Thursday, August 15, 2013

ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ

රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ  නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් නැති එකේ දත කට මැදගෙන බෝලකුඩුවේ එල්ලලා තිබ්බ ඩෙනිම අතට ගත්තා. 

හත් ඉලව්වට පායපු උල්කාපාතේ වගේ කලිසමේ වම් කකුලේ වාටියේ අග රණ කුඹලෙක් ගෙයක් හදලා. අපේ ආච්චි නම් කියන්නේ රණ කුඹල් ගෙවල් කඩපුහාම බඩේ අමාරු හැදෙනවයි කියලා. ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි තුන්කාලයි කියලා මම කෝකටත් රාක්කේ තිබුන අසමෝදගම් බෝතලේ අරගෙන ගුඩු ගුඩු ගාලා උගුරු තුනක් කට පුරෝලා බිව්වා. ඇස් දෙක පියාගෙන"පාණාති පාතා" පදේ මතුරන ගමන්, රණ කුඹල් ගේ අඹරලා සුන්නඃධුලී කරලා දාලා ඩෙනිම දාගත්තා. වැඩි හොඳට රම්බාගේ දිහා ගිහිං කෝපි එකකුත් හදාගෙන බොන්නං කියලා හිතා ගත්තා.

මං රම්බාගේ ගෙවල් වැට මායිමට යනකොට ඉඳි ගහට පයින වයසේ ඉන්න සුකිරි බඩිලි කොලු පැට්ටෙක් යටි ගිරියෙන් කෑ මොර දීගෙන කෙහෙල් ගහකට උඩ දාගෙන තඩි බානවා "ජාතිවාදියා... ජාතිවාදයා.... දේශ මාමකයා..... පරදේශක්කරයා...., ස්වදෙශිකයා..." කියා කියා. කෙහෙල් කඳ පරඞැල් වෙලා,  කීතු කීතු වෙලා පට්ට ගැලවිලා ඉස්ම පෙරනවා.  රම්බාගේ තාත්තා පැත්තක ඉඳන් "කමෝන් පුතා කමෝන්" කියලා පොඩි එකාට අප්පුඩියක් ගහලා චියර් පාරක් දුන්නා" ඒකෙන් තව ටිකක් ෆෝම් උණ කොල්ලා බිම තිබුණ ගඩොල් බාගයක් අරගෙන රවුමක් එහෙමකැරකිලා කෙලියා ගිරිය පුප්පගෙන කෙහෙල් ගහට. කරුමෙට කෙහෙල් දල්ල ලාවට ඉඹගෙන ආව  ගඩොල් බාගේ "දීඩීරියං" ගාලා  අහක හිටපු මගේ දරුගහ මුල වැදීලා කකුල් දෙක මුලට වැටුනා. පොඩි එකාව උප්පද්දවන්ඩ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙච්ච දෙමහල්ලොන්ගේ මුණ පවා මැවිලා පෙනෙද්දී මම දිව හපාගෙන බිම ඉඳගත්තේ බඩ කොර වෙච්චි පාරට.

බඩ ගාගෙන වගේ දෙකට නැමීගෙන ගේ ඇතුලට ගිහිං රම්බාට කතා කරා. ඌ උන්ගේ ගෙදරට ආව නැන්ද අල්ලාගෙන හෙන දේශනාවක් දෙනවා. ඌ කතාවේ ගැඹුරටම බැහැල හිටපු විත්තිය මට තේරුනේ, උට පිටිපස්සේ හිටපු මං නොදැකපු හින්දා.

"නැන්දට කියන්න නැන්දේ දැන් වතුර වල හෙනට විෂ, එතකොට කිරිපිටිවල විස අප්පට උඩු ඊට හපන්, කවුද දන්නේ නැන්දේ නැන්දා ඔය පොඩි එකාට පොවන මව් කිරිවල ඩී.වී.ඩී. ද මොනවද ඒවා තියනවද කියලා, කොහෙද ඉතින් මාමටවත් තේරෙන එකක් යෑ. ඉතිං එහෙව් එකේ කොහොමද පොඩි එකාට තේරෙන්නේ"

"හැබෑව නේන්නම් පුතේ හැබෑව"  කටට ආපු පලියට එහෙම කිව්වට නැන්දට ඌ කිව්ව කාරණාව ඇතුලේ තිබ්බ අලුකුත්තේරු කුපාඩි ඇවටියෙල් කතාව තේරුනේ පස්සෙද කොහෙද. ටික වෙලාවකින්  නැන්දගේ ඇස් දෙක සුදුමැලි වුණා. අතේ හිටපු කිරි දරුවා කිහිල්ලේ ගහගෙන නැගිට්ටේ කිරි පිටි හදන එවුන්ගේ හතර වරිගේ මතක් කර කර. "වල් හැත්ත.. දරුවෙක්ට කිරි ටිකක් පොවන්ඩ නෑ,, කාලාකන්නි කිරිපිටි කාරයෝ.. හැඳි ගෑවිලා මකබෑවිලාම පල ඕකුං..." ටික වෙලාවකට පස්සේ නැන්දා සර්වබලධාරියෝ අල්ලලා බැන්නා රම්බාත් පැත්තකින් අහුවෙන නොවෙන ගානට.

"ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ...!, ඉන්න මං අපේ භයියා ජීට එන්න කියන්නම්" රම්බාගේ නංගි චාරු පද්දල පද්දලා කිව්වා.

"හලෝ මයි බොක්ක රයිටර්...වරෙන් වරෙන්"

"මොකටද මට පයිණ්ඩයක් එව්වේ එන්ඩ කියලා"

"ආ ඔව් බං අපේ නැන්දගේ පොඩි එකාට සිංහල පාඩම් වගයක් කරගෙන යන්ඩ දීලා නිවාඩුවට. මෙහෙ කොහොද බං සිංහල දන්නා එවුං..උඹ හෙන රයිටරනේ...යමක් කමක් තේරෙනවනේ..අනේ බං පොඩ්ඩක් පොඩි එකාට කියලා දියන්කෝ...."

"අපෝ බෑ බං.... කෝ අර පොඩි කෙල්ල.. ඕනේ නම් ඒකිට නිදිමරාගෙන වුනත් උගන්වන්නම්"

"ආ... නෑ නෑ.. උඹ කරදර වෙන්ඩ එපා...මම කොහොමත් එයාට පාඩම් වගයක් කියාදෙන්න ඉන්නේ...."


පොඩි එකා විසිල් එකක් බාගෙන කොපි පොතක් කිහිල්ලේ ගහගෙන ඇවිත් පොත මගේ ඔඩොක්කුවට විසික් කලා.

"ඔය කෙටි යෙදුම් ටික කියලා දෙන්ඩකෝ සර් අයියේ" ඌ කින්ඩි හිනාවක් දාල මගේ දිහා බැලුවා.

"එහෙම බෑ.. ඉස්සෙල්ල මල්ලි පුතා උත්සාහ කරලා බලන්ඩ.. මම හරිද කියලා බලන්නම්" මමත් හෙන ආදරෙන් කිව්වා.

පොඩි එකාට දැන්  හිටගෙන මල විදින සයිස් එක. පොර දත් මිටිකනවා. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා පොර ටික වෙලාවකට පස්සේ  මට පොත ගෙනත් දුන්නා. මම හිතාගෙන හිටියේ කොල්ලා දස්සයා වෙන්ඩෑ කියලා.

ලං.වී.ම = ලංකා විදුලිබලු මන්ඩලය - "මේක ටිකක් හරි පුතා.. හැබැයි  "බලු" නෙමෙයි "බල" හොඳේ". පොඩි එකා ඔලුව වනලා හිනා වුණා. 


රා.සේ.පි = රාජ්ජ සේවය පිනට - "හෙහ් හෙහ් මල්ලි පුතා.. පිණට නෙමෙයි පිණිස හොඳේ.. පුතා හොඳයිනේ..ඈ..ඔය ලියලා තියෙන්නේ හොඳට"

අ.පි.බ = අපිට පිස්සු බං - "මේක නම් වැරදි පුතෝ.."

ජ.වී.පෙ. = ජනතාව වීදිබැස පෙරට = "කතාව ඇත්ත වුනාට තේරුම වැරදියි පුතා මේකෙත් හොඳේ"

ග.නි.ස.ම = ගණිකා නිවාස සංවර්ධන මණ්ඩපය - " ග..ග...ග.. ගණිකා....කො..කො  කොහෙන්ද පුතා මේක හොයාගත්තේ.. මාව විහිළුවකට ගත්තද.." මට හොඳටම මළ. පොඩි එකා අඬන්න ඔන්න මෙන්න.  මම රම්බාට කතා කළා. පොඩි එකා ඒ අස්සේ අඬ අඬා කඳුළු අස්සෙන් තටම තටම කිව්වා

"ඒක ගැන විතරයි සර් හරියටම සුවර් එකක් තියාගෙන හිටියේ" 

Wednesday, July 31, 2013

මගුල් නඩය


මනමාලිය සමග ඈගේ දෙමාපියනුත්, කපු මහතාත් අප නිවසට සේන්දු වීමට බලාපොරොත්තු වුවාට වැඩි වෙලාවක් ගත විය. බලාපොරොත්තු ඇතිවෙමින් නැතිවෙමින් තිබුණු පැය කීපයක කාල අන්තරයකට පසු, මිදුල මත ඇඳී ඉදල් රටා මතින් වැලි කැට අවුස්සමින් පැමිණි කුඩා ප්‍රමාණයේ වැන් රථයක් නිවසේ ඉදිරිපස පෝටිකෝව මැද නතර කෙරුණි. ඉදිරිපස ආසනයේ හිඳගෙන ආ කපු මහතා ඉන් බසිනු, මා උන් කාමරයේ දොර සළුව එහා මෙහා වීමෙන් ඇතිවූ හිඩැස තුලින් දුටුවෙමි. එහෙත් ඈගේ වතින් දශමයකුදු දැක ගැනීමට පෙරාතුව දොර සළුව නිශ්චල වීම නිසා මාසිතේ කනස්සල්ලක් ඇති විය. ආලින්දය දෙසින් ඇසුණු විවිධ කටහඬ පරාසයන්ට අනුව, පස් දෙනෙකුට වැඩි පිරිසක් මගුල් නඩය සමග පැමිණ ඇතැයි මම අනුමාන කලෙමි.

පාපිස්නාව මත දෙපා පිසදමන හඬට පසුව රිද්මයකට ඇසුණු "ටොක්" "ටොක්" හඬ, ඈ පැළඳි පාවහන් යුගලෙන් නික්මෙන්නට ඇතැයි මා අනුමාන කලෙමි. ඈ ඉතා සුන්දර ලෙස ඇවිදිනු ඇතැයි මට හැඟිනි.  නොබෝ වෙලාවකින් සාලයේ පුටු කකුල් පොලව මත ලිස්සා යන හඬ ඇසෙද්දී, කුෂන් පුටු කවර තුළ පිරී තිබු හුලං පිටව යන හඬ කීපසැරයක් ඇසී නතර වුයේ සියල්ලෝම වාඩිවී අහවර වූ නිසා විය යුතුය.

පෙර සුපුරුදු පරිදි මා මනාලියන් බැලීමට ගොස් ඇති බොහෝ දිනවල මෙන්, අප පාර්ශවයත් මනාලියගේ පාර්ශවයත් සමග ඇතිවෙන සුලභ කතා බහට සමාන අල්ලාප සල්ලාපයක්  අදත් සාලය දෙසින් ඇසුණි. වෙනදා මෙන්ම මා දැඩි ලෙස හුවා දැක්වීමට අකමැත්තක් දැක්වූ මාගේ අධ්‍යාපන තත්වයන් පිළිබදවත්, ඇල්කොහොල් සිගරට් වලින් තොර මාගේ ආත්ම ශුද්ධත්වය පිළිබඳවත් තාත්තාගේ පමණ ඉක්මවූ පම්පෝරිය මට මෙදිනද නොදිරවන්නක් විය.

"ඉතිං..!!! පුතා කෝ" යෝජිත මනමාලියගේ අම්මා යැයි සිතිය හැකි කාන්තාවක් ඇසීය.

 "කාමරේ ඉන්නවා, ඉන්න මං එන්න කියන්නම්" ඒ අපේ අම්මාගේ කටහඬය.

"දෙන්නට කතා කරගන්නත් කොයි තරම් නම් දේවල් ඇද්ද" පෙර නෑසුණු කට හඬකින් පිටවුනු ඒ වැකිය අවසානයේ නැගුනු සිහින් සිනා රැල්ලක් මුනුමුනුවක් බවට පත්විය.

මාගේ සිත කෙතරම් නිර්භීත වුවද, අනිවාර්යයෙන් මුහුණ දිය යුතුව තිබු ඉදිරි මොහොත නිසා හටගත් සියුම් චකිතයක් සිතේ නොරැඳුනාම නොවේ. දෑතේ හා දෙපයේ ඇඟිලි ගණනත් ඉක්මවමින් මා විසින් බැහැදකින ලද මනමාලියන් සියල්ලෝම ඒ පීඩනයට අනියම් වශයෙන් හෝ ගොදුරු නොවිනැයි පැවසිය නොහැකිය. බුලත් තට්ටුවක් රැගෙන මා ඉදිරියට පැමිණි බොහෝ කාන්තාවන්ගේ මුහුනුවල රැඳුණු කිසියම් අපුල ගතිය මුසු භීතිය හටගත්තේ එනිසාවෙන්ද නැතහොත්  මාගේ රූපකාය දැකීමෙන් ලද කුකුස නිසාදැයි නොදනිමි. සැලකිය යුතු අඩුපාඩුවක් මා වෙතින් බාහිරව නොපෙනෙන නමුදු කිසිවිටකත් මා එකඟ නොවන, වටහා ගත නොහැකි කාරණාවක් නිසා ඔවුන් මා ප්‍රතික්ෂේප කළ බව පසුව දන්වා එවා තිබිණි.

පුවත්පත්වල පළවූ මංගල දැන්වීම් දහස් ගණනකට පිළිතුරු ලියමින් දවස් මැරූ මාගේ කාමරය පුරා අස්සක් මුල්ලක් නෑර  මංගල දැන්වීම් අතිරේක පිරී තිබුණි. විටෙක විකල් වූ සිහි ඇත්තකු මෙන් මා සියල්ල එක් ගොඩකට කර ගිණි තැබීමි. නමුත් ඊට නොදෙවෙනි පත්තර ගොඩක් දෙසතියක් නොඉක්මවීමටත් මත්තෙන් කාමරය පුරා ගොඩ ගැසිණි. ලිවූ පිළිතුරු දැන්වීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයකටද ප්‍රතිපිළිතුරු ලැබිණි. ඒ අතර තිබුණු එක් ලියමනක්වූ "මාධවී" විසින් එවන ලද ලිපිය මාගේ සිත දැඩිව පැහැර ගැනීමට සමත්වූවා සේම, ඈ පිලිබඳ අරුම පුදුම ආලයක්ද මසිතේ පිලිසිඳුනේ කවර පදනමක් මතදැයි අදවන තුරු නොදනිමි. ඇය හඳුනාගැනීමෙන් අනතුරුවද මා අඛණ්ඩව මංගල දැන්වීම් තීරු පිරිස්සුවේ මන්දැයි පැහැදිලි වැටහීමක් නොතිබුණද, ඒ පිලිබඳ  දෙමාපියන්ගේ අප්‍රසාදය නම් නොඅඩුව ලැබිණි.

හඳුනා ගැනීමේ පළමු ලිපියෙන් අනතුරුව දෙමාසයක්  පමණ අප අතර හුවමාරුවූ ලියුම් හේතුවෙන් යම් පැහැදීමක් ඈ කෙරේ ඇති කරගත හැකිවිණි. වෙනස්ම ආකාරයකට සිතන පතන ඈගේ අදහස්වලට මා ඇලුම් කලෙමි. මා සාම්ප්‍රදාය රකින සාම්ප්‍රදායික මිනිසෙක් වුවද ඈගේ ගතිගුණ කෙරෙහි එසේ ඇල්මක් බැල්මක් ඇතිවුයේ මන්දැයි නොදනිමි. විටෙක ඒ පිලිබඳ මා පුදුමයට පත්වුවෙමි. බොහෝවිට පිදුරු ගසේ න්‍යාය ඒ සඳහා බලපාන්නට ඇත. යතාර්ථවාදී සම්මතයට ඔබ්බෙන් අදහස් දැරූ ඈ විසින් මා බැහැදැකීමට ඇගේ දෙමාපියන් සමග නුදුරේම පැමිණෙන බව මෑතක එවූ ලිපියක දන්වා තිබුණේ ඈගේ අරුම පුදුම චින්තන රටාවේ ස්වභාවය තහවුරු කරමිනි.

ඈගේ උපහාසාත්මක යෝජනාවට සාම්ප්‍රදානුකුල පවුලක් වූ අප නිවසින් කිසිදු විරුද්ධත්වයක් නොඑල්ල වීම පිලිබඳ මා සිතේ සැකයක් ඇති නොවුනාද නොවේ. එල්ලෙන්නට වැලක් නොවූ කල්හි දියෙහි ගිලෙන්නා පිදුරු ගසක හෝ එල්ලෙන සේ ඔවුන් තීරණයකට එන්නට ඇත. විකල්පයක් සොයාගත නොහැකි බොහෝ විට, සාම්ප්‍රදායන්, ප්‍රතිපත්තීන් තුට්ටුවකට මායිම් නොකරන තැනට මිනිසා පත්වේ. කෙසේ කවර හේතු සාධකයක් මුලික කොට ගෙන හෝ එසේ යෝජනාවක් කළ ඈ, දැන් දෙමාපියන් සමග සාලයේ සිටින්නේ මා මුණ ගැසීමේ අභිලාශය ඇතුවය.

"පුතා....!!!. අන්න අර දුවගේ දෙමාපියෝ පුතාට සාලෙට කතා කරනවා" කාමරයට පැමිණ පැවසු අම්මා ගේ මුහුණේ කුමන හැඟීමක් සටහන් වී තිබුණාදැයි මට නිච්චියක් නොවිණි.

ඈගේ යෝජනාව සම්මත සිරිත් විරිත් පුර්ණ වශයෙන් උඩු යටිකුරු කරන්නක් වුවද,  පිරිමියෙකු ලෙස සාම්ප්‍රදායික මනාලියකගේ භූමිකාවට අනුගත නොවීමේ පුර්ණ නිදහස මා සතුව තිබුණි. නමුදු මනාලියගේ පාර්ශවයෙන් ආරාධනය ලැබෙන තුරු ඔවුන් හමුවට නොපැමිණියේ සාම්ප්‍රදාය බිඳ දැමීමට අවශ්‍ය වූ නිසා වුවද එසේ නොකළ යුතුව තිබුණිදෝයි මට පසුව සිතුණි. ආලින්දයේ සැටියේ අසුන්ගෙන සිටි ඇගේ දෙමාපියන් යැයි සිතිය හැකි දෙදෙනාට මුලින්ද සෙසු වැඩිහිටියන්ට පසුවද අතට අත දුන්නෙමි. ඉනික්බිතිව මා ඈ අසලට පැමිණ අතට අත දී යාබද අසුනක හිඳ ගතිමි. සියල්ලන්ගේම අවධානය සෘජුව මාවෙතට යොමුවී තිබිණ නමුදු ඈ පමණක් බිම බලාගෙන සිටියාය.

"සාම්ප්‍රදාය" මට කියැවුණි.

"එහෙනම් දෙන්නා කතා කරගෙන දැන අඳුන ගන්නකො" පැමිණ සිටියෙකුගේ කටහඬය.

 මා මිදුලේ කොනක තිබු සිමෙන්ති බංකුව වෙත ඈ කැඳවාගෙන ගියෙමි.

"සාම්ප්‍රදාය..." මා ගුගුලෙමි.

"හ්ම්..ම්..සාම්ප්‍රදාය..." සිනහවෙමින් ඈ එයම ප්‍රතිරාවය කළාය.

"ඇයි  අපි සාම්ප්‍රදාය රකින්නේ....?"

"දන්නෑ.....!!!" ඈ සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ මා අපේක්ෂා කළ දීර්ඝ පැහැදිලි කිරීම නොකරමිනි.

දෙදෙනෙකු අතර, විශේෂයෙන් ආදරය කරන දෙදෙනෙකු අතර  මිනිත්තු කීපයක නිහඬතාව මෙතරම් අපහසුතාවක් දනවන ලද්දක් බව මා අසා තිබුනේ නවකතා, කෙටි කතා තුළදී පමණකි.

"මාධවී..."

"හ්ම්ම්"

"මම දන්නේ නෑ ඔයා මට කැමති වෙයිද කියලා, මොකද... මම සාම්ප්‍රදායික මනුස්සයෙක්. ඒත්..... මට බැරිවෙන එකක් නෑ  ඔයාගේ රටාවට හුරුවෙන්න"

"හුරුවෙන්න...?" ඇය උපහාසාත්මකව මදෙස බැලුවාය.

"ඔව්.. මං කිව්වේ කාලයක් ගිහිල්ලා හරි..."

"අපි මොකටද කවුරුවත් වෙනුවෙන් කාලයක් රැකගෙන ආව සාම්ප්‍රදායක් බිඳින්නේ...?"

"නැ.. මං කිව්වේ..මේ..මේ.." මා ඈගේ වචන අතර අතරමං වූවෙමි.

"ඇයි ඔයා අපි එනකොට කාමරේට වෙලා හිටියේ..." ඈ මගෙන් විමසීය.

"ම්ම්...." මොහොතක් කල්පනා කරමින් "මට ඕනි වුනා ඔයාගේ රටාවට හැඩ ගැහෙන්න..ඔයාගේ අසම්මත සම්ප්‍රදායේ කොටස්කාරයෙක් වෙන්න" මම කීවෙමි.

"සාම්ප්‍රදාය බිඳිනවා කියන්නේ සාම්ප්‍රදායේ හරියටම ප්‍රතිවිරුද්ධ පැත්ත අනුගමනය කරන එකද.....?"

"මට තේරුණේ නෑ"

"අතෑරලා දාමු..... මං කැමති නෑ මං වෙනුවෙන් වුනත්, කෙනෙක්ගේ ප්‍රතිපත්ති, සාම්ප්‍රදාය බිඳගන්නවට" ඈ කීව නමුදු මට තේරුණ දෙයක් නොමැත. මා හිස සැලීමි.

"මට ඔයාට දෙයක් කියන්න තියනවා." ඈ නැවත කීවාය. මම කුතුහලයෙන් හිස එසවීමි.

"මං කැමතියි ඔයාට.. ඔයා මොකද කියන්නේ...?" ඈ අසා නිමවනවාත් සමග මට සිනා ගියේය. මා සමග ඈත් සිනාසුනාය.

"සාම්ප්‍රදාය.....?" හිනාව අස්සෙන් මම ඇසීමි..

"හ්ම්ම් සාම්ප්‍රදාය" හිනාව අස්සෙන් ඈ සුන්දර ලෙස පැවසුවාය.


සිංහල බ්ලොග්වල ලියවෙන කෙටිකතා, කවි, නිර්මාණ ගැන විචාර ලියන්න පුළුවන් කෙනෙක් ඒවා විචාරය කරන්න වෙනම බ්ලොග් එකක් හදලාඅඩුපාඩු පෙන්නන්න පුළුවන් නම් මං  හිතන්නේ ඒක  ගොඩක් වටියි. (කමෙන්ට් එකකින් වුනත් කරන්න පුළුවන් වුණාට මම හිතන්නේ අර විදිහ ගොඩක් පහසු වෙයි. කවුරු හරි පිංවතෙක් ඒ අයට අත දෙන්න කියලා බ්ලොග් අවකාශේ ඉන්න කෙනෙක්ට  මම ආරාධනා කරනවා. 

