Tuesday, August 28, 2012

රයිටර් කසාද බැඳී වගනම්...!

හම්බෝ කාලය යන ඉක්මන. හරියට ඔරලෝසුවේ පැයකට්ට පස්සෙන් තප්පර කට්ට මරන්න පන්නනවා වගෙයි....මේ බලලා මේ බලනකොට සතියක් ගිහින් ඉවරයි. උඩ බලලා බිම බලනකොට මාසයක් ගිහින් ඉවරයි. ඒත් දෙවියනේ කවුද හිතුවේ මේ දවස මෙච්චර ඉක්මනට මගේ ඇස්පනා පිටට ඒවි කියලා. කිරිම කිරි හුරතල් යෞවනත්වයෙන් ඔද්දල් වෙලා හිටපු මට, ඇලේ දොලේ පීන පීන නාලා, රබර් වත්තේ කොල්ලෝ එක්ක  ගස්මාරු, ගල්හත, මල් පහ, හැන්ගිමුත්තු, ඔට්ටු දාල, හීනියට කවියක්, කතාවක්, ලියුමක්, බ්ලොගක් ලියාගෙන සෆාන් එකේ උන්නු රයිටර්ට කසාද බඳින්න වයස ඒවි කියල. කසාද ජීවිතේ දරන්න තියන වගකීම් ගැන හිතෙනකොටම පපුවේ වම්පැත්තෙ ඉල ඇට කුඩුවේ  තුන්වෙනි පුරුක යටින් කැක්කුමක් එනවා... පුදුම වේදනාවක් කියන්නේ ඒක මුළු පංචස්කන්ධ සර්වාංගෙම කරකුට්ටන් වෙලා යන වේදනාවක්. පෝරුවට නගින්න කලින් මෙහෙමනම් පෝරුවට නැගලා දවස් හතරකින් පහකින් කොහොම දැනෙයිද කියල හිතෙනකොට ක්ලාන්ත වේගෙන එනවා.  මොකා කසාදෙ ගැන පඬි වදන් තෙපලුවත්, ගින්දර කොච්චර රස්නේ වුනත් ලපටි හිත් තියන අපි වගේ එවුන් ගින්දරට පනින්නමයි හිත. පැනලා පිච්චි පිච්චි ඉන්නමයි හිත. අනේ මෙහෙම ආසාවක්....! අනේ මෙහෙම.........!
 
 
සීවරන් දෙයියනේ මං කාලයක් ගස් උඩ, ගල් උඩ, ඇඳ උඩ,  දැකපු  හීනේ අද එළිවෙනවා...මගේ දකුණුපැත්තෙන් ඉන්නේ...ඔව්..මගේ ඇඟේ ගෑවී නොගෑවී ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ මාල හතක් දාල, අයිස් ක්‍රීම් පාට  සාරියක් ඇඳලා දිලිසි දිලිසි හිටියේ වෙන කවුරුත් නෙමෙයි.....දිල්රුක්ෂි. ඔව් මගේ පණ.... බඩට නොකා, ඇඟට නොඇඳ ඉතුරු කරපු සල්ලි වලින් ෆෝන් එකට රීලෝඩ් දාල වරු ගණන් මල් කඩ කඩ උන්නු දිලූ. මගේ හිත පිරිලා ගියා.   කවදාවත් නොදැකපු නෑදෑයෝ පවා  බුරුතු පිටින් අපේ ගෙදෙට්ට ඇවිල්ලා නානා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් සළු පිලි පටලාගෙන. සමහරු මලකඩ  කාච්ච සැමන් ටින් පේන්ට් කරලා වගේ, සමහරු ලබු ගෙඩියට ඉරටු දෙකක් ගහලා වගේ. ඒ වුනාට  බලන්ඩ එපැයේ අපේ ආච්චිගේ ලස්සන........ ෂාහ්.......සීයා නොහිටියානම් ඇස්දෙක පියාන මනමාලයෙක් හොයාල බන්දල දෙන්න තිබුනා කැත නැතුව...
 
 
"හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා. ජයමංගල ගීත කියන කෙල්ලන්ගේ සද්දේ ඇහුනට ඒ දැරිවියෝ ටිකනම් පේන්ඩ උන්නේ නෑ. මං වට පිට බලද්දී...ඈත ඉඳන් රම්බා ජැන්ඩියට ඇඳගෙන මට අත වනනවා දැක්ක. උගේ අතේ රිමෝට් එකක් තිබුනා. එකත් එකටම ඔය ඇහෙන්නේ ජයමංගල ගාථ වල රෙකෝඩ් එක. හෙහ් හෙහ් හේ.
මොඩර්න් කල්චර්....රම්බාගේ වෙඩින් ප්ලෑන් තමයි......මමත් රම්බාට තම්බ්ස් අප් කරලා දිලුව අල්ලාගෙන පෝරුවට නගින්න හදනකොටම "මම එක..අ..අ ..අ..!" කියල මාව පෙරලගෙන දිලූ පෝරුවට නැග්ගා. මට මතක් වුනේ කියවන්න කලින් බ්ලොග් වලට කමෙන්ට් දාන පුංචි ළමා ලපටියන්ගේ සිඟිති වැඩ. මට මනමාල හිනාවක් හියා. කමෙන්ට් දාන අයටනම් රයිටර්  තෑගී විදිහට ඊළඟ පොස්ට් එක දෙන එකත් මතක් වුනා. දිලූටනම් තෑගී වෙනුවට පොස්ට් මොකටද තෑගී අද රෑ.......(ටීක්).... .(නිලධාරී බලධාරී  විසින් කපා හරින ලදී) ................ කියල හිතාගෙන මමත් පෝරුවට නැග්ගේ මංගල සභාව දිහා බලාගෙනමයි.. හනේ......දිලුගේ කොමලේ, ලජ්ජාවෙන් ඇඹරෙනවා.. ප...ව්ව්ව්....ලස්සනේ බෑ... මම ඇහැක් වහල ඉඟි කළා.. එතකොටම මේකි අත මිටමොලොලා මට ගහන්න වගේ උලුක් කළා ඇස් වල ආදරනීය තරවටුවක් වගේ එකක් පුරෝගෙන "මලකොලන්" කියන්නැහැ .   ඕක බලාගෙන උන්නු මගේ වම්පැත්තෙ බිමින් හිටපු ලොකුමාමා මට රහසක් කියන්න තියනවා වගේ කතා කළා. මමත් පෝරුවේ ඉඳන්ම දෙකට නැමීගෙනම මාමට කන ලංකලා.
 
 
"යකෝ මදන යකා ඔලුවට ගහලද.. ඕක උඩ දඟලන්නේ කුලප්පුව හැදිලා වගේ. ඊයේ රෑ එලි වෙනකම් දඟලලා දඟලල අටවගත්තු පෝරුව...මගෙනම් උඹල දෙන්න ඕකට ගොඩවෙනකම්වත් විශ්වාසයක් තිබුනේ නෑ..යන්තම් ඉතුරු ටිකත් කරනකම් තැන්පත්ව ඉඳපන්"
 
 

"ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව" දිලුගේ මාමද කොහෙද කියනවා ඇහුනා..මම දිලූ දිහා බලලා ලොක්කා වගේ සාකුවේ තිබ්බ මුද්ද අරන් මුද්ද උඩ දැම්මේ උරුවමකුත් බාගෙන වැඩකරු  වගේ මුද්ද ආයේ අල්ලගන්න හිතාන. "නෙදකින්" කොහෙවත් හිටපු පොටෝ ගහන එකා මගේ ඇක්ෂන් එක කාච ගත කරන්න  තඩි කැමරාවේ ඇස් කනකරන ෆ්ලෑෂ් එක ඇල්ලුවා. එපා කියන්නයෑ ඉතින්..... බරගානක් දීල ගෙන්නගත්තු එකානේ.. දේදුන්නේවත් නැති පාට වලින් කන වෙලා ගිය මගේ ඇස් දෙක නිලම නිල් පාටින් නිලංකාර වුනා. එතකොටම "ටින්" ගාල මුද්ද බිම වැටිලා බිම දිගේ රෝල් වෙන සද්දේ ඇහුනා. මම දනිපනි ගාගෙන බඩ ගාගෙන පෝරුවෙන් පැනල මුද්ද පෙරලෙන සද්දේ ඇහෙන දිහාවට දනගානෙන ගියා.
 
 
 
"ආ දරුවනේ දැන් මනමාල මහත්තයා මනමාලිට වස්තර දෙන චාරිත්රේ" ඈහ්..යකෝ මම මේ බිම බඩගාගෙන මුද්ද හොයනවා. දිලුගේ මාමා රෙද්දක් ගැන කතා කරනවා, මම ඔලුව උසල බැලුවේ කවුද යකෝ රම්බාවත් පෝරුවට නැගල මං වෙනුවට චාරිත්‍ර ඉෂ්ට කරනවද  කියලා හිතලා." "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත" "ආ දැන් දරුවනේ මංගල මුදු මාරු කරගන්න අවස්ථාව"  "ම් හොඳයි දරුවනේ දැන් පෝරුවෙන් බහින නැකත"  "හරි පුතේ වෙලාව හරි පෝරුවට නගින්න...එහෙනම් පමා නොවී මේ දැරිවි එක්කන් ගොඩ වුනා නම් " ඔවාගේ දෙබස් එක පිට එක ඇහෙන්න ගත්තා.
 
 
ඔලුව කරපට්ටම් වේගෙන එද්දී මගේ කවි මොලේට වැටහුනේ මේකත් රම්බාගේ වෙඩින් ප්ලෑන් එකේ රෙකෝඩ් කරපු රෙකොඩින් එකක් නේද කියලා. මට වෙච්ච ජල්තරේට රම්බාට ට්‍රැක් නම්බර් පැටලිලා. වසලා හමාරයි...දැන් ඉතින් උන්නත් එකයි, මලත් එකයි කියලා හිතාන, රෝල් වෙච්ච මුද්ද  පැත්තක දාලා දුවගෙන දුවගෙන ආපු මං පෝරුවට නගින්න බිම ඉඳන්ම පැන්නේ චාරිත්‍ර පැත්තක දාල පෝරුව උඩ ඉන්න දිලූ අරගෙන පෝරුවෙන් බහින්න හිතාන.
 
 
".......දඩාන්.....!" 
 
 
"නර්ස්...නර්ස්.....අපේ රයිටර්ට සිහිය ආවා..නර්ස් ස්..ස් .ස් ..! යකෝ නර්ස්.....මුට සිහිය ආවා..., හම්බෝ රයිටර් අපි බයේ හිටියේ බොලා ආයේ ඇස් අරින එකක් නෑ කියලා....නර්ස් නර්ස්......."   රම්බා බලියනවා ඇහුනා..."
 
 
බොඳවෙච්ච ඇස් වලට පෙනුනේ ඇඳට උඩින් වහලේ හයි කරපු ගැලවෙන්න ඔන්න මෙන්න තියන "බරස්, බරස්" ගාල කැරකෙන ෆෑන් එකක්,
 
 
 
"අනේ බං පෝරුව......කෝ බං දිලූ....?......දිලුට අමාරුද....!"
 
 
 
"මගුලක් කතා කරනවද බං..මොන පෝරුද....මොන දිලූ ද,.......!!!...
යකෝ ගිය සතියේ අපි ටව්මට ආපු වෙලේ උඹේ පණ....උඹේ  කෙල්ල...දිලූ දැකලා උඹ ගාලා කඩාගත්තු හරකා වගේ පාර පැනලා දුවනකොට ලෙස්සල ගිහින්  කාණුවේ ගල් ලෑලි අස්සේ  ඔලුව හිරවුනා අන්තිමට ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරලා උඹව එලියට ගත්තේ....එවලේ ඉඳන් බොට සතියක් යනකම් සිහිය නෑ........ඕක උඹ දැකපු හීනයක් වෙන්ඩ ඇති... !!!
 
 
"අනේ......එතකොට ....මගේ දිලූ.. කෝ දැන් ..!
 
 
 
"අනේ රයිටර්....ර්...ර්...ර්.." ..කියාන ඈත ඉඳන් දුවගෙන ආපු දිලූ දැකපුහම මගේ හිත අයෙමත් ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න ගත්තා...!

Tuesday, August 21, 2012

බිලිපූජාව

හිටි හැටියේම අපේක්ෂා නොකළ වැස්සක් කඩා පාත්වුණද පෙර සිටම සුදානමක් ඇතුව අප විසින් එළඹී සිටි සම්මත සැලසුම වෙනස් කිරීමට පේද්‍රික් උන්නැහේගේ කැමැත්තක් නොවීය. එබැවින් ඔහුද මාද පීටර්ද ඇතුළු අප තුන් කට්ටුවට සිහින් පොදයේ වුවද එකා පසු පස එකා වැටී වන ලැහැබ තුලට පිවිසියෙමු. ගොම්මන් අඳුර කැලෑව පුරා අරක්ගෙන කෙමෙන් රාත්‍රිය බවට පරිවර්තනය වෙමින් සිටිද්දී අත වූ විදුලිපන්දමේ එළියෙන් පේද්‍රික් උන්නැහේ විටින් විට යමක් මතුරමින් ඉදිරියෙන්ම ගමන් කළේය. ඔහුට පසුව මාද මගේ පසුපසින් පීටර්ද ඔහුව අනුගමනය කළෙමු. පේද්‍රික් උන්නැහැගේ දකුණු උරයේ රැඳී තිබුනේ යක් බෙරයක් විය යුතුය, එසේත් නැතිනම් එය කුමන සම්ප්‍රදායට අයත් එකක් දැයි නිශ්චිතවම හඳුනා තහවුරු කරගැනීමට තරම් එවලෙහි මගේ කල්පනාව නිරවුල්ව නොවිණි. ඇදහැළුණු වර්ෂාව නිසා මුකලාන තුල පැවතියේ ගත හිරිගඩු නංවන තරමේ සීතලකි. වැස්සෙන් ලද ජීවයෙන්  පණ ගැසුණු කැලේ වීරයින් ප්‍රීතිඝෝෂා නංවද්දී එයින් මා ඇතුළු පිරිස අපමණ අපහසුතාවයකට පත්වුනා යයි කලින් මට සිතුනද, මා හැරුණු කොට අනික් දෙදෙනාට එය සැලකිය යුතු දෙයක් නොවුණු බව පසුව මට ඒත්තු ගියේය.    තෙතමනයෙන් යුක්ත පඳුරු අතරින් රිංගා යන විට සීතල වතුර බිඳිති කමිසය තුලට කිඳා බැස්සේ ඉතා ආක්‍රමණශීලී ලෙස බව මට හැඟුනි. වැහි කබාය අතපසුවීමේ විපාකය තදින් අත්විඳිමින් සිටි මට අද පැමිණි ගමන පිළිබද යම් අවිනිශ්චිත හැඟීමක්ද ඇතිවිය.


"ෂ්....ෂ්..ෂ්." හිටි හැටියේ ඉද්ද ගැසුවාක් මෙන් නතර වූ පේද්‍රික් උන්නැහේ යම් අනතුරක සේයාවක් හැඟවීම නිසා මගේ කල්පනාවද බිඳවැටුණි.


තනියා...තනියා....ෂ් .....ෂ්....ෂ්....! පේද්‍රික් මුවට ඇඟිල්ල තබා රහසින් පවසන්නට ඇතැයි මම නිගමනය කලේ ඔහු එය පැවසු ලතාවටත්, එවකට විදුලිපන්දමත් නිවාදමා තිබු නිසාත් කෑලි කැපෙන අඳුර එකිනෙකාගේ මුහුණු හඳුනාගත නොහැකි ලෙස ඝනව පැවතුනු නිසාත්ය. පේද්‍රික් මන්තරයක් මතුරන්නට ගත්තේය. මාද පීටර්ද තුෂ්නිභුතවී නොසෙල්වී සිට ගැහෙන හදවතින් යුතුව දෙවියන් යැද්දෙමු. මහා ඝන කැලෑවක් මැද අවාසනාවන්ත ලෙස අකාලයේ ජීවිතයෙන් සමුගැනීම කිසිසේත් මා සිහිනෙන්වත් නොපැතූ දෙයකි.


හරි බයවෙන්න කාරියක් නෑ...තනියා මගෑරුනා..... ආ...! මේ පිරිත් නූල අල්ලගත්තනම්, පේද්‍රික් පැවසීය. ඔය නූල පංචස්කන්ධයේ ගෑවිලා තියනකම් බයවෙන්න කාරියක් නෑයි කියමින් නුලේ එක කොනක් පේද්‍රික් අල්ලාගත්තේය. අගම කොටස පීටර් අල්ලාගත් නිසා මැදින් ගමන් කල මා එය මැදින්  ගෙන මහපට ඇඟිල්ලේ තදින් වෙලාගෙන ගැටයක්ද ගසාගතිමි. අප තිදෙනා එකම සියුම් නුලකින් එකිනෙකාට සම්බන්ධ වී තිබුණි, එය එක්තරා විහිළුවක් ලෙස හැඟුනද එයින් සිතට තරමක් දුරට සැනසිල්ලක් උදාවුයේ පේද්‍රික්ගේ සහජ හැකියාව පිළිබද මසිතේ සැකයක් නොවුන නිසාය.


පැයක් පමණ නොනැවතී ගමන් කිරීම නිසා මගේ දෙපා බොහෝසෙයින් කකියන්නට විය. කුඩැල්ලෝ ගුලියක් බූට් සපත්තුව ඇතුලේ නලියන බව දැනුනත් වේදනාව විඳදරා ගමන් කරනවා හැරුණුකොට විකල්පයක් නොවුයේ වැස්ස අපේ කාලයෙන් බොහෝ ප්‍රමාණයක්  ඒ වනවිටත් පැහැරගෙන තිබුන නිසාවෙනි. ප්‍රමාදවී සියලු බලාපොරත්තු සුන්කරගෙන හිස් අතින් ආපසු යනවාට වඩා සුළුවෙලාවක් ඉවසාදරාගෙන අභිමතාර්ථය ඉෂ්ට කරගෙනම විනා නැවත ආපසු නොයාමට මගේ සිත ධෛර්යසම්පන්න කරගතිමි. එක වරම, නිහඬතාවය බිඳිමින්.....කුක්කු.....කුක්......කූ.......!!!  කුකුලෙක් මා කරලාගෙන සිටි මල්ල මත හිඳ හඬලන්නට වුයෙන් මා අඩියක් ඉදිරියට විසිවී ගොස් පේද්‍රික්ගේ ඇඟේ හැපුණි.


