එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්‍ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය. වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව තිබුණු ඇඟ කිලිපොලායන සිසිලසත්, අවට පැවැති නිහඬතාවයත් හේතුවෙනි. සිදුවී ඇත්තේ කුමක්ද යනවග, මේසය මත තිබු අර්ධව දියබත් වූ කවි කොළයත්, සුළං සැර නිසා "ස්රෝස් ස්රෝස්" හඬින් තවමත් වැනෙන ජනෙල් තිරයත්, බිම තිබු වීදුරු කටු කීපයත් ප්‍රත්‍යක්ෂව පසක් කරද්දී, මේසය අසල තිබුණු කිහිලි කරුවට වාරු වී ජනෙල් තිරය, ගුලිකර ගැටයක් ගැසුවේ කවුළු පියන් තවදුරටත් විවෘතව තැබීමට අවැසි යයි මට හැඟුණු නිසාවෙනි.
මේසය මත වූ හාෆ් ෂීට් කොලය මත විසිරුණු දිය බිඳිති, එහි වූ අකුරු කෙරෙහි මදකුදු හෝ අනුකම්පාවක් නොකර ඇති සෙයකි. දියබත් වූ අතීතයද, කිසිදාක නොවියලෙන ලාටු සේ මා ජීවිතයම වෙලා සිටිද්දී, එහි බලපෑම අවාසනාවන්ත ලෙස අනාගතයටද සරදම් කරද්දී, දෛවය නම් වූ ස්වභාව ධාර්මික න්‍යාය කෙරෙහි වෛරී සිතුවිලි මවෙතින් පහල වන්නට පටන් ගත්තේ අදක ඊයෙක සිටක නොවන බැව් මා හොඳාකාරව දනිමි. මුවෙන් නික්මී ගිය සුසුම් සරින්, එදිය බිඳිති මදක් එහාට තල්ලු වී ගිය විනා, ළය සැහැල්ලු වීමක් සිදු නොවීය. හෙලන සුසුමක් පාසා ළය සැහැල්ලු වීනම්, මෙතුවක් වා තලයට මුදා හැරී සුසුම් හේතුවෙන්, මේ වනවිට මා ළය කුරුළු පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුය. සුසුම් ලමින් හදවත සැහැල්ලු කිරීමට ගත් නිරර්ථක උත්සාහය හමුවේ මා මුව මත සිහින් උපහාසාත්මක සිනාවක් සටහන් වුන බැව් ඉදිරියේ වූ මේස කණ්ණාඩියෙන් අහඹුව දිටිමි. තමාගේම සිනහව කැඩපතකින් දැක, එහි ඇඳෙන ප්‍රතිබිම්භයට යලි යලිත් සිනාසීම අවසානයේ එය හුදෙක් විහිළුවක් බවට පත්වීම තුල කොතරම් දීර්ඝ අඛණ්ඩතාවක් පවතින්නේද යන සිතුවිල්ල, මා පුදුමයටත් වෙහෙසටත් පත් කරවීය. දියබත් වූ කඩදාසිය මිටින් ගෙන ගුලිකර මේසය මතම රැඳෙන්නට හැර, නැවත රෝද පුටුවට වාරු වෙද්දී, අපේක්ෂා නොකළ ලෙස ඇය, මාගේ බඳ වටා අත දමා එහි අසුන් ගැනීමට සහය වූ පසුවයි මා අවබෝධකොට ගත්තේ මෙතෙක් ඇයද, මා රඟපාන ලද ඒකපුද්ගල ජවනිකාවේ අනාරධනාත්මක ප්‍රේක්ෂිකාවක්ව සිටි බව.
