Sunday, March 6, 2016

සලෙළු කළුවර





සලෙළු කළුවර
තැන තැන
අහුමුළු වල
ගස් යටය
තවමත්
නුරාගී ශ්වේත
සේද මිහිදුම්
සෙව්වන්දියක
තුරුළක

~ මිස්ට් රයිටර් ~

Thursday, January 2, 2014

මඩ පුවක් රසැති චුයින්ගම්

හාත්පස පැතිරිච්ච ඉර එලිය, ලෙසටම කාමරේ ජනෙල් කුරු අස්සෙන් ඇවිත් ඇස් දෙක වැහිලා තිබ්බ පිහාට්ට උඩ පිස්සු කෙලින්ඩ ගත්තායින් සරමේ ගැට්ට හපාගෙන සැප නින්දෙයි මර නින්දෙයි වෙනස අස්සේ ඉඟි බිඟි කර කර හිටපු මං අවාසනාවට වගේ දෛවෝපගතව ඇහැරුනා. මුණ පුරාම සිරියාවට තැවරිලා තිබ්බ කබ මිශ්‍ර කුණුකෙල තට්ටුවට උඩින් වතුර පොඩ්ඩක් ගාගෙන වලං අල්ලන රෙද්ද වගේ වෙච්ච වැලේ වනලා තිබුන තුවායෙන් මුණ පිහද පිහදා සාලේ පැත්තට ආවේ දවස ජීවයෙන් පටන් ගන්න හිතාගෙන.

තරුණ කාලේ කරන්ඩ පුළුවන් ඔක්කොම කුප්පකම් කරලා ඉස්තෝප්පුවට වෙලා බණපොත් කියවන අපේ බාප්පාගේ තාත්තා ඒ කියන්නේ අපේ තාත්තගෙත් තාත්තා, කරුමෙට මගේ සීයා,  කන්නාඩියට අක්කරයක් විතර පාතින් මං දිහා බලලා පොලවට ලම්බ සමච්ඡේදක වෙච්ච මෙසපොතෙමියස් හිනාවක් දැම්මා. ඒ හිනාවෙ යම්කිසි ඇවටියෙල් බවක් තියනවා කියලා මට තේරුනේ උන්දැගේ බොල් කටෙන් පිටවෙච්ච ඊළඟ වාක්කිය ඇහිලා.

"කොල්ලෝ මෙහෙන් ඈඳීගෙන මට විටක් කොටලා දීපංකෝ තරහ නැතුව" සීයා කියපි.

මේ හිරිමල් උදේ පාන්දර තරහ ගන්නැතුව කොහොමද යකෝ සීයේ විට කොටන්නේ. එහෙම හිතුවට,  කිව්වේ නෑ මට තව චිරාත් කාලයක් මේ වහල යට වසන්න ඕනි හින්දා.

"විට කන්ඩ හොඳ නෑ සීයේ පිළිකා හැදෙනවා..දවසට එක මිනිහෙක් මැරෙනවා, හෙට සීයද දන්නේ නෑ..සතියට හතක්, මාසෙට තිහක්, අවුරුද්දට රොම්බ ගානක්.."  මං සීයව බය කරා.

"අනේ පල යන්ඩ කෙප්ප නැතුව...කම්මැලිකමට, වැඩිහිටියෙක්ට සලකන්ඩ දන්නෑ තොපිලා.. උඹලා මගේ මුනුපුරෝ නෙමෙයි වල් ඌරෝ..තුහ්.. නොදකින්!" 

"හෙට අනිද්දා මැරිලා යන්න වයසක ඉන්න සීයා කෙනෙක් කියන කතාද මේ...? සික් අසික්කිත කුපාඩි කතා" මටත් ජුවල් හොඳටම...ඇයි  යකෝ මේ උදේ පාන්දර...

"කොල්ලෝ...එහෙනම් හංදියේ කඩේට අලුත් විට ජාතියක් ඇවිත් තියේ "බුලත්විට රසැති චුයින්ගම්" කියලා.. අනේ පින්සිද්ධ වෙයි මට එයින්  එකක් ගෙන්නෝලා දීපං. උඹට පිං සිද්ධ වෙයි." සීයා තොඳොල් වුණා.

"හැඃ...යකඩෝ ඒ මොනාද ඒ..?" මට මොංගල් වගේ...

"ඒ ඉදිච්ච පැහිච්ච තැලිච්චකම් වලින් වැඩක් නෑ හොඳ එකා වගේ මට ගෙනත් දීපන්කෝ.. මේ මතක් කරලා 'මඩපුවක් රසැති' එක ගෙනෙන් ඈ"

---
සුපුරුදු පරිදි අවුරුද්දේ අන්තිම දවසත් මුස්පේන්තු කරවන්ඩ රම්බා එනවා පේනවා ඈතින්, පස්සට ඔක්ටේන් අනු දෙක ගහලා වගේ පිඹගෙන.

"රයිටර්...වරෙන් යමන්"

"ඈ.. කොහෙද යකෝ"

"අඳනකඩේ බලවගන්න යන්න බං"


"ඈ...අඳනකඩේ බලවගන්න...යමං පලයන් පංසලට.. ගලේ වනලා ඇති ඕනේ තරම්"

"මොන රිලා කුනුහරුපයක්ද තෝ කියන්නේ හැකරල්ලෝ..මේ තියෙන්නේ අඳනකඩේ?" කියලා ඌ සාක්කුවෙන් රවුම් කරපු වේලිච්ච කොලයක් ඇදල අරං පෙන්නුවා.

ඌ කියපු අලුකුත්තේරු කතාව ඇහුණා නම් ලූස් මෝෂන් ටයිප් එකෙක්ට එතනම දෙපාරක් බඩයනවා . මම බොහොම අමාරුවෙන් ඉවසා වදාරා හිටියා.

"යකෝ වේලපත්කඩේ..වේලපත්කඩේ.. තොගේ අඳනකඩේ මගුලක් නෙමෙයි රෙද්ද.."


"ආ.. ආ..ඔව්..ඔව්.. ඒක තමයි..." රම්බා හතරට පහට අම්බරුනා. ලාමක ලජ්ජා සහගත ඉටිකිරිස් හුරතල් තාලෙට හිනා වුණා. මට සීයාගේ විට වංගෙඩියෙන් ඔලුවට තඩිබාගෙන මැරෙන්න හිතුනා.

"....අනේ රයිටර්... යමකෝ හන්දියේ ජෝතිෂ්‍යය පොට් එකට.. පොඩ්ඩක් බලවාගෙන එන්ඩ.. අලුත් අවුරුද්ද ලබන්නේ හෙටනෙ.. අම්මා කීවා පොඩ්ඩක් බලාගෙන වරෙන්ය කියලා."

මේ වගේ අවජාත පජාත මිත්‍රයෝ හින්ද එක විනාඩියක් ගෙදර ඉන්න විදිහක් නෑ..නෙද්දකින්....කොහේ හරි කුදලාගෙන යන්නමයි හදන්නේ.

මම ඇතුලට ගිහිං හම්පඩ වෙච්චි ඩෙනිම දෙපාරක් ඉඹලා එක පාරක් වැඳලා ඇඳගත්තා. මෙලෝ සිහියක් නැතුව වගේ දකුල් දෙකම එක කකුලට දාලා තව පොඩ්ඩෙන් මෙසේ ගැට්ටේ කොනක කන්ගැට්ට වැදිලා සදාතනික සුවයත් ලබනවා..

"අනේ කොල්ලෝ..මතක් කරලා අරවයින් එකක් ගෙනෙන් ඈ" මං රම්බගේ දඬු මොණරේ නැගලා එන්න හෙල්මට් එක ඔලුවේ දාද්දිම අපේ සීයා කියපි.
----

"නෙද්දකින් යකෝ මේකේ ගඳ.." රම්බාගේ හෙල්මට් එක තනිකර බොම්බෙලි ගඳයි. මට ඔක්කාරෙට ආවා.

"ඔව් ඉතිං කරෝල දාපුහාම පොඩ්ඩක් ගඳයි තමයි" රම්බා පද්ද පද්ද කියපි.

"තොට හෙන ගහන්ඩ මොන ගල් කොරලියාද යකෝ හෙල්මට් එකේ කරෝල දාන්නේ"

ජෝතිෂ්‍යය පොට් එකට එද්දී අප්පට උඩු අම්බ සෙනගක් සූ ගාලා පෝලිමේ. පැය දෙකක් විතර පෝලිමේ ඉඳලා අපි ඇතුලට ගියා.

සුභ ඵල කේන්දර බැලීමට රුපියල් දාහයි
අසුභ ඵල සඳහා රුපියල් දෙසිය පනහයි 
කියලා ඇතුල් වෙන තැන දොරේ ගහල තිබුනා.

අනේ මේකේ අසුභ ඵල විතරක්ම තිබිය තිබිය කියලා ඒක දැකපු වෙලේ ඉඳන් රම්බා තොල් මතුරන්ඩ ගත්තා..

"ආ කොල්ලනේ ඉඳගන්ට... කෝ ගමු බලන්ඩ වේලපත්කඩේ "

විනාඩි දහයක් විතර ඇස් දෙක කේන්දරේ අලෝගෙන හිටපු ජෝතිෂ්‍යය අංකල් මුණට හෙන බැරෑරුම් පාර්ට් එකක් ගත්තා..
"මෙහෙමයි කොල්ලෝ.. කිව්වට තරහ වෙන්ඩ එපා..සාස්තරේට බොරු කරන්ඩ බැරි හන්දා ඇත්තම කියන්නම්. බොලාට උදා වෙන වසරනම් ඒහැටි හොඳ නැති පාටයි... ශනි  බුධගේ රේඛාවේ ගමන් කරන හින්දා යටපත් වෙච්ච තිරිසන් ගති මතු වෙන්න පුළුවන්. අත ගහන මෙලෝ මගුලක් හරියන්නේ නෑ... දෙයියම්පා.. සිකුරු සෙනසුරට මුවා වෙලා හින්දා මේ අවුරුද්දේදී ගෑනියෙක් තෝ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.."

රම්බාට දැන් ඇඩෙන සයිස්.... "ඉතින් අංකල් ඕකට ප්‍රතිකර්මයක් නැද්ද..?" කොච්චර වැඳ වැඳ හිටියත් රම්බා නහුතෙට බය වෙලා.

"මොකෝ නැත්තේ හාහ් හා හා මොකෝ නැත්තේ.... නිදියනකොට වැටකෙයියා මල් දාපු වතුර වීදුරුවක් කාමරෙන් තියාගෙන හිස් බඩ උදේට ඒක බීපං..... ගේ මිදුලේ මැද ඇඹුල් ගහක් හිටෝලා හැමදාම උදේට උදේට ඇහැරිලා උතුරු දිසාව බලාගෙන ඒකට මුත්‍රා කරාපන්.. ඊට අමතරව තව ගොඩක් ජාති තියේ.. මං ලියාලා දෙන්නම් ඒ විදිහටම කරාපන්.. වරදින්නේ  නෑ"

අපි රුපියල් දෙසිය පනහක් ගෙවලා ආපහු ගෙදෙට්ට විද්දා..

සීයා කට ඇරන් බලන් ඉන්නවා.. කිරි අප්පට මිලක් ෂේක් කිව්වලු...අමතක වුණා...

"බුලත්විට රසැති චුයින්ගම්"


01. "ෆේමස් රයිටර් මං" හා "මට අයිති නැති හිත"  
02. රම්බා මුණ පුම්බා මට මෙසේ කීවේය ?  
03.  එයත් එක්ක රෙදි අපුල්ලන්න ආසයි බං  
04. මම දෑවැදි ඉල්ලන මිනිහෙක් නෙමෙයි  
05. රයිටර් කසාද බැඳී වගනම්...!  
06. චිකෙයියා.......කනේ කොහෙද අනේ කන්යා0 පටල ?  
07. සික්ස් පැක් එන්නේ බඩේනේ රයිටර්...!!!  
08. කළු දොදොල් තමයි බං රහ  
09. "වොට්.....? හු ඊස් සෙනෙහෙ ලතා...?"  
10. "ජයන්ත....?...කවුද පරට්ටියේ ජයන්ත.....?"  
11. "චීඊ..චීඊ..සර්...අවකැපෙන කැත කතා කියන්න එපා. මේක ලයිව් ටෙලිකාස්ට් කරනවා.  
12. "තොගේ ආච්චිගේ හවරිය...යකෝ...මට...මට...වා...වා"  
13. "සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං...?"  
14. ඇඩෝව් එතකොට උඹ බිහිවුනේ ස්පෝථනයෙන්ද.....?  
15. "පට්ටයි මචන්...ඒ පැත්තෙන් ඇවිත් යන්න"  
16. "අ.....නේහ්..!!!....එයාට රිදෙයි...!!! .පරිස්සමෙන්...අනේ"  
17. "රයිටර්..ඉක්මනට යමන්..අපේ නංගි පරල වෙලා  
18. ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි l  
19. අනේ අයියේ ප්ලී.....ස් දොර අරින්න  
20. "ඇයි බං රයිටර් අරූ මහා දවල් හෙඩ් ලයිට් දාගෙන යන්නේ....?"  
21. අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !  
22. මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.  
23. මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං  
24. "සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"  
25. ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ  
26. "සරමෙන් බැරිනම් අමුඩෙන්"  

Tuesday, October 22, 2013

නෑ මහත්තයා.. ඒ පටන් ගැන්ම විතරයි

 
මම ඉන්නේ ගොඩක් සන්තෝසෙන් කියලා වටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න ඕනි නිසා මම අමාරුවෙන් මුණට හිනාවක් අලවගත්තා. මං හිතන්නේ ඒක තරම් අමාරු වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති. හැඟීම් යටපත් කරගෙන බොරුවට හිනා වෙන එක මහා කරුමයක්.  ඊටත් වඩා මිදුලේ රවුම් මේස වටේ ඉඳගෙන, විස්කි බ්‍රැන්ඩි තොලගාන ඩැඩීගේ යාලුවෝ, යාලුවන්ගේ ගෑණු, ඉස්සරහට ගිහින් අතට අත දීලා "හායි අංකල්....හායි ආන්ටී" කියන එක මහම මහා වාතයක්. සමහර  නාකි මනමාලයෝ කෙල හල හල මගේ ඇඟ දිහා කන්න වගේ බලනකොට මට පුදුම තරහක් එන්නේ. බීගත්තු ගෑණු, මිනිස්සු මගේ කම්මුලට කම්මුල තියලා හාදු දෙනකොට උන්ගේ කටින් එන අරක්කු ගඳට ඔක්කාරෙට එන එක මම නවත්තගෙන ඉන්නේ කියා ගන්න බැරි තරම් අපුලකින්.

මොකක් හරි දෙයක් අකමැත්තෙන් මට කරන්න සිද්ද වුනොත් දවස් දෙකක් තුනක් යනකම්, සමහර විට සතියක් එකහමාරක් යනකම් මගේ මුඩ් එක හොඳටම අප්සට් යනවා. ඒ බව දැන දැනත් මමී, අලුතෙන් ගෙනාව මැක්සි ස්කර්ට් එකට හරියන බ්ලවුස් එකක් ඇඳගන්න කියලා මගේ අතට විසික් කල වෙලාවේ ඇත්තමයි මට බැල්කනියෙන් පැනලා මැරෙන්න තරම් හිතුනා. මම ඩැඩීට කොච්චරනම් පින්සෙන්ඩු වුනාද,  මගේ පාඩුවේ කාමරේට වෙලා ඉන්න දෙන්න කියලා, එයාගේ සාදවලට මාව නොගාවගෙන. කොහෙද... එයාට ඕනි මාව ප්‍රදර්ශන භාණ්ඩයක් කරලා මිදුල පුරාම ඇවිද්දවල, ඒ ඇවිත් ඉන්න සල්ලිකාර මිනිස්සුන්ගෙන් කෙනෙක් අනාගත ලේලි විදිහට මාව තෝරාගන්නවා දකින්නනේ.

පාට පාට බල්බ් වලින් එලිය වැටුණු මිදුල පුරාම තැන තැන විසිරිලා ඉන්න මිනිස්සු ඇඹරි ඇඹරි ඩාන්ස් කරනවා. එක්කෝ වයිෆ් එක්ක නැත්තම් වෙන කාගේ හරි වයිෆ් කෙනෙක් එක්ක. සමහර විට ඔය ඩාන්ස් එක කෙලවර වෙන්නේ එක්කෝ, කාර් එකේ යතුරු හුවමාරුවෙන්, එහෙමත් නැත්තම් අපේ පහල තට්ටුවේ කාමරයකින්.  සමහරු මේ ලෝකේ රහක් නැති විහිලු කරලා මහා හයියෙන් හිනා වෙනවා. තොල් රතුකරගත්තු ගෑනු, ඇඟිලි කරුවට හිරකරගත්තු සිගරට් එකයි, ඒ අතේම තියාගෙන ඉන්න විස්කි වීදුරුවයි මහා උජාරුවෙන් තොල ගාන්නේ මතට මත්වුන ඇස් පිහාටුවල අනතුරු ඇඟවීමවත් ගානකට ගන්නේ නැතුව.