"බය වෙන්න කාරියක් නෑ, මහත්තයා....මන්තරයකින් සිහි විසඥ කරපු කුකුලෙක් මම පන් පෙට්ටියකට දාල මහත්තයාගේ ගමන් මල්ලට දැම්මා. අපි සුනංගු වෙච්ච හන්දා නියම වෙලාවට කලින් කුකුල් නාම්බට සිහි ඇවිල්ලා. අපි හරිනම් මෙලහකට වැඩ කටයුතු පටන් අරන් තියෙන්න ඕනේ.  නාම්බා පණපිටින් කුදලාගෙන ආවොත් උගේ කෙකරගෑවිලලට අපිට ගමන යාගන්ඩ වෙන්නේ නැති හන්දා සිහි විසඥ කොරලා ගෙනාවේ. තකහනියේ ආවහන්ද කලබලේට මට ඕක මහත්තයාට කියාගන්න වෙලාවත් තිවුනේ නෑ"


තවත් අඩහෝරාවක් පමණ ගමනේම ගෙවා දණක් ගැඹුරු ඇලපාරකින් එගොඩවී පියවර කීපයක් ගිය පසු ගස්කොළන් නොවැඩුණු කවාකාරව පිහිටි බිම්කඩකට අවතීර්ණ වීමු. නටබුන් වී ගිය ගල්කණු කීපයක්ද, ශේෂව ගිය පිළිමයක යයි සැලකිය හැකි ශිලා නිර්මානයක සුන්බුන්ද තැන තැන විසිර තිබුණි. ඊට අමතරව මහා ගුප්ත බවක් මුළු වටපිටාවම ගිලගෙන තිබිණි.  පුරාණයේ ඇදහීමකට ලක්වූ දේවාලයක ස්වරුපය මට සිහි විය. ඒ අසලම පිහිටි කළුගල් පර්වතය පිහිටියේ අමුතුම හැඩයකටය.  විෂ්කම්භය මීටර් අටක් පමණ වූ කවාකාර  භුමිය මත ඇවිදන කල එතුලින් බොල් හඬක් නැගිණි.  මහා කැලය මැද මෙවන් ස්ථානයක් දැකීමෙන් මගේ හිත කුතුහලය මිශ්‍ර ත්‍රාසයකින් ඇවිලී ගියේය.


"හරි එහෙමන් තවත් සුනංගු නොවී කාරිය පටන් ගමු. පේද්‍රික් කිවේය. කෝ මහත්තයාගේ මල්ලත් මෙතනින් තියන්න පරිස්සමෙන්, මම කළමනා ටික ලැස්ති කරනකම්..  ම්....  පීටර්....එතකන් අර ඉපල් කෑල්ල අරන් මෙතන ගල් පෘස්ටේ  මතුවෙනකම් පෑදුවනම් වටේටම කොලරොඩු  ටික අයින් කරලා.


මා ගමන් මල්ල එතනින් තබා නොයිවසිල්ලෙන් එතනින් මෑත්වී මගේ බුට් දෙක ගැලවුයෙමි. වතුර වලටම තැම්බී ගිය දෙපතුල් සුදු පැහැයට හැරී මදිපාඩුවට සෑම ඇඟිලි කරුවකම පාහේ  කුඩැලලන් ගුලියකින් පිරි තිබිණි. මම මහත් අපුලකින් කුඩැලලන් එකින් එක ගලවා විසික් කලෙමි. මා එම කාරිය නිමකර ඉවර වෙනවාත් සමගම වාගේ පේද්‍රික් මල්තට්ටුවක් දොලපිදෙනියක් ඇතුළු අවශ්‍ය සියල්ල සුදානම් කර තිබුණි. දෙපයින් ගලන රත් පැහැති රුධිරය වලක්වාගන්නට වෙනත් විකල්ප ක්‍රමයක් නොවුණු නිසාවෙන් මම පත්තර කඩදාසියක් පුළුස්සා අළු ඇඟිලි කරු අතර රුවා ගතිමි.


"හරි මහත්තය එහෙනම් මම දැන් මතුරන්න පටන් ගන්නවා. කොහොමත් ඒකට පැයක් විතර යයි..  . අද වැස්ස වැහලා දැන් හඳේ සේයාවක්වත් නොවුනට  හරියටම 12.01  ට හඳේ චායාව මතුවෙනවා...පුස්කොල පොතේ තියෙන්නේ එහෙමයි....ඊට පස්සේ ඒ මෝදුවිල්ල 12. 17 වෙනකම්  තියනවා. මතුරලා මතුරලා හඳ මතුවෙනවත් එක්කම මට සිහිය නැති වෙනවා, එතකොට මම මල් තට්ටුව ගාව වැතිරෙනවා.පීටර් මගේ උදව්වට ඉන්නවා.   මහත්තයට තියෙන්නේ ඒ මිනිත්තු 16 ඇතුලත මේ කණ්ණාඩිය හඳ එලියට අල්ලලා එකෙන් වැටෙන එලිය  අර ගල්කනුවේ පාදමේ තියන තාරකාවට යොමු කරන එක.  හඳ එලිය ගල්කනුවේ පාදමට එක දිගට මිනිත්තු හතක් වැටුනාම කුකුළා හඬලනවා. එතකොටම මහත්තයට කරන්න තියෙන්නේ මෙන්න මේ වෙඩි නුල පත්තු කරන එක. වෙඩිනුල ඇවිලිලා ගල් පර්වතය ගාවට යන්න කලින් මහත්තය හනික ඇවිත්  මල් තට්ටුව උඩ තියන පහනෙන් තෙල් ඩින්ගිත්තක්  අරන් මගේ හිසේ අතුල්ලන්න. එතනින් එහාට මම බලාගන්නම්."


මීට පෙරද සියවතාවක් පමණ කලයුත්තේ කුමක්ද යන්න දැන සිටි මට අවසන් වරටද උපදෙස් ලැබිණි. පේද්‍රික් බෙරය කරලාගෙන විටෙක බෙරය හඬලමින් මතුරන්නට විය. හඳුන්කුරු සුවඳත්, බෙර හඬත් කට්ටකුමන්ජල් සුවඳත් මන්තර ජපකිරීමත් දසත පැතිරෙද්දී මගේ හදවත වේගයෙන් නොයිවසිල්ලකින් මෙන්ම ගුප්ත හැඟීමකින්  පිරෙන්නට විය. මා මට නියමිත ස්ථානයේ අසුන්ගෙන කළයුත්ත නැවත මෙනෙහි කලෙමි. පේද්‍රික් දැන් මතුරා පැයක් සම්පුර්ණ වීමට අසන්න විය. නියමිත හෝරාව උදාවීමට මිනිත්තුවක් පමණ තිබුන කල එතනින් නැගිට එම මිනිත්තුවත් අසිහියෙන් මෙන් ගෙවා දැමුවෙමි.  ඔරලෝසුවේ හරියටම 12.1 සටහන් වෙද්දී මම බලාපොරොත්තු පිරි දෙනෙතින් අහස වෙත බැල්මක් හෙලීමි. ගතේ හිරිගඩු නංවමින් චන්ද්‍රයා අහසේ බැබළිණි. ඒ සමගම මහා භයන්කාර හඬක් නගමින් පේද්‍රික් සිහිසුන් විය. පීටර් ඔහුව වත්තන් කර බිමින් හාන්සිකළේය.  වහා නැගිටි මම කණ්ණාඩිය වෙත  ගොස් කියූ පරිදි සඳ එලිය තාරකා සටහන වෙත යොමු කලෙමි.  ජීවිතේ කිසිදා නොවිඳි ලෙස හදවත සැලෙමින් තිබුණි, සඳ කිරණ තාරකාව මත වැටී මිනිත්තු හතක් හරියටම ගත වෙද්දී කුකුලා හඬලුවේය. මා දල්වාගත් ලයිටරයෙන් වෙඩිනුල දැල්වූයේ මල් තට්ටුව මට ඇති පහන ලඟට යාමට අඩිය ඉක්මන් කරමිනි. දැල්වෙන වෙඩි නුල ගිනි පුලිඟු නංවමින් යන අතරේ මා මල් තට්ටුව වෙත දිව්වෙමි. ලිස්සා ගිය පය විලන්ගුවී බිම ඇදවැටුණු මගේ හිස ගල් කණුවක ගැටුනේ අනපේක්ෂිතවය. පෙර පිනකට මා සිහිසුන් නොවීය.   ක්ෂණයෙන් මා සිහි එලවාගෙන නැගිට  මල්තට්ටුව දෙසට දිව ගියේ ඇවිලෙන වෙඩි නුල දෙස බලමිනි. මන්ද එය පිපිරී යන්නට මත්තෙන් පහනේ තෙල් මා විසින් පේද්‍රික්ගේ හිසේ ගැලවිය යුතුය. නැත්තම් ඩයිනමයිට් පිපිරුමෙන් පීටර්ගේද පේද්‍රික්ගේද ජීවිත අහිමි වන නිසාවෙනි.


මල් තට්ටුව වෙතට පියවර කීපයක් තිබියදී කන් අඩි පුපුරන සද්දෙන් අවාසනාවන්ත ලෙස ඩයිනමයිට් කරල පුපුරා ගියේය. දෑස් නිලංකාර වී යද්දී මා නැවත වරක් බිම ඇදවැටුණි. අවසාන වතාවට දුටුවේ මල් තට්ටුව සුනුවිසුනු වී යන ආකාරයත් මා දෙසට දිව එන පීටර්වත් පමණි. ඊට මද වෙලාවකට පසු මදක් ඈතින් කෙඳිරිලි හඬත් විනා අන් කිසිවක් නෑසුනි. මා දෙනෙත් හැර සිටිනවාද නැතිනම් පියාගෙන සිටිනවාද යන්න මට වටහාගත නොහැකි වුයේ  මගේ දෙනෙත් මට අහිමි වී ගිය නිසාද යන්න වටහාගැනීමට මට බොහෝ වෙලාවක් ගත විය.

Wednesday, August 15, 2012

මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි

"හරි මචන් රම්බා මම උඹට ලියුම ලියල දෙන්නම් හැබැයි ඊට කලින් කරන්න බොහොම බැරෑරුම් කටයුත්තක් තියනවා"


"හරි හරි රයිටර් ඕනේ බැරෑරුම් දෙයක් මම කරන්නම්, මට ඇඟ හිරිවැටිලා යන ලියුං කඩදහියක් ලියල දෙනවනම්, ඉතින් !.. ඉතින් !.. කියපන්කො මොනවද කෙරෙන්න ඕනි කියල"

ඒ වෙලාවේ ඉල්ලුවොත්, හඳෙන් කෑල්ලක් හරි ගෙනත් දෙන සයිස් එකේ හිටපු රම්බා දැන් ඕනේ දේකට එවරෙඩි මමත් ඉතින් මගේ කවි හිතයි ටිකිරි මොලෙයි පාවිච්චි කරලා මුට කාරණාව කාරණාව එකින් එක තේරුම් කරා!!!


"මෙහෙමයි මචං උඹ දන්නවනේ මම මේ ලිවිල්ලට බොහොම ගරු කරනවා, මේක හැමෝටම පිහිටන්නේ නෑනේ. කලාතුරකින් කෙනෙක්ට තමයි පිහිටන්නෙත්.  දැන්..... නිකමට හිතපන්, උඹයි මමයි එක වයසේ, ඒ වුනාට උඹට පුලුවන්ද උඹලගේ පොඩි අක්කගේ ලොකු එකා ලියන සිස්සත්ව රචනාවක්වත් ලියා ගන්න.. බෑනේ." 


එහෙම කීවම නම් රම්බාගේ මුණ දිය වෙලා යන අයිස් කැටයක් වගේ වුනා. 

"අන්න එකනේ, උඹට තේරෙනවනේ මම කියන එක? උඹ නොදන්නවා වුනාට මම දැන් ජනප්‍රිය වේ........ගෙන එන්නේ. රෙදි නැන්දගේ දුව උඹට කිව්වේ නැද්ද මගේ බ්ලොග් එකේ ෆලෝවර්ස්ලා ගැන,? හිට්ස්  කවුන්ටරේ ගැන ? වැටෙන කමෙන්ට් ගැන.? මම මුණට හෙනම හෙන සිරා මුඩ් එකක් අරන් කිව්වා. මම මෙහෙම ෆේමස් වෙලා ඉන්නේ මගේ  දාඩිය මහන්සියෙන් කැපවීමෙන් වගේම ලියවිල්ල වෙනුවෙන්  කරන්න ඕනේ වත්පිළිවෙත් ටිකත් හරියාකාරව කරපු හින්ද.. මෙහෙමයි රම්බා, මම උඹට හින්දා කියන්නේ, මේවා රහස්, උඹ මේවා කාටවත් කියයි කියල මම හිතන්නේ නෑ...


"මේ ලඟදි ඉඳන් මම ලිවිල්ලක් ලියන්න කලින් පොඩි වත්පිළිවෙත් ටිකක් කරනවා. ....  .පිළිවෙත් හරියාකාරව ඉටු කරාම තමයි ලියන ලියවිල්ල සාර්ථක වෙන්නේ."  මම වටපිට බලලා කට හඬේ සද්දේ පොඩ්ඩක් අඩු කරලා රම්බගේ කනට කරලා කීවා.  රම්බා හෙන සීරියස් ලුක් එකකින් මං දිහා අභිමානයෙක් බැලුවේ "උඹ අපිට සම්පතක්" කියනවා වගේ

"හරි හරි ඉතින් මල් කරමලෝ මොනවද මං කරන්න ඕනේ... ඕනේ බම්බුවක් කියපන් මැරිලා හරි ගෙනත් දෙන්නම්, උඹේ ඔය ඉලව් පිළිවෙත් ටික කරලා හරි මගේ කඩදහිය ලියල දියන්කෝ "  මගේ පම්පෝරි පුරාජේරුව අහගෙන ඉන්න බැරුව අජපල් වේගෙන වගේ එද්දී රම්බා කිව්වා.


 "ඔන්න....ඔන්න උඹ මගේ  සාස්තරේ හෑල්ලු කරන්න හදන්නේ, මම හොඳින් කියන්නේ රම්බෝ, කට වරද්දගන්න එපා. දැන් මං කියන ටික හොඳට අහගනින්"


"හරි හරි සමාවෙන්න දෙවියනේ.... කියල රම්බා අත්දෙක නළලට අරන් උඩ බලාගෙන තුන්පාරක් විතර කලබලෙන් වැන්දා !."


 දේවාලෙකට ගිය ආතුරයෙක් දේවාලේ කපුමහත්තය ඉස්සරහ පිහිටක් ඉල්ලලා බැගෑපත් වෙනවා වගේ හැඟීමකින් රම්බා මං දිහා බැලුවා නිකන් හරියට "අපි මෙච්චර කල් උඹේ අගේ තේරුම් ගත්තේ නෑ කියලා, අපිට සමාවෙයන් කියන්නැහැ "

------------------------

මං කියපු විදිහට බඩු ලැයිස්තුව ගෙන්න පිටත් වෙලා ගිය රම්බා ගියාට වඩා වේගෙන් ආවා. හැබැයි දෙකේ  සිලි සිලි බෑගයක් කට කපල කරේ තියන් එන උගේ මුණේ තිබ්බේ අලුත බැඳපු ඉලන්දාරියෙක්ගේ මුනේ තියන සුකුමාර පැණි හිනාව. මට දුකත් හිතුනා.


ශාන්ති කර්මයක් කරනවා වගේ මම ඌ ගෙනාපු කොකා කෝලා බෝතලේ මේසේ උඩින් තියල, ආප්ප ටිකයි, තඩි බිස්කට් එකයි කඩලා ඒවා කෙහෙල් කොළ අතුරපු පොඩි පීරිසි වලට දාල, පහනක් පත්තු කරලා හඳුන්කුරු ටික පලතුරු වට්ටියේ තිබ්බ පොල්ගෙඩියේ මුඩ්ඩේ  ගැහුවා. මල් වර්ග දෙක තුනත් එක්ක මේසේ පෙනුනේ කට්ටඩියෙක් මොකක් හරි ගේමක් දෙන්න යනව වගේ. මම  මගේ හඩු ගඳ ගහන රතුපාට සාලුව ඉන වටේ ඔතාගත්තා, ඇස් දෙක පියාගෙන  "ඕන් රීන් රීන් රීන්....එස්වාහාහ්....වර ...වර....වර............පොත් මේසේ පලාගෙන වර, කොකාකෝලා බෝතලේ අඩිය පලාගෙන වර, බිත්තර ආප්පේ සවුදම කඩාගෙන වර.අ..අ .අ ..අ .. හඃහා හඃ .... !!!! ....කියල මම මතුරන්න පටන් ගත්තා 


"යකෝ ගල් මුසලය වගේ බකන්ඩිලාගෙන ඉන්නේ නැතුව වැඳගනින් !!" 
එතකොටත් මං දිහා කට බලියාගෙන බලා හිටපු රම්බාට මම කිව්වා.


 "හා හා දැන් ඉක්මන් කරලා ගනින් උඹ ලියුම ලියන්ඩයි කියලා ගෙනාව කඩදහිය"


රම්බාගේ මුනේ තිබ්බේ පැණි හිනාවක් වගේම ලොකු අධිෂ්ටානයක්.  සාක්කුවේ දාගෙන හිටපු ලියුම් කවරයක් දිගෑරලා කොලයක් ගත්තා. ආප්ප සුවඳ, බිස්කට් සුවඳ, හඳුන්කුරු සුවඳ  කපාගෙන ආව නහය හිරවෙලා හුස්ම යන සයිස් එකේ සෙන්ට් සුවඳට මට කිබුහුමක් ගියා. කිබුහුමේ හුලන් පාරට  පත්තු කරලා තිබ්බ පහන නිමුනා. ඒ අස්සේ රම්බත් කිබුහුම් දෙක තුනක් අරිනවා ඇහුනා...