මාගේ දෑස වෙත සරල රේඛාවක් ඔස්සේ වැටී තිබු ඇගේ දෙනෙත් තුල වුයේ ප්‍රශ්නාර්ථය මුසු හැඟීමකි. බොහෝ විට, මා දෙනෙත් හා එක එල්ලේ බැඳුණු ඇගේ දෙනෙත දැකීමට මා කෙතරම් ප්‍රිය කලද මෙවර ඇගේ කැල්මේ සටහන් වූ තරවටුව, මා යම් තරමක් පසුගාමීත්වයට ලක් කළේය. කවුළුවට පිටුපා සිටි ඇය මාගේ දකුණු පසින් සිටගෙන සිටි අතර, ඒවනවිටත් කවුළුවෙන් හමා එමින් තිවූණු සුලන් රැල්, ඇගේ මුදාහල වරලස මත තැවරී කෙහෙරැලි අවුල් කරමින් සිටි අතරම ඊට නොදෙවෙනි රිද්මයකට ඈගේ දුහුල් රාත්‍රී ඇඳුමද නලියවමින් තිබිණ.
සුපුෂ්පිත පුෂ්පයක අනුරාගී සුගන්ධයත්, අමෘත මකරන්දයත්, ආරාධනාත්මකව බඹරුන්ට ඉඟි පානා කල්හි, නොසන්සුන්වන බඹරෙකු සේ මමත් නොසන්සුන්විය යුතුව තිබුනද, කපා දමන ලද තුඩ හිමි බඹරෙකු වෙතින් එවන් ප්‍රතිචාරයක් කෙසේනම් බලාපොරොත්තු විය හැකිද යන්න කාරනාව පිළිබද ගැටළුවක් හට ගනී . රෝද පුටුවේ පැඩලය මත තිබුන අප්‍රාණික පාදය වෙත මාගේ දෙනෙත් යොමුව තිබුන අතර ඇය පියවර කීපයක් ඉදිරියට පැමිණ මාගේ හිස දෑතින් ගෙන ඇගේ ළමැදේ සිරකරගත්තාය. ඉනික්බිතව ඇය සෙමින් ඉකිබිඳින්නට වුවාය. ඈගේ පපු තලය මතින් දෝර ගලා ගිය උණුසුම, මා හිස හරහා ගොස් හදවත අභන්තර පටක පවා උත්තේජනය කරන්නාක් මෙන් හැඟිණි. විටක ජීවිතය පිලිබඳ දැඩි ලෝබ කමක් මෙන්ම විටෙක දැඩි වෛරයක් මවෙතින් පැන නගින්නට හේතුවූ ප්‍රධානතම කාරණාවලින් එකක් වුයේ ඇගේ කිසිදාක වෙනස් නොවනසුළු මේ උණුසුමය. බාගවිට, ඇය මෙන්ම ඇගේ සෙනෙහසද නොවන්නට, මා මීට බොහෝ වෙනස් පුද්ගලයෙකු වන්නට තිබිණි.
ඇගේ තුරුලෙන් බොහෝ පරෙස්සම් සහගතව මා මුදා හල ඇය, පසුපසට ගොස් රෝද පුටුව තල්ලු කරගෙන ගොස් සයනය අසල නතර වුවාය. කුෂන් ලේයර් කීපයක් මගින් සැදුම් ලත් මෙට්ටය මතින් අතුරන ලද ඇතිරිල්ල කෙතරම් සැපපහසු වුවත්, එය බුර බුරා නැගෙන ගිනිදැල් සහිත චිතකයක් සේ මට පෙනෙන්නට වුයේ ඇය හුල්ලමින් ඇඳේ වැතිර සිටිනායුරු දකිනා වාරයක් පාසා බව සමහර විටක ඇයද නොදන්නවා විය හැකිය. ඇය, මා සයනය මත හිඳ වීමට මහත් වෙහෙසක් ගත්තාය. අවසාන වශයෙන් රෝද පුටුව මෑත් කොට ගෙබිම මත ස්පර්ශ වෙමින් තිබුන අප්‍රාණික පාදයද දෝතින් ගෙන ඇඳ මතින් තැබුවාය.
"දෙයියනේ ලේ" ඇය භීරාන්ත වී මදෙස බැලුවාය.. කලබලයට පත් වූ දෙනෙත පෙර ඉනූ කඳුළු වලින් දීප්තිමත්ව බැබලුනත්, එහි මහා අසරණ කමක් ගැබ්ව තිබුනේය.
