට පැහැදිලි මදි"

"මෙහෙමයි....මම නංගිට මේ වගක් කිව්වා කියලා කාටවත් කියන්න එපා..,දැනට මෙතන ඉන්න ඔයා වගේ අහිංසක දෙතුන් දෙනෙක්ට විතරයි කිව්වේ...අපි අහවල් එන්ජීඕ එකෙන්..ඊසි ගතමන්ට් එකක් ගන්න ලේසි චාන්ස් එකක් සපයල දෙන සංවිධානයක්..නංගි මොකෝ කියන්නේ....ඔය මයික් අල්ලාගෙන හන්දියක් හන්දියක් ගානේ ප්රොටෙස්ට් කවර කර කර චාටර් කනවට වඩා මේක ලේසියි."

"ඈ.....සිරාවටමද අයියේ....සත්තයි කියන්න...?"

"සිරාගේ ගෑනි පල්ලා නංගි....සීරියස්..."

කෙල්ල වටෙන් ගොඩෙන් රම්බාට පානිය දාලා ඔක්කොම විස්තරේ අහගත්තා කියලා තේරුනේ කෙල්ල අන්තිමට දාපු  කිනිසි ටෝක් පාරට...

"අයියේ මේ මාධ්‍ය මර්ධනය කරන්න එන්න එපා හරිය....මම මේ ඔක්කොම පත්තරේට ලියනවා.." කියලා කෙල්ල හෙන කින්ඩි හිනාවක් දැම්මා. රම්බාට කට උත්තර නෑ...

"නොලියා ඉන්න පුළුවන් මේ දැන්ම රුපියල් දෙදාහක් දුන්නොත්...නැත්තම් හෙට පත්තරේ පොටෝ පිටින් වැටෙයි විස්තරේ....ආ.. " කෙල්ලගේ හයිරම් ටෝක් එකට රම්බා සරෙන්ඩර්..."

ඔය අස්සේ එතනට ආව එන්ජීඕ එකේ ලොක්කට රම්බාගේ සීන් එක මාට්ටු වෙලා උගේ ගැන් එක ඇවිත් අපි දෙන්නව බෙල්ලෙන් ඇදගෙන පැත්තකට අරන් ගියා...වීරේ මාමගේ පුරුවේ පිනකටද කොහෙද මිනිහට වැඩේ අල්ලලා ගියා.


"ඇඩෝව්.....තොපිලා වගේ ආතක් පාතක් නැති එවුන්ට රස්සා දෙන්නවට අපි පොලවේ පස් කන්න ඕනේ ඩො..."

"ක....ක.....කවුද ආතක් පාතක් නැති එවුන්...මේ අපිද.....අයියා හිතුවද අපි සුළඟ මගින් බෝවෙන එවුන් කියල ආ...ගැහුවට කමක් නෑ කැත කතා කියන්න එපා හරි..." රම්බාගේ මොරාල් එක අප් වෙලා..

"ඔව් ඩො තොපි සුළඟ මගින් බිහිවුන එවුන් තමයි......කපනවා දැනගන් "

"එතකොට අයියා බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?" රම්බා ඇහුවා....

අපිට සද්දේ දාපු එකා  ස්පෝථනයෙන් බිහිවුනේ කොහොමද කියලා එක එක  අසභ්‍ය ගනයේ  චිත්ත රුප මැවෙන අස්සේ අරුගේ යටි බඩට දෙකක් ඇනලා අපි හුවකුත් තියල පන එපා කියලා දිව්වා.  මග දිගට දුවන ගමන් කල්පනා කලේ රම්බාගේ කුප්ප කතාව. මතුපිටින් සරල සුගම වුනාට කොච්චර ගැඹුරු තේරුමක් තියද අම්මාපා. ඒ ගැඹුරේ දිග පළල විෂ්කම්භය මගේ කවි හිත පුරාම ඇඳුනා.

දෙයියනේ එතකොට ස්පෝථනයෙන් බිහිවුන එකාගේ උගේ අප්පොච්චා....!!!       

Thursday, December 27, 2012

"සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"

පෙරේදා ගෙදරට සීනි ඔතලා ගෙනාපු පත්තර කඩදහිය හෙනම හෙන වුවමනාවෙන් කියවන්න හිතාන මම මිදුලේ හිටෝපු බංකුව ගාවට අවේ මෙතුවක් කියවීමෙන් සම්පුර්ණ වෙච්ච මගේ ඉතුරු බාගෙට තව පොඩ්ඩක් එකතු වෙන්නේනැතෑ කියලා හිතාන. අඹ ගහට අංශක එකසිය පහක විතර ඇලට් එකක් දාගෙන පත්තර කඩදහියේ තියන එව්වා කියවල මගේ ඇස් ගෙඩි දෙක අඹ ඇට සයිස් වුනා.."හැට දෙහැවිරිදි මිත්තනියට අනූ තෙවැනි වියේ පසුවන සීයාගෙන් අතවර", "අලුත බැඳපු බිරිඳ විසින් සැමියා දුෂණය කෙරේ", "ලෝක විනාසය අමු කෙප්පයක් - වෙනවයි කියපු උන්ට හෙන ගහනවා (ප්‍රවීණ ජොතිශ්‍යවේදී සයිමන් මහතා අවධාරණය කරයි),"ගණිකා වෘත්තිය නීතිගත කලේ නැත්තම් අපි ප්‍රසිද්ධියේ වහ බොනවා - ප්‍රවීන නිලි අකාලිකා කියයි. ","නීතිගත කලොත් අපි ප්‍රසිද්ධියේ නිරුවත් වෙනවා - "අපි ගැහැණු" සමිතියේ මහිලාවෝ වීදි බසිති", "එංගලන්තයේ ඩීසල් මිල ඉහල යයි - ඉදිරි දින කීපයේ ලංකාවේ දීප ව්‍යාප්ත බස් වර්ජනයක්, බස් සංගම් අනතුරු අඟවයි."

පත්තර කඩදහිය කියවල අකුරක් අකුරක් ගානේ ගන්න තියන ආදර්ශ ටික ලෙසටම හිතට අරන් හුස්මක් ගත්තේ රට ගැන හෙන ආඩම්බරෙන්. ඒ එක්කම අයිස්ක්‍රීම් නලාවක් වගේ එකක් නතර වෙන්නේ නැතුව "පෝප්...!, පෝප්..!! කියලා කෑ ගහන සද්දේ ඇහුනට මම ඉනි වැටට උඩින් පොඩ්ඩක් ඉස්සිලා බැලුවේ අන්දකයිප්පු වෙලා. ඇයි යකෝ, තවම උදේ පාන්දර පින්න වෙලිලත් නෑ, මිනිස්සුන්ට අයිස්ක්‍රීම් කවන්න මුට තියන තදියමක්. ගේ ඉස්සරහ පාරදිගේ පිඹගෙන ආව පුස් බයිසිකලයක් බරාස් ගාලා අපේ ගෙවල් පාරට හැරෙව්වා. තව පොඩ්ඩෙන් පැදපු එකාගේ හතර හන්දි වද මල වගේ කරගන්නවා බොරළු වැල්ලේ බිම පතබෑවිලා. බයිසිකලේ පදින එකා මොකා වුනත් ඌ පදින්නේ පොල්ල උඩ හිටගෙන කියලා පේනවා, ඌ දෙපැත්තට පැද්දෙනකොට පිටි පස්සෙන් තව එකෙක්ගේ ඔලුවක් පේනවා. පාතින් තව එක්ස්ට්‍රා කකුල් දෙකක් එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. අම්මපා ඇත්තටම මේ හුටමේ දෙන්නෙක් ඉන්නවද නැත්තම් උදේ පාන්දර අවේලාවේ එලි බැහැලා පින්නට මගේ මොලේ පෙඟිලා අoඤකොරොස් පේනවද කියලා හිතා ගන්න බැරුව මම ඇස් දෙක උල් කරගෙන ඒ දිහාවම බලාගෙන හිටියා.




ඔහේප්පලයන්....බයිසිකලේ දෙන්නෙක් ඉන්නවා කියහන්කො, පිටිපස්සේ ලැගේජ් එක උඩ අයිස්ක්‍රීම් පෙට්ටිය, අපේ ගමේ අයිසුත් නැති ක්‍රිමුත් නැති අයිස්ක්‍රීම්   විකුණන වීරේ අයියා බයිසිකල් සීට් එකේ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන රම්බාගේ උරහිසෙන් අල්ලාගෙන. රම්බා පොල්ලේ ඉඳන් හති දාගෙන බයිසිකලේ පාගනවා හැන්ඩ්ල් එක අල්ලාගෙන. රම්බාගේ මුනෙන් එකයි හිනාව..මාව දැක්ක ගමන් මුනට ආව හිනාව හපාගෙනම රම්බා ඉස්සරහට ආවා.  වැස්ස කාලෙට පාර දිගේ ගලාගෙන එන වතුර පාර නවත්තන්න ගෙට ඇතුලුවෙන පාර ගාවින් දාපු පොඩි ගැට්ට උඩින් දානකොටම අවාසනාවට "චකස්" ගාලා බයිසිකලේ චේන් එක පැන්නා. රම්බාගේ කට ඔට්ටපාළු ගිලපු උගුඩුවෙක්ගෙ වගේ වුනා,  දිව දොට්ට පැන්නා, ඇස් දෙකේ කළු ඉංගිරියාව නළල දිහාට ගියා.  බයිසිකලේ පොල්ලේ වැදිලා උගේ හොඳම හරිය රොටී කන්න ගලේ අඹරපු ලුණුමිරිසක් ගානට පොඩි වෙන්න ඇති, මගෙත් ඇඟම හිරි වැටිලා ගියා...එහෙමම ටික දුරක් ගියපු බයිසිකලේ ගැරඬියා යනවා වගේ මිදුල පුරා ගිහින් අක්කගේ ඇන්තූරියම් පෝච්චියකුත් සෙත්තපෝච්චි කරගෙන කොට්ටම්බා ගහේ කඳට හේත්තු වුනා.


මම එතනට යනකොට වීරේ මාමා වැටුණු තැනම ඉඳගෙන හිටියේ උන්දැට හොඳටම අමාරුවේද කොහෙද. රම්බා කොර ඇන ඇන ඇවිත් මං ලඟින් දන ගහ ගත්තා. මං හිතන්නේ පොරගේ බඩ කොර වෙන්න ඇති ඇක්සිඩන්ට් එකෙන් හොඳම හරිය මැද පොල්ලේ වැදුණු පාරට..බිම ඉඳගෙන ඉඳපු රම්බා කට හද හද මොනවා හරි මට කියන්න තෙපර බෑවා.


"ර..ර..යිටර්..මට.....මට හරි පුදුමයි රයිටර්..."

"හෑ...!! .ඇයි රම්බා උඹ වැටුන එකද පුදුම....?" ඌව නැගිට්ටන්න හදන ගමන් මම ඇහැව්වා..

"නෑ බං සෝරෝ ගැන පුදුම....."

"හැඃ...ඉතින් සෝරෝගෙයි උඹේ වැටිල්ලෙයි තියන සම්බන්දෙ මොකක්ද..සෝරෝ බයිසිකල් පැද්දේ නෑනේ...අශ්වයෙක්නේ පැද්දේ.....!!!"

"ඉතින් ඒක තමයි බං සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"

"රම්බා.....මම උඹට බඩ කොරවෙන්න තව පාරක් දෙන්න කලින් කියකෝ සෝරෝට රිදෙන්නේ මක්ක හින්දද කියලා තටමන්නේ නැතුව...."

"ඇයි බං අර කන්ද උඩ ඉඳන් මිනිහා අශ්වයාගේ පිටට පනිද්දී උගේ හොඳම හරියට දැනෙන්නේ සුලුපටු වේදනාවක් කියලද උඹ හිතන්නේ...මට මේ අඟල් දෙකක් උඩ ඉඳන් වැටිලා මෙච්චර අමාරුනම්....උට කොහොම ඇද්ද නේද බං ....?"

රම්බා සිරාම සිරා මූඩ් එකෙන් කියපු කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ තමයි. ඒත් මේ වෙලාවේ ඒ වගේ දාර්ශනික ටෝකක් ඔලුවට එන්න තරම් මේකා දියුණු වෙලා තියන  එක ගැන නම් මට අන්තිම සන්තෝසයි. දෙන්න එක්ක එකතු වෙලා වීරේ මාමව වත්තන් කරගෙන ඇවිත් අඹ ගහ ළඟ බංකුවේ ඉන්ඳේව්වා. අයිස් ක්‍රීම් බයිසිකලේ ඉස්සරහ රෝදේ රීම් එක අටපට්ටම වගේ වෙලා. වෙසක් එකට සව් කොළ ටිකක් අලවල අගේට ඉටිපන්දමක් පත්තු කරලා වහලේ එල්ලන්න තිබ්බා.