"දරුවෝ..... සුවඳ කවන්නේ ලියුම ලිව්වට පස්සේනේ , දැන් පහනත්  නිමුනනේ, අනේ මන්දන්නේ නෑ ළමයෝ, මේක බාධා වෙලා කරලා පරහක් හිටීද කියල.... මම නිකන් ආවේශ කරගත්ත අනුකම්පාවකින් රම්බා දිහා බලලා කිව්වා.


කවදාවත් දරුවෝ කියල කතා කරලා නැති උට මගේ හැසිරීම හෙන කුහුලක් වගේම මං කරන්න යන දේ ගැන උගේ හිතේ සැකයක් තිබ්බනම් ඒ  කුකුසත් මේකෙන් නැති වෙන්න ඇති.


"අනේ නැ එහෙම වෙන එකක් නෑ රයිටර්,  ලව් ලෙටර් සුවඳ ගන්න එපැයි කියල පත්තරේක තිබ්බ, ඉතින්  සුවඳ ගහන්න පොලෙන් ගෙනාපු සෙන්ට් බෝතලේ ඉවර වෙනකම් මේකට ස්ප්‍රේ කරා" රම්බා කිව්වේ වැඳගෙනමයි.

මම බොරුවට නෝක්කාඩුවෙන් වගේ උගේ දිහා බලලා පෑන ඔලුව වටේ තුන්පාරක් කරකවලා ලියුම ලියන්න ගත්තා..



 සඳ රාහු ගිලගත් රැයක
තනිකම දෝත දරා
ලියමි නුඹ වෙත
ආදරියේ....

ආදරණීය සකු,

ඔබ කිසිදා ලැබෙතැයි විස්වාස නොකළ මේ ලියමන ඔබ අතට පත්වෙන විට ඔබ පුදුමයට පත්වෙනු ඇති, නමුත් බොහෝ කාලයක සිට ඔබට කියන්නට මා සිතේ දෙයක් ඇති බව දන්නේ මා පමණි, එය දැන ගැනීමට කරුණාකර ලිපිය අග තෙක් රැඳී සිටින්න කියා ආදරෙන් ඉල්ලා සිටිමි. ගත ලොමු දැහැ ගැන්වෙන පාළුව මගේ හිතට එහෙන් මෙහෙන් කින්ඩි දමන විට, ජීවිතේ මටම කියා කාත් කවුරුවත් නැතැයි හැඟෙන විට මට සිහිවෙන්නේ ඔබම පමණක් බව මා කාට කියන්නද.?, දුක මා වෙලාගෙන තනිකම ඇස් වලින් මිරිකා මිරිකා කඳුළු හලන කොට ඒ ගලන ගලන කඳුලකම ඔයාගේ සුවඳ මට දැනෙනවා සකු. ඔබ දුටුදා පටන් හිතේ හටගත්ත මිහිරි වේදනාවක් මගේ හිත හැමවිටම මාව අඩපණ කරනවා. කොටින්ම ඒ වේදනාව මගේ නින්ද පවා මට අහිමි කරනවා කියල ඔයා නොදන්නවා ඇති. නමුත් විශ්වාස කරන්න කුසට බඩගින්නක් දැනෙන විට ඔබ සිහි වූ විට එය පහව යයි. ගත දහදියෙන් තෙත් වූ විට ඔබ සිහිවීමෙන් ගතම සිසිල් වෙයි. මගේ දින එදිනෙදා චර්යාවන් ඔයාගේ ඔය ලස්සන හිනාව මගෙන් හොරාගෙන සකු. එදා හිටපු මම අද ඔයා නිසා උම්මත්තකයෙක් වෙලා, සමහර විට ඔබ විශ්වාස නොකරාවි, මම ඔබේ සිනාව දුටු දා පටන් මේ ලිපිය ලියන තුරු තවමත් ස්නානය කර නොමැත. මා කියන්නේ මුසාවක් නොවේ. මා එතරම්ම ඔබට වශීකෘත වී ඇතැයි හැඟේ.

ගෙවෙන ගත වෙන සෑම තත්පරයකදීම මම අපේ අනාගතේ ප්ලෑන් කරනවා සකු. ඔයයි මමයි අත් පටලාගෙන මේ ගම වටේ යන හැටි මම හීන දකිනවා රත්තරන්. මම ඔයාගේ අම්මගේ වෙරළු බිස්නස් එක ඩිවලොප්  කරන්න හිතාගෙන ඉන්නවා කියල ඔයා දන්නේ නෑ නේද? ඔව් මම කිව්වේ නෑනේ. එහෙනම් අහගන්න. මම හිතන් ඉන්නවා ඔයත් එක්ක එක වහලක් යටට ආවම ඔයාගේ අම්ම කරන වෙරළු බිස්නස් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් කරන්න. ඔයා මට එකට උදව් කරනවා නේද? ඔව් මම එක දියුණු කරනවා. ලංකාවේ හොඳම එක්ස්පෝර්ට් බිස්නස් එක කරනවා. අපිට දුක් විඳින්න ඕනේ නෑ රත්තරන්, මම ඔයාව ඔය වලෙන් ගොඩ ගන්නවා මැණික...!

මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි. මට ඕනේ ඔයා විතරයි. ඒත් ඔයාගේ ගෙදරින් දෙන දෙයක් තියනම් අරන් ආවට මගේ අමනාපයක් නෑ. මම ඕනෙනම් විල්සන් අයියගේ බරබාගේ සෙට් කරන්නම් බඳින දවසට දෑවැද්ද පටවාගෙන යන්න, පෙට්‍රල් වියදම නැති නිසා හයර් එකත් අඩු වෙයි. ඔයා හිතනවා ඇති මට පිස්සු කියල, ඔව් මට පිස්සු, මම ඉහත සඳහන් කල විදිහටම මට පිස්සු. ඒ ඔයා නිසා. ඔව් ඔයාම නිසා. ලියුම කියෙව්වම මම කොච්චර අනාගතය ගැන හිතල තියනවද කියල ඔයාට තේරෙනවා නේද දැන්. ඉතින් ඔයාට අපේ අනාගතේ සුරක්ෂිතයි කියල තේරෙනවා නේද.  ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා. ඒත් ඒවා ලියාගන්න බෑ. පෑනේ තීන්ත ඉවර වේගෙන එන්නේ. මම දුප්පත් ඔයා දන්නවනේ. ඒත් මම ඔයාගේ අම්මගේ වෙරළු බිස්නස් එක ඩිවලොප් කරනවා කියල මතක තියා ගන්න.  අපිට හෙට රටක් තියෙයි. මට මෙච්චර වෙලා ඔයාට කියන්න ඕනේ උනේ මම ඔයාට ආදරේ කරනවා කියලා. වෙන්න ඕනේ ඉතුරු ටික ඔයා දන්නවනේ. මම මුලින් කීව අවසානය එයයි. මම හනිකට විගහට ඉක්මනට පිළිතුරක් ඕනේ.  එහෙනම් මම අදට නවතිනවා සුදු....ඔයාට බුදු සරණයි

මීට රයිටර් රම්බා !!!


අන්තිමට මගේ නම ලියවුන එක පරහට හිටීද? ඇයි මට එහෙම වුනේ, ඒ කියන්නේ මමත් සකුන්තලාට ආදරෙයිද?  වැරදිච්ච එක රම්බා දකින්න කලින් මම ලියුම නමලා දිගෑරලවත් බලන්නැතුව ඒකිගේ අතටම දෙන්න කියල දුන්නා !!!

Friday, August 10, 2012

එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං

ගොත ගහ ගහ ඉන්න රම්බාගේ මුණ නිකන් හරියට පැණි කොමඩු ගෙඩියක් වගේ වුණා. මු කියන දෙයක් කියන්නේ නැති කොට මමත් අමාරුවෙන් දත කාගෙන හංගගෙන ඉන්න ඉවසීම, පනින්න ඔන්න මෙන්න වගේ.


"ඉතින් මොකද උඹ මට ආදරෙයිද. එව්වා හරියන්නේ නෑ පුතෝ ලංකාවේ තාම ඒ නීතිය සමාජගත කරලා නෑ, හොරෙන් ජීවත් වෙන එවුන් ඇති. ඒත් උඹේ අදහස් සුම්මා, එව්වා හඳේ හරිය, හොඳ හිතින් ඔය විකාර හිතෙන් අතැරලා  දාපන්" මටත් ඇති වෙච්ච කුතුහලේ හින්දයි මුගේ කෙකර බෑවිල්ල අන්තිමට මොකක් වෙයිද කියල නොදන්න හින්දයි බයේම මමත් කියලම දැම්ම.


"බොල අලගොඩුවෝ, මගුලක් කියනවද, බොට ආදරේ කරන්ඩ මට මඤ්ඤඃද......ඊට වඩා හොඳයි පිහියෙන් කෑල්ල කෑල්ල කපාගෙන මැරෙනවා. ඒක නෙමෙයි බං මම........උඹට...."


"දඩාන්....."


එතකොටම මගේ රතු කට්ට පනිනවා පනිනවා වගේ දැනුනා. මට මාවම කන්ට්‍රෝල් නැතුව ගියා, එවලේම අතට අහුවෙච්ච පොත් මිටිය රම්බාගේ මුණ සිපගත්ත සද්දේ තමයි ඒ..


රම්බගේ වම් කම්මුල ආනමාලුව වගේ දික් වෙලා එද්දී, ඇහැකින් දොට්ට පැන්න කඳුළු කැට සට සට ගාල වැටෙද්දී,


"මචන් මට හිතෙනවා මම බොරලුවත්තේ වෙරළු කඩේ ඇන්ටිගේ දුවට ආදරේ කරනවා කියලා, පෙරේදා ඒකි මට හිනා වුන වෙලේ ඉඳන් මං නිකං පාවෙනවා පාවෙනවා වගේ බං. මේ පපුව අස්සෙන් හිරි වැටෙනවා වගේ බං ඒකි මතක් වෙනකොට, අනේ බං මට ඒකි දකින්නේ නැතුව ඉන්න බෑ ..මට ඒකි මගේ කරගන්න ඕනේ බං. ඒකිගේ අතින් අල්ලන් ගම වටේ ඇවිදින්න ඕනේ බං..... එයා කන්න කැමති කෑම ගෙනත් දීල ඒවා ආසාවෙන් කන හැටි බලන් ඉන්න ආසයි බං...., බත් පංගුව අනල හිමින් සැරේ කට කට කවන්න ආසයි බං.... එයත් එක්ක ෆිල්ම් හෝල්  ඒකෙ අඩ අඳුරට වෙලා චිත්‍රපටි බලන්න ආසයි බං. මුහුදු වෙරළේ අත් අල්ලාගෙන ඇවිද ගෙන ගිහින් රැල්ල පාගන්න ආසයි බං. රෑට රෑට එස්.එම්.එස්. වලින් මල් කඩන්න ආසයි බං, ගමටම මගුල් කියල ඒකිත් එක්ක එක වහලක් යටට එන්න ආසයි  බං.  ළමයි පෝලිමක් හදල උන් එක්ක ඇලේ නාන්න යන්න ආසයි බං.එයත් එක්ක රෙදි අපුල්ලන්න
ආසයි බං.... මට කන්නත් ඕනේ නෑ බං......, බොන්න ඕනෙත් නෑ බං....... ඊයේ දවසටම එක වේලයි කෑවේ. මං කියන්නේ බොරුනම් අත තියල බලපන් මේ පපුවට ගැහෙනවා දිඩි දිඩි ගාල"


"ඉතින් බොල රත්තරනේ පපුව ගැහෙන්නේ නැත්තම් තෝ මැරිලානේ." වෙන්නේ මොකද කියල හිතා ගන්න බැරිව වෙව්ලන මගේ කටහඬ වෙව්ල වෙව්ල එහෙම කියනකොට, මෙච්චර වෙලා කටේ පිරිලා තිබ්බ කෙළ  ටික මම අමාරුවෙන් ගිල්ලා.


"නෑ යකෝ විනාඩියට වාර එකසිය පනහක් විතර ගැහෙනවා බං. මං හිතන්නේ ආදරේ කරනකොට එහෙම වෙන්න ඇති. ඇයි බං මගේ හදවත විතරක් නෙමෙයිනේ, හදවත් දෙකක්නේ"


මම නිකමට කිට්ටු වෙලා රම්බාගේ පපු කිණිත්තට අත තියල බැලුවා. විනාඩියට එකසිය පනහක් තියා ඒකෙ එක ගැස්මක්වත් නැති තරම්. එක පාරක් ගැහිලා ආයේ තප්පර දහයක් පහලවක් යනකම් හාවක් හුවක් නෑ. මගේ පපුවත් සීතල වෙලා ගියා. මු දැනටමත් මැරිලද කොහෙද කියල, වෙරළු ඇන්ටිගේ සකුන්තලා ලමිස්සිට ආදරේ කියල කියන්නත් කලින් මෙහෙමනම් කිව්වට පස්සේ මේ ගැහෙන ටිකත් නතර වෙලාම යාවිනේ කියලා.


දැන් මගෙත් තුන්කාන්දෙන් දාඩිය වැක්කෙරෙනවා, මුට දිෂ්ටියක්වත් වැහිලද කියල,  ඇයි පෙරේදා බෝක්කුවේ කොපින් කනුව උඩ ඉඳගෙන "ඕන් බලපන් මගේ ජීවිතේට මං කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ නෑ"  කියපු රම්බා අද මෙහෙම කියනකොට.  බයවෙච්ච පාර  මම,


"කියපන් කියපන් ඉතින් මගෙන් කෙරෙන්න ඕනේ"  මොනවා වුනත් මගේ බොක්කේ යාලුවනේ, ඕනේ සප් එකක් දෙන්න මේ රයිටර් එවරෙඩි


උගේ මුනෙන් ආදරේ පිටාර ගලල යනවා. පොල්කට්ටක් තිබ්බනම් එකතු කරන්න තිබුනා කියල මගේ කවි හිතට හිතුනා, පව් අහිංසකයා, මිත්‍යාවෙන් වෙලිලා, ආලෝකය හොයාගන්න බැරුව ලත වෙනවා. බ්ලොග් එකට කෙටි කතාවක් ලියන්න පට්ට මාතෘකාව, මම ශේප් ඒකෙ මේසේ උඩ තිබ්බ නොට් පොතේ ලියා ගත්තා. "රම්බාගේ විලාපය කියලා".

 
"මචන් රයිටර් උඹ අර බ්ලොග් ඒකෙ ලියන වචන සෙට් එක පාවිච්චි කරලා මට ආදරණීයම ආදරණීයම ආදරණීයම... පෙම් පතක් ලියල දියන්කෝ බං"


හුටා මු මගේ බ්ලොග් එකත් කියවනවද ඇයි හත්වලාමේ ඊයේ පෙරේදා වෙනකම් කියෙව්වට නම් කමක් නෑ ලඟක් වෙනකම් යස අගේට තිබුනා, ඒත් මේ ලඟදි ඉඳන්  ලියවෙන කැටගරිය දැක්කොත් රම්බා මගේ ආයේ මුණ බලන එකක් නෑ. මගේ අත කට වෙව්ලනවා. මු අපහාස නඩු දාන්න බැරිකමකුත් නෑනේ.


"උ...ඹ.. කොහෙන්...ද මම බ්ලොග් එකක් ලියනවා කියල දන්නේ"


"ඇයි බං අර රෙදි නැන්දගේ දුව කිව්වේ...... ඒකිගේ ෆේස්බුක් ෆේක් අකවුන්ට් එකෙන් දවසක් උඹත් එක්ක චැට් කරනකොට උඹෙන් දස වදේලු."


"උඹ ලයින්කු ද මොකක්ද හැමවෙලේම එවනවලු"  "මං බ්ලොග් එකක් ලියනවා කියවන්න, ඔයත් බ්ලොග් එකක් ලියන්න මං උදව් කරන්නම්".. කියලා වැඳ වැඳ කියන සයිස් එකෙන් කියනවලු.   ඉතින් ඒකිට දුක හිතිලාම ඒකට ගිහින් බලලා.


කවුද බොලේ මම කීදෙනෙක්ට එහෙම කියල තියනවද, රම්‍යාද, දීපාද, සුගන්දිකාද, ගීතිකාද, දිල්කිද, සරෝජිද,  කවුද යකෝ මාව කාපු රෙදි නැන්දගේ දුව ? මම දිව හපාගෙන කල්පනා කරන අතරේ රම්බා කියනවා,

"අඩේ උඹ ලස්සනට ලියනවලු, හිතට වදින්න ලියනවලු. උඹ ලියපු ඒවා කියවලා ඒකිට ඇඬිලා. උඹට තියෙන්නේ කවි හිතක්ලු, කෙල්ලෝ මුලා කරන්න පුළුවන්ලු" 


ඒක අහපු මගේ හිත ප්‍රීතියෙන් ඔද්දල් වෙන්න පටන් ගත්තා. නහරයක් නහරක් ගානේ ආඩම්බරකම දෝරේගලන්න ගත්තා. මම මෙතෙන්ට එන්ඩ කොච්චර දුකක් වින්දද, ඒවායේ ප්‍රතිපල තමයි මේ, මගේ ඇස් ලාවට තෙත් වුණා. කමෙන්ට් දාන උදවිය එහෙනම් බොරුවට නෙමෙයි කියන්නේ. හ්ම් හ්ම්..


"ඇයි බං උඹ අඬන්නේ"  උඹ සකුන්තලාට ට්‍රයිද, මේ මේ මරාගෙන මැරෙනවා යාළුවා කියල බලන්නේ නෑ. ඒකි මගේ කැපුවත් මගේ. අදහසක් තියනවනම් දැන්ම අතැර ගනින් "


"පයිත්තියන් තොට ට්‍රයි මගුලක් නෙමෙයි..............උඹලට මං ගැන අගේ නැති වුනාට රටේ ලෝකේ එවුන්ට මාව මාව වටිනවා බං,"
ඉකියක් එක්ක පිට වුන මගේ කටේ අවංක සද්දෙට උට දුක හිතෙන්න ඇති


"අනේ නෑ බං කාට නැතත් මට උඹව වටිනවා"


රම්බා ලෝකේ හදන බටර් ටික ඔක්කොම තලපේ වගේ හදල මගේ ගාන්නයි ලෑස්තිය.



