හීතලට ගුලි වෙලා සරම ඔලුවේ ඉඳන් පොරෝගෙන ගොරෝ ගොරෝ හිටපු රයිටර් දැක දැක හිටපු හීනේ සුන් බුන් චකබ්ලාස් වෙලා ගියේ අර දවසක් කීව අක්කගේ ඔරලෝසුවේ එලාම් සද්දෙට. අත්දෙක බෙල්ල වටේ කරකවලා ඇඟ අඹරලා හිරි ඇරලා ඇඳෙන් බහිනකොටයි මතක් වුනේ අද ඉරිදා කියලා. කන්නාඩිය ඉස්සරහට ගිහින් මුණ බැලුවේ පුරුද්දට වගේ වුනත් හැමදාම ඇස් දෙක නතර වෙන්නේ කනට පල්ලෙනුයි නිකට වටෙයි දළුලා වැඩෙන රැවුල් කොට ගාව. "ෂාහ්....! අමාරුවෙන් මාසයක් විතර වවාගත්ත රැවුල පීදෙගෙන එන ලස්සන......"කවියක්, කතාවක් ලියල කවුරු හරි ලස්සනයි කිව්වම හිතට දැනෙන අහිංසක අභිමානය වගේ හැඟීමකට ලඟින් යන හැඟීමක් එවලෙත් මට දැනුණා. මගේ හිත ඔද්දල් වෙන්න ගත්තා මං ගැනම. පැයක් විතර මුණම හෝදලා කෝකටත් තෛලය වගේ තියන ස්ලිම්ෆ්ට් ඩෙනිම අතට ගත්තේ ඩෙනිම් කලිසම හොයාගත්ත මනුස්සයට පින් දිදී. දවසක් රයිටර්ගේ උපන්දිනේට දිලූ දුන්න ලා නිල්පාට ස්ලිම්ෆිට් ෂර්ට් එක ඇන්දේ වෙන අඳින්න එකක් නොතිබුන හන්ද නෙමෙයි, ආදරේ දළුලා වැඩෙන්න ඒවගේ පුංචි සිද්ධියක් වුනත් හොඳටම ඇති කියලා ලඟදි කියවපු පොතක තිබුන හන්දා. දිලුගේ ආදරේ පොඩ්ඩක් හරි වැඩි වුනොත් කාටද.. මටනේ...!
ලාච්චුවට අතදාලා පීරලා පීරලා රුපියල් විස්සේ කොළ කෑල්ලක් හොයාගත්තේ ගමන් වියදමට හරියන්න. එනකොට දිලුගෙන් රුපියල් පහක් ඉල්ලගන්නවා කියල හිතාගෙන. යකෝ රටේ උද්ධමනේ මටත් සෑහෙන්න බලපාල වගේ. අන්තර්ජාතික ණය ආධාරයක්වත් ඉල්ලගන්න හිටියේ අක්කා විතරයි. ඒත් රයිටර්ගේ යම් යම් පෙර වැරදි වලින් අන්තර්ජාතික නියෝජිතයින්ගේ විශ්වාසය පලුදු වෙලා තියන හන්දා මේ දවස් වල සැලසුම් සහගත රොබරියකින් ඇරෙන්න ආධාරයක් බලාපොරොත්තු වෙනවා බොරු. "බලමු බලමු ඉස්සරහට කරන දෙයක් කරමුකෝ" කියල හිතාගෙන ශාරුක් අයියා ගාන ක්‍රීම් එකයි, ජෝන් ඒබ්‍රහම් ලොක්කා ගාන ක්‍රීම් එකයි දෙකම කලවම් කරගෙන මුනත්තහඩුවේ උලාගත්තේ මලපෙරේත පාට ටිකක් හරි යන්න.
"හෙලෝ දිලූ පැට්ටෝ....ගුඩ් මොර්නින්ග්..........! ඔන්න මම එනවා......!"