"වීදුරු කටුවකට කැපෙන්න ඇති" වේදනාවෙන් තොර වූ පාදයෙන් ගලන රුධිරය දෙස හිස ඔසවා බලමින් මා පැවසුවේ සැහැල්ලුවෙනි.
"හොඳ වෙලාවට දෙවියනේ දැක්කේ..ලොකුවට එහෙම කැපිල නම් කාට කියන්නද" ඇය වහා නැගිට තුවාලය පිරිසිදු කර වෙළුම් පටියකින් බැඳී නමුදු, සංවේදනයෙන් තොර පාදයට එයින් කිසිදු වෙනසක් නොදැනිණි.
මෙතරම් කල් වේලා ඇතුව අපේක්ෂා නොකලද, යන්තම් හෝ වාරුවෙන් සිටගන්නා ඉතිරි පාදයේ කෙලවර සිට හිස දක්වා හදිසියේ ගලා ගිය හිරියක්, ඉදිරියේදී ජීවිතයට අමතරව එක් කල ගත යුතු අවධානමක් පිලිබඳ අනතුරු හැඟවූයේ ඇය පැමිණ මා අසලින් වැතිර ගත්තායින් ඉනික්බිතිවය. විදුලි පහන නිවා දැමූයෙන් කාමරය අන්ධකාරයේ ගිලෙමින් තිබුනද, ඒ වනවිටද හැර දමා තිබුණු කවුළුව තුලින් අනාරාධනාත්මකව කාමරය තුලට පිවිසි සඳ එලියට දෑස හුරු වීමට එතරම් වෙලාවක් ගත නොවීය.
"රිදෙනවද....?" ඇය කතාවකට මුල පිරුවාය. සංවේදනයෙන් තොර අවයවයකට, වේදනාවක් නොදැනෙන වග, දැන හෝ නොදැන ඇය විමසුවේ මන්දැයි නොදනිමි.
"මගෙන්ද ඇහුවේ...?" පිළිතුරු දීම වෙනුවට පැනයකින් පිළිතුරු දුන්නේ කතාව දික් ගැස්සවීමට මටද වුවමනාව තිබුන නිසා වුවද, ඊට වඩා මා අපේක්ෂා කලේ බැරෑරුම් මොහොතකට පසු ඇගේ මුවෙන් ගිලිහෙන දුලබ සිනාව දැක ගැනීමටය.
කිසිවිටකත් මා බලාපොරොත්තු නොවූ හීල්ලුමක් ඈ හෙලු අතර, ඒ සුසුම තුල කෙතරම් හැඟීම් සමුදායක් කැටිව ඇත්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවිණි.
"අපර්ණා....!"
"ම්ම්..."
"පොරොන්දුවක් වෙන්න පුලුවන්ද...."
"ම්ම් මොකක්ද...."
"ම්ම්..නෑ..එ..එක්කොත් ඕනි නෑ....!.." සිතුවිලි වචන වලට පරිවර්තනය කල නොහැකි තරම් පීඩනයක් මා වෙලා තිබුනෙන් පසුබැසීමි.
"හ්ම්ම්...." ඇය ඒ පිලිබඳ වැඩිදුර නොවිමසීම ගැන මා සතුටු වුයේ අහම්බෙන් වුවද, එවන් කරුණක් නිසා සතුටු වීම, මා ජීවිතයේ එතරම්ම දුර්ලබ කාරනාවක් වන නිසාවෙනි.
"අපර්ණා..."
"ම්ම්.."
"මාව අත අරින්න..අපර්ණා..ඔයාගේ ජීවිතෙන් මාව අතාරින්න..ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න... ඔයා හොයන සතුටවත්, ගෑනියෙක් මිනිහෙක්ගෙන්, ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල්වලින් ගොඩ හරියක් මට ඔයාට දෙන්න බෑ..ප්ලීස් මාව අතාරින්න....මාව අතාරින්න." මට හැඬුම් ආවේය.