Thursday, July 18, 2013

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"

තවත් සාඩම්බර ඇවටියෙල් දවසක, 
ඇඳ මත හිඳ, 
මධ්‍යම රාත්‍රී එකොළහයි...

හදවත මෙසපොතේමියස්  වෙලා කියන්නේ, බලන්ඩ බැරි සයිස් එකට. දුක හිතෙනවා. දාර දාර කඳුළු කැට අස්සෙන් දියවෙලා දියාරු වෙලා යන ෆේමස් රයිටර් හීනේ හෙන ඇවටියෙල් හිනාවක් දාගෙන කින්ඩියට එහෙන් මෙහෙන් ඔච්චන් කරද්දී සර්වාන්ගේ කුපිත වෙලා සලිත වෙනවා. ඒත් එක්කම මෝදු වෙලා එන මගේ අනාගත ඩිරෙක්ටර් හීනේ, ජීවිතේට බලාපොරොත්තු බව්සර් පිටින් එන්නත් කරනවා.

-------------------------------------------------------------------------------------

ලයිට් බිල් වතුර බිල්, ඉන්ටර්නෙට් බිල්, අර බිල් මේ බිල් ගෙවාගෙන, සින්ඩි වලින් මාතෘකාව දැකලා පැණි හලාගෙන ඇවිත් මයිල් ගහක් ගැන තියන කතාව කියෝපුහාම මොන සක්කරයටද නැන්දම්මේ යකා නොනගින්නේ කියහන්කෝ. දවසෙන් දවස හිතට එන පජාත අයිඩියාස් ලියලා දාලා හීනි ෆනී ආතල් එකක් ගන්න අටව ගත්ත බ්ලොගට එන උදවිය ගැන වෙලාවකට අවංකවම පව් කියලත් හිතෙනවා.
-------------------------------------------------------------------------------------

කඩේට ගිය වෙලාවේ උද්‍යානා පාලිකා නැන්දගේ දුව කනේරුකා මදකිපුණි නංගියා අද මගෙත් එක්ක කොමලේ පපා හිනා වුණා. ආත්මගත සංසාරගත ප්‍රේමයක් රකින දිලුට ද්‍රෝහී වෙන්න බැරි හින්දා මම මුකුත් නොකියා නම්බරේ බස් ටිකට් එකක ලියලා දුන්නා හදිසියේ සීයට එහෙම අමාරු වුනොත් කතා කරන්න කියලා. අනේ අපරාදේ කියන්ඩ බෑ සිරික්කිය වැහෙන කටින් හිනා වෙලා එයා ගත්තේ "තැන්කියු" කියාගෙන. ඉතිං මමත් "සෙම් ටු යු" කියලා ලව මිශ්‍ර ආධුනික බැල්මක් දැම්මා.

දිනපොතේ සුපුරුදු පරිදි මගේ ඛේදවාචකය ලිව්වට, ඒක හරියට ඉවර කරන්න බැරි වුනේ එදාට වෙන් වෙලා තියන පිටුව ඉවර වුන හන්දා.

-------------------------------------------------------------------------------------

උඹට කියන්ඩ සහෝදරයා... තියන ලොට්ටක් වැඩ රාජකාරී දාලා, ලිපේ බත් හැලිය රොස් වෙද්දී..... හීටරේ, වතුර මෝටරේ කරන්ට් එකට ගහලා තියෙද්දී,..... පොඩි එකා උකුලේ තියාගෙන,...... හොද්ද හැඳි ගගා පවා ගෙවල්වල ඉන්න ඇන්ටිලා බ්ලොග් කියෝනවා. බොසාගෙන් බැනුම් අහ අහා,.... අතින් ෆුල් ඩම් එක දාල කට වහගෙන..... තනියෙන් හිනා වෙවී ආතල් එකක් ගන්න ගොඩක් අංකල්ලත් බ්ලොග් කියවනවා සහෝදරයා . තවත් සමහරු එනවා හදපතුලේ කකියන අසහනේ ඩිස්මැන්ටල් කරගෙන සිඟිති ළමා ලපටි ආතල් එකක් ගන්න හිතාගෙන. කවුරු ආවත් නැතත් සහෝදරයා, උඹ අපි වගේ උදවිය, රයිටර් කෙනෙක්ගේ වගකීම සමාජයට ඉටු කරන්න ඕනි..සමාජය ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා.. සමාජයේ වෙලාගෙන තියන රසදිය පටලේ ප්‍රතිබිම්භය රයිටර්ලගේ පෑනේ තුඩ හරහා කඩදාසියේ කැඩපතට දාන්න අපි වෙහෙසෙන්න ඕනි සහෝදරයා. ඔව් අපිට ඒක පුළුවන්.

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ" කියන සමාජවාදී කියමන මචං ............ අනික් සහෝදරයා කතාව පටන් ගන්න හදනකොටම මං ඇක්සිඩන්ට්ලී ඇහැරුනේ,

"දඩින්....!" ගාලා ඔලුව කොහේ හරි වැදුන හින්දා.

බස් එකේ අයිනේ සීට් එක පැත්තේ බටේ කොනක කැත නැතුව නළල වැදුන විදිහට මම හිතුවේ වද මල ගල ගෑව වගේ තියෙයි කියලා. අකවුන්ට් එකේ අඩියේ ඉතුරු වෙලා තිබුන පිං කළඳක් පලදීලා අතුරු ආන්තරාවක් නැතුව බේරුනා. ඒත් වම් පැත්තේ නළල බම්ප් වෙන ගතිය එහෙමම හෙන වෙලාවක් තිබුණා. මම හිතුවේ වැදුණ පාරට පේෂී වලට පොඩි ආතල් එකක් ඇවිත් උඩ පනිනවවත්ද කියලා.

මට එහා පැත්තේ රම්බා, අපතයා අපායේ ගිහින් වගේ නිදාගෙන ගොරෝද්දේ අදිනවා.

"මචං රම්බා"

"හ්ම්...ඈ....ඇ..ඇ...." ඌ හීනේන් වගේ කිවා

"මගේ කෙටි කතාව අර පත්තර කන්තෝරුවේ මෑන් කිව්ව විදිහට ටෙලියකට ගහන්ඩ පුළුවන් වෙයිද බං" හෙනම හෙන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මං ඇහුවා.

"එකෙන්ම එකෙන්ම... මම රඟපානවා... මදි පාඩුවට අපේ නංගි චාරුලතා, උඹේ අක්කා, උඹේ කෙල්ල, අර කඩේ ගෙදර කනේරුකා මදකිපුණි නංගි ගන්නවා.  උඹ ලියනවා,   අපේ කතාව අපිම ලියලා අපිම රඟපානවා, වීරයෝ වෙනවා, ෆේමස් වෙනවා, සල්ලි හම්බෙනවා."

----
හවස ඉරේ මලානික රැස් හොරෙන් හොරෙන් මහා පොලව එක්ක අනම් මනම් ජෝගි නටනකොට අපේ බඩේ බඩ පණුවන්ට මලපැන්නා. මොනවා හරි කන්ඩ කියලා හිතාගෙන කොත්තු සද්දෙන් ශශ්‍රීක වෙච්ච හෝටලේකට ගීයා. "හොටෙල් ඩී කාලා ගෙවාපන්"

"අයියේ කරෝල කොත්තු දෙකක්" රම්බා දෙදරලා යන කොත්තු සද්දේ පරයා ඔර්ඩර් කරා.

"මො... ක...ක....කරෝල කොත්තු නෑ මල්ලි"

"එහෙනම් පාන් කොත්තු දෙකක්" රම්බට හොඳටම මල දැන්

"පාන් කොත්තුත් නෑ ඕයි" දැන් මුදලාලියට මල

"මේක මහා අසාධාරණ ලෝකයක්නේ අයියේ, ඉඳි ආප්ප කන්ඩ කැමති එවුන්ට ඉඳිආප්ප කොත්තු, මාළු කන්ඩ කැමති එවුන්ට මාළු කොත්තු, නූඩ්ලස් කොත්තු කන්ඩ කැමති උන්ට ඒවා..එලොලු එවුන්ට එලොලු... කරෝල විතරක් කන එවුන්ට කන්ඩ කරෝල කොත්තු නෑ" රම්බට දැන් ඇඩෙන සයිස් එක.

ඕනේ මගුලක් අවුන්සයයි කියලා මම ඔර්ඩර් කරා කිඹුලා බනිස් දෙකකුයි කිරි හොදි කරී එකකුයි.

-------------------------------------------------------------------------------------

රම්බා ටීවී එකේ ඇඩ් එකක පෙන්නන දත් බෙහෙත් එකකින් දත් මැදලා වැඩි ප්‍රතිඵල ගන්ඩ එකෙන්ම පොඩ්ඩක් දිය කරලා මුණත් හෝදලා, ඒ මදිවට ඒකෙ ක්‍රිරියාකාරිත්වය පැය විසි හතරක් තියනවා කියලා පාරේ මුණට හම්බෙන හැම එකාගෙම මුණට මු පිඹ පිඹ යනවා. මූ හිතන්නේ මූ පිම්බාම වටපිටාව කලර් වෙලා හෙන නැවුම් වෙනවා කියලා. මොනඃ... මු පිඹින පිඹින එකාගේ මුණ කොමඩ් එකේ වතුර බීපු එකෙක්ගේ වගේ වෙනවා. ගොඩක් එවුන්ට ටික වෙලාවක් යනකම් හුස්ම ගන්ඩත් බෑ. පොඩි එවුන් නම් බැරිකමට බිම ඉඳගන්නවා. සමහර එවුන් වමනේ දානවා.

Friday, June 28, 2013

සාක්කිය

ඇය ශාන්ත පීටර් මාවත ඔස්සේ  මගීන් රැගෙන,  බිග් ටවුන් වෙත ඇදෙන අශ්වකරත්තයක අසුන්ගේ කුර හඬටත්, ඊට අනුරුපිව ඇසෙන යකඩ පට්ටම් ගැසූ රෝද යුගල වෙතින් නික්මෙන හඬටත් කන් දීගෙන සිටියේ ශාන්ත පීටර්ස්හි "ලුෂියා සාහිත්‍ය සමාජය" නිකුත් කරන මාසික කෙටි කතා සඟරාවක් කියවමිනි. එතරම්ම ඕනෑකමකින් නොවුනද, පසෙකින් ශ්‍රවනය වී කෙමෙන් හීන වී ගිය අශ්ව කරත්තයේ හඬ, දෙසවනින් මුළුමනින්ම වියැකී මද වෙලාවක් යනතුරුද එහි ගමන් මග මනසින් සටහන් කළේ පුරුද්දට වුවද, ඇය එමගින් ළමාකාලය තුල විඳි ආශ්වාදය පුන පුනා ලැබුවාය. ජෝශප් නම් මහල්ලාගේ නිවස අසල ඇති කල්වර්ට් බැම්ම මතිනුත්, මේරි ඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති මද බෑවුමද ඇය නිසැකවම උපකල්පනය කලද යාර කීපයක් ඔබ්බෙන් ඇති තෙරේසා දෙව්මැදුරට යාබද අතැර දැමු කුලී නිවස අසල අශ්ව කරත්තය නැවතුනු වග ඇයගේ අවධානයෙන් ගිලිහුනේ, ඇය අතැති  සඟරාව ඇගේ පුර්ණ අවධානය ඩෑහැගෙන තිබු නිසාවෙන් විය යුතුය.

යොවුන් වියට සමුදෙමින් පසුවූ නැන්සි කුඩා කාලයේ සිටම ගුප්ත කතා මෙන්ම රහස් පරීක්ෂක කතා කියවීමට වැඩි  කැමැත්තක් දැක්වූ අතර යම් සිදුවීමක් දෙස බලා  තර්කානුකුලව ඒ ගැන සිතා සියුම් අනාවැකි මෙන්ම හෝඩුවාවන්ද පවා පළකරන්නට පුළුවන් අපුරු හැකියාවක් ඇය සතුව තිබිණි. වරෙක තම පියාගේ කමිසයේ තැවරී තිබුණු කහට පැල්ලමක් දැක ඔහු පාම් වතුයාය මැදින් වැටී ඇති පාම් වීදිය හරහා එන්නට ඇතැයි පැවසුවාය. තවත් වරෙක තම සීයා අසනීප වුයේ මීයන්ට දමන වස කැවීමෙන් බව ඇය පැවසුවේ රෝහල් වෛද්‍ය වාර්තාව නිකුත් වන්නටත් පෙරාතුවය. වික්ටෝරියා නදියේ ඉවුරක ගැට ගසා තිබු අඟුල කිසිවෙකු විසින් ගිල්ලවා නැති බවත් කිඹුලෙකුගේ පහර දීමක් නිසා සිදු වුවක් බව ඇය පැවසුයේ අඟුලෙහි බඳේ තියුණු දත්පාරවල් සියුම්ව නිරීක්ෂණය කරමිනි.

තාවකාලික පැසසුමක් විනා ඇගේ මේ හැකියාවන් අගය කිරීමට මෙන්ම දිරි ගැන්වීමට දැනුමක් ඇති අයෙක් නිවස තුල නොවුනද  ඇය එමගින් අපුර්ව වින්දනයක් ලැබුවේ යම් යම් කරුණු කාරණා තනිවම ගවේෂණය කරමිනි. ඇයගේ හෝඩුවාවක් ඔස්සේ යමින් අශ්ව හොරෙක් සොයා ගැනීම පිළිබද කාලයක් ගම පුරා  කතාවුනද, මෑතක් වන විට බොහෝ දෙනෙක්ට ඒ ගැන අමතකවී ගොස් ඇති සෙයකි. ඒ ගිණිය නොහැකි තරමේ හොරකම් ශාන්ත පීටර්හි නිතර නිතර සිදුවෙන නිසා විය යුතුය. ජීවිතය ලුහුබඳින කාලය විසින් බොහෝ දේ යටපත් කරන්නා සේම ඇගේ හැකියාවනුත් කෘතිමව යටපත් කර ගැනීමට සිදුවුයේ ගමේ විසු මිත්‍යාදෘෂ්ටිකයින් ඇගේ හැකියාව, දෙවියන් විසින් පරිත්‍යාග කරන ලද්දක් යයි කියමින් ගම් වැසියන්ගේ රෝගා පීඩාදිය සුවකිරීමටත්, යාග හෝම පැවැත්වීමටත් ඇයට බලකිරීමත් සමගය.

කුඩා සාලයේ මැදට වන්නට තැනු ගිණි උඳුන වෙතින් ආ, අවසාන මාංශලය තෙක් දැවුණු ෆයින් අතු කැබලිවල සුවඳ ඇගේ නාස් පුඩු තුල දැවටෙමින් ඒත්තු ගැන්වුයේ එය නිවී යාමට ආසන්න බවය. ඇය වහා නැගිට උඳුන අසල තබා තිබු වියලි දර මිටියෙන් අතු කැබලි කීපයක් උදුන තුලට ඇතුළුකර, තනි කවුළුවක් සහිතව තෙරේසා දෙව්මදුර පෙනෙන පරිදි තනා තිබු වීදුරු ජනේලය අසල පුටුවක හිඳ ගත්තේ සාහිත්‍ය සඟරාව රස විඳීමේ අටියෙනි. කවුළුවෙන් එපිට එතරම් අන්ධකාරයක් නොවුනෙන් මීදුම පටල අතරින් වුවද සැතපුම් කාලකට නොදුරු සීමා ප්‍රදේශයක් පැහැදිලිව වෙහෙසකින් තොරවම ඇසට හසුකර ගත හැකිවිණ. එහෙයිනි දෙව් මැදුර යාබද කුලී නිවස අසල සිදුවෙමින් තිබු සිදුවීම ඇය අහඹුවකින් මෙන් දුටුවේ. කවුරුන් හෝ, හොරකමේ ගිය පුද්ගලයෙකු අල්ලා ගනු පිණිස සෝදිසි කරන්නේ යැයි මුලින් සිතුනද ඊට හාත්පසින් වෙනස් යමක් එහි සිදුවනු ඇතැයි සිතීමට, කුතුහලය මෙන්ම පරිචය විසින් ඇයව මුලික වශයෙන් පෙළඹවූවත්, කාන්තාවන් සතු සුලභ ඕපාදුප විමසීමේ රුචිය එහිදී ප්‍රභල වුවා කියා යමෙකුට පැවසිය හැකි වුවද නිසැකවම වුයේ යටපත්වූ ඇගේ ගවේෂණය කිරීමේ ආශාව දැඩිව මතුවීමය.

සීතලෙන් ආවරණය වනු පිණිස අඳින කළු කබා පැළඳ,  හිස තෙක්ද වසාගත් පුද්ගලයින් කීප දෙනෙකු  ඔබ මොබ ඇවිදමින් කලබලයෙන් අවට යමක් විපරම් කරනු පෙනිණි. ඒ සමගම තවත් අශ්ව කරත්තයක් සෘජුකෝනාශ්‍රාකාරයට කුට්ටි කරන ලද කුඩා පැතලි කළුගල් අතුරන ලද ශාන්ත පීටර් මාවත මත තුනී හිම තට්ටුව කපාගෙන දැඩි ඝර්ෂණයක් යොදමින් සෙමින් බිග් ටවුන් දෙසට ඇදෙනු ඇයට ඇසුණි. එය සුපුරුදු ලෙස ජෝශප් මහල්ලාගේ නිවස අසල කල්වර්ට් බැම්ම මතිනුත් මේරිඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති බෑවුම් සහිත මාවතත්, සෙන්ට් තෙරේසා දෙව් මැදුර අසල පාලු කුලී නිවසත් පසුකර බිග් ටවුන් වෙත බාධාවකින් තොරව ඇදෙනු ඇය සීරුවට බලා සිටියේ කෙළ පිඩක් හෝ නොගිලිමිණි.

එකී අශ්ව කරත්තය දර්ශන පථයෙන් මෑත්ව ගිය හෙයින් ඇයගේ කුතුහලය නැවත පෙර ජවනිකාව වෙත යොමු වුයේ ක්ෂණිකවය. ඉනික්බිතව ඇය ජනේල වීදුරුව මත නාසයද, නළලද, දෙතොලද  ගෑවෙන සේ බොහෝ ලංවී උවමනාවෙන් ඒ දෙස බලන්නට වුයේ දෙඅල්ලෙන් දෑස වටා ආවරණය කරගනිමින්ය. ඇගේ මුවින් නික්මුණ උණුසුම් ප්‍රාශ්වාස ධාරා නිසා වීදුරුව මත ජලවාෂ්ප ස්ථරයක් බැඳුනෙන්,කෙතරම් කුතුහලයකින් ඇය පෙලුනිද යත්, ප්‍රාශ්වාස කිරීමේ අන්තරය පවා උවමනාවෙන්ම පමාකරන බවක් ඇවෙතින් දක්නට ලැබිණි.

අශ්ව කරත්තය අසල සිටි පිරිසෙන් එක් අයෙක් නැවත එයට ගොඩ වූ අතර යලි මොහොතකට පසු ඔහු එයින් පිට වුයේ තවත් පුද්ගලයෙකුද සමගිනි. විශේෂිත වූ කාරණය නම්, ඒ අමුත්තාගේ දෑත් පිටුපසට කර එකිනෙක බැඳ තිබු අතර කරත්තයෙන් බිමට පනිද්දී සමබරතාව ගිහිලි ඔහු හිම තට්ටුව මතට ඇද වැටුණෙන් එබව පැහැදිලිවම පෙනිණි . එහෙයින් ඔහු යටත් පිරිසගේ ග්‍රහණයට නතුව ඇති බැව් නැන්සි නම් වූ කල්පනාකාරීව කුතුහලයෙන් මෙතෙක් වෙලා ඒ දෙස බලා සිටි ඇයට ඒත්තු ගියේය. මෑතකදී  විල්ෂයික් නාට්‍යාගාරයේ තිරගත වූ "ස්නොව් ඇන්ඩ් ද තීෆ්" නාටකය ඇයට සිහි විය. එහි කතාවෘර්තයට අනුව දාමරිකයින් හඹා යන "සිවිල් ක්‍රයිම් හන්ටර්" කෙනෙකු වන්නට තමාටත්නොහැකි මන්දැයි ප්‍රශ්නාර්ථමුඛ්‍යව තවමත් එදෙස බලමින් ඈ සිතුවේ ගවේෂණයක ආරම්භක පියවර තැබීමට නොහිම් ආශාවෙන් නලියමිනි.

චිත්තවේගවල බල කිරීම හමුවේ හදිසියේම ඇයට පහල වු ඒ අදහස නිසා මොහොතකට පසු ඇය උන්නේ නිවසින් යාර කීපයක් ඈතින්ද කුලී නිවසට යාර කීපයක් කිට්ටුවෙන් පිහිටි කුඩා පර්වතයක් වසා පැවති ඝන හිම කණ්ඩියකට මුවා වෙමිනි. දැඩි සීතලෙන් පීඩා විඳිමින් වුවද ඈ පයින් ගසක් අසල වැවී තිබු පඳුරකට මුවා වුයේ නිර්භීත වික්‍රමයක් කිරීමේ අසීමාන්තික ආශාව මුසු පොපියන දෙනෙතින් වුවද කිසියම් භීතියක සලකුණුද ඇයව මන්දගාමී කරමින් තිබුණු මොහොතකය.

Contd. with Comments


කමෙන්ටුවෙන් කමෙන්ටුව, කතාව ගොඩ නැගීමට පාඨක ඔබට බාරයි.

Friday, June 14, 2013

මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං

මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක් වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට හිතෙන් මවාගෙන, ඒ කොළ ගුලිකරලා ජනේලෙන් එලියට විසික් කරන්නේ සිරාම ගත් ගතුවර කැරැක්ටර් එකට එන්ටර් වෙන්න ඕන හින්දා. පහුවදා වැස්සට පෙඟීච්ච ඒ කඩදහි දැකලා, රම්බා මහපොලව නුහුලන කුපාඩි කතා කිව්වට මම ලාවටවත් සැලුනේ නෑ. සිරාවටම මට ඕනි වුනේ ගිනි පුලිඟුවක් වගේ නලියන ලොන්තයක් බලාපොරොත්තුවලට පෙට්රෝල් දාලා, ඒ බුර බුරා නැගෙන ගිනිදැල් මැදින් මගේ ෆේමස් රයිටර් හීනේ දකින්න. දෙයියම්පා, කිරිඅත්තා කොල්ලා  කාලේ ලයින් දාපු ගැටිස්සි පල්ලා මගේ හිත ප්‍රීතියෙන් උදම් වෙලා උද්දාම වෙලා තිබුනේ.

පහුවදා අපිට පත්තර කන්තෝරුවට යන්න තිබුන හින්දා මම රම්බාට උදෙන්ම එන්ඩ කිව්වා. උදේ පාන්දර දහයට විතර මූ ති දදා ඇවිත් කියනවා.

"මචං රයිටර් උදව්වක් කරහන්"

"ම්ම් මොකක්ද බං...?"

"මේ මේ ... වම් අතේ උරහිස ගාව අසාමාන්‍ය විදිහට පට්ට දිග මයිල් ගහක් ඇවිත් බං...අනේ  මට එකේ පොටෝ එකක් අරන් දියන් ෆේස් බුක් දාන්න"


කොහොම මම පැය ගානක් හරි මයිලට කැමරාව ෆෝකස් කරන්න දඟලපු පාර  අන්තිමට උගේ අසාමාන්‍ය මයිල හැලුනා. රම්බා ඒක හැලුන දුකට මට බැන බැන ඇඟේ අසාමාන්‍ය මයිල් ගස් හොයනවා.