"හෙලෝ හෙලෝ රයිටර් පැට්ටෝ...ගුඩ් මොර්නින්ග් ....ම්.......ම් හොඳ....ළමයා අද කලින් එනවා නේද, හැබැයි වෙන කොහේ හරි රස්තියාදුවක ගිහින් එන්නහෙම පරක්කු වුනොත් හපනවා හොඳේ ...........කන කෑලි කෑලි වලට"
දකුණු කකුලේ සුළඟිල්ලෙන් ඇතිවෙච්ච හිරිවැටිල්ලක් මගේ වම් කන් පෙත්ත හරහාම ගියා.. එක අතකින් කන අල්ලාගෙන ෆෝන් එකත් කනේ ගහගෙනම අද්දන බස් එකේ දොරට පැන්නේ පරක්කු වුනොත් ගෙදර එන්න වෙන්නේ කන නැතුවනේ කියන බයට.
"මල්ලි තෝ මැරෙන්න හදනවද ගස් ඌරෝ. දුවන බස් එකේ එල්ලෙන්නේ.....තොට මදන කුලප්පුව ඔලුවට ගහලද.....තෝ මලානම් තෝ සැතපෙයි පෙට්ටියේ...අපි එපැයි ගස් යන්ඩ, මොකද තෝ වලෙන් බැහැල ඇවිත් අපිව බේරාගන්නවා කියලද...මැරෙනවනම් මැරියන් කෝච්චියට පැනලා නැත්තම් බෙල්ලේ ගලක් ගැටගහගෙන ලිඳකට පැනලා.......බොලාගේ වරිගේ එවුන් තොගේ පෙට්ටිය තියාගෙන පාරවල් හරස් කරලා කෙලින පිස්සු පෙන්නන්න එවුන් ඉන්නවනේ...... රටේ මිනිස්සු ඉන්නවනේ ටීවී එක ඉස්සරහට වෙලා කට ඇරන් අනේ හපොයි කියන්න......අනේ මුන්ට .*&^&%$@#.... "
ඉස්සරහ සීට් එකේ හිටපු කෙල්ලො රංචුවගේ ඇස් කන ගාවට ගියේ කට බෙල්ල ගාවට ඇරෙද්දීමයි. උන් ටික මං දිහා බැලුවේ ආත්ම අනුකම්පාවෙන් කියල මට තේරුණා.
මම ලාමක ළපටි හිනාවක් පෑවේ උන්ගේ අවිහිංසාව දරාගන්න බැරුව.
"මල්ලි ඔය පොල්ල අතැරලා පස්සට යන්න, ඔය අක්කා අයියට හේත්තු වෙන්නේ නැතුව ඉස්සරට වෙන්න...මැද පොල්ල අල්ලාගෙන ඉන්න කට්ටිය කතා කරලා ඉස්සරහට වෙන්න..සල්ලි ගන්න...ටිකට් ගන්න..අනේ අක්කේ අක්කගේ ඔය ඩිකිය පොඩ්ඩක් ඇතුලට දාගන්න....කවුරු හරි මේ නංගිව වඩාගෙන ඉන්න අයියට සීට් එකක් දෙන්න....! ඔය නංගි ගාව සීට් එක අල්ලන් ඉන්න මල්ලි සල්ලි ගන්න..මාරු සල්ලි ගන්න. ..මාරු දෙන්න.......පස්සෙන් බහිනවා...පස්සෙන් බහිනවා..ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. ඉස්සරහින් නැග්ගද...හරි හරේ යං ?
"ඔය ෆෝන් එක කනේ ගහන් ඉන්න මල්ලි ටිකට් ගන්න" කොන්දා අයියා මං ගාවට ආවා...
"දොළහේ එකක්"
"මල්ලි ඉතුරු ගන්න....පේරද, ඇපල්ද, දිවුල්ද ?"
"ඇඃ....මොකක්..මුකුත් එපා අයියේ දැන් බෑ....ඉතුරු දියන්කෝ "
"ඉතුරු දෙන්න මාරු නෑ ඉඳා ඒවාට හරි යන්න මේ ටොෆි ගනින්"
"අයියේ ගස්ලබු නැද්ද" පිටිපස්සෙන් හිටපු එළ කොල්ලෙක් කියනවා ඇහුණා, කෙල්ලෝ ටික කිචි බිචි ගෑවා දෙමලිච්චෝ රංචුවක් වගේ.... කොන්දට මල පැනලා අංශක විසි තුන හමාරයි පොයින්ට් දෙකයි කාලකට විතර. කොන්දා මගේ අතේ රුපියල් පහක් එක්ක ජාති තුනෙන් ටොෆි තුනක් මිටමෙලෙව්වා ගස්ලබු ඉල්ලපු එකාට රවාගෙනම.