"හරි හරි උඹ දැන් වීරේ මාමාගේ බයිසිකල් කට්ටේ නැගලා පිඹගෙන ආවේ මොකෑ කියහන්කෝ"

මං ප්‍රශ්නේ ඇහැව්වේ රම්බාගෙන් වුනාට වීරේ මාමා පැනලා උත්තර දුන්නේ රම්බා දිහා පට්ට නෝක්කාඩු බැල්මට් එකක් දාගෙන උට රවාගෙන.

"රයිටර් ළමයට කියන්න පුතේ, අද පාන්දර මම බඩ රස්සාව කරගන්න සයිකල් කට්ට අරන් පාරට එනකොට මේ කොල්ල දුවගෙන ඇවිත් නාහෙන් අඬන්න ගත්තානේව උන්ගේ ආච්චි අම්මට අන්තිම අමාරුයි පණ යන සයිස්, ඉතින්  හන්දියට ගෙහුං වාහනයක් එක්කන් එන්න බයිසිකලේ දියන් බුදු මාමේ කියලා.....පුතාට කියන්න පුතේ ඒක අහලා මටත් තනි ඇහැට ඇඬුණා. මොකද කියනවනම් මේකාගේ ආච්චි ගැටිස්සි කාලේ ගෙට වුනේ මං වඩාගෙන ඉඳිද්දී....."

වීරේ මාමගේ මුනේ අවලන් ඉලන්දාරි හිනාවක් මතු වුනා....

"වැලි කෙලියේ  ඉඳන් අපි දෙන්නා ගජ මිත්‍රයෝ...ඉතින් මටත් වාවන්නේ නැතුව ගියා කොලුවෝ උන්දැට විපතක් කිව්වම..උදව්වක් නොකර ඉන්න බැරි වුනා. මුට බයිසිකලේ දීලා මු මේ බයිසිකල් කට්ට කොහේ හරි දාලා ආවොත් පොඩි එවුන් හැමදාම සාගින්දරේ...මට මේ බතල ගෙඩිය දාගෙන පාගන්න හයිය හත්තිය නෑනෙව..ඒපාර මම කිවේ මමත් දාගෙන යන දිහාකට පාගපන් කියලා...ඒ ආව ගමන තමයි මේ" වීරේ මාමා කියාගෙන කියාගෙන යනවා.


"නෑ නෑ රයිටර් ආච්චිට ඉහෙන් බහින ලෙඩක් නෑ....මම ආවේ උඹව මුණ ගැහෙන්න... පොඩි සම්තින්ග් එකක් ලැබෙන ස්වයං රැකියා ටයිප් එකේ වැඩක් තියනවා, ඒක ගැන උඹත් එක්ක කතා කරලා වැඩේට එන්ටර් වෙන්න පුලුවන්ද අහන්න, පයින් එන්න ගියොත් පරක්කු වෙනවා බං. මොකද පරක්කු වෙන්න වෙන්න වැඩේ ඩවුන් වෙලා දෙල් වෙනවා"

මාසෙට සත පහක ගතමන්ට් එකක් නැතුව ඉන්න එකේ මේක මොකක්ද කියලා බලලා එන්ටර් වුනොත් නරකම නෑ කියල මගේ යටි හිත මොර දෙන්න පටන් ගත්තා.

"හ්ම්...හ්ම්...හරි කියපන්කො මොකක්ද වැඩේ කියලා එහෙනම්....?"

"මෙහෙමයි රයිටර්...වීරේ මාමේ උඹත් අහගනින්..උඹටත් වැදගත් වේවි...අපේ ගමට අලුතෙන් ආව එන්.ජී.ඕ. එකකින් රස්සා දෙනවා. මමත් ඉතින් ඒ පැත්තේ කරක් ගහල බැලුවාම උඹට මට අපිට ඊසි ගතමන්ට් එකක් ගන්න කනා පිනක් සෙට් වුනා..., වැඩි කෙලියක් කරන්න නෑ..උදේ පාන්දර ගියා, නිකන් හම්බෙන කෑම එක කාලා පොත අත්සන් කරලා රුපියල් පන්සීයයි දවල් කෑම පැකට් එක අරගෙන  එවුන් ගිහින් දාන තැනට ගිහින් උන් දෙන බෝඩ් කෑලි, බැනර් උස්සගෙන ගිරිය යටින් කෑගහන්න විතරයි තියෙන්නේ"

ඒක අහපු වීරේ මාමගේ කට දෙකොන දෙකන ගාවට ගියා, මටත් උන් හිටි තැන් අමතක වුණා..වීරේ මාමට සන්තෝසේ දරා ගන්න බැරුව අඩියකුත් පොලවේ ගහලා

"යමන් කොල්ලෝ යමන්, මම එක පයින් කැමතියි...අයිස් ක්‍රීම් විකුණලත් දවසට රුපියල් තුන්සීයක් හම්බෙන්නෙත් කලාතුරකින් බොලන්..උඹල මොකෑ කියන්නේ...උඹල යන්නේ නැත්තම් මට සැට් කොරලා දියන්.."

අන්තිමට කොහොම හරි තුන්දෙනාම වැඩේට එක පයින් කැමති වෙලා යෝජනාව සභා සම්මත කරගත්තා. "අපිටත් දවසක හඳ පායනවා, එදාට අපි මල් පැණියෙන් නානවා" වීරේ මාමා අමාරුව පැත්තක දාලා රවුමක් හෙම කැරකිලා සින්දු කෑල්ලකුත් කිව්වා.

තුන් දෙනාම රම්බාගේ ආරංචිය අහගෙන දරාගන්න බැරි සන්තෝසෙත් එක්ක  එන්.ජී.ඕ ඔෆිසිය පැත්තට ආවා අටපට්ටම වෙච්ච බයිසිකල් රෝදේ වින්කලේට දීගෙන යන්න හිතාගෙන. ඉස්සරහට කරන්න යන රස්සාවෙන් හම්බෙන පඩියෙන් වීරේ මාමගේ බයිසිකලේ හදල දෙන්නත් රම්බා පොරොන්දු වුනා. කොහොම කොහොමෙන් හරි කයිය පිට වින්කලේ ගාවට ඇවිත් ඉස්සරහ රෝදේ වින්කල් බාසුන්නැහේ අතට දුන්නම බකල් ඇරලා දියන් කියලා,  බාස් උන්නැහේගේ ඇස් ටොම්බා සයිස් වුනා.

"අනේ මල්ලියේ මම නම් ඔහොම එකක් හදන්න දන්නේ නෑ අම්මාප...මගේ ජීවිතේට ඔහොම එකක් හදලත් නෑ..ඕකේ බකලේ අරින්න මහන්සි වෙනවට වඩා සැපයි බං ස්පැනර් එකක් අරන් ඔලුවට ගහගෙන ගහගෙන ගිහින් මැරෙන එක.   

    

Tuesday, December 18, 2012

ලෝක විනාශය වැළක්විය නොහැක්කක්මය (Must Read)

මුලින්ම මම මේ පැවසීමට යන දේ පිලිගැනීම මෙන්ම පිලිනොගැනීම ඇත්තේ කියවන ඔබ සතුව බව පැහැදිලිව කිව යුතුයි. මා මේ සියල්ල දැනගත්තේ කෙලෙසකද  යන දේට වඩා ඒ දැනගත් දෙයින් ලබා ගත හැකි ප්‍රයෝජනය ගන්නවා හැරෙන්න ඔබ ඒ ගැන හාරා ඇවිස්සීම මෙන්ම ඒ පිලිබඳ තවදුරටත් සිතීම නොකළ යුත්තක් ලෙසයි මගේ අදහස. "ප්‍රයෝජනයක්" යයි උක්ත වැකියේ සඳහන් කලත් ප්‍රයෝජනයක් ගැනීමට කාලයක් අප සතුව  නැත. ඔබ අපහසුතාවට පත්නොකර පැවසිය යුත්ත ඉතාමත් සංක්ෂිප්තව පවසන්නට උත්සාහ කරමි. ඒ සඳහා මුලික අඩිතාලම යොදාගනු පිණිස මෙසේ ආරම්භ කරනු කැමැත්තෙමි. විශේෂයෙන් සඳහන් කල යුතුයි ලබන විසි එක්වෙනි දින හිරු උදාවීමත් සමග ලෝක විනාශය නියත වශයෙන්ම ආරම්භ වෙන අතර, ඒ උදාවීමත් සමග පෘථිවියට හිරු එලිය පතිත වන අවසාන දිනයද එයම වන බව. ඔබ විශ්වාස කලත් නොකලත් මට කියන්න සිද්ධ වන දෙය නම් එදිනට මේ ලෝකය මහා විපර්යාසයකට බඳුන් වෙන බව.  නැවත යථාතත්වයට පත්කල නොහැකි තත්වයට පත්වන පෘථිවිය, විශ්වයේ පාවෙන තවත් අජීවී ග්‍රාහක අතරේ දුවිලි වලාවක් බවට පත්වෙන බව ඔබ අකමැත්තෙන් වුවද පිළිගත යුතුව ඇත. නමුත්  ඔබ සාම්ප්‍රදානුකුලව හිතන ආකාරයට ලෝක විනාශය, ක්ෂණයකින් මහපොලව පැලි, අහසෙන් ග්‍රාහක කඩා වැටි මුහුද ගොඩ ගලා සිදුවන්නක් නොවුනත්, ඒ සියල්ලම සිද්ධ වේවි සැළකියයුතු කෙටි කාලයක් තුල. අවාසනාවකට ඒ සිදුවන විනාශය දෑස් වලින් දැක ගැනීමට හැකි වුවත් ඒ විනාශයේ සාක්ෂිකරුවෙකු වන ඔබට ඔබ දුටු දෑ මිහිපිට වසන ඔබේ අවල්වාසියාට පැවසීමට නොහැකි වන්නේ මන්දැයි කියා විස්තර කිරීමට අවශ්‍ය නොවෙතැයි හැඟේ.   

බොහෝ විට සත්‍යයට මුහුණ දීමේ නොහැකියාව මත හා තවත් බොහෝ දේ හේතුකොටගෙන ඔබ මේ ලිපිය අවසානය තෙක් නොකියවනු ඇත. නමුත් ලිපියේ අවසාන වචනය තෙක් දිවෙන ඒ සත්‍ය කියවා හරි හැටි අවබෝධාත්මකව තේරුම් ගන්නා ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු කැමැත්තෙමි.


ලෝක විනාශය නිසැකවම සිදුවන්නක් බව දැන දැනත්, ලෝකය පිළිබද පර්යේෂණ පවත්වන ලෝ ප්‍රකට ආයතන වගකීමෙන් ඒ පිළිබද පැහැදිලි ප්‍රකාශයක් නොකරන්නේ මන්දැයි කියා ඔබට  සිතෙනු ඇත. ඔබේ සිතිවිලි සාධාරණය. නමුත් සිතන්න එවන් විනාශයක් සිදුවන බව කලින් ලෝවැසියන්ට දැන්වුවොත් උද්ගතවිය හැකි ප්‍රශ්නයේ බරපතල බව. පෘථිවියේ එකදු ජීවයක්වත්  උදාවන විසි එක්වනදායින් පසු ශේෂ නොවන බව ස්ථීරවම දන්නා නමුත් එවැනි නිවේදනයක් පූර්ව වශයෙන් නිකුත් කිරීම අනවශ්‍ය වන්නේ මන්දැයි ඔබට සිතා ගැනීමට හැකියාව ඇතැයි උපකල්පනය කරමි. එනමුදු සරලව මෙසේ ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ලෝක විනාශය අනිවාර්යෙන්ම සිදුවන බව ලෝකවාසී ජනයා දැනගතහොත් මිනිසාගේ හැසිරීම කෙබදු වියහැකියි ඔබටත් අපහසුවකින් තොරව වටහාගත හැක. ලබා ගත හැකි සියලු සැප සම්පත් මේ කෙටි දින කිහිපය තුල උපරිමයෙන් විඳීමට උත්සාහ කරනු ඇති. ඒ සඳහා මිනිසා ඕනෑම පහත් ක්‍රියාවක් කිසිදු පැකිලීමකින් තොරව කිරීමට පසුබට නොවනු ඇති..මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ ගිනිය නොහැකි තරම් පොලිස් පොත් වල සටහන් වනු ඇති. ඊට නොදෙවෙනි සංඛ්‍යාවක් රහසේම අඳුරේ සැඟවී යනු ඇති. වැරදි සඳහා බරපතල ලෙස දඬුවම් විඳීමට දීර්ඝ කාලයක් නොමැති නිසා කිසිදු තැති ගැනීමකින් තොරව මිනිසුන් පළිගතයුත්තන්ගෙන් පලි ගනු ඇත. සිදුවන මිනීමැරුම්ද සියල්ලන්ට නොදවෙනි වනු ඇත.   නගරයක් නගරයක් පාසා රතු රුධිරය වැගිරෙනු ඇත. සියලු ගංගා, සප්ත මහා සාගර රුධිරයේ රක්ත වර්ණයෙන් බබලනු ඇත. ස්වභාවිකව ලොව විනාශ වී යෑම වැළක්විය නොහැකි දෙයක් වුවත්, මරණයේ භීතියෙන් ආශාවල් සපුරා ගැනීම සඳහා සිහි විකල් වූ මිනිසුන්ගේ නින්දිත ක්‍රියා තුලින් ලෝකය විනාශ වීම වැළක්විය හැකිය. එබැවින් ගත යුතු හොඳම හා නිවැරදිම තීරණය එය නොවන්නේද?