කොහොම හරි රම්බාගේ කනේ ආපු අසාමාන්‍ය මයිල් ගහක් පොටෝ ගහගෙන ෆේස් බුක් අප්ලෝඩ් කරලා, මමයි රම්බයි බස් එකට නැග්ගේ එකම කතාව දෙතුන් වතාවක් පොටෝ කොපි ගහගෙන හදාගත්තු මගේ පට්ට සයිස් සම්භාව්‍ය කෙටි කතා කලෙක්ෂන් එකත් කිහිලි ගහගෙන. ලෝක පාලන දෙයියන්ට දෙපාරක් මැරී කරන්න වාසනාව ලැබෙන්ඩ ඕනි මටයි රම්බාටයි ලදරන් බස් කට්ටේ ඉඳගන්න සීට් එකක් ඉතුරු කරලා තිබ්බට. ටවුන් දෙක තුනක් පාස් කරනකොට බස් එක ඇතුලේ සෙනග පැක් වුනේ ලෝක ධර්මතාවෙ අනුව වුනත්, රම්බාගේ කට වවුලෝ සුප්පු කරපු වැල මදූල වගේ වුනේ සාපේක්ෂතාවාදයේ අභන්තර තියරි ඇස් පනාපිටම ඔප්පු වෙද්දී.  මට ඉස්සරහ සීට්වල මාරුවෙන් මාරුවට ගියපු සීයාගේ බුලත්විට පාරවලුයි, කැහි පාරවලුයි, තව කාගේද වමනේ පැකට් එකේ තිබිච්චයි, හුළං පාරට මගේ මුණේ ගෑවී නොගෑවී ගියේ නැත්තම් සමස්තයක් විදිහට ඒක නයිස් ටුවර් එකක්.  ඔය අස්සේ ලස්සන ගැමි ලුක් කෙල්ලෙක් ඉස්සරහ සීට් එකට ගාවා අයිනෙන් හිටගද්දී,  රම්බා හිටපු තැන අයිනට හිටගෙන යන්න සෙට් වුනේ පොෂ් ලුක් පත සයිස් සන්ග්ලාස් දාපු ඇන්ටි කෙනෙක්.

බස් එකෙන් බැහැල පයින් යද්දීත් රම්බාගේ මුණ නිකන් කුනුවෙච්ච අර්තාපල් ගෙඩිය වගේ තිබුන හින්දා මම නිකමට වගේ මුලින් වර්ඩින් එක දැම්මා.දුකට

"මචං රම්බා..හොඳ වෙලාවට ඉඳගන්න හම්බුනේ නැද්ද බං..?."

"ආ ඔව් ඔව් හොඳ වෙලාවට,... ඒ වුනාට යකෝ මට දුක...අර පත ඇන්ටිගේ හොඳම හරියෙන් කිලෝ පහලවේ විතර දෙකක්ම, එනකම් මගේ කර උඩ තියාගෙන එන්ඩ වෙච්ච එකට බං"

ඒක අහලා මට පාර අයිනේ තිබුන මාර්ග සඥා කණුවක ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුණා ලොඳ පනිනකම්.  පහුවදා උදේ පත්තර වල කුජීත හෙඩ්ලයින් එකක් වෙන්න තුන් හිතකවත් වුවමනාවක් තිබුනේ නැති හින්දා මම දත කාගෙන ඉවසන් හිටියා.

කිරි අප්පගේ පුසී පැටව් ගහලා කියපි. හන්දියෙන් හැරෙනකොටම පාර අයිනේ හිඟන්නෙක් ලේ පෙරාගෙන හතරගාතෙන් වැටිලා කෙඳිරි ගානවා. දොළොස් පෝයට සිල් ගන්න අපේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඒ මිනිහව පාස් කරගෙන ආතල් එකේ එතනින් වාෂ්ප වෙනවා වගේ වගක් නැතුව. තවත් බැතිමත්තු දෙතුන් දෙනෙක් හොරෙන් හොරෙන් ඒක වීඩියෝ කර කර නෙට් අප්ලෝඩ් කරනවා "අඩෝ මෙතෙන්ට සිග්නල් නෑ බං %$&#$ " කිය කියා. තව ඩයල් එකක් ඇවිත් මිනිහට නසරානි වැඩේ කරපු එකා වටේ හොයා හොයා කෑ ගහනවා. ඕවර් පොෂ් ටයිප් කලම්බු සෙවන් කෙල්ලෝ දෙන්නෙක් "චීයා අනේ....මල ජරාව" කියලා හී හී හී ගාගෙන ටොයින් ටොයින් ගාල අඩියට දෙකට එතනනින් පැනලා ගියා.

මොන කුපාඩිකම තිබුනත් රම්බාටයි මටයි මල පැන්නේ නහුතෙට කිට්ටු වෙන්න. ඒ මනුස්සයාගේ  දුක දැකලා අපි දෙන්නගේ හදවතේ අභ්‍යන්තර පටක විජලනය වෙලා ඒටීපී ශක්තිය ඒඩීපී වෙලා කකුල් දෙකට ගලාගෙන යද්දී අපි දෙන්නා එකතු වෙලා කිසි බිසී ගාලා ඒ මිනිහව වාහනේක දාල ඉස්පිරිතාලෙට පිට කරා.  හත් ඉලව්වට ගහපු ඉස්කෝප්ප හතට ඇඩ්රස්  නෑ කිව්වලු, හෙන සෙට් එකක් කැමරා මයික් උස්සන් ආපි අපි හිටපු තැනට.

කිරි කිරි ටොයින් සක්කර වට්ටම් ටයිප් කෙල්ලෙක් හති දාගෙන දිව හැපී හැපී අනවුන්ස් කරනවා කැමරාව දිහාට හැරී හැරී.

"ඔව් ආදරණීය ප්‍රේක්ෂකයිනි...දැවෙන කුරිරු අධම තුච්ච තුප්පහි  කුපාඩි ලෝකයේ, කට්ට කෛරාටික කුජීත පජාත චාටර් ඩයල් අතරේ පට්ට හොඳ සුපිරි සුන්දර මැක්සා ඩයල් තවමත් අල්ප වශයෙන් හෝ ජීවත් වෙනවා කියලා ඔබ දැන් දකින්න ඇති....ඔව් ඔබ කැමති ඇති ඒ සුන්දර මානුෂ හිතවාදියෝ දෙන්නා අඳුනා ගන්න." ඒ කෙල්ල මගේ දිහාවට හැරිලා මයික් එක ඇල්ලුවා  මං  ඒ කෙල්ලගේ මුණ දිහා බලද්දී රම්බා ඒ කෙල්ලගේම වෙන වෙන ඒවා දිහා බලනවද කියලා බලන්නවත් මට මීටර් තිබුනේ නෑ.

"ඔව් මහත්මයා... වෙල් කම් ටු අවර් නිව් ලයිව් ෂෝ.. මේක තමයි අපේ අලුත්ම වැඩසටහන "අසරණ සරණ රියල් රියලිටි ෂෝ" කෙල්ල දත් තිස් දෙකම එලියට පන්නගෙන හිනා වුනා.

ඉන්ටර්විව් එකට පස්සේ කොහොම හරි බලෙන් වගේ ඒ සෙට් එක අපේ අතේ රුපියක් දෙසිය පනහා ගානේ පන්සීයක් මිට මෙලෙව්වේ කැමරාවට පේන්ඩ අපිට දීපු රුපියල් පන්දාහ ආපහු ඉල්ල ගන්න ගමන් "අනේ අයියේ නොවරදවාම අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හොඳේ" කියලා.

පැයක් විතර කට්ට කාලා පත්තර කන්තෝරුව හොයාගෙන මම ඇතුලට ගියේ පට්ටම හැපී එකේ.

Friday, May 31, 2013

මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.

මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු වල තියන වතුරත් ඒ හා සමාන විදිහට ඝනීබවනය වෙලා තව එක එක එව්වා වෙලා මුත්‍රා විදිහට පිටවෙනවා කියලා.

හඳ, තරුත් එක්ක අද ඕෆ් ඩියුටි ගිහින්. හුළඟ, හිරිකඩ එක්ක ඕවර් ටයිම් කරනවා. මුළු ලෝකෙම අන්ධකාරේ වේලිලා ගිලිලා ඇඹරිලා. මිනිස්සු ගැරඬි වගේ තමන්ගේ ගෑනි කොට්ටේ බදාගෙන සැපට නිදි ඇති. කොල්ලෝ කුරුට්ටෝ, කෙලි පැටික්කියෝ නිදි මරාගෙන එක එක කර්මාන්තවල නියැලෙනවා ඇති. රයිටර් කෙනෙක් විදිහට මගෙන් සමාජයට ඉටුවිය යුතු වගකීම ඉටු කරන්න මේක තමයි හොඳම වෙලාව. තප්පරයක්වත් අහක දාන්නේ නැතුව, ලොවෙත් නැති එන්කරිස්මන්ට් ජවයක් හිතට අරන්, අජරාමර අයිඩියාස් හිතට ගලන වෙලාවේ, වළලුකර ගාවට රෝල් වෙලා තිබුන  සරම ඉන ගාවට අරගෙන ගැටයක් ගහගෙන ඇඳෙන් බැහැලා පුටුවට පැන්නේ පාඨකයින්ගේ ඇස්වලින් කඳුළු සූ සූ ගාලා දොට්ට පනින, හෙන ලව් ස්ටොරියක් ලියනවා කියලා හිතාගෙන.

මේ දවස් ටිකේම දරුණු විදිහට "ඇවටියෙල් ඩිස්මැන්ටල්ස්" කියන මානසික ආතතියෙන් පෙළුණු හින්දා පාඨකයින්ගේ හදවත් කැවුතු උණුවෙන ටයිප් එකේ වචනයක් හරියට ලියා ගන්න බැරි වුනා. අධික ලෙස අන්දකයිප්පු වෙන එකෙනුයි අධික ලෙස කුපිත වෙන එකෙනුයි මිදෙන්න කියලා අල්ලපු ඉඩමේ තියන පශුවෛද්‍ය ඒකකයට පුසාට පණු බෙහෙත් ගෙන්න ගිය වෙලාවේ අලුතෙන් වැඩට ආපු හුරතල් ඕවලාකාර මුණ තියන ඩොක්ටර් මිසී කිව්වා.  

එවලේ එතනට ඉතියෝපියන් ෂෙපර්ඩ් වර්ගයේ ලොම් හැලිච්ච බලු නකුටෙක් එක්කන් ආපු මද පමණින් පොෂ් ටයිප් කෙල්ලෙක් නහයෙන් අඩනව "ඩොක්ටර් මිසී... මට මයිල් එන්න මොකක් හරි බේතක් ලියලා දෙන්න" කියලා. ඕක ඇහිලා මගේ කට නිකන් කහන්න ගත්තායින් ඩොක්ටර් මිසීගෙන් මම ඇහුවා. "ඩොක්ටර් මිසී... මයිල් එන්න බෙහෙත් තියනම් මයිල් හැලෙන්නත් බෙහෙත් නැද්ද කියලා". ඩොක්ට මිසී මං දිහා හෙන අවලං ටයිප් කින්ඩි හිනාවක් දාගෙන කියපි "කපනවා ඇරෙන්න වෙන බේතක් නෑ ළමයෝ"  කියලා. අපරාදේ... මම හිතන් උන්නේ, මං රැවුල කපන්න ගේන ගේන රේසරේ හොරෙන් උස්සන අපේ අක්කට ඒ ජාතියෙන් ටැබ්ලට් බෝතලයක් තෑගී ගිහින් දෙන්න.

අපේ ගමේ එවුන් කැරකෙන කුඩුවක් හදලා ආධාර කවුන්ටරයක් දාලා හන්දියේ මේ පාර වෙසක් එකට. මුං කලින් පෝස්ටර් කැම්පේන් එකකුත් කරලා "මහා කරකවන විට කැරකෙන පහන් කුඩු රාජයා ... 26, 27, දෙදින පුරා හන්දිය බදු ගනී.. නොවරදවාම විදුලි පන්දමක් රැගෙන නැරඹීමට පැමිණෙන්න." අපරාදේ කියන්න බෑ හන්දියේ සූ ගාලා සෙනග. බලපු බලපු අත ටෝච් එලි විතරයි. හතරවටේට ටෝච් ගගහ බැතිමත්තු පාරිශුද්ධ වචන කියා කියා කුඩුව හොයනවා. කොහොම හරි කුඩුව හදපු එවුන්ගේ දෙමව්පියන්වත් මතක් කරගෙන, අඩු බජට් එකකින් හදපු කුඩුව විවෘර්ත කළා. අවාසනාවකට ඒක රවුම් දෙක තුනකට වඩා කැරකුණේ නැත්තේ කුඩුවේ බල්බ් දෙක තුනට කරන්ට් එක දෙන්න දාපු වයර් එක කුඩුවේ බඳේම එතිලා අන්තිමට කුඩුව නැවතුණ නිසා.

අල්ලපු ගමේ මහා දන්සැලක්. කුඩුව හදපු එවුන්ට ඇටැක් එකට උන් කරලා තියෙන්නේ. අහල පහලනේ, නොයා ඉන්න එක හරි මදිනේ. අපි සෙට් එක ඉතින් රම්බායි මමයි  තව අපතයෝ ටිකකුයි දන්සල් වඳින්න ගියේ ගෙදර ආර්ථිකයට පොඩි හරි සහනයක් දෙන එක අපේ යුතුකම හින්දා. දත කට බඩ මැදගෙන දන්සලට ගියා බඩ නැතිවෙන්න කනවා කියලා හිතාගෙන. දන්සැලේ හට් එකයි පුටු ටිකයි විතරයි දෙන කෑමක් නෑ.. රම්බාට මල විදපු පාර සංවිධායක ඩයල් එකක් එක්ක ටෝකක් දැම්මා.

"මල්ලි... කෝ අයිසේ කෑම" ටිකක් සැරෙන් වුනත් ෆිට් එකෙන් රම්බා අහපි.

"මොන කෑමද අයියේ..." සංවිධායක ඩයල් එක කෙලින් ඩිරෙක්ට් කිව්වා.

"ඇයි බොල ටිකිරි මයිනෝ දන්සලක් වුනාම කන්න තියෙන්න ඕනි නේද...?.. මේකේ කන්න තියෙන්නේ ටකරං පුටු සෙට් එකද..?"

"පික්ෂුද අයියේ මේක අලුත් සංකල්පයකට අනුව දෙන දන්සැලක්"
"ඒ කිව්වේ මේකේ දන් දෙන්නේ කෙල්....." රම්බා කියන්ඩ හදනකොටම මම පැනලා උගේ කට වැහුවා.

ඇයි හත්වලාමේ මේක හරි ලැතපොමේඩියාස්  සීන් එකක්නේ. මගෙත් කුතුහලය නහුතෙට තද වෙලා දොට්ට පනින්න ඔන්න මෙන්න.. මම ඇහුව පාර පොර කියපි,

"අයියේ මෙහෙමනේ... මේක සියවසේ අලුත් සංකල්පයක් කියලා මම කිව්වනේ... එක එක උදවිය  එක එක ඒවා දන් දෙනවා..සමහරු ලාම්පුතෙල් දෙනවා, සමහරු පෙට්රෝල් දෙනවා, සමහරු හයර් දන්සල් දෙනවා... කොස් පොලොස්, ජීවිත පවා දන් දෙනවා. අන්න ඒවගේ අපි දන් දෙන්නේ කෑම නෙමෙයි...මේ ශාලාව...  ඒකයි දන් සැල කිව්වේ ..අයියලා කැමති කෑමක් පිටින් අරං ඇවිත් මෙතන නිදහසේ කන්න පුළුවන්"

උට පින් සිද්ධ වේවා කියලා අපි ඒ ශාලාව ඇතුලට වෙලා දත්මිටි කාලා එලියට ආවේ ලබන අවුරුද්දෙත් කරන්න පුළුවන් වෙන්න කියලා ඌගේ හිතට ධෛරීය දීලා.

Monday, May 27, 2013

වීදුරු කටු

එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්‍ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය.  වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව තිබුණු ඇඟ කිලිපොලායන සිසිලසත්, අවට පැවැති නිහඬතාවයත් හේතුවෙනි. සිදුවී ඇත්තේ කුමක්ද යනවග, මේසය මත තිබු අර්ධව දියබත් වූ කවි කොළයත්, සුළං සැර නිසා "ස්රෝස් ස්රෝස්" හඬින් තවමත් වැනෙන ජනෙල් තිරයත්, බිම තිබු වීදුරු කටු කීපයත් ප්‍රත්‍යක්ෂව පසක් කරද්දී, මේසය අසල තිබුණු  කිහිලි කරුවට වාරු වී ජනෙල් තිරය, ගුලිකර ගැටයක් ගැසුවේ කවුළු පියන් තවදුරටත් විවෘතව තැබීමට අවැසි යයි මට හැඟුණු නිසාවෙනි.

මේසය මත වූ හාෆ් ෂීට් කොලය මත විසිරුණු දිය බිඳිති, එහි වූ අකුරු කෙරෙහි මදකුදු හෝ අනුකම්පාවක් නොකර ඇති සෙයකි. දියබත් වූ අතීතයද, කිසිදාක නොවියලෙන ලාටු සේ මා ජීවිතයම වෙලා සිටිද්දී, එහි බලපෑම අවාසනාවන්ත ලෙස අනාගතයටද සරදම් කරද්දී, දෛවය නම් වූ ස්වභාව ධාර්මික න්‍යාය කෙරෙහි වෛරී සිතුවිලි මවෙතින් පහල වන්නට පටන් ගත්තේ අදක ඊයෙක සිටක නොවන බැව් මා හොඳාකාරව දනිමි.  මුවෙන් නික්මී ගිය සුසුම් සරින්, එදිය බිඳිති මදක් එහාට තල්ලු වී ගිය විනා, ළය සැහැල්ලු වීමක් සිදු නොවීය. හෙලන සුසුමක් පාසා ළය සැහැල්ලු වීනම්, මෙතුවක් වා තලයට මුදා හැරී සුසුම් හේතුවෙන්, මේ වනවිට මා ළය කුරුළු පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුය. සුසුම් ලමින් හදවත  සැහැල්ලු කිරීමට ගත් නිරර්ථක උත්සාහය හමුවේ මා මුව මත සිහින් උපහාසාත්මක සිනාවක් සටහන් වුන බැව් ඉදිරියේ වූ මේස කණ්ණාඩියෙන් අහඹුව දිටිමි. තමාගේම සිනහව කැඩපතකින් දැක, එහි ඇඳෙන ප්‍රතිබිම්භයට යලි යලිත් සිනාසීම අවසානයේ එය හුදෙක් විහිළුවක් බවට පත්වීම තුල කොතරම් දීර්ඝ අඛණ්ඩතාවක් පවතින්නේද යන සිතුවිල්ල, මා පුදුමයටත් වෙහෙසටත් පත් කරවීය.   දියබත් වූ කඩදාසිය මිටින් ගෙන ගුලිකර මේසය මතම රැඳෙන්නට හැර, නැවත රෝද පුටුවට වාරු වෙද්දී,  අපේක්ෂා නොකළ ලෙස ඇය, මාගේ බඳ වටා අත දමා එහි අසුන් ගැනීමට සහය වූ පසුවයි මා අවබෝධකොට ගත්තේ මෙතෙක් ඇයද, මා රඟපාන ලද ඒකපුද්ගල ජවනිකාවේ අනාරධනාත්මක ප්‍රේක්ෂිකාවක්ව සිටි බව.

මාගේ දෑස වෙත සරල රේඛාවක් ඔස්සේ වැටී තිබු ඇගේ දෙනෙත් තුල වුයේ ප්‍රශ්නාර්ථය මුසු  හැඟීමකි. බොහෝ විට, මා දෙනෙත් හා එක එල්ලේ බැඳුණු ඇගේ දෙනෙත දැකීමට මා කෙතරම් ප්‍රිය කලද මෙවර ඇගේ කැල්මේ සටහන් වූ තරවටුව, මා යම් තරමක් පසුගාමීත්වයට ලක් කළේය. කවුළුවට පිටුපා සිටි ඇය මාගේ දකුණු පසින් සිටගෙන සිටි අතර, ඒවනවිටත් කවුළුවෙන් හමා එමින් තිවූණු සුලන් රැල්, ඇගේ මුදාහල වරලස මත තැවරී කෙහෙරැලි අවුල් කරමින් සිටි අතරම ඊට නොදෙවෙනි රිද්මයකට ඈගේ දුහුල් රාත්‍රී ඇඳුමද නලියවමින් තිබිණ.

සුපුෂ්පිත පුෂ්පයක අනුරාගී සුගන්ධයත්, අමෘත මකරන්දයත්, ආරාධනාත්මකව බඹරුන්ට ඉඟි පානා කල්හි, නොසන්සුන්වන බඹරෙකු සේ මමත් නොසන්සුන්විය යුතුව තිබුනද,  කපා දමන ලද තුඩ හිමි බඹරෙකු වෙතින් එවන් ප්‍රතිචාරයක් කෙසේනම් බලාපොරොත්තු විය හැකිද යන්න කාරනාව පිළිබද ගැටළුවක් හට ගනී . රෝද පුටුවේ පැඩලය මත තිබුන අප්‍රාණික පාදය වෙත මාගේ දෙනෙත් යොමුව තිබුන අතර ඇය පියවර කීපයක් ඉදිරියට පැමිණ මාගේ හිස දෑතින් ගෙන ඇගේ ළමැදේ සිරකරගත්තාය. ඉනික්බිතව ඇය සෙමින් ඉකිබිඳින්නට වුවාය. ඈගේ පපු තලය මතින් දෝර ගලා ගිය උණුසුම, මා හිස හරහා ගොස් හදවත අභන්තර පටක පවා උත්තේජනය කරන්නාක් මෙන් හැඟිණි. විටක ජීවිතය පිලිබඳ දැඩි ලෝබ කමක් මෙන්ම විටෙක දැඩි වෛරයක් මවෙතින් පැන නගින්නට හේතුවූ ප්‍රධානතම කාරණාවලින් එකක් වුයේ ඇගේ කිසිදාක වෙනස් නොවනසුළු මේ උණුසුමය. බාගවිට, ඇය මෙන්ම ඇගේ සෙනෙහසද නොවන්නට, මා මීට බොහෝ වෙනස් පුද්ගලයෙකු වන්නට තිබිණි.

ඇගේ තුරුලෙන් බොහෝ පරෙස්සම් සහගතව මා මුදා හල ඇය, පසුපසට ගොස් රෝද පුටුව තල්ලු කරගෙන ගොස් සයනය අසල නතර වුවාය. කුෂන් ලේයර් කීපයක් මගින් සැදුම් ලත් මෙට්ටය මතින් අතුරන ලද ඇතිරිල්ල කෙතරම් සැපපහසු වුවත්, එය බුර බුරා නැගෙන ගිනිදැල් සහිත චිතකයක් සේ මට පෙනෙන්නට වුයේ ඇය හුල්ලමින් ඇඳේ වැතිර සිටිනායුරු දකිනා වාරයක් පාසා බව සමහර විටක ඇයද නොදන්නවා විය හැකිය. ඇය, මා සයනය මත හිඳ වීමට මහත් වෙහෙසක් ගත්තාය. අවසාන වශයෙන් රෝද පුටුව මෑත් කොට ගෙබිම මත ස්පර්ශ වෙමින් තිබුන අප්‍රාණික පාදයද දෝතින් ගෙන ඇඳ මතින් තැබුවාය.