කොහොමත් මාසෙකට සැරයක්නම් අපේ ගෙදර මේ වගේ ග්‍රෑන්ඩ් ස්කේල් පාටියක් තියනවමයි. උපන්දිනයක්, සංවත්සර උත්සවයක් වගේ විශේෂ හේතුවක්ම ඕනි නෑ අපේ මමීටයි ඩැඩීටයි පාටි තියන්න. කොටින්ම හේතුවක් නැති එකත් හේතුවක් කරගෙන පාටියක් ඔර්ගනයිස් කරන්න අපේ මමීටයි ඩැඩීටයි ඒහැටි වෙලාවක් යන්නේ නෑ. "ගොඩ කාලෙකින් පාටියක් ඔර්ගනයිස් කලෙත් නෑනේ" ඕක තමයි මම අහන්න අකමැතිම වචන ටික. ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මට අවුරුද්දකට කන්න වෙලා තියන කටු ගැන. මට පාර්ටි එපා වෙන්න හේතුවුන ලොකුම හේතුව තමයි ඩැඩීගේ බිස්නස්වල ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වුන ඇල්බට් අංකල්. ඇල්බට් අංකල් සුදුවෙච්ච කොන්ඩෙ කළු පාටින් ඩයි කරපු, මුණේ දෙපැත්තෙන් තරමක රැවුලක් තියෙන ටිකක් ඇඟපත තියන පිළිවෙලට අඳින මනුස්සයෙක්. අපේ ඩැඩීගේ බිස්නස් ගොඩක්ම දුවන්නේ ඇල්බට් අංකල්ගේ සල්ලි වලින්. ඉතින් බිස්නස් වැඩ රාජකාරි වැඩ නිසා ඇල්බට් අංකල් එයාලගේ ගෙදර ඉන්නවටත් වඩා වැඩිය ඉන්නේ අපේ ගෙදර. අපේ ඩැඩීටත් එයාට වඩා හොඳ මිනිහෙක් නැති තරම්. ඒ වුනාට ඇල්බට් අංකල් අපේ දිහා ආව වෙලාවල්වල ඩැඩීට හොරෙන් මං දිහා බලන බැල්ම නිසා මට එයා ගැන පුදුම කේන්තියක් දැනුණේ. මම පුදුම බයෙන් හිටියේ කවදා හරි මට ඇල්බට් අන්කල් හින්දා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි කියලා. එහෙම නැත්තම් මං හන්දා ඇල්බට් අංකල්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයිද කියලා.

බැල්කනියේ කෙලවරේ පුටුවට වෙලා ඉන්න මට පහල වෙන ඔක්කොම හොඳට පේනවා. ඩැඩී යාලුවොත් එක්ක බර කතාවක. මමීගේ අතෙත් විස්කි වීදුරුවක් තියනවා දැක්කම මට හොඳටම තරහයි. මමී ආයේ ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ කියලා මට පොරොන්දු වෙලා සතියක් යන්නත් කලින් ඒ පොරොන්දුව කිසිම තැකීමක් නැතුව කඩකරනකොට මට මිදුල මැදට දුවගෙන ගිහින් හයියෙන් කෑ ගහලා කියන්න හිතුනා "දෙයියන්ගේ නාමෙන් මට මගේ ජීවිතේ දියං, මට මගේ පාඩුවේ ඉන්ඩ ඉඩ දීපල්ලා" කියල.

ඔලුව පුපුරන්න කැක්කුමයි. බැල්කනියට ඔලුව තියාගන්න හදන අන්තිම තප්පරේදී මම දැක්කා සමර් හට එකක් යටට වෙලා හිටපු ඇල්බර්ට් අංකල් මේ දිහාව බලාගෙන ඉන්නවා. මිනිහා ගොඩක් වෙලා ඉඳන් මං දිහා බලාගෙන ඉන්න ඇති කියල මට හිතුණේ දැන්. මම ගස්සාගෙන නැගිටලා ගිහිං කාමරේට වෙලා දොර වැහුවා. කවුරු කතා කලත්,  මැරුණත් දොර නම් අරින්නේ නෑ කියලා දොරේ යතුර අරං කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරා. ඇඳ උඩට වෙලා දනිස්දෙක අස්සේ ඔලුව ගහගෙන විනාඩි පහක් ඉන්න ඇති. මට ඇහුණා දොරේ අගුල කැරකෙනවා මම ඇඳෙන් බැහැලා එන්න හදනකොටම දොර අරගෙන මතු වුනේ ඇල්බට් අංකල්. අතේ විස්කි වීදුරුවකුයි සිගරට් එකකුයි තිබුනා. තොලකට ලේවකාපු උගේ මුණේ තිබුනේ තිරිසන් හිනාවක්.

"තාත්තා මට එක්ස්ට්‍රා කී එක දීලා තිබුනේ" දැන් ඉතිං දැඟලුවට වැඩක් නෑ කියන්නැහේ ඌ කඩා පැන්නා මගේ ඇඟට. පාටියේ ඩිස්කෝ සද්දේ පරද්දන්න මගේ කෑ ගැහිල්ලේ සද්දේ මදිවෙනන ඇති. මම වෙට්ටුවක් දාලා දිව්වා සාලෙට, ඇල්බර්ට් අංකල් සාලෙට ආවේ වියරුවෙන්. මම දෙපාරක් හිතුවේ නෑ කැබිනට් එක උඩට නැගලා බිත්තියේ එල්ලලා දාපු ෂොට් ගන් එක අතට ගත්තා. ඇසිපිය ගහන ඇසිල්ලෙන් ගන් එකේ ට්‍රිගර් එක ගැස්සුනා. ඇල්බර්ට් අන්කල්ගේ විස්කි වීදුරුව තිබ්බ අතේ උරහිස ගාවින් පදාසයක් ගැලවිලා වැටෙද්දී පිටිපස්සේ බිත්තියේ ලේ පැල්ලම් යායක් බිමට රුටල වැටුණා මම දැක්කා.

------------------------------

"කණගාටුයි සර්....රැඳවියන් මුණ ගැහෙන්න තිබුන වෙලාව ඉවරයි" මැදිරියේ ජේලර්වරයෙක් ගුගුලෙන් මා ඈගේ ලෝකයෙන් මිදුණෙමි

"මට විනාඩියක් දෙන්න ප්ලීස්"  මම ඔහුට බැගෑපත් වුනෙමි.

"මට කියන්න ඔයා මේ හිරේ ඉන්නේ ඒ මිනීමැරුම් චෝදනාවටද.."

ඈ සුසුමක් හෙළුවාය. මැදිරියේ කවුලකින් පෙරී ආ හිරු එලිය දෙස බලාපොරොත්තු රහිත බැල්මක් හෙලු ඈ

"නෑ මහත්තයා.. ඒ පටන් ගැන්ම විතරයි"


ගිනියම් උඩු හුළඟ
වලාකුළු අතර
වල්මත්ව
සඳ සොයන සඳ
මහා දවාලේ...

වීදියක් පාසා
මිනිසුන්
නොමිසුන් අතර
තෙරපී
සුර ලොවක්
මවන ලඳ
ඈ කරුවලේ....

හමුවූ දිනෙක
ගිණි හුළඟ සඳ
එකිනෙක
මහ දවාලේ...
හමුවෙයි නුඹට
සුර සැප
කෙදිනක හෝ
ලැයිම් කාමරේ...

          ~ රයිටර් ~


Monday, October 14, 2013

"සරමෙන් බැරිනම් අමුඩෙන්"


ගමේ ගෑණු ටික එකතු වෙලා පිහිටවගත්තු "සීතා බලකාය" සංගමේ හදිසි වැටලීම් හින්දා ගමේ කොල්ලෙක්ටවත් නිදහසේ පාරට තොටට බහින්ඩ බෑ. මගුල... හිටපු ගමන් ගෙවල්වලට පැනලා සුදු රෙද්දක් ඔලුවට දාලා කොල්ලෝ පැහැරගෙන යනවා. කොල්ලෝ විතරක් නම් මදැයි පණ යන්ඩ ඔන්න මෙන්න තියන සීයාලත් අරං යනවා. කාන්තාවන්ගේ  මානව අයිතිවාසිකම් කඩ කරන හැම එකාටම "සීතා" දඬුවම් දෙනවාලු. බලකායේ ජාතික තේමාව "ලිප්බොක්කෙන් ඔබ්බට ගිය චීත්තයට හෙට දවසක්". සීතා බලකායේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හැටියට මුලික කාන්තා අයිතිවාසිකම් කියලා කියන්නේ,

1. කෙල්ලන්ට බූට් තියන කොල්ලන්ට එරෙහිව නැගී සිටීම,
2. බිරිඳගේ සති අන්ත සාප්පු සවාරිය, ඩිනර් අවුට් එක වර්ජනය කරන සැමියන්ට එරෙහිව සටන් කිරීම
3. දර පලා, වලන් හෝදා, ගෙදර දොර වැඩවලට උදව් නොකරන සැමියන්ට දඬුවම් දීම
4. අසල්වාසී කාන්තාවන් සමග වැඩිපුර අල්ලාප සල්ලාපයේ යෙදෙන ස්වාමියන්ට දඬුවම් දීම
5. වාර්ෂික සංවත්සර, උපන් දින, විවාහ සංවත්සර අතපසු කරන සැමියන් චෝදනාවට ලක්කිරීම
6. සැමියන්ගේ අනියම් බිරින්දෑවරුන්, තම සංවිධානයට බලෙන් බඳවා ගැනීම,
7. පිරිමින් බීමට ඇබ්බැහි කරන හන්දි වල, ටවුන්වල  තියන බාර් කුඩු පට්ටම් කර බිමට සමතලා කිරීම
8. පුරුෂයින්ගේ ශරීර මේද තට්ටුව වැඩි කර ස්ථුල භාවය වැඩි කරන හරක් මස් කඩ ගිණි තබා සැමියාගේ සෞඛ්‍ය රැක ගැනීම.
9. මාසික පඩිය මුළුමනින් අතට ගෙන වියදම් කළමනාකරණය කිරීමේ බලය කාන්තාවන්ට ලබාගැනීම

තව ලොට්ටයක් තියේ මට නම් මතකත් නෑ.

අපේ රම්බා, උගේ කෙල්ල සකුන්තලාට අඩිය උස හෙන පතරංග බූට් එකක් දීලා. ඌ නම් කිව්වේ කෙල්ල බුට් එකක් ඉල්ලලාමයි කෑවේ  කියලා. කොහොමෙන් කොහොම හරි කෙල්ල සකුට මල පැනපු පාරට දහ අතේ හැපිලා වැලපිලා අන්තිමට බැරිම තැන "සීතාබලකායේ" හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කරලා. හුට්ටප්පරේ කියන්නේ බලකාය රන් කරන කෙසෙල්කොටේ වත්තේ සොෆිනස් අක්කා එදාම මහා රෑ එක පාරට, සීතා බලකායෙ සෙබලියෝ එක්ක ෆ්ලෑෂ් රෙයිඩ් එකක් දාලා රම්බාව උස්සලා. බලකායේ සෙබලියෝ ටික එකතුවෙලා රම්බාට නොසෑහෙන්න අතවර කරා කියලා තමයි රට්ටු නම් කතා වෙන්නේ.

මේ සිද්ධ වෙන අසාධාරණේ තවත් ඉවසන්ඩ බැරි හින්දා මම, රම්බා ප්‍රධාන කොටගෙන ගමේ පීඩිත, නිර්ලජ්ජිත පිරිමි කැල එක්කාසු කරගෙන පිහිටුවාගත්තා "මහා රාමා බලකාය" කියලා අන්තර්ජාතික සංවිධානයක්. මේ දවස්වල රාමායනයේ චරිතවල පුනරාගමනයෙන් රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න වලට හෙන තිරස්චීන විසඳුම් දෙන එකේ ඉතිං අපිත් හිතුවා රට වෙනුවෙන් මලත් කමක් නෑ  "සරමෙන් බැරිනම් අමුඩෙන්" කියලා පාරට බහින්ඩ. ගමක් ගමක් ගානේ ගිහින් අපි දැනුවත්කිරීම් කරා. ප්‍රාදේශීය මට්ටමෙන් "මහා හනුමා බලකාය" කියලා උප සංවිධානයක් පිහිටුවලා අපේ බලය තරකරගත්තා. දැන් ඉතිං කවර කතාද. අපි තමයි පොරවල්.

ගමේ ගෙවල්වල ළමයි ඉස්කෝලේ යන්නේ නෑ, කන්නේ නෑ, බොන්නේ නෑ, ළිං වලට වැටෙනවා, හොයන්න බලන්න කවුරුවත් නෑ, ඇඟට  ටීවී පෙරලගන්නවා.. ඇයි හත්වලාමේ අම්මා "සීතා බලකායේ" උන්නතිය වෙනුවෙන් කැප වෙනවා, තාත්තා "රාමා බලකායේ උන්නතිය වෙනුවෙන් කැපවෙනවා. ළමයි අයාලේ යනවා.

මේ ලඟදි දවසක "සීතා බලකාය" ගමේ  හංදිය ගාවා පාර හරස් කරලා වලං මුට්ටි, සාස්පාන්  පොලේ ගහල හෙන සද්දයක් දැම්මා. අන්තිමට පාරේ වලං කටු විතරයි. පෙළපාලිය ඉවර වෙලා යන ගමන් වලං කඩෙන් වලං අරන් ගියේ. අපි ඒ රැලියට විරුද්ධව සරම විතරක් ඇඳගෙන සාමාකාමී පෙළපාලියක් ගියා. ඇයි යකෝ අපේ ප්‍රශ්න වෙනුවෙන් අපි හඬ නගන්නේ නැතුව අපේ මරුන සීයා වලෙන් නැගිටලා ඇවිත් හඬ නගන්නයෑ.. මේ දවස්වල අම්බානක බිසී, කතාවක් ලියාගන්නවත් වෙලාවක් නෑ, අර හමු, මේ හමු ජනහමු, කෙළවරක් නෑ..ළඟදීම හොමෙබෙන් ගිහිං හොට බිම ඇනුන ගමන් ආයේ මොනා හරි ලියන්න හිත හදාගන්නකම් මේ මදැයි.


Monday, September 2, 2013

බටකොළ ආච්චිගේ චරිතාපදානය

ගමේ කවුරුත් උන්දැ හැඳින්නුවේ "ශාන්තිලගේ අම්මා" කියලා. ඒ වුනාට අපි කොල්ලෝ කුරුට්ටෝ කටේ ලේසියට උන්දැ හැඳින්නුවේ "ගිරා ආච්චි කියලා". තව  "බටකොළ ආච්චි" කියලත් කිව්වා. "ගිරා ආච්චි" කියලා කීවේ නම් ඕනෙවට වඩා දිග, ගිරා හොටයක් වගේ නහයක් තිබුණ හින්දා. "බටකොළ ආච්චි" කියලා කිව්වේ උන්දැට ඒ අසාමාන්‍ය නහයට අමතරව "බටකොළ ආච්චි" හා සමාන රුපකායක් තිබුන හින්දා. කෙසඟ සිරුරකට උරුමකම් කිව්ව ඈ ඇන්දේ රෙද්දයි හැට්ටෙයි. කලුපාට දුර්වර්ණ හමයි සුදු වෙච්ච කෙස් ගස් ටිකයි, වලගැසුණු දෙකම්මුල්ලුයි උන්දැගේ පෙනුමට අඩුවැඩිය එක්කරා. මට මතක ඇති කාලෙක දැකපු විදිහමයි උන්දැ අදත්. ගමේ හිටපු වයස නොයන ලයිස්තුවේ මුලින් හිටපු කෙනෙක් තමයි ගිරා ආච්චි. අපි පුංචි සංදියේ දකින්න භයංකාරම කාරණාවලින් එකක් තමයි උන්දැගේ අතේ ඉදලක් හරි කොස්සක් හරි තියන එක. ඒ කොයි වෙලාවේ හරි භයංකාර විදිහට පියාඹලා යාවි කියලා අපිට හිතුන නිසා.

කවුරු හරි කෙනෙක් උන්දැ කෝපවෙන මොකක් හරි කොලොප්පමක් කලොතින් කොලොප්පම කරන එකාට සිද්ධ වෙන දේ හිතාගන්න අමාරුයි. එක්කෝ කන්දෙක පිරෙන අමු තිත්ත කුණුහරුප අහගන්න වෙනවා, එක්කෝ කොලොප්පම කරපු එකා ගැන අහේතුකව දුෂමාන ආරංචියක් ගමේ පැතිරෙන්න පුළුවන්, එහෙමත්. නැත්තම් උන්දැ කරවන ගුරුකමකට බිලි වෙලා අකාලයේ ජීවිතෙන් තොලොංචි වෙන්න හරි සදහටම අබ්භාගාත වෙන්න බැරිකමකුත් නෑ.ඒ ගැන හොඳට දන්න කියන එකෙක් වුනත් උන්දැ එක්ක කොලොප්පමකට හරි එකකට එක කියාගෙන ගියොත් හරි  ඒ යන්නේ ජීවිතේට තියන ආසාව අතෑරලා කට පියාගෙන ඉන්න බැරිම තැන තමයි.

"උඹලට ගහන්නේ ඉලපතට හුජ්ජ කරලා දැනගනින්" ඇයව උසුළු විසුළුවට ඈඳ ගන්න නොසන්ඩාල කොල්ලන්ව මට්ටු කරන්න උන්දැගේ කටෙන් නිතරම පිටවෙච්ච හරුපේ තමයි මේ.

උන්දැ එක්ක ඉඩම් ප්‍රශ්න, වතුර ප්‍රශ්න දාගත්තු හමේ දෙතුන් දෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් අවාසනාවන්ත වුනා කියල සමහරු කියන්නේ බොරුවට හේතුවක් නැතුව නෙමෙයි. ඒවගේ ප්‍රශ්න දාගන්න උදවියගේ පවුල් පිටිං බලාගෙන ඉඳිද්දී බංකොලොත් වෙලා හැඳිගෑවිලා ගියා. මිනිස්සු ගෙවල් අතැරලා ගියා.  අසනීප පිට හිටියත් එච්චර අමාරුවක් නැතුව හිටපු අපේ ලොකු අම්මටත් හදිසියේ රෝගය උත්සන්න වෙලා ජීවිතේ අතැරලා යන්න වුනේ උන්දැගේ ගුරුකමක් වැඩකරපු හින්දදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. අනික අපේ ගෙදර හිටපු බල්ලට අත්වුනෙත් ඒ ඉරණමම තමයි කියලා මට හිතෙන්නේ සිය දෙනෙක්ගේ විතර හපා කාලා යහතින් හිටපු ඌ, අන්තිම පාරට උන්දැව හපා කෑවට පස්සේ මාස හතර පහකට පස්සේ එකපාරට මැරුණ හින්දා.

එහා ගෙදර කේලම් මෙහා ගෙදරටත්, රටේ නැති ඕපාදුප කියවන්නත් අපේ ගෙදරත් ඇතුළුව උන්දැ නිතර යන එන ගෙවල් කීපයක් තිබුනා. ඒ යන එක ගෙදරකින්වත් උන්දැගේ මේ කෙරුවාවට පොඩ්ඩක්වත් තියා කොහොමවත් මනාපයක් නෑ කියලා අපි දන්නේ අත්දැකීමෙන්. එකකට එකක් වෙනස් මහා පුදුම ගතිගුණ කෝටියක් විතර පිහිටලා තිබ්බ මේ බටකොළ ආච්චි හරි අමුතු චරිතයක්. කා එක්ක හරි කතාවට වැටුනාම නතර වෙන්නේ නැති තරම්. අපේ දිහා ආවම උන්දැගේ කතුර වගේ කියවිල්ල අහලා අම්මට ඔලුවේ කැක්කුම හැදිච්ච වාර ගාන අනන්තයි. ඔය හේතුව හන්දා අපි උන්දැ එක්ක කේන්තියෙන් ඉන්නේ කියලා දැන දැනත් උන්දැ නෙමෙයි පුරුද්ද නතර කරන්නේ. 