මීලඟට ඔබ මගෙන් නගන ප්‍රශ්නය වනුයේ මෙමගින් ආරක්ෂා වීමට උපක්‍රමයක් නොමැතිද විය යුතුය. සත්තකින්ම තිබේ. දියුණු රටවල නායකයින් එමෙන්ම කුප්‍රකට ධනවතුන් දැනටමත් අභ්‍යවකාශ නවාතැන්පළවල් වල තම තමන්ගේ කුටි වෙන්කරගෙන හමාර බව ඔබ විශ්වාස කරනවා නොවන්නට පුළුවනි. ඔවුන්ගේ පැවැත්ම පිළිබද ගැටළු සහගත නමුදු සත්‍යය එයයි. විශාසනීය කටයුතු ආරංචි මාර්ග වලින් දැනගත් තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවෙනුත් කීපදෙනෙක් මෙම කුටි සඳහා කලින් වෙන්කරගැනීමට මුදල් ඇනවුම් බාර දී ඇති බව අප්‍රසිද්ධ රහසකි. දුගී දුප්පත් ජනයා සැමදා අත් වින්දේ දුකම පමණය. ලෝක විනාශයේදීවත්  එය වෙනස් නොවන්නේ ඔවුන්ගේ බලවත් වූ  පුරුවේ කරුමය නිසාමදැයි සිතා ගත නොහැක. ධනවාදී සමාජය නියෝජනය කරන්නා,   හෙටත් කෙසේ හෝ සුපුරුදු  පරිදි අභ්‍යවකාශයේ හෝ  යෙහෙන් වැජඹෙනු ඇත. ඔබද මාද ඇතුළු අපේ දුප්පත් අසල්වාසීන්ද මේ ඉරණමට ගොදුරු වනවා දෑසින් දැක ගැනීමට තරම් අප අවාසනාවන්ත වනු ඇත.


දෙසැම්බර් විසිඑක් වන දින එළිවන විට ශ්‍රී ලංකාව ඇතුළු ආසන්න රටවල පෘථිවිතලය වෙනදාට වඩා උණුසුමකින් යුක්ත වනු ඇත. කාලය වෙනස් වීම මත සෙසු රට වල මේ තත්වය රාත්‍රියේ උදාවේ. ඔබගේ දැන ගැනීම සඳහා පමණක්  ශ්‍රී ලංකාව පාදක කරගෙන විස්තර කරමි. සියලු ජනයා ගතින් වැගිරෙන දහදිය සමග අලුයම අවදිවෙනු ඇත. වෙනදා දකින මීදුම වෙනුවට පොළොවෙන් නික්මෙන උණුසුම් දුම් වලාවන් ඔබට දැක ගත හැකිවනු ඇත.. එය කෙමෙන් කෙමෙන් උපරිමයට වර්ධනය වන්නට  පැය විසි හතරකට නොඅඩු කාලයක් ගනු ඇත. උපරිමයට ලඟා වූ කල්හි එය බොහෝ මිනිසුන්ට දරාගත නොහැකි වනු ඇත. ගිනියම් වූ පර්වත රත් පැහැයෙන් නලියනු ඇත. සියලු ගස් හේබා ගොස් පත්‍ර හැකිලී මැලවී යනු ඇත. බොහෝ ගස් ගින්නෙන් දැවෙනු ඇත. සියලු ගංගා ජලාශවල ජලය වාෂ්ප වී ඉහල නගිනු ඇත. දරාගැනීමේ හැකියාව ඇත්තවුන් තවදුරටත් ජීවත් වනු ඇති..සෙස්සන්ට අත්වන ඉරණම කටගාටුදායකය. දිවි ගලවා ගන්නවුන්ද පිලිස්සී ගිය හම නිසා දැඩි ශාරීරික පීඩාවන්ට ගොදුරු වනු ඇත. උපරිමයට පත්වූ උෂ්ණත්වය කෙමෙන් පහවෙන්නට ගනී. කෙමෙන් සිතනවාටත් වඩා ඉක්මනින් පෘථිවි තලය සිසිල් වීමට පටන් ගනී. මෙය සිදු වන්නේ කවර විද්‍යාත්මක කාරණයක් නිසාද යන්න මා හරි හැටි නොදන්නේ මා මේ තොරතුරු ලබාගත් ආකාරයේ වරදක් කියා මා සිතුවද එය එසේ නොවන බව තර්කානුකුලව පැහැදිලි ලෙස කීමට අපොහොසත් වීම ගැන කනගාටු වෙමි.

සිසිල්වන වාතලයද ජීවත්ව සිටින අවාසනාවන්තයින්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති.  අධික උණුසුම හා අධික සීතල කෙතුවෙන් පෘථිවි පෘෂ්ටය මත තැන තැන හටගත් පැලීම් සියල්ල තව තවත් විශාල වන්නේ ඒත් සමගම ඇතිවන නොනවතින දිගු භුමිකම්පා රැල්ල සමගයි. වාෂ්ප වී ඉහල ඇදී ජලයට අමතරව ගොඩබිම රැඳී සීමිත සාගර ජලය අධික සීතල නිසා අයිස් බවට පත් වී ඇත. භුමිකම්පාව නිසා අයිස් තට්ටුද කැබලි වී විනාශ වී යයි. බැලු බැල්මට ලෝක විනාශය  විකාර රූපී ස්වභාවයක් ඉසිලුවද සිදුවන විනාශය සුළුපටු නොවේ. භුමිකම්පා එක දිගට බොහෝ වෙලාවක් පැවතීමෙන් එක විට හටගන්නා විශාල පිපුරුමකින් සියල්ල නිමවෙනු ඇති. එතනින් ඔබ්බට යමක් ඔබට පැවසීමට මා අත කිසිදු සටහනක් ඉතිරිව නැත. විනාශයෙන් ගැලවීමට සැලසුමකට යාමටත් පෙර තව දින කිහිපයකින් මේ කුරිරු සත්‍ය ඔබද මාද වෙලාගනු ඇත. ඊට පෙර කවර ආකාරයේ හෝ  පලා යාමක් අවශ්‍යද නැත්ද යන කාරනාව මා ඔබෙන් නොවිමසන්නේ ඔබ බුද්ධිමත් ලෙස තීරණයක් ගනු ඇති බවට විශ්වාස කරමිනි. 
     

කෙටි කතා, රයිටර් ඇතුළු සීමිත වූ අනම් මනම් විකාර බ්ලොග් ලිපි ලෙස ලිය ලියා සිටි මා මෙවන් හෙළිදරව්වක් ඔබ හමුවේ කිරීමට සිදුවෙතැයි  කිසි විටකත් නොසිතුවෙමි. මෙය ඔබගෙන් වසන්කර ඔබත් සමග සත්‍යට මුහුණ දී මියැදෙන්නට මට හැකිය.  නමුත් හිත තුල තෙරපෙන අසීමිත පීඩනය තුලින් නැගෙන්නා වූ  බලය යතුරු පුවරුවේ යතුරු සමග තෙරපීමෙන් සටහන් වන්නා වූ යුනිකෝඩ් ඩ්රාෆ්ට් වී විනාශ වෙන ලෝකය සමග විනාශ වෙන්නට දීම නොකළ යුත්තක් නිසා මෙය ඔබ හමුවේ දිග හැරීමට කල්පනා කලෙමි. මායා වරුන් පවසන දේ සතයක් වන බව දැන් ඔබට වැටහෙනු ඇත. සත්තකින්ම එසේ විය යුතුය.  මේ සියලු කරුණු කාරණා මා සොයා එන්නේ පුදුම සහගත ලෙසය. නොසිතු නොවිරූ ලෙසය.  එනම් පෙරදින රාත්‍රිය  සිහිනයෙන් මා හමුවීමට පැමිණි ඉසිවරයෙක් නින්දේදී මා හිසඅත තබා සියල්ල මා හට අවබෝධ කළේය. ඉතින් ඒ විස්තර ඔබ හමුවේ තබා ඇත්ත යකාට දමා, සියුම් ආතල් එකක් ගැනීමට මටද සිත් විය. ඉතින්  මායාවරු කිසිදු නවීන තාක්ෂණික උපකරණයක් උපයෝගී නොකර පැවසුවේ හුදෙක් ආතල් එකක් ගැනීම සඳහා නොවන බව කාහට විශ්වාස කල හැකිද.?  

Friday, December 14, 2012

"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"

රියලිටි තරඟයේ පලවෙනි තරඟකරු හැටියට ආව තඩි අක්කා ස්ටේජ් එකට බැහැපු කඹේ කඩාගෙන අවාසනාවන්ත විදිහට බිම පත බෑවුනේ අහසෙන් ගිය ඉබ්බාට වැහි නැති හෙන ගැහුවා වගේ. පණ යන්න ඔන්න මෙන්න තියෙද්දී විනිශ්චය මණ්ඩලේ ජාතිය අමතලා වේදිකාව දෙවනත් කරපු හින්දා අනවුන්සර් මල්ලි පොඩි ක්ෂණික ඇඩ් එකකට ගියා. ඒ වුනාට කන් අඩි පැලෙන අප්පුඩි සද්දේ අස්සේ ඒකි කලේ රියල්ම රියල් ඇක්ටින් එකක් කියලා විනිශ්ය මණ්ඩලේ හිටපු තුන්දෙනාගෙන් දෙන්නෙක් බිම හැපී හැපී කිව්ව හින්දා තඩි අක්කව දෙවෙනි වටයට තේරුණා.


කොහොම හරි දෙවෙනියට තරඟ වදින්නේ අපේ ගමේ සකල අභිමානය වෙච්ච චාරුලතා නංගි. අපේ ගමෙන් ගියපු එවුන්, පොට යන්න ඔන්න මෙන්න තියන තම තමන්ගේ ඇස් දල්වාගෙන හුදී ජන පහන් සංවේගයෙන් තොල් විකාගෙන ඇඟිලි කටේ දාගෙන බෝඩ් ලෑලි වන වනා බලාගෙන ඉන්නවා ඒ උත්කර්ෂවත් මාහැඟි අවස්තාව එනකම්.  ඇඩ් එක යන අස්සේ අනවුන්සර් මල්ලි කට්ටියට වෙන්න ඕනේ දේවල් සැරින් සැරේ කියනවා, ඔයා මෙතන ඉන්න ඕනේ, ඔයා රවුමක් කැරකිලා දුවගෙන එන්න ඕනේ, ඔයා ආපු ගමන් එක පාරක් උඩ පනින ඕනේ.. ඉවරයක් නැතුව කියවන ඌ ගැන රම්බගේ ආච්චිට හොඳටම මල, "හත්වලාමේ, මට අර කොලුවාගේ කටට දෙකක් ඇනලා විනාකිරි ටිකක් වක්කරන්න තියනම්, වක්කඩේ ඉන්න ගෙම්බෝ පහරනවා වගේ හැමවෙලේම කියවනවට".   ඔය අස්සේ ටික වෙලාවකට කලින් ප්‍රීතියෙන් උදම් වෙලා හිටපු රම්බා  එතන හිටියේ බඩ යන්ඩ බෙහෙත් බීලා බදුලු කෝච්චියට නැගපු පොරක් වගේ හෙන අසහනයෙන්, මු දත්මිටි කාගෙන එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. බලාගෙන ඉන්න බැරි තැන මම ඇහුවා,


"මොකද බං...,දඟලන්නේ... උඹේ බඩ බුරුල් වෙලාවත්ද....?"

"තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"

"අපේ ආච්ච්ගේ හවරිය උන්දෑ මැරෙන්න සතියකට කලින් බොම්බයි මොටයි හදන්න දුන්නා....වා...වා...ගාන්නේ නැතුව හරියට කියකෝ හිවලෝ...?.

"රයිටර්....මට වා...වා...."

 රම්බා කියන්ඩ හදපු එක එහෙම්පිටින්ම ගිලගන්න වුනේ අනවුන්සර් මල්ලි වැඩේ ආයෙම පටන් ගත්ත හින්ද....!


"විරාමයෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ, හන්දියක් හන්දියක් ගානේ, පඳුරක් පඳුරක් ගානේ, පාලම් උඩ, බෝක්කු යට, නාන තොටේ, වක්කඩේ, ඉබාගාතේ සැරිසැරූ  හිතුවක්කාර ගං සමනලුන්ගේ ගං සමනලියන්ගේ අභිමානවත් මෝල් මංගල්‍යය හෙවත්, පිපෙන්නට තටමන පුංචි මල් කැකුළු තලා පුබුදුවා මෝදු කරවා, මල්වර කරවා, පරාගනය කරවා ජාතියට ජන්මයට පූජා කරන දේශයේ ජනප්‍රියතම රියල් රියලිටි තරඟය සමගයි."

රම්බාගේ ආච්චි දෑත පපුවේ තියාගෙන ස්ටේජ් එක දිහාවට වැඳගෙන ඉන්න අතරේ රියලිටි සභාවේ හිටපු උදවියගේ අත්පොලසන් සද්දයෙන් අපේ කන් අඩි රැව් පිලිරැව් දුන්නා.

"පිළිගන්න මීළඟට වේදිකාවේ  ධක්ෂතාවය ඉධිරිපත් කරන්නේ... සංගීතය තම ආත්මය කොටඝත්, නර්තනය තම අනියම් පෙම කරගත්, මදනකුලප්පුවේ සිට පැමිණි....චා........රුලතාආ...ආ...ආ...." දෙවනත් වෙන්න ඇහුන විසිල් පාරට චාරුලතාගේ පැත්තේ සපොර්ටර්ලගේ හිත් උණු වෙලා.

සහෝදර ප්‍රේමය දෝර ගලන්න වෙලා රම්බාගේ ඇස් වල කඳුළු ලීටර් ගානක් හෝ ගාලා දොට්ට පනින්න ගත්තා, බුරුස් බුරුස් ගාලා දෙපාරක් තුන් පාරක් නහය උඩට ඇද්ද රම්බා දෙකට තුනට නැමිලා කලිසම් සාක්කුවට හොටු ටික හීරුවා. ඊට එහාපැත්තෙ රම්බාගේ අම්මා උන්ගේ ආච්චි බදාගෙන අඬනවා. රම්බාගේ තාත්තා මට මෙහා පැත්තේ ඉඳන් රම්බාගේ නැන්දා බදාගෙන අඬනවා.. රම්බාගේ අම්මා ඒක දිහා බලාගෙන යටි ගිරියෙන් විලාප තිය තිය බලියනවා. 

ස්ක්‍රිප්ට් එකේ හැටියට දැන් තරඟකාරිය වෙච්ච චාරුලතා  ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා කැමරාවට පොඩි ලාමක ටටා පාරක් දාන්න ඕනේ. ඒත් කාලාවරෙන්කෝ අග්ගලා ගෑරුප්පුවෙන් කියන්නැහැ, මේකි අව්වට වේලිලා ඇඹරිච්ච කූඩළු ඇටේ වගේ රුවිතෙට ගිහින් ඉඳගෙන ඉන්න තැනම ඉඳගෙන සතර දිශාවට ඇඹරෙනවා හරියට දෙපාරක් මල්වර වෙලා වගේ...මම බයේ හිටියේ බෝල කුහර සන්ධියක් ඒකිගේ ඉල ඇටේක පැටලිලා හුස්ම හිරවෙලා පණ කෙන්ද යයිවත්ද කියලා.

මිනිහෙක්ගේ හදවත ගැහෙන සද්දේ "ලබ් ඩබ්" වුනාට අපේ පපුව ගැහුනේ "ලබ්ඩ බබ්ඩ, ලබ්ඩ බබ්ඩ" කියලා වගේ කියලයි එවලේ දැනුනේ. ඇයි යකෝ රටට ලෝකෙට ණය වෙලා  රියල් රියලිටි තරුව වෙන්න කියලා ආපු එකී මුරුක්කුවක් වගේ ඇඹරෙද්දී රටේ ලෝකෙට එවුන්ට මුණ දෙන්න බැරුව ඉන්න අපිට ආහාර ජීර්ණ පද්ධතියේ අග කෙලවරට තංගුස් නුලකින් බ්ලැන්කට් මැස්මක් දාගෙන බඩ යන්ඩ ජාපාල ඇට කාලා මැරෙන්න හිතෙනවනෙ මේකි කරන වැඩ වලට. හත්වලාමේ රෑ තිස්සේ ඇහැරගෙන, නිදි මරාගෙන තොරන් සුනිල් අයිය උගේ ඇඟේ පතේ තියාගෙන කරපු ට්‍රේනින් ඔක්කොම ගඟට දාපු ගොම්බෙට්ටක් වගේනෙව.

දැන් අනවුන්සර් මල්ලීගේ රතු කට්ටත් ගැල වෙන සයිස් එකට ඇවිත්. "ඔව්....පිලිගන්න...වේදිකාවේ........."ඔව් පිළිගන්න වේදිකාවේ" කියලා දැන් දහ පාරකට වඩා කියලා".. පිලිගන්න තියා පලිගන්නවත් මේ හුචක්කුව නැගිටලා එන්න එපයි. ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙද පොර අඩියක් හෙම පොලවේ හප්පලා ආයෙත්


"කිව්වම අහලා පිළිගන්නවා අයිසේ.. වේදිකාවේ..මීළඟට.....චාරුලතා..."


මොන...මේකි හෙල්ලෙනේ නෑ.......................අන්තිමට බැරිම තැනද කොහෙද අනවුන්සර් මල්ලි,


"අනේහ්  මට බෑ....... ඕයි"  ඌ ඇඩෙන නොඇඩෙන සයිස් එකට කට හදාගෙන කිව්වේ මුණ කෝච්චියට අහුවෙච්ච ගොලුබෙලිකට්ට වගේ කරගෙන "


අනේ අපි දැන් කෙටි විරාමෙකට යමු.." කියලා හෙන අහිංසක විදිහට කඳුළු අස්සෙන් කියලා බිමින් ඇන තියාගත්තා ඔලුවේ අත්දෙක ගහගෙන.   
 

මොන ජවුසම දැම්මත්, මොන විදිහකින්වත් ලේසියන් චාරුලතාව පුටුවෙන් හොල්ලන්න බැරි වුනා..අන්තිමට ඇඹරි ඇඹරි හිටපු චාරුලතාව පුටුවෙන් ගලවා ගන්න බැරුව පුටුව පිටින්ම උස්සන් යන්න සිකුරුට්ටෝ දෙන්නෙකුටත් එන්න සිද්ධ වුනා, ඒත් පුටුව ඒකිගේ පස්සෙන් ගලව ගන්න රම්බටයි මටයි ජඩ ගේමක් දෙන්න වුනා. සබකෝලේ ඉස්මුරුත්ත වෙච්ච නිසා ඒකිගේ අක්මාව අක්‍රිය වෙලා,  උණ්ඩුක පුච්චේට රුධිරය සපයන සිහින් ධමනියක් තාවකාලිකව අකර්මන්‍ය වෙලාද  කොහෙද මෙකි පුටුව බදාගෙන ඉඳලා තියෙන්නේ. අනික සූ ගාන විශාල ජනකායක් මැද්දේ ස්ටෙජ්  එකේ ඉන්නකොට හිතට දැනෙන "වේදිකා භීතිකත්වය" චාරුලතාව හතර අතේ වෙලාගෙන ඒකි නැත්තමට නැති කරලා දාලා වගේ එකකට එකක් නොදෙවෙනි තව තව විද්වත් මත ගොඩක් නිකන් තියන මගේ කනට ඇහුනා.


අන්තිමට අපි වන්දනා නඩේ වගේ හිටපු හැත්ත බුරුත්ත ඔක්කොම අකුලාගෙන එන්න හදනකොට ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටරයා දුවගෙන දුවගෙන ඇවිත් අපිට වැඳ වැඳ කිව්වා "අනේ...බුදු මල්ලියේ..කියන තැනකට වඳින්නම්..කියන ගානක් දෙන්නම්..මේ ඉස්සකුඩිච්චිය අරගෙන උඹල ආපු අතක් බලාගෙන මගේ දෑහෙට පේන්න ඉන්නේ නැතුව මෙතනින් තොලොංචි වෙලා පලයන්" කියලා. අන්තිමට ඌ හුල්ලලා හුල්ලලා රම්බා එපාම කියද්දී අතේ කීයක්ද මන්දා මිට මෙලෙව්වා.

එමින් ගමන් රම්බාට වගේම උන්ගේ පවුලේ උදවියට ඇතිවෙච්ච කැළල ගැන ආපු උදවිය හෙන අම්බ කයිවාරු ගහනවා. රම්බාගේ දුරින් නෑයෝ වෙන ආච්චි කෙනෙක් විටක් ඔතන ගමන් සීයට කියනවා මම අහගෙන "පොල්ලට්ටක් පිරෙන්න මුත්තරා කරන්න බැරි ඇච්ච කෙල්ලෝ රටවල් අල්ලන්න ගියාම ඔහොම තමයි, නැද්ද...අපේ මහත්තයා, වියදම් කරපු සල්ලි වලින් හරක් පට්ටියක් දැම්ම නම් ඊට වඩා හොඳයි..... හොග් හොග් හොග්"

ඒ කතාවටනම් මටත් තද වුණා...රම්බට අසූ හාරදාස් ගානට තද වුනා වගේ මම දැක්කා.. මල විදපු පාරට රම්බා බස් එකේ සීට් එක හපාගෙන හපාගෙන ගියා අවසිහියෙන් වගේ.  

ඇයි යකෝ හරක් පට්ටි දැමීම කෙසේ වෙතත් පොල්කට්ටක් පිරෙන්න මුත්තරා කරලා රට අල්ලනයෑ, ගිනස් වාර්තා තියන්නයෑ..මෙව්වා කාට කියනන්නද...

ගෙවල් ගාවින් බැස්සට එකෙක් හ්ම් නෑ...ලෝක විනාසේ වෙන්න තප්පරයයි වගේ හැම එකාගෙම මුනේ හෙන මළගෙවල් මූඩ් එකක්.
රම්බාගේ තාත්තා කල්පනා කර කර ඉඳලා හෙන බැරෑරුම් පාර්ට් එකක් මුනට අරන් චාරු ලතා ගාවට ඇවිත් ඇහුවා


"මගේ චුටි මණික...ඇයි මයේ අම්ම බය වෙලා වගේ හිටියේ...කියන්න මයේ අම්මා...ඇයි උඹ අපිව නැති කරේ කියපන් කෙල්ලේ"


චාරුලතා, තාත්තගේ බෙල්ල බදාගෙන හු කියා කියා බලියන්න ගත්තේ නැතැයි.


"අනෙහ් තාත්තේ.... එවලේ මම සෑහෙන පීඩනයෙන් හිටියේ.... මං දිහා බලාගෙන උන්නු අයියලා ඔක්කොම මට  චියර් එක දීලා කෑ ගහනකොට මම කීරි ගැහුනා තාත්තේ..කීරි ගැහුනා.."



Tuesday, December 4, 2012

සෙලෝලොයිඩ්

තිලකරත්න එදින කෙටි නිවාඩුවක් දමා වේලාසන නිවසට ඒමට තීරණය කලේ උවමනාවකටම නොවුනත් මාසික කෙටි නිවාඩුවක් ඉතිරිවී තිබුන හෙයින් ඒවා නොගැනීමෙන් මාසික වේතනයට සිදුවෙන විශේෂ සෙතක්ද නොමැති  නිසාවෙනි. සුපුරුදු පරිදි දක්නට ලැබෙන කාර්යබහුලත්වයෙන් තොර පදික වේදිකාව දිගේ ඇවිද ගිය ඔහු සිනමා ශාලාව අසල මදක් නැවතී උනන්දුවෙන් බැලුවේ විශාල දැන්වීම් පුවරුව දෙසය. ඒ මේ දිනවල තිරගත වන සිනමාපටය කුමක්ද යනවග දැනගනු පිණිසය. යොවුන් වියේදී මේ සිනමා ශාලාව තුල තිරගත වූ සෑම චිත්‍රපටියක්ම පාහේ නැරඹු ප්‍රේක්ෂකයින් අතර තිලකරත්නද සිටිබවට සාක්ෂි දරන්නේ ඔහුත් ඔහුගේ සමකාලීනයිනුත් පමණක් විය හැකිය.