"දෙයියනේ ලේ"  ඇය භීරාන්ත වී මදෙස බැලුවාය.. කලබලයට පත් වූ දෙනෙත පෙර ඉනූ කඳුළු වලින් දීප්තිමත්ව බැබලුනත්, එහි මහා අසරණ කමක් ගැබ්ව තිබුනේය.

"වීදුරු කටුවකට කැපෙන්න ඇති" වේදනාවෙන් තොර වූ පාදයෙන් ගලන රුධිරය දෙස හිස ඔසවා බලමින් මා පැවසුවේ සැහැල්ලුවෙනි.

"හොඳ වෙලාවට දෙවියනේ දැක්කේ..ලොකුවට එහෙම කැපිල නම් කාට කියන්නද"  ඇය වහා නැගිට තුවාලය පිරිසිදු කර වෙළුම් පටියකින් බැඳී නමුදු, සංවේදනයෙන් තොර පාදයට එයින් කිසිදු වෙනසක් නොදැනිණි.

මෙතරම් කල් වේලා ඇතුව අපේක්ෂා නොකලද, යන්තම් හෝ වාරුවෙන් සිටගන්නා ඉතිරි පාදයේ කෙලවර සිට හිස දක්වා හදිසියේ ගලා ගිය හිරියක්, ඉදිරියේදී ජීවිතයට අමතරව එක් කල ගත යුතු අවධානමක් පිලිබඳ අනතුරු හැඟවූයේ ඇය පැමිණ මා අසලින් වැතිර ගත්තායින් ඉනික්බිතිවය. විදුලි පහන නිවා දැමූයෙන් කාමරය අන්ධකාරයේ ගිලෙමින් තිබුනද, ඒ වනවිටද හැර දමා තිබුණු කවුළුව තුලින් අනාරාධනාත්මකව කාමරය තුලට පිවිසි සඳ එලියට දෑස  හුරු වීමට එතරම් වෙලාවක් ගත නොවීය.

"රිදෙනවද....?"  ඇය කතාවකට මුල පිරුවාය. සංවේදනයෙන් තොර අවයවයකට, වේදනාවක් නොදැනෙන වග, දැන හෝ නොදැන ඇය විමසුවේ මන්දැයි නොදනිමි.

"මගෙන්ද ඇහුවේ...?" පිළිතුරු දීම වෙනුවට පැනයකින් පිළිතුරු දුන්නේ කතාව දික් ගැස්සවීමට මටද වුවමනාව තිබුන නිසා වුවද,  ඊට වඩා මා අපේක්ෂා කලේ බැරෑරුම් මොහොතකට පසු ඇගේ මුවෙන් ගිලිහෙන දුලබ සිනාව දැක ගැනීමටය.

කිසිවිටකත් මා බලාපොරොත්තු නොවූ හීල්ලුමක් ඈ හෙලු අතර,  ඒ සුසුම තුල කෙතරම් හැඟීම් සමුදායක් කැටිව ඇත්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවිණි.

"අපර්ණා....!"

"ම්ම්..."

"පොරොන්දුවක් වෙන්න පුලුවන්ද...."

"ම්ම් මොකක්ද...."


"ම්ම්..නෑ..එ..එක්කොත් ඕනි නෑ....!.." සිතුවිලි වචන වලට පරිවර්තනය කල නොහැකි තරම් පීඩනයක් මා වෙලා තිබුනෙන් පසුබැසීමි.

"හ්ම්ම්...." ඇය ඒ පිලිබඳ වැඩිදුර නොවිමසීම ගැන මා සතුටු වුයේ අහම්බෙන් වුවද, එවන් කරුණක් නිසා සතුටු වීම, මා ජීවිතයේ එතරම්ම දුර්ලබ කාරනාවක් වන නිසාවෙනි.

"අපර්ණා..."

"ම්ම්.."


"මාව අත අරින්න..අපර්ණා..ඔයාගේ ජීවිතෙන් මාව අතාරින්න..ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න... ඔයා හොයන සතුටවත්, ගෑනියෙක් මිනිහෙක්ගෙන්, ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල්වලින් ගොඩ හරියක් මට ඔයාට දෙන්න බෑ..ප්ලීස් මාව අතාරින්න....මාව අතාරින්න." මට හැඬුම් ආවේය.

ඇය හා මා අතර පැවතියේ දැඩි නිහඬතාවක් වුවද කන් හාරවන ගොරහැඩි ශබ්ධයකට වඩා නිහඬතාව ප්‍රබලව දැනෙන්නේ මන්දැයි මම නොදනිමි.

"අනුරාධ...!.." ඇයගේ හඬේ යම්කිසි උද්වේගකාරී ආවේගයක් කැටිව තිබුන අතරම සියුම් මොලොක් ගතියක්ද, බලාපොරොත්තු සහගත හැඟීම් සමුදායක සංඛ්‍යාතයක්ද කැටිව තිබිණ.

"ජීවිතේ මං ඉල්ලුවේ එක දෙයයි...දෙවියෝ ඒ දේ මට දුන්නා..අඩුපාඩු ඇතුව වෙන්න පුළුවන්..ඒත් මම බලාපොරොත්තු වුන දේ ලැබුනා...මට ඒ ඇති.....ඔයාට මාව එපානම් නින්ද ගියාම මගේ හුස්ම හිර කරලා මරලා දාන්න....එච්චරයි.."

නැවතත් කන් අඩි පසාරු කරන දැඩි නිහඬතාවක් අප දෙදෙනා වෙලාගත්තේය. මා නිරුත්තර වුයෙන්, මුව අයාගෙන සිටිනවා විනා කළහැකි අන් යමක් නොවිණි.

බොහෝ විට ඇය ඇගේ හෘද ශාක්ෂියට එකඟව කටයුතු කරනවා විය හැකිය. එසේත් නැතිනම් දෙපා වාරු නැති අසරණයෙක් වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කොට පාරමිතාවක් පුරනවා විය යුතුය. ජීවිතය නම් වූ පුදුමාකාර මායාව තුල ආදරය නමැති ඇස් බැන්දුමට ඇය රැවටුනාද විය හැකිය. එසේද නොමැතිනම් දෛවය විසින්, ඇය ජීවිතය නමැති ක්‍රීඩාවෙන් පරාජයට පත්කළා වන්නට පුළුවනි. ඒ සියල්ලක්ම නොවේනම් සංසාරගත, ආත්මීයගත ආදරයක මේ භවයේ සම්පුර්ණ කලයුතු කොටස පුරවනවා විය හැක.

ජීවිතයක් ජීවත් කිරීමට හදවත් දෙකක් තුල ඇති ආදරය පමණක් සෑහේවිද යන උභතෝකෝටික පැනයට පිලුතුරක් ඇය මාගෙන් වෙන්වන දිනයක් එළඹෙන තුරා දිය නොහැකිය. එසේනම් මෙතරම් මා වෙනුවෙන් කැපවීමක් කරනා ඇයට ආදරය කිරීම කිරීම විනා විකල්පයක් මා සතු නොවන්නේ බව දැන දැනත් ඇයව අහිමි කරගැනීමට තරම් මසිත නොනැමෙන්නේ තවමත් සංවේදනයෙන් යුතු හදවතක් මා සතුව ඇති නිසාවෙන් විය යුතුය. නැතිනම් මාගේ ආත්මාර්ථකාමී හදවතේ බලපෑම නිසා නිසා උපන් හැඟීම හේතුවෙන් විය යුතුය  

"හ්ම්ම් අපර්ණා..අපි ජීවත් වෙමු"

''හ්ම් ජීවත් වෙනකම් ජීවත් වෙමු"
ඇය පැවසුවේ මා කවදත් ප්‍රිය කරන ඇගේ සිනාව පාමිනි.

මා අසල වැතිර සිටින ඇයගේ සිහින් සුසුම් මා ළය පසාරු කරන්නාක්මෙන් දැනිණි. ජීවිතය විඳින්නට බලාපොරොත්තුවක් ඇතිකරගෙන මා ඇගේ තුරුලේ  උණුසුමට තවත් ගුලි වුයේ, ආදරය කරන්නට හදවතේ සංවේදනය පමණක් ඉතුරු කරදෙන මෙන් දෙවියන්ගෙන් ආයාචනයක් කරමිනි.

Wednesday, May 1, 2013

අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !

පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින එක නවත්තල,  කැවුම කාලා වතුර ටික බිව්වේ ලබන අවුරුද්දෙත් නැකත් පත්තරේ හදන්න උන්දෑ ජීවත් වෙලා ඉන්න ඕනි හන්දා.

ආහාර දෙසාබෑමේ නැකත් වෙලාව උදා වෙන්න දැන් ඔන්න මෙන්න. අපේ ගෙදර බිත්තියේ පණ ඇද ඇද දුවන ඔරලෝසුවේ, හුචක්කු විනාඩි කට්ටට අනුව නම් හරියටම තව තප්පර තිහයි. මම ගිනිපෙල්ලක් පත්තු කරගෙන, අවුරුද්දේ නැකත් ගානට එක ගානේ ගෙනාපු රතිඤ්ඤා හතෙන් ඉතුරු වුන හතරවෙනි එක අරගෙන මිදුලට බැස්සේ දුප්පත්කම හිත මැද දරාගෙන, කඳුළු පිරුණු ඇස් දෙක, කලිසම් වාටියේ අතුල්ලන ගමන්. කඳුළු පිහින්න ගිහින් තව පොඩ්ඩෙන් ඇහි පිහාට්ට කලිසමේ සිප් එකේ පැටලෙනවා. හරියටම තප්පරේට රතිඤ්ඤා කරල පත්තු කරලා මිදුලට දාලා පැත්ත නොබලා ගේ ඇතුලට දිව්වේ, "මාව කාපන්, මාව කාපන් කියන්නැහැ" බැබලි බැබලි තිබ්බ කිරිබත් පිඟානටයි හත්මාලුවටයි බැටේ දෙන්න.

දුවලා ගිහින් කිරිබත් පිඟාන අතට ගන්නවත් එක්කම රතිඤ්ඤා කරල පත්තු වුනා ඇහුණා. ඒත් දෙයියනේ, ආච්චිට හාල් ගරන්ඩ, මේ ඇහෙන නවතින්නැති සද්දේ නම් එන්නේ පත්තු වුන රතිඤ්ඤා කරලේ දෝංකාරෙවත්, අල්ලපු ගෙවල්වල රතිඤ්ඤා සද්දෙවත් නෙමෙයි කියලා මට ලාවට ලාවට සෙන්ටිමෙන්ටල් වෙනකොට, මෙන්න බොලේ අපේ ආච්චි චීත්තෙ කැහැපොට ගහගෙන කාටද දෙස් දෙවොල් තියනවා. මමත් නිකමට වගේ හොම්බ දාලා බැලින්නම් මිදුලේ වනලා දාපු ආච්චිගේ පරණ චීත්තයක් රැල් රැල් වෙලා ශැල්ලඩේ වගේ. ආච්චි සුන්බුන් වෙච්ච කඩමාල්ල දිහා බල බල, රතිඤ්ඤ දාපු එකාගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා.... බනිනවා, අම්බානක කිබුහුම් යවනවා..... බනිනවා...අම්බානක කිබුහුම් යවනවා.  මං ආච්චිගේම මුනුපුරා වෙච්චි කොට, උන්දැට කිබුහිම් නොගියොත්නේ පුදුමේ.

මම කාලා අත හෝදනවත් එක්කම රම්බාගේ ගෙවල් දිහායින් හෙන සද්දෙට රතිඤ්ඤා වැලක් පත්තු වෙන සද්දේ ආවා. මං හිතන්නේ උන්ට තක්කෙටම නැකත ලැබුවේ දැන්. එතකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

""Machan, raitar weri butiful niw iyar....aaaa..!  gedara oralosuwe batari bahala ban, welawa yanawaa horayi. alam eka wadune na...ithin uyanna parakku una."
(මචං රයිටර්, වෙරි බිව්ටිෆුල් නිව් ඉයර් ඈ.. ගෙදර  ඔරලෝසුවේ බැට්රි බැහැලා බං, වෙලාව යනවා හොරයි. එලාම් එක වැදුනේ නෑ..ඉතිං උයන්න පරක්කු වුනා. "

මමත් හා හපුරා කියලා අවුරුද්දට වැඩ ඇල්ලුවේ, ඌ එවපු බ්‍රොන්කයිටිස් මැසේජ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා. අනේ ඉතිං මේ දුක මම කාට කියන්නද. ඉතුරු වෙලා තියන රතිඤ්ඤයක් කටේ පත්තුකරගෙන මැරෙනවා මිසක්.

--------------------------------------------------------------------------------------------------------

පහුවදාම අපේ ගෙදර උදවිය පුංචි අම්මලාගේ දිහා නෑගම් යන්ඩ කියලා පාරට බැස්සා. අරං යන්ඩය කියලා විශේෂ දෙයක් නැතිකොට,  ඉතුරුවෙච්ච කැවුම් කොකිස් ටික කාඩ් බෝඩ් පෙට්ටිවලට දාල අලුත්ම අලුත් ගිෆ්ට් ව්රැප් කොළවලින් ඔතමු කියලා යෝජනාව දැම්මේ අපේ අක්කා. අම්මාපා මට ජීවිතේ පලවෙනි වතාවට එක කුසේ උපන් සහෝදරිය ගැන මහා පුදුම ආඩම්බරයක් වගේ එකක් ඇති වුනා. කොහොම කොහොම හරි රෙදි කඩාගෙන, සෙරෙප්පු කඩාගෙන, දාඩිය පෙරාගෙන බරට බරේ උස්සන් එන අපේ නෑදෑ පිරිවර දැකලා පුංචිගේ නිකට බෙල්ලේ. අපරාදේ කියන්ඩ බෑ සිරියාවන්ත හිනාව. ඒ ටිකම මදැයි මහන්සිය මැකිලා යන්ඩ. අපි බරට බරේ ගෙනාපු තෑගී පාර්සල් ලිහනකොට තමයි පුංචිට බඩ යන්නේ දෙපිටින්. අවුලක් නෑ ඉතින් ආයේ මෙහෙ එන්නේ ලබන අවුරුද්දටනේ.

මං ගෙට ගොඩ වෙනකොටම බාප්පා මං දිහා හෙන පජාත ටයිප් බැල්මකින් බැලුවා.

"පුතාද අර ඉන්ටොනෙට් එකේද මොකේද ලියනවා කිව්වේ, අපේ කෙල්ල කියනවා මම අහගෙන"

මම එකපාරට ගෙටවෙච්ච ලමිස්සියක් වගේ ඇඹරි ඇඹරි සුලඟිල්ල කටේ දාගෙන , "ඔ..ඔ...ඔව් බාප්පේ..මම තමයි" කියලා, යටිබඩට දැනිච්ච මෙව්වා එක දරාගෙන කිව්වා.

"හොඳයි හොඳයි..හැබෑටම කොහෙද ඔය ඉන්ටෝනෙට් එක තියෙන්නේ..ආඩම්බරයි ආඩම්බරයි පුතේ...ලියවන පට්ටලේක රස්සාවක් හොයා ගන්න එකත්  අද කාලේ හැටියට ලේසි පහසු දෙයක් නෙමෙයිනෙව..?" බාප්පා කින්ඩියට හිනා වෙනවා මම දැක්කා. අනේ වලාමේ...මේවගේ උතුම් නෑදෑයෝ ලබන්ඩ මම ගිය ආත්මේ කොහොම පිනක් කරන්න ඇත්ද...?

අවුරුද්දේ කියලා බලන් නැතුව, බාප්පා ඇඳන් උන්නු සරම ඔලුවෙන් ගලවලා උගේ බෙල්ල වටේම ඔතලා හොම්බට දෙකක් ඇනලා පැනලා දුවන සයිස් කේන්තියක් මට ආව. උගේ හිතේ මම ලියවන පට්ටලෙක වැඩ කරනවා කියලා. කවදා හරි, ඔව් කවදා හරි, ලංකාවේ පත්තරේක එඩිටර් කෙනෙක් අහම්බෙන්වත් මගේ බ්ලොග් කට්ට කියවලා දුක හිතිලා මට පත්තරේට ලියන්න කතා කරනකම් මම බලාගෙන ඉන්නවා. මු ඉඳගෙන ආච්චිගේ චීත්තෙ මල් ගණන් කරනවා.

එතන මගෑරලා මම කුස්සිය පැත්තට ගියා නිකමට වගේ. නිකමට කිව්වට එහෙමටමත් නෙමෙයි. පුංචිගේ හුරතල් නංගිලා දෙන්නා කොයි කියලා බලන්න. අපේ කට්ටියම කුස්සියේ තැන තැන ඉඳගෙන තේ පැන් සංග්‍රහය භුක්ති විඳිනවා. අපේ ආච්චි කුස්සියේ තියන නා නාප්‍රකාර සුකුරුත්තම් අල්ල අල්ල බල බල, පුංචි එක්ක දබ කයිවාරුවේ.

"මේක ගත්තේ කොහෙන්ද දුවේ..?"

"අහවල් දිහායින් නැන්දම්මේ"

"එතකොට මේක ගත්තේ කොහෙන්ද දුවේ"

"ආ ඕක අහවල් එකට එහා අහවල් එකෙන්  නැන්දම්මේ"

"ඈ දුවේ..හරි අපුරූ තේ මඩිය..,මං මේ කල්පනා කලේ මම මේවගේ පාට එකක් කොයිදී හරි දැක්කා වගේ..මේක ගත්තේ කොයින්ද දුවේ...?"


"ආ දන්නැද්ද...ඉතින් ඔය අපේ එක්කෙනාගේ වැඩනේ නැන්දම්මේ..එයා ගෙදර ඕක හැදුවේ..ඕකේ අනික් එක වැලේ වනලා ඇති ඕන්."

"වැලේ...ඒ මොකෝ දුවේ මඩිය වැලේ වනන්නේ..?" ආච්චිට සැකේ හින්දමද කොහෙද අහපි.

"නෑ නෑ මඩිය නෙමෙයි...නැන්දම්මා දැක්කයි කිව්ව අනික් එක" අපේ කුතුහලේ ඩබල් ට්‍රිබල්, ෆ්රෝබල් කරලා පුංචි කියපි. අපේ අක්කා තේ කෝප්පේ හපාගෙන කතාව අහගෙන.

ඔය අස්සේ කැහිල්ලට වගේ මමත් නිකමට වගේ ජනේලෙන් හොම්බ දාල බැලුවා රෙදි වැල දිහා. කාලා වරෙන්කො කැකිරි කිව්වලු..රෙදි වැල මැද මහා තේජසින් වැජඹී වැජඹී තිබුන දේ දැකලා මට ඔක්කාරෙට ඇවිත් ඔලුව කැරකෙන්න ගත්තා. මයිසුර් විතරක් ඈ පරිප්පු කියන්නේ කියලා මම ආපහු කතාව පැත්තට හැරුනේ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි හින්දා.

"මේ අලුත් අවුරුද්දට දුවලා දෙන්නට පොලෙන් අන්ඩර්පෑන්ට්ස් දෙකක් අරං ආවා.. ඇඳලා බැලින්නම් ලොකුදුවට මදි.... ඉතිං ආපහු ගිහින් දෙන්න යෑ.... අහක දාන්නේ මොකටද.. සල්ලිනෙ.. අපරාදෙනේ... නැද්ද හා..... අපේ එක්කෙනා එකෙන් මඩියක් හැදුවා.... අපරාදේ කියන්න බෑ.... යස අගේට පෙරෙනවා"  පුංචි හෙන උජාරුවෙන් කියපි.

අක්කට බිබී හිටපු තේ උගුර ඉස්පොල්ලේ ගියෙත්, අපේ ආච්චි පපුව අල්ලාගෙන බිම ඉඳ ගත්තෙත්, මගේ කකුල් දෙක පණ නැතිවුනෙත් හරියටම එකම තප්පරේදී කියලා, කලන්තේ හැදිලා ඇහැ පියවෙන්න තප්පරේට කලින් හින්තේරුවටම මම දැක්කා.

Saturday, April 20, 2013

කාමර අංක "නමය"

කතිකා කරගත් පරිදි ගනුදෙනුවෙන් හරි අඩක් අහවර වූ කල්හි ඉතිරි අඩ සම්පුර්ණ කරනු පිණිස ලැබුණු යතුර අතැතිව මා පටු කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියේ කාමර අංක "නමය" සොයා ගනු පිණිසය. බාගවිට නමය නපුරු විය හැක. එනමුදු විකල්ප නොමැති බැවින් එයම තෝරාගත යුතුව ඇත. අඳුරු බිම්ගෙයක් වැනි කොරිඩෝව දිගේ ඇවිද යන විට වාදනය වූ මිහිරි ඉංග්‍රීසි ගීතයේ මාත්‍රාව හදවත ස්පන්දනය වූ මාත්‍රාවට වඩා බොහෝ පහල අගයක් ගත්තේය. එකිනෙකට බොහෝ ඈතින් පිහිටි කෙටි වීදුරු කවුළු තුලින් පෙරී ආ සඳ එලිය, අඳුර පරයා ටෙරාසෝ බිමෙහි ගුප්ත රටා මවමින් තිබිණ. අරමුණ කරා මා ඉදිරියට තබන සෑම පියවරක්ම,  බොහෝ දෙනෙකුගේ ජීවිතවල අනාගතය තීරණය වන තීරණාත්මක සාධකයක් බවට පරිවර්තනය වෙමින් තිබිණ. මින් පෙර නොදුටු ඇයගේ නමද මාගේ නමද එම ලැයිස්තුවේ ඉහලින්ම සටහන් වීමට නියමිතව තිබුන අතර සෙසු නම් ඊට පසුගාමිව තිබිණ.

මැදගිල්ලෙන් අගුල් දා තිබු දොරටුවට කීප වරක් තට්ටු කර, අතැති යතුරෙන් දොර පළුව විවර කරගෙන මා කාමරය තුලට බට කල්හි නාසයට දැනුන මිහිරි සුගන්ධය, දල්වන ලද හඳුන්කුරක දුමක් නිසා හටගත්තක්ද නැතිනම් අන් කුමක් නිසා ගටගත්තක්ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් තව්සන්ගේ පවා දැහැන් බිඳීමට සමත් සිත කළඹන අනුරාගී උත්තේජකයක් ඒ සුවඳ තුල කැටිවී තිබුන බවනම් ඉඳුරා පැවසිය හැකිය. හිසට ඉහලින් නෙත් යොමුකළ කල බිත්තියේ තිබු ඔරලෝසුවේ රාත්‍රී දහය සටහන් වීමට මිනිත්තුවක පමාවක් සටහන් වී තිබුණි. ගිවිසුමට අනුව පැයක් වැනි කෙටි කාලයක් තුලදී ගනුදෙනුකරු වන මාගේ අවශතා සපුරා ගත යුතුය. ඒ සඳහා ඇයද සුදානමින් සිටින වග සැකහැර දැනගැනීමට කාමරය පුරා මා දෙනෙත් වෙහෙසුවෙමි. සිවු කොනේ දැල්වුණු බිත්ති පහන් වලින් ප්‍රභාශ්මිත වූ මන්දාලෝකය, අනුරාග සිතිලිවිලි මවෙතින් බලෙන් පැහැරගන්නා බව හැඟුනි.