"අනේ බං ඒ විදිහට මට සකුන්තලාට දෙන්න ලියුමක් ලියලා දියන්කෝ"



රයිටර් රම්බාට ලියල දුන්න ලියුන් කඩදහිය කියවන්න කැමති ළමයි ඉන්නවද ? 

Tuesday, August 7, 2012

රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?

දඩස් ගාල පොරවන් උන්නු සරමත් එක්ක උඩ ගිහින් ඇහැරුනේ අක්කගේ විසි එක් වෙනි උපන්දිනේට  සීයා ගෙනත් දීපු එලාම් ඔරලෝසුවේ අවලස්සන, අවකැපිලා සුනේ සුන් වෙලා යන සද්දෙට. ඔරලෝසුව අක්කගේ වුනාට, සාපෙට වෙලාවට පාඩම් කරන්න ඔරලෝසුවක් නැති හින්ද තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල අක්ක මට ඒක පරිත්‍යාග කළා.  ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එක පටන් ගන්න සද්දේ හිතට දැනෙන සතුටයි පාන්දර ඔරලෝසු කට්ටේ එලාම් එකයි, එක වගේ උනාට ඒ සද්දේ හිතට දැනෙන්නේ කොච්චර වෙනසකටද. ඔන්න ඔන්න මගේ සුන්දර කවි හිත මගෙත් එක්කම තර්ක කරනවා. වට පිටාවේ වෙන හැම දේම මම දකින්නේ මගේ කවි හිතෙන්. ඔව් මං පරසිද්ධ කවි කාරයෙක්, ලේඛකයෙක්. මට මං ගැනම පුදුමාකාර ආඩම්බරයක් ආවා. ඔව් ආත්මාභිමානයක්,  ඒ ආඩම්බරකම, ආත්මාභිමානය පපුවට අරන් පපුව ඉස්සරහට දාගෙන, ඇස් පිහාටු අරින්න බැරි තරමට බදාම තට්ටුවක් ගහල වගේ තිබ්බ කබ ටික කඩ කඩ මම ඇඳෙන් බැස්සා. මං ගැනම දැනිච්ච සියුම් ආඩම්බරේට ඇස් වලට උනපු කඳුළු නිසා කබ ටික කඩා ගන්න එච්චර අමාරු වුනේ නෑ.  රෑ පුරාම දැකපු හීනේ හිටපු කෙල්ල පස්සේ දුවලා උදේ නැගිටිනකොට හතර හන්දි මදි නොකියන්නම රිදෙනවා. කකුල් දෙකෙන් දුවලා දුවලා බැරිම තැන බඩගාගෙනත් ගියානේ. මම නිකමට දනිස් දෙක දිහා බැලුවා රෑ පුරාම බඩගාපු බඩ ගෑවිල්ලට දනිස් පොල් කටු දෙක වදමල වගේ වෙලාවත්ද කියල.



උදේට බත් පංගුව කාලම දත කට මැදගන්නවා කියල හිතාගෙන මෙසේ කොනක බෙදල තිබුණු බත් පංගුව අතට අරන් කන්න ගන්නකොටම මිදුල පැත්තෙන් සති පොළ පටන් අරන් වගේ කාලගෝට්ටියක් ඇහුණා. නිකමට ජනේලෙන් හොම්බ දාල බැලුවම ආච්චි ඉදලෙන් එකෙක්ට දාගෙන තඩි බානවා.



"අනේ ආච්චි සුදු ආච්චි ගහන්න එපා"


"ගහන්න නෙමේ, උඹව හමගහනවා මම අද, වත්තක පැලක, ගහක ගෙඩියක් තියන්නේ නෑ"


අහල පුරුදු වොයිස් කට් එකක් එක්ක ආච්චිගේ ස්වීට් වොයිස් එක මිදුල පැත්තෙන් ශ්‍රවනය වේගෙන එද්දී බිම පෙරලීගෙන ආච්චිට වැඳගෙන ඉන්නේ "රම්බා" කියල මගේ කවි මොලේට තේරුනා. රම්බා මගේ බොක්කේ යාළුවා උනාට ඕකා මට කරපුවට රිටන් දෙන්නත් බැරි වෙච්ච එකේ ඕකාට හොඳම වැඩේ තව ටිකක් කාපුදෙන් කියල මම බත් පංගුවටම හිමින් සීරුවේ වග කියල දත් බුරුසුවට අළු ටිකක් ලිපෙන් අරගෙන ආච්චිගෙයි රම්බගෙයි සංග්‍රාමය පැත්තට අඩිය ඉක්මන් කළා දත මැද මැදම.



"අනේ....අනේ "රයිටර්" දෙයියෝ.... මාව බේරගනින්, උඹලගේ සුදු ආච්චි මට තඩිබානවා, මං කරපු ඉලව් හොරකමක් නෑ කියපන් අනේ බං පින්සිද්ධවෙයි, ප්ලීස් කරුණාකරලා කියපන්" 



අපේ ආච්චිගේ එක කකුලක් රම්බාගේ පිට මැද, රම්බා බිම බඩගාගෙන ආච්චිට හතරගාතෙන් වැඳගෙන ඉන්නවා. කහ පාට වෙච්චි කෙහෙල් ලෙලි හතර පහකුත් උගේ වගේ බිම වැටිලා. එක අතක රැඳිලා තිබුන ඉදල බිමට තියාගෙන හිටපු ආච්චි මට සිහි කලේ අතීතයේ හෙළ රජ දවස රාජ විරෝධී කුමන්ත්‍රනකාරයෙක් කුදලාගෙන ආ සෙන්පතියෙක් රජ්ජුරුවෝ ඉදිරියේ තමාගේ නිර්භීතකම විදහා දක්වන ආකාරය. මගේ හිතේ එවලේ ආපු වචන ටික මම ඒ විදිහටම හිතේ ලියාගත්තා. මොකද මං ෆේමස් රයිටර් කෙනෙක් හින්ද මේවගේ ත්‍රාසය ජවය ශක්තිය  යෞවනත්වය පිරුණු අවස්ථාවල හිතට නැගෙන සිතුවිලි වලින් ශ්‍රේෂ්ට නිර්මාණ බිහි කරන්න පුළුවන් බව දැනගෙන උන්නු හින්දා.  


හරිය, ඒකත් මගේ ටිකිරි කවි මොලේට වැටහුණා. මු මොකක් හරි රාජකාරි වැඩකට රයිටර්ව හොයාගෙන මගේ භවනට එද්දී ආච්චි වවපු බට් කෙහෙල් පැලේ ඉදුණු කෙහෙල් ඇවරිය දැකල මුගේ බඩජාරිකම හින්ද මු ගහේ කැන තියෙද්දීම ගෙඩි හතරක් පහක් ගිලල. රම්බා රඹ කැන් නොහොත් කෙහෙල් වලට පණ වුනත් අරින බව අපි දන්නා නිසාම උගේ නමට වරහන් යටින් රම්බා නම පට බැඳුනු හැටිත් මට විචිත්‍රවත් විදිහට හිතේ දිගෑරෙද්දී මම මගේ සුකුමල වොයිස් එක වාතලයට මුදා හැරියා.   


"ආච්චි හා හා නවත්තන්න ආච්චි, මේකා මගේ යාළුවා ඇයි ආච්චිට මතක නැද්ද ගිය සතියේ ආච්චිගේ පරණ පෙට්ටගමේ තිබුණු පුරාණ ඇන්ටික් ටික විකුණලා දෙන්ඩ සෙට් කලේ,"


මං එහෙම කියනකොටම ආච්චිගේ ඇස් තෙත්වෙනවා මම යාන්තමට දැක්කා, ආච්චි ඉකිගගහ අඩන්න ගත්ත.එකපාරටම බිම බඩගාගෙන උන්නු රම්බගේ පිට උඩින්ම ඉඳගෙන රම්බාව බදාගෙන අඬනවා. රම්බගේ මුණ පුරා ආච්චිගේ හොටු, රම්බත් ඇස් දෙක පියාගෙන නහයයි කටයි උගේ නෙමෙයි වගේ උල් කරගෙන මුනට අමුතුම ලීලාවක් ආරුඨ කරගෙන ඉන්න හැටි මම දැක්කා. මගේ කවි හිත ඒකත් සටහන් කරගත්තා.

මම හිමින් ආච්චිවත් වත්තන් කරගෙන නැගිට්ටලා රම්බාවත් කෙලින් කටින් අරගෙන උගේ දිහා මුණ හරවලා අනුකම්පා ප්‍රොෆයිල් මුණ දැම්මා. අපේ ආච්චිගේ මතකෙට උපමා කරන්න උපමේයක් තවම මගේ කවි හිත හොයනවා. සමහර දේවල් ඕනෙවටත් වඩා මතක තියන ආච්චිට සමහර දේවල් සුටුස් ගල අමතක වෙන එකට සමාන වස්තුවක් මම තවමත් හොයනවා. මම ඕව රම්බාට කියන්න ගියේ නෑ.

රම්බ්ගේ කරට අතක් දාගෙන මම ඌව ගෙනත් මගේ ඇඳෙන් ඉන්දුවා. ඉදල් පාරවල් කාල ඉරටු පශ්චාත්භාගය පුරාම ඇනිලා හින්ද ඉඳගන්නකොටම මු ඉඳගත්ත වේගෙන්ම නැගිට්ටා වේදනාව දරා  ගන්න බැරුව මගේ හිතේ. 


මම හිමීට ඉරටු එක දෙක ඇස් දෙක පියාගෙන ගලවල මු ආපු කාරණේ අහන්න ගත්තා. වේදනාව හින්ද තවමත් මුට ඉඳගන්න බෑ. ඇඳේ මුනින් අතට දිගාවෙලා ඉන්න රම්බගේ මුණ හුළං ගහන බැලුම පිම්බෙනවා වගේ පිම්බීගෙන ආව.


"හරි ඉතින් රම්බා කියපන්කො උඹ මොකෝ මේ සීත මීදුම් උදෑසනේ මාව හොයාගෙන ආවේ කියල" 
මමත් මම උගතා කියාලා හිතාන ඉන්න හින්ද, දන්න සාහිත්‍යන්ම ඇහුවා


මුගේ මුනේ මැවිච්ච සුකුමාර හිනාව වැක්කෙරෙනවා. අඬන ළමයි බය කරන්න කියාපු භාණ්ඩේ මගේ කවි හිතට එහෙමත් හිතුනා. මු ඇඹරි ඇඹරි මට කියාගන්න බැරුව මං දිහා හොරෙන් බලනවා, මාපට ඇඟිල්ල කටේ දාගෙන ඇඹරෙනවා. ඌ උගේ මුණේ බොලඳම බොළඳ ප්‍රොෆයිල් එකක් දාගෙන මෙහෙම කියනවා තටම තටම,


"මම.....මම....උඹට.............." මේ.....මේ... "




රම්බා මට මොනවද කීවේ කියල බලන්න කැමති අය ඉන්නවද තවත් ?
ඉන්නවනම් කියන්න.
බොරුවට පුරාජේරුවට නෙමෙයි සිරාම අදහස, කියන්න.
උඹ මේ මගුල නවත්තලා ලියපු විදිහට පාඩුවේ ඉඳපන්. 
මවාගත්තු ෆැන්ටසි ලෝකෙන් බැහැල ඇවිත් බ්ලොගේ චොර කරන්නේ නැතුව කියල කියන්න හිතෙනවනම් කියන්න. 

මහා ලොකුවට කයිවාරු ගැහුවට මේ කෙරුවාව හරියන්නේ නැති පාටයි

Wednesday, August 1, 2012

"ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"

 මට අයිති නැති මේ හිත පුරා
හොරෙන් කවියක් කුරුටු ගා
පද පේලි අමුණා හැඩ දමා
සිහින් ස්වරයෙන් මිමිනුවා

අහිමි කරගෙන තනුව ජීවිතේ
ඇවිද යමි නුඹ නැති මාවතේ
විහින් සිරකර හැඟුමන් ලයේ
විඳවන්න වෙන බැව් දනිමි මතුභවේ

  
සංසාර පුරුද්දට සෙනෙහසේ
ඇස් ගාව හිඳින්නට පිං නැතේ
යදම් බැඳලු සිත් ඉමේ 
නොයිඳ විගහින් යනු මැනේ

වෙනමම :

මොකක් හරි සීන් කොන් එකක් හින්ද, බ්ලොග් එක කියවන පිරිස අම්බානක අඩු වෙලා, එක්කෝ මං ලියන එව්වයේ රහක් නැතුවද, එහෙම නැත්තම් අන්තර්ජාතික කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්ද, එහෙමත් නැත්තම් මගේ අපල කාලයක්ද කියල හිත හිත ඉන්නකොට හිතට මෙන්ම ගතට කික් එකක් දැනෙන මාතෘකාවක් ගැන ලියන්නවත් ඕනේ කියල ටොපික් එකක් හොයා හොයා ඉන්නකොට මතක් වුනා " ඇයි දෙයියනේ මේ මං හොඳ මාතෘකාවක්නේ" කියල.  දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ...ඔය තියෙන්නේ, මම හිතෙන් හිතන් ඉන්නේ මම හෙන "ෆේමස් රයිටර්" කෙනෙක් කියලනේ.  අහන දකින එවුන්ගෙන් අහනවා ,
"මචන් මං බ්ලොග් එකක් ලියනවා දන්නවද" කියල
උන් හැරෙන තැපෑලෙන් අහනකොට
"ඇඃ උඹ බ්ලොග් ලියනවද" කියල, දිව හපාගෙන මැරෙන්න හිතෙනවා. අපේ ගමේ උන්ට මං බ්ලොගක් ලියනවා කියල කට කැඩෙනකන් කිව්වත් උන් නෙමෙයි විශ්වාස කරන්නේ. උන්ට තේරුම් කරලා දෙනවට වඩා හොඳයි පාරේ ඉන්න හිඟන්නෙකුට හෝඩිය උගන්වනවා.
උන් හිඟාකෑම අතැරලා හෝඩිපොත් හරි විකුණයි.


ජීවිතේ මේ දවස් වල ටිකක් ගල් බනිසුයි කිරි හොදියි වගේ වෙලා තියෙද්දී අර "තනිකම" කියන එක මාව මරාගෙන කන්න හදද්දී උඹලගේ/අක්කලාගේ අයියලාගේ බ්ලොග් වලට ගොඩවෙලා තමයි පොඩ්ඩක් හරි මූඩ් එක ෆික්ස් කරගන්නේ. ඉතින් උඹලගේ බ්ලොග් කික් එකේ නැගල යද්දී ඇයි දෙවියනේ මගේ එකට හිට් ටිකක් ගන්න බැරි කියල හිතෙනකොට කඳුළු කැට හෝ ගාල කඩා වැටෙනවා.
ඇයි ඉතින් මං හිතන් ඉන්නේ මම හෙන "ෆෙමස් රයිටර්" කියලනේ.
  
ජිල්බෝල හොද්දක් වගේ වෙලා තිබ්බ සිතුවිලි අස්සේ සෙල්ලම් කර කර ඉන්නකොට
තමයි මඩියා හෙවත් මඩිස්සලේ නිශාන් බ්ලොග් එක හිට් කරගන්න විදිහක් ගැන කියල තිබ්බේ. ඒවත් ආදර්ශෙට අරගෙන ඔන්න ළඟදීම ඉඳන් ලියවෙන "ෆේමස් රයිටර් මං" සීරිස් එක කියවන්න කැමති කට්ටිය අත උස්සන්න බලන්න...........!!! ආ...... දැන් අත පාත්දාල හොඳ ළමයි වගේ ඒක පාතින් ලියල යන්න..
කවි, කෙටිකතා විතරක් ලියල නිකන් හෙන ශාස්ත්‍රීය පොරක් වෙන්න මට බෑ අප්පා. මට ඕනේ මික්ස් පොරක් වෙන්න. ඔන්න උඹලත් මට හෙල්ප් කරන්ඩ ඕනේ හොඳේ !!
මගේ හීනේ හැබෑ කරගන්න...

මගේ "ෆේමස් රයිටර්" හීනේ

ලස්සනට කරගෙන ආව බ්ලොග් එක වනවෙයිද මන්ද

  
  

Wednesday, July 25, 2012

නග්න සිහිනය

සයන මත මුනින් තලාවී සිටි ඇයට හැඬුම්  නවත්වාගත නොහැකි විය. බොහෝ වෙලාවක් එක දිගට හැඬු නිසා සිහින් ඉකියක්ද පිටවිය. ඇයගේ කඳුළු කැට තදින් මුහුණට සිරවී තිබුණු කොට්ටයේ මසා තිබුණු තාරාවගේ රටා මැහුම මතින් කොට්ටයේ පුළුන් තෙත් කළේය. දකුනතිත් ඇඳ වියලද වමතින් ඇඳ ඇතිරිල්ලද තදින් අල්ලාගෙන සිටි ඇයගේ වම් අතේ මිරිකෙමින්වූ ඇඳ ඇතිරිල්ල හදිසියේම ආවේගයෙන් ගසා දමද්දී සයන මත වූ යමක් "ටොක්" හඬක් නගා බිම පතිත විය. ඇයට එය වගක් නොවීය. ඉරියව්වේ කිසි වෙනසකුදු නොකර පෙර පරිද්දෙන්ම වැතිර සිටියාය. වරින් වර උත්සන්න වන හැඬුම් නිසා ඇයගේ දෙවුර වේගයෙන් ඉහල පහල යයි. ඇය සිනාසේද එසේත් නැතිනම් හඬයිද යනුවෙන් ඇය දෙස පිටින් දකින්නෙකුට නිශ්චිතවම නිගමනය කල නොහැකිවිය. නමුත් ඒ මොහොතේ ඇය සත්‍ය වශයෙන්ම වැලපෙන බව දන්නේ ඇයම මිස ඇය පණමෙන් ආලය කල අයාචනවත් එපිට ලෝක වැසියාත් නොවේ. හදවතේ සෑම බිම් අඟලක්ම ඔහුගේ නමට ලියවෙද්දී, සිරුර පුරා ගලන ගලන ලේ බිඳුවකම ඔහු ජීවත් වෙත්දී සවනත වැකෙන  සියලු හඬ අභිබවා ඔහුගේ ආමන්ත්‍රණය පමණක්ම ඇසෙද්දී  ඇයට ඇගේ ජීවිතේ ඔහුම මිස වෙන අන් කිසිවෙක්වත් නොවිය. එනමුදු අද ?