පාසලෙන් කට්ටි පැන තම මිතුරන් සමග බයිස්කෝප් බැලීමට ගොස් ගෙදරට හසුවී දඬුවම්ද විඳ ඇති නමුදු ඔහුව මෙල්ල කිරීමට දඬුවම් තරවටු වලට නොහැකි විය. 70 දශකයේ මුල්භාගය වන විට ඔහුට චිත්‍රපට උන්මාදය තදින්ම වැළඳී තිබිණ. ඔහු සිනමා චරිත අනුකරණය කළේය, නළුවන් ලෙස වචන උච්චාරණය කළේය, කොටින්ම ඔහු ජීවිතය සිනමාවක් සේ සැලකුවේය. සිනමා ශාලාව තුල චිත්‍රපටිය තිරගත වන විට හාත්පස අඩ අඳුරට ඔහු තඳින් පෙම් බැන්දේය. ඔහු ඒ අඳුරේ, සෙලොයිඩ් පටය වෙතින් නික්මෙන ආලෝකය වෙත නෙත් අයා සිටියේ තත්පරයකුදු හෝ අවධානය වෙනතකට යොමුවීම වලක්වමිනි.  ප්‍රේක්ෂකයෙක් සිනමාපටය වෙත සෘජුවම සජීවීව සම්බන්ධ කරන විශ්මයජනක හැකියාවක් ඒ අඳුරට ඇති බව ඔහු විශ්වාස කලේ අත්දැකීමෙනි.  

කාර්යාලයට ගොස් එන විට බොහෝ දින වල සිනමා ශාලාවේ  දැන්වීම් පුවරුව මත සටහන් වූ දැන්වීම් දුටු ඔහු පස්චාත්තාප වුයේ හුදෙක් විශිෂ්ට ඝනයේ සිනමා පටයක් රසවිඳීමට නොහැකි වූ නිසාම නොව,  ස්වදේශික නිර්මාණකරුවා වැටී ඇති ගැඹුරු හෙල සිහියට නැගීමෙනි. නමුදු මෙවර එහි සටහන් වූ දැන්වීම නෙත ගැටෙත්ම ඔහු පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නමුදු එනිසාවෙන් හටගත් මන්දස්මිතය මුව මත නොරැඳී සැනින් අතුරුදන් වුයේ එහි පහතින් සඳහන් වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය දැකීමෙනි.  "චඃ අපරාදේ" යන්න මුවින් පිටවී ගිය නමුදු  එය නැරඹීමට ඔහුට ආශාවක් ඇතිවිය. මන්ද දෙස් විදෙස් සම්මාන ජයග්‍රහණය කරන ලද විශිෂ්ට ඝනයේ සම්භාව්‍ය සිනමාපටයක් ලෙස එහි ඉහලින් සටහන් වූ වැකිය ඒ බව ඔහුව ඒ කෙරේ අදෘශ්‍යමානව නැඹුරු කරන්නට  වූ නිසාවෙනි. එහෙත් සිනමා පටය නරඹනවාද නැද්ද යන්න ගන්නා  තීරණය  සිත තුල හටගත් උභය සිතිවිලි මත ඔබ මොබ දෝලනය වූයේ ඔහු ස්ථීරවම තීරණයකට නොඑළඹුනු නිසා විය යුතුය. සැලකිය යුතු සතුටකින්ද දුකකින්ද තොර වූ හදවතට තීරණයක් ගැනීමට ඇරයුම් කරමින් ඔහු නිවස දෙසට පය ඉක්මන් කලේ වියවුල් හදවතිනි. 

මැදිවිය ඉක්මවා ගිය ජීවිතයේ සැන්දෑ සමයේ මුල් කාර්තුවට පිවිස සිටින තිලකරත්න ගතින් තරමක් දුබලව සිටියද ගතිපැවතුම්, සිතුම් පැතුම් අතින් තවමත් ගැටවරයෙක්  සේ තරුණ බව තම බිරිඳද කාර්යාලයේ උදවියද  නිතර නිතර පවසන්නේ හුදෙක් විහිළුවක් කර සිනාසීම සඳහා පමණක් නොවන බවද එහි යම් සත්‍යතාවක් ඇති නිසා බවද ඔහු දනී. මිතුරන්, අසල්වාසීන්  සමග සංවාදයේ යෙදෙන විට ඔහුගේ මුවින් පිටවෙන වචන අදහස් හා තර්ක බොහෝ විට ගැටවරවියේ ඉලන්දාරියෙකුගේ සිතුවිලි වලට සමාන විය.

 "තිලකේ මං වයසට ගියත් ඔයානම් වයසට යන්නේ නෑ", වරෙක එසේ පවසනේ බිරිඳය.  "තිලකරත්න වයසට ගියාට තාමත් කොල්ලා වගේනේ හිතන්නේ", "තිලකරත්න අයිය නම් කවදාවත් වයසට යන්නේ නෑ" "තිලකේ කියහන්කෝ බං උඹ ඔය හිතන විදිහට හිතන්නේ කොහොමද කියලා" ඔහු හා කතාබස් කරන බොහෝ දෙනෙක්ගේ මුවින් මෙවන් වදන් පිට නොවන්නේ කලාතුරකින්ය. එවිට ඔහු පිළිතුරු දෙන්නේ "උඹලත් ඒ කාලේ ආව පිච්චර් හැම එකක්ම වරද්දන්නෙ නැතුව බැලුව නම් උඹලටත් එහෙම ඉන්න තිබ්බා" කියමින් සිනාසෙමිනි. ගැටවර වියේ චිත්‍රපට කිසිදු තෝරා ගැනීමකින් තොරව නැරඹුවද, අදහස් අතින්, වයස අතින් ඔහු කෙමෙන් පරිණත වෙද්දී ඒ ලැයිස්තුවට එක්‌ වුයේ තෝරාගත් නිර්මාණ කීපයක් පමණි. ඒ තෝරා ගන්නා නිර්මාණ පිළිබද ඔහු සෑම විටම උදම් ඇනුවේය..  බොහෝවිට කා සමග හෝ පිළිසඳරක යෙදෙන විට සිනමාව ගැන කියවීමට ඔහු විශේෂ කැමැත්තක් දැක්වීය. ගීතයකට සවන් දී එය කුමන චිත්‍රපටයේද, ගායනා කරන්නේ කවුරුන්ද මෙන්ම තිරගත වූ වසරද කටපාඩමින් කිවහැකි අපුරු හැකියාවක්ද ඔහු සතුව තිබිණි.

කෙටි නිවාඩු දමා කල්වේලා ඇතිව නිවසට පැමිණි ඔහු ඉස්තෝප්පුවට පැමිණ හාන්සිපුටුවට වී කහට කෝප්පයක් තොලගාමින් චිත්‍රපටිය නැරඹීම සඳහා යම්දෝ, නොයම්දෝයි කියා සිතිවිලි සමග නිදහසේ තර්ක කරන්නට විය. වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත වර්තමාන සිනමාපට පිළිබඳව ඔහු තුල ඇති ආකල්පය එතරම් යහපත් එකක් නොවීය. ඔහු හා තර්ක කරන බොහෝ දෙනෙක් සමගද ඔහු තර්ක පිට තර්ක ගෙනෙමින් ඔප්පු කරන්නේද ඒ බවය. ඔහුට අනුව වර්තමාන සිනමාවේ පෙන්වන නිරුවත හෝ අඩනිරුවත හුදෙක් චිත්‍රපටයේ රසය ඉස්මතු කිරීම සඳහා නොව වාණිජ අරමුණු උදෙසා කරන ලද මවාපෑමක්ය. එවන් චිත්‍රපට නරඹන්නන් ලෙස ඔහු හඳුන්වන්නේ හුදෙක් සිනමාවක ඇති රසාස්වාදය උපරිමයෙන් විඳීම සඳහා නොව එමගින් හිත් වලට කාවද්දන කුණු රසය විඳගැනීමට බලාගෙන සිටින  සංවේදනයෙන් තොර නූගත් පිරිසක් ලෙසටය. බොහෝ කාලයකින් හොඳ චිත්‍රපටියක් නැරඹු දිනක්ද  ඔහුට හරිහැටි සිහියට නගා ගත නොහැකි විය. එහෙතුවෙන් එවන් සිතිවිලි විසින් තෙරපන ලද ආශාව ඔහුට උක්ත චිත්‍රපටිය නැරඹීමට කෙතරම් බල කලද තවමත් හරි හැටි ස්ථීර තීරණයක් ගෙන නැති බවක් ඔහු කෙරෙන් දිස් විය.

චිත්‍රපටිය නැරඹීමට යනවා නම් තම බිරිඳ සමග යාහැකිය. එවිට එය නැරඹීමට තනිව යෑමෙන් උද්ගතවිය හැකි දරුණුම ප්‍රශ්න වලින් එකකින් සම්පුර්ණයෙන්ම නිදහස් විය හැකිය. නමුත් තම බිරිඳ සමග සිනමා ශාලාව තුල සිටිය වග දන්නා හඳුනන කවුරුන් හෝ දුටුවහොත්  තමාගේ ප්‍රතිරූපයට සිදුවෙන හානිය ගැන ඔහු කල්පනා කළේය. මිතුරන් ඉදිරියේ, අසල්වාසීන් ඉදිරියේ වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත චිත්‍රපටියක් නිසා  තමන් හෑල්ලුවට ලක්වී  බොරු කයිවාරු ගහන පුරාජේරුකාරයෙන් වෙන ආකාරය ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. පිරිසට මුහුණ දීමට නොහැකිව අපහසුතාවයට පත්වන විට ඔවුනට පැවසීමට නිදහසට කාරණයක් ඔහු කල්පනා කළේය. "මගේ චොයිස් එක ඔය කවුරුත් දන්නවනේ, අද මම මේක බලන්න ආවේ ජාත්‍යන්තර සම්මාන අරන් තිබුන කියලා තිබුන හින්දා"... "චෑ චෑ චෑ ඒක හරියන්නේ නෑ."  ඔහු එය නොගැලපෙන බව සිතුවේ මීට පෙරත් ජාත්‍යන්තර සම්මාන ලද වැඩිහිටියන්ට පමණයි ලේබලය සහිත චිත්‍රපටි තමාගේ ලැයිස්තුවෙන් බැහැරවී ඇති නිසාය.


"තිලකේ....! ආව ගමන් ඉඳලා මොකෝ කල්පනාව..මං බලාගෙන සෑහෙන වෙලාවක ඉඳන්.......ෂෝට් ලීව් එකකුත් අරගෙන ආවේ මොකුත් අසනීපයක්වත්ද ?"


"ම්ම්හ්.... නෑ... සුමනා...එහැටි දෙයක් නෙමෙයි, මගේ ඔලුව කකියන්න ගත්තා, ඒකයි ටිකක් වේලපහින් ආවේ...."  තමන් කෙටි නිවාඩුවක් දමා කලින් ගෙදර ඒමට ගත්  තීරණය පිලිඹද සිත යටින් සතුටු වෙමින් ඔහු මුසාවක් ඇදබෑවේ, එවලේ තමන් සිතමින් සිටි කාරණය තවදුරටත් සඟවා ගනිමිනි. 


පසුදින කාර්යාලයට පැමිණි ඔහු සුපුරුදු පරිදි වැඩ රාජකාරීවල යෙදීමෙන් සිටින අතර තම මේසය අසලින් ගමන් ගත් කාර්යාල කාර්ය සහායකවන රත්නපාල ඔහු හා කතාවට වැටිණ.

"ගුඩ් මොර්නින්ග් තිලකරත්න මහත්තයා"

" ආ.... ගුඩ් මොර්නින්ග් රත්නේ"

"තිලකරත්න මහත්තයා නම් යන්නේ නෑ නෙව අලුත් ෆිල්ම් බලන්න...මහත්තයගේ චොයිස් එක ඒක නෙවෙයි නෙව"

රත්නපාල උපහාසාත්මකව ඔහු දෙස බලා සිනාසුනේ තමන් අපහසුතාවට ලක්කිරීමට බැව් තිලකරත්නට වරදවා තේරම් ගත්තද එබවක් පිටතින් නොපෙන්වීය.

"රත්නපාල දන්නවනේ මගේ චොයිස් එක...!" ඔහු බැරෑරුම් ස්වරයෙන් කීවේය.