සයනයට යාබදව දිලිසෙන මතුපිටක නිමාවකින් යුත් ටීපොවක් මත වූ දල්වන ලද ඉටිපන්දමක ආලෝකය තුලින් මා ඇගේ ආරාධනාත්මක ගනුදෙනුකාර දෙනෙත් දුටුවෙමි. ඇය දුටු කෙනෙහි මාගේ මුව මත සටහන් වූ සිනාව කවර හැඩහුරුකමක් ගත්තාදැයි නොදනිමි. බොහෝවිට හැඟීම් විරහිතව ඒ සිනාව කෘතීම ස්වරුපයක් ගන්නට ඇතැයි විශ්වාස කරමි. පය උස්සා ඉදිරියට පියවර තැබීම වෙනදාට වඩා ආයාසකර විය. නිසැකවම මා ඇය දෙසට පියවර තැබුවේ දෙපා බිම අද්ද අද්දා විය යුතුය. මා ඈ වෙතට කිට්ටු වී සයනය අසල තිබුන පුටුව මත හිඳ ගත්තේ ටයි ගැටය මදක් ලිහිල් කරමිනි. ඈ මා දකින සෑම අවස්ථාවකදීම පුරුදුකාරයෙක් ලෙස හැසිරීමට මා කෙතරම් උත්සාහ කලද අත්දැකීම් විරහිත අතීතය විසින් ඊට බාධා පැමිණවීය. මාගේ දෙනෙත් දෙස එක එල්ලේ බැලු ඇගේ මුව මත දඟකාර සිනාවක් සටහන් විය. උඩුකුරුව දුහුල් ඇඳුමක් ගත දවටා, සයනේ වැතිර සිටි ඇය ඇඳ වියල මත තිබු සාළුවක් ගෙන ළමැදට තද කරගෙන හදිසියේ නැගිට සිටියාය.

"කොහෙද යන්නේ" නොරිස්සුම් සහගතව මම විමසුවෙමි.

"වොෂ් එකක් දාගන්න"

"හ්ම්ම්...ගොඩක් වෙලා ගන්නවට මම කැමති නෑ"  මම අකමැත්තක් මෙන්ම බොරු හදිසියක් මවා පෑවෙමි.

"හ්ම්ම්..නෑ..ඉක්මනින් එනවා"

ඇය නාන කාමරයට ගොස් දොර වසනු වෙනුවට අඩවන් කරන ලද දොර පියන මත රැගෙන ගිය සාලුව රැන්දුවාය. ඇගේ ගත ගල්වන ලද සුවඳ විලවුන්වල සුවඳ ඇය නාන කාමරයට ගොස් බොහෝ වෙලාවක් යන තුරුත් මා වටා සැරිසැරීය. කරාමය තුලින් ගිලිහෙන ජල බින්දු ටයිල් පොලව මත වැටෙන හඬට පසුව මොහොතකින් සුමුදු ෂැම්පු සුවඳක් හැමීය.  ලැබුණු අවසරයෙන් මා අත තිබුණු දුරකතනයේ කැමරාවෙන් ඇයගේ කුටියේ චයාරුප දෙක තුනක් ලබා ගතිමි. සයනය අසල පිහිටි මේසයේ ලාච්චුව තුල වූ කොපි පොත පුරා මුතුවන් අකුරුවලින් කුරුටු ගෑ කවි කීපයක් හැරුණුකොට සෙසු පිටුවල ලියා තිබුනේ ඇගේ ජීවිතය යැයි මා අනුමාන කලද නිසැකවම ඒ බව තහවුරු කර ගැනීමට කාල වෙලාව හරස් විය.   අන්තිම පිටුව පෙරලද්දී චායාරුප කීපයක් අතරින් ඇයත් ඇගේ පෙම්වතා යයි සිතිය හැකි ඉලන්දාරියෙකුගේ චයාරුපයකුත් කුඩා සිඟිත්තෙකුගේ චායාරුපයක්ද මගේ අවධානය දැඩිව පැහැර ගන්නට සමත් විය. හදිසියේම නාන කාමරයේ දොර කිරි කිරි හඬ නැගුවෙන් මා අත වූ පොත ලාච්චුව වෙත විසි කලේ සයන මත උඩුකුරුව දිගා වෙමිනි.

නාන කාමරයෙන් එලියට පැමිණි ඇගේ ළමැද හරහා දෙදනට බොහෝ ඉහලින් සාලුව එතී තිබුනද,  නාරි දේහයේ වැඩි වපසරියක් ආවරණය කිරීමට එයට නොහැකි විය. ඇය තෙත බේරෙන වරලස පිට මැදට මුදා හැර සෙමින් පැමිණ සයනයේ මා අසලින් වැතිර ගත්තාය.  වරලස දීප්තියෙන් බබලන්නට වූ අතර එවෙතින් හැමූ සුගන්ධය, නන්නත්තාරව හැල්මේ දුවන අසම්පුර්ණ ජීවිත සනහාලන්නට උත්තේජකයක් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවින.  කුෂන් මෙට්ටය මත වැටී තිබුණ මාගේ වමත ඇය තදින් ග්‍රහණය කරගත්තාය. සයන මත ඇලයකට හැරී ඇය දකුණතන් මාගේ ඇඟිලි තෙරපන්නටත් වමතින් මාගේ භාහුවේ ඉහල සිට පහළටත් රිද්මයානුකුලව පිරිමදින්නට විය. මට ඇය කෙරෙහි ඒ මොහොතේ ඇති නොවිය යුතු අනුකම්පාවක් දැනින. මා අගේ දෑස් දෙස හොරැහින් බැලුවෙමි. හීනියට මෝදු වූ කඳුළු කැටයක් ඇගේ ඇසක් අග්ගිස්සේ නලියනවා දුටුවත් ඒ කුමක් අරබයාද යන්න මම නිසැකවම නොදැන සිටියෙමි. බොහෝ විට ඇගේ ජීවිතය පිළිබඳව මෙන්ම  ඇගේ හැඟීම් සියල්ල පිළිබඳවත් ඒ නිහඬ කඳුළු කැටය එදා මෙදා තුර සාක්ෂි දරනවා විය හැක.

"මොකද කරන්නේ..ඇයි මෙච්චර වෙලා ගන්නේ...?" ඇය කුතුහලය මිශ්‍ර සිහින් හඬකින් විමසුවාය.

"මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද.....?" සැලසුමට අනුව සිදුවිය යුත්ත ලෙස පමා කිරීමට වුයෙන් එසේ කල්මැරීමට මා උපක්‍රමශීලී වුනෙමි.

"කතා කරන්න.?..මට...?..කතා කරන්නද මෙච්චර වියදම් කරලා මාව හොයාගෙන ආවේ..?" ඇය එකම වැකියක් ප්‍රශ්න තුනකට ගොනු කලේ විමතියෙනි.

"මං කියනදේ අහන්න මට ඕනි නෑ ඔයත් එක්ක එහෙම හැසිරෙන්න..කරුණාකරලා මම කියනදේ තේරුම් ගන්න...මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මට ඕනි ඔයා ගැන විස්තර ටිකක් ගන්න....සමාජවිද්‍යා පරීක්ෂණයකට" ඇදබෑවේ මුසාවක් වුවත් ඇයට නොහැඟෙන සේ කීමට වගබලා ගත්තේ  මින් මත්තට සිදුවීමට යන දේ මා හොඳින් දන්නා නිසාවෙන්, එමඟින්  ඇය මදකින් හෝ පමා කිරීමට හැකිවේයැයි මට ඒත්තු ගිය නිසාවෙනි. ඈ මවෙත හැරී ගත දවටා සිටි සාලුව රැඳි තිබු ගැටය මුදා හැර සයන මත උඩුකුරුව වැතිරුනාය.

"මහත්තයා මේ..විකාර නැතුව මට බණ දේශනා කරන්නේ නැතුව ආව නම් ආව වැඩේ කරගෙන යනවද.........." ඈ පැවසුවේ කැරකෙන පංකාව දෙස බලමිනි.

"........මම මීට කලින් ඔයිට වඩා උපාසක බබාලා දැකලා තියනවා...හොඳ හිතින් කියන්නේ.....මට බණ දේශනා කරන්න විතරක් එන්න එපා...මොකද මට දැන් ඔව්වා අහලා තිත්ත වෙලා තියෙන්නේ...තමුන් අහන්න යන දේත් මම හොඳට දන්නවා..කොහොමද ඔයා මේ රස්සාව පටන් ගත්තේ..?. ඇයි ඔයාට හරි තීරණයක් ගන්න බැරි වුනේ මේ ජරා රස්සාවෙන් මිදෙන්න.?.ජීවිතේ ආයේ පටන් ගන්න පුංචි හරි උත්සාහයක් ගන්නේ නැද්ද....? ඔය ටේප් එක තමයි ඕවගේ එවුන්ගේ කටේ තියෙන්නේ..මහත්තයා මේ ........කරුණාකරලා මාව යකා අවුස්සන්නේ නැතුව මාව මරාගෙන කාපන්..දෙයියන්ගේ නාමෙන් මාව මරාගෙන කාපන්." 

ඇයට අන්තිම වචන පිටවෙද්දී හැඬුම් ආවේය. සත්තකින්ම මේ මෙහෙයුම අත්සන්කර භාරගැනීම පිලිබද මා බොහෝ සේ පසුතැවෙන්නට වීමි. දෙනෝදාහක් දෙනා ඉදිරියේ නිරුවත් වුවා වැනි හැඟීමක් මට දැනුන අතර ගිනියම් වී දියාරු වූ  හැඟීම් පර්වතයක් සේ ස්ථාවර කර ගැනීමට මා මහත් උත්සාහයක යෙදුනෙමි. මා මාගේ ජීවිතය සරිකරගැනීමට මේ රැකියාව කලයුතු වුවා සේම ඇයද ඇගේ ජීවිතය ජීවත් කරවීම සඳහා මේ රැකියාව කල යුතුව ඇත. කෙකුගේ රැකියාවක් තවත් කෙනෙකුගේ රැකියාවක් පිලිබඳ දැඩි තීරණයක් ගන්නා විරල අවස්තාවකට මා මුහුණ දෙමින් සිටියෙමි. 

ආශ්වාස ප්‍රාස්වාස හමුවේ වේගයෙන් උස්පහත් වන ඇගේ නග්න ළමැද අසාමාන්‍ය ලෙස  ගැහෙන්නේ ඇය කෝපයෙන් පසුවන නිසා විය යුතුය..එසේ නොවන්නට ඇය මළකඳක් මෙන් නිසලය.මොහොතකට පෙරාතුව අපහසුවෙන් දරාගත් පුපුරා පිටාර යන්නට තැතනු මාගේ හැඟීම් හද පතුලේ මහත් සටනක යෙදුනේ ඇගේ මුවගින් සිහින් ඉකි එකින් එක  පිටවෙද්දීමය..සැලසුම් සහගතව සිදුවිය යුත්ත පෙර පරිදි පමා කල යුතු වුයෙන් මා ඇය වෙත හැරී ටයිපටිය ගලවා දමා කමිසයේ බොත්තමක් සෙමින් පැන්නුවේ ඇය වෙත ආරාධනාත්මක බැල්මක් හෙළමිනි. ලැබුණු අවසරයෙන් ඇය සයන මත බඩගාගෙන පැමිණ මගේ හිස බදාගත්තාය. ඉනික්බිතිව මාගේ බඳවටා දෑත යවා කලිසමේ බඳ පටිය සෙමින් ලිහිල් කලාය.

"ඔයා මෙතන  ඉන්නේ එක හිතකින්....එක හැඟීමකින් නෙමෙයි. ඇත්තම කියනවනම් ඔයා මේ කරන්න යන දේ ගැන පසුතැවෙනවා. මම හරිනේ ...?...!" එවර ඇය සන්සුන් වූ සෙයකි. ඇය පැවසුවේ මාගේ කන්පෙත්තක් සෙමින් විකමිනි......"ගණන් ගන්න එපා...මෙහාට ආව හැමෝම එහෙම තමයි..ටික දවසකින් ඔක්කොම හරි යනවා" ඇය මුවගින් නක්කලේට සිනාසුනද ඒ සිනහව තුල කිසියම් අනුරාගී බවක් ගැබ්ව තිබුනා යයි මට හැඟිනි. 

" ඉස්සෙල්ල මට කියන්න ඔයා මේ දේ කරන්නේ එක හිතකින්ද එක හැඟීමකින්ද..?" මම පෙරලා ප්‍රතිඋත්තර දුන්නේ හදවතට වහල්වූ හැඟීමක පීඩනයට ගොදුරු වූ නිසාවෙනි. දෙදෙනා දෙදෙනාට නැගු ප්‍රශ්නාර්ථ හමුවේ ඇය මෙන්ම මාද නිරුත්තර වීමු. ඇය සුසුමක් හෙළුවාය. සුසුමකටත් වඩා එය හීල්ලුමකි. අප දෙදෙනා අතර පරතරය බොහෝ සේ අඩුවුයෙන් ඇගේ හීල්ලුමේ කැටිව තිබුණ උණුසුම මා සවන් පෙති හිරි වැට්ටුවේය. ගිනියම් වූ අගේ හදවතේ නලියන වේදනාව කෙතරම්දැයි පසක් කරගැනීමට මාහට එය සෑහුනි.

"ජීවිතේ කියන්නේ සෙල්ලමක් මහත්තයා........" ඇයගේ දෙනෙතේ ගැබ්ව තිබුනේ සතුටක්ද, දුකක්ද එසේත් නැතිනම් කිසියම් පසුතැවීමක්ද යන්න මට තෝරා බේරා ගැනීමට නොහැකිවිණි. ඇය සිනාසුනාය, වරෙක හීල්ලුවාය.  "......අද මං දිනනවා..හෙට ඔයා දිනනවා..සමහර විට අපි දෙන්නම දිනනවා,...එහෙම නැත්තම් දෙන්නම පරදිනවා...වටේ ඉන්න මිනිස්සු මේ සෙල්ලම දිහා බලා ඉන්නවා...හිනා වෙනවා...චෝදනා කරනවා අපහාස කරනවා...ඉතින් උන්ගෙන් බේරෙන එකම සෙල්ලමක් නෙමෙයිද මහත්තයෝ" ඇය ගිරිය යටින් සිනාසුනෙන් මා වික්ෂිප්ත වීමි.

"මට විනාඩියක් දෙන්න..." කියමින් න් මා නැගිට නානකාමරය දෙසට පිය නැගුවේ  හැඟීම් වලට වහල් නොවී ගනුදෙනුව මෙතෙකින් හමාර කලයුතු නිසාවෙනි. ඇය මදෙස දවා හළු කරවන තරම් බැල්මක් හෙලීය. සිත තුල ජනිතවූ හැඟීම් ආයාසයෙන් හදවත තුල අකර්මන්‍ය කොට දුරකථනය ගෙන යැවිය යුතු කෙටි පණිවිඩය යැව්වෙමි.

"evry thngs al rght...its ur chance"

මා නාන කාමරයෙන් පිටතට පැමිණෙන විට පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ද නිලධාරිනියන් කීපදෙනෙක්ද පැමිණ සිටියහ. සයන මත ඇතිරිල්ල විසිරි ගොස් ඇත. බොහෝ දුරට ඇය පලා යන්නට උත්සාහ අරන්නට ඇත. ඇද වියලට හිස තබාගෙන විලංගු ලු දෑත උකුල මත තබාගෙන ඇය ඉකිබිඳිමින් සිටියාය.

"වෙල් ඩන් ඉන්ස්පෙක්ටර් යූ ඩිඩ් දැට්....වෙයිට් ෆොර් ද ප්‍රොමෝෂන්"
සෙසු සගයින් මට සුභ පතන්නට වුවත් මා හැඟීම් විරහිතව ඇය මෙන්ම වික්ෂිප්තව සිටි නිසා එතරම් ඒ පිළිබද සැලකිල්ලක් නොදැක්වීමි.

ඇඳ මත ඉකිබිඳින ඇයගේ දෙනෙත් රත්පැහැයෙන් නලියමින් තිබිණ. නිසැකවම ඒ දෑස දෑස් වෛරයෙන්  මට සාප කරනයුරු මා හොඳින් දුටුවෙමි.

පෙර පරිදිම ඉතා අපහසුවෙන් මා ඇයට ලං වුනෙමි.

"මට සමාවෙන්න..මම කලේ රාජකාරිය"

මා එය කියා අවසන් වනවාත් සමගම ඇය අප්‍රසන්න අයුරින් කාරා මගේ දෙපතුල මුලට කෙළ ගැසුවාය. එකෙනෙහිම කාන්තා පොලිස් නිල්ධාරිවරියන් ඇයගේ කෙස් වැටියෙන් අල්ලාගෙන කාමරයෙන් පිටතට රැගෙන ගිය අතර සෙසු මා මිත්‍ර සගයින් අවඥාවෙන් සිනාසෙන හඬ ඇසිනි 

මා තැබූ පියවෙරෙන් ඇයගේත් මගෙත් තව බොහෝ දෙනකුගෙත් ජීවිත එසේ තීරණය වුවද ඒ පිලිබඳ නිවැරදි අර්ථකතයක් දීමට අදවෙන තුරු මා අපොහොසත් වුනෙමි

Wednesday, April 10, 2013

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

එදා හරියටම අප්‍රේල් පළවෙනිදා. මං සරමේ ගැට්ට හපාගෙන තද නින්දක හිටියේ. හැමදාම උදේ ඇහැරෙනකොට සරම ඇඳ පල්ලේ වැටිලා තියන ඇවටියෙල් දර්ශනේ දකින්න අකමැති නිසා මම දැන් රෑට නිදා ගන්නේ සරමේ ගැට්ටක් කටින් හපාගෙන. ළඟදීම ඒ හඳුන්වාදීම ගැන පත්තරේකට ආර්ටිකල් එකක් ලියන්න හිතාන ඉන්නේ. කොහොමද කියහන්කෝ කරුමෙට නොබෙල් තෑග්ග එහෙම හම්බුනොත්. ඉස්සර වගේ නෙමෙයි දැන් පට්ට පාන්දර වුනත් බොක්ක තැම්බෙන්න දාඩිය දානවා. තුන්කාන්දෙන් පෙරෙන දාඩියවලින්  පෙඟුන හරියටම අවුරුද්දකට විතර කලින් හෝදපු මගේ සරං කොටෙන් හමන සුගන්ධවත් සුසිනිදු හඩු ස්මෙල් එක මාව මුළු රෑම දරුණු නින්දකට ඇද දාන එකනම් ඇත්තටම වාසනාවක්.

රයිටර් සීරිස් එක පටන් ගත්තත් හරි අම්බානක කතා ලියන්න පටන් අරං තියෙන්නේ මං හෙනකඳයා වගේ දපලා නිදාගෙන ඉන්නකොට අර රම්බා කියන වල් කෑදැත්තා ඇවිත් ඇහැරවපු සීන් වලින්. ඒත් වර්ෂ දෙදාස් දහතුනක් වූ අප්‍රේල් පළවෙනිදා දවසත් මට එහෙම කතාවකට වස්තු බීජය කරගන්න වෙයි කියලා මම තුන් හිතකින් තියා එක හිතකින්වත් හිතුවේ නෑ.

කොහොම හරි මම ඇහැරෙනකොට රම්බා හිටියේ ඇඳ ළඟ පුටුවේ ඉඳගෙන අතකින් නහයක් වහගෙන. මම ගැස්සිලා ඇහැරුනේ සීවරන් දෙයියන්ගේ වයිෆ් මතක් කරගෙන.

"මොනවද බං උඹ මැනර්ස් දන්නේ නැද්ද....?"

"සිරාවටම මොනාද බං මැනර්ස් කියන්නේ, පයිතගරස් වගේ ප්‍රමේයක්ද..?" රම්බා හෙන අවඥාවෙන් වගේ ඇහුවේ ඇස් දෙක වොලී බෝල් සයිස් කරගෙන.

එතනින් එහාට කතා කරලා වැඩක් නැති හින්දා මම කට වහගෙන හිටියා.

"නෙදකින් බං රයිටර්..ඔය සරම හෝදපන්කෝ..බලපන් හඩු ගඳ...මට ඔක්කාරෙට එනවා"

"මගුලක් කතා කරනවා..දෙයියනේ කියලා රෑ එලි වෙනකම් නින්ද යන්නේ මේ පුසුඹ නහයට දැනෙනකොට....උඹ හදන්නේ මට ඒ සැනසීමත් නැති කරලා දාන්නද" හෙන අහිංසක බැගෑපත් ලීලාවෙන් මං කිව්වා.

"අනේ දෙයියනේ කොහේ හරි ස්වේච්චාවෙන් සංවිධානෙකින් ඉදිරිපත් වෙලා මුගේ සරමයි කොට්ට උරෙයි හෝදලා දීලා සාන්ගීක දානයක් දුන්නා හා සමාන පිනක් අයිති කර ගනිත්වා....." රම්බා දොහොත් මුදුන් තියාගෙන දත්මිටි කකා වැඳ වැඳ ප්‍රර්ථනා කරා.

"රයිටර්....මාර සීන් එක බං.."

"ඇයි මොකෝ වෙලා තියෙන්නේ..බං අර ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව හරි පාරටවත් වැටිලද..අනේ වාසනාවන්..! එහෙම නැත්තම් උඹ කියන්න හදන්නේ ඒකට බඩු මැන්ගුස් වෙලා කඩාවැටෙන්නේ අපේ ගමට කියලනම් කරුණාකරලා ගිහින් ඕක කියලා වරෙන් කොල්ලුපිටියේ හංදියේ ඉන්න කොණ්ඩේ ස්ට්‍රේට් කරපු චයිනීස් කෑල්ලකට...මොකද අද දවස ගැන මම හොඳට දන්නවා...කොටින්ම කියනවනම් උඹල වෙනුවෙන් අන්තර්ජාතිකව පත්කරලා තියන දවස ගැන වෙන මොනවා දැන ගන්නද බං"

එක දවසක් හරි උන් වගේ එවුන් වෙනුවෙන් නම් කරලා තියන කතාව ඇහුව රම්බාගේ මුනේ ආඩම්බරේ දෝරේ ගලනවා සිරාවටම මං දැක්කා. කොච්චර ඒ කතාව ඌට හිතට වැදුනද කිව්වා නම් පොර කකුලක් පිට කකුලකුත් දාගෙන කොන්ද කෙලින් තියාගෙන මං දිහා හෙන වෛශාක්‍ය බැල්මට් එකක් දැම්මා. මට පේන විදිහට මූ පහුගිය මාස ගානකට කැලැන්ඩරේ බලලා නෑ. නැත්තම් ඉතින් අද කවද්ද කියලා නොදන්න මෝඩයෙක් අහල ගම් හතකවත් ඉන්න පුලුවන්ද..

කාමරේ පුරාම පිරිලා ඉතිරිලා ගියපු සරමේ හඩු ගඳ ඇරුනාම හෙන දඩාර් නිශ්ශබ්දතාවයක් තිබුනා විනාඩි ගානකට. මම මොකද කියලා ඔලුව පොඩ්ඩක් උස්සන් බලනකොට රම්බා, මේසේ උඩ තිබ්බ පත්තරේක අර ලලිතා අක්කගේ තෙලිඟු සිනමා ජීවිතේ වං හුං කියවනවා දිව දොට්ට දාගෙන.

"රම්බා...?...ඒක නෙමෙයි උඹ මොකක්ද කියාගෙන ආවේ..?"