පෙරදී ඇය බොහෝ ආශා කල ගීතයක් පසුබිමින් වැයෙන්නට  විය. නමුදු මෙවලේ එය ඇයට තවත් හිසරදයක් විය. නොනවත්වා ඇසෙන ගීතය තමන්ගේ ජංගම දුරකතනයට පැමිණි ඇමතුමක් බව හැඳින ගත් ඇය මුනින් තලාවී සිටියදීම හිස නොඋස්සාම වමතින් සයන මත අතපත ගාන්නට විය. එය සොයා ගැනීමට අපහසු වුයෙන් ඇය අපහසුවෙන් හිස ඔසවා විපරම් කළාය. සුළු මොහොතකට පෙර බිම පතිත වූ දුරකතනයට ආ ඇමතුම මීට සුළු මොහොතකට විසන්ධි වුවද යලිත් පැමිණි ඇමතුමක ලකුණු එහි තිරයේ සටහන් විය. අතට ගත් දුරකතනයට පැමිණි ඇමතුම ඇය විසන්ධි කර එය ඇඳ මතට නොසැලකිල්ලෙන් විසිකර යලි කොට්ට තුල මුහුණ සඟවා ගත්තාය. ගෙවෙන ගතවුණා වූ සෑම හෝරාවකම ඔහු සිහිනොවූ දිනයක් නොවීය. ඔහුගේ නිසල ඇස් දෙස කල්පයක් වුවද බලා සිටිය හැක. ඔහුගේ උණුසුමේ දෙඇස් වසාගෙන දැවටෙන්නට ඇයට වරු ගනන් ගෙවන්නට හැකිය. ඇසෙන නොඇසෙන හඬින් සවනත කොඳුරන බොළඳ කතා පොඩි එකෙක්ගේ මෙන් සොඳුරුය සුරතල්ය. එනමුදු අද විඳින්නේ කාගේ සුවඳද, කාගේ උණුහුමද?


නිතර නිතර ළමා ලපටියන්ගෙන් හඬින්, කෙලි කවටකමින් ප්‍රාණවත්ව ඔපවත්ව සතුට රැඳී උයනක් හදිසියේ වල්බිහිවුවක් වැනි හැඟීමක්, පාළුවක්, තනිකමක්,මෙන්ම දරාගත නොහැකි ලෝබ කමක් ඇයට දැනෙන්නට විය. ඔහු මතක් වෙන සෑම තප්පරයකදීම පපුව හෝස් ගා පත්තු වී යනවා ඇයට දැනුනි, වචනයෙක් විස්තර කල නොහි හිස්කමක් ඇයව වෙලාගනිද්දී එම වේදනාවම ඇය පිලිබඳ මහත් ආත්මානුකම්පාවක් දුකක් ඇති කළේය. ඇඳ අසල පිහිටි මේසයේ කුඩා හෝරා යන්ත්‍රයේ 1.30 සටහන් වී තිබුනේය. ගතවෙන්නේ මධ්‍යහ්නය නොවන බවත් රෑ මැදියම බවත් ඇයට වැටහිණි. ගෙවුණු හෝරාව කල්පයක් සේ දැනුනද ගතවුනේ හොරා කීපයක්  පමණක් බවත් ඇයට අවබෝධ වෙද්දී මින් මතුවට ඇය ජීවත්ව සිටින ඔහුගෙන් තොර ඉදිරි කාලය ගෙවා දමන්නේ කෙසේද යන්න අර්ථවිරහිත හැඟීමකින් ඇයගේ හිත මුළුමනින්ම පෙලනු ලැබීය. කඳුළු පිටාර ගලා ගිය කොපුල් තවමත් හරි හැටි වියලී ගොස් නැත. වරින් වර අලුත්වන කඳුළු නිසා එය තවමත් තෙතබරියම් වී තිබුණි. සයන මත උඩුබැලි අතට වැතිරී සිටි ඇයට ආයාචන පිලිබඳ පෙර අත් නොවිදි දුකක් දැනුනි. වරෙක ඔහුගේ පිළිරුව ජීවමානව ඇය ඉදිරිපස දිස්වන්නා සේ ඇයට හැඟුනි. එහෙත් ක්ෂණයෙන් අතුරුදන් වන ඡායාව ඇගේ දෙනුවන් අගට උණුහුම් කඳුළු කැට මිසක අන් කිසිවක් නොගෙනාවේය.  රෑ මැදියම පහුවෙත්දිත් නොනවත්වා හඬපු ඇයට  තවත් හඬන්නට ශක්තියක් නොවුනාසේම ගලන්නට කඳුළු ඇගේ දෙනෙත් තුල තවදුරටත් නොවීය. දුර්වල වූ නිසා හැඬුම් පිටට ගලා නොආවේය. නමුදු හෙට පීදෙන්නට තිබු  සුවඳවත් අරලිය පොහොට්ටුවක පෙති එය පිපෙන්නටත් මත්තෙන්ම ගිලිහුන කල්හි එය වැලපෙන්නේ කෙසේද එවැනිම හැඟීමක් ඇයගේ වතේ ශේෂව තිබුණි.   


"දැන් අඬලා වැලපිලා වැලපිලා වැඩක් නෑ අපර්ණා, හිත හදාගන්න බලන්න. වෙච්ච දේ වුනා, ඒ දේ උඹට මට තියා උඩ ඉන්න දෙයියන්ටවත් වෙනස් කරන්න බෑ. එක හින්ද දැන් හොඳ ළමයා වගේ නිදා ගන්න. මට දැන් ඔහේ එන්න පුළුවන් නම් මම එනවා. මේ රෑ මට එන්න විදිහක් නෑ. ඒත් එලිය වැටුණු ගමන් මමයි දෙවින්දියි උඹලගේ දිහා එනවා."


"හ්ම්..."

"කොච්චර අමාරු වුනත් යතාර්තයට අපිට මුණ දෙන්න වෙනවා...අපර්ණා. ඇත්ත කොච්චර කටුක වුනත්, දරාගන්න බැරි වුනත් ඒ දේට මුණ දෙන්නම වෙනවා. මේ මහා රෑ මම උඹට බණ කියනවා නෙමෙයි. අපිත් කැමතියි ඉස්සර හිනා වෙලා හිටිය අපර්ණා ඒ විදිහටම හිනාවෙලා ලස්සනට අපිත් එක්ක ඉන්නවා දකින්න. අපි හෙට උදේ එනකම් පරිස්සමෙන් ඉඳහන් හිතුවක්කාර තීරණහෙම ගන්නේ නැතුව.  එහෙනම් කෙල්ලේ මම තිබ්බ. බුදුසරණයි !"


"හ්ම්...බුදුසරණයි"


තම හිත මිතුරියන් යුතුකමක් වශයෙන්  තමන් ගැන විමසීමට ගන්නා ඇමතුම් නිසා ඇයට ඒවාට පිළිතුරු දී හෙම්බත් වී සිටියාය. අත රැඳී  දුරකථනය ක්‍රියා විරහිත කලත් එවිට ඔවුන් නිවසේ දුරකතනයට ගැනීමෙන් නිවැසියන්ගේ නින්දට බාධා වන නිසා ඇය එසේ නොකලාය.

එළිවෙන්නට තවත් හෝරා කීපයක්ම ගතවෙන්නට තිබෙද්දී ඇය නාන කාමරයට වැදුණාය. ගතලා සිටි ඇඳුම් පිටින්ම වතුර මල යටට වී කරාමය කැරකුවාය. එකෙනෙහිම ගෙමිදුල හරහා බොහෝ ඈතක සිට ගලාගෙන ආ සිහින් සීතල දිය බිඳිති වතුර මල මතින් ඇගේ හිසේ සිට පාදාන්තය දක්වා සැලී ඇයව නැහැවුවාය. හිත පුරා වාන්දමන සුසුම් සමග දෙනයන පතුලේ කොහේහෝ සිරවී තිබුණු  තවත් කඳුළු කැට කීපයක් සීතල දිය බිඳිති හා එක්ව ඇගේ වත සිපගෙනම අවසන් ගමන් ගියේය. ඇය බොහෝ වෙලාවක් වතුරමල යටට වී සිටියාය. ඔහුගේ සංසාරගත ආදරය ඇය සතුවූ මුල්ම දිනයේත් ඇය මෙසේම රෑ මැදියමේ වතුර මල යටට වී සතුටු කඳුළු වැගුරුවාය, ඔහුගේ ආදරය ඇවෙතින් සදහටම නොඑන ලෙස ගලා ගිය අද දිනයේත් එසේමය. සීතල දිය බිදිති පෙර පරිදිමය. නමුදු කොතරම් දේවල් කොයි තරම් වෙනසකට බඳුන් වී ඇත්දැයි ඇය කල්පනා කළාය.  


තෙත පිටින්ම කාමරය හරහා ගිය ඇය තෙත ඇඳුම් උනා දමා ඇඳුමක් දවටාගත්තාය. හැර දමා තිබු කවුළුව තුලින් කාමරය තුලට එන්නට පොරකන සුලන්, කවුළුවේ තිර රෙද්දක් සමග ඔට්ටුවිය. ඇය සෙමින් පියවර තබා කවුළුව වෙත ගොස් යකඩ ග්‍රීල්වල එල්ලී අපැහැදිලි කළුවර දෙස බලා සිටියාය. තමාගේ ජීවිතෙත් මේ කලුවරෙත් දැන් ඒහැටි වෙනසක් නැතිය යන සිතුවිල්ල ඇයගේ සිත වටා සක්මන් කළේය. එහෙමම බොහෝ වෙලාවක් සිටි ඇය නැවතත් සයන මතට පැමිණ දෑස පියා ගත්තාය. පුදුමයක තරම, නෙතු පියන ඇසිල්ලේදී වුවද ඔහුගේම රුව පමණක් නෙතුයට මැවෙන අපුරුව. ඇයට ඔහුත් ඔහුට ඇයත් පමණක්ම වූ නිසාවෙන් දෙසිත් බැඳී තිබුණු සෙනෙහසේ යදම් එතරම්ම ශක්තිමත් වූ නිසාවෙන් ඇයට ඔහුගෙන් තොර ලොවකුත් ඔහුට ඇයගෙන් තොර ලොවකුත් නොතිබිණ.  ඔහුගේ සුවඳවත් මතක සැමරුම් මැද පාන්දර පහේ පමණ සිට ඇයට නින්ද ගියාය. කිසි දිනෙක හැබැහින් දකින්නට අකමැති  යතාර්තයක් වූ  සිහිනය නිරුවත් වී ඇයට සරදම් කළේය.  


දුවේ.....දුවේ.......ළමයෝ... අපර්ණා......., නැගිටින්න පරක්කු වෙනවා. මළගෙදර යන්න, ඒ මිනිස්සු මොනවා නොහිතාවිද අපි ඊයේ රෑම එහෙ නාව එක ගැන. එක අතකට ඒ මිනිස්සුන්ටත් විකාර, කොහේ යන්නද මහා රෑ. ඒ පාරේ අපිට ඕනේ වෙලාවට වාහන තියනවයෑ. හා හා   ඉක්මනට නැගිටලා ලැස්ති වෙලා සුදු ඇඳුමක් ඇඳගන්න. ආයාචනගේ බොඩි එක ඊයේ රෑම ගෙනල්ල, වටේ පිටේ මිනිස්සු අහනවලු මොකෝ අපි පේන්න නැත්තේ කියල. හිතුමනාපේ තීරණ අරන් පස්සේ පසුතැවෙන්න වෙයි කියල අප්පච්චියි මමයි කොච්චර කිව්වද. අපේ ඕනේ කමට කැමැත්ත දුන්න නෙමෙයිනේ. උඹලා හොයාගෙනම කරගත්තුවනේ. දැන් ඉතින් පසුතැවිලා වැඩක් නෑ හිත හදා ගන්නවා ඇරෙන්න.


කටට ආදේවල් එලෙස නොහිතා පිට කලද තම ආදරණීය දියණියට අත්වූ ඉරණම පිළිබද ඇය සිටින්නේද  විස්සෝපයෙනි. දෛවය විසින් නග්න කරන ලද සිහිනක යතාර්ථය හමුවේ ඇයද ඇගේ දියණියද අසරණය. 

Sunday, July 15, 2012

චිත්‍රෙ අඳින්නේ මෙහෙමයිලු

පොරොන්දු වෙච්ච දෙයක් ඒ විදිහට ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ දේ පොරොන්දු වෙච්ච කෙනාට වගේම පොරොන්දුව ගන්න කෙනාට ලොකු සතුටක්. ඒවගේම වෙච්ච පොරොන්දු හරියට ඉටු නොකලාම දෙපාර්ශවයටම ඇති වෙන්නේ දුකක්. පොරොන්දුව දුන්න කෙනාට කෙසේ වෙතත් පොරොන්දුව ගත්ත කෙනාට ඒක දුකක් වෙයි. මමත් ගිය පාර පොස්ට් එකෙන් පොරොන්දුවක් වුනානේ. ඉතින් මමත් ඒ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්නයි හදන්නේ. මතකයිනේ. අර පෙළක් පොස්ට් වල යටින් මම දාපු චිත්‍ර අඳින්නේ කොහොමද කියන එක.  අපි හැමෝටම ජීවිතේ එක එක උණ හැදෙනවා, සමහරුන්ට කැම්පස් උණ, සමහරුන්ට නළු උණ, සමහරුන්ට ගායක උණ, ඔය විදිහට කට්ටියට ඒවා හැදෙනකොට මට හැදුනා ග්‍රැෆික් උණක්. ඉතින් මම එක හොඳ කරගන්න ගොඩක් දේවල් කරා ඒ වගේම ඉස්සරහටත් කරනවා. තවමත් අඩුවක් නෑ.

ඒ ග්‍රැෆික් චිත්‍ර අඳින්න මම පාවිච්චි කලේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් කියන මෘදුකාංගය. ඔන්න ඉතින් මචන්, දුවේ පුතේ දැන් ඉලස්ට්‍රේටර් තියන අය පටන් ගන්න නැති අයත් කොහෙන් හරි හොයාගෙන මේ විදිහට පොඩි ට්‍රයි එකක් දීල බලන්න. පත්තරවල පලවෙන කාටුන් අඳින්න, ඒවගේම ග්‍රැෆික් තොරතුරු ඉදිරිපත් කරන්න යොදාගන්නේ බහුල වශයෙන් මේ මෘදුකාංගය තමයි. සමහර විට ගොඩක් දෙනෙක් දන්නවා ඇති.


මේ ක්‍රමයට කියන්නේ "ට්‍රේස්" කරනවා කියල තමයි.
ඉස්සෙල්ලම මචන්, දුවේ පුතේ මෙහෙමයි. ඇඩෝබි ඉලස්ට්‍රේටර් මෘදුකාංගය Open  කරලා තමුන්ට කැමති ඒ කියන්නේ ට්‍රේස් කරන්න ඕනේ පින්තුරේ Open කරගන්න ඕනේ.


ඒක  කරන්න File --> Open යන්න . ඕපන් කරන පින්තුරේ රෙසුලුෂන් වැඩි එකක් නම් අඳින්න ගොඩක් පහසු වෙයි.


දැන් ඒ පින්තුරේ එහෙමම තියෙද්දී ලේයර් පැලට් එක හොයා ගන්න. පාත රූපේ තියෙන්නේ ඒ පැලට් එක තමයි. ඒක අහල පහලක පේන්න නැත්තම් අප්සෙට් යන්නේ නැතුව කෙලින්ම යන්න  Windows --> Layer ගිහිල්ල Layer කියන තැනට හරියක් දාන්න. ඔන්න දැන් ඒ රූපේ විදිහට පැලට් එකක් තියනවා.


(1) ලේයර් පැලට් එක


දැන් අපි අලුත් ලේයරයක් හදා ගන්න ඕනේ ඒක කරන්න පාත මං අංක ඒක දාල තියන අයිකන් ඒක උඩ ක්ලික් කරන්න.


(2)අලුත් ලේයර් එකක්



එතකොටම ඊට උඩින් Layer 2 කියල අලුත් ලේයර් එකක් හැදෙයි. දැන් ඊළඟට වැඩේ පටන් ගන්න කලින් කරන්න දේවල් ටිකක් තියනවා. ඒකට ඒ අලුතෙන් හැදුන Layer ඒක උඩ ක්ලික් කරගෙනම ඒක ඒ වෙනකොටත් කලින් තිබුන ලේයර් එකෙන් පහතට ඇදලා දාන්න.


(3) ලේයර් දෙක උඩ යට මාරු කරන්න


රුප සටහන් බලන්න. අංක 1 රුපයේ  Layer 2 තියන විදිහයි අංක 2 රුපයේ Layer 2 තියන විදිහයි. අන්න ඒ විදිහට ලේයර් දෙක උඩ යට මාරු කරන්න.

මීලඟට උඩින් තියන ලේයර් ඒක ලොක් කරගන්න ඕනේ පින්තුරේ පෙන්නලා තියන විදිහට ලේයර් ඒක ඉස්සරහින් තියන කොටුව ක්ලික් කලාම ඉබ්බෙක්ගේ ලකුණක් වැටෙනවා. ඒ කියන්නේ ඒ ලේයර් ඒක ලොක් කියන ඒක.


(4) ලේයර් ඒක ලොක් කරගන්න


ඔන්න අපි දැන් පින්තුරේ අඳින්නයි හදන්නේ. ඒකට අපි කරන්න ඕනේ මුලින්ම ලේයර් 2 (Layer 2) සිලෙක්ට් කරලා ඒ කියන්නේ ලේයර් පැලට් එකෙන් යට තියන ලේයර උඩ ඒක පාරක් ක්ලික් කලාම ඒක නිල් පාට වෙනවා. ඒ කියන්නේ ඒ ලේයරය සිලෙක්ට් වෙලා හොඳේ !


හරි...මීළඟට පෙන් ටූල් ඒක හොයා ගන්න ඕනේ මෙන්න එහෙනම් පෙන් ටූල් ඒක . එත් එක්කම අයිඩ්‍රෝපර් ටූල් එකත් බලාගන්නකෝ ඒක පස්සේ ඕනේ වෙනවා.    