"එහෙනං එහෙනං මොකෝ මං  නොදන්නේ.....අපි නම් ඔන්න ලබන සෙනසුරාදා ඔක්කොම අර අලුතෙන් ආව ෆිල්ම් එක බලන්න යන්න දාගෙන තියෙන්නේ"

"මොන ෆිල්ම් එකද ?...ඔක්කොම කිව්වේ..පවුලේ උදවියද...?" තිලකරත්න  කිසිවක් නොදත්තකු සේ තතු විමසුවේය.

"අපෝ නෑ පොඩි එවුන් එක්ක ගිහින් බලන්න පුලුවනෑ ඒක...මං කිව්වේ මේ කන්තෝරුවේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ අය ගැන"

"අඃ...එහෙමද....?...කවද්ද යනවයි කිවේ" තිලකරත්න එය අවධාරණය කොට ඇසුවේ එය ඔහුට තීරණයක් ගැනීමට කදිම අවස්තාවක් නිසා විය යුතුය.

"ලබන සෙනසුරාදා"

"හ්ම් හ්ම්...හොඳා හොඳා....!!" තිලකරත්න නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේය.

සවස කන්තෝරු වැඩ රාජකාරී අවසන්වී නිවස කරා එද්දීද ඔහු කල්පනා කලේ ඒ චිත්‍රපටිය නැරඹීමට යොදන සැලසුම පිලිබඳවය. "එක්කෝ කවුරු දැක්කම මොකෝ...මං ගන්නේ මට ඕන තීරණ..ඔන්න ඔහේ මම යනවා.." ....."ඒත් කන්තෝරුවේ උදවිය, අහල පහල උදවිය මූණට හම්බෙච්ච වෙලාවක මං එහෙ ඉන්නවා දැකල මොනවා නොකියා ඉඳීවිද..කටින් නොකීවත් මොනවා නොහිතාවිද "සුමනා වුනත් මොනවා නොකියාවිද, එයැයිත් මං මහ වචන දෙකේ මනුස්සයෙක් කියලා හිතන්න බැරි නෑ."  ඒ වනවිට වැහි කළුවෙන් බරවී තිබුණු අපැහැදිලි අහසත් ඔහුගේ චිත්ත සන්තානයත් අතර දැඩි වෙනසක් නොතිබෙන්නට ඇත. කඩා හැලෙන්නට මාන බලන වැහි කළුව උඩු සුළඟත් සමග තනිව උණුසුම් සටනකය. තිලකරත්නත් එසේම තම සන්තානගත සිතුවිලි සමග තනිව පොරබදන්නට විය.  


අවසානයේදී මේ සිකුරාදා අසනීප නිවාඩුවක් දමා බිරිඳ සමග හවස චිත්‍රපටිය නැරඹීමට ඔහු ස්ථීර  තීරණයක් ගත්තේය. ඒ කාර්යාලයේ සියලු දෙනා සෙනසුරාදා චිත්‍රපටිය නැරඹීමට යන නිසාවෙන් ඊට පෙර දිනක කිසිවෙක් එය නැරඹීමට නොඑන බව අනුමාන කරමිනි. "ඔව් සිකුරාදා හොඳම දවස, එදාට කන්තෝරුවේ කවුරුවත් චිත්‍රපටිය බලන්න එන එකක් නෑ, කලින් දවසේ අසනීපයි කියලා කෝල් එකක් දීලා ගෙදර ඉඳලා හවස් වෙලා සුමනත් එක්ක යනවා චිත්‍රපටිය බලන්න.".."ඒත් අහල පහල උදවිය ආවොත් තමයි ප්‍රශ්නේ", "නෑ.. නෑ අද කාලේ හැටියට ඔලුව උස්සන්න බැරිකොට අහල පහල අයත් ඒවි කියලා හිතන්න අමාරුයි....", "මොනවා වුනත් තව ටිකක් බලමුකෝ ගෙදර ගිහිනුත් හොඳට කල්පනාකරලා." ....."තවම සුමනාට කීවෙත් නෑනේ".. පදික වේදිකාවේ තට්ටුවක විකිණීමට තබා තිබුණු කව් බෝයි තොප්පිය ඔහු මිලට ගත්තේ අතේ මුදල් ගැවසුණු නිසාවත්, ඔහුට එයට හිත ගිය නිසාවත් නොවන බැව් නම් පැහැදිලිය. මන්ද වෙළෙන්දා නියම කල මිල අඩු කිරීමට පින්සෙන්ඩු වීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. එනමුදු ඔහු මෙවර ඒ තොප්පිය මිලදී ගත්තේ කිසිම විමසීමකින් තොරව නොපැකිලිවය. ඒ අනුව පිටතින් ඔහු දෙස බලන කල ඔහුගේ සිතේ කිසියම් දෙවන සැලසුමක් ක්‍රියාත්මක වන සෙයක් ඇත.

නිවසට පැමිණි ඔහු තරමක් කලබලකාරී ස්වරුපයෙන් නිවස ඔබ මොබ සක්මන් කරන්නට විය.  ගතින් වැඩිහිටියෙක් වුවද සිතුම් පැතුම් අතින් ගැටවරයෙක් කියා ස්ව හැඳින්වීමක් කර ගන්නා ඔහුම, මේ කාරණය තුල යම් පසුගාමීත්වයක් අත්කර ගැනීම පිලිබඳ ඔහුටද විමතියකි. ඒ පිළිබද තව දුරටත් සිතීමද වෙහෙසකාරී විය.


"සුමනා..අපිට ගොඩ කාලෙකින් චිත්‍රපටියක්වත් බලන්නවත් යන්න බැරි වුනා නේද...?"


"හ්ම්....බලන්න යන්න හොඳ චිත්‍රපටි දැන් එන්නේ නෑනේ" සුමනා පැවසුවේ උපහාසාත්මකව සරදමක් ලෙසය. එයින් පෑරුණු සිත් ඇතිව තිලකරත්න අපහසුතාවට පත්විය.


"ඔ....ව්...ඔව්..ඒක නම් ඇත්ත.. ඒවුනාට .මං මේ කල්පනා කලේ මේ සිකුරාදා ගෙදර නැවතිලා ඉහල ඉඩම සුද්ද කරලා දාල හවස් වරුවේ ඔයත් එක්ක චිත්‍රපටියක් බලන්න යන්න"

"හදිස්සියේම....?"


"නෑ එහෙමට හදිස්සියක් නෑ..ඉහල ඉඩමත් කැලෑවනේ හරියට,... තවත් නොසලකා හිටියොත් කැලෑව ඉහටත් උඩින් වැවෙයි."


බිරිඳගේ තදබල අකමැත්තක් නොමැතිබව පෙනුන නිසා ඔහු ප්‍රීතියෙන් පිනා ගියේය.

----

 උදා වූ සිකුරාදා දින උදෑසන කාර්යාලයට ඇමතුමක් දී සැලැස්ම අකුරටම ක්‍රියාවට නැංවීය. හවස් වරුවේ  චිත්‍රපටිය බැලීමට යාම සඳහා ඔහු ලකලැස්ති විය.


"මොකද මේ කවදාවත් නැතුව තොප්පියක් දාගෙන තිලකේ, අනික පට්ටි කාරයෝ දාන තොප්පියක්....ඔය ඇඳුමට ගැලපෙන්නෙත් නැතුව ?


"ආහ්.... නැ... නැ විශේෂයක් නෑ..මේ දවස් ටිකේ හවස පින්න වැඩි නිසා පරිස්සම් වෙන එක හොඳයි, සෙම හැදුනොත් හරි අමාරුයිනෙව.... ඇඳුමට ගැලපෙන්න ඕනේ නෑ..පරෙස්සමනේ වටින්නේ..අනික ඔයා දන්නවද දැන් මේක අවුට් ඔෆ් පැෂන් වුනාට මේක ඒකාලේ ජනප්‍රිය විලාසිතාවක්." අතීතය ආවර්ජනය කරමින්ද ඔහු සැරසුනේ ඒ බව සාධාරණීයකරණය කරන්නටය.


පුරා හෝරා කීපයක් දැහැනකට සමවැදුනාක් මෙන් චිත්‍රපටිය නැරඹු ඔහුගේ මුහුණේ යම් තෘප්තිමත් බවක් පෙනෙන්නට තිබුණි. යොවුන් වියේ විඳි අත්දැකීම නැවත වරක් මුහුකුරා ගිය අවධියක සිට ඔහු නැවත හදවතින් වින්දේය. සිතු පරිදි එල්ල විය හැකි කරදර නොපැමිණීම පිලිබඳ ඔහු සතුටු විය. චිත්‍රපටි ශාලාවෙන් එලියට එද්දී ඔහු බිරිඳට සමග කතාවට වැටුනේ වටපිට බලමින් දන්නා හඳුනන කිසිවෙක් හමුවේදෝයි සැලකිල්ලෙන් බලමිනි .

"කාලේ හැටියට හොඳ නිර්මාණයක්, කලාතුරකින් බිහිවෙච්ච විශිෂ්ට නිර්මාණයක්, මං හිතන්නේ මිනිහට තව දුර ගමනක් යන්න පුළුවන් වෙයි".

"අනේ මන්දා ඉතින් මටනම් ඔව්ව තේරෙන්නේ නෑ, ඉස්සර බලපුවයෙයි මේකෙයි එහැටි වෙනසක් නම් නෑ" බිරිඳගේ රසවින්දනය ගැන ඔහු කම්පා වුනත් ඉක්මනින් පියගැට පෙළ බැස්සේ කිසිවෙකු දැකීමට පෙර නිවසට ඒමේ අභිලාෂයෙනි.


"හලෝ.......තිලකරත්න මහත්තයා, නෝනත් එක්ක ෆිල්ම් එක බලන්න ඇවිල්ල වගෙයි, තිලකරත්න මහත්තයට අසනීපයි කිව්ව හින්දා කන්තෝරුවේ කට්ටිය තීරණය කළා සෙනසුරාද ගමන කැන්සල් කරලා අද ෆිල්ම් එක බලලා හෙට තිලකරත්න මහත්තයාගේ අසනීප තත්වය බලන්න එහෙ ගෙදර එන්න"

ඒ අවට විසිරී සිටි කාර්යාලයේ උදවිය සියලු දෙනාම තමා අසලට පැමිණ  තමා දෙස උපහාසාත්මකව බලා සිටිනු දැකීමෙන් ඔහු මහත් අපහසුතාවට පත්විය. දෙකන් පෙති රත්වී අවට ශබ්දය මුනුමුනුවක් බවට පත්වෙද්දී ඔහු බිරිඳගේ අත තදින් මිරිකා ගත්තේය.


"තිලකරත්න මහත්තයට එච්චර අමාරුවක් නැති පාටයි" රත්නපාලගේ උපහාසාත්මක ස්වරය ඈතට පියමන් කරද්දීත් ඔහුට ඇහුනේ දෙසවන් බිහිරි කරන ඝෝෂාවකිනි.

නිමි.

Monday, November 26, 2012

"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.

රම්බාගේ නංගි චාරු ලතා, තේරුණ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එක වැටිලා තිබුනේ පහු වෙනිදට කොළඹ විකාශනාගාරයේ. ඉතින් කට්ටිය යමරෙට වැඩ..එක කාමරේක චාරුලතා සංගීත ප්‍රැක්ටිස් තොරන්  සුනිල් අයියා එක්ක. තවත් කාමරේක රම්බාගේ අම්මා, හතර වරිගෙම බවලත් උදවිය එක්ක පහුවදාට අඳින්න සාරි තෝරනවා. ඒ බවලත් උදවියගේ සුහච කීකරු යුග පුරුෂයෝ ටික අතින් කුස්සියේ මේ ඔක්කොටම කෑම හැදෙනවා. ඔය අස්සේ මමයි රම්බයි සිම් කෑලි ටික බදාගෙන පහුවදාට ජිල්මාර්ට් එක දෙන්න නුලට තිතට දශමෙට ප්ලෑන් කරනවා. මේ වගේ උත්තුංග කාර්යක් සිද්ධ වෙන වෙලාවේ රම්බාව තනි නොකරහන් කියලා ඌ දෙපයින් වැටිලා මට කරපු ගෞරවනීය ආරාධනය සලකලාම නෙමෙයි මම කලින් දවසේ රෑ උන්ගේ දිහා නැවතුනේ. මේවා මගෙනුත් කෙරෙන්න ඕනේ යුතුකන්නේ. ඒකයි ජාති ජාති රම්බාගෙයි මගෙයි අතරේ තියන අන්තර් සහජීවනය හා භෞමික අඛණ්ඩතාවය, වගේම ස්වෛරී භාවය වෙනුවෙන් මම එදා  හිත හදාගෙන උන්ගේ දිහා රෑ පහන් කරේ.