උන්දැගේ මනුස්සයා මැරිලා තියෙන්නේ ගොඩක් ඉස්සර මුන්දැ තරුණ කාලේ. ඒ ගමේම හිටපු මිනිහෙක්ගෙන් පිහි පාරක් කාලා . එදා මේ සිද්ධිය වෙන වෙලාවේ පාන්දර මුන්දැ මිනීමරුවා එක්ක පොරබදලා හටන් කරලා. වියරු වැටිච්ච මිනීමරුවා මුන්දැ ගේ බෙල්ලටත් පිහියෙන් ඇනලා පැනලා ගිහිං. මිනීමරුවා පස්සේ අවුරුදු ගානකට පස්සේ හිරේ විලංගුවේ වැටුනා කියලයි ආරංචිය. "මරනවෝ.....මරනවෝ" කියලා හයියෙන් කෑ ගහපු හින්දා එදා මුන්දැට ජීවිතේ බේරගන්න වාසනාව තිබුනා කොහොම හරි. බටකොළ ආච්චි අපේ අම්මා එක්ක කතා පෙට්ටිය ඇරගෙන ඉන්න වෙලාවක ඔය කතාව ඇදිලා ඇවිත්.

"එදා බෙල්ලට වැදුන පිහිපාරෙන් මගේ ඇඟේ තිබුන ඔක්කොම ලේ ටික පිටවුනා, තෙල් වතුර ඉස්ම ටික පවා පිට වුණා, දැන් ඇඟේ ලේ කලඳක් නෑ, ඒකයි ඔය නිතර නිතර කලන්තේ ගතිය, අර අමාරු මේ අමාරු හැදෙන්නේ, ඉස්පිරිතාලෙන් ලේ දුන්නෙත් නෑ."

ඉතින් අපේ අම්මා පිට පයින හිනාව බොහොම අමාරුවෙන් ගිලගෙන "අනේ ඇත්තද...බලන්නකෝ නේද නැන්දේ...ඉස්පිරිතාලවල ඔහොම තමයි" කියනවලු.

අවුරුදු හැත්තෑවකට වැඩි මිස අඩු නැති  බටකොළ ආච්චිට ගෑනු පිරිමි දරුවෝ පස් හය දෙනෙක් හිටියා මගේ මතකේ හැටියට. දැන් උන්දැගේ ගේපැල වටේ ගෙවල් කෑලි දෙක තුනක් අටෝගෙන දරුමල්ලෝ දෙතුන් දෙනෙක් වෙනම පදිංචි වෙලා ඉන්නවා. ඉඳහිට හැදෙන කොන්දේ කැක්කුමක්, උණක් හෙම්බිරිස්සාවක් ඇරුනාම එහාට මෙහාට දුවලා පැනලා ඉන්න පුළුවන් හොඳ නීරෝගී ජීවතයක් උන්දැට මෑතක් වෙනකම් තිබුණා.

ආයේ මේ මෑතක, ඒ කියනේ 1998 විතර දවසක මේසන් බාසුන්නැහේ කෙනෙක් වෙච්ච මුන්දැගේ පුතෙක් බයිසිකල් එකේ යද්දී බස් එකක හැප්පුනා. සිද්ධිය වෙලාවේ බස් කාරය පැනලා ගිහිං. බයිසිකලේට වෙච්ච අලාබෙ දැක්කාම මනුස්සය බේරුන එක පුදුමයිලු කියලා ගම්මු කතා වුනේ. මාස ගානක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලැගලා ආවට දැන් වුනත් මනුස්සය ඇවිදින්නේ කකුලට හයි කරපු යකඩ පට්ටමක පිහිටෙන්, එක කකුලක් දනිස්සෙන් නමන්න බෑ, කොර ඇන ඇන යන්නේ.  මිනිස්සුනම් කියන්නේ මහ ගෑනි අනුන්ට කරන දේවල් දරුවන්ගේ පිටින් යනවයි කියලා. මම ඕවට හුමිටි තියන්න ගියේ නැත්තේ උන්දැගේ හැටි හොඳට දන්න නිසා. සතියකට විතර පස්සේ බස් එකක් උන්දැගේ පුතා හැප්පිලා වැටිලා හිටිය තැන කඩේ ගාව ඉවුරේ ගලක හැප්පිලා පොඩි පට්ටම් වෙලා තිබුනා. අවාසනාවට  බස් එකේ ඩ්‍රයිවර්ගේ පණ ටික එතනම ගිහින් තිබුනා. ගමේ  තැනින් තැන කතා වුනේ බටකොළ ආච්චිගෙන් පුතා හප්පපු එකේ සම්බුව උන්දැට පලිසන් දුන්නයි කියලා. 

ඔය කතාවේ සිද්ධියක් ඇදිලා ආව දවසක බටකොළ ආච්චි කියනවලු,

"එදා අපේ පුතාගේ කකුලේ තුවාලේ හින්දා ලේ බාල්දි ගානක් ගිහිං, ඒ වෙනුවට ඉස්පිරිතාලෙන් දීල තියෙන්නේ වෙන කාගෙද වැරදි ලේ. දැන් ඇඟේ දුවන්නේ කලවම් ලේ, එකයි ඔය පොඩි එකාට තියන ලෙඩේ හරියකට හොයා ගන්න බැරි"

අපේ ගෙදර මොනවා හරි විශේෂ කෑමක් හැදුවොත්, අපේ අම්ම ඉඳල හිටලා උන්දැටත් පංගුවක් අරිනවා. මුන්දැගේ ගතිය තමයි පහුවදා හරි දවස් කීපයකට පස්සේ හරි  අම්මා හදපු කෑමම හදාගෙන ඇවිත් අම්මා යවපු එකේ අඩුපාඩු කියන එක.

"අරකට පොල් බැදිලා වැඩියි...මිරිස් ටිකක් අඩු වුනා නම් හොඳයි, කර රහ එනවා වගේ" 

ඒවගේ අගුණදොස් විචාරේ ලැබෙන බව දැන දැනත් අපේ අම්මා උන්දැගේ පංගුව වෙන් කරන්න අමතක කලේ නෑ.

අලුත් අවුරුද්දේ ආහාර අනුභවයේ නැකත ගෙවිලා පැය දෙක තුනක් යන්නත් කලින් හා පුරා කියල නෑයෝ විදිහට අපේ දිහාට ඉස්සෙල්ලම එන්නේ උන්දැ තමයි. නිකන්ම නෙමෙයි ගල් ගෙඩි වගේ හයිය මුං කැවුම්, කොකිස් පාර්සලයක් අරගෙන. ඒ ඇවිල්ලත් පැයක් දෙකක් ඉඳලා කාගේ හරි ඔප දුපයක් අඹරලා තමයි යන්නේ. ගෙදර උදවිය ගෙදරින් එලියට බැහැලා ගියොත් මිසක ඒ වාචාල කටෙන් ගැලවෙනවා බොරු. මම ගෙදර ඉන්න දවසට උන්දැ අපේ දිහා එනවට මං අමනාප මට අම්ම එක්ක කයියක් දාන්න තියන වෙලාව උන්දැ බලහත්කාරයෙන් ගන්න හින්දා.

ඉඩම් ප්‍රශ්න විසඳන්න කට උත්තර ගන්න එන පොලිසියේ මහත්තරුන්ට පවා මුන්දැ නෙමෙයි සලෙන්ඩර් වුණේ. අන්තිමට පැමිණිල්ල පොතේ ලියවෙනවා විතරයි, විභාගයක් නෑ.  බස් එකක ගමනක් ගියොත් කොන්දොස්තරගෙයි, ඩ්‍රයිවර්ගෙයි දෙමවුපියන්ගේ ගුණ නොගයන දවසක් නැති තරම්. ඉතුරු සල්ලි නොදී, හෝල්ට් එක පහු කරන් ගියපු බස් කාරයෝ තමයි ඒ ඉරණමට කොච්චරවත් මුණ දුන්නේ.

දවසක් අපේ පුද්ගලික ඉඩමක වැට මායිම් ප්‍රශ්නයක් වෙලා අල්ලපු ගෙදර උදවිය එක්ක පොඩි බහින් බස් වීමක් වුණා. අපි ඒ ප්‍රශ්නේ කොහොම හරි ගොඩින් කතා කරලා බේරාගත්තා. මොකක් හරි හේතුවක් නිසා එදා බටකොළ ආච්චිත් අපේ දිහා හිටියේ.

"මම එහෙම නම් ලේසියෙන් අරින්නේ නෑ.. මතකනේ සොමසිරිගේ පවුලට වෙච්ච දේ, මගෙත් එක්ක කට ගහගෙන ආවා, අන්තිමට මොකද වුනේ.."

කලබලේ අස්සේ වෙන කල්පනාවක් පිටද කොහෙද ගිරා ආච්චිගේ කටින් නිකන්ම කියවුන ඒ වචන පේලිය මාව සසල කරේ සොමසිරිගේ පවුලට සිද්ධ වුන අවාසනාවන්ත ඉරණම මම දැනන් උන්න හින්දා.  ගහක් ගලක් වගේ හිටපු සොමසිරිගේ පවුලට පලවෙනි ළමයා හම්බෙනකොට මේ ලෝකෙන් යන්න වුනේ දරුවාට අම්මගේ මුණවත් දකින්න ඉඩක් ඉතුරු නොකරම.  මරණෙට හේතුව වෛද්‍ය විද්‍යාත්මකව මොකක් වුනත් මට සිද්ධ වුණා ඒ දේ වුණේ ගිරා ආච්චිගේ ගුරුකමක් නිසාමයි කියලා විශ්වාස කරන්න. වැරදීමෙන් කියවුන ඒ කතාව වහන්න ගිරා ආච්චි ට්‍රැක් එක වෙනස් කරන්න අමාරුවෙන් දත කන්න දඟලපු හැටි මට හොඳට මතකයි.

මම උන්දැ ගැන මෙහෙම කතාවක් කිව්වා කියලා  බැරිවෙලාවත්උන්දැට ආරංචි වුනොතින් තුන්වරුවක් යන්නත් කලින් මට ඒ වගේ අවාසනාවන්ත වින්නැහියක් වෙන්න බැරිකමකුත් නෑ. ඒක හින්දා උන්දැගෙ හොඳ ගතියක් දෙකක් ලියලා ජාමේ බේරගන්න වෙනවා.

අපි පොඩි කාලේ මට අවුරුදු තුනක් හතරක් ඇති, අපේ මල්ලිට අවුරුද්දක් දෙකක් වෙද්දී තාත්තට හදිසියේ අසනීප වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා. ඉතින් අම්මා එහාට මෙහාට මල්ලිත් කිහිලි ගහගෙන ඉස්පිරිතාලේ යනකොට මව නතර කරලා ගියේ උන්දැගේ ගෙදර. මං පොඩියි කියලා කර අරින්නැතුව තමන්ගේම දරුවෙක් වගේ මාව බලාගත්තා,  මොනා කලත් අදත් අපේ අම්මා ඒ ගැන මතක් කරන්නේ පිං දිදී. කොයි තරම් ජඩ ගති තිබුනත් අබ මලක රේණුවක් වගේ හොඳ ගතියක් මිනිහෙක්ට තියනවා වගේ, කොයි තරම් හොඳ වැඩ කලත් පොඩි හරි ජඩ ගතියකුත් තියන නිසා ගිරා ආච්චි එක අතකට මේ ලෝකෙට ඉපදුන වෙනස් ගති ලක්ෂණ තියන තවත් එක ගැහැනියක් විතරයි.

සම වයසේ ඉන්න ආච්චිලා සිල් ගනිද්දී මුන්දෑ කොර ඇන ඇන අනුන්ගේ පොල්වතු ගානේ ගිහින් පොල් පුවක් රෙද්ද අස්සේ ගහගෙන ඇවිත් කාට හරි දීලා කීයක් හරි හොයා ගන්නවා. කුකුලෝ ඇති කරලා ගම්බිත්තර විකුනනවා කොහිල කොටුවේ කොහිල කඩේට දානවා.  ගිහින් දෙන බත් පිඟානේ අගුණ දොස් අහන්නයි, වත්තේ වැටෙන දර අත්තයි, පොල් ගෙඩියයි, පුවක් ගෙඩියයි තව චිරාත් කාලයක් ඇහිදින්න උන්දැට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි කියලා මම ප්‍රර්ථනා කරනවා.


http://www.google.lk/imgres?imgurl=http://thegraphicsfairy.com/wp-content/uploads/blogger/-iad4v2tL68Y/TlO4_kUxeEI/AAAAAAAAN20/3f8petFnYew/s1600/halloween%252Bwitch%252Bvintage%252Bimage%252Bgraphicsfairy.jpg&imgrefurl=http://thegraphicsfairy.com/vintage-halloween-clip-art-witch-with-moon/&usg=__XAhHIuAAdpyrp3OXYeKzWybD8Jc=&h=1202&w=1350&sz=162&hl=en&start=13&sig2=aEXSmqUXiAYkiZZD0hXhFA&zoom=1&tbnid=pFZaORS-Ed_6DM:&tbnh=134&tbnw=150&ei=hXAkUvqqIYTCtAasooGoCQ&um=1&itbs=1&sa=X&ved=0CEMQrQMwDA
Image - Google

Thursday, August 15, 2013

ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ

රම්බා අපේ ගෙදෙට්ට පණිවිඩයක් එවලා උන්ගේ දිහා පුළුවන් තරම් කලින් එන්ඩයි කියලා. හදිස්සියක්ලු.. උන්ගේ ලොකු මාමගේ දුවගේ දරු පවුල, ස්කොලේ නිවාඩුවට උන්ගේ දිහා ඇවිල්ලලු. මූ  නම් කියන්නේ ආපහු යන පාටක් නෑය කියලා. ලොකු මාමට, සති දෙකකට විතර කලින් ලමිස්සියෙක් උන දෝණිඇන්දා කෙනෙක් ඉන්න හන්දා ඒක නම් එච්චර අවුලක් නෑ කියලයි පස්සේ රම්බා කීවේ. ඌට අවුලක් නැත්තම් ඉතින් මට කොහොමත් අවුලක් නැති එකේ දත කට මැදගෙන බෝලකුඩුවේ එල්ලලා තිබ්බ ඩෙනිම අතට ගත්තා. 

හත් ඉලව්වට පායපු උල්කාපාතේ වගේ කලිසමේ වම් කකුලේ වාටියේ අග රණ කුඹලෙක් ගෙයක් හදලා. අපේ ආච්චි නම් කියන්නේ රණ කුඹල් ගෙවල් කඩපුහාම බඩේ අමාරු හැදෙනවයි කියලා. ඕනේ පොකිරිස්සෙක් කිලෝ එකයි තුන්කාලයි කියලා මම කෝකටත් රාක්කේ තිබුන අසමෝදගම් බෝතලේ අරගෙන ගුඩු ගුඩු ගාලා උගුරු තුනක් කට පුරෝලා බිව්වා. ඇස් දෙක පියාගෙන"පාණාති පාතා" පදේ මතුරන ගමන්, රණ කුඹල් ගේ අඹරලා සුන්නඃධුලී කරලා දාලා ඩෙනිම දාගත්තා. වැඩි හොඳට රම්බාගේ දිහා ගිහිං කෝපි එකකුත් හදාගෙන බොන්නං කියලා හිතා ගත්තා.

මං රම්බාගේ ගෙවල් වැට මායිමට යනකොට ඉඳි ගහට පයින වයසේ ඉන්න සුකිරි බඩිලි කොලු පැට්ටෙක් යටි ගිරියෙන් කෑ මොර දීගෙන කෙහෙල් ගහකට උඩ දාගෙන තඩි බානවා "ජාතිවාදියා... ජාතිවාදයා.... දේශ මාමකයා..... පරදේශක්කරයා...., ස්වදෙශිකයා..." කියා කියා. කෙහෙල් කඳ පරඞැල් වෙලා,  කීතු කීතු වෙලා පට්ට ගැලවිලා ඉස්ම පෙරනවා.  රම්බාගේ තාත්තා පැත්තක ඉඳන් "කමෝන් පුතා කමෝන්" කියලා පොඩි එකාට අප්පුඩියක් ගහලා චියර් පාරක් දුන්නා" ඒකෙන් තව ටිකක් ෆෝම් උණ කොල්ලා බිම තිබුණ ගඩොල් බාගයක් අරගෙන රවුමක් එහෙමකැරකිලා කෙලියා ගිරිය පුප්පගෙන කෙහෙල් ගහට. කරුමෙට කෙහෙල් දල්ල ලාවට ඉඹගෙන ආව  ගඩොල් බාගේ "දීඩීරියං" ගාලා  අහක හිටපු මගේ දරුගහ මුල වැදීලා කකුල් දෙක මුලට වැටුනා. පොඩි එකාව උප්පද්දවන්ඩ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙච්ච දෙමහල්ලොන්ගේ මුණ පවා මැවිලා පෙනෙද්දී මම දිව හපාගෙන බිම ඉඳගත්තේ බඩ කොර වෙච්චි පාරට.

බඩ ගාගෙන වගේ දෙකට නැමීගෙන ගේ ඇතුලට ගිහිං රම්බාට කතා කරා. ඌ උන්ගේ ගෙදරට ආව නැන්ද අල්ලාගෙන හෙන දේශනාවක් දෙනවා. ඌ කතාවේ ගැඹුරටම බැහැල හිටපු විත්තිය මට තේරුනේ, උට පිටිපස්සේ හිටපු මං නොදැකපු හින්දා.