(5) පෙන් ටූල් එක / අයිඩ්‍රෝපර් ටූල් එක



දැන් පෙන් ටූල් ඒක අරන් ඕපන් වෙලා තියන පින්තුරේ උඩ නිකන් ජොලියට වගේ ක්ලික් කරන්න පෙන් ටූල් එකට හුරු වෙන්න. පෙන් ටූල් ඒක වැඩ කරන්නේ කොහොමද  කියල අවබෝධයක් ලබා ගන්න පුළුවන් එතකොට.(මේක අපි කරන වැඩේට අදාළ නෑ. නමුත් සමහරුන්ට පෙන් ටූල් එකට හුරු වෙන්න ටිකක් වෙලා යනවා එක නිසා එහෙම පුරුදු වෙන එක ගොඩක් හොඳයි හරිය !!)


ඒ වුනාට මම කියල දෙන්නම් ඒ පෙන් ටූල් ඒක වැඩ කරන විදිහත්.


පාත රූපේ තියෙන්නේ ඒ විදිහට ක්ලික් කරාම ඇඳෙන කර්ව් එකක්.

.(6) පෙන් ටූල් ඒක වැඩ කරන විදිහ


දැන් අපි අර ඕපන් කරගත්ත පින්තුරේ තියන සෑම රේඛාවක්ම අරවිදිහට ඇඳගන්න ඕනේ.
අඳිනවා කියන්නේ මෙහෙමයි, සෑම වෙලාවකදීම පෙන් ටූල් එකෙන් අඳින සිලෙක්ෂන්
එකේ අග මුල (සංවෘර්ත) සම්බන්ධ වෙන්න ඕනේ. හරියට නිකන් අර ඉස්සර "MS PAINT" වලින් ඇඳීම වගේ වුනත් මේකේ එහෙම හරියටම ඕනේ නෑ. ඒකෙ පොඩි හිඩැසක් තිබුනොත් පින්තුරේට පාට දානකොට හත්පොලක ගෑවෙනවනේ. නමුත් නිර්මාණයේ සාර්ථකත්වයට සංවෘර්ත
වීම බලපාන හින්ද තමයි සංවෘර්ත කරන්න කියල කිවේ.


ඔන්න දැන් එහෙනම් අපි පින්තුරේ අඳින්නයි යන්නේ. කෝ දැන් ඔක්කොමල මවුස් එකට එක පාරක් වඳින්න මේ කරන වැඩේ සර්වප්‍රකාරයෙන් හරි යන්න කියල.  මොකද මවුස් එක  හසුරුවන එකෙන් තමයි වැඩේ වෙන්නේ. කෝ කෝ කෝ වඳින්න. ම්ම්.... හරි.... හරි.



මුලින්ම පින්තුරේ වටේ රේඛා ටික සම්පුර්ණ කරගත්තොත් වැඩේ ලේසියි, ඒ කියන්නේ අඳින්නේ මනුස්සයෙක්ගේ රුපයක්නම් ඒ රූපේ (මුණ) වටේ පෙන් ටූල් එකෙන් ඇඳගෙන මුනටම පොදු පාටක් දාගන්න එක ගොඩක් ලේසියි. පාට දාන විදිහ මම කියන්නම්

මම පින්තුර දාන එක ගොඩක් අඩුකරන්නේ මගේ කනෙක්ෂන් එක ස්ලෝව් හින්ද පබ්ලිෂ් කලාම මුළු පොස්ට් එකම මඤ්ඤං වෙන හින්ද හොඳේ.


රුපයේ තියන සෑම සියුම් අංගයක්ම ඇඳ ගත්තොත් තමයි නිර්මාණයේ ප්‍රතිපලය ලස්සන වෙන්නේ.
පහල තියෙන්නේ ඒ විදිහට ඇඳගත්ත  රූපේ.





(7) ඒ විදිහට ඇඳගත්ත  රූ.


ඇඳ ඇඳ පාට දාන්න ඕනේ. මෙන්න අඳින විදිහ. පාට යොදන විදිහ මම ඊළඟට කියන්නම්.  


දැන් ඔහොම ඇඳගත්ත සිලෙක්ෂන් එකට පාට දාන්න කී බෝඩ් ඒකෙ (I) අකුර ඔබන්න, නැත්තම් මම කලින් කීව eyedropper ටූල් එක සිලෙක්ට් කරන්න. මීලඟට අපි අන්දපු පින්තුරේ මුනට ක්ලික් කරන්න දැන් සැනින් ටූල් බාර් ඒකෙ (අර පෙන් ටූල් එක හෙම තියෙන්නේ) එක බොක්ස් එක අර සිලෙක්ට් කරපු පාට වැටෙයි. දැන් අපි ඒ පාට හරියට වැටිලා තියද කියල බලා ගන්න මෙන්න මේ පහත පින්තුරේ තියන ලකුණට ක්ලික් කරන්න, එවිටම ඔරිජිනල් පින්තුරේ හැංගිලා ඔයා
ඇඳපු සිලෙක්ෂන් එක පාට වැටිලා තියනවා පෙනේවි. 



(8) මේ  පින්තුරේ තියන ලකුණට ක්ලික් කරන්න




(9) ඉහත පින්තුරේ තියෙන්නේ මම ඇඳපු පින්තුරේ "ඇහැ" ඇඳලා පාට කරපු විදිහ  



ඔය විදිහට සම්පුර්ණ පින්තුරේ තියන සෑම සියුම් රේඛාවක්ම පෙන් ටූල් එකෙන් ඇඳලා අර විදිහට පාට දාපුහාම ලස්සන නිර්මානයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්.


සමහර විට තේරුම් ගන්න ඇති. සමහර විට නොතේරෙන්නත් ඇති. තේරුන් නැති කෙනෙක් ඉන්නවනම් මාව ෆේස්බුක් එකෙන් හරි ඊ මේල් එකෙන් හරි සම්බන්ධ කරගත්තොත් උදව් කරන්නම්. 

පහත තියෙන්නේ ඒ විදිහට ඇඳපු නිර්මාණයේ සැලැස්මයි පාට දාල ඉවර කරපු නිර්මාණයයි.


(10) අර විදිහට ඇඳ ගත්තු රේඛා සියල්ලම



ඔරිජිනල් පින්තුරේ මුල් අයිතිය හා සම්පුර්ණ ගෞරවය එහි මුල් අයිතිකරු සතුය  

Thursday, July 5, 2012

පෙමට බඳින කවි




මේ සිහින සාගරේ
මායා දසුන් අතරේ
නිරතුරු රුවක් ඇඳුනේ
ඒ නුඹේ රුව ළඳුනේ

සිහින් ස්වරයෙන් සුසුමේ
නින්ද මගේ දුර ඇදුනේ
තුරුල් වී උර සයනේ
සිපගන්න කම්මුල් රහසේ

විඳගන්න ඔය සුවඳ රිසිසේ
තරු එක්ක මං එන්නම් සුළගේ
සඳ එක්ක නොගිහින් අහසේ
නවතින්න මං ලඟම මැණිකේ

 අද තරුවක් පායනවලු
හඳට වඩා එලිය තියන
වෙන සඳ තරු මොකටද මට
මගේ සුදු සඳ පායනකොට

සඳ පිනි කැට දියේ හොවා
ඒ සිසිලෙන් දෑත දොවා
නිම්හිම් නැති ලොවක් සොයා
ඇවිද යමුද හෙටක් පතා

නුඹ සිහිනෙන් දැකපු හීන
හෙට වෙනවා සැබෑ ඔන්න
සතුටු කඳුළු පිටකරන්න
ඇති වෙනකම් දැන් අඬන්න





ඉස්සර ලිව්ව කවි දෙකක් එකට යන හින්ද එකටම ලියල දැම්ම.
චිත්‍රෙත් ඉතින් අර මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇන්ද එකක්.
ඔරිජිනල් පින්තුරේ නම් ගුගල් ලොක්කගෙන්.



[මේ විදිහට චිත්‍ර අඳින්න ආස අය ඉන්නවනම් කියන්නෝ..ඊළඟ පොස්ට් එකකින් කියල දෙන්නම්කො අඳින විදිහ, හරිය !!! ]

Tuesday, June 26, 2012

මාරාවේශය

අතු පතර විහිදී ගිය රූස්ස ගස් කොලන් වලින් හෙබි නුපුරුදු අඳුරු වීදිය මතින් ඔහු ඉක්මනින් පය තැබුවේ මලානික අඳුරත්, හරි හැටි නමක් නොදන්නා කුරුල්ලන්ගේ  කන්දොස්කිරියාවත් ඔහුගේ මනසට තවත් විඩාව පමණක්ම එක්කල නිසාවෙනි. කපුටු, වවුල් වසුරු ගඳ මෙන්ම තැන්  තැන්  වලින් වහනය වූ දැඩි මුත්‍රා ගඳ ඔහුට ඔක්කාරය ගෙන දෙන්නට වූ අතර හුරුපුරුදු වද වේදනාවලින් මතකය නැවත අවුළුවන්නටද ඒ පරිසරයට හැකි විය.  ගත පෙලනු ලැබූ විඩාවත් පියවෙන්නට වෙර දරන රත් පැහැ දෙනෙත් යුග්මයත් ඔහු කෙරෙහි පැවති විඩාබර ස්වරුපය තවත් වැඩි කරන්නට සමත් විය. පපුව තුලින් නැගෙන උණුසුම් වායු දහරා සුසුම් සමග මිශ්‍ර වී දෙතොල් පට අග දිලිසෙන දහදිය බින්දු තව තවත් උණුසුම් කළේය. සිරුරට ඇලී ගිය කමිසය නිසා මුළු ගතම උණුසුම් වී තිබුණි. ඊට අමතරව ආත්මය පුරා අනසක පතුරවා සිටි තනිකමින් හා පාලුවෙන් මෙන්ම පසුතැවීමකින් ඔහු හෙම්බත් වී සිටියේය. ඉවසාගත නොහැකි බඩගින්න ඔහුට ඔහු කෙරෙහිම මතත් ආත්මානුකම්පාවක් ඇති කළේය. තවත් මොහොතක් හෝ හදවත තුල රැඳුනි නම් හදවත පවා දවා හලුවන තරමේ උෂ්ණ වූ සුසුමක් වාතලයට මුදා හැර ලය සැහැල්ලු කර ගත් ඔහු මොහොතකින් අඳුරු වීදිය පසු කොට කුඩා තේ කඩයකට ගොඩ වැදුණි.


කුසතුලින් බුර බුරා නැගෙන බඩගින්න නම් වූ ගිනිදැල් අඩපන කිරීමට ඔහු පාන් රාත්තල් තුන්කාලක් එක හුස්මට හොදි සමග ගිල දමා අත සෝදා බිල නොගෙවා හැකි වේගයෙන් දිවගියේ කඩේ දෙසින් ඇසුන අමු තිත්ත කුණුහරුප කනකටවත් නොගෙන ආපසුවත් නොබලාමය. ටික දුරක් පස්සෙන් පන්නගෙන ආ වේටර්ද උත්සාහය අතහරිනු දුටු හෙයින් පාර පැන අතුරු පාරකට හැරී වේගය අඩුකර මාවත අයිනේ තිබුණු සිමෙන්ති බංකුවක් මත හිඳ ගත් ඔහුගේ මුහුණේ තිබුනේ ජයග්‍රාහී හැඟීමකට වඩා කළකිරීමක එමෙන්ම පසුතැවීමක හැඟීමක්ය. කඩකාරයාගේ අතට හසුවිණි නම් ගුටිකන්නට හෝ පොලිස් කුඩුවේ ලගින්නට සිදුවන බව ඔහු දන්නා නමුදු ඉකුත් සිව් වසර තුල බන්ධනාගාරයේ විඳි අත්දැකීමෙන් ලැබූ පරිචය නිසාවෙන් එවැනි වරදක් කර හසු වුනොත් නැවත මුහුණ දෙන්නට ලැබෙන ප්‍රතිපලය පිළිඹද ඔහු දෙවරක් සිතුවේ නැත.


ඉවසාගත නොහැකි ලෙස රිදුම් දෙන දෙපා කකියන නිසාම බොහෝ වෙලාවක් බංකුවේ හාන්සි වී සිටියේය. තරමක් නිහඬතාවයෙන් යුතුවූ වීදියේ ඉඳහිට ගමන් ගන්නා පුද්ගලයින් කීපදෙනෙකුගේ කතා බහක් හැරුණුවිට එය මුළුමනින්ම නිස්කලංක විය.  ඊට අමතරව ඈතින් ඇසෙන වාහන වල නලා හඬත් වෙලාවක් අවේලාවක් නොමැතිව එලියට බට මදුරුවන්ගේ "කී.....න්"  හඬත් පමණක් නිහඬතාවයට තරඟකාරීත්වයක් එක්කරන්නට සමත් විය. ගණ හිරු රැස් ඇහිරු තුරු වියන හිසට සෙවනක් විය. මදි නොකියන්නට හමා ආ මුහුදු සුළන් රැල්ලත් ගතේ විඩාව නිවාදැමීමට නිහඬවම ඔහුට උපකාරී විය. හිස් බැල්මකින් ඈත නලියන මිරිඟුව දෙස බලමින් කුමක් කෙලෙස කොතන කාට වැරදුනාදැයි නිශ්චිතවම සොයා ගැන්මට නොහැකිව ලත වුයේය.   එම වේදනාව පපුවට කොතරම් බරක්වුවා දැයි  කියතොත් ඔහු එවලේ තම පපුව අතකින් අල්ලා ගත්තේය. අයාලේ පාවෙන හිත තෙරක් නැති මතකයන් අතර සැරිසරමින් අතීතයට යන්නට වෙර දැරුවේය. අතීතය සමග ගනුදෙනුව ආත්මයට තවත් දුකක් මිසක සතුටක් එක්නොකරනු බව ඔහු දනී. එහෙයින් අතීතය වලදමා වර්තමානය තුල නැගී සිටින්නට ඔහු පිඹුරුපත් සැකසීය. ඒ සඳහා "සමදරා" සොයා යායුතුද නැතිනම් ඇයට ඇගේ ලෝකයතුල ජීවත් වෙන්නට ඉඩ දී තමුන් තමාගේ ලෝකය තුල ජීවත් විය යුතුද යන්න දැඩිව තීරණයක් ගත යුතුව ඇත. කිසිදා නොවෙනස් වේ යයි පැවසු සමදරාගේ ආලය තවමත් එලෙසම තමන් වෙනුවෙන් ඇත්ද.  ඇගේ සිතෙහි සෑම බිම් අඟලකම තමන්ගේ මතකයන් තවමත් නොනැසී සැරිසරනු ඇත්ද. නැතිනම් තමන් ඇගේ ජීවිතයට තුන්වැන්නෙක් පමණක් වේද, යන සිතුවිලි ඔහුගේ මග ඇහිරීය. 


සිරගත වූ  සිව් වසරක් තුල ගෙවී ගිය දින අතර ඔහු ඇය දුටුවේ දෙවතාවකි. ඒ හමුවූ දෙවතාවේම ඇය ඔහුට තවමත් ආදරය කරන බව පැවසුවාය. නමුදු  පසුගිය දෙවසර තුල හිටි හැටියේ නොපැමිණි ඇය මේ වන විට  කිනම් ලෙසක කෙලෙස ජීවත් වෙනවාද යන්න ඔහුට දැඩි ප්‍රශ්නාර්ථයක් විය. අගේ සිතතුළ තවමත් ආදරයක් ඇති සම්බාවිතාවට වඩා නොමැති සම්බාවිතාව වැඩි නිසා ඔහුගේ සිත තව තවත් දුර්වල කළේය. එහෙත් සියල්ල පරයා නැගෙන අධ්‍යාත්මික සන්තානගත සිතුවිලි ඔහුගේ දුර්වල සිත ප්‍රාණවත් කළේය. නව බලාපොරොත්තු ජීවිතයට ආලෝකයක් වන්නා සේම, තමන්ගේ නව බලාපොරොත්තු නිසා ඔහුගේ ජීවිතය ආලෝකමත් වනු ඇති සිතු ඔහුගේ මුවේ කොනක ජයග්‍රාහි සිනාවක් රැඳුනි. 


මසක් ඇතුලත විටක ගැටකපන්නෙක් ලෙසද, නාට්ටමියෙක් ලෙසද, මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් ලෙසද චරිත රඟපෑ ඔහු ගමට යාමට ප්‍රමනාවත් මුදල් සොයා ගැනීමට හැකි විය. කටෝර කර්කෂක අනුකම්පා විරහිත සමාජයෙන් පිටමන් වී අතීතය තුල පෙරදා විඳි සුන්දරත්වය නැවත විඳීමට ගමට යාමට ඔහුගේ බලාපොරොත්තු ඔහුට පෙරම සුදානම් විය. හිමිදිරි පාන්දරක අගනුවරින් ගම රට බලා යන බස් රථයක නැගී හෙතම කාගේත් නිහඬ අවධානයට යොමුවිය. දිගට වැවුණු තඹල පැහැති කෙස් වැටියත් මුහුණ පුරා වැවුණු රැවුලත් ඒවාට හේතු සාධක සැපයිය. සිතුවිලි සමග ඔට්ටු වී දීර්ඝ ගමනකට පසු බසයෙන් බැස ඔහු පයින්ම ගම ඇතුලට ගියේය. තමන් ගමේ නැතිව සිව්වසරක් වැනි සුළු කාලයක් ගත වුවද ගමට සැලකිය යුතු වෙනසක් සිදුව තිබිණි. තැන තැන දිගටම කුකුල් ෆාම්ද, උස් ගොඩනැගිලිද, ගොඩ ඉඩම් වී ඇති මඩ ඉඩම්ද, අඩක් දුරට කොන්ක්‍රීට් වී ඇති ගුරුපාරද ගම එහෙම පිටින්ම කන පිට ගැසී ඇති බවක  සලකුණු දැක ගන්නට ලැබුණි. තවමත් කොන්ක්‍රීට් නොකළ  ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගොස්  නිවසක කඩුල්ලක් ළඟ නතර වී ඔහු මොහොතක් කල්පනා කළේය. වෙනදාට වඩා සිව්ගුනයකින් හදවත ගැහෙන්නාක් මෙන් ඔහුට දැනුනි. නොයිවසුම් සිතුවිලි විසින් මෙහෙය වූ ඔහු උණ බට කඩුල්ල පන්නා දමා නිවස දෙසට සෙමින් පියවර තැබීය. නිවස දෙසින් සමදරාගේ කට හඬ ඇසී මොහොතකින් ඇගේ රුපය ඔහු ඉදිරියේ මැවුනි.