වෙන්න ඕනේ ඔක්කොම කටයුතු ටික ගානට තිතට නුලට සෙට් කරලා මමයි රම්බයි දෙයියනේ කියලා පොඩ්ඩක් ඇහැ පියාගන්න කියලා උගේ කාමරේට ආවා. සසර කල කිරවන රුප රාමු සහිත දර්ශන දාමයක පලවෙනි දර්ශනය එපා කියද්දී ඇස් ඉස්සරහා මැවුනේ රම්බාගේ ඇස් දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න තියෙද්දී කියලා මට හිතෙනකොටම බිත්තිය හයිකරලා තිබුන දඩාර් ඔරලෝසුවේ මහා රෑ දොළහේ බෙල් එක වැදුනා. රම්බාගේ දෛනික නාවර, කුණුකෙල වලින් තව තවත් ඔපනැංවුන දාර දාර  පෘෂ්ටයක් තිබ්බ හඩු ගඳ ගහන කොට්ටේ කොනක් හපාගෙන ඇස් දෙක බාගෙට ඇරගෙන නිදාගෙන හිටියේ රම්බාගේ ලොකු පූංචි කියලා ඌ මට ඊට පොඩ්ඩ වෙලාවකට පස්සේ  කිව්වට මම නම් හිතාන උන්නේ එවලේ මම දැක්කේ මොහිනීගේ නිවුන් සහෝදරී කියලමයි. රම්බා කේන්තියට දිව හපාගෙන මල විද විද මාවත් ඇදන් කාමර එකින් එක ගානේ ගියා.



හැම කාමරයක්ම සැමන් ටින් එකේ මාස තුනේ බ්‍රොයිලර් කුකුල්ලු අමුවෙන් පැක් කරලා වගේ, ඒතරමට ජනකාන්ත ජනතාව සූ ගාලා. සංගීත ප්‍රැක්ටිස් කාමරේ මුල්ලක උඩැක්කි බෙරයක් බෙල්ලේ බැඳගෙන චාරුලතා, සර්පිනාව උඩ ඉඳන් හිටපු තොරන් සුනිල් අයියාගේ බෙල්ල දෑතින්ම බදාගෙන උගේ ඔඩොක්කුවේ ඉඳගෙන නිදි.. ඒ මදිවට සුනිල් අයිය ගොරවන්නෙත් "සරිගම" තාලෙට. ඊටත් හපන් චාරු ලතා. ඒකි ගොරවන්නේ "පධනිස" තාලෙට. රම්බා චාරුලතා දිහා බලලා මුණට ගත්ත අමුම අමු දුක්ඛ දායක ලුක් එකකින් මං දිහා බලලා හීල්ලුවා. 



"පව්... අහිංසකී....නේද රයිටර්...?"



"හ්ම්....පව් නේද බං..දුකේ බෑ....බලපන් හෙට ලෝකය දිනන්න උඹේ නංගි විඳින දුක..මට ආඩම්බරයි මචන් මට ආඩම්බරයි"  මම රම්බාගේ උරහිස්සෙන් අල්ලලා හොල්ලල හොල්ලලා හෙන ඕවර් ඇක්ටින් ජවනිකාවක් රඟපෑවා.



කොහොම හරි අන්තිමට සක සයින් සබ කොස් සබ ටෑන් කියන්නෑහේ  අපි නිදා ගත්තේ රම්බාගේ අත්තාගේ ගොන් කරත්තේ දිරච්ච ලෑලි තට්ටුව උඩ. ඇස් දෙකට රබර් කිරි වැක්කෙරුවත් ඇහැ පියවෙන්නේ නැති කටුක නිර්ලජ්ජිත, අවජාතක, මුග්ධ මුසල, අධම,  රෑ  පාන්දර එකට විතර රම්බා යටිගිරියෙන්  "චමරීරී...රීරීරී.....!" කියලා උගුර කඩාගෙන ලතෝනි දුන්නා, ආයෙත් පාන්දර දෙක හමාරට විතර "සුගන්දිකා අක්කේ...අනේ...මගේ අක්කේ කේ
...." කියලා බලියෑවා...ඊටත් පස්සේ චන්ද්‍රා ඇන්ටී..ටීටීටීඊඊ., ඊටත් ඊටත් පස්සේ...ගුණවතී ආ........ච්.....චීචීචීචී.... !!......කාපන්කෝ අග්ගලා ඔලුවෙන් හිටගෙන කිව්වලු ..අනික් ඔක්කොමත් හරි ගුණවතී ආච්චි......යකෝ මුගේ කට කැඩිලා පලකො දෙයියනේ මේ විලම්භීත කතා කියනවට. මේකා දකින හීන වල තියෙන්නේ මොන මොන අලුකුත්තේරු ජවනිකාද කියල කවුද දන්නේ.  එක්කෝ මුට පේනවා ඇත්තේ හෙන  කිලෝ ගානක පජාත ඇවටියෙල් සීන් ගොඩක්, එහෙමත් නැත්තම් ගඟක මුහුදක ලයිෆ් සේවින්ග් මිෂන් එකක්,  තව පොඩ්ඩකින් මේකා අපේ අක්කගේ නමත් කියන්න බැරි නෑ . ඒක හන්දා  තවත් මෙතන ටැග් ගැහුනොත් මටත් ඔට්ටුපාල් සම්බෝලේ තෙල්දාලම කන්න වෙන හින්දා මම එතනින් ඉක්මනට වහන් වුනා. 

------------------------------------------------------------------------

පහුවදා බස් දෙකක් පුරෝලා නෑදෑයෝ හැත්ත බුරුත්ත දෙසීයක් විතර රියලිටි ටැලන්ට් ෂෝ එකට තිබ්බ තැනට ආවා....ෂාහ්...චාරුලතා..හප්පේ බලන්න එපායැ ලස්සන..කරමලේ මෝදුවෙච්ච බ්‍රොයිලර් කිකිලි වගේ..වරිගේ ඔක්කොම පෙරහරෙන් වගේ චාරුලතා පෝලිමේ මුලින් තියාගෙන රෙජිස්ටර් කවුන්ටරේ ගාවට ගියේ "චාරු...හ්..! චාරු...හ්...!!" කිය කියා. ඇවිත් හිටපු අනික් හැම මනුස්සයාම අපි දිහා බැලුවේ හරියට සහරා කාන්තාරේ මැදින් සෝමාලියාවට බලෙන් අරන් යන ඔටුවෝ රැලක් දිහා බලනවා වගේ.



කවුන්ටරේ හිටපු සුකුමාල මනෝහර චූටි නංගි තරඟය ගැන අපිට කෙටියෙන් විස්තරයක් කළා.

"මෙහෙමයි සර් වැඩසටහන් විස්තර, ඉස්සෙල්ලම තරඟකරු ගැන පොඩි ඇඩ් එකක් තරඟෙට කලින් ටීවී එකේ පෙන්නන්න ඕනේ නම් ඇඩිෂනල් ටෙන් තව්සන්ඩ් පේ කරන්න ඕනේ. ඒකෙ මේක් අප් එකට එක්ස්ට්‍රා  ටූ තව්සන්ඩ් චාර්ජ් කරනවා. තව තරඟය වෙලාවේ ඕඩියන්ස් එකට එන නෑදැයින්ගේ මේක් අප් වලට එක්කෙනෙක්ට වන් තව්සන්ඩ් පේ කරන්න ඕනේ, ඔක්කොම වෙන්න ඕනේ මේ ස්ක්‍රිප්ට් එකේ හැටියට. මෙතන යටම සයින් කරන්න ඕනේ අපේ ඇග්රීමන්ට් වලට එකඟ වෙනවනම්,  තරඟය විනිශ්චය වෙලාවේ කඳුළු පෙරාගෙන අඬන්න, බොරුවට කලන්තේ දාලා වැටෙන්න ඔක්කොම වෙන්න ඕනේ එදාට දෙන ස්ක්‍රිප්ට් එකේ හැටියට. තරඟයේ අන්තිම පස් දෙනා අතරට එන්න ඕනේ නම් වන් ලැක් ඩිපොසිට් එකක් තියන්න ඕනේ...."



"මේ.....මිස්  අපි එකඟයි එකෙන්ම....පූල් එකට බැස්සේ රෙදි අපුල්ලන්න නෙමෙයිනේ.... ඒත් මේ...මේ..මිස්....අපිට....මේක් අප් නැතුව වැඩේ ගොඩින් කරගන්න බැරි වෙයිද" රම්බා ඇස් දෙක උල් කරගෙන ඇහුවේ ගණන් අහලා තුන්කාන්දෙන් දාඩිය පෙරාගෙන වෙන්න ඇති.



"චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා. සර්ලා මැඩම්ලා බාගෙට ටෝස්ට් වෙච්ච වඳුරෝ වගේ ටීවී එකේ පේනකොට අපේ චැනල් එකේ ඩිමාන්ඩ් එකට මොකද වෙන්නේ..? පොඩ්ඩක් ඒක ගැනත් හිතන්න"



රම්බාගේ පෞරුෂය වගේ එක ඒ සුකුමාල කෙල්ල ඉස්සරහ දෙදන පල්ලෙන් හේදිලා යද්දී  ඌ ඔක්කොම ඇග්රීමන්ට් ටිකට සයින් කළා ඇස් දෙක පියාගෙන.



තරඟයට කලින් කරනවයි කිව්ව ඇඩ් එකට ගෙව්ව හින්දා චාරුලතා ෂුටින් එකට ගියා. කෙල්ලට තිබුනේ බදන්න බැරි සයිස් මාර ගහක කඳ අයිනෙන් එබිලා පොඩ්ඩක් විරිත්තන්න.. ඊටපස්සේ දුවගෙන දුවගෙන ඇවිත් රවූමක් කැරකිලා එක පාරක් උඩ පැනලා බිම නිදාගෙනම පෙරලි පෙරලි සින්දුවක කෑල්ලක් කියන්න. අපරාදේ කියන්න බෑ, බැල්ලි පැඩ්ඩා වගේ චාරු ලතා ඒක ලෙසටම කළා.  ඉතින් ඒකත් අහවර වුන හින්දා ඒ අතරේ මේක් අප් එක කර කර හිටපු අපේ රම්බාගේ පවුලේ උදවියයි, ගමේ උදවියයි එකා දෙන්නා ඇවිත් අන්තිම එකාත් ස්ටේජ් එක තිබුන හෝල් එකට ආවා.. තරඟය පටන් ගන්න විනාඩි පහක් තියලා කෙල්ලෝ දෙන්නෙක් බුරුසුවකින් ඕඩියන්ස් එකේ ඉඳගෙන ඉන්න අයගේ මුණ අතුල්ල අතුල්ල ගියා අන්තිම පාරට කරන මේක් අප් එක කියලා.


තරඟය පටන් ගත්තා, මුල්ම තරඟකරු විදිහට ස්ටේජ් එකට උඩින් කඹයකින් බැහැපු හෙන තඩි කෙල්ලට එයාගේ පර්ෆොර්මන්ස් එක හරියට කරගන්න බැරි වෙයන්, බැරි වෙයන්  කියලා අපි හිතුවට විනිශ්චය මණ්ඩලේ හිටපු ප්‍රවීණ දන්ත වෛද්‍ය රදනක මහත්තයාගේ චන්දෙනුයි, ප්‍රවීණ ව්‍යාපාරික හා ජෝතිෂ්‍යවෙදී  සුර්යමංගල මහත්තයගෙයි ඒකමතික චන්දෙනුයි ඊගාව වටේට තේරුනා.   තඩි අක්කා වැල ගෙඩිය පොලේ ගැහුවා වගේ වේදිකාවට වැටිලා වේදිකාව දෙවනත් කළා විනාඩි විසි පහක් හරියටම. 


"විශිෂ්ටයි දුව විශිෂ්ටයි, ඔයාට හොඳ අනාගතයක් තියනවා. ඔයා තාත්විකව අපේ ඇස් වලට කඳුළු එන විදිහට කළා. මම කැමතියි ඔයාව ඉදිරියට යවන්න. අපි බලමු අනික් දෙන්නගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද කියලා." එහෙම කිව්වේ දන්ත වෛද්‍ය රදනක මහත්තයා.


සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා


"මට නම් තෘප්තිමත් වෙන්න බෑ.. ඔයාගේ ඇක්ටින් එක මම දකින්නේ හරියට ලුණු නැති හොද්දක් වගේ, මොකද ඔයා වේදිකාවේ එක තැනක විතරයි රංගනයේ යෙදුනේ., මට නම් අමාරුයි ඔයාව ඉදිරියට යවන්න, නමුත් අපි බලමු අනිත් කෙනාගේ අදහසත්" එහෙම කිව්වේ ප්‍රවීණ සූපවේදිනී රම්‍යා කුකරි මහත්මිය.