"නැන්දට කියන්න නැන්දේ දැන් වතුර වල හෙනට විෂ, එතකොට කිරිපිටිවල විස අප්පට උඩු ඊට හපන්, කවුද දන්නේ නැන්දේ නැන්දා ඔය පොඩි එකාට පොවන මව් කිරිවල ඩී.වී.ඩී. ද මොනවද ඒවා තියනවද කියලා, කොහෙද ඉතින් මාමටවත් තේරෙන එකක් යෑ. ඉතිං එහෙව් එකේ කොහොමද පොඩි එකාට තේරෙන්නේ"

"හැබෑව නේන්නම් පුතේ හැබෑව"  කටට ආපු පලියට එහෙම කිව්වට නැන්දට ඌ කිව්ව කාරණාව ඇතුලේ තිබ්බ අලුකුත්තේරු කුපාඩි ඇවටියෙල් කතාව තේරුනේ පස්සෙද කොහෙද. ටික වෙලාවකින්  නැන්දගේ ඇස් දෙක සුදුමැලි වුණා. අතේ හිටපු කිරි දරුවා කිහිල්ලේ ගහගෙන නැගිට්ටේ කිරි පිටි හදන එවුන්ගේ හතර වරිගේ මතක් කර කර. "වල් හැත්ත.. දරුවෙක්ට කිරි ටිකක් පොවන්ඩ නෑ,, කාලාකන්නි කිරිපිටි කාරයෝ.. හැඳි ගෑවිලා මකබෑවිලාම පල ඕකුං..." ටික වෙලාවකට පස්සේ නැන්දා සර්වබලධාරියෝ අල්ලලා බැන්නා රම්බාත් පැත්තකින් අහුවෙන නොවෙන ගානට.

"ආනේහ්.......රයිටර් බයියා...!! කොයිවෙලේද ආවේ...!, ඉන්න මං අපේ භයියා ජීට එන්න කියන්නම්" රම්බාගේ නංගි චාරු පද්දල පද්දලා කිව්වා.

"හලෝ මයි බොක්ක රයිටර්...වරෙන් වරෙන්"

"මොකටද මට පයිණ්ඩයක් එව්වේ එන්ඩ කියලා"

"ආ ඔව් බං අපේ නැන්දගේ පොඩි එකාට සිංහල පාඩම් වගයක් කරගෙන යන්ඩ දීලා නිවාඩුවට. මෙහෙ කොහොද බං සිංහල දන්නා එවුං..උඹ හෙන රයිටරනේ...යමක් කමක් තේරෙනවනේ..අනේ බං පොඩ්ඩක් පොඩි එකාට කියලා දියන්කෝ...."

"අපෝ බෑ බං.... කෝ අර පොඩි කෙල්ල.. ඕනේ නම් ඒකිට නිදිමරාගෙන වුනත් උගන්වන්නම්"

"ආ... නෑ නෑ.. උඹ කරදර වෙන්ඩ එපා...මම කොහොමත් එයාට පාඩම් වගයක් කියාදෙන්න ඉන්නේ...."


පොඩි එකා විසිල් එකක් බාගෙන කොපි පොතක් කිහිල්ලේ ගහගෙන ඇවිත් පොත මගේ ඔඩොක්කුවට විසික් කලා.

"ඔය කෙටි යෙදුම් ටික කියලා දෙන්ඩකෝ සර් අයියේ" ඌ කින්ඩි හිනාවක් දාල මගේ දිහා බැලුවා.

"එහෙම බෑ.. ඉස්සෙල්ල මල්ලි පුතා උත්සාහ කරලා බලන්ඩ.. මම හරිද කියලා බලන්නම්" මමත් හෙන ආදරෙන් කිව්වා.

පොඩි එකාට දැන්  හිටගෙන මල විදින සයිස් එක. පොර දත් මිටිකනවා. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා පොර ටික වෙලාවකට පස්සේ  මට පොත ගෙනත් දුන්නා. මම හිතාගෙන හිටියේ කොල්ලා දස්සයා වෙන්ඩෑ කියලා.

ලං.වී.ම = ලංකා විදුලිබලු මන්ඩලය - "මේක ටිකක් හරි පුතා.. හැබැයි  "බලු" නෙමෙයි "බල" හොඳේ". පොඩි එකා ඔලුව වනලා හිනා වුණා. 


රා.සේ.පි = රාජ්ජ සේවය පිනට - "හෙහ් හෙහ් මල්ලි පුතා.. පිණට නෙමෙයි පිණිස හොඳේ.. පුතා හොඳයිනේ..ඈ..ඔය ලියලා තියෙන්නේ හොඳට"

අ.පි.බ = අපිට පිස්සු බං - "මේක නම් වැරදි පුතෝ.."

ජ.වී.පෙ. = ජනතාව වීදිබැස පෙරට = "කතාව ඇත්ත වුනාට තේරුම වැරදියි පුතා මේකෙත් හොඳේ"

ග.නි.ස.ම = ගණිකා නිවාස සංවර්ධන මණ්ඩපය - " ග..ග...ග.. ගණිකා....කො..කො  කොහෙන්ද පුතා මේක හොයාගත්තේ.. මාව විහිළුවකට ගත්තද.." මට හොඳටම මළ. පොඩි එකා අඬන්න ඔන්න මෙන්න.  මම රම්බාට කතා කළා. පොඩි එකා ඒ අස්සේ අඬ අඬා කඳුළු අස්සෙන් තටම තටම කිව්වා

"ඒක ගැන විතරයි සර් හරියටම සුවර් එකක් තියාගෙන හිටියේ" 

Wednesday, July 31, 2013

මගුල් නඩය


මනමාලිය සමග ඈගේ දෙමාපියනුත්, කපු මහතාත් අප නිවසට සේන්දු වීමට බලාපොරොත්තු වුවාට වැඩි වෙලාවක් ගත විය. බලාපොරොත්තු ඇතිවෙමින් නැතිවෙමින් තිබුණු පැය කීපයක කාල අන්තරයකට පසු, මිදුල මත ඇඳී ඉදල් රටා මතින් වැලි කැට අවුස්සමින් පැමිණි කුඩා ප්‍රමාණයේ වැන් රථයක් නිවසේ ඉදිරිපස පෝටිකෝව මැද නතර කෙරුණි. ඉදිරිපස ආසනයේ හිඳගෙන ආ කපු මහතා ඉන් බසිනු, මා උන් කාමරයේ දොර සළුව එහා මෙහා වීමෙන් ඇතිවූ හිඩැස තුලින් දුටුවෙමි. එහෙත් ඈගේ වතින් දශමයකුදු දැක ගැනීමට පෙරාතුව දොර සළුව නිශ්චල වීම නිසා මාසිතේ කනස්සල්ලක් ඇති විය. ආලින්දය දෙසින් ඇසුණු විවිධ කටහඬ පරාසයන්ට අනුව, පස් දෙනෙකුට වැඩි පිරිසක් මගුල් නඩය සමග පැමිණ ඇතැයි මම අනුමාන කලෙමි.

පාපිස්නාව මත දෙපා පිසදමන හඬට පසුව රිද්මයකට ඇසුණු "ටොක්" "ටොක්" හඬ, ඈ පැළඳි පාවහන් යුගලෙන් නික්මෙන්නට ඇතැයි මා අනුමාන කලෙමි. ඈ ඉතා සුන්දර ලෙස ඇවිදිනු ඇතැයි මට හැඟිනි.  නොබෝ වෙලාවකින් සාලයේ පුටු කකුල් පොලව මත ලිස්සා යන හඬ ඇසෙද්දී, කුෂන් පුටු කවර තුළ පිරී තිබු හුලං පිටව යන හඬ කීපසැරයක් ඇසී නතර වුයේ සියල්ලෝම වාඩිවී අහවර වූ නිසා විය යුතුය.

පෙර සුපුරුදු පරිදි මා මනාලියන් බැලීමට ගොස් ඇති බොහෝ දිනවල මෙන්, අප පාර්ශවයත් මනාලියගේ පාර්ශවයත් සමග ඇතිවෙන සුලභ කතා බහට සමාන අල්ලාප සල්ලාපයක්  අදත් සාලය දෙසින් ඇසුණි. වෙනදා මෙන්ම මා දැඩි ලෙස හුවා දැක්වීමට අකමැත්තක් දැක්වූ මාගේ අධ්‍යාපන තත්වයන් පිළිබදවත්, ඇල්කොහොල් සිගරට් වලින් තොර මාගේ ආත්ම ශුද්ධත්වය පිළිබඳවත් තාත්තාගේ පමණ ඉක්මවූ පම්පෝරිය මට මෙදිනද නොදිරවන්නක් විය.

"ඉතිං..!!! පුතා කෝ" යෝජිත මනමාලියගේ අම්මා යැයි සිතිය හැකි කාන්තාවක් ඇසීය.

 "කාමරේ ඉන්නවා, ඉන්න මං එන්න කියන්නම්" ඒ අපේ අම්මාගේ කටහඬය.

"දෙන්නට කතා කරගන්නත් කොයි තරම් නම් දේවල් ඇද්ද" පෙර නෑසුණු කට හඬකින් පිටවුනු ඒ වැකිය අවසානයේ නැගුනු සිහින් සිනා රැල්ලක් මුනුමුනුවක් බවට පත්විය.

මාගේ සිත කෙතරම් නිර්භීත වුවද, අනිවාර්යයෙන් මුහුණ දිය යුතුව තිබු ඉදිරි මොහොත නිසා හටගත් සියුම් චකිතයක් සිතේ නොරැඳුනාම නොවේ. දෑතේ හා දෙපයේ ඇඟිලි ගණනත් ඉක්මවමින් මා විසින් බැහැදකින ලද මනමාලියන් සියල්ලෝම ඒ පීඩනයට අනියම් වශයෙන් හෝ ගොදුරු නොවිනැයි පැවසිය නොහැකිය. බුලත් තට්ටුවක් රැගෙන මා ඉදිරියට පැමිණි බොහෝ කාන්තාවන්ගේ මුහුනුවල රැඳුණු කිසියම් අපුල ගතිය මුසු භීතිය හටගත්තේ එනිසාවෙන්ද නැතහොත්  මාගේ රූපකාය දැකීමෙන් ලද කුකුස නිසාදැයි නොදනිමි. සැලකිය යුතු අඩුපාඩුවක් මා වෙතින් බාහිරව නොපෙනෙන නමුදු කිසිවිටකත් මා එකඟ නොවන, වටහා ගත නොහැකි කාරණාවක් නිසා ඔවුන් මා ප්‍රතික්ෂේප කළ බව පසුව දන්වා එවා තිබිණි.

පුවත්පත්වල පළවූ මංගල දැන්වීම් දහස් ගණනකට පිළිතුරු ලියමින් දවස් මැරූ මාගේ කාමරය පුරා අස්සක් මුල්ලක් නෑර  මංගල දැන්වීම් අතිරේක පිරී තිබුණි. විටෙක විකල් වූ සිහි ඇත්තකු මෙන් මා සියල්ල එක් ගොඩකට කර ගිණි තැබීමි. නමුත් ඊට නොදෙවෙනි පත්තර ගොඩක් දෙසතියක් නොඉක්මවීමටත් මත්තෙන් කාමරය පුරා ගොඩ ගැසිණි. ලිවූ පිළිතුරු දැන්වීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයකටද ප්‍රතිපිළිතුරු ලැබිණි. ඒ අතර තිබුණු එක් ලියමනක්වූ "මාධවී" විසින් එවන ලද ලිපිය මාගේ සිත දැඩිව පැහැර ගැනීමට සමත්වූවා සේම, ඈ පිලිබඳ අරුම පුදුම ආලයක්ද මසිතේ පිලිසිඳුනේ කවර පදනමක් මතදැයි අදවන තුරු නොදනිමි. ඇය හඳුනාගැනීමෙන් අනතුරුවද මා අඛණ්ඩව මංගල දැන්වීම් තීරු පිරිස්සුවේ මන්දැයි පැහැදිලි වැටහීමක් නොතිබුණද, ඒ පිලිබඳ  දෙමාපියන්ගේ අප්‍රසාදය නම් නොඅඩුව ලැබිණි.

හඳුනා ගැනීමේ පළමු ලිපියෙන් අනතුරුව දෙමාසයක්  පමණ අප අතර හුවමාරුවූ ලියුම් හේතුවෙන් යම් පැහැදීමක් ඈ කෙරේ ඇති කරගත හැකිවිණි. වෙනස්ම ආකාරයකට සිතන පතන ඈගේ අදහස්වලට මා ඇලුම් කලෙමි. මා සාම්ප්‍රදාය රකින සාම්ප්‍රදායික මිනිසෙක් වුවද ඈගේ ගතිගුණ කෙරෙහි එසේ ඇල්මක් බැල්මක් ඇතිවුයේ මන්දැයි නොදනිමි. විටෙක ඒ පිලිබඳ මා පුදුමයට පත්වුවෙමි. බොහෝවිට පිදුරු ගසේ න්‍යාය ඒ සඳහා බලපාන්නට ඇත. යතාර්ථවාදී සම්මතයට ඔබ්බෙන් අදහස් දැරූ ඈ විසින් මා බැහැදැකීමට ඇගේ දෙමාපියන් සමග නුදුරේම පැමිණෙන බව මෑතක එවූ ලිපියක දන්වා තිබුණේ ඈගේ අරුම පුදුම චින්තන රටාවේ ස්වභාවය තහවුරු කරමිනි.

ඈගේ උපහාසාත්මක යෝජනාවට සාම්ප්‍රදානුකුල පවුලක් වූ අප නිවසින් කිසිදු විරුද්ධත්වයක් නොඑල්ල වීම පිලිබඳ මා සිතේ සැකයක් ඇති නොවුනාද නොවේ. එල්ලෙන්නට වැලක් නොවූ කල්හි දියෙහි ගිලෙන්නා පිදුරු ගසක හෝ එල්ලෙන සේ ඔවුන් තීරණයකට එන්නට ඇත. විකල්පයක් සොයාගත නොහැකි බොහෝ විට, සාම්ප්‍රදායන්, ප්‍රතිපත්තීන් තුට්ටුවකට මායිම් නොකරන තැනට මිනිසා පත්වේ. කෙසේ කවර හේතු සාධකයක් මුලික කොට ගෙන හෝ එසේ යෝජනාවක් කළ ඈ, දැන් දෙමාපියන් සමග සාලයේ සිටින්නේ මා මුණ ගැසීමේ අභිලාශය ඇතුවය.

"පුතා....!!!. අන්න අර දුවගේ දෙමාපියෝ පුතාට සාලෙට කතා කරනවා" කාමරයට පැමිණ පැවසු අම්මා ගේ මුහුණේ කුමන හැඟීමක් සටහන් වී තිබුණාදැයි මට නිච්චියක් නොවිණි.

ඈගේ යෝජනාව සම්මත සිරිත් විරිත් පුර්ණ වශයෙන් උඩු යටිකුරු කරන්නක් වුවද,  පිරිමියෙකු ලෙස සාම්ප්‍රදායික මනාලියකගේ භූමිකාවට අනුගත නොවීමේ පුර්ණ නිදහස මා සතුව තිබුණි. නමුදු මනාලියගේ පාර්ශවයෙන් ආරාධනය ලැබෙන තුරු ඔවුන් හමුවට නොපැමිණියේ සාම්ප්‍රදාය බිඳ දැමීමට අවශ්‍ය වූ නිසා වුවද එසේ නොකළ යුතුව තිබුණිදෝයි මට පසුව සිතුණි. ආලින්දයේ සැටියේ අසුන්ගෙන සිටි ඇගේ දෙමාපියන් යැයි සිතිය හැකි දෙදෙනාට මුලින්ද සෙසු වැඩිහිටියන්ට පසුවද අතට අත දුන්නෙමි. ඉනික්බිතිව මා ඈ අසලට පැමිණ අතට අත දී යාබද අසුනක හිඳ ගතිමි. සියල්ලන්ගේම අවධානය සෘජුව මාවෙතට යොමුවී තිබිණ නමුදු ඈ පමණක් බිම බලාගෙන සිටියාය.

"සාම්ප්‍රදාය" මට කියැවුණි.

"එහෙනම් දෙන්නා කතා කරගෙන දැන අඳුන ගන්නකො" පැමිණ සිටියෙකුගේ කටහඬය.

 මා මිදුලේ කොනක තිබු සිමෙන්ති බංකුව වෙත ඈ කැඳවාගෙන ගියෙමි.

"සාම්ප්‍රදාය..." මා ගුගුලෙමි.

"හ්ම්..ම්..සාම්ප්‍රදාය..." සිනහවෙමින් ඈ එයම ප්‍රතිරාවය කළාය.

"ඇයි  අපි සාම්ප්‍රදාය රකින්නේ....?"

"දන්නෑ.....!!!" ඈ සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ මා අපේක්ෂා කළ දීර්ඝ පැහැදිලි කිරීම නොකරමිනි.

දෙදෙනෙකු අතර, විශේෂයෙන් ආදරය කරන දෙදෙනෙකු අතර  මිනිත්තු කීපයක නිහඬතාව මෙතරම් අපහසුතාවක් දනවන ලද්දක් බව මා අසා තිබුනේ නවකතා, කෙටි කතා තුළදී පමණකි.

"මාධවී..."

"හ්ම්ම්"

"මම දන්නේ නෑ ඔයා මට කැමති වෙයිද කියලා, මොකද... මම සාම්ප්‍රදායික මනුස්සයෙක්. ඒත්..... මට බැරිවෙන එකක් නෑ  ඔයාගේ රටාවට හුරුවෙන්න"

"හුරුවෙන්න...?" ඇය උපහාසාත්මකව මදෙස බැලුවාය.

"ඔව්.. මං කිව්වේ කාලයක් ගිහිල්ලා හරි..."

"අපි මොකටද කවුරුවත් වෙනුවෙන් කාලයක් රැකගෙන ආව සාම්ප්‍රදායක් බිඳින්නේ...?"

"නැ.. මං කිව්වේ..මේ..මේ.." මා ඈගේ වචන අතර අතරමං වූවෙමි.

"ඇයි ඔයා අපි එනකොට කාමරේට වෙලා හිටියේ..." ඈ මගෙන් විමසීය.

"ම්ම්...." මොහොතක් කල්පනා කරමින් "මට ඕනි වුනා ඔයාගේ රටාවට හැඩ ගැහෙන්න..ඔයාගේ අසම්මත සම්ප්‍රදායේ කොටස්කාරයෙක් වෙන්න" මම කීවෙමි.