"ස...මදරා.."


බිරාන්ත වූ ඇය වෙව්ලන කටහඬින් යුතුව


"ධ....ධ...ම්මික...." යයි කිවේ එක අතකින් මුව වසාගෙනය.  


එත් සමගම නිවස දෙසින් 


"සමදරා" යි පිරිමි කටහඬකින් ඇය අමතනු ඔහුට ඇසුණි.


කඩා වැටෙන්නට සැරසෙන අඳුරු අහසක මැවෙන අඳුර ඔහුගේ මුහුණ මත මැවෙන්නට විය. සිහින් වූ ඇගේ දෙනෙතත් ඔහුගේ දෙනෙතත් එකම රේඛාවක හමු වූ නිසාවෙන් ඔවුනොවුන් අසරණ වී සිටියහ. ඔහු ඇගේ දෙනෙත් වල පටලැවී තිබුණු පසුතැවිල්ලක අසම්පුර්ණ හැඟීම් ඇහිඳින්නට විය. 


"මං...මං... එන්නම්"


 යයි කීමට අමාරුවෙන් වචන ගලාපා ගත්  ඔහුට  ඇයගේ දෙනෙත් හීසර වලින් මිදෙන්නට අපහසු විය. නමුදු යා යුතුව ඇති බැවින් ආපසු හැරී පියවරක් තැබීය. 


"ධම්මික, උඹ කවද්ද හිරෙන් නිදහස් වෙලා ආවෙ. ආපු ගමන් යන්නේ. කහට උගුරක්වත් බීල පලයන්."


දෙසවන් පලානැගුනු ඒ හඬට පිළිතුරු වශයෙන් "අවැසි වන්නේ කහට නොවේ, දිවි තොර කර ගැන්මට වසක් විසක්" බව පැවසිය යුතු වුනත්  ඔහු ආයාසයෙන් එම වචන මැඩ ගත්තේය.


"මේ ලඟදි බන්දු ආවේ, මං ගිහින් එන්නම්"


නමුත් තවත් වරක් හැරී සමදරා දෙස බලා කිසිත් නොකියාම ආපසු යන්නට විය. නිවස දෙසින් ඇසුණු කසු කුසුව ඈතට යද්දීම නොඇසී ගියේය. ගිනිගෙන දැවෙන යකඩයකින් පහර දෙන්නාක් මෙන්  හදවත වේදනා දෙන්නට විය. එමින් අතර මගදී ඔහු කල්පනා කලේ, මීට සිව් වසරකට පෙර තමා නොකළ සොරකමකට සිරබත් කෑවේ,  සමදරා තමන්ගෙන් උදුරා ගැනීමට සිදුකල කුමන්ත්‍රණයක මුල් පියවර වශෙයන් බන්දු විසින් අටවන ලද උගුලක ප්‍රතිපලයක් නිසා නේදෝයි සිතමිනි.


කඩාවැටුණු ජීවිතයේ නටඹුන් නැවත එකලස් කර පලක් නැති බව ඔහු කල්පනා කළේය. සමදරා නොවෙනස්ව හිටියානම් බන්දුට දිනුම හිමි වෙන්නේ නැත. මොනදේ අහිමි වුනත් ඇයගේ ආදරය ශක්තිමත්ව ඔහු සතුවේ තිබුණි නම් ජයග්‍රාහකයා තමන්ය. නමුත් සියල්ල නොසිතුව ලෙසක නැවත විසඳාගත නොහැකි ලෙස වෙනස් වී තිබුණි. එම නොවෙනස් කල හැකි අතීතයට ඔහු  වෛර කරන්නට පටන්ගත්තේය. ඔහුගේ වෛරය නතර වුයේ සමදරා පිළිබද පෙර පැවති ආදරයද වෛරයේ ගිනි දළුවලින් වෙලාගත් පසුවය.  දුහුවිලි අවුස්සවමින් ඉදිරියට පය තැබූ ඔහු ආපසු  තැබුවේ ඉනේ සඟවා සිටි කිනිස්ස මාරාවේශයෙන් අමෝරා ගෙනය.

Friday, June 8, 2012

අඳුනනවද බලන්න



සීතල මීදුම අතරින්
අත් පටලා ඇවිද යන්න
ඔබ එනවද මටත් කලින්
පමා නොවී දැන් කියන්න

ඇස් අහකට නොගෙන ඉන්න
මගේ තනියට ළඟම ඉන්න
 නුඹ වෙනුවෙන් පෙරුම් පුරපු
මේ ඇස් අඳුනනවද බලන්න

හෙමින් සැරේ උර මත හිස තියා ගන්න
සුළන් සරේ නුඹ රහසෙන් එපා එන්න
සිතුම් වැලේ පැටලීගෙන බලා ඉන්න
 සුසුම් සැලේ නුඹේ නාමෙන් අහන් ඉන්න.




ග්‍රැෆික් චිත්‍රෙ කාලෙකට උඩදී මම ඇඳපු එකක්.  කවියත් එහෙමයි.
ඔරිජිනල් ෆොටෝ එක ගුගල් එකෙන් හොයාගත්තේ.


Wednesday, June 6, 2012

නොදනිමි එය කුමක් කියා







අතීතය වර්තමානය තුල හොල්මන් කරන්නට පටන් ගත්තෙන් ලිපිය මකා දමන්නට සිදුවිය

Friday, June 1, 2012

පලයන් අහකට





එක පාරක් කීවම අහපන්
එපා ඔහොම බලන්න
මං දිහා
මට දුක හිතෙනවා මං ගැනම
උඹේ ඔය එලිය දකිනකොට

ඉර බැහැල ගියාම
උඹ එනවා
මහ ලොකුවට
ලොකුකම පෙන්නන්න
දන්නේ නැද්ද
මං දැන් තනියම කියල


කවි ලියන්න
ඔය එලිය 
ඕනේ කරපු කාලයක් තිබුන
එත් දැන් එපා
කිව්වම අහල 
දෑහැටම නොපෙනී
පලයන් අහකට
.......



ග්‍රැෆික් චිත්‍ර අඳින්න මේනියාව ඔලුවට ගහල තිබ්බ කාලේ ඇඳපු එකක්. තවමත් මේනියාව තියනවා. පොඩ්ඩක් යටපත් වෙලා තිබුනට.  

Wednesday, May 23, 2012

නිරුවතින් අතුගෑම

බේරේ වැව ඉස්මත්තෙන් කොහොදෝ ඉඳන් හමාගෙන ආ සුලන් රැල්ලක් වෝක්ෂෝල් වීදියේ  පිහිටි බෝගසේ පත් නටවමින් අලුත් බෝඩිමේ ජනේලය තුලින් ඇතුළු වුයේ බෝ ගස අසල දල්වන ලද හඳුන්කුරු වල සුවඳත් මුඩුක්කු නිවාස පිහිටි දෙසින් රැගෙන ආ අපුල් දුර්ගන්දයත් සමගය. අපි පිළිකුලෙන් නහය හකුලාගත්තේ අනාගතයේ විඳිය යුතු දුකක මුල් පරිච්චේදය පිළිබද හෝඩුවාවක් ලැබුණු නිසාවෙනි. මමත් ලහිරුවත්, ලක්ෂ්මන් අයියාත්, බණ්ඩාර අයියාත්,  අරුනුත්, ගිහානුත්  ඇතුළු අපි සය දෙනාට කලින් සිටි බෝඩිමෙන් ද්වේශ සහගත ලෙස එලියට බැසීමට සිදුවූ නිසාවෙනි අලුත් බෝඩිමක් සොයාගන්නට වුයේ. පුරුවේ කල කරුමයක් ගෙවීමට සිදුවුවා සේ අපිරිසිදු වීදියක තැනු ගොඩනැගිල්ලක තෙවන මහලේ කුඩා කාමරයක් අපි අපේ බෝඩින් නිවාසය ලෙස තෝරා ගතිමු.

 පසුගිය සඳුදා දින මමත් ලක්ෂ්මන් අයියා මෙන්ම බණ්ඩාර අයියාද  නිවාඩුවක් දමා පරණ බෝඩිමේ සියලුම අඩුම කුඩුම අලුත් බෝඩිමට ගෙනෙන්ට වුයේ පරණ බෝඩිමෙන් ඉක්මනටම යායුතු බව බෝඩිම අයිතිකාර මනුස්සයා වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද ඔප්පු කල නිසාවෙනි. හම්පඩ වූ කොට කලිසමකුත් ලක්ෂ්මන් අයියගෙන් ඉල්ලාගත් ටීෂර්ට් කඩමාල්ලකුත් ඇඳගත් මම පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙත අඩුම කුඩුම ප්‍රවාහනය කලේ ලක්ෂ්මන් අයියාත් සමග බණ්ඩාර අයියගේ තුන්සක රියේ පිහිටෙනි. කාර්ය බහුල කොළඹ වීදි අතරෙන් අතින් කටින් බෑග් මලු එල්ලගෙන වරින් වර පරණ බෝඩිමේ සිට අලුත් බෝඩිම වෙතත් යන අප ගැන බොහෝ දෙනෙක්ට වගක් නැති වුනත් අපි දෙස ඕනෙකමින් බැලු කීපදෙනෙක් හෝ සිටියානම් ඔවුන් අපි දවසේ පඩියට එදා වේල හම්බකරන් කන කුලීකාරයින් සේ සිතන්නට ඇත. වරදක් නැත.  අපි සියලු දෙනාගේ බාහිර ස්වරුපය එපරිද්දෙන් පෙනෙන නිසා ඔවුන්ගේ සිතුවිල්ල සර්ව සාධාරණය.


එදා ඉරිදා දිනයකි. එනම් ඉහත කී සඳුදාට පෙර දිනයයි. දහවල් කාර්යාලයේ වැඩ කරන විට ආ ඇමතුමෙන් කියවුනේ බෝඩිමේ අඩක් කඩා බිඳ දමා ඇති බවකි. ඇමතුම ලබා දුන් බණ්ඩාර අයියගේ මැදිහත් වීම නොවන්නට ඔවුන් විසින් බෝඩිම බිමට සමතලා කර දමා තවත් බොහෝ දේ සිදුවන්නට ඉඩ තිබිණි. ඒවා සිත ගැනීමටවත් අපහසු කාරණා විය හැක.  රාත්‍රී දහයට වැඩමුරය අවසන්වී බෝඩිම වෙත පියමැන්නේ විඩාවෙන් මඩිනු ලැබූ මගේ ගතේ වෙහෙස නිවා ගැනීමට හොඳ නින්දක් දමා පාන්දර අවදිවීමේ බලාපොරොත්තුව ඇතුවය. නමුත් බෝඩිම වෙත කිට්ටු වෙන විට ආ පිලිස්සු පරණ ගඩොල් වල සුවඳත් දුවිලි වල සුවඳත් මගේ සුපුරුදු ගමන් වේගය මදකට බාල කළේය.  කඩා හෙලනු ලැබූ බිත්තියක කොටසකුත් පහල කාමරයේ තිබුණු ඇඳන් දෙක වෙනුවට හිස් බිම් කඩ පමණකුත් ඉතිරි වී ඇති බව නෙත ගැටුණු මගේ ගතම හිරිවැටී ගියේය.  පපුව තුල යමක් හිරවෙන්නක් මෙන් හා දෙතොල් පට වෙව්ලන සෙයක් මට දැනුනි. හනිකට ලී තරප්පු පෙළ නැග ඉහල කාමරයට සේන්දු වුයේ එහි අපේ කවුරුන් හෝ සිටිනවාදැයි දැන ගැනීම පිණිසත් සිදුව ඇති නස්පැත්තිය සැක හැර දැන ගැනීමත් සඳහාය. නෙත් අදහාගත නොහැකිව දසත බලද්දී මගෙත් අරුන්ගේත් බණ්ඩාර අයියගෙත් වචන ගොළු විය. පෙර දින නිදා ගත් යකඩ ඇඳ වෙනුවට සී සීකඩ කරන ලද ඉහල කාමරයේ මෙට්ට කීපයත් කාඩ්බෝඩ් කැබලිත් ඇඳුම් සපත්තු, පොත්පත් ඇතුළු මා සන්තක සියල්ලත් මගේ සගයන් සතු සියල්ලත් කාමරයේ තැන තැන විසිරී තිබෙනු දැක ගන්නට ලැබුණි. කේන්තිය පාලනය කල ගත නොහැකිව මගේ මුවින් තරහව පිට දමන්නට විය. ඒත් සමගම අරුනුත් බණ්ඩාර අයියාත් මට හූමිටි තියන්නට පටන් ගත්හ.


බෝඩිම විකුණන කතාවක් මීට පෙර දැනගන්නට ලැබුනත් එය මේ තරම් කල් ඇතුව සිදු වෙතයි අපි කිසිවිටකවත් නොසිතුවෙමු. එසේ නොසිතන්නට බෝඩිම අයිතිකරුගේ වචනය මෙන්ම කුහක චේතනාව හේතු වන්නට ඇත, මන්ද ගතවන අවසාන තප්පරය වෙන තුරුත් මුදල් ලබාගැනීමේ පටු අරමුණ පමණක් පෙරදැරිකොටගෙන බෝඩිම විකුණා මුදල් අතට ගන්නා තුරු ඔහුගේ කටින් වචනයක් ලබා ගැනීමට අපි අපොහොසත් වුනෙමු. විකුණා දින කීපයකට පසු අපි දිනපතා රාත්‍රියේ කොළඹ අඳුරු වීදි අතරේ මෙන්ම අලෝකමත්වූ සුවිසල් මන්දිර අතරින්ද නවාතැනක් සොයාගැනීම සඳහා වෙහෙසුනෙමු. අවසානයේ වොක්ෂෝල් වීදියේ අවන්හලක ඉහල මාලය බදු දීමට ඇති බව දැනගන්නට ලැබිණි. තරමක් හොඳ මට්ටමක පැවති  කාමරය තත්වයකට ගැනීමට අපිට දවසක්ම ගත විය.  පෙලට තැබූ මෙට්ට රහිත ඩබල් ඇඳන් යුගලයත් සිංගල් ඇඳන් යුගලයත් අපි සය දෙනාගේ නින්ද සඳහා පිළියෙළ විනි. මතු පිටට කාඩ්බෝඩ් අතුරා ඊට උඩින් ඇඳ රෙදි එලා සුවපහසු යහනාවක් තනා ගත්තේ ඇඩ්වාන්ස් මුදලත් ගෙවා ඇති නිසා වෙන කල හැක්කක් නොමැති කම නිසාවෙනි. 


රාත්‍රියේ ඇඳට වැටුන අපි බොහෝ දේ කතා කළෙමු. නමුත් අපේ හිත් වල විශේෂයෙන් සඳහන් කල යුතු විශාල දුකක් නම් ගෑවිලාවත් තුබුණේ නැති බව නම් සහතිකය. මක් නිසාදයත් කොතරම් කටුක බවින් යුක්ත වුනත් එවන් අඩුලුහුඬුකම් වලින් යුතුව ගෙවන ජීවිතයේ යම්කිසි රසයක් අපි විඳින නිසාවෙනි. විශාල පියන් පත් යුග්මයකින් තැනුණු ඉහල මාලයේ කවුළුවට බර වූ මමත් ලහිරුවත් ලක්ෂ්මන් අයියත් නැගිට ඇඳේ සිටම කාර්යබහුල වොක්ෂෝල් විදිය දෙස නෙත් යොමා බැලුවෙමු.  විවිධාකාරි මිනිසුන්ගෙන් පිරි වොක්ෂෝල් වීදිය කුඩු කාරයින්ගෙන්, මංකොල්ලකාරයින්ගෙන්  අඩුවක් නැති බව දැකගන්නට මෙන්ම දැනගන්නට ලැබුණි. සමහර විට ඔවුන් එසේ නොවුනත්  ඔවුන්ගේ බාහිර ස්වරුපය අපිට එසේ සිතීමට කරුණු කාරණා සැපයිය. පදික වේදිකාවේ සිට රාත්‍රී අහාර ගෙන එහිම නිදාගන්නා පිරිසක්ද, මුල්ලකට වී දුම් උරණ පිරිසක්ද හැරුණු කොට නිරුවතින් සිට මුඩුක්කු නිවාසයේ පොදු වැසිකිලිය හා ජලකරාමය අසල අතුගාමින් සිටින මැදිවියේ දෙදෙනෙකුත් දැකගන්නට ලැබුණි. ඔවුන් සිටියේ ඔවුන්ගේ රාජකාරියේ විය යුතුය. නමුත් ඔවුන් දෙනෙනා සිටියේ අමු නිර්වස්ත්‍රයෙන් බව විදුලි පහන් වල ආලෝකයෙන් අපට පැහැදිලිව දැකගත හැකි විය. ඇඳුමක් ඇඳ ගැනීමට ඔව්නට අවශ්‍ය නැත්තේ මන්දැයි මා නොදනිමි. නමුත් බෝඩිමේ අපිට එය එක්තරා අකාරයකට බොහෝ වෙලාවක් බඩ අල්ලාගෙන සිනාසීමට තරම් කාරණයක් විය. ඒ ඔවුන් අතු ගානවා වෙනුවට පොඩි එවුන් සේ සෙල්ලම් කරන සෙයක්ද දැකගන්නට ලැබුණි. එකෙක් අනිකාගේ ඇඟේ හැප්පි අනිකාව පෙරලන්න උත්සාහ කරන හැටි අපේ සිනහව තවත් වැඩි කළේය.  තරමක් ඉහල කාමරයේ සිටින අපට ඔවුන් පෙනෙන බව ඔවුන් නොසිතන්නට ඇති. එසේ පෙනෙනවා යයි සිතුනත් ඔවුන්ට එය වගක් නොවන්නට ඇති. නැතහොත් තව හේතු කාරනා තිබිය හැක. අපි ඒවා නොදනිමු.