 
ආයෙත් සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා.



"ඔව් දුව ඔයා හරියට මේ ඉර වගේ...ප්‍රතිභා පුර්ණ ලෙස රංගනය ඉදිරිපත් කළා..ඔයා  ලස්සනට පායලා ලස්සනට බැහැල ගියා, මම දකිනවා, මට පේනවා ඔයාට හොඳ ඉරණමක් තියනවා කියලා. මම කැමතියි ඔයාට අවස්තාවක් දෙන්න. ඒ ප්‍රවීණ ජොතිශයවේදී සුර්යමංගල මහත්තයා. 
 

 ආයෙත් සභාව කන් අඩි පැලෙන අත්පොලසන්  නාදයෙන් දෙදරුම් කෑවා.


"යකෝ මම වැටුණා, මගේ කොන්ද..මගේ දත අතනින් පහලට වැටුණා...තුනටිය තියද බලපන්, මට පෙන්නේ නෑ...යකෝ....අයියේ...මාව මෙතනින් නැගිට්ටපන් යකෝ.....ඕ.. ඉන්ඩ බැරියෝ.....බුදු අම්මෝ.....අනේ...හ් .!"


"ඔව්...ඔව්. අපි කෙටි විරාමෙකට යමු"  විරාමෙන් පසුව ඔබ යලිත් එකතු වෙන්නේ තාරුණ්‍යයේ මෝල් මංගල්‍යය වන රියල් රියලිටි තරඟය සමගයි.

Wednesday, November 7, 2012

"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"

හමු වෙන්නට සමුගන්නට ඇවිත් යන එන
රටක් වටින අපි ජීවත් වෙලා මොකටද
උස්සන්ගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන
දුක්බර ගී ආයෙත් නෑ  ඔබට ඇසෙන්නේ
අඩ්ඩ  ඩඩා අඩඩ ඩඩා අඩ්ඩ  ඩඩා ඩා....ආආ    


රම්බාගේ ගෙදර සාලේ ඇතුලෙන් ආව  සැමන් බෙලෙක් ටින්  වොයිස් එකට මගේ අක්මාව අන්දකයිප්පු වෙලා ගියා. මල්වර නැකතෙන් දීගෙක යන්න ගිහින් ගෙදරට අතේ මාට්ටු වෙලා  උන්නු රම්බාගේ නංගිගේ අජරාමර වොයිස් එක මගේ කන්බෙරේ අභ්‍යන්තර පටක සිසාරා පා....වෙලා ආවා. ආව විතරක් නම් මදැයි ඒ සුමිහිරි සුගායනය මගේ කන්බෙරේ හිල්කරේ නැති එක විතරයි. ඒ  තරම්ම සුමිහිරියි, සුභාවිතයි, සුගම්‍යයි, සුරම්‍යයි.   ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා මම ඉස්තෝප්පුවට ආව. "ම්හු" බල්ලෙක් තියා බලු මැක්කෙක් නෑ ඒපාර. සාලේ පුරාම තීන්ත කුප්පි, බැනරුයි පිරිලා. යකෝ මුන් කැරැල්ලක්වත් ගහන්න යනවද..."


"ආ.......ආ......ආආආආආ"


දෙයීයනේ..........චාරුලතාගේ කෙඳිරිය... රම්බාගේ නංගිට ඒකිගේ පෙම්බර කොල්ලා ඇවිත් අවැඩක්වත් සිද්ද කරනවද මේ අවේලාවේ...ඉස්තෝප්පු කාමරේ අස්සෙන් ඇහුන සද්දෙට මාව හීතල වෙලා ගියා....යටි පතුලේ ඉඳන් හිස්මුදුන වෙනකම් හිරිවැටිලා ගියා. රම්බාගේ මික්ස් පෘට් යාළුකම වෙනුවෙන් ජීවිතේ වුනත් කැප කරන පොරක් රයිටර්. එහෙව් එකේ රම්බාගේ නංගි "චාරුලතත්" මගේ නංගි හා සමානයිනෙව . බිත්තියට හේත්තු කරලා තිබ්බ කොස්ස උලුක් කරගත්තා හැරෙන තැපෑලෙන් පැන්නා කාමරේට.


"ඇඩෝව්.....කෙල්ල අතැරපන්, කපනවා කෑලි කෑලි  වලට...හොඳ හිතින් කියන්නේ ලයිට් දාපන් නැත්තම් අල්ලනවා තුවක්කු බටේ සවලෙන් එකතු කරන සයිස් එකට උඹව කුඩු වෙලා යන්න .. කළුවරේ මොකද කරන්නේ උඹලා....දාපන් යකෝ ලයිට්....විලිසන්ගේ නැද්ද බොලව්...මහා දවාලේ රට්ටු හිනස්සන්න.....රට්ටු මේවා දැනගත්තාම බොලාගේ අම්මා, තාත්තා, අයියා, බාප්පා ලොකු මාමා රෙද්දක් ඇඳගෙන පාරේ බැහැලා යන්නේ කොහොමද..පොඩ්ඩක් හිතපන් චාරුලතා....මට උඹත් එකයි අපේ නැන්දගේ දුවත් එකයි අල්ලපු වැටේ  සයිමගේ දුවත් එකයි...ඒක හින්දා හොඳ හිතින් කිව්වම අහලා ඇඳුම් ඇඳගෙන ලයිට් දාපං....!"



"චිකෙයියා.....හ...අ..කියන කතා !"  චාරුලතාගේ  වොයිස් එක  පිළිකුල් ස්වරයෙන් ඈතින් ඇහුනා


"දොරරෙද්ද....! දොරරෙද්ද...!!... "


"ආච්චිගේ දොර රෙද්දක්  නෙමෙයි යකෝ....ඇඳ ගන්න චීත්ත රෙද්දක් ඇඳගෙන...දාපන් ලයිට්..."


"හා හා...රයිටර්...ඔය දොර රෙද්ද ඔලුවෙන් පැටලුම් ඇර ගනින්....කෝ කෝ ඉඳහන් මං පැටලුම් අරින්න"


ඉහේ පැටලිලා තිබ්බ දොරරෙද්ද කකුල් දෙක පාමුලට වැටුන, ලැජ්ජාව අවුන්ස පහයි ස්කෝප්ප කාලයි. විලි ලැජ්ජාව අස්වභාවිකව අදෘශ්‍යමානව දියරමය  වශයෙන් කකුල් දෙක පල්ලේ බේරෙනවා වගේ දැනුනා, ඒ මදිවට චාරුලතාගේ ඇස් ගෙඩි දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න, අපේ ගමේ තොරන්වලට සින්දු කියන "තොරන්  සුනිල්" අයියාගේ කට මරියානා ආගාදේ වගේ පළල්  වෙලා. උන් ඔක්කොම මං  දිහා බලන්නේ හරියට කසකස්තානෙන් ඒඩ්ස් හැදිලා ආව හැලි වඳුරෙක් දිහා බලනවා වගේ. සර්පිනා, වයලීන්, තබ්ලා සේක්සපොන්, ගැටබෙර, යක්බෙර, කාමරේ පුරවලා.     


"නෙදකින් අලගොඩුවා, හිකනලා...ගස් මයිනා...යකෝ තෝ හිතුවද අපේ නංගි ඒවගේ අසමජ්ජාති  කෙල්ලෙක් කියලා, දහ පහළොස්  දෙනෙක් එක්ක යාලු වුනාට මෙකි තාම නෑඹුල් නොයිඳුල් ගැටිස්සි...උඹ ඒක  හොඳටම දන්නවනේ...මේකි  උණුවතුරත් රත් කරලා බොන්නේ" රම්බා ආ...ඩම්බරෙන් චාරුලතා දිහා බැලුවා. මට එතන තිබ්බ යක්බෙරේ පලාගෙන ඔලුව ගහගන්න හිතුනා. නටන්න තියන දහඅට සන්නියම නටලා අලුතෙනුත් සන්නි දහයක් පහලවක් හොයාගෙන නටලා ගෙදෙට්ට වෙලා ඉන්නේ මෙකි තවත් අඩව්වක් අල්ලන්න තමයි කියලා මම නොදන්නවැයි.. 


හේහ්  හෙහ් හෙහ් හේ.......උඹලා රැවටුනාද..මම විහිළුවක් කලේ...කෝ හිනා වෙයන්, අනේ කිව්වම අහලා හිනා වෙයන්කෝ...අනේ ප්ලීස්ස්....ප්ලීස්...!!!!...මම අව්‍යාජය මිශ්‍ර ජෝක් මූඩ් එකෙන් කිව්වා.....ඔහේප්...පලයන්..කිරි අප්පගේ කෙටේරිය කිව්වලු ..උඹල ඔබාමා මහත්තයා ආයෙත් ඡන්දෙන් දිනුවට පාර්ටියක්වත් ඔර්ගනයිස් කරනවද ඇඃ...සර්ප්‍රයිස් පාර්ටියක්...මේක දැනගත්තාම මිනිහා මාර හැපී වෙයි හැබැයි...උඹල දෙන්නව දරුකමට හදා ගනීවි බොලන් ...දරු කමට හදාගනිවී?.


"ඉලව් පාර්ටියක් නෙමෙයි බොල....චාරුලතා...මගේ එකම නංගි චාරුලතා "මල් මල් ටීවී" චැනල් එකේ "රියල් රියලිටි" ටැලන්ට් ෂෝ එකට තේරිලා..."





"ඔහෙප්ප් පලයන්...මගේ නංගිට හරි ගියාවාගේ බං....ඉතින් ඉතින් මගෙන් මොනවද වෙන්න ඕනේ"



"වැඩියම මුකුත් වෙන්න දෙයක් නෑ  රයිටර්..මම කොහොමත් උඹලගේ ගෙදර එන්න හිටියේ අද උඹට මේක කියන්න....කරන්න තියෙන්නේ මෙච්චරයි..දැන් අපේ අම්ම ලෝන් එක අරන් ඒවි, අපට තියෙන්නේ රුපියල් ලක්ෂෙක එක හමාරක විතර නිකන් වගේ දෙන සිම් අරගෙන ෂෝ එක දවසට ගෙදරට වෙලා  හිටු ගාලා එස්.එම්.එස් ගහන්න"


"කෝ කෝ චාරුලතා අපි ප්‍රැක්ටිස් පටන් ගමු , නැත්තම් ඔයාට ෂෝ එකේදී ස්ටෙප්ස් අමතක වෙලා අප්සැට් යයි"  තොරන්  සුනිල් අයියා වගකීමෙන් ප්‍රකාශයක් කළා." 
 මමයි රම්බායි බිමින් ඉඳගෙන පෝස්ටරයක් අඳින්න ගත්තා. ඔය අස්සේ අපට ඇහෙනවා සංගීත පාඩමත්.





"සා..... ආආආ......ආ"


"සා.......ආආආආ"


"හා හා..ඔහොම බෑ  නංගි ...මෙහෙම ගන්න..මෙහෙම..සආආආආ....කෝ ගන්න"  කියලා තොරන් සුනිල් අයිය මේසේ  උඩ  තිබ්බ වීදුරුව අරන් බිව්වා වතුර උගුරක්
චාරුලතා "සා...... ආආආ" ගාලා පැනපු ගමන් වීදුරුව අතට ගත්තා.


"හා හා නංගි....ඕක නෙමෙයි ඕක බිමින් තියන්න...මෙහෙම ගන්න......සාආආආ....."
"සා...........ආ"



ඔය අතරේ රම්බාගේ අම්මා හිනාවෙවී ඉහේ පිපුන මල් වල පැණි වලින් නෑවී  නෑවී කාමරේට ආවා.
"මගේ දුවට වරදින්නේ නෑ....හන්දියේ ඇස්කොට් මුදලාලි මට ණය දුන්නා..මොනවා වුනත් මිනිහා හොඳ එකා....තරගේ දවසට සෙනග අදින්න බස් එකත් දෙන්නම් කිව්වා. "


"අනේ ලොකු දෙයක්...දෙවියෝ බැලුවා.එහෙනම්..මං මේ ණය ගෙවනවා අම්මේ ඔව් මම මේ ණය ගෙවනවා.....මම කවද හරි රටේ ජනප්‍රියම කෙල්ල වෙනවමයි....අම්මේ ඔව් මගේ ජයන්ත අයියා පල්ලා" රම්බාගේ නංගි  චාරුලතා අධිෂ්ඨාන පුර්වකව කිව්වා.


"ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"