"රයිටර්....ආ...ඔව් බං....ගල්බොක්කේ ගෙදර සිමියොන් සීයා....,"

"ඉතිං...පැනලා ගිහින්ද....?"

"මගුලක්....උන්දෑ  ඊයේ රෑ අන්තරා වෙලා බං"

අරූ මට රවාගෙන හෙන දුකෙන් වගේ කිව්වා  

"හෑ....!! පල යන්ඩ කෙප්ප නැතුව"

මම කෝකටත් ෂුවර් නොකර ඇහුවේ මු අද දවස ගැන හින්තේරුවකට නොදන්න එකේ මේක නම් කෙප්පයක් වෙන්න බැරි නෑ කියලා තක්කෙටම  හිතන ගමන්මයි.

"ඔව් බං ගැටයා කාලේ ඉඳන් අවුරුදු අසුවත් පනිනකම් අර උඩහ වත්තේ ඇග්නස් ආච්චිට ලයින් පාර දාගෙනලු හිටියේ..ගැටිස්සි කාලේ ඇග්නස් ආච්චි හේතුහාමි ආතාව බැන්දට පස්සේ  පොර අප්සැට් එකේ හිටියේ. දවසක් ඇග්නස් ආච්චි දොළේ නාද්දී මැරුණ සිමියොන් ආතා හොරෙන් බලාන ඉන්නවා මට අතේ මාට්ටු බං.....බලපන් දාර ආදරයක් නෙහ්  බං...."

මගේ දිව හැපුනා අන්දකයිප්පු කතාව අහලා. "ඉතින් බං සිරාවටම කියහන්කෝ මිනිය මැරිලද කියලා"

"නෑ බං මිනිය මැරිලා නෑ..හන්දියට වෙලා බයිලා කිය කියා නටනවා..ආන් ගිහින් බලලා පොඩ්ඩක් ඉගෙන ගනින්.....ඇයි හත්වලාමේ මිනිය මැරිලද අහන්නේ තෝ කෙටල කොළ කොටලා බිව්වද?...මෙන්න මෙහෙ වරෙන් යන්න හට් එක ගහන්න බඩු ගෙන්න යන්න" රම්බාට අශුචි පනින්න ඔන්න මෙන්න.

----------------------------------------------------------------------------------------------------------

අපි දෙන්නා  ගමේ කොල්ලෝ සෙට් එකත් ඇහිඳගෙන මරණාධාර සමිතියේ හට් එක ගන්න ගියා. අපරාදේ කියන්න බෑ කැපවෙලා වැඩ කරන කොල්ලෝ දෙන්නෙක් හොයා ගන්න අපිට බැරි වුනේ නෑ..

ඔහොම පාර දිගේ යනකොට බයික් කාරයෙක් එනවා මහ දවල් හෙඩ් ලයිට් එක දාගෙන. රම්බා හෙන වෙලාවක් කල්පනා කරලා කරලා මගෙන් අහනවා

"ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"

"කියන්ඩ බෑනෙ බං මේ සිද්ධ වෙන දේවල් අස්සේ කාටද කියන්න පුළුවන් එක පාරට රෑ වෙන්නේ නැති වෙයි කියලා...පොර හිතනවා ඇති එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ දඩස් ගාලා කළුවර උනොත්හෙම කියලා. කෝකටත් සුදානම හොඳ හින්ද ඉතින් පොර ලයිට් දාගෙන යනවා ඇති"

ලොවෙත් නැති වැල් බයිලා ලොන්තයක් හල හල අපි මරණාධාර සමිතියේ හට් එක බාරව ඉන්න සීයාගේ ගෙදරට ආවා.

"මරණාධාර සීයේ....මරණාධාර සීයේ..!!!"

"හිපාටුවෝ තොගේ අවමගුලත් මේ ගමන්ම ගන්න ඕනෙනම් තව පොඩ්ඩක් හයියෙන් ඔහොම කතා කරපන්..ඒක ලේසියි එක පාර දෙකක් ගන්න එක." අපිත් එක්ක ආව ඔඩියාට කනේ පාරක් ගහන ගමන් රම්බා කිව්වා.

"ආ ළමයිනේ..මගුලක්ද..කොටහළු මගුලක්ද..අවමගුලක්ද"

"මගුලක් මගුලක් සීයේ හැබැයි අවමගුලක්"

සීයාගේ කට මල පිපිලා පරවුනා වගේ වුනා

"සීයේ අපිට හට් දෙකම ගන්න ඕනෙ..කොහොමද සීයේ හට් දෙක අඳුන ගන්නේ පැටලෙන්නේ නැතුව" මම ඇහුවා.

"හෙහ් හෙහ් හෙහ්... බය වෙන්න එපා කොලුවෝ මම එකක රතු ගෑවා"

"එතකොට සීයේ අනික"

"ඒකෙත් රතු ගෑවා" සීයා හෙන ආඩම්බරෙන් කියපි.

Thursday, April 4, 2013

අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න

ඇහැ පියා ගත්තට තුන් කාන්දෙන් වැක්කෙරෙන දාඩිය හන්ද, නින්ද නෙමෙයි ජෝක් එකටවත් අහලකට එන්නේ. පට්ට රෑ කරුවලෙත් මෙච්චර රස්නේ හැදෙන්නේ ඉර දෙයියන්ගේ අහවල් හැඟීම නළලට මෝදු වෙලාද දන්නේ නෑ. කරන්ඩයි කියල අහවල් රාජකාරියක් නැති එකේ මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් ගෙදෙට්ට වෙලා ටීවී එක දාගෙන බැලුවේ ජිල්බෝල හොද්ද වගේ යන නා නා ප්‍රකාර චැනල් වල ආත භූත බල බලා සර්වප්‍රකාරයෙන් සංසාරෙම කලකිරිලා.

අල්ලපු ගෙදර ඇන්ටි බැඳලා ඉන්න මාමගේ මාමා කෙනෙක්ගේ ඩෙඩ් පාර්ටි එකට ගෙදර අය පාන්දරින්ම  ගිය පාර තවම ආවේ නෑ. තනිකම, භීතිය, පාළුව වගේම තව තව අමන කුපිත කුජීත හැඟීම් කන්දරාවක් මාව වෙලාගෙන හිටියට,  ගෙදර කවුරුත් නැති නිසා තනිකරම පාලක මධ්‍යස්තානේ පාලනය මගේ අතේ තිබුන එක හෙන ත්‍රිල් එකක් වුනා. හාල් පොත වගේ වටින ආච්චිගේ පරණ කුඩ කබලෙන් අටවගත්ත ඇන්ටනා කට්ටට අහුවෙන චැනල් දෙක තුන සැරින් සැරේ මාරු කර කර මම ගෙව්වේ අමන කරුමයක්. නිර්ලජ්ජිත කටුක ආර්ථික උද්ධමන විපර්යාසයේ අතුරු විපාක හින්දා ඇතිවෙච්ච අපේ බඩේ කොරේට ආණ්ඩුවේ ස්පිරිතාලවල බෙහෙතුත් නෑ. ඉතින් හත්වලාමේ "උන්ට හෙන ගැහුවත් අපට මොකද"  කියන ආදර්ශ පාඨය අදහන දේශප්‍රේමී මැති ඇමතිවරු ඉන්න රටේ ජීවත්වෙන එක කොච්චර භාග්‍යසම්පන්නද කියලා මට අවබෝධ වුනේ විනාඩියෙන් විනාඩියට යන "නිල් අහස දෙවනත් කරන ප්ලේන් අහස පුරා සැරිසරනව දකිද්දී හිතට හරිම ආඩම්බරයි නේද අප්පච්චි" කියල යන ඇඩ්වටීස්මන්ට් පෝලිම දැකලා.

ගෙඹි පැටව් හිතුමතේ වීදි සරණ, ගොළුබෙල්ලන් අවලමේ යන පලගැටියන් ලයින් දාන, කළු කපුටන් වෙට්ටු දාන, බේබද්දන් සූර් කරන පට්ට  රෑ එකොළහට විතර හදිසියේ කවුරු හරි දොරට තඩිබාපු  සද්දෙ ඇහිලා මගේ අක්මාව නොහිතු විදිහට අකර්මන්‍ය වුණා. හදවතේ අභ්‍යන්තර පටක වලට රුධිරය සපයන සිහින් කේශ නාලිකා අග්ගිස්සේ මරණ භය කියන එක හිරවෙලා හදවත ගැහෙන්නේ නිකන් දොරට තඩිබාන එකාගේ ඕනේකමට වගේ කියලයි මට හිතුනේ. හදිසියෙවත් මොන කරුමෙකට හරි මේ ගැහිල්ල නතර වුනොත් එපා කියන්නයෑ. දන්න කියන දෙයියන්ගේ නම් ටික හදිසියේ මතක් කලාට මතක් වෙන්නේ නෑ. ඒක හින්දා "ලෝක ධාතුව රැක ගන්න අම්බානක් දෙවි දේවතාවුනි..මාගේ නිර්මල ජීවිතය රැක දෙන්න" කියලා මම පොදු අමත්‍රණයකින් යාඤා කළා.

"මහත්මයා ගෙදර කවුද...කරුණාකරලා දොර අරින්න"

"ක..ක...කවුද...?" තව සුළු මොහොතකින් රටට දැයට අහිමි වෙන අග්‍රගන්‍ය ලේඛකයෙක්ගේ දෛවය එකට කැටිකරලා ගුලිකරලා දිය කරලා ඉරණමට භාරදෙන ගමන් මම ඇහුවේ වෛබ්රේට් වෙන උඩු හනුවයි යට හනුවයි මැද්දේ තිබ්බ ඇට නැති දිව චප්ප නොවී එහාට මෙහාට කරලා.

"කරුණාකරලා දොර අරින්න"

"ක...ක....කරුණාකරලා කව්ද කියන්න"

"අනේ අයියේ....පිංසිද්ධ වෙයි දොර අරින්න..අපි එෆ් එම් චැනල් එකක ටීවී චැනල් එකකින්...අනේ අයියේ ප්ලීස්...ප්ලීස්..ප්ලීස්" හුට්ටප්පර හතයි මල් ලෑලි හතරයි කිව්වලු.  එහා පැත්තෙන් හෙන අසරණ නාරි ලතා වොයිස් කට් එකක් දොරේ යතුරු හිල අස්සෙන් ඇවිත් මගේ කන් අඩිය පසාරු කරගෙන ගිහින් හදවතේ නොගැඹුරු අර්ධ ශුෂ්ක පටකයක තැනක තැන්පත් වුනේ ඇයි කියලා මම හිතන්න ගියේ නැත්තේ මගේ හදවතම එවලේ හෙන භීතියකින් ඇවටියෙල් වෙලා තිබ්බ හින්දා.

"මෙ...මෙහ් මෙහ්..නංගි...ඉ..ඉ..ස්සෙල්ල මට කියන්න ඔයාල මොකක් හරි සේනාවකින්ද එහෙම නැත්තම් මොකක් හරි බලකායකින්ද කියලා" ඇයි හත්වලාමේ මේ දවස් වල ටීවී එකේ පෙන්නන හදිසි සේනා බලකායවල් වල ආක්‍රමණ, වැටලීම් හින්දා මං අන්දකයිප්පු වෙලා හිටියේ මේ උන්වත්ද කියලා. බැරි වෙලාවත් අපේ ආච්චි අදහන ගම්බාර දෙයියන්ගේ ලොවෙත් නැති පිළිමේ දැකලා අපේ ගෙදර අයටත් මිත්‍යාදෘෂ්ටික දේශද්‍රෝහී ජාතිවාදී අන්‍යාගමික කුජීත ලේබලයක් වැදෙන්න බැරි නෑ, ඒක හන්දා කෝකටත් තෛලය හෙනරාජ තෛලය කියල මම මුලින් ඒ ගැන ඇහුවේ ඒකයි. හැබෑවටම උන් ඒ සේනාවෙන් නම් ඇත්ත කතාව නොකියන එක වෙනම කතාවක්, ඒත් ඒවගේ වොර්ඩින් එකක් කලින් දාපුහාම නිකන් හිතට ලාමක සුමුදු සනීපයක් දැනෙන හින්ද වෙන්න ඇති මගේ කටින් එහෙම පිට වුනේ. ඇඩ්රිනලින් හෝමෝනය කුපිත වුන හින්දා වෙන්න ඇති කකුල් දෙක සට සට ගාලා ගැහෙන්න ගත්තේ...

"අනේ නෑ අයියේ...අපි එකේම බලකායක් නෙමෙයි...පිංසිද්ධ වෙයි දොර අරින්න....අනේ අරින්නකෝ" ඒ පාර නම්  අර නංගි කිව්වේ දත් කැක්කුමට හක්කේ පුළුන් තියාගෙන වගේ. මට ඒ ස්වරය ඇහිලා අම්බානක දුක හිතුනා..පෙර දැනුම් දීමකින් තොරව කියන්නත් කලින් උණුවෙන කවි හිතේ කොනකින් අනුකම්පාව වෑහෙන්න ගත්තයින් මං ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි කියලා දොර ඇරියා"

ඔහෙප්පලයන් කිව්වලු, ඒ කෘ එක දැකලා මගේ ඇස් දෙක නළලේ ඇලුනා. හෙන තඩි කැමරාවයි, තඩි මයික් පොල්ලයි තව අනම් මනම් ගැජමැටික් ගොඩයි. වෙව්ලුව වෙව්ලිල්ලට  ගැටේ බුරුල් වෙලා ඇඳන් උන්නු සරම ගැලවෙන්න ගියා. බොහොම අමාරුවෙන් කකුල් දෙක දෙපැත්තට පළල් කරා මැන්ඩියට ඉන්නවා වගේ. ජඩ ගේමක් දීලා හොඳම හරිය දෝතින් කවර් කරගෙන විලිසන්ගේ බේරගත්තට පස්චාත් භාගය ඒ තඩි කැමරාවේ කාචේ සිපගන්න එක වලක්වන්න මට කොහොමත් බැරි වුනා.

යන්තම් ජාමේ ඇබිත්තක් රැකගෙන සරමේ කැහැපොට ගහන ගමන් මම මේ කෘ එක කොහෙන් කොහොම කඩාපාත් වුනාද කියලා විස්තර අහන්න කට ඇරියා විතරයි....,

"අනේ අයියේ ඉස්සෙල්ලම මට වතුර වීදුරුවක් ගෙනත් දෙන්නකෝ පිං සිද්ධ වෙයි...පිං සිද්ධ වෙයි" කැමරාව කර තියාගෙන හිටපු ඉලන්දාරියා දොට්ට පැනපු දිව ඇතුලට දාල කෘන්තක දතේ කොනක් පෙන්නලා හරිම අහිංසක විදිහට හිනා වුනා. ඒත් එක්කම "අනේ මටත් අයියේ....අනේ මටත්.." කියලා හැම එකාම මගේ පස්සෙන් ආපි. අන්තිමට කුස්සියේ ටැප් එකට අක්කාගේ රට ඉඳි පාත්තියට වතුර දාන හෝස් පයිප්පෙ ගහල වීදුරු වලට පුරෝ පුරෝ උන්ට වතුර පෙව්වා පැය කාලක් විතර.

"හරි අයියේ මෙහෙමයි මට ඉස්සෙල්ලම කියන්න ඔයා අහන රේඩියෝ චැනල් එකයි බලන ටීවී චැනල් එකයි මොකක්ද කියලා"

මොක බැලුවත්, කෝක ඇහුවත් කෝකේ යන්නෙත් මං ලියන අගක් මුලක් නැති සෙන්ටිමෙන්ටල් පජාත  රයිටර් කතා වගේ මෙලෝ රහක් නැති එව්වනේ. නොකියෙව්වොත් තරහ වෙනවා වගේ ලයින් එකක් තියන හින්දා වදෙන් පොරෙන් දෙතුන් දෙනෙක් ඇවිත් කියවලා හිත සනසවලා යනවා..ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි නිකන් තියන කන් දෙකට ඇහෙන දෙයක් ඇහිච්චාවේ කියලා රේඩියෝ එක දාන්න කලින් මීටර් කරලවලා අහුකර ගන්න එෆ් එම් තමයි මම අහන්නේ. කෝකටත් සන්තකේටම අහුවෙන චැනල් දෙක තුන, දහය විස්ස ගණන් කරලා අන්තිමට සීය ආපු මල් මල් එෆ් එම් එකේ නම මම කිව්වා. ප්‍රශ්නේ අහපු නංගිගේ කට නිකන් මී කතුරට අහුවුණා මීයාගේ පස්චාත් බාගේ වගේ වුනා.

"අනේ අයියේ වඳින්නම් අපි එලියට ගිහින් ආයේ ඇවිත් දොරට තට්ටු කරන්නම් කලින් ආවේ නෑ වගේ. අයියා දොර ඇරලා අපිව ඇතුලට අරං අපි ප්‍රශ්නේ අහනකොට ගත් කටටම කියපන් උඹ අහන්නේ "එෆ්.එම් හිඟන" කියල., අනේ අයියේ උදේ පාන්දර ඉඳන් අපේ එෆ්ම් එක අහන එවුනුයි අපේ චැනල් එක බලන එවුනුයි හොයන්න බුදු කට්ටක් කන්නේ රත්තරන් අයියේ. අනේ කියන තැනකට වඳින්නම් අතිනුත් වැඩිපුර ගානක් දෙන්නම් රත්තරන් අයියේ එහෙම කියපන් අපිට විනාඩියක් ෂූට් කරගන්න.

මගේ ස්වාරාලේ ඉදිමෙනවා වගේ දැනුනා. දිව ගිලිලා ගලනාලේ හිරවෙනවා වගේ දැනුනා. ඒ අහිංසකයා  කිව්ව කතාව අහලා ඇස් දෙකෙන් කඳුළු පන්නා. ඒ අහිංසකයෝ ටික රේඩියෝ චැනල් එක ගොඩ දාගන්න විඳින දුක් කන්දරාව ගැන හිත හිත ඉන්නකොට කෘ එක  දුවලා දුවලා ඈතට ගියේ රටක් රාජ්ජයක් අල්ලගත්තු සරණාගතයෝ ටිකක් වගේ.

Saturday, March 23, 2013

ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි

චාරුලතා කෙල්ලට වැහිලා හිටපු අලුකුත්තේරු යක්ෂයව ඒකිගේ පංචස්කන්ධයෙන් තොලොංචි කරලා දාන්න වැඩ කිඩ දන්න කට්ටඩියෙක් හොයන්න කරක්ගහලම මමයි රම්බායි දෙන්නා අම්බානක හතරවරං වෙලා හිටියේ. දන්න කියන උදවියගෙන්, වට පිටාවෙන් විස්තර අහගෙන ගියපු හැම ගෙදරකම වගේ හිටපු කට්ටඩියෝ මැරිච්ච තැන්වල ගෙවලුත් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙච්ච අයට ළමයිනුත් හම්බෙලා උන් මොන්ටිසෝරිත් යනවා.  එහෙම නැත්තම් තොවිලේ අස්සේ ආතුර වෙච්ච බවලත් ගෑනු ලමිස්සියන්ට තනි පංගලමේ සාන්තිකර්ම කරන්න ගිහින් අතේ මාට්ටු වෙලා රේප් සීන් වලට අවුරුදු ගානකට මහා උළු ගෙදර තපින්න ගිහින්.  "රියල් කට්ටඩියෝ කියන්නේ සොබා දහමේ කෘරත්වය හින්දා මිහිපිටින්  වඳවෙලා යන දුර්ලභ පුරවැසි කොට්ඨාසයක්ද බං" කියලා රම්බා හෙන සිරා මුඩ් එකකින් මග එද්දී මගෙන් අහනවා. ඌ අහන අවලං දුර්ලබ ප්‍රශ්න වලට උත්තර දෙන්න පශ්චාත් උපාධියක් තිබුනත් බැරි කොට මම තියන ලේ පයින්ට් දෙක තුන දහනය කරගන්නේ මොකටද කියලා කට වහගෙන හිටියා.

උදේ ඉඳන් බඩගාලා බඩගාලා වතුර පිපාසාවේ දිව දොට්ට පැනලා කන් දෙකෙන් දාඩිය පෙරනවා. කොන්ද කුදු වෙලා  නිකට මහ පාරේ ගෑවෙන සයිස් එකට. බඩගින්නට බුරිය සුෂුම්නාවේ ඇලිලා.  යටි පතුල දනිස් දෙකේ බෝල කුහර හන්ධිය කිට්ටුවටම පොඩ්ඩක් අඩුවෙන් ගෙවිලා වගේ දැනෙනවා. කප්පරක් බලාපොරොත්තු අලුකුත්තේරු විදිහට විලම්බීත වෙලා සුන් වෙලා අපිට කෝචෝක් කර කර තිබුන ඇවටියෙල් වෙලාවක, පාරේ බස් හෝල්ට් එකක බිත්තියක් පුරාම පාට පාටින් සරසල තිබ්බ පෝස්ටරේ විස්තරේ දැකලා අපි දෙන්නගේ ඉස් මුදුනේ හෙන දඩාරන් බාබන්ඩේසියා මල් අහුරක් පිපිලා පරවුනේ හරියට පට්ටම රෑක එක පාරට හඳ පෑයුවා වගේ.

                "නවීන තාක්ෂණයෙන් භූත දෝෂ ඉවත් කරනු ලැබේ"
                         හිතට වද දෙන, ගතට දුක දෙන, ඇහැට නොපෙනෙන, කනට නොඇසෙන
                                අදෘශ්‍යමාන භූත බලවේගයකින් ඔබ තවමත්  පීඩා විඳින්නේද..?
                                                               දුක් නොවන්න දරුවනි..

                                    තනි ඇහැට ඇඩෙන විසඳුම දැන් අප සතුයි

                                       අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි....විලම්භිතයි, ප්‍රතිගම්‍යයි
  • "යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ දෝස හඳුනා ගැනීම හා සමනය කිරීම"
  • "මළගිය ප්‍රාණ කාරයින් මිනිත්තුවකින් පුළුල් තීරයකට, කටහඬ සරවුන්ඩ් සවුන්ඩ් ස්පීකර් වලින්"
  • "සහකරුගේ සහකාරියගේ ෆේස්බුක් ගිණුම්  රහස් තොරතුරු සැනින් ඔබ අතට"
  • "නීච කුල අන්තර්ජාල වශී බන්ධන 
  • "ෆේස්බුක් හැර ගිය පෙම්වතා/ පෙම්වතිය වරු තුනෙන් නැවත ෆේස් බුක් ගෙන්වීම"
  • "හූනියම් වයිරස් සදා සතුරන්ට පලි ගැසීම
  • "මොඩර්න් සෙත් ශාන්තිකර්ම
  • "මොබයිල් ෆෝන් සොරුන් , ලැප්ටොප් සොරුන් ඔන්ලයින් අල්ලා රෙදි ගැලවීම"
  • "පංචස්කන්ධය ස්කෑන් කර අනාගත පලාපල නිවැරදිව කීම "
  • "නොමිලේ සති අන්ත ඔන්ලයින් කට්ටඩි උපදේශන සේවය"


                             සම්පුර්ණයෙන්ම නොමිලේ...හරිගිය පසු පමණක් ආධාර කරන්න
                                                                   නොපමාව විමසන්න
                                                 සතියේ දවස් හතම විවෘතයි | ඉරිදාත් විවෘතයි

                                                 ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි
                                            මම භූතයන් එලවීමටම උපන්නෙමි.


දඩි බිඩි ගාලා මම සාක්කුවේ අඩියේ තිබ්බ ෆෝන් එක අරගෙන දැන්වීමේ තිබ්බ අංකෙ ඔබලා කනේ තියා ගත්තා.

"ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන  ඩෙන්න ඩෙනෝ...ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ.." අප්පට උඩු, නයි නගියිද ජම්බු ගස් කිව්වලු..කට්ටඩියගේ කෝල්-අ-ටියුන් එක..මගේ කකුල් දෙකත් බෙර පදේ තාලෙට නැටවෙන්න ගත්තා තිබුන අමාරුව පැත්තක තියෙද්දී.

"ආයුබෝවේවා...වාසනාවන්ත පින්වත් දරුව....කිමද මා ඇමතුවේ...කෙසේද මා ඔබට උදව් කල යුත්තේ ..නොපමාව පවසන්න" කෝල්-අ-ටියුන් එක නැවතුන ගමන් එහා පැත්තෙන් ඇහුණා දිව්‍යලෝක ටයිප් එකේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක.

අධම, කුරිරු, කුච්ච, පාහර, විලිසන්ගයක් නැති ලෝකේ ඒවගේ කාරුණික කට හඬින් කතා කරද්දී මගේ පපු කැවුත්ත වාවන්නේ නැතුව ගියා. මම ඒ හඬ ගැන එකතැන පැහැදුනා.. ආමාශේන් ආව ඉකියක් "ග්රඋප්" ගාලා හදිස්සියේ පිටවුනේ මං පර්මිෂන් දෙන්නත් කලින්.

"හෙ...හෙ..හෙලොව්..මම මේ කතා කරන්නේ රයිටර් කියලා ඩයල් එකක්." මම  වොයිස් එක පොඩ්ඩක් ලෝ පිච් එකට  ටියුන් කරලා විස්තරේ මුල ඉඳන් කිව්වා. රම්බා මං දිහා බලාගෙන හිටියේ ඇස් දෙක ඇරගෙන කට කොමඩ් එක වගේ කරගෙන උපේක්ෂාව මිශ්‍ර හැඟීමකින්. ඌ හිතන්න ඇති මං උගේ ප්‍රශ්න වලදී කොච්චර බොක්කෙන් බහිනවද කියලා. ඌ මං ගැන ආඩම්බර වෙන්න ඇති.

ගෙදෙට්ට එන පාරයි ඇඩ්රස් එකයි කියලා කට්ටඩියා කිව්ව විස්තරේ මට රම්බාට ආපහු රිපීට් කරන්න වුනා කැත නැතුව.

ඇඩ්වාන්ස් විදිහට රුපියල් දාහක රීලෝඩ් එකක් පොරගේ ෆෝන් එකට එවලා වැඩේ තක්කෙටම කන්ෆර්ම් කරගන්න කිව්වා. වැඩේ ගැන අපිට තඹ ඇටේකට බය වෙන්නේ එපා කිව්වා. ඔක්කොම තොවිලේට වුවමනා කරන බඩුත් එක්ක කට්ටඩියෝ දෙන්නෙකුයි ගොලයෙකුයි හවස හයට ගෙදරට එනවා කිව්වා. දොල පිදේනියට ඕනේ දේවල් ආවේශ වෙලා ඉන්න යකාගේ තත්වේ බලලා එවලේ එතෙන්ට පට් ගාලා ඇඩ්මිට් කරගම්මු කිව්වා.

නැහිලා නැහිලා පජාත වෙලා, බඩගාගෙන ගිහින් අරමුණක් ජයගත්තම තියන ප්‍රීතිය වගේ එක සමරන්න අපි දෙන්නා හන්දියේ පෙට්ටි කඩෙන් කිඹුලා බනිස් ගෙඩි දෙකක් කිරිහොදි එකක පොඟවගෙන කාලා අඩු සීනි වැඩි කහට කෝප්ප දෙකක් බීලා රම්බාගේ ගෙවල් පැත්තට ආවේ බුල්ටෝ එකක් හප හපා කට්ටඩියගේ ඇඩ්වාන්ස් රීලෝඩ් එකක් දාගෙනමයි.

ගෙවල් කිට්ටුවට එනකොට මුළු ගමම මිදුලේ තැන් තැන්වල කම්මුලට අත තියාගෙන කුටු කුටු ගානවා. හත්වලාමේ චාරුලතා කෙල්ල අකාලේ සෙත්තපෝච්චි වෙලාවත්ද කියලා මගේ බොක්ක ඇතුලෙන් හිරි වැටිලා ගියා..ඔලුව වටේ සුදු කොඩි කැරකෙනවා වගේ පෙනුනා...මේ මගුල් අස්සේ...දැන් ඇදපන්කෝ මළගෙදරට හට් එක. ගහපන්කෝ නයිට් එක දවස් හතක් එක දිගට...මටත් වෙන්නේ ඕවගේ ලොන්ත දොදොල් සීන් තමයි. අහල පහල එවුන්ටනම් සතියක් කෑම වේල් තුන ශේප්..එහෙම බලාගෙන ගියාම මල ගෙදරක් කීදෙනේක්ගේ හිත සුව පිණිස හේතුවෙනවද කියලා මට කල්පනා වුනේ හෙන මුසල හැඟීමක ප්‍රතික්‍රියාවකින් මගේ හදවත අභ්‍යන්තර පටක ජෝගි නටන්න ගත්තට  පස්සේ. .

දුකට බයට දෙකටම බඩ බුරුල්වේගෙන වගේ ආපු හින්දා මම රම්බාවත් ඇදගෙන චාරුලතාගේ කාමරේට දිව්වා. අප්පට උඩු රඹුට කැකිරි කිව්වලු. චාරුලතාව ගැටගහලා තිබ්බ අල්මාරිය ඒකිගේ ඇඟ උඩට පෙරලගෙන. එතන යමර විකාරයයි. කට්ටිය අල්මාරිය උස්සලා කෙල්ලව ගන්න දඟලනවා. මොනඃ අරකි ගොරවනවා. රවනව, කෙල ගහනවා, අඬනවා, හිනා වෙනවා.

"ලඟට එන්න එපා හපනවා...කිව්වොත්.....කිව්වා..මං නරක ගෑනියි කියන්න එපා ග්ර්ර්ර්" මම පොඩ්ඩක් කිට්ටු වෙලා බලද්දී චාරු ගෙරෙව්වා.

"යකො....විනාසයි මම හිතාන උන්නේ මේකි කලින් කොච්චර අඩව් ඇල්ලුවත්  තවමත් ලඳ බොළඳ සුකුමොල ලපටි කෙල්ලෙක් කියලා" 

මේ කියන විදිහට බැරිවෙලාවත් දත්පාරක් කෑවොත්  මට ලගින්න වෙන්නේ මහා ඉස්පිරිතාලේ තිස් තුනේ කාමරේ. කෝකටත් තෛලය ශේප්තෛලය කියලා ඒකිට එහෙමම අල්මාරිය කරතියාගෙන ආතල් පාඩුවේ ඉන්ඩ ඉඩ තියලා අපි පැත්තකට වුනා.

හවස හය විතර වෙද්දී කට්ටඩියා ආවා හෙන ලොරියක බඩු පටවාගෙන. අපේ හිතේ ඇඳිලා තිබ්බේ විටක් හපන, හක්ක බැහැපු, කොන්ඩේ වවපු මාස්ටර් කෙනෙක්ගේ රුපයක්. අපේ ඇස් අතේ පත්තු වෙන්න ගත්තේ වාහනෙන් බැස්ස මොඩර්න් කට්ටඩියා දැකලා. බුලත් විට වෙනුවට මම හිතන්නේ පොර හැපුවේ චුයින්ගම් එකක්.. කොන්ඩේ වවලා වුනාට ස්ට්‍රේට් කරලා. සරම වෙනුවට ඩෙනිමක් ගහලා ටී එකක් බස්සලා. පොර ලොරිය් ඉස්සරහ සීට් එකෙන් බැස්සේ සඟ දාලා කිට මරලා ආනල්ඩ් සුසිරිපාල වගේ. මං ඔය අස්සේ දහ අතේ කල්පනා කලේ පට්ට හැන්දෑවේ මු සඟ දාන්නේ හඳ එලිය දරාගන්න බැරුව වත්ද කියලා.

ලොරියේ සයිස් එක දැක්කාම  මම හිතුවේ මල් පහන් තට්ටු ටිකයි බෙර කාරයෝ ටිකයි  කලින්ම රෙඩි මේඩ් කරගෙන හදාගෙන පටවාගෙන එනවා ඇති කියලා ලේසියට. මොනඃ බැලින්නම් ඒක ඇතුලේ අඩුක් කරලා තිබ්බේ තඩි බෆල් සෙට් එකකුයි, සෙටප් එකකුයි හෙන තඩි ඩිස්ප්ලේ එකකුයි. රම්බායි මමයි අහල පහල කොල්ලෝ කුරුට්ටෝ දෙන්නෙකුයි එකතු වෙලා කට්ටඩි බොස් කිව්ව විදිහට බඩු ටික සෙන්ටිමෙන්ටල් කරා ඕනි ඕනි තැන්වලට. අපිත් අඹපු හරක් වගේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා .

දොලපිදේනියට රෝස්ට් කරපු චිකන් තුනයි, බිත්තර ආප්ප හතයි, ඔම්ලට් නමයයි කඩල ගොට්ටයි රෙඩිකරගන්න කිව්වා.

මිදුලේ මැද ඔක්කොම ටික භාණ්ඩ ටික ලෙසටම අටවගත්තා, තොවිලේ පටන් ගන්නකම් වර්තමාන යුගයේ ෆෙමස් ස්ටාර් කෙනෙක්ගේ අව කැපෙන සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා වටපිටාවේ ඉන්න කුම්භාණ්ඩයො ටික පන්නන්න ඕනි කියලා. ගමේ එකා දෙන්නා පෝලිමේ ඇවිත් මිදුලෙ ඉඳගත්තා. සින්දුවේ සද්දේ වැඩිවෙන්න වැඩිවෙන්න ගේ ඇතුලෙන් එන චාරුලතගේ සද්දේ එන්න එන්නම වැඩි වුනා. අපි හය හත් දෙනෙක් ගිහින් කෙල්ලව කුදලාගෙන ඇවිත් ඩිස්ප්ලේ එක ඉස්සරහ පැදුරේ ඉන්දෙව්වා.

චාරු ඇස් දෙකේ සුදුමද දෙක නළල දිහා අලවාගෙන වෙව්ලන්න ගත්තා..වටපිටාවේ ඉන්න අයට රවනවා රැවිල්ලක් කර වෙලා යන සයිස්.

කට්ටඩියා රිමෝට් එක අතට අරගෙන සෙටප් එක ඔන් කළා. අප්පට උඩු නරි බුරති කිව්වලු..තඩි ඩිස්ප්ලේ එකේ ප්ලේ වුනේ රෙකෝඩ් කරපු තොවිලයක වීඩියෝ එකක්.

මං පොඩ්ඩක් කිට්ටු වෙලා කට්ටඩියගෙන් ඇහුවා

"අයියේ වැඩේ හරි යයි කියලා ෂුවර්ද"

"ඇයි මල්ලි අවුල්ද"

"නෑ ඉතින් අයියේ තොවිලයක් නටන්නේ නැතුව මෙහෙම කරන එක හරිද.."

"යන්ඩ මල්ලි නිකන් යන්ඩ... තොවිලේ මෙතන නැටුවත් එකයි, වීඩියෝ එකක් ප්ලේ කරත් එකයි, අනික උඹලා හිතනවද දැන් ඉන්නෙත් ඉස්සර හිටපු යක්කුමයි කියලා..."

මගේ ඇස් දෙක දොට්ට පනින්න වගේ.. ඒ කතාවේ අත්තක් නැත්තෙමත් නෑ..

"....අපි මොඩර්න් වෙනවා වගේ  තමයි මල්ලි යක්කුත් මොඩර්න් වෙනවා..ඒක අමතක කරන්න එපා...දැන් ඉන්න යක්කුන්ට තේරෙන්න නම් උන්ගේ විදිහට තොවිලේ නටන්න ඕනි...ඉස්සර යක්කු වගේ දැන් ඉන්න යක්කු තොවිල් නැටුවට පන්නන්න බෑ..උන් ඇට්‍රැක්ට් වෙන්නේ මේවගේ ටෙක්නොලොජි එකට..මල්ලි බය නැතුව ඉන්න මල්ලි...අලුතෙන් ආපු ගායකයෙක්ගේ සීඩී එක දාපු ගමන් ඔය යක්කු ආයේ මේ පැත්ත පළාතේ පස් පාන්නේ නෑ"  කියලා පොර සෙටප් එකේ සද්දේ තව ටිකක් වැඩි කළා.

Soon on

Thursday, March 14, 2013

"රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා

දවල් වරුව තිස්සේ ආතක් පාතක් නැතුව රට වටේ කරක් ගහලා ගහලා හැන්දෑවේ ගෙදර ආවේ නිරපරාදේ ගෙවිලා යන  වටිනා කාලෙන් හවස්කාලෙවත් ප්‍රයෝජනයක් ගන්නවාමයි කියලා හිතාගෙන. ආපු හැටියේ  ලිඳ ගාවට ගිහින්  දනි පනි ගාල වතුර බකට් දෙකක් ගණන් කරලා වක්කරගෙන සබන් නොගා ආවේ කම්මැලිකමටවත් තිබුන හදිස්සියකටවත්  නෙමෙයි, පත්තරේක තිබුනා හැමදාම ඔලුවට සබන් දාන්න හොඳ නෑ කියලා. ඔලුවට හැමදාම සබන් දාන්න හොඳ නැත්තම් ඇයි හත්වලාමේ ඇඟට කොහොමත් හොඳ නෑනේ. ඔලුවට වඩා වැඩිහරියක් වටිනාම අංග උපාංග ටික තියෙන්නේ ඇඟේනේ. පත්තර වල රුවගුණ උපදෙස් යන්නේ ඒවායේ වැඩකරන එවුන්ගේ අතපය කහනවට නෙමෙයිනේ. පත්තරේ ගන්න වියදම් කරන සල්ලිවල වටිනාකමට හරියන්නවත් ඒ උපදෙස් ඉඳලා හිටලාවත් පාවිච්චි කරන්න එපැයි.

අක්කා කුකරි ක්ලාස් එකේ උදේ දහයට විතර හදපු "හොට් ඩෝග්" එකක් අම්මා හදපු කරවල හොද්දේ පොඟවගෙන මම කෑවේ තිබුන පට්ට බඩකින්නට  ඇටැක් එකට. මොනඃ  ඒක බඩට දැනෙන්නේවත් නෑ.  ඒක කාලා මදි පාඩුවට චිලි පේස්ට් එක්ක  බතල අල දෙක තුනක් ගිල්ලේ වම්බටු සෝස් එක්ක. වම්බටු සෝස් එකත් අක්කගේ කුකරි ක්ලාස් එකේ පාඩමකට කියා දීපු එකක්ලු. කාපු කෑමේ හැටියට ස්වාරාලෙට පොඩ්ඩක් ලඟට එනකම් බඩ පිපිිලා. මහා රෑ දෙගොඩ හරියක් වෙනකම් බ්ලොග් එකට කතාවක් ලියන්න කල්පනා කර කර ඉඳලා බැරිම තැන දිලුත් එක්ක  කිතුලට නැගලා මලක් කපාගෙන යන්තම් දෙයියනේ කියලා ඇහැ පියාගත්තා.

"හෙන ගහනව උඹට සුදූ...ඌ" කියන්නැහේ මල ඉලව් ෆෝන් කට්ටට කෝල් එකක් ආව සද්දෙට  දඩස් ගාල ඇහැරුනා. ඇහැරුනා කිව්වට ඇහැරුනේමත් නෑ.ඒ වුනාට ඇහැරුනා, ඒත් හරියට පියවි සිහියට ආවේ නෑ. අත පත ගාලා ෆෝන් එක හොයා ගත්තේ බාගෙට පියවෙලා තිබ්බ එක ඇහැකින්. එක ඇහැක් සම්පුර්ණයෙන්ම පියවෙලා තිබුනේ කබවලට ඇලිලද කොහෙද.  මේ මහ රෑ මොකා මොන අවලම් වැඩකට කතා කරනවද කියලා කතා කරන එකා තමයි දන්නේ.  රෑ කියලා නෑ, ඇඳේ කියලා නෑ, මට මල විද්දේ අසුහාරදාස් ගානකට. මලාට කෝල් එක ආන්සර් කරන්නේ නෑ කියලා දරුණු තීරණයක් අරගෙන මම කට පැත්තකින් බේරෙච්ච කුණු කෙල තලිය සරමෙ කොනකින්  පිහදාලා සරම අස්සටම ආයේ ගුලි වුනා.

සාමාන්‍යෙන්, සාඩම්බර "වැටෙන පමා" නින්දකට උරුමකම් කියන මම දිලුත් එක්ක මල් මල් පාට හීන ලෝකේක පාවෙවී හිටියේ. දිලූ හීනෙන් පේනකොට හරි ලස්සනයි අප්පා. දිලූ හැබෑවට පට්ට දැකුම් කළු වුනත් හීනෙන් පේනකොට පේන්නේ කිරි කිරි මාෂ් මේලොෂ් කෑල්ල වගේ. වඩා ගන්න හිතෙනවා. උඩ දාලා අල්ලන්න හිතෙනවා. එවලේ අපි දෙන්නා අත් අල්ලාගෙන ගිනි කුටක අව්ව පායපු කාන්තාරෙක වගේ එකක ඇවිද ඇවිද හිටියේ. ඒ වුණාට  අපි වටේට තරමක පට්ට මීදුමක් තිබුනා. වට පිටාවෙ අතරින් පතර තිබුන ගහක් ගලක්, බලුබෙට්ටක් ගොම්බෙට්ටක් ගානේම හෝ ගාල ශෘංගාරේ වෑහෙනවා වගේ මගේ හිතට දැනුනා. හැමුව හුළඟෙත් තිබුනේ හෙන කුපාඩි ගතියක්. ඒ හැමදේකින්ම පේන්නේ අදරේ විතරමයි කියලා මට හිතුණා.
"මගේ රයිටර් පැටියෝ...." දිලූ දොඩපි
"හ්ම්...ඇයි පැටී" මං හෙන ආඩම්බර පෙම්වතෙක්ගේ ලුක් එක මුනට ඇඩ්මිට් කරගෙන මයේ කෙල්ල දිහා බලුවා. 
"ඔයා මගේ පණ...මං මළත් ඔයා ගාවින් යන්නේ නෑ...ඔයා ගාවටම වෙලා ඉන්නවා..සත්තයි...වෙන කෙල්ලෙක්ට ඔයාට බැල්ම දාන්න ඉඩ තියන්නෙත් නෑ..ඔයාගේ පස්සෙන් ඔයා යන යන හැමතැනටම එනවා...! ඇත්තමයි...!! ඔයාටත් මං ගැන එහෙම හිතෙනවද සුදූ..මාව රකින්න, මව බලා ගන්න හිතෙනවද පැට්ටෝ...මට කියන්න..අනේ මට කියන්නකෝ....!" අන්තිම ටික දිලූ කිව්වේ හෙන කොමලෙන් ඇද ඇද තාලෙට ලතාවකට..
හරිනං ස්ක්‍රිප්ට් එකේ හැටියට මගේ මුනට ඇඩ්මිට් වෙන්න ඕනි සෙවල ටයිප් පැණි ඇඹල හිනාවක් වුනාට, ඒ හිනාව මගේ මුණේ එක මාංශ පේශියකටවත් එන්ටර් වුනේ නෑ..

"දෙයියනේ මං කරපු වැරැද්ද මොකක්ද දිලූ මට එහෙම කරන්න..මට කියන්න රත්තරන්...මට කියන්න ?"  ගල් රෝලකට අහුවෙලා බාගෙට පස්ස චප්පවුන කඩියෙක් වගේ අනාත වෙලා මම කිව්වේ මං ගැන ඇතිවෙච්ච දුකටමයි.    
ලිමිට් බිමිට් නැති මගේ  වාචාල කටින් ඒ වචන දෙක තුන දෙපාරක් හිතන්න කලින් පැන්නේ තුබූ තුබූ ගාල. එවලේ මං ගැනම ඇතිවෙච්ච ආත්මානුකම්පාවට ඇහෙන් පෙරපු කඳුලක් කඳුලක් ගානේ මං දෙයියන්ගෙන් ඉල්ලුවේ .අනේ දෙවියනේ මේක හීනයක්ම වෙයන් කියලා. හීනෙක ඉඳගෙන හීනයක්, හීනයක්ම වෙයන් කියන එක පට්ට ආතල් කියලා මම එදා දැන ගත්තා.

මල ඉලව් මල දානේ ආයේ රින්ග් වෙන්න ගත්තේ හීන කතා ඔක්කොම චකබ්ලාස් වෙලා යද්දී. මම දත්මිටි කාගෙන කබ කඩ කඩ ඇහැරලා බැලින්නම්, රම්බා. මොන පාන් ගෙඩියක් බැදලා කන්නද මේ මහා රෑ මේ හිපාටුවා කෝල් කරන්නේ. ඕනේ මගුලක්...ආන්සර් කරනවා..මගේ බුදු ෆිට් එකනේ..! මේ ටිකේ ලියන්න එව්වා නැති එකේ මු කෝල් කළා කියන්නේ අනිවා කතාවක් ලියන්න පුළුවන් මාතෘකාවකට පොටක් පෑදෙනවා. තණ්හාව මිශ්‍ර අවලන් කුපාඩි ටයිප් එකේ හිනාවක් මගේ කටින් පැන්නේ හක්ක පනින සයිස් ඈනුමක් එක්ක. 

"හෙලෝ"

"රයිටර්  ඉක්මනට.. දො..දොර ඇරපන්"

හත් ඉලව්වේ අද මුගේ චක්කරේ වැරදිලාද, මුගේ කොටු පැනිල්ල වැරදිලා මගේ කොටුවට පනින්න හදන්නේ..මගේ ඇඟ කිලිපොලා ගියා...නිදිමත මකබෑවිලා ගියා. දෙලෝ රත් වුනා. උන්හිටිතැන් අහිමි වුනා.

"රයිටර් කැහුට්ටෝ ඇරපන් බං  දොර...හ..හදිස්සියක්" රම්බා හෙන ලාමක වොයිස් එකකින් කියපි. ඔය කචල් අස්සේ හෙට උදේ පත්තර වල යන හෙඩ් ලයින් ටික මට මැවි මැවී පෙනුනා. මම කෝකටත් දොර පොල්ලක් අතට අරගෙන කෝල් එක කට් කලේ "හා හා ඔහොම ඉඳින්...මං එන්නම්" කියලා.

මම එලියට යනකොට රම්බා දොරට පිටුපාල පඩිය උඩ ඉඳගෙන බයි කලර් කරමල් කුකුලෙක් එක දබ වලියක්. ඇර සොයිසා ඇර කියලා හිතින් චියර් කරගෙන මොකද වෙන්නේ කියල බලන්න මමත් දොර පොල්ල විසික්කා කරලා කිට්ටු වුනාම දැක්කේ රම්බා උගේ බෙල්ල පාගාගෙන කටට පාංකඩයක් ඔබන්න අම්බ ගේමක් දෙන හැටි.

"රම්බා..මොකෝ සීන් එක...?"  බොක්ක පිච්චිලා ගියපු හින්දා මම කතා කලා.

"ර...ර..යිටර්.....රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා"

"ඇහ්..සිරාවට....?" මගේ දිවත් හැපුණා ඒක අහලා.

"ඔව් බං විජහට මගෙත් එක්ක යමකො..."