"සාම්ප්‍රදාය බිඳිනවා කියන්නේ සාම්ප්‍රදායේ හරියටම ප්‍රතිවිරුද්ධ පැත්ත අනුගමනය කරන එකද.....?"

"මට තේරුණේ නෑ"

"අතෑරලා දාමු..... මං කැමති නෑ මං වෙනුවෙන් වුනත්, කෙනෙක්ගේ ප්‍රතිපත්ති, සාම්ප්‍රදාය බිඳගන්නවට" ඈ කීව නමුදු මට තේරුණ දෙයක් නොමැත. මා හිස සැලීමි.

"මට ඔයාට දෙයක් කියන්න තියනවා." ඈ නැවත කීවාය. මම කුතුහලයෙන් හිස එසවීමි.

"මං කැමතියි ඔයාට.. ඔයා මොකද කියන්නේ...?" ඈ අසා නිමවනවාත් සමග මට සිනා ගියේය. මා සමග ඈත් සිනාසුනාය.

"සාම්ප්‍රදාය.....?" හිනාව අස්සෙන් මම ඇසීමි..

"හ්ම්ම් සාම්ප්‍රදාය" හිනාව අස්සෙන් ඈ සුන්දර ලෙස පැවසුවාය.


සිංහල බ්ලොග්වල ලියවෙන කෙටිකතා, කවි, නිර්මාණ ගැන විචාර ලියන්න පුළුවන් කෙනෙක් ඒවා විචාරය කරන්න වෙනම බ්ලොග් එකක් හදලාඅඩුපාඩු පෙන්නන්න පුළුවන් නම් මං  හිතන්නේ ඒක  ගොඩක් වටියි. (කමෙන්ට් එකකින් වුනත් කරන්න පුළුවන් වුණාට මම හිතන්නේ අර විදිහ ගොඩක් පහසු වෙයි. කවුරු හරි පිංවතෙක් ඒ අයට අත දෙන්න කියලා බ්ලොග් අවකාශේ ඉන්න කෙනෙක්ට  මම ආරාධනා කරනවා. 

Thursday, July 18, 2013

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ"

තවත් සාඩම්බර ඇවටියෙල් දවසක, 
ඇඳ මත හිඳ, 
මධ්‍යම රාත්‍රී එකොළහයි...

හදවත මෙසපොතේමියස්  වෙලා කියන්නේ, බලන්ඩ බැරි සයිස් එකට. දුක හිතෙනවා. දාර දාර කඳුළු කැට අස්සෙන් දියවෙලා දියාරු වෙලා යන ෆේමස් රයිටර් හීනේ හෙන ඇවටියෙල් හිනාවක් දාගෙන කින්ඩියට එහෙන් මෙහෙන් ඔච්චන් කරද්දී සර්වාන්ගේ කුපිත වෙලා සලිත වෙනවා. ඒත් එක්කම මෝදු වෙලා එන මගේ අනාගත ඩිරෙක්ටර් හීනේ, ජීවිතේට බලාපොරොත්තු බව්සර් පිටින් එන්නත් කරනවා.

-------------------------------------------------------------------------------------

ලයිට් බිල් වතුර බිල්, ඉන්ටර්නෙට් බිල්, අර බිල් මේ බිල් ගෙවාගෙන, සින්ඩි වලින් මාතෘකාව දැකලා පැණි හලාගෙන ඇවිත් මයිල් ගහක් ගැන තියන කතාව කියෝපුහාම මොන සක්කරයටද නැන්දම්මේ යකා නොනගින්නේ කියහන්කෝ. දවසෙන් දවස හිතට එන පජාත අයිඩියාස් ලියලා දාලා හීනි ෆනී ආතල් එකක් ගන්න අටව ගත්ත බ්ලොගට එන උදවිය ගැන වෙලාවකට අවංකවම පව් කියලත් හිතෙනවා.
-------------------------------------------------------------------------------------

කඩේට ගිය වෙලාවේ උද්‍යානා පාලිකා නැන්දගේ දුව කනේරුකා මදකිපුණි නංගියා අද මගෙත් එක්ක කොමලේ පපා හිනා වුණා. ආත්මගත සංසාරගත ප්‍රේමයක් රකින දිලුට ද්‍රෝහී වෙන්න බැරි හින්දා මම මුකුත් නොකියා නම්බරේ බස් ටිකට් එකක ලියලා දුන්නා හදිසියේ සීයට එහෙම අමාරු වුනොත් කතා කරන්න කියලා. අනේ අපරාදේ කියන්ඩ බෑ සිරික්කිය වැහෙන කටින් හිනා වෙලා එයා ගත්තේ "තැන්කියු" කියාගෙන. ඉතිං මමත් "සෙම් ටු යු" කියලා ලව මිශ්‍ර ආධුනික බැල්මක් දැම්මා.

දිනපොතේ සුපුරුදු පරිදි මගේ ඛේදවාචකය ලිව්වට, ඒක හරියට ඉවර කරන්න බැරි වුනේ එදාට වෙන් වෙලා තියන පිටුව ඉවර වුන හන්දා.

-------------------------------------------------------------------------------------

උඹට කියන්ඩ සහෝදරයා... තියන ලොට්ටක් වැඩ රාජකාරී දාලා, ලිපේ බත් හැලිය රොස් වෙද්දී..... හීටරේ, වතුර මෝටරේ කරන්ට් එකට ගහලා තියෙද්දී,..... පොඩි එකා උකුලේ තියාගෙන,...... හොද්ද හැඳි ගගා පවා ගෙවල්වල ඉන්න ඇන්ටිලා බ්ලොග් කියෝනවා. බොසාගෙන් බැනුම් අහ අහා,.... අතින් ෆුල් ඩම් එක දාල කට වහගෙන..... තනියෙන් හිනා වෙවී ආතල් එකක් ගන්න ගොඩක් අංකල්ලත් බ්ලොග් කියවනවා සහෝදරයා . තවත් සමහරු එනවා හදපතුලේ කකියන අසහනේ ඩිස්මැන්ටල් කරගෙන සිඟිති ළමා ලපටි ආතල් එකක් ගන්න හිතාගෙන. කවුරු ආවත් නැතත් සහෝදරයා, උඹ අපි වගේ උදවිය, රයිටර් කෙනෙක්ගේ වගකීම සමාජයට ඉටු කරන්න ඕනි..සමාජය ඒක අපෙන් බලාපොරොත්තු වෙනවා.. සමාජයේ වෙලාගෙන තියන රසදිය පටලේ ප්‍රතිබිම්භය රයිටර්ලගේ පෑනේ තුඩ හරහා කඩදාසියේ කැඩපතට දාන්න අපි වෙහෙසෙන්න ඕනි සහෝදරයා. ඔව් අපිට ඒක පුළුවන්.

"සියලු පෘටග්ජන මිනිසා පටෝස් ගා පත්තු වේ" කියන සමාජවාදී කියමන මචං ............ අනික් සහෝදරයා කතාව පටන් ගන්න හදනකොටම මං ඇක්සිඩන්ට්ලී ඇහැරුනේ,

"දඩින්....!" ගාලා ඔලුව කොහේ හරි වැදුන හින්දා.

බස් එකේ අයිනේ සීට් එක පැත්තේ බටේ කොනක කැත නැතුව නළල වැදුන විදිහට මම හිතුවේ වද මල ගල ගෑව වගේ තියෙයි කියලා. අකවුන්ට් එකේ අඩියේ ඉතුරු වෙලා තිබුන පිං කළඳක් පලදීලා අතුරු ආන්තරාවක් නැතුව බේරුනා. ඒත් වම් පැත්තේ නළල බම්ප් වෙන ගතිය එහෙමම හෙන වෙලාවක් තිබුණා. මම හිතුවේ වැදුණ පාරට පේෂී වලට පොඩි ආතල් එකක් ඇවිත් උඩ පනිනවවත්ද කියලා.

මට එහා පැත්තේ රම්බා, අපතයා අපායේ ගිහින් වගේ නිදාගෙන ගොරෝද්දේ අදිනවා.

"මචං රම්බා"

"හ්ම්...ඈ....ඇ..ඇ...." ඌ හීනේන් වගේ කිවා

"මගේ කෙටි කතාව අර පත්තර කන්තෝරුවේ මෑන් කිව්ව විදිහට ටෙලියකට ගහන්ඩ පුළුවන් වෙයිද බං" හෙනම හෙන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මං ඇහුවා.

"එකෙන්ම එකෙන්ම... මම රඟපානවා... මදි පාඩුවට අපේ නංගි චාරුලතා, උඹේ අක්කා, උඹේ කෙල්ල, අර කඩේ ගෙදර කනේරුකා මදකිපුණි නංගි ගන්නවා.  උඹ ලියනවා,   අපේ කතාව අපිම ලියලා අපිම රඟපානවා, වීරයෝ වෙනවා, ෆේමස් වෙනවා, සල්ලි හම්බෙනවා."

----
හවස ඉරේ මලානික රැස් හොරෙන් හොරෙන් මහා පොලව එක්ක අනම් මනම් ජෝගි නටනකොට අපේ බඩේ බඩ පණුවන්ට මලපැන්නා. මොනවා හරි කන්ඩ කියලා හිතාගෙන කොත්තු සද්දෙන් ශශ්‍රීක වෙච්ච හෝටලේකට ගීයා. "හොටෙල් ඩී කාලා ගෙවාපන්"

"අයියේ කරෝල කොත්තු දෙකක්" රම්බා දෙදරලා යන කොත්තු සද්දේ පරයා ඔර්ඩර් කරා.

"මො... ක...ක....කරෝල කොත්තු නෑ මල්ලි"

"එහෙනම් පාන් කොත්තු දෙකක්" රම්බට හොඳටම මල දැන්

"පාන් කොත්තුත් නෑ ඕයි" දැන් මුදලාලියට මල

"මේක මහා අසාධාරණ ලෝකයක්නේ අයියේ, ඉඳි ආප්ප කන්ඩ කැමති එවුන්ට ඉඳිආප්ප කොත්තු, මාළු කන්ඩ කැමති එවුන්ට මාළු කොත්තු, නූඩ්ලස් කොත්තු කන්ඩ කැමති උන්ට ඒවා..එලොලු එවුන්ට එලොලු... කරෝල විතරක් කන එවුන්ට කන්ඩ කරෝල කොත්තු නෑ" රම්බට දැන් ඇඩෙන සයිස් එක.

ඕනේ මගුලක් අවුන්සයයි කියලා මම ඔර්ඩර් කරා කිඹුලා බනිස් දෙකකුයි කිරි හොදි කරී එකකුයි.

-------------------------------------------------------------------------------------

රම්බා ටීවී එකේ ඇඩ් එකක පෙන්නන දත් බෙහෙත් එකකින් දත් මැදලා වැඩි ප්‍රතිඵල ගන්ඩ එකෙන්ම පොඩ්ඩක් දිය කරලා මුණත් හෝදලා, ඒ මදිවට ඒකෙ ක්‍රිරියාකාරිත්වය පැය විසි හතරක් තියනවා කියලා පාරේ මුණට හම්බෙන හැම එකාගෙම මුණට මු පිඹ පිඹ යනවා. මූ හිතන්නේ මූ පිම්බාම වටපිටාව කලර් වෙලා හෙන නැවුම් වෙනවා කියලා. මොනඃ... මු පිඹින පිඹින එකාගේ මුණ කොමඩ් එකේ වතුර බීපු එකෙක්ගේ වගේ වෙනවා. ගොඩක් එවුන්ට ටික වෙලාවක් යනකම් හුස්ම ගන්ඩත් බෑ. පොඩි එවුන් නම් බැරිකමට බිම ඉඳගන්නවා. සමහර එවුන් වමනේ දානවා.

Friday, June 28, 2013

සාක්කිය

ඇය ශාන්ත පීටර් මාවත ඔස්සේ  මගීන් රැගෙන,  බිග් ටවුන් වෙත ඇදෙන අශ්වකරත්තයක අසුන්ගේ කුර හඬටත්, ඊට අනුරුපිව ඇසෙන යකඩ පට්ටම් ගැසූ රෝද යුගල වෙතින් නික්මෙන හඬටත් කන් දීගෙන සිටියේ ශාන්ත පීටර්ස්හි "ලුෂියා සාහිත්‍ය සමාජය" නිකුත් කරන මාසික කෙටි කතා සඟරාවක් කියවමිනි. එතරම්ම ඕනෑකමකින් නොවුනද, පසෙකින් ශ්‍රවනය වී කෙමෙන් හීන වී ගිය අශ්ව කරත්තයේ හඬ, දෙසවනින් මුළුමනින්ම වියැකී මද වෙලාවක් යනතුරුද එහි ගමන් මග මනසින් සටහන් කළේ පුරුද්දට වුවද, ඇය එමගින් ළමාකාලය තුල විඳි ආශ්වාදය පුන පුනා ලැබුවාය. ජෝශප් නම් මහල්ලාගේ නිවස අසල ඇති කල්වර්ට් බැම්ම මතිනුත්, මේරි ඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති මද බෑවුමද ඇය නිසැකවම උපකල්පනය කලද යාර කීපයක් ඔබ්බෙන් ඇති තෙරේසා දෙව්මැදුරට යාබද අතැර දැමු කුලී නිවස අසල අශ්ව කරත්තය නැවතුනු වග ඇයගේ අවධානයෙන් ගිලිහුනේ, ඇය අතැති  සඟරාව ඇගේ පුර්ණ අවධානය ඩෑහැගෙන තිබු නිසාවෙන් විය යුතුය.

යොවුන් වියට සමුදෙමින් පසුවූ නැන්සි කුඩා කාලයේ සිටම ගුප්ත කතා මෙන්ම රහස් පරීක්ෂක කතා කියවීමට වැඩි  කැමැත්තක් දැක්වූ අතර යම් සිදුවීමක් දෙස බලා  තර්කානුකුලව ඒ ගැන සිතා සියුම් අනාවැකි මෙන්ම හෝඩුවාවන්ද පවා පළකරන්නට පුළුවන් අපුරු හැකියාවක් ඇය සතුව තිබිණි. වරෙක තම පියාගේ කමිසයේ තැවරී තිබුණු කහට පැල්ලමක් දැක ඔහු පාම් වතුයාය මැදින් වැටී ඇති පාම් වීදිය හරහා එන්නට ඇතැයි පැවසුවාය. තවත් වරෙක තම සීයා අසනීප වුයේ මීයන්ට දමන වස කැවීමෙන් බව ඇය පැවසුවේ රෝහල් වෛද්‍ය වාර්තාව නිකුත් වන්නටත් පෙරාතුවය. වික්ටෝරියා නදියේ ඉවුරක ගැට ගසා තිබු අඟුල කිසිවෙකු විසින් ගිල්ලවා නැති බවත් කිඹුලෙකුගේ පහර දීමක් නිසා සිදු වුවක් බව ඇය පැවසුයේ අඟුලෙහි බඳේ තියුණු දත්පාරවල් සියුම්ව නිරීක්ෂණය කරමිනි.

තාවකාලික පැසසුමක් විනා ඇගේ මේ හැකියාවන් අගය කිරීමට මෙන්ම දිරි ගැන්වීමට දැනුමක් ඇති අයෙක් නිවස තුල නොවුනද  ඇය එමගින් අපුර්ව වින්දනයක් ලැබුවේ යම් යම් කරුණු කාරණා තනිවම ගවේෂණය කරමිනි. ඇයගේ හෝඩුවාවක් ඔස්සේ යමින් අශ්ව හොරෙක් සොයා ගැනීම පිළිබද කාලයක් ගම පුරා  කතාවුනද, මෑතක් වන විට බොහෝ දෙනෙක්ට ඒ ගැන අමතකවී ගොස් ඇති සෙයකි. ඒ ගිණිය නොහැකි තරමේ හොරකම් ශාන්ත පීටර්හි නිතර නිතර සිදුවෙන නිසා විය යුතුය. ජීවිතය ලුහුබඳින කාලය විසින් බොහෝ දේ යටපත් කරන්නා සේම ඇගේ හැකියාවනුත් කෘතිමව යටපත් කර ගැනීමට සිදුවුයේ ගමේ විසු මිත්‍යාදෘෂ්ටිකයින් ඇගේ හැකියාව, දෙවියන් විසින් පරිත්‍යාග කරන ලද්දක් යයි කියමින් ගම් වැසියන්ගේ රෝගා පීඩාදිය සුවකිරීමටත්, යාග හෝම පැවැත්වීමටත් ඇයට බලකිරීමත් සමගය.

කුඩා සාලයේ මැදට වන්නට තැනු ගිණි උඳුන වෙතින් ආ, අවසාන මාංශලය තෙක් දැවුණු ෆයින් අතු කැබලිවල සුවඳ ඇගේ නාස් පුඩු තුල දැවටෙමින් ඒත්තු ගැන්වුයේ එය නිවී යාමට ආසන්න බවය. ඇය වහා නැගිට උඳුන අසල තබා තිබු වියලි දර මිටියෙන් අතු කැබලි කීපයක් උදුන තුලට ඇතුළුකර, තනි කවුළුවක් සහිතව තෙරේසා දෙව්මදුර පෙනෙන පරිදි තනා තිබු වීදුරු ජනේලය අසල පුටුවක හිඳ ගත්තේ සාහිත්‍ය සඟරාව රස විඳීමේ අටියෙනි. කවුළුවෙන් එපිට එතරම් අන්ධකාරයක් නොවුනෙන් මීදුම පටල අතරින් වුවද සැතපුම් කාලකට නොදුරු සීමා ප්‍රදේශයක් පැහැදිලිව වෙහෙසකින් තොරවම ඇසට හසුකර ගත හැකිවිණ. එහෙයිනි දෙව් මැදුර යාබද කුලී නිවස අසල සිදුවෙමින් තිබු සිදුවීම ඇය අහඹුවකින් මෙන් දුටුවේ. කවුරුන් හෝ, හොරකමේ ගිය පුද්ගලයෙකු අල්ලා ගනු පිණිස සෝදිසි කරන්නේ යැයි මුලින් සිතුනද ඊට හාත්පසින් වෙනස් යමක් එහි සිදුවනු ඇතැයි සිතීමට, කුතුහලය මෙන්ම පරිචය විසින් ඇයව මුලික වශයෙන් පෙළඹවූවත්, කාන්තාවන් සතු සුලභ ඕපාදුප විමසීමේ රුචිය එහිදී ප්‍රභල වුවා කියා යමෙකුට පැවසිය හැකි වුවද නිසැකවම වුයේ යටපත්වූ ඇගේ ගවේෂණය කිරීමේ ආශාව දැඩිව මතුවීමය.