----------------------------------------------
කියපු වෙලාවට තත්පර 80ක් විතර තියලා මම දිලූ ගාවට ගියා.
පාට පාට හීන වල අතරමන් වෙච්ච අන්ධ වූ ආදරවන්තයෝ ආදරවන්තියෝ මැදින් මමත් දිලුගේ අත අල්ලාගෙන පාක් එක ඇතුලට ගියේ පාට පාට ලෝකෙක අතරමං වෙන්න හිතාගෙන...
"අනේ රයිටර් බලන්නකෝ ඔයාගේ ඇඟේ හැටි, ඔයා හරි කෙට්ටුයිනේ...හුළඟක් ආවොත් ගහගෙනත් යාවි..එහෙම නෙමෙයි රයිටර්....කොල්ලෙක් වුනාම සික්ස් පැක් තියෙන්න ඕනේ, ආම්ස් දෙක තියෙන්න ඕනේ ෂර්ට් එක ඇන්දාම කිටි කිටියේ හිරවෙන්න. ෆෝර්ආම්ස් තියෙන්න ඕනේ කැපිලා පෙන්න. කෝ
ඔයාගේ සික්ස් පැක් තියද කියන්න"
"ආ... ඔව් ඔව් තියනවා සික්ස් පැක්...තියනවා හයක් නෑ හැබැයි.....ඊට වැඩියි"
"කෝ එහෙනම් කීයක් තියද..පෙන්නන්න බලන්න?"
මම ගැඹුරු හුස්මක් අරං බඩ අකුලන් එකේ ඉඳන් 12 ට ගැනලාම මගේ පපුව පෙන්නුවා
"පිස්සුද අනේ ඔය ඉල ඇට කුඩුවනේ. සික්ස් පැක් එන්නේ බඩේනේ හලෝ... ම්....ම්...ම්.... හරි හරි ....කමක් නෑ හොඳ ළමය වගේ මං දෙන මේ පිටි එක අරං ගිහින් බීලා ජිම් එකක් හොයාගෙන යන්න. ආ...මේ තව ඔය මල්ලේ සීඩී එකක් ඇති එක්සසයිස් කරන විදිහ.. ඒක බලල ඒ විදිහට කරන්න හොඳේ...කොහොමද රයිටර් ජෝන් ඒබ්‍රහම් වගේ වෙලා ආවම.....කාටද ආඩම්බර...? ඔයාගේ දිලුටනේ..හා නැද්ද හා...?"
දිලුගේ මුනේ තිබ්බේ බලාපොරොත්තු සහගත බැල්මක්. එක අතකට දිලූ කියන්නේ ඇත්ත තමයි. දිලූ කියන විදිහට කරලා බලන්න ඕනේ. මගේ හිතත් බලාපොරොත්තු වලින් ගොජ ගොජ ගාල පිරෙන්න ගත්තා.
"ජිම්...?....එක්සසයිස්....?....පිටි.....? සික්ස් පැක්....? කොහෙන්ද වස්තු ඔයා මෙව්වා හොයා ගත්තේ."
"නෑ අනේ මං ජෝන් ඒබ්‍රහම් ඉන්න අලුත් ෆිල්ම් එකක් බැලුවා. මටත් හිතුනා මගේ රයිටර්වත් ඒ විදිහට හදල ගන්න ඕනේ කියලා....ඉතින් මම අපේ අයියගේ සුට් කේස් එකේ තිබ්බ පිටි එකේ නම ලියාගෙන ඔයාට එකක් අරං දුන්නේ. අපේ අයියත් ජිම් යනවනේ. එයා ගන්නෙත් ඔය "මාස්" එකමයි. ජිම් එකේ මාස්ටර් කියල තියෙන්නේ ඒ ජාතිය හොඳයි කියල....හොඳ ළමයා වගේ කුක්කු ටින් එකම බොන්න හොඳේ.
"ම්.ම්ම් එතකොට මේක කීයක්ද"
"ඒවා වැඩක් නෑ ඔයා බොන්නකෝ..ගාන වැඩක් නෑ"
"නෑ නෑ කියන්නකෝ....ප්ලීස්...!"
"කිලෝ එකම හයදාහක්"