ඇය හා මා අතර පැවතියේ දැඩි නිහඬතාවක් වුවද කන් හාරවන ගොරහැඩි ශබ්ධයකට වඩා නිහඬතාව ප්‍රබලව දැනෙන්නේ මන්දැයි මම නොදනිමි.
"අනුරාධ...!.." ඇයගේ හඬේ යම්කිසි උද්වේගකාරී ආවේගයක් කැටිව තිබුන අතරම සියුම් මොලොක් ගතියක්ද, බලාපොරොත්තු සහගත හැඟීම් සමුදායක සංඛ්‍යාතයක්ද කැටිව තිබිණ.
"ජීවිතේ මං ඉල්ලුවේ එක දෙයයි...දෙවියෝ ඒ දේ මට දුන්නා..අඩුපාඩු ඇතුව වෙන්න පුළුවන්..ඒත් මම බලාපොරොත්තු වුන දේ ලැබුනා...මට ඒ ඇති.....ඔයාට මාව එපානම් නින්ද ගියාම මගේ හුස්ම හිර කරලා මරලා දාන්න....එච්චරයි.."
නැවතත් කන් අඩි පසාරු කරන දැඩි නිහඬතාවක් අප දෙදෙනා වෙලාගත්තේය. මා නිරුත්තර වුයෙන්, මුව අයාගෙන සිටිනවා විනා කළහැකි අන් යමක් නොවිණි.
බොහෝ විට ඇය ඇගේ හෘද ශාක්ෂියට එකඟව කටයුතු කරනවා විය හැකිය. එසේත් නැතිනම් දෙපා වාරු නැති අසරණයෙක් වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කොට පාරමිතාවක් පුරනවා විය යුතුය. ජීවිතය නම් වූ පුදුමාකාර මායාව තුල ආදරය නමැති ඇස් බැන්දුමට ඇය රැවටුනාද විය හැකිය. එසේද නොමැතිනම් දෛවය විසින්, ඇය ජීවිතය නමැති ක්‍රීඩාවෙන් පරාජයට පත්කළා වන්නට පුළුවනි. ඒ සියල්ලක්ම නොවේනම් සංසාරගත, ආත්මීයගත ආදරයක මේ භවයේ සම්පුර්ණ කලයුතු කොටස පුරවනවා විය හැක.
ජීවිතයක් ජීවත් කිරීමට හදවත් දෙකක් තුල ඇති ආදරය පමණක් සෑහේවිද යන උභතෝකෝටික පැනයට පිලුතුරක් ඇය මාගෙන් වෙන්වන දිනයක් එළඹෙන තුරා දිය නොහැකිය. එසේනම් මෙතරම් මා වෙනුවෙන් කැපවීමක් කරනා ඇයට ආදරය කිරීම කිරීම විනා විකල්පයක් මා සතු නොවන්නේ බව දැන දැනත් ඇයව අහිමි කරගැනීමට තරම් මසිත නොනැමෙන්නේ තවමත් සංවේදනයෙන් යුතු හදවතක් මා සතුව ඇති නිසාවෙන් විය යුතුය. නැතිනම් මාගේ ආත්මාර්ථකාමී හදවතේ බලපෑම නිසා නිසා උපන් හැඟීම හේතුවෙන් විය යුතුය
"හ්ම්ම් අපර්ණා..අපි ජීවත් වෙමු"
''හ්ම් ජීවත් වෙනකම් ජීවත් වෙමු" ඇය පැවසුවේ මා කවදත් ප්‍රිය කරන ඇගේ සිනාව පාමිනි.
මා අසල වැතිර සිටින ඇයගේ සිහින් සුසුම් මා ළය පසාරු කරන්නාක්මෙන් දැනිණි. ජීවිතය විඳින්නට බලාපොරොත්තුවක් ඇතිකරගෙන මා ඇගේ තුරුලේ උණුසුමට තවත් ගුලි වුයේ, ආදරය කරන්නට හදවතේ සංවේදනය පමණක් ඉතුරු කරදෙන මෙන් දෙවියන්ගෙන් ආයාචනයක් කරමිනි.