සීතලෙන් ආවරණය වනු පිණිස අඳින කළු කබා පැළඳ,  හිස තෙක්ද වසාගත් පුද්ගලයින් කීප දෙනෙකු  ඔබ මොබ ඇවිදමින් කලබලයෙන් අවට යමක් විපරම් කරනු පෙනිණි. ඒ සමගම තවත් අශ්ව කරත්තයක් සෘජුකෝනාශ්‍රාකාරයට කුට්ටි කරන ලද කුඩා පැතලි කළුගල් අතුරන ලද ශාන්ත පීටර් මාවත මත තුනී හිම තට්ටුව කපාගෙන දැඩි ඝර්ෂණයක් යොදමින් සෙමින් බිග් ටවුන් දෙසට ඇදෙනු ඇයට ඇසුණි. එය සුපුරුදු ලෙස ජෝශප් මහල්ලාගේ නිවස අසල කල්වර්ට් බැම්ම මතිනුත් මේරිඈන්ගේ ඇපල් වත්ත මැදින් වැටී ඇති බෑවුම් සහිත මාවතත්, සෙන්ට් තෙරේසා දෙව් මැදුර අසල පාලු කුලී නිවසත් පසුකර බිග් ටවුන් වෙත බාධාවකින් තොරව ඇදෙනු ඇය සීරුවට බලා සිටියේ කෙළ පිඩක් හෝ නොගිලිමිණි.

එකී අශ්ව කරත්තය දර්ශන පථයෙන් මෑත්ව ගිය හෙයින් ඇයගේ කුතුහලය නැවත පෙර ජවනිකාව වෙත යොමු වුයේ ක්ෂණිකවය. ඉනික්බිතව ඇය ජනේල වීදුරුව මත නාසයද, නළලද, දෙතොලද  ගෑවෙන සේ බොහෝ ලංවී උවමනාවෙන් ඒ දෙස බලන්නට වුයේ දෙඅල්ලෙන් දෑස වටා ආවරණය කරගනිමින්ය. ඇගේ මුවින් නික්මුණ උණුසුම් ප්‍රාශ්වාස ධාරා නිසා වීදුරුව මත ජලවාෂ්ප ස්ථරයක් බැඳුනෙන්,කෙතරම් කුතුහලයකින් ඇය පෙලුනිද යත්, ප්‍රාශ්වාස කිරීමේ අන්තරය පවා උවමනාවෙන්ම පමාකරන බවක් ඇවෙතින් දක්නට ලැබිණි.

අශ්ව කරත්තය අසල සිටි පිරිසෙන් එක් අයෙක් නැවත එයට ගොඩ වූ අතර යලි මොහොතකට පසු ඔහු එයින් පිට වුයේ තවත් පුද්ගලයෙකුද සමගිනි. විශේෂිත වූ කාරණය නම්, ඒ අමුත්තාගේ දෑත් පිටුපසට කර එකිනෙක බැඳ තිබු අතර කරත්තයෙන් බිමට පනිද්දී සමබරතාව ගිහිලි ඔහු හිම තට්ටුව මතට ඇද වැටුණෙන් එබව පැහැදිලිවම පෙනිණි . එහෙයින් ඔහු යටත් පිරිසගේ ග්‍රහණයට නතුව ඇති බැව් නැන්සි නම් වූ කල්පනාකාරීව කුතුහලයෙන් මෙතෙක් වෙලා ඒ දෙස බලා සිටි ඇයට ඒත්තු ගියේය. මෑතකදී  විල්ෂයික් නාට්‍යාගාරයේ තිරගත වූ "ස්නොව් ඇන්ඩ් ද තීෆ්" නාටකය ඇයට සිහි විය. එහි කතාවෘර්තයට අනුව දාමරිකයින් හඹා යන "සිවිල් ක්‍රයිම් හන්ටර්" කෙනෙකු වන්නට තමාටත්නොහැකි මන්දැයි ප්‍රශ්නාර්ථමුඛ්‍යව තවමත් එදෙස බලමින් ඈ සිතුවේ ගවේෂණයක ආරම්භක පියවර තැබීමට නොහිම් ආශාවෙන් නලියමිනි.

චිත්තවේගවල බල කිරීම හමුවේ හදිසියේම ඇයට පහල වු ඒ අදහස නිසා මොහොතකට පසු ඇය උන්නේ නිවසින් යාර කීපයක් ඈතින්ද කුලී නිවසට යාර කීපයක් කිට්ටුවෙන් පිහිටි කුඩා පර්වතයක් වසා පැවති ඝන හිම කණ්ඩියකට මුවා වෙමිනි. දැඩි සීතලෙන් පීඩා විඳිමින් වුවද ඈ පයින් ගසක් අසල වැවී තිබු පඳුරකට මුවා වුයේ නිර්භීත වික්‍රමයක් කිරීමේ අසීමාන්තික ආශාව මුසු පොපියන දෙනෙතින් වුවද කිසියම් භීතියක සලකුණුද ඇයව මන්දගාමී කරමින් තිබුණු මොහොතකය.

Contd. with Comments


කමෙන්ටුවෙන් කමෙන්ටුව, කතාව ගොඩ නැගීමට පාඨක ඔබට බාරයි.

Friday, June 14, 2013

මට මේ මයිල් ගහේ පොටෝ එකක් ගහලා දියන් මචං

මේ දවස්වල මම හොම්බෙන් යන තරමට බිසී. බිසී කියන්නේ බිසී එකෙත් උපරිම නහුතෙට බිසී. දිවේ අග වාටිය උඩු තල්ලට රිවට් කරගෙන මහා රෑ පාන්දර දෙගොඩහරියක් වෙනකම් ලියනවා. එලි වෙන්න කිට්ටුව ලිවිල්ල කොච්චර දරුණු වෙනවද කියනවනම් උඩු තල්ලේ වැදිලා තියන දිවේ රිවට් එක අන්තිම හරිය වෙනකොට නහයේ අගට එනවා. ඒ විතරක් නම් මදැයි. ලියලා ලියලා මල පැනලා වගේ ඇක්ටින් එකක් බොරුවට හිතෙන් මවාගෙන, ඒ කොළ ගුලිකරලා ජනේලෙන් එලියට විසික් කරන්නේ සිරාම ගත් ගතුවර කැරැක්ටර් එකට එන්ටර් වෙන්න ඕන හින්දා. පහුවදා වැස්සට පෙඟීච්ච ඒ කඩදහි දැකලා, රම්බා මහපොලව නුහුලන කුපාඩි කතා කිව්වට මම ලාවටවත් සැලුනේ නෑ. සිරාවටම මට ඕනි වුනේ ගිනි පුලිඟුවක් වගේ නලියන ලොන්තයක් බලාපොරොත්තුවලට පෙට්රෝල් දාලා, ඒ බුර බුරා නැගෙන ගිනිදැල් මැදින් මගේ ෆේමස් රයිටර් හීනේ දකින්න. දෙයියම්පා, කිරිඅත්තා කොල්ලා  කාලේ ලයින් දාපු ගැටිස්සි පල්ලා මගේ හිත ප්‍රීතියෙන් උදම් වෙලා උද්දාම වෙලා තිබුනේ.

පහුවදා අපිට පත්තර කන්තෝරුවට යන්න තිබුන හින්දා මම රම්බාට උදෙන්ම එන්ඩ කිව්වා. උදේ පාන්දර දහයට විතර මූ ති දදා ඇවිත් කියනවා.

"මචං රයිටර් උදව්වක් කරහන්"

"ම්ම් මොකක්ද බං...?"

"මේ මේ ... වම් අතේ උරහිස ගාව අසාමාන්‍ය විදිහට පට්ට දිග මයිල් ගහක් ඇවිත් බං...අනේ  මට එකේ පොටෝ එකක් අරන් දියන් ෆේස් බුක් දාන්න"


කොහොම මම පැය ගානක් හරි මයිලට කැමරාව ෆෝකස් කරන්න දඟලපු පාර  අන්තිමට උගේ අසාමාන්‍ය මයිල හැලුනා. රම්බා ඒක හැලුන දුකට මට බැන බැන ඇඟේ අසාමාන්‍ය මයිල් ගස් හොයනවා.

කොහොම හරි රම්බාගේ කනේ ආපු අසාමාන්‍ය මයිල් ගහක් පොටෝ ගහගෙන ෆේස් බුක් අප්ලෝඩ් කරලා, මමයි රම්බයි බස් එකට නැග්ගේ එකම කතාව දෙතුන් වතාවක් පොටෝ කොපි ගහගෙන හදාගත්තු මගේ පට්ට සයිස් සම්භාව්‍ය කෙටි කතා කලෙක්ෂන් එකත් කිහිලි ගහගෙන. ලෝක පාලන දෙයියන්ට දෙපාරක් මැරී කරන්න වාසනාව ලැබෙන්ඩ ඕනි මටයි රම්බාටයි ලදරන් බස් කට්ටේ ඉඳගන්න සීට් එකක් ඉතුරු කරලා තිබ්බට. ටවුන් දෙක තුනක් පාස් කරනකොට බස් එක ඇතුලේ සෙනග පැක් වුනේ ලෝක ධර්මතාවෙ අනුව වුනත්, රම්බාගේ කට වවුලෝ සුප්පු කරපු වැල මදූල වගේ වුනේ සාපේක්ෂතාවාදයේ අභන්තර තියරි ඇස් පනාපිටම ඔප්පු වෙද්දී.  මට ඉස්සරහ සීට්වල මාරුවෙන් මාරුවට ගියපු සීයාගේ බුලත්විට පාරවලුයි, කැහි පාරවලුයි, තව කාගේද වමනේ පැකට් එකේ තිබිච්චයි, හුළං පාරට මගේ මුණේ ගෑවී නොගෑවී ගියේ නැත්තම් සමස්තයක් විදිහට ඒක නයිස් ටුවර් එකක්.  ඔය අස්සේ ලස්සන ගැමි ලුක් කෙල්ලෙක් ඉස්සරහ සීට් එකට ගාවා අයිනෙන් හිටගද්දී,  රම්බා හිටපු තැන අයිනට හිටගෙන යන්න සෙට් වුනේ පොෂ් ලුක් පත සයිස් සන්ග්ලාස් දාපු ඇන්ටි කෙනෙක්.

බස් එකෙන් බැහැල පයින් යද්දීත් රම්බාගේ මුණ නිකන් කුනුවෙච්ච අර්තාපල් ගෙඩිය වගේ තිබුන හින්දා මම නිකමට වගේ මුලින් වර්ඩින් එක දැම්මා.දුකට

"මචං රම්බා..හොඳ වෙලාවට ඉඳගන්න හම්බුනේ නැද්ද බං..?."

"ආ ඔව් ඔව් හොඳ වෙලාවට,... ඒ වුනාට යකෝ මට දුක...අර පත ඇන්ටිගේ හොඳම හරියෙන් කිලෝ පහලවේ විතර දෙකක්ම, එනකම් මගේ කර උඩ තියාගෙන එන්ඩ වෙච්ච එකට බං"

ඒක අහලා මට පාර අයිනේ තිබුන මාර්ග සඥා කණුවක ඔලුව ගහගෙන ගහගෙන යන්න හිතුණා ලොඳ පනිනකම්.  පහුවදා උදේ පත්තර වල කුජීත හෙඩ්ලයින් එකක් වෙන්න තුන් හිතකවත් වුවමනාවක් තිබුනේ නැති හින්දා මම දත කාගෙන ඉවසන් හිටියා.

කිරි අප්පගේ පුසී පැටව් ගහලා කියපි. හන්දියෙන් හැරෙනකොටම පාර අයිනේ හිඟන්නෙක් ලේ පෙරාගෙන හතරගාතෙන් වැටිලා කෙඳිරි ගානවා. දොළොස් පෝයට සිල් ගන්න අපේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඒ මිනිහව පාස් කරගෙන ආතල් එකේ එතනින් වාෂ්ප වෙනවා වගේ වගක් නැතුව. තවත් බැතිමත්තු දෙතුන් දෙනෙක් හොරෙන් හොරෙන් ඒක වීඩියෝ කර කර නෙට් අප්ලෝඩ් කරනවා "අඩෝ මෙතෙන්ට සිග්නල් නෑ බං %$&#$ " කිය කියා. තව ඩයල් එකක් ඇවිත් මිනිහට නසරානි වැඩේ කරපු එකා වටේ හොයා හොයා කෑ ගහනවා. ඕවර් පොෂ් ටයිප් කලම්බු සෙවන් කෙල්ලෝ දෙන්නෙක් "චීයා අනේ....මල ජරාව" කියලා හී හී හී ගාගෙන ටොයින් ටොයින් ගාල අඩියට දෙකට එතනනින් පැනලා ගියා.

මොන කුපාඩිකම තිබුනත් රම්බාටයි මටයි මල පැන්නේ නහුතෙට කිට්ටු වෙන්න. ඒ මනුස්සයාගේ  දුක දැකලා අපි දෙන්නගේ හදවතේ අභ්‍යන්තර පටක විජලනය වෙලා ඒටීපී ශක්තිය ඒඩීපී වෙලා කකුල් දෙකට ගලාගෙන යද්දී අපි දෙන්නා එකතු වෙලා කිසි බිසී ගාලා ඒ මිනිහව වාහනේක දාල ඉස්පිරිතාලෙට පිට කරා.  හත් ඉලව්වට ගහපු ඉස්කෝප්ප හතට ඇඩ්රස්  නෑ කිව්වලු, හෙන සෙට් එකක් කැමරා මයික් උස්සන් ආපි අපි හිටපු තැනට.

කිරි කිරි ටොයින් සක්කර වට්ටම් ටයිප් කෙල්ලෙක් හති දාගෙන දිව හැපී හැපී අනවුන්ස් කරනවා කැමරාව දිහාට හැරී හැරී.

"ඔව් ආදරණීය ප්‍රේක්ෂකයිනි...දැවෙන කුරිරු අධම තුච්ච තුප්පහි  කුපාඩි ලෝකයේ, කට්ට කෛරාටික කුජීත පජාත චාටර් ඩයල් අතරේ පට්ට හොඳ සුපිරි සුන්දර මැක්සා ඩයල් තවමත් අල්ප වශයෙන් හෝ ජීවත් වෙනවා කියලා ඔබ දැන් දකින්න ඇති....ඔව් ඔබ කැමති ඇති ඒ සුන්දර මානුෂ හිතවාදියෝ දෙන්නා අඳුනා ගන්න." ඒ කෙල්ල මගේ දිහාවට හැරිලා මයික් එක ඇල්ලුවා  මං  ඒ කෙල්ලගේ මුණ දිහා බලද්දී රම්බා ඒ කෙල්ලගේම වෙන වෙන ඒවා දිහා බලනවද කියලා බලන්නවත් මට මීටර් තිබුනේ නෑ.

"ඔව් මහත්මයා... වෙල් කම් ටු අවර් නිව් ලයිව් ෂෝ.. මේක තමයි අපේ අලුත්ම වැඩසටහන "අසරණ සරණ රියල් රියලිටි ෂෝ" කෙල්ල දත් තිස් දෙකම එලියට පන්නගෙන හිනා වුනා.

ඉන්ටර්විව් එකට පස්සේ කොහොම හරි බලෙන් වගේ ඒ සෙට් එක අපේ අතේ රුපියක් දෙසිය පනහා ගානේ පන්සීයක් මිට මෙලෙව්වේ කැමරාවට පේන්ඩ අපිට දීපු රුපියල් පන්දාහ ආපහු ඉල්ල ගන්න ගමන් "අනේ අයියේ නොවරදවාම අපේ ප්‍රෝග්‍රෑම් එක බලන්න හොඳේ" කියලා.

පැයක් විතර කට්ට කාලා පත්තර කන්තෝරුව හොයාගෙන මම ඇතුලට ගියේ පට්ටම හැපී එකේ.

Friday, May 31, 2013

මේ දන්සැලේ දෙන්නේ කෑම නෙමෙයි අයියේ.

මොර සුරන වැස්සට මොර සුරලා මදි වෙලා දැන් වහලේ ටකරන් හූරනවා. ඒ සද්දේ මගේ කන් අඩි සූරද්දි විනාඩි පහෙන් පහට මුත්‍රා බර හැදෙනවා. වැස්ස කාලෙට වැඩිපුර මුත්‍රා බර හැදෙන්නේ ඔය ටකරන් සද්දේ හින්දා වෙන්න ඇති. කොහෙද ඉතින් විද්‍යාත්මක හේතු ඔලුවට හරියට වැටෙන්න නම් ප්‍රායෝගිකව එව්වා අත් විඳින්නම ඕනි. මෙච්චර කල් මම හිතාගෙන හිටියේ වලාකුළු ඝනීබවනය වෙනකොට, වතුර බොන්න බොන්න වගුගඩු වල තියන වතුරත් ඒ හා සමාන විදිහට ඝනීබවනය වෙලා තව එක එක එව්වා වෙලා මුත්‍රා විදිහට පිටවෙනවා කියලා.

හඳ, තරුත් එක්ක අද ඕෆ් ඩියුටි ගිහින්. හුළඟ, හිරිකඩ එක්ක ඕවර් ටයිම් කරනවා. මුළු ලෝකෙම අන්ධකාරේ වේලිලා ගිලිලා ඇඹරිලා. මිනිස්සු ගැරඬි වගේ තමන්ගේ ගෑනි කොට්ටේ බදාගෙන සැපට නිදි ඇති. කොල්ලෝ කුරුට්ටෝ, කෙලි පැටික්කියෝ නිදි මරාගෙන එක එක කර්මාන්තවල නියැලෙනවා ඇති. රයිටර් කෙනෙක් විදිහට මගෙන් සමාජයට ඉටුවිය යුතු වගකීම ඉටු කරන්න මේක තමයි හොඳම වෙලාව. තප්පරයක්වත් අහක දාන්නේ නැතුව, ලොවෙත් නැති එන්කරිස්මන්ට් ජවයක් හිතට අරන්, අජරාමර අයිඩියාස් හිතට ගලන වෙලාවේ, වළලුකර ගාවට රෝල් වෙලා තිබුන  සරම ඉන ගාවට අරගෙන ගැටයක් ගහගෙන ඇඳෙන් බැහැලා පුටුවට පැන්නේ පාඨකයින්ගේ ඇස්වලින් කඳුළු සූ සූ ගාලා දොට්ට පනින, හෙන ලව් ස්ටොරියක් ලියනවා කියලා හිතාගෙන.