සිනහව මැඩලාගෙන  කාමරයේ විදුලිපහන නිවා දමා අපි නිදන්නට වීමු. පහල හෝටලයෙන් ඇසෙන කොත්තු දමන සද්දෙත් තුන්කාන්දෙන් දමන දාඩියත් නුහුරු නුපුරුදු ගතියත් රාත්‍රියේ බොහෝ වෙලාවත් අපිව අවදි කරවා තබන්නට සමත් විය.


අවසානයට පෙර ලියමි.

ඉහත සඳහන් කතාව ලියන ලද්දේ මා විසින් නොබෝ දිනකට ඉහත ලබාගත් සත්‍ය අත්දැකීම් කීපයක් පදනම් කොටගෙනය. නමුත් එය ලියන ලද්දේ  කියවන ඔබ සැමගෙන් මා හට අනුකම්පාව ලබාගැනීමටවත් එවන් මුඩුක්කු ජීවිත ගත කරන්නවුන්ට ගැරහීමටවත් නොවන බව බුද්ධිමත් ඔබ සැම වටහා ගනු ඇති විශ්වාස කරමි.


අතරින් පතර මගහැරුණු රසකතා කීපයක් නොලියා ඉතුරු කර ගත්තේ තව පොස්ට් කීපයක් සඳහා වවාගෙන කෑමට බවත් ඔබ දැනගත යුතුය.  


එක දිගට කෙටි කතා ලියමින් බ්ලොග් එක ඒකාකාරී කර නොගන්නා ලෙස බොහෝ දෙනෙක්ගෙන් ලැබුණු උපදෙස් හේතුවෙන් අත්දැකීමක් මෙසේ යුනිකෝඩ් කලේ සුපුරුදු භාෂා රටාවෙනි. නිදහස් ආරෙන් ලියන විට  මට කිසි දෙයක් ගැලප ගනු නොහැකිය. එසේ නිදහස් ආරකින් ලියා පල කරන ලද "මට ගලපා ගන්න බැරි ගැලපීම" නම් පොස්ටුව ඩිලීට් කලෙත් එය මෙලෝ රහක් නැති බව වැටහුණු නිසාවෙනි.


අලුත් නවාතැනේ අලුත් අලුත් සිද්දි සමග අද ඉඳන් ලියවෙන "බෝඩිම" නම් ලේබලය ඇතුලත් කතා අතර පළමු කතාව මෙසේ පබ්ලිෂ් වුන වගයි. 

"නිරුවතින් අතුගෑම" ලෙස පොස්ට් එකට නම යොදා එතරම් කික් එකක් ඇති දෙයක් අන්තර්ගතය තුල නැති වුනත්, මා එය එසේ කලේ එක්තරා  පරීක්ෂණයක් බවත් සලකනු මැනවි. ඒ පිළිඹදව තොරතුරු යථාකාලයේ දැනගන්නට සලස්වමි.

Thursday, May 3, 2012

මුතු මැණිකා

ඔහු හදිස්සියේ මතක් වුවා වැනි හැඟීමකින් යුතුව පසෙකින් තිබුණු හම් බෑගය තුල සුරක්ෂිතව පොලිතින් මල්ලකින් ආවරණය කරන ලද දශක දෙකකටත් වඩා පැරණි සීවලී දින පොත දිග හැර යමක් සොයන්නට විය. කීප සැරයක් අපරික්ෂාකාරීව එහාටත් මෙහාටත් පිටු පෙරලූ ඔහු නැවතත් සෙමින් මහත් ඕනෑකමකින් බලා යමක් ගෙන දිග හරින්නට විය. ඒ සමගම ඔහුගේ මුවේ නාඹර ගැටයකුගේ දෙතොලකට නැගෙන  සිනහවකට සමාන සිනාවක් සටහන් විය. මොහොතකට පෙර මිනිත්තු කීපයක් වෙහෙසී සොයා ගන්නා ලද එය හතරට පහට නවන ලද හසුනකි. ඔහු එය දිග හැර දෑතින්ම ගෙන මුහුණට ලංකරගෙන සිපගත්තේය. කඩදාසියක් පරණ වූ කල දැනෙන පුස් ගඳත් තීන්තවල සුවඳත් අතරින් ඔහුට ඇයගේ හදවතේ සුවඳ, ආදරයේ සුවඳ දැනෙන්නට ඇතැයි අපි අනුමාන කරමු.  ඇගේ වටකුරු අත්අකුරු වලින් ලියන ලද හසුන නාඹර ඉලන්දාරියෙකුට කුලුඳුලේ ගැටිස්සියකගෙන් ලැබුණු මුල්ම හසුන සේ මෙන්ම එය ජීවිතේ පලවෙනි වතාවට කියවන්නාක් මෙන් ආසාවකින් හැඟීමකින් ඔහු කියවන්නට විය. වරින්වර කට කොනකින් නැගුනු සිනහවත්, විටෙක රැලි වූ නළල් තලයත්, සිහින් වූ දෑසත් ඔහු නිමග්නව සිටි කල්පනාවේ ශාක්ෂි දරන්නට විය.


මිනිත්තු විස්සක් පමණ ගත වන විට ඔහු හසුන දෙතුන් සැරයක් කියවා අවසන්ය. ඔහුගේ මුහුණේ හා ඉරියව්වල පෙර තිබුණු උද්යෝගකාරි ස්වරුපය දැන් පහව ගොස් ඊට හාත්පසින්ම වෙනස්වූ ස්වරුපයක් ආරුඨ වී ඇති සෙයකි. බැසයන හිරුගේ මලානික රශ්මි කදම්භයකින් ඔපවත් වූ ආලෝක ධාරාවකින් ඔහුගේ දෙනෙත් කොන දිදුලමින් තිබුණු කඳුළු කැට එකින් එක දිරාගිය හම් සපත්තුවටත් දෑත මත රැඳී හසුන මතටත් වැටුණි. ආයාසයකින් වැටෙන කඳුළු කැට මැඩ නොගත් නිසා ලැබුණු අවරසරයෙන් තවත් කඳුළු කැට කීපයක් හසුනේ සටහන් වූ ඇගේ වටකුරු අකුරු පෙළක් බොඳ කළේය. සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගැන්මේ වුවමනාවක් ඔහු සතු වුවත් දැල්වෙන අතීතය විසින් හදවත පසාරු කරන වේදනාව ඔහු ඉවසා දරාගෙන සිටියේ අතීතයට කරන්නාවූ සරදමක් ලෙසිනි. තමා සමග වියපත් වූ හදවත, වියපත් නොවූ මෙන්ම කෙදිනකවත් වියපත් නොවන අතීත සේයාවන් වලින් පෝෂිත වී ඇති බැව් ඔහුට ඒත්තු ගියේ මීට බොහෝ කාලයකට පෙරය.  ඒ මෙතරම් කලක් ගත වුවත් මුතු මැණිකා හෙවත් "මුතු" පිලිබඳ දිනෙන් දින මුවහත් වූ වේදනාකාරී මතකය විසින් හදවත අභ්‍යන්තර පටක වරින් වර වේදනාවට පත් කරන්නේ අදක ඊයෙක පටන් පමණක් නොවන බැවිනි.

 
ඔහු අපරිමිත ලබැඳියාවකින් තවත් වරක් සිපගත් හසුන සුරුවමට නමා දිනපොතේ පිටු අතර රැඳවීය.හිඳ උන් බංකුවෙන් මදක් ඉදිරියට වී පිටුපස ඇන්දට සුවපහසු ලෙස ඇලවූ ඔහු තම සිත අතීතය වෙත පාකර හැරියේ සෙමින් ජලාශයක් මත ගමන් කරන්නාවූ පාරුවක් සේය. අතීතය වෙත යාත්‍රා කරන්නාවූ සිත ජීවිතය නමැති ජලාශයේ දෙපස පිපි නෙලුම් මානෙල් මල් සුගන්ධය නම් වූ අතීතය තුලින් විහිදෙන සුවඳ ඔහු මනසින් තරුණයෙක් කළේය. සැන්දෑ අඳුරෙන් කාන්තිමත් වූ උද්‍යානයේ තුරුහිස් වලට ඔහු සිනාසුනි.

මීට බොහෝ කාලයකට පෙර මෙවැනිම සැන්දෑවක මහවැලි ගඟ ඉස්මත්තේ රූස්ස ගසකට හේත්තු වී සිටි ඔහුගේ සිත පිරි තිබුනේ මුතු මැණිකා පිළිබද දහසකුත් බලාපොරොත්තු වලින්ය. ඇය සිනාවෙන විට වලගැසෙන දෙකම්මුලත්, පමණට වඩා සිනාසුන ඇස්වලින් මතුවන කඳුළු කැටත් ඇයගේ දීප්තිමත් නෙතු සඟලත් ඔහුගේ සිතේ සෑම බිම් අඟලක්ම බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටි යුගයක ඔහු පෙම්වතෙකි.

තම ජීවිතය ඇගේ දෑස තුලින් දුටු ඔහු ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ඇය වෙනුවෙන් පොදි බඳින්නට විය. කාලාන්තරයක් පෙරුම් පුරා ඔහුගේ සිතේ රජවූ මුතු මැණිකාට ඔහු ආදරය කලේ සංසාරික බැඳීමකින් බව ඔහුට සිතේ. තම දෑස් හරහා බැඳුනු සීතල දෑතක පහසක් ඔහුව කල්පනා ලෝකයෙන් ඔබ්බට ගෙනාවේය. ඒ මුතු මැණිකාය.


එදා සිතේ උපන් කුතුහලය පිරි සෙනෙහස මෙදිනත් ඔහු කෙරෙන් දිස්වුනත් ඒ  උද්‍යානය හරහා හමා ගිය සිහින් පොදක් බැවින් ඔහුගේ අනුමානික සිතුවිල්ල පිළිබද ඔහු පසුතැවෙන්නට විය.  දසත හමාගිය සිසිල් සුලන් රැල්ලත් ඔහුගේ ගතේ හිරිගඩු නැංවීය. විගසින් බෑගය අතටගත් ඔහු නවාතැන වෙත පියමැන්නේ කෙදිනකවත් සම්පුර්ණ කරගත නොහැකි සිතුවිලි සමුදායක් සමගිනි.

ගිනියම් වූ බොයිලේරුවක් පපුව මධ්‍යයේ සිරවී ඇති සෙයක් ඔහුට දැනිණි. කාර්ය බහුල වීදි අතරින් ඇවිද යද්දී වාහන වල ලාම්පු වල දීප්තිමත් ආලෝකයත් ඝෝෂාකාරී නලා හඬත් ඔහුගේ විඩාව තව තවත් වැඩි කළේය. ඉක්මන් පාගමනනික් පසු සුපුරුදු පරිදි අවන්හලට ගොඩවැදුණු ඔහු බීර බඳුනක් ඇණවුම් කළේය. අඳුරු මුල්ලක හිස්ව තිබු මේසයක් තෝරාගත් ඔහු ඇණවුම් කල බීර බඳුන ලැබෙන තුරු මේසයේ හිස ගසාගත්තේය. පසුබිමින් ඇසෙන සංගීත රාවයත් කවුළුව එපිටින් ඇසෙන ලොතරැයි කුඩුවේ වෙළෙන්දාගේ ගොරහැඩි හඬත් ඔහුගේ මනස තවත් අවුල් කළේය. ව්‍යාකුලත්වය අතරින් මුතු මැණිකාගේ රුව ඔහුගේ මනසේ හොල්මන් කරන්නට විය.
අවන්හල් සේවකයාගේ පැමිණීමෙන් ඔහු හිස එසවීය.


"සර් අද හවස හතරට විතර බාර් එකට ආපු මනුස්සයෙක් මේ ලියමන මහත්තයට දෙන්න කියල ගියා.
මතක ඇතුව දෙන්න කියල කීප සැරයක්ම කියල ගියා.  අපිළිවෙලට හිටපු ඒ මනුස්සය හිටියේ ටිකක් බයෙන් වගේ. මං....මං හිතන්නේ සර් හැමදාම බාර් එකට එනවා කියල හොඳටම දන්නා මනුස්සයෙක් වෙන්න ඕනේ."


"ම් ලියුමක්....? කෝ දෙනවා බලන්ඩ... තමුසෙට හොඳට විශ්වාසද මේක මටම දෙන්ඩයි කිව්වේ කියල. අනික් පාර වෙන මිනිස්සුන්ගේ ලියුම් කඩලා මම වැරදිකාරයෙක් වේවි."

"නෑ.....නෑ.....රත්නසිරි මහත්තයටම දෙන්ඩයි කියල තමයි කිව්වේ. මහත්තයාගේ හැඩ හුරුකමත් හරියටම කිව්වා."


ඔහු අතට ගත් ලියුම කඩා කියවන්ට විය. තවමත් අවහන්හල් සේවකයා ඔහු අසල රැඳී සිටි දුටු ඔහු සේවකයා දෙස යැටසින් බලා ඔහුට එතනින් යන ලෙස හිසෙන් පැවසුවේය.


ආදරණීය රත්නේ,

ඔයා කවදාවත් හිතන්න නැතුව ඇති මගෙන් මේවගේ ලියුමක් ඔයාට හම්බෙවී කියල. එත් මට හිතට එකඟ වෙලා මේ අදහස යටපත් කර ගන්න බෑ.
මම දන්නවා ඔයා තවමත් තනිකඩයෙක් කියල. මම මේ කරන දේ වැරදි කියල මම දන්නවා. එත් එකම එක සැරයක් මට ඔයාව හම්බෙන්න ඕනේ.
පුලුවන්නම් හෙට උදේ නමයට ඔරලෝසු කනුව ළඟට එන්න. ඔයා ඒවි කියල මම හිතනවා.
මීට
මුතු

කියවන ලද කතාවක් නැවත කියවන්නා සේත්, හුරුපුරුදු හැඟුමක් සිතේ දැවටෙන්නා සේත් ඔහුගේ හිතේ අවිනිශ්චිත බලාපොරොත්තුවක් සක්මන් කරන්නට විය. අඩක් අවසන් වූ බීර බඳුන එසේම තිබෙද්දී ඔහු බිල ගෙවා නවාතැන වෙත ගියේ  සිත යට කැකෑරෙමීන් තිබුණු සිතුවිලි සමග බොහෝ වෙලාවක් ඔට්ටු වීමෙනි.  රාත්‍රියේ වරින් වර ඇහැරුණු ඔහුට හරිහැටි නින්ද ගියේ නැත.  ලැබුවේ කඩින් කඩ නින්දකි. පසුදින ගමන සඳහා යාමට ඔහුට ලෑස්ති වීමට වෙනදාට වඩා බොහෝ වෙලාවක් ගතවිය. කමිස කීපයක් වරින් වර හැඳ කණ්ණාඩිය ඉදිරියට ගොස් බැලුවේ එය මුහුණේ පාටට  ගැලපේද නැද්ද යන්නයි. අවසානයේ ලා නිල් පැහැති කමිසයකින් හා කළු පැහැති කලිසමිකින් සැරසුන ඔහු දාඩිය දමතැයි අඩිය තැබුවේ වෙනදාට වඩා සෙමිනි. ඔරලෝසු කනුව අසලට අට හමාර වන විට පැමිණීමට ඔහුට හැකි විය. ඔහු පාර පැන බාබර් සාප්පුව වෙත ගියේ තම අවුල් වූ හිසකෙස් සදා ගැනීමටය. කොණ්ඩය කපනු විනා අන් කිසිම හේතුවකට මීට පෙර මෙහි ගොඩ වැදී නැති බව ඔහුට මතක් විය.  කණ්ණාඩියට සිනාසුන ඔහු  එතනින් පැමිණ ඔරලෝසු කණුවට නුදුරින් පිහිටි දුරකථන කුටියක් අසල පඩියක හිඳ  සිටියේ ලැබුණු පණිවිඩයේ අවිනිශ්චිත බවකුත් ඇති නිසාවෙනි.


ඔහු ඇගේ සිනාසෙන විට වල ගැසෙන කම්මුල් හා ඇයගේ දීප්තිමත් ඇස් මෙන්ම ඇයටම අවේනික ගමන සිතින් මවා ගත්තේය. ඇත්තටම ඒ හිනාව තවත් ඇය සතුව ඇත්ද, එමෙන්ම කතා කරනවිට තාලයට සිහින් වන දෑස ඔහුගේ සිත මහා ලෝබ කමකින් පුරවන්නට විය.  මිනිත්තු පහලවක් පමණ ගත වන විට ඔරලෝසු කනුව අසලට පැමිණි කාන්තාවක් කවුරු හෝ වෙනුවෙන් රැඳී සිටිනු දැකගත හැකි විය. හිත පතුලෙන් හටගත් වේදනාවක් ඔහු සතු පැරණි මතක පාරවන්නට විය. වේගයෙන් ගැහුන හදවත නිසා ගත දහදියෙන් තෙත් විය. හුස්ම ගන්නට අපහසු බවක් හා කෙලින් සිට ගන්නට පවා නොහැකිව ඔහු නැවතත් පඩියට වාරු විය.


මිනිත්තු කීපයකින් තම සිතටම දොස් පවරා සන්සුන් වූ ඔහු නැවතත් තම ආදරණීය පෙම්බරිය වෙත යාමට නැගී සිටියේය. නමුත් කිසියම් වරදකාරී හැඟීමකින් ඔහු පෙලනු ලැබුවේය. ඒ කුමක්දැයි ඔහුට තේරුම්ගන්නට අවැසි නොවුනි.  පසුව  ඔහු පියවර කීපයක් ඉදිරියට තබා ඇවිද ගියේය. ඇය හමුවීමට සිත ගන්නා උත්සාහයට පරයා පෙරකී වරදකාරී හැඟීම ඉස්මතු වෙන්නක් මෙන් ඔහුට දැනුනි.


නැවතත් පියවට කීපයක් ඉදිරියට ගියේය.

නමුත්......


දෙගොඩ තලා ගලා ගිය ගංගාවක් හදිසියේ සිඳුනාක් මෙන් ඔහුගේ සිත තුල හදිසියේ මතුවූ වරදකාරී හැඟීම ප්‍රබලව ඉස්මතුවීම නිසා  නිසා ඔහු ආපසු හැරී කලබලෙන් නවාතැන වෙත පියමනිනු දැකගත හැකිවිය.