"ඈ...බං දැන් කාලේ හැදෙන කෙල්ලෝ දෙපාරක් මල්වර වෙනවද බං....?" හෙනම හෙන විචිකිච්චාවෙන් ඇතිවෙච්ච කිචිය හින්දම මම ඇහුවා.

"තොගේ ආච්චිගේ මල්වරයක් නෙමෙයි යකෝ..අපේ නංගිට කළු කුමාරයා ගහලා"

"ඈ.... හුටඃ....එගොඩහ ප්‍රයිමරි ස්කොලේ  කලු කුමාර..අර ඒබරන් ගේ පොඩි එකා..? ඒත්  මං හිතුවා දෙන්නා එකක බැද්දේ කජු කඩන්ඩ යනකොට... ඉතින් උඹට වැඩේ අතේ මාට්ටුද..?..චාරුලතා ගැබ්බර වෙලාද.. උඹලා දැනගෙන ගොඩක් දවස්ද..?.. මල කෙලියයි...ගබ්සාව තාම නීතිගත කරලත් නෑ බං..?"

රම්බට දැන් ඇඩෙන සයිස්...

"අනේ රයිටර් වඳින්නම්....මාත් එක්ක යම....යන ගමන් කියන්නම් විස්තර.... විජහට යමකෝ ඉතින්" රම්බා කට නිකන් බොම්බයි මොටයි කවපු ගෙම්බාගේ වගේ කරගෙන මං දිහා බැලුවා.

මම එහෙම්මම දොර වහලා රම්බා එක්ක උන්ගේ ගෙවල් පැත්තට අඩිය තිබ්බා.

රම්බාගේ ගෙවල් වලට කිට්ටු වෙනකොට කන් අඩි පැලෙන සද්දෙට සෙටප් එකක් දාලා.

"යූ මයි පම්ප්කින් පම්ප්කින්...හෙලෝ හනී බනී"
"හව් මෙනි ටයිම්ස් ලේඩි ලව් හැඩ් ගිවන් මී මිස් කෝල්ස්"

එක යුද්දයයි..ආවේශ වෙච්ච කෙල්ලෙක් ඉන්න ගෙදරක් කියලා කියන්නවත් බෑ..හෙන පාටියක් වගේ. කෝකටත් මම රම්බා එක්ක කාමරේට  ගිහින් දොර රෙද්ද ඈත් කරලා බැලුවා. බලන්ඩ දුකයි. චාරුලතාව අල්මාරියකට තියල ගැටගහලා. කෙල්ල යටිගිරියෙන් හනී බනී සින්දුව කියනවා. කොහොම හරි කෙල්ල මාව දැක්කා.

කෙල්ලට දැන් මල වගේ. මං දිහා කන්න වගේ බලාගෙන ඉඳලා ගෙරෙව්වා ගෙරවිල්ලක් දත් ටික උලමාගේ වගේ කරගෙන.

"ඇයි මීට කලින් මාව දැකල නැද්ද..නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කෙල්ල කියපි.

වැඩේ දරුණුයි වගේ. දැන් හොයපන්කෝ කට්ටඩියෙක්...!!!





 

Monday, March 11, 2013

ප්‍රවේශමෙන් හැමතැනම "ෆේක්"

රයිටර්ට හෙන කාලෙක ඉඳන් ඕනේකමක් තිබුනා පොඩි රහස් එක්ස්පෙරිමන්ට් ටයිප් එකේ වැඩක් කරන්න. ඉතින් මම කලේ මුලින්ම හැදුවා ෆේස් බුක් ගිණුමක්..සුවර් එකටම ෆේක් එකක් කියලනේ අහන්නේ ? ඔව් ඔව් ඒකනේ ප්‍රශ්නේ ?  කොල්ලෙක්ගේ නමකින්ද..නෑ නෑ කෙල්ලෙක්ගෙ නමකින්..එතකොට මොකක්ද ඒ ෆේක් එක..? හරි හරි ඒවා ඔක්කොම මම කියන්නම්. ඔන්න කොහොම හරි ෆේස් බුක් ගිණුම හැදුවා කියමුකෝ. එතනින් නතර වුනේ නෑ, හැදුවා බ්ලොග් එකකුත්..මුලින්ම කවියක් ලියලා දැම්මා. යාලුවන්ගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් හෙමත් දැම්මා. ඒ මගේ ෆේක්  බ්ලොග් එක පොඩ්ඩක් කට්ටිය අතර හිට් කරන්න. වැඩේ සාර්ථකයි. 

 මම රඟපෑවේ බූට් එක කාපු කෙල්ලෙක් විදිහට. කතා දෙක තුනක් ලිව්වා (ආත්ම කථන) ඔක්කොම පොස්ට් 5යි. ඊට පස්සේ අමාරුම වැඩේ කෙල්ලෙක් විදිහට සමාජගත වෙන එකනේ. කොච්චර අමාරු වුනත් මම එක කළා. කොච්චර සාර්ථකයිද කියනවනම් බ්ලොග් එක හදලා සති දෙකයි ෆලෝවර්ස්ලා පනස් ගානක්. ෆේස් බුක් එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා සීයකට කිට්ටු වෙන්න ආවා. ෆේස් බුක් ගිණුමේ නම් මම තමයි රික්වෙස්ට් යැව්වේ මුලින්. ඒත් බාගෙකට කිට්ටු වෙන්න ඒ ෆේක් එකට රික්වෙස්ට් ආවා. දවසකට රික්වෙස්ට් උපරිම පහකට කිට්ටු වෙන්න තිබුනා. දාපු ස්ටේටස් වලට හොඳ කමෙන්ට් තිබුනා. එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනා. මොකද කියනවනම් කවුරුවත් කැත විදිහට වචනෙකින්වත් ෆේක් ගිණුම එක්ක චැට් කලේ නෑ. මගේ යාළුවො ගැන ආඩම්බරෙන් ඒ දේ කියන්න ඕනේ. ගොඩක් දෙනෙක් උදව් කළා. අලුත් උදවියට අත දෙන්න පරණ උදවිය එකපයින් නෑ බෑ නොකියා කැමති වුනා. වෙන්න ඕනේ ඒක තමයි.


ඉතින් මම මොකක්ද බලාපොරොත්තු වුනේ මේ ෆේක් එකෙන්.

1. මට ඕනි වුනා කෙල්ලෙක් විදිහට මට ලියන්න පුලුවන්ද බලන්න. අලුත් කතාවක් ගොඩ නගන්න. කෙල්ලෙක් විදිහට, අලුත් විදිහට හිතන්න. (පවනි තරංගාගේ  - මතක වස්තුව වගේ එකක් ලියන්න)
2. මගේ ඔරිජිනල් බ්ලොග් එකේ අලුත් වැඩක් විදිහට පොඩි බයිට් වැඩක් සෙට් කරන්න. (ඒ කියන්නේ හොඳම යාළුවො, විහිලු දන්න උදවියට පොඩි බයිට් එකක් සෙට් කරන්න), කැත විදිහට, අප්‍රසන්න විදිහට නෙමෙයි පිර්යක් ඇතුව. බයිට් කරලා ඒක ලස්සනට බ්ලොග් එකේ හෙළිදරව් කරන්න.
3. කොල්ලෙක්ට වඩා කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක් හිට් වෙන්න පුළුවන් වගේම ලේසියි කියන එක හරියටම තක්කෙටම බලා ගන්න
4. අනික මේ සයිබර් අවකාශය ඇතුලේ කොච්චර නම් ෆේක් ජීවිත, රියල් ජීවිත රවට්ටනවා ඇත්ද කියල බලන්න.
5. අනික ඒ ෆේක් චරිතය මගේ බ්ලොග් එකේ කතාවකට රියල් විදිහට සම්බන්ධ කරගන්න.. (ඒක පොඩ්ඩක් සංකීර්ණයි)  

මම මේ වැඩේ කලේ සති දෙකයි. අකමැත්තෙන් වුනත් මගේ යාළුවො දෙතුන් දෙනෙක් බයිට් කළා.  මම හිතනවා උඹලා මගෙත් එක්ක අමනාප වෙන්නේ නැතිවෙයි කියලා. විහිළුවක්නේ කලේ. දුර දිග යන්න කලින් වැඩේ නැවැත්තුවා. ඒත් බයිට් කරලා හෙළි කරන වැඩේ මහා කුජීතයි කියලා හිතුන හින්දා මම අතැරලා දැම්මා. අන්තිමට ඉතුරු අරමුණු වලින් බාගයක්චකබ්ලාස් වෙලා ගියා බ්ලොග් එකයි ෆේස්බුක් ගිණුමයි වහලා දැම්මම.

කෙල්ලෙක් එක්ක ෆේස්බුක් එකේ චැට් කරන එක අමන වැඩක් නෙමෙයිනේ. කොල්ලෝ කෙල්ලෝ එක්ක චැට් කරන්නේ නැතුව කවුරු එක්ක චැට් කරන්නද අප්පා. උඹලා අප්සට් ගන්න එපා හොඳේ. මම මෙහෙම ෆේක් එකක් හදාගෙන කට්ටියව බයිට් කළා කියලා කිව්වම මුලින්ම, මගේ හොඳ යාළුවො සෙට් එකක් (බ්ලොග් ලියන) මට පලු යන්ඩ බැන්නා. යකෝ ඕවගේ වැඩ කරන්න එපා අරකය මේකය කියලා. ඒක අහලා මට හෙන පජාත හැඟීමක් ආව මම හෙන අවලම් වැඩක් කළා වගේ. එවලේම බ්ලොග් එකයි, ෆේස්බුක් එකයි මකලා දැම්මා.


මතක තියා ගන්න ඔබේ ජීවිතේට ලංවෙන සියලු දෙනා රියල් උදවිය නෙමෙයි. විශ්ෂයෙන් සයිබර් ලෝකයෙන්. ෆේක් ජීවිතයකට ඔබේ ජීවිතය බිල්ලට ගන්න බැරිකමක් නෑ. පරිස්සම් වෙන්න. ඒ ගිණුමෙන් මම ගොඩක් දේවල් තේරුම් ගත්තා.

උඹලා බයිට් වුනා වගේ දැනෙනවානම් මට මේල් එකක් හරි ෆේස් බුක් මැසේජ් එකක් හරි දාපන්. මම කියන්නම් ඒ ගිණුමයි බ්ලොග් එකයි මොකක්ද කියලා.  

අපේ තරුවා මේ වගේම පොස්ට් එකක් ලියලා තිබුනා මේ වගේ පරීක්ෂණයක් ලෙසටම කරපු එකක් 

සුභ ආරංචියක් තියනවා හෙළි කරන්න. මේ මාසේ මම බඳිනවා ඈ. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න හිතාන ඉන්නේ. වැඩ ගොඩයි. එහෙනම් අපි ප්‍රාධුර්භූත වුනා. වෙඩිමෙන් පස්සේ හම්බෙමු
 
 




Thursday, March 7, 2013

"ඌරෙකුයි...ඊරියෙකුයි"

සිතේ ජවය සම්පුර්ණයෙන්ම සිඳුණු කලක ඇතිවන උදාසීනත්වයෙන් හා හිස්බවින් ඔහුගේ ගත පෙලෙන්නට විය. අසම්පුර්ණ වූ බලාපොරොත්තුවක ශේෂ වූ කඩතොළු නිසා පෑරෙන සිතුවිලි වලින් ඔහු අපමණ පීඩා වින්දේය. දරාගැනීමේ සීමාව ඉක්මවූකල්හි දෙනෙතින් පෑහෙන කඳුළු කැට කියාපාන්නේ ඒකපාර්ශවීය වූ බැඳීම්හි අස්ථීර පැවැත්ම හා එතුලින් මතුවන්නා වූ වේදනාවේ අමිහිරි බවම නොවේද යන්න ඉලන්දාරියා තවමත් තේරුම් ගනිමින් සිටින සෙයකි.  වැව මැද ගල් තලාවට පැමිණ බොහෝ වෙලාවක් ගත වුවද, හුදකලාවට දැන්ම සමුදීමේ වුවමනාවක් ඔහු කෙරෙන් දිස් නොවීය. රස්තියාදුවේ කරක් ගසන සුළඟද, සරැලිති නගන  කිවුල් වැව් දියද හිතුවක්කාර කුරුළු නඩයක කිචිබිචියද ඔහුගේ හුදකලාවට එක් කලේ ඌණපුර්ණය නොවුනද,  තමා වටා ඇති ඒ සියල්ල තුලින් ස්ව හුදකලාවට එක් කරන්නේ  සියුම් සරදමක් පමණක්ම බව ඔහුට සිතින.

අතීතයේ පෙර දිනක මෙවන්ම වූ ගොම්මන් අඳුර වැව් දිය වෙලාගත් සන්ධ්‍යාවක ඈ වාරු වී සිටියේ ඔහුගේ උරහිසටය.
මේ දෙස බලා සිටින ඔබ, ඔවුන් පෙම්වතුන් යයි  ඉඳුරාම නිගමනය කරනු ඇති, අකමැත්තෙන් වුවද පිලිගතයුතුව ඇත්තේ ඔබේ තර්කය වැරදි බවය. කිසි විටක ඔබේ දෑසට පෙනෙන දේ මතුපිටින් විශ්වාස නොකරන්න, මන්ද දෑසකට, හදවතක සිතුවිලි විනිවිද දැකිය නොහැකි සේම දෑසින් දකින දෙයකින් පමණක් නිවැරදි නිගමනයකට ඒම  උගහට කරුණක් නිසාවෙනි.

නමුදු ඔබේද මගේද දෑස් මත යම් බලාපොරොත්තුවක සේයාවක් ජනිත කරමින් එකවරම ඔවුන්ගේ දෑස් මත දෑස් පැටලී ගියේ අහඹුවකිනි. ඔවුන් ඔවුනොවුන් දෙස බොහෝ වෙලාවක් බලාගෙන සිටියහ. අනතුරුව බොහෝ වෙලාවකට පසුව ඔවුන් අතර තිබු සියුම් අවකාශය හදිසියේ අසීමාන්තිකව පටු විය. ඔබ නිගමනයකට එළඹෙනු ඇති,  මේ දෙදෙනා පෙම්වතුන් බවත් මේ සිදුවන්නේ ඔවුනොවුන් කෙරෙහි ඔවුනොවුන්ගේ හදවත්වල ඇති ආදරය එකිනෙකාට ප්‍රකාශ කිරීමක් බවත්. විශ්වාස කරන්න...මෙවරත් ඔබ නිවැරදි පිළිතුර දීමට අපොහොසත් වූ බව.

කිටිකිටියේ එකට බැඳුනු දෑඟිලි ඉලන්දාරියගේ සිතට එක් කලේ ජයග්‍රාහී හැඟීමක් වුවද හුදෙක් මේ යයි කිව නොහැකි හැඟීමකට පමණක් වහල් වී සිටි යුවතිය කරන්නේ නොහොබිනාකමක්යි ඔබේ හදවත තීරණය කරනු ඇති. වරදක් කවුරු අතින් සිදුවුනද එය වරදක්මය. එහි සැකයක් නැත. නමුදු හදවතින් ආදරය කරන තම පෙම්වතිය සිප ගැනීම වරදක් ලෙස ඔබ නිගමනය නොකරන බව මා විශ්වාස කරමි. තම පෙම්වතිය සිප ගැනීම පෙම්වතෙකුගේ අයිතිවාසිකමක් බව මම අදහමි. එවිට පෙම්වතියකට පෙම්වතා සිපගැනීම පිලිබඳ ඔබේ අදහස කුමක් විය හැකිද ? සරලය..පිළිතුර එමමය.

එනමුදු ඉලන්දාරියා කෙරෙහි  එවන් වූ ප්‍රේමනීය හැඟීමක සේයාවකුදු නොවුන යුවතිය නොහොබිනා දෙයක් කිරීමට සැරසෙන බව මා පැවසුවේ එබැවිනි. අටුවාටීකා අවශ්‍ය නැත. උවැසි වුයේ යුවතියගේ ස්වරුපය ඔබට පහදා දීමටය. ඇගේ සිතේ ඉලන්දාරියා පිලිබඳ ඇත්තේ සහෝදරකමකට සමාන බැඳීමකි, එය පරයා යන බැඳීමකට යුවතිය සුදානම් නැත. ඇය කෙතරම් දුරට සාධාරණද මම නොදනිමි. බාගවිට ඔබත්.  

වැව් කණ්ඩියේ එහා ඉවුරේ ගිලුන සුර්ය කිරණින් දිලිසුන ඇගේ රන් පැහැ කම්මුල් ඉලන්දාරියා සිපගත්තේ මහත් ආශාව මිශ්‍ර ලොබමකිනි. ඊටත් එහා ගිය ආදරණීය හැඟීමකිනි.  එම උත්තේජනයෙන් බොහෝ වෙලාවක් දෙදෙනාගේම තටු ලැබුණු හැඟීම් සියොතුන්ගේ වෙස් ගෙන හිතුවක්කාර ලෙස අහස සිසාරා පියඹා ගිය කල්හි, ඔවුන්  වාඩිවී සිටි තනබිස්ස පොඩිවී ගියේ මන්දැයි ඔබ මගෙන් නොවිමසනු ඇති. .

"මේ..මෙතන හරියට ඌරො නටල වගේ" වෙහෙසකර ආදරණීය සටනකට පසු ඔහු කිවේ වචනයෙන් විස්තර කල නොහී හැඟුම් සමුදායක් හද තුල තෙරපගනිමිනි.

"ආ...දැන් කවුද ඌරො" ඇය ඔහුගේ දෑස දෙස බලා සිනාසුනේ යටිතොල සපාගෙනය මුහුණට දඟකාර ස්වරුපයක් ආරුඨ කරගනිමිනි .

"ඌරෙකුයි...ඊරියෙකුයි" ඉලන්දාරියා කිවේ අහස සිනාසෙන ගමන්ය.

යුවතිය හිඳගෙන සිටියේ තණ බිස්ස මත එරමිණිය ගොතාගෙනය. යුවතියකට වඩා එම ඉරියව්ව ගැලපෙන්නේ ඉලන්දාරියෙකුට උවද එමගින් ඈ කෙරෙන් අමුතු සුන්දරත්වයක් දිස්විය.  ඇගේ දැඟිලි එක මත එක තෙරපෙමින් තිබුන අතර ඇය යම්කිසි පසුතැවිල්ලකින් පසුවන බවක් පෙනින. දීර්ඝ සුසුමකින් ඉනික්බිතිව ඇය හඬ අවදී කළාය. 

"මොනවා වුනත් විශ්ව...ඕනෙම දෙයක් ඕනෙවට වඩා හිතන්න එපා..මෙතන පොඩි දෙයක් වුනා ඒ දේවත් ඕනෙවට වඩා හිතන්න එපා..ඔයා මගේ මල්ලි..මම ඔයාගේ අක්කා..එච්චරයි...! " ඇය කිවේ හුදෙක් සැහැල්ලු ස්වරයකින්  වුවද එතුල ඉලන්දාරියට තේරුම්ගත නොහැකි යම් කිසි දෙයක් ගැබ්ව තිබිණි.

"තේරුනේ නෑ"

"තේරුම් ගන්න උත්සාහ කරන්න විශ්ව..ගෙවල් වලින් කවදාවත් අපිට එකතු වෙන්න දෙන්නේ නෑ..අනික මම පසුතැවෙනවා.. මම පිලිගන්නවා මගෙන් වරදක් වුනා. මට බෑ දැන දැන ගින්දරට අත දාන්න..මං කෙසේ වෙතත් ඔයාව ඇදලා දාන්න"  ඇගේ වදන් ඔහුගේ හදවත නොසන්සුන් කළේය.

"හදිසියේම...මෙහෙම...? " ඉලන්දාරියාට වචන ගිලිනි. ඉවසුම්ද නොවීය.

යුවතිය  නිහඬය.

අතක් පමණක් නොව, යුවතිය මේ වනවිට ඉලන්දාරියගේ සර්වාන්ගයම දැවෙන ආදරය නම්වූ ගින්නට ඇද දමා හමාරය. නැගෙන ගිනි දැල් වලින් අර්ධව පිළිස්සුනු ජීවිතය ඉන් මුදවා පලක් නැත. එම ගින්නටම  පිලිස්සී මියයනු මිසක අන් විකල්පයක් ඉලන්දාරියට  කොහිද?.

එදා ඇගේ හඬ රාව පිලිරාව දෙමින් දැන් දැන් සවනත දෝංකාර දෙන්නා සේ ඔහුට ඇසින.

දිලිසෙන ඇගේ රන් තෝඩු වල දිස්නය පරයන ආලෝකයක් එවන් දිනවල  ඇයගේ දෙනෙත්වලින් දුටුවා ඔහුට  මතකය. අහිංසක ඒ දෑස්වල අපරිමාන ආදරයක් ගැබ්ව තිබුණු බව ඔහු දැන සිටියේ අදක ඊයෙකද නොවේ. එවන් වූ අප්‍රකාශිත ආදරයක් කුමන හෝ හේතුවක් අරබයා තමාව මෙතරම් අසරණ  කරාවි යයි හෝ මෙවන් ඉරණමක් තමාට අත්කර දෙතැයි හේ කිසිදා නොසිතන්නට ඇති.  

රිද්මයානුකුල විරාමයකට අනුගතව  ඔහුගේ දෑතින් ගිලිහුන තිරුවානා ගල් කැබලි වැටීමෙන්  වැව් දිය මත ඇඳෙන්නාවූ කවාකාර රැලි මත තම අතීතය විනිවිද දැකීමේ නිරර්ථක උත්සාහයක ඔහු යෙදී සිටියේය. අවුල් වූ හිසකෙස්, දිය රැලි වෙතට ඍජුවම නැඹුරු වූ කඳුළු පිරුණු දෙනෙත ඒ බව මොනවට කියා පෑවේය. රත් පැහැ වූ නලියන දෑස් මත සටහන් වී තිබුනේ අපේක්ෂාභංගත්වයේ සලකුණු බවනම් ඉඳුරාම කිව හැකිය. ආදරණීය පාඨකයිනි විශ්වාස කරන්න, ඔහු මේ කතාවේ වර්තමානයේ රඟ දක්වන්නේ පෙම්වතෙකුගේ භූමිකාව නොවේ. එසේනම් මේ කඳුළු කුමක් අරබයා ගිලිහෙන්නේද ඔබ මගෙන් විමසනු ඇති. ඉලන්දාරියෙකුගේ දෙනෙතකින් කඳුලක් ගලන්නේ යුවතියක් වෙනුවෙන් නම් ඒ අහේතුකව විය නොහැකිය.

අසම්මතය වූ කලි අසම්මතයමය. අසම්මතය ප්‍රේමය මූලික කොට ගත් කල්හිදීත් එයද අසම්මතයම වේ. අසම්මතය කරණකොටගෙන බැටකන්නවුන් හට උරුම වන්නේ වේදනාවම මිසක අනෙකක් නොවේ. එබැවින් අසම්මතය සමග පොරබදන්නවුන් එයින් අත්වන ඉරණම භුක්තිවිඳීමට සුදානම්ව අසම්මතයේ හැසිරිය යුතුය. එයද තනි කැමැත්තට නොහැකිය..

අන්ධකාරය වැව් දිය මුළුමනින්ම වසා ගනිත්දී ඉලන්දාරියා නැගිට සිටියේ තවත් දවසක කටුක බව අතීතයට මුහු කර අවශේෂ කටුකත්වය මතු දිනක විඳීමට යලි ඒමේ සුදානම ඇතුවය.