මේ දවස් ටිකේම දරුණු විදිහට "ඇවටියෙල් ඩිස්මැන්ටල්ස්" කියන මානසික ආතතියෙන් පෙළුණු හින්දා පාඨකයින්ගේ හදවත් කැවුතු උණුවෙන ටයිප් එකේ වචනයක් හරියට ලියා ගන්න බැරි වුනා. අධික ලෙස අන්දකයිප්පු වෙන එකෙනුයි අධික ලෙස කුපිත වෙන එකෙනුයි මිදෙන්න කියලා අල්ලපු ඉඩමේ තියන පශුවෛද්‍ය ඒකකයට පුසාට පණු බෙහෙත් ගෙන්න ගිය වෙලාවේ අලුතෙන් වැඩට ආපු හුරතල් ඕවලාකාර මුණ තියන ඩොක්ටර් මිසී කිව්වා.  

එවලේ එතනට ඉතියෝපියන් ෂෙපර්ඩ් වර්ගයේ ලොම් හැලිච්ච බලු නකුටෙක් එක්කන් ආපු මද පමණින් පොෂ් ටයිප් කෙල්ලෙක් නහයෙන් අඩනව "ඩොක්ටර් මිසී... මට මයිල් එන්න මොකක් හරි බේතක් ලියලා දෙන්න" කියලා. ඕක ඇහිලා මගේ කට නිකන් කහන්න ගත්තායින් ඩොක්ටර් මිසීගෙන් මම ඇහුවා. "ඩොක්ටර් මිසී... මයිල් එන්න බෙහෙත් තියනම් මයිල් හැලෙන්නත් බෙහෙත් නැද්ද කියලා". ඩොක්ට මිසී මං දිහා හෙන අවලං ටයිප් කින්ඩි හිනාවක් දාගෙන කියපි "කපනවා ඇරෙන්න වෙන බේතක් නෑ ළමයෝ"  කියලා. අපරාදේ... මම හිතන් උන්නේ, මං රැවුල කපන්න ගේන ගේන රේසරේ හොරෙන් උස්සන අපේ අක්කට ඒ ජාතියෙන් ටැබ්ලට් බෝතලයක් තෑගී ගිහින් දෙන්න.

අපේ ගමේ එවුන් කැරකෙන කුඩුවක් හදලා ආධාර කවුන්ටරයක් දාලා හන්දියේ මේ පාර වෙසක් එකට. මුං කලින් පෝස්ටර් කැම්පේන් එකකුත් කරලා "මහා කරකවන විට කැරකෙන පහන් කුඩු රාජයා ... 26, 27, දෙදින පුරා හන්දිය බදු ගනී.. නොවරදවාම විදුලි පන්දමක් රැගෙන නැරඹීමට පැමිණෙන්න." අපරාදේ කියන්න බෑ හන්දියේ සූ ගාලා සෙනග. බලපු බලපු අත ටෝච් එලි විතරයි. හතරවටේට ටෝච් ගගහ බැතිමත්තු පාරිශුද්ධ වචන කියා කියා කුඩුව හොයනවා. කොහොම හරි කුඩුව හදපු එවුන්ගේ දෙමව්පියන්වත් මතක් කරගෙන, අඩු බජට් එකකින් හදපු කුඩුව විවෘර්ත කළා. අවාසනාවකට ඒක රවුම් දෙක තුනකට වඩා කැරකුණේ නැත්තේ කුඩුවේ බල්බ් දෙක තුනට කරන්ට් එක දෙන්න දාපු වයර් එක කුඩුවේ බඳේම එතිලා අන්තිමට කුඩුව නැවතුණ නිසා.

අල්ලපු ගමේ මහා දන්සැලක්. කුඩුව හදපු එවුන්ට ඇටැක් එකට උන් කරලා තියෙන්නේ. අහල පහලනේ, නොයා ඉන්න එක හරි මදිනේ. අපි සෙට් එක ඉතින් රම්බායි මමයි  තව අපතයෝ ටිකකුයි දන්සල් වඳින්න ගියේ ගෙදර ආර්ථිකයට පොඩි හරි සහනයක් දෙන එක අපේ යුතුකම හින්දා. දත කට බඩ මැදගෙන දන්සලට ගියා බඩ නැතිවෙන්න කනවා කියලා හිතාගෙන. දන්සැලේ හට් එකයි පුටු ටිකයි විතරයි දෙන කෑමක් නෑ.. රම්බාට මල විදපු පාර සංවිධායක ඩයල් එකක් එක්ක ටෝකක් දැම්මා.

"මල්ලි... කෝ අයිසේ කෑම" ටිකක් සැරෙන් වුනත් ෆිට් එකෙන් රම්බා අහපි.

"මොන කෑමද අයියේ..." සංවිධායක ඩයල් එක කෙලින් ඩිරෙක්ට් කිව්වා.

"ඇයි බොල ටිකිරි මයිනෝ දන්සලක් වුනාම කන්න තියෙන්න ඕනි නේද...?.. මේකේ කන්න තියෙන්නේ ටකරං පුටු සෙට් එකද..?"

"පික්ෂුද අයියේ මේක අලුත් සංකල්පයකට අනුව දෙන දන්සැලක්"
"ඒ කිව්වේ මේකේ දන් දෙන්නේ කෙල්....." රම්බා කියන්ඩ හදනකොටම මම පැනලා උගේ කට වැහුවා.

ඇයි හත්වලාමේ මේක හරි ලැතපොමේඩියාස්  සීන් එකක්නේ. මගෙත් කුතුහලය නහුතෙට තද වෙලා දොට්ට පනින්න ඔන්න මෙන්න.. මම ඇහුව පාර පොර කියපි,

"අයියේ මෙහෙමනේ... මේක සියවසේ අලුත් සංකල්පයක් කියලා මම කිව්වනේ... එක එක උදවිය  එක එක ඒවා දන් දෙනවා..සමහරු ලාම්පුතෙල් දෙනවා, සමහරු පෙට්රෝල් දෙනවා, සමහරු හයර් දන්සල් දෙනවා... කොස් පොලොස්, ජීවිත පවා දන් දෙනවා. අන්න ඒවගේ අපි දන් දෙන්නේ කෑම නෙමෙයි...මේ ශාලාව...  ඒකයි දන් සැල කිව්වේ ..අයියලා කැමති කෑමක් පිටින් අරං ඇවිත් මෙතන නිදහසේ කන්න පුළුවන්"

උට පින් සිද්ධ වේවා කියලා අපි ඒ ශාලාව ඇතුලට වෙලා දත්මිටි කාලා එලියට ආවේ ලබන අවුරුද්දෙත් කරන්න පුළුවන් වෙන්න කියලා ඌගේ හිතට ධෛරීය දීලා.

Monday, May 27, 2013

වීදුරු කටු

එක්වරම කිසියම් දෙයක් මේසය මත ගැටෙන හඬක් ඇසුණ අතර, ඒ මේසය තිබුණු වතුර වීදුරුවම වන්නට ඇතැයි මා ක්‍ෂණයකින් උපකල්පනයකට පැමිණියේ, නින්ද හා අඩනින්ද අතර දෝලනය වූ කිසියම් සිතුවිලි කීපයක මගේ සිහිය, පියවි ලෝකයෙන් එහා බොහෝ ඈතක සරමින් තිබුන මොහොතකය.  වෙලාව බොහෝ විට මධ්‍යම රාත්‍රියට ආසන්න වන්නට ඇතැයි මා අනුමාන කලේ හැරදමා තිබු කවුළු පියන් තුලින් හමා ආ වායු ධාරාවේ ගැබ්ව තිබුණු ඇඟ කිලිපොලායන සිසිලසත්, අවට පැවැති නිහඬතාවයත් හේතුවෙනි. සිදුවී ඇත්තේ කුමක්ද යනවග, මේසය මත තිබු අර්ධව දියබත් වූ කවි කොළයත්, සුළං සැර නිසා "ස්රෝස් ස්රෝස්" හඬින් තවමත් වැනෙන ජනෙල් තිරයත්, බිම තිබු වීදුරු කටු කීපයත් ප්‍රත්‍යක්ෂව පසක් කරද්දී, මේසය අසල තිබුණු  කිහිලි කරුවට වාරු වී ජනෙල් තිරය, ගුලිකර ගැටයක් ගැසුවේ කවුළු පියන් තවදුරටත් විවෘතව තැබීමට අවැසි යයි මට හැඟුණු නිසාවෙනි.

මේසය මත වූ හාෆ් ෂීට් කොලය මත විසිරුණු දිය බිඳිති, එහි වූ අකුරු කෙරෙහි මදකුදු හෝ අනුකම්පාවක් නොකර ඇති සෙයකි. දියබත් වූ අතීතයද, කිසිදාක නොවියලෙන ලාටු සේ මා ජීවිතයම වෙලා සිටිද්දී, එහි බලපෑම අවාසනාවන්ත ලෙස අනාගතයටද සරදම් කරද්දී, දෛවය නම් වූ ස්වභාව ධාර්මික න්‍යාය කෙරෙහි වෛරී සිතුවිලි මවෙතින් පහල වන්නට පටන් ගත්තේ අදක ඊයෙක සිටක නොවන බැව් මා හොඳාකාරව දනිමි.  මුවෙන් නික්මී ගිය සුසුම් සරින්, එදිය බිඳිති මදක් එහාට තල්ලු වී ගිය විනා, ළය සැහැල්ලු වීමක් සිදු නොවීය. හෙලන සුසුමක් පාසා ළය සැහැල්ලු වීනම්, මෙතුවක් වා තලයට මුදා හැරී සුසුම් හේතුවෙන්, මේ වනවිට මා ළය කුරුළු පියාපතක් මෙන් සැහැල්ලු විය යුතුය. සුසුම් ලමින් හදවත  සැහැල්ලු කිරීමට ගත් නිරර්ථක උත්සාහය හමුවේ මා මුව මත සිහින් උපහාසාත්මක සිනාවක් සටහන් වුන බැව් ඉදිරියේ වූ මේස කණ්ණාඩියෙන් අහඹුව දිටිමි. තමාගේම සිනහව කැඩපතකින් දැක, එහි ඇඳෙන ප්‍රතිබිම්භයට යලි යලිත් සිනාසීම අවසානයේ එය හුදෙක් විහිළුවක් බවට පත්වීම තුල කොතරම් දීර්ඝ අඛණ්ඩතාවක් පවතින්නේද යන සිතුවිල්ල, මා පුදුමයටත් වෙහෙසටත් පත් කරවීය.   දියබත් වූ කඩදාසිය මිටින් ගෙන ගුලිකර මේසය මතම රැඳෙන්නට හැර, නැවත රෝද පුටුවට වාරු වෙද්දී,  අපේක්ෂා නොකළ ලෙස ඇය, මාගේ බඳ වටා අත දමා එහි අසුන් ගැනීමට සහය වූ පසුවයි මා අවබෝධකොට ගත්තේ මෙතෙක් ඇයද, මා රඟපාන ලද ඒකපුද්ගල ජවනිකාවේ අනාරධනාත්මක ප්‍රේක්ෂිකාවක්ව සිටි බව.

මාගේ දෑස වෙත සරල රේඛාවක් ඔස්සේ වැටී තිබු ඇගේ දෙනෙත් තුල වුයේ ප්‍රශ්නාර්ථය මුසු  හැඟීමකි. බොහෝ විට, මා දෙනෙත් හා එක එල්ලේ බැඳුණු ඇගේ දෙනෙත දැකීමට මා කෙතරම් ප්‍රිය කලද මෙවර ඇගේ කැල්මේ සටහන් වූ තරවටුව, මා යම් තරමක් පසුගාමීත්වයට ලක් කළේය. කවුළුවට පිටුපා සිටි ඇය මාගේ දකුණු පසින් සිටගෙන සිටි අතර, ඒවනවිටත් කවුළුවෙන් හමා එමින් තිවූණු සුලන් රැල්, ඇගේ මුදාහල වරලස මත තැවරී කෙහෙරැලි අවුල් කරමින් සිටි අතරම ඊට නොදෙවෙනි රිද්මයකට ඈගේ දුහුල් රාත්‍රී ඇඳුමද නලියවමින් තිබිණ.

සුපුෂ්පිත පුෂ්පයක අනුරාගී සුගන්ධයත්, අමෘත මකරන්දයත්, ආරාධනාත්මකව බඹරුන්ට ඉඟි පානා කල්හි, නොසන්සුන්වන බඹරෙකු සේ මමත් නොසන්සුන්විය යුතුව තිබුනද,  කපා දමන ලද තුඩ හිමි බඹරෙකු වෙතින් එවන් ප්‍රතිචාරයක් කෙසේනම් බලාපොරොත්තු විය හැකිද යන්න කාරනාව පිළිබද ගැටළුවක් හට ගනී . රෝද පුටුවේ පැඩලය මත තිබුන අප්‍රාණික පාදය වෙත මාගේ දෙනෙත් යොමුව තිබුන අතර ඇය පියවර කීපයක් ඉදිරියට පැමිණ මාගේ හිස දෑතින් ගෙන ඇගේ ළමැදේ සිරකරගත්තාය. ඉනික්බිතව ඇය සෙමින් ඉකිබිඳින්නට වුවාය. ඈගේ පපු තලය මතින් දෝර ගලා ගිය උණුසුම, මා හිස හරහා ගොස් හදවත අභන්තර පටක පවා උත්තේජනය කරන්නාක් මෙන් හැඟිණි. විටක ජීවිතය පිලිබඳ දැඩි ලෝබ කමක් මෙන්ම විටෙක දැඩි වෛරයක් මවෙතින් පැන නගින්නට හේතුවූ ප්‍රධානතම කාරණාවලින් එකක් වුයේ ඇගේ කිසිදාක වෙනස් නොවනසුළු මේ උණුසුමය. බාගවිට, ඇය මෙන්ම ඇගේ සෙනෙහසද නොවන්නට, මා මීට බොහෝ වෙනස් පුද්ගලයෙකු වන්නට තිබිණි.

ඇගේ තුරුලෙන් බොහෝ පරෙස්සම් සහගතව මා මුදා හල ඇය, පසුපසට ගොස් රෝද පුටුව තල්ලු කරගෙන ගොස් සයනය අසල නතර වුවාය. කුෂන් ලේයර් කීපයක් මගින් සැදුම් ලත් මෙට්ටය මතින් අතුරන ලද ඇතිරිල්ල කෙතරම් සැපපහසු වුවත්, එය බුර බුරා නැගෙන ගිනිදැල් සහිත චිතකයක් සේ මට පෙනෙන්නට වුයේ ඇය හුල්ලමින් ඇඳේ වැතිර සිටිනායුරු දකිනා වාරයක් පාසා බව සමහර විටක ඇයද නොදන්නවා විය හැකිය. ඇය, මා සයනය මත හිඳ වීමට මහත් වෙහෙසක් ගත්තාය. අවසාන වශයෙන් රෝද පුටුව මෑත් කොට ගෙබිම මත ස්පර්ශ වෙමින් තිබුන අප්‍රාණික පාදයද දෝතින් ගෙන ඇඳ මතින් තැබුවාය.

"දෙයියනේ ලේ"  ඇය භීරාන්ත වී මදෙස බැලුවාය.. කලබලයට පත් වූ දෙනෙත පෙර ඉනූ කඳුළු වලින් දීප්තිමත්ව බැබලුනත්, එහි මහා අසරණ කමක් ගැබ්ව තිබුනේය.

"වීදුරු කටුවකට කැපෙන්න ඇති" වේදනාවෙන් තොර වූ පාදයෙන් ගලන රුධිරය දෙස හිස ඔසවා බලමින් මා පැවසුවේ සැහැල්ලුවෙනි.

"හොඳ වෙලාවට දෙවියනේ දැක්කේ..ලොකුවට එහෙම කැපිල නම් කාට කියන්නද"  ඇය වහා නැගිට තුවාලය පිරිසිදු කර වෙළුම් පටියකින් බැඳී නමුදු, සංවේදනයෙන් තොර පාදයට එයින් කිසිදු වෙනසක් නොදැනිණි.

මෙතරම් කල් වේලා ඇතුව අපේක්ෂා නොකලද, යන්තම් හෝ වාරුවෙන් සිටගන්නා ඉතිරි පාදයේ කෙලවර සිට හිස දක්වා හදිසියේ ගලා ගිය හිරියක්, ඉදිරියේදී ජීවිතයට අමතරව එක් කල ගත යුතු අවධානමක් පිලිබඳ අනතුරු හැඟවූයේ ඇය පැමිණ මා අසලින් වැතිර ගත්තායින් ඉනික්බිතිවය. විදුලි පහන නිවා දැමූයෙන් කාමරය අන්ධකාරයේ ගිලෙමින් තිබුනද, ඒ වනවිටද හැර දමා තිබුණු කවුළුව තුලින් අනාරාධනාත්මකව කාමරය තුලට පිවිසි සඳ එලියට දෑස  හුරු වීමට එතරම් වෙලාවක් ගත නොවීය.

"රිදෙනවද....?"  ඇය කතාවකට මුල පිරුවාය. සංවේදනයෙන් තොර අවයවයකට, වේදනාවක් නොදැනෙන වග, දැන හෝ නොදැන ඇය විමසුවේ මන්දැයි නොදනිමි.

"මගෙන්ද ඇහුවේ...?" පිළිතුරු දීම වෙනුවට පැනයකින් පිළිතුරු දුන්නේ කතාව දික් ගැස්සවීමට මටද වුවමනාව තිබුන නිසා වුවද,  ඊට වඩා මා අපේක්ෂා කලේ බැරෑරුම් මොහොතකට පසු ඇගේ මුවෙන් ගිලිහෙන දුලබ සිනාව දැක ගැනීමටය.

කිසිවිටකත් මා බලාපොරොත්තු නොවූ හීල්ලුමක් ඈ හෙලු අතර,  ඒ සුසුම තුල කෙතරම් හැඟීම් සමුදායක් කැටිව ඇත්දැයි තේරුම් ගැනීමට මා හට එතරම් අපහසු නොවිණි.

"අපර්ණා....!"

"ම්ම්..."

"පොරොන්දුවක් වෙන්න පුලුවන්ද...."

"ම්ම් මොකක්ද...."


"ම්ම්..නෑ..එ..එක්කොත් ඕනි නෑ....!.." සිතුවිලි වචන වලට පරිවර්තනය කල නොහැකි තරම් පීඩනයක් මා වෙලා තිබුනෙන් පසුබැසීමි.

"හ්ම්ම්...." ඇය ඒ පිලිබඳ වැඩිදුර නොවිමසීම ගැන මා සතුටු වුයේ අහම්බෙන් වුවද, එවන් කරුණක් නිසා සතුටු වීම, මා ජීවිතයේ එතරම්ම දුර්ලබ කාරනාවක් වන නිසාවෙනි.

"අපර්ණා..."

"ම්ම්.."


"මාව අත අරින්න..අපර්ණා..ඔයාගේ ජීවිතෙන් මාව අතාරින්න..ඔයා ඔයාගේ සතුට හොයාගෙන යන්න... ඔයා හොයන සතුටවත්, ගෑනියෙක් මිනිහෙක්ගෙන්, ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල්වලින් ගොඩ හරියක් මට ඔයාට දෙන්න බෑ..ප්ලීස් මාව අතාරින්න....මාව අතාරින්න." මට හැඬුම් ආවේය.

ඇය හා මා අතර පැවතියේ දැඩි නිහඬතාවක් වුවද කන් හාරවන ගොරහැඩි ශබ්ධයකට වඩා නිහඬතාව ප්‍රබලව දැනෙන්නේ මන්දැයි මම නොදනිමි.

"අනුරාධ...!.." ඇයගේ හඬේ යම්කිසි උද්වේගකාරී ආවේගයක් කැටිව තිබුන අතරම සියුම් මොලොක් ගතියක්ද, බලාපොරොත්තු සහගත හැඟීම් සමුදායක සංඛ්‍යාතයක්ද කැටිව තිබිණ.

"ජීවිතේ මං ඉල්ලුවේ එක දෙයයි...දෙවියෝ ඒ දේ මට දුන්නා..අඩුපාඩු ඇතුව වෙන්න පුළුවන්..ඒත් මම බලාපොරොත්තු වුන දේ ලැබුනා...මට ඒ ඇති.....ඔයාට මාව එපානම් නින්ද ගියාම මගේ හුස්ම හිර කරලා මරලා දාන්න....එච්චරයි.."

නැවතත් කන් අඩි පසාරු කරන දැඩි නිහඬතාවක් අප දෙදෙනා වෙලාගත්තේය. මා නිරුත්තර වුයෙන්, මුව අයාගෙන සිටිනවා විනා කළහැකි අන් යමක් නොවිණි.

බොහෝ විට ඇය ඇගේ හෘද ශාක්ෂියට එකඟව කටයුතු කරනවා විය හැකිය. එසේත් නැතිනම් දෙපා වාරු නැති අසරණයෙක් වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කොට පාරමිතාවක් පුරනවා විය යුතුය. ජීවිතය නම් වූ පුදුමාකාර මායාව තුල ආදරය නමැති ඇස් බැන්දුමට ඇය රැවටුනාද විය හැකිය. එසේද නොමැතිනම් දෛවය විසින්, ඇය ජීවිතය නමැති ක්‍රීඩාවෙන් පරාජයට පත්කළා වන්නට පුළුවනි. ඒ සියල්ලක්ම නොවේනම් සංසාරගත, ආත්මීයගත ආදරයක මේ භවයේ සම්පුර්ණ කලයුතු කොටස පුරවනවා විය හැක.

ජීවිතයක් ජීවත් කිරීමට හදවත් දෙකක් තුල ඇති ආදරය පමණක් සෑහේවිද යන උභතෝකෝටික පැනයට පිලුතුරක් ඇය මාගෙන් වෙන්වන දිනයක් එළඹෙන තුරා දිය නොහැකිය. එසේනම් මෙතරම් මා වෙනුවෙන් කැපවීමක් කරනා ඇයට ආදරය කිරීම කිරීම විනා විකල්පයක් මා සතු නොවන්නේ බව දැන දැනත් ඇයව අහිමි කරගැනීමට තරම් මසිත නොනැමෙන්නේ තවමත් සංවේදනයෙන් යුතු හදවතක් මා සතුව ඇති නිසාවෙන් විය යුතුය. නැතිනම් මාගේ ආත්මාර්ථකාමී හදවතේ බලපෑම නිසා නිසා උපන් හැඟීම හේතුවෙන් විය යුතුය  

"හ්ම්ම් අපර්ණා..අපි ජීවත් වෙමු"

''හ්ම් ජීවත් වෙනකම් ජීවත් වෙමු"
ඇය පැවසුවේ මා කවදත් ප්‍රිය කරන ඇගේ සිනාව පාමිනි.

මා අසල වැතිර සිටින ඇයගේ සිහින් සුසුම් මා ළය පසාරු කරන්නාක්මෙන් දැනිණි. ජීවිතය විඳින්නට බලාපොරොත්තුවක් ඇතිකරගෙන මා ඇගේ තුරුලේ  උණුසුමට තවත් ගුලි වුයේ, ආදරය කරන්නට හදවතේ සංවේදනය පමණක් ඉතුරු කරදෙන මෙන් දෙවියන්ගෙන් ආයාචනයක් කරමිනි.

Wednesday, May 1, 2013

අපරාදේ කියන්න බෑ...යස අගේට පෙරෙනවා නැන්දම්මේ !

පැය ගානක් බඩකින්නේ ඉඳලාම බුරිය පිටකොන්දට ඇලිලා. අජපල් අවුරුදු නැකත් හදපු උත්තමයගේ ආච්චිගේ චීත්තෙ මතක් කර කර මම කුස්සියට ආවේ ජයග්‍රාහී එකොලොස් වෙනි වතුර කෝප්පෙ ගහලා මුං කැවුමක් හරි බිබික්කමක් බඩට දාගන්න. ඒත් අන්තිමට, මටම ඒ උත්තමයා ගැන පව් කියලා හිතුනේ, හත්වලාමේ දැන් මේ මං වගේම පීචන් ඩයල් කීදාහක් ඔය මනුස්සයට බනිනව ඇත්ද කියලා හිතුන හින්දා. බොහොම අමාරුවෙන් උන්දැට යදින එක නවත්තල,  කැවුම කාලා වතුර ටික බිව්වේ ලබන අවුරුද්දෙත් නැකත් පත්තරේ හදන්න උන්දෑ ජීවත් වෙලා ඉන්න ඕනි හන්දා.

ආහාර දෙසාබෑමේ නැකත් වෙලාව උදා වෙන්න දැන් ඔන්න මෙන්න. අපේ ගෙදර බිත්තියේ පණ ඇද ඇද දුවන ඔරලෝසුවේ, හුචක්කු විනාඩි කට්ටට අනුව නම් හරියටම තව තප්පර තිහයි. මම ගිනිපෙල්ලක් පත්තු කරගෙන, අවුරුද්දේ නැකත් ගානට එක ගානේ ගෙනාපු රතිඤ්ඤා හතෙන් ඉතුරු වුන හතරවෙනි එක අරගෙන මිදුලට බැස්සේ දුප්පත්කම හිත මැද දරාගෙන, කඳුළු පිරුණු ඇස් දෙක, කලිසම් වාටියේ අතුල්ලන ගමන්. කඳුළු පිහින්න ගිහින් තව පොඩ්ඩෙන් ඇහි පිහාට්ට කලිසමේ සිප් එකේ පැටලෙනවා. හරියටම තප්පරේට රතිඤ්ඤා කරල පත්තු කරලා මිදුලට දාලා පැත්ත නොබලා ගේ ඇතුලට දිව්වේ, "මාව කාපන්, මාව කාපන් කියන්නැහැ" බැබලි බැබලි තිබ්බ කිරිබත් පිඟානටයි හත්මාලුවටයි බැටේ දෙන්න.

දුවලා ගිහින් කිරිබත් පිඟාන අතට ගන්නවත් එක්කම රතිඤ්ඤා කරල පත්තු වුනා ඇහුණා. ඒත් දෙයියනේ, ආච්චිට හාල් ගරන්ඩ, මේ ඇහෙන නවතින්නැති සද්දේ නම් එන්නේ පත්තු වුන රතිඤ්ඤා කරලේ දෝංකාරෙවත්, අල්ලපු ගෙවල්වල රතිඤ්ඤා සද්දෙවත් නෙමෙයි කියලා මට ලාවට ලාවට සෙන්ටිමෙන්ටල් වෙනකොට, මෙන්න බොලේ අපේ ආච්චි චීත්තෙ කැහැපොට ගහගෙන කාටද දෙස් දෙවොල් තියනවා. මමත් නිකමට වගේ හොම්බ දාලා බැලින්නම් මිදුලේ වනලා දාපු ආච්චිගේ පරණ චීත්තයක් රැල් රැල් වෙලා ශැල්ලඩේ වගේ. ආච්චි සුන්බුන් වෙච්ච කඩමාල්ල දිහා බල බල, රතිඤ්ඤ දාපු එකාගේ අම්මා මුත්තා මතක් කර කර බනිනවා.... බනිනවා, අම්බානක කිබුහුම් යවනවා..... බනිනවා...අම්බානක කිබුහුම් යවනවා.  මං ආච්චිගේම මුනුපුරා වෙච්චි කොට, උන්දැට කිබුහිම් නොගියොත්නේ පුදුමේ.

මම කාලා අත හෝදනවත් එක්කම රම්බාගේ ගෙවල් දිහායින් හෙන සද්දෙට රතිඤ්ඤා වැලක් පත්තු වෙන සද්දේ ආවා. මං හිතන්නේ උන්ට තක්කෙටම නැකත ලැබුවේ දැන්. එතකොටම මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

""Machan, raitar weri butiful niw iyar....aaaa..!  gedara oralosuwe batari bahala ban, welawa yanawaa horayi. alam eka wadune na...ithin uyanna parakku una."
(මචං රයිටර්, වෙරි බිව්ටිෆුල් නිව් ඉයර් ඈ.. ගෙදර  ඔරලෝසුවේ බැට්රි බැහැලා බං, වෙලාව යනවා හොරයි. එලාම් එක වැදුනේ නෑ..ඉතිං උයන්න පරක්කු වුනා. "

මමත් හා හපුරා කියලා අවුරුද්දට වැඩ ඇල්ලුවේ, ඌ එවපු බ්‍රොන්කයිටිස් මැසේජ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා. අනේ ඉතිං මේ දුක මම කාට කියන්නද. ඉතුරු වෙලා තියන රතිඤ්ඤයක් කටේ පත්තුකරගෙන මැරෙනවා මිසක්.

--------------------------------------------------------------------------------------------------------

පහුවදාම අපේ ගෙදර උදවිය පුංචි අම්මලාගේ දිහා නෑගම් යන්ඩ කියලා පාරට බැස්සා. අරං යන්ඩය කියලා විශේෂ දෙයක් නැතිකොට,  ඉතුරුවෙච්ච කැවුම් කොකිස් ටික කාඩ් බෝඩ් පෙට්ටිවලට දාල අලුත්ම අලුත් ගිෆ්ට් ව්රැප් කොළවලින් ඔතමු කියලා යෝජනාව දැම්මේ අපේ අක්කා. අම්මාපා මට ජීවිතේ පලවෙනි වතාවට එක කුසේ උපන් සහෝදරිය ගැන මහා පුදුම ආඩම්බරයක් වගේ එකක් ඇති වුනා. කොහොම කොහොම හරි රෙදි කඩාගෙන, සෙරෙප්පු කඩාගෙන, දාඩිය පෙරාගෙන බරට බරේ උස්සන් එන අපේ නෑදෑ පිරිවර දැකලා පුංචිගේ නිකට බෙල්ලේ. අපරාදේ කියන්ඩ බෑ සිරියාවන්ත හිනාව. ඒ ටිකම මදැයි මහන්සිය මැකිලා යන්ඩ. අපි බරට බරේ ගෙනාපු තෑගී පාර්සල් ලිහනකොට තමයි පුංචිට බඩ යන්නේ දෙපිටින්. අවුලක් නෑ ඉතින් ආයේ මෙහෙ එන්නේ ලබන අවුරුද්දටනේ.

මං ගෙට ගොඩ වෙනකොටම බාප්පා මං දිහා හෙන පජාත ටයිප් බැල්මකින් බැලුවා.

"පුතාද අර ඉන්ටොනෙට් එකේද මොකේද ලියනවා කිව්වේ, අපේ කෙල්ල කියනවා මම අහගෙන"

මම එකපාරට ගෙටවෙච්ච ලමිස්සියක් වගේ ඇඹරි ඇඹරි සුලඟිල්ල කටේ දාගෙන , "ඔ..ඔ...ඔව් බාප්පේ..මම තමයි" කියලා, යටිබඩට දැනිච්ච මෙව්වා එක දරාගෙන කිව්වා.

"හොඳයි හොඳයි..හැබෑටම කොහෙද ඔය ඉන්ටෝනෙට් එක තියෙන්නේ..ආඩම්බරයි ආඩම්බරයි පුතේ...ලියවන පට්ටලේක රස්සාවක් හොයා ගන්න එකත්  අද කාලේ හැටියට ලේසි පහසු දෙයක් නෙමෙයිනෙව..?" බාප්පා කින්ඩියට හිනා වෙනවා මම දැක්කා. අනේ වලාමේ...මේවගේ උතුම් නෑදෑයෝ ලබන්ඩ මම ගිය ආත්මේ කොහොම පිනක් කරන්න ඇත්ද...?

අවුරුද්දේ කියලා බලන් නැතුව, බාප්පා ඇඳන් උන්නු සරම ඔලුවෙන් ගලවලා උගේ බෙල්ල වටේම ඔතලා හොම්බට දෙකක් ඇනලා පැනලා දුවන සයිස් කේන්තියක් මට ආව. උගේ හිතේ මම ලියවන පට්ටලෙක වැඩ කරනවා කියලා. කවදා හරි, ඔව් කවදා හරි, ලංකාවේ පත්තරේක එඩිටර් කෙනෙක් අහම්බෙන්වත් මගේ බ්ලොග් කට්ට කියවලා දුක හිතිලා මට පත්තරේට ලියන්න කතා කරනකම් මම බලාගෙන ඉන්නවා. මු ඉඳගෙන ආච්චිගේ චීත්තෙ මල් ගණන් කරනවා.

එතන මගෑරලා මම කුස්සිය පැත්තට ගියා නිකමට වගේ. නිකමට කිව්වට එහෙමටමත් නෙමෙයි. පුංචිගේ හුරතල් නංගිලා දෙන්නා කොයි කියලා බලන්න. අපේ කට්ටියම කුස්සියේ තැන තැන ඉඳගෙන තේ පැන් සංග්‍රහය භුක්ති විඳිනවා. අපේ ආච්චි කුස්සියේ තියන නා නාප්‍රකාර සුකුරුත්තම් අල්ල අල්ල බල බල, පුංචි එක්ක දබ කයිවාරුවේ.

"මේක ගත්තේ කොහෙන්ද දුවේ..?"

"අහවල් දිහායින් නැන්දම්මේ"

"එතකොට මේක ගත්තේ කොහෙන්ද දුවේ"

"ආ ඕක අහවල් එකට එහා අහවල් එකෙන්  නැන්දම්මේ"

"ඈ දුවේ..හරි අපුරූ තේ මඩිය..,මං මේ කල්පනා කලේ මම මේවගේ පාට එකක් කොයිදී හරි දැක්කා වගේ..මේක ගත්තේ කොයින්ද දුවේ...?"


"ආ දන්නැද්ද...ඉතින් ඔය අපේ එක්කෙනාගේ වැඩනේ නැන්දම්මේ..එයා ගෙදර ඕක හැදුවේ..ඕකේ අනික් එක වැලේ වනලා ඇති ඕන්."

"වැලේ...ඒ මොකෝ දුවේ මඩිය වැලේ වනන්නේ..?" ආච්චිට සැකේ හින්දමද කොහෙද අහපි.

"නෑ නෑ මඩිය නෙමෙයි...නැන්දම්මා දැක්කයි කිව්ව අනික් එක" අපේ කුතුහලේ ඩබල් ට්‍රිබල්, ෆ්රෝබල් කරලා පුංචි කියපි. අපේ අක්කා තේ කෝප්පේ හපාගෙන කතාව අහගෙන.

ඔය අස්සේ කැහිල්ලට වගේ මමත් නිකමට වගේ ජනේලෙන් හොම්බ දාල බැලුවා රෙදි වැල දිහා. කාලා වරෙන්කො කැකිරි කිව්වලු..රෙදි වැල මැද මහා තේජසින් වැජඹී වැජඹී තිබුන දේ දැකලා මට ඔක්කාරෙට ඇවිත් ඔලුව කැරකෙන්න ගත්තා. මයිසුර් විතරක් ඈ පරිප්පු කියන්නේ කියලා මම ආපහු කතාව පැත්තට හැරුනේ, ඒක නම් කොහොමටවත් වෙන්න බැරි හින්දා.

"මේ අලුත් අවුරුද්දට දුවලා දෙන්නට පොලෙන් අන්ඩර්පෑන්ට්ස් දෙකක් අරං ආවා.. ඇඳලා බැලින්නම් ලොකුදුවට මදි.... ඉතිං ආපහු ගිහින් දෙන්න යෑ.... අහක දාන්නේ මොකටද.. සල්ලිනෙ.. අපරාදෙනේ... නැද්ද හා..... අපේ එක්කෙනා එකෙන් මඩියක් හැදුවා.... අපරාදේ කියන්න බෑ.... යස අගේට පෙරෙනවා"  පුංචි හෙන උජාරුවෙන් කියපි.

අක්කට බිබී හිටපු තේ උගුර ඉස්පොල්ලේ ගියෙත්, අපේ ආච්චි පපුව අල්ලාගෙන බිම ඉඳ ගත්තෙත්, මගේ කකුල් දෙක පණ නැතිවුනෙත් හරියටම එකම තප්පරේදී කියලා, කලන්තේ හැදිලා ඇහැ පියවෙන්න තප්පරේට කලින් හින්තේරුවටම මම දැක